Wednesday, December 19, 2012

ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම.

කලින් ලිපි කීපයකම අපි කතා කළා මඳසරුභාවය කියන මාතෘකාව. මම බ්ලොග් ලෝකයට පැමිණි විගස මේ පිළිබඳ සඳවට රන් තරු නමින් ලිපි කීපයක්ම ලියුවා මතකයි. ඊට පසුත් ලිපි කීපයක්ම මේ පිළිබඳ ලියූ බව මතකයි.
ඒ සියල්ලේ ලින්ක්ස් මෙහි පිළිවෙළින් දමන්නම්.
1.ලිපිය
2. ලිපිය
3.ලිපිය
4.ලිපිය
5.ලිපිය

පුරුෂ මඳ සරුභාවය/ එයට ප‍්‍රතිකාර/ආයූර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඉන් මිදීමට ඇති මාර්ගය පිළිබඳ ඉතා වැදගත් කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය කළා.

ඊට පසු කාන්තාවන්ගේ මඳ සරුභාවයට හේතුවන කාරණාත්, ඒවාට ප‍්‍රතිකාරත්, ඉන් මිදීමට ආයූර්වේද උපදෙසුත් පිළිබඳ සාකච්ඡා කළා.
1.ලිපිය
2.ලිපිය
3.ලිපිය

අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් ඒ වගේම ස්ත‍්‍රි පුරුෂ දෙකොට්ටාසයේම සරුභාවයට හානි කරන සාධකයක් පිළිබඳවයි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි මේ සංකල්පය අපි හඳුන්වන්නේ ”ඌෂ්ණය” "Ushnam" යනුවෙන්. ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

මේ පිළිබඳවත් අවස්ථාවකදී කතා කළ බව මට මතකයි.
1.ලිපිය

ආයූර්වේදයේ එන ඌෂ්ණ සංකල්පය යනු කුමක්ද?
එනම් ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, Potential Energy එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ. මෙම ජෛව රසායනික ක්‍රියාකාරකම් සිදු වීමේදී ශක්තිය වැය කර එම අදාළ ක්‍රියාව සිදු වන අතර ඉන් යම් නියත ප්‍රමාණයකින් ශක්තිය හානී Energy Wastage වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් මිනිස් ශරීරයේ සිදුවන නොයෙකුත් ජෛව රසායනික ක‍්‍රියාකාරකම් නිසා සිදුවන ශක්ති සංසරණයේ Energy Flow එක් අවස්ථාවක් වන ශරීරයෙන් ශක්ති හානිය Energy Wastage වන අවස්ථාව නියමාකාරයෙන් සිදු නොවී කායික ශක්ති සමීකරණය අසමබර වීමයි. වැඩිපුරම ආයූර්වේදයේ රෝගී අවස්ථා වලට හේතු වන මේ තත්ත්වය ශක්ති හානියේ ඉතා වැඩි වීම් නිසා මෙන්ම ඉතා අඩු වීම් නිසාද සිදු විය හැකිය.

නවීන විද්‍යාවේ අර්ථ දැක්වීම් වලට මේ සංකල්පය යම් තරමක ආගන්තුක බවක් අපට පෙනෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ එන නොයෙකුත් රෝග කාණ්ඩ යටතට මේ ආශ‍්‍රිත රෝග ඇතුළු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ආසාත්මික රෝග Allergic Conditions ගත හැකියි. මෙපමණක් නොවෙයි ඉතා පුළුල් පරාසයක විහිදුණු රෝග රාශියක් මෙයට ඇතුළු වෙනවා.

දැන් අපි කතා කළ කායික විභව ශක්තිය ආයූර්වේදයේ දී භාවිතා වන්නේ කඵ කියන නමින්. ක‍්‍රියාකාරී කායික ශක්තිය අයූර්වේදයේදී වාතය නමින් හැඳින්වෙනවා. වැඩිපුර ශක්තිය හානිවන අවස්ථාව ඌෂ්ණ යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම නියමාකාරයෙන් වන ශක්ති හානිය හැඳින්වෙන්නේ පිත කියන නමින්.

වාත, පිත සහ කඵ යන කායික ශක්තීන් තුන පිළිබඳ සුශ්‍රැත මහාසෘෂිවරයා මෙසේ පවසයි.

විසර්ගාදාන වික්ෂේපෛඃ සොමසූර්‍ය්‍යයා නිලා යථා,
ධාරයන්ති ජගත් දේහං කඵ පිත්තා නිලාස්ථතා.
සුශ්‍රැත සූත්‍ර 21 අධ්‍යායය.

මෙහි අර්ථය වන්නේ,
යම් සේ චන්ද්‍ර, සූර්‍ය්‍ය, වාත යන වස්තුත්‍රය විසර්ග, ආදාන, වික්ෂේප යන කාර්‍ය්‍යයන්ගෙන් ලෝකය ධාරණය කරයි ද, ඒ ආකාරයෙන්ම කඵ, පිත්ත, වාත යන ත්‍රය ශරීරය ධාරණය කරන බවයි.

අපිට බහුලව අහන්න ලැබෙන ප‍්‍රශ්නයක් තමයි ඇඟ ඌෂ්ණ නිසා පිළිසිඳ ගැනීම් සිදු නොවන බව. මෙහි ඇති විද්‍යාත්මක භාවය කුමක්ද?
අප ඉහත අර්ථ දැක් වූ අකාරයට ශරීරයේ සිදුවන ජීව ක‍්‍රියාවක් වන ඩිම්භ සෛලයක මේරීම නම් ක‍්‍රියාවලියේදී මේ ඌෂ්ණය යන සාධකය මගින් අහිතකර අයුරින් යම් බලපෑමක් සිදුවීමේ ඉඩක් තිබෙනවා. එය අද ලෝකය පුරා පැතිරී පවතින මඳසරුභාවය නම් රෝග තත්ත්වයට බොහෝ සෙයින් හේතු වනවා.

ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක‍්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක‍්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි. එවිට එම ජීව ක‍්‍රියාවලීන් නිවැරදිව සිදු නොවෙයි.
මෙහි අනිවාර්‍ය්‍යය ප‍්‍රතිඵලය වන්නේ,
1. ඩිම්භ සෛලයක් නියමිත ප‍්‍රමාණයට නොවැඞීම, Immature Follicles
2. කුඩා කුඩා ඩිම්භ සෛල විශාල ප‍්‍රමාණයක් ඇති වීම, Poly Cystic Ovarian Syndrome
3. ස්කෑන් පරීක්ෂාවක දී ඩිම්භ සෛල එකිනෙකට ඇලී මුදුවක ආකාරයෙන් පිහිටීම, Ring Type Structure වැනි තත්ත්වයන්ය.

මෙයට අමතරව මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන තවත් කායික රෝග ලක්ෂණ කීපයක් ම ඇත.
1. රුධිරයේ කාන්තා හෝමෝන සාන්ද්‍රණයන් වෙනස් වීම.
2. පුරුෂ හෝමෝන සාන්ද්‍රනය ඉහළ යාම.
3. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුණේ රෝම වර්ධනය වීම.
4. ශරීරය අධිකව මහත් වීම.
මේ රෝගීන් අතර යම් යම් මානසික තත්ත්වයන් ද නිරීක්ෂණය කළ හැක. බොහෝ විට නොඉවසිලිමත් ගතිය, අවිශ්වාසය, කේන්ති යාම ඉතා බහුලයි.

මෙම තත්ත්වය පුරුෂයන්ටත් පොදුයි. බොහෝ විට ඌෂ්ණ ශරීර ඇති පුරුෂයන්ගේ පුරුෂ බීජ දුර්වල ක‍්‍රියාකාරී බව Motility පැහැදිලි වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය ස්ත‍්‍රී පුරුෂ දෙපිරිසටම තමන්ගේ සරුභාවය පවත්වා ගැනීමේදී හානි කරන බව කිව යුතුයි. පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනයේදී ඌෂ්ණයේ බලපෑම නිසා එහි ව්‍යුහයේ ඇති වන බලපෑම මගින් ශුක්‍රාණුවක රූප විද්‍යාත්මක විවිධත්වයට Morphology හානි සිදු විය හැකියි. එනම් තදින් ඌෂ්ණය ඇති ශරීරයක් හිමි පුරුෂයෙක්ගේ ශුක්‍රාණු නිපදවීමේදී එම ශුක්‍රාණු නිසි අයුරින් මේරීමට ලක් වන්නේ නැතුව තිබීම නිසා එම ශුක්‍රාණු මෙසේ විකෘති බවට පත් වීමයි. මෙම ඌෂ්ණයේ බලපෑමට දිගු කාලයක් භාජනය වීමෙන් සරුබව ඉතා ශීග්‍රලෙස අඩු වනවා දක්නට ලැබේ. එම තත්ත්වයට ලක්වන පුරුෂයන්ගේ ශුක්‍රාණු නිෂ්පාදන වේගය, Spermatogenesis ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය, සහ ශුක්‍රාණුවල රූප විද්‍යාත්මක විවිධත්වය ද බොහෝ දුරට අඩු වී ඇති බව පැහැදිලිව පෙන්වා දීමට හැකිය.

මේ අවස්ථාවන්ට ආයූර්වේදයේ ප‍්‍රතිකාර තිබෙනවා ද?
පැහැදිලිවම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම අවස්ථාවන්ට ඉතා වටිනා ප‍්‍රතිකාර තිබෙනවා. මේ ප‍්‍රතිකාර අපි මෙහිදී ප‍්‍රයෝජනය ගන්නේ මඳ සරුභාවයට වුවත් සියලූම රෝග සම්බන්ධයෙන් ආයූර්වේදයේ අර්ථ දැක්වීම් මේ ආශ‍්‍රිතව තමයි සිදු වන්නේ. එම නිසා මඳ සරුභාවයට ප‍්‍රතිකාර කිරීමේදී පියවර දෙකක් යටතේ ප‍්‍රතිකාර කළ යුතුයි.

පළමු පියවර
1. ඌෂ්ණය ඉවත් කිරීම.
2. ඩිම්භ සෛල සහ පුරුෂ බීජ සෛල වර්ධනය, මෙම තත්ත්වයන් ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ යුතුයි.

දෙවන පියවර.
මෙහිදී ප්‍රධාන වශයෙන්
1. ආහාර,
2. කායික නීරෝගීතාවය පවත්වා ගැනීම සදහා ව්‍යායාම,
3. මානසික නිරෝගීතාවය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

මේ අයුරින් ප‍්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථකව මඳසරුභාවය සුව කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියි.

Monday, November 26, 2012

සුඛාන්ත රතිය සහ සුරතාන්තය!!

මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………

නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………...

අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.

මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්‍රන්ථයන් දෙක සලකමි.

මවිසින් මෙහිදී සඳහන් කළ මේ ග්‍රන්ථය තරම් සජීවීව සුරතාන්තය විස්තර කළ අන් තැනක් මෙතෙක් මට සමු වී නැත. එයට ද යම් හේතුවක් තිබෙනවා. මිනිස් සංතානයේ පහළ වන ඉතාම ගැබුරු හැගීමක්, දැනීමක් වචන වලට පෙරලීමේ අපහසුවයි. එවැන්නක් කිරීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විය යුතුයි. එවන් උගතුන් දෙපළක් වන මේ අනුවර්තක සහ නියම කතුතුමාගේ අදහස අනුව සුරතාන්තය යනු මේ යැයි යම් දල අදහසක් ලබා ගැනීමට Lady Chatterley's Lover ග්‍රන්ථය පිටුවහල් වනවා.

දැන් අපි බලමු බුදු දහමට අනුව ලියැවී ඇති දේ පිළිබඳව, ඔබට මතක ඇති මෙයට සමාන ලිපියක් මම ටික කලකට පෙරත් පළ කළා.

ස්ත්‍රී රූපය තරම් පුරුෂයන්ගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් නැත. එසේම කාන්තාවගේ සිත ද ඇද බැඳ ගන්නා ප්‍රධානම රූපය නම් පිරිමි රූපයයි. තවද මෙය ශබ්ද, ගන්ධ, රස, සපර්ශ ආදී සියල්ලට ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද එසේමයි. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1960, පිටුව 2 - 5) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මේ විශේෂ ලබැඳියාව හුදෙක්ම ලිංගිකත්වය නිසාම පැන නැඟුණකි. ලිංගිකත්වයට පුද්ගලයා තුළ සහජයෙන්ම ඇතිවන මේ ලබැඳියාව හෙවත් තෘෂ්ණාව හේතුවෙන් භවයට ඇති ආශාව ද, ඇලීම ද, ඇති වේ. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ම එන නකුල මාතා නකුල පීතා කථාවෙහි දී එම යුවළ ඊළඟ භවයේ දී ද එක් වීම ප්‍රර්ථනා කරයි. මේ ඇත්තෙන්ම ලිංගික බැඳීමයි.

අංගුත්තර නිකාය 05, ඉත්ථිබන්ධන සහ පුරුෂ බන්ධන නමින් සූත්‍රයන් දෙකක් සඳහන් වේ. මෙම සූත්‍ර දෙකෙහි අදහස වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් බැඳෙන ආකාරයයි. බුදුන් වහන්සේට අනුව අට ආකරයකින් ස්ත්‍රිය සහ පුරුෂයා එකිනෙකාට බැඳේ. එම ආකාර අට නම්,
1. රූපයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා බැඳේ.
2. හසිතයෙන් හෙවත් සිනායෙන් මේ දෙදෙනා බැඳේ.
3. වචනයෙන් හෙවත් කථාවෙන් මේ දෙදෙනා බැඳේ.
4. ගීතයෙන් ද, මේ දෙදෙනා බැඳේ.
5. රොදනයෙන් හෙවත් ඇඬුමෙන් ද, මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
6. ආකල්පයෙන් හෙවත් අඳින පොරවන සළු පිළියෙන් ද මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
7. වනභඬගයෙන් හෙවත් වන මල් පළ ආදී තුටු පහටු වන දෙයින් ද මේ දෙදෙනා බැඳේ.
මේ සියල්ලටම වඩා තරව ස්ත්‍රි පුරුෂ බන්ධනය ඇති වන්නේ නම් පහසින්මය. එය අටවන අවස්ථාවයි.

කාමාස්වාදය යනු කවරේද?
මෙම මාතෘකාව බුද්ධ වචනය තුල බොහෝ වාරයක් භාවිතය. ඉන් කීපයක් මෙහි ඔබ වෙනුවෙන් දක්වමි.

(1) මනාප්‍රිය රූපදී ත්‍රෛභූමක වස්තුකාමය කැමතිවන ඒ සත්වහට ඉදින් ඒ වස්තුකාමය සමෘද්ධ වේ නම් හෙවත් (ලැබේ නම් ) ඒ ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇති වූයේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාදයයි. එනම් මෙහි අර්ථය වන්නේ "යම් මිනිසෙක් හැල් ආදි කෙත්වතු හෝ ගෘහභාවස්තු ආදී වතු අමුණු හෝ ගවයන් අසුන් දස්කම්කරු පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයින් හෝ වෙනත් මනාප්පීය රූපාදී බොහෝ කාම වස්තූන් ක්ලේශකාම වශයෙන් පුන පුනා ප්‍රාර්ථනා කෙරේද මේ ආස්වාදයයි". ( ඛුද්දක නිකාය නෙත්තිපකරණ, දේසනාහාර විභංගය, බු. ජ. ත්‍රි. 1960.)

(2) මජ්ඣිම නිකාය 03, පුණ්ණම සූත්‍රය, බු. ජ. ත්‍රි. 1960, පිටුව 116. සඳහන් වන රූපය නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදය උපදී එවැනිම වේදනා, සඥ්ඥා, සංස්කාර, විඤ්ඤාණයන් නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදයක් උපදී

ඉහත උදාහරණ දෙකෙන් අපට පැහැදිලි වන්නේ භෞතික වූ බඩු භාණ්ඩයන් මෙන්ම, ස්ත්‍රි ඇසුර, ස්පර්ශය, වැනි අත්දැකීම් වලින් ද අපට යම් සුවයක්, වින්දනයක්, ආස්වාදයක් ලැබිය හැකි බවයි.

(3) බුදුන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේම එන සුභ සූත්‍රය මෙසේ පස්කම් සැපයෙහි ඇතිවන ප්‍රීතිය යම් පරිදි තෘණ කාෂ්ටෝපාදාන නිසා ගිනි දල්වා ද, ඒ ප්‍රීතිය එවැනියයි වදාරති. එනම් තෘණ කාෂ්ටෝපාදාන යනු සියුම් ඉන්ධනයන්ය. එවැනි දේ නිසා ඇතිවන ගින්න වඩා සෞම්‍යය. එම නිසා පස්කම් සැපය නිසා ඇතිවන ප්‍රීතියද සෞම්‍ය වේ.

බුදු දහමේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ උදාහරණ ඇතත් මේ ලිපිය වඩා කෙටි කර ගැනීමේ උත්සාහය නිසා මේ කරුණු පමණක් ඇතුළත් කරමි. මේ සියල්ලම එක්ව ගෙන සිතා බැලූ කළ අපට බුදු දහම අපගේ ඉහත මාතෘකාව පිළිබඳ දක්වන්නා වූ විග්‍රහය සබන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම උගහට වන්නේ නැත.

පුද්ගලයාට කාමය උපදන වස්තු ප්‍රධාන කොටස් කීපයකි. භෞතික වූ බෝග, වගා, ධන, ධාන්‍ය, ඉඩකඩම් වැනි දෑ ද, අභෞතික වූ ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, නාසය ප්‍රිය ගන්ධ, කයට ප්‍රිය ස්පර්ශය ද, මනසට ප්‍රිය සිතුවිලි ද වශයෙන් ය. මේවා ඇති විට පුද්ගලයා සොම්නසට පත් වේ, ආස්වාදයට පත් වේ. සතුටට පත් වේ.

මේ අනුව සිතූ කළ පුද්ගලයාගේ ලිංගික තෘප්තිය හුදෙක්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යන මේ ඉන්ද්‍රිය ප්‍රීණනය මුල් කර ගත්තක් බව පැහැදිලි ය. මේවා කාර්‍ය්‍යක්ෂම ලෙස පිනවීමට ලිංගික කාර්‍ය්‍යයේ දී සමත් වන පුද්ගලයා හොදින් ලිංගික තෘප්තිය ලබන අතර නොයෙක් හේතු මත ඒ අසමත් වන පුද්ගලයාට ලිංගික තෘප්තිය සම්පූර්ණ නොවේ. ලිංගික ක්‍රියාව නම් කාර්‍ය්‍යයේ දී පසිඳුරන් අවදිව තබා ගැනීම ඉතා අවශ්‍ය කාරණයක් බව අප දැනගත යුතුය. එනම් ඇස, කන, නාසය, මෙන්ම, දිව, සහ ශරීරය ද එක සේ මේ කාර්‍ය්යයේ දී එකාත්මික විය යුතුය. එමෙන්ම මනසින් සූදානම් වීම ද අතිශයින්ම වැදගත්ය. මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්‍ය්‍යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි.

ලිංගිකත්වයේ ඉතාම වටිනා නීතිය නම් තමන්ගේ සැපය මෙන්ම අනෙකගේ සැපය පිළිබඳව ද, සැලකීමක් කිරීමයි. අප වැණි රටවල ඉතාම අඩු අවධානයකට ලක් වන අංශයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. හුදෙක් දෙදෙනෙක් සහභාගී වන මෙවැනි කාර්‍ය්‍යයක් කෙලෙසකවත් ආත්මාර්ථකාමී එක් පුද්ගලයෙකුගේ හුදු සැපය සදහාම වෙන් විය යුතු නොවේ. මෙහිදී තම සහකරු හෝ සහකාරියගේ සැපය පිළිබඳව ද යම් අවධානයක් යොමු කළ යුතුමය. තම ඉන්ද්‍රි‍යයන්ගේ අවදි බව මෙන්ම අනෙක් පාර්ශ්වයේ ඉන්ද්‍රියයන්ගේ අවදිබව පිළිබඳ සැලකීම ඉතා වැදගත්ය. එවිටයි නිසි ලිංගික ක්ෂාන්තිය දෙදෙනාටම ලබාගත හැක්කේ. මනා සිහියෙන් හුදු අදාළ කාර්‍ය්‍යයම පිළිබඳ සිහියෙන් පසිඳුරන් පහම පිනවීමට යොමු වීම දෙදෙනාටම අවසාන සුඛාන්තය ලැබීමේ එකම මඟයි.

අප බොහෝ විට මේ කාර්‍ය්‍යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්‍රියයන්ය.

සහකරුගේ හෝ සහකාරියගේ පියවි රූපය හොදින් දැකීම ම උත්තේජනයේ ආරම්භය ලබා දෙයි. එය සවිශක්තිමත් උත්තේජනයක් වන්නේ එකකුගේ සිරුර අනෙකාට රසඳුනක් වුවොත් පමණය. කන ද ඉතාම වටිනා ලිංගික අවයවයකි. කනට ඇසෙන ශබ්ද (සුසුම්, මුණුමුනුවන්, කෙදිරීම්) එකිනෙකා නඟන ශබ්ද ඔවුනොවුන්ගේ රතියේ ඇති ගැබුර වැඩි කරයි. නාසය ද එසේමය, එකිනෙකාගේ ගන්ධය යනු ඉතා වටිනා ලිංගික උත්තේජනයකි. එය රති ක්‍රීඩාවේ දී ඉතාම වැදගත් අංගයක් බව දන්නෝ කීයෙන් කීයක් ද? නවීන විද්‍යාවේ දී සොයාගෙන ඇති ෆෙරොමෝන යනු මේ ගන්ධය ඇති කරන ලිංගික උත්තේජනයට වැදගත් වන සාධකයකි. ලිංගික ක්‍රීඩාවේ දී හැම විටම එහෙන් මෙහෙන් කෙරෙන සිප වැළද ගැනීම් ක්‍රමවත්ව එකිනෙකාගේ රසය උරා බීම දක්වා දියුණු කර ගැනීමට හැකි නම්, ස්පර්ශය එකිනෙකාගේ ශරීරවල සුඛස්පර්ශය නියමාකාරයෙන් ලැබිය හැකි ආකාරයට දියුණු කර ගැනීමට ඔබ දක්ෂ වුවොත් සුරතාන්තය එතරම් අපහසු ඉලක්කයක් කියා මට නම් නොසිතේ.

මෙම ලිපිය මා සිතුවාට වඩා දිග්ගැසුණත් මෙය එකම ලිපියක් ලෙස ලිවීම මැනවැයි මට සිතේ. එම නිසා තවත් කුඩා කොටස් කීපයක් මෙයට එක් කරනවාට ඔබ විරුද්ධ නැතැයි සිතමි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සම්බන්ධව ලියැවී ඇත්තේ කුමක් දැයි අපි සොයා බලමු. පළමුවෙන් මම නිතර කියවන මගේ හස්තසාර ග්‍රන්ථ කීපයෙන් එකක්වන චරක සංහිතා වේ එන තොරතුරු මෙසේ දක්වමි.

චරක සංහිතාව, ආර්. බුද්ධාස, (සිංහල අනුවාදය ), චිකිත්සිතාස්ථානය, සංයෝගශරමූලීය වාජීකරණපාද අධ්‍යායය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1960, පිටුව 455.

ආත්මවත් පුද්ගලයා නිතර වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු බවත්, චරක මුණිවරයාම පවසා තිබෙන අතර මෙහි දී වාජීකරනයන් ලෙස ධර්ම, අර්ථ, ප්‍රීති, යශස යන මේවා සඳහන් කර තිබේ.

ස්ත්‍රියගේ රූපා දි එක එක ඉන්ද්‍රියාර්ථය පවා අතිශයින්ම ප්‍රීත්‍යෝත්පාදක බව ද, එසේ වූ කළ රූප, රස, ගන්ධ, ස්පර්ශ, ශබ්ද, යන සියල්ලේම එකතුවෙන් සෑදී ඇති ස්ත්‍රී ඇසුර කෙතරම් වේ දැයි එතුමා මෙහිදී විමසනවා. මෙහිදී ද සඳහන් කරන්නේ කාන්තා ඇසුර හුදෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමකට වඩා මුළු පංචේන්ද්‍රියන්ගෙන්ම විඳිය යුතු කාර්‍ය්‍යයක් බවයි. එවැනි ලිංගිකත්වයකට සුරතාන්තය යනු එතරම් අභියෝගයක් නොවන බවත් මින් හැඟවෙනවා.

චරක සංහිතාව ඉහත අධ්‍යායයේ දී ම වෘෂ්‍යස්ත්‍රිය හෙවත් කාන්තාව වාජීකරණයක් ලෙස දක්වන වැදගත්කම පිළිබඳ බොහෝ විස්තර සඳහන් කර තිබේ.
(1) ප්‍රීතිය ස්ත්‍රීන් කෙරෙහිම පවත්නේය. ධර්මය, අර්ථය, ලක්ෂ්මිය, හා ලෝකය(සසර ) ස්ත්‍රිය කෙරෙහිම පවත්නේය.
(2) ස්ත්‍රියගේ වාජීකරණ ලක්ෂණ. මනා රූ සපුව, යෞවනෝදය, යහපත් ලලනා ලක්ෂණ වලින් යුතු බව, අවනත බව, (ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?)
(3) රති ශාස්ත්‍රයෙහි නිපුණ බව.
යන මේ ලක්ෂණ ඇති කාන්තාව අති ශ්‍රේෂ්ඨ වාජීකරණ ය යැයි දත යුතය.

දැන් චරක සංහිතාවේ ම සදහන් වන ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ගෙන එමි. මින් කාන්තාවකගේ වාජීකරණ ගුණ වැඩි කරගෙන පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනාට ම ප්‍රබල සුරතාන්ත රතියක් ඇති කර ගැනීමේ මඟ හෙළි කර ගත හැකිය.

(1) රූපදී ගුණයෙන් දෙදෙනා සමාන වීම.
(2) යම් ස්ත්‍රියක් ගේ වචනය, ක්‍රියාව, වයස, ආදියෙන් පුරුෂයෙක් ගේ හද පැහැර ගනී ද එවැනි ස්ත්‍රිය නිසා පුරුෂයා ද, එම ස්ත්‍රියද රතිය සුඛාන්තයක්ම කර ගනී.
(3) යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට උත්සවයක් බඳු ද, එම ස්ත්‍රිය ද රති සුඛාන්තය ලබයි.
(4) යම් ස්ත්‍රියක් පුරුෂයාගේ මනස හා සමාන මනසක ආශ්‍රය ස්ථාන ඇති ද එවැනි කාන්තාව ද,
(5) යම් පුරුෂයෙක් හා ස්ත්‍රියක් සමාන සිත් ඇත්තී ද,
(6) ස්ත්‍රිය පුරුෂයාට වසඟ ද,
(7) ස්ත්‍රිය පුරුෂයාට ප්‍රිය දේම කරන්නේ ද,
(8) යම් ස්ත්‍රියක් සකළෙන්ද්‍රියයන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පුරුෂේන්ද්‍රියයන් බඳින මදුවක් වැනි ද,
(9) යම් ස්ත්‍රියකගේ වෙන්වීමෙන් පුරුෂයා ට රති රහිත වීමෙන් ලෝකය කාන්තාවන්ගෙන් සිස් යැයි හැඟේ ද,
(10) යම් ස්ත්‍රියක් නැති වීමෙන් පුරුෂයාට තම ඉන්ද්‍රියයන් හිස් ලෙස හැඟේ ද,
(11) යම් ස්ත්‍රියක් නිසා පුරුෂයාට, භය, නොඇල්ම, ශෝකය, උද්වේගය හෙවත් නොසන්සුන් කම යන මේ හැඟීම් පහළ නොවේ ද,
(12) යම් ස්ත්‍රියක් ලැබීමෙන් පුරුෂයා ප්‍රේම කතා කියයි ද,
(13) යම් ස්ත්‍රියක් දැක පුරුෂයා අතිශය හර්ෂයට පැමිණේ ද,
(14) නිත්‍ය අතිවේගයාගේ ආනන්දයෙන් අපූර්ව යැයි සිතා යම් කාන්තාවක් වෙත පුරුෂයා නිතර එළබෙන්නේ ද,
(15) යම් කාන්තාවක් හා විසීමෙන් පුරුෂයා ට ඇති වීමක් නොවේ ද,

මේ කාන්තාව පුරුෂයාට වාජීකරණයක් ම වේ.

දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි.

(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.
(2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.
(3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.
(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.
(5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.
(6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.


සුදනෙනි කිම වීරිය නොකරන්නේ?

Tuesday, November 13, 2012

අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව.

ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් තමයි අකුරු කරන්නට සිතුවේ.

එනම් මේ වසරෙදි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සදහන් වී ඇති කරුණුයි. මම එකින් එක ඒ පෙළ ගස්වන්නම්……

සමස්ත අයවැය ගැන කියන්නට මම අපේ මහාචාර්‍ය්‍ය මාතලන් මෙන් ආර්ථික කටයුතු පිළිබඳ වියතෙක් නොවෙමි. එනමුත් 34.2 යෝජනාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

යෝජනා අංක - 01

ගරු කතානායකතුමනි, වැඩි වෙමින් පවත්නා බෝනොවෙන රෝග නිවාරණය හා වැඩිහිටි සත්කාර සේවාවන් පවත්වා ගැණීමට දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා.

මේ යෝජනාව 34.2 සමස්ත යෝජනාවේ හරය ලෙස සැලකිය හැකියි. එනම් බෝ නොවෙන රෝග රටේ වැඩි වැඩියෙන් පැතිරෙමින් පවතින බව රජය පිළිගැනීම සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඒ අඩු කිරීමට යම් ශාක්‍යතාවක් දරන බවත් මේ යෝජනාවෙන් රජය පිළිගෙන තිබෙනවා. එසේම ඒ හැකියාව වැඩිකළ යුතු බවද ඒ සදහා රජය සූදානම් බවද මින් ගම්‍ය වනවා. ඒ නිසා මෙවර 2013 වසරේදී එම කටයුත්ත ඉටු කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ නිලතල දරන්නන් සූදානම් වියයුතු බවත් මින් හැඟවෙනවා.

එයිට අමතර කොටසකුත් 34.2,අංක - 01 යෝජනාවේම තිබෙනවා. එනම් වැඩිහිටි සත්කාර සේවයයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව මේ සඳහා විශාල හැකියාවක් දරනවා. නමුත් අවාසනාවට ඒ පිළිබඳ යම් හඳුනා ගැනීමක් මෙතෙක් සිදු වී නැහැ. එම නිසා මාගේ බලවත් ප්‍රසාදය එම කරුණ කෙරෙහි දක්වනවා. අමතරව මම මෙසේද යෝජනාව සංශෝධනයකට ලක් කිරීමට කැමතියි. එනම් රටේ පැවතුණු මහා 30 අවුරුදු යුද සමයේ අංග විකලතාවට පත් වූ සහ වෙනත් ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් යම් ආයූර්වේදීය වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මේ වැඩිහිටි සත්කාර සේවය යටතේම ආරම්භ කිරීම සුදුසු බව මට පෙනෙනවා.

යෝජනා අංක - 02

එමෙන්ම පාරම්පාරික දේශීය ඖෂධ මෙන්ම වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පාරම්පාරික වෛද්‍යවරුන් අයූර්වේද දෙපාර්තමේන්තුව හා ආයූර්වේද රෝහල් පද්ධතියට සම්බන්ධ කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට ඉදිරි වසර 3 තුල ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

යෝජනා අංක - 02 යටතේ එන යෝජනාව ඉතාම කල්පනාවෙන් විග්‍රහ කළයුතු යෝජනාවකි. එනම් මෙහි පැතිකඩයන් කීපයක් පවතිනවා. අපි ඒ වෙන වෙනම ගෙන සලකා බලමු.

(1) පාරම්පරික දේශීය ඖෂධ සංරක්ෂණය කිරීම.
ඉතාම හොද යෝජනාවක්. මට මතකයි 1992 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආයූර්වේද දෙපාර්තමේන්තුව මඟින්, පැරණි ආයූර්වේද වට්ටොරු ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතියක් පැවතුණා. එහි දී එකතු වූ දැනුම "තල්පතේ පිළියම්" නමින් ග්‍රන්ථ රාශියක් ලෙස එළි දැක්වුණා. මේ ව්‍යාපෘතිය වි. ජ. මු. ලොකු බණ්ඩාරයන්ගේ සමයේ වූවක් බව ද සටහන් කරමි.

එවැන්නක් නැවත ඇරබිය නොහැකිද? එසේ කරනවා නම් නවීන තාක්ෂණය යටතේ විශාල දැනුමක් ක්ෂේත්‍රයට එක්කර ගත හැකි බව මට නම් බොහෝ විශ්වාසයි.

(2) පාරම්පාරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම.
කළ යුත්තේ එම දැනුම විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අවශෝෂණය කර ගැනීමේ ක්‍රමයක් ඇති කර ගැනීමයි. පාරම්පාරික වෛද්‍ය ක්‍රමය බොහෝ වටිනා වුවත් එන්න එන්නම එය පිරිහෙමින් පවතිනවා. එම වෛද්‍ය පීතෘවරුන්ගේ දරුවන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා. අනෙක නවීන තාක්ෂණය උපයෝගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් පවතිනවා. එම නිසා එම වෛද්‍ය දැනුම විශ්වවිද්‍යාල වෙත අවශෝෂණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් මේ යටතේ ඇරබීම සුදුසු යැයි මට නම් සිතෙනවා. ඒ සදහා එම වෛද්‍ය පීතෘවරුන් වෙත මුදල් හෝ වෙනත් යම් පහසුකම් ඔවුන්ට ඇවැසි ලෙස ප්‍රධානය කළ හැකි ක්‍රමයක් ඇති කිරීම වඩාත් සුදුසු යැයි මට සිතෙනවා.

(3) පාරම්පරික වෛද්‍යවරුන් දැනටත් සීමිත සංඛ්‍යාවක් ආයූර්වේද රෝහල් වල රාජකාරීවල යෙදෙනවා. එම ක්‍රමය හොද දෙයක් වුවත් මෙලෙස යම් නියාමනයක් නැතිව ඇති කරන ක්‍රමයක් ආයූර්වේදයේ හිත සුව පිණිස හේතු නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මම ඉහත දී යෝජනා කළ පරිදි පාරම්පරික දැනුම එම වෛද්‍ය පීතෘවරුන් වෙත සාධාරණ වූ ප්‍රතිදානයන් සපයමින් ලබා ගැනීමයි.

(4) මේ යටතේ ගම්‍යවන තවත් කරුණක් තමයි ඉදිරි වසර තුනක් කාලයක් තුළ රජය ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේ යම් විශාල දියුණුවක් බලාපොරොත්තු වන වග. එසේ නම් ඔවුන් ඒ සදහා මේ යෝජනාව යටතේ තීන්දු කර ඇත්තේ පාරම්පාරික දැනුම ආයූර්වේද පද්ධතියට එක් කර ගැනීම තුළින් එය වේගවත් කිරීමේ උපක්‍රමයයි. මට හැඟෙන අයුරු මෙය ඉතා හොද අදහසක්, වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනඟන්නට යන බවයි.

ඇයි මම එසේ කියන්නේ?

දැනටමත් පාරම්පාරික වෛද්‍යවරුන් යම් යම් සුවිශේෂී හැකියාවන් ඇති අය තම දැනුම විශ්වවිද්‍යාල වල සහ රජයේ රෝහල් වල සේවය කිරීම තුළින් ශිෂ්‍යයන් වෙත ලබා දෙමින් සිටිනවා. ඒ ක්‍රමයේ නොයෙක් ගැටලු තිබෙනවා. එම වෛද්‍ය වරුන්ට තම සේවයට නිසි අයුරු සැලකීම් සිදු වන්නේ නැති වග මම හොදින්ම දන්නවා. මේ යෝජනාව අනුව කළ යුත්තේ ඒ සේවාව ඔවුන්ගෙන ඔවුන්ට නිසි ගෞරවයෙන් ලබාගෙන, ලබාදෙන දැනුමට සරිලන ප්‍රතිලාභයක් ඔවුන් වෙත නැවත ලැබෙන අයුරින්, එසේ වුවොත් මෙය ඉතාම වැදගත් යෝජනාවක්.

යෝජනා අංක - 03

එබැවින් වෛද්‍ය සංරක්ෂණ යෝජනා ක්‍රමයක් මඟින් සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් එක් රැස් කර ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෙදකම දියුණු කිරීමට යෝජනා කරනවා.

ඉහත අංක 2 යෝජනාවම නැවත වෙනත් අයුරකින් පැවැසීමක් මෙහිදී ද සිදු වනවා. එහිම සාරාංශගත අදහස නැවත මෙසේ පළකර තීබන බව පෙනෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති සැබෑ අර්ථය කුමක්දැයි මට දැනට නම් සිතා ගැනීමට අපහසුයි. විශ්වවිද්‍යාල තුනක සිසුන් දහසකට වැඩි ගණනක් වසරකට තම සේවය රටට ලබා දීමට සුදුසුකම් ලබනවා. ඒ අය අතරින් බොහෝමයකට රැකියා නැති තත්ත්වයක්ද තබාගෙන අයවැය ලේඛනයේ ඒ කිසිත් පිළිබඳ සඳහනක් නොමැතිව තිබියදී නැවත නැවත පාරම්පාරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ගැනම පුනරුච්චාරණය කිරීම අයවැයකට සුදුසු දැයි මට නම් පැහැදිලි නැහැ.

අය වැය රජයේ ආදායම් වියදම් විස්තර සහ එන වසරේ තම රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ ප්‍රතිපත්ති ඇතුළත් කරන ලේඛනය විනා රැකියා සුලභ කරන ලේඛනයක් නොවේ යන්න මම පිළිගනිමි. නමුත් පාරම්පාරික වෛද්‍යවරුනට රැකියා ලබා දීමට විරුද්ධ නොවන අතර එය ලබා ගැනීමේ වාසිද ඇති බවත්, නමුත් එය කළ යුත්තේ නිසි නියාමනයකින් බවත් පැහැදිලිවම මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

මෙහිදී සුප්‍රසිද්ධ යන වදනින් හැඟවෙන වෛද්‍යවරු එතරම් දක්ෂයින් නොවීමටත් හැකියි. නමුත් අප යෝජනා කරන්නේ විනාශ වී යාමට ප්‍රථම සමහර දේශීය වෛද්‍යක්‍රම ආරක්ෂා කර ගත යුතු බවයි. ඒ සදහා වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් රටට වැඩදායක ලෙස විසඳගැනීමට හැකි බව නම් මට විශ්වාසයි.

යෝජනා අංක - 04

එමෙන්ම බෝ නොවෙන රෝග සම්බන්ධව බටහිර වෛද්‍ය වරුන්ගේද සහභාගීත්වයෙන් දේශීය වෙදකම් පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමට 2013 දී රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඉතාම හොද යෝජනාවක් සහ මම කැමතිම යෝජනාව මෙයයි. ආයූර්වේදයේ උන්නතිය රැදී ඇත්තේත් මෙතුළයි. නමුත් මට මතක හැටියට 2010 හෝ 2009 පමණ මේ යෝජනාව අයවැය ලේඛනයක් තුළ අන්තර්ගත වූවා. එවර මිලියන 100 ප්‍රමාණයක් මේ සදහා වෙන්වූවා. අලුත් මිලියන 300 ගැනීමට ප්‍රථම පරණ මිලියන 100 වූ දේ ගැනත් සොයා බැලිය යුතුයි. ඒ නිසි අයුරු ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවල යෙදවූවාද? නැතිනම් නැති නාස්ති වී ගියාද? ඉන් ඵල නෙළුවෝ කවුද? මේවා ගැනත් යම් අවබෝධයක් ඇතුවයි මෙවර ලැබෙන මුදල සදහා ව්‍යාපෘති සකස් කළ යුත්තේ.

මේ යෝජනාවෙන් කියා ඇති පරිදි දැනටත් අප පර්යේෂණ වල යෙදෙනවා. නමුත් අපේ අමාත්‍යාංශයවත්, දෙපාර්තමේන්තුවවත් ඒ නොදන්නා බව මම දනිමි. (නොදන්නා සේ සිටින බව.) යම් ආකාරයකින් මිලියන 300 න් මිලියන 5 පර්යේෂණ සදහා වියදම කරන්නට කැමැත්තක් ඇත්නම් ඒ අභියෝගය භාර ගැනීමට මම කැමැත්තෙමි. රසායන විද්‍යාව, උදිභිද විද්‍යාව, බටහිර වෙදකම යන අංශ වලින් පී. එච්. ඩී. උපාධි ලබාගත් පුද්ගලයන් හා සමග ලෝකයේ වෙනත් රටක විශ්වවිද්‍යාලයක් ද, අපේ ආයූර්වේද පර්යේෂණ ආයතනය ද, සම්බන්ධ කරගෙන ආයූර්වේද පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳ ප්‍රතිඵල රටට දීමට මම කැමැත්තෙමි. සියලු පුද්ගලයන් සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීමේ හැකියාවද මට ඇත. වියදම දැරීමට කැමති නම් ඒ අභියෝගය මම භාර ගනිමි. ( අපේ ආයූර්වේද පර්යේෂණායතනයේ පහසුකම් සැපයීමත් ඒ අධීක්ෂණයත් රජය භාර ගන්නවානම් පමණක් මෙය සිදු කරන්නට හැකිබවට මම කොන්දේසියක් ද ඉදිරිපත් කරමි.)

යෝජනා අංක - 05

තත්ත්වයෙන් බාල බටහිර මෙන්ම ආයූර්වේද ඖෂධ වරග රට තුලට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ත්‍රෛභාෂා සටහන් සහිතව තත්ත්ව පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

ඉතාම හොද අදහසක්. ප්‍රමිතිකරණය අපේ වැනි තුන්වන ලෝකයේ රටවලට ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් අපි ඒ ගැන යම්කිසි සැලකීමක් නැති වීම අපි අපහසුවෙන් ලබා ගන්නා ජාතික ධනය විනාශ වී යාමට හේතු වනවා. එම නිසා මේ පිළිබඳ ආයූර්වේද පර්යේෂණද ආයූර්වේදය තුළ වහාම සිදු විය යුතුයි. දින තුන්සිය හැටපහම වසාගෙන සිටින ඇතුළත ඇත්තේ කිමෙක්දැයිවත් නොදන්නා ප්‍රමිතිකරණ අංශයකින් නම් මෙය බලාපොරොත්තු වීමට වඩා ලෙහෙසියෙන්ම ඉබ්බන්ගෙන් පිහාටු ගත හැකි බවද අවසාන වශයෙන් මතක් කරමි.

ඒ වගත් මෙසේමයි!!!

Thursday, October 25, 2012

ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක‍්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම.

මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.

මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට පැමිණ නැතත් ඉක්මනින් එතැනට පැමිණෙන බව දන්නා නිසා ඔබට වැදගත් වෙයි මෙය.

මම කීපවිටකම කතා කළ මාතෘකාවක් තමයි මඳසරුභාවය.

මා ඒ පිළිබඳව ලිපි පෙළක්ම ලියා ඇති.

අපි දන්නවා දැන් දැන් ලංකාවෙත් මඳසරුභාවය ඉතා විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා. මේ නිසා දුක්වෙන යුවළවල් බොහෝමයි. මේ අය වියදම් කරන මුදලට සරිලන සේවයක් මේ අයට ලැබෙනවද?

මට තිබෙන එක් ප්‍රශ්නයක් මේක. අපි වගේ රටවල් බොහොම අකමැතියි යම් රටාවකට හුරු වුනහම ඉන් මිදෙන්න. මෙහිදී අපි අලුත් දැනුම සොයා යන්නේ නැහැ.

කෙසේ හෝ මා ඉතා මෑතකදී ලබාගත් මේ දැනුම ඔබට ලබා දෙන්නේ මින් ඔබට, ඔබේ හිතවතුනට ලැබෙන සේවය අපමණ නිසයි.

1 හැඳින්වීම.
කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප‍්‍රධාන කාර්ය්‍ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලූ ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප‍්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප‍්‍රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප‍්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක‍්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක‍්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක‍්‍රියාකාරීත්වය නවතී.
මෙම ක‍්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප‍්‍රති මුලේරියන් Anti-Müllerian hormone හෝමෝනයේ අඩු වීමයි.

2 ප‍්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?
මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප‍්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප‍්‍රති මුලේරියන් හෝමෝන ප‍්‍රමාණය ඇයගේ සක‍්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.

3 සජීවී ක‍්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?
මෙවැනි අය බොහෝ විට,
1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.
2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.
3. එන්ඩොමේට්ට‍්‍රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.
4. විකිරණ ප‍්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.
නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.
5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.
6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප‍්‍රතිකාර ක‍්‍රම වලට යොමු වූ කාන්තාවන්
7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.
8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප‍්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)

4. මෙවැනි රොගීන් බොහෝ විට ඇති වන්නේ හේතු කීපයක් නිසයි.
1. විවාහ වීමට කාලය ගත වීම.
2. විවාහ වී එක්වරම දරුඵල අපේක්ෂාවෙන් කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම භාවිතා කිරීම.
3. පුරුෂ මඳසරුභාවය ඇති විට ඒ සඳහා ප්‍රතිකාර නොකර කාන්තාවන්ට කරන උත්තේජන ප්‍රතිකාර මගින් දරු සම්පත් ඇති කර ගැනීමට තැත් කිරීම.
4. නොයෙක් හේතු මත නළදරු උපත් වැනි ක්‍රමවලට අඩු වයසින් භාජනය වී කාන්තා හෝමෝන සාන්ද්‍රනය කෘත්‍රිමව වෙනස් කිරීම.


5. ප‍්‍රති මුලේරියන් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ,
1. සාමාන්‍ය අගය නැනෝග‍්‍රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.
2. 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.
3. 0.3 - 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.
4. අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.
5. අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.

6. මේ තත්ත්වය සදහා ආයූර්වේද ප‍්‍රතිකාර තිබේද?
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක‍්‍රමානුකූල ආයූර්වේද ප‍්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.


යම් කාන්තාවකගේ ඔසප් චක‍්‍රය ඉතාමත් අක‍්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක‍්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් කරනු ලබන ප‍්‍රතිකාර වලට සුදුසු අයයි.

Tuesday, October 16, 2012

හොද මී පැණි හඳුනා ගැනීම.

පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව.

අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත හැකි ලෙස හොද මී පැණි සොයා ගන්නා ආකාරය පිළිබඳ ලියන්න.

මුලින්ම මට වුණු සිද්ධි දෙකක් කියන්නම්. ඔබ දන්නවද දන්නේ නැහැ. හසලක පැත්තෙ තිබෙන ඉතාම පිටිසර ප්‍රදේශයක් තමයි බලවර්ධන ඔය කියන්නේ.

1999 කාලෙදි මම මහනුවර තමයි රැකියාව කළේ. එවකට මගේ තනතුර වූයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයූර්වේද නිෂ්පාන. මට තිබූ විශාලම ප්‍රශ්නයක් තමයි මේ හොද මී පැණි සොයා ගැනීම. අපි බොහෝ කාලයක සිටම මී පැණි ලබා ගන්නේ මේ බලවර්ධන ඔය සිටින ඉස්කෝලෙ මහත්තයා නමින් හැදින් වූ අයෙක්ගෙන්. එතුමාගේ මී පැණි වලට ගහන්න මී පැණි මම අද වනතෙක්ම දැකලා නැහැ.

අපේ ආයතනයේ සභාපති තුමා මට මේ පුද්ගලයවම හදුන්වා දුන්නා මී පැණි ගැනීම සදහා. ඒ ගමන් හරිම විනෝදජනකයි. කෙසේ හෝ මම මාසයකට වරක් යා යුතුයි මේ මී පැණි ගනුදෙනුව සදහා. මී පැණි කිලෝ දහස් ගණනක් ආවාට ගියාට මිලදී ගෙන යම් නාස්තියක් වුවොත් මම ගස්. ඒ නිසා මේ වැඩේට මමම යනවා. දිනක් මම බලවර්ධන ඔය යනවිට ඉස්කෝලෙ මහත්තයාගේ කඩේ ඉදිරියේ වැදි පෙනුමැත්තෙක් කණුවකට තබා බැද තිබෙනවා. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කොළඹම සිටි මට මේක මහ ප්‍රශ්නයක්.

ඉස්කෝලෙ මහතයගෙන් මේ ගැන අහපු මට ලැබුණු උත්තරේ තමයි මේ.

" අපේ මහත්තයා මූ වැද්දෙක් නෙමේ මූ සිංහලයෙක්. මුලු වැදිරැහැම දන්න මාව රට්ටන්න මූට බැහැ. මේ මිනිහ මී පැණි ගෙනාවා වඳ පිටින්. මම බලාපුවහම ඔක්කොම වඳ පරණ වද කලින් මිරිකල පැණි අහක් කළ ඒවා. මූ කොහෙන් හරි පැණි නැති වඳ හොයන් සීනී වතුරේ වඳ පොඟවලා ගෙනත් මාව රට්ටන්න"

මෙහෙම කියලා දුන්න අර මිනිහට පයින් පාරක්. එතකොට මේක කෑගහනවා මරන්න හදනව වගේ. මට දැන් මාරම ජොළි වැඩේට.

ඔන්න මී පැණි එක කතාවක්. තව එකක් මම කලින් කියා ඇති අර සීනි දියකළ ජලය ටැංකි වලට පුරවා මැස්සන් ලවා ට්‍රාන්ස්පෝට් කළ කතාව. එය මතක ඇතැයි සිතනවා.

ඔන්න ඔහොමයි අපේ මී පැණිවල කොලිටිය.

නමුත් ඔබේ පැනයට මා පිළිතුරු සැපයිය යුතුයි. ඒ නිසා මා දන්නා සාම්ප්‍රදායික ක්‍රම ගැන අපි කතා කරමු.

මේ ලිපිය ලියන්න මම කතා කළා, වර්තමානයේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව දෙරටේම ආයූර්වේද උගතෙක්, බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමාට. මෙතුමා මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්.

එතුමාත් සමගත් කතා කළ පසුවයි මේ ලිපිය ම'විසින් ලියනු ලබන්නේ.

(1) ක්‍රමය
මී පැණි ගින්නට ඇල්ලූ විට පිළිස්සෙන ද්‍රව්‍යයක්. හොද මී පැණිවල ජලය නැහැ. එනිසා එය ගින්නට ඇල්ලූ විට දැල්විය යුතුයි. නමුත් මට ඇති ප්‍රශ්නය පලතුරු වලට කාබයිට් දැමීමට තරම් කුරිරු සමාජය ගින්න දැල්විය හැකි යමක් කලවන් මී පැණිත් සමග එකතු නොකරයිද???

(2) ක්‍රමය
ඊළඟ ක්‍රමය වන්නේ, මී පැණිත් ජලයට එක් කිරීම. මී පැණි බිංදු කීපයක් පිරිසිදු ජලය අඩංගු වීදුරුවකට දැමූ විට එම පැණි බිංදු කීපය වීදුරුවේ අඩියට කිඳා බැසිය යුතුයි. මෙහිදීත් මිනිසාට හැකියාවක් තිබෙනවා යම් වංචාකාරී ක්‍රමයකට මේ පරීක්ෂණයෙන් බේරීමට.

(3) ක්‍රමය
මෙයත් වංචාකාරීන්ට සකස් කළ හැකියි. එනම් සාමාන්‍යයෙන් මී පැණි අවුන්ස 24 බෝතලයක් එනම් මිලි ලීරර් 750 ප්‍රමාණයේ බෝතලයක අඩංගු මී පැණිවල බර 1කිලෝ ග්‍රෑම් විය යුතුයි.

(4) ක්‍රමය
තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කරන්න තරම් අපි පොහොසත්ද ? හැකි නම් කරලා බලන්න. මී පැණි බල්ලන් නොකයි. මී පැණි ස්වල්පයක් බල්ලන්ට දුන් විට නොකනවා නම් ඒ පිරිසිදු මී පැණි වේ. බල්ලන්ට මී පැණි කවන්න ?????

මීට අමතරව විද්‍යාත්මකව මී පැණිවල විශිෂ්ට ගුරුත්වය මැනීම, මී පැණිවල අඩංගු රසායන ද්‍රව්‍යවල සංයුතිය මැනීම වැනි ක්‍රමද මේ සදහා උපයෝගී කරගත හැකියි.

මේ කිසිදු ක්‍රමයක් නොමැතිව පළපුරුද්ද, දැකපුරුද්ධ, සහ අතහුරුව ඇති අයට මී පැණි හඳුනා ගැනීම බෙහෙවින් පහසු වැඩකි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශය මේ ගැන යම් අවධානයක් යොමු කිරීම වටී. යම් නිර්ණායකයක් ඇති වනවා නම් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුනටද පහසුවකි.

සෑම මිනිසෙකුටම තමන් වියදම් කරන මුදලට සරිලන සේවයක් හෝ භාණ්ඩයක් ලැබීම සදහා අයිතියක් ඇත. ඒ ඉටුකරදීම රජයක වගකීමකි, යුතුකමකි.

Friday, October 12, 2012

සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.

මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න.

ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ස්තුතියි දේශකයා. ඔබ කලණ මිතුරෙක්....

"හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් ‍මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර ‍පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට‍ හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ ‍නම් හොද බව හගිමි. මෙම ‍කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ."

ඔබ දැන් දන්නවනේ මගේ රැකියාවේ විස්තර එතකොට මගේ වෙන වෙන කටයුතු පිළිබඳව. ඒ නිසයි මේ පමාව. නැතිනම් හපන්කම්, පුරසාරම්, සහ මෝඩකම් වලින් මගේ කෝෂ්ඨාගාරය පිරිල තිබෙන්නේ. ඉන් කොටසක්වත් ඔබ හමුවට ගෙන ඒමම මට මහත් සතුටක්.

අපි බලමු දැන් මී පැණි ගැන.....
ඔබ කියවා ඇති විද්‍යාචක්‍රවර්තීහුගේ බුත්සරණ කාව්‍යය. එය ඇරබෙන්නේ මෙසේයි.
"සුවයෙහි මිහිරි දන්නා දුක් හි දැඩිකම් දන්නා"
එහිම තවත් තැනෙක,
"නව බග සඳක් මෙන් මිහිරි වන්නා කැමති.....සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි"
මේ ආදී ලෙසින් සරල වූත් ඉතාමත් සුගම පද මෙහි පබඳෑ ඇත.

බුදුන් සරණ යාමෙන් සත්පුරුෂයනට ආධ්‍යාත්මික මිහිරකුත්, බැහැරි සිතන, දකින, අයට තමන් මිහිරි වන නියායෙකුත් එම පද වලින් පැහැදිලි කෙරේ.
එනම් ඇස, කන, නහය, දිව, ශරීරය යන මේ පසිඳුරන් සතප්පන, පිනවන, සනසන, සියල් දෑ මිහිරිය.
මිහිරට නොකැමැත්තෙක් සොයා ගැනීම ම උගහටය.

මලින් බර වසන්තය මී පැණි වලින්ද ආඪ්‍යය. එනිසා වසන්තය මංගල්‍යය කාලයකි. මහා කවි කාලිදාසයෝ සෘතු සංහාරයෙහි වසන්ත සෘතුව මෙසේ වර්ණනා කෙරෙති.
"ප්‍රඵුල්ල චූතාඬ්කුර තීක්ෂණ සායකො ද්විරේඵමාලා විලසධනුර්ගුණඃ
මනාංසි භේත්තුං සුරතප්‍රසඬ්ගිනාම් වසන්තයෝධඃ සමූපාගතඃ ප්‍රියේ!

තවත් තැනෙක,

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්‍රියඃ සකාමඃ පචනඃ සුගන්ධිඃ
සුඛාඃ ප්‍රදේෂා දිවසාශ්ච ර්‍යාඃ සර්වං ප්‍රියේ! චාරුතරං වසන්තේ"

"සොඳුර! සුපිපි අඹමල් නැමැති ඊ ඇති මී මැසි පෙළ නැමැති බබළන දුනුදිය ඇති, වසන්තයෝ තෙමේ රති කෙළියෙහි ඇලුනවුන්ගේ සිත් බිඳින්නට සපැමිණි යේ ය.

සොඳුර! වසන්ත කාලයෙහි සැම දෙයම අතිශයින් මනහර ය. වෘක්ෂයෝ සුපුෂ්පිතයහ. ජලාශයන් පියුමින් යුක්ත ය. කාන්තාවෝ රති කෙළියෙහි ලොල් යහ. සුළඟ මල්සුවඳින් අමෝදිත ය. මෙසේ වසන්තයේ සියලුම දේ මනහර යහ.


මිනිසා පමණක් නොව සියලු සත්වයෝ මිහිරට බොහෝ කැමතිය. මිහිරි සෑම දැයටම මී පැණි උපමා යැ. ගී සිංදු කනට මී පැණි දමනා සේ සමහරුනට මිහිරිය. තවකෙක්ට බුදු බණ එපමණකටම මිහිරිය. පිළිස්සුණු කයට මී පැණි තැවරීම ම සැපකි. බිඳක් ඇස ලෑමෙන් ඇසේ පෙනීම තවත් පෑදේ. මිපැණි ඉඳුරන් සනසයි. මතුද නොව ජරා මරණ දෙකද ඈත් කරයි. එබැවින් මී පැණි සැබවින්ම අමෘතයකි.

මී පැණි වනාහී මී මැස්සා නැමැති කුඩා පතඬ්ගයෙක් විසින් මල්වලින් එකතු කර ගන්නා යුෂයෙන් නිපදවන අර්ධ ඝන ස්‍රාවයකි. මිනිසා මව් කුස පිළිසිඳ ගත් දින සිට අවසන් හුස්ම හෙළනා තෙක් දිවි ගමනේ නොයෙක් අවස්ථාවලදී මී පැණි ඔහුට උපකාරී වේ.

මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කර ගැනීමට ඉතාමත් විශ්වාසදායී ඖෂධයකි.

මී පැණිවල රසානික සංයුතිය මෙතනින් බලා ගන්න පුළුවන්.

මෙතනිනුත් පුළුවන්.

ඔන්න මේකත් බලලමු ඉමුකො.

තව විස්තර ඕනෙනම් මේකත් බලන්න පුළුවන්.

අපේ බ්ලොග් කාරිණියන් අතර සිටින පළපුරුදුම මනා හැකියාවක් ඇති අංක එකේ බ්ලොග් කාරිනියක් වන සොදුරු සිත මගෙන් කළ ඉලීමක් තමයි මේ ඉටු කරන්නේ.

හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න. එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න. එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න. භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි. ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.

දැන් මේ භාජනය හොදින් වසා දින කීපයක් තබන්න. මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න. මෙය දිනපතා කිරීමෙන්,

1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.
2. හදවතේ බලය වැඩි වේ.
3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.
4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීරකෘත්‍යයට විශාල පහසුවක් ඇති කරයි.
6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.
7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.
8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.
9. චිර ජීවනය ලබා දෙයි.

අත්දුටුවයි…... සත්තයි…….

___සතුට ඇති කරයි_____!!!!!

Thursday, September 27, 2012

පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය.

පරමාණුක වාදය යනුවෙන් හැදින්වෙන්නේ පරමාණුවක පැවැත්ම තහවුරු කරන වාදයයි. බටහිර දී ඩිමොක්‍රීටස් මුලින්ම පරමාණුවක පැවැත්ම පිළිබඳ අදහස ලෝකයට ලබා දුන්හ. තේල්ස් නම් දාර්ශනිකයාද යම් අදහසක් මේ ගැන ලබා දුන්නද ඩිමෝක්‍රිට්ස්ගෙන් ඇරබෙන පරමාණුක වාදය 1800 දී පමණ ජෝන් ඩොල්ටන්ගේ පැමිණීමත් සමග නවීන මත දක්වා දියුණු විය.

පරම + අණුව යනුවෙන් කියවෙන්නේ යම් ද්‍රව්‍යයක් බෙදිය හැකි කුඩාම කොටස යන්නයි. පරමාණුවක ඇති පරමාණුක අංශු, උප පරමාණුක අංශු යන බොහෝ දේ අද හඳුනාගෙන ඇත. නමුත් මේ කිසිවක් දැකිය හැකි නොවේ මේවා බොහෝ විට අද්‍රව්‍යමය ද්‍රව්‍ය ලෙසත් එසේත් නැත්නම් ශක්තීන් හා යම් විද්‍යුත් ආරෝපනයන් ලෙස අර්ථ දැක්විය හැකිය.

පරමාණුවක ව්‍යුහයේ පැහැදිලි සීමාවක් අද ද දැකිය හැකි නොවේ. යම් යම් උපකල්පන සහ සීමා කිරීම් මගින් මිනිස් බුද්ධියෙන් ගොණුකරගත් සම්මතයන්ට අනුව පරමාණුව පිළිබඳ උගෙනීම කරනු ලබයි. කොටින්ම පරමාණුව යන ප්‍රපංචය මිනිස් බුද්ධියට මිස ග්‍රහනයට ස්පර්ශයට බඳුන් නොවන දෙයකි. මිනිස් ඇසට කවර ලෙසකින් වත් ගෝචර නොවේ. මේ සියල්ල අනුව පරමාණුව යම් අද්‍රව්‍යමය වූ දෙයක් ලෙස හඳුන්වා දීම වඩා සුදුසු වේ.

බටහිර විද්‍යාවේදී මෙසේ පෝෂණය වන පරමාණුක වාදය නිසා අද මිනිසාට නොයෙක් පළ ප්‍රයෝජන මෙන්ම මහත් වූ විනාශයන්ද උරුම කරදීමට සමත් වී ඇත.

පෙරදිගදී ද පරමාණුව පිළිබඳ නොයෙක් මත ආදි සෘෂි යුගයේ දී ඉදිරිපත් වී ඇත.

මම විශ්වයේ උත්පත්තිය පිළිබඳව ලිපි පෙළක් ලියාගෙන ගිය බව ඔබට මතක ඇති. නමුත් මට ඒ ලිපි එක දිගටම ලිවීමේ හැකියාවක් ඇති වුණේ නැහැ. එම ලිපි වලදී මම කතා කළා අභෞතික දේ භෞතික ද්‍රව්‍ය බවට පත් වන පිළිවෙළ.

එහිදී අභෞතික සහ භෞතික ලෙස අදහස් කරන්නේ ද්‍රව්‍යමය නොවන යමක් ද්‍රව්‍යමය බවට පත් වන්නේ කෙසේද යන්න බවත්, එසේත් නොමැති නම් කිසිවක් නොමැතිව තිබූ විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට වූ විට එහි ද්‍රව්‍ය ඇති වුණේ කෙසේද යන්න බවත් මා ඔබට පවසා සිටියා මතකයි. ..………. දැන් පැහැදිලිනෙ.

මේ සදහා අපි උපයෝගී කරගන්නේ භාරතීය දර්ශන වාදයන් අතර තිබෙන ප්‍රධානතම දර්ශනයන් වන,

වෛශෙෂික දර්ශනය
මෙහි මූල කතෘ වන්නේ කණාද සෘෂිවරයා. මෙම දර්ශනයේ පරමාර්ථය වන්නේ ධර්ම සහ මෝක්ෂ ලාහයයි.

වෛශෙෂිකයන්ගේ මෙම වාදයන් තහවුරු කර ගැනීම සදහා ඔවුන්,
(1) පරමාණුවාද
(2) අනෙකාත්මවාද
(3) සත්කා‍ය්‍යර්‍වාද
(4) පරමාණුනිත්‍යවාද
(5) ෂට්පදාර්ථවාද
(6) සෘෂ්ටිවාද
(7) මෝක්ෂවාද කියන මේ දැනුම උපයෝගී කර ගන්නවා. ඇත්තෙන්ම පරමාණුව කියන වචනය භාවිතයට පැමිණෙන්නේ මේ සමගයි.

ෂඩ් දර්ශන වලටම අයත් තවත් දර්ශනයක් වන,

සාංඛ්‍ය දර්ශනය
මේ සදහා උපයෝගී කරගත හැකියි. මෙහි නිර්මාතෘ වන්නේ මහර්ෂි කපිල මුනිවරයායි. කපිල මුනිවරයාට අනුව,
(1) අව්‍යක්ත
(2) ප්‍රකෘති, විකෘති
(3) මහත්
(4) පුරුෂ
(5) අහංකාර, යන මේවා පංචවින්ශති ලෙස හදුන්වයි.
මෙම පංච විංශති නැවත කොටස් දෙකකට බෙදෙයි. ප්‍රකෘති සහ විකෘති ලෙසයි.

ප්‍රකෘති යනුවෙන් සියල්ලකටම හේතුව වන, හෙවත් සියල්ලන් උපදවන. තමා කිසිවකු විසින් නූපදවන පදාර්ථ අර්ථ දැක්වේ. ප්‍රකෘතීන් යටතට පුරුෂ, මහත්, අහංකාර, සහ පංචතන්මාත්‍ර ගැනෙයි.

විකෘති වශයෙන් යම් කාර්යයක් කරන කිසිවක් නූපදවන, අන් හේතුවක් නිසා උපදින පදාර්ථ ලෙස දැක් වෙයි. විකෘතීන් වන්නේ, ඒකාදශ ඉන්ද්‍රිය සහ පංචමහාභූත වේ. ඒකා දශ ඉන්ද්‍රිය ලෙස පංචබුද්ධීන්ද්‍රිය (වන ඇස, කන, නාසය, දිව, සහ කය ද අයත් වේ.) පංචකර්මේන්ද්‍රිය (වන රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ද අයත් වේ.) යන දහයද මනසද අයත් වේ. පංච මහා භූත ලෙස,
පෘථිවි, - යම් ද්‍රව්‍යයක ඇති ඝන බව, ස්කන්ධයක් ඇති බව, තද බව ඇති කරන බලය.
ආපෝ, - යම් ද්‍රව්‍යයක ඇති ඇලෙන සුළු බව හෙවත් ඒකරාශී වීමේ බලය.
තේජෝ,- යම් ද්‍රව්‍යයක හැඩය සහ ශක්තිය ඇති කරන බලය.
වායු, - යම් ද්‍රව්‍යයක ක්‍රියාකාරී බව ඇති කරන බලය.
ආකාශ, - යම් ද්‍රව්‍යයක අන්තර් අවකාශය ඇති කරන බලය.

නැවතත් පරමාණුව සලකා බැලුව හොත් අපට එහි ඇති ඉලෙක්ට්‍රෝන වලින් චල ගතිය හෙවත් වායු පදාර්ථයත්, න්‍යෂ්ටිය ගොනු වී ඇති අන්දම සලකා බැලීමේදී එහි ආපෝ පදාර්ථයත්, පරමාණුවක වැඩියෙන්ම ඇති අවකාශ පදාර්ථයත්, න්‍යෂ්ටියේ ස්කන්ධය මගින් පෘථිවි පදාර්ථයත්, අන්තර් න්‍යෂ්ටික බල මගින් තේජෝ පදාර්ථයත් යන භූත පංචකයේ පැවැත්ම තහවුරු කරගත හැකිය.

දැන් ඉතා පහසුවෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි. කිසිම හෙතුවක් නැතිව උපදින පංචතන්මාත්‍ර සහ පුරුෂ, මහත්, අහංකාර, යන ප්‍රකෘතීන් විශ්වාරම්භයේදී ඇති වේ. මේවායේ ප්‍රතිඵල ලෙස විකෘතීන් වන පංචමහාභූත ඇති වේ. මෙහිදී පංචමහාභූත යනු ද්‍රව්‍ය - අද්‍රව්‍ය අතර සීමාවේ ඇති පදාර්ථයට අයත් දෙයක් බව පැහැදිලිය.

විශ්වයක් ඇති වී පැවතී නැති වී එයින් නැවත නව විශ්වයක් ඇරබේ යනු පුරාණ සෘෂි මතයයි. එවිට මේ පංචතන්මාත්‍ර ඇති වේ. ඒවා ඇති වීමට නියම හේතුවක් නැත. යම් කිසිවක උදව්වක්ද නැත. එම පංචතන්මාත්‍ර මගින් ඇතිවන බලයෙන් පංචමහාභූත ඇති වේ.

එහිදී නැවතත් පංචතන්මාත්‍ර මගින් පංච බුද්ධි ඉන්දිය පහ සහ පංච කර්මේන්ද්‍රය පහ ඇති වේ. ඒ සමගම මනසද ඇති වේ. මනසේ ඇති වීමත් සමග මානසික දෝෂ වන රජස් තමස් සහ සත්ව ඇති වේ. මේවා ඉතාම ක්‍රමානුකූලව සිදු වන ප්‍රතික්‍රියාවන්ය.

ඊට පසු ක්‍රමානුකූල පිළිවෙළකට පංචමහාභූත එකට එක එක් වීමෙන් කායික දෝෂ වන තිදොස් ඇති වීමට ගනී. මේවා භෞතිකය. එනම්,
1. වාත - වායු සහ ආකාශ භූත එක් වීමෙන් ඇති වේ. කායික, මානසික සහ පාරිසරික ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ මේ වායු දෝෂය මගිනි.
2. පිත - තේජ භූතය ප්‍රධානව ඇති වේ. කායික, මානසික, පාරිසරික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ක්‍රියාකාරී බලය සපයන්නේ තේජ භූතය ප්‍රධානව සෑදී ඇති පිතෙනි.
3. සෙම - ප්‍රථිවි, සහ ආප් මහා භූත එක වීමෙන් ඇති වේ. කායික සහ මානසික මෙන්ම පාරිසරික පැවැත්ම තීරණය වන්නේ මේ සෙම හෙවත් කඵ නම් බලය නිසාවෙනි.

දැන් මම ඔබට කායික සහ මානසික දෝෂ වල නිර්මාණය ගැන යම් වැටහීමක් ඇති කළෙමි.

පරමාණුව වන්නේ ජීවී අජීවී සියල්ලේ මුල් තැනුම් ඒකකය නම්, සෛලය වන්නේ ජීවී වස්තූන්ගේ මුල් තැනුම් ඒකකයයි.

ඉහත පරමාණුවක පැවැත්ම පෙරදිග මට අනුව පැහැදිලි කළ ආකාරයටම සෛලයක පැවැත්මද මෙසේ පැහැදිලි කළ හැක.

සෛලයක න්‍යෂ්ටිය යනු එහි ක්‍රියාකාරී කොටසයි. එහි බලපැවැත් වෙන්නේ බොහෝ වාත දෝෂයයි. සෛලය බෙදීම මේ අනුව සිදු වේ. එහි සිදුවන සියලුම ජෛව රසායන ක්‍රයාවලට බලය දෙන්නේ මේ වාත දෝෂයයි.

සෛලයක පවතින සියල්ල බැඳ ගැනීමේ සහ එහි හැඩය පවත්වා ගැනීමේ හැකියාව ඇති කරන්නේ එහි බලපවත්වන සෙම් ශක්තියයි.

සෛලයක සිදුවන සියලුම ජෛව රසායන ක්‍රියාවන් පාලනය කරන්නේ එහි වූ පිත මගිනි.


මෙහි අඩංගු වන්නේ මවිසින් ලියන ලද මුල් ලිපියෙන් ගත් ඉතාම සංක්ෂිප්තයකි. මෙ ලිපිය මාස කීපයක් තිස්සේ සෑදුවකි. විටින් විට ලියාගෙන ගියෙමි. පසුගිය සතියේ ඒ ගැන යම් ඉඟියක් කළේ ඔබ ඊට අකමැති නම් පළ නොකරන්නටය. නමුත් ඒ ගැන යම් ධනාත්මක ප්‍රතිචාර ලද බැවින් පළ කිරීමට තීරණය කළෙමි. නමුත් මෙවන් කරුණු සරල සින්හලෙන් ලිවීම ඉතාමත් අපහසුය. කෙසේ හෝ ඒ ගැන මූලික අවධානය යොමු කළෙමි. යම් අපහසුතාවයක් ඇතොත් අපි ඒ ගැන කතා කරමු. මේ ලිපිය ලියන්නට පහත පොත් උපයෝගී කර ගතිමි.

1. F. Max Muller, THE UPANISHADS
2. බණ්ඩාරනායක අනුස්මරණ ආයූර්වේද පර්යේෂණායතන රජත ජයන්ති අනුස්මරණ කලාපය, 1987.
3. ඩී. එම්. ආර්. බී. දිසානායක, පදාර්ථ විඤ්ඤාණය, 1981.
4. ඩී. එම්. ආර්. බී. දිසානායක, දෝෂ ධාතු මල විඥානය, 1981.
5. ඩී. එම්. ජයසිංහ, පඤ්ච නිධාන ග්‍රන්ථය, 1984.

ඊළඟ ලිපිය සුදුලූනු සහ මීපැණි ගැන....

Monday, September 24, 2012

ඇමරිකාවෙන් ලංකාවට සුපුරුදු පරිදි පුරුදු පරණ ජීවිතයට!!

එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න දේවල් වැඩි හරියක් මස්. ඕනෙ කෙමනක් කියලා රෝස්ට් කුකුළෙකුයි පානුයි ගෙනත් හොදට කාල හෝටලේට ඇවිත් නිදාගත්තා.

පසුදා උදේම අපි ලෑස්ති වුණේ සම්මන්ත්‍රණයේ පළමු දිනට. ඉක්මනින් ලංකාවට කතා කළා. ඒ අපේ උදේ ලංකාවට හවස 6 විතර නිසා.

සම්මන්ත්‍රණයේ මාතෘකාව වුණේ ඖෂධ පැළෑටි සහ ආයූර්වේද නිෂ්පාදන වුවත් මගේ ප්‍රියතම විෂය වන ආයූර්වේද දර්ශනය සහ මූලධර්ම පිළිබඳවත් සාකච්ඡා වුවා. මම ඒවට නම් බොහෝම කැමැත්තෙන්ම මගේ දායකත්වය ලබා දුන්නා. මලයාසියාවේ සිට පැමිණි ආචාර්‍ය්‍ය රංජිත් මෙහෙන්ඩෙකාර් ශිවජිරො මහත්මිය සහ ඉන්දියානු ජාතික මහාචාර්‍ය්‍ය බූශන් පත්වර්දන් යන දෙදෙනා ඉදිරිපත් කළ මතයන් සමග මම ඉතාම කැමැත්තෙන් එකඟ වුණා. මම ලංකාවේදි දියුණු කළ සමහර මත ඔවුන් සජීවී පරීක්ෂණ මාර්ගයෙන් ඉදිරිපත් කිරීම මට ඇත්තෙන්ම ආස්වාදනීය වුණා. ඒ සමඟම අපේ රට ගැන යම් කනගාටුවකුත් ඇති වුණා.

ඒ වගේම මේරිලන්ඩ් බයෝ ටෙක්නොලොජි සෙන්ටර් නම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය්‍ය ජුඩිත් ඒ. බ්‍රිට්z මහත්මිය මගේ පර්යේෂණ පිළිබඳ අසා මට ආරාධනා කළා ඒ ආයතනයේ පර්යේෂණ වලට සම්බන්ධ වන ලෙස. එය මා බාරගත්තා. මට ජීවිතයේ වෙන අරමුණක් නැහැ. කුඩා කල සිටම මම ප්‍රිය කළේ එයයි. නමුත් ලංකාවට පැමිණි විගස මගේ තවත් මිතුරියක් වන ආචාර්‍ය්‍ය සුනිති ගුණසේකර මහත්මිය යුරෝපා රටක ප්‍රධාන විශ්වවිද්‍යාලයක් හා ලංකාවේ සිට කරන පර්යේෂණයක් සදහා මාවද තෝරාගෙන තිබුණා. එම නිසා ජුඩිත්ගේ ආරාධනය කෙටි කලකට යටපත් කර ගැනීමට මා දැන් සිතා සිටිනවා.

ජෝන් හොප්කින් ආයතනයේ පැවැත්වූ මේ සම්මන්ත්‍රණය දින තුනක් පැවැති අතර දින තුනේදීම විටින් විට අපේ රටේ දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. දැනට ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය ස්වර්ණා සහ වෛද්‍ය සන්ධ්‍යා යන අපේ සොයුරියන් දෙදෙනාත් අප සමග එකතු වුණා, සම්මන්ත්‍රණය අතර මඟදී. ඔවුන් මේ වන විට ඇමරිකාවේ දී ඔවුන්ගේ ආචාර්‍ය්‍ය උපාධිය හදාරමින් සිටිනවා.

සම්මන්ත්‍රණය සදහා රටවල් විශාල ගණනක නියෝජිතයන් සහභාගි වුවත් සංවිධායකයින් මෙහි ප්‍රධාන රටවල් ලෙස ඇමරිකාවත්, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් පිළිගත්තා. එම නිසා ඇමරිකානු රජයේ නියෝජිතයා ලෙස මෙරිලන්ඩ් රජ්‍යයේ ආණ්ඩුකාර මාර්ටින් ඔමෙලේ, ඇමරිකාවේ සිටින ඉන්දියානු තානාපතිනිය වන නිරූපමා රාවෝ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්ම මහත්මීන්ද සහභාගි වූවා.

සම්මන්ත්‍රණයේ දෙවනි සහ තුන්වන දිනයන් සාකච්ඡා සදහාම වෙන්වූවා. කෙසේ හෝ ඉතාම සාර්ථක සම්මන්ත්‍රණයක් තුන් දිනකින් අවසන් වූවා. කාලය ඉතා මඳ වුවත් සාර්ථක දින තුනක් බව නම් කිව යුතුයි.

දෙවනි දින ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමාගේ ආරාධනයෙන් තානාපති නිවසේ දිවා භෝජනයට සහභාගී වීමටත් අපට සිදුවුණා. එයත් මහත් අගය කළ යුතුයි. තානාපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී අප පෙන්වා දුන්නේ ලංකාව සහ ඇමරිකාව යන රටවල් ආයූර්වේදය ඔස්සේ කෙසේ සම්බන්ධ විය යුතු ද යන කරුණයි. අප විසින් පෙන්වා දුන් සියලු කරුණු ඉතාම සංයමයෙන් එතුමා පිළිගත්තා. නුදුරේදීම ඇමරිකානු ආයෝජකයන් හා අප කණ්ඩායම අතර සාකච්ඡාවක් සූදානම් කරන බව එතුමා අපට දැන්වූවා.

මෙතැන් සිට දින ගණනාවක්ම ඇවිදීමට රටතොට බැලීමට ගත කළා.

ඇරුණි අක්කා අප සමඟ සම්බන්ධ වුණේ ඒ අනුවයි. ඇයත් සමඟ ජෝජ් ටවුන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර බැලීමට ගියා.

ලංකාවෙන් ගිය මගේ මිතුරෙක් වන සිතාර ෆ්‍රනාන්දු හෙවත් වජිර නම් මිත්‍රයා ( ශ්‍රී ලංකා රගර් පිලේ හිටපු සාමාජිකයෙක්.) ඔහුගේ නිවසේ දින ගණනක් අප තබාගෙන සියලුම සත්කාර කළා. ඒ ගැන නම් ඔහුටත් ඔහුගේ ප්‍රිය බිරිඳටත් අප ණය ගැතියි. ඔහුගේ මිතුරන් වන කැළුම් සහ දිනේෂ් අපත් සමඟ වර්ජීනියා ගිය ගමන කෙදිනකවත් අමතක වෙන දෙයක් නෙමෙයි. අධික වේගයෙන් වේග පාලන කැමරා මඟ හරිමින් අපි හොඳ විනෝදයක් ලැබුවා.

වජිරගේ නිවසින් මගේ මිතුරන් දෙදෙනා නිව්යෝක් වෙතත් ඉන් නිව් ජර්සි වෙතත් ගමන් ගත්තා. මම තනිවම නැවත ලංකාවට පැමිණියා. මා එන ගමනේදී එයාර් ඉන්දියා ගුවන් යානය පැමිණිය යුතුව තිබ්බේ මුම්බායි වෙතයි. නමුත් ඔවුන් මා දැනුවත් නොකර එය දිල්ලි (Connecting Flight) වෙත ගෙනයනු ලැබුවා. මෙහිදී යන සහ එන ගමනේදී වූ සියලු සිද්දීන් නිසා මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබුණා. දිල්ලියේදී පළමුව කළේ එයාර් ඉන්දියා ආයතනයට ගොස් හොද සංග්‍රහයක් ඔවුන්ට කිරීමයි. ඇත්තෙන්ම එය මට නොසිතූ විරූ ප්‍රතිඵල ගෙන දෙන්නට සමත් වුණා. දිල්ලි සහ බොම්බෙ යන ගුවන් තොට දෙකේදීම ඔවුන් මා සාදරයෙන් පිළිගෙන අනෙක් ගුවන් යානය තෙක් කාලය මට වෙනම කාමරයක් සහ අවශ්‍ය සියලුම ආහාර නොමිලයේම ලබා දෙන්නට වග බලා ගත්තා.

මේ සටහන මින් නවතා මගේ සුපුරුදු ආයූර්වේද ලිපි මින් ඉදිරියට ලිවීමට අදහස් කරනවා. මුලින්ම මේ සතිය තුළදීම "පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය" යන දුලභ මාතෘකාව පිළිබඳ ලිපියක් පළ කරනවා. එය මේ වන විටත් 90% වැඩ අවසන් කර තිබෙන්නේ. ඊටත් පසු දිගින් දිගට ඔබ වෙත මගේ ලිපි ඉදිරිපත් කෙරෙනවා.

ඔබ මවෙත දැක්වූ අනුග්‍රහය මවිසින් ඉතාම බැතිබරව අගය කරනවා.


බොහොම ස්තුතියි මිතුරනි, මිතුරියනි!!!!

Thursday, September 20, 2012

මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට.

මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්‍රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය විද්‍යාලය විසින් ඖෂධ පැළෑටි සහ අයූර්වේද නිෂ්පාදන පිළිබඳව වෙනම සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කර තිබුණා. අප සහභාගී වූයේ එයටයි. මට ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. ඇත්තෙන්ම එම ආරාධනය පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යවිද්‍යා ආයතනය හරහායි. එහි ආචාර්‍ය්‍යය වරුන් දෙදෙනෙක්, පාලක මණ්ඩල සාමාජිකයෙක් (වෛද්‍ය උදාර අතපත්තු) සහ මා ලෙසයි කණ්ඩායම සෑදී තිබූයේ. නමුත් අවාසනාවට ආචාර්‍ය්‍යවරුන්ගේ වර්ජනය හෙතුවෙන් මාමිත්‍ර වෛද්‍ය කමල් සහ වෛද්‍ය නිමල් මහතුන්ට සහභාගී වීමේ වරම අහිමි වූවා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.

වීසා පිළිබඳ ගැටලුවක් ඇති නොවූයේ ජෝන් හොප්කින් ආයතනය අපට ලබා දී තිබූ සියලු ලියකියවිලි ඇමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට එවා තිබූ නිසායි. එම ආයතන අපට දැක් වූ අනුග්‍රහය ඉතා විශාලයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්‍ය්‍යාලීය සේවය ඉතාම ඉහළ මට්ටමකින් යුතු වූවා. අප කණ්ඩායමේ සියල්ලන්ටම එනම් ඉහත කියූ දෙදෙනාත්, මටත්, වෛද්‍ය උදාර මහතාටත්, ශ්‍රී ලංකාවේ සිටින හිමාලයා ආයූර්වේද නිෂ්පාදන ආයතනයේ කළමනාකාරවරයාටත් ඉතා පහසුවෙන්ම විසා ලබා දීමට ඔවුන් වගබලා ගත්තා.

එහෙත් සහභාගී වූයේ අප තිදෙනෙක් පමණයි. අනෙක් දෙදෙනාට ශ්‍රී ලංකා රජයේ අවසරය ලැබුණේ නැහැ. එය මේ ගමනේ මට ඇති වූ එකම සිත් වේදනාවයි.

ගමනට සියල්ල සූදානම් වුවත් අපේ සඟයින් දෙදෙනා කෙසේ හෝ එක්කර ගැනීමට ගත් උත්සහය අපතේ ගියා. ප්‍රතිඵලය වූයේ දිනය කට ලගටම පැමිණ ගුවන් ටිකට් ගැනීමට යාමේදී මහත් අපහසුතාවයකට පත් වීමට සිදුවීමයි. කලින් මා සහභාගී වෙනත් අවස්ථාවලදී මවිසින් කලින්ම ගුවන් ටිකට් මිලදී ගෙන තබා ගන්නා නිසා මට ඒ ගැන එතරම් අපහසුවක් වේ යැයි සිතුණේ නැහැ. නමුත් අධික මිල ගණන් යටතේවත් ඇමරිකාව වෙත ගුවන් ටිකට් ගැනීමට ආසන නැති බවයි අපට දැන ගන්නට ලැබුණේ. කෙසේ හෝ අවසානයේ ඉතා දුෂ්කර මාර්ගයක් වන ඉන්දියාව හරහා යාමට ගුවන් ටිකට් ලබා ගැනීමට අප සමත් වූවා.

ඉන්දියාව වෙත ගොස්, නැවත නිව්යොර්ක් වෙතත් ඉන්පසු ඇමරිකානු අභ්‍යන්තර ගුවන් ගමනකින් වොෂින්ටන් වෙත යාමටත් අපට සිදු වූවා. සාමාන්‍යයෙන් ඇමරිකාව වෙත යන අය බොහෝ විට කරන්නේ, ලංකාවෙන් එන්ගලංතය වෙතත් ඉන් ඇමරිකාව වෙතත් පියාසර කිරීමයි. වඩාත් පහසුම මාර්ගය වන්නේ දෝහා කටාර් වෙත ගොස් ඇමරිකාව වෙත යාමයි. ජපානය හරහා යන ක්‍රමයක්ද ඇතත් එයත් දුරින් වැඩි බවයි මගේ හැඟීම. වොෂින්ටන් වෙත යන්නන්ට දැන් මේ මස 20 වැනිදා සිට ඩුබායි හරහා යන්නත් ක්‍රමයක් ඇති වනවා. ඒ එමිරේට් ගුවන් සේවය වොෂින්ටන් ඩී. සී. වෙත පියාසැරීමට සූදානම් වන නිසා.

උදාර සහ මම, රමේෂ් සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිල්ලියට පැමිණියා. පැය 3 ටිකක් වැඩි කාලයක් ඒ සඳහා ගත වූවා. අපේ ගුවන් සේවයේ සත්කාරය ඉතා ඉහළයි. නොයෙක් ගුවන් සේවා වලින් ගමන් කර ඇති මා පළමුවෙන්ම එදිනයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක ගමන් ගත්තේ. මම හොදින්ම සෑහීමකට පත් වූවා.

අපි දිල්ලි ගුවන් තොටේ පැය කීපයක් ට්‍රාන්සිට් සිටිය යුතු නිසා වැඩි හදිසියක් නැතුව ඕපාදූප බලමින් රස්තියාදු වුණා. මතක තබා ගන්න ඉන්දියාවට ඇතුළු වීමේදී තමන්ගේ අතේ ඇති හැම බෑගයකම ගුවන් සේවයේ ටැග් එකක් එල්ලාගෙන යන්න. කොටින්ම තන්ගේ කෝට් කබා ආදිය අතේ ගෙනයනවා නම් ඒවයේද මේ ටැග් එල්ලාගෙන යන්න. අනෙක් කරුණ ඒවාට නිසි ලෙස ඉන්දියානු රේගු නිලධාරීන්ගේ මුද්‍රාවන් තබා ගන්නත් අමතක කරන්න එපා. යම් අමතකවීමක් වුවොත් ඔවුන් ඔබව නවතාගෙන මුල සිටම පිළිවෙලින් නැවත ඔවුන් ගේ පරීක්ෂාවන්ට ලක් කරනවා. එය මහත් කරදරයක්. මා මෙය නොදන්නවා වුවත් මගේ මිතුරන් දන්නා නිසා මා එදින එම කරදරයෙන් බේරුණා.

අපේ කටුනායක ගුවන් තොටත් සමග බැලීමේදී දිල්ලි ගුවන් තොට විශාල වුවත් අපේ නිලධාරින්ගේ ඇති මානුෂික බව ඔවුන් කෙරෙන් මා දැක්කේ නැහැ. අපේ පෙනුමත් ඉන්දියානු මොඩලයේ නිසා හැම විටම ඔවුන් අපව අමතන්නේ හිංදියෙන්. මම කීප සැරයක්ම ඔවුන්ට දැන්වූවා "මට ඔබ කියන කිසිවක් තේරෙන්නේ නැහැ. මම වෙන රටක වැසියෙක්" කියන එක. ඒත් සමහරක් හරක් වගේ නැවත නැවත ඒකම කළා. මම එන ගමනෙදී මේ ගැන ගුවන් තොට බලධාරීන්ට පැමිණිලි කළා. ඉන් මට සෑහෙන වාසියකුත් අත්වුණා ඒ ගැන පසුව ලියන්නම්.

ඊට පසු අපි එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් නිව්යෝර්ක් වෙත පිටත් වූවා. ඒක තමයි ගමන. මීට පෙර එක දිගට පැය 11 පමණ ගුවන් ගමනක යෙදී ඇති මට එතරම් බලපෑමක් සිදු නොවුණත් මගේ මිතුරන් දෙදෙනා සෑහෙන වෙහෙසට පත්වූවා. මධ්‍යම රාත්‍රිය වන විට අවදිව සිටියේ අප කීපදෙනෙක් පමණයි. අපි තුන්දෙනාත් ඉන්දියානු ජාතික අපේ වයසටම අයත් කීපදෙනෙක් එකට එකතු වී හොද හැටි විනෝද වුවා. ගුවන් සේවිකාවන්ට වෙන්කර ඇති කොටසේ ඔවුනුත් සමග කුළුපඟ වීමට අපට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. කෑම බීම ඕනෙ පදන් ලැබුණා. ඉතා ළාබාල ඒත් එම්. බී. ඒ. උපාධිධාරිනියක් වූ මංද්‍රිකා අප සමඟ මිත්‍ර වූ අය අතරිනුත් විශේෂයි. හොද මාකටියර් කෙනෙක්ගේ ලක්ෂණ ඇගෙන් දක්නට හැකි වුණා. ඇය හැම විටම බොහොම පරිස්සමින් ඉන්දියානු ගුවන් සේවය මාකට් කළා. අපි අහුවෙයි ඕවට.

නිව්යෝර්ක් වෙත පැමිණීමට අපිට පැය 15 1/2 පමණ ගත වී තිබුණා. සෑහෙන වෙහෙසකර බවකින් නිව්යෝර්ක් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොට වෙත ගිය අපට ඉතා ඉක්මනින්ම ආගමන විගමන කටයුතු අහවර කර ගැනීමට හැකි වීම ඇත්තෙන්ම භාග්‍යයක්. සියල්ල පරිඝනක ගත කර ඇති නිසා ඉක්මනින් මගීන්ගේ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

නිව්යෝර්ක් ගුවන් තොටෙන් වොෂින්ටන් රේගන් ගුවන් තොට වෙත පිටත් වීමට ගිය අපිට මුහුණ දීමට සිදු වූයේ අපූරු ගැටලුවකටයි. ඒ තමන්ගේ රේගු කටයුතු තමන්ම ඔන් ලයින් කර ගැනීමයි. පිස්සු හැදෙනව, අපි එතැනට වෙලා කීපදෙනෙක් කරනවා බලන් ඉඳලා පුරුදුකාරයෝ වගේ වැඩේ කර ගත්තා. ඊට පසු ගුවන් යානා පැටියෙක්ට ගොඩවෙලා විනාඩි 51 පමණ වොෂින්ටන් වෙත පැමිණුනා.

එතැන් සිට කතාව දවස් කීපෙකින් දාන්නම්.

Tuesday, September 18, 2012

මහවෙදනාගේ වතගොත


දෙමසකට ත් ටිකක් වැඩි නිහැඬියාවකින් පසු බොහෝ දේ ලිවීමට තිබේ. ඒ සියල්ල මෙහි කීමට හැකියාව ක් නැත ත්, කියන්නට හැකි දේ පමණ ක් මතකයේ හැටියට කැටි කොට  මෙසේ ලියමි.



ඒ 1986/ 1987 වසරයි.  උසස් පෙළ විභාගයෙන් පසු ජීවිතය ගැන බොහෝ ගැඹුරින් සිතන්න ට පෙළඹවීම ක් නොතිබුනත්, මා යායුතු අත මවිසින් කලින් ම තෝරගෙන සිටියෙමි.



රටේ තැන තැන ඇවිලෙන ගිනිය, ටයර් සෑ මෙන්ම ධර්ම චක්‍ර ද, එදිනෙදා භාවිතා වන වදන් බවට පත් වී ඇත.   උතුර මෙන්ම දකුණ ද ගිනි ගන්නා බවක පැහැදිලි සේයාවන් පෙනෙන්නට තිබිණි. නමුත් අපි බොහෝ අවස්ථාවල රාත්‍රී සාකච්ඡා වලට සහභාගී වීමු. ඒ මගේ නිවසේත් මිතුරන්ගේ නිවාස වලදීත් ය. එන පොට නරකට බව දැනගත් මිතුරන් කොටසක් අප කෙරෙන් දුරස් වීය.



පුරා වසර දෙකකට මඳක් අඩු කාලයක් කෙළි හැංගිමුත්තන් සෙල්ලම අහවර වන බව මටද පසක් වන්නට විය.  බොහෝ ප්‍රබලයන් ලොව හැර ගොසිනි. තවත් කුමන විප්ලවද?



ක්‍රමයෙන් විශ්වවිද්‍යාල ඇරඹෙමින් තිබිණි. මාද පැරණි සඟයන් සොයා ගියෙමි. අප අතර සිටි සමහර සොයුරෙක් අප අතැර ගොසිනි. ජීවිතයෙන්ම අතැර ගොසිනි. ඒ ඇති වූ කලකිරීම අද ද මසිත පෙළයි.



කෙසේ හෝ වසර 5 කාලයකින් නිම විය යුතු අපේ වෛද්‍ය අධ්‍යාපනය ඒ වන විටත් වසර කීපයකින් පසු පසට තල්ලු වී තිබිණි. තවත් වසර දෙකක් පමණ කාලයක් වැඩිපුරත් ගෙවමින් පස් වසරක අධ්‍යාපන කාලය වසර අටකින් නිම කරමින් අපි 1996 දී වෛද්‍යවරුන් ලෙස සමාජයට පා තැබීමු.



එතැන් සිට මට සිදු වූයේ යම් මූල්‍යමය ස්ථාවරයකුත්, වෛද්‍යවරයෙක් ලෙස සමාජමය ස්ථාවරයකු ත් ගොඩනඟා ගැනීමටයි. 2000 වසරේ මගේ දියණිය උපදින විට මා ඒ සඳහා යම් යම් ව්‍යාපෘතීන් දියත් කර තිබුණ ද දියණියගේ අසනීප තත්ත්වය නිසා ඒ සියල්ල විනාශ වී ගිය අයුරු මවිසින් ඔබට මීට පෙර කියා ඇත.



2001 වසරේ දී සියල්ල අලුතින් අරබා ඉතාමත් කෙටි කලකින් විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මට හැකි විය. යම් දියුණු තත්ත්වයක් ලබා ගැනීමත් සමඟ සියල්ල මගේ ප්‍රිය බිරිද වෙත පවරා දුනිමි. දැන් මම සියල්ලෙන් නිදහස් මිනිසෙක්මි. ඉතා ආශාවෙන් පැතූ මගේ උසස් අධ්‍යාපන කටයුතු ඒ වන විටත් බොහෝ ප්‍රමාද වී තිබිණි.  මගේ ඉලක්කය එයයි. 2003 වසරේදී මම නැවතත් උසස් අධ්‍යාපන කටයුතු ඇරබීමි. ඒ සදහා මට පැමිණිබාධක ද මම ඔබට කියා ඇත.



මගේ උපන් දිනය ද යෙදී තිබූ පසුගිය අගෝස්තු මස මම ආචාර්‍ය්‍ය උපාධියට සුදුසුකම් ලදිමි.



මගේ දෙමාපියන් මට ලබා දුන් නම රෝහණ ප්‍රියසුසන්තයි. මගේ පියාගෙන් මවෙත ලද නම රණසිංහ ආරච්චි යන්නයි. මේ දෙකම එකතු කර මම දැන් නම ලෙස භාවිතා කරන්නේ රණසිංහ ආරච්චිගේ රෝහණ ප්‍රිය සුසන්ත යන්නයි. මගේ මුල් ගම මාතරට ත් එහා ඈත රුහුණ වුවත් මගේ පියා ගේ හිතුවක්කාරකම් නිසා මා උපන්නේ කොළඹයි. හැදී වැඩුණේ වත්තලයි. මගේ මුල්ම පාසැල වන්නේ මාවරමණ්ඩිය දරණාගම මහා විද්‍යාලයයි. මගේ ප්‍රියතම බ්ලොග් කරුවකු වන හසිත ගුරුසිංහයන්ගේ මුල්ගම් පියස මගේ ද මුල් කාලය ගෙවුණු බිමයි.



ද මා ඉතා සාර්ථක වුවත් මේ සාර්ථකත්වය පිටුපස මට දිරිය දුන් දෙතුන් දෙනෙක් ඇත. ඒ මගේ මව, මගේ බිරිඳ සහ බිරිඳගේ මවයි. ඇයත් මට දෙවනි මව් කෙනෙකි.



මේ සටහන මෙහි තබන්නේ බ්ලොග් ලෝකයේදී යමෙක් මට කරන ලද අභියෝගයක් නිසායි. මේ මගේ නියම වත ගොතයි. දැනට මම වාසය කරන්නේ නුගේගොඩ නගරයේ ය. යමෙක්ට මා මුණ ගැසීමට ඉතාම පහසු තැනක මම වාසය කරමි.



ඔන්න මහවෙදනා යන නමින් මා මෙතක් කලක් ඔබ හමුවට ආවත් දැන් මගේ නියම වත ගොත ඔබ හමුවේ ඇත. ඒත් මහවෙදනා ලෙසින්ම දිගටම සිටීමට මම කැමැත්තෙමි.



මගේ ඇමරිකානු සංචාරය හා මගේ බ්ලොග් මිතුරන් ගැන යම් සටහනක් මේ සතියේම තබමි. ඒ අතරම මා ඉතා ආශාවෙන් සිටි තවත් ජයග්‍රහණයක් අද දින මට ලැබිණි. එනම් බටහිර රටක විශ්වවිද්‍යාලයක් හා මා සහයෝගී (Collaboration Research)  පර්යේෂණයක් කිරීමයි. ස්වීඩනයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආයතනයක් ඒ සදහා සිය කැමැත්ත අද මට ඊයක් මගින් දැනුම් දුන්නාය.



මා නැඟි කන්ද අහවර වී ඇති බව මට දැන් දැන් පසක් වේ.



කෙදිනක හෝ මා මිය යන්නේ රටට බරක් නැති නිදහස් මිනිසෙකු ලෙස බැව් නම් මට හොදටම විශ්වාසය.



ප/ලි.



මා හදුනන බ්ලොග් කරුවෝ කීප දෙනෙක් සිටිති. ඒ සියල්ලන් ගැන මම ඊලඟ ලිපියෙන් කියමි. නමුත් ඉතා ඈත දුරු රටකදී සිංහල බ්ලොග් කාරියක වන අරුණි අක්කා මවෙත දක්වන ලද අනුග්‍රහය ඇත්තෙන්ම මට මහමෙරකි. අක්කේ ඔබ වැන්නන් මේ රට හැර ගොස් සිටීම අපේ අවාසනාවකි. පුරා පැය තුනක් ගතවන අධික දුරක්, කාලයක් ධනයක් වැය කරමින් අප බලන්නට මවක් මෙන් ඔබ පැමිණියාය. ඔබට හිස නමා ආචාර කරමි. මට ඔබ වෙත දෙන්නට ඇත්තේ එපමණකි.


ප/ප/ලි.
ලොකු ජෝන්ගේ අනුග්‍රහයෙන් බ්ලොගය නැවත සකස් කලෙමි. ඔඅබට මගේ ස්තුතිය. ගිම්හාණිටත් බොහෝම ස්තුතියි දුන්නු උපදෙස් වලට.


Tuesday, July 10, 2012

105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග.

ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.

මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය.

මේ කතාව මෙතෙක් මම කිසිවකුට නොකීවෙමි. ඒ මගේ සිත එයට මට ඉඩ නොඳුන් නිසා වෙනියි මට සිතේ. අද එය ඔබ හමුවේ තබන්නම්. මෙහි සියලු පාත්‍ර වර්ගයා ගෙන් බොහෝ අය ඔවුන්ගේ නියම නමින්ම හඳුන්වමි. කිසිවක් සැඟවිය යුතු නොවේ. ඉතිහාසයේ අපට වූ වැරදීම් (ඇත්තෙන්ම අපේ දෙමාපියන්ට ) අපගේ දරුවන් දැන සිටිය යුතුය. ප්‍රශ්න විසදීම යනු තුන් කල් බලා කළ යුතු කටයුත්තකි.

අප සිතන්නේ අද අප සියලු ජයග්‍රහණයන් ලබා සිටින වගය. නමුත් අද ද නිවැරදි කළයුතු දහසක් දේ තිබේ. අඩු ගණනේ අපේ දරු මුණුබුරන්වත් මේවා නිවැරදි කරනු ඇත. එසේම කල යුතුය. අප අපගේ පරම්පරාව කැපකර මේ කුරිරු යුද්ධය ජය ගත්තෙමු. ඒ ආරම්භ වූයේ අපේ දෙමාපියන්ගේ යුගයේය. නමුත් මෙහි තවත් විසඳිය යුතු තැන් තිබේ. අසීරුම කොටස වන එය අපගේ දරුවනට බාරයි.

මේ මාගේ සජීවී අත්දැකීම්ය.

ප්‍රභාත් අපත් සමග වත්තල විසූවත් ඔහුගේ ගම වූයේ බොරැල්ලයි. මම තැන නොදනිමි, නමුත් ඔහු පාසැල් පැමිණියේ බොරැල්ලේ මහගෙදර සිටයි. ඒ අකාලයේ ඔහුගේ පියා මියගිය දින සිටය. උදේම පැමිණි මා හා ඔහු අතර ඇති වූ දෙබස මෙපරිදි විය.

ප්‍ර. - මචං රෝ... ඊයේ මාර වැඩක්නෙ වුණේ!

මම. - ඇයි ?

ප්‍ර. - අපේ ගෙවල් දිගටම හමුදාව දාල. මහ රෑ කනත්තේ මොකක්ද කේස් එකක් ගියා. හමුදාවට යාපනේදි කවුද ගහලලු. ගොඩක් මැරිලා. (එකල කොටි ගැන අප අසා නැත. සුළුවෙන් ප්‍රශ්නයක් තිබ්බත්, අපගේ මතකට ඇතුළු වන ලෙස ප්‍රශ්නය පැනනැංඟේ 1983 පසුය.)

ඔන්න ඔහොම කතාවක් අද ද මට සිහි වේ.

මේ කියන කාලයේ එය මහ ලොකු නිව්ස් එකක් වූවත් විභාග උනන්දුව නිසාම කතාව යටපත් විය. කොහොමත් ප්‍රභාත් යනු ඕනෑම දෙයක් ඉතා අලංකාරව කීමෙහි බිණීමෙහි සමතෙකි. මගේ තරඟ කරුවෙකි.

අපේ පාසැල දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සහ සිංහල මාධ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම පංති පැවැත්වූවකි.

පී. එල්. සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. හොදම මිතුරෙක් තරම් ළමුන්ට සමීප මෙතුමා ඉතා තදින් දඩුවම් දීම ගැනද චිරප්‍රසිද්ධය. නමුත් කිසිවක් සිතේ තබා නොගන්නා අපූර්ව ගුරුවරයෙකි. මෙතුමා අපේ විභාගය පැවැත්වෙන අවස්ථාවල කොල්ලන්ගේ හොර ඇල්ලීමට හදිසියේ කඩා පනියි. එදින කෙදිනකවත් නැති කලබලයකින් පැමිණි මෙතුමා අපට දුන්නේ අරුම පුදුම උපදෙසකි.

අද දින මෙතැන් සිට පාසැල වසන බවත්,
අප දැනට ලියා ඇති ප්‍රශ්න පත්‍රයන් තමන්ගේ මේසය මතම තිබියදී පිටව යායුතු බවත්,
කිසිම හේතුවකට දෙමළ අංශය පැත්ත පළාතක නොයා යුතු බවත්,
වහාම නිවෙස් වෙත යායුතු බවත්ය.

මොන තරම් සතුටක්ද? පී. එල්. සර් දෙවියෙක්නෙ.

අපිඳු වහාම එළියට පැන්නේ පස්වනක් ප්‍රීතියෙනි. මා, මගේ මිත්‍රයෝ හැමොටම අවුරුදු මෙනි. අපි සිතුවේ ෆිල්ම් හෝල් එකකට පැන ගන්නයි. ඒ දිනවල බිග්බොස් පෙන්වමින් (මතක හැටියට හැදල හංදියේ සමුද්‍රා එකේ.) තිබිණි. එහි ඇති එක් දර්ශනයක් :D, බැලීමට විසි තිස් වාරයක් ගියවුන් ද අප සමග විය.

නමුත් පාරට බට අපට හමුවූයේ අරුම පුදුම වත්තලකි. මේ උදේ පාසැල පැමිණි ඇවරිවත්ත පාරද?

සතර අතින් නැඟෙනා දුම් රොටුය. මහා ගිනිජාලාවන්ය, කුමන නම් අරුමයක්ද??
හද්සියේම ප්‍රභාත්,,,,,,
මචෝ මම අර උදේම කිව්වේ මේ ඒ ගැන මොකක් හරිද දන්නේ නැහැ.

ඒත් සමඟම මහා සේනාවක් පැමිණේ..

"ඒයි පොඩි උන්…….. උඹලා එක්ක ඉන්න දෙමළු අපිට දීලා උඹලා පලයල්ලා ගෙවල් වලට.
උන් අත කඩු පොලු පෙට්‍රල් ආදී දහසක් ආයුධ විය. මහාමාර සේනාව පැමිණියා වැනිය.

ඒත් සමගම මසිතේ විදුලියක් කෙටිනි....ලින්ටා… වටපිට බැලීමි. ලින්ටා අප අතරය. උගේ මුහුණ දැක්කම මට සියල්ල පැහැදිලි විය.

මුලින්ම උන්නේ ජ...කර අයියාය. මගේ පියාගේ මිතුරෙකි. මම ඉදිරියට ගියෙමි.
ආ……. මල්ලි….. යන්න…. යන්න…. ගෙදර,
මම - ජ...කර අයියේ අපි එහෙනම් යනවා.

10 - 15 පමණ නඩයම මුවින් නොබිණූවත් යමක් ඒකමතිකව තීරණය කර තිබිණි.
ලින්ටා යමන් උඹව ගෙදර ඇරලන්න……....
උගේ මුහුණේ අසරණකම මසිතේ ඇති කලේ ලැජ්ජාවකි. ඒ ඇයිදැයි එකල පැටි වියේ වූ මට නොතේරිණි.

ලින්ටන්………………….

………….හොඩියේ සිටම සිංහල උගත් අප සමග දිවි ගෙවූ අපේ මිතුරෙකි. ඌ දන්න දෙමළක් නැත. අද ද සිංහල, ඉංග්‍රීසි හැර වෙනත් බසකින්, ලීමේ බිණීමේ හැකියාවක් ඔහුට නැත. වත්තල ගැමුණු පැලැස් පිටුපස අද කන්ටේනර් යාඩ් එකක් ඇති තැන ඔහුගේ නිවස විය. දැන් අප යනවා නොව දුවනවාය. හැමතින් පෙනෙන්නේ විපතක සේයාවන්ය. ලින්ටාගේ ගෙදර ගිය අප දුටුවේ යුද්ධයකි. ගෙදර සියල්ලන් ගෙනයාමට කවුදෝ පැමිණ තිබිණි. ඒ කවුදැයි දැන් මට මතක නැත.

තෙළඟපාත වෙලෙන් පැන්න කල මගේ නිවසට මිනිත්තු 5ටත් අඩු දුරකි. දැන් මගේ ඔළුවේ ඇත්තේ……….

"සිංණප්පා යි."

මගේ ඉංග්‍රිසි ගුරුවරයා. අපේ යාබඳ නිවසේ වෙසෙන යාපනේ චුන්නාකම් වල පදිංචි පුද්ගලයෙකි. ඔහුගේ පුතා රාසයියා අංකල්, ඇන්ටි, මහේන් මල්ලි, ලොකු නංගි, පොඩී මගේ ඉදිරිපිට පෙනී නොපෙනී යයි. අඩි දෙකට මම ගෙදර පැමිණියෙමි. ගෙට ගොඩවුණේ නැත කෙළින්ම අල්ලපු ගෙදර තාප්පය පැන්නෙමි. පෙර මේ ගෙවල් එක දිගට පේළි ගෙවල් මෙන් තිබූ ඒවාය. අපේ ගේ වෙන්කර සාදා ඇතත්, ඒ වනවිටත් කුස්සියෙන් දෙපසට මාරු විය හැකිය.

ඔවුන් ඒ වනවිටත් කළ යුත්ත කුමක්දැයි කතා කරමින් සිටියි. දරුවන්ද සමග අපේ ගෙදර පැමිණ කතා කරමුයි මා කීවිට, ඇන්ටි මට වැන්ද හැටි අදද මට මැවී පෙනෙයි. ඔවුන් උදේම සිද්ධිය දැන හෝ සැකකර සියල්ල එක්තැන්කර තිබිණි. ඒ පොට්ටනියත් සමග ඇඳිවත පිටින් ගේදොර ඇර තිබියදීම ඔවුන් පිටුපසින් අපේ ගෙට රිංගා ගත්තාය. මම ඒ පැත්තේ හිඩැස තදින් වැසූවේ නිරායාසයෙන් මිසක සිහි බුද්ධියෙන් නොවේ. දැන් මගේ මෙහෙයුමෙන් භාගයක් සපුරා ඇත. තාමත් මා පාසැල් ඇඳුමෙනි.

ක්‍රිෂ්ණා…………

දැන් මම කෙසේ හෝ නිවසින් පිටවිය යුතුය. ඒ එකල මගේ හොදම මිතුරා ගැන බැලීමටය. ක්‍රිෂ්ණමූර්ති සහ ශාන්තමූර්ති මගේ වයසේම මිතුරන් දෙදෙනෙකි. දෙදෙනා සොයුරෝ වෙති. අක්කා, ලොකු අක්කා, මූර්ති අංකල් මට ගෙදර උන් මෙන්ය. ඒ ගෙදරින් කී වෙලක් නම් කා ඇත්ද?

වහාම නිවෙස් තුනකට එහායින් ඒ ගෙදරට යන විට සියල්ල අවසන් වී තිබිණි. ගේ ගිනි ගනියි. මූර්තිලාට වූවක් මම නොදනිමි. මගේ පපුව කඩා හැළෙයි. වත්තට පැන බැලූවත් කිසිවෙක් නැත. විපතට පත් වූවන්ද, විපත කළවුන්ද නැත. මගේ අතේ ජීවිත ගණනාවක් ඇති බැවින් මම වහාම නිවසට නැවත පැමිණියෙමි.

මේ සටහන කෙතරම් දිගු වුවත් මට කෙදිනකවත් නැවත මෙය ලිවිය නොහැක. ඒ නිසා අදම ලියමි. පළ කිරීම ගැනද මම තවම තීරණයක් ගෙන නැත. කෙදිනක පළ කරමිදැයි මමද නොදනිමි. බ්ලොග් ලෝකයට පැමිණි මුලම මෙවැන්නක් ලිවීම සුදුසුදැයි මම නොදනිමි. මේ බ්ලොග් ලියන්නන් අතර මා දන්නා කිසිවෙක්ම නැත. මේ වැන්නක් බ්ලොග් පාඨකයන් කෙසේ පිළිගනියිද? (මේ ලිපිය 2011 ජූලිවල ලියූවකි.)

මගේ වැඩ නිසා මගේ මවට සෑහෙන ප්‍රශ්න ගණනාවක්... පස් දෙනෙකුගෙන් යුතු අපේ පවුලත්, රාසයියා අංකල්ගේ ගෙදර කට්ටියත් පෝෂණය කළයුතු නොවැ....

ඔන්න දැන් මාර සේනාව අපේ මිදුලේ. අපිට කියලා වෙනම මිදුලක් නැහැ. මේ ගෙවල් හතකින් පහකටම ඇත්තේ එක මිදුලයි. ගේ ළඟම තාප්පේ ගෙවල් අතර පරතරය අඩියක්වත් නැහැ. මා සහ මව මුන්ට දැන් මුහුණ දෙන්න ඕනෙ.

අර බැගෑපත් මුහුණු...

ඔවුන්ගේ ප්‍රමුඛයා බි…..දු එකල සිටි මැරයෙක් අකාලේ මියගියා.

ආ මල්ලී එන්න එපෑ අපිත් එක්ක.

මම - ඇයි අයියා..

මැරයා - මේක මල්ලි ජාති ආලෙන් කරන වැඩක්... අපේ කොල්ලො මරල මුන්ට බේරෙන්න දෙන්න බැහැනේ.

මම - එහෙමද? (මම එවිටයි දැන ගත්තේ, මට අසනීප වූ විට බෙහෙත් ගෙන්න එක්ක යන, ක්ලාස් එක්ක යන, අපි සමඟ සෙල්ලම් කරන රාසයියා අංකල් අපේ හමුදාවට බෝම්බ තියන්න ගිය බව. )

දැන් මේ මැරයා මගෙන් අහනවා කෝ මල්ලි එහා ගෙදර ... දෙමළු ටික?

මම - අනේ මන්ද?

මැරයා - මල්ලී මුන් පැනලනෙ.

මම - නැහැ... නැහැ…. අයියා දැන් හිටියනේ.

රාසයියා අංකල් ගේ ගෙට පිටුපස මහ වෙල අවුරුදු සිය ගණනකින් වපුරා නැහැ. මහ පංකැලේ.

මැරයා - පංකැලේ මුන් ඇති ගිනිතියපියව් ඕකට.

මම - අයියා දැන් මේකට ගිනි තිබ්බොත් අපේ ගේ, අර ගෙවල් ඔක්කොම ගිනි ගන්නවනේ.

කෙසේ හෝ නිවසත් අවට වෙල් යායත් ගිනි තැබීමේ මෝඩ ක්‍රියාව නොකර සිටීමට උන් පෙළබීමට මට හැකි වුනා. උන් ගියේ අපේ කොල්ලො මරපු රාසයියා අංකල්ගේ ගේ බිමට සමතලා කරලම දාලා.

විනාඩි දහයක් විතර අපිත් එක්ක කතා කළ මැරයෝ යන්න ගියා. අපේ ගේ වහලා වෙන්ද වගේම මිදුලේ නංගිලයි මල්ලියි තියලා මම ගියා අම්මත් එක්ක වත්තල, ගෙදරට බඩු ගේන්න.

මොන වත්තලක්ද??

එකම විශාලා මහ නුවරක්.

හැම පැත්තෙන්ම ගිනි ගන්නවා.
හැබැයි දෙමළ මිනිස්සු නැහැ. ඒ අවුරුදු ගණනක් සිංහලයොත් එක්ක එකට කාල බීල හිටපු මිනිස්සුන්ව කවුරුත් මැරයන්ට පාවලා දුන්නේ නැහැ.

වත්තල එකම කඩයයි ඇරලා තිබ්බේ. ග…..ගේ මුදලාලිගේ කඩේ. ඒත් මුදලාලි නැහැ. මිනිහ ගිහිල්ලා එහාපැත්තේ තෙල් කඩේ හිටිය, හමුදාවට බෝම්බ තිබ්බ, මුදලාලිගේ කඩේ කඩන්න. බැලුවම අපිට ගන්න තිබුණේ පිටියි හාල් සීනි වගේ දේවල්. මිනිස්සු කඩෙන් බඩු ගන්නවා සල්ලි ගන්න කෙනෙක් නැහැ. අපි දෙන්නත් අපිට අවශ්‍ය දේවල් අරගෙන සල්ලි නොදීම ආවා.

මෙහෙම දින තුනක් විතර ගත වුණා. වත්තල පොලීසියේ සිටි සාජන් කෙනෙක් වූ මගේ පියාගේ සොයුරෙක් මාර්ගයෙන් මගේ මව රාසයියා පවුල රජයට බාරදුන්නා.

මූර්ති පවුලත් අහල පහළ අය විසින් බේරාගෙන තිබුණා. උපතින් පමණක් දෙමළ වූ මූර්තිලා දෙදෙනාම සිංහල කාන්තාවන් පාවාගෙන අදද ඉතා හොදින් සිංහලයන් මෙන් ජීවත් වෙනවා.

ජීවිත කාලයක් අපත් සමග දිවිගෙවූ පහක් හයක් පමණ ප්‍රමාණයක් කුරිරු ලෙස ඝාතනය වූවා.

ඒත් ඒ සියලුම මැරයන් සහ ඒවාට අනුබල දුන් අය අද මේවන විට මෙලොව නැහැ. මට මතකයි එක අවස්ථාවක, එයිට බොහෝ කාලයකට පසු එම සිද්ධීන් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අයෙක්, වත්තල හංදියේදී තම මෝටර් සයිකලය මත වාඩි වී සිටියදී ලඟින් ගිය කන්ටේනර් රථයකට යට වී මිය ගියා. හිස පොඩි වී තිබුනේ බයිසිකලයට කිසිම හානියක් නොවී. මම කියන්නේ නැහැ එය හාස්කමක් ලෙස නමුත් වසර කීපයක් යත්දි ඉතාම තරුණ වියේ සිටි ඒ සියල්ලන්ම මෙලොවින් චුත වී ගියා.
____________________________________
මේ ටික ලිව්වේ 2012 ජූලි මස හෙවත් ඊයේ පෙරේද.

යම් ලෙසක ඒ අමිහිරි සිද්ධිය 1983 ජූලි මස සිදු නොවුනානම් අද මේ රට මෙයිට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා කියන එක මට නිතරම සිතෙනවා.

අපි ළඟින් ඇසුරු කළ අපත් එක්ක එකට සිටි දෙමළ මිනිසුන් මේ දිනයෙන් පසු සිටියේ වියරු වැටිලා. මම ඒක දැක්ක, ඒ සිරිමාවෝ බණඩාරනායක විද්‍යාලයේ තිබුණු අනාථ කඳවුරට දින කීපයක්ම කෑම බීම අරගෙන මගේ මිතුරන් බලන්න මම ආව නිසා. එදින කුඩා මටත් සිතුණා මේ රටේ අනාගතය වෙනස් වන සිද්ධියක් බවට මේක හැරෙයි කියලා.

අන්තිමට ඒක එහෙමම වුණා. දහස් ගණනක් අහිංසකයෝ මළා මගේ ළඟම අය කීපදෙනෙක් අකාලයේ මිය ගියා. කුරිරු යුද්ධය නිසා අනාථ වූ ජාති දෙකේම පිරිස කොපමණද?

එදා උදේම කළයුත්ත කළේ සවස 4ත් පසු වී මට මතක හැටියට. එදා උදේම රටපුරා ඇදිරි නීතිය දමා හමුදාව කැඳවූවා නම්, මේ රටේ ඊට පසු ඇති වූ අඳුරු යුගයට අපේ දරුවන් මුහුණ නොදීමට තිබුණා. එදා අපි මුහුණ දුන්නේ නීතියක් නැති දිනයකට. එදා ඒ පැය කීපය අපේ ප්‍රදේශය පාලනය කළේ මැරයෝ.

මෙහෙන් ගිය, ඒ අවධියේ අපේ වයසේ සිටි සියල්ලන්ම ත්‍රස්තවාදයට එක් වෙන්න ඇති. ඒකෙන් උන් ප්‍රබල වුණා. ප්‍රතිඵලය අවුරුදු 30 දිග්ගැසුණු යුද්ධය.

ඒ විතරක්ද?

මොනතරම් ජාති දෙකටම අයත් උගතුන්, වියතුන්, අහිංසකයෝ, දරුවෝ, වෙනත් ජාතීන්, විනාශ වුණාද?

අද මේ රට මේ තිබෙන ජරා තත්වයට පත්වෙන්න ඒ පැය කීපය හේතු වුණා නේද?.

ඒ නිසා අපි අද ගන්න තීරණ අපේ අනාගතයට මොනතරම් බලපානවද?

මේ කියන කිසි දෙයක් ගැන අවබෝධයක් නැති මැරයන් යම් තැනක, යම් කාලයක එක් මොහොතකට ප්‍රබල වීම රටක අනාගතයට කරන බලපෑම කොතෙක්ද?

මේ සියල්ලම මම ජීවත් වූ දශක කීපය තුළ මට අත්දකින්න වුණා. ඒ නිසා අපේ දරුවන්ට මේ සියල්ලෙන් තොර රටක් සාදා දෙන්න අපි හැමෝම කැපවිය යුතුයි නේද?

මේ ලිපිය කිසිදා පළ නොකරන්න සිතා සිටියත් එය පළ කළ යුතුම යැයි මට සිතුණේ එදා ඒ අදුරු දිනය වගේම භ්‍යානක පෙරනිමිත්තක් මම අද දකින නිසයි. ඒ....

දරුවන් කාමුකයන්ට බිලි වීම......

රටේ සියල්ලන්ටම සමානව තිබිය යුතු නීතියේ ආධිපත්‍ය ගිලිහී යාම...

විශේෂයෙන්ම මහජනයා නීතිය විශ්වාස නොකරන තැනට රට පත්වීම......

මට හිතෙන්නේ මේ රට කුරිරු යුද්ධයෙන් ගලවාගෙන අපි යන්නේ හසරක් නැතුව ප්‍රපාතයට.

රටේ නීතියෙ ප්‍රමුඛත්වයට නංවන්න මේ අවුරුදු තුන හොදටම ඇති. දැන්වත් ඒ ගැන යමක් කිරීම ඉතාමත් සුදුසුයි.

හෙට පරක්කු වැඩියි කිව්වොත් .....

Thursday, July 5, 2012

104. තරබාරුව මට්ටු කරන උපක්‍රම.

මේ ලිපියේ තුන් වැනි කොටස තමා මේ. මුලින්ම පටන් ගනිද්දී නම් ඒ තරම් කොටස් කරන්න හිතුවෙ නැහැ. ඒත් ලියාගෙන යත්දි වැඩි වුණා. අදනම් අවසානයි.

ඔන්න භාෂාව බොහොම සරලව දෙන්න උත්සාහ කරනවා. ආයූර්වේදයේ භාෂාව ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව නවීන විද්‍යාව සිංහලෙන් විස්තර කිරීමට මේ ආයූර්වේද වචන යොදා ගැනීම. දැන් ඒවා ඇත්ත වචන වෙලා ආයූර්වේද වචනවල අර්ථ යට ගිහින්. ඕකට තමා කියන්නේ කලින් කල පලින් පල කියලා.

අපි මුල් ලිපිය ලියන කොට මුලින්ම කිව්වනේ ඉතාම වැදගත් වන අර ශ්ලෝක පාඨය ඒ ගැන අපි දැන් බලමු. එනම් ධාතු යනුවෙන් අදහස් කරන්නේ,
1. ශරීරය
2. මනස
3. ප්‍රාණය

මේ තුනෙන්
ශරීරය යනුවෙන් අපේ මේ ශරීරයත්,මනස යනුවෙන් අපේ සිතත්, ප්‍රාණය යනුවෙන් ජීවයත් අදහස් කෙරෙන්වා.

අපි දැන් බලමු මේ ප්‍රාණය, මනස, ශරීරය සදහා කොහොමද ධාතු වැදගත් වෙන්නේ කියලා.
1. ශරීරයේ පෝෂණය ඇති කරන්නේ මේ ධාතූන් විසින්.
2. මනසේ සමබර තාවය ඇති කරන්නේ මේ ධාතූන් විසින්. ඒකනේ කුසගින්නේ ඉන්නා කෙනෙකුට ආහාරයක් පළමුව දී පසුව බණ කීමට ක්‍රියා කළේ අපේ බුදුරජාණන් වහන්සේ.
3. ප්‍රාණය යනුවෙන් මෙහිදී අදහස් කළේ ජීවය පවත්වා ගැනීම.

මෙතැනදි,
1. ශාරීරික ධාතූන් වන්නේ සප්ත ධාතූන්
2. මානසික ධාතූන් වන්නේ රජස්, තමස්, සත්ව කියන තුන.
3. ප්‍රාණ ධාතූන් වශයෙන් ගන්න තියන්නේ වා, පිත්, සෙම්, සහ මහාභූත පංචකය.

දැන් බලමු ශරීරයේ පෝෂණය ඇති කර ගන්නා පිළිවෙළ.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් වැදගත් වෙනවා.
1. ධාතුන්ගෙන් පරිපූර්ණ සමබර ආහාරයක් ගැනීම.
2. ශරීරයේ නිසි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සදහා ව්‍යායාම නිසි පරිදි සිදු කිරීම.

දැන් අපි බලමු ධාතු නිසි ලෙස පෝෂණය කරන ආහාර මොනවද කියලා.
"ප්‍රානීණාං පුනර්මූලමාහාරඃ" මෙකෙන් කිය වෙන්නේ සත්වයන්ගේ පැවැත්මට මුල ආහාරයයි. එනම්,
(මම මෙතැන් සිට කෙළින්ම ආහාර වට්ටෝරු අනුව කියන්නම්. මම හිතනවා එය ඔබට ඉතා ප්‍රයෝජනවත් කියලා.)

ධාන්‍ය - හැම දෙනෙක්ම ඉතා වැඩියෙන් ආහාරයට ගත යුතුය.
බාර්ලි, තිරිගු, වී, - ඇඟ නිවෙන, ශීත ගුණය ඇති කරන, මුත්‍ර කාරක (ඇති කරන) ගුණ ඇත.

මුං, මෑ, කඩල, පරිප්පු, උඳු, කොල්ලු, තල - මාංශජනකයි එනම් මාංශ ධාතු වර්ධකයි. මස් වෙනුවට ධාන්‍ය පාවිච්චිය හොදයි.
මින් උඳු ඉතා වටිනා ආහාරයකි. පුරුෂ මෙන්ම ස්ත්‍රී ධාතු (ඩිම්භ ශුක්‍රාණු වර්ධනයට හිතයි.)මව් කිරි වර්ධනයටද උඳු ඉතා ගුණයි.
මින් කොල්ලු සෙම් අධික අයට ඉතා ගුණයි.

තල - කකුල්වල කොරල සෑදෙන ගැහැණු ළමුන්ට, යටි පතුල් පැලීමට, දත් නිසි ලෙස වර්ධනයට, කෙස් වර්ධනයට, සිහි බුද්ධිය ඇති වීමට (ගැහැණු ළමුන්ට :D ) ඉතාම ගුණයි.

මෑ බී විටමින් ඉතා අධිකයි.

දැන් මම පොඩි රහසක් කියන්නම්. කොල්ලු තමයි කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් ඇඟේ අනවශ්‍ය මේදය අඩුකර ගැනීමට ඇති හොදම ධාන්‍ය වර්ගය. කොල්ලු කුඩුකර ඇඟ ගෑමටද සුදුසුයි. කඳ බීමට මෙන්ම උයා කෑමටද සුදුසුයි. තැම්බීමේදී ටික වෙලාවක් වැඩියෙන් තම්බාගත යුතුය.

ක්ෂුද්‍ර ධාන්‍ය - අමු, මෙනේරි, තණ මීට ඇතුළත්ය. බත් වෙනුවට ආහාරයට ගත හැකිය. මුත්‍ර රෝගීන්ට ඉතා හිතයි. ඉතා සැහැල්ලු බැවින් අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ට මෙන්ම කොලෙස්ටරෝල් වැඩි අයටත් හොදයි.
තණ හාල්ද ඉතා වටිනා අධි රුධිර පීඩනය සමනය කරන ආහාරයකි.

ව්‍යංජන පිණිස ගත හැකි එළවළු, සහ කොළ වර්ග.
ප්‍රධාන වර්ග පහකි.
1. කොළ - තම්පලා, කටු තම්පලා, කූර තම්පලා, සුළුකූර, කතුරු මුරුංගා, කංකුං, ( මව් කිරි වර්ධනයට ඉතා ගුණයි.) මුගුනුවැන්න- දියවැඩියාවට හිතයි, මව්කිරි වර්ධනයටද යෝග්‍යයි. මුත්‍ර රෝගීන්ට හිතයි. නිවිති - සියලුම ධාතු පෝෂණය කරයි, ශරීරයේ රුධිර වර්ධනයට ඉතා අවශ්‍යයි. සාරණ - දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉදිමුම් ගතියට හිතයි. කතුරු මුරුන්ගා ඉතා පෝෂ්‍යදායකයි. ගෙඳ, කොහොඹ පලා - දියවැඩියා අයට කලාතුරකින්වත් දෙනවා නම් ගුණයි. පෙනෙර කොළ, හීරැස්ස, මඩු දළු, සලාද කොළ, කලුකැම්මේරිය, කොහිල දළු,

2. මල් - කතුරුමුරුංගා - (රහසෙන් කොල්ලන්ට විතරයි... ස්වප්න දෝෂයට හිතයි.) කෙසෙල් මුව දියවැඩියා රෝගීන්ට හිතයි.,මුරුංගා මල්

3. ගෙඩි/ කරල් - බණ්ඩක්කා - මෙන්න බඩු දිය වැඩියාවත් එක්ක එන ලිංගික දුබලතා සදහ ඉතා ගුණයි. තිබ්බටු, එළබටු, කොස් - පොලොස් දෙකම දියවැඩියාවට හිතයි, බෝන්චි, දඹල කරල්,මෑකරල්, පුහුල්, දියලඹු මේවාද ශරීරයේ ගිනියම නිවන මුත්‍රකාරකයන්ය. තියඹරා - පිපිඤ්ඤා මෙන්ය. බ්ලෙන්ඩ් කර බීමකට නම් ඉතා සුදුසුයි. කරවිල මමද සතියකට සැරයක් කරවිල අනිවාර්ය්‍යෙන්ම කමි. දියවැඩියා නො එයි කිසිදා. වැටකොළු මගේ ප්‍රියතම ආහාරයකි. පතෝල, තුබ කරවිල,

4. දඬු - ඔබ පුදුම වෙයි මේ ගැන මම නම් මේක කාලා තියනවා. කෙසෙල් බොඩ මාළුව. ඉතාම ගුණයි. තරබාරුව නැති කරනවා පමණක් නෙමෙයි රුධිරයේ ශුද්ධියත් ඇති කරනවා. තල දඩු, පුහුල් දඩු, ලූනුමල් දඩු මුත්‍ර රෝගීන්ට ඉතාම ගුණයි.

5. අල සහ හතු වර්ග - රාබු, ස්ථූලභාවයෙන් පෙලෙන අයට එතරම් ගුණ නැත.එකක් පමණ කියන්නම්. හිරිතල් - ශුක්‍රධාතු වර්ධකයි. :D

( ඉතා විශාල ගණනක් තිබුණත් මම මෙහිදී තරබාරුව ගැන පමණක් සැලකිලිමත් වෙමි. ඔබට අවශ්‍ය නම් වෙනත් දිනක ඒ අවශ්‍ය දේ ගැනත් ලියන්නම්. ඒ ගැන ඉල්ලීමක් කරන්න.)

පලතුරු
පලතුරු කියන්නේ අධික තරබාරුව ඇති කෙනෙක්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි පලතුරු ආහාරයට ගන්නකොට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනව නම් හොදයි.
ඔබගේ ආහාරයෙන් යම් පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න. දැන් ඒ පමණට ගැලපෙන්න පලතුරු ප්‍රමාණයක් ආහාරයට ගන්න. මේක ඉතාම වටිනා දෙයක්. මේ නිසා ආහාර ගන්න ප්‍රමාණය ඔබ නොදැනීම අඩු වෙනවා. හැබැයි ඔබේ ආහාරයේ පරිමාව එකමයි. එවිට අනවශ්‍ය ලෙස බඩගිනි දැනෙන්නේ නැහැ.

කෙසෙල් ගෙඩි - ඉදුණු කෙසෙල් පලතුරක් ලෙස ඉතාම වටිනා දෙයක්. සුවදැල් සහ කෝලිකුට්ටු ඉතා ගුණදායකයි. පෝෂ්‍ය ගුණය වැඩියි. ආනමාලු සිසිල් කාරකයි. ඇබුල් කෙසෙල් ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. අමතර ආහාරයක් ලෙස ඉතාම ගුණයි. අහාරයක් වෙනුවටද ගත හැක. උදාහරණ ලෙස අධික රාජකාරී කටයුතුවල යෙදී සිටින ඔබට දිවා ආහාරය වෙනුවට කෙසෙල් ගෙඩියක් දෙකක් ගත හැක. ඉන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිතැතින්ම ලැබේ.

අඹ - ශුක්‍රාණු වර්ධනයට ඉතාමත් ගුණදායකයි. අක්මාවේ සහ ප්ලීහවේ රෝග ඇති අයට යෝග්‍යයි.

බෙලි - මේ පලතුරක් පමණක් නොව අංග සම්පූර්ණ ආහාර වේලකි. ඔබ අසා ඇති මේ කෙටි පදය " බෙලි දෙනකොට බඩ යනවා, බඩ යනකොට බෙලි දෙනවා" එනම් බෙලි නිසා මල වියලීම නැති කරන, මෙන්ම අධික මල පිටවීමත් (බඩ වේලීම, සහ බඩ බුරුල් කර යාමත්,) සුව කරනවා. කොටින්ම ඩුවල් ඇක්ෂන්.

දිවුල් - මෙහිත් පෝෂ්‍ය ගුණය අධිකයි. එනම් ආහාරමය අගය වැඩියි.

තව ඕනෑ තරම් පලතුරු ඇතත් මෙහිදී ආහාරමය ගුණය වැදගත් ආහාරයක් වෙනුවට ගත හැකි පලතුරු පමණක් මවිසින් ගන්නා ලදි. උදාහරණ පේර, නෙල්ලි, කොමඩු, තක්කාලි, දෙළුම්, දොඩම් මේවාද නිතර භාවිතයට සුදුසු පලතුරු වේ.

පාන වර්ග
මේ පානද මවිසින් මෙහි යොදනු ලබන්නේ ආහාරමය ගුණය වැඩි ඒවා පමණි. එනම් ආහාර වේලක් අතහැර ඒ වෙනුවට යොදාගත හැකි පානයන් පමණක් මෙහි යොදා ඇත.
ප්‍රධානම පානය පිරිසිදු ජලයයි.
කුරුම්බා, වෑවර, නෙල්ලි පානය (නෙල්ලි කෝඩියල් නම් නෙමෙයි.) අඹ, කොත්තමල්ලි සිසිල්ව ගෙන පානය, (මෙහිදී කොත්තමල්ලි වතුරෙන් අඹරා තුනී පෙරහනකින් පෙරා සීනි කපුරු ස්වල්පය බැගින් මිශු කර අවශ්‍ය පරිදි සිසිල් ජලය දා ගෙන පානය ඉතාම සුදුසුයි.
කැඳ වර්ග මේ ගැන වෙනම දිනකදී ලියන්නම්. දැනට කොළ කැඳ ලෙස පිරිමින්ට වැල්පෙනෙලත්, කාන්තාවන්ට හාතාවාරියත් ඉතාම ගුණ දායකයි.

කරපිංචා කොළ කැඳ මෙය අධික ස්ථූලතාවයෙන් පෙළෙන අයට ඉතාම හොදයි. සතියකට වරක්වත් ගත යුතුයි. දෙවරක් නම් වඩාත් හොදයි එයිට වැඩියෙන් ගැනීම නිරෝගී අයට නුසුදුසුයි. මින් අක්මාවේ ඇතිවන ෆැටි ලිවර් යන තත්ත්වය සහමුලින්ම සුව වේ. ( මා මෙය අත්හදා බලා ඇත. ඉතාම නිවැරදියි. දැන් අවුරුදු ගණන් තිබුණු අය සතියෙන් බලාපොරොත්තු තියන්න එපා. මාස කීපයක් කරන්න.)

තවත් දෙයක් කියන්න තියනවා ආහාරය ගැන ඒ ඔබ නිතර දකිනවා ඇති (අපේ ප්‍රවීණ බ්ලොග්කරු, මගේ බ්ලොග් ගුරු ) මාරයා මැතිතුමා මූණු පොතේ දි ඔහුගේ පාතරසය අතුළු අනෙක් රසයන් ඔක්කොමගේ ඡායාරූප පළ කරනවා. මම දකින විශේෂයක් තිබෙනවා ඔහුගේ ආහාර රටාවේ. මම ඔබටත් කියන්නේ අන්න ඒ ක්‍රමය පිළිපදින්න. බලන්න ඔහු හැම විටම බත් බෙදාගෙන තියන්නේ හරිම පොඩ්ඩයි. එළවළු මාළු පිනි ඊට වඩා බෙදාගෙන තිබෙනවා දකිනවා. ඒක ඉතාම නිවැරදි පිළිවෙළක්. ඔබත් එතුමාව අනුගමනය කරන්න.( හැබැයි අපිට නොපෙනෙන්න උන්දැ දීල අදිනවද දන්නේ නැහැ.)

තව පොඩි දෙයක් නුසුදුසු ත්‍රිත්වයක් තිබෙනවා ආහාරයේ. විශේෂයෙන් බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන්ට මේ දේ ඉතාම වැදගත්. මේක අනුගමනය කරන්න.
නුසුදුසු ත්‍රිත්වය.
1. සීනි
2. මේද
3. දිය ලුණු

අධික තරබාරුව අඩු කිරීමටත් ඒත් එක්කම බඩජාරිකමට කෑමටත් පොඩි උපක්‍රමයක් තිබෙනවා. දැන් බලන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවනේ. ඔබ මම මේ කියන ආකාරයට ආහාර වේල් 18 ගන්න. ඉතිරි වේල් තුන බඩජාරි කමට කන්න.

ඉතාම කෙටියෙන් ආහාරය ගැන දැනට ඉවරයි. ඊළඟට ව්‍යායාම.

දැන් මේක දිගයිනෙ..... මොනවා කරන්නද මන්ද...
ඔන්න ඔහේ ලියලම දානවා.

ව්‍යායාමයට සුදුසු පුද්ගලයන්.
ඉතා වැඩි මේද ප්‍රමාණයක් නිතිපතා ආහාරයට ගන්නා අය. බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන් පොදුවේ තමන්ගේ නීරෝගී පැවැත්ම අපේක්ෂා කරන්නන් නිතිපතා ව්‍යායාම කළ යුතු වේ.

ව්‍යායාමයට සුදුසු කාලය.
ශීත හා කාලයේදී තරමක් වැඩිපුරත් අනෙක් කාල වලදී සමාන කාලයකුත් ව්‍යායාම කළ යුතු වේ. සාමාන්‍ය වශයෙන් වැඩුනු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව්‍යායාම මිනිත්තු 45 පැයත් අතර කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ, ඇවිදීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ක්‍රීඩාව, ආදියයි. මේ අතරට සතියකට වරක් පිහිනීමත් සුදුසු වේ. ( අනෙක් ව්‍යායාමයන් කරන අතර.)

ප්‍රයෝජන නම් අධික මේද ප්‍රමාණය ඉක්මනින් දිය වීම. හෘදයේ ක්‍රියාව ක්‍රමවත් වීම. කාන්තාවන්ගේ මාසික ක්‍රියා නිසි අයුරින් සිදු වීම. ආහාර ජීර්ණය මනාව සිදු වීම. නිසි දේහ පෞර්ෂ්‍යත්වයක් ඇති වීම.

ව්‍යායාමය නිසි අයුරු කෙරුන බව දැනගන්නේ සියුම්ව පටන් ගන්නා දහදිය දැමීම නොකඩවා සිදුවන විටය.

දැන් මානසික තත්ත්වය මේ ඉතාමත් සියුම්ව බැලිය යුත්තකි. මොන රෝගයක්වත් මානසිකත්වයෙන් තොරව ඇති වන්නේ නැත. ඒ නිසා හිත හදාගෙන් එන දෙයට මුහුණ දීමෙන් සහ ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් යම් කිසි වර්ධනයක් හෙවත් ශරීරයේ ස්ථූලභාවය යම් තරමකට අඩු කර ගත හැකි බව මට නම් විශ්වාසයි. අඩු ගණනේ මාසයක්වත් දිගටම පිළිවෙළකට කිරීමෙන් යම් ප්‍රතිඵල අත්කරගත හැක. ඒ මාස තුනක් පමණ කිරීමෙන් නිති සහනයක් ලද හැක.

ඉහත අප කියූ ආකාරයේ ආහාර ගනිමින් නිතිපතා ව්‍යායාම කරමින්, සැහැල්ලු මනසකින් සිටින පුද්ගලයාගේ ත්‍රිදෝෂය ඉතා යහපත්ව ක්‍රියා කරන අතර, ආහාරයෙන් ශරීරයට ලැබෙන පෝෂණය හෙවත් පංචභූතාත්මක බලපෑම ඉතා යහපත් වේ. එවිට සියක් වසක් ලෙඩ නැතුව සිටීමේ හැකියාව ලැබෙනු ඇත. :D

නිරෝගී සැප හැර වෙන සැපයක් මිහිපිට ඇත්ද?

Monday, July 2, 2012

103. තර වුනොත් ලෙඩවෙයි. තුට්ටු දෙකටත් තට්ටු වෙයි.

අපි අද බලමු මේ අනුව පුද්ගලයෙක්ගේ දෛනික ආහාරය කෙසේ සකස් විය යුතුද කියලා. පුද්ගල ශරීරයේ ධාතු සහ පංචභූතයන්ගේ අවශ්‍යතා මේ ආහාර ගැනීමෙන් පිරිමැසෙනවා නම්, එම අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට අප ආහාරය ගත යුතුයි.

1. රස ධාතුව - අපෝ භූත ගුණය ප්‍රධානයි. ස්නේහනයි. (එනම් තෙල් ගතිය ඇති කරන.) රක්තය පෝෂණය,වර්ධනය, ධාරණය, සහ ජීවනය ඇති කිරීම, ශරීරයේ ගෙවී යන කොටස් නැවත අලුත් වැඩියා කිරීම. රස ධාතුව ශරීරය පුෂ්ටිමත් කරයි.
2. රක්ත ධාතුව - අග්නි භූත ගුණය ප්‍රධාන වේ. අනෙක් ධාතූන්ගේ වර්ධනය ඇති කිරීම ප්‍රධාන කාර්ය්‍යයි.
3. මාංශ ධාතුව - පාර්තිව භූත ගුණය දරයි. ශරීරයේ හැඩය පවත්වා ගැනීම. ශරීරය ආවරණය, ආරක්ෂාව, ශාරීරික ක්‍රියාකාරීත්වය ඇති කරයි.
4. මේද ධාතුව - ආපෝ සහ පෘථ්වි ගුණ බහුලයි. දෘඪ බව ඇති කිරීම. පුෂ්ටිකාරක ගතිය, ශරීරයේ ස්නේහන බව ඇති කිරීම.
5. අස්ථි ධාතුව - පෘථ්වි භූත ගුණ බහුලයි. ශරීරයේ බර ඇති කරයි. නිශ්චිත හැඩය ඇති කරයි. ආරක්ෂාව, ක්‍රියාකාරීත්වයට උදව් වීම ප්‍රධාන ගුණ වේ.
6. මජ්ජා ධාතුව - ආපෝ ගුණය බහුලයි. ශරීරයේ බලය ඇති කිරීම.
7. ශුක්‍රධාතුව - ආපෝ ගුණය. ජීවනය ඇති කරයි.


මේ අනුව ඉතාම හොදින් පැහැදිලි වෙනවා යමෙක් ආහාර ගැනීමේදී ගත යුත්තේ ආපෝ ගුණය ඇති කරන ආහාරත් පෘථ්වි ගුණය ඇති කරන ආහාරත් යන මේ වර්ග දෙක ප්‍රධානව අනෙක් භූත ගුණයන් ඇති කරන ආහාර ඊට වඩා අඩුවෙනුත් ලෙසයි. නමුත් අපි එහෙම කරනවද?

අපි වැඩිපුර ගන්නේ මේද බහුල, පිෂ්ට බහුල ආහාර නේද?

එතකොට මොකද වෙන්නෙ?

යමෙක් මේ විදියට මේද බහුල ආහාර ගත්තොත් සහ පිෂ්ඨ බහුල ආහාර ගත්තොත් .....

1. මුලින්ම පිෂ්ටය ඉක්මනින් රසය බවට පත් වෙනවා. වැඩිපුර ඇති වෙන්නේ ආපෝ ධාතුව.

2. මේදය ඉක්මනින් එහෙම ධාතූන් බවට හරවන්න බැහැ. එතකොට මොකද වෙන්නේ. මේකෙදි මුලින්ම මේදය අර කලින් අපි කතා කළ 1, සහ 3 නියමයන්ට අනුව රස - රක්ත - මාංශ - මේද යන අනුපිළිවෙලින් මේදය, වැඩිපුර ඇති කරනවා. මෙ ක්‍රියාවලියට ඉහත 1, 2 නියම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි මේද වැඩිපුර ආහාරයට ගෙන ඇති නිසා. දැන් අමතර වශයෙන් 2 නියමයත් මෙතනට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ. උපරිම සීග්‍රතාවයෙන් මේදය නිපදවෙනවා. නමුත් මෙතනදි මේද ධාතුව වැඩියෙන් නිපදවන නිසා එතනින් එහාට ඇති අස්ථි - මජ්ජා - ශුක්‍ර කියන ධාතු නිපදවීම අඩපණ වෙනවා.

දැන් බලන්න මේ ආපෝ භූතය සහ පෘථ්වි භූතය වැඩිපුර එකතු වෙන අතරම ශරීරයේ රසධාතුව සහ මේද ධාතුව එකතු වෙන්න බලනවා. අපිට මේකෙන් පේනවා නේද මේ සමස්ත ක්‍රියාවලිය නිසා ඇතිවන ප්‍රතිඵලය ශරීරය පුෂ්ටිමත් බව.

ආපො භූත තත්ත්වය සහ පෘථ්වි භූත තත්ත්වය වගේම මේද ධාතුවේත් පොදු ක්‍රියාකාරීත්වය තමයි ශරීරය මහත් කරන එක නැත්නම් පුෂ්ටිමත් කරන එක. එම අවස්ථා තුනම මෙහිදී සැපිරෙන නිසා වැඩිපුර මේදය හා සීනි පිටි වර්ග පාවිච්චි කරන අයට එන විශාල ප්‍රශ්නයක් තමයි මේ තරබාරුව.

මේ ක්‍රියාව මෙතනින් නවතිනවද???

නැහැ...

මේක තව ඉදිරියට ගමන් කරනවා. ඒ.....

මේද වලට යටින් ඇති ධාතූන් වන අස්ථි ධාතුව, මජ්ජා ධාතුව, ශුක්‍ර ධාතුව නිපදවීම අඩපණ වෙන්න මේක හෙතු වෙනවා. ප්‍රතිඵලය වන්නේ,

1. දැන කාලේ හොදට මාකට්වෙන ලෙඩක් වන ඔස්ටියෝපොරෝසිස්.
2. තවත් ඒ වගේම ලෙඩක් වන මඳ සරුභාවය.

මේ විතරක් නෙමෙයි මහා රෝග ගණනාවකටම මේ තත්ත්වයන් හෙතු වෙනවා.

ඒ වගේම මේ අයට මේදය සහ පිෂ්ඨ ධාතු වැඩි වීමෙන් ඇතිවන සියලු රෝග ඇති වෙනවා. උදාහරණ විදියට කොලෙස්ටරෝල් වැඩි වීම, එතකොට දියවැඩියාව, ඒ එක්කම අධික රුධිර පීඩනය, වගේ රෝගත් එම රෝග වලම දෙවන අවස්ථාවේදී ඇතිවන අතුරු ප්‍රතිඵල වලටත් මේ අයට මුහුණ දෙන්න වෙනවා.


එත්කොට මූලිකවම සිතට ගන්න, ආයූර්වේදීයව සමබර ආහාරයක් ගැනීමට.

අපි කොහොමද මේ රෝග වලින් බේරිලා ජීවත් වෙන්නෙ??

මෙන්න අභියෝගය. මේකට මුහුණ දීමට ඔබට ධෛර්ය්‍යය ඇති කිරීම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ.

දැන් අපි බලමු ඒ උපක්‍රම.

මේ කවි පද දෙක ඔබට මතකද?

1. අඩහ කෑම දහස් වටී.
2. ඇවිද්ද පය දහස් වටී.

මෙකෙන් කියන්නේ මොකක්ද??

කන්න පුළුවන්කම තිබ්බට බඩ පැලෙන්න කන එක හොද නැති බව නේද?

අනික ඇවිද්ද පය දහස් වටී. ඒ කියන්නේ ඇවිද්දෙ නැති පය බලු නොවටී කියන එක නේද??

මේක අපේ පැරණි සිංහල කථාවක එන කවියකින් උපුටා ගත්තේ මෙතනට මේ පද දෙක වැදගත් නිසා. මෙහි යම් සැඟවුණු අරුතක් තිබෙනවා. එනම් අඩුවෙන් ආහාර ගැනීමත් ව්‍යායාමයත් ඉතා උතුම් බවයි.

ඔබට මතකද අපි මේ ලිපිපෙළ ආරම්භ කරනකොටම ධාතුන් හදුන්වාදෙන විට මෙහෙම කිව්වා,

"මේ ශ්ලෝක පාඨයෙන් කියවෙන එක කරුණක් ඉතා වැදගත් එනම්,

1. ශරීරය,
2. මනස,
3. ප්‍රාණය දරා සිටින්නේ ධාතු වලිනි."

ඔබ දන්නවා දැන් මේ තරබාරුව කියන රෝගය ඇතිවන පිළිවෙළ. ප්‍රතිකාර කිරීමෙදි අනුගමනය කළ යුතු පිළිවෙලත් යම් හරි අවබෝධයක් ඇවිත් ඇති.

මුලින්ම අපි මේ කියන ශ්ලෝක පාඨයේ ලෙස බලමු.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යම් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී ඒ ප්‍රතිකාර අවස්ථා තුනක් ලෙස කළ යුතුයි. ඒ,

1. ශරීරයට
2. මනසට
3. අදාල රෝග තත්ත්වයට ලාක්ෂණික ප්‍රතිකාර

මෙන්න මේ විදියට අවස්ථා තුනක් යටතේ තමයි මේකට ප්‍රතිකාර කළ යුත්තේ.

ලාක්ෂණික විදියට ගන්නව නම් මුලින්ම ඖෂධ ප්‍රතිකාර කළ යුතුයි. ඒ ඒ අවස්ථාවට උචිත ලෙස ඖෂධ ප්‍රතිකාර කිරීම ඒ සදහා පුහුණුව ලැබූ වෛද්‍යවරයෙක් යටතේ කළ යුතුයි.

ශරීරයට කරන ප්‍රතිකාර තමයි අපි ඉහත ඇවිද්ද පය ලෙස හැදින් වූයේ. එනම් ව්‍යායාම.

මනස සදහා කරන ප්‍රතිකාර තමයි. මෙවැනි රෝගයක් ඇති වුනහම, ඒ වෙනුවෙන් සිත බිඳ ගැනීම, කලකිරීම, ආදී මානසික වැටීම් වලින් තොරව නිදහස්ව වෛද්‍ය උපදේශ අනුව රෝගය සුව කර ගන්න එක.

මම දැන් ව්‍යායාම ගැන කෙටියෙන් කියන්නම්. ටිකක් දිග වැඩි වුවත් තව කරුණු තිබෙනවා.

එක්කො ඒ ටික හෙට පෝයට ලියල අනිද්දට දෙන්නම්. තුන් වන කොටස විදියට.


ඒ ඒ ආහාර ගත යුතු පිළිවෙලත් තුන්වන කොටසින්ම කියා දෙන්නම්.

Sunday, July 1, 2012

102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න.

ඉතිහාස කතා, හොල්මන් කතා, බෞද්ධ කතා, මේ හැමටම වඩා මට වටින්නේ ආයූර්වේද කතා. එහෙනම් පොරොන්දු පරිදි අද ඔන්න ආයූර්වේද කතා. මේකෙදි මට මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාගේ ඉල්ලීමට තමයි මේක ලියන්නේ. හැබැයි එයාලගේ නම් ඕනෙ නැහැනෙ.

අද මම ලියන්න යන්නේ ඉතාම වටිනා දෙයක් ගැන. නවීන ලෝකෙ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්.

එනම්………….

…………………... තරබාරුව.

ඇත්තටම අද ලෝකයේ එක් කට්ටියක් බඩගින්නේ දුක් විදිද්දී තව කට්ටියක් ආහාර වැඩි කමෙන් අදිපෝෂණයෙන් පෙළෙනවා. අපි ඒ ගැන කතා කරමු.....

මම මුල ඉඳලම මේ ගැන කියන්නම්. ඔබ අහලා තිබෙනවනේ ධාතු කියන වචනය. ඔන්න වැරදි විදියට ගන්න එපා. ආයූර්වේදෙදි ධාතු කියන්නේ එක වර්ගයක් නෙමෙයි. ආයූර්වේදේ ධාතු වර්ග බොහෝමයක් තිබෙනවා.
1. පංච මහා භූත ධාතු.
2 ත්‍රිදෝෂ ධාතු.
3. සප්ත මහා ධාතු. මේ වගේ තවත් විශාල ගණනක් ධාතු වර්ග ආයූර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කියවෙනවා.මේ අතරින් අපි අද අවධානය යොමු කරන්නේ සප්ත මහා ධාතු කියන ධාතු වර්ග හතක ගොනුවක් වෙත.

අපි බලමු ධාතු වලට දෙන්න පුළුවන් නිරුක්තිය ගැන.
ධාතු කියන්නේ,
ධාත්‍රැං යන මූලයෙන් මේ වචනය සෑදිලා තියනවා. එහි අදහස වෙන්නේ ධාරණය එහෙමත් නැත්නම් පෝෂණය කියන එක.
"දධාති ධත්තෙවාශරීර මන ප්‍රාණාන් ඉති ධාතුඃ" තේරුම - ශරීරය, මනස, හා ප්‍රාණය යම් කිසිවකින් දරා සිටීද ඒ ධාතු නමින් හඳුන්වනු ලැබේ.

මේ ශ්ලෝක පාඨයෙන් කියවෙන එක කරුණක් ඉතා වැදගත් එනම්,

1. ශරීරය,
2. මනස,
3. ප්‍රාණය දරා සිටින්නේ ධාතු වලිනි.

"දධාති ධාරයති ශරීර සංවර්ධනාං ඉති ධාතුඃ" මෙහි අර්ථය වෙන්නේ, යම් කිසිවක් ශරීරය ධාරණය හා පෝෂණය කරයිද එය ධාතු නමින් ගැනේ.

දැන් අපි දන්නව මේ ධාතු වලින් තමයි ශරීරය, මනස, ප්‍රාණය දරා සිටින්නේ. එතකොට ශරීරයේ ධාරණය හා පෝෂණය ඇති කරන්නේත් මේ ධාතූන් කියන එක.

සප්ත ධාතූ ප්‍රභේද.
සප්ත කියන කොටම අපිට දැනෙනවා හතක් කියන එක.
1. රස
2. රක්ත
3. මාංශ
4. මේද
5. අස්ථි
6. මජ්ජා
7. ශුක්‍ර මේවා තමයි සප්ත ධාතූ කියන්නේ. මේ ගැන තවත් ඉදිරියට විමසා බලමු.

කෝෂ ග්‍රන්ථ වලට අනුව ධාතු ශබ්දයේ අර්ථයන්.
1. යමක ඉතාමත් වැදගත්වන කොටස.
2. මූල ද්‍රව්‍ය
3. ද්‍රව්‍යයක සාරය
4. ශරීරයේ මූල ද්‍රව්‍ය
5. භෞතික ද්‍රව්‍ය
6. ශබ්ද මූලය
7. ආත්මය
8. පංචේන්ද්‍රය
9. පංච මහාභූත
10. අස්ථි මෙන්න මේ වගේ අර්ථයන් රාශියක් ධාතු කියන වචනෙට සංස්කෘත කෝෂ ග්‍රන්ථවල දීල තියනවා.
පුද්ගලයෙක්ගේ උපතේ සිට විපත දක්ව එසේත් නැත්නම් පංචමහා භූත එක්වී මිනිස් ශරීරය නිර්මාණය වී එය නැවත පංච මහා භූත තත්ත්වයට පත් වන තුරු සෑම මොහොතකම ධාතු නිර්මාණය වෙමින් විනාශ වෙමින් පවතී. මෙය ජීවය පවත්වා ගැනීමේ අනිවාර්‍ය්‍ය අංගයකි.

ධාතු ප්‍රභේද
1. ස්ථායී ධාතු
2. අස්ථායී ධාතු
මින් ස්ථායී ධාතු යනු යම් කිසිවක් ධාතු තත්ත්වයට පත් වී නැවත වෙනත් ධාතුවක් බවට පත් නොවන ධාතූන්ය. උදාහරණ රස, රක්ත, ආදී ධාතු සප්තකයම.
අස්ථායී හෙවත් පෝෂක ධාතු නම් එක ධාතුවක් තවත් ධාතුවක් බවට පත්වන ධාතූ කොටස්ය. උදාහරණ ලෙස අප ගන්නා ආහාරය රස බවට පත් වී ඉන් කොටසක් ස්ථායී රස ලෙස පවතිද්දී තවත් කොටසක් රක්තය බවට පත් වේ. මේ ක්‍රියාවම රක්තයේදීද නැවත සිදු වේ. මෙලෙස වෙනත් ධාතුන් බවට පත්වන ධාතු කොටස පෝෂක ධාතු ලෙස හඳුන්වයි. (චරක සංහිතා, සූත්‍ර, 28 අධ්‍යාය.)

දැන් ඔබට ධාතූන් යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි යම්කිසි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ඒ නිසා අපි මේ ධාතූන් ගැන තව ගැබුරට සොයා බලමු. ඇත්තෙන්ම අප ගන්නා අහාරය ශරීරය තුළ ජීර්ණ ක්‍රියාවලියට භාජනය වන අයුරු ඔබ අ.පො.ස. සා/පෙ සිටම උගෙන් ඇතුවාට සැක නැත. ඒ බටහිර ක්‍රමයටය. මේ දැන් අප දැන ගන්නේ අපේ පෙරදිග ක්‍රමයට ආහාර ජීර්ණය විස්තර කර ඇති අයුරුයි.

ධාතු නිර්මාණ ක්‍රියාවලිය හෙවත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආයූර්වේදයට අනුව.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ක්‍රියාවලිය සිදුවෙන ක්‍රම තුනක් දක්වලා තියනවා.
1. කෙධාරි කුල්‍යා න්‍යාය
2. ඛලේ කපොත න්‍යාය
3. ක්ෂීර දධි න්‍යාය
මේ ගැන විස්තර සොයන කෙනෙක්ට ප්‍රයෝජනවත් වන්නට මම රෙෆරන්ස් දෙන්නම්. චරක චිකිත්ස් 15/16 අධ්‍යායන්, සුශ්‍රැත සූත්‍ර 14 අධ්‍යාය, අෂ්ටාංග හෘදය ශාරීර 3 අධ්‍යාය. මේ පොත් තුන කරුණු කීපයක් ගැන ප්‍රතිවිරුද්ධ මතත් දරනවා. නමුත් ඒ ගැන නොසලකා අපි මේ ක්‍රියාවලිය ගැන සිත යොමමු.

(1)කෙදාරි කුල්‍යා න්‍යාය
මෙහිදී කෙදාරි යනු කෙතයි. කුල්‍යා යනු ඇලයි. එනම් කෙතට ඇලවල් වලින් වතුර ගෙන යන රූප ඔබ දැක ඇතිනේ අන්න ඒ වගේ ප්‍රධාන ඇළෙන් ජලය ඊළඟ ඇළට, ඒකෙන් ඊට කුඩා එකට අදී වශයෙන් පිළිවෙළට ගමන් කර කෙත ජලයෙන් පෝෂණය කරනවා. මේ ආකාරයෙන්ම අප ගන්නා ආහාරයේ ඇති රස කොටස, රක්තය කොටස, මාංශ කොටස ලෙස පිළිවෙලින් එකින් එක ශරීරයට උරා ගන්නා අයුරු විස්තර කෙරෙනවා. මෙකෙදි වන්නේ අනුපිළිවෙලින් ආහාරය රස ආදී වශයෙන් ගොස් ශුක්‍ර බවට පත් වීමයි.

(2)ඛලේ කපෝත න්‍යාය
මෙහිදී නොයෙක් ධාන්‍ය වර්ග විසුරුවා ඇති තැනකට නොයෙක් පළාත් වලින් කුරුල්ලන් පැමිණ තම තමන් කැමැති ධාන්‍යයක් තෝරාගෙන යන්නාක් මෙන් ආහාරය ඉතාමත් අවශ්‍ය ධාතුව බවට ඉක්මණින් පත් වීමයි. මෙය හැම විටම සිදු නොවන ක්‍රියාවලියකි. මෙය ඉතා අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාත්මක ඒ. නැතහොත් අඩු වේගයකින් සිදු වෙමින් සිට අවශ්‍ය විටෙකදී වේගයෙන් ක්‍රියාත්මක වේ.

ක්ෂීර දධි න්‍යාය
මෙහිදී වන්නේ කිරි දී කිරි බවට හැරෙන්නාක් මෙන් ඉතා ක්‍රමානුකූල ලෙස ආහාරය පරිණතියට යාමයි. මේ ක්‍රමයත් නිතරම සිදු වන ක්‍රියාවකි. 1 සහ 3 වන ක්‍රමයට නිතරම ආහාරය පරිණත කරන අතර 2 ක්‍රමය හදිසි විටෙකදී පමණක් ක්‍රියාත්මක වේ.

දැන් ඔබට ස්ථූලභාවය ගැන කියන්නම් මෙතැන් සිට. ටිකක් දිග වුවත් මේක අවශ්‍ය අය සිටින නිසා මේකෙදිම අවශ්‍ය දේ කියන්නම්.

දැන් අපි දන්නව යමෙක් ආහාරයක් ගත්තම ඒ ආහාරය, ආහාර රසය බවට පත් වෙනවා. මේ සදහා ධාත්වග්නි පාකය කියන සංසිද්ධියත් වැදගත් වෙනවා. ඒ ගැන මම වැඩි විස්තරක් නොකියා කෙටි හැදින්වීමක් විතරක් කරන්නම්.

අපේ ආහාරය මත යෙදෙන එක් බලයක් වන්නේ මේ ධාත්වග්නි පාකයයි. මේකෙදි අනුපිළිවෙලින් එකින් එක ධාතූන් සදහා වැදගත්වන ධාත්වග්නි පාකයන් යෙදවෙනවා. උදාහරණයක් විදියට මුලින්ම, ආහාරය මත ධාත්වග්නි පාකය යෙදීමෙන් ඇතිවෙන්නේ ආහාරයේ රස කොටසයි. ඒකෙදි නිපදවෙන්නෙ රසයයි. නැවත ධාත්වග්නිපාකය යෙදීමෙන් රක්තය, මේද, මාංශ, ආදී ලෙස ක්‍රමයෙන් සියලුම ධාතූන් නිපැයෙනවා.

මේ ධාත්වග්නි පාකය යෙදවීම සම්බන්ධව නොයෙක් මතයන් තිබෙනවා. මම මෙහිදී පිළිගන්නේ අර අපි කලින් කතා කළ 1, සහ 3 යන ක්‍රම දෙක සාමාන්‍ය ලෙසත් 2 ක්‍රමය හදිසි අවස්ථාවලත් යෙදවීමෙන් ශරීරයට අවශ්‍ය ධාතු නිපදවෙනවා කියන එකයි.

ඉතාම කෙටියෙන් කිව්වොත් මේ 1, 3 ක්‍රම වලට තමයි අපේ එදිනෙදා අවශ්‍ය ධාතූන් නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ ධාතූන් පිළිවෙලින් භූතාග්නි පාකය නම් සංසිද්ධියකට භාජනය වෙනවා ඉන් ඇතිවන ඵලය වෙන්නේ මහාභූත පංචකය. එනම් පෘථිවි, ආප්, අග්නි, ආකාශ සහ වායු යන මහාභූතයන්.

දැන් ඔබට පැහැදිලි ඇති අපි ගන්නා ආහාරයෙන් මුලින්ම ධාතු සප්තකයත්, ඒ ධාතු සප්තකයෙන් ස්ථාවර ධාතූන් හැර අනිත් පෝෂක ධාතූන් මගින් පංච මහා භූතයනුත් නිපදවෙන බව. මේවා සියල්ලම නිසා තමයි අපේ ජීවය පවතින්නේ.


එතකොට අපේ ශරීරයට පෝෂක වර්ග දෙකක් එකතු වෙනවා. ඒ අපි කියූ ස්ථාවර ධාතු සහ භූත පංචකය.

දැන් අපි හිතමු, යම් කෙනෙක් අසනීපයකින් පෙළුණා. නිසි පෝෂණයක් නැති වුණා සෑහෙන දින ගණනක්. එතකොට මොකද වෙන්නේ???
මෙන්න මේක බොහෝම වැදගත් ප්‍රශ්නයක්.

මෙහෙමයි ඒ වගේ අස්ථාවක අපේ ශරීරයේ පෝෂක ධාතූන් වන සප්ත ධාතු අඩු වෙන්න ගන්නවා. ඒ එක්කම එයිට අදාළ මහාභූතයන්ද අඩු වෙනවා.

මේ හිඟය මඟ හරින්න යම් පෝෂණයක් ශරීරයට ලැබිය යුතුයි. ආහාර ගෙන ඒ තරම පෝෂණයක් ලැබීමට කෙටි කලක් ගතවන නිසා අපේ ස්ථාවර ධාතු සප්තකය යම් ප්‍රමාණයකට ධාතු මුදා හැරීමක් සිදු කරනවා. අන්න ඒ නිසයි යමෙක් අසනීපයකින් පෙලුණොත් කෙට්ටු වෙන්නේ.

ඒ වගේම අපි අපේ ආහාරය සමබර කර නොගත්තොත් ?????

ඒ ගැන සහ ශරිරයේ කායික සමබරතාව නීරෝගීව පවත්වා ගන්නා අන්දම දෙවනි කොටසින් ....

හරියන්නෙ නැහැ. එක කොටසකට දිග වැඩියි. එහෙනම් දින දෙක තුනකින් ඉතිරි කොටස......

Thursday, June 21, 2012

101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස.

මේ දෙවනි කොටස.

පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි.

මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........

අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා.

සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ.

අපි මේ කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කර ගත යුතු නිසා මමත් මගේ මිත්‍රයත් මේ ගැන බොහෝ සොයා බැලීම් කළා. ඉන් අපට දැන ගන්න ලැබුනු දේවල් බොහෝමයි.

මෙතැන් සිට ලියන දේවල වගකීම මම ගන්නවා.

අපි මේ කතාව නිසි අයුරින් අධ්‍යනය කරමු. එහිදී,
1.පුරාවිද්‍යාත්මක සාධක.
2. සමාජ විද්‍යාත්මක සාධක.
3. විඤ්ඤාණමය සාධක.
යන මේ සියළුම අංශයන්ගෙන් මේ අධ්‍යනය කළ යුතුයි.

1.පුරාවිද්‍යාත්මක සාධක.

පළමුව අපි සොයා බැලුවා මේ කරුණු ඇත්තද කියලා. එහිදී අපිට පෙනුණු දෙයක් තමයි වැලිකල මහතා කියන දේවල් 100% ඇත්ත බව. නමුත් මේ දිවා ගුහාවද කියන සැකය අපිට තදින්ම තිබුණා. ඒ ගැන තවමත් අපි සොයනවා. ඊයෙත් (2012/06/18) මගේ මිත්‍රයා මට කතා කළා. එතුමා (මෙහිදී නම සඳහන් කළ නොහැකි ) භික්ෂූන් වහන්සේ නමක් හමු වී මේ ගැන විචාරා තිබුණා. එතුමාගේ මතයත් මේ දිවා ගුහාව නොවන බවයි. මේ භික්ෂූන් වහන්සේ මා ඉතාමත් ගරුකරන තෙර නමක්. වගේම ලිවිය යුතු කතාවක් උන් වහන්සේ වටාත් තිබෙනවා. නමුත් තවම මට ඊට අවසරය ලැබුණේ නැහැ.

අපිට දැනගත හැකි වූ කරුණු අනුව මේ ස්ථානය අවට විශාල ගුහාවල් කීපයක්ම තිබෙනවා. විශාල ගල් ගුහාවක්ම දිවා ගුහාව විය යුතුයි. මොකද බුදුන් වහන්සේ සමග 500 රහතුන් වහන්සේලා පැමිණි බව දැක්වෙන නිසයි. මා මෙහිදී ස්ථානයේ ආරක්ෂාව ගැන සිතා තැන ගැන වැඩි විස්තර නොලියා ඉන්නම්. දැනට දිවා ගුහාව ලෙස හඳුනා ගෙන තිබෙන ස්ථානයට කිට්ටුවෙන් තවත් විශාල ගුහාවක් තිබෙනවා මේ ගුහාවේ පැත්තකට වෙන්නට පොකුණක් තිබෙනවා. බුදුන් වහන්සේ වැඩ හිටි ගුහාවේත් මෙලෙසම පොකුණක් තිබී තියෙනවා. නමුත් වැලිකල මහත්මයා කියන ගුහාවේ මේ පොකුණ තිබෙන්නේ ස්වභාවික ලෙස තිබුණු එකක් නෙමෙයි. කෙසේ හෝ මේ කිසිවක් දිවාගුහාව ලෙස පිළිගන්නට තවම කල් වැඩි බවයි මගේ කල්පනාව.

මේ නව ගුහාවේ කිසිම සොයා බැලීමක් තවම කර නැහැ. ඒ වවුල් විමානයක් ලෙසම තවම තිබෙනවා. ඉක්මනින් දිනක අප එහි යනවා. එදිනට ඔබට ඒ ගැන කියන්නම්. මෙම ගල් ගෙවල් එකල සිටි යක් ජනයාගේ ප්‍රධානම වාසස්ථානයන් වූවා යැයි සඳහන් වෙනවා. සමන් දෙවියන් තමන්ගේ පරිහරණයට වෙන්කරගෙන තිබූ ගුහාව බුදුන් වහන්සේට පිදූ බවකුත් කියවෙනවා.

තවත් දෙයක් මෙහි තිබෙනවා මූර්ති කීපයක්. ඒවා මෑත යුගවලට අයත් බව පෙනෙනවා. 1908 දීත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙහි යම් අලුත්වැඩියාවන් කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. මේ මූර්ති එකල තැනූවක්ද? එකල අලුත්වැඩියා කළ ඒවාදැයි හරියටම කියන්න බැහැ. නමුත් මින් නිරූපණය වන්නේ අර කුමාරිකාව විෂ්ණු දෙවියන් හමුවේ තම දුක කියා රාජකීයයන් විෂ්ණු දෙවි හමුවට පමුණුවා නඩු අසන සෙයක්. මෙහි කලකදී විෂ්ණු දෙවොලක්ද තිබී තිබෙන බව පෙනෙනවා.

2. සමාජ විද්‍යාත්මක සාධක,

දැන් අපි මේ ගැන තවත් සොයමු. ඔබ දන්නවනේ මේ සමන් දෙවි අඩවිය ලෙස පිළිගන්න බව. මේ සමන් දෙවි යුගය ගැන සමාජ විද්‍යාත්මකව සොයා බැලීමේදී ඉතා සුවිශේෂී කාරනා කීපයක්ම හෙළි වනවා. එනම්,


1. මේ යුගයේ සමාජය පීතෘ මූලික සමාජයක් නොව මාතෘ මූලික සමාජයක් ලෙසයි පැවතී ඇත්තේ.
2. සමන් දෙවියන්ගේ අක්කා ලෙස සැලකෙන මහ ලොකු අක්කා නම් (ඇයම මහ ලොකු කිරි අම්මා නමිනුත් සමහර විට හඳුන්වනවා.) යක් කාන්තාවගේ ගුහාව ලෙස හඳුන්වන ගුහාවකුත් මේ අසල තිබෙනවා.
3. තවත් ගුහාවක් යකින්නගේ ගුහාව ලෙස හදුන්වනවා.
මේ සියල්ල ගැන බැලීමෙන් තවත් යමක අපට හෙළි වනවා. එනම් මේ යුගය තමයි මාතෘ මූලික සමාජ ක්‍රමය උඩු යටිකුරු කරමින් පීතෘ මූලික සමාජ ක්‍රමය සමාජ ගත වූ අවධිය.

නිශ්ශංක මල්ලයන් මේ ප්‍රදේශයට එනතෙක් කිසිම ලක් රජෙක් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටි බවට කිසිම සාධකයක් මෙතෙක් මට නම් කියවන්න ලැබී නැහැ. (හසිත මේ ගැන දන්නවනම් ලියන්න.)

ඒ නිසා මා සිතන්නේ.........

සමන් දෙවියන්ගේ යුගයේ සිරිත් විරිත් ආදිය මේ මාතෘ මූලික සමාජ ක්‍රමය බොහෝ දුරට රැකී තිබෙන්න ඇති. මොවුන් බෞද්ධයන් වන්නත් ඇති. ඒ බුදුන් වහන්සේගේ ආගමනය නිසා. නමුත් ඉන්දියානු මොඩලයේ පීතෘමූලික සමාජ ක්‍රමය මේ පළාත් වලට එන්න ඇත්තේ නිශ්ශංක මල්ලයනුත් සමඟයි කියන එකයි මට හිතෙන්නේ. එය සංකේතාත්මකව කාන්තා දූෂණයක් ලෙස සමාජගත වූවාදැයි මට සිතෙනවා. ඒ කියන්නේ එක සමාජ ක්‍රමයක් එහෙම පිටින්ම තවත් සමාජ ක්‍රමයක් මගින් විස්ථාපනය වීමක් මෙතැනදී කතාන්දරක් ආකාරයකට සඳහන් වනවා දැයි මට සැකයක් ඇති වෙනවා.

ඉතා දිගු කලක් කොටින්ම වසර දහස් ගණනක් යුග කීපයක්ම තිබූ සම්ප්‍රදායන් එක් විටම වෙනස් වීම් කෙලෙසක සමාජය දරා ගනියිද යන්න අපට හිතා ගන්නවත් බැහැ. ඒ ආශ්‍රිතව සිදු වූ සිදු වීම් යම් යම් නිරූපනාකාරයෙන් විස්තර වීම පැරණි සිංහල ක්‍රමයටද අනුගතයි.

සමාජ ක්‍රමයක් දූෂණය වී තවත් නව සමාජ ක්‍රමයක් එක් වරම අනුගත වීම. විශේෂම සිද්ධිය කාන්තාවගේ නායකත්වය එක් විටම අහෝසිවී යාම. සිතා බලන්න....

කුවේණි කතාවේත් මෙවැන්නක් තිබෙනවා.... බලන්න... කුවේණිය මහා තේජවන්ත ශූර වීර සකල කළා ශිල්පයෙහි හසළ කාන්තාවක්. කොටින්ම මායා ශාස්ත්‍ර පවා දන්නවා. නමුත් ඇයගේ නායකත්වය එනම් මාතෘ මූලික යක්ඛ ක්‍රමය ඇයතම පෙම්වතා හමුවේ පූජා කරනවා. ඉනික්බිති චපල පෙම්වතාගෙන් පළිගන්න ඇය පෙළබෙන්නේ නැහැ. නමුත් ඒ ශක්තිය ඇයට තිබිය යුතුයි. ඒ ඇයි?????

මේක තමයි මානසික පරාජය. අද වුවත් මට හමුවෙනවා. ඉතාම කෙසඟ පිරිමි, බිරිඳට පුළුවන් ඔහුව උස්සලා විසි කරන්න. නමුත් ඒ කිසිවක් ඔවුන් කරන්නෙ නැහැ. ඒ ඇයි...? මානසිකව ඔවුන් සිටිනවා, පිරිමි මූලික සමාජ ක්‍රමය තුළට අනුගත වෙලා. (මේක හරිද වැරදිද නෙමෙයි මම මේ කියන්නේ. මගේ කතාවට සාධක ලෙස පමණයි.)

කොහොම වුවත් යම් නිශ්චිත සාධක මත පිහිටා මේක මෙහෙමයි කියන්න තරම් පර්යේෂණ තවම මේවා ගැන කෙරී නැහැ. මේ නව සොයා ගැනීම් සමඟ මට නම් සිතෙන්නෙම අපි මේ කතාන්දරයක් විදියට දකින සිද්ධිය යම් සිද්ධි මාලාවක් නියෝජනය කරන්න ගොතා ගත්තක් ලෙසයි.

ඔබට මතකද මම කලින් ලියූ විශ්වොත්පත්ති කතා මාලාව?

මේ තියන්නේ

එක,
දෙක,
තුන ලිපි ටික ආයිත් මේක ලියන්නම් දිනක.

3. විඤ්ඤාණමය සාධක.
ඉහත ලිපි වලින් එදා මම කියන්න උත්සාහ කලේ මූලිකවම භෞතික ද්‍රව්‍ය නිර්මාණයේදී එක්තරා දුරකට අභෞතික ද්‍රව්‍ය වන ප්‍රමාණ, වගේ දේ වැදගත්වන බව පැහැදිලි කරන්නයි. අපි ඒ ගැන හැදෑරීම පසෙක තබලා ඉන් යම් අදහසක් පමණක් ගෙන අපේ දැන් කතාවට එමු.

මේ කාන්තාව මරණයට පත් වන්නේ ඉතාම දැඩි ශෝකී වෛරී චේතනාවකින් නිසා ඇයගේ ඒ වෛරී සිතුවිලි යම් යම් භෞතික තත්ත්වයන් සමඟ ආරෝපණය වීමෙන් මෙවැන්නක් සිදු විය නොහැකිද?

උදාහරණයක් ලෙස අපි හිතමු මෙහෙම. මේ කුමාරි වෛරී චිත්තයෙන් මැරෙනවා. ඇයගේ ඒ වෛරී සිතුවිලි මේ ගුහාව තුලට එන අයට යම් මානසික බලපෑමක කරනවා වෙන්න බැරිද? මම පුද්ගලිකව අත්දැක තිබෙනවා, සමහර ගේ දොරවලට ඇතුල් වූ විට අපේ සිතට මහ කාලකණ්නි සිතුලි එන උදාසීන ගතියක් දැනෙනවා. මේ වගේ දෙයක් මෙතැන අභෞතික ලෙස නිර්මාණය වෙන්න බැරිද?? එම සිතුවිලි මේ අවට මිනිසුන්ට සහ ගුහාවේ සිටිනා අයට දැණුනා වෙන්න බැරිද??? වගේ දේ මගේ සිතට එනවා.

මේ ගුහාව බලන්න මුල් කාලයේ පැමිණි කාන්තාවන්, විශේෂයෙන්ම ඉතාම සුන්දර අඩු වයස් ගැහැණු ළමුන් මේ තුලදී ආවේශ වීම වගේ දේවලට ලක් වුනැයි වැලිකල මහතාම කියනව. පිරිත් කීමෙන් ඔවුන් සුව වුනැයිද කියැවෙනවා.

මට තේරුම් ගන්න ඕනෙම තැන මෙතැන. මේ ගුහාවේ යම් මානසික බලවේගයක් තිබුනැයි අප සිතුවොත් මේ සියලු දේ පැහැදිලි කළ හැකියි. නමුත් එවැන්නක් නොමැති යැයි උපකල්පනයක් කළොත් මේ සියල්ලම සිදු විය නොහැකියි. එසේ නම් මේවා සිදු වන්නේ කෙසේද?

මේක මට හිතෙන විදියට අර ජුලම්පිටියේ අමරේගේ කේස් එක වගේ. අපි ගුහාව බලන්න යන්නේ මේ හැම දෙයක්ම ඔලුවේ තබාගෙන දුර්වල හිත් ඇත්තන් මෝහනය වෙනවා වගේ.

දැන් බලමු මේ ගුහාව අවට ජනයා ඇයි බුදු පිළිමවල ඇස් ඉවත් කලේ. මේකට පිළිතුර කළින්ම ලැබිලා තිබුනා ඔබ අතරින්ම. එනම් මුලින් වෙන්න ඇත්තේ මේ පිළිමේ ඇස් වටිනා ඛණිජයකින් නිර්මාණය වී තිබෙන්න ඇති. ඒ ගන්නට කුරුමානම් අල්ලපු මිනිස්සු ඒ සදහා සොයාගත් උපක්‍රමය තමයි ගම් විනාශ වෙන කතාව. ඕවා විශ්වාස කරන ගම්වැසියා ඒ වැඩේට විරුද්ධ නොවෙන්න ඇති.

මෙවැනි කතා අපේ ජන සමාජයේ ඉතාම බහුලයි. මේවා ඇත්ත කියලා කියන්න අමාරු මේ වැනි කතා හැම තැනම තිබෙනවා. ඇත්තක් නම් තිබිය යුත්තේ එකයි. නමුත් යම් බරපතල ලෙස ජනවිඤ්ඤාණයට බලපෑම් කරන යමක් සිදුවූ විට ඒ ගැන ඇතිවන කතා බොහෝ පලාත්වල එක වගේම විය යුතුයි. මොකද ඒ බලපෑම හැම තැනම දැනෙන්නේ එකම විදියට නිසා.

මගේ අවසාන නිගමනය නම්, මේ කතාවල යම් සත්‍යයක් ඇති හැබැයි සිද්ධියක් ලෙස නෙමෙයි. මේ යම් සමාජමය බලපෑමක් නිසා සමාජයේ පැවැත්මට ඇති වූ දැඩි වෙනසක් ගැමි විඤ්ඤාණයෙන් විග්‍රහ කළ අයුරු. අපිට දැනෙන අයුරින් මේ දේවල් සිදු වෙන්න ඇත්තේ කූට මිනිස්සු මේ තැන්වල නිධන් ආදී වටිනා දේ ඇතැයි සලකා ඒවා ඉවත් කර ගැනීමට ගැමියාගෙන් වන බාධාවන් ඉවත් කර ගැනීමට ගැමියන්ගේ මනසට බිය ඇතුල් කළ හැටි.

පිරිත් කියන්නේ මිනිසාට ඉතාම වටිනා දෙයක්. වචනවල ඉතාම විශාල ශක්තියක් ගැබ් වී තිබෙනවා. නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙළි වී තිබෙනවා. මෙවැනි තැනක තිබෙන අර මූසල ගතිය ඉවත් කිරීමට පිරිත්වලට ඇති හැකියාව උපරිමයෙන් මම විශ්වාස කරනව. රෝගී මිනිස් මනස සුවපත් කිරීමට පිරිත් තරම් බලපෑමක් කරන වෙනත් දෙයක් මට නම් හිතන්න අමාරුයි.

ඔබට දැනෙන දේ ලියන්න. ටිකක් කලබලෙන් ලිව්වේ අකුරුවල අඩුපාඩු ඇති. ඒ ගැන සමාව බජනය කොරනවා.


දැන් අපි හැරෙමු ආයූර්වේදෙට ඉදිරියට ටික කලක් ආයිත් ආයූර්වේද ලිපි. එතෙක් ආයූබෝවන්!!!!