Saturday, December 31, 2011

සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!

අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින්

මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!

"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!!

මුලින්ම කියන්නම් මගේ පුරසාරම්,

මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම කාලයක් බලා සිටි බලාපොරොත්තු ඉටු වුනේ. ඒත් එක්කම මට පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය කැලනිය විශ්ව විද්‍යාලෙ පර්යේෂණ කමිටුවෙන් ලැබුනා. තව දුරටත් මගේ ජීවිතයේ මම ඉෂ්ට කර ගන්න ආශාවෙන් සිටි ඉහලම කඩඉමට එන්නට මට ලැබුනා. එහි වැඩ වලින් මේ වනවිට අඩකට වඩා අවසාන කර ගැනීමේත් හැකියාව මට ලැබුනා. සුපුරුදු විදියටම මට සිංහළ අවුරුද්දට විදේශ කීපයකම සංචාරය කරන්නත් මේ වසරේ වාසනාව ලැබුනා.

මගේ රෝගීන් වෙනුවෙන් සේවයක් කරගන්න ලැබුනා කියලා ලොකු සතුටකුත් මගේ හිතේ තියනවා.

මගේ දියණිය ඉතාම නීරෝගීව සිටින බවත් මම සැක හැර දැනගත්තා මේ වසරේ.

සුපුරුදු විදියටම මගේ සෙවනැල්ල බඳු බිරිද අපේ වෙදහාමිනේ මේ වසරෙත් මා වෙනුවෙන් තම ජීවිතය කැප කරලා සිටියා.

මේ හැම දෙයක් එක්කම මගේ පියාගේ අභාවය සිදු වූයේත් මේ වසරේමයි.

මා ඉතාම ආශාවෙන් සිටින මගේ බ්ලොග් ජීවිතය ඇරබුනේ මේ වසරේ. ඒක නම් මම හිතන්නේ මේ වසරේ මම ලබපු ලොකුම ජයග්‍රහනය කියලයි. ලිපි 86 ලියලා, කමෙන්ට්ස් 1570 ගනනකුත්, හිට්ස් 51000 ට වඩා ලබා ගන්නත් මට හැකියාව ලැබුනා. මේ සඳහා මට බොහෝ දෙනෙක් උදව් කලා. ඉන් අංක එක මාරයා, ගිම්හාණී, දුකාත්, කතන්දර, මාතලන්, බුවා, ලකී, ඕනයා, අභීත, රාජ් දෙපල, ඔබා අයියා, ජ්‍යෝතිෂ ලංකා, පොඩි කුමාරිහාමි, වගේ මේ වෙලාවෙ මගේ මතකයට ආවේ නැති අයටත්, මගේ බ්ලොග් රෝල් එකේ තිබෙන හැම බ්ලොග් අඩවියකම කතුවරුනුත් මට බොහෝ සහාය දුන්නා. මේ වෙලාවේ කියන්නම ඕනෙ ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය මාව විවේචනය කල එකත් මගේ ඉදිරි ගමනට ලොකු හයියක් වුනා. බ්ලොග් ලෝකයේ නොයෙක් දේ කරන්නට මම ඉදිරියේදීත් උත්සාහ කරනවා.

මගේ මෝඩකම් ගැනත් පසුගිය වසරෙ මම කළ මෝඩකම් ගැනත් ඔබට වචනයක් දෙකක් කියන්නම්. මම කළ ලොකුම මෝඩකම ලෙස මම සිතන්නේ, 2011 වසරේත් සුපුරුදු ලෙසම මිනිසුන් ඕනවාට වඩා විශ්වාස කිරීම. ඉගෙනගත් පාඩම් වලිනුත් වැඩක් වුනේ නැහැ. සුපුරුදු ලෙසම මේ වසරෙත් බොහො පොලුවලට ඉලක්ක වුනා. ඒ නිසා දැන මම ඒ හැම කටයුත්තක්ම මගේ වෙදහාමිනේට බාර දීල තිබෙන්නේ. මීට පසු මට පොලු නොවැටේ යැයි සිතනවා.

මගේ මේ වසරේ නම් කිසිම හපන්කමක කරන්න බැරි වූ වසරක් ලෙස තමයි ලියන්න වෙලා තිබෙන්නේ.

කොහොමත් හැමදාම වගේ වැඩිම පුරසාරමුත් අඩුවෙන් මෝඩකමුත් කිසිම හපන්කමකුත් නැති තවත් එක් වසරක් මට මේ නිමා වූයේ.

රට ගැනත් හිතුවොත් මගේ ඊලඟ වසරේ ඒකායන පැතුම තවත් රටට අධි වේග මාර්ග, බොහෝ වැඩි දියුණු සංචාරක කර්මාන්තයක්, සෞඛ්‍ය අංශයේ දියුණුව, අධ්‍යාපනයේ දියුණුව, වැනි භෞතික දියුණුව සැලසේවා. රාජ්‍ය නායකයන්ට ජනතාවගේ දුක ගැන ඇස් ඇරේවා. ආගම් ගැන මිත්‍යා භක්තිය නැති වී ආගම් වලින් නිසි ප්‍රයෝජන ගෙන ලෝක සාමය ඇති වේවා, දුප්පත් මිනිසුන්ට සෙත සහණය ලැබේවා. මේ නව වසරේ මගේ පැතුමන්.

පසුගිය වසරේ මුහුණ දුන් විශාලම ඛේදවාචකය ලෙස මම සිතන්නේ උ/පෙ ළමුන්ගේ බලාපොරොත්තු කඩා වැටීම සහ අනභිබවනීය කීර්තියක් අත්කරගෙන තිබූ විභාග දෙපාර්තමේන්තුවට ඇති වූ කැළල. මේ සියල්ල වැඩි දුර නොගොස් විසඳේවා යන්නත් මගේ එක් පැතුමක්.

සියළුම දෙනා දන්නවා මේ වසර ලෝක විනාශය පිළිබඳව යම් කසු කුසුවක් ඇති වූ වසරක්. මම නම් සිතන්නේ නැහැ ලෝක විනාශයක් සිදු වෙතැයි කියා. නමුත් මිනිසුන්ගේ සංකල්ප වෙනස් වීමක් නම් මේ වන විට ඉතාම අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා නරක සංකල්ප විනාශයක් වී හොද සංකල්ප මිනිසුන් අතර පැතිරේවා.

මිනිසුන් අතර හොද හිත, උගත්කම සහ අවබෝධය වැඩිවන තරමට ලෝකයේ දියුණුව ඇති වනවා යන්න මගේ මතයයි. එම නිසා මිනිසුන් අතර උගත්කම සහ අවබෝධය හොද හිත පැතිරේවා.

ලෝකයේ තත්ත්වය ගත් විට ලිබියාව, ඊජිප්තුව වැනි රටවල් වල ඇති වූ කැරලි තත්ත්වයන් සහ රජයන්වල ඇති වූ විප්ලව, එම රටවල මිනිසාගේ දියුණුවට හේතු වේවා. ලංකාවත් මේවාගෙන් පාඩම් ඉගෙන හරි පීල්ලේ යන ජනයාට හිතවත් ජනහිතකාමී රටක් බවට පත් වේවා.

මගේ ප්‍රියතම විෂයන් වන්නේ එකිනෙකට පටහැනි ලෙස පෙනෙන මට නම් එකම විෂයක් වැනිම සමීපව පෙනෙනා බුදුදහම, ආයූර්වේදය, සහ විද්‍යාවයි. මේ විෂයන් අතිනුත් අපට සතුටු විය හැකි ජයග්‍රහනයන් මේ වසරේදී අපට ලැබුනා. ඒ අතරින්, අයින්ස්ටයිගේ සාපෙක්ෂතා වාදයටත් යම් අභියෝගයක් එල්ලවූ සිද්ධි, සහ පර්යේෂණ සාර්ථක වීමත් , එම ලැබූ ප්‍රතිඵල විද්‍යාවටත් බෞද්ධ ධර්මයටත් එකඟව විස්තර කිරීමට හැකියාවක් ලැබීමත් අපේ භාග්‍යයක් ලෙස මට පෙනෙනවා. ඒ අතරම තවත් මම ප්‍රිය කරන විෂයක් වන අභ්‍යවකාශ විද්‍යාවෙනුත් අපේ යම් යම් ජයග්‍රහන ලබා ගත්තා. විශේෂයෙන්ම ආලෝක වර්ෂ 600 පමන දුරින් පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් සොයා ගැනීමත් වැදගත්.

පරිසර දූෂණය අතින් තවත් මිනිස් සංහතියේ පැවැත්මට තර්ජන එල්ල වීම නැවතීමක් නැතුවම කෙරෙනවා. මේ ගැන නව වසරේදීත් අප සිතට ගත යුතු වෙනවා. පෘතුවිය ඇතිළු මේ විශ්වය තවත් අවුරුදු බිලියන 5කට අධික කාලයක් සුරක්ෂිතව පවතින බවත් මෑතකදී සොයා ගැනුනා. නමුත් අපේ මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය එතරම් කල් පවතීවි යැයි මම සිතන්නේ නැහැ මේ යන පිළිවෙලට නම්. ඒ නිසා තවත් චිරාත් කාලයකට අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට අපි සියළු දෙනාගේ දායකත්වය ලැබේවා කියා පතනවා.

අපි බ්ලොග් වලින් හමුවෙමු මේ වසරේදීත්.

මට දැන ගන්න ලැබුනු අන්දමට මේ වසරේදී බ්ලොග් කරුවන් ගාල්ලට එකතු වෙන්න හිතා ඉන්නවා. ඒක වටිනා දෙයක්. ඒ සැමටත් සුභ පතනවා. මා කොළඹ සිටිය යුතුම දිනයක් 07, නමුත් මම 08 මාතර. සහභාගීත්වය දැක්වීමට නොහැකි වුවත් සුපිරි හමුවක් සිදු වේවා!!!

2012 කාටත් ජීවිතයේ ලැබූ හොදම වසර වේවා!!!!

මගෙන්, 100 ලිපි සහ වෙන වෙන අවස්ථාවල මීට පසු ඒ ගැන සදහන් කිරීමක් හැර ලිපියක් ලියවෙන්නැති වෙයි. ඒ නිසා මම මේක අවස්තාව කර ගන්නවා. මට මේ බ්ලොග් ලෝකයේදී බොහෝ හොද මිනිසුන් හමුවුනා. ඒ හැමටත්. මට කමේන්ට්ස් එවූ සැමටත්, මා ලියූ දෑ කියවූ සැමටත්. මගේ ලිපි මූණු පොතේ පලකල සැමටත්, මා අගය කළ, විවේචනය කළ, මට බැනපු මේ සියල්ලන්ටම මම ස්තුති කරනවා.

ඔබ නිසා තමයි මෙතරම් දුරක් මට ඒමට අවස්ථාව ලැබුනේ.

මා නමින්ම සදහන් කල යුතු කීප දෙනෙක් සිටිනවා. ඒ අය නම්, ඉන්ද්‍රජිත් සමරජීව කොත්තු ඇඩ්මින් සහෝදරයා, කාලින්ග ඇතුලත් මුදලි, ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා SBU ඇඩ්මින්වරුන්ටත් , ලාංකීය සිතුවිලි ඇඩ්මින්වරුන්ටත් මගේ ස්තුතිය හිමි වෙනවා.

මාරයා මගේ ගුරුතුමා, කතන්දර මගේ ගුරුතුමා, ඔබ දෙපලටත් මා ස්තුති කරනවා. ගිම්හාණී මගේ පළමු පාටකයා (ස්ත්‍රි ලිංග පදේ නම් දන්නෙ නැහැ. හැබැයි ඇය කාන්තාවක් බව ඇය හමු වී ඇති නිසා මම දනිමි.) පළමු කමෙන්ටුව ලබා දීමෙන් දුකා ඔබ දැක් වූ සහයට මම සදා ණය ගැතියි.

මට කිව යුතුම දෙයක් ඇත. එනම් මම ඉතාම කැමති බ්ලොග් කරුවන් තිදෙනෙක්ගේ බ්ලොග් මෑතක සිට මට නොපෙනී ගොස් ඇත. ඒ ඇල්කෙමියා, අරුණි අක්කා සහ යථාර්ථවාදියා හෙවත් හිතවත් නිහාල්ගේ බ්ලොග් අඩවියන්ය. මට ඔබ කියවා ගැණීමට නොහැකිව ඇත්තේ යම් කාර්මික තාක්ෂණික දෝෂයක් නිසා බව දනිමි. ඔබද මට නැතුවම බැරි මිතුරන් තිදෙනෙකි.

තමන්ගේ බ්ලොග් රෝල්වල මගේ බ්ලොගයේ නම දමාගෙන ඉන්නා සහෝදර ඔබටත් මම ස්තුති කරනවා. ඒ වගේම සුභ පතනවා!!!!

ඔබ සැමට ස්තුතියි!!!

ඉසුරු බෝ වේවා - සිත පහන් වේවා,
දිවිය සරු වේවා - පැතුම් ඉටු වේවා.

ගත සවිය වේවා - අපල දුරු වේවා,
යහපතම වේවා - අසිරි බෝ වේවා.

ආයු බෝ වේවා!!!!!!!

Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!!!

නත්තල මගේ ජීවිතේට බොහෝ කිට්ටුයි. උපතින් බෞද්ධ උනු මම අවුරුදු 1-2 අතර කාලේදි පියාගේ රැකියාව නිසා වත්තලට ආවා. මේවා මට මතක නැති වුනත් මට මතක අතීතෙ හැම දෙයක්ම සිදු වුනේ වත්තල. ඒ ගැන මම ලිපියකුත් ලිව්වා.

මම විශ්ව විද්‍යාලෙ යනකම්ම ජීවත් වුනේ වත්තල. ඊට පස්සේ රටේ නොයෙක් තැන්වල කරක් ගහල දැන් ඉන්න නුගේගොඩට එන්නේ අවසාන තැන කියලා හිතාගෙන.

මගේ මිතුරන් අතර බාගෙට බාගයක් ඉන්නේ ක්‍රිස්තියානි මිතුරු මිතුරියන්. ඔබට සුභ නත්තලක්.

මගේ ගුරුවරුන් අතර වැඩියම ඉන්නේ ක්‍රිස්තියානි අය ඔබට සුභ නත්තලක!!

කුඩා කාලේදි නත්තලට අපි ක්‍රිස්තියානි අය වගේම ලෑස්ති වෙනවා. මට මතකයි අපිත් නත්තල ගස් ගෙනත් ගවලෙන් හදලා ඊට සූදානම් වෙනවා. අපේ ගෙදර ක්‍රිස්තියානි නොවුනත් අපේ දෙමව්පියෝ පලාතේ හැටියට අපිව ලෑස්ති කළා. ඔවුන් සිතුවේ පුංචි අපේ හිත් පෑරෙයි කියලා අනිත් ළමයි වගේ අපිටත් ඉන්න ඇරි වුනාම කියලා.
අළුත් අවුරුද්දට අපි හැමදාම කලේ වෙන කොහේ හරි යන එක. හැම ගේකටම කෑම බෙදලා අපි යනවා.

නත්තල ගැන මට මතක සුන්දරම සිද්ධිය තමයි 24 රෑ ඉදලා අපි අලුත් ඇදුම් ඇදලා හරියටම 12 වෙනකොට පල්ලි යන එක. අපි කවුරුත් එහෙම කලා. අපිට කවදාවත් ආගම් බේදයක් තිබුනේ නැහැ. පල්ලියේ පූජාව ඉවර වුනු ගමන් අපි ගෙදර යනවා. නිදියලා උදේම නැගිටලා ගෙදරින් පිට වුනහම අපි නැවත එන්නේ මහ රෑ. ගෙවල් ගානකින් කනවා. හැම මිත්‍රෙක්ම බලාගෙන් ඉන්නේ අපිව පිළිගන්න. ඒ මිතුරන් අද නැහැ. ලෝකෙ වටේම විසිරිලා.

මිතුරනි ඔබට සුභ නත්තලක් වේවා!!!

Friday, December 23, 2011

තාමත් ඔසප් ප්‍රශ්නෙ. අද ඔබගේ ප්‍රශ්නවලට පිලිතුරු.

රාජ් said...
මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.)


සරු කාලය කියන්නේ ඩිම්භ හොඳින් මෝරා පිටවන තත්ත්වයට පැමිණ ඩිම්භයක් පිට වී ශුක්‍රානුවක් හා සම්බන්ධ වී කළලයක් ඇති කිරීමට වඩාත් ඉඩ ඇති කාලයටයි. මේ කාලය වෙන්නේ සාමාන්‍ය ඔසප් චක්‍රයක එනම් දින 28 - 30 චක්‍රයක නම් හරියටම ඔසප් ඇති වී දින 12 - 14 අතර කාලයයි. ඩිම්භයක් නියම ප්‍රමානයට එනම් 18 මිලිමීටර් 23 මිලිමීටර් අතර වැඩෙන (Normal Maturation) හා ඒය ඩිම්භ කෝශයෙන් පිටවන (ovulation) කාලයටයි. මේක හඩා ගන්න හරි ලේසියි. මුලින්ම මාස ක්කිපයක ඔසප් දින ගනන ලියලා බලන්න. ඒ සාමාන්‍ය අගය අනුව මැද දිනය සිට දින 6 ඉදිරියටත් පසුපසටත් ගනින්න. මේ කාලය සරු කාලයටයි වැටෙන්නේ. නමුත් මේක ටිකක් වැඩි ආරක්ෂාවක් තියලා මම කිව්වේ. මෙතරමම දිග නැහැ සරු කාලය. කොහොම හරි සූදානම් සරීරෙ කියනවානේ. නමුත් ඔබට හොදින් ඔසප් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතැනදි ඉතා විශ්වාසම ක්‍රමයක් නැහැ.


Anonymous said...
ගොඩක් හොඳ පොස්ට් එකක්.. වෙද මහත්තයෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා...
මගේ පුංචි කුමාරිටත් ඔය ප්‍රශ්නේ ටිකක් තියෙනවා..
ඒ කිව්වේ ඔසප් දවස් වලට ටිකක් අමාරුයි..
බද රිදෙන ගතිය එහෙම වැඩියි..සමහර වෙලාවට තමන්ගේ අනිත් වැඩත් පාඩු වෙනවා..
ඕවට තියෙන බෙහෙත් බොන ඒකෙන මොකක් හරි අතුරු ආබාධ තියෙනවද????
එක සාමාන්‍ය තත්වයක් කියල හිතන්න පුලුවන්ද?


Anonymous said...
වෙද මහත්තයා ඔය ඔසප් වීමේදී දැනෙන වේදනාව අඩු කර ගන්න ක්‍රම මුකුත් නැද්ද

කුඩා දරුවෙක් වැඩිවිය පැමිණි මුලම ඔවැනි තත්ත්ව සාමාන්‍යයි. මඟ හැරී යන්නත් ඉඩ තිබෙනවා. නමුත් කළ යුතුම වැඩ කීපයක් තිබෙනවා. ළමයාව ක්‍රියාශීලී ජීවිතයකට හුරු කරන්න. ක්‍රීඩා වලට යොමු කරන්න. තෙල් කෑම වැඩිය දෙන්න එපා. ඒත් ආසාවට දෙන්න. නැත්නම් පව්. අඩු කරන්න. පලතුරු, පලාවර්ග, ධාන්‍ය වර්ග වලට යොමු කරන්න. යම් දුරකට මඟ හැරේවි. පීනන එක සහ ටෙනිස් බැට්මින්ටන් වගේ ක්‍රිඩා බොහෝ සුදුසුයි.බෙහෙත් බොන්න පුරුදු කරන්න එපා. එවැනි දිනවලට යමක් මඳ රස්නෙන් බොන්න දෙන්න දියර ප්‍රමානය වැඩියෙන් බොන්න සලස්වන්න.

priyantha said...
මෙම තත්වයන් හා පැලෝපීය නාලයෙ වන පිළිසිඳගැනීම් අතර සම්බන්ධයක් පවතීද?
මානසික අසමබරතාවය යනුවෙන් හඳුන්වන්නේ සිතේ ඇති අසහනකාරී ස්වභාවයමද?.
උපත්පාලන පෙති දිර්ඝ කාලයක් ගැනීම මෙම තත්වයට හේතුවක් වේද?
හොඳ ලිපියක් වෙදනා. පිරිමි අයත් කියවා අවබෝධ කරගැනීම හොඳ පවුල් දිවියකට හේතු වෙයි කියා හිතනවා.


ඔව්. වෛද්‍ය මතය කුමක් වුවත් මම මේ පැලෝපීය නාළවල පිලිසිද ගැනීම (Ectopic Pregnancies) හා ඔසප්දෝෂ අතර සම්බන්ධයක් සැක කරනවා. මගේ මතය නම් එවැන්නක් තිබිය හැකි බවයි. එනම් අධික තෙල් බැඳීමේදී නාළවල අරය අඩු වෙන නිසා මෙය වෙන්න පුළුවන්. තවත් මම සැක කරන දෙයක් තිබෙනවා. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් නාළවල බැදීම නිසාද මෙවැනි පිළිසිද ගැනීම විය හැකියි.
ඔව් සිතේ ඇති අසහනකාරී තත්ත්වය මානසික අසමබර බව ලෙස දැක්විය හැකියි.
උපත් පාලන පෙති ගැනීම මම හිතන්නේ නැහැ එවැනි තත්ත්ව වලට හේතුවක් ලෙස. මගේ පුද්ගලික හැඟීම නම ඕවා ගැනීම අවශ්‍ය නැහැ කියන එකයි.


ඉඳුනිල් said...
අපේ හාමිනේට බබා ලැබිලා අවුරුදු 1 1/2 ක් යනකන් ඔසප් වුනේ නැහැ. වෛද්‍ය උපදෙස වුනෙත් එතරම් කාලයක් ඉවසා බැලීම.. ගර්භනී කාලයේදී ශරීරයේ ඇති වන හෝමෝන කල් පැවතීම නිසා එහෙම වෙන්න පුලුවන්ද ?

ඔබ දන්නවාද ඔවැනි දේ නිර්මානය වන්නේ ස්වභාව ධර්මයෙන්මයි. ශරීරයේ ඇතිවන හෝමෝනයක් (prolactin) තිබෙනවා එය නිසා තමයි කුඩා දරුවන්ට කිරි නිපදවෙන්නේ. මේ හෝමෝනයේ බලපෑම ඉතා වැඩියි දරුවෙක් ලැබී යම් කලක් ගතවන තුරු කොටින්ම කිරි දෙන කාලයේ. මේ හෝමෝනයේ තිබෙන තවත් කාර්‍ය්‍යයක් තමයි මේ කාලයේ ගැබ් ගැන්වීම් වලකන එක. ඒ නිසා හෝමෝනය බලවත්ව ඇති විට ඔසප් දෝෂ ඇති විය හැකියි. බබාලට කිරි දෙන කාලයේ නැවත ගැබ් ග්න්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ ඒකයි. ඔබ කියන කරුණ එහිම ටිකක් දිග අවස්ථාවක්. නමුත් එය එතරම් ගැටළුවක් නෙමේ.


Gimhani said...
මේ ගැන මගේ යෙහෙලියකගේ ප්‍රෂ්නයක් ඔබ්ට ඉදිරිපත් කරන්නම්.
ඇයට විවාහ වෙලා දැන් අවුරුදු හයක් පමණ වෙනවා . දරු පල නෑ . ඇයගේ ඔසප් චක්‍රය හරිම අක්‍රමවත් . මාස 4-5 ගිහින් තමයි ඔසප් වෙන්නේ . ප්‍රථිකාර කලත් සුවයක් නෑ . අනිත් කරුන තමයි . තදබල වේදනාව . ඩිම්බ මේරිමත් ප්‍රමාණවත් නැතිලු .


ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දරුඵල නැති වීමට තදින් බලපානවා. මේ ගැන කියන්න වෙන්නේ ඇයගේ ඔඅසප් නිසියාකාරයෙන් නැවත සාදාගන්න.
ඊට පසු ප්‍රතිකාර කිරීමෙන් දරුවකු ලබා ගත හැකියි. ප්‍රතිකාර යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ ඖෂධම පමනක් නෙමෙයි.
1. ඖෂධ
2. ව්‍යායාම
3. මානසික සහනය ඇතිකර ගැනීම
4. ආහාර පාලනය
මෙවැනි පද්දතියක්ම තිබෙනවා ප්‍රතිකාර වලට අයත්. මේ හැම දේ ගැනම සොයා බැලිය යුතුයි. එවිට ඇයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

කපීකේකි said...
නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. 
ඩොක්ටර් ඒත් මේ ලගදි VOG කෙනෙක් කිව්ව එහෙම මාසෙන් මාසෙට දින් 28කට වරක්ම වෙන්න ඔනේ කියල නියමයක් නෑ කියල.සමහර අයගෙ මාස කීපයකට සැරයක් වෙනවලු.ඒ හැටිලු.ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියල අහනව:/.


ඒකට බෙහෙත් දෙන්නත් බෑ කිව්ව අවිවාහක නිසා.දෙනව නම් දෙන්න වෙන්නෙ උපත් පාලන පෙති කියල.බැන්දට පස්සෙ නම් එහෙම පෙති බොන්න දීලා හෝමෝන බැලන්ස් කරන්න පුලුවන් කීව.අනික ඒ පෙති බිව්වම මහත් වෙනවලු.

වෙනත් අයෙක්ගේ මතයක් විවේචනය කිරීමට මට අයිතියක් නැහැ. අපි දෙගොල්ලන් මේ කථා කරන්නේ අවස්ථා දෙකක් ගැනයි. එතුමා කියන දේත් එක්ක මම 100% එකඟයි. මේ සාමාන්‍ය තත්ත්වයයි. නමුත් ඔබ මේ අහන්නේ වෙන කරුණක් කියා තමයි මට හිතෙන්නේ. ඔබ කියන දේ විවාහක දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් නම්, තත්ත්වය වෙනස්, ඇය තම සරු දින දැන ගත යුතුයි. තවත් මේ තත්ත්වය නිසා ඇයට නොයෙක් පීඩාවන් විඳින්න වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණයේදී ඇයට බෙහෙතක් කිරීම අවශ්‍යයි. ඔසප් ක්‍රමාණූකූලව සාදා ගැනීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිකාර ඇත්නම් දුක් විදින්න ඕනෙද?

ඔව් හෝමෝන බෙත් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනෙ. ඒ ගැන නිසි අවබෝධයක් ඇති වෛද්‍යවරයෙක් සමඟ පමනක් මේ ගැන කථා කළ යුතුයි. ඒත් ඔය ප්‍රථිකාර ක්‍රමය එනම් උපත් පාලන බෙහෙත් දී ඔසප් ක්‍රමාණුකූල කිරීම එතරම් සාර්ථක නැහැ. ඒ නිසා මම නම් මේතැනදි අර ගිම්හාණීගේ ප්‍රශ්නෙට වගේ පිළිතුරක් තමයි ඔබට දෙන්නෙ අවශ්ය. හැම දෙයක්ම ක්‍රමානූකූලව කිරීමෙන් මේ ප්‍රශ්නේ විසදා ගන්න පුළුවන්. බෙහෙත් නම් අවශ්යයි මගේ පුද්ගලික මතය.

ඩොක්ටර් ආයුර්වේදයේ "උදර වස්ති" කියල එකක් තියනවද? ඒකෙන් කරනව කිව්වෙ නොමේරූ ඩිම්බ (ඩිම්බකෝෂවල ඒකරාශී වෙලා තියන )ඒව අයින් කරන එකලු.පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

ආයූර්වේදයේ උදර වස්ති කියලා දෙයක් තිබෙනවා. නමුත් ඔබ අහන්නේ මෙතැනදි ඒ ගැන නෙමෙයි නේද කාන්තාවන්ටම කරන උත්තර වස්ති ගැන මම හිතන්නේ ඔබට වචනේ පැටළුනා නේද?

උත්තර වස්ති කියන්නේ පැරැන්නන් භාවිතා කළ ඉතා හොඳක්‍රමයක්. එහිදී ගර්භාෂය පිරිසිදු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නවීනයේ කරන (D&C) තත්ත්වය හා සමානයි. දැන් නම් ඉතාම අඩුයි භාවිතා වෙනවා. ඒකට හේතුව මෙවැනි දේ ගැන නිසි දැනීමක් නැති පුදගයෝ මේවා වැරදි දේවලට ප්‍රයෝජනයට ගෙන ක්‍රමය විනාශ කරලා. මේ නිසා ජනතාව මේ ගැන බියක් දක්වනවා. ඔය (Endometriosis) එන්ඩොමේට්ට්‍රියෝසිස් තත්ත්වයට ඉතාම වටිනා ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිම තවත් අවස්ථාවක් තිබෙනවා කටී වස්ති කියලා. එහිදී කරන්නේ අදාල රෝගියා රෝගයට අදාල ක්ෂාය තම්බා එම ජලයේ වාඩි කරවා තැබීම.

හාතාවාරිය කැද හොදයි කියනවනේද මේ ලෙඩේට?
හාතාවාරිය කියනකොට එතැනම තිබෙන්නේ ස්ත්‍රී ලිංගික බවක් නේද? වචනයේ අර්ථයෙන්ම හාතාවාරිය කාන්තා ලෙඩට ඉතා හොදයි. වඩාත් හොද විදිහ තමයි කැඳ හදලා සතියට දිනක් බොන එක. කාන්තාවන්ට ඉතාමත් ගුණයි.


Anonymous said...
ගර්භාෂ ගෙඩි ඇති වෙන්න ඔසප්චක්‍රයේ අක්‍රමිකතාවය බලපානවද?


ආයූර්වේද මතය අනුව නම් කාන්තාවගේ ශරීරයේ සිදුවන ඉතාම වැදගත් සිදු වීමක් මේක. මේ හරියට සිදු නොවීමෙන් විශාල හානීන් ප්‍රමානයක් කාන්තා සිරුරට සිදුවිය හැකියි. එකක් තමයි ඔබ කිව් අවස්තාව. සියළුම ගෙඩි මින් නොසෑදුනත් බොහෝ දුරට ගර්භාෂයේ සහ ඩිම්භ කෝෂ වල ගෙඩි ඇති වීමට මේ තත්ත්වය බලපානවා. මේවා අකාර ක්කිපයක්ම තිබෙනවා.
1.Fibroids
2.Follicular cyst
3. වෙනත් අරබුද
4. එන්ඩොමෙට්ට්‍රියොසිස්

වර්ණා said...
හ්ම්ම් හොදයි. මටනම් තාම එහෙම කිසිම අවුලක් නැහැ. එත මම ලොකු ළමයෙක වෙලා මාස 3 ක් යනකම් ඔසප් වුනේ නැහැ. ඩොක්ටර් නම් කියුවේ බයවෙන්න එපා කියලා එත ඊලග මාසේ ඉදන් හරියටම වුනා.. බයෝ කරපු නිසා මම මේ ගැන ටිකක් දන්නවා..

එත් අපේ නංගි කෙනෙක් ඉන්නවා එයා දැන් වැඩිවියට පැමිණිලා අවරුදු 2 ක්. එයාගේ ඔසප් වීම තාම නැවතිලා නැහැ, කොච්චර බෙහෙත් ගත්තත්. තාම එයාට බෙහෙත් කරනවා. එයා දැන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මේකට කුමක් කල යිතුද?

ඔබගේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයක් එය සාමාන්‍යයඉ. නංගීට නම් ප්‍රතිකාර කල යුතුයි. නැත්නම් ඇයට මතු උවදුරු ඇති විය හැකියි. මෙහි ඇයට කල යුතු ප්‍රතිකාර වලින් බොහෝමයක් ලියා තිබෙනවා. ආහාරය, ව්‍යායාමය, මානසික නොසන්සුන් භාවය ආදිය සාදා ගන්න. සුදුසු ප්‍රතිකාරයක්ද අවශ්යයි.


ඉන්ද්‍රා said...
මාස ගනනක් ඔසප් නොවී තියෙද්දේ ඒවා ඇග ඇතුලෙ එකතු වෙනව නේද?ඒහෙම වෙන එක හොදද?


ඉතාම කලාතුරකි හැර එහෙම එකතු වෙන්නෙ නැහැ. ඔබ දන්නවද සමහර කාන්තාවන් සිටිනවා කිසිම දාක මතු පිටින් ඔසප් සෑදෙන්නේ නැහැ. එවැනි අයට ඔසප් රුධිරය ඇගටම උරා ගන්නවා. ඒත් පැලෝපියන් ටියුබ් වලට ඔසප් රුධිරය ගලන අවස්ථා ඉතාමත් කලාතුරකි දක්නට ලැබෙනවා. එවිට නාල අවහිර වීමෙන් නිසරුතාවය ඇති වෙනවා. මේ හැම දෙයක්ම කලින් සැක කල හැකි කරුනු. ඔබ දින්පොතක් පාවිච්චි කරනවානම් තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් සටහන් කර ගන්න. ඒ පලපුරුදු වෛද්‍යවරයෙක්ට මේ තත්ත්වය දැන ගැනීමට උපකාර වෙනවා. මෙහිදී වැදගත් කරුනු වන්නේ.
1. යෝනි ස්‍රාවයන් ඇතිවනවාද, ඒ දිනයන් මොනවාද/
2. යටි බඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවන් මොනවාද? දිනයන්, ආදිය සටහන් කර ගන්න.
3. පියයුරුවල වේදනාවන් ඇතිවනවාද ඒ දිනයන් මොනවාද්/
4. බාහිරින් පියයුරුවල ඇතිවන වෙනස්කම්. මේ දේවල් මාස තුනකවත් සටහනක් ඔබගේ වෛද්‍යවරයාට ලබා දීමෙන් ඔබ ගැන බොහෝ දේ එතුමාට දැනගත හ්කියි.


Anonymous said...
කාන්තාවන්ගේ සුදයාම නම් තත්වය කුමක්ද එය හා ඔපස් වීම අතර සම්බන්ධයක් තිබේද එමගින් දරුපල හට ගැනීමට බාධාවක් ඇති වේද සුදයාම නවත්වා ගන්නේ කෙසේද


චතුරි said...
@ඇනෝ- ඕකටම නේද ඇග උණුකරවායාම කියන්නෙ ?


සුදයාම හා ඇඟ උනුකරවා යාම කියන දෙක දෙකක්.
ඇඟ උනුකරවා යාම මේක ලෙඩක්. මෙහිදී වන්නේ ශරීරයේ ආයූර්වේදයේ අපි සඳහන් කරන රස පදාර්ථයන් ශරීරයෙන් ඉවත් වීම. ප්‍රෝටීන හා වෙනත් ශරීරයට අවශ්‍ය පදාර්ථ මෙසේ ඉවත් විය හැකියි.

සුද යාම කියන්නේ ලෙඩක් නෙමෙයි. මේක සාමාන්ය තත්වයක්. සුදයාම ඇඟ උනුකරවා යාම හා පටලවා ගන්නවා බොහෝ දෙනෙක්. ඔසප් සෑදීමට පෙර මේ තත්ත්වය ඕනෙම කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඇති විය හැකියි. මෙහිදී කිසිම රෝග ලක්ෂනයක් ඇති වන්නේ නැහැ. නිකම්ම යෝනි මඟින් යම් බෙලසුල් දියරයක් පිටවනවා පමනයි. මේ දියරයද නොයෙක් ආකාර විය හැකියි. ඇතැම් අයට මෙය ඉතා උකු ස්‍රාවයක් වන අතර සමහරකට යන්තමින් යෝනිමඟ තෙත් කරන ස්‍රාවයක් පමණයි. නොයෙක් ඖෂ්ධ නිසාත් මෙය ඝනකම් ස්වභාවයක් ඇති විය හැකියි. ඒත් මෙය කිසිම රෝගයක් නෙමෙයි.

තවත් අය ලිංගික උත්තේජනයකදී පිටවන ස්‍රාවයන් හා මෙය පටලවා ගන්නවා. ඒකත් නිවැරදි නැහැ. එයත් සාමාන්ය තත්ත්වයක්. මෙහිදීත් දියරයේ විවිධ වෙනස්කම් තිබිය හැකියි.

මේ හැමටම වෙනස් ඇඟ උනුකරවා යාමේදී පිටවන ද්‍රවය. එය ගඳක් සහිත් වෙන්න පුළුවන්. පැහයක් ගන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වීමට නොයෙක් හෙතූන් බලපානවා. යම් යම් රෝග, අධිකව ඖෂ්ධ භාවිතය. දිලීරමය රෝග. මේ වැනි බොහෝ හේතු මේ සඳහා දැක් විය හැකියි. මෙයට ප්‍රතිකාර කල යුතුමයි.



samadhi said...
මටත් ඔය ප්‍රශ්නේ තදටම තිබුනා. විවාහයට පෙර නියමිත අයුරින් සිදු උනත් විවාහයෙන් පසු ඉතාමත්ම අක්‍රමවත් උනා. මාස 10ක් විතරම ඔය තත්වෙ තිබුනා. ඊට පස්සෙ පලමු වරට සිදු වු පිලිසිඳ ගැනීමද අසාර්තක උනා. බටහිර වෙදැදුරන්ගේ මතය උනේ ප්‍රොලැක්ටින් හෝමෝනය අධික වීම නිසා ඩිම්භ මේරීම අක‍්රමවත් කියලා.තවත් පරීක්ශන ගනනාවකටම මුහුන දීමට තිබුනත් හිතා ගන්නවත් බැරි විදියට අපේ ප්‍රශ්නේ විසඳුනා. නමුත් ඉදිරිට්යට මගේ තත්ත්වය කුමනාකාර වෙයද කියලා අවිනිශ්චිතව ඉන්නේ.

ඔබ කියන ආකාරයේ රෝගීන් බහුලයි. නමුත් ඔබ නීරෝගීමයැයි ඉන් ඇඟ වෙන්නේ නැහැ. හෝමෝන පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව යමක් කළ යුතුයි. නමුත් දරුවා ලැබුන පසු ඔබගේ මේ තත්ත්වය බොහෝ දුරට විසදී ඇතැයි මට හිතෙනවා. මාස කීපයක් බලා කලින් ලෙසම නම් ප්‍රතිකාර කරන්න. හැබැයි මොනවා කලත් අර කලින් කියා ඇති පාලනයන් කල යුතුමයි.


Miyuru said...
අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් වැඩිවිය පැමිණුනායින් පස්සෙ කවදාවත් ආපහු එයාට ඔසප් වීමක් ඇතිවුනේ නෑ... එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද... ඒ වගේම ඒකට බෙහෙත් තියෙනවද.... දැන් නම් එයාට වයස 45ක් විතර ඇති... එයා විවාහ උනෙත් නෑ මේ ප්‍රශ්නය නිසා....



අවාසනාවන්ත තත්ත්වයක් මම නම් හිතන්නේ ඇයව සුව කරගත හැකිව තිබුනා. මට එක් රෝගියෙක් ඔවැනි අයෙක් මුණ ගැසී තිබෙනවා. ඇය අද දරුවෙක්ගේ මවක්. මම හිතනවා ඇයටත් අභ්‍යන්තර ඔසප් ස්‍රාවය ඇතිවුනාද දන්නේ නැහැ. මොනවාටත් කල්ගියා වැඩියි.

Wednesday, December 21, 2011

කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ.

සතියකට වැඩියෙන් මට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා. අද මේකත් ලියන්නේ හදිසියෙන්. ජනවාරි ඉඳලවත් සතියට දෙක ගානේ වෙන්න පොස්ට් දන්න තමයි හිතන් ඉන්නේ.

මේ පොස්ට් එකට එන්න හේතුව මගෙන් නිතර අහන ප්‍රශ්න කීපෙකට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මේක කාන්තා ස්පෙශල්. ඒත් පිරිමි බැලුවම මොකෝ.

කාන්තාවන්ටම විශේෂ වු පෝස්ට් එකක් මෙහෙම දමන්න කියන අදහස මට මුලින්ම කිව්වේ අපේ ගිම්හාණී නඟා. හැබැයි මම මුලින්ම බ්ලොග් කලාවට ආපු අළුතම. මම එවලේ හිතුව අනේ මොකටද ගෑනුන්ට විශේෂ කොරලා කොල්ලො සෙට් එක තරහා කර ගන්නේ කියලා. දැන් කට්ටිය මාව දන්නවනේ. ලඟදි අර සම්මානෙකුත් ලැබුනනේ බ්ලොග් කලාවෙන්ම. ඒ නිසා දැන් කමක් නැහැ කියලා ඔන්න දැම්මා කාන්තා ස්පෙශල් පෝස්ට් ඒකක්.

කොල්ලොත් බලන්න ඈ...

අපේ කාන්තා පාර්ශ්වේ අයට තිබෙන ප්‍රධානම ගැටළු තමයි මම මෙහෙම කථා කරන්න හිතුවේ.

මෙකෙදි කාට හරි යමක් වැඩිපුර දැනගන්න අවශ්‍ය නම් මට ඊයක් එවන්න හැකි හැකි විදියට පිලිතුරු දෙන්නම්. හැබැයි ඇනෝ ඇවිත් හරි කමෙන්ට් විදියටම අහනවානම් හොඳයි. ඒකෙන් අනිත් අයටත් යමක් දැන ගන්න පුළුවන් නිසා. මේ සැරේ විශේෂයක් විදියට හැම කෙනාටම වෙන වෙනම පිළිතුරු දෙනවා. මේ පෝස්ට් එකට එන එන හැම කමෙන්ට් එකටම පිලිතුරු දෙන්නම්.

මෙම තත්ත්වයන් ප‍්‍රජනක වයසේ (12 - 45) කාන්තාවන් අතරින් 5% - 10% අතර සංඛ්‍යාවකට ඇතිවේ. කාන්තාවකගේ ප‍්‍රජනක වයස වශයෙන් හැදින්වෙන්නේ, ඇයගේ වැඩිවිය පැමිණි වයස හා ආර්තවහරනය අතර වූ කාලයයි. සාමාන්‍යයෙන් මේ වයස අවුරුදු 12 සිට 45 දක්වා යැයි පිළිගනී.

නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. එසේම එය අතිශ්‍යයින් සාමන්‍ය ක‍්‍රියාවකි. සාමාන්‍යයෙන් ඇතිවන ඔසප් වේදනාව සහ හෝමෝනමය වශයෙන් නව යෞවනියන්ට සමහර විට ඇතිවන සුළු අපහසුකම් මේ රෝග කාන්ඩය යටතට නොවැටේ. එය සාමාන්‍ය තත්ත්වයකි.

ඔසප් චක‍්‍රයේ අසාමාන්‍යතා සහ එම ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම "කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ” රෝග කාන්ඩය යටතට වැටේ.

කාන්තාවන් නිසා ඇතිවන මඳ සරුභාවයට ප‍්‍රධාන හේතුවක් වේ.

මෙම තත්ත්වයන් ඇති වීමට හේතු.
1. පැහැදිලි හේතුවක් නියම ලෙස දැක්විය නොහැකියි.
2. හෝමෝන පද්දතියේ අක‍්‍රමිකතාවන් ඇති කාන්තාවන් අතර ඇති වේ.
3. හෝමෝන අක‍්‍රමිකතාවයන් ඇති කරවන දියවැඩියාව (2 වර්ගයේ*,
4. අධික ස්ථූලතාවය,
5. රුධිරයේ අධිකව කොලෙස්ටරෝල් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇති වේ.
6. ගර්භාෂගත රෝගයක රොග ලක්ෂනයක් ලෙසද මෙවැනි රෝග තත්වයන් ඇති විය හැක.
7. ජානමය තත්ත්වයන් නිසාද ඇතිවන බව සොයාගෙන ඇත.
8. ව්‍යායාම කිරීමෙන් තොරව නිශ්ක‍්‍රීය ජීවිත ගත කිරීම.
9. මානසික අසමබරතාවය.
10. වැරදි ආහාර පුරුදු. ( මේද බහුල ආහාර/ අධික සීනි භාවිතය/ ඌෂ්න ආහාර ඝනයට වැටෙන ආහාර වැඩියෙන් භාවිතා කිරීම./ කෘත‍්‍රිම ආහාර භාවිතය වැඩි වීම./ කෙටි කෑම.*
11. සමහර ඔෂධ වරග දීර්ඝ කාලීනව භාවිතය.

ලක්ෂන.
1. ඔසප් චක‍්‍රයේ ඇතිවන අක‍්‍රමිකතා.
2. ඔසප් දිනවලදී අධිකව හෝ මන්ද රුධිර වහනය.
3. නිසරුභාවය.
4. මුහුණේ රෝම වැඞීම.
5. අධික අථූලතාවය.
6. බෙල්ල අවට කළු වීම.
7. අසාමාන්‍ය ඔසප් වේදනාව.
8. ප‍්‍රමාණවත් ලෙස ඩිම්භ නොමේරීම.
9. රුධිරයේ පිරිමි හෝමෝන සාන්ද්‍රනය වැඩි වීම.
10. මානසික අසමබරතාවයේ ලක්ෂණ තදින් දිස්වීම. හිසරදය, ආතතිය, හිස කැරකැවීම් ගතිය, තෝන්තුවාව. කෙන්තියාම යන ලක්ෂන ඇති වීම.

රෝග නිර්ණයට වැදගත්වන පරීක්ෂා. 1. FSH (Follicular Stimulating Hormone), LH (Luteinizing Hormone), Progesterone Hormone, Estrogen Hormione , ප‍්‍රමාණය මැන ගැනීම. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
2. Trance vaginal / Ultra Sound Scan ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
3. (HSG) Fallopian නාල පරීක්ෂාව. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)

මෙම තත්ත්වයන්ට ප‍්‍රතිකාර නොගෙන නොසලකා සිටීමෙන් ඇතිවන උපද්‍රව.
1. ඩිම්භ මේරීම අක‍්‍රමවත් වීම. ඩිම්භ මෝචනය සිදු වීමේදී වන අක‍්‍රමිකතා.
2. Endometriosis, Poly Cystic Ovarian Disease. Follicular Cyst, ඇති වීම.
3. නිසරුභාවය.
4. වයස්ගතවන විට ගර්භාෂගත මෙම තත්ත්වයන් වැඩි දියුණු වීමෙන් ගර්භාෂයට හානිවීම නිසා එය ඉවත් කිරීමට සිදුවීම.
5. කාන්තා සිරුරේ හැඩය හා ස්වභාවය වෙනස්වීම නිසා සිරුර අවලස්සන වීම.
6. අධික ලෙස සිරුර මහත් වීම.
7. වෙනත් රෝග රැුසක් ඇති වීමට හේතු වීම. (අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝ ප‍්‍රමාණය වැඩිවීම.)
8. ආර්තවහරණය කලින් සිදු වීමට හේතුවීම.

ප‍්‍රතිකාර.
නිසි ප‍්‍රතිකාර සිදුකරන අතර,
1. ශරීරයේ මහත අඩු කර ගැනීම.
2. ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වීම. ( එළවළු,/ පළතුරු,/ පලාවර්ග,/ ධාන්‍ය වර්ග වැඩිපුර භාවිතය.*
3. කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම නියමාකාරයෙන් තබා ගැනීම.
4. මනස සමබරව තබා ගැනීම.
5. ශාරීරික ව්‍යායාම නිසි පරිධි සිදුකිරීම.

Monday, December 12, 2011

ඌෂ්ණය කුමක් වැනී?

පසුගිය ටිකේ මම වැඩිය ජාලගත වුනේ නැහැ. ඒකට හේතු වූයේ මගේ පියාගේ තුන් මාසේ දාන කටයුතු යෙදී තිබූ නිසයි. හිතවත් සහෝදරවරුන් සොයුරියන් මා ගැන සොයා බැලූ බව මට දැන ගන්න ලැබුනා. ඒක මගේ හිතට බොහෝම හයියක් වුනා. මම මේ බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිත්‍රයන් ගනන බොහෝමයි.

ඉතින් නැවතත් ජාල ගත වෙන්න අවසථාව ලැබෙනවා. අද සිට බ්ලොග් ලෝකයේ මම ඉන්නවා.

සුපුරුදු ලෙස මම වැඩ.

අද මම කථා කරන්න හිතුවේ ඉතා වැදගත් මාතෘකාවක්. ඔබ දන්නවා මම කලිනුත් මම කථා කලා ශරීරයේ උෂ්ණය පිළිබඳව. මේ එහි දිගුවක්. අනෙක් කාරණය ඔබ මගේ ඒ කථාවේදී යම් යම් ප්‍රශ්න කිරීමක් කළා. මට තිබූ වැඩ නිසා එය ටිකෙන් ටික මඟ හැරුනා.

දැන් සූදානම ඒ ගැන නැවත කථා කරන්න. මම මුලින් මෙහෙම පටන් ගන්නම්. ඔබ දන්නවා, අපේ ගැමි ජනතාව පමණක් නෙමෙයි නාගරියක අය පවා කථා කරනවා ශරීරයේ ඌෂ්ණය වැඩි වෙලා වැනි දේ.

මොකක්ද මේ ඌෂ්ණය කියා අදහස් කළේ???

මෙතනදි මම මුලින්ම ඔබට මෙහෙම කියන්නම්. ඔබ දන්නවා ඇති, එහෙමත් නැත්නම්, මේදේ ඔබ ජීවිතේ එක දිනක් හෝ අත්දැකලා ඇති. ඔබට දැනිලා තිබෙනවද? ඔබේ ශරීරයේ මහා අපහසුකමක් ආහාර අප්‍රිය ගතිය, කම්මැලි බව, උණ සෑදීමට එන්නාක් බඳු හැගීම, ඇත්තෙන්ම යමේක් ඔබේ ඇඟට අත තබා ඔබට උණ නේද කියා ඇසුවත් උෂ්ණත්ව මානයේ ඔබට උණ සෑදී නැතිබව තහවුරු කරන බව. මෙන්න මේ දේවල් ඔබට දැනි ඇති ජීවිතයේ එක දිනක් හෝ. එසේ ඔබට හැඟී දැනී ඇත්නම් ඔබ ඌෂ්ණය පිළිබඳ යමක් අත්දැක තිබෙනවා.

මුලින්ම කියන්න ඕනෙ ඌෂ්ණය කියා කියනා දේ උෂ්ණත්වය (Temperature) හෝ තාපය (Heat) කියනා යෙදුම් වලින් හඳුනා ගත නොහැකියි. මම නම් මේ උෂ්ණය කියන පදය ලියන්නේ ඌෂ්ණය (Ushna) කියාමයි. වෙනත් භාෂාවකින් ලියූවත්, කොටින්ම මම මගේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (Research Papers) වලවත් කෙදිනකවත් ඌෂ්ණය ලෙස ලියනවා හැර එයට අදාල ඉංග්‍රිසි යෙදුමක යොදන්නේ නැහැ.

ඒකට හේතුව මගේ පිළිගැනීම නම් මෙය බටහිර විද්‍යාවට මෙතෙක් අසු වී නැතියමක්.

ඌෂ්ණය යන්නෙන් අදහස් කරන්නේ තාපයත් (Heat) නෙමේනම්, උෂ්ණත්වයත් (Temperature) නෙමේ නම් කුමක්ද මේ ඌෂ්ණය??

ඔබ දන්නවා වාහනයක් ගත්තහම එම වාහනයේ ක්‍රියාකාරීත්වයත් සමඟම එම වාහනයේ එන්ජිම ආශ්‍රිතව සහ ක්‍රියාකාරී කොටස් ආශ්‍රිතව ඉතා තදින් රත් වනවා ඔබ දැක ඇති. එම රත් වීම පාලනය කිරීමට වාහනයේ යම් උපක්‍රම යොදා තිබෙනවා. එසේ නොවුනොත් වාහනයේ සියුම් ක්‍රියාකාරී කොටස් වලට හානී වෙනවා. මේ යාන්ත්‍රනයම ජීවී ක්‍රියාකාරීත්වයකදීත් එසේම සිදු වෙනවා.

එනම් මනුෂ්‍ය ශරීරයේ ශක්තිය උපදවා ගැනීමට ආහාර නම් ඉන්දනය භාවිතා කරනවා. ආහාර අප ගන්නේ විශාල අණු වශයෙන්. එම අණු ඉතා කුඩා අණු බවටත්, එම අණු මගින් ශක්තිය නිපදවීමත් යන මේ සමස්ථ ක්‍රියාකාරිත්වයේදීම ශරීරය ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා. එම ශක්තිය වැය කිරීම් වලදී අප කලින් කථා කළ පරිදි ශක්ති හානියක් එසේත් නැත්නම් යම්කිසි ශක්ති නාස්තියක් සිදු වෙනවා. මෙතෙක් මිනිසා නිර්මාණය කළ සහ ස්වභාවය ධර්මයෙන් නිර්මාණය කළ කිසිම නිර්මාණයක් 100% ශක්ති පරිභොජන හැකියාවක් නොදැරීම මෙයට හේතුවයි.

වාහනයක මෙම ශක්ති පරිභෝජන පද්දතියේ යම් දුර්වල වීමක් ඇති වූ විට අප දන්නවා වැඩි ඉන්ධන ප්‍රමාණයකින් යා හැකි දුර සීමිත වෙනවා. නමුත් එහිදී වාහනයේ අදාල පද්දති නිසි තත්ත්වයට නැවත අළුත්වැඩියා කළ පසු එම දුර්වලතාවය මඟ හරවා ගත හැකිබව ඔබ හොඳින්ම දන්නවා. එයට අමතරව වාහනක් නම් නිසි තත්ත්වයෙන් එය නඩත්තු කලයුතුයි. එවිට අදාළ පද්ධති නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවා. එම නිසයි අපි කිලෝ මීටර 3000- 5000 අතරදී වාහනය යතාවත් කරන්නේ.

මනුෂ්‍ය ශරිරයත් ඇත්තෙනම යන්ත්‍රයක්. එහි ක්‍රියාකාරීත්වයටත් ඉන්ධන අවශ්‍යයි. ඒ වගේම එය නඩත්තු කළ යුතුයි. ඉන්ධන පරිභෝජන රටාවේ යම් වෙනස් වීමක් ඇතිවුවහොත් එය යතාවත් කළ යුතුයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව කියා කියන්නේ එයටයි. ඉන් සිදු කරන්නේ ශරීරය නම් යන්ත්‍රය යතාවත් කිරීම සහ නඩත්තු කිරීමයි.

වාහනයේ මේ රත්වීමට හේතුව එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීම හෙවත් ඉන්ධන දහනයේදී යම් ශක්ති ප්‍රමානයක් නාස්ති (Energy Wastage) වීමයි. මෙම නාස්තිවන ශක්තිය වාහනයේ එන්ජිම රත් වීමට යෙදවෙනවා.

එසේම ශරීරයේත් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීමේදී නාස්තිවන ශක්තියක් තිබෙනවා. එය ඌෂ්ණය ලෙසින් ශරීරය රෝගී කිරීමකට භාජනය කරනවා. ශරීරයෙන් ශක්තිය හානී වන ක්‍රමවත් රටාවක් පවතිනවා. ඉන් බැහැරව විශාල ලෙස ශක්තිය හානී වීම මෙහිදී අප ඌෂ්ණ ශරීරයක් ලෙස වරග කරනවා.

යමෙක් තම ශරීරයේන් දුම් පිටවන්නාක් වැනිදැනීමක් ඇතිවීම, අධික ලෙස කුස ගින්න නමුත් කොතෙක් කෑවත් ශරීර ශක්තිය නැති වීම, ක්‍රමයෙන් දුරවල් වීමක තමන්ට දැනීම, උදාසීන හැගීම දැනීම මෙවැනි දහසකුත් එකක් ලක්ෂන මෙහිදී ඇති විය හැකියි.

තවත් මෙහිදී යමෙක්ට අධික ලෙස ආසාත්මික රෝග ඇති වීමටද ඉඩක් තිබෙනවා. බටහිර විද්‍යාවෙන් මේ ආසාත්මික (Allergic) රෝග වලට කියන තවත් නමක් ලෙස ඌෂ්ණය හදුන්වනවා. නමුත් එය නිවැරදි නැහැ. එහිදී කිව යුත්තේ, ආසාත්මිකතාවය යනු ඌෂ්න ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක් පමණයි. මේ කාණ්ඩයටම වැටෙන තවත් එක් රෝගයක් තමයි අම්ල පිත්ත රෝගය එනම් ගැස්ට්‍රයිටීස් නමින් ඔබ හදුන්වන රෝගය මෙයත් ඌෂ්ණ ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක්.


මීලඟට බලමු ඌෂණයෙන් වලකින්නේ කෙසේද කියා. ගුරුමුෂ්ටියෙන් තොරව දෙන්නම් හැබැයි පස්සේ දවසක්.

Monday, December 5, 2011

කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්.

අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වටිනා බ්ලොග් අඩවියේ නොයෙක් වටිනා මාතෘකාවන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මෙවර අපිට නිතර අහන්න නොලැබෙන ඉන්දියාවේ යථා සවභාවය ගැන ලියූ ලිපිය මගේ මතකය බොහෝ අවධි කළ ලිපියක්. මේ කෙටි සටහන ලියවෙන්නේ එම අවධි වූ මතකයේ පියවරක් ලෙසයි.

මම මේ කියන්න යන කාරණාව ඔබ අසා ඇති. එහෙත් මට මේ ගැන ලිවීමට දැඩි ආශාවක් ඇති වූ නිසා මෙසේ සටහන් කර තබන්නම්.

ඔබ දන්නවා යම් යුවතියක් විවාහ වී අඹුසැමි සම්බන්ධතාවක් පැවැත්තූ පසු , එම සම්බන්ධතාවය නිසා ඇයගේ කණ්‍යාභාවය නැති වී යනවා. ගැහැණියක් බවට පත් වූ කාන්තාවකගේ ඊලඟ අරමුණ වෙන්නේ බොහෝ විට මවක් වීම. මේක තමයි ස්වභාව ධර්මයේ චක්‍රය.

නමුත් ඔබ දන්නවාද…………………...?

ඉන්දියාවේ සිටිනවා කාන්තාවන් කොට්ටාශයක් මොවුන් හැදින්වෙන්නේ දේවදාසියන් මෙතනිනුත් ඒ ගැන තව දැනගන්න පුළුවන්.)ලෙස. මොවුන්ගේ ඇති විශේෂය තමයි මොවුන් යම් යම් දේවාල වල සේවාවට කැප වූ අය. මොවුන් ඉතාමත් තරුණ වයසෙදීම තම දෙමාපියන් විසින් දේව සේවය සඳහා දේවාලවලට පූජා කෙරුණ යුවතියන්. මොවුන් තෝරා ගන්නේ හරිම අපූරු ක්‍රමයකට.

මුලින්ම මම මොවුන්ට අත්වන ඉරණම පිළිබඳව ඔබ දැණුවත් කරන්නම්. මේ කාන්තාවන් එදා දේව සේවයට බඳවා ගත්තත් ටික කලකින්ම මේ දේවාල වල සිටිනා වයසක කාමුක පූජකයන්ගේ මනදොළ පිරිමැසීමට මොවුන් යොමු කරනවා. ඒ සඳහා අදාල කාන්තාවගේ කැමැත්ත කිසි විටෙක වැදගත් වන්නේ නැහැ. මෙය එක්තරා ආකාරයක වහල් සේවයක්. මෙය නවීන සමාජයේ හැඳින්වෙන්නේ ලිංගික වහල්භාවය යන නමින්.

ඒ කෙසේ වුවත් මේ කාන්තාවන් පූසාරින්ගේ ආශාවන් ඉටු කිරීම යම් කලකට සිදු කළත් ඊටත් පසුව දේවාල හා සම්බන්ධකම් ඇති පොහොසත් මිනිසුන්ගේ මනදොළ සැපිරීමට යෙදවෙනවා. අවාසනාවන්ත ලෙස මොවුන් තම තාරුණ්‍යය අවසන් වන විට ලාභ ගණිකා වෘත්තියට යොමු කරනවා. අවසන ඉතාමත් අසරණව කෙටි කාලයකින් ජීවිතය අවසන් වෙනවා. කොතරම් ඛේදවාචකයක්ද………..?

අපරට ඇත්තෙන්ම මේ වැනි විකාර සමඟ බලත්දී සුරපුරයකම තමා.

ඉතා කුඩා දැරියන් ළමා මනාලියන් ලෙස විවාහ කරදී සැමියන් මළ පසු මේ ළමා වැන්දඹුවන්ද මේතත්ත්වයට පත් කරවනවා. ඒ ගැන අප රටටද කීර්තියක් අත් කර දෙමින් චිත්‍රපටියක් (Water) තිරගත වුනා. (මෙතනින් ඒ ගැන දැන ගන්න.)

මෙම සේවයට කාන්තාවන් තෝරා ගන්නේ අපූරු ක්‍රමයකට. ඒ තමා මේ කාන්තාවන් සියල්ල නොවුනත් යම් ප්‍රමාණයක් කණ්‍යාවක් වශයෙන්ම ගැබ් ගැන්නුනු අය වීම, (ඉන්දියානු සමාජයේ සමහර විට පවුලක දරිද්‍රතාවය නිසා ගැහැණු දරුවන් මෙලෙස දේවදාසියන් ලෙස දේවාල වලට පූජා කරන අවස්ථාත් තිබෙනවා. ඒ හැමගේ ඉරණම පොදු එකක්.)

ඇත්තෙන්ම මෙහිදී මට ඇවැසි වූයේ ඔබව මේ කන්‍යා ගැබ් ගැන් වීම පිළිබඳ දැනුවත් කරන්න.

මෙය විය හැකිද……...?

ඇත්තෙන්ම විය හැකියි. (ඔන්න ඒ පාර මේ ගැන අතුරු කථාවකුත් මතක වුනා. ඒකත් අදම කියන්නම්.)

අද ඉරිදා මේ කථාව ලියන්න ගත්තේ සෙනසුරාදා පාන්දර. කොහෙද ඊට පස්සේ අතවත් තියන්න බැරි වුනා. දැන් පටන් ගන්නම් නවත්තපු තැනින්.

මේ කන්‍යාවන් දරුගැබ් දැරීම කියන ප්‍රශ්නේ බටහිර විද්‍යාවත් එක්ක බොහෝම හැල හැප්පීම් ඇතිකල දෙයක්. මේ නිසා ඉන්දියානු යටත් විජිත යුගයේ නොයෙක් වාද විවාද ඇති වෙන්න පටන් ගැනුනා. මේ නිසා බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් මේ ගැන කළ පරීක්ෂණයකින් හෙළි වූ කරුණු ඉතාමත් විශ්මය ජනකයි.

එනම් මොවුන් මේ ගැබ් ගැන්නුනු කාන්තාවන් සමූහයක් ඇත්තටම ඔවුන් කන්‍යාවන්ද කියා බැලූ විට ඔප්පු වූයේ ඔවුන් සත්‍ය වශයෙන්ම කන්‍යාවන් බවයි.

දෙවනි වර මෙම විද්වතුන් පරීක්ෂා කළා ඔවුන්ගේ, මෙම සිද්ධිය සිදුවන කාලය. සමූහ වශයෙන් මෙවැන්නක් වීමට හේතුව, මෙම සංසිද්ධිය හා මෙම ජනයා අතර පවතින යම් යම් සිරිත් විරිත් අතර යම් සම්බන්ධයක් පවතිනවාද? වැනි විශාල තොරතුරු තොගයක්ම.

මින් ඔවුන්ට හැඟී ගියා. මෙවැන්නක් හැම විටම වන්නේ, හිංදූන්ගේ පූජනීය චාරිත්‍රයක් වන සමූහ වශයෙන් පැමිණ ගංගානම් නදියේ ස්නානය කරන සමයේ බව.
(මම ඔබට කියන මේ කථන්දරය ගැන තවත් විස්තර ඔබට බලා ගන්න පුලුවන් මෙතැනින්.)

මේ අනුව එලැබුනු නිගමනය වූයේ මේ චාරිත්‍රය හා මේ සංසිද්ධියේ යම් සම්බන්ධයක් ඇති බවයි. අනතුරුව ඔවුන් ගංගානම් නඳියේ ජලය පරීක්ෂා කලා. ඇත්තෙන්ම සත්‍ය හෙලු වූයේ එවිටයි. මේ ජලයේ මිනිස් ශුක්‍රාණු අඩංගු වී තිබුනා.

අධික සීතලකින් යුත් ගංඟානම් නඳියේ ජලයට පිරිමි බැස්ස විට නොදැණුවත්වම ශුක්‍ර පහ වී ඒවා ජලයට එකතු වීමෙන් ගසාගෙන ගොස්, ස්නානය කරන කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇතුලු වීමෙන් මෙය සිදුවන බවට මෙම විද්වතුන් උපකල්පනය කළා.

ශුක්‍රාණුවක් පැය හතරක පමණ කාලයක් සීතල ජලයේ ප්‍රාණවත්ව තබාගත හැකියි. ඒ වාගේම අධික සීතල ජලයට ඉබේ ශුක්‍ර පහවන තත්ත්වයකුත් ඇති වෙනවා. මේ ගැන මම විස්තර සොයද්දී මට දැන ගන්නට ලැබුනා. අපේ රටේ පැරන්නන් ජලය ස්නානය සඳහා ගංඟා තොටුපලවල් වෙන්කළ අපූරු ක්‍රමයක් ගැන, එනම් ඔවුන් හැම විටම පිරිමි නාන තොටුපළ සහ ස්ත්‍රීන් නාන තොටුපල වෙන වෙනම පිහිටුවනවා පමනක් නොවෙයි. මේ දෙකෙන් ස්ත්‍රීන් නාන තොටුපල හැම විටම ගංඟාවේ ඉහත්තාවෙන් පිහිටුවනවා. ඒ මේ සංසිද්ධිය නිසා නේද?
________________________________________________________________________

මම අර කලින් කිවු කථාව මේකයි. මේ සිද්ධියට මුහුණ දෙන්න මට සිදු වුනේ දැනට අවුරුදු 12 පමණ පෙරදියි. ඒ කාලයේ මම සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදියට රැකියාව කරන කාලේ. ගමේ හැම කෙනෙක්ම මාත් එක්ක හරි මිත්‍රයි. මේ ගමේ සිටි එක පවුලක සිටියා එක්තරා ගැහැණු ලමයෙක්. වයස මට මතක හැටියට අවුරුදු 18 විතර ඇති. ඒ ඒ ළමයාගේ උ/පෙ කාලේ. මේ ළමයා මිත්‍රවෙලා හිටියා ඒ ගමේම පිරිමි ළමයෙක් එක්ක. දෙන්නම මම හොඳින් දන්නා පවුල්වල ළමයි. දෙමාපියන් මගේ මිත්‍රයින්. නිතර මගෙන් බේත් හේත් අර ගන්නා පවුල්. එක් කාලයක් ආවා මේ ගැහැණු ළමයා නිතර ලෙඩ වනවා. කිසිම සනීපයක් නැහැ. මේ ළමයාගේ මව නිතර නිතර මා වෙත මැය රැගෙන එනවා. මට දැන් මේ ගැන පොඩි සැකයක් ඇති වුනා. මම පොඩි උපක්‍රමයක් යොදලා අම්මව පිටට යවලා, මගේ සාත්තු සේවිකාවක් සමඟ මේ ලමයාත් සමඟ පොඩි සාකච්ඡාවක් පැවැත්තුවා. මට මින් මගේ සැකය වැඩි වුනා. මේ දෙන්නටම (කොල්ලටයි, කෙල්ලටයි) හෙටත් අම්මලට නොකියා පැමිණෙන ලෙස දන්වා මම නිහඬ වුනා.

පසුවදා මේ යුවල මා හමුවට පැමිණියා. මුලින්ම ගැහැණු ළමයාගේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් ඇය ගැඹිනියක් බව මට වැටහුනා. මේ ගැන මේයාලව දැණුවත් කරලා, වෙන් වෙන්ව දෙදෙනාගෙන්ම ලබා ගත්ත තොර තුරු අනුව මොවුන් බාහිරව ලිංගික සංසර්ගයක යෙදීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ඇති වී ඇති බව මට වැටහුනා. මෙහිදී මට තේරුම් ගියා දැන් මම කරනා දෙයින් තමයි මේ ජීවිත තුන රැකෙන්නෙ කියන එක. මෙයාලට දැඩි විදියට අවවාද කරලා, දැන්ම අම්මලාට එන ලෙස දුරක්ථන ඇමතුම් ලබා දුන්නා. ඒ විගසම දෙමාපියන්ද පැමිණියා.

සිදු වී ඇති දෙය දෙපසටම තේරුම කර දීමෙන් පසු මට හෙටම මේ දෙන්නා විවාහ කර කසාද සහතිකය නොපෙන්නුවොත් මම දැඩි තීරණයක් ගන්නා බව පිරිමි පාර්ශ්වයේ දෙමාපියන්ට දැඩි ස්වරයෙන් පැවසීමෙන් තමයි ඒ ජීවිත තුනම බේරා ගන්නට කළ මගේ සටන අවසන් වුනේ. සියල්ල ඒ විදියටම සිදු වුනා.

ඇය උ/පෙ බාහිර අපේක්ෂිකාවක් ලෙස සම්පූර්ණ කලා. ඒ කාලයේම ඒ ළමයාට අන්තර් ජාතික පාසලක ගුරු තනතුරක් ලැබුනා. ලස්සන දරුවෙකුත් ලැබුනා.

අද හොදින් කොහේ හෝ ජීවත් වනවා ඇති.