Thursday, January 26, 2012

සිතා බලන්න.......

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සිතා නොසිටි අවස්ථාවක්. නමුත් අද සිදුවූ සහ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම් දෙකක් දැනට අවුරුදු කීපයකට පෙර එනම් 2008 දී වෙනත් රටකදී මුහුන දුන් සිද්ධියක් සමඟ ගලපන්න මට හිතුනා. එම නිසා අද මෙම පෝස්ට් එක ලියනවා.

මුලින්ම කියන්න ඕනෙ මම නීතිය දන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් මට නැහැ. හැබැයි මනුෂ්‍යත්වය ගැන නම් යම් සංවේදී බවක් මට තිබෙනවා. මම හිතනවා ඔබත් මාත් එක්ක එකඟයි....

අද දවල් 12 - 01 අතර මගේ බෙහෙත් ශාලාවේ සිටින විට එකපාරටම මහ විශාල විලාපයක් සමග සද්දයක් ආවා. මම දැන ගත්තා යම් අනතුරක් කියලා. කොළඹ තිබෙන ඉතාම කාර්‍ය්‍ය බහුල ප්‍රදේශයක මම සිටින්නේ. මම දුවලා බැලුවා එක පාරටම කඩා වැටුනු හෙනපතය කුමක්ද යනවග.

මම හිතුවා හරි යම් අනතුරක් සිදුවෙලා. එතැන තුන් රෝද රිය දෙකක් සහ නවීන මොටෝරියක් එකට ගැටී තිබුනා.

නමුත් එක් අයෙක්ට හැර තුවාල කරුවන් සිටියේ නැහැ. ඒ තුන් රෝද රියක රියදුරා. ඔහුගේ අතක් දරුනු ලෙස කැපී තිබුනා. සිදු වීමට හේතුව ගැන දනගත්විට නම් මට හිතුනේ ඔහුට ලැබුනු දඩුවම මදි කියා. එනම් තුවාල කරු ජංගම දුරකථනයකින් කථාකරමින් රිය පදවලා. එක් විටම දුරකථනය ඔහුගෙන් අතහැරිලා. ඒක අල්ලන්න යෑමේදී රිය පැත්තට කැපිලා. ඉදිරියෙන් පැමිණි තුන් රෝද රියකත් ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයේත් ගැටිලා. මෙහෙමත් මිනිස්සු.....

අර මෝටර් රථයේ පැමිණි මහත්මා තමන්ගේ රිය දරුනු ලෙස තුවාල වී තිබියදීත් මේ තුන් රෝද රියදුරා අතහැර යන්න ගියා. බලන්න මහත්මාකම. ඒයට හේතුව මෙම තුන් රෝද රියදුරාට රිය පැදවීමේ බලපතක් නොතිබීම, ඔහුගෙම වචනයෙන් කියනවානම්,

" මේ කාලකන්නියට විරුද්ධව මම නීතියට ගිහින් මුගෙන් මට මොනවා ගන්නද? අනික මේකාව හිරකලොත් කවුද මුගේ ළමයින්ට කන්න දෙන්නෙ. ඔන්න ඔහේ ගියදෙන්."

අනිත් රියදුරා රක්ෂණයෙන් තම පාඩුව පියවා ගත්තා.

දැන් බලන්න මේ සබැඳිය. මේ අද (2012/ 01/ 26)ගොසිප් ලංකා නිව්ස් අඩවියේ පළ වූ ලිපියක්. මේ රියදුරා අතක් නැතුව වසර 19 රිය පදවා තිබෙනවා. එහි ඇති විශේෂත්වය වන්නේ ඒ වසර 19 ටම ඔහුගෙන් යම් කිසි අනතුරක් සිදු නොවී තිබීම. ඔහුට මහෙස්ත්‍රාත්තුමාත් ප්‍රශංසා කර තිබෙනවා.

දැන් බලන්න මේ මිනිසා තම දරුවන් රකින්නේ කෙසේද මින් පසු? නීතිය කාටත් සාධාරන විය යුතුයි. නමුත් ප්‍රායෝගිකත් විය යුතුයි. මේවා වෙනස් විය යුතුයි.

මට මතක් වෙනවා මම 2008 වසරේ විදේශයකට් ඇතුල් වෙත්දිම ගුවන් තොටුපලේ සිට මගේ නවාතැනට යන්න අපේ සහෝදරයා ගෙනත් තිබූ ෂටල් සේවයට අයත් වෑන් රිය.

විශාල වෑන් රියක් වූ එම රියේ අපිට 126 කි. මි. පමන යායුතුව තිබුනා. අධිවේගී මඟේ ඉතාම වේගයෙන් පැයකුත් විනාඩි 20 පමණ කාලයකින් අප නවාතැනට පැමිණුනා. පැය 11 ගුවන් ගමනකින් වුනු මහන්සිය, අනිත් කාරණය මහරෑ 12 - 01 විතර. අපි බිමට බැහැලා අපේ බඩු බාහිරාදිය බාන විට සහෝඉදරයා මට පෙන්නූ දෙයින් මගේ නිදිමට නැති වුනා විතරක් නෙමෙයි, කොන්ද දිගේ හීන් සීතලකුත් මට දැනුනා.

මේ රියදුරාගේ අත නැහැ. නමුත් එම රටේ රජය ඔහුට රිය පැද වීමේ බලපත්‍රය ලබාදීල. ඒ මදිවට අධිවේගයෙන් අධිවේගී මගෙත් යනවා.

මේ සියල්ලෙන් මට නම් පෙනෙන්නේ අවශ්‍ය හික්මීමයි, විනයයි විතරයි. ශාරීරික අංගෝපාංග අවශ්‍යයි. නමුත් ඔහුගේ හැකියාව තේරුම් ගෙන යම් පරිවාසයකට යටත් කර අර පාසැල් වෑන් රියදුරාට යම් සාධාරණයක් කළ යුතුයි නේද?

අපි මෙහෙම අපෙ ආබාධිතයන්ව කොන්කරනවා නම් ඔවුන්ගේ පෝෂනය ගැන බලන්නේ කවුද?

අඟපසඟ හොදට තියන අවිනීත රියදුරන් කොතෙක් ඉන්නවද ඔවුන්ට දෙන දඩුවම කුමක්ද?

Tuesday, January 24, 2012

කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව.

මේ ටිකේම බ්ලොග් අඩවිවල ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත. අපේ අභීත මිත්‍රයා සහ ප්‍රියන්ත මේ ගැන කථා කරලා තියනවා. ඒ අයට අමතරව තවත් කීප දෙනෙක්ම කථා කලා. අභීගේ පෝස්ට් එකේ ඒ ලිපිවලට යන සබැඳියන් තිබෙන නිසා මම ඒවා දාන්න මහන්සි වෙන්නෙ නැහැ. මේ ලිපියත් එක්ක ඒ ලිපිත් කියවනව නම් මම හිතන්නේ වැදගත් වෙයි.

අපි බලමු මුලින්ම ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ පරම යුතුකම මොකක්ද? ඒ තමයි ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන ටිකට යම් සේවයක් සත්ව සමාජය වෙනුවෙන් කිරීම.

එතකොට මොකක්ද මේ සේවය?????

මම ඔබට පොඩි කථාවක් කියන්නම්. අපිට ශරීර රචනා විෂය (Anatomy) ඉගැන්නුවේ මහාචාර්‍ය්‍ය ඒ. ඩී. පී. ජයතිලකයන්. මෙතුමා පේරාදෙනිය විද්‍ය පීටයේ පීටාධිපති වෙලත් හිටියා. ශ්‍රේෂ්ට වෛද්‍ය අධ්‍යාපනඥ්ඥයෙක්. දිනක් මෙතුමා අපිට දේශනයක් කරන අතර ඔය ප්‍රශ්නෙ ඇහුවා. මුල සිට එක් එක්කෙනාගෙන් වෙන වෙනම අහගෙන එනවා. දැන් අපි දෙන පිළිතුරු වලට සර්ට හිනා. ඇයි මේ කට්ටිය විතරක් හිටියම ඇති මිනිස් සමාජෙම ගොඩ. ඔන්න උත්තර. මෙතුමා අවසානයේ කිව්වා. හොද උත්සාහයක් හැබැයි මේ කට්ටිය අතරේ එක්කෙනෙක්වත් නැහැ උත්තරේ දන්න කෙනෙක්. ඒ කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්. ඇයි ළමයි මිනිසා තම වර්ගයා බෝ කිරීමනෙ උත්තරේ. ඔය ළමයි හොද වැඩියිද රඟපානවද කියලා හිනහා වුනා.

එතකොට පැහැදිලියිනේ පිළිතුර. ආහාර හැරුනම ඊලඟ වැඩිම සතව අවශ්‍යතාවය තමා ප්‍රජනනය. සත්වයා හැදිලා තියෙන්නේ ඒ සඳහා ප්‍රමුඛත්වය ලැබෙන විදියට. දැන් ගසක් වුවත් බලන්න. පැලය වැඩෙනවා. වැඩුනු ගස මල් දරනවා. ඵල හට ගන්නවා. මැරිලා යනවා. මේකයි චක්‍රය. අපි කාටත් මේක පොදුයි. සත්වයින් අතරින් මිනිසා දියුනු මනසක් ඇති ජීවියෙක් නිසා මිනිසාට මේ අවශ්‍යතාවය පාලනය කර ගැනීමේ හැකියාවකුත් ඒ දියුනු මනසත් සමඟ ලැබිලා තියනවා. මිනිසා සහ අනෙකුත් සත්වයින් වෙනස් වෙන්නෙත් මෙතනදි තමා.

මෙතනින් එහාට මේ ලිපිය මම හරවන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය කොහොමද බුදු දහමත් එක්ක එකට යන්නේ කියන කාරනය පැත්තට. ඒ ගැන දැන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන විදියට සියළුම වැදගත් කරුනු වලට මම රෙෆරන්ස් දමන්නම්. තව කාටවත් හිතෙනවා නම් පව් සිද්ද් වෙයි කියලා මෙතනින් එහාට නොකියවූවා නම් හොදයි. මොකද එහෙම සැදැහැවත් බෞද්දයන්ට මම මොකටද පව් පුරවන්නේ බුදුන්ට බනින්න සලස්වලා. එනම් මේ සියල්ල ත්‍රිපිටකයෙන්ම ලබාගත් කරුනු හෙවත් බුද්ද භාෂිතය.

"Ethical Idealism.", Sir Sarvapalli Radhakrishnan, Contemporary Indian Philosophy, Vol.1, G.A. Allen and Unwin Lted., London 1936, p.358
රාධාක්‍රිෂ්නන් තුමා, බුදු දහම වනාහී ආචාර ධර්ම විද්‍යාවෙහි පරමාදර්ශය ලෙස සඳහන් කරනවා. ඒ කියන්නේ ලෝකයේ ආචාර ධර්ම හෙවත් මිනිස් සමාජයේ ප්‍රගමනයට හේතු වෙන ලෝක නීතිය සකස් වෙන්න බුදු දහම විශාල ආලෝකයක් සපයලා තියනවා.

බුදුන් වහන්සේ දුක්ඛ සත්‍යය විස්තර කරමින් මෙසේ වදාරා තිබෙනවා. (අංගුත්තර නිකාය 2 බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 130) ලෞකික ලෝකයේ ජීවත්වන ගිහි පිරිස විසින් ලබා ගත යුතු සැප හතරක් තිබේ.
1. අත්ථි සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් ධනය තමන් සතුය බව දැනීමෙන් ඇතිවන සැපය
2. භෝග සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් රැස්කරගත් භෝගයෝ පින් දහම් කරමින් තමන්ද වලඳමි යන සැපය.
3. අනන සැපය - තමන් කිසිවකුට නය නැතැයි දැනීමෙන් ඇතිවන සැපය.
4. අනවජ්ජ සැපය - කයින් වචනයෙන් හා මනස. ඉන් තමන් කිසිවකුට වරදක් නොකොට පිවිතුරු ජීවිතයක් ගත කරනවා යන දැනීමෙන් ඇතිවන සැපය.

දැන් බලමු සැපය කියන්නේ මොකක්ද කියලා. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 154 - 57.)මෙහිදී බුදුන් වහන්සේ සැප නවයක් ගැන සඳහන් කරලා තියනවා.
1. පවුල් ජීවිතයේ ඇති සැපය.
2. තවුස් දිවියේ ඇති සැපය.
3. ඉන්ද්‍රියන් පිණවීමේ ඇති සැපය.
4. අභිනිෂ්ක්‍රමණයෙන් ඇතිවන සැපය.
5. බැඳීම හෙවත් උපාධානයන් නිසා ඇතිවන සැපය.
6. බැඳීම් වලින් මිදීම හෙවත් උපාදානයන්ගෙන් මිදීම නිසා ඇතිවන සැපය.
7. ශාරීරික සැපය.
8. මානසික සැපය.
9. ධ්‍යාන තුලින් ඇතිවන සැපය.

සැපයේ ඇති විවිධත්වය මෙසේ විස්තර කරන බුදුන් වහන්සේ, ප්‍රධාන සැපයන් දෙකක් ගැන විශේෂයෙන් දක්වා තිබෙනවා.
"ද්වෙමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වෙඃ කාම සුඛඤ්ච නෙක්ඛම්ම සුඛඤ්ච"
එනම්, ලෞකික ලෝකයේ ඇති ඉහලම සැපයන් වන්නේ,
1. කාම සැපය.
2. කාම සැපයෙන් නික්මීම.

පස්කම් සැපය ගැන දැනගත යුතු කරුණු තුනක් ඇතැයි උන් වහන්සේ අනුදැන වදාලහ.
(ධම්මපද ගාථා 204,)
1. කාමයන්ගේ ආස්වාදය (Enjoyment)
2. ආදීනව (Evil consequence)
3. නිස්සරණය (Liberation)
මෙය උදාහරණයකින් දක්වන්නම්. එනම් යමෙක් මනා රූසපුවක් ඇති කාන්තාවක් දැකීමෙන්
(1) ආශ්වාදයක් ලබයි. ඇයව නැවත දැකීමෙන් ඔහු එම ප්‍රීතිය, සැපය ආශ්වාදය ලබයි. මෙම ප්‍රීතියද, ලලනාවද ස්ථිර නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් ඇය දක්නට නොලැබීමෙන් ඔහු දුකට පත් වෙයි. කාන්තාවද රූපයද දිරා යයි.
(2) මේ කාමයන්ගේ ආදිනවයි. එම කාන්තාවට ඔහුගේ යම් බැඳීමක් ඇලීමක් ඇති නොවූවා නම් කාමයන්ගෙන් නිදහස ලැබූවා වෙයි.
(3) එනම් නිස්සරණයයි. මේ අනුව කාමයන් තාවකාලික බවත් ඉන් නිදහස් වීමටත් බුදු දහමින් උගන්වා ඇත.

සැපත සොයා අසීමිත අරමුණු ඇතිකරගෙන ඒ පසුපස හබායාම මිනිස් සන්තානයේ ඇති මූලික ලක්ෂණයකි. එය ආශාව, කැමැත්ත, තෘෂ්ණාව, කාමය යනුවෙන් හඳුන්වා ඇත. ලෞකික ලෝකයේ ජීවත්වන සෑම කෙනෙකුගේම අරමුණ වන්නේ ඉන්ද්‍රිය ප්‍රීණනය සදහා කාමයන් සොයා යාමයි. එසේ වුවත් පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ. "ඌනාව හුට්වාන ජහන්ති දෙහං කාමෙහි ලෝකම්හ නහි අත්ථි තිත්ති". ( මජ්ජිම නිකාය 2, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1973, පිට.)

මහාවග්ග පාළි 1, බුද්ධ ජයන්ති මුද්‍රණය 1957, පිට 20-22.
සත්වයාගේ සසර ගමන දිගු කරන තෘෂ්ණාවෙහි ප්‍රභේද තුනකි.
1.කාම තණ්හා - කාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව.
2. භව තණ්හා - භවය කෙරෙහි දක්වන තෘෂ්ණාව.
3.විභව තණ්හා - භවයෙන් ඉවත් වීමට ඇති තෘෂ්ණාව.
මෙහි කාම තන්හා යනු ඉන්ද්‍රිය ප්‍රීණනය තුලින් ලබන සතුටට ඇති ආශාව හෙවත් කැමැත්තයි. (ඉන්ද්‍රිය යනු - ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.)
ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කරන්නේ ඉන්ද්‍රිය පිනවීමයි. මෙම පිනවීමෙ ප්‍රධාන වන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ආශාවයි. මෙවැනි ආශාවක්, කැමැත්තක් ලොව වෙනත් නැත.

දැන් ඔබට කාමය ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි. අවසාන වශයෙන් ස්ත්‍රිය ගැන සහ පුරුෂයා ස්ත්‍රියට ආශක්ත වීම පිළිබඳ බුද්ධ දේශනාවෙන් යමක් මෙයට එක් කිරීමට බලාපොරෝත්තු වෙමි.

අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 2 -5.
ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් ලොව නැත. ස්ත්‍රී ශබ්දය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්න ශබ්දයක් තවත් නැත. ස්ත්‍රී ආඝ්‍රාණය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා ආඝ්‍රාණයක් තවත් ලොව නැත. ස්ත්‍රී රසයද, ස්ත්‍රී ස්පර්ශයද, මේ ලෙසටම පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආශක්ත වන ලොව ප්‍රධානම බලය ලෙස දක්වයි. මේ ආකාරයටම පුරුෂ රූපය, ශබ්දය, ස්පර්ශය, ආඝ්‍රාණය, රසය තරම් ස්ත්‍රිය ආශක්ත වන අන් කිසිවක් ලොව නැත.

දැන් මම මේ ලිපිය අවසාන කරන්න හදන්නේ. බුදුන් වහන්සේ තම අවසාන නිගමනය මේ විදියට දීල තියනවා.

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මෙම දැඩි ලිංගික ආශාව, ලිංගික චර්‍ය්‍යාව පදනම් කර ඇත. මේ අනුව මිනිස් දිවියේ බලගතුම අංශයක් වන්නේ ලිංගිකත්වයයි. ලිංගික චර්‍ය්‍යා විෂයෙහි ආශාව හෙතුකොටගෙන භවයට ඇති ආශාවද, ඇලීමද, ඇති වෙයි. උදාහරණය නකුල මාතා හා නකුල පීතා සූත්‍රයට අනුව එම යුවල කාමයට ඇති ආශාව අනුව ඊලඟ භවයේදීද එක් වීම පතති.

මේ අනුව නිවන් අරමුණු කොට ඇති බෞද්ධ ප්‍රතිපදා මාරගයේදී, කාමය යනු නිෂ්ප්‍රයෝජන කටයුත්තක් ලෙසත්, ප්‍රතිපදා මාර්ගය විනාශ කරන නිෂ්ප්‍රයෝජන දෙයක් ලෙසත්, විස්තර කරයි.

මෛථූනය ගාම්‍ය කටයුත්තක් ලෙස බුදුන් වහන්සේ දක්වයි. (පාරාජිකා පාළි, 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1959, පිට 42 - 48.)(බුදුන් වහන්සේ බොහෝ විට මෛථූනය හඳුන්වන්නේ මෛථූනා ධම්මා, ගාමා ධම්මා ලෙසයි.)

මම මේ ලිපිය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ බුදුන් වහන්සේ තම ධර්මය දේශනා කරන විට කාමය, මෛථූනය වැනි ලෞකික විෂයන් ගැනත්, ඉන් ලෝකයට ඇති ප්‍රයෝජනත් කථා කර තිබෙනවා. නමුත් මේ හැමටම වඩා නිවන පතා යන ගමන වැදගත් බවත් උන් වහන්සේ දක්වා තිබෙනවා.

Wednesday, January 18, 2012

හොර ගමන සහ මිත්‍රයෙක්ට වුනු අකරතැබ්බය.

බොහෝම දිනකින් පසු අද නැවත ලිපියක් ලියන්නයි සූදානම. අද මම කලින්ම සැලසුම් කළ ලිපිය ලියා ගන්න බැරිවුනු බැවින් තමයි මේ ලිපියට එන්න හදන්නේ. මෙකෙ කිසිම ගත යුත්තක් නැහැ. දැනට අවුරුදු 20 විතර කලින් අපේ නේවාසිකාගාරයක් තුල සිදුවුනු සිදුවීමක්. හුදෙක් විනෝදයටත් ලිපියක් ලියන්න බැරිවුනු අඩුව පුරවා ගන්නත් තමයි ලියන්නේ. මට මේක මතක් කලේ කලින් මගේ ලිපියකට ගොදුරු වුනු "නිමල්". "උඹ ලියනව නම් හැමෝම ගැන ලියාපිය" ඔන්න මට කිව්ව දේ. මගේ මොකෝ එහෙමනම් මෙන්න.

මේ ලිපියට පාදක වෙන්නේත් අපේ මිත්‍රයෙක්. දැනට රජයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන කෙනෙක් නිසා මම හඳුනාගන්න හෝඩුවාවක් දෙන්නෙ නැහැ. මේ කියන පුද්ගලයා සිසුවෙකුව සිටියදීම අපේ වෛද්‍ය විද්‍යාලයට විශාල සේවයක් කළ කෙනෙක්.

මෙයා ඒ කාලේ අපේ නේවාසිකාගාරයේම තමයි නැවතිලා සිටියේ. ඉතාම මිහිරි හඬින් ගීත ගයන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඕනෙම වෙලාවක බෝතල් හිස් කරන්නත් නම් දරාපු කෙනෙක්.

මම නේවාසිකාගාරයේ නිත්‍ය සාමාජිකයෙක් නෙමෙයි. ඒත් නොනිළ වශයෙන් මටම වෙන්වූ ඇදක් නේවාසිකාගාරයේ තිබුනා. ඒ මම ශිෂ්‍ය සුභ සාධන කටයුතු වල සිටි නිසා. අපිට වැඩිමල් කෙනෙක් වුවත් මා එක්ක තිබුනේ මිත්‍රකමක්. ඒකෙ ආයිත් ලොකු පොඩි බේදයක් තිබ්බේ නැහැ.

මෙයා ගමේ යන්නේ ඉතාම කලාතුරකින්. වැඩිමල් හෝ බාල සහෝදරයෙක් නැති පවුලේ එකම දරුවා නිසාම විශාල ධනයක් මොහුට අයත් වෙන්නත් තිබුනා. ඒ නිසාමද කොහෙද කිසිම දෙයක් වැඩි ගනන් නොගත් සැහැල්ලු චරිතයක්.

මේ පුද්ගලයට තිබුනු එක පුරුද්දක් තමයි සතියකට දෙකකට වරක් එකපාරටම අතුරුදන් වෙනවා. අපි නේවාසිකාගාරයේ සියළුම වැඩ කරලා යක්කු ගස්යන වෙලාවට තමයි නිදා ගන්නේ. නමුත් අපි උදේට නැගිටින්නේ හොදටම ඉර පායලා දේශනවලට යන්න ඔන්න මෙන්න තියලා. නැගිට්ටවෙලේම මම නම් දුවනවා. ලැහැස්ති වෙන්න. නැත්නම් තදබදයට අහු වෙන නිසාත්. ඒ කාලේ පෙම්වතුන් වෙච්ච අපේ වෙදහාමිනේ මඟ බලන් ඉන්න නිසාත්. කොහොමින් කොහොමින් හරි අපිට මේ මිත්‍රයාව මතක් වෙනකොට දවල් වෙලා. සොයා බැලුවම කිසි කෙනෙක් දන්නේ නැහැ වුනු දෙයක්. කොටින්ම එක කාමරේ සිටි මිත්‍රයාවත් දන්නෙ නැහැ වුනු දෙයක්.

මේ සිද්ධිය මේ විදියට දින ගනනක්ම කිසිම කෙනෙක්ට අල්ල ගන්න බැරි විදියට වෙනවා. අපි නොයෙක් සැලසුම් හදනවා. කිසිම වැඩක් නැහැ අපිට නින්ද යනවා. ඒත් අපි මෙයාගෙන් ඇහුවම කියන්නේ කිසිම ගැලපීමක් නැති වල්පල්. කිසිදිනක කිසිම දෙයක් කටින් අල්ලා ගන්නත් බැරි කට්ටයෙක්. අපි දිනක් බලනකොට පුද්ගලයා මිසින්. එදා අපි කථා කර ගත්තා. හරියටම රෑ 10 වෙනකොට නේවාසිකාගාර වහනවනේ. නමුත් අපි එන්න හදාගෙන තිබෙන හොර පාරවල් එහෙම මුර කරන්න. ඇයි මෙයාව අල්ල ගන්න. ඒ කියන්නේ නෑමක්.

අපේ නේවාසිකාගාරයේ නෑමක් සෙට් වෙනවා කියන්නේ එලිවෙනවා නොදැනේ. දැන් වෙලාව රෑ 10 අපි කට්ටිය අපේ නියමිත තැන්වලට රිංගුවා. මට තියන ජොබ් එක තමයි ප්‍රධාන විදුලි ස්වීචය නිමන එකයි එකපාරටම දාන එකයි. ඒකට මට සංඤා දෙන්නෙ වෙන කෙනෙක්. මේ වැඩේ තමයි මට හැමදාම ලැබෙන්නෙ. ඒකටත් හේතුවක් තියනවා. ඒක වෙන කෙනෙක් ලියයි. මගේ බ්ලොග් එකේ මම මට මඩ ගහගන්නවද එහෙමත්.

අපිටම හරියන කොල්ලො ටිකක් ඉන්නවා නේවාසිකාගාරයෙන් පිට ගමේ. මේ වගේ සීරියස් වැඩ වලදි උන් අපිට පොඩි පොඩි ඔත්තු බලන සේවා සපයනවා. දැන් මේකත් මුන්ට පැවරුවා. මොකද නේවාසිකාගාරය ලඟ ඉන්දලා පාරට පොඩි දුරක් පයින් යන්න ඕනෙ. එතකොට ගමේ කොල්ලේ හංදියෙන් අපේ මිත්‍රයා එනකොටම බයිසිකල් එකක ඇවිත් මෙයා එනබව ඔත්තුව අපිට දෙනවා. එතකොට අපි මිෂන් එක පටන් ගන්නවා. මෙහෙමයි අපේ සැලසුම.

ගමේ කොල්ලෝ අපිට දුන්නා සිග්නල් එක. ඒ කියන්නේ මිත්‍රයා තව විනාඩි පහෙන් අපි ඉදිරිපිට. දැන් කට්ටියම අවශ්‍ය බඩු බාහිරාදිය අරගෙන ස්ථානගත වුනා. මම දිව්වා නිමුවා ස්වීචය. මහ අදුර මැදින් හද එලියෙන් අපිට පේනවා මිත්‍රයා එනවා. බොතලේකටත් වග කියලා බවත් දැනෙනවා. කොහේ එන්නද ගේට්ටු වහලා.

මේ නේවාසිකාගාරවලට ඉන්නවා රජයේ ආරක්ෂක නිළධාරියෙක්. එතුමා කලින්ම අප විසින් වෙනත් තැනකට යවලා ඉන්නේ. මෙහේ වෙන කිසිම දෙයක් එයාට පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ.

ඔන්න දැන් අපි බලන් ඉන්නවා. කිසිම සද්දයක් නැහැ. මෙයා බැලුවා වට පිට බල්ලෙක්වත් නැහැ. මේ නේවාසිකාගාරයේ ගේට්ටුව යටම අඩිය පොලොව මට්ටමෙන් අඩියකට කිට්ටු වෙන්න උසයි. ඒ කියන්නේ පොළව හා ගේට්ටුව ඇරබෙන තැන අතර පරතරය අඩියක් පමණ තියනවා. මෙන්න මේකා ගැලෙව්වා සියළුම ඇදුම් තිබ්බා ගේට්ටුවේ උඩින්. රිංගුවා අර පරතරයෙන්. නැවත ගත්තා අර ඇදුම්. දැන මෙයාට ඉව වැටිලා ඊලඟට වෙනදේ. අර ඇදුම් වැනුවා රෙදි වැලේ. දැන් මෑන්ගේ ඇගේ තියන්නේ යට ඇදුම් විතරයි. උඩින් බැනියම යටට ජොකා.

එතකොටම වැදුනා එක වතුර බාල්දි පාරක්. එකෙන්ම නෑවිලා ගියා. හැබැයි ඇදුම් තෙමෙන්නේ නැහැනේ.

මෙයා දැන් හොඳට නානවා. මම එකපාරටම දැම්ම ප්‍රධාන ස්වීචය.
සියළුම රහස් එලි වුනා එකපාරින්ම. මෙතෙක් කාලයක් ගිය ගමන එක පාරින්ම එලි වුනා.

මෙන්න මෙයා ඇදන් ඉන්නේ දන්නවනේ අර ගෑනු ළමයි ගවුමට යටින් අදින දිග බැනියමක් තියන්නේ අන්න ඒකක්.


හදිසියේ මාරු වෙලා.

Tuesday, January 10, 2012

සත්‍යයේ දිග පලල.







මේ ලිපිය මගේ අතින් කවදාවත් නොලිය වෙන්නයි තිබුනේ. නමුත් මට හිතුනා මගේ ජීවණ වෘත්තිය වන ආයූර්වේදයටත්, මගේ මුළු දිවියම කැපකළ ආයූර්වේදයටත් මගෙන් යම් කිසි සාධාරනයක් ඉටුවිය යුතුයි කියා. ඒ නිසයි මම මේ ලිපිය ලියන්නේ. මෙහිදී මම උදක්ම බලාපොරොත්තු වනවා, මෙන්න මේ කරුණු තුන ගැන ඔබ සාධාරනව සිතයි කියා.

1. මම හැම විෂයක්ම දෙස බලන්නේ කාලයට අනුවයි. පරිණාමය කියන්නේ හැම විෂයකටම පොදු දෙයක්. ඒ නිසා කාලයෙන් කාලයට විෂයයන් වෙනස් විය හැකියි.

2. අනික තමයි මම හැම වෙලේම සියළුම විෂයන්ගෙන් දැනුම ආයූර්වේදයට උරාගත යුතුයි කියන තැන ඉන්නෙ.

3. ආයූර්වේදයේ දැනුමත් ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක තමන්ගේ විෂය සංවර්ධනයට යොදා ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි.

ආයූර්වේදය කියන්නේ ඉතාමත් ඈත කාලයක තිබුනු දියුනු විද්‍යාවක්. මේ කාලයේ විද්‍යාවේ ස්වභාවය වෙලා තියන්නේ සියළුම විෂයන් එකට දියුනු වීම. එනම් උදාහරනයක් ගත්තහම වෛද්‍ය විද්‍යාව, දර්ශනය වගේ විෂයන් සහ භෞතික, රසායන විද්‍යාවන් පවා එකම විෂයක් විදියට තමයි බොහෝ විට හමුවන්නේ. චරක සුශ්‍රැත කියන ආදිම ග්‍රන්ථ ගත්තහම මේවාවල වෛද්‍ය විද්‍යාත්මක දේ වලට අමතරව දර්ශනය, භෞතික රසායනික විද්‍යා පමණක් නෙමෙයි කර්මාන්ත සම්බන්ධ විද්‍යාවන්, ගෘහ නිර්මාණය වගේ විෂයනුත් අන්තර්ගත බව පෙනෙනවා.

නමුත් බටහිර විද්‍යාවන් මෙහෙම නෙමෙයි සියල්ලම වෙන් වෙන් වශයෙන් වෙනම විද්‍යාවන් ලෙස තමයි දියුනු වෙලා තියන්නේ.

මගේ මේ ලිපියේ අරමුන මෙන්න මෙහෙම මම කියන්නම්. මට අවශ්‍යයි ආයූර්වේදය කියන විද්‍යාවක් කිසිම විද්‍යාවකට නොදෙවෙනි විද්‍යාවක් බව කියන්න. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. ඊලඟ අරමුණ තමයි අද මේ දැනුම අපට නැත්තේ ඇයි කියලා ඔබට පැහැදිලි කරලා දෙන එක. ඒ වගේම අනාගතයේදී මේ විද්‍යාවට වෙන්නෙ මොකක්ද කියලා මගේ අදහස ඔබට කියන එක.

මගේ වැදගත්ම අරමුන තමයි ආයූර්වේදය කොයිතරම් නවීන විද්‍යාවන්ගේ දියුනුවට බලපෑම් කරලා තියනවද කියලා කියන එක. මෙන්න මේ අරමුනු කීපය වෙනුවෙනුයි මම ලියන්නේ. මේ ලිපිය දිග වැඩි වුවොත් කොටස් දෙකකට දමන්නම්.

ලෝක ප්‍රසිද්ධ සුශ්‍රැත සංහිතාව කියන ග්‍රන්ථය අපේ රටේ දන්නේ නැති වුනාට ලෝකයේ බොහෝ ශල්‍ය වෛද්‍යවරු භාවිතා කරනවා.

මේවා මිනිසා සොයාගත් දැනුම. මෙවැනි දේ භාවිතා කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තිබිය යුතුයි. අපේ උන් පාවිච්චි නොකරනවා නම් වෙනත් අයවත් ඒ ගැන උනන්දු වෙන එක සතුටක්. හැබැයි මුල් වුනු අයගේ ගෞරවය තියන්න ඕනෙ. ඒක විතරයි විය යුත්තේ. මම දන්න තරමින් මේ බටහිර වෛද්‍යවරු (සුද්දො ) ඒක හරියටම කරනවා. අපි තමයි එහෙම නැත්තේ.

කොහොමින් හරි සුශ්‍රැත කියන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. ඒකයි. නමුත් ඉතිහාසය ගත්තම සුශ්‍රැත කියන්නේ මහා සෘෂි ධන්වන්තරීගේ ගෝලයා. ඒ කියන්නේ ධන්වන්තරී එයිට කලින් ශල්‍ය විද්‍යාව දැන සිටි බව නේද?

එහෙනම් මේ වෛද්‍ය විද්‍යාවට පියවරු නැහැ කියලා තමයි මම කියන්නේ. මම ඒකට උදාහරන කීපයක් ගෙනෙන්නම්.

1. ඔබ දන්නවා කලල විද්‍යාවේ පියා වුනේ සර් විලියම් හාවේ. 16 වන ශත වර්ශයේ සිටි කීර්තිමත් වෛද්‍යවරයෙක්. මෙතුමාම තමයි රුධිර සංසරණය ගැන මුලින්ම කියා ඇත්තේත්. නමුත් මම මේ කියනා සුශ්‍රැත සම්හිතාව වර්ෂ දහස් ගනනකට පෙර කළල විදයාවත්, රුධිර සංසරනයත් ගැන ඉතාමත් නිවැරදිව ප්‍රකාශ කලා. ඔබ සුශ්‍රැත සම්හිතාවක් ගෙන බලන්න.

1. සුශ්‍රැත සම්හිතාව ශරීරස්ථානය 4. ගර්භ ව්‍යාකරන ශරීර අධ්‍යාය.
2. සුශ්‍රැත සම්හිතාව උත්තර තන්ත්‍රය 43. හෘද්‍රෝග ප්‍රතිෂේධ අධ්‍යාය.

මේ කියන කොටස් වලින් ඔබටම තේරුම් යයි මම කියනා දේ. නමුත් ඒ නිසි ගෞරවය ඔවුන්ට ලැබෙනවාද????

ඒ විතරක් නෙමේ අපි කියනවා ආයූර්වේදය ගර්හිත විද්‍යාවක් කියලා. අපේ තරම තමයි ඒ.

එතකොට සුද්දා සුශ්‍රැතට නිසි ගෞරවය දෙමින් ඒ දැනුම ලබා ගන්නවා. අපි ඊට පස්සේ සුද්දගෙන් ඉගෙන ගෙන කියනවා. සුද්දා තමයි සුද්දා අපේ උන්ට බැහැනේ මෙහෙම දෙයක්වත් කියලා. මේක තමයි යථාර්ථය නමුත් මේ දේවල් අපි කවුරුත් දැනගත යුතුයි. ඉගෙනගත යුතුයි.

මේ සුශ්‍රැත සංහිතාවේ සඳහන් වචනයක් ගැන පමණක් මම ඔබට කෙටි විවරනයක් ගෙනෙන්නම්.

පුරුෂඡේත්තා
පුරුෂඡේත්තා යනු අර්ථයෙන් - බිඳුනු ඇට සන්ධි කිරීම, ප්‍රනෂ්ට ශල්‍ය උදුරා දැමීම, ආදී ශල්‍ය කටයුතු වලට කියන නමයි.
මෙම වචනයේ අපභ්‍රංශ වශයෙන් පයස ඡිස්ත්තාස ලෙසද, එයම මිසරීය වශයෙන් ඩිසෙක්ටර් ලෙසද වෙනස් වී ඉංග්‍රීසි ඩිසෙක්ටින් යන වචනය ඇති විය.

සුශ්‍රැතගේ කාලයේ x - රේ නොතිබුනු නමුත් නොයෙක් ප්‍රලේප වරග අදාල ස්ථානයේ ආලේප කල විට, මුත්‍රගල්/ යමක් ඇනුනු විට කොතරම් ශරීරය තුලට එය ගොස් ඇත්ද/ මූඪ ගර්භ බැහැර කිරීම ආදියේදී මෙම ප්‍රලේප ආලේප කල විට ඉතා හොඳින් එම ආගන්තුක ද්‍රව්‍ය පෙනී ඇත. නැතහොත් ශරීරාභ්‍යන්තර බලා ගැනීමට හැකි වී ඇත.

තවත් වැදගත් දෙයක් වන්නේ සම්මෝහ නිද්‍රාවයි. එනම් රොගියාගේ සිහි නැති කිරීමයි. මේ සදහා ඉතා පහසු උපක්‍රමයක් යොදාගෙන ඇත. රොගියාගේ මුහුනට සන්මෝහිනී ඖෂධය ප්‍රලේප කොට නිද්‍රා තත්ත්වයට පත්කොට ඇත. සිහි ගැන්වීමට සඤ්ජීවනී නම් වෙනම ඖෂධයක් යොදාගෙන ඇත.

හෘත් රෝග කියා අප හඳුන්වන ශාස්ත්‍රය ඈත අතීතයේදීත් භාවිතා වෙලා තියනවා. හෘද්‍ය ආශ්‍රයෙන් රුධිර සංසරන පද්දතිය ගැන දැනුමත් තිබී තියෙනවා. ඔබ දන්නවද හෘත් නාඩී අද අපි ECG නමින් හදුන්වන දේ ගැන යම් දැනීමක් එකල තිබී ඇති බව. ඉහත සුශ්‍රැතයේම ඒ ගැන සඳහන් වෙනවා. නොයෙක් නාඩී වරග මේ සඳහා භාවිතා කල බව එහි සඳහන් වෙනවා. මම ඔබට කීපයක් කියන්නම්. හැබැයි මට මේ හෘද් රෝග පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැහැ. මම වෙනත් විෂයක් පිළිබඳ මගේ අධ්‍යාපනය හදාරලා තියන්නේ. නමුත් මම කියවා ඇති දේ අනුව මම මේ කියන්නේ.

1. ගෙබි නාඩිය - නමින් හඳුනවන නාඩිය. මෙහිදී හෘදය ගැස්ම ගෙම්බෙක්ගේ පැනීමකට සමාන කරලා තියනවා. මේක හරිම පහසුවෙන් ඉගෙනගත හැකියි.
2. නයි නාඩිඩිය - නයෙක් ගමන් කරනා පිළිවෙලට ඇතිවන ක්‍රමාණුකූල නාඩිය. මෙයත් යම් පලපුරුද්දක් ඇති අයෙක්ට ඉතා පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්.
3. අශ්ව නාඩිය - මෙහිදී යම් හදවත් රෝගී අයෙක්ගේ නාඩී ඇතිවන අයුරු විග්‍රහ වෙනවා. එනම් අශ්වයෙක් පනින පිළිවෙලට හදවත ගැහීම.

මෙවැනි තවත් දහසක් නාඩීන් විස්තර වෙලා තියනවා. ඒවාවල ඇති විශේෂත්වය තමයි මෙම තත්ත්වයන් විස්තර කිරීමේදී ඉතාමත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන සේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්ම උදාහරනයට ගෙන විස්තර කිරීම.

අද ලෝකයට අභියෝගයක් වෙලා තිබෙන සමහර රෝග සුව කර ගැනීමට ආයූර්වේදය යොදා ගැනීමට බටහිර වෛද්‍යවරුනුත් දැනට පුරුදු වී සිටිනවා. ඒ වැනි එක රෝගයක් තමයි පුරුෂ මඳ සරුභාවය ලෙස හඳුන්වන තත්ත්වය. මේ රෝගය සුව කර ගැනීමට ලෝකයේ කිසිම වෛද්‍ය විද්‍යාවකට හැකි වී නැහැ. නමුත් ආයූර්වේදය ඉතාමත් සාර්ථකව මේ තත්ත්වයට ප්‍රතිකාර කරනවා. බටහිර සිටින දියුනු මනසක් ඇති සමබරව සිතන වෛද්‍යවරු අද මේ ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම දියුනු කිරීමට උදව් කරනවා. ඒ පුදගලයෙක්ට කරන උදව්වක් ලෙස මම හිතන්නේ නැහැ. විය යුත්තේ ඒකයි. මේවා පොදු දේවල්. බටහිර වේවා ආයූර්වේද වේවා මේ හැම දෙයක්ම තිබෙන්නේ මහජනතාවට. එහෙනම් ඒ සේවය ලබා දෙන එකයි වෛද්‍යවරයාගේ යුතුකම්.

මේ දේවල් එකපාරටම පිරිහුනා නෙමෙයි. මේක කාලයේ තවත් එක් විපර්යාසයක්. පරසතුරු ආක්‍රමණත් හේතු වූවා. නමුත් වඩාත් බලපෑවේ අභයගිරිය, ජේතවනය වැනි මහා විහාරය වැනි ලෝ ප්‍රකට විශ්ව විද්‍යාල ලංකාවෙනුත්, තක්ෂිලාව වැනි මහා විශ්ව විද්‍යාල ඉන්දියාවෙනුත්, ඇලෙක්සැන්ඩ්‍රියා වැනි විශ්ව විද්‍යාල ග්‍රීසියෙනුත් නැති වී යාම. මේ නිසා ක්‍රමාණුකූලව අධ්‍යාපනය ලබාදෙන ආයතන නැති වී ගියා එපමනක් නෙමෙයි එම විෂයන් එවිට පරම්පාරිකව හැංගී ගියා. එතනින් ඒවා සංවර්ධන වීම නැවතුනා. ලෝකයේ රටාව වෙනස්වී බටහිර කාර්මීකරණය වෙන අවධියේ මේ විශ්ව විද්‍යාල තිබුනා නම් තත්ත්වය වෙනස් වීමට තිබුනා. නමුත් ඒ දේ වුනේ නැහැ.

කොහොම හරි දැන් විද්‍යාව ඉතාමත් දියුනු වී තිබෙනවා. වාසනාවකට ආයූර්වේදය බුදු දහම වැනි විෂයන්වල මූලික සංකල්ප ඉතිරි වී තිබෙනවා.

මේ හැම එක් කරගෙන අපේ විද්‍යාවන් දියුනු කිරීමට කාලය මේක නේද?

සමහර විද්‍යාවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු අපිට අපේ විද්‍යාවන් ඇසුරින් දෙන්න පුළුවන් වෙයි.

එතකොට අපේ රටවලත් දාර්ශනිකයෝ බිහිවෙයි. අපි උත්සාහ කරමු....


මේක තියන්නේ අපේ දරුවන් අතේ. අපි එයාලට පාර පෙන්නමු.

මෙතැන තිබෙනවා පෙර ශල්‍යකර්ම සදහා යොදාගත් උපකරන කීපයක්. මෙවැනි උපකරන දහස්ගනනක රූප මාසතුව තිබෙනවා.

Tuesday, January 3, 2012

විහිළුවට ලිව්වට විහිළුවක්ම නෙමේ.

ඔන්න ආයෙත් මේ අවුරුද්දෙත් වෙදගෙදරට කට්ටියටම ආරාධනා කරනවා. නව වසරෙත් හැමදාම එන්න.

හැමදේටම වඩා මානසික සහනය වටිනවා කියන එක මගේ ජීවිතයේ එක් නීතියක්. හොඳට හිනා වෙන්න ඇහැකි නම් හොදට නින්ද යනවා කියන එක මගේ ආදර්ශ පාඨය. මේ දෙකම තිබෙනම් කවදාවත් ලෙඩ වෙන්නෙ නැහැ. මේ නිසා තමයි අපේ පැරැන්නෝ "සිනාසී තරවෙනු" කියන එක පිළිගත්තේ.

මේ හැම දෙයක්ම කියන්න හෙතු වුනේ මේ වසරෙ මුලින්ම කියවන්න ලැබුනේ අපේ ටිකක් හිනා වෙන්න ලියන අභීතගේ බ්ලොග් එක නිසා. අවුරුදු ලබද්ධි ලියන එක හොදයි කියලා හිතලා ලියන්න ගත්තා. හරියටම 11.45 විතර සුභ පැතුම් පෝස්ට් එක දාගත්තා. මට හිතුනා ඒක නම් කර ගන්න බැරිවෙයිද කියලා. එදා ඒ තරම් නෙට් හෙමින් වැඩ කලේ. කොහොම හරි දැන් ඒවා ඉවරයි නොවැ.

අද මම අවුරුදෙ පටන් ගන්න යන්නේ බොහොම සරල දෙයක් ලියලා. මේක ලියන්න කලින්ම ලියන්නම් මේ ලියන්නේ බෞද්ධයෙක් වුනු මම කාගෙවත් හිත රිද්දන්නවත්, අපහාසයක් කරන්නවත් නෙමෙයි. මේ ලෝකෙ තියන යථාර්ථයත්, මිනිස්සුන්ගේ බොරුව වංචාව, ගැනත්, මොන විදියට රඟපෑවත් අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු බවත් කියන්නත් ඕනෙ කරන නිසායි. මේක මම මුහුණ දුන්නු ඇත්තම කථාවක්. 2004 විතර කාලෙ තමයි සිදු වුනේ.

මම කාලයක් ඖෂධ නිෂ්පාදනය සමඟ සම්බන්ධ වෙලා සිටියා. මේ රැකියාව රාජ්‍ය ආයතනයක කලේ. පස්සේ මම ඒ රැකියාව අතහැරලා දැම්මා. ඒ ගැන බොහෝම වටිනා කථා තියනවා. නමුත් ඒවා දේශපාලනට සම්බන්ධ නිසා කවදාවත් ලියවෙන එකක් නැහැ.

මම ඒ ආයතනයේ සිටි නිලතත්වය අනුව මා බාරයේ තමයි සියළුම ඖෂධ වට්ටෝරු එහෙම තිබුනේ. මම ඉතින් නිකන් ඉන්න වෙලාවට ඕවා කියවනවා. ඒ කියන්නේ හැම වෙලේම කරන්නේ ඒකම තමයි. දවසක් මට ලැබුනා මරු බඩුවක්.

ඔන්න කට්ටිය කලබල වුනා. එහෙම දෙයක් තමයි. අර ආච්චි පනුවන්ගෙන් අහගත්තෙ. අන්න ඒ වැඩේට තමයි. හැබැයි මේක තියනව නම් ඒ සෙල්ලම් ඕනෙ නැහැ. ඉතිං මමත් කවදා හරි ඕනෙ වෙයිනේ කියලා ලියා ගත්තා. ඔය වට්ටෝරු වැඩි හරියක් ලියා ගත්තා තමයි. ඒවා බ්ලොග් එකට වැඩක් නැහැනේ.

මම මේ ජොබ් එක දාලා ආවා කිව්වනේ, ඒ ඇවිත් තමයි මේ පොල පටන් ගත්තේ වැඩේ නැගලම ගියේ ටික කාලෙකින්. මුල් කාලේ වැඩි වැඩකුත් නැහැනේ. ඒ සැරේ මම මට අවශ්‍ය පොඩි පොඩි ඖෂධ නිපදවන්න ගත්තා. ඒකත් ටිකක් නැඟල ගියා. ඒත් ඒක මට හරියන වැඩක් නෙමෙයි. ඒකත් අත හැරියා. ඔය කාලේ මට මතක් වුනා අර මුලින් කිව් ඖෂධය. අමාරුවෙන් අමුද්‍රව්‍ය එහෙම ලෑස්ති කරන් හැදුවට මොකද කාට දෙන්නද. ඒකට හොද ඇනකොන්ඩෙක් හොයා ගන්න ඕනෙනෙ.

ඔහොම ඉන්නකොට මම දන්න කෙනෙක් ඔය ප්‍රශ්නෙ ගැනම මහා විලාපයක් මා එක්ක කිව්වා. ඔන්න බඩුව. දෙයියෝ දුන්නු චාන්ස් එක කියලා හිතලා නමෝ විත්තියෙන් දුන්න බේත. බොහොම ටික කාලයයි ගියේ, දවසක් මෑන් මට ගෙනත් දුන්න හොද කේක් එකක්.

දැන් ආයිත් ටික කාලෙකට පස්සෙ දවසක් ඔබ කවුරුත් නම කිව් සැනින් දන්න, ගුරුකම් වලට ප්‍රසිද්ධ, තාමත් සාසනේ ඉන්න, සඝනායක වගේ පෝස්ට් එකක් තියන ලොක්කෙක් මගේ පොඩි ඩිස්පැන්සරිය අහ ඇවිත් බොහෝම කුළුපඟ විදියට ආගිය තොරතුරු කථා කරනවා. ඔන්න ටිකකින් අහනවා

"අපේ මහත්තයා දන්නවද අහවලා"

මම අපෝ ඔව්. ඒ මගේ මිත්‍රයෙක්නෙ.

ආයිත් මට කියනවා පුටු කබල මට ලන්කරලා, මගේ කනට කරලා, "එයා තමයි මට මේක කිව්වේ අපේ මහත්තයා ඒ මහත්තයා මට කිව්වා. අපේ මහත්තයා ගාව දිව්‍ය ඖෂධයක් තියනවා කියලා. අනේ මහත්තයෝ මට මේ දන්න කෙනෙක්ට දෙන්න, පොඩ්ඩක් ඕකෙන් දෙන්නකො. මම මහතයාගේ ගාන ඉල්ලල දෙන්නම්."

දැන් දැන් මට තේරෙනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේටමයි කියලා. මම මගේ ලඟ ඒ කාලෙ වැඩ කළ ගෝලයට කිව්ව බේත ගෙන්න කියලා. අපරාදෙ කියන්න බැහැ නියම ගෝලය මූ මේක ගෙනවා බොහෝම රහසිගතව ඔතලා කරලා. දැන් අරුන්නාන්සේ දාගත්තා මල්ලට ගෝලයගෙන් ගාන ඇහැව්වා. ඌකියපු ගානට මටම බය හිතුනා. ඒ උනාට අරුන්නැහැ ඇද්ද මල්ල. දුන්න සල්ලි. එහෙනම් මයේ මොකෝ.

තවත් ටික කාලෙකින්, දැන් මේ බේත ඉවරයි. ඒක හදන්න වෙන දුක දැක්කම මට ආයිත් කවදාවත් හදන්නේ නැහැ කියලා හිතුනා.

ඔන්න දවසක් එනවා අවුරුදු 70 වැඩි අර වගේම එයිට වඩා ටිකක් අඩු ලොක්කෙක්, අරයා පලාතකට ලොක්කෙක්. මෙයා එයාට වඩා පොඩි හැබැයි වයසින් වැඩියි. ආවේ බොභොම අමාරුවෙන්. ඇවිත් කෙලින්ම කථාව.

අර උන්නාන්සෙට අපේ ලොකු මහත්තයා දීල තියනවා බේතක්. ස්නායු වැඩෙන්න. මටත් අන්න ඒකෙන් දෙනවකො ළමයො.

අපේ ගොලයත් දැන මගෙන් අහන් නැතුවම වැඩ. හැබැයි මම දන්නව දැන් අර බේත ඉවරයි කියලා. තවත් හදන්නෙත් නැහැ කියලා. මම එපාද ඒ කට්ට කන්න. ඒත් කොල්ල මොනවා හරි ගනුදෙනුවක් කොලා ලොක්කත් එක්ක.

වැඩේ ඉවරවෙලා පිට පාරෙන්ම යාළුවා ගියා. මම කොල්ලගෙන් ඇහුවා,

මොනවද තෝඉ අරුන්නැහැට දුන්නේ,

අයියෝ දන්නැත්ද අර බේත නැහැනේ.

ඒ වයසෙ හැටියට හරවලා යවන්නත් බැහැනේ මම දුන්න "ගොක්ෂූර" ගුලි ටිකක්.

එතකොට සල්ලි??

සල්ලිද ඒක අරයට දුන්නට වඩා ගනන්නේ.

මේ කථාව මතක් වුනේ එක්තරා ඖෂධයක් ලංකාවේ විකිණීමෙන් රුපියල් දශ ලක්ෂ 26 විතර ආදායමක් බටහිර බෙහෙත් කොම්පැණියක් හොයලා තියනවා පසු ගිය වසරෙ. නමුත් මේකෙ හාස්‍ය ජනක දේ තමයි ඒ බෙහෙතේ තියන්නේ අර මම කිව්ව ගෝක්ෂූර. ඔන්න වැඩ. හැබැයි අපි මේවා භාවිතා කරනවා අනාදිමත් කාලයක් තිස්සේ. අපේ දේට වෙන දෙ?

කවදාවත් අපේ මිනිස්සු මේක ආයූර්වේද කිව්වොත් ගනියිද?

හැබැයි ඇමරිකාවෙන් ගෙන්නන පැලෑටියකින් හැදුව දෙයක් නම්.......