Saturday, December 31, 2011

සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!

අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින්

මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!

"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!!

මුලින්ම කියන්නම් මගේ පුරසාරම්,

මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම කාලයක් බලා සිටි බලාපොරොත්තු ඉටු වුනේ. ඒත් එක්කම මට පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය කැලනිය විශ්ව විද්‍යාලෙ පර්යේෂණ කමිටුවෙන් ලැබුනා. තව දුරටත් මගේ ජීවිතයේ මම ඉෂ්ට කර ගන්න ආශාවෙන් සිටි ඉහලම කඩඉමට එන්නට මට ලැබුනා. එහි වැඩ වලින් මේ වනවිට අඩකට වඩා අවසාන කර ගැනීමේත් හැකියාව මට ලැබුනා. සුපුරුදු විදියටම මට සිංහළ අවුරුද්දට විදේශ කීපයකම සංචාරය කරන්නත් මේ වසරේ වාසනාව ලැබුනා.

මගේ රෝගීන් වෙනුවෙන් සේවයක් කරගන්න ලැබුනා කියලා ලොකු සතුටකුත් මගේ හිතේ තියනවා.

මගේ දියණිය ඉතාම නීරෝගීව සිටින බවත් මම සැක හැර දැනගත්තා මේ වසරේ.

සුපුරුදු විදියටම මගේ සෙවනැල්ල බඳු බිරිද අපේ වෙදහාමිනේ මේ වසරෙත් මා වෙනුවෙන් තම ජීවිතය කැප කරලා සිටියා.

මේ හැම දෙයක් එක්කම මගේ පියාගේ අභාවය සිදු වූයේත් මේ වසරේමයි.

මා ඉතාම ආශාවෙන් සිටින මගේ බ්ලොග් ජීවිතය ඇරබුනේ මේ වසරේ. ඒක නම් මම හිතන්නේ මේ වසරේ මම ලබපු ලොකුම ජයග්‍රහනය කියලයි. ලිපි 86 ලියලා, කමෙන්ට්ස් 1570 ගනනකුත්, හිට්ස් 51000 ට වඩා ලබා ගන්නත් මට හැකියාව ලැබුනා. මේ සඳහා මට බොහෝ දෙනෙක් උදව් කලා. ඉන් අංක එක මාරයා, ගිම්හාණී, දුකාත්, කතන්දර, මාතලන්, බුවා, ලකී, ඕනයා, අභීත, රාජ් දෙපල, ඔබා අයියා, ජ්‍යෝතිෂ ලංකා, පොඩි කුමාරිහාමි, වගේ මේ වෙලාවෙ මගේ මතකයට ආවේ නැති අයටත්, මගේ බ්ලොග් රෝල් එකේ තිබෙන හැම බ්ලොග් අඩවියකම කතුවරුනුත් මට බොහෝ සහාය දුන්නා. මේ වෙලාවේ කියන්නම ඕනෙ ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය මාව විවේචනය කල එකත් මගේ ඉදිරි ගමනට ලොකු හයියක් වුනා. බ්ලොග් ලෝකයේ නොයෙක් දේ කරන්නට මම ඉදිරියේදීත් උත්සාහ කරනවා.

මගේ මෝඩකම් ගැනත් පසුගිය වසරෙ මම කළ මෝඩකම් ගැනත් ඔබට වචනයක් දෙකක් කියන්නම්. මම කළ ලොකුම මෝඩකම ලෙස මම සිතන්නේ, 2011 වසරේත් සුපුරුදු ලෙසම මිනිසුන් ඕනවාට වඩා විශ්වාස කිරීම. ඉගෙනගත් පාඩම් වලිනුත් වැඩක් වුනේ නැහැ. සුපුරුදු ලෙසම මේ වසරෙත් බොහො පොලුවලට ඉලක්ක වුනා. ඒ නිසා දැන මම ඒ හැම කටයුත්තක්ම මගේ වෙදහාමිනේට බාර දීල තිබෙන්නේ. මීට පසු මට පොලු නොවැටේ යැයි සිතනවා.

මගේ මේ වසරේ නම් කිසිම හපන්කමක කරන්න බැරි වූ වසරක් ලෙස තමයි ලියන්න වෙලා තිබෙන්නේ.

කොහොමත් හැමදාම වගේ වැඩිම පුරසාරමුත් අඩුවෙන් මෝඩකමුත් කිසිම හපන්කමකුත් නැති තවත් එක් වසරක් මට මේ නිමා වූයේ.

රට ගැනත් හිතුවොත් මගේ ඊලඟ වසරේ ඒකායන පැතුම තවත් රටට අධි වේග මාර්ග, බොහෝ වැඩි දියුණු සංචාරක කර්මාන්තයක්, සෞඛ්‍ය අංශයේ දියුණුව, අධ්‍යාපනයේ දියුණුව, වැනි භෞතික දියුණුව සැලසේවා. රාජ්‍ය නායකයන්ට ජනතාවගේ දුක ගැන ඇස් ඇරේවා. ආගම් ගැන මිත්‍යා භක්තිය නැති වී ආගම් වලින් නිසි ප්‍රයෝජන ගෙන ලෝක සාමය ඇති වේවා, දුප්පත් මිනිසුන්ට සෙත සහණය ලැබේවා. මේ නව වසරේ මගේ පැතුමන්.

පසුගිය වසරේ මුහුණ දුන් විශාලම ඛේදවාචකය ලෙස මම සිතන්නේ උ/පෙ ළමුන්ගේ බලාපොරොත්තු කඩා වැටීම සහ අනභිබවනීය කීර්තියක් අත්කරගෙන තිබූ විභාග දෙපාර්තමේන්තුවට ඇති වූ කැළල. මේ සියල්ල වැඩි දුර නොගොස් විසඳේවා යන්නත් මගේ එක් පැතුමක්.

සියළුම දෙනා දන්නවා මේ වසර ලෝක විනාශය පිළිබඳව යම් කසු කුසුවක් ඇති වූ වසරක්. මම නම් සිතන්නේ නැහැ ලෝක විනාශයක් සිදු වෙතැයි කියා. නමුත් මිනිසුන්ගේ සංකල්ප වෙනස් වීමක් නම් මේ වන විට ඉතාම අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා නරක සංකල්ප විනාශයක් වී හොද සංකල්ප මිනිසුන් අතර පැතිරේවා.

මිනිසුන් අතර හොද හිත, උගත්කම සහ අවබෝධය වැඩිවන තරමට ලෝකයේ දියුණුව ඇති වනවා යන්න මගේ මතයයි. එම නිසා මිනිසුන් අතර උගත්කම සහ අවබෝධය හොද හිත පැතිරේවා.

ලෝකයේ තත්ත්වය ගත් විට ලිබියාව, ඊජිප්තුව වැනි රටවල් වල ඇති වූ කැරලි තත්ත්වයන් සහ රජයන්වල ඇති වූ විප්ලව, එම රටවල මිනිසාගේ දියුණුවට හේතු වේවා. ලංකාවත් මේවාගෙන් පාඩම් ඉගෙන හරි පීල්ලේ යන ජනයාට හිතවත් ජනහිතකාමී රටක් බවට පත් වේවා.

මගේ ප්‍රියතම විෂයන් වන්නේ එකිනෙකට පටහැනි ලෙස පෙනෙන මට නම් එකම විෂයක් වැනිම සමීපව පෙනෙනා බුදුදහම, ආයූර්වේදය, සහ විද්‍යාවයි. මේ විෂයන් අතිනුත් අපට සතුටු විය හැකි ජයග්‍රහනයන් මේ වසරේදී අපට ලැබුනා. ඒ අතරින්, අයින්ස්ටයිගේ සාපෙක්ෂතා වාදයටත් යම් අභියෝගයක් එල්ලවූ සිද්ධි, සහ පර්යේෂණ සාර්ථක වීමත් , එම ලැබූ ප්‍රතිඵල විද්‍යාවටත් බෞද්ධ ධර්මයටත් එකඟව විස්තර කිරීමට හැකියාවක් ලැබීමත් අපේ භාග්‍යයක් ලෙස මට පෙනෙනවා. ඒ අතරම තවත් මම ප්‍රිය කරන විෂයක් වන අභ්‍යවකාශ විද්‍යාවෙනුත් අපේ යම් යම් ජයග්‍රහන ලබා ගත්තා. විශේෂයෙන්ම ආලෝක වර්ෂ 600 පමන දුරින් පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් සොයා ගැනීමත් වැදගත්.

පරිසර දූෂණය අතින් තවත් මිනිස් සංහතියේ පැවැත්මට තර්ජන එල්ල වීම නැවතීමක් නැතුවම කෙරෙනවා. මේ ගැන නව වසරේදීත් අප සිතට ගත යුතු වෙනවා. පෘතුවිය ඇතිළු මේ විශ්වය තවත් අවුරුදු බිලියන 5කට අධික කාලයක් සුරක්ෂිතව පවතින බවත් මෑතකදී සොයා ගැනුනා. නමුත් අපේ මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය එතරම් කල් පවතීවි යැයි මම සිතන්නේ නැහැ මේ යන පිළිවෙලට නම්. ඒ නිසා තවත් චිරාත් කාලයකට අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට අපි සියළු දෙනාගේ දායකත්වය ලැබේවා කියා පතනවා.

අපි බ්ලොග් වලින් හමුවෙමු මේ වසරේදීත්.

මට දැන ගන්න ලැබුනු අන්දමට මේ වසරේදී බ්ලොග් කරුවන් ගාල්ලට එකතු වෙන්න හිතා ඉන්නවා. ඒක වටිනා දෙයක්. ඒ සැමටත් සුභ පතනවා. මා කොළඹ සිටිය යුතුම දිනයක් 07, නමුත් මම 08 මාතර. සහභාගීත්වය දැක්වීමට නොහැකි වුවත් සුපිරි හමුවක් සිදු වේවා!!!

2012 කාටත් ජීවිතයේ ලැබූ හොදම වසර වේවා!!!!

මගෙන්, 100 ලිපි සහ වෙන වෙන අවස්ථාවල මීට පසු ඒ ගැන සදහන් කිරීමක් හැර ලිපියක් ලියවෙන්නැති වෙයි. ඒ නිසා මම මේක අවස්තාව කර ගන්නවා. මට මේ බ්ලොග් ලෝකයේදී බොහෝ හොද මිනිසුන් හමුවුනා. ඒ හැමටත්. මට කමේන්ට්ස් එවූ සැමටත්, මා ලියූ දෑ කියවූ සැමටත්. මගේ ලිපි මූණු පොතේ පලකල සැමටත්, මා අගය කළ, විවේචනය කළ, මට බැනපු මේ සියල්ලන්ටම මම ස්තුති කරනවා.

ඔබ නිසා තමයි මෙතරම් දුරක් මට ඒමට අවස්ථාව ලැබුනේ.

මා නමින්ම සදහන් කල යුතු කීප දෙනෙක් සිටිනවා. ඒ අය නම්, ඉන්ද්‍රජිත් සමරජීව කොත්තු ඇඩ්මින් සහෝදරයා, කාලින්ග ඇතුලත් මුදලි, ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා SBU ඇඩ්මින්වරුන්ටත් , ලාංකීය සිතුවිලි ඇඩ්මින්වරුන්ටත් මගේ ස්තුතිය හිමි වෙනවා.

මාරයා මගේ ගුරුතුමා, කතන්දර මගේ ගුරුතුමා, ඔබ දෙපලටත් මා ස්තුති කරනවා. ගිම්හාණී මගේ පළමු පාටකයා (ස්ත්‍රි ලිංග පදේ නම් දන්නෙ නැහැ. හැබැයි ඇය කාන්තාවක් බව ඇය හමු වී ඇති නිසා මම දනිමි.) පළමු කමෙන්ටුව ලබා දීමෙන් දුකා ඔබ දැක් වූ සහයට මම සදා ණය ගැතියි.

මට කිව යුතුම දෙයක් ඇත. එනම් මම ඉතාම කැමති බ්ලොග් කරුවන් තිදෙනෙක්ගේ බ්ලොග් මෑතක සිට මට නොපෙනී ගොස් ඇත. ඒ ඇල්කෙමියා, අරුණි අක්කා සහ යථාර්ථවාදියා හෙවත් හිතවත් නිහාල්ගේ බ්ලොග් අඩවියන්ය. මට ඔබ කියවා ගැණීමට නොහැකිව ඇත්තේ යම් කාර්මික තාක්ෂණික දෝෂයක් නිසා බව දනිමි. ඔබද මට නැතුවම බැරි මිතුරන් තිදෙනෙකි.

තමන්ගේ බ්ලොග් රෝල්වල මගේ බ්ලොගයේ නම දමාගෙන ඉන්නා සහෝදර ඔබටත් මම ස්තුති කරනවා. ඒ වගේම සුභ පතනවා!!!!

ඔබ සැමට ස්තුතියි!!!

ඉසුරු බෝ වේවා - සිත පහන් වේවා,
දිවිය සරු වේවා - පැතුම් ඉටු වේවා.

ගත සවිය වේවා - අපල දුරු වේවා,
යහපතම වේවා - අසිරි බෝ වේවා.

ආයු බෝ වේවා!!!!!!!

Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!!!

නත්තල මගේ ජීවිතේට බොහෝ කිට්ටුයි. උපතින් බෞද්ධ උනු මම අවුරුදු 1-2 අතර කාලේදි පියාගේ රැකියාව නිසා වත්තලට ආවා. මේවා මට මතක නැති වුනත් මට මතක අතීතෙ හැම දෙයක්ම සිදු වුනේ වත්තල. ඒ ගැන මම ලිපියකුත් ලිව්වා.

මම විශ්ව විද්‍යාලෙ යනකම්ම ජීවත් වුනේ වත්තල. ඊට පස්සේ රටේ නොයෙක් තැන්වල කරක් ගහල දැන් ඉන්න නුගේගොඩට එන්නේ අවසාන තැන කියලා හිතාගෙන.

මගේ මිතුරන් අතර බාගෙට බාගයක් ඉන්නේ ක්‍රිස්තියානි මිතුරු මිතුරියන්. ඔබට සුභ නත්තලක්.

මගේ ගුරුවරුන් අතර වැඩියම ඉන්නේ ක්‍රිස්තියානි අය ඔබට සුභ නත්තලක!!

කුඩා කාලේදි නත්තලට අපි ක්‍රිස්තියානි අය වගේම ලෑස්ති වෙනවා. මට මතකයි අපිත් නත්තල ගස් ගෙනත් ගවලෙන් හදලා ඊට සූදානම් වෙනවා. අපේ ගෙදර ක්‍රිස්තියානි නොවුනත් අපේ දෙමව්පියෝ පලාතේ හැටියට අපිව ලෑස්ති කළා. ඔවුන් සිතුවේ පුංචි අපේ හිත් පෑරෙයි කියලා අනිත් ළමයි වගේ අපිටත් ඉන්න ඇරි වුනාම කියලා.
අළුත් අවුරුද්දට අපි හැමදාම කලේ වෙන කොහේ හරි යන එක. හැම ගේකටම කෑම බෙදලා අපි යනවා.

නත්තල ගැන මට මතක සුන්දරම සිද්ධිය තමයි 24 රෑ ඉදලා අපි අලුත් ඇදුම් ඇදලා හරියටම 12 වෙනකොට පල්ලි යන එක. අපි කවුරුත් එහෙම කලා. අපිට කවදාවත් ආගම් බේදයක් තිබුනේ නැහැ. පල්ලියේ පූජාව ඉවර වුනු ගමන් අපි ගෙදර යනවා. නිදියලා උදේම නැගිටලා ගෙදරින් පිට වුනහම අපි නැවත එන්නේ මහ රෑ. ගෙවල් ගානකින් කනවා. හැම මිත්‍රෙක්ම බලාගෙන් ඉන්නේ අපිව පිළිගන්න. ඒ මිතුරන් අද නැහැ. ලෝකෙ වටේම විසිරිලා.

මිතුරනි ඔබට සුභ නත්තලක් වේවා!!!

Friday, December 23, 2011

තාමත් ඔසප් ප්‍රශ්නෙ. අද ඔබගේ ප්‍රශ්නවලට පිලිතුරු.

රාජ් said...
මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.)


සරු කාලය කියන්නේ ඩිම්භ හොඳින් මෝරා පිටවන තත්ත්වයට පැමිණ ඩිම්භයක් පිට වී ශුක්‍රානුවක් හා සම්බන්ධ වී කළලයක් ඇති කිරීමට වඩාත් ඉඩ ඇති කාලයටයි. මේ කාලය වෙන්නේ සාමාන්‍ය ඔසප් චක්‍රයක එනම් දින 28 - 30 චක්‍රයක නම් හරියටම ඔසප් ඇති වී දින 12 - 14 අතර කාලයයි. ඩිම්භයක් නියම ප්‍රමානයට එනම් 18 මිලිමීටර් 23 මිලිමීටර් අතර වැඩෙන (Normal Maturation) හා ඒය ඩිම්භ කෝශයෙන් පිටවන (ovulation) කාලයටයි. මේක හඩා ගන්න හරි ලේසියි. මුලින්ම මාස ක්කිපයක ඔසප් දින ගනන ලියලා බලන්න. ඒ සාමාන්‍ය අගය අනුව මැද දිනය සිට දින 6 ඉදිරියටත් පසුපසටත් ගනින්න. මේ කාලය සරු කාලයටයි වැටෙන්නේ. නමුත් මේක ටිකක් වැඩි ආරක්ෂාවක් තියලා මම කිව්වේ. මෙතරමම දිග නැහැ සරු කාලය. කොහොම හරි සූදානම් සරීරෙ කියනවානේ. නමුත් ඔබට හොදින් ඔසප් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතැනදි ඉතා විශ්වාසම ක්‍රමයක් නැහැ.


Anonymous said...
ගොඩක් හොඳ පොස්ට් එකක්.. වෙද මහත්තයෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා...
මගේ පුංචි කුමාරිටත් ඔය ප්‍රශ්නේ ටිකක් තියෙනවා..
ඒ කිව්වේ ඔසප් දවස් වලට ටිකක් අමාරුයි..
බද රිදෙන ගතිය එහෙම වැඩියි..සමහර වෙලාවට තමන්ගේ අනිත් වැඩත් පාඩු වෙනවා..
ඕවට තියෙන බෙහෙත් බොන ඒකෙන මොකක් හරි අතුරු ආබාධ තියෙනවද????
එක සාමාන්‍ය තත්වයක් කියල හිතන්න පුලුවන්ද?


Anonymous said...
වෙද මහත්තයා ඔය ඔසප් වීමේදී දැනෙන වේදනාව අඩු කර ගන්න ක්‍රම මුකුත් නැද්ද

කුඩා දරුවෙක් වැඩිවිය පැමිණි මුලම ඔවැනි තත්ත්ව සාමාන්‍යයි. මඟ හැරී යන්නත් ඉඩ තිබෙනවා. නමුත් කළ යුතුම වැඩ කීපයක් තිබෙනවා. ළමයාව ක්‍රියාශීලී ජීවිතයකට හුරු කරන්න. ක්‍රීඩා වලට යොමු කරන්න. තෙල් කෑම වැඩිය දෙන්න එපා. ඒත් ආසාවට දෙන්න. නැත්නම් පව්. අඩු කරන්න. පලතුරු, පලාවර්ග, ධාන්‍ය වර්ග වලට යොමු කරන්න. යම් දුරකට මඟ හැරේවි. පීනන එක සහ ටෙනිස් බැට්මින්ටන් වගේ ක්‍රිඩා බොහෝ සුදුසුයි.බෙහෙත් බොන්න පුරුදු කරන්න එපා. එවැනි දිනවලට යමක් මඳ රස්නෙන් බොන්න දෙන්න දියර ප්‍රමානය වැඩියෙන් බොන්න සලස්වන්න.

priyantha said...
මෙම තත්වයන් හා පැලෝපීය නාලයෙ වන පිළිසිඳගැනීම් අතර සම්බන්ධයක් පවතීද?
මානසික අසමබරතාවය යනුවෙන් හඳුන්වන්නේ සිතේ ඇති අසහනකාරී ස්වභාවයමද?.
උපත්පාලන පෙති දිර්ඝ කාලයක් ගැනීම මෙම තත්වයට හේතුවක් වේද?
හොඳ ලිපියක් වෙදනා. පිරිමි අයත් කියවා අවබෝධ කරගැනීම හොඳ පවුල් දිවියකට හේතු වෙයි කියා හිතනවා.


ඔව්. වෛද්‍ය මතය කුමක් වුවත් මම මේ පැලෝපීය නාළවල පිලිසිද ගැනීම (Ectopic Pregnancies) හා ඔසප්දෝෂ අතර සම්බන්ධයක් සැක කරනවා. මගේ මතය නම් එවැන්නක් තිබිය හැකි බවයි. එනම් අධික තෙල් බැඳීමේදී නාළවල අරය අඩු වෙන නිසා මෙය වෙන්න පුළුවන්. තවත් මම සැක කරන දෙයක් තිබෙනවා. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් නාළවල බැදීම නිසාද මෙවැනි පිළිසිද ගැනීම විය හැකියි.
ඔව් සිතේ ඇති අසහනකාරී තත්ත්වය මානසික අසමබර බව ලෙස දැක්විය හැකියි.
උපත් පාලන පෙති ගැනීම මම හිතන්නේ නැහැ එවැනි තත්ත්ව වලට හේතුවක් ලෙස. මගේ පුද්ගලික හැඟීම නම ඕවා ගැනීම අවශ්‍ය නැහැ කියන එකයි.


ඉඳුනිල් said...
අපේ හාමිනේට බබා ලැබිලා අවුරුදු 1 1/2 ක් යනකන් ඔසප් වුනේ නැහැ. වෛද්‍ය උපදෙස වුනෙත් එතරම් කාලයක් ඉවසා බැලීම.. ගර්භනී කාලයේදී ශරීරයේ ඇති වන හෝමෝන කල් පැවතීම නිසා එහෙම වෙන්න පුලුවන්ද ?

ඔබ දන්නවාද ඔවැනි දේ නිර්මානය වන්නේ ස්වභාව ධර්මයෙන්මයි. ශරීරයේ ඇතිවන හෝමෝනයක් (prolactin) තිබෙනවා එය නිසා තමයි කුඩා දරුවන්ට කිරි නිපදවෙන්නේ. මේ හෝමෝනයේ බලපෑම ඉතා වැඩියි දරුවෙක් ලැබී යම් කලක් ගතවන තුරු කොටින්ම කිරි දෙන කාලයේ. මේ හෝමෝනයේ තිබෙන තවත් කාර්‍ය්‍යයක් තමයි මේ කාලයේ ගැබ් ගැන්වීම් වලකන එක. ඒ නිසා හෝමෝනය බලවත්ව ඇති විට ඔසප් දෝෂ ඇති විය හැකියි. බබාලට කිරි දෙන කාලයේ නැවත ගැබ් ග්න්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ ඒකයි. ඔබ කියන කරුණ එහිම ටිකක් දිග අවස්ථාවක්. නමුත් එය එතරම් ගැටළුවක් නෙමේ.


Gimhani said...
මේ ගැන මගේ යෙහෙලියකගේ ප්‍රෂ්නයක් ඔබ්ට ඉදිරිපත් කරන්නම්.
ඇයට විවාහ වෙලා දැන් අවුරුදු හයක් පමණ වෙනවා . දරු පල නෑ . ඇයගේ ඔසප් චක්‍රය හරිම අක්‍රමවත් . මාස 4-5 ගිහින් තමයි ඔසප් වෙන්නේ . ප්‍රථිකාර කලත් සුවයක් නෑ . අනිත් කරුන තමයි . තදබල වේදනාව . ඩිම්බ මේරිමත් ප්‍රමාණවත් නැතිලු .


ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දරුඵල නැති වීමට තදින් බලපානවා. මේ ගැන කියන්න වෙන්නේ ඇයගේ ඔඅසප් නිසියාකාරයෙන් නැවත සාදාගන්න.
ඊට පසු ප්‍රතිකාර කිරීමෙන් දරුවකු ලබා ගත හැකියි. ප්‍රතිකාර යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ ඖෂධම පමනක් නෙමෙයි.
1. ඖෂධ
2. ව්‍යායාම
3. මානසික සහනය ඇතිකර ගැනීම
4. ආහාර පාලනය
මෙවැනි පද්දතියක්ම තිබෙනවා ප්‍රතිකාර වලට අයත්. මේ හැම දේ ගැනම සොයා බැලිය යුතුයි. එවිට ඇයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

කපීකේකි said...
නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. 
ඩොක්ටර් ඒත් මේ ලගදි VOG කෙනෙක් කිව්ව එහෙම මාසෙන් මාසෙට දින් 28කට වරක්ම වෙන්න ඔනේ කියල නියමයක් නෑ කියල.සමහර අයගෙ මාස කීපයකට සැරයක් වෙනවලු.ඒ හැටිලු.ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියල අහනව:/.


ඒකට බෙහෙත් දෙන්නත් බෑ කිව්ව අවිවාහක නිසා.දෙනව නම් දෙන්න වෙන්නෙ උපත් පාලන පෙති කියල.බැන්දට පස්සෙ නම් එහෙම පෙති බොන්න දීලා හෝමෝන බැලන්ස් කරන්න පුලුවන් කීව.අනික ඒ පෙති බිව්වම මහත් වෙනවලු.

වෙනත් අයෙක්ගේ මතයක් විවේචනය කිරීමට මට අයිතියක් නැහැ. අපි දෙගොල්ලන් මේ කථා කරන්නේ අවස්ථා දෙකක් ගැනයි. එතුමා කියන දේත් එක්ක මම 100% එකඟයි. මේ සාමාන්‍ය තත්ත්වයයි. නමුත් ඔබ මේ අහන්නේ වෙන කරුණක් කියා තමයි මට හිතෙන්නේ. ඔබ කියන දේ විවාහක දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් නම්, තත්ත්වය වෙනස්, ඇය තම සරු දින දැන ගත යුතුයි. තවත් මේ තත්ත්වය නිසා ඇයට නොයෙක් පීඩාවන් විඳින්න වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණයේදී ඇයට බෙහෙතක් කිරීම අවශ්‍යයි. ඔසප් ක්‍රමාණූකූලව සාදා ගැනීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිකාර ඇත්නම් දුක් විදින්න ඕනෙද?

ඔව් හෝමෝන බෙත් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනෙ. ඒ ගැන නිසි අවබෝධයක් ඇති වෛද්‍යවරයෙක් සමඟ පමනක් මේ ගැන කථා කළ යුතුයි. ඒත් ඔය ප්‍රථිකාර ක්‍රමය එනම් උපත් පාලන බෙහෙත් දී ඔසප් ක්‍රමාණුකූල කිරීම එතරම් සාර්ථක නැහැ. ඒ නිසා මම නම් මේතැනදි අර ගිම්හාණීගේ ප්‍රශ්නෙට වගේ පිළිතුරක් තමයි ඔබට දෙන්නෙ අවශ්ය. හැම දෙයක්ම ක්‍රමානූකූලව කිරීමෙන් මේ ප්‍රශ්නේ විසදා ගන්න පුළුවන්. බෙහෙත් නම් අවශ්යයි මගේ පුද්ගලික මතය.

ඩොක්ටර් ආයුර්වේදයේ "උදර වස්ති" කියල එකක් තියනවද? ඒකෙන් කරනව කිව්වෙ නොමේරූ ඩිම්බ (ඩිම්බකෝෂවල ඒකරාශී වෙලා තියන )ඒව අයින් කරන එකලු.පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

ආයූර්වේදයේ උදර වස්ති කියලා දෙයක් තිබෙනවා. නමුත් ඔබ අහන්නේ මෙතැනදි ඒ ගැන නෙමෙයි නේද කාන්තාවන්ටම කරන උත්තර වස්ති ගැන මම හිතන්නේ ඔබට වචනේ පැටළුනා නේද?

උත්තර වස්ති කියන්නේ පැරැන්නන් භාවිතා කළ ඉතා හොඳක්‍රමයක්. එහිදී ගර්භාෂය පිරිසිදු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නවීනයේ කරන (D&C) තත්ත්වය හා සමානයි. දැන් නම් ඉතාම අඩුයි භාවිතා වෙනවා. ඒකට හේතුව මෙවැනි දේ ගැන නිසි දැනීමක් නැති පුදගයෝ මේවා වැරදි දේවලට ප්‍රයෝජනයට ගෙන ක්‍රමය විනාශ කරලා. මේ නිසා ජනතාව මේ ගැන බියක් දක්වනවා. ඔය (Endometriosis) එන්ඩොමේට්ට්‍රියෝසිස් තත්ත්වයට ඉතාම වටිනා ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිම තවත් අවස්ථාවක් තිබෙනවා කටී වස්ති කියලා. එහිදී කරන්නේ අදාල රෝගියා රෝගයට අදාල ක්ෂාය තම්බා එම ජලයේ වාඩි කරවා තැබීම.

හාතාවාරිය කැද හොදයි කියනවනේද මේ ලෙඩේට?
හාතාවාරිය කියනකොට එතැනම තිබෙන්නේ ස්ත්‍රී ලිංගික බවක් නේද? වචනයේ අර්ථයෙන්ම හාතාවාරිය කාන්තා ලෙඩට ඉතා හොදයි. වඩාත් හොද විදිහ තමයි කැඳ හදලා සතියට දිනක් බොන එක. කාන්තාවන්ට ඉතාමත් ගුණයි.


Anonymous said...
ගර්භාෂ ගෙඩි ඇති වෙන්න ඔසප්චක්‍රයේ අක්‍රමිකතාවය බලපානවද?


ආයූර්වේද මතය අනුව නම් කාන්තාවගේ ශරීරයේ සිදුවන ඉතාම වැදගත් සිදු වීමක් මේක. මේ හරියට සිදු නොවීමෙන් විශාල හානීන් ප්‍රමානයක් කාන්තා සිරුරට සිදුවිය හැකියි. එකක් තමයි ඔබ කිව් අවස්තාව. සියළුම ගෙඩි මින් නොසෑදුනත් බොහෝ දුරට ගර්භාෂයේ සහ ඩිම්භ කෝෂ වල ගෙඩි ඇති වීමට මේ තත්ත්වය බලපානවා. මේවා අකාර ක්කිපයක්ම තිබෙනවා.
1.Fibroids
2.Follicular cyst
3. වෙනත් අරබුද
4. එන්ඩොමෙට්ට්‍රියොසිස්

වර්ණා said...
හ්ම්ම් හොදයි. මටනම් තාම එහෙම කිසිම අවුලක් නැහැ. එත මම ලොකු ළමයෙක වෙලා මාස 3 ක් යනකම් ඔසප් වුනේ නැහැ. ඩොක්ටර් නම් කියුවේ බයවෙන්න එපා කියලා එත ඊලග මාසේ ඉදන් හරියටම වුනා.. බයෝ කරපු නිසා මම මේ ගැන ටිකක් දන්නවා..

එත් අපේ නංගි කෙනෙක් ඉන්නවා එයා දැන් වැඩිවියට පැමිණිලා අවරුදු 2 ක්. එයාගේ ඔසප් වීම තාම නැවතිලා නැහැ, කොච්චර බෙහෙත් ගත්තත්. තාම එයාට බෙහෙත් කරනවා. එයා දැන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මේකට කුමක් කල යිතුද?

ඔබගේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයක් එය සාමාන්‍යයඉ. නංගීට නම් ප්‍රතිකාර කල යුතුයි. නැත්නම් ඇයට මතු උවදුරු ඇති විය හැකියි. මෙහි ඇයට කල යුතු ප්‍රතිකාර වලින් බොහෝමයක් ලියා තිබෙනවා. ආහාරය, ව්‍යායාමය, මානසික නොසන්සුන් භාවය ආදිය සාදා ගන්න. සුදුසු ප්‍රතිකාරයක්ද අවශ්යයි.


ඉන්ද්‍රා said...
මාස ගනනක් ඔසප් නොවී තියෙද්දේ ඒවා ඇග ඇතුලෙ එකතු වෙනව නේද?ඒහෙම වෙන එක හොදද?


ඉතාම කලාතුරකි හැර එහෙම එකතු වෙන්නෙ නැහැ. ඔබ දන්නවද සමහර කාන්තාවන් සිටිනවා කිසිම දාක මතු පිටින් ඔසප් සෑදෙන්නේ නැහැ. එවැනි අයට ඔසප් රුධිරය ඇගටම උරා ගන්නවා. ඒත් පැලෝපියන් ටියුබ් වලට ඔසප් රුධිරය ගලන අවස්ථා ඉතාමත් කලාතුරකි දක්නට ලැබෙනවා. එවිට නාල අවහිර වීමෙන් නිසරුතාවය ඇති වෙනවා. මේ හැම දෙයක්ම කලින් සැක කල හැකි කරුනු. ඔබ දින්පොතක් පාවිච්චි කරනවානම් තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් සටහන් කර ගන්න. ඒ පලපුරුදු වෛද්‍යවරයෙක්ට මේ තත්ත්වය දැන ගැනීමට උපකාර වෙනවා. මෙහිදී වැදගත් කරුනු වන්නේ.
1. යෝනි ස්‍රාවයන් ඇතිවනවාද, ඒ දිනයන් මොනවාද/
2. යටි බඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවන් මොනවාද? දිනයන්, ආදිය සටහන් කර ගන්න.
3. පියයුරුවල වේදනාවන් ඇතිවනවාද ඒ දිනයන් මොනවාද්/
4. බාහිරින් පියයුරුවල ඇතිවන වෙනස්කම්. මේ දේවල් මාස තුනකවත් සටහනක් ඔබගේ වෛද්‍යවරයාට ලබා දීමෙන් ඔබ ගැන බොහෝ දේ එතුමාට දැනගත හ්කියි.


Anonymous said...
කාන්තාවන්ගේ සුදයාම නම් තත්වය කුමක්ද එය හා ඔපස් වීම අතර සම්බන්ධයක් තිබේද එමගින් දරුපල හට ගැනීමට බාධාවක් ඇති වේද සුදයාම නවත්වා ගන්නේ කෙසේද


චතුරි said...
@ඇනෝ- ඕකටම නේද ඇග උණුකරවායාම කියන්නෙ ?


සුදයාම හා ඇඟ උනුකරවා යාම කියන දෙක දෙකක්.
ඇඟ උනුකරවා යාම මේක ලෙඩක්. මෙහිදී වන්නේ ශරීරයේ ආයූර්වේදයේ අපි සඳහන් කරන රස පදාර්ථයන් ශරීරයෙන් ඉවත් වීම. ප්‍රෝටීන හා වෙනත් ශරීරයට අවශ්‍ය පදාර්ථ මෙසේ ඉවත් විය හැකියි.

සුද යාම කියන්නේ ලෙඩක් නෙමෙයි. මේක සාමාන්ය තත්වයක්. සුදයාම ඇඟ උනුකරවා යාම හා පටලවා ගන්නවා බොහෝ දෙනෙක්. ඔසප් සෑදීමට පෙර මේ තත්ත්වය ඕනෙම කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඇති විය හැකියි. මෙහිදී කිසිම රෝග ලක්ෂනයක් ඇති වන්නේ නැහැ. නිකම්ම යෝනි මඟින් යම් බෙලසුල් දියරයක් පිටවනවා පමනයි. මේ දියරයද නොයෙක් ආකාර විය හැකියි. ඇතැම් අයට මෙය ඉතා උකු ස්‍රාවයක් වන අතර සමහරකට යන්තමින් යෝනිමඟ තෙත් කරන ස්‍රාවයක් පමණයි. නොයෙක් ඖෂ්ධ නිසාත් මෙය ඝනකම් ස්වභාවයක් ඇති විය හැකියි. ඒත් මෙය කිසිම රෝගයක් නෙමෙයි.

තවත් අය ලිංගික උත්තේජනයකදී පිටවන ස්‍රාවයන් හා මෙය පටලවා ගන්නවා. ඒකත් නිවැරදි නැහැ. එයත් සාමාන්ය තත්ත්වයක්. මෙහිදීත් දියරයේ විවිධ වෙනස්කම් තිබිය හැකියි.

මේ හැමටම වෙනස් ඇඟ උනුකරවා යාමේදී පිටවන ද්‍රවය. එය ගඳක් සහිත් වෙන්න පුළුවන්. පැහයක් ගන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වීමට නොයෙක් හෙතූන් බලපානවා. යම් යම් රෝග, අධිකව ඖෂ්ධ භාවිතය. දිලීරමය රෝග. මේ වැනි බොහෝ හේතු මේ සඳහා දැක් විය හැකියි. මෙයට ප්‍රතිකාර කල යුතුමයි.



samadhi said...
මටත් ඔය ප්‍රශ්නේ තදටම තිබුනා. විවාහයට පෙර නියමිත අයුරින් සිදු උනත් විවාහයෙන් පසු ඉතාමත්ම අක්‍රමවත් උනා. මාස 10ක් විතරම ඔය තත්වෙ තිබුනා. ඊට පස්සෙ පලමු වරට සිදු වු පිලිසිඳ ගැනීමද අසාර්තක උනා. බටහිර වෙදැදුරන්ගේ මතය උනේ ප්‍රොලැක්ටින් හෝමෝනය අධික වීම නිසා ඩිම්භ මේරීම අක‍්රමවත් කියලා.තවත් පරීක්ශන ගනනාවකටම මුහුන දීමට තිබුනත් හිතා ගන්නවත් බැරි විදියට අපේ ප්‍රශ්නේ විසඳුනා. නමුත් ඉදිරිට්යට මගේ තත්ත්වය කුමනාකාර වෙයද කියලා අවිනිශ්චිතව ඉන්නේ.

ඔබ කියන ආකාරයේ රෝගීන් බහුලයි. නමුත් ඔබ නීරෝගීමයැයි ඉන් ඇඟ වෙන්නේ නැහැ. හෝමෝන පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව යමක් කළ යුතුයි. නමුත් දරුවා ලැබුන පසු ඔබගේ මේ තත්ත්වය බොහෝ දුරට විසදී ඇතැයි මට හිතෙනවා. මාස කීපයක් බලා කලින් ලෙසම නම් ප්‍රතිකාර කරන්න. හැබැයි මොනවා කලත් අර කලින් කියා ඇති පාලනයන් කල යුතුමයි.


Miyuru said...
අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් වැඩිවිය පැමිණුනායින් පස්සෙ කවදාවත් ආපහු එයාට ඔසප් වීමක් ඇතිවුනේ නෑ... එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද... ඒ වගේම ඒකට බෙහෙත් තියෙනවද.... දැන් නම් එයාට වයස 45ක් විතර ඇති... එයා විවාහ උනෙත් නෑ මේ ප්‍රශ්නය නිසා....



අවාසනාවන්ත තත්ත්වයක් මම නම් හිතන්නේ ඇයව සුව කරගත හැකිව තිබුනා. මට එක් රෝගියෙක් ඔවැනි අයෙක් මුණ ගැසී තිබෙනවා. ඇය අද දරුවෙක්ගේ මවක්. මම හිතනවා ඇයටත් අභ්‍යන්තර ඔසප් ස්‍රාවය ඇතිවුනාද දන්නේ නැහැ. මොනවාටත් කල්ගියා වැඩියි.

Wednesday, December 21, 2011

කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ.

සතියකට වැඩියෙන් මට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා. අද මේකත් ලියන්නේ හදිසියෙන්. ජනවාරි ඉඳලවත් සතියට දෙක ගානේ වෙන්න පොස්ට් දන්න තමයි හිතන් ඉන්නේ.

මේ පොස්ට් එකට එන්න හේතුව මගෙන් නිතර අහන ප්‍රශ්න කීපෙකට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මේක කාන්තා ස්පෙශල්. ඒත් පිරිමි බැලුවම මොකෝ.

කාන්තාවන්ටම විශේෂ වු පෝස්ට් එකක් මෙහෙම දමන්න කියන අදහස මට මුලින්ම කිව්වේ අපේ ගිම්හාණී නඟා. හැබැයි මම මුලින්ම බ්ලොග් කලාවට ආපු අළුතම. මම එවලේ හිතුව අනේ මොකටද ගෑනුන්ට විශේෂ කොරලා කොල්ලො සෙට් එක තරහා කර ගන්නේ කියලා. දැන් කට්ටිය මාව දන්නවනේ. ලඟදි අර සම්මානෙකුත් ලැබුනනේ බ්ලොග් කලාවෙන්ම. ඒ නිසා දැන් කමක් නැහැ කියලා ඔන්න දැම්මා කාන්තා ස්පෙශල් පෝස්ට් ඒකක්.

කොල්ලොත් බලන්න ඈ...

අපේ කාන්තා පාර්ශ්වේ අයට තිබෙන ප්‍රධානම ගැටළු තමයි මම මෙහෙම කථා කරන්න හිතුවේ.

මෙකෙදි කාට හරි යමක් වැඩිපුර දැනගන්න අවශ්‍ය නම් මට ඊයක් එවන්න හැකි හැකි විදියට පිලිතුරු දෙන්නම්. හැබැයි ඇනෝ ඇවිත් හරි කමෙන්ට් විදියටම අහනවානම් හොඳයි. ඒකෙන් අනිත් අයටත් යමක් දැන ගන්න පුළුවන් නිසා. මේ සැරේ විශේෂයක් විදියට හැම කෙනාටම වෙන වෙනම පිළිතුරු දෙනවා. මේ පෝස්ට් එකට එන එන හැම කමෙන්ට් එකටම පිලිතුරු දෙන්නම්.

මෙම තත්ත්වයන් ප‍්‍රජනක වයසේ (12 - 45) කාන්තාවන් අතරින් 5% - 10% අතර සංඛ්‍යාවකට ඇතිවේ. කාන්තාවකගේ ප‍්‍රජනක වයස වශයෙන් හැදින්වෙන්නේ, ඇයගේ වැඩිවිය පැමිණි වයස හා ආර්තවහරනය අතර වූ කාලයයි. සාමාන්‍යයෙන් මේ වයස අවුරුදු 12 සිට 45 දක්වා යැයි පිළිගනී.

නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. එසේම එය අතිශ්‍යයින් සාමන්‍ය ක‍්‍රියාවකි. සාමාන්‍යයෙන් ඇතිවන ඔසප් වේදනාව සහ හෝමෝනමය වශයෙන් නව යෞවනියන්ට සමහර විට ඇතිවන සුළු අපහසුකම් මේ රෝග කාන්ඩය යටතට නොවැටේ. එය සාමාන්‍ය තත්ත්වයකි.

ඔසප් චක‍්‍රයේ අසාමාන්‍යතා සහ එම ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම "කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ” රෝග කාන්ඩය යටතට වැටේ.

කාන්තාවන් නිසා ඇතිවන මඳ සරුභාවයට ප‍්‍රධාන හේතුවක් වේ.

මෙම තත්ත්වයන් ඇති වීමට හේතු.
1. පැහැදිලි හේතුවක් නියම ලෙස දැක්විය නොහැකියි.
2. හෝමෝන පද්දතියේ අක‍්‍රමිකතාවන් ඇති කාන්තාවන් අතර ඇති වේ.
3. හෝමෝන අක‍්‍රමිකතාවයන් ඇති කරවන දියවැඩියාව (2 වර්ගයේ*,
4. අධික ස්ථූලතාවය,
5. රුධිරයේ අධිකව කොලෙස්ටරෝල් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇති වේ.
6. ගර්භාෂගත රෝගයක රොග ලක්ෂනයක් ලෙසද මෙවැනි රෝග තත්වයන් ඇති විය හැක.
7. ජානමය තත්ත්වයන් නිසාද ඇතිවන බව සොයාගෙන ඇත.
8. ව්‍යායාම කිරීමෙන් තොරව නිශ්ක‍්‍රීය ජීවිත ගත කිරීම.
9. මානසික අසමබරතාවය.
10. වැරදි ආහාර පුරුදු. ( මේද බහුල ආහාර/ අධික සීනි භාවිතය/ ඌෂ්න ආහාර ඝනයට වැටෙන ආහාර වැඩියෙන් භාවිතා කිරීම./ කෘත‍්‍රිම ආහාර භාවිතය වැඩි වීම./ කෙටි කෑම.*
11. සමහර ඔෂධ වරග දීර්ඝ කාලීනව භාවිතය.

ලක්ෂන.
1. ඔසප් චක‍්‍රයේ ඇතිවන අක‍්‍රමිකතා.
2. ඔසප් දිනවලදී අධිකව හෝ මන්ද රුධිර වහනය.
3. නිසරුභාවය.
4. මුහුණේ රෝම වැඞීම.
5. අධික අථූලතාවය.
6. බෙල්ල අවට කළු වීම.
7. අසාමාන්‍ය ඔසප් වේදනාව.
8. ප‍්‍රමාණවත් ලෙස ඩිම්භ නොමේරීම.
9. රුධිරයේ පිරිමි හෝමෝන සාන්ද්‍රනය වැඩි වීම.
10. මානසික අසමබරතාවයේ ලක්ෂණ තදින් දිස්වීම. හිසරදය, ආතතිය, හිස කැරකැවීම් ගතිය, තෝන්තුවාව. කෙන්තියාම යන ලක්ෂන ඇති වීම.

රෝග නිර්ණයට වැදගත්වන පරීක්ෂා. 1. FSH (Follicular Stimulating Hormone), LH (Luteinizing Hormone), Progesterone Hormone, Estrogen Hormione , ප‍්‍රමාණය මැන ගැනීම. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
2. Trance vaginal / Ultra Sound Scan ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
3. (HSG) Fallopian නාල පරීක්ෂාව. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)

මෙම තත්ත්වයන්ට ප‍්‍රතිකාර නොගෙන නොසලකා සිටීමෙන් ඇතිවන උපද්‍රව.
1. ඩිම්භ මේරීම අක‍්‍රමවත් වීම. ඩිම්භ මෝචනය සිදු වීමේදී වන අක‍්‍රමිකතා.
2. Endometriosis, Poly Cystic Ovarian Disease. Follicular Cyst, ඇති වීම.
3. නිසරුභාවය.
4. වයස්ගතවන විට ගර්භාෂගත මෙම තත්ත්වයන් වැඩි දියුණු වීමෙන් ගර්භාෂයට හානිවීම නිසා එය ඉවත් කිරීමට සිදුවීම.
5. කාන්තා සිරුරේ හැඩය හා ස්වභාවය වෙනස්වීම නිසා සිරුර අවලස්සන වීම.
6. අධික ලෙස සිරුර මහත් වීම.
7. වෙනත් රෝග රැුසක් ඇති වීමට හේතු වීම. (අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝ ප‍්‍රමාණය වැඩිවීම.)
8. ආර්තවහරණය කලින් සිදු වීමට හේතුවීම.

ප‍්‍රතිකාර.
නිසි ප‍්‍රතිකාර සිදුකරන අතර,
1. ශරීරයේ මහත අඩු කර ගැනීම.
2. ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වීම. ( එළවළු,/ පළතුරු,/ පලාවර්ග,/ ධාන්‍ය වර්ග වැඩිපුර භාවිතය.*
3. කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම නියමාකාරයෙන් තබා ගැනීම.
4. මනස සමබරව තබා ගැනීම.
5. ශාරීරික ව්‍යායාම නිසි පරිධි සිදුකිරීම.

Monday, December 12, 2011

ඌෂ්ණය කුමක් වැනී?

පසුගිය ටිකේ මම වැඩිය ජාලගත වුනේ නැහැ. ඒකට හේතු වූයේ මගේ පියාගේ තුන් මාසේ දාන කටයුතු යෙදී තිබූ නිසයි. හිතවත් සහෝදරවරුන් සොයුරියන් මා ගැන සොයා බැලූ බව මට දැන ගන්න ලැබුනා. ඒක මගේ හිතට බොහෝම හයියක් වුනා. මම මේ බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිත්‍රයන් ගනන බොහෝමයි.

ඉතින් නැවතත් ජාල ගත වෙන්න අවසථාව ලැබෙනවා. අද සිට බ්ලොග් ලෝකයේ මම ඉන්නවා.

සුපුරුදු ලෙස මම වැඩ.

අද මම කථා කරන්න හිතුවේ ඉතා වැදගත් මාතෘකාවක්. ඔබ දන්නවා මම කලිනුත් මම කථා කලා ශරීරයේ උෂ්ණය පිළිබඳව. මේ එහි දිගුවක්. අනෙක් කාරණය ඔබ මගේ ඒ කථාවේදී යම් යම් ප්‍රශ්න කිරීමක් කළා. මට තිබූ වැඩ නිසා එය ටිකෙන් ටික මඟ හැරුනා.

දැන් සූදානම ඒ ගැන නැවත කථා කරන්න. මම මුලින් මෙහෙම පටන් ගන්නම්. ඔබ දන්නවා, අපේ ගැමි ජනතාව පමණක් නෙමෙයි නාගරියක අය පවා කථා කරනවා ශරීරයේ ඌෂ්ණය වැඩි වෙලා වැනි දේ.

මොකක්ද මේ ඌෂ්ණය කියා අදහස් කළේ???

මෙතනදි මම මුලින්ම ඔබට මෙහෙම කියන්නම්. ඔබ දන්නවා ඇති, එහෙමත් නැත්නම්, මේදේ ඔබ ජීවිතේ එක දිනක් හෝ අත්දැකලා ඇති. ඔබට දැනිලා තිබෙනවද? ඔබේ ශරීරයේ මහා අපහසුකමක් ආහාර අප්‍රිය ගතිය, කම්මැලි බව, උණ සෑදීමට එන්නාක් බඳු හැගීම, ඇත්තෙන්ම යමේක් ඔබේ ඇඟට අත තබා ඔබට උණ නේද කියා ඇසුවත් උෂ්ණත්ව මානයේ ඔබට උණ සෑදී නැතිබව තහවුරු කරන බව. මෙන්න මේ දේවල් ඔබට දැනි ඇති ජීවිතයේ එක දිනක් හෝ. එසේ ඔබට හැඟී දැනී ඇත්නම් ඔබ ඌෂ්ණය පිළිබඳ යමක් අත්දැක තිබෙනවා.

මුලින්ම කියන්න ඕනෙ ඌෂ්ණය කියා කියනා දේ උෂ්ණත්වය (Temperature) හෝ තාපය (Heat) කියනා යෙදුම් වලින් හඳුනා ගත නොහැකියි. මම නම් මේ උෂ්ණය කියන පදය ලියන්නේ ඌෂ්ණය (Ushna) කියාමයි. වෙනත් භාෂාවකින් ලියූවත්, කොටින්ම මම මගේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (Research Papers) වලවත් කෙදිනකවත් ඌෂ්ණය ලෙස ලියනවා හැර එයට අදාල ඉංග්‍රිසි යෙදුමක යොදන්නේ නැහැ.

ඒකට හේතුව මගේ පිළිගැනීම නම් මෙය බටහිර විද්‍යාවට මෙතෙක් අසු වී නැතියමක්.

ඌෂ්ණය යන්නෙන් අදහස් කරන්නේ තාපයත් (Heat) නෙමේනම්, උෂ්ණත්වයත් (Temperature) නෙමේ නම් කුමක්ද මේ ඌෂ්ණය??

ඔබ දන්නවා වාහනයක් ගත්තහම එම වාහනයේ ක්‍රියාකාරීත්වයත් සමඟම එම වාහනයේ එන්ජිම ආශ්‍රිතව සහ ක්‍රියාකාරී කොටස් ආශ්‍රිතව ඉතා තදින් රත් වනවා ඔබ දැක ඇති. එම රත් වීම පාලනය කිරීමට වාහනයේ යම් උපක්‍රම යොදා තිබෙනවා. එසේ නොවුනොත් වාහනයේ සියුම් ක්‍රියාකාරී කොටස් වලට හානී වෙනවා. මේ යාන්ත්‍රනයම ජීවී ක්‍රියාකාරීත්වයකදීත් එසේම සිදු වෙනවා.

එනම් මනුෂ්‍ය ශරීරයේ ශක්තිය උපදවා ගැනීමට ආහාර නම් ඉන්දනය භාවිතා කරනවා. ආහාර අප ගන්නේ විශාල අණු වශයෙන්. එම අණු ඉතා කුඩා අණු බවටත්, එම අණු මගින් ශක්තිය නිපදවීමත් යන මේ සමස්ථ ක්‍රියාකාරිත්වයේදීම ශරීරය ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා. එම ශක්තිය වැය කිරීම් වලදී අප කලින් කථා කළ පරිදි ශක්ති හානියක් එසේත් නැත්නම් යම්කිසි ශක්ති නාස්තියක් සිදු වෙනවා. මෙතෙක් මිනිසා නිර්මාණය කළ සහ ස්වභාවය ධර්මයෙන් නිර්මාණය කළ කිසිම නිර්මාණයක් 100% ශක්ති පරිභොජන හැකියාවක් නොදැරීම මෙයට හේතුවයි.

වාහනයක මෙම ශක්ති පරිභෝජන පද්දතියේ යම් දුර්වල වීමක් ඇති වූ විට අප දන්නවා වැඩි ඉන්ධන ප්‍රමාණයකින් යා හැකි දුර සීමිත වෙනවා. නමුත් එහිදී වාහනයේ අදාල පද්දති නිසි තත්ත්වයට නැවත අළුත්වැඩියා කළ පසු එම දුර්වලතාවය මඟ හරවා ගත හැකිබව ඔබ හොඳින්ම දන්නවා. එයට අමතරව වාහනක් නම් නිසි තත්ත්වයෙන් එය නඩත්තු කලයුතුයි. එවිට අදාළ පද්ධති නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවා. එම නිසයි අපි කිලෝ මීටර 3000- 5000 අතරදී වාහනය යතාවත් කරන්නේ.

මනුෂ්‍ය ශරිරයත් ඇත්තෙනම යන්ත්‍රයක්. එහි ක්‍රියාකාරීත්වයටත් ඉන්ධන අවශ්‍යයි. ඒ වගේම එය නඩත්තු කළ යුතුයි. ඉන්ධන පරිභෝජන රටාවේ යම් වෙනස් වීමක් ඇතිවුවහොත් එය යතාවත් කළ යුතුයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව කියා කියන්නේ එයටයි. ඉන් සිදු කරන්නේ ශරීරය නම් යන්ත්‍රය යතාවත් කිරීම සහ නඩත්තු කිරීමයි.

වාහනයේ මේ රත්වීමට හේතුව එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීම හෙවත් ඉන්ධන දහනයේදී යම් ශක්ති ප්‍රමානයක් නාස්ති (Energy Wastage) වීමයි. මෙම නාස්තිවන ශක්තිය වාහනයේ එන්ජිම රත් වීමට යෙදවෙනවා.

එසේම ශරීරයේත් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීමේදී නාස්තිවන ශක්තියක් තිබෙනවා. එය ඌෂ්ණය ලෙසින් ශරීරය රෝගී කිරීමකට භාජනය කරනවා. ශරීරයෙන් ශක්තිය හානී වන ක්‍රමවත් රටාවක් පවතිනවා. ඉන් බැහැරව විශාල ලෙස ශක්තිය හානී වීම මෙහිදී අප ඌෂ්ණ ශරීරයක් ලෙස වරග කරනවා.

යමෙක් තම ශරීරයේන් දුම් පිටවන්නාක් වැනිදැනීමක් ඇතිවීම, අධික ලෙස කුස ගින්න නමුත් කොතෙක් කෑවත් ශරීර ශක්තිය නැති වීම, ක්‍රමයෙන් දුරවල් වීමක තමන්ට දැනීම, උදාසීන හැගීම දැනීම මෙවැනි දහසකුත් එකක් ලක්ෂන මෙහිදී ඇති විය හැකියි.

තවත් මෙහිදී යමෙක්ට අධික ලෙස ආසාත්මික රෝග ඇති වීමටද ඉඩක් තිබෙනවා. බටහිර විද්‍යාවෙන් මේ ආසාත්මික (Allergic) රෝග වලට කියන තවත් නමක් ලෙස ඌෂ්ණය හදුන්වනවා. නමුත් එය නිවැරදි නැහැ. එහිදී කිව යුත්තේ, ආසාත්මිකතාවය යනු ඌෂ්න ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක් පමණයි. මේ කාණ්ඩයටම වැටෙන තවත් එක් රෝගයක් තමයි අම්ල පිත්ත රෝගය එනම් ගැස්ට්‍රයිටීස් නමින් ඔබ හදුන්වන රෝගය මෙයත් ඌෂ්ණ ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක්.


මීලඟට බලමු ඌෂණයෙන් වලකින්නේ කෙසේද කියා. ගුරුමුෂ්ටියෙන් තොරව දෙන්නම් හැබැයි පස්සේ දවසක්.

Monday, December 5, 2011

කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්.

අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වටිනා බ්ලොග් අඩවියේ නොයෙක් වටිනා මාතෘකාවන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මෙවර අපිට නිතර අහන්න නොලැබෙන ඉන්දියාවේ යථා සවභාවය ගැන ලියූ ලිපිය මගේ මතකය බොහෝ අවධි කළ ලිපියක්. මේ කෙටි සටහන ලියවෙන්නේ එම අවධි වූ මතකයේ පියවරක් ලෙසයි.

මම මේ කියන්න යන කාරණාව ඔබ අසා ඇති. එහෙත් මට මේ ගැන ලිවීමට දැඩි ආශාවක් ඇති වූ නිසා මෙසේ සටහන් කර තබන්නම්.

ඔබ දන්නවා යම් යුවතියක් විවාහ වී අඹුසැමි සම්බන්ධතාවක් පැවැත්තූ පසු , එම සම්බන්ධතාවය නිසා ඇයගේ කණ්‍යාභාවය නැති වී යනවා. ගැහැණියක් බවට පත් වූ කාන්තාවකගේ ඊලඟ අරමුණ වෙන්නේ බොහෝ විට මවක් වීම. මේක තමයි ස්වභාව ධර්මයේ චක්‍රය.

නමුත් ඔබ දන්නවාද…………………...?

ඉන්දියාවේ සිටිනවා කාන්තාවන් කොට්ටාශයක් මොවුන් හැදින්වෙන්නේ දේවදාසියන් මෙතනිනුත් ඒ ගැන තව දැනගන්න පුළුවන්.)ලෙස. මොවුන්ගේ ඇති විශේෂය තමයි මොවුන් යම් යම් දේවාල වල සේවාවට කැප වූ අය. මොවුන් ඉතාමත් තරුණ වයසෙදීම තම දෙමාපියන් විසින් දේව සේවය සඳහා දේවාලවලට පූජා කෙරුණ යුවතියන්. මොවුන් තෝරා ගන්නේ හරිම අපූරු ක්‍රමයකට.

මුලින්ම මම මොවුන්ට අත්වන ඉරණම පිළිබඳව ඔබ දැණුවත් කරන්නම්. මේ කාන්තාවන් එදා දේව සේවයට බඳවා ගත්තත් ටික කලකින්ම මේ දේවාල වල සිටිනා වයසක කාමුක පූජකයන්ගේ මනදොළ පිරිමැසීමට මොවුන් යොමු කරනවා. ඒ සඳහා අදාල කාන්තාවගේ කැමැත්ත කිසි විටෙක වැදගත් වන්නේ නැහැ. මෙය එක්තරා ආකාරයක වහල් සේවයක්. මෙය නවීන සමාජයේ හැඳින්වෙන්නේ ලිංගික වහල්භාවය යන නමින්.

ඒ කෙසේ වුවත් මේ කාන්තාවන් පූසාරින්ගේ ආශාවන් ඉටු කිරීම යම් කලකට සිදු කළත් ඊටත් පසුව දේවාල හා සම්බන්ධකම් ඇති පොහොසත් මිනිසුන්ගේ මනදොළ සැපිරීමට යෙදවෙනවා. අවාසනාවන්ත ලෙස මොවුන් තම තාරුණ්‍යය අවසන් වන විට ලාභ ගණිකා වෘත්තියට යොමු කරනවා. අවසන ඉතාමත් අසරණව කෙටි කාලයකින් ජීවිතය අවසන් වෙනවා. කොතරම් ඛේදවාචකයක්ද………..?

අපරට ඇත්තෙන්ම මේ වැනි විකාර සමඟ බලත්දී සුරපුරයකම තමා.

ඉතා කුඩා දැරියන් ළමා මනාලියන් ලෙස විවාහ කරදී සැමියන් මළ පසු මේ ළමා වැන්දඹුවන්ද මේතත්ත්වයට පත් කරවනවා. ඒ ගැන අප රටටද කීර්තියක් අත් කර දෙමින් චිත්‍රපටියක් (Water) තිරගත වුනා. (මෙතනින් ඒ ගැන දැන ගන්න.)

මෙම සේවයට කාන්තාවන් තෝරා ගන්නේ අපූරු ක්‍රමයකට. ඒ තමා මේ කාන්තාවන් සියල්ල නොවුනත් යම් ප්‍රමාණයක් කණ්‍යාවක් වශයෙන්ම ගැබ් ගැන්නුනු අය වීම, (ඉන්දියානු සමාජයේ සමහර විට පවුලක දරිද්‍රතාවය නිසා ගැහැණු දරුවන් මෙලෙස දේවදාසියන් ලෙස දේවාල වලට පූජා කරන අවස්ථාත් තිබෙනවා. ඒ හැමගේ ඉරණම පොදු එකක්.)

ඇත්තෙන්ම මෙහිදී මට ඇවැසි වූයේ ඔබව මේ කන්‍යා ගැබ් ගැන් වීම පිළිබඳ දැනුවත් කරන්න.

මෙය විය හැකිද……...?

ඇත්තෙන්ම විය හැකියි. (ඔන්න ඒ පාර මේ ගැන අතුරු කථාවකුත් මතක වුනා. ඒකත් අදම කියන්නම්.)

අද ඉරිදා මේ කථාව ලියන්න ගත්තේ සෙනසුරාදා පාන්දර. කොහෙද ඊට පස්සේ අතවත් තියන්න බැරි වුනා. දැන් පටන් ගන්නම් නවත්තපු තැනින්.

මේ කන්‍යාවන් දරුගැබ් දැරීම කියන ප්‍රශ්නේ බටහිර විද්‍යාවත් එක්ක බොහෝම හැල හැප්පීම් ඇතිකල දෙයක්. මේ නිසා ඉන්දියානු යටත් විජිත යුගයේ නොයෙක් වාද විවාද ඇති වෙන්න පටන් ගැනුනා. මේ නිසා බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් මේ ගැන කළ පරීක්ෂණයකින් හෙළි වූ කරුණු ඉතාමත් විශ්මය ජනකයි.

එනම් මොවුන් මේ ගැබ් ගැන්නුනු කාන්තාවන් සමූහයක් ඇත්තටම ඔවුන් කන්‍යාවන්ද කියා බැලූ විට ඔප්පු වූයේ ඔවුන් සත්‍ය වශයෙන්ම කන්‍යාවන් බවයි.

දෙවනි වර මෙම විද්වතුන් පරීක්ෂා කළා ඔවුන්ගේ, මෙම සිද්ධිය සිදුවන කාලය. සමූහ වශයෙන් මෙවැන්නක් වීමට හේතුව, මෙම සංසිද්ධිය හා මෙම ජනයා අතර පවතින යම් යම් සිරිත් විරිත් අතර යම් සම්බන්ධයක් පවතිනවාද? වැනි විශාල තොරතුරු තොගයක්ම.

මින් ඔවුන්ට හැඟී ගියා. මෙවැන්නක් හැම විටම වන්නේ, හිංදූන්ගේ පූජනීය චාරිත්‍රයක් වන සමූහ වශයෙන් පැමිණ ගංගානම් නදියේ ස්නානය කරන සමයේ බව.
(මම ඔබට කියන මේ කථන්දරය ගැන තවත් විස්තර ඔබට බලා ගන්න පුලුවන් මෙතැනින්.)

මේ අනුව එලැබුනු නිගමනය වූයේ මේ චාරිත්‍රය හා මේ සංසිද්ධියේ යම් සම්බන්ධයක් ඇති බවයි. අනතුරුව ඔවුන් ගංගානම් නඳියේ ජලය පරීක්ෂා කලා. ඇත්තෙන්ම සත්‍ය හෙලු වූයේ එවිටයි. මේ ජලයේ මිනිස් ශුක්‍රාණු අඩංගු වී තිබුනා.

අධික සීතලකින් යුත් ගංඟානම් නඳියේ ජලයට පිරිමි බැස්ස විට නොදැණුවත්වම ශුක්‍ර පහ වී ඒවා ජලයට එකතු වීමෙන් ගසාගෙන ගොස්, ස්නානය කරන කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇතුලු වීමෙන් මෙය සිදුවන බවට මෙම විද්වතුන් උපකල්පනය කළා.

ශුක්‍රාණුවක් පැය හතරක පමණ කාලයක් සීතල ජලයේ ප්‍රාණවත්ව තබාගත හැකියි. ඒ වාගේම අධික සීතල ජලයට ඉබේ ශුක්‍ර පහවන තත්ත්වයකුත් ඇති වෙනවා. මේ ගැන මම විස්තර සොයද්දී මට දැන ගන්නට ලැබුනා. අපේ රටේ පැරන්නන් ජලය ස්නානය සඳහා ගංඟා තොටුපලවල් වෙන්කළ අපූරු ක්‍රමයක් ගැන, එනම් ඔවුන් හැම විටම පිරිමි නාන තොටුපළ සහ ස්ත්‍රීන් නාන තොටුපල වෙන වෙනම පිහිටුවනවා පමනක් නොවෙයි. මේ දෙකෙන් ස්ත්‍රීන් නාන තොටුපල හැම විටම ගංඟාවේ ඉහත්තාවෙන් පිහිටුවනවා. ඒ මේ සංසිද්ධිය නිසා නේද?
________________________________________________________________________

මම අර කලින් කිවු කථාව මේකයි. මේ සිද්ධියට මුහුණ දෙන්න මට සිදු වුනේ දැනට අවුරුදු 12 පමණ පෙරදියි. ඒ කාලයේ මම සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදියට රැකියාව කරන කාලේ. ගමේ හැම කෙනෙක්ම මාත් එක්ක හරි මිත්‍රයි. මේ ගමේ සිටි එක පවුලක සිටියා එක්තරා ගැහැණු ලමයෙක්. වයස මට මතක හැටියට අවුරුදු 18 විතර ඇති. ඒ ඒ ළමයාගේ උ/පෙ කාලේ. මේ ළමයා මිත්‍රවෙලා හිටියා ඒ ගමේම පිරිමි ළමයෙක් එක්ක. දෙන්නම මම හොඳින් දන්නා පවුල්වල ළමයි. දෙමාපියන් මගේ මිත්‍රයින්. නිතර මගෙන් බේත් හේත් අර ගන්නා පවුල්. එක් කාලයක් ආවා මේ ගැහැණු ළමයා නිතර ලෙඩ වනවා. කිසිම සනීපයක් නැහැ. මේ ළමයාගේ මව නිතර නිතර මා වෙත මැය රැගෙන එනවා. මට දැන් මේ ගැන පොඩි සැකයක් ඇති වුනා. මම පොඩි උපක්‍රමයක් යොදලා අම්මව පිටට යවලා, මගේ සාත්තු සේවිකාවක් සමඟ මේ ලමයාත් සමඟ පොඩි සාකච්ඡාවක් පැවැත්තුවා. මට මින් මගේ සැකය වැඩි වුනා. මේ දෙන්නටම (කොල්ලටයි, කෙල්ලටයි) හෙටත් අම්මලට නොකියා පැමිණෙන ලෙස දන්වා මම නිහඬ වුනා.

පසුවදා මේ යුවල මා හමුවට පැමිණියා. මුලින්ම ගැහැණු ළමයාගේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් ඇය ගැඹිනියක් බව මට වැටහුනා. මේ ගැන මේයාලව දැණුවත් කරලා, වෙන් වෙන්ව දෙදෙනාගෙන්ම ලබා ගත්ත තොර තුරු අනුව මොවුන් බාහිරව ලිංගික සංසර්ගයක යෙදීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ඇති වී ඇති බව මට වැටහුනා. මෙහිදී මට තේරුම් ගියා දැන් මම කරනා දෙයින් තමයි මේ ජීවිත තුන රැකෙන්නෙ කියන එක. මෙයාලට දැඩි විදියට අවවාද කරලා, දැන්ම අම්මලාට එන ලෙස දුරක්ථන ඇමතුම් ලබා දුන්නා. ඒ විගසම දෙමාපියන්ද පැමිණියා.

සිදු වී ඇති දෙය දෙපසටම තේරුම කර දීමෙන් පසු මට හෙටම මේ දෙන්නා විවාහ කර කසාද සහතිකය නොපෙන්නුවොත් මම දැඩි තීරණයක් ගන්නා බව පිරිමි පාර්ශ්වයේ දෙමාපියන්ට දැඩි ස්වරයෙන් පැවසීමෙන් තමයි ඒ ජීවිත තුනම බේරා ගන්නට කළ මගේ සටන අවසන් වුනේ. සියල්ල ඒ විදියටම සිදු වුනා.

ඇය උ/පෙ බාහිර අපේක්ෂිකාවක් ලෙස සම්පූර්ණ කලා. ඒ කාලයේම ඒ ළමයාට අන්තර් ජාතික පාසලක ගුරු තනතුරක් ලැබුනා. ලස්සන දරුවෙකුත් ලැබුනා.

අද හොදින් කොහේ හෝ ජීවත් වනවා ඇති.

Tuesday, November 29, 2011

ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!!

මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්.

තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ඉඳහිට උත්තමයින්ගේ හඬ ගිගුම් දුන්නද, අප සිටින්නේ හුදකලාවකය. එදා පාලකයන් අප ඇමකට හසුකරබව දන්නේ මෙතැන සිටිනා අහිංසකයිගෙන් කීයෙන් කීදෙනෙක්ද?

මාස කීපයක විශ්වවිද්‍යාල අත්දැකිම්මක් ඇති මට ඒ මනාව වැටහේ. සුවිශාල ගොඩනැගිලි අතර අප පමණක්ම තනි වී ඇත. අපේ ජ්‍යේෂ්ට සිසුන් හොරෙන් අප හමුවේ. රැග උපරිමයෙන් ඇතත් ඔවුන් කුමන හෝ බියකින් සැකයකින් සිටිනා බව අපට පෙනේ.

දින ගෙවී යනාතර මාර්තු 22 උදය වරුවේ අපට දේශන නැති අවස්ථාවක මාත් සමඟ තව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් කීපදෙනෙකු රැගට අසුවූහ. අප ජෝඩු වශයෙන් වෙන් කෙරුනු අතර මට ලැබුනේ මේදින කීපයේදී මගේ අවධානයට ලක් වෙමින් සිටි යුවතියකි.

මට මහා සතුටක් දැනේ………

මේ ලියනා මොහොතේදීද මසිතින් ඒ අතිතයට ගෝස් ඇති බව මට හැගේ. එදා මගේ යම් අතපසු වීමකින් වුනු වරදක් නිසා අප දෙදෙනාටම හති වැටෙන් තුරු යහමින් සැලකූහ. මුල සිටම මා පාලනය කිරීම ඔවුනට ප්‍රශ්නයක් වී ඇති බව මට දැනේ. ඒ මගේ කට කැඩුනු වදන් නිසායි. කොළඹ පාසැල් ගිය මා ඔවුන් සැලකූයේ ගමේ එකෙක් ලෙස නොවේ. බෞද්ධ නොවන පාසැලකට ගොස් තිබීමත් මගේ පරහටම සිටියේය. නමුත් භද්‍ර යෞවනයේ සිටි මට රැග ප්‍රශ්නයක් නොවීය. වැරදීමකින්වත් මට කියා නොසරුප් වදනක් නොකියවීමට තරම් ඔවුන් ප්‍රවේසම් විය. ඒ මගේ කට ඇරුණු කල මා නවත්වා ගැනීම ඔවුන්ට අසීරු වීමයි. මෝඩයෙකු සේ ලොවෙත් නැති කුනුහරප තොගයක් "මේ අයියා කියනා නිසා කියමි", යනුවෙන් මහ හඩින් කියා, දෙසා බෑම මට මහත්ම විනෝදයක් විය.

මුල සිටම මාගේ මේ සෙල්ලක්කාර ගතියට මටම සරිලන මිතුරන් කැලක්ද එක් වී සිටියහ. ඔවුන් අතර නිමල් ඔබ දැනටත් දන්නා මගේ මිත්‍රයා ප්‍රමුඛ විය. දැන් මා යනාත තීන්දු වී ඇත. අප ජ්‍යේෂ්ටයන්ටද එපා වූ අපත සෙට් එකක් බවට පත් වී ඇත.

නමුත් මේ සියල්ල තිබියදී එදා මා නිසා අමාරුවේ වැටුනු යුවතිය, කෙමෙන් මට සමීප වෙමින් සිටිනා වග මටද නොදැනීම සිදු වෙමින් තිබිනි. ඇය දිවා ආහරය ගැනීමටද, පුස්තකාලය කරා යාමටද, සවස ඇයගේ නවාතැන වෙත හැරලීමටද මාවම තෝරා ගත්තීය.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියත් අවසන අප්‍රේල් මස 6 හෝ 7 දිනක අප නොසිතූ ලෙස රටේ තත්ත්වය ඉතාම නරක අතට හැරිනි. ඒ නිසා මුළු විශ්වවිද්‍යාලයටම සිටි එකම ශිෂ්‍ය කණ්ඩායම වූ අපටද දින නියමයක් නොමැතිව නිවාඩු ලැබිනි. ඒ මහා නරක කාලයක් විය. අපගෙ මිතුරන්ට සිදුවන දේ අපට සිතා ගැනීමටවත් නොහැක. හවස අපත් සමග එකට සිටි එකා උදේට නැත. මාද මාරක කීපයකින්ම බේරිනි. කෙසේ හෝ වසර 2 අධික කාලයකට පසුව නැවත අප ගියේ අපේ කන්ඩායමේ අයට කුමක් සිදු වී ඇත්දැයි දැන ගැනීමේ දරුණු ආසාවකිනි. නමුත් ඇය මට ඒ නිවාඩු කාලයේද විටින් විට හමු වී තිබිනි.

කෙදිනකවත් අප ආදරය ප්‍රකාශ කර නොගත්තත් කාලය අපව පෙම්වතුන් කර තිබිනි. දැන් අප ගෙවන්නේ අපගේ දෙවන වසරයි. පලමු වසර ප්‍රතිඵල අනුව මට අනාගතයේදී යම් තැනකට අද්‍යාපනයෙන් පැමිණිය හැකි බවක් මා නම් තේරුම ගත්තේ නැත. මන්ද මම ඒ වන විටත් දැඩිව ශිෂ්‍ය දේශපාලන කටයුතු වෙනුවෙන් කැපව සිටීමයි. ඒ හරහා මම දේශන ශාලාවට වඩා පිටත ගත කරන කාලය වැඩි විය. සති ගනන් මාස ගනන් ගෙදර යාමත් මට කෙමෙන් අතපසු වෙමින් පැවතිනි. මේ සියල්ලේ අවසන මමද අනෙක් ශිෂ්‍යයන් මෙනම තවත් එක් දුර්වල ඉගෙනීමක් ඇති අයෙක් බවට පත් වෙමින් තිබිනි.

නැවතත් ඇය ක්‍රියාත්මක විය. මගේ සටහන් කිසිවකුටත් වඩා නිවැරදි සහ ක්‍රමාණූකූල විය. පාඩම් කිරීමේ පිරියක් එන ලෙස මාගේ සටහන් සැකසී ඇත. නමුත් මම මාස ගනනකින් සටහනක් ලියා නැත. ඇය සියල්ල සම්පූර්ණ කරයි.

ඇයට මාගේ දෙමාපියන් හමු වීමට ඇවැසි විය. මා ඇගේ දෙමව්පියන්ට හදුන්වා දීමට ඇවැසි විය. නමුත් පවත්නා දේශපාලන තත්ත්වය මා ඉතාමත් කාර්ය්‍යය බහුල කර ඇත. අවසන මා ඇයට අවනත වීමි. මගේ මවට ඇය හදුන්වාදීම මාගේ ජීවිතය තවත් වෙනස් කරන්නක් විය. කා සමඟත් ඉතා තදින් බැදීමේ හැකියාවක් ඇති ඇය මාගේ මව සමඟ බැඳි බැම්ම අදද එදා මෙන්ම බලවත්ය. මාගේ නැගනියන්, මලණුවන් ඇය අප පවුලේ වැඩිමල් අක්කා ලෙස පිළිගත්තාය. හැමට අදටත් ඇයට වඩා කෙනෙක් නැතිය. මගේ පියාගේ මරණ අවස්ථාවේදීත් පවුලේ සියළු කටයුතුවල නායකත්වය ඉබේම ඇයට පැවරුණු අන්දම මම බලා සිටියේ ඉතා උපෙක්ෂාවෙනි.

මම ඇයගේ මව්පියන් හමුවට කලින් ගොස් ඇතත් මෙවැනි ගමනක් යන ප්‍රථම වතාව මේය. ඇයගේ කීර්තිමත් පියා මාවැනි අයෙක් කෙසේ පිළිගනියිද? මා මෙලෙස ඔහුට හඳුන්වා දීම මගේ ජීවිත මිත්‍රයා ඇයගේ වැඩිමල් සොයුරා විසින් සිදුකරන ලදි. මා සිතූවක් සිදු නොවීය. පියාණන්ට මම තවත් අයෙක්ම පමනක් විය. ඔහු මගේ මිත්‍රයෙක් තරම් මට සමීප විය.

වසරින් වසර ගෙවී 1993 වසර පැමිනුන අතර අපගේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයන්ද උපරිම තලයකට පත් වී තිබිනි. ඒ වන විටත් අප වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ ගතකර තිබිනි. මේ වන විට, අප දෙදෙනා නොදන්නා කෙනෙක් නැති තරමට, යුවලක් ලෙස ප්‍රසිද්ධ වී ඇත. සියළු දෙනා දන්නා පරිදි ගෙවල් දෙකෙන්ම ආශීර්වාදය ලද එකම යුවල අප විය. එදා බැදි බැම්ම තවත් ශක්තිමත් කරමින් 1997 අගෝස්තු 22 අප යුගදිවියට එලබුනහ.

මේ කාලයේ මම නිසරු දේශපාලනය පැත්තකට දම තිබිනි. ඇය මට වසර ගනනක් කිව්දේ මටද දැනෙමින් තිබිනි. මම මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් විය. ඒ කාලයේ ඇගේ එකම ඉල්ලීම වූයේ මට නැවත ඉගෙන ගන්නා ලෙසයි.

නමුත් මට මා වෙත පැටවී ඇති මහා වගකීම වලින් පිටව යාමට නොහැකි විය. කෙසේ හෝ අප දෙදෙනාගේ දුව ඉපදී යම් කාලයක් අපට විදින්නට සිදූ වූ ගැහැට මම ඔබට කියා ඇත. ඒවායින්ද ක්‍රමයෙන් මිදෙමින් මම වෛද්‍යවරයෙක් ලෙස රටේ නමක් හදාගනිමින් තිබූ සමයයි මේ. ඇය මට මුල සිටම කියූ දේ දැන් මම කල්පනා කරමි. ඔව් මම ඉගෙන ගන්නවා. මගේ පොත් කියවීමේ රුචියටත් සරිලන එකම දේ නම් නැවත ඉගෙනීමට යොමු වීමයි. ඇයගේ ඒ බලකිරීම නොවන්නට මම අද තවත් එක් ආයූර්වේද වෛද්‍යවරයෙක්, එසේත් නැත්නම් වෘත්තීය සමිති සටන් බහුල ජීවිතයක් ගෙනයන තවත් එක වෛද්‍යවරයෙක්ම වීමට තිබිනි.

මා පාඩම් කිරීමට , නැතහොත් පොතක් කියවීමට ගිය විට කාලය මට ප්‍රශ්නයක් නොවේ. දින දෙක තුනක් වුවද එකම ඉරියව්වේ හිඳිමින් පොත් කියවීම මට අදද මහ දෙයක් නොවේ. මෙලෙස පොත් කියවීමට හෝ මගේ ඉහල අධ්‍යාපනයේ වැඩක් ඇති විට මගේ හැසිරීමෙන්ම ඒ කුමක්දැයි ඇය දනී. එතැන් සිට අපේ ගෙදර කිසිවකුට ශබ්ද කිරීම තහනම්ය. මම අතෝරක් නැතිව කොම්පියුටරය හා කරනා ගනුදෙනු ඇයට කිසිදා ප්‍රශ්නයක් නොවීය. මා කතරම් වෙලා ගොස් නිදාගත්තත් ඇයට එය ප්‍රශ්නයක් නොවේ. ඒ කාලයම ඇය නිදන්නේ මගේ එකම ඉරියව්වක් හෝ වෙනස් වුවත් දැනනා ලෙසයි. මම ඒ පුදුමය අත්හදා බලා ඇත. දැනටත් මගේ බ්ලොග් මිතුරන් කීපදෙනෙකුම දන්නා පරිදි ඇයට මගේ මිතුරෙක් පැමිණි විට යම් හඳුන්වා දීමක් කල පසු ඊලඟට තේ කෝප්පයක් පැමිණෙන බව මම දනිමි.

අද මම ඉතාමත් නිදහස් මිනිසෙකි.

ඒ ඔබ නිසාය.

මට කෙදිනකවත් යමක් ගැන පසුතැවීමට වී නැත.

ඒ ඔබ නිසායි.

ඔබ මට ලබා දුන්නේ ආදරයම පමනක් නොවන බව මම දනිමි. එය කුමක්දැයි හඳුන්වා දීමට මම පොහොසත් නොවෙමි.

ඔබට සුභ උපන්දිනයක්!

අයාලේ යාමට වැඩි ඉඩක් තිබූ මාගේ ජීවිතය රටට සමාජයට වැඩක් ඇති ජීවිතයක් කලේ ඔබයි.

ඔබ නැතිනම් මිහි පිට නැත මම්!!!!!

Friday, November 25, 2011

නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.)

රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ හිටියා බැචෙක් මෑන් රියල්ම ඩයල් එකක්. කිසි දිනක බ්ලොග් නොකියවන නිසාත්, ඌ දැන ගත්තත් මට ෂේප් කර ගන්න පුළුවන් නිසාත් ලියමි. අවසර නොගත්තෙමි. නමුත් කොල්ලා මට ලෙඩක් නොදාන බව මම දනිමි.

මෙයාට අපි නිමල් කියමු. ඇත්ත නම නම් නෙමේ. දකුණේ පොරක්. මගේ ජාති මිත්‍රයා අදටත්. කෙල්ලන් පේන්න බැරි ලෙඩක් තිබ්බා. අපි කට්ටියක් ගියත් නිමල් බසයේ වාඩි වෙන්නේ වෙනම සීට් එකක. ටික වෙලාවකින් කොහේ හරි ඉන්න කෙල්ලෙක් මුගේ ලඟට එනවා. පැණි හැලියට ඇඹලයො එන්න වගේ. ඒක නම් පුදුම පිනක් ගිය ආත්මේ කරපු.

මේකට වෙන්නේත් ඒ වගේම වැඩ. අපි මෙයාව පත්කලා ශිෂ්‍ය සභාවට. ඒ වැඩේ හරියටම කළා. හැබැයි අපේ ආයතනයේ ලොක්කො එක්ක රැස්වීමක් තිබ්බම නිමල් එතැනට ගියොත් ලොකු ලෙඩක්. මෙයා ගිය දාට අපේ ශිෂ්‍ය සභාවේ සභාපතිට වෙන වැඩක් නැහැ. මෙයා දිහා ඇහැ ගහන් ඉන්නවා.

ඔන්න දවසක් අපේ ශිෂ්‍යසභාවයි පාලක පංතියයි අතරේ පොඩි මීටිමක් තිබුනා. කට්ටියට මතක ඇති කාලයක් තිබුනා අර ආයූර්වේද ශිෂ්‍යයෝ මහා සටනක් කලේ 90 - 94 කාලේ අන්න ඒ කාලේ මේ. අපේ සමහරුනම් ඉපදිලාත් නැතුව ඇති. ඉතින් දැන් මේ මීටිම යනවා හෙන වලි. මමත් ඔය සභාවේ පොරක්, අපි දැන් අපේ මහාචාර්ය්‍ය තුමා එක්ක ගහ ගන්නේ නැති ටික විතරයි. මට එකපාරටම මතක් වුනා අපේ මිත්‍රයා වැඩි සද්දයක් නැහැනේ කියලා. බැලුවම පොර ඉන්නවා මීක් නැහැ, ඉන්නවා ලොකු කල්පනාවක.

එලියට ආවම තමයි වැඩේ තෙරුනේ, අපේ මෑන් අර මහාචාර්ය්‍ය තුමාගේ බත් එකට වැඩේ දීල අපි මරා ගන්න අතරේ. ඒ විතරක් නම් මැදෑ එතුමාගේ බත් ගේන ලස්සන පෙට්ටියයි, ඒක ඔතන ලෙන්සුවයි, කන හැන්දයි ඔක්කොම ගෙනල්ල. ඔන්න මෑන්ගේ වැඩ.

තව දවසක් මෙයා අර මහාචාර්ය්‍ය තුමාගේ කාර්යාලයට යන දුරකථන ලයින් එකට කටු ගහල වෙනම ලයින් එකක් හදල කෙලින්ම අපේ රෙස්ට් රූම් එකට දාල. දැන් දුරකථනය වැදිල විනාඩියකින් විතර අපේ එකෙක් ඉන්නවා ඒක උස්සන්න බලාගෙන. අපි දන්නවා අපේ කාර්යාලෙ අපිට විරුද්දව කරන කථා ඔක්කොම. මීටිමකට යනකොට අපි ලොක්කො කියන හැමදේටම ලෑස්ති වෙලා යන්නේ. ඇයි අපි දන්නවනේ කාරණා හැම එකක්ම කලින්ම.

මෙයාගේ ආදර කථාවත් ඒ වගේම තමයි. අපිට පහල වසරක කෙල්ලෙක් එක්ක සෙට් වුනා. කොටින්ම නිල නොවන පවුලක් තමයි. කෙල්ල ඉන්නෙම මුගේ කාමරේ. දෙන්නගේ වලි ඉවරයක් නැහැ. වලියක් වුනාම මේ කෙල්ල දුක් විදගෙන මූටත් එක්ක හදාගෙන එන බත් එක අපේ මෑන් කන්නේ නැහැ. මම අද කන්නේ නැහැ. මලත් කන්නේ නැහැ. ඔහොම කියලා යනවා හොස්ටල් එකට. කෙල්ල දුකෙන් ඇයි පොර කාල නෙමේනෙ ගියේ. මේකිත් කන්නේ නැහැ. අපිට හෙන වාසි අනුන්ගේ වලිය නිසා පත සයිස් බත් දෙකක්ම අපිට. අපිත් හරිම දුකෙන් දෙනවා වැඩේ. අපේ වෙද විදුහල ඉදිරිපිටම තියනවා පොඩි බත් කඩයක්.මෙයා කෙලින්ම හොස්ටල් එකෙන් පනිනවා පාරට අර කඩේට ගිහින් අස්සකට වෙලා හොඳ බත් එකක් කනවා. කාල ඇවිත් නිදියනවා, හත් අවුරුද්දක් කාල නැහැ වගේ. කෙල්ල අපි එහෙට මෙහාට වෙනකම් ඉඳලා හොඳ බත් එකක් බැදගෙන ආයිත් ඇවිත් කවලා, නාවලා, සිත් සතුටු කරලා යනවා, අපි එන්න කලින්ම. ඔන්න පින.

මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා ගමේ අපේ මෑන්ටත් ඕනෙම දේ ඒක. දෙන්නම දන්නවා. හැබැයි දෙන්නම ඒ ගැන කථා නැහැ. දවසක් මම යනව වෙදහාමිනේව බස් එකට නග්ගවන්න පිට කොටුවට. මෙන්න මෑන් ඉන්නවා පොඩි තේ කඩේක. මම දකින්නත් කලින්ම මට හස්ත මුද්‍රාවෙන් යන්න කියනවා. මගේ මොකෝ මමත් ගියා. මම නැවත යනකොට මෑන් මට කලින් ඇවිත්. වෙලා තියන්නේ කෙල්ලව බස් එකට ඇරලන්න ගිහින් මෙයාත්.එතකොට කෙල්ලගේ ගමේ කොල්ල කොළඹ ඇවිත්, ඉන්නවා දැකලා මේ මඟ හැරලා තියන්නේ. ඔන්න වැඩ. මෙහෙව් කොල්ලෙක් දැකලා තියා අහලවත් තියනවද?

එදා අපි බැනපු බැනිල්ලට වෙන එකෙක් නම් අදටත් මූණ බලන්නේ නැහැ. ඒත් මේකා හවසට එනවා "මචාන්" කියාගෙන.

අපේ වෙදහාමිනේගේ ගෙවල් ලඟමයි පදිංචිය. මගේ මාමණ්ඩිගෙන් තමයි පොඩි කාලේ ඉඳලම බෙහෙත් අරන් තියන්නේ. දවසක් අපේ මාමණ්ඩි බලනවලු මෙයා එහෙ ඇවිත් ගෙට එන්නෙ නැතුව කාර් එක ගාවට වෙලා ලේන්සුවක් අරගෙන එකම හරියක් පිහනවාලු. මාමණ්ඩි දන්න දෙයක් නැහැනේ එයා අහලා ඇයි ළමයෝ කියලා? එතකොට කිව්වලු නැ අංකල් මමත් පොඩි කාලේ ඉඳලම බේත් ගන්නේ මෙහෙන්නේ ඉතිං මගෙ සල්ලිත් මේ කාර් එකේ තියනවනේ කියලා. අපේ මාමණ්ඩි නැති වෙනකන්ම ඔය කෑල්ල කියමින් විනෝද වුනා.

තව දවසක් මුන් රස්තියාදුවක් යනකොට තේ බොන්න හිතිලා ඇවිත් අපේ වෙදහාමිනේලයි අහ. අම්ම ලොකු විස්කෝතු ටින් එකක් එහෙම ගෙනත් දීල, තේ හදනකම්. ඇයි වෙන්න බෑනාගේ මිත්‍රයෝනෙ. තේ එහෙම බීලා යන්න ලෙහෙස්ති වෙලා අහනවලු ඇන්ටි මට පොඩි සිලි මල්ලක් දෙනවද කියලා. අම්මත් කොහෙන්ද එකක් ගෙනත් දීල. කිසි කථාවක් නැහැලු. දාගත්තාලු අර බිස්කට් ටින් එකම සිලි මල්ලට. නෑ ඇන්ටි ඇන්ටි දුන්නට මේක ගෙනියන්න අමාරුයි. ඒකයි සිලි මල්ලට දාගත්තේ. තරහා වෙන්න එපා ඇන්ටි ටින් එකනම් එපා කිව්වලු. අම්ම අදත් කියමින් හිනා වෙනවා.

මෙයා ගැන හොඳම කෑල්ල එන්නේ දැන්.

හැමදාම අනුන්ට ගිනිගෙඩි දෙන පොරටත් දවසක් නියම වැඩක් වුනා. මෙයාට හැකියාව තිබ්බා ඕනෙම වෙලාවක අධෝවාතයක් පිට කරන්න. දවසක් කොල්ලො ඔට්ටුවක් අල්ලලා අදනම් එකපාරටම අධෝ වාතයක් පිට කරන්න බැහැ කියලා. මෑන් වැඩේ බාර අරගෙන. මම හිටියේ උඩ කාමරේක මේ සිද්ධිය වෙන්නේ පහල වැරැන්ඩා එකේ. අපි දැන් උඩ ඉඳන් බලා ඉන්නවා. අපි හිනා වෙන නිසා මෑන්ට නිකම් පරාදයි වගේ හැඟීමක් ආව. දන්න සෙල්ලම් දාල තැටමුව. මෙන්න දන්නේම නැතුව මළ පහ වුනා. මේක දැනුනා මෑන්ට කොල්ලො "ඊයා" කියමින් දුවන්න ගත්තා. පොර බැලුවා වටපිට කට්ටියම නහය තද කරන් ඈතට දුවනවා. මම එදා වගේ අසරණ මුහුණක් එයාගෙන් දැක්කේ නැහැ කවදාවත්.

එක පාරටම මෙයා නැමුන බිමට "නැහැ මචන්" කියලා අත් දෙකින්ම ගත්තා ඔක්කොම දිව්ව වැසිකිලියට. ඊට පස්සේ අපි මහ වෙලාවක් හිනා වෙලා අපේ දේශන වලට ගියා. මෙයා නැහැ. දවල් වෙන්න ඇරලා හෙමින් හෙමින් එනවා නේද. එදා නිමල් දකින අපේ ගුරුවරුත් නහය අතින් තද කර ගන්නවා.

එහෙම වෙලත් මේකගේ වැඩ නැවතුනේ නැහැ. කොහොම හරි නියම නමක් පට බඳුනා. "ගූ නිමා" කියලා.

අදටත් අපි ඒ නම තමයි පාවිච්චි කරන්නේ. දැන් නම් ලමයි ඉන්න තාත්ත කෙනෙක්. හැබැයි තාම අර සෙල්ලක්කාර ගති එහෙමමයි.

Wednesday, November 23, 2011

"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්.

දැන් ටික දවසක සිට අපේ කකාත්, මාතලනුත් තවත් අය කීපදෙනෙක්ම සමරිසි කථා ලිව්වනේ. ඔන්න මටත් හැදුන මේ සමරිසි ගැන හොයන පිස්සුව. දැන් මහ වැඩ ගොඩක් අස්සේ මේ ගැන හොයනවා. ඒ අස්සේ ලෙඩ්ඩු බලනවා. බ්ලොග් එකත් ලියන්න කොහොම කොහොම හරි කාලේ හොයා ගන්නවා.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් පොතක් වගේ හැම වෙලේම ලඟ තිබිය යුතු පොතක්. ලියලා තියන්නේ 6 හෝ 7 සියවස් වල ජීවත් වූ ඉන්ධුකර පුත්‍ර ශ්‍රී මාධවකර නම් පඬිවරයෙක්. විශාල ග්‍රන්ථයක්. මේ ග්‍රන්තය පිටු 1500 විතර විශාලත්වයකින් යුතුයි.

මේ ග්‍රන්ථයේ 742 පිටුවේ සිට 743 කොටසේදී සමරිසි අය ගැනත් යම් කිසි කෙටි සටහන් කීපයක් අඩංගුකර තිබෙනවා. මම මේ ලිපියේදී ඔබට පොතේ තිබෙන සංස්කෘත ශ්ලෝකවල සිංහළ අර්ථය පමණක් ලබා දෙන්නම්. ඕනෙම කෙනෙක්ට මෙම පොත බලන්න හැකියාවක් තිබෙනවා. අනිත් කාරණය මේ පොතේ අපි කථාකරන පරිච්ඡේදයේදී නොයෙක් නොයෙක් ආකාරයේ පුරුෂ ස්ත්‍රී රෝග ගැනත් සඳහන් වී තිබෙනවා. මම ඉන් සමරිසි අයට ගැලපෙන කොටස පමණක් කථා කරන්නම්.

මෙහි සඳහන් විවිධ රෝගවලින් සමරිසි ඛාන්ඩයට වැටෙන රෝග වන්නේ,


1. ආසේක්‍ය පුරුෂ.
පියාගේ ශුක්‍රවල වීර්‍ය‍ය (Quality) අඩු වීම නිසා, ආසේක්‍ය නමින් හඳුන්වන පුරුෂයා උපදී. ඒ මිනිසා අන් මිනිසෙකුගේ සප්තම ධාතුව (ශුක්‍ර) පරිහරණය මඟින් තම ලිංගික උත්තේජනය ඇති කර ගනියි. ( මෙයා එතකොට "ගේ" නේද?)

2. සෞගන්ධික පුරුෂයා.
යම් පුරුෂයෙක් මවගෙන් ලිංගික උත්තේජනයක් කුඩා කල (මේකෙ කියන විදියට නම් මව දරුවා කුසතුල සිටිත්දී අධික ලෙස ලිංගික ක්‍රියාවලට යොමු වීම.) ලබයිද? එම පුරුෂයා ඉතාමත් විකෘති වූ ලිංගික ක්‍රියා සිදු කරන්නේය. ( මේක ගේ, ලෙස්බියනුත් ඉන්නවා. විරුද්ධ ලිංගික කුමන හෝ ප්‍රශ්නයක් නැහැ. සමහර විට තිරිසනුන් සමඟ පවා මොවුන් සංසර්ගයේ යෙදෙනවාලු. ගැහැණු පිරිමි දෙගොල්ලම මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්.)

3. කුම්භීක පුරුෂ.
මේකෙන් කියවෙන්නේ ගුද ලිංගික සංසර්ගය ප්‍රිය අය ගැනයි. (ආයිත් ගේ නේද? මොහු ඇත්තෙන්ම නපුංසක වුවත් ලිංගික හැකියාවකුත් ඇති ඝනයට වැටෙන්නෙක්. මේ පොතේ කියන ආකාරයට නම් මේක ජානමය බලපෑමක්.)

4. ඊෂර්‍යක පුරුෂ.
කුඩා කල අතවරයට පත්වන පිරිමි ලමුන් එම ක්‍රියාව තම සිතෙහි තබාගෙන සිටීමෙන්, නැවත නැවත මතක් කිරීමෙන් සිදුවන මානසික විපර්යාසය නිසා මෙම පුරුෂයා ඇති වේ. මොහු නපුංසකයෙක් බවට පත් වේ. සුව කිරීමේ හැකියාව පවතිනවා. නිසි ප්‍රතිකාර, උපදේශන ප්‍රතිකාර ආදිය යෙදීමෙන් සුව වුවත් මානසික බලපෑම අනුව මොහුගේ අනාගතය තීරනය වේ.

5. ෂණ්ඪ පුරුෂ.
මෙම තැනැත්තා විකෘති කාම ආසාවන් ඇති අයෙකි. මවගේ හා පියාගේ ඩිමභ සහ ශුක්‍රාණුවල දුර්වලත්වයෙන් උපන් මෙම දරුවා කුඩා කල සිටම විකෘති කාම ඇසුරට පත් වේ. බොහෝ විට තම වෘත්තිය ලෙස ලිංගික කටයුතු වලට යොමුවේ. පුරුෂ නම් නපුංසකයෙකි. කාන්තාවන්, පුරුෂ මෙන් හැසිරෙයි.
මෙහිදී කාන්තාවක් නම් ඇය තදින් ස්ත්‍රී ඇසුර ප්‍රිය කරයි. (ඔන්න ලෙස්බියන්)

6. ද්වී රේතස ක්ලීබ පුරුෂ.
මෙම තත්ත්වයට හේතු වන්නේත් ජානමය විකෘතිතා. මෙයින් මතුපිටින් පෙනෙන ස්ත්‍රියක් ඇති වුවත් ඇයගේ ලිංගික කටයුතු පිරිමියෙක් මෙනි. ස්ත්‍රී ඇසුරට ලොල් වේ. හැම විට ඇසුරකදී පුරුෂයෙක් මෙන් ක්‍රියා කිරීමට බොහෝ කැමතියි. විවාහ ජීවිතයක් ගත කිරීමට අකමැතියි. තදින් ස්ත්‍රී ඇසුරට යොමු වුවොත් ඉන්මිදීමට නොහැකියි. (ලෙස්බියන්)

සුශ්‍රැත සංහිතාව අදට වර්ෂ 7000- 8000 පමන අතීතයේ ලියැවුනු ඉතා වටිනා ග්‍රන්ථයක්. මෙහි මෙම කරුණු ඉතාමත් විස්තරාත්මකව දක්වා තිබෙනවා. සුශ්‍රැත පිටු අංක 344- සිට 345 දක්වා මේ ගැන ලියැවී තිබෙනවා.
ඉහත අප කථාකල මාධව නිධාන ග්‍රනථය මෙම සුශ්‍රැත වැනි ග්‍රන්ථවලින් තොරතුරු එක්කර ලියන ලද්දක්. මාධවයේ කරුණු සුශ්‍රැතයේ වඩාත් විස්තරාත්මකව ලියැවී තිබෙනවා.

සුශ්‍රැතයට අනුව මෙම රෝග,

1. ආසේක, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක, නර ෂණ්ඩක, නාරී ෂණ්ඩක ලෙස මෙහිදී විස්තර වේ.

2. මාධවයේ සඳහන් ෂණඩ පුරුෂයා මෙහිදී නර හා නාරී ලෙස ස්ත්‍රී පුරුෂ ලෙස කොටස් දෙකකට බෙදා වඩා විස්තරාත්මකව දක්වයි.

3. ආසේක්‍ය, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක යන මොවුන් ශුක්‍රය ඇත්තවුන්ය. එනම් මොවුන් වඳ නපුංසකයින් නොවේ. දරුවන් උත්පාද කිරීමේ හැකියාව ඇත්තන්ය.

තවත් තොරතුරු විශාල ගනනක් සහ රෝග අවස්ථා ගනනාවක් සඳහන් වුවත් මම මෙතැනින් නවතිනවා.

මේ අනුව පේනවා, මේ සිද්ධීන් ලෝකෙ හැම තැනම තිබිලා තියෙනවා. යුරෝපයේම ඇති වූවක් නෙමෙයි. මේ සඳහන් කල අවස්ථා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉතාමත් අපහසුයි. ඒ කියන්නේ මේවා සමහරකට කල හැකි පිලියම් නැහැ.

සිත දියුණු කිරීම මෙවැන්නකට හොඳ පිලියමක් වුවත් මොවුන්ගේ මානසිකත්වය ඒකට මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ. හරිම කලබලකාරී සංවේදී මනසක් මොවුන් සතු වෙන්නේ.

අපි අපේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ දරුවො පොඩි කාලයේ පමණක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්න කලිනුත් අපි ඔවුන් ගැන හිතන්න ඕනෙ.......

එහෙම නේද..........?

Sunday, November 20, 2011

සුන්දර මාතර.

මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මාතර නම් අතිපෞරාණික නුවරයි. මගේ මව්පිය දෙපාර්ශ්වයෙන් මෙන්ම මගේ වෙද හාමිනේගේ පාර්ශ්වයෙන්ද මගේ අද වාසස්ථානය වෙලා තිබෙන්නේත්, මාතරයි. ඒ එසේ නමුත් අපි අපේ පහසුව තකා ජීවත් වෙන්නේ කොළඹ.

මම ගිය සතියේ මාතර පිළිබඳව කෙටි ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා. නමුත් මගේ ලිපි සීරීස් පටන් ගත්තට ඒවා ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම සිතා ගත්තා ඉතාම කෙටියෙන් මාතර ගැන ඒ ලිපියේ දෙවනි කොටස විදියට මේ අලුත් ලිපිය ලියන්න. මේක තුන් වැනි කොටසකට යනවද කියලා නම් මම තාම දන්නේ නැහැ. ඒවා ඉතින් එන එන හැටියට තමයි.

කොළඹ සිට කිලෝ මීටර 160 දකුනට යනවිට ලංකාවේ දකුණු වෙරල තීරයේ තමයි මාතර නගරය පිහිටා තිබෙන්නෙ. මාතර නගරයේ තිබෙන සුන්දර බවට මූලිකම හේතුව තමයි සුන්දර නිල්වළා නදිය නගරය හරහා ගලා බැසීම.

මුලින්ම අපි බලමු මාතර කියන නම හැදුනු හැටි.

උතුරු පලාතේ මන්නාරම නගරයට තමයි අපි මහතොට කියන්නේ. ඒ ප්‍රසිද්ධ වුනු හැටි. නමුත් ඇත්තටම කලින්ම මහතොට කියා හඳුන්වා ඇත්තේ මාතරටයි. දෙවනි පැරකුම් රජ දවස ලියා ඇති සෙල් ලිපියකින් කියවෙනවා මහාතීර්ථය නම් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් දෙවිනුවර ආසන්නයේ පැවති බව. මේ නගරයේ පාලනයට "මහපඬිතේ" නම් නිළධාරියෙක් රජයෙන් පත්කල බවත්, වරාය සංස්ථාවක් මඟින් නගරයේ පාලනද කල බවත් ඒ සෙල් ලිපිය අනුව අපට පැහැදිලි වෙනවා.

මතර නගරය මැදින් ගලා බසිනා නිල්වළා නදියෙන් එතෙරවීමට තිබුනා වූ මහ තොටක් නිසා මෙය මහතොට වූ බව තමයි වැඩියෙන්ම විශ්වාස කරන සාධකය වෙන්නේ. මාතර සිට කොළඹ දෙසට යත්දී තොටවල් කීපයක්ම හමුවෙනවා. ඒවා නම් ගිංතොට, වැලිතොට, බෙන්තොට, කළුතොට, සහ කොලොන්තොටයි.

දඹදෙනි රාජධාණී සමයෙහි මාතර පාලකයා ලෙස පැමිණි වීරබා මාපානන් විසින් මාපාපටුන ලෙස මේ නගරය නම් කෙරෙනවා. ඒ බව පරවි සන්දේශයේද සඳහන් වෙනවා. තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් මෙලෙස එය දක්වා තිබෙනව.

මාපා වීරබා කරවූ නමින් තමා
මාපා පටුන දැක යාගන් නොවී පමා

එම සංදේශයේම තවත් තැනක,

එම විට මඟට බැස යව මහතොට ගමට

ලෙසද, සඳහන් වේ. මින් එම නගරයේ එක් පසක් එනම් සමුද්‍රාසන්න පෙදේස මහතුට නමින්ද, අනෙක් පස එනම් දකුණු පස මහතොට ගම නමින්ද ව්‍යවහාර වූ බව පෙනී යනවා.

මයුර සංදේශයේද,

බල මදැතුන් මාතොට ඇත්හලේ නිලේ

යයි සඳහන් කරයි. ඈත කාලයේ ඉතා සටන්කාමී බටු ඇතුන් නම් විශෙෂ ඇත් වරගය මාතරට සුවිශෙෂී විය.
මේ අනුව මාපාපටුන, මාතොට, මාතොට ගම, යනුවෙන් මාතරට ව්‍යවහාර කර ඇතිබව පෙනේ.

පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයානන් විසින් මාතර නාමය මෙසේ විවරණය කර ඇත.
මාතොර- විශාල වරායක් පිහිටි නිසා,
විශාල බලකොටුව යන අර්තයෙන් මාලා තොට යන නම් ස්වදේශියකන් විසින් ව්‍යවහාර කෙරේ යනුයි.

1672 ඕලන්ද ජාතික බෙල්දෙයස් පූජකවරයා මාතුරෛ යනුවෙන් මාතර හඳුන්වා ඇත. එනම් තුරෛ යනුවෙන් හැඳින් වෙන්නේ ද්‍රවිඩ ඌරුවට තොට යන්නයි. 1744 හයිඩ් මදරන් නැමැත්තා මදුරෙ යනුවෙන්ද තම සටහන් මගින් මාතර හන්දුන්වා ඇත.

අද මාතර නගරය දකුණු පලාත් සභාවට අයත් විශාල නගරකි. එකල ද මාතර විශාල නගරක් බව අපට සධක ඇතිව කිව හැක. අද මාතර එක් මහ දිසාපති කොට්ටාශයකි. එය කඩවත් සතර, වැල්ලබඩ පත්තුව, කන්ද බඩ පත්තුව, ගඟ බඩ පත්තුව, වැලිගම් කෝරළය, මොරවක් කෝරළය යනුවෙන් කොටස් හයකින් සමන්විතය.

පුරාණ බෙදීම අනුව රෝහණ ප්‍රදේශයට අයත් මේ ප්‍රදේශය, මාතර දොළොස් කෝරළය, වැලිගම් දහස් ගමයයි ප්‍රධාන කොටස් දෙකකට බෙදී පැවැති බව කඩඉම් පොත් වලින් අනාවරණය වේ.


මාතර වසර පන්දහසක අතීත තතු දැනට සොයාගෙන ඇති අතර මාතර ප්‍රධානවම නාගයන්ගේ නගරයක් බව පෙනේ. ඉදිරි තතු පසුව බලමු. කෙදිනක හෝ විවේක ඇති විටක

Thursday, November 17, 2011

දුවේ ඔබ මගේ ප්‍රාණයයි.

මේ ලිපිය ඔබට ලියන්නට මම වසර 11 වැඩි කාලයක් බලා සිටියෙමි. මගේ දියණිය, ඔබ නොදන්නා අමිහිරි අතීතයක තතු අද මා ඔබට පවසන්නම්. මේ ලිපිය මගේ මිතුරු මිතුරියන් හා බෙදාගත්තත්, දනිමි ඔබ මගේ "වෙදගෙදර" රසිකාවියක් බව.

ඔබ මෙලොවට බිහි වූයේ ඔබේ මවත් මමත් නිසිකලට ඔබ වැනි අයෙක් අපට සිටියොත් යෙහෙකැයි සිතාගත් නිසාය. ඒ 1999 කාලයයි. එසේ ඔබ මෙලොවට ගෙනෙන්නට සිතා ඉතා කෙටි කලකින්ම ඔබ මෙලොවට එනබව අපට වැටහිණි. මම මගේ දිවියේ ඉතාම වැඩියෙන් සතුටු වූ දින කීපයෙන් එකක් වන්නේ එදාය.

කෙසේ හෝ ඔබේ මව සමඟ මට කිසි දිනක ඇයගේ සායන කටයිතු වලට යාමට නොහැකි විය. ඒ මම ඔබ වෙනුවෙන් ඔබ කිසිදා දැක නැති, මාගේ ඉතා මහන්සියෙන් තැනූ ව්‍යාපාරයටම කැප වී සිටි නිසාය.

කාලය ගත වී ඔබ මෙලොවට එන දිනය කෙමෙන් ලඟා වෙමින් තිබූ නිසා, අප පවුලේ, දැන් ඔබද දන්නා චාරිත්‍රයක් වන පිරිත් පිංකම සහ සාංඝීක දානය ඒ වසරේ අපි යොදා ගත්තේ 2000/04/30 වනදාටයි. ඔබගේ පැමිණීම වෙනුවෙන් අප ලක ලැහැස්ති වූයේ, එවන් පිංකමක් කර ඔබගේ පැමිණීමට ආශීර්වාද පතමිනි.

මේ කාලයේ මම එතරම් මුදල් අත ගැවසෙන්නෙක් නොවීමි. මා හරි හම්බ කල යමක් වෙතොත් මගේ කුඩා ව්‍යාපාරටම යොදවා ඉතා අපහසුවෙන් දිවි ගෙවීමි.

කෙසේ හෝ එදින පිංකම ඉතා හොඳින් අහවරකල මම කලින්ම කොළඹ බලා පැමිණුනේ මැයි දෙක සිට තවත් විශාල කටයුතු ගොන්නක් ඉටු කිරීමට තිබූ නිසයි. මැයි 01 උදේම කොළඹ බලා පිටත් වූ මාහට එකල අප විසූ නිවස ඉදිරියෙන් බසයෙන් බසින විටම බස්පොලේ මගේ ව්‍යාපාරයේ කළමනාකරු මා එනතෙක් නොඉවසිලිමත්ව රැදී සිටින අයුරු දැකගත හැකි විය.

කිසිම හේතුවක් නැතිවම ඔහු මාහට පැවසුවේ මට ඉක්මනින් නැවත මාතර පැමිනෙන ලෙස පණිවිඩයක් ලැබුනු බවයි. ඔහුව දැනුවත් කර තිබුනේ නැහැ, ඒ ඇයි ? කියා.

දියණිය, කිලෝ මීටර 160 පමන දුරක්, පැය පහකට ආසන්න කාලයක් පුරා මා ගමන්ගත් ආකාරය ඔබට කියන්නට තබා මටද ප්‍රශ්නයකි. මා ඒකාලයේ සිටියේ මෙලොව නොව අපායකය. මේ කාලයේ ජංගම දුරකථන වෙලඳ පොලේ තිබුනත් එතරම් භාවිතාවක් තිබුනේ නැති අතර මාහට එවැන්නක් නඩත්තු කිරීමට හයියක් තිබුනේද නැත.

කෙසේ නමුත් මගේ දඩුවම් කාලය නිමා කරමින් මාතර නිවසට පැමිනෙන මොහොතේ මට සිදු වූයේ මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නටයි.

ඔබගේ මව, මාමා (මගේ ප්‍රාණ සම මිතුරා), එකල ජීවත්ව සිටි ඔබගේ මාතර සීයා, අදද ඔබට ඔබගේ දෙවනි මව් වැනි ඔබගේ නැන්දා,(මෙකල නැන්දා ඔබගේ දඟකාර මල්ලී බලාපොරොත්තුවෙන් සිටි කාලයයි.) ඇතුලු කිසිවෙක් නිවසේ නොසිටියා. පමණක් නොව කිසිම දෙයකට නොසැලෙන මනසක් ඇති ඔබේ මාතර ආච්චි හෙවත් "අපේ ආච්චි" හඬමින් සිටියාය.

මට මේ කිසිවක් නොතේරේ. මගේ සිතටද කුමක්දෝ මහා පාලු මූසල සිතුවිල්ලක් ඇතුල් වී ඇත. මට වුවමනා හඬන්නටය. ඒත් මේ එයටද කාලය නොව. කිසිවක් දැනගන්නට නැත. ගෙදර කිසිම වාහනයක් නැත. කිසිවෙක් නැත. මා කුමක් කරන්නද??

මා රෝහලත් ගෙදරත් අතර දුර කීප ගමනක්ම දෙපයින් ගමන් ගත්තා පමනක් මට මතකයි. ඒ කොතෙක් වෙලාද කියා මට අදද අමතකයි. රාත්‍රියේ මට ඔබ සැන්දෑවේ, මෙලොවට පැමිණි බව දැණ ගන්නට ලැබිණි. නමුත් ඒ අතරම යමක් සිදු වී ඇත. සියල්ලන් මගේ ඒ සඟවයි.

ඔබගේ මාමා පැමිනෙන තෙක්ම මා කිසිවක් නොදැණ වුන්නාය. සිදු වී ඇත්තේ කිමෙක්ද?

ඔබේ මාමා මට කියූ පරිදි සිදු වී ඇත්තේ, ඔබ දින 20 පමණ කාලයක් තිබියදීත් ඉක්මනින් මෙලොවට පැමිණීමට තීරණය කර තිබීමයි. ඒ නිසා ඔබගේ මෑණියන් මා උදේ පිට වූ පසු රෝහල් ගතකර ඇත. මා නැවතත් මාතර එන අතරමඟදී ඔබ මෙලොවට පැමිණී ඇත. නමුත් සුන්දරව සැමරිය හැකිව තිබූ ඔබේ පැමිණීම එක්තරා නූගත් කාන්තාවකුත්, තම වගකීම නොදත් වෛද්‍යවරියකුත් නිසා අසුන්දර වීමට පාර කැපී තිබීමයි.

ඔබව මොලොවට පැමිණි මොහොතේම "මෙනින්ජයිටීස්" නම් රෝගය වැලදුනු බිලිදියක් හා එකට තබා තිබීමයි. ඔබ ඉතා කුඩාවට සිටි නිසාත් දින ගනනක් කලින් පැමිණි නිසාත් නොමේරූ දරුවන් තබන අංශයේදී වැරදීමකින් ඔබව එසේ තබා තිබී ඇත. ඔබේ නැන්දාද වෛද්‍යවරියක් බැවින් ඇය ඒ නොදකින්නට, අද ඔබ මෙලොව නැත. නමුත් ඒ වන විටත් ඔබට "ජිටරි" නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සියුම් වෙව්ලීම් තත්ත්වයත් රුධිරයේ සීනි ප්‍රමානය සීඝයෙන් අඩු වීමටත් පටන්ගෙන තිබිණි.

එතැන් සිට ඇරඹුනේ මහා සංග්‍රාමයකි. මා, ඔබේ මාමා නැන්දා ඇතුළු සැම දෙනා එකාවන්ව එම යුද්ධය පුරා මාස කීපයක් එක දිගටම කරගෙන් ගියාය. මා අත මුදල් නැත. දිනපතා මට උදේම ඔබේ "අපේ ආච්චි" යම් මුදලක් දෙයි. එම මුදල සවස් වන විට අවසාන වෙයි. කියා නිමකල නොහැකි මහා වේගයකින් අප වැඩ කලාය. ඔබව වෙනත් රෝහලකට මාරුකර ගැනීමට අපට අවශ්‍ය විය. නමුත් ඔබේ සිද්ධියෙන් තැතිගත් ඒ වෛද්‍යවරිය සතියකට නිවාඩුගෙන පිට වී සිටියාය.

අප කෙසේ හෝ ඔබව වෙනත් ලඟම රෝහලකට ගෙනගොස් එහි සිටි දැනට කොළබ ළමා රෝහලේ සිටිනා උතුම් වෛද්‍යවරියක් වෙත ඔබව බාරදුන්නාය. එහිදී අපගේ හිතවත් මිතුරු වෛද්‍යතුමෙක් තමාගේ නිළ නිවස අපට ලබා දීමට තරම් කාරුණික විය. එහි මාස කීපයක් ප්‍රතිකාර ලැබීමෙන් ඔබ කෙමෙන් සුවපත් වන අතට හැරිනි. ඒ මුළුකාලය පුරා මම මගේ ව්‍යාපාරය ගැන් කිසිවක් නොබැලූ අතර ඒ සියල්ල කලමනාකරු විසින් කරගෙන යන ලදි.

මාස තුනකට අධික කාලයක් උපන් දින පටන් රෝහලේම සිටි ඔබ අවසානයේ මාතර ගෙදරට පැමිණියාය. එතැන් පටන් ඔබට අවුරුදු තුනක් යනතෙක්ම අපේ සිත්වල ඔබ ගැන තිබූ බිය ඔබට කිසිදිනක කියාදීමට නොහැකියි මා දියණිය. කෙමෙන් ඔබද අනෙක් ලමුන් මෙන් වැඩෙනා බව අපට ඔබගේ ක්‍රියාකාරකම් තුලින් දැනුනත් ඔබ වෙනුවෙන් අවසාන් ස්කෑන් පරීක්ෂාව කල දිනතෙක් අපගේ හිත්වල ඇවිලුන ගින්න ඔබට කෙසේ තේරුම් කරන්නද. ඒ වන විට ඔබට වයස වසර පහකි.

දැන් ඔබ මාගෙන් නිතර අස ප්‍රශ්නයට පිලිතුරු ලැබුනු බව මම සිතමි. ඒ නිසා නැවත කෙදිනකවත් මට මල්ලියෙක් හෝ නංගියෙක් නැත්තේ ඇයිද කියා අසන්නට එපා. ඒ ඔබ වෙනුවෙන් අපේ කාලය වැය කිරීමට සිදු නිසා බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.

මගේ ඒ අමාරු කාලයේ අර කළමණාකරු අපේ ව්‍යාපාරය මා දස අතට ණය කාරයෙකු කරමින් නිමාවට පත් කර තිබිනි. මා වැටුනේ කබලෙන් ලිපට නොව අපායටය. එදින පටන් ගත් මගේ සංග්‍රාමය දැන් මම අවසන් කර සිටිමි. හෙට මා මලත් ඔබට ජීවත් වීමට දේ මා සොයාතබා ඇත.

අද ඔබ වැඩිහිටියෙකි. යෞවණියකි. මා දැන් ලොකු මහත් වූ ගෑණු දරුවෙක් සිටිනා පියෙකි.

ඔබෙන් මා ඉල්ලන්නේ එකම දෙයක් පමනයි. ලෝකයට වෛරකරන්න එපා. හැම දේ වෙන්නේ හොදටයි.

මිනිසුන් හිතා මතා වැරදි කරන්නේ නැහැ.
ඒ නිසා මිනිසුන්ට ආදරේ කරන්න.

"මිනිසුන් අතර මිනිසෙක් වෙන්න."

Tuesday, November 15, 2011

කාරුණික ආයාචනයක්, වනිතාවනි ඔබටයි!!

මම අද ඔබට පැවසීමට යන්නේ, ඉතාමත් අනුවේදණීය කථාවක්. මෙවැනි දෙයක් ඔබත් සමග දෙඩීමට මගේ තුන් හිතකවත් නොතිබිනි. නමුත් ඊයේ රාත්‍රියේ සිදු වූ හදිසි සිද්ධියක් නිසා මේ ගැන මිනිසුන් දැණුවත් කිරීමට බැරිදැයි මගේ වෙදහාමිනේ ඉල්ලූ නිසාත් මම මෙය ඔබට කියමි. මගේ කථාව වෛද්‍ය ආචාර ධර්ම අනුව නම් මෙසේ පැවසීම එතරම් සුදුසු නැති බවද මම දනිමි. නමුත් පැවසිය යුත්ත පැවසිය යුතුය. එයින් ඔබට යහපතක් වේනම් මට ඒ සැනසීමකි.

මම මුලින්ම මේ කථාවට පාදක වූ සිද්දිය පවසා සිටින්නම්.

වෙලාව රාත්‍රී 9.30 පමණ. ස්ථානය මගේ වෛද්‍ය මධ්‍යස්ථානය.
හදිසියේ දුරකථනය නාද විය. අනෙක් පසින් කථා කලේ මා ඉතා හොඳින් දන්නා හදුනන රජයේ ඉහල පරිපාලන ක්ෂේත්‍රයේ කාන්තාවකි. ඇය බොහෝ දක්ෂතා ඇති ඉතාමත් තරුණ වියේ කාන්තාවක්. ඇය විවාහ වී දැන් ටික කලක්. නමුත් තවමත් ඇයට දරුවන් නැහැ.

දැනට සතියකට කලින් ඇය හමු වූ විට මට දැණුනේ මෙවර ඇයට එම වාසනාව ලබා ගැනීමට හැකි බවයි. ඒ වනවිටත් ඇයගේ මාසික ඔසප් දින ගනනාවකින් පමා වී තිබුනා. ඇය රාජ්‍ය සේවයේ ඉහල රැකියාවක් කලත් ඇයත් තවත් එක් කාන්තාවක්. සියළුම කාන්තාවන් මෙන් ඇයට ඇගේ දරුවෙක් අවශ්යයි. ඒ නිසාම ඇය ඒ විෂයේදී හරිම සංවේදීයී. ඉතා පොඩි දෙයටත් කලබල වෙන ස්වභාවයක් ඇගේ තිබුනා. ඒ නිසා මම හැම විටම ඇයත් එක්ක ගනු දෙනු කලේ ඉතා ප්‍රවේසමෙන්. ඇගේ සිත නොරිදෙන පරිදි කටයුතු කරමින්. මේ වතාවේ ඇගේ නියම තත්ත්වය ඇගේ සැමියාටත් ඇයටත් ඉතා කාරුණික අන්දමින් දැණුම දුන්න. විශාල කාලයක් ගෙන ඇවැසි උපදෙස් දුන්නා.

ඒ අතරයි මැගේ මේ ඇමතුම. ඇයගේ පරීක්ෂණ සඳහා අප දින නියම කරගෙන සිටියේ මේ සතියේ.

මෙන්න ඈ කියූ ඇගේ ඒ කථාව.

ඈ ඊයේ හදිසියේ කිසියම් උත්සවයකදී මුණ ගැසී තිබෙනවා ඇයගේ කාර්යාලයේ පෙර රාජකාරී කල කාන්තාවක්. එම කාන්තාව සියළු දෙනා අතර ප්‍රසිද්ධ වෙනත් අයගේ ඕපාදූප කියන හොයන කෙනෙක් ලෙස.

කෙසේ හෝ මේ කන්තාව ඇගේ පැරණි ප්‍රධානියාට බොහෝ ලෙන්ගතු කෙනෙක් ලෙස තමයි රඟපාන්නේ. මීට මාස කීපයකට කලින් තමයි මේ කාන්තාවගේ වර්ථමාන ප්‍රධානියා විවාහ වී ඇත්තේ. මේ මගේ රෝගීයාත් අර ඕපාදූප කාන්තාවත් කියන දෙන්නම මේ විවාහ මගුලටත් සහභාගී වී තිබෙනවා.

දැන් මේ කාන්තාව මගේ රෝගියා දුටු විට මහ සෙනගක් ඉදිරිපිට ඇගේ නිළය ගැනවත් නොසිතා එක විටම,
අනේ මැඩම් මැඩම්ට තමයි බැරි වුනේ බලන්න අපරාදෙනේ අපේ බොස්ගේ මැඩම්ට නම් දෙන් හරි මාස දෙකක් වෙනවා .......ආදී වශයෙන් නොයෙක් ඕපාදූප ගොන්නක් කියා තිබෙනවා. ඇයගේ මේ කථා අසා සිටි අනෙක් අයත් එක් එක් උපදෙස් දෙන්නත් කාලය කා දැමීමෙන් වන හානිය ගැන දැණුවත් කරන්නත්, තව කට්ටියක් ඇගේ ස්වාමියාට විහිළු කරන්නත් මේක අවස්ථාවක් කරගෙන තියනවා. මෙහිදී මගේ රෝගියා හා ඇයගේ ස්වාමි පුරුෂයා ඉතාමත් අපහසුතාවයට පත් වී තිබෙනවා. ඒ වගේම ඔවුන් බොහෝම මානසික කඩාවැටීමකටත් ලක් වෙලා.

ඔබ දන්නවද අවසන් ප්‍රතිඵලය.................. එදාම ඇගේ ඔසප් සෑදීම.

බලන්න තැන නොතැන නොබලා කථා කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය. මානසිකව වැටී සිටින එවැනි අයට සැලකීමේදී යම් කිසි පිලිවෙලකට ඔවුන් ඇමතීම ඉතාමත් වටිනවා.

මම කියන්නේ නැහැ ඇය මෙවර ගැබ්ගෙන සිටියායි කියා. එසේ වීමට යම් ඉඩක් තිබුනා.

හොදින්ම තේරුම් ගන්න මෙවැනි අය ඉතා සංවේදීයී. සමාජයට එන්න බයයි. ඒ ඔවුන්ව පෙලන මෙවැනි කාන්තාවන් නිසා. මම සියළුම කාන්තාවන්ට දොස් කියන්නේ නැහැ. ඉතාමත් බුද්ධිමත් අයුරින් මෙවැනි අවස්ථාවල කටයුතු කරන කාන්තාවන් මට අනන්තවත් හමු වී තිබෙනවා. මෙවැනි අයත් ඒ අතර සිටිනවා.

මෙය ඉතා සුළු සිද්ධියක් ලෙස හැගුනත්.......ඔබ් ඊයේ ඔවුන් දෙදෙනාගේ අදෝනාව අසා සිටියානම් නිසැකවම මම දන්නවා ඔබට ඇතිවන හැඟීම.

වනිතාවනි සිතන්න මේත් ඔබගේ සොයුරියක්. ඇයගේ ප්‍රශ්න ඇය විසදාගනී. යම් උපදෙසක් දීමට ඇතොත් යම් හෝඩුවාවක් දීමට ඇතොත් තැනට සුදුසු ලෙස හෙමින් සිත නොරිදෙන ලෙස කියන්න. ඇත්තෙන්ම එහෙම අය අනන්තවත් ඉන්නවා.


ඔබම සිතන්න.

(ඉතා හදිසියෙන් ලියූවක් බැවින් නොයෙක් වැරදි ඇතොත් සමාව භාජනය කරන්න.)

Sunday, November 13, 2011

මාතර බසේ අපූරුව.

අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්‍රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ග්‍රන්ථයෙනි.

හින්නිකිතර යමක් ඔබට පවසන්නේ භාෂාව ගැන මාගේ දැණුම සීමිත බැවිනි. මා කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. තවද මට මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.

පෙර ටික කාලයකට කලින් විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද අපේ විශ්වවිද්‍යාල සමයේ ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. මගේ දැනුමේ හැටියටද එය යම් සත්‍යයක් ඇත්තකියි සිතෙනුයේ මාතරදී "මොකටද" කියා මාද අසන්නේ නැති බැවිනි.

ඔබ මට මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් ලියනා මේ ලිපියේදී ඔහේ යනුවෙන් ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේම වන්නේය.

හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ.

ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර ඇත්තන්ට සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි.

ඔහේලා කොළඹදී බත් උයනවා නේද? නමුත් මාතර දී බත් උයන්නේ නැත. මෙහිදී බත පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.

කොළඹදී අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කොළඹදී කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. කොළඹ පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට මම කවදත් ආසා ඇතත් මාතරදී මට ලැබෙන්නේ මායමය.

සූතිකාවන් හෙවත් දරුවන් වැදූ පිටම කාන්තාවන්ට දෙනු ලබන හොද්ද කොළඹදී තැම්බුන් හොද්ද වන විට මාතරදී එය කායම් හොද්ද නැතහොත් මායම් හොද්දයි.

ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.

මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.

මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් රහිති, උදැල්ලෙන් අහිති. කඩදාසි කරදාසි බවට මාතරදී පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.

මාතරදී මයිනා ගොන්කවඩියා වන අතර තණ කොළ පෙත්තා කොම්බුට්ටා බවට පත් වේ.

මාතර මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. මාතරදී දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. ඒ මාතර දී පමණය.

මගේ වෙද හාමිනේගේ පියා ජීවතුන් අතර සිටිත්දී සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම කාරියක් වූයේ අසල් වැසි ගෙවල් අලෙයි කරන්නට යාමයි. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තම ගෙය අලෙයි කර ගන්නට එතුමාවම නිති පතා කැදවූහ.


මාතර මව්න්ගේ ඇති ගුණයක් නම් මව්වත්කමයි. ඒ අතින් කාටවත් ඔවුන් පරාද නොවන බව මම නම් අත්දැකීමෙන්ම දනිමි. ඒ මාගේ වෙද හාමිනේගේ මව නිසාය. ඇය මට ඒ තරමට ලෙන්ගතුය. ලෙන්ගතු බවද මාතරදී දැකිය හැක්කකි. මේ සියල්ලටම හරියන්නට අලුකුත්තේරුවන්ද මාතර සිටිති. ඒ කවුදැයි මට වඩා හොඳින් මාතර මිනිස්සු දනිති. ඒ වැන්නන්ගේ කටකමිස්සිරියාව දැකිය හැක්කේ ඡන්ද කාලයටයි. හැබැයි විපක්ෂයට වැටුනොත් නම් ඔවුන්ගේ කටකමිස්සිරියාව නැති වී යයි. එවිට නැවත ඔවුන් කුරුන්ද කුරුන්ද ඊලඟ ඡන්දය එනතෙක් බලා සිටිති.

Tuesday, November 8, 2011

අපි වෛද්යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද?

වෙද ගෙදර මේ දිනවල ලෙඩ්ඩු පිරිලා. ඒ මදිවට වෙදනා ලොකු ඉස්කෝලෙටත් යනවනේ. ඉතින් එතැන ඉන්න ගුරුවරු වෙදනට ගෙදර වැඩ ගොඩක් දීල නිසා දැන් ටික දිනක ඉඳලා වෙදනා වැඩ, වැඩ, වැඩ, අපෝ තව ටික දවසකින් ගෙදරිනුත් පන්නනවා.

අද මම ලියන්න යන්නේත් මගේ අත්දැකීමක් හැබැයි මේක සිදු වුනේ මේ ඊයේ පෙරේදා.

ඔන්න දවසක් ඉතාම ලස්සනට ඇදගත්තු නෝනෙකුයි, එයාගේ මහත්තයයි දෙන්න දෙමාල්ලො ආවා පොඩි ලෙඩකට බෙත් ගන්න. පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒත් පොඩි ලෙඩක්. දැන් දෙන්න තරගෙට කථාව. කලින් බේත් ගත්ත තැන්, ඒ තැන්වල වෛද්‍යවරු කරපු මෝඩ වැඩ. මම ටික වෙලාවක් අහන් ඉඳලා මෙයාලගේ කථා තරගෙ අස්සෙම ඇහුවා

"දැන් මේ අය මෙච්චර බේත් ගන්න ගියානම් ඇතිනෙ මහ ගොඩක් වෛද්‍යවාර්ථා ගමුකො බලන්න මටත්"

ඔන්න දැන් දෙන්න කථාව නැවැත්තුව. මුහුණට මුහුණ බලා ගත්තා.
මෙයාල කියනවා.

"අනේ අපි හිතුවේ ආයූර්වේද නිසා ඒවා වැඩක් නැහැ කියලා"

මම "එතකොට ඔය අය ගියේ මේ ශරිර අරගෙන නෙමේද? දැන් ආවේ ආයූර්වේද ශරීරයෙන්? එහෙම නේද? එහෙනම් අපි ගමුකො ඔය වාර්ථා නැවැත. ඒකට යනවා ගෙඩි රුපියල් 25000/= විතර. මම බැලුවේ කලින් ඒවා තියෙනවනම් අත්‍යාවශ්‍යම ටික පමණක් ගන්න."

දැන් දැන ගත්තා වැඩේ වැරදුනා කියලා. ඇයි දෙයියනේ අපේ කොහෙද එක එක වෛද්‍ය ක්‍රමයට වෙන වෙනම පරීක්ෂා කොරන්න පහසුකම්. තියන එකෙ ඔක්කොම කරලා වැඩේ ගොඩ දාගන්න එක වෛද්‍යවරයාගේ වැඩක්. රෝගියාට තේරුම් කර දෙන්න ඕනෙ.

කොහොම හරි දින දෙකකින් මෙයාල ආවා මහා සංසාර සාගත මල්ලක් අරගෙන. මට හිතුනා කරපු මෝඩකමක් කියල. ඇයි? දැන් බලාපල්ලකො ඔය මහා මල්ලම.

ඒ සැරෙ කරපු මෝඩකමට සරියේ කියලා ගත්තා මහ මලෙන් ඔක්කොම වාර්ථා එලියට.

එතකොටනේ වැඩේ දැක්කෙ. මෙතැන තියන්නෙ වෛද්‍ය වාර්ථාම නෙමේ. මට පලවෙනියට අහු වුනේ කිලිටි හංකඩ ගැහුනු ලේන්සුවක්. තිබ්බා පැත්තකින්. ආයිත් දැන පිලිවෙලට බලනවා. මෙන්න එනවා කොපි පොත් වගයක්. ඒකත් වෛද්‍යවරයාට වැඩක් නැහැ. ඊට පස්සේ තිබ්බා වාර්ථා කීපයක්. ආය්ත් බස් ටිකට්. හොඳම වැඩේ කියන්නේ එක පාරටම මල්ලෙන් වැටුනා මොකක්ද කොලයක්. රෝස පාට මේක දැක්ක විතරයි දෙන්න කලබල වෙලා ඇදලා ගත්තා. ඒ ටිකට මම දැක්කා උකස් කියන නම. මට හිතුන දේම ඔබටත් හිතුනනේ.

මේක මම ලියන්නේ කාටවත් උපහාස කරන්න නෙමේ. හිතන්න ඔබට පසු තව කී දෙනෙක් ඉන්නවද වෛද්‍යවරයා මුණ ගැසෙන්න. අපි හිතන්නේ නැති දයක් මම ඔබට කියන්නෙ. අපි හැමවෙලේම

සමහර නොනලා එනවා මේකප් තට්ටුව හූරන්න පොල්ලෙල්ලක් ඕනෙ. හැබැයි අවශ්ය කරන දත්ත, ලෙඩේ ගැන විස්තර මුකුත් නැහැ. කාන්තාවගේ ඔසප් දිනය ඇහුවම මහත්තයාගේ මූණ බලනවා. මහත්තයා මතක් කරනවා. අර අපි පොලේ ගියේ. නැහැ අනේ නැන්ද හම්බු වෙන්න යත්දිනේ. මතක්ද. අපි ඉතින් අහන් ඉන්න ඕනෙ. මම ඕකට කරනවා හොඳ වැඩක් මගේ ලඟ තියනවා මේස දින දර්ශනයක් මම දෙනවා නෝනා අතට ඕක. කොහොමත් විනාඩි ගානක් යනවා වැඩේට.

තව කට්ටියක් ඉන්නවා එනව තමන්ගේ ජංගම දුරක්ථනයෙන් හෝ ගාල කථාව. මම නම් කෙලින්ම දැම්මා එලියට.

මම මේ කියන්නේ මගේ මිතුරු මේක කියවන අයටවත් යම් රෝගයකට බෙහෙත් ගන්න යත්දි වෛද්‍යවරයාට පහසු කරවන්න ඔබට ලැබෙන ප්‍රතිඵල විශ්මිතයි. වෛද්‍යවරයාට අභියෝග දෙන්න එපා. එහෙම කියන්න හේතුව මට මුණ ගැසී ටිබෙනවා සමහර රෝගීන් එයාල හිතන්නේ අපිට දිව්‍යඥ්ඤාණය තියනවා කියලා. සම්මජ්ජාතියේ ලෙඩේ නම් කියන් නැහැ. වෙන වෙන වැල් වටාරම්. හරියට පුළුවන් නම් හිතා ගනින් කියන්න වගේ.

තව සමහරි ඉන්නවා එලියේ ඉන්නකම් හදිස්සියි, අයිතිවාසිකම්, සල්ලි ගෙවලා එන්නේ කථා ගොඩයි. හැබැයි ඇතුලට ආවම එලියට දමා ගන්න දුම්මල ගහන්න වෙනවා.

මම ඔබට කියන්නේ ඔබගේ ලෙඩට බේත් ගන්න යනව නම්, වෛද්‍යවරයාගේ දැණුම, කරුණාව වැඩියෙන් ලබා ගන්න මේ ක්‍රම පරීක්ෂා කරලා බලන්න.
1. තමන්ගේ කථාව කෙටියෙන් ලස්සනට හදා ගන්න.
2. එම රෝගයට කලින් බෙහෙත් අරන් තිබේ නම් ඒ විස්තර.
3. කලින් ගත් වෛද්‍යවාර්ථා දින අනුපිලිවෙලට.
4. වෛදවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න.
5. තන්ගේ වැදගත් දිනයන්. කාන්තාවක නම් ඔසප් සෑදුන දින ආදිය ලියා ගත් කොලයක්.
6. ඖෂධ සඳහා එම රෝගියා යම් ආසාත්මිකතාවක් දක්වන්නේ නම් ඒ විස්තර.


මේ ආදී ලෙස පිලියෙල වී යන්න. එවිට වෛද්‍යවරයගේ කාලයත් තමන්ගේ කාලයත් ඉතිරි වෙනවා. ඒ වගේම තමන්ට හොඳ සේවයක් ලැබෙනවා.

Saturday, October 29, 2011

සුදු මිනිස්සු සහ කළු මිනිස්සු.

මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයට සැරසෙන මුල්ම කාලේ මේක වුනේ. මේ සිද්ධියට මුහුණ දුන්න යුවල එයිටත් වසර ගනනාවකට කලින් සිටම හොදින් මාව හදුනනවා. මම වසර 1997 මගේ වෛද්‍ය ජීවිතය ආරම්භක කාලේ සිටම සම්බන්ධකම් පවත්වාගෙන ගිය පවුලක්. මේ පවුලේ කුඩා දරුවන් තුන් දෙනෙක් හිටියා. මට මතක හැටියට බාලම ලමයාට වයස ඒ කාලේ අවුරුදු 3 - 4 විතර ඇති.

මේ අයට තිබූ අඟ හිගකම් බොහෝමයි. ඉතාම අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තා කිව්වොත් හරි. ලමයින්ගේ සුළු සුළු ලෙඩට මම සමහර විට බෙහෙත් දෙන්නේ මුදලක පවා නොගෙන. පියා කරන්නේ රියදුරු රැකියාව. විවාහය සිදුවෙලා තියන්නේ, වයස අඩුවෙන්. කොටින්ම මට හිතෙන්නේ බාල වයස් විවාහයක් කියලා. ඒත් මට නියම වයස දැන ගන්න වුනේ නැහැ. ඒ දෙමාපියන් මම කිසි දිනක ලෙඩ වෙනවා දැක නැහැ. දරුවන්ට වුවත් තිබ්බේ පොඩි පොඩි සෙම අමාරු, බඩරුදාව වැනි දේවල්.

ලමයින්ගේ බඩ පුරවලා මේ දෙන්න දෙමාල්ලො හිස් කුසින් ඉන්න ඇති අනන්තවත්. මමත් සමහර වෙලාවට නිශ්චිත වැඩක් නැතත් මගේ සුළු සුළු වැඩට මේ රියදුරු මහතාව එක්කන් ගොස් මුදල් දෙනවා. එහෙම තමයි ජීවිතය රැක ගන්නේ. ඒ තරම් අපහසුවෙන් මේ අය ජීවත් වුනේ.

දිනක් මා හමුවට පැමිණි මේ පියා සහ මව මාත් එක්ක ලොකු කථාවකට ලැහැස්ති වන බව මට දැණුනා. එහිදී ඇති වූ කථා බහ අනුව මට තේරුම් ගියේ මේකයි. දැන් මෙයාල තව දරුවෙක් පිළිසිඳගෙන මෙයාලගේ අදහස ඒ දරුවා නැති කරන්න. මම කෙලින්ම මේ වැඩේට විරුද්ධ වුනා. මේ නූගත් අහිංසක යුවලට කියා දුන්නා මෙහි ඇති භ්‍යානක පැත්ත. ඒ වගේම මේවැනි දේ ලංකාවේ නීතියෙන් තහනම් බව ආදී දේ මම කියා දුන්නා.

මේ යුවලට අවබෝධය ඇති කිරීමට හැකි වුනා මේ ලැබෙන ලමයා සමහර විටක මුළු පවුලටම එහෙමත් නැත්නම් මුළු රටටම විශාල සේවයක් කල හැකි අයෙක් වුනොත්, එහෙමත් නැත්නම් ඔබ සියළු දෙනාගේ ආරක්ෂකයා මෙයා වෙන්නත් පුළුවන් නේද? කියන කාරණය මෙයාලට පැහැදිලි වුනා. අනික මෙතනදි අමාරුවෙන් හරි මේ දරුවා හදා ගත්තොත් ඔබ කරන්නේ විශාල පිනක් නේද? නැත්නම් ඔබම ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ වෙනවා නේද? කවදා හරි මේක මතක් වුනහම ඔබට හිතට කොහොම දැනෙයිද? ආදී වශයෙන් තේරුම් කර දේ මේ යුවල ඉතා හොඳින් ග්‍රහනය කලා.

ඔවුන්ගේ රැකියා ප්‍රශ්නෙට අපට පුළුවන් උදව්වක්ද අපි මොවුන්ට ලබා දුන්නා. කෙසේ හෝ මෙහි ඇති විශ්මය දනවන කාරණය මෙයයි. ඔබ දන්නවද ඔවුන් ඒ කරගත් පින මේ හවයේදීම ඔවුන්ට පල දුන්නා. ඒ දරුවා ඉපදී දින කීපයකින් දිනක් ඒ පියා මා සොයා මහ රෑක මගේ ගෙදරට පැමිණියා. ඒ ඉතාම රහසිගතව.

මට මගේ සවන් විශ්වාස නැති වූ පුවතක් ඔහු මට හෙලි කලේ. ඔහු ගත් ලොතරැයියකට පලමු දිනුම ඇදී තිබුනා. පසුදා මම මගේ වාහනයෙන්ම ඔවුන්ව එම මුදල ගැනීමට යැව්වා. අද මොවුන් ඉතාම ලස්සනට ජීවත් වෙනවා. වැඩි දෙයක් බලාපොරොත්තු නැති මොවුන් එම මුදලින් ඉතාම කුඩාවට නිවස තනාගෙන. ලොරියක් මිලදීගෙන තම ජීවිකාව කරගෙන යනවා. හැම වසරකම මේ මිනිස්කම් දත් මිනිසා සිය පවුලම කැටුව මා බැලීමට පැමිණෙනවා.

දැන් වෙනත් කථාවක් කියන්නම්. මා මේ රැකියාව නිසා මිනිසුන් දහස් ගනනක් ආශ්‍රය කර තිබෙනවා. මේ හැමටම තිබෙනවා කථාවක් අපට පැවසීමට මේ හැම කථාවක්ම අප ඇසිය යුතුයි. වෛද්‍ය වෘත්තිය කියන්නේ මගේ වචනයෙන් කියනව නම් අනිත් අයට ඇහුම් කන් දෙන එකට. බෙහෙත් කියන්නේ හැම විටම බොහොම අඩු වැදගත්කමක් තියන දෙයක්. නමුත් ඒ අයගේ හිතේ තියන දේ අහලා ඒකට යම් උපදෙසක් දෙන එක ඒ මිනිස්සුන්ට හරියට වටිනවා. ඒ නිසා මගේ රෝගීන් එන්නේ පැය ගනන් ගත කරන්න බලාගෙන.

මේ සිද්ධියටත් දැන් ටික කාලයක් වෙනවා. මෙයාල ඉතාම වැදගත් යමක් කමක් ඇති මිනිසුන්. ඒත් මෙයාලට ඉන්නේ එක දරුවයි. ඒක මෙදෙන්නට මදි. දැන් උත්සාහය තව දරුවකු සාදා ගන්න. මට මේ අය එක්ක කථා කරනකොට තේරුනා යමක් කියන්න ඉන්නවා නමුත් ඒක කියා ගන්න බැහැ වගේ ගතියක්. කරුණාවෙන් අහනකොට හැමදේම එලියට එනවා. බලත්දි මෙයාල පැය 1/2 විතර කථාවක් මට කිව්වා. මේකයි වෙලා තියන්නේ.

දැන් මෙහෙම හිටියට කලින් ඉතාම අපහසුවෙන් ජීවිතය ගත කරලා තියන්නේ. ඒ කාලෙම දරුවකුත් පිළිසිඳගෙන ගෑනු ලමයෙක් ලැබිලා. ඉන් තවත් මාස තුනකින් පස්සේ තව ලමයෙක් පිළිසිඳගෙන. දැන් අතේ ලමයට මාස හතරක් විතරලු. මේක මේ අයට ඒ වෙලේ සිටි තත්ත්වය අනුව මහා බරක්. ඉපදිලා ඉන්න ලමයට ප්‍රමුඛත්වය ලබා දෙන්න හිතලා ඒ ලමයා ( දෙවනි ) ගප්සා කරවලා.

දැන් කාලයක් ගිහින් ඒත් නැවතත් පිලිසිඳ ගැනීමක් සිදු වී නැහැ. පසු කාලීනව මෙයාලගේ ව්‍යාපාර ඉතාම දියුණු තත්ත්වයට පත් වෙලා. දැන් දෙවනි ලමයෙක්ගේ අවශ්‍යතාවය ඉතාම තදින් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දෙමාපියන් හඬා වැටෙනවා අර සිද්ධිය ගැන සිතමින්.

මට මේ කථා දෙක දමන්න හිතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි. අපි හැමෝම තුල මේ දෙජාතියෙම මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්න තමයි අපි මේ දෙගොල්ලන්ගෙන් එලියට ගන්නේ කාවද කියලා තීරණය කරන එක.


හරියට ප්‍රකෘති විකෘති වගේ. ඔන්න දැන් අපි ආයෙත් විශ්වාරම්භ කථාව ආරම්භ කරන්න කාලේ ඇවිල්ලා......

Wednesday, October 26, 2011

වරද කාගෙද?????

පසුගිය සතියෙම මගෙන් ලියවුනේ එකම වර්ගයේ කථා. අවසාන ලිපියෙන් එය අවසන් කරලා මගේ සුපුරුදු ලිපි වලට යන්න මම සිතා සිටියත් ඊයේ සිදුවුනු සිදුවීමක නිසා මට හිතුනා අදත් මේ ලිපිය ලියල මීට පසුව එන සතියේ මගේ ලිපි වලට එන්න.

ඊයේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින සාදයක් රාත්‍රියේ තිබුනා. එතැන සිටි අපේ තවත් මිත්‍රයෙක් නිසා තමයි මේ කථාව මට මතකයට ආවේ. ඔහු රජයේ ලියාපදිංචි උපදේශක වරයෙක්.

ඔහු විසින් අපට කියූ කථාවක් තමයි දැන් ටික කලකට පෙර මට මුහුණ දෙන්න සිදු වූ මෙම සිදුවීම මතකයට ආවේ. මම මේ කථාව ඔබට මෙසේ කියන්නම්. මෙහිදී කිසිම කෙනෙක්ට මේ අය හදුනා ගන්න පහසු නොවෙන ආකාරයට තමයි මේ කථාව මම කියන්නේ. ඒ නිසා තමන් දන්නා කියන, අහලා තියන, කිසිම කථාවක් සමග මේක සංසන්දනය කරන්න එපා. මම ඔබට කියනතෙක්ම ඒ කථාව දන්නේ අපි කීප දෙනයි.

මේ කථාවේ අම්මා ගැන මුලින් කියන්නම්. ඇය ඉහල මධ්‍යම පාන්තික පවුලක දරුවෙක්. උසස් අධ්‍යපනයක් නොලැබුනත් ඉහළ පෙලේ පාසලකින් අධ්‍යාපනය හැදෑරූ කාන්තාවක්. සමාජයට විනෝදයට ලැදි අයෙක්. ගෙදර දොර වැඩ වලට වැඩි උනන්දුවක් නැති ඇය තම සැමියාව පාලනය කරගෙන සිටින්නියක්. උසස් කාන්තා සමාජයේ පුහු ආඩම්බරයෙන් හැසිරීමට ප්‍රිය ඇත්තියක්.

මැය තම පාසැල් අවධියේත් තරුණ අවධියේත් පුරුෂ සමාගමයට දැඩි ලොල් සිතැත්තියක්. ඒ නිසාම පරපුරුෂ සේවණයටත් යොමූ මැය තම විවාහක පුරුෂයාට අමතරව තව පුරුෂයන් කීපදෙනෙක් වරින් වර ඇසුරට යොමු වූ අයෙක්. කෙසේ හෝ මැයගේ මේ සියළු රහස් සම්බන්ධතාවයන් යම් දිනකදී ඇයගේ සැමියාට හසු වනවා සේම ඉන් ඇගේ විවාහ දිවිය සෑහෙන කැලබීමකටද ලක් වෙනවා. අවාසනාවකට ඇය ඒ වන විට දෙදරු මවක්. වැඩිමල් දියණිය, ඊට වසර කීපයක් බාල පුතණුවන්.

දරුවන් දෙදෙනාගේ පිනට මේ යුවල ඉහත සියළු පෙර වරදවල් සාදාගෙන නැවතත් එක පවුලක් ලෙස ජීවිතය ගෙනියන්න යම් අධිෂ්ටානයක් ඇති කර ගන්නවා.

දැන් අපි බලමු මේ ස්වාමි පුරුෂයා ගැන. ඔහුත් ඉහළ මධ්‍යම පාන්තික පවුලක එක් දරුවෙක්. යම් පමණක ඉහළ ඉගෙනීමක් ලබා ඇතත් සමාජ වගකීම් දරා හෝ ලෝක යථාර්ථයන් එතරම් තේරුම් නොගත්තෙක් වන අතර දැඩි මිතුරු ඇසුරටත්, වෙනත් කාන්තාවන් ඇසුරටත්, මුදල් පාලනයකින් තොරව වියදමටත්, තම තරුණ වියේදීම පුරුදු වෙන්වා. මේ නිසා මොහුගේ මව්පියන් මොහුව තම පවුල් සමඟ සම්බන්ධයක් තිබූ තම සම සමාජ තලයක යුවතියක් වූ ඉහත කාන්තාවට ආවාහ කර දෙනවා. දරුවන් ලැබෙත්දී මේ පුරුෂයාට යම් වගකීම පිළිබඳ හැගීමක් සිතට ආවත් තම බිරිදත් සමග ඉහළ මද්‍යම පාන්තික ජීවිතය ගෙනයන්නට දරන වෙහෙස නිසා තම වගකීම් අමතක කර ජීවත් වීමට පෙලබෙනවා. එයට බිරිදගෙන්ද ලැබෙන්නේ නොමද සහයක්.

දිනක් නොසිතූ ලෙස බිරිදගේ අනාචාරයක් අතටම හසුවන මොහු දැඩි මානසික පීඩනයකට ලක් වනවා. වෛද්‍ය සහයෙන් කෙසේ හෝ තම සිත හදා ගන්නා මේ පුදගලයා තම දරුවන්ට දැඩි ලෙස ආදරය කරනවා. ඒ නිසාම බිරිදට සමාව ලැබෙන අතර ඇයට සියළු සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉන් පසුව නවත්වනවා. එපමණක් නොවෙයි තම ජීවන රටාවද අංශක 180 අනෙක් පැත්තට හරවන මොහු තම කුටුම්භයටම සීමා වීමට පටන් ගන්නවා.

කෙසේ වෙතත් මෙවැනි අයෙක් තම සිතේ ඇතිවන වෛරය එකපාරටම එලියට දාන්නේ නැහැ. මොහුත් ඒ වගේ අයෙක්. ඔහු බිරියගෙන් පලි ගන්න අපූරු ක්‍රමයක් සොයා ගන්නවා.........

අපි දැන් මේ දරුවො ගැන බලමු. පිරිමි දරුවා ඉතාම කුඩයි, මේවැනි දෙයක් තෙරෙන වයසක නෙමෙයි ඔහු සිටින්නේ. දියණිය වැඩිවිය පැමිණෙන්නේ මේ කාලයේම. අඹුසැමි අරෝව අවසාන වෙන්න බලපාන්නේත් මේ කාරණය. නමුත් මේ දියණියට මවගේ රහස් සියල්ලම ඉතාමත් රහසින් පියා විසින් හෙලි කරනවා. ඒ නිසා ඇය තම මව සමග දැඩි වෛරයකින් පසු වෙනවා. ඇය සලකන්නේ මව තමාට උපදෙස් දීමටවත් සුදුසු අයෙක් ලෙස නොවෙයි. මේ නිසාම මේ මව දියණියට හිතූවක් කර ගැනීමට හැර නිසොල්මන් වෙනවා. දැන් මේ තරුණ දියණිය මවගේ රැකවරනයේම සිටිය යුතු කාලයේ එම රැකවරණය ඇයම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මෙය පියාගේ නොමඳ සතුටට හේතු වෙනවා. මේ අතර ඇය තම උසස් පාසලේ වෙනත් යෙහෙලියක් සමග ගැහැනු දරුවකුට නොමනා සම්බන්ධයක් පවත්වාගෙන යන බව ගුරුවරුන්ට වැටහෙනවා. මේ ගුරුවරුන් ඇයව ප්‍රසිද්ධියේ මේ ගැන විවේචනය කරනවා. මින් සිදු වෙන්නේ ඇය තම පාසැල තුලත් නොසලකා හැරීමට භාජනය වීම.

මේ තරුණිය ඉන් ඇතිවන තම කාන්සිය කොන් කිරීම වෛරය පිට කර ගන්නේ පාරතොටේදී ඇයට හමුවන පිරිමි ලමයෙක්ගෙන්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ පිරිමි ලමයා ඔවුන් හමු වූදෙවනි දිනම ලාභ කාමරයකදී ඇගේ යෞවනය බිලි ගන්නවා. ඇයට ඒ ගැන හැඟීමක් නැහැ. මේ සිදු වීම ගැන නොමේරූ තරුණිය සිතන්නේ ඇය ඇගේ මවගෙන් හොදටම පලිගත්තා යන අරුතෙන්.

කෙසේ හෝ මැය අතින් අත යන විට පියාට දැන ගන්නට ලැබෙනවා. ඉන් පසුවයි මේ යුවලට දැන් තමන් වැටී සිටින අපහසුව අමාරුව ගැන ඇස් අරෙන්නේ.

වෛද්‍ය ප්‍රතිකාර මඟින් තරුණියගේ සිතේ ඇතිව තිබූ වෛරී හැගීම් ඉවත් කලත්, ඇයව තව දුරටත් මේ රටේ තබාගෙන සිටීම ඉතාම අපහසු බැවින් දැන් ඇයත්, ඇගේ මවත් ඇතුලු මුළු පවුලම වෙසෙන්නේ ආසියානු කලාපයේම වෙනත් රටක.

විනිශ්චය ඔබයි.....

වරද කාගෙද??????

Monday, October 24, 2011

කථා දෙකක්, අඬන්නද? හිනා වෙන්නද?

මම අද මේ කියන කථාව මම සාමාන්‍යයෙන් මෙතෙක් නොකී ජාතියේ එකක්. හැබැයි මම මේක කියන්නේ ඔබව පිනවන්න නෙමෙයි. මේ කථාවේ යටින් තිබෙන මහා ඛේදවාචකය ගැන හිතන්න. නමුත් මින් විනෝදයකුත් ලැබෙනවා.

අපි බොහෝ විට අන්ධ මනුෂ්‍යයෙක්, කොර පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආබාධිතයෙක් දැක්කම අනේ අපොයි කියලා හිතනවා. හැබැයි අපිට හිතෙනවද මේ මිනිසාටත් අපි වගේම අයිතිවාසිකම් තිබෙනවා කියලා?

කොටින්ම පවුලක් වෙලා දරුවන් හදාගෙන ජීවත් වීමේ අයිතිය මොවුන්ටත් තියෙනවා කියලා අපි හිතනවද?


මම ඔබට මුල් කථාවට පෙර තව කථාවක් කියන්නම්. දැන් මේක මතක් වුනේ.
එක් දිනක් මගේ ලඟට පැමිණියා එක්තරා කාන්තාවක්. ඇය දරුවන් නොමැති අයෙක්. හැබැයි ඇගේ ස්වරූපය ඉතාමත් නිරෝගී. මම ඇයට දිනයක් ලබා දීල නැවතත් මාව හමු වීමට, වෛද්‍ය වාර්ථා කීපයක්ම ලියා දුන්නා නැවත එනවිට අමතක නොකර රැගෙන එන ලෙස.
මේ කාන්තාව පැමිණියේ තම මව සහ සොයුරිය සමග. මා ඇයට උපදෙස් දුන්නා නැවත එනවිට ස්වාමි පුරුෂයා අනිවාර්‍ය‍යෙන්ම එක්කරගෙන පැමිණිය යුතුයි කියා. ඇය එයට හිස වනා පිලිගත්තා.

දින කීපයක් යනවිට මට මේ කථාව අමතක වුනා. හදිසියේම දිනක් මගේ සේවක මහතෙක් මට දැණුම් දුන්නා යම් රෝගියෙක් පැමිණ සිටිනවා ඔහුට ඇවිදීමේ අපහසුවක් ඇති නිසා ඔහු පැමිණි වාහනයට ගොස් රෝගියා පරීක්ෂා කරන්න වන බව. ඒ අනුව මම ඔහුගේ වාහනයට ගියා.

ඔබට කියන්න ඔහුට දෙපයම නැහැ. මගේ හිත කඩා වැටුනා ඔහු දැක්කම. ඉතාම නිරෝගී තරුණයෙක්. යුද්ධය දරුණු අවධියේ බිම් බොම්බයකට හසු වී ඔහුට තම දෙපා අහිමි වෙලා. ඉනෙන් පහලට දෙපා යාන්තමට සලකුනක් පමනක් ඉතිරි වෙන්න කපා දමලා. ඒ වෙලාවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ වෛද්‍යවරුන්ට කල හැකිව තිබූ උපරිමය ඔවුන් කරලා.

මෙහි තිබෙන අනුවේදණීයම කොටස මේක නෙමෙයි. ඇය ඔහුගේ පෙම්වතිය. පසැල් පෙම්වතිය. ඇය ඔහුට පිටු නොපා ඔහුත් සමග විවාහ වී දැන් දරුවකුත් සාදා ගන්නයි ඇගේ වෑයම. අවාසනාවට ඔහුට ස්වභාවික ක්‍රමයකට දරුවන් ලබා දීමට තබා අබුසැමි හැසිරීමකවත් යෙදීමේ හැකියාව නැහැ.

අපිට, මගේ ගුරුතුමා වන බටහිර වෛද්‍යවරයෙක් ඇතුලු වෛද්‍ය කණ්ඩායමක උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇයට කෘතිමව දරු ගැබක් ඇති කරවීමට හැකියාව ලැබුනා. ඒ දරුවා අර ශ්‍රේෂ්ට මවගේත්, එම වීර පියාගේත් දරුවකු වීම මම නම් හිතන්නේ මගේ ජීවිතයේ මම කල ඉහලම දෙයක්.
________________________________________________

කෙසේ හෝ මම කියන්න ආව කථාව මේක නෙමෙයි.

මගේ හොදම මිතුරෙක් මේ කථාව මට කිව්වේ. ඔහුටම සිදු වූවක් නිසා මම විශ්වාස කරනවා.

මේ මිත්‍රයා කොළඹට ආසන්න මම ජීවත්වන නගරයේම ජීවත්වන අයෙක්. මොහු මට වඩා කල් මෙහි ජීවත් වී තිබෙනවා. කොටින්ම මම මාතර සිට මෙතනට කඩා පාත් වූවෙක් වන අතර ඔහුගේ උපන් ගම මේක.

දැන් කලකට කලින් මෙගම ජීවත් වුනාලු නීරෝගී දුප්පත් යුවලක්. අවාසනාවට ඔවුනට ඉපදී තිබෙන දරු දෙදෙනාගෙන් වැඩිමලාට උපතින්ම කථා කිරීමේ හැකියාව නැති ගොළු බිහිරි දරුවෙක්. මොවුන් මේ දරුවා අනෙකාට මෙන්ම හොදින් උගන්වා යම් දෑතේ රැකියාවකට යොමු කර තිබෙනවා. අනෙක් තරුණයා මෙන් නොව මොහු ඉතාම ගුණ ගරුක අහිංසකයෙක්ලු. අර බාල සහෝදරයා කාලයාගේ ඇවෑමෙන් විවාහයක් සිදු කරගෙන වෙනම පදිංචියට ගොස් තිබෙනවා.

දිනක් මේ බාලයා තමාගේ ගැප්බර බිරිදත් සමග මව පියා බැලීමට පැමිණියාලු. මේ වන විට පිටතින් බලන කෙනෙක්ට මේ කාන්තාව ගැබිණියක් බව පේන තරමට ගැබ මෝරා ඇතිකාලය.

මේ යුවල දැකි විගස ගොළු තරුණයාට යක්ෂ සේනාපතියා හිසට ආරූඩ වී, පලමුවෙන් තම බාල සහෝදරයාට පහර දී ඔහුගේ බිරිදත් සමග නිවසින් පන්නා දැමුවාලු. දැන් මෙතන එකම යුද්ධයක් මොහු හස්ත මුද්‍රාවෙන් යමක කියමින් මවට සහ පියාට පහර දෙනවාලු.

මෙන්න මේ අවස්ථාවේ තමයි මගේ මිත්‍රයා මෙතැනට පැමිණ ඇත්තේ. ඔහු පලාතේ යම් පිලිගැනීමක් ඇති අයෙක් නිසා ඔහුට හැකියාවක් ලැබුනලු මේ තරුණයාව පාලනයට ගන්න. ඒ තරුණයා මගේ මිත්‍රයාටත් අර මුද්‍රාබසම දෙසනවාලු. හැබැයි මගේ මිතුරාට මෙලෝදෙයක් තේරෙන්න නැතිලු. පසුව ඔහු මොහුත් සමග ගොස් තිබෙනවා ඔහුගේත් මිතුරෙක් වන මේ තරුණයාගේ ගුරුවරයෙක් හමුවට.

මෙන්න ගුරුතුමා කී කථාව…….

"මොහු කියනවා මොහුගේ මල්ලි බිරිදක් අරගෙන දැන් දරුවො හම්බ වෙන්නත් එනවා. මගේ මව්පියෝ කසාද බැදලා ඔවුන්ටත් අපි හම්බු වුනා. ඇයි මට විතරක් එහෙම කරන්න බැරි?"

ඔහු මේ හස්ත මුද්‍රාවෙන් පෙන්වා තිබෙන්නේ අපේ ඔබා අයියගේ කොන්දොස්තර මහත්තයා පෙන්නපු දේමයි...

Tuesday, October 18, 2011

කුමන්ත්‍රනය.

මේක දැණුමක් ගන්න ලියන දෙයක් නෙමේ. මම මේ සිද්ධිය කියන්න හිතුවේ හැමදාම එකම වගේ කථා කියලා ටිකක් වෙනසකට. මේ සිද්ධිය වුනේ මම උ/පෙ කරලා ගෙදර ඉන්න දවස්වල. මේ කාලේ අපේ සඳරූ වගේ මරණ ගෙවල්, මගුල් ගෙවල්, පොලියට ගන්න කාලේ.

එක දවසක් මහ රෑ අපේ මිත්‍රයෙක් මගේ කාමරේ ජනේලෙට තට්ටු කරනවා. දැන් වෙලාව රෑ 10 ට විතර. ඒ කාලේ මම හිටියේ ගෙදරින් එලියට දොරක් තිබුනු පරණ තාලේ කන්තෝරු කාමරේ. (මහා භීෂණයත් එක්කම මට මේ කාමරේට සමු දෙන්න වුනා මවගේ බලවත් ඇවිටිල්ල නිසා.) ඉක්මනට මිත්‍රයා කාමරේට අරගෙන කථා කලහම අපේ යාළුවෙක්ගේ අම්මා නැතිවෙලා. මේයා ගැනත් කියන්න තියනවා. ඉතාම ඉහලට ඉගෙනගෙන ඒත් දැන් බොගම්බර හිරගෙදර සිරබත් කන යාළුවෙක්. මොකද මිනිහා සක්විතිගේ දෙවනි සක්විති වෙන්න ගිහින් එහාට යන්න වුනේ.

අම්මටවත් කියන්නැතුව මමත් මගේ පලමු මිත්‍රයත් මේ මලගෙදර ගියා. යනකොට අපේ මිත්‍රයෝ කීප දෙනෙක්ම එතැන. මේ කට්ටිය ගැන කියනවනම් හැමෝම වෙන්න දොස්තරලා, නැත්නම් වෙන්න ඉංජිනේරුවො, එහෙමත් නැත්නම් වෙන්න එකවුන්ටන්ස්ලා, ඔය වගේ මහජාතියේ අය තමයි හිටියේ. දැන මලගේ නැගලා යනවා. කථාබස්, හපන්කම්, පුරසාරම්, බැලුවම වැඩි හරියක් මෝඩකම්. මේ වගේ තැන්වලට අපේ නඩේ ගියාම ඔය සඳරූ කියනව වගේ ගමේ කාණ්ඩ දෙකක් ඇති වෙනවා. අර වෙන්න මහජාතියේ අයයි, ගමේ බයියෝ ටිකයි. මේ දෙගොල්ලොම වැඩ පෙන්නනවා. පොඩි තරගයකුත් මේ අය අතර තිබෙනවා එදා ඉදලම.

එදාත් සුපුරුදු පරිදි මේ තරගය ඉස්මතු වුනා. ඒකෙ පොඩි සාධාරනයකුත් තිබ්බා. ඇයි මේ මලගෙදර හැම වැඩේම කරන්නේ අර කොල්ලො ටික. අපේ උන් කයිය ගහනවා විතරයි. ඒත් වැඩි සැලකිල්ල අපිට. කැරම් ගැහුවත්, කාඩ් ගැහුවත් උන් දිනුම්. අපේ උන්ට හෙන තරහයි. අපේ කට්ටිය කථා වෙනවා. උ/පෙ ගැන කැම්පස් ගැන, කෙල්ලොත් අපේ උන්ට වැඩි සපෝට්.

මේ අතරේ ගමේ කට්ටිය අපිට කතන්දර කියනවා, හොල්මන් ගැන, අද්භූත දේවල් ගැන නා නාප්‍රකාර දේවල්. අපි බය වෙනවද එහෙම. පාඩම කරලා ඇටකටු උඩ නිදිය ගත්ත අපි?

මේ කාලේ අපේ ගමේ පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වෙලා මාස තුන ගෙවිලත් නැහැ. මේ ආදාහනය තිබ්බේ මෙතුමා ජීවිත කාලෙම මහන්සි වෙලා හදාපු පාසලේ පිට්ටනියේ. දැන්නම් මේක මහා විද්‍යාලයක්.

ගමේ කොල්ලො අපිට කියනවා. මේ නායක හාමුදුරුවෝ අර පාසල දාල යන්නේ නැහැලු. රෑට රෑට එතැන හොල්මං කරනවලු. මුන් අපිට මේක බලන්න යන්න කථා කරනවා. අපේ කට්ටියත් ටිකක් දැන් ගැස්සිලා ඒත් මේකට මුහුණ නුදුන්නොත් ගමේ ඉඳලා ඉවරයි. ඒ නිසා අපි තීරණය කලා බලන්න යන්න.

ඒත් වැඩේ කියන්නේ ගමේ කොල්ලො බයයි හොල්මන් වලට. පලවෙනි පාරම අපි දිනුම්. අපේ කට්ටිය දැන ෆුල් ෆෝම්. අද හොල්මන අල්ලන්නම තමයි යන්නේ. අපි ගියා මට මතක හැටියට 10 වැඩි පිරිසක්. තව ගමේ හිටිය නිර්භීතම කොල්ලො තුන් දෙනයි. ඔන්න ගමක හැටි. මෙච්චරයි නියම පුරුෂ ධෛර්ය්‍යය තිබ්බ කොල්ලො හිටියේ.

අපි දැන් ගජබා රජතුමා මුහුද දෙබෑකරගෙන ඉන්දියාව අල්ලන්න යනවා වගේ ඉස්කෝල වත්තට යනවා. මුලින්ම යන්නෙ, දැන් ඇත්තටම දොස්තර කෙනෙක් වෙච්චි මගේ අතීසාර මිත්‍රයෙක්. ඊලගට තව කීප දෙනෙක්. මම ඇතුළු ටිකක් බය අය දෙතුන් දෙනෙක් අන්තිමට. අර ඇත්ත දොස්තරයි ගමේ කොල්ලො තුන් දෙනයි අපිට හොල්මන ඉතුරු කරන පාටක් නැහැ. අපි පස්සෙ කෑල්ලක් හරි කඩා ගන්නව කියලා හිතලා හිමීට යනවා.

මේ පාසැල වත්තට තාප්පයක් නැහැ. තියන්නේ කටුකම්බි වැටක්. ඒකත් හරියට අඟල් 8 විතර පරතරයක් තියලා ගහපු අලුත් වැටක්. මේක තරණය කරන්නේ ගමේ කොල්ලන්ගේ උදව් ඇතුව. උන්නේ දන්නේ උන් දවල්ට පනින තැන්.

ඔන්න දැන් අපි වත්තේ, කට්ටිය ටික ටික ලංවෙනවා. අපි අන්තිම දෙතුන් දෙනා අතුත් අල්ලගෙන. මුලින්ම ගිය හතර දෙනා දැන් දෙවනි පෙලත් එක්ක එකතු වෙලා. කිසිම දෙයක් පෙන්න නැහැ. කථාව බොහොම හිමින්. ඇයි හොල්මන පැනලා ගියොත්,

මෙහෙම ගෙවුන කාලය අදටත් මට මතක නැහැ. විනාඩි 05, 10, 20 වෙන්නත් පුලුවන්. හැබැයි මට මතක හැටියට අපි මහා කලයක් බලන් හිටියා. ඒක අවුරුද්දක් දෙකක් විතර. මොන මගුලකට මේකට ආවද කියලමයි හිත කියන්නේ.


එක පාරටම අර නිර්භීතම තුන් දෙනා නැගිට්ටා, දැන් දුවනවා, මෙහෙම කියාගෙන "ඔන්න හාමුදුරුවො ඉස්සරහා" සහතික ඇත්ත මම බැලුවා මෙන්න ඉන්නවා හාමුදුරුවෝ අපිට ටිකක් ඉදිරියෙන්. දැන් කට්ටිය ආපහු දුවනවා. එච්චරයි මට මතක.

ටිකකින් ඇහෙනවා. එකෙක් කියනවා මචන් මගේ කන්නාඩිය නැහැ ඒක වැටුනා කියලා. දැන් අපිට නවතින්නම වෙනවා. බලනකොට නැවතුනේ අර මුලින්ම, අන්තිමටම ගිය දෙතුන් දෙනා විතරයි. අනිත් උන් දුවනවා ඇහෙනවා පේන්නේ නැහැ. යන්තම් විලාප ගහලා කට්ටිය නවත්තගෙන බැලුවම අපි දැන් මේ ඉන්නේ අර කම්බි වැටත් පැනලා. මට අදටත් මතක නැහැ මේක තරණය කරපු හැටි.

අපි මේ සියළුම දෙනා අර ගමේ තුන් දෙනා ඇතුළු නඩය සියළුම නැති වූ භාන්ඩ සෙරෙප්පු ආදිය හොයාගෙන මේක කාටවත් කියන් නැහැ කියලා පොරොන්දු වෙලා ආපහු ආවා මල ගෙදරට. මෙතන කිසි කෙනෙක් දන්නේ නැහැ මේ කථාව. අපි අර කොල්ලො තුන් දෙනාට හෙනට සලකනවා ඇයි බයයිනේ මුන් කිව්වොත් ?

ටික වෙලාවකින් ඔන්න තේ, කෝපි එහෙම එනවා, ගමේ උන් අපිට මේවා පෝලිමට ගේනවා " මහන්සි ඇතිනේ මහත්තුරු දුවලා" කිය කියා.

මොක වුනත් වැඩේ දෙල් බව අපිට තේරුනා. වෙලා තියන්නේ මහා කුමන්ත්‍රණයක්. උන් ප්ලෑන් කරලා තමයි අපිට අර ගේම සෙට් කරලා තියන්නේ. අපි ආවට පස්සේ කට්ටියක් වෙනම ගිහින් උන් තමයි හාමුදුරුවොන්ට රගපාල තියන්නේ.


එදායින් පස්සේ අපි මල ගෙවල් වල යාම සෑහෙන්න අඩු කලා.

Monday, October 17, 2011

අනතුරු ඇඟවීමයි!

කාලෙකට පස්සේ හිතුනා මගේ අත්දැකීමක් කොටලා දාන්න. මේ ගැන මට අදහසක් ආවේ ඊයේ පෙරේද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වූ නිසයි.

මම ඔබට දැන් ටික කලක සිට වරින් වර මඳසරුභාවය ගැන එහෙමත් නැත්නම් දරුවන් ලබා ගැනීමේ අපහසුතා ගැන ලියනවා. මේ ගැන ලියන්න මාව පොලඹවන්නේ මගේ රෝගීන්. ඒ කියන්නේ සමහර රෝගීන්ගේ අත්දැකීම මට හිතෙනවා සමාජයට වැඩක් ඇති වෙයි කියලා. මේ නිසයි අද මම මේ ගැන ලියන්න හිතා ගත්තේ.

මේ ලිපි ලිවීමේදී මේ අයගේ අනන්‍යතාවයන්ට කිසිම හානියක් වෙන දෙයක් මම ලියන්නැහැ. ඒ වගේම මෙයාල සිටි රටවල් මම ලියන්නේත් නැහැ. තරුණයන් අතර කොරියානු භාෂා විභාගය ගැන තියෙන උනන්දුව නිසා තමයි මේ කථා මට මතක් වුනේ. මෙතැන කථා තුනක් තියනවා. ඒ වෙන වෙන කාලවල වෙනස්ම රටවල් තුනකදි අපේ තරුනයන් තුන් දෙනෙකට මුහුන පාන්න වුනු ඛෙදජනක සිද්ධීන් තුනක්. මේවා කියවලා යම් අදහසක් හිතට ගන්න කියා මම ඔබෙන් ඉල්ලනවා.

පලමුවැනි කථාව.
මේ තරුණයා බොහෝම කාලෙකට කලින් නීති විරෝධී විදියට යුරෝපා රටකට ඇතුල් වුනා. නමුත් මේ කාලේ ලංකාවේ තිබුනු ප්‍රශ්න ප්‍රයෝජනයට අරන් තමන්ගේ ගමේ නම කියපු ගමන් පිටුවහල් නොකර කෑම්ප් දාලා.

මේ පුද්ගලයා අසුවෙනකොට මොහු ඉදලා තියන්නේ කළු අප්‍රිකානුවන් පිරිසක් සමග. එම රටේ පොලීසිය මොවුන් සියල්ලන්ටම යම් කිසි එන්නතක් ලබාදීල තිබෙනවා. මේ එන්නත දීල තියන්නේ මොවුන්ගේ ඉකිලිය ප්‍රදේශයට. ඉතාම දැඩි වේදනාවක් ඇති වෙලා තියනවා. දින කීපයක් ඇවිදීමට පවා අපහසු තත්වයක් තිබිලා තියෙනවා.

නමුත් කොහොම හරි මේ පුද්ගලයා තමන්ගේ අසරණභාවය පෙන්වා දීල මේ රටේම සෑහෙන කාලයක් ඉදලා ලංකාවේ පදිංචියට පැමිණ, කුඩා ව්‍යාපාරයක් ඇරබුවා.

ඇත්තෙනම මට මොහු හමුවන විට විවාහ වී යම් තරමක සාර්ථක ව්‍යාපාරිකයෙක්. නමුත් ඒ වන විට ඔවුන්ට දරුවන් නැහැ. සොයා බැලීමේදී හෙලි වුනේ ඔහුගේ වෘෂන කෝෂ ශුක්‍රාණු නිපදවන්නේ නැති බවයි. අවසාන වශයෙන් කරන ලද ශල්‍ය කරමයකින් හා බයොප්සි පරීක්ෂණ කීපයකින්ම තහරු වූයේ ඔහුගේ වෘෂණ තුල ඇති සියලුම ව්‍යහයන් සිතාගත නොහැකි අයුරින් විනාශ වී ඇති බවයි. කිසිම ලෙඩ දුකක් ඇති වී නැති මේ පුද්ගලයා තදින් විශ්වාස කරනවා මේ සියලුම හානි ඔහුට සිදු වූයේ අර එන්නත නිසා බව. නමුත් අපට පැහැදිලි යමක් ප්‍රකාශ කල නොහැක්කේ පිලිගත හැකි විද්‍යාත්මක සාක්ෂි අප සතුව නැති නිසායි.

දෙවනි කථාව
මේ තරුණයා ඉතාමත් මහන්සියෙන් නීත්‍යාණුකූල මාරගයෙන් යුරෝපා රටකට පැමිණෙන්නේ මීට වසර ගනනාවකට පෙරයි. එහිදී ඔහුට නොසිතූ වාසනාවක් කඩා වැටෙනවා. පහසු රැකියාවක් විශාල වැටුපකට. මේ රැකියාව තමයි ඊයම් කූරු නිපදවන වැඩපලක ඊයම් උනුකරන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම. මොහුට මේ සදහා විශාල වැටුපක් ලැබුනා.

මේ අතර වසර ගන්නකින් මොහු මෙම රටේදීම දැන හදුනා ගත් ශ්‍රී ලාංකික යුවතියක් හා විවාහ වුනා. ප්‍රතිඵලය පෙර කථාව පරිදිමයි. දරුවන් නැහැ. පසුව එම රටේ වෛද්‍යවරුන් සොයා ගත්තා මොහුගේ රුධිරයේ විශාල වශයෙන් ඊයම් අන්තර්ගත බව. ඒ නිසා එම ආයතනය මගින් පෙර වැටුපම මොහුට ගෙවමින් වෙනත් සුලු රැකියාවකට මාරු කලා. නමුත් දරුවන් සෑදීම අපහසුයි කියන එක තමයි මේ රටේ වෛද්‍ය මතය වුනේ.

කෙසේ හෝ නිවාඩුවකට පැමිණි අවස්ථාවක ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් සීග්‍ර ලෙස රුධිරයේ ඊයම් ප්‍රතිශතය අඩු වී ගියා පමණක් නෙමෙයි මොහුගේ නිසරුභාවයත් නැති වී ගියා. අද එක් දරු පියෙක්, රැකියාව තවමත් එම රටේ එම ආයතනයේමයි. වෙනත් සැහැල්ලු රැකියාවක්.

තෙවනි කථාව
මෙම තරුණයාත් නීත්‍යාණුකූල මගින් යම් රටකට රැකියාව සඳහා යනවා. වසර 10 අධික කාලයක් රැකියාව කර ලංකාවට එනවා. මෙහිදී යුවතියක් හා විවාහ වෙනවා. මොහුටත් දරුවන් නැහැ.

හෙතුව පුරුෂ මඳ සරුභාවය. සිදු වී ඇත්තේ මොහු රැකියාව ලෙස මෙම රටේදී කර ඇත්තේ, ගෘහභාන්ඩ නිපදවන කම්හලක එම ගෘහ භාන්ඩ ඔප දැමීම. මෙහිදී ඔහුට හානි වී ඇති ආකාර දෙකක් හදුනා ගත හැකියි.
1. එම රසායනිකයන් ආඝානය වීම.
2. ඔප දැමූ භාන්ඩ නැවතත් වියලි බව ඇති කරවීමට යම් මට්ටමකට රත් කරනවා. එම රත් කිරීමේදී එම ස්ථානයේ උෂ්ණත්වය ඉතා අධිකව ඉහල යනවා. මෙන්න මේ ආකාර දෙකින්ම මේ පුද්ගලයාට හානි වී තිබෙනවා.
කෙසේ හෝ මොහු මේ වන විට තරමක සාර්ථක භාවයක් ඖෂධ වලින් ලබා ගනිමින් සිටිනවා.

මේ කථාවන් තුන ඉතාමත් කෙටියෙන් ඔබට කියන්නට මම සිතුවේ මින් ලබාගත හැකි ආදර්ශය නිසායි. අපි හැම කෙනෙක්ටම මුදලක් උපයා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එය අපේ අයිතියක්. නමුත් අපේ රටේ දැන් තිබෙන තත්වය අනුව ජීවන වියදම හමුවේ තරුණයන් මෙවැනි තීරන ගන්නවා.

මම කියන්නේ මෙවැනි තීරන ගනිද්දි ඉතා කල්පනාකාරී වන්න.

යම් දෙයක් වූ පසුව එයට විසදුම් සොයනවාට වඩා හානියක් නොකරගෙන සිටීම වැදගත් බවයි මගේ හැගීම.

මේ ගැන නැවත නැවතත් සිතන්න.

Friday, October 14, 2011

හාවගෙයි ඉබ්බගෙයි රේස් එක සහ ආයූර්වේදය නොනැසී පැවතීම.

සෞක්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.

(1) PATIENT STATISTICS UNDER CENTRAL GOVERNMENT  AYURVEDA HELTHCARE CENTERS

1. Ayurveda Hospitals - 07
2.Dispeansary - 01
3.Beds - 523

(2) PATIENT STATISTICS UNDER PROVINCIAL COUNCILS  AYURVEDA HELTHCARE CENTERS

1. Ayurveda Hospitals - 62
2.Dispeansary - 208
3.Beds - 3102

Total
Hospitals - 69
Dispensary - 209
Beds - 3625

(3) Number of Hea lth Institutions and Beds by Type, 2007 (Annual Health Statistics)
1 Teaching Hospitals - 16
Beds - 18451
2 Provincial/ General Hospitals - 12
Beds - 7799
3 Base or District Base Hospitals - 44
Beds - 12391
4 District Hospitals - 161
Beds - 14417
5 Peripheral Units - 95
Beds - 5127
6 Rural or Estate Hospitals - 182
Beds - 5180
7 Cen. Disp. & Mat. Homes - 59
Beds - 596
8 Other Health institutes - 46
Beds - 4733

Total Hospitals - 615
Beds - 68694


අද මම ඔබට කියන්නේ ඔබ මවිත වන දෙයක්. දැන් ටික දිනක පටන් වෙදගෙදරින් ආයූර්වේදය ගැන නොයෙක් දේ ඔබ සමග කථා කලා. ඒ සෑම විටකදීම මට වැටහුන දෙයක් තමයි ඔබ සැම මේ ආයූර්වේදයට යම් කැමැත්තක් තිබෙන අය බව. ඒ එසේ වුවත් ඔබ යම් අපැහැදීමක් තිබෙන බව මේ විද්‍යාව යම් තරමකටවත් දියුණු නොකිරීම පිළිබඳව.

අද මගේ මේ සාකච්ඡාවේ තවත් එක් පියවරක් විදියට වර්ථමාන ආයූර්වේදය මුහුණ දීල තියන විශාලම ප්‍රශ්නය තමයි කතා කරන්නේ.

ලෝකයේ පලමුවැනි සංවිධානාත්මක රෝහල සෑදුවේ මම දන්න තරමින් දප්පුල රජතුමා අනුරාධපුර යුගයේදී. අදත් නටබුන් විදියට මිහින්තලේ තිබෙන්නේ ඒ රෝහල තමයි.

මේ රෝහල් සංකල්පය ලෝකයට අපි දුන්නේ ඒ තරම් ඈත අතීතයේදීයි. මේක දියුණුවෙමින් නොයෙක් අත පැතිරුනා. මම නම් හිතන්නේ ලෝකයේම මේ සංකල්පය පැතිරුනේ මෙතනින්. වසභ රජතුමාගේ කාලේ, (ඒත් අනුරාධපුර යුගයේ), අපිට පුළුවන් වුනා නම් රෝමයට තානාපති කෙනෙක් යවන්න, මේවැනි දෙවල් පැතිරීම ගැන අපි කථාකල යුතු නැහැ නේද?

මේ විදියට යුගයෙන් යුගය ආයූර්වේදය දියුණු වෙමින් පිරිහෙමින් පැමිණියා.

ආයූර්වේදයේ පිරිහීම ඌව වෙල්ලස්ස කැරැල්ලෙ පරාජයෙන් පසු 100% ස්ථාවර වෙනවා. ඒ ගැන වෙනම කථාකලයුතු දෙයක්.

කෙසේ හෝ මේ පිරිහීම කොතෙක් වුවත් (දින වකවානු අමතකයි ) වද කහ සුදිය තමයි ආයූර්වේදෙට මෑත යුගයේ විනය කැටපු ප්‍රධානම සාධකය වුනේ. නමුත් එම සංසිද්ධියට ආයූර්වේදයේ සම්භන්ධයක් නැහැ. ඒක වෙනම කථාවක්. ඒත් ඒ කන්ඩායමේ ආයූර්වේද වෛද්‍යවරුත් ඉදලා තිබෙනවා.

මේ මොන බාධක පැමිණියත් 1970 දශකය වනතෙක් රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය වී තිබෙන්නේ ආයූර්වේදය. 1970 පමණ වනවිට ඇති වූ නව ලෝක ප්‍රවණතා, හා සමාජ ආර්ථික කරුනුවල බලපෑම, ඒ වගේම නව යටත් විජිත ව්‍යාප්තිය, වගේ සාධක ආයූර්වේදයේ තිබූ අසන්විධානාත්මක බව, විද්වත් භාවයේ තිබුනු පිරිහීම, වැනි කාරනාත් එක්ක මේ පිරිහීම බින්දුවටම වැටුනා කිව්වොත් මම හරි.

මම දන්න තරමින් 1929 විතර සිට තමයි නීතියෙන් ආයූර්වේදයට කෙනෙහිලි පටන් ගන්නේ. ඒ සුද්දන්ගේ කාලේ ඇති කරන නව සෞක්‍ය අන පනත් හරහා.

කෙසේ හෝ මම ඔබට පැහැදිලි සත්‍යයක් කියන්නම්,

"මේ අණ පනත්වල හැටියට මමද නීති විරෝධී වෛද්‍යවරයෙක්"

ඇයි මම එහෙම කියන්නේ, ලංකාවේ තාම නීතියෙන් ආයූර්වේද වෛද්‍ය ක්‍රමය පිලිගැනෙන්නේ නැහැ. අර සුද්ද ඇති කරපු සමහර නීති තාමත් එහෙමම තිබෙනවා. යම් යම් චක්‍රලේඛන සහ පනත් මඟින් යම් බලතල ඇතිව ආයූර්වේද අමාත්‍යාංශයක් පිහිටුවා තිබුනත් එතැන මේ නීති නිසා ඇති වී තිබෙන්නේ මහ අවුල් බවක්.

මම ඔබට එක් උදාහරනයක් දෙන්නම්……..

1960 ගනන් වලදී පලමුවෙන්ම ලංකාවේ ආන්ඩුව ඇතිකලා ආයූර්වේද දෙපාර්තමේන්තුවක්. එම ආයතනය 1962 ආයූර්වේද පනත මගින් තමයි ස්ථාපිත කලේ. නමුත් ජේ. ආර්. ජයවර්ධන යුගයේ ආයූර්වේද අමාත්‍යාංශයක් ඇති කලේ එසේ නොවෙයි. මේ නිසා අද මේ දෙපාර්තමේන්තුවද වඩා බලවත් එසේත් නැත්නම් අමාත්‍යාංශයද වඩා බලවත්, (කිකිලිද බිත්තරේද) වැනි කබ ඇදිල්ලක් ඇති වී තිබෙනවා.

නිසි පනතකින් නෙමෙයි මේ ආයූර්වේද වෛද්‍යවිද්‍යාවට මෙතෙක් නීතිමය රැකවරණය සලසන්නේ. තිබෙන පනත සංශෝධනය කර නැවතත් ආයූර්වේදයට තමන්ගේ හැකියාවෙන් නැගී සිටීමේ තත්වය ඇති කලොත් කිසිම අමාත්‍යාංශයක් මෙයට අවශ්‍ය නැහැ. සෞක්‍ය අමාත්‍යාංශයේම දෙපාර්තමේන්තුවක් බවට පත් වුවත් ඇති.

මේ නිසා සමාජමය වශයෙන් වෛද්‍යවරයාට අහිමිවන දේ බොහෝමයි. කොටින්ම අද ආයූර්වේද වෛද්‍යවරයාට තමන්ගේ රෝගියා වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් නිකුත් කල නොහැකියි. රක්ෂණ සහතිකයක් සඳහා ආයූර්වේද වෛද්‍ය සහතික වලංගු නැහැ. ( මා ඇතුළු කීප දෙනෙකුට මේ වරප්‍රසාද ලැබෙන අතර ඒ නීතියෙන් නෙමෙයි. අපේ කටේ හයියට සහ අපි වෙනුවෙන් කථා කරන්න මිනිසුන් සිටින නිසා. නමුත් නීතිමය රාමුවක් නැහැ.) වෙනරටකට අපේ ඖෂධයක් යවා ගන්න බැහැ. (ඒකත් මට නම් සුළු දෙයක්.) නමුත් මේ ප්‍රශ්න ආයූර්වේදයේ ප්‍රගමනයට විශාල ලෙස බලපානවා.

මම මේ කියන බනේ හරිවිදියට තේරුම යන්න සුළු උදාහරනයක් ගන්නම්. බලන්න ඉහත සටහනේ ඇති අංක 1, 2 සටහන්. මේ තිබෙන්නේ මේරටේ තිබෙන ආයූර්වේද රෝහල් ගනනත් ඒවායේ ඇති ඇදන් ගනනත්. අංක 3 සටහනේ දැක්වෙන්නේ මේ රටේ ඇති බටහිර රෝහල් ගනනත් ඇදන් ගනනත් දැක්වෙනවා. ඔබම සන්සන්දනය කරන්න. මම යම් උදව්වක් පමනක් කරන්නම්. හැම විටම විවේචකයා ඔබයි.

(මේකෙදි මම කියන්නේ ආයූර්වේදයත් මේ ගානට දියුණු කල යුතුයි කියලයි. නැතුව ආයූර්වේදය පමනක් තිබිය යුතුයි කියලා නෙමෙයි. අනෙක් රෝහල් ගනනත් මට හිතෙන හැටියට නම් හොදටම මදි.)

ආයූර්වේද රෝහල් ගනන - 69
ඩිස්පැන්සරි ගනන (රජයේ) - 209
රෝහී නේවාසික ඇදන් ගනන - 3102

ඒ අතරම බටහිර රෝහල් ගනන - (2007දී) 615
ඇදන් සංඛ්‍යාව - 68694

දැන් ඔබගේ තීරනය දෙන්න.........

Thursday, October 13, 2011

නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද?

ටික දිනකින් වෙදගෙදරට ලියන්න මට නොහැකිවුනා. අද ඒ වෙනුවෙන් කාලයක් කැප කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අධ්‍යාපන වැඩ නිසා මම මේ දිනවල ඉතාමත් අවිවේකී. ඒ අතර සෑහෙන කාලයක් සිතාගෙන සිටි වැඩකුත් හදිසියෙම කරන්න සිදු වුනා.

දැන් මගේ වයස අවුරුදු 44 මේ කාලය පුරාවටම මම ඉතාම නිරෝගීව සිටියත්, එක පිට පැමිනි නොයෙක් ප්‍රශ්න නිසා මට සෑහෙන විවේකයක් අවශ්‍ය වී තිබුනේ දැන් ටික කලක සිට. මේ අවශ්‍යතාවය මට හොදින් දැනුනා. ඒ නිසා ගිය සතියේ අවසානයේ මම හදිසියේම තීරනය කලා රොහල්ගත වෙන්න. කිසිවකුට නොදන්වා, රෝහල් ගත වුනා. මම සිතාගෙන ගියේ විවේකීව සිටිනා දින ටික වටිනා විදියට ගත කරන්න ඕනෙ කියලා.

ඒ කියන්නේ සැලසුම් කරගෙන සිටි ලිපි කීපයක්වත් ලියා ගන්න සිතුවා. නමුත් එතැනදි මට දැනුනු කම්මැලිකම නිසා කිසිවක් කලේ නැහැ. බ්ලොග් කියවූවා. කමෙන්ට් දැම්මා. වෙන කිසිම ප්‍රයෝජනවත් වැඩක් කලේ නැහැ. රෝහලෙන් පිට වූ පසු තමයි තරු පෙනුනේ.

වෘත්තීය වැඩ, අධ්‍යාපන වැඩ, ඒ අස්සේ බ්ලොග් කර්මාන්තය සෑහෙන්න කඩා වැටිලා. රෝගීන්ට නම් ප්‍රශ්නයක් නොවෙන්න කලින් සැලසුම් කර තිබූ නිසා නැවත සේවයට පැමිනි විගස ඇතිවන තද බදය හැර වෙන කිසි ප්‍රශ්නයක් ඇති වන බවක් පෙනුනේ නැහැ. ඒත් අධ්‍යාපන වැඩ කඩා වැටිලා සෑහෙන්න අමාරුයි ගොඩ එන්න. මේ කාරණය නිසා මම ටික දිනක් ගතකලා ඒ වෙනුවෙන්. දැන් නම් එක පිලිවෙලක් තිබෙනවා. ඒ නිසා බ්ලොග් ව්‍යාපෘතියට ඇන්ටර් වෙන්න තමා මේ සූජානම.

අද මාතෘකාව තමයි නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද?
ඇත්තෙන්ම මම මුලින්ම අයූර්වේදයට පැමිණි මුල්ම දිනවල මේ ප්‍රශ්නෙ සිතේ ඇතිවන හැම වෙලාවකම මගේ කොන්ද දිගේ විදුලි ධාරාවක් යනවා වගේ ගතියක් මට තිබුනා. මොකද කාගෙත් අකමැත්ත පිට මගේ වෙනත් විද්‍යා උපාධියක් හදාරන එක නවත්තල ආයුර්වේදෙට එන්නේ. හැබැයි මම තීරනය කලා ඒකට මුහුන දෙන්න. මගේ චරිත ස්වභාවය අනුව මම හැම වෙලේම කැමතියි අභියෝග වලට . මෙතැනදිත් මම තීරනය කලා මේ අභියෝගයට මුහුන දෙන්න……………...

අද ලෝකෙ ගත්තම බොහෝ රෝග තිබෙනවා කලින් නොතිබූ රෝග. අන්න එතැනදි කොහොමද මේ ආයූර්වේදයෙන් වැඩක් ගන්නේ?

මේ ප්‍රශ්නේ මට මෙන්ම ඔබටත් ඇති වෙනවා මම සිතන විදියට. ඒක එහෙම වෙන්න ඕනෙ.

ඇයි අපි තාම මේ වෛද්‍යක්‍රමය ගැන නියම විදියට දන්නේ නැහැ.

අපේ ජීවිත වලින් ආයූර්වේදෙ ඈතට ගිහින්.

දැන් ගන්න ඒඩ්ස් මම හිතනවා මේ රෝගයට නියම ප්‍රතිකාර සොයා ගන්න හොදම ක්‍රමය තමයි ආයූර්වේදය කියලා. හැබැයි එතනදිත් දේශීය වෛද්‍ය විද්‍යාව වඩා සුදුසුයි කියලා තමයි කියන්න වෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ?

මම ඔබට සුලු උදාහරනයක් දෙන්නම්. ඔබ දන්නවා ඇති ඉස්සර යම් යම් ඖෂධ පාවිච්චි කරන කොට අපි ගන්නවා අනුපාන කියලා දෙයක්, එහෙමත් නැත්නම් ගුලි ගන්නේ කුඩා ක්ෂායක් එක්ක. මේක මේ දේශීයවිද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි විශේෂයක්. මෙකෙන් කෙරෙන්නේ අද අපි ප්‍රතිජීවකයක් ගන්නවා වගේ වැඩක්.

එතකොට බහුලවම ප්‍රයෝජනයට ගන්නා අනුපානයක් තමයි නෙල්ලි රසකිඳ කියන ශාඛ දෙකින් ලබා ගන්නා ක්ෂාය. (නෙල්ලි ගෙඩිත්, රසකිඳ වැලත් තමයි මේකෙදි වැදගත් වෙන්නේ.) මේ ක්ෂාය භාවිතා කල විට අපේ ප්‍රතිශක්තිය හොඳින් ඇති වෙනවා. ඒ නිසා ඒඩ්ස් වැනි රෝගයකට වැදගත් වෙනවා. මම මේ ගැන මීට කලිනුත් ලියා තිබෙනවා. එතකොට අපිට මේ ගැන ඇයි පර්යේෂණ කරන්න බැරි?

මම හිතනවා නිසි විශේෂඥයන් එකතුවෙලා පර්යේෂණයක් කලොත් ඉන් හොද ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා නිසැකවම. මේවා විතරක් නෙමෙයි, ඔබ දන්නවා සමහර ශාඛවල ඖෂධ සදහා ගන්න කියන්නේ දලු. ඇයි මේ දලු? මේවායේ දලු අවස්ථාවේ තිබෙන රසායනික උපාධානයන් ඉතා ඉහලයි. උද්භිද විද්‍යාව කරන කෙනෙක් ඒ ගැන කමෙන්ට් එකක් දමනවා නම් මම සතුටුයි.

කොහොම හරි දේශීය වෛද්‍යවිද්‍යාව කියන විෂය පර්යේෂණාත්මකව භාවිතා කලොත් අපිට විශාල සේවයක් ගත හැකියි. මම නම් දැණුම ගැන සිතන්නේ එක තැනක දැණුම පල්විය යුතුයි කියන මතයෙන් නෙමෙයි. දැණුම හැම වෙලේම හුවමාරු විය යුතුයි. එතකොටයි එම විෂයන් එකිනෙකින් ජනතාවට වැඩි ප්‍රයෝජනයක් ගත හැක්කේ.
බලන්න අපේ දේශීය වෙදකමේ පාවිච්චි කරනවා, ඉතාමත් පහසු ක්ෂායක් කුබුරු දලු ක්ෂාය. මේක ඉතා වැදගත්. ඇයි ඒ මේක තමයි අපේ පණු බෙහෙත්. මම 100% ස්තිරව කියනවා. මේ ක්ෂාය ( පෙතිත් තියනවා) කුඩා ලමුන්ට දෙනවනම් පණු බෙහෙත් දිය යුතු නැහැ. (මේකට නොයෙක් කථා කියයි) නමුත් මම ස්ථිරවම ඒක කියනවා.

ඔබ දන්නවා මම මේ බ්ලොග් ලෝකෙට පැමිණි අලුතම මඳසරුභාවය පිළිබඳ ලිපි පෙලක් ලියූවා. එහිදී මම ලියූවා පුරුෂ මඳසරුභාවය අද ලෝකයට අභියෝගයක් වෙලා තිබෙන බව. නමුත් මගේ ලිපි පෙලටත් හිනහා වුනා මිසක් ඒ ගැන යමක් හිතට ගත්තේ ඉතාම සුලු පිරිසක් විතරයි. මේ ගැන ඕනෑම අභියෝගයකට මුහුන දෙන්න ආයූර්වේදය සමත්. මේ ගැන අතිසාර්ථක පර්යේෂන දැනට ආයූර්වේදයෙන් කෙරිලා තියනවා. ආයූර්වේදයට මේ රෝගය පරාදයි.

ඒත් ජාතියක් විදියට,……...

අනේ මන්ද අපි බොහෝම පරාදයි. ගොඩ ඒමක් නම් නැහැ.

මම තවත් එක් උදාහරනයක් දෙන්නම්. මේ පුරුෂ මඳසරුභාවය ගැන පර්යේෂණ ගැන ලංකාවේ යම් තැනක (පර්යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය දෙන තැනක.) එක් නිළධාරියෙක් කිව දෙයක් මේ,

"ඕගොල්ලො මොනවද මේ කරන පර්යේෂන? ලෝකෙට ජනගහනය වැඩිවෙලා ඉන්නවා තවත් වැඩි කරන්නද මේ ලෑස්ති වෙන්නේ? මේවට රජයේ මුදල් නාස්ති කරන්න බැහැ". ඔන්න අපේ රටේ හැටි. නමුත් මම දන්නවා බොහෝ පිටරැටියන් පුරුෂ මඳසරුභාවයට මෙම වෛද්‍ය ක්‍රමය ප්‍රයෝජනයට ගන්නවා. (ඒ කියන්නේ ලංකාවේ ජනගහනය තමයි දැන් ලෝකෙට තියන ප්‍රශ්නේ, හැබැයි සුද්දො බෙහෙත් අරන් උන්ගේ ජනගහනය වැඩි වුනාට කමක් නැහැ. හැබැයි ඒක ගැන මට නම් කියන්න තියන්නේ එහෙම හිතන මහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපිට හොදට පොල් කඩන්න පුලුවන්.)

එතකොට අපි දන්නවා බොහෝ රෝගවලට කිසිම අභියෝගයක් නැතුව ආයූර්වේද ප්‍රතිකාර කරන්න පුළුවන්. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි අයට, කිරීටක ධමණීවල කොලෙස්ටරෝල් බැදීම නිසා ඇතිවන හෘද රෝගවලට ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධ තිබෙනවා.

රජය වහාම මේ ආයූර්වේද ක්‍රමයෙන් තව දුරටත් වැඩක් ගන්නවනම් ඉතාම ක්‍රියාශීලී නිළධාරීන් සහ වෛද්‍යවරුන් අදාල ආයතන වලට දමලා වැඩ පටන් ගන්න………..

අපි අපිට හැකි සෑම සහයක්ම ලබා දෙනවා.

මේ අනුව මට කියන්න පුළුවන් ආයූර්වේදයට නවීන පුරාණ බේදයක් නැහැ. ඕනෑම රෝගයකට ප්‍රතිකාර තිබෙනවා.

සමහර රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර පමණක් හොඳින් සෑහෙනවා. එපමනක් ඇති. නමුත් සමහර රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර වලින් වැඩක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් අත් නොවෙන රෝගත් තිබෙනවා. මේවා තෝරා බේරාගෙන රෝගියාට යහපතක් වෙන විදියට ආයූර්වේද වෛද්‍යවිද්‍යාව හසුරවන්න නම් හොද මොලයක් ඇති නිළධාරීන් පත් කරන්න.

දාගෙන තියන ලෙඩවලට තවත් එකක් එකතු කර ගත්තවත්දෝ කියලා හිතෙනවා.


කමක් නැහැ අත්ත කියන්න බය වෙන්න ඕනෙ නැහැ.......