Sunday, November 20, 2011

සුන්දර මාතර.

මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මාතර නම් අතිපෞරාණික නුවරයි. මගේ මව්පිය දෙපාර්ශ්වයෙන් මෙන්ම මගේ වෙද හාමිනේගේ පාර්ශ්වයෙන්ද මගේ අද වාසස්ථානය වෙලා තිබෙන්නේත්, මාතරයි. ඒ එසේ නමුත් අපි අපේ පහසුව තකා ජීවත් වෙන්නේ කොළඹ.

මම ගිය සතියේ මාතර පිළිබඳව කෙටි ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා. නමුත් මගේ ලිපි සීරීස් පටන් ගත්තට ඒවා ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම සිතා ගත්තා ඉතාම කෙටියෙන් මාතර ගැන ඒ ලිපියේ දෙවනි කොටස විදියට මේ අලුත් ලිපිය ලියන්න. මේක තුන් වැනි කොටසකට යනවද කියලා නම් මම තාම දන්නේ නැහැ. ඒවා ඉතින් එන එන හැටියට තමයි.

කොළඹ සිට කිලෝ මීටර 160 දකුනට යනවිට ලංකාවේ දකුණු වෙරල තීරයේ තමයි මාතර නගරය පිහිටා තිබෙන්නෙ. මාතර නගරයේ තිබෙන සුන්දර බවට මූලිකම හේතුව තමයි සුන්දර නිල්වළා නදිය නගරය හරහා ගලා බැසීම.

මුලින්ම අපි බලමු මාතර කියන නම හැදුනු හැටි.

උතුරු පලාතේ මන්නාරම නගරයට තමයි අපි මහතොට කියන්නේ. ඒ ප්‍රසිද්ධ වුනු හැටි. නමුත් ඇත්තටම කලින්ම මහතොට කියා හඳුන්වා ඇත්තේ මාතරටයි. දෙවනි පැරකුම් රජ දවස ලියා ඇති සෙල් ලිපියකින් කියවෙනවා මහාතීර්ථය නම් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් දෙවිනුවර ආසන්නයේ පැවති බව. මේ නගරයේ පාලනයට "මහපඬිතේ" නම් නිළධාරියෙක් රජයෙන් පත්කල බවත්, වරාය සංස්ථාවක් මඟින් නගරයේ පාලනද කල බවත් ඒ සෙල් ලිපිය අනුව අපට පැහැදිලි වෙනවා.

මතර නගරය මැදින් ගලා බසිනා නිල්වළා නදියෙන් එතෙරවීමට තිබුනා වූ මහ තොටක් නිසා මෙය මහතොට වූ බව තමයි වැඩියෙන්ම විශ්වාස කරන සාධකය වෙන්නේ. මාතර සිට කොළඹ දෙසට යත්දී තොටවල් කීපයක්ම හමුවෙනවා. ඒවා නම් ගිංතොට, වැලිතොට, බෙන්තොට, කළුතොට, සහ කොලොන්තොටයි.

දඹදෙනි රාජධාණී සමයෙහි මාතර පාලකයා ලෙස පැමිණි වීරබා මාපානන් විසින් මාපාපටුන ලෙස මේ නගරය නම් කෙරෙනවා. ඒ බව පරවි සන්දේශයේද සඳහන් වෙනවා. තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් මෙලෙස එය දක්වා තිබෙනව.

මාපා වීරබා කරවූ නමින් තමා
මාපා පටුන දැක යාගන් නොවී පමා

එම සංදේශයේම තවත් තැනක,

එම විට මඟට බැස යව මහතොට ගමට

ලෙසද, සඳහන් වේ. මින් එම නගරයේ එක් පසක් එනම් සමුද්‍රාසන්න පෙදේස මහතුට නමින්ද, අනෙක් පස එනම් දකුණු පස මහතොට ගම නමින්ද ව්‍යවහාර වූ බව පෙනී යනවා.

මයුර සංදේශයේද,

බල මදැතුන් මාතොට ඇත්හලේ නිලේ

යයි සඳහන් කරයි. ඈත කාලයේ ඉතා සටන්කාමී බටු ඇතුන් නම් විශෙෂ ඇත් වරගය මාතරට සුවිශෙෂී විය.
මේ අනුව මාපාපටුන, මාතොට, මාතොට ගම, යනුවෙන් මාතරට ව්‍යවහාර කර ඇතිබව පෙනේ.

පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයානන් විසින් මාතර නාමය මෙසේ විවරණය කර ඇත.
මාතොර- විශාල වරායක් පිහිටි නිසා,
විශාල බලකොටුව යන අර්තයෙන් මාලා තොට යන නම් ස්වදේශියකන් විසින් ව්‍යවහාර කෙරේ යනුයි.

1672 ඕලන්ද ජාතික බෙල්දෙයස් පූජකවරයා මාතුරෛ යනුවෙන් මාතර හඳුන්වා ඇත. එනම් තුරෛ යනුවෙන් හැඳින් වෙන්නේ ද්‍රවිඩ ඌරුවට තොට යන්නයි. 1744 හයිඩ් මදරන් නැමැත්තා මදුරෙ යනුවෙන්ද තම සටහන් මගින් මාතර හන්දුන්වා ඇත.

අද මාතර නගරය දකුණු පලාත් සභාවට අයත් විශාල නගරකි. එකල ද මාතර විශාල නගරක් බව අපට සධක ඇතිව කිව හැක. අද මාතර එක් මහ දිසාපති කොට්ටාශයකි. එය කඩවත් සතර, වැල්ලබඩ පත්තුව, කන්ද බඩ පත්තුව, ගඟ බඩ පත්තුව, වැලිගම් කෝරළය, මොරවක් කෝරළය යනුවෙන් කොටස් හයකින් සමන්විතය.

පුරාණ බෙදීම අනුව රෝහණ ප්‍රදේශයට අයත් මේ ප්‍රදේශය, මාතර දොළොස් කෝරළය, වැලිගම් දහස් ගමයයි ප්‍රධාන කොටස් දෙකකට බෙදී පැවැති බව කඩඉම් පොත් වලින් අනාවරණය වේ.


මාතර වසර පන්දහසක අතීත තතු දැනට සොයාගෙන ඇති අතර මාතර ප්‍රධානවම නාගයන්ගේ නගරයක් බව පෙනේ. ඉදිරි තතු පසුව බලමු. කෙදිනක හෝ විවේක ඇති විටක

21 comments:

  1. ඇත්තු ගැන කියනකොට නම් හිතෙන්නෙ,
    ඔය කියන බටු ඇතුන් කියන ජාතියත් මිනිස්සු නිසාම වඳ වෙලා යන්න ඇති කියලා.
    බලමු මාතර ගැන ඔබතුමා දාන ඒවා.
    මාත් ඔයපැත්තට ආසයි.
    ඒත් ගිහින් තියන්නෙ එක පාරයි.
    නෑයෙක්වත් නෑනෙ අප්පා.

    ReplyDelete
  2. වටිනා ලිපියක්, නොදන්න කරුණු බොහොමයක් තියෙනවා.ලැජ්ජයි කියන්න අපි ඉන්න ගම් පළාත් වලවත් ඔවැනි විස්තර දන්නේ නැහැ. :)

    @Gordonia ceylanica : ඔබ හරි..දෙපා සිවුපා ඇතුළු සියළුම වර්ග වල අලි ඇතුන් වඳ වෙමින් යනවා මේ දවස වල.

    ReplyDelete
  3. ගොඩක් දේ දැන ගතිමි...ඔය නිල්වලා ගඟ සුන්දර වගේම එහි අවාසනාවන්ත සිද්දියකුත් සිදුවුනා අතිතේ..නේද වෙද මහත්තයො...නමුත් පෞරානික වැදගත්කම් අතින් වැදගත් බොහො තැන් වලින් වටවෙච්චි සුන්දර නගරයක්..

    ReplyDelete
  4. මට ගාල්ලටයි මාතරටයි දෙකටම නෑ කමක් තියෙනවා. ඒ නිසා මේක කියන්න බ නෑ. දකුණු ළක අග නගරේ ගාල්ල කිව්වට මාතර ඊට වඩා දියුණුයි. මාතර බත් කඩේ ළෝකේ කොහේ ගියත් තියෙන්වා. මාතර ආච්චි කියල ෆිල්ම් එකකුත් ආවා. මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා වෙද මහත්තයට හම්බ වෙලා තියෙනවද දන්නේ නෑ. මාතර අවට තියෙන ගම් උනත් හරීම සුන්දර ගම්. ඔය කෙල්ලෙක් හොය හොය ගිය එකෙකුත් අන්තිමටම මාතර නිල්වලා ගඟෙන් එතෙර වෙලා තමයි කොළඹ ගිහිල්ලා තියෙන්නේ. ආසයි බයයි බෝට්ටුව පෙරලුනෙත් නිල්වලා ගඟේ නොවැ. මාතර ඉස්ටේසොමෙන් මුහුදු බඩ දුම් රිය මාර්ගය ඉවරයි. සැතපුම් වලින් 100 මාතරට. මාතර බෝධියත් කළුතර බෝධිය තරමටම ප්‍රසිද්ධයි. මට තියෙන පුරස්නේ නම් මා තර වූයේ කෙසේද යන්නයි.

    ReplyDelete
  5. හුඟක් කරුණු දැනගත්තා. තව ලිපියකටත් යමු. කොච්චර දේ තියෙනවද කියන්න.

    ReplyDelete
  6. මාතර ගැන හොඳ විස්තරයක්.. මාත් මාතර පැත්තට ගොඩාක් කැමති.
    කොච්චර කැමතිද කියනවනම් අපි ඉස්සර ගාල්ලෙ පන්ති යනකොට හිටපු ගමන් කට්ටිය සෙට් වෙලා මාතර රව්මක් යනව ගෙදරට හොරෙන්.

    ReplyDelete
  7. හරිම විස්තර දැනගන්න මාතරින් ඇතුලට යන්න ඕනේ....මාතර ස්ටේසමේ ඉදලා ස්ටැන්ඩ් එකට ඉස්සර යන්න තිබුනා ගොං කරත්ත...දැංනං ඒවා නෑ මම හිතන්නේ....

    ReplyDelete
  8. මාතර කිව්වහම මතක් වෙන ජාති කීපයක් තියෙනව, බස, ගුරුකම්, ව්‍යාපාරික හැකියාව, මන් වඩාත් කැමති ඇඹුල් තියල්, පොල් සම්බෝලෙ සමග බත්, මීකිරි අතුරුපසට, වෙන මක්කැයි ඕනෙ?

    ReplyDelete
  9. කෝ වෙද මහත්තය මාතර නම රන්දපු සිරාම සෙට් එක ගැන මතක් කරලම නෑ නෙ . . .
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, විජය දහනායක, සනත් ජයසූරිය, බුද්ධික පතිරණ, මංගල සමරවීර . . . .?????

    ReplyDelete
  10. මාතර ගැන නොදන්නා ගොඩාක් දේවල් ඉගෙනගත්තා. තව ගොඩාක් දේවල් තියනවානේද කියන්ට. ඒ හන්දා ඉතින් තව ලිපි ලියන්ටම වෙනවා. 'පොල් හේන' කියලා අර නාන්ට යන්නෙත් මාතර නේද? අර ලස්සනම, ලස්සන මූද. ඇයි අර කිරල ගෙඩි, කීවත් වගේ හම ගහලා උයන වැව් මාලු (පොත් කියවීමෙන් අසුවූ දෑය. )

    මට නම් මාතර පැත්තේ ගමකට ගියාම දැනෙන්නේ වෙනත්ම ලෝකෙකට ගියා වගේ. උඩරට පැත්තේ ගමකට ගියත් ඉතින් එච්චරම තමයි.:)

    ReplyDelete
  11. මමත් දකුණෙ උනාට මාතර ගැන නම් ගොඩක් අළුත් විස්තර දැන ගත්තෙ මේ ලිපියෙන්. තව ලියන්න වෙදනා..

    ReplyDelete
  12. උපන්දා සිට වැඩි කාලයක් මාතර ගත කලත් මෙහි සඳහන් වන බොහෝ තොරතුරු මම දැනන් හිටියේ නෑ. බොහෝමත්ම ස්තුත්ය්.

    ReplyDelete
  13. මාතර ගැන කියවලත් තියෙනවා මේ විස්තර ටික නම් කියෙව්වෙ අදම තමයි !

    ReplyDelete
  14. @ මාතලන්,
    'ආසයි බයයි' බෝට්ටුව පෙරලුනේ මට මතක විදියට නම්, බොල්ගොඩ ලේක් එකේ. ඒ කාලේ මොරටුවෙ තිබුන 'වෙලෝන' කියන බැනියම් එහෙම හදන ෆැක්ටරියක ගෑනු ළමයි ඒ ඛේදවාචකයට ගොදුරු වුනා වගේ මගේ මතකය. වොලී බැස්ටියන් බයිලා එකකුත් කිව්ව ඔය සිද්ධිය ගැන.
    වෙද මහත්තයට කිඹුල් පැටිය හමු වෙලා නෑ වෙලාවට, එහෙම වුනා නං වෙද හාමිනේ කෙනෙක් වෙනවා නිකම්ම.

    ReplyDelete
  15. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  16. මූනු පොතේ ඉන්නේ ඔබ නෙවේ කියල අපි දැනගත්තා . ඒ ගැන අනිත් අයත් දැනුවත් කලා .

    ReplyDelete
  17. @Obaserver,

    Little correction...

    The "Asai Bayai" song was sung by Anton Jones, and according to the song, this incident has happened at Nilwala River, and the people who came to see Wesak Festival was in the boat. No idea how true it is.

    ReplyDelete
  18. :) math ape ammagen galla gena wistara ahala thibbata matara gena mewa denagatte ada..hoda lipiyak..

    ReplyDelete
  19. සුන්දර ලිපියක්..හැමදාපු දැනුන මාතර සුන්දරත්වය සහ අභිමානය වෙන කෙනෙකුගෙ ඇහැකින් බලද්දි වැඩියෙන් දැනෙනවා..

    මාතරට ආදරය කරන මාතර නොවන පිරිසකුත් ඉන්නවා කියලා දකිනකොට හරිම සතුටුයි..

    ReplyDelete
  20. මාතරම ඉඳලත් මාතර ගැන අලුත් දේවල් ගොඩක් දැනගත්තා ස්තුති වෙද මහත්තයා

    ReplyDelete