Saturday, November 30, 2013

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා

සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා: සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ...

Thursday, August 1, 2013

අද අද එයි මරු පිංකර ගන්නෙ

ඔබ කවුරුත් දන්නා පරිදි මම දේහපාලනය උගත්තෙක් මි. දේශපාලනය මට ආගන්තුක ය. ඒ පිළිබඳ ඇසූ දුටු කියවූ දෑ හැර අන් යමක් මම නොදනිමි. නමුත් මගේ බුද්ධි මානයට පිටින් වුවත් යමක හොද නරක මිනුම් කිරීමට සරි බුද්ධිය ක් මට ඇතැයි මම දනිමි. දශක කීපයක් ලැබූ ජීවන පරිචය ම ඊට ප්‍රමාණවත් ය.

දැනට මෙසිරිලක වාසස්ථානය කොටැති මම නොයෙක් විට ලැබූ විදෙස් අත්දැකීම් ද සමග මුසු කොට මෙසේ ලියා තබමි.

අප කුඩා කළ, මට දැනුම් තේරුම් ඇති වයසේ දී මෙරට දේහ පාලනය පිළිබඳ සෙවුමට පත් කොට සිටි රජයේ බලධාරියා වූයේ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා යි. ඒ එම තනතුර ට සුදුස්සෙක් පත් වූ අවසාන වතාව යැයි මට සිතේ. මන්ද එතනින් පසු දේහපාලනයත් දේශපාලනයත් දෙකම එක වලේ ම වැටෙන්න ට වූ බැවිනි.

මගේ ප්‍රියතම දේශපාලකයා වන ජේ. ආර්. ජයවර්ධනයන් ගේ මැති මඬුල්ලේ සිටි අතපත්තු මැතිඳුන් එම තනතුර ට එක් කළේ සෙසු පටු ප්‍රභාවක් ද නොවේ. ඊට ඇති හොදම නිදසුන නම් එතුමන් එම තනතුර හැර දමා ලෝක දේහපාලන සංවිධානයේ බලගතු තනතුරක ට පත් කිරීම යි. එවන් පුරුෂයන් අද කොහිද? ඉඳ හිට හීන් කෙදිරීම් හැර එක සීරුවට අහල ගම් හතකට එක විට අඬහැරයක් පාන්නට තරම් එකෙක් අද වෙසෙත් ද?

ඒ එසේ තිබෙන්නට හැර මම මේ හාන් හෑල්ල ලිවීමට සිත් වූ කාරණය ඔබට මෙසේ කියමි.
ඊයේ මගේ අසල් වැසියෙක් මා හා කියූ කතාව මෙසේයි. ඔහු අද දින උසාවිය ට කැඳවා ඇති ලු. ඉතාම අහිංසක පුද්ගලයෙක් වන මා අසල් වැසියා එතරම් වරදක් කෙදිනකවත් නොකරන වග නම් මම දනිමි. නමුත් මා වැරදිය. ඔහු මහ පොළව නුසූලන අපරාධය කාරයෙකි. දිනපතා උදේ සවස කුරුල්ලන්ට කෑම සහ බීමට ජලය දීමට තරම් වූ නොසන්ඩාලයෙකි. එපමණක් නොවේ තම ගෙවත්තේ රම්ප ගහක් වැවීමට තරම් අපරාධකරුවෙ කි.

මෙතෙක් කලක් ඉතාම රහසිගත ව කර ඇති මේ අපරාධය පසුගිය දිනක පොලොස් බලධාරින් ගේ උකුසු ඇස ට හසු වී ඇත. ඔවුන ට ඇත්තේ උකුසු ඇස් ය. පෙනෙන්නේ මේවා ය.

නමුත් රේමන්ඩ් පාර, පාගොඩ පාර, පූර්වාරාම පාර (ටික දිනක සිට අලුතින් කාණු බඳිමින් සිටිති.) ඇතුළු සියලු නගරය ට සම්බන්ධ වන කිසිම අතුරු පාරක කාණුව ක් සුද්ධ නොකරන බව මම දනිමි. මේවා සුද්ද කිරීම මගින් නගරයේ ඩෙංගු පාලනය කිරීම ඉතාම පහසුවෙන් කළ හැකිය. එනමුත් සමහර කාණු ඇත්තේ කොයිබක ද කියා නගර සභාව ත් නොදනී. උදාහරණ රේමන්ඩ් පාර කාණු ඇත්තේ පුද්ගලික ඉඩම් හරහය. ඒ කාණු දැන් වැහී ගොස්ය. මදුරු ආකරය.

නමුත් ඒවා එසේ වුවත් නගර නයුවන් නඩු අසා හිරේ දැමූ විට නගරයට කවර පිහිටක් ද? එම නිසා මේ නගරවල ඩෙංගු මර්ධනය කෙසේ වෙතත් රජයට ආදායමක් ගත හැකි වීම ම සිතට ප්‍රීතියක් නූපදවයි ද? අප එවන් දේශප්‍රේමීන් වෙමු. හිරේ වැටී, ඩෙංගු හැදී මියෙම්වා අපේ නගර නයුවන් සහ අපේ සසිරිබර මෙසිරිලක රටේ නයුවන් තිස්තුන් කෝටියකුත් තවත් ටිකක් වන දෙවියෝ ම බලත්වා. පඟර නැට්ටන් වන නගර වැස්සන් මැස්ස වැනි බෝවෙ ත්. ඒ අතරින් කීප දෙනෙක් මළාට බිය විය යුතු නොවේ. බෝ කිරීම සදහා ද බලකායක් සහ සේනාවක් ඇති බැවින් වෙසෙසින් ම හිතට ප්‍රීතියක් නොපැමිණේ ද?

එසේම ගම්පහ වැලිවේරියේ වැස්සන් ද මේ නටන්නේ පිස්සුවකි. ඔය එකෙක් දෙන්නෙක් මළාට දෙකෝටියක් වැස්සන් සිටින රටකට බරපතල හානියක් සිදුවේද? ඕවා දේශදෝහීන්ගේ පිස්සු කථාය. යම් විදියකින් එසේ වැස්සන් හමාර වුවොත් ප්‍රශ්නත් හමාර බව නොපෙනේ ද? ඒ නැතත් බලකාය සහ සේනාව බෝ කරණ වැඩේ භාර ගෙනැති බැවින් තුටින් නිදන්න. මදුරුවන් තමන්ගේ පෝෂණය සරි කර ගියාවේ.

අවසාන වශයෙන් මෙසේ කියමි.

අද අද එයි මරු පිංකර ගන්නෙ - කුමට ද හෙට මරු නේති යි සිතන්නේ…


ඒ වගත් මෙසේම යි.

Thursday, July 4, 2013

සම්පයියක් සේ වැඩූ මිරිස් වැටියක් තනන ආකාරය, හෙවත් ආයුර්වේද වෙදසරණිය.

මට විවිධ ආරේ මිතුරන් සිටී. ඒ අතර ඉතාම පහළ ම රැකියා කරන කම්කරුවන් මෙන්ම ඉහළ පෙළේ රැකියා කරන වුන් ද, මා වෙනුවෙන් පණ දීමට වචනයෙන් සැදී පැහැදී සිටින්නාක් මෙන් පෙන්වන්නන් ද, සැබෑවටම එසේ කිරීමට ඉදිරිපත් වන්නන් ද, මිතුරු වෙසින් සිටිති. මේ සියල්ලන්ට ම වෙනස් වූ මිතුරන් පිරිසක් ද දැන් මට සිටිති. එනම් මෙතෙක් මා දැක නැති මාගේ සයිබර මිතුරන් ය. මේ අය අතරින් අභීත, දුලිප්, ප්‍රදීප්, රාමා, මාරයා, නලිනි,…,…,….,.. වැනි කීප දෙනෙක් හැර මා දැක ඇත්තේ තවත් ඉතාම ස්වල්පයකි. නමුත් මේ දුටු නුදුටු සියල්ලන් මා දැක කතා බහ කරැති මගේ මිතුරන් මෙන්ම ආත්මීය මිතුරන් ලෙස මම සලකමි.

එවන් මිතුරන් කීපදෙනෙක් දැන් ටික දිනක සිට මට පොඩි පොඩි ඇඟැවීම් කරමින් සිටිති. මේ අය අතර රාමා, සහ දේශකයා, මෙන්ම සිරා ද සිටිති. දින දෙකකට පෙර දේශකයා ට දින කීපයකින් බ්ලොග් පෝස්ටුවක් දමමි යි මවිසින් දුන් පොරොන්දුව මට අමතක විය. ප්‍රතිඵල හැරෙන තැපෑලෙන් පැමිණ තිබේ. මේ ලියන්නේ ඒ නිසාය.

වරක් කීවාක් මෙන් "ඔබ වැනි මිතුරන් සදා වාසනාවන්."

මේ ලිපිය සයිබර අවකාශයේ සිටින මගේ සියලු මිතුරන්ගේ මිතුරුකම වෙනුවෙනි.
**************************************************************

අපේ අසහාය ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ පරිච්ඡේද ගණනාක් ම වෙන්කර ඇත්තේ දුටුගැමුණු මහරජ වෙනුවෙන් බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි. මහාවංශකරුට දුටුගැමුණුට වඩා වීරයෙක් තවත් නැත. මට නම් එසේ නොවේ. මට දුටුගැමුණු තවත් එක් රජෙක් පමණි. නමුත් මේ කතාව පැවසීමට දුටුගැමුණු මහරජු අපට ඉතා වැදගති.

දුටුගැමුණු මහ රජු යුද්ධය අවසානයේ තම දිග් විජය සැමරීමට මහා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා ලු. එහි එක් අංගයක් වූ ජල ක්‍රීඩාවට සම්බන්ධ වීමට ගැමුණු මහරජු ද සූදානම් විය. තිසා වැව අද්දර ජල ක්‍රීඩා බිමට පැමිණිම සදහා රජු තම සධාතුක ජය කුන්තය ආරක්ෂා සහිතව එක් තැනක සෘජුව සිටුවා තැබීය. ක්‍රීඩාවෙන් පසු කුන්තය ගැනීමට උත්සාහ කළත් එය එම බිමට යාවී ඇති බව දැක එය ජය බිමකැයි සලකා එහි දාගැබක් බැඳවී යැයි මහාවංස කතා කරු කියයි.

එම දාගැබ "මිරිසවැටිය" යැයි නම් වීය.

අපේ අද කතාවට පාදක වන්නේ මේ "මිරිසවැටි" යන නාමය ලැබීමට හේතු වූ සිද්ධියට සම්බන්ධ කරුණකි. එනම් මහ රජු තමන්ගේ රාජ භෝජනය හැමටම පළමු සංඝ රත්නයට වෙන්කර පූජා කරයි. ඉන්පසු තම පරිභෝජනය ලබා ගනියි. මෙය යි මහරජුගේ සිරිත. නමුත් දිනක් අහම්බෙන් මහරජු වැරදීමකින් යම් "මිරිස් වැටියක්" සංඝයාට වෙන් කිරීම ට ප්‍රථම තම පරිභෝජනය ට ගත් හෙතුවෙන් ඉන් ඇති වූ සිත් තැවුලට පිළියමක් ලෙස මේ මහා වෛත්‍ය රාජයා "මිරිසවැටිය" යැයි නම් කෙරුවේ ලු.

අද අපේ ප්‍රස්තුතය ලෙස මෙම "මිරිසවැටිය" යන නාමය යොදා ගැනීමට මම අදහස් කළෙමි.

කුමක් ද මේ අති දීර්ඝ කාලයක් පැවතීම ට සමත් දාගැබක් බැඳවීම ට තරම් හේතු වූ මිරිස්වැටිය? මෙය ඇත්තෙන්ම ප්‍රශ්නයක්? බොහෝ අය මෙය දකින්නෙ මිරිස් හොද්දක් ලෙසයි. නමුත් මා එය වෙනස් විදියකට දකින අතර ඔබටත් මිරිස්වැටියක් සාදා ගන්නා අන්දම පැහැදිලි කිරීමට මේ අවස්ථාවක් කරගමි.

මේ පිළිබඳව මහාවංස කතාකරු මෙසේ පවසයි "පෙර බත් කාලයෙහි සංඝයාට නො තබා අනුභව කරන ලද එකම මිරිස් වැටියක් දුටුවේය"

එලෙසම සද්ධර්මාලංකාරය මෙසේ ද පවසයි ".... සිහි මඳ ව දන් නො දී මළමිරිස් පැස්සක් සඳහන් කොට...."

සිංහල ථූපවංසය, බද්දේගම විමලවංශ සංස්කරණය, 1958, පිටුව 100 හි මෙසේ සඳහන් වේ. "ස්වාමීනී, සඳහන් නැතිව සංඝයා වහන්සේට නො දී මළමිරිස් පැස්සක් කෑමි"

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ පවසයි, ".....සංඝයාට කොටසක් නො දී මිරිස් ආහාරයක් ගත් වරදට දඩුවම් වශයෙන්...."

මිරිස් වැටිය පිළිබඳ මෙහි දී ප්‍රධාන අදහස් දෙකක් විද්‍යාමාන මේ.

1. මිරිස් ආහාරයක්.
2. මිරිස් පැස්සක් නැතිනම් මිරිස් වැටියක්.

මේ අනුව මූලික නිගමනයක ට බැසීම අසීරු නොවේ.

1. මෙය මිරිස් යෙදූ ආහාරයකි.
2. මෙය පැසක් ලෙස වැළදිය හැකි, නැතිනම් වැටියක් ආකාර ආහාරයකි.

මේ ආකාරයට තවත් නිරවුල් කරගත යුතු කරුණු දෙකක් ඇත.

1. කුමක් ද පැසක් යනු?
2. වැටියක් යනු කුමක් ද?

මේ කරුණු දෙකට පිළිතුරු සෙවීම පසෙකින් තබා තව කෙටි දුරක් සොයා බැලීමෙන් පසු නැවත මෙතැනට එමු.

මාරයා ඇතුළු සයිබරයේ උයන පිහන නඩේට මෙන්න ඔතුවක්. මම අද ඔබට රාජ භෝජනයකට මඟ කියමි. සකසාගෙන රස බලන්න. නුගේගොඩින් යනවා නම් අපිත් ආසයි මිරිස්වැටියකට……...

මේ කවි පංතිය කියවා බලන්න. (මූලාශ්‍ර, පුංචි බණ්ඩාර සන්නස්ගල, මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය, පිටුව 50.)

වම්බටු ලෙසට මස් අඹා පිසින කල
අමු මුං පොතු හැර සිනිඳු ව වැටූ කල
මෙ ලෙසම ඇඹූ මස් සරිව ඇඹරූ කල
අසමොදගම් දී අමු වයිතී ගත් කල

ලුණුත් කසාලා වරදිය කකියමින
බටුගෙඩි එහි සිටුවාලා එබුණු තැන
තිබු මස උඳු කැරලි කොට ඉරා තබමින
උම්බල මස් දැමූ පත් කඩ අඹව මින

කොතබුරු මිරිසිඟුරු අබ අසමොදග ම
කසා සැලුණු ලුනැඹුල් වටා ඇම
මස් මෙහිලා අනා ගෙන සැලී කැවුණ ම
වට පැසි මිරිස්වට මේ ඈ යෙදූ නම

මෙම පැඳි තුන අඩංගු වන්නෙ ආචාර්ය පුංචි බණ්ඩා සන්නස්ගල සූරීන් ඉතා වෙහෙස මහන්සියෙන් විමර්ශනය කොට රචනා කර ඇති මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය නම් ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථයට අනුව පැදි තුනෙ අර්ථය අපට විමසා බැලිය හැක. එනම් මින් අපට ලබාගත හැකි නිගමනය නම් මෙය ඉතා ඈත කාලයක සිට රජගෙදර භාවිතයට ගත් වට්ටෝරුවක් බවයි.

මෙහිදී මෙම ආහාරය සකසා ගැනීම පිළිබඳ උපදෙස් ම වෙත ලබා දුන්නේ මගේ මිතුරෙක් මෙන්ම ගුරුවරයෙක් ද වන මා හිතවත් වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමා යි.

මෙහි දී පළමුවෙන් ම මස් හොදින් මෘදු වීමට අමු මුරුංගා පොතු දමා, වම්බටු ගෙඩි පමණ සකසා ගත යුතුයි. එනම් අමු මස් මුරුංගා පොතු සමග ඇබරීමෙන් පසු කුඩා ගුලි සකසා ගත යුතුයි. එහිදී අසමොදගම් සහ වයිතී හෙවත් වර්ණකාරක ද, ලුණු, කහ, ඇතුළු මිරිස්, කොත්තමල්ලි, අබ, ඉගුරු ආදිය ද, ලුණු ඇබුල් ද තුන පහ දමා සකසාගත යුතුයි. සියල්ල සම්පූර්ණ වූ පසු එය ගැබුරු තෙලින් රන් වන් වන සේ බැඳ සකසා ගත යුතුයි. මෙහි උම්බල මස්, නැති නම් මළමිරිස් යනුවෙන් හඳුන්වන්නේ අමු මස් තෙලින් බැඳ ගැනීමෙන් පසු අවස්ථාවයි.

දැන් අපි මෙහි සදහන් වට පැසි මිරිස්වට යන කොටස විමසා බලමු. මිරිස්වට යන්න පාලියට නැගීමේදී "මරිචවට්ටි" ලෙස ලිවිය හැක. නැවත එය සිංහලට පෙරලීමේ දී මිරිසවැටිය යන නම භාවිතයට එන්නට ඇතැයි සැලකීමට අපට මෙහි සාධක ඇත. දැන් මිරිස් ආහාරයක් හෝ මිරිස් වැටියක් යන්න නිසා මිරිසවැටිය යන නාමය ආ ආකාරය ඉතා පැහැදිලි ඇතැයි සිතමි.

ඊළඟ ප්‍රශ්නෙ වට පැසි යන්නයි. වට පැසි යන්න භාවිතාවේ දී ම සිතට පැමිණෙන අදහස වන්නේ යම්, පැසක් / කූඩයක් / මල්ලක් / පැස්සක් / පසුම්බියක් / සම්පයියක් / පැහියක්, වැනි යමක් භාවිතයෙන් සාදන දෙයක් යන්න යි. මෙහිදී එසේ නම් මෙම මිරිස් වැටිය යනු පසුම්බියක් වැනි යමක් තුළ සාදනු ලබන්නක් බව අපට මේ අනුව අවබෝධ වනවා. සිලින්ඩරාකාර කොපුවැනි ආකාරයේ යමකට පසුම්බිය යන්න භාවිතය ට ගත හැකියි නේද? එවිට සම්පයිය යනු කොපු ආකාර වට පැස්සක් නොවේ ද? දැන් මේ කවි පංතියේ අවසාන කවියේ අවසාන පදයට අනුව වට පැසි මිරිස්වට යනු සම්පයියක් තුළ බහාලූ මිරිස් ආහාරයක් හෙවත් සම්පයියක් ආකාරයෙන් තැනූ මිරිස් ආහාරය යි. මෙසේ වන්නේ තෙලින් බැද ගැනීමෙන් පසු පිටත මස් හොදින් බැදී කොපුවක ආකාරයෙන් සකස්වන නිසාය.

සිංහල ථූපවංසය ත්, සද්ධර්මාලංකාරය ත්, මෙම කරුණ පිළිබඳ යම් විමසීමක් කර ඇත. එහිදී ග්‍රන්ථ දෙකම මළමිරිස් පැස්සක් යන වචන භාවිතා කරයි. මෙසේ වන්නෙ ඇයි? අපි ඉහත වට පැසි මිරිස්වට යන්න විමර්ශනයට ලක් කළෙමු. එහිදී සම්පයියක ලූ මිරිස් ආහාරය ලෙස මේ වට පැසි මිරිස්වට යන්න විග්‍රහ කළෙමු. දැන් මෙය කුමනාකාරයේ ආහාරය ද යන්න පිළිබඳ යම් වැටහීමක් ඔබට ඇතැයි සිතමි.

නවීනයේ අපේ නිවෙස්වල මාළු මිරිස් පුරවා සාදන ආහාරය ඔබ සියල්ල භුක්ති විඳ ඇතැයි මම සිතමි. මෙයත් ඒ ආකාරයේ ආහාරයක් ලෙස නොපෙනේ ද? අනෙක රජතුමා සාංගීක කිරීමට පෙර භුක්ති වින්දා නම් එය එසේ හුදෙකලාව භුක්ති විඳිය හැකි යමක් විය යුතුයි නේ ද?

මෙහි දී මට නම් සිහිය ට නැගෙන්නෙ නවීන සොසේජස් (Sausages) / Meat Balls වැනි ආහාරයක් ලෙස මෙය භාවිතය ට ගන්න ට ඇතැයි යන්න යි.

දැන් සියලු සැක දුරු කර සම්පයියක ආකාරයෙන් සකස් කර ගත් මිරිස් වැටියක් සාදා භුක්ති විඳීමට කිම ද බාධා?
************************************************************************************

ප/ළි.
හිතවතුනි මට මීට කලින් ලියූ මනෝවිද්‍යාත්මක ලිපි පෙළේ අවසාන ලිපිය සම්පූර්ණ කිරීමට තිබේ. නමුත් මම එය දැනට අතහැර දමමි. ඒ මතුවට උපදේශනය පිළිබඳ දීර්ඝ ලිපි පෙළක් ලිවීම ට බලාපොරොත්තු වන බැවිනි. මේ අධික රාජකාරී බහුල බව තව මාස කීපයක් යන තෙක් තිබේවි. ඊට පසු පුරුදු පරිදි ලියමි. ඔබට ජය!!!!

Thursday, April 4, 2013

මිතුරාගේ පියාගේ නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම.

පළමු කොටස.
අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි.

කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු.

කායික රෝග ලක්ෂණ.
1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්.

අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

මේ තමයි පාකින්සන් රෝගය පිළිබඳ විස්තර.
විකිපීඩියාවෙන් ලබාගත හැකි විස්තර.

පාකින්සන් ඇති වීමට හේතු.

පාකින්සන් රෝගයේ ප්‍රභේද

මෙම රෝගය පිළිබඳ මෙයට වඩා විස්තර ඔබට ජාලයෙන් ලබාගත හැකියි. දිනක අපි ඒ ගැනත් කතා කරමු.
පාකින්සන් රෝගයේ ප්‍රභේද වලින් 4 වන ප්‍රභේදය වන මෙහිදී අපේ කතානායක පියා හා සමවන බවයි මගේ අදහස. එම නිසා අපි ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බලමු.

මෙය ශරීරයේ අනෙකුත් පද්ධතීන්ගේ ක්‍රියාවන් ද අඩාල කරන්නාවූ රෝගයකි. විශේෂයෙන් ම මොළයේ වෙනත් පද්ධතීන් හි ක්‍රියාකාරීත්වයේ විශාල වෙනස්කම් ද මින් ඇති විය හැකිය. එනම් ක්‍රියාකාරීත්වය අඩු විය හැකිය. ශරීරයේ සමබරතාවය අඩු වේ. ස්වයංසාධක පද්ධතියේ ක්‍රියාකාරීත්වය බොහෝ අක්‍රමවත් විය හැක. පේශීවල දැඩි බව ඇති විය හැකිය. ස්නායුක සම්බන්ධීකරණය දුර්වල වේ. මෙම ක්‍රියාවන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම මෙහිදී ඇති විය හැක.

බොහෝ විට වයස අවුරුදු පනස් ගණන්වල මැද සිටින අයට මෙය බහුල වේ.
මෙම රෝගීන් සහ පාකින්සන් රෝගීන් වෙන් වෙන්ව හදුනා ගැනීම ඉතා අපහසුයි. මෙම රෝගීන්ගේ රෝග තත්ත්වයේ වර්ධනය වේගවත් වීම සහ පාකින්සන් රෝගයට ලබා දෙන ඖෂධ වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන් ද මෙම රෝගය හදුනා ගැනීමට යම් උපකාරයක් ලබාගත හැකිය.

ඉහත අප සඳහන් කළ රෝග ලක්ෂණයන් වන ප්‍රචණ්ඩ වීම, අසභ්‍ය වීම, නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම, සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම, යන ලක්ෂණ ඇති වූ අන්දම දැන් ඔබට සිතා ගැනීමට හැකි යි සිතමි. මොළයේ අවක්‍රියාකාරීත්වය නිසා මෙම සියලුම ලක්ෂණ ඇති වේ.

නමුත් දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් අපේ මිතුරා පියා හා කළ සංවාදයයි. තව ද මිතුරා මළගිය ප්‍රාණකාරයෙක් හා පියා මාර්ගයෙන් කතා කිරීමයි. ඇත්තෙන්ම මෙය විය හැකි ද?
මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

නමුත් අමරාවික්කේපවාදීව නොව විද්‍යාත්මක පිළිතුරක් මෙයට ලබා දිය හැකිය. මම ඔබව දැන් බුදු දහම දෙසට ගෙනයමි.

ඔබට මතක ද? මා පසුගිය ලිපියේ කතා කළා චිත්ත, මන, විඤ්ඤාණ නම් මාතෘකාවක්. දැන් අපි බලමු ඉතා කෙටියෙන් සහ පාලියෙන් තොරව ඒ පිළිබඳ යමක් උගෙනීමට.

මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ.[1] මෙම චිත්ත, මන, විඤ්ඤාණ යන පදතුන වෙන වෙනම ගෙන ඉතාම කෙටියෙන් සලකා බැලීමට මම මෙහිදී අදහස් කරමි. නමුත් විඤ්ඤාණය පිළිබඳ වෙනම ඉදිරියේදී සලකා බලමු. (මගේ විෂය වන මඳසරුභාවය හා විඤ්ඤාණය අතර පවතින දැඩි සම්බන්ධය නිසා එය ඉතාම වැදගත් බැවින් එසේ එය වෙනම දිනක කතා කරමු.)

චිත්ත
චිත්ත සංකල්පය මිනිස් ඉතිහාසයේ මුල් යුගයේ සිටම මිනිසා විසින් ගවේෂණයට ලක් කෙරුණකි. බුදුන් වහන්සේගේ යුගයටත් කලින් එවැනි ගවේෂකයන් ඉන්දියාවේම විසූ බව ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, වැනි ශාස්ත‍්‍රෑන් පිළිබඳ සඳහන් වන සච්චක සූත‍්‍රයෙන් හෙලි වේ.[2] චිත්ත යන්නෙහි දී මනෝ, සහ විඤ්ඤාණ යන වචන දෙකෙන් ආවරණය නොවන මානසික ක්‍‍්‍රියාකාරීත්වය විස්තර කෙරේ. මානසික ක්‍‍්‍රියාවලියෙන් වැඩි ප‍්‍රමාණයක් මෙමගින් ආවරණය වේ. සිත කිලිටි වීම නිසා නොයෙකුත් රෝගාබාධ, සහ විවිධ ගැටලූ වලට ලක් වේ. එසේම සිත කිලිටි වන්නේ රාග, දෝෂ, සහ මෝහ වැනි අකුසල සහගත චිත්ත වේගයන් නිසාය.[3] කය හෝ මනස රෝගී වීම, අයහපත් චිත්ත වේගයන් ඇතිව යමක් කීම හෝ කිරීම නිසා සිදු වේ.[4] චිත්ත යනු සිතීම යන ක්‍‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයන්ගෙන්ගෙන් යුත් තත්ත්වය හෙවත් ඒවා රැස්කරගත් මානසික තත්ත්වය ලෙස විග‍්‍රහ කළ හැකිය.
මේ අනුව පුද්ගලයෙක් ගොඩනඟාගත් මානසික පදනම ”චිත්ත” යන පදයෙන් නියෝජනය වේ. පෘථග්ජන මානසිකත්වයේ ඇති සැලෙන සුළු බව ,

”ඵන්දනං චපලං චිත්තං”

යනුවෙන් දැක්වේ. ලෝකය මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස මානසික ක්‍රියාව දැක්වීමට යොදා ගෙන ඇත්තේද චිත්තයි.[5] චිත්තය යටි සිත , එසේත් නොමැති නම් උපවිඤ්ඤාණය ලෙසද හඳුන්වා දියහැක.

චෛතසික
සිත හා නොබිඳී පවතින සිත හා ඒකාබද්ධව පවතින ධර්මතාවක්, හෙවත් චිත්ත ගතිය චෛතසික නමින් හැඳින්වේ.
බෞද්ධ සූත‍්‍ර සාහිත්‍යගත සූත‍්‍රයන් අනුව බැලූ විට පහත සඳහන් සූත‍්‍ර මගින්ද චිත්ත සහ චෛතසික පිළිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කළ හැකිය. 1. මජ්ඣිම නිකාය චත්ථූපම සූත‍්‍රය,[6] 2. එම චූළහත්ථිපදෝපම සූත‍්‍රය,[7] 3. එම සතිපට්ඨාන සූත‍්‍රය,[8] 4. එම සබ්බාසව සූත‍්‍රය,[9] 5. එම දන්තභූමි සූත‍්‍රය,[10] 6. සංයුක්ත නිකාය අන්තරක්ඛිත සූත‍්‍රය,[11] 7. එම ගද්දුල බද්ධ සූත‍්‍රය,[12] 8. අංගුත්තර නිකායේ නිබ්බේධිත සූත‍්‍රය,[13] යනාදී සූත‍්‍ර ද මේ සදහා නිදසුන්ය.

මනෝ
ඇස, කන, නාසය, කය සහ දිව යන ඉන්ද්‍රිය්‍යන් පහට ”මන” ඉන්ද්‍රිය එක් වූ විට ශරීරයේ ඉන්ද්‍රිය්‍යන් සංඛ්‍යාව හයක් බවට පත් වේ. මෙහි අදහස ”මන” යනු ද ඉන්ද්‍රියක් බවයි.[14] පසිඳුරන් දියුණු කළ හැකිය. හික්මවිය හැකිය. මනසද හික්මවීම මෙන්ම දියුණු කිරීමද කළ හැකි බව මේ අනුව තේරුම් ගත හැකිය. අනෙක් ඉන්ද්‍රිය්‍යන් පහද මනසද රැකගැනීමෙන්ද, හික්මවීමෙන්ද, දියුණුවට පත් කිරීමෙන්ද, සිදු වන්නේ යහපතකි. ඇස, කන, නාසය, දිව, කය යන පසිඳුරන් මගින් විවිධවූ සංවේදනයන් ලබා ගනී.[15]

මනෝ යන්න ධම්ම නම් වූ ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ ක්‍‍්‍රියාත්මක වේ.

චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපචරති..... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපචරති..

මනස ඉන්ද්‍රියක් වුවත් අනෙකුත් ඉන්ද්‍රියන් මෙන් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියක් ලෙස ක්‍‍්‍රියාකරන බව පෙනේ.[16]

මනස සහ චිත්තය
නූතනයේ දී චිත්ත සංකල්පය පිළිබඳ සාකච්ඡ කරන විට මනස යන්න පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරයි. ඒ නුව මනසේ ප‍්‍රධාන කොටස් දෙකක් දකවාලිය හැකිය. 1. සඤ්ඤි මනස - මනස ලෙසින් මස්තිෂ්කය හෙවත් මොළය අදහස් කරයි. 2. උපවිඤ්ඤාණය යනුවෙනි - එනම් චිත්තය යි. ගුණපාල ධර්මසිරි මහතාගේ දාර්ශනික ප‍්‍රශ්න නම් ග‍්‍රන්ථයේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් අඩංගු වේ.[17]

දැන් ඔබ ඉතා පැහැදිලිව ඉතා දළ අදහසක් ලබා ගත්තා චිත්ත, මන, විඤ්ඤාණ සම්බන්ධව. මේ කතාව කොහොම ද අපේ මිතුරාගේ සිද්ධිය හා සම වන්නෙ. අන්න එතැන තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු තිබෙන තැන වන්නෙ. දැන් නැවත මම ඔබට පොඩි කාරණයක් කියන්නම්. අපේ රටේ සිටි මහත් දැනුමක් තිබූ යතිවරයාණන් කෙනෙක් තමයි වල්පොල රාහුල කියන්නෙ. එතුමා ගේ What the Buddha taught ග්‍රන්ථයේ තිබෙනවා මේ සටහන. අපි එතැනින් මේ ගැටලුව ලෙහන්න පටන් ගමු.

Right mindfulness (or attentiveness) is to be diligently aware, (1) KAYA, (2) Sensation or Feeling (VEDANA), (3) the activities of the mind (CITTA) and (4) Ideas, Thoughts, conceptions and things (DHAMMA). [page 48]

මෙහි සිංහල අර්ථය වන්නේ,
සම්මා සතිය නම් (1) කාය හෙවත් ශරීරයේ පැවැතුම්, (2) වේදනා, (3) චිත්ත හෙවත් සිතෙහි පැවැතුම්, (4) ධම්ම හෙවත් අදහස් සිතුවිලි හැඟීම් ආදිය යන මේවා පිළිබඳ මනා සිහියයි.

එනම් මනස යනු ඉන්ද්‍රියකි. මන යන ඉන්ද්‍රියට ගෝචර වන සිතුවිලි හැඟීම් අදහස් යන ධම්ම යනු මනසේ ක්‍රියාව නිසා ඇතිවන ඵලය යි. මේ කාය යනු පුද්ගල භාවයේ භෞතික තත්ත්වය යි. මේ අනුව මනේන්ද්‍රිය, ධම්ම, වේදනා සහ කාය යන මේවායේ සමායෝජනය නිරෝගී පුරුෂයා ය.

අපේ මිතුරාගේ පියා මනෙන්ද්‍රිය දුර්වල අයෙකි. එයට හේතු දෙකක් ඇත.
1. ඔහුගේ සිතුවිලි මේ කථාවේ අන්දමට පෙර ඔහුගේ දිවියේ ගැටලු ද පසුකාලීන දිවියේ ගැටලු ද නිසා දුර්වල වී ඇත. නිහඬ චරිතයක් බැවින් එම පසුගාමී චිත්තය ඔහුට මහත් පීඩාවක් ඇති කරයි. එය මනසේ ඒකාග්‍රතාවයට බාධාවකි. ප්‍රතිඵලය මානසික ආතතියයි.
2. ඔහු පෙළන කායික රෝගීතාවයන් ද හුදු මනේන්ද්‍රිය දුර්වල වීම නිසාම ඇතිවන ඒවාය. එය ද ඔහුගේ චිත්ත, වෛතසික, කායික ඒකාග්‍රතාවය සහ සමායෝජනය සමබරව පවත්වා ගැනීමට බාධාවකි. මේ නිසා යම් ආතතික තත්වයක් ඇති වේ.

දැන් අපට පහසුවෙන් පියාගේ රෝගී තත්ත්වයන් දෙකක් හඳුනා ගැනීමට හැකිය. ඒ ඉතා සුළු මානසික ආතතියක් සහ පාකින්සන් රෝගයේ හතරවන ප්‍රභේදය වන Multiple System Atrophy (MSD) යි.
මෙම රෝග දෙකෙන් පියා පෙළෙන බව මේ අනුව පැහැදිලිය. ඒ එසේ නම් ඔහුට යම් සුවයක් ආවේ කෙසේ ද? ඒ පිළිබඳ සදුදාට පමණ සලකා බලමු.

තවත් ගැටලුවක් ඇත. මිතුරා සමග කතා කළ මළගිය ප්‍රාණකාරයා කවුද? ඒ පිළිබඳත් සදුදාටම කතා කරන්නම්.

References
1. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
2. මජ්ඣිම නිකාය 01, මහා සච්චක සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 566.
3. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය තෘතීය භාගය, බු. ජ. මු. 2006, පිටුව 260.
4. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, යමක වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 26.
5. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, චිත්ත වග්ගය වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 34.
6. මජ්ඣිම නිකාය 01, වත්ථූපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 264.
7. එම, චූළහත්ථිපදෝපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 426.
8. එම, සතිපට්ඨාන සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 134.
9. එම, සබ්බාසව සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 18.
10. මජ්ඣිම නිකාය 03, දන්තභූමි සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 304.
11. සංයුක්ත නිකාය 01, අන්තරක්ඛිත සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 136.
12. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 256.
13. අඬ්ගුත්තර නිකාය 04, නිබ්බෙධික සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 200.
14. බුදුන් වදාළ ධර්මය, වල්පොළ රාහුල හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 2010, පිටුව 31.
15. මජ්ජිම නිකාය 03, බු.ජ.මු. 2006, පිටුව 180.
16. මජ්ජිම නිකාය 03, බුද්ධ ජයන්ති මුද්‍රණය, 2006, පිටුව 180.
17. දාර්ශනික ප‍්‍රශ්න, ගුණපාල ධර්මසිරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොළඹ 1970, පිටුව 71.

Wednesday, April 3, 2013

මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ.

ඔබට මවිසින් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණ බුදුදහම, ආයූර්වේදය සහ මනස සම්බන්ධ ලිපිය පළ කර ටික දිනකින් මගේ මිතුරෙක්ගෙන් මට ලැබුණු මේලයක සඳහන් විස්තර මෙහි දක්වමි. එය මගේ ද මිතුරාගේ ද සංස්කරණය ට ලක් වූවකි. එය ලැබීමත් සමඟ මම මගේ ඉදිරි ලිපි කීපය එය පාදක කරගෙන ඔබට ලබා දීමට අදහස් කළෙමි. මේ එහි පළමු පියවරයි.

කොග්ගල නිලමේ පොත ගැන 'පොත් කියවන අය' පිටුවේ තිබුණු සංවාදය දුටුවා. මට ඊට අදාළ අත්දැකීමක් තිබෙන නිසා ඒ ගැන ඔබතුමාට කියන්න හිතුනා. පුද්ගලික සීමාවන් නිසා මේක බ්ලොග් එකේනම් ලියවෙන එකක් නැහැ.

මීට වසර 8කට විතර කලින් හදිසියේම මගේ තාත්තා අස්වාභාවික විධියට හැසිරෙන්න පටන් ගත්තා. හැසිරීමත් සිහි කල්පනාවත් දෙකම. ඔහුගේත් , ගෙදර අයගේත් ආරක්ෂාවට බැඳ දමා තැබීමට සිදු වන තරමට.

ඔහුගේ හැසිරීම විටින් විට වෙනස් වුනා. වෙලාවකට බොහොම අහිංසකයි (හැබෑ මනුස්සයාටත් වඩා  ), වෙලාවකට ප්‍රචණ්ඩයි, සමහර වෙලාවකටඅසභ්‍යයි (නිරුවතින් සිටීම, කුණු හරුප කීම , තවත් වෙලාවකට කතා කර ගන්න බෑ. සමහර වෙලාවට සිහි මුර්ඡා වෙලා වගේ. කටහඬ පවා වෙනස් ඒ මොහොතේ චරිතයේ හැටියට.

පාලනය කර ගන්න බැරි වුනාම අපට වෙන විසඳුමක් තිබුනේ නැහැ, අංගොඩ රෝහලේ නවත්වනවා හැරෙන්න. එහෙදිත් කිසිම වෙනසක් වුනේ නැහැ. නමුත් පහර කෑමක් නිසා තුවාල වෙලා සති දෙකකින් විතර අපි ආපහු ගෙදර එක්කරගෙන ආවා.

ඒ වෙන කොට තත්වය හොඳටම දරුණුයි. වෛද්‍යවරුන්ගේ මතය වුනෙත් කරන්නට කිසිම දෙයක් නැති බව.

අත් උදව්වට හිටපු මනුස්සයාවත් මරන්න හැදුවට පස්සේ, අන්තිමට අම්මයි, මමයි ගියා පංසලේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උත්තරේ වුනේ ගෙදර භූත විමානයක් කියන එක. හාමුදුරුවන්ගේ මතය වුනේ අමනුෂ්‍ය අය කීප දෙනෙක්ගේම බලපෑමට අහු වෙලා ඉන්නේ කියන එක සහ පිං කම් , අනුමෝදන් කිරීම් දිගටම කරන්න ඕනි කියන එක, ඒ අය පිටත් කරලා යවන්න.

එදත් ඉතින් පුරුදු විදියට මට පහර දෙන්න ආවම , බිම දා ගෙන ගැට ගැහැව්වා. මට තර්ජනය කරන කොට, මම කිව්වා, ඔය කතා කරන කෙනා මගේ තාත්තා නෙවෙයි කියල මම දන්න බවත් අහිංසක මනුස්සයෙකුට වැහිලා කරදර කරලා තවත් පවු පුරවා ගන්න එපා කියල. එතනදී ඒ කෙනා පටන් ගත්තා මාත් එක්ක කතා කරන්න. මගෙන් ඇහැව්වා ඇයි උඹලා පරම්පරා ඉඩම් ____ට (කුලහීන කියල කියවෙන පිරිසක්) දෙන්න හදන්නේ කියල. පාවිච්චි නොවන ඉඩමක් ඒකෙ අසල්වැසියෙකුට විකුණා දාන්න හිටියා තාත්තා. ඒ කතා කරපු කෙනා ඒ ඉඩමට බැල්ම දා ගෙන ඉඳල. ඒ දේ නොකරන්න මම පොරොන්දු වුනා. කතා කරන කෙනා කවුද කියල දිගින් දිගටම අහන කොට කිව්වා, ඒවා උඹල දැනගෙන වැඩක් නැහැ. අපි කොහොමත් මැරිච්ච මිනිස්සු කියල. පස්සේ නම කිව්වා, අපේ පරම්පරාවේ කාලයකට කලින් හිටපු කෙනෙක්.

තවත් තියෙන ප්‍රශ්න මොනවාද කියල ඇහැව්වම කිව්වා තව 5දෙනෙක්ම ඉන්නවා.තමන් එහෙ මෙහෙ වෙන කොට රිංගන්න බලං ඉන්න බව. පිං අනුමෝදන් කිරීම් කලොත් යනවද කියල ඇහැව්වම, මගෙන් ආයේ පොරොන්දුවක් අරගෙන අනිත් අය ගැනත් බලා ගන්න බව කිව්වා.

ඊට පස්සේ තාත්තා සාමාන්‍ය තත්වෙට ආවා. මාස කීපයක් යනකන් ටික ටික පරණ දේ විශේෂයෙන් ගොළු චරිතය සමහර වෙලාට පෙන්නුවත් පස්සේ ඒවත් නතර වුනා. අපිත් දිගටම දාන, බෝධි පුජා වගේ දේවල් කලා.

අර සංවාදෙට පස්සේ අර කෙනා ආයේ මාත් එක්ක කතාවට ආවෙත් නැහැ. කොග්ගලගේ වගේ ඇදුනු කේස් එකක් නෙවෙයි. වන් ඩේ සෙෂන් එකක්. . දැන් අවුරුදු 8ක් විතර ගත වෙලා.ආයේ එහෙම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මේ සිදු වීම අදටත් දන්නේ මමත්, අම්මත් පමණයි. තාත්තට එහෙම දෙයක් මතක නැහැ. අපි මතක් කරන්න ගියෙත් නැහැ. ඔබතුමාට කියන්නෙත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන බව දන්න නිසා. ඒ හැසිරීම් මානසික රෝගයක් නිසා කියල කියන්න පුළුවන්. ඒත් අර අත්දැකීම් එක්ක මට එහෙම දැනෙන්නේ නැහැ.

ඒ කතාව කොහේ හෝ ලියවිය යුත්තක්. ඒ කාලයේ මට පියාට පහර දී පාලනය කරන්න ගැට ගසා තබන්න පවා සිදු වුනා. අර අවසාන සංවාදෙට පස්සේ ඔහු මට වැන්දා.  . පුතෙකුට ලැබෙන දුර්ලභ අත්දැකීම් ගොඩක් ලැබුණු කාලයක් ඒක.

තාත්තා නතර කළ රෝහලේම කලින් තාත්තත් ටික කාලයක් සේවය කරලා තියෙනවා , ඔහුගේ දෙවෙනි රැකියාව සාත්තු සේවකයෙක් හැටියට. ඉන් පසුව තමයි වැඩි දුර ඉගෙනීම් කරල තියෙන්නේ.

මම තාත්තගේ පුද්ගලික පසුබිම ගැනත් ටිකක් කියන්නම්. ඔහු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටපු පවුලක බඩපිස්සා. දෙමාපියන්, වැඩිමහල් සහෝදරය සහෝදරයින් එක්ක ඔහුගේ ලොකු වයස් පරතරයක් තිබුණු නිසා කාගෙත් හුරතාලා හැටියට හැදිලා තියෙන්නේ. ඒ පවුලේ මුල දී ආර්ථික ස්ථාවරයක් තිබිල තිබුනත් ඔහුගේ පියා මිය ගිහින් කාලෙකට පස්සේ ඔවුන් හොඳටම ආර්ථිකව වැටිලා තියෙනවා. ඒ වුනත් වැඩිමහලු සහෝදරයෝ තමන්ට පුළුවන් වෙන කොට පවුල හොඳ මට්ටමකට ගේනවා. එක්කෙනෙක් ඇරෙන්න පවුලේ දරුවෝ ඉගෙන ගත්තා.

පාසැල් යාම අවසාන වුනාට පස්සේ තාත්තා ගුරුවරයෙක් හැටියට, රෝහල් සාත්තු සේවකයෙක්, පසුව ලිපි කාරයෙක් හැටියට වැඩ කරල තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔහු දිගටම රජයේ සේවයේ ඉන්නවා. පසුව යෝජනාවක් නිසයි මගේ මවත් එක්ක විවාහ වෙන්නේ. මගේ මව පවුලේ එකම දරුවා, ඇගේ පියා හොඳ සිවිල් බලයක්, ධනයක් තිබුණු කෙනෙක්. ඔහුගේත් හැකි කාලයේ වටේ සිටි පිරිස , ඔහු රෝගී වෙලා දුර්වල වෙන කොට ඉවත් වෙනවා. ඉතින් මගේ මවටත් මිත්තනියටත් වෙන්නේ තිබුණු දේපල සහ වෙනත් දේ විකිණීමෙන් හා සුළු ආදායම් වලින් ජීවත් වෙන්න. අන්තිම කාලයේ උදව්වට එහෙමට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ. කොහොමින් හරි මගේ මවට සිද්ධ වෙනවා මේ තත්වේදී අවුරුදු 19දීම විවාහ වෙන්න. හැබැයි දුටු පමණින් මගේ පියාට කැමති නොවුණු බව තමයි කියන්නේ. පියා මවට වැඩියේ අවුරුදු 10කින් වැඩිමල්. මට මේක හරියට දැන ගන්න ලැබුනේ නැහැ. නමුත් කාල සීමාවල් සැලකුවහම පැහැදිලියි විවාහ වෙලා අවුරුදු 10ක් විතර යන තෙක් ඔවුන්ට දරු ඵල නොලැබුණු බව.

ඊ ලඟට තාත්තා තමන්ට පුළුවන් උපරිමේ කලත් , මවගේ දේපල වලින් ඉතිරි වෙලා තිබුණු දේ වලින් උපරිම ආදායම් ගන්න බැරි වෙනවා සමාජයත් එක්ක , වංචා කාරයෝ , තන්හා කාරයෝ නිසා අපේ පවුලට ලැබෙන්න තිබුණු ධනය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ _____________ තියෙන පැත්තක් නේ. අපට හිමි දේ හරියට ලැබුන නම් අද අපි කෝටිපතියෝ.  . අදටත් මට පවා ඔය ගැටළු තියෙනවා, මම ____________ කර්මාන්තෙට යන්නේ නැහැ. ඉඩම් හවුල් කාරයින්ගෙන් කරදර වෙන කොට මවත් පියාත් කලේ බැරිම අවස්ථාවේ ඒවා විකුණන එක.

තාත්තා අන්තිමට හිටියේ ____________ සේවාවේ භාෂා පරිවර්තකයෙක් හැටියට. සමහර වෙලාවට __________ ගේ රාජකාරියත් කරන්න වෙනවා. ඒ අතර තුර ඔහුට ආයතන ප්‍රධානීන්ගේ බලපෑමට යටත් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට විරුද්ධව කරන්න දෙයක් ඔහුට නැහැ. අවසානයේ 1990 හරි 1991 හරි ආපු විශේෂ චක්‍රලේඛයක පිහිටෙන් ඔහු අඩු වයසෙන් විශ්‍රාම ගන්නවා.

විශ්‍රාම යාමෙන් පස්සෙත් තාත්තට කරන්න වෙන්නේ දේපල බලා ගැනීමත්, ඔහුට පුළුවන් දේ ඔහු කලා වගේම අපි රැකියාවක් කරලා ඉපයීමක් කර ගන්නකන් ඔළුව උස්සගෙන ජීවත් වෙන්න උවමනා දේ ඔහු හොයලා දුන්නා. නමුත් පසුව පාකින්සන් රෝගය සමග කායිකව දුර්වල වීමෙන් ඔහු ගෙදරට සීමා වෙනවා. පාකින්සන් හැදෙන්නෙ ඒ රෝගයට අවුරුදු 3, 4 කට කලින්. අදටත් ඒකට බෙහෙත් බොනවා.

අක්ක කෙනෙක් ඉන්නවා. විවාහ වෙලා වෙනම ඉන්නේ. මම දැන් ටයිප් කරමින් හිටියේ එයා ගැන තමයි. එයා අල්ලපු ගෙදර කොල්ලත් එක්ක යාළු වෙලා හිටියා. ඒ සම්බන්ධයෙ නොගලපෙනේ දේ බොහොම තිබුනා. අන්තිම වෙනකන් අම්මා තාත්තා මේ ගැන දැන ගත්තේ නැහැ, දැන ගත්තහම කලබල නොවී ඇයව ඒ උගුලෙන් බේර ගත්තා. නමුත් ලැජ්ජාවට පත් වුනා......

ඒ කොයි කාලෙද රෝගයට කලින් ද පසුවද?

කලින්

තාත්තට මිතුරෝ හිටියා, සීමිත පිරිසක්, පසුබිම සමාන අය. ගොඩක් අය රැකියාවේදී මුණ ගැහුණු අය. මත්පැන් පානයට එහෙම ඇබ්බැහි වුනේ නැහැ.
අම්මා ගැන තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.
ඇත්තටම ඇල් වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයෙක් තාත්තා. 

අවංකවම කියනවානම් ඉතින් විය යුතු සමහර දේ මග ඇරෙනවා, කාර්යබහුල වීම නිසාම. ඒ වගේම තාත්තාගේ කායික දුබල කම් නිසා ඔහු තවත් ගෙදරට සීමා වෙනවා. උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට ඔහුට උවමනා වෙනවා දුර ගමනක් යන්න, නමුත් එතනට යන කොට ඔහුට බොහොම වෙහෙසයි. ආපහු යන්න ඕනි වෙනවා. අනුරාධපුරේට ගිහින් පැයකින් හැරිලා ආපු වෙලාවල් තියෙනවා. ඒ නිසා දැන් එක් දින ගමන් එහෙම යන්නෙත් නැහැ, යනවනම් දවසේ ගමන මග නතර වෙවී දවස් 3කින් විතර යන්නේ. ලඟ තැනකට වුනත් අපි කාටවත් විවේකයක් නැතිනම් යැවෙන්නේ නැහැ.

අද නම් මට කරන්න වෙන්නෙ බොහොම අමාරු රාජකාරියක්. මේ මගේ බ්ලොග් මිතුරෙක්ගේ කතාවක්. ඔහුගේ අනන්‍යතාවය අපට වැඩක් නැහැ. මෙය සම්පූර්ණ සත්‍ය කතාවක්. මම උත්සාහ කරනවා මනස පිළිබඳ යමක් ඔබට කියන්න මේ කතාව හරහා.

"සිත මහ පුදුම තැනක්"

මේ කථාවේ සඳහන් අපේ මිත්‍රයාගේ පියා අපේත් පියාණෙ, අපි ඒ නිසා එතුමා මෙහිදී "පියා" නමිනුත් අපේ මිත්‍රයා "මිතුරා" නමිනුත් හදුන්වමු. (අපේ පහසුව සඳහා.)

ඊළඟට අපි මේ කතාව විශ්ලේෂණයට භාජනය කරමු.

එතැනදී අපිට මුලින්ම වැදගත් වන්නෙ පියාගේ සාමාන්‍ය තත්ත්වය.
1. පියාණන් යමක් කමක් ඇති පෙළපතක අයෙක්.
2. පවුලේ බාලයා.
3. ඒ නිසාම නොයෙක් සුරතල මැද හැදුණ අයෙක්. විශේෂයෙන්ම වැඩිහිටි සහෝදරයන් සිටින තැනක ටිකක් වයස් පරතරය වැඩි බාලයා බොහොම වාසනාවන්තයි. කාගෙත් ආදරය ලැබෙනවා. පියා පවා වැඩියෙන්ම ආදරේ වන්නෙ එයාට.

එම පියා කළ රැකියාවන්.
1. ගුරුවරයෙක්,
2. සාත්තු සේවකයෙක්.
3. උපාධිධාරියෙක් ලෙස රටේ ඉහළ යැයි සම්මත රජයේ රැකියාවක්.

පියාගේ සාමාන්‍ය දිවියේ චරිත ස්වභාවය
1. බොහොම නිවුණු අහිංසක අයෙක්.
2. උගතෙක්.
3. නිහඬ චරිතයක්.
4. තම සහෝදරයින්ට, බිරිඳට, දරුවන්ට බොහෝ ආදරය කළ කෙනෙක්.
5. තම පරම්පරා දේපල වලට ප්‍රිය කළ කෙනෙක්.
6. තම තත්ත්වය පිළිබඳ සිතූ කෙනෙක්.
7. ඉවසිලිවන්තයෙක්.
8. තම නම්බුව පවුලේ නම්බුව වැනි දේ පිළිබඳ බොහෝ ඉහලින් සිතන අයෙක්.

පියාගේ මුල් කාලීන දිවියේ කඩා වැටීම්,
1. කුඩා කලම පිය සෙනෙහස අහිමි වීම.
2. එනිසා ආර්ථික අපහසුවක් ඇති වීම.
5. ඊරිසියාකරුවන්ගේ නොයෙක් ප්‍රශ්න.
6. මැදිවියට එනතෙක්ම විවාහය පමා වීම.
7. විවාහ වී කලක් යනතුරුම දරුවන් නොසිටීම.

පියාගේ පසු කාලීන දිවියේ ඔහුට ඇතිවූ ප්‍රශ්න
1. පාරම්පරික දේපල පිට යාම.
2. දේපල සම්බන්ධයෙන් ඇතිවන නොයෙකුත් ප්‍රශ්න. එම ප්‍රශ්න නිසා වතුපිටිවල ආදායම් නිසි පරිදි නොලැබීම. නමුත් එම ඉඩකඩම් වලින් වෙනත් අය බොහෝ ආදායම් රැස් කිරීම. අකමැත්තෙන් වුවත් ඉඩම් වෙනත් අයට අයිති වීම වැළැක්වීම සදහා පිටට විකිණීමට සිදු වීම.
3. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුවීම. රැකියාව කරණ තැන ඇතිවන නොයෙක් ගැටලුවලට පියා සතු විසදුම් නොවීම. රැකියාවෙන් කලින් ඉවත්වීම.
4. දියණිය නිසා ඇති වූ ලැජ්ජාව.

දැන් අපිට මේ පුද්ගලයා හදුනා ගැනීම ඉතාම පහසුයි.
මෙතුමා ආර්ථික අපහසුකම් වලට ලක්වන, එසේ වුවත් සම්ප්‍රදායික ධනයක් ඇති, උගත්, ඉතාම වැදගත්, නම්බුව දිවිය සේ සලකන, පැරණි ධනපති පංතිය නියෝජනය කරන කෙනෙක්.
බොහෝ අයගේ අසාධාරණකම් වලට ලක් වන නමුත් ඒ සියල්ල ඉවසන, තම පුද්ගලික දිවිය සාමකාමීව ගෙවන අහිංසකයෙක්.
රැකියාවේ තෘප්තිය නොලද්දෙක්. ඒ නිසාම දිවිය පවුලටම කැපකළ කෙනෙක්. තමාගේ තත්ත්වයට ගැලපෙන සීමිත මිතුරු ඇසුරක් ඇති අයෙක්.

මින් මෙතුමාගේ සමාජ ආර්ථික, මානසික තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න හැකියි.
පියාගේ රෝග තත්ත්වයේ විග්‍රහයක් කර බලමු.


මේ තමයි රෝග ලක්ෂණ.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

පියාගේ කායික තත්ත්වය

මට හිතෙන හැටියට නම් ඔහු නීරෝගීව සිටියත් බොහෝ සවිශක්තිමත් අයෙක් නෙමෙයි. අපි අපේ මිත්‍රයගෙන් ඒ පිළිබඳව විමසාම මෙහි අනෙක් අර්ධය හෙවත් මනෝ විශ්ලේෂණය කරමු. මේ මින් නවතමු. දෙවනි කොටසින් රෝගය පිළිබඳ අවසාන විග්‍රහය බලමු. තුන් වැනි කොටසකට නොයා සිටීමට සිතනවා. නමුත් මෙහි බෞද්ධායූර්වේද කොටස දෙවනි කොටසින් ගෙනෙන්න බැරි වුවොත් තුන් වැනි කොටසක ට යනවා.

Friday, March 22, 2013

චිත්ත, මන සහ විඤ්ඤාණ. ඔබේම මනස තේරුම් ගැනීමට....

ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය සතිවල අතපසු නොකළ යුතු රාජකාරී බොහොමයක් ම තිබූ නිසා යි. ඒ වැඩක් නැහැ.

අද මම සිතා සිටින්නෙ නැවතත් එක දිගට යන ලිපි පෙළක ආරම්භ කරන්නයි. ඔබ මෙයට අකමැති වේවි. නමුත් මේවා ලියා තැබිය යුතුයි. ඒ නිසා දිගටම අවසන් වන තෙක් ලියනවා. මොකද දැන් දැන් එනපොට හොද නැහැ. හැම දේම විකෘති වන කාලයක්.

මගේ විෂය වන ආයූර්වේදය සහ බුදු දහම තමයි මෙහි ඉලක්කය. ඔන්න එහනම් මාතෘකාව, "මනස" ඒ යටතේ අද මම සලකා බලන්නෙ, ඇත්තෙන්ම මනස කියා කියන්නෙ කුමක් ද කියන එක. වඩාත් නිවැරදිව කිව්වොත් අද දිනයේ මාතෘකාව වන්නේ, චිත්ත, මන විඤ්ඤාණ" කියන එක. මේ තුනෙන් කියන්නෙ එකක් ද එහෙමත් නැත්නම් තුනක් ද අපි මේ පිළිබඳ දන්නෙ මොනව ද, මෙවැනි දේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් ශාස්ත්‍රීය පැත්ත ගැනත් හිතනවා. එම නිසා තව කෙනෙක්ට අධ්‍යනය කළ හැකි ලෙස පරිශීලනය කළ යුතු ග්‍රන්ථ ආදියත් දක්වන්නම්.

මනස පිළිබඳව බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ විග‍්‍රහය තරම් පරිපූර්ණ විග‍්‍රහය ක් වෙනත් කිසිවකු විසින් මෙතෙක් ඉදිරිපත් කොට නැත. මෙම විග‍්‍රහය මුල් බුදුසමය ග‍්‍රන්තයන් තුළ හා පසුකාලීන ව ලියවුණු ග‍්‍රන්තයන් හි ද අඩංගු වේ. මෙම විග‍්‍රහයේ වැදගත් අවස්ථා කීපයක් ඇත.

1. සූත‍්‍ර පිටකයේ, නාම රූප විග‍්‍රහය, පටිච්ච සමුත්පාද විග‍්‍රහය. [1]
2. අභිධර්ම පිටකයේ චිත්ත චෛතසික විග‍්‍රහය. [2]

මෙම මනෝ විග‍්‍රහය සෑම මිනිසෙකු සම්බන්ධයෙන් ම වැදගත් වන්නකි. බෞද්ධ මනෝ විග‍්‍රහය ට අනුව මිනිස් ජීවිතය යනු නාම හා රූප කොටස් වලින් සංයුක්ත දෙයකි. එනම් පංචස්කන්ධය යි.
මිනිස් ශරීරය හෙවත් රූපය නිර්මාණය වන්නේ චතුර් මහා භූතයන් හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතරේ සමවායෙනි. නාම හෙවත් සිත රූපයටත්, රූපය හෙවත් ශරීරය සිතටත් අන්‍යෝන්‍ය ලෙස සමබරව ක්‍‍්‍රියා කරයි. බෞද්ධ මානසික විග‍්‍රහයට අනුව මෙය ජීවිතයේ ස්වභාවය යි. මෙම පදනමට අනුව මිනිසා යනු නාම රූප දෙකේ සංකලනය කි. එනම් ජීවිතය යනු පංචස්කන්ධය යි. සත්ත්වයා ඉඳුරන් මගින්
ලෝකය හඳුනා ගනී. [3]

මනසේ විවිධ පැතිකඩ.
මනස සහ මානසික ක්‍‍්‍රියාකාරීත්වය පිළිබඳව සඳහන් කිරීමට බෞද්ධ මූලාශ‍්‍රයන් නෙයෙක් පර්යාය පද යොදා ගනී. ඒ අතර ප‍්‍රධාන වන්නේ,

1. චිත්ත
2. මනෝ
3. විඤ්ඤාණ යන පද තුන යි. මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ. [4]

මානසික ක්‍‍්‍රියාකාරීත්වය මනසේ නිරෝගීතාවය මනිනු ලබන ප‍්‍රධාන සාධකයක් වන අතර අප ඉහත විස්තර කළ පරිදි මනස සහ කයේ ඇති සමබන්ධතාවය මගින් මේ සාධකය කයට ද බලාපානු ලැබේ. එම නිසා මානසික ක්‍‍්‍රියාකාරීත්වය මානසික සහ කායික නිරෝගීතාවය පිළිබඳ ප‍්‍රධාන සාධකයක් බව ප‍්‍රකාශ කළ හැකිය. එලෙසම මානසික ක්‍‍්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුර පැහැදිලි කර ගැනීමටත් චිත්ත මනෝ විඤ්ඤාණ යන පද යෙදී ඇති ආකාරය අනුව ඒවායේ අර්ථ සහ ඒ ඒ අවස්ථාවන්ට එම පදවල අර්ථය වෙනස් වන අයුරු සාකච්ඡා කිරීමටත් මෙහිදී බලාපොරොත්තු වෙමු.

පුද්ගල සිතේ මෙහෙය වීමෙන් මානසික ක්‍‍්‍රියාකාරීත්වය සිදු වෙයි. මෙය සචේතනික වූ ද (චිත්ත), මානසික වූ ද (මනෝ), විඤ්ඤාණික වූ ද (විඤ්ඤාණ), ක්‍‍්‍රියාවලියක් බැවින් මිනිසා තුළ ද නිබඳවම සිදු වෙමින් පවතී. [5] මේවා මනසේම ස්ථරායන තුනක් ලෙසද දැක් වේ.

ඇසත් රූපයත් එක් වූ තැන විඤ්ඤාණය හෙවත් ඒ පිළිබඳ දැනීම ඇති වේ. [6] එනම් බුදුන් වහන්සේ විසින් විඤ්ඤාණය ප‍්‍රත්‍යෝත්පන්න යැයි ද, ප‍්‍රත්‍ය මිස විඤ්ඤාණයට වෙනත් සම්භවයක් නැතැයි ද, මහා තණ්හාසංක සූත‍්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරනු ලැබ ඇත.

පටිච්චසමුත්පන්නං විඤ්ඤාණං චුත්තං අඤ්ඤත‍්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්බවොති.

චිත්ත තුළ එක් රැස් වී ඇති නාමයන් හෙවත් මානසික ධර්මයන් විඤ්ඤාණය පුබුදුවමින් එහි ක්‍‍්‍රියාව වැඩි දියුණු කරයි. එම විඤ්ඤාණය මනෝ ලෙස නැවත ක්‍‍්‍රියාත්මක වීම නිසා නාම ධර්මයන් නැවත සකස් වේ. මෙම මානසික ධර්මතාවයන් මෙලෙස චක්‍‍්‍රීයව සකස් වීමට තණ්හාව නම් වූ මානසික නැබුරුවද බොහෝ උපකාරී වෙයි. මෙය රෙද්දක් සකස් කරන උපමාවකින් අංගුත්තර නිකායේ පැහැදිලි කර ඇත. ”වියමනේ එක් කොනක සළායතනය. විෂය අරමුණු අනෙක් කොනේය. විඤ්ඤාණය මැදය. වියන්නා තෘෂ්ණාවයි”. [7] කෙලෙසුන්ගෙන් පිරි සිත විඤ්ඤාණය නමින් ද, තරමක් කෙලෙසුන් ප‍්‍රහීන කළ සිත මනස වශයෙන් ද, ඉතාම පිරිසිදු සිත චිත්තය යනුවෙන් ද හැඳින්වේ. [8]

ගැබුරු ධර්මයක් නිසාත් ආරම්භය නිසාත් කෙටියෙන් කොටස් වශයෙන් ලිවීමට අදහස් කළෙමි. ඊළඟට චිත්ත, මන , විඤ්ඤාණ යන අවස්ථා ද, පුද්ගල පෞරුෂය යන අවස්ථාව ද, ඉක්මනින් කියන්නට හැකිය. එනම් දැනට එම කොටස් ලියා අවසන් කරැත්තෙමි. එයට පසු මාතෘකාව ගැටුම් සමථය ට පත් කිරීමේ බෞද්ධායූර්වේද ක්‍රමවේදය පිළිබඳවයි. එය ලියමින් ඇත්තෙමි.
ජය!!!!!!

1. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංඛ සූත‍්‍රය, බු.ජ.මු. 2006, පිටුව 608.
2. අමරදාස රත්නපාල, අභිධර්මාර්ථ ප‍්‍රදීපිකාව 01 කාණ්ඩය, 1964, පිටුව 17.
3. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
4. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
5. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
6. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංක සූත‍්‍රය, බු. ජ. මු. 2006, පිටුව 606.
7. අංගුත්තර නිකාය 04, බුද්ධ ජයන්ති මුද්‍රණය 2006, පිටුව 188.
8. වල්පොළ රාහුල හිමි, බුදුන් වදාළ ධර්මය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මුද්‍රණය 2010, පිටුව 31.

Tuesday, February 5, 2013

නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.

මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.

තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ආසන්නය. ඒ ලිපි ලිවීමෙනි. නමුත් මා බ්ලොග් කියවීම ට ඇබ්බැහි වී දැනට වසර හතරක් හෝ පහක් පමණ වෙතැයි මට සිතේ. ඒ දිනවල තිබුණේ ඉතා ස්වල්ප බ්ලොග් ප්‍රමාණයකි. මට අහම්බෙන් කියවීමට ලැබුණු කොත්තු සිණ්ඩිය හරහා බ්ලොග් කියවීමි. සහෘදයින්ගේ බ්ලොග් සොයා ගත්තේ කකාගේ බ්ලොග් රෝලෙනි. පිස්සාගේ බ්ලොගයේ තිබූ ලිංකුවක් හරහා මාරයාගේ හෝරාව කියවීමි. එතැනින් ටැබූ ද, අන්තිම පේළිය ද කියැවීමි. දිනකට පැය 12 වැඩියෙන් ඔන් ලයින් සිටින මට මේ බ්ලොග් බොහෝමයක් පිළිබඳ දැණීමක් ඇත. ඕනෑම බ්ලොග් කරුවකුගේ භාෂා රටාව මට හොදින් හුරුය. එම නිසා ගහ දන්න මට කොළ අරුමයක් ම නොවේ යැයි ද මින් කියමි.

ඔබ දන්නා පරිදි මගේ වි. වි. අධ්‍යාපනය ලංකාවේ තරුණයන්ට මහත් ව්‍යසන යුගයක් වූ 88/89 න් ඇරඹී 1996 පමණ තෙක් ඉතා දීර්ඝ කාලයක විහිදුණකි. ඒ අපේ පාඨමාලාව වසර පහක අධ්‍යාපනය හා වසරක රෝහල් පුහුණුව ද සමගින් වසර හයක කාලයක් ගතවන දීර්ඝ අධ්‍යාපන පාඨමාලාවක් බැවිනි. එයට භීෂණ යුගය නිසා අතහැරුණු කාලයද එක්කල විට මේ නිවැරදිය.

90 මුල සිට ඉතා හිස් බවකින් යුතු වූ ලාංකීය දේශපාලන පීඨිකාවට අප පැමිණෙන්නේ නිරායාසයෙනි. එකල අපට පිරවීමට තිබුණේ ඉතා විශාල හිස්තැනකි. මේ යුගයට සාපේක්ෂ එය ඉතා දුෂ්කර කාලයකි. කෙසේ හෝ එවිට ලාංකීය දේශපාලනයේ එක්තරා ව්‍යාපාරයක මම ද සාමාජිකයෙක් වීමි. 80 දශකයෙන් ඇරඹි මගේ දේශපාලන ගමන 94 දී මම නවතාලීමි. ඒ හේතු ඇතිවය. එකල මම විවාහ වී නොතිබුණත් එම ව්‍යාපාරය පිළිබඳ නොයෙක් ගැටලු මට පැන නැඟී තිබිණි. ඒවාට පිළිතුරු පතා මම කළ සාකච්ඡා ඉතා නීරස විය. මගේ ප්‍රශ්න වලට කිසිම පිළිතුරක් නොලද තැන මම හුදෙකලා වීමි.

නිදහසේ සිතන්නට වීමි………………..

මේ මා ඒ සිතීමෙන් ලද මගේ ප්‍රශ්න වලට පිළිතුරුය. මේ පිළිතුරු මා නොයෙක් අවස්ථාවල යෙදුණු විදේශ සංචාර වලදී එම රටවල තත්ත්වයන් හා සැසඳීමි. ඒවාට අනුව මගේ අදහස් නැවත නැවත අලුත් කළෙමි. මේ ලියන්නේ එම සිතිවිලි සහ මගේ අධ්‍යාපනයෙන් මා ලද දැනුම ද, මා ලබාගත් සජීවී අත්දැකීම් ද, ඇසුරින් සකසා ගත්තකි. මෙය නිවැරදි යැයි මම කිසිසේත් නොකියමි.

දහසක් වැරදි ඇතැයි සිතමි.

නමුත් කොතනකින් හෝ ඇරබිය යුතුය.

මේ ඒ සදහාය.

ඉතිරිය ඔබ සතුය.

නිවැරදි කරන්න………………………..

මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

කුමක්ද අපිට වුණේ??

සොයාගත යුත්තේ මෙයට පිළිතුරයි.

පොළොන්නරුවෙන් ඇරබි අපේ පල්ලම් බැසීම අද ද නැවතී ඇති බවක් පෙනේද? මට නම් නැත. අතීතයේ අදුරෙන් තවත් අදුරටම යන්නට කැස කවනා ලකුණු සැමතැන මට නම් පෙනේ.

බුද්ධිමත් මිනිසා සැමවිට,

"අතීතය පාඩමකට ගෙන වර්තමානයේ දී, අනාගතය උදෙසා අඩිතාලම දමයි".

වර්තමාන අපි එසේ කරමුද?

මෙහිදී මම ප්‍රශ්න අසන්නා පමණක් බවට පත් වෙමි.

ඔබගේ තීරණය වඩා වැදගත් බවයි මගේ හැඟීම.

1. අතීතයේ සිටම අපි උගත්කමට ඉතා ලොල් ජාතියක් වීමු. අභයගිරිය, ජේතවනය නටබුන් පෙන්වන්නේ ඒ අතීතයයි. එය අදට ද එසේමය. එසේ නම් උගතුන් බිහිකළ හැකි අධ්‍යාපනයක් අපිට තිබේ ද? මේ මාගේ පළමු ප්‍රශ්නයයි????????

2. අපි උගන්වන්නේ රටට අවශ්‍ය දෑ ද? පහත ඇති ලිංකුවෙන් වි. වි. ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගොස් ඔබට ම ඒ බලා ගත හැක. අපි විද්‍යාව දායාද කරගෙන උපන්නෝ වෙමු. මා එසේ කියන්නේ අතීත සංස්කෘතිය තනිකර වෛද්‍ය විද්‍යාව, රෝහල් පරිපාලනය, ශල්‍ය කර්ම, ගොඩනැගීම් ශිල්පය, සැලසුම් සම්පාදනය, වරාය, රේගු කටයුතු, මුදල් පාලනය, උද්‍යාන ශිල්පය, ජාතික සහ අන්තර්ජාතික වෙළදාම, නැව් නිපදවීමේ කර්මාන්තය, නොයෙක් ඉන්ජිනේරුමය නිපදවීම්, වැනි දහසක් දේ ක්‍රමානුකූලව පැවති බවට මේ නටබුන් දෙස් දෙන නිසාය. එම නිසා එම කර්මාන්ත මේ රටේ උගන්වන්නට ඇති බව අපට සිතිය හැක. අද අපි අපේ රටට සහ බාහිර ලෝකයට අවශ්‍ය දැනුම නිපදවනවාද?

යම් කිසි රටක ශ්‍රම බලකාය සකස් විය යුත්තේ පුහුණු කම්කරුවන්ගෙනි. ඒ වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරු, සැලසුම්කරු, ගුරුවර, රියදුරු, කාර්මික නිලධාරී, හෙද හෙදි, කර්මාන්තකරු ආදී යම් වෘත්තීය පුහුණුවක් ලද්දන්ගෙනි. අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි මේ ගුණය රැදී ඇත්ද? අපි විදේශ සේවයට යවන්නෝ පුහුණු කම්කරුවන් ද? අපේ ගෘහ සේවිකාවන්ට හිස් ගැසුම් කන්නට වන්නේ කුමක් නිසාද? සිතන්න අපි ගෘහ සේවිකාවක යවා 40 දහක 50 දහක වැටුපක් ලබා ගන්නවාට වඩා අපේ පුහුණු කාර්මිකයෙක් විදේශයකට යවා ලක්ෂයක එකහමාරක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස් නොකරන්නේ ඇයි? අපේ උසස් පෙළ සමත්ව වි. වි. යන්නට නොහැකි වන 60 දහකට නැවත ඉගෙන ගන්නට ආයතන දියුණු කර ඇත්ද? අපේ කාර්මික විද්‍යාල වලට සිසුන් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු අප සතු ද?

3. අපේ රට පිළිබඳ සත්‍ය අපි අවබෝධ කරගෙන සිටිමුද? අතීතයේ සුළඟින් නැව් ගමනා ගමනය කරන කළ ඊසාන දිගින් සහ නිරිත දිගින් සුළං හමනා අපේ රට ඉතාමත් වැදගත් මන්සංධියක පිහිටියකි. නමුත් අද අපි සිටින්නේ නවීන නාවුක යුගයක බව අපි සිහි කරමු ද? න්‍යෂ්ටික ශක්තිය සහ පොසිල ඉන්ධන උපයෝගී කරගෙන නාවික ගමනා ගමනය ද අද බොහෝ දියුණු වී ඇත. එම නිසා සුළං බලයෙන් නැව් ගමනා ගමනය කිරීමේදී අපේ රටට තිබූ වටිනාකම තවමත් තිබේ ද? අනෙක් කරුණ අපේ වරායවල නවීන ලෝකයේ අවශ්‍යතා සපුරනවා ද? ලෝකයේ අහුමුල්ලක තිබෙන සිංගප්පූරු වරාය වෙත නැව් යාමට හේතුව අපි අධ්‍යනය කර ඇත් ද? සිංගප්පූරුව හොංකොං වැනි රටවල් තම නාවික ගනුදෙනු කරුවන්ට දක්වන අනුග්‍රහය අවම වශයෙන්ව ත් ඇති කිරීමට අපේ සැලසුම් ඇත් ද? හැබැයි අපිට නැව් නො එන ගොඩබිම් වරායක් ඇති බව නම් අපි දනිමු.

අපේ කොළඹ වරාය ඉන්දියාවට ඉතා ප්‍රයෝජනවත්ය. ඒ පිළිබඳ අප සිතා ඇත්ද? අපේ වරායන් ඉන්දියාවේ පරිහරණයට ලබා දෙන අතර අප ඉන් යම් වාසියක් අත්කර ගන්නවා ද? අපි හැම විටම වරාය බද්ද සහ සැපයුම් පිළිබඳ පමණක් සිතන්නෙමු. මේ ඇත් ද? රටක් වශයෙන් නැඟී සිටීමට මේ වරායන් නිදහස් කර නිර්බදු හදුන්වා දී නාවිකයන්ට ප්‍රිය තැනක් බවට කොළඹ නගරය හරවන්නට තාමත් පමා නැති බවයි මගේ නම් හැඟීම. ඉන් අපට කුමන වාසි ලැබිය හැකිද? නැතිවන බදු ආදායම උපයා ගැනීමට වඩා වාසිදායක් සැලසුම් අපට නැත්තේ ඇයි?

4. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් ද? අපේ රටේ ඇති භෞමික පිහිටීම අනුව අපි තෝරාගත යුත්තේ කුමනාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ද? අපිට සිටින මිතුරන් කවුද? අපේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මිලදී ගන්නා රටවල් මොනවාද? ඒ රටවල් සමග අපේ සම්බන්ධතා කෙසේද? අපිට අපේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නේ කුමන රටවලින් ද? එම නිෂ්පාදන අතිරික්තයන් බෙදා හදා ගැනීමට අපිට සිටින අසල් වැසියන් කවුද? මේ ගැටලු වලට පිළිතුරු අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔබට සොයාගත හැකි ද?

උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවට ඇවැසි ජලය එන්නේ මැලේසියාවෙනි. මැලේසියා ජාතිකයන් රැකියාව කරන්නේ සිංගප්පූරුවේය. මේ දෙරට ඉතා සහයෝගීව දෙරටට ම ප්‍රයෝජනවත් ලෙස තම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත. අපි අපිට සිටින එකම අසල් වැසියා සමගවත් එසේ වාසිදායක දෙපසටම වැදගත් වන භාණ්ඩ හා සේවා හුවමාරුවක් සැලසුම් කර ඇත් ද?

5. අපේ රටේ බදු ප්‍රතිපත්තිය කුමක් ද? අපි ආකාර කීයක බදු අය කරමු ද? අපි බදු අය කරන්නේ ඇයි? මේ බදු අය කිරීමෙන් ලබන ආදායම අපි වියදම් කරන්නේ කෙසේද? ඔබ දන්නවනේ අපේ රටේ මුලු රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3 බව. පහත ඒ පිළිබඳ දත්ත ඇතුළත් ලිංකුවක් ඇත. ඒ බලන්න. අපි අපේ රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ රටේ රාජ්‍ය සේවකයා පෝෂණය කිරීමට බව ඔබ දන්නවාද? එනම් මිලියන 1.3 සේවකයන් අතරින් එක් අයෙක්ගෙන් ඔහුත් සමග 4 දෙනෙක් යැපෙනවා නම් මුලු යැපෙන්නන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5 ඉක්මවනවා නේද? එවිට රටේ මුලු ජනගහනය වන මිලියන 20 න් කාලකට රජය මාස්පතා කෙතරම් මුදලක් වියදම් කරන්න වෙනව ද?
මෙවැනි රටක රජයකට රජයේ සේවකයාට පඩි නඩි ගෙව්වට පසු ඉතිරි වන මුදලින් රට සංවර්ධන කළ හැකිද? එවිට සංවර්ධනය සදහා මුදල් සොයා ගන්නේ කෙසේද? එවිට ණය ගත යුතුයි නේද? ණය ගැනීමේදී විදේශ කොන්දේසි වලට යටත් වන්නට වනවා නේද? කාලයක් ගත වීමේදී ණය ගෙවීමටත් ණය ගැනීමට වනවා නේද? එතනින් එහාට එම රටට ඉදිරියක් ඇත් ද?

දේශීය සහ විදේශීය ආයෝජකයනට ප්‍රිය තැනක් බවට අප රට හරවන්නට අපි කුමක් කළ යුතු ද? දැන් දැන් ලෝකය විශාල වශයෙන් මානව හිමිකම්, සේවක සුභසාදනය, ජනතාවගේ නිදහස් පැවැත්ම වැනි මානුෂීය ධර්ම වෙත ගමන් කරමින් සිටී. අපි ඒ ගැන සැලසුම් සකස්කර ඇත්ද? ආයෝජකයනට ප්‍රිය තැනක් කිරීමට අපේ සැලසුම්, යෝජනා, අපට ඒ සදහා ඇති බාධක හදුනාගෙන ඇතිද? එසේ නම් අපි ඒ වෙනුවෙන් එම බාධක ජය ගන්නට සකස් කර ඇති විසදුම් මොනවාද? ඒ සදහා කාලරාමුවක් සකස් කර ඇති ද?

6. අපේ රටේ දේශපාලකයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ දැනුවත්ද? කොටින්ම ඔහුට ඒ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් තිබේද? එසේ නොමැති අය නම් ඔවුන්ව ඒ නියෝජිතභාවයට පත් කළේ කවුද? එසේ නම් වරද කාගෙද? ඔය ලැයිස්තුවල සුදුසු පුද්ගලයන් සිටියේම නැත්ද? ඔවුන්ව ඔබ තෝරා නොගත්තේ ඇයි?

7. රටක් වශයෙන් එහි මහජනතාව එම රටේ නීතිය, සමානාත්මතාව, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය, තම මානව හිමිකම්, පිළිබඳ තෘප්තිමත් ද? එසේ නැත්නම් ඒ ඇයි? එය එසේ වන්නට බලපාන කරුණු පිළිබඳ සිතීමේදී මහජනයාට එය වළක්වා ගැනීමට හැකියාව තිබූවා නම් ඔහු එය පැහැර හැරියේ ඇයි?

8. ලංකාවට වඩා හත් ගුණයක් විශාල නවසීලන්තයට මිලියන 4 ජනගහනයක් ඇති බව අපි දන්නවනේ. නමුත් වර්ග කිලෝමීටර 65 දහස් ගණනක් වන අපේ රටට තම ජනගහනය මිලියන විස්සකට ඉඩකඩ ලබා දීමට සිදුවී ඇති බව සත්‍යක් නේද? එහෙම නම් අපි ඒ සදහා කළ සැලසුම් මොනවා ද? තාප්ප බැඳ, තම ගෙමිදුල, වත්ත වෙන්කර ගන්නා ලාංකිකයා බොහොම ඉඩ නාස්ති කරනවා නම් ඉදිරි පරම්පරාව ජීවත්වන්නේ කොහේද?

9. රටක ජීවන තත්ත්වය මනින මිම්මක් ලෙස සෞඛ්‍යය ඉතා වැදගත්. අපේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය කුමක් ද? අපි සියල්ල නිදහස් රටක් විදියට සෞඛ්‍යයත් නිදහස්. ඒ කෙසේ වෙතත් මේ වැය දරන්න නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කර ගත යුතුයි නේද? අපි කෙළින්ම මේ සේවාවට අය කර නොගන්නවා නම් අපි ඒ සදහා අය කර ගන්නේ කෙසේ ද ? ඒ වැය දරන්න අපේ ආර්ථිකය ශක්තිමත් ද? එහෙම නම් එය සොයා ගන්න නැවත අපි බදු ආදායම් දෙස බැලිය යුතුයි නේද? ප්‍රශ්නෙ ආයෙත් මුලටම අපි ඇවිත් වගේ නේද?

10. ඉතා දියුණු ආර්ථිකයක් ඇති ජපානයේ ආර්ථික ශක්තියට එක් හේතුවක් වී ඇත්තේ එම රටේ ජනතාවගේ ඉතුරුම් බව ඔබ දන්නවාද? එම ඉතුරුම් සුලු වශයෙන්වත් කිරීමට අපේ ජනතාවට හැකියාවක් නැත්තේ ඇයි? අපි ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල මසකට රුපියල් (සියලුම සෘජු සහ වක්‍ර බදු.) 4000 වේ යැයි සිතමු. බදු අය නොකරන ඒ ඒ සේවාවන් සදහා මිලක් නියම කර එය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර අපි ඒ වෙනුවෙන් මසකට වැය කරන මුදල අවම වශයෙන් රුපියල් 3000 වන්නේ නම් මසකට එක අයෙක්ට රුපියල් 500 වත් ඉතිරි කළ හැකියි නේද? මෙම ක්‍රම ඉතා දියුණු රටවලවල අත්හදා බලා ඇති බව වගකීමෙන් කියන්න හැකියි. මම මේ සටහන අවසනට ඒ පිළිබඳ ලියැවී ඇති පොත් කීපයක නම් යොදන්නම්. නිදහසින් පසු යම් නව ආර්ථික ක්‍රමයක් නැවත අපිට ලැබෙන්නේ ජේ. ආර් ජනාධිපතිතුමාගේ විප්ලවීය වෙනස්කම් නිසා. දශක කීපයක් සංශෝධනය නොවී එලෙසම පවත්වාගෙන යන එම ක්‍රමයට දැන් සංශෝධන අවශ්‍ය බව අපිට හැගෙනවා. නමුත් අපි ඊට සූදානම් ද? අපේ රටේ ආර්ථිකයේ නයුවන් ඒ සදහා දැනුවත්ද?

{මෙහිදී මවිසින් ලබාගෙන ඇති උදාහරණය සත්‍ය නොවේ යැයි ඔබට සිතේ නම් ඔබ නිවැරදිය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී ඔබට නොපෙනෙන බද්දක් එතුළ තිබේ. බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනුයේ භාණ්ඩයේ බදු මුදල හිටි හැටියේ ඉහළ දැමීමෙනි. නිෂ්පාදන බදු කියා ද බද්දක් ඇති බව අපි දනිමු. නිෂ්පාදකයනට බදු නොව දිය යුත්තේ බදු සහනයි. එම නිසා හැම භාණ්ඩයකම බදු මුදල අඩු වීමෙන් මසකට උපයන දෙයින් විශාල මුදලක් ඉතිරි කර ගන්නට පාරිභෝගිකයාට හැකිය. එවිට එම මුදල අදාළ රාජ්‍ය ආයතනයේ සේවාවන් සදහා වන වියදම හෙවත් සේවාව සදහා ගෙවිය යුතු නියම මිල ගෙවීමෙන් අපිට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. අනික එම මිල එවිට ගෙවන්නේ අදාළ සේවාව ලබා ගන්නා පුදගලයා පමණි. නැත හොත් විදුලිය සදහා අදිභාරය එය වැඩියෙන් භාවිතා කරන්නන් සේම ඉතාම අඩුවෙන් භාවිතා කරන්නන්ට ද ගෙවීමට සිදු වීමේ අත්දැකීම විද ඇති ඔබට මා පවසන දේ නිසැකවම වැටහෙනු ඇතැයි සිතමි.}

11. ඔබ මේ ටික සිතා ඇත්ද, අපි සිතමු මධ්‍යම පළාතේ දියුණුවට මාර්ග සෑදීමට අවශ්‍යයි කියා. ඒ සදහා වැය කළ යුත්තේ කවුද? තේ ආර්ථිකය දියුණු එම පළාත් වලට එම මුදලින් ඒ පළාතේ සංවර්ධනය කිරීමට හැකියි නේද? බස්නාහිර පළාත දියුණු කිරීමට මොනරාගල ඌව වෙල්ලස්සේ ගොවියා බදු ගෙවිය යුතුද? නමුත් බටහිර ජනයා ඔහු ලබන ප්‍රතිලාභයට ගෙවීම ඔහුගේ යුතුකම නේද? එසේම අනුරාධපුරයේ ජනයාට වැව් හදන්න ගෙවිය යුත්තේ බටහිර පළාතේ ජනයා ද? ඒ සහල් නිෂ්පාදනයෙන් ආදායම් ලබන්නේ අනුරාධපුරයේ එහෙම නැත්නම් රජරට වැසියා නම් ඒ ගෙවිය යුත්තේ ඔහු නේද?

12. රටක ජනතාවට හිතකර නොවන කිසිවක් දිගින් දිගටම තිබිය යුතු නොවේ. එසේ ඉවත් කළ යුතු දේ අපේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට අප සිතා ඇති ද? එසේ කිරීමට අපට ඇති සැලසුම් මොනවා ද. උදාහරණයක් ලෙස සමාජවාදී රුසියන් සමූහාණ්ඩුව තම විප්ලවයෙන් පසු රුසියන් භාෂාව ඉතාම පහසු ආකාරයට ඉගෙන ගැනීම සදහා ව්‍යාකරණ ඇතුළු සියලු දෑ නවීකරණය කළ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ජපන් රජය ද එය එසේම කළ අතර, තම ජනතාවගේ ආහාර රටාව ජනයාගේ කාර්‍ය්‍යක්ෂමතාවට ගැලපෙන ලෙස වෙනස් කර ගන්නට උපදෙස් දිනි. මේ සියල්ලෙන් එම රටවල් ලබා ගත් දියුණුව විශාල විය. රුසියාව අධ්‍යාපන ලෝකයේ නොමැකෙන නමක් තබන ලදි. රුසියාවේ උපාධියක් නොගත්තෙක් ලොව කිසිම රටක නැත. ඒ එදා ඇති කළ වෙනස නිසාවෙනි.

13. අවසාන වශයෙන් කියන්නට යන්නේ අප උදම් අනන අපේ වසර 2500 වඩා පැරණි සංස්කෘතිය ලොව ඉහළම සංස්කෘතියක් බව මම එක හෙළාම පිළිගනිමි. නමුත් අප ඉන් පළ නෙලා ඇත් ද? අපට ඉන් ලැබෙන වාසිය කුමක් ද? මෙය මුදල් බවට හැර වීමේ ක්‍රම අප සිතා නැහැ නේද? අනෙක මම ද සම්බන්ධ ශ්‍රී ලංකා වි. විද්‍යාලයේ එක් අංශයක වසරක ආදායම කෝටි ගණනකි. අප අපේ විදේශීය සිසුන්ගෙන් උපයන දේය. අප සියල්ල වියදම් කර මහා භාණ්ඩාගාරයට ද මුදල් අතිරිකතයක් සෑම වසරක දීම ලබා දෙන්නෙමු. ඒ නිසා අපේ ආයූර්වේදය, බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යනු මුදල් ආකර බව අප තවම් තේරුම ගෙන නැති බව නම් මට ඒකාන්තයෙන්ම කිව හැක. මේ සියල්ල මේ රටේ මිනිසුන් උදෙසාය. තනි තනි වශයෙන් ගත් කළ අප ඉන් ලබන පළ ප්‍රයෝජන බොහෝය. නමුත් රටක් ලෙස??????

එහෙම නම් මේ විසදුම් අපිට සොයා ගන්න බැරි ඇයි?

මේ පිළිබඳ මගේ මිතුරු කවදත් මගේ ප්‍රණාමයට පත් වූ බ්ලොග්කාරිනියක් වන අරුණි ශපීරෝ කියා ඇති දේ ඇයගේ බ්ලොග් අඩවියෙන් බලන්න. ලිංකුවක් දමමි.

මෙය තව දිගට ලිවීමට මට සිත් නොදේ. එම නිසා මෙතැනින් නවතමි. අපි ඔබට ඇති වූ ප්‍රශ්න පිළිබඳ යම් සාකච්ඡාවක් කරමු.

සැබෑ නිදහස කුමක් දැයි සිතමු.

නිදහසේ අරුත අපේ රටේ වැසියා නිසි ලෙස තේරුම් ගන්නේ කවදා ද???????


(1) Lanka News Paper - http://www.lankanewspapers.com/news/2011/5/66920.html

(2) Statistic Department Annual Report

(1) 2012 http://www.statistics.gov.lk/samplesurvey/Annual%20Report2010Sinhala.pdf

(2) 2011 http://www.statistics.gov.lk/samplesurvey/LFS%20Annual%20Report_2011.pdf

(3) 2010 http://www.statistics.gov.lk/samplesurvey/report%20-%202012Q2.pdf

(3) Pensions Department

(1) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=53&lang=si

(2) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=53&lang=si

(3) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=53&lang=si

(4) UGC http://www.ugc.ac.lk/

(5) ශ්‍රි ලංකාව ආසියාවේ අහිමි ආශ්චර්ය, මිල්ටන් රාජරත්න, රාවය ප්‍රකාශන, 2012.

(6) අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද, රොහාන් සමරජීව, සී. ජේ. අමරතුංග, රාවය ප්‍රකාශන, 2012.

(ප/ළි.
ලියා අවසන් කළේ දින දෙකකට පෙර වුවත් නිදහස් දිනයේ පළ කිරීමට සිතා සිටියත් මාතර සිට පැමිණ, දියණියගේ කටයුතු වලට දවස ගෙවිණි. නිවාඩු දිනයක සවස හතරට පමණ ලිපියක් පළ කරනවා ට වඩා එය අගහරුවාදා පාන්දරම පළ කිරීම යහපත් බව මම දනිමි. එනිසා කමන්න.)



Wednesday, January 16, 2013

අනාගතයෙන් පැතිකඩක්.

සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා.

මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ලෙස තුවාල වෙලා තිබ්බ බව දන්නේ බොහෙම කාලෙකට පස්සෙ. හැබැයි ඒක අපේ පවුලට සතුටට කාරණයක් වුනා. ඒ කුඩා අපට තාත්තව බලන්න එන අය ගේන ඔරෙන්ජ් බාර්ලි බොන්න ලැබීම. මොන කූල් බීම ද ඒ කාලේ. නිකන් සෝඩා, සහ ඔරෙන්ජ් බාර්ලි තමයි ප්‍රසිද්ධම. ලෙඩ්ඩු බලන්න ගෙනිච්චේ ඔරෙන්ජ් බාර්ලි.

අපේ අම්ම සතුටට පත් වන දෙයකුත් ඒ අතර තිබ්බ. ඒ 71 කැරැල්ල නිසා රාජ්‍ය සේවකයන් වුණු අපේ තත්තාගේ මිතුරන් විශාල සංඛ්‍යාවක් අනිවාර්‍ය්‍ය සේවයට කැඳවා තිබීම. මේ අසනීපෙ නොවෙන්න පියාටත් ඒ ඉරණම.

මට මතකයි අපේ ආච්චි (උන්දෑ අවුරුදු 100 ආයු ගෙව්ව.) චීත්ත රෙද්දට තියලා කොට්ට උරයක හාල් දාල, ඒ කාලෙත් නාගරික ජීවිතයක් ගෙවපු අපිට ගේනවා. මේ කියන කාලේ මට මතක විදියට 1971 විතර 72 වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 05 අද වෙනකොට කාලේ බොහෝම ගෙවිලා සිද්ධීන් වල මුල මැද පිළිවෙළ හරියටම මතක නැහැ.

මම පොඩි වුණත් තුන් දෙනෙක්ට අයියා වුණු නිසා මට කුඩා කළ සිටම වගකීම් බහුලයි. ඒක නම් මගේ අද ජීවිතයටත් සෑහෙන්න වටිනවා.

කොහොම හරි අබ්බගාත වුණත් තාත්තා ගෙදර සිටීම අම්මට බොහොම සතුටක් වුණා. පසු කාලෙක ඇයගේ වදනින්ම මට කියා තිබ්බෙ "ඔයාගේ තාත්ත නම් ඒ පාප කර්මෙට හවුල් වුණේ නැහැ" කියලා.

මේ සියල්ල දැක්ක මට 88, 89 කාලේ ඒ හැම දේටම මුහුණ දෙන්න වුණා. ඒ කාලේ තමයි ආපේ අම්ම තාත්තා ගැන මට ඉහත කියමන කියා තිබ්බේ.

විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබලා සිටි තරුණ ලේ හොදටම කැකෑරුණු ඒ සමය මට හොදින් මුල, මැද, අග අදටත් හොදින් මතකයි.

ඊට පස්සේ දීර්ඝ කාලීන සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ. 90 සිට 94 දක්වා ගිය කාලේ මට තාමත් අත ළඟ වගේ.

මම බුද්ධියෙන් සිතන්න පතන්න ආරම්භ වුණේ මේ 94 න් පස්සේ. කාගෙවත් අතකොළු නොවී තනියම සිටීමේ වටිනාකම මම 94 සිට හොදින් උගත්තා.

කල්පනා කරන විට මට සිහිවනවා අප කළ කී දෙයින් නිවැරදි මෙන්ම ඉතාමත් වැරදි තීරණත් අපේ ජීවිතේ තිබෙනවා. මමත් එහෙම තීරණ අරගෙන තිබෙනවා. මගේ ජීවිතේ පිළිබඳ ඉතාම සුබවාදී තීරණ මම ගෙන තිබෙනවා. මගේ සදාදර බිරිය මට ලැබුණේ එහෙම තීරණයක් නිසා. නමුත් අපි ගත්ත හැම තීරණයක්ම නිවැරදිද?

අද මම පිළිගන්නවා 1977 සිට වර්තමානය දක්වා මම ගත් තීරණ බොහෝ වැරදි. මා පිළි නොගත් දේ සහ මා පිළිගත් දේ අතර විශාල වෙනසක් තිබෙනවා. මා කළ ඒ වරද අද හදන්න බැරි තරම් විනාශයක් බවට හැරවිලා කියා මට තේරෙනවා. අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් දායක වුණා.

මා කුමක් කළ යුතුද?

තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා.


මට තියෙන ප්‍රශ්නේ ඒ කවදා ද කියන එක විතරයි.