Thursday, April 4, 2013

මිතුරාගේ පියාගේ නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම.

පළමු කොටස.
අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි.

කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු.

කායික රෝග ලක්ෂණ.
1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්.

අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

මේ තමයි පාකින්සන් රෝගය පිළිබඳ විස්තර.
විකිපීඩියාවෙන් ලබාගත හැකි විස්තර.

පාකින්සන් ඇති වීමට හේතු.

පාකින්සන් රෝගයේ ප්‍රභේද

මෙම රෝගය පිළිබඳ මෙයට වඩා විස්තර ඔබට ජාලයෙන් ලබාගත හැකියි. දිනක අපි ඒ ගැනත් කතා කරමු.
පාකින්සන් රෝගයේ ප්‍රභේද වලින් 4 වන ප්‍රභේදය වන මෙහිදී අපේ කතානායක පියා හා සමවන බවයි මගේ අදහස. එම නිසා අපි ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බලමු.

මෙය ශරීරයේ අනෙකුත් පද්ධතීන්ගේ ක්‍රියාවන් ද අඩාල කරන්නාවූ රෝගයකි. විශේෂයෙන් ම මොළයේ වෙනත් පද්ධතීන් හි ක්‍රියාකාරීත්වයේ විශාල වෙනස්කම් ද මින් ඇති විය හැකිය. එනම් ක්‍රියාකාරීත්වය අඩු විය හැකිය. ශරීරයේ සමබරතාවය අඩු වේ. ස්වයංසාධක පද්ධතියේ ක්‍රියාකාරීත්වය බොහෝ අක්‍රමවත් විය හැක. පේශීවල දැඩි බව ඇති විය හැකිය. ස්නායුක සම්බන්ධීකරණය දුර්වල වේ. මෙම ක්‍රියාවන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම මෙහිදී ඇති විය හැක.

බොහෝ විට වයස අවුරුදු පනස් ගණන්වල මැද සිටින අයට මෙය බහුල වේ.
මෙම රෝගීන් සහ පාකින්සන් රෝගීන් වෙන් වෙන්ව හදුනා ගැනීම ඉතා අපහසුයි. මෙම රෝගීන්ගේ රෝග තත්ත්වයේ වර්ධනය වේගවත් වීම සහ පාකින්සන් රෝගයට ලබා දෙන ඖෂධ වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන් ද මෙම රෝගය හදුනා ගැනීමට යම් උපකාරයක් ලබාගත හැකිය.

ඉහත අප සඳහන් කළ රෝග ලක්ෂණයන් වන ප්‍රචණ්ඩ වීම, අසභ්‍ය වීම, නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම, සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම, යන ලක්ෂණ ඇති වූ අන්දම දැන් ඔබට සිතා ගැනීමට හැකි යි සිතමි. මොළයේ අවක්‍රියාකාරීත්වය නිසා මෙම සියලුම ලක්ෂණ ඇති වේ.

නමුත් දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් අපේ මිතුරා පියා හා කළ සංවාදයයි. තව ද මිතුරා මළගිය ප්‍රාණකාරයෙක් හා පියා මාර්ගයෙන් කතා කිරීමයි. ඇත්තෙන්ම මෙය විය හැකි ද?
මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

නමුත් අමරාවික්කේපවාදීව නොව විද්‍යාත්මක පිළිතුරක් මෙයට ලබා දිය හැකිය. මම ඔබව දැන් බුදු දහම දෙසට ගෙනයමි.

ඔබට මතක ද? මා පසුගිය ලිපියේ කතා කළා චිත්ත, මන, විඤ්ඤාණ නම් මාතෘකාවක්. දැන් අපි බලමු ඉතා කෙටියෙන් සහ පාලියෙන් තොරව ඒ පිළිබඳ යමක් උගෙනීමට.

මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ.[1] මෙම චිත්ත, මන, විඤ්ඤාණ යන පදතුන වෙන වෙනම ගෙන ඉතාම කෙටියෙන් සලකා බැලීමට මම මෙහිදී අදහස් කරමි. නමුත් විඤ්ඤාණය පිළිබඳ වෙනම ඉදිරියේදී සලකා බලමු. (මගේ විෂය වන මඳසරුභාවය හා විඤ්ඤාණය අතර පවතින දැඩි සම්බන්ධය නිසා එය ඉතාම වැදගත් බැවින් එසේ එය වෙනම දිනක කතා කරමු.)

චිත්ත
චිත්ත සංකල්පය මිනිස් ඉතිහාසයේ මුල් යුගයේ සිටම මිනිසා විසින් ගවේෂණයට ලක් කෙරුණකි. බුදුන් වහන්සේගේ යුගයටත් කලින් එවැනි ගවේෂකයන් ඉන්දියාවේම විසූ බව ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, වැනි ශාස්ත‍්‍රෑන් පිළිබඳ සඳහන් වන සච්චක සූත‍්‍රයෙන් හෙලි වේ.[2] චිත්ත යන්නෙහි දී මනෝ, සහ විඤ්ඤාණ යන වචන දෙකෙන් ආවරණය නොවන මානසික ක්‍‍්‍රියාකාරීත්වය විස්තර කෙරේ. මානසික ක්‍‍්‍රියාවලියෙන් වැඩි ප‍්‍රමාණයක් මෙමගින් ආවරණය වේ. සිත කිලිටි වීම නිසා නොයෙකුත් රෝගාබාධ, සහ විවිධ ගැටලූ වලට ලක් වේ. එසේම සිත කිලිටි වන්නේ රාග, දෝෂ, සහ මෝහ වැනි අකුසල සහගත චිත්ත වේගයන් නිසාය.[3] කය හෝ මනස රෝගී වීම, අයහපත් චිත්ත වේගයන් ඇතිව යමක් කීම හෝ කිරීම නිසා සිදු වේ.[4] චිත්ත යනු සිතීම යන ක්‍‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයන්ගෙන්ගෙන් යුත් තත්ත්වය හෙවත් ඒවා රැස්කරගත් මානසික තත්ත්වය ලෙස විග‍්‍රහ කළ හැකිය.
මේ අනුව පුද්ගලයෙක් ගොඩනඟාගත් මානසික පදනම ”චිත්ත” යන පදයෙන් නියෝජනය වේ. පෘථග්ජන මානසිකත්වයේ ඇති සැලෙන සුළු බව ,

”ඵන්දනං චපලං චිත්තං”

යනුවෙන් දැක්වේ. ලෝකය මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස මානසික ක්‍රියාව දැක්වීමට යොදා ගෙන ඇත්තේද චිත්තයි.[5] චිත්තය යටි සිත , එසේත් නොමැති නම් උපවිඤ්ඤාණය ලෙසද හඳුන්වා දියහැක.

චෛතසික
සිත හා නොබිඳී පවතින සිත හා ඒකාබද්ධව පවතින ධර්මතාවක්, හෙවත් චිත්ත ගතිය චෛතසික නමින් හැඳින්වේ.
බෞද්ධ සූත‍්‍ර සාහිත්‍යගත සූත‍්‍රයන් අනුව බැලූ විට පහත සඳහන් සූත‍්‍ර මගින්ද චිත්ත සහ චෛතසික පිළිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කළ හැකිය. 1. මජ්ඣිම නිකාය චත්ථූපම සූත‍්‍රය,[6] 2. එම චූළහත්ථිපදෝපම සූත‍්‍රය,[7] 3. එම සතිපට්ඨාන සූත‍්‍රය,[8] 4. එම සබ්බාසව සූත‍්‍රය,[9] 5. එම දන්තභූමි සූත‍්‍රය,[10] 6. සංයුක්ත නිකාය අන්තරක්ඛිත සූත‍්‍රය,[11] 7. එම ගද්දුල බද්ධ සූත‍්‍රය,[12] 8. අංගුත්තර නිකායේ නිබ්බේධිත සූත‍්‍රය,[13] යනාදී සූත‍්‍ර ද මේ සදහා නිදසුන්ය.

මනෝ
ඇස, කන, නාසය, කය සහ දිව යන ඉන්ද්‍රිය්‍යන් පහට ”මන” ඉන්ද්‍රිය එක් වූ විට ශරීරයේ ඉන්ද්‍රිය්‍යන් සංඛ්‍යාව හයක් බවට පත් වේ. මෙහි අදහස ”මන” යනු ද ඉන්ද්‍රියක් බවයි.[14] පසිඳුරන් දියුණු කළ හැකිය. හික්මවිය හැකිය. මනසද හික්මවීම මෙන්ම දියුණු කිරීමද කළ හැකි බව මේ අනුව තේරුම් ගත හැකිය. අනෙක් ඉන්ද්‍රිය්‍යන් පහද මනසද රැකගැනීමෙන්ද, හික්මවීමෙන්ද, දියුණුවට පත් කිරීමෙන්ද, සිදු වන්නේ යහපතකි. ඇස, කන, නාසය, දිව, කය යන පසිඳුරන් මගින් විවිධවූ සංවේදනයන් ලබා ගනී.[15]

මනෝ යන්න ධම්ම නම් වූ ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ ක්‍‍්‍රියාත්මක වේ.

චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපචරති..... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපචරති..

මනස ඉන්ද්‍රියක් වුවත් අනෙකුත් ඉන්ද්‍රියන් මෙන් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියක් ලෙස ක්‍‍්‍රියාකරන බව පෙනේ.[16]

මනස සහ චිත්තය
නූතනයේ දී චිත්ත සංකල්පය පිළිබඳ සාකච්ඡ කරන විට මනස යන්න පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරයි. ඒ නුව මනසේ ප‍්‍රධාන කොටස් දෙකක් දකවාලිය හැකිය. 1. සඤ්ඤි මනස - මනස ලෙසින් මස්තිෂ්කය හෙවත් මොළය අදහස් කරයි. 2. උපවිඤ්ඤාණය යනුවෙනි - එනම් චිත්තය යි. ගුණපාල ධර්මසිරි මහතාගේ දාර්ශනික ප‍්‍රශ්න නම් ග‍්‍රන්ථයේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් අඩංගු වේ.[17]

දැන් ඔබ ඉතා පැහැදිලිව ඉතා දළ අදහසක් ලබා ගත්තා චිත්ත, මන, විඤ්ඤාණ සම්බන්ධව. මේ කතාව කොහොම ද අපේ මිතුරාගේ සිද්ධිය හා සම වන්නෙ. අන්න එතැන තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු තිබෙන තැන වන්නෙ. දැන් නැවත මම ඔබට පොඩි කාරණයක් කියන්නම්. අපේ රටේ සිටි මහත් දැනුමක් තිබූ යතිවරයාණන් කෙනෙක් තමයි වල්පොල රාහුල කියන්නෙ. එතුමා ගේ What the Buddha taught ග්‍රන්ථයේ තිබෙනවා මේ සටහන. අපි එතැනින් මේ ගැටලුව ලෙහන්න පටන් ගමු.

Right mindfulness (or attentiveness) is to be diligently aware, (1) KAYA, (2) Sensation or Feeling (VEDANA), (3) the activities of the mind (CITTA) and (4) Ideas, Thoughts, conceptions and things (DHAMMA). [page 48]

මෙහි සිංහල අර්ථය වන්නේ,
සම්මා සතිය නම් (1) කාය හෙවත් ශරීරයේ පැවැතුම්, (2) වේදනා, (3) චිත්ත හෙවත් සිතෙහි පැවැතුම්, (4) ධම්ම හෙවත් අදහස් සිතුවිලි හැඟීම් ආදිය යන මේවා පිළිබඳ මනා සිහියයි.

එනම් මනස යනු ඉන්ද්‍රියකි. මන යන ඉන්ද්‍රියට ගෝචර වන සිතුවිලි හැඟීම් අදහස් යන ධම්ම යනු මනසේ ක්‍රියාව නිසා ඇතිවන ඵලය යි. මේ කාය යනු පුද්ගල භාවයේ භෞතික තත්ත්වය යි. මේ අනුව මනේන්ද්‍රිය, ධම්ම, වේදනා සහ කාය යන මේවායේ සමායෝජනය නිරෝගී පුරුෂයා ය.

අපේ මිතුරාගේ පියා මනෙන්ද්‍රිය දුර්වල අයෙකි. එයට හේතු දෙකක් ඇත.
1. ඔහුගේ සිතුවිලි මේ කථාවේ අන්දමට පෙර ඔහුගේ දිවියේ ගැටලු ද පසුකාලීන දිවියේ ගැටලු ද නිසා දුර්වල වී ඇත. නිහඬ චරිතයක් බැවින් එම පසුගාමී චිත්තය ඔහුට මහත් පීඩාවක් ඇති කරයි. එය මනසේ ඒකාග්‍රතාවයට බාධාවකි. ප්‍රතිඵලය මානසික ආතතියයි.
2. ඔහු පෙළන කායික රෝගීතාවයන් ද හුදු මනේන්ද්‍රිය දුර්වල වීම නිසාම ඇතිවන ඒවාය. එය ද ඔහුගේ චිත්ත, වෛතසික, කායික ඒකාග්‍රතාවය සහ සමායෝජනය සමබරව පවත්වා ගැනීමට බාධාවකි. මේ නිසා යම් ආතතික තත්වයක් ඇති වේ.

දැන් අපට පහසුවෙන් පියාගේ රෝගී තත්ත්වයන් දෙකක් හඳුනා ගැනීමට හැකිය. ඒ ඉතා සුළු මානසික ආතතියක් සහ පාකින්සන් රෝගයේ හතරවන ප්‍රභේදය වන Multiple System Atrophy (MSD) යි.
මෙම රෝග දෙකෙන් පියා පෙළෙන බව මේ අනුව පැහැදිලිය. ඒ එසේ නම් ඔහුට යම් සුවයක් ආවේ කෙසේ ද? ඒ පිළිබඳ සදුදාට පමණ සලකා බලමු.

තවත් ගැටලුවක් ඇත. මිතුරා සමග කතා කළ මළගිය ප්‍රාණකාරයා කවුද? ඒ පිළිබඳත් සදුදාටම කතා කරන්නම්.

References
1. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
2. මජ්ඣිම නිකාය 01, මහා සච්චක සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 566.
3. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය තෘතීය භාගය, බු. ජ. මු. 2006, පිටුව 260.
4. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, යමක වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 26.
5. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, චිත්ත වග්ගය වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 34.
6. මජ්ඣිම නිකාය 01, වත්ථූපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 264.
7. එම, චූළහත්ථිපදෝපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 426.
8. එම, සතිපට්ඨාන සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 134.
9. එම, සබ්බාසව සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 18.
10. මජ්ඣිම නිකාය 03, දන්තභූමි සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 304.
11. සංයුක්ත නිකාය 01, අන්තරක්ඛිත සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 136.
12. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 256.
13. අඬ්ගුත්තර නිකාය 04, නිබ්බෙධික සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 200.
14. බුදුන් වදාළ ධර්මය, වල්පොළ රාහුල හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 2010, පිටුව 31.
15. මජ්ජිම නිකාය 03, බු.ජ.මු. 2006, පිටුව 180.
16. මජ්ජිම නිකාය 03, බුද්ධ ජයන්ති මුද්‍රණය, 2006, පිටුව 180.
17. දාර්ශනික ප‍්‍රශ්න, ගුණපාල ධර්මසිරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොළඹ 1970, පිටුව 71.

Wednesday, April 3, 2013

මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ.

ඔබට මවිසින් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණ බුදුදහම, ආයූර්වේදය සහ මනස සම්බන්ධ ලිපිය පළ කර ටික දිනකින් මගේ මිතුරෙක්ගෙන් මට ලැබුණු මේලයක සඳහන් විස්තර මෙහි දක්වමි. එය මගේ ද මිතුරාගේ ද සංස්කරණය ට ලක් වූවකි. එය ලැබීමත් සමඟ මම මගේ ඉදිරි ලිපි කීපය එය පාදක කරගෙන ඔබට ලබා දීමට අදහස් කළෙමි. මේ එහි පළමු පියවරයි.

කොග්ගල නිලමේ පොත ගැන 'පොත් කියවන අය' පිටුවේ තිබුණු සංවාදය දුටුවා. මට ඊට අදාළ අත්දැකීමක් තිබෙන නිසා ඒ ගැන ඔබතුමාට කියන්න හිතුනා. පුද්ගලික සීමාවන් නිසා මේක බ්ලොග් එකේනම් ලියවෙන එකක් නැහැ.

මීට වසර 8කට විතර කලින් හදිසියේම මගේ තාත්තා අස්වාභාවික විධියට හැසිරෙන්න පටන් ගත්තා. හැසිරීමත් සිහි කල්පනාවත් දෙකම. ඔහුගේත් , ගෙදර අයගේත් ආරක්ෂාවට බැඳ දමා තැබීමට සිදු වන තරමට.

ඔහුගේ හැසිරීම විටින් විට වෙනස් වුනා. වෙලාවකට බොහොම අහිංසකයි (හැබෑ මනුස්සයාටත් වඩා  ), වෙලාවකට ප්‍රචණ්ඩයි, සමහර වෙලාවකටඅසභ්‍යයි (නිරුවතින් සිටීම, කුණු හරුප කීම , තවත් වෙලාවකට කතා කර ගන්න බෑ. සමහර වෙලාවට සිහි මුර්ඡා වෙලා වගේ. කටහඬ පවා වෙනස් ඒ මොහොතේ චරිතයේ හැටියට.

පාලනය කර ගන්න බැරි වුනාම අපට වෙන විසඳුමක් තිබුනේ නැහැ, අංගොඩ රෝහලේ නවත්වනවා හැරෙන්න. එහෙදිත් කිසිම වෙනසක් වුනේ නැහැ. නමුත් පහර කෑමක් නිසා තුවාල වෙලා සති දෙකකින් විතර අපි ආපහු ගෙදර එක්කරගෙන ආවා.

ඒ වෙන කොට තත්වය හොඳටම දරුණුයි. වෛද්‍යවරුන්ගේ මතය වුනෙත් කරන්නට කිසිම දෙයක් නැති බව.

අත් උදව්වට හිටපු මනුස්සයාවත් මරන්න හැදුවට පස්සේ, අන්තිමට අම්මයි, මමයි ගියා පංසලේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උත්තරේ වුනේ ගෙදර භූත විමානයක් කියන එක. හාමුදුරුවන්ගේ මතය වුනේ අමනුෂ්‍ය අය කීප දෙනෙක්ගේම බලපෑමට අහු වෙලා ඉන්නේ කියන එක සහ පිං කම් , අනුමෝදන් කිරීම් දිගටම කරන්න ඕනි කියන එක, ඒ අය පිටත් කරලා යවන්න.

එදත් ඉතින් පුරුදු විදියට මට පහර දෙන්න ආවම , බිම දා ගෙන ගැට ගැහැව්වා. මට තර්ජනය කරන කොට, මම කිව්වා, ඔය කතා කරන කෙනා මගේ තාත්තා නෙවෙයි කියල මම දන්න බවත් අහිංසක මනුස්සයෙකුට වැහිලා කරදර කරලා තවත් පවු පුරවා ගන්න එපා කියල. එතනදී ඒ කෙනා පටන් ගත්තා මාත් එක්ක කතා කරන්න. මගෙන් ඇහැව්වා ඇයි උඹලා පරම්පරා ඉඩම් ____ට (කුලහීන කියල කියවෙන පිරිසක්) දෙන්න හදන්නේ කියල. පාවිච්චි නොවන ඉඩමක් ඒකෙ අසල්වැසියෙකුට විකුණා දාන්න හිටියා තාත්තා. ඒ කතා කරපු කෙනා ඒ ඉඩමට බැල්ම දා ගෙන ඉඳල. ඒ දේ නොකරන්න මම පොරොන්දු වුනා. කතා කරන කෙනා කවුද කියල දිගින් දිගටම අහන කොට කිව්වා, ඒවා උඹල දැනගෙන වැඩක් නැහැ. අපි කොහොමත් මැරිච්ච මිනිස්සු කියල. පස්සේ නම කිව්වා, අපේ පරම්පරාවේ කාලයකට කලින් හිටපු කෙනෙක්.

තවත් තියෙන ප්‍රශ්න මොනවාද කියල ඇහැව්වම කිව්වා තව 5දෙනෙක්ම ඉන්නවා.තමන් එහෙ මෙහෙ වෙන කොට රිංගන්න බලං ඉන්න බව. පිං අනුමෝදන් කිරීම් කලොත් යනවද කියල ඇහැව්වම, මගෙන් ආයේ පොරොන්දුවක් අරගෙන අනිත් අය ගැනත් බලා ගන්න බව කිව්වා.

ඊට පස්සේ තාත්තා සාමාන්‍ය තත්වෙට ආවා. මාස කීපයක් යනකන් ටික ටික පරණ දේ විශේෂයෙන් ගොළු චරිතය සමහර වෙලාට පෙන්නුවත් පස්සේ ඒවත් නතර වුනා. අපිත් දිගටම දාන, බෝධි පුජා වගේ දේවල් කලා.

අර සංවාදෙට පස්සේ අර කෙනා ආයේ මාත් එක්ක කතාවට ආවෙත් නැහැ. කොග්ගලගේ වගේ ඇදුනු කේස් එකක් නෙවෙයි. වන් ඩේ සෙෂන් එකක්. . දැන් අවුරුදු 8ක් විතර ගත වෙලා.ආයේ එහෙම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මේ සිදු වීම අදටත් දන්නේ මමත්, අම්මත් පමණයි. තාත්තට එහෙම දෙයක් මතක නැහැ. අපි මතක් කරන්න ගියෙත් නැහැ. ඔබතුමාට කියන්නෙත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන බව දන්න නිසා. ඒ හැසිරීම් මානසික රෝගයක් නිසා කියල කියන්න පුළුවන්. ඒත් අර අත්දැකීම් එක්ක මට එහෙම දැනෙන්නේ නැහැ.

ඒ කතාව කොහේ හෝ ලියවිය යුත්තක්. ඒ කාලයේ මට පියාට පහර දී පාලනය කරන්න ගැට ගසා තබන්න පවා සිදු වුනා. අර අවසාන සංවාදෙට පස්සේ ඔහු මට වැන්දා.  . පුතෙකුට ලැබෙන දුර්ලභ අත්දැකීම් ගොඩක් ලැබුණු කාලයක් ඒක.

තාත්තා නතර කළ රෝහලේම කලින් තාත්තත් ටික කාලයක් සේවය කරලා තියෙනවා , ඔහුගේ දෙවෙනි රැකියාව සාත්තු සේවකයෙක් හැටියට. ඉන් පසුව තමයි වැඩි දුර ඉගෙනීම් කරල තියෙන්නේ.

මම තාත්තගේ පුද්ගලික පසුබිම ගැනත් ටිකක් කියන්නම්. ඔහු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටපු පවුලක බඩපිස්සා. දෙමාපියන්, වැඩිමහල් සහෝදරය සහෝදරයින් එක්ක ඔහුගේ ලොකු වයස් පරතරයක් තිබුණු නිසා කාගෙත් හුරතාලා හැටියට හැදිලා තියෙන්නේ. ඒ පවුලේ මුල දී ආර්ථික ස්ථාවරයක් තිබිල තිබුනත් ඔහුගේ පියා මිය ගිහින් කාලෙකට පස්සේ ඔවුන් හොඳටම ආර්ථිකව වැටිලා තියෙනවා. ඒ වුනත් වැඩිමහලු සහෝදරයෝ තමන්ට පුළුවන් වෙන කොට පවුල හොඳ මට්ටමකට ගේනවා. එක්කෙනෙක් ඇරෙන්න පවුලේ දරුවෝ ඉගෙන ගත්තා.

පාසැල් යාම අවසාන වුනාට පස්සේ තාත්තා ගුරුවරයෙක් හැටියට, රෝහල් සාත්තු සේවකයෙක්, පසුව ලිපි කාරයෙක් හැටියට වැඩ කරල තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔහු දිගටම රජයේ සේවයේ ඉන්නවා. පසුව යෝජනාවක් නිසයි මගේ මවත් එක්ක විවාහ වෙන්නේ. මගේ මව පවුලේ එකම දරුවා, ඇගේ පියා හොඳ සිවිල් බලයක්, ධනයක් තිබුණු කෙනෙක්. ඔහුගේත් හැකි කාලයේ වටේ සිටි පිරිස , ඔහු රෝගී වෙලා දුර්වල වෙන කොට ඉවත් වෙනවා. ඉතින් මගේ මවටත් මිත්තනියටත් වෙන්නේ තිබුණු දේපල සහ වෙනත් දේ විකිණීමෙන් හා සුළු ආදායම් වලින් ජීවත් වෙන්න. අන්තිම කාලයේ උදව්වට එහෙමට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ. කොහොමින් හරි මගේ මවට සිද්ධ වෙනවා මේ තත්වේදී අවුරුදු 19දීම විවාහ වෙන්න. හැබැයි දුටු පමණින් මගේ පියාට කැමති නොවුණු බව තමයි කියන්නේ. පියා මවට වැඩියේ අවුරුදු 10කින් වැඩිමල්. මට මේක හරියට දැන ගන්න ලැබුනේ නැහැ. නමුත් කාල සීමාවල් සැලකුවහම පැහැදිලියි විවාහ වෙලා අවුරුදු 10ක් විතර යන තෙක් ඔවුන්ට දරු ඵල නොලැබුණු බව.

ඊ ලඟට තාත්තා තමන්ට පුළුවන් උපරිමේ කලත් , මවගේ දේපල වලින් ඉතිරි වෙලා තිබුණු දේ වලින් උපරිම ආදායම් ගන්න බැරි වෙනවා සමාජයත් එක්ක , වංචා කාරයෝ , තන්හා කාරයෝ නිසා අපේ පවුලට ලැබෙන්න තිබුණු ධනය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ _____________ තියෙන පැත්තක් නේ. අපට හිමි දේ හරියට ලැබුන නම් අද අපි කෝටිපතියෝ.  . අදටත් මට පවා ඔය ගැටළු තියෙනවා, මම ____________ කර්මාන්තෙට යන්නේ නැහැ. ඉඩම් හවුල් කාරයින්ගෙන් කරදර වෙන කොට මවත් පියාත් කලේ බැරිම අවස්ථාවේ ඒවා විකුණන එක.

තාත්තා අන්තිමට හිටියේ ____________ සේවාවේ භාෂා පරිවර්තකයෙක් හැටියට. සමහර වෙලාවට __________ ගේ රාජකාරියත් කරන්න වෙනවා. ඒ අතර තුර ඔහුට ආයතන ප්‍රධානීන්ගේ බලපෑමට යටත් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට විරුද්ධව කරන්න දෙයක් ඔහුට නැහැ. අවසානයේ 1990 හරි 1991 හරි ආපු විශේෂ චක්‍රලේඛයක පිහිටෙන් ඔහු අඩු වයසෙන් විශ්‍රාම ගන්නවා.

විශ්‍රාම යාමෙන් පස්සෙත් තාත්තට කරන්න වෙන්නේ දේපල බලා ගැනීමත්, ඔහුට පුළුවන් දේ ඔහු කලා වගේම අපි රැකියාවක් කරලා ඉපයීමක් කර ගන්නකන් ඔළුව උස්සගෙන ජීවත් වෙන්න උවමනා දේ ඔහු හොයලා දුන්නා. නමුත් පසුව පාකින්සන් රෝගය සමග කායිකව දුර්වල වීමෙන් ඔහු ගෙදරට සීමා වෙනවා. පාකින්සන් හැදෙන්නෙ ඒ රෝගයට අවුරුදු 3, 4 කට කලින්. අදටත් ඒකට බෙහෙත් බොනවා.

අක්ක කෙනෙක් ඉන්නවා. විවාහ වෙලා වෙනම ඉන්නේ. මම දැන් ටයිප් කරමින් හිටියේ එයා ගැන තමයි. එයා අල්ලපු ගෙදර කොල්ලත් එක්ක යාළු වෙලා හිටියා. ඒ සම්බන්ධයෙ නොගලපෙනේ දේ බොහොම තිබුනා. අන්තිම වෙනකන් අම්මා තාත්තා මේ ගැන දැන ගත්තේ නැහැ, දැන ගත්තහම කලබල නොවී ඇයව ඒ උගුලෙන් බේර ගත්තා. නමුත් ලැජ්ජාවට පත් වුනා......

ඒ කොයි කාලෙද රෝගයට කලින් ද පසුවද?

කලින්

තාත්තට මිතුරෝ හිටියා, සීමිත පිරිසක්, පසුබිම සමාන අය. ගොඩක් අය රැකියාවේදී මුණ ගැහුණු අය. මත්පැන් පානයට එහෙම ඇබ්බැහි වුනේ නැහැ.
අම්මා ගැන තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.
ඇත්තටම ඇල් වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයෙක් තාත්තා. 

අවංකවම කියනවානම් ඉතින් විය යුතු සමහර දේ මග ඇරෙනවා, කාර්යබහුල වීම නිසාම. ඒ වගේම තාත්තාගේ කායික දුබල කම් නිසා ඔහු තවත් ගෙදරට සීමා වෙනවා. උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට ඔහුට උවමනා වෙනවා දුර ගමනක් යන්න, නමුත් එතනට යන කොට ඔහුට බොහොම වෙහෙසයි. ආපහු යන්න ඕනි වෙනවා. අනුරාධපුරේට ගිහින් පැයකින් හැරිලා ආපු වෙලාවල් තියෙනවා. ඒ නිසා දැන් එක් දින ගමන් එහෙම යන්නෙත් නැහැ, යනවනම් දවසේ ගමන මග නතර වෙවී දවස් 3කින් විතර යන්නේ. ලඟ තැනකට වුනත් අපි කාටවත් විවේකයක් නැතිනම් යැවෙන්නේ නැහැ.

අද නම් මට කරන්න වෙන්නෙ බොහොම අමාරු රාජකාරියක්. මේ මගේ බ්ලොග් මිතුරෙක්ගේ කතාවක්. ඔහුගේ අනන්‍යතාවය අපට වැඩක් නැහැ. මෙය සම්පූර්ණ සත්‍ය කතාවක්. මම උත්සාහ කරනවා මනස පිළිබඳ යමක් ඔබට කියන්න මේ කතාව හරහා.

"සිත මහ පුදුම තැනක්"

මේ කථාවේ සඳහන් අපේ මිත්‍රයාගේ පියා අපේත් පියාණෙ, අපි ඒ නිසා එතුමා මෙහිදී "පියා" නමිනුත් අපේ මිත්‍රයා "මිතුරා" නමිනුත් හදුන්වමු. (අපේ පහසුව සඳහා.)

ඊළඟට අපි මේ කතාව විශ්ලේෂණයට භාජනය කරමු.

එතැනදී අපිට මුලින්ම වැදගත් වන්නෙ පියාගේ සාමාන්‍ය තත්ත්වය.
1. පියාණන් යමක් කමක් ඇති පෙළපතක අයෙක්.
2. පවුලේ බාලයා.
3. ඒ නිසාම නොයෙක් සුරතල මැද හැදුණ අයෙක්. විශේෂයෙන්ම වැඩිහිටි සහෝදරයන් සිටින තැනක ටිකක් වයස් පරතරය වැඩි බාලයා බොහොම වාසනාවන්තයි. කාගෙත් ආදරය ලැබෙනවා. පියා පවා වැඩියෙන්ම ආදරේ වන්නෙ එයාට.

එම පියා කළ රැකියාවන්.
1. ගුරුවරයෙක්,
2. සාත්තු සේවකයෙක්.
3. උපාධිධාරියෙක් ලෙස රටේ ඉහළ යැයි සම්මත රජයේ රැකියාවක්.

පියාගේ සාමාන්‍ය දිවියේ චරිත ස්වභාවය
1. බොහොම නිවුණු අහිංසක අයෙක්.
2. උගතෙක්.
3. නිහඬ චරිතයක්.
4. තම සහෝදරයින්ට, බිරිඳට, දරුවන්ට බොහෝ ආදරය කළ කෙනෙක්.
5. තම පරම්පරා දේපල වලට ප්‍රිය කළ කෙනෙක්.
6. තම තත්ත්වය පිළිබඳ සිතූ කෙනෙක්.
7. ඉවසිලිවන්තයෙක්.
8. තම නම්බුව පවුලේ නම්බුව වැනි දේ පිළිබඳ බොහෝ ඉහලින් සිතන අයෙක්.

පියාගේ මුල් කාලීන දිවියේ කඩා වැටීම්,
1. කුඩා කලම පිය සෙනෙහස අහිමි වීම.
2. එනිසා ආර්ථික අපහසුවක් ඇති වීම.
5. ඊරිසියාකරුවන්ගේ නොයෙක් ප්‍රශ්න.
6. මැදිවියට එනතෙක්ම විවාහය පමා වීම.
7. විවාහ වී කලක් යනතුරුම දරුවන් නොසිටීම.

පියාගේ පසු කාලීන දිවියේ ඔහුට ඇතිවූ ප්‍රශ්න
1. පාරම්පරික දේපල පිට යාම.
2. දේපල සම්බන්ධයෙන් ඇතිවන නොයෙකුත් ප්‍රශ්න. එම ප්‍රශ්න නිසා වතුපිටිවල ආදායම් නිසි පරිදි නොලැබීම. නමුත් එම ඉඩකඩම් වලින් වෙනත් අය බොහෝ ආදායම් රැස් කිරීම. අකමැත්තෙන් වුවත් ඉඩම් වෙනත් අයට අයිති වීම වැළැක්වීම සදහා පිටට විකිණීමට සිදු වීම.
3. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුවීම. රැකියාව කරණ තැන ඇතිවන නොයෙක් ගැටලුවලට පියා සතු විසදුම් නොවීම. රැකියාවෙන් කලින් ඉවත්වීම.
4. දියණිය නිසා ඇති වූ ලැජ්ජාව.

දැන් අපිට මේ පුද්ගලයා හදුනා ගැනීම ඉතාම පහසුයි.
මෙතුමා ආර්ථික අපහසුකම් වලට ලක්වන, එසේ වුවත් සම්ප්‍රදායික ධනයක් ඇති, උගත්, ඉතාම වැදගත්, නම්බුව දිවිය සේ සලකන, පැරණි ධනපති පංතිය නියෝජනය කරන කෙනෙක්.
බොහෝ අයගේ අසාධාරණකම් වලට ලක් වන නමුත් ඒ සියල්ල ඉවසන, තම පුද්ගලික දිවිය සාමකාමීව ගෙවන අහිංසකයෙක්.
රැකියාවේ තෘප්තිය නොලද්දෙක්. ඒ නිසාම දිවිය පවුලටම කැපකළ කෙනෙක්. තමාගේ තත්ත්වයට ගැලපෙන සීමිත මිතුරු ඇසුරක් ඇති අයෙක්.

මින් මෙතුමාගේ සමාජ ආර්ථික, මානසික තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න හැකියි.
පියාගේ රෝග තත්ත්වයේ විග්‍රහයක් කර බලමු.


මේ තමයි රෝග ලක්ෂණ.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

පියාගේ කායික තත්ත්වය

මට හිතෙන හැටියට නම් ඔහු නීරෝගීව සිටියත් බොහෝ සවිශක්තිමත් අයෙක් නෙමෙයි. අපි අපේ මිත්‍රයගෙන් ඒ පිළිබඳව විමසාම මෙහි අනෙක් අර්ධය හෙවත් මනෝ විශ්ලේෂණය කරමු. මේ මින් නවතමු. දෙවනි කොටසින් රෝගය පිළිබඳ අවසාන විග්‍රහය බලමු. තුන් වැනි කොටසකට නොයා සිටීමට සිතනවා. නමුත් මෙහි බෞද්ධායූර්වේද කොටස දෙවනි කොටසින් ගෙනෙන්න බැරි වුවොත් තුන් වැනි කොටසක ට යනවා.