Thursday, June 21, 2012

101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස.

මේ දෙවනි කොටස.

පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි.

මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........

අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා.

සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ.

අපි මේ කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කර ගත යුතු නිසා මමත් මගේ මිත්‍රයත් මේ ගැන බොහෝ සොයා බැලීම් කළා. ඉන් අපට දැන ගන්න ලැබුනු දේවල් බොහෝමයි.

මෙතැන් සිට ලියන දේවල වගකීම මම ගන්නවා.

අපි මේ කතාව නිසි අයුරින් අධ්‍යනය කරමු. එහිදී,
1.පුරාවිද්‍යාත්මක සාධක.
2. සමාජ විද්‍යාත්මක සාධක.
3. විඤ්ඤාණමය සාධක.
යන මේ සියළුම අංශයන්ගෙන් මේ අධ්‍යනය කළ යුතුයි.

1.පුරාවිද්‍යාත්මක සාධක.

පළමුව අපි සොයා බැලුවා මේ කරුණු ඇත්තද කියලා. එහිදී අපිට පෙනුණු දෙයක් තමයි වැලිකල මහතා කියන දේවල් 100% ඇත්ත බව. නමුත් මේ දිවා ගුහාවද කියන සැකය අපිට තදින්ම තිබුණා. ඒ ගැන තවමත් අපි සොයනවා. ඊයෙත් (2012/06/18) මගේ මිත්‍රයා මට කතා කළා. එතුමා (මෙහිදී නම සඳහන් කළ නොහැකි ) භික්ෂූන් වහන්සේ නමක් හමු වී මේ ගැන විචාරා තිබුණා. එතුමාගේ මතයත් මේ දිවා ගුහාව නොවන බවයි. මේ භික්ෂූන් වහන්සේ මා ඉතාමත් ගරුකරන තෙර නමක්. වගේම ලිවිය යුතු කතාවක් උන් වහන්සේ වටාත් තිබෙනවා. නමුත් තවම මට ඊට අවසරය ලැබුණේ නැහැ.

අපිට දැනගත හැකි වූ කරුණු අනුව මේ ස්ථානය අවට විශාල ගුහාවල් කීපයක්ම තිබෙනවා. විශාල ගල් ගුහාවක්ම දිවා ගුහාව විය යුතුයි. මොකද බුදුන් වහන්සේ සමග 500 රහතුන් වහන්සේලා පැමිණි බව දැක්වෙන නිසයි. මා මෙහිදී ස්ථානයේ ආරක්ෂාව ගැන සිතා තැන ගැන වැඩි විස්තර නොලියා ඉන්නම්. දැනට දිවා ගුහාව ලෙස හඳුනා ගෙන තිබෙන ස්ථානයට කිට්ටුවෙන් තවත් විශාල ගුහාවක් තිබෙනවා මේ ගුහාවේ පැත්තකට වෙන්නට පොකුණක් තිබෙනවා. බුදුන් වහන්සේ වැඩ හිටි ගුහාවේත් මෙලෙසම පොකුණක් තිබී තියෙනවා. නමුත් වැලිකල මහත්මයා කියන ගුහාවේ මේ පොකුණ තිබෙන්නේ ස්වභාවික ලෙස තිබුණු එකක් නෙමෙයි. කෙසේ හෝ මේ කිසිවක් දිවාගුහාව ලෙස පිළිගන්නට තවම කල් වැඩි බවයි මගේ කල්පනාව.

මේ නව ගුහාවේ කිසිම සොයා බැලීමක් තවම කර නැහැ. ඒ වවුල් විමානයක් ලෙසම තවම තිබෙනවා. ඉක්මනින් දිනක අප එහි යනවා. එදිනට ඔබට ඒ ගැන කියන්නම්. මෙම ගල් ගෙවල් එකල සිටි යක් ජනයාගේ ප්‍රධානම වාසස්ථානයන් වූවා යැයි සඳහන් වෙනවා. සමන් දෙවියන් තමන්ගේ පරිහරණයට වෙන්කරගෙන තිබූ ගුහාව බුදුන් වහන්සේට පිදූ බවකුත් කියවෙනවා.

තවත් දෙයක් මෙහි තිබෙනවා මූර්ති කීපයක්. ඒවා මෑත යුගවලට අයත් බව පෙනෙනවා. 1908 දීත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙහි යම් අලුත්වැඩියාවන් කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. මේ මූර්ති එකල තැනූවක්ද? එකල අලුත්වැඩියා කළ ඒවාදැයි හරියටම කියන්න බැහැ. නමුත් මින් නිරූපණය වන්නේ අර කුමාරිකාව විෂ්ණු දෙවියන් හමුවේ තම දුක කියා රාජකීයයන් විෂ්ණු දෙවි හමුවට පමුණුවා නඩු අසන සෙයක්. මෙහි කලකදී විෂ්ණු දෙවොලක්ද තිබී තිබෙන බව පෙනෙනවා.

2. සමාජ විද්‍යාත්මක සාධක,

දැන් අපි මේ ගැන තවත් සොයමු. ඔබ දන්නවනේ මේ සමන් දෙවි අඩවිය ලෙස පිළිගන්න බව. මේ සමන් දෙවි යුගය ගැන සමාජ විද්‍යාත්මකව සොයා බැලීමේදී ඉතා සුවිශේෂී කාරනා කීපයක්ම හෙළි වනවා. එනම්,


1. මේ යුගයේ සමාජය පීතෘ මූලික සමාජයක් නොව මාතෘ මූලික සමාජයක් ලෙසයි පැවතී ඇත්තේ.
2. සමන් දෙවියන්ගේ අක්කා ලෙස සැලකෙන මහ ලොකු අක්කා නම් (ඇයම මහ ලොකු කිරි අම්මා නමිනුත් සමහර විට හඳුන්වනවා.) යක් කාන්තාවගේ ගුහාව ලෙස හඳුන්වන ගුහාවකුත් මේ අසල තිබෙනවා.
3. තවත් ගුහාවක් යකින්නගේ ගුහාව ලෙස හදුන්වනවා.
මේ සියල්ල ගැන බැලීමෙන් තවත් යමක අපට හෙළි වනවා. එනම් මේ යුගය තමයි මාතෘ මූලික සමාජ ක්‍රමය උඩු යටිකුරු කරමින් පීතෘ මූලික සමාජ ක්‍රමය සමාජ ගත වූ අවධිය.

නිශ්ශංක මල්ලයන් මේ ප්‍රදේශයට එනතෙක් කිසිම ලක් රජෙක් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටි බවට කිසිම සාධකයක් මෙතෙක් මට නම් කියවන්න ලැබී නැහැ. (හසිත මේ ගැන දන්නවනම් ලියන්න.)

ඒ නිසා මා සිතන්නේ.........

සමන් දෙවියන්ගේ යුගයේ සිරිත් විරිත් ආදිය මේ මාතෘ මූලික සමාජ ක්‍රමය බොහෝ දුරට රැකී තිබෙන්න ඇති. මොවුන් බෞද්ධයන් වන්නත් ඇති. ඒ බුදුන් වහන්සේගේ ආගමනය නිසා. නමුත් ඉන්දියානු මොඩලයේ පීතෘමූලික සමාජ ක්‍රමය මේ පළාත් වලට එන්න ඇත්තේ නිශ්ශංක මල්ලයනුත් සමඟයි කියන එකයි මට හිතෙන්නේ. එය සංකේතාත්මකව කාන්තා දූෂණයක් ලෙස සමාජගත වූවාදැයි මට සිතෙනවා. ඒ කියන්නේ එක සමාජ ක්‍රමයක් එහෙම පිටින්ම තවත් සමාජ ක්‍රමයක් මගින් විස්ථාපනය වීමක් මෙතැනදී කතාන්දරක් ආකාරයකට සඳහන් වනවා දැයි මට සැකයක් ඇති වෙනවා.

ඉතා දිගු කලක් කොටින්ම වසර දහස් ගණනක් යුග කීපයක්ම තිබූ සම්ප්‍රදායන් එක් විටම වෙනස් වීම් කෙලෙසක සමාජය දරා ගනියිද යන්න අපට හිතා ගන්නවත් බැහැ. ඒ ආශ්‍රිතව සිදු වූ සිදු වීම් යම් යම් නිරූපනාකාරයෙන් විස්තර වීම පැරණි සිංහල ක්‍රමයටද අනුගතයි.

සමාජ ක්‍රමයක් දූෂණය වී තවත් නව සමාජ ක්‍රමයක් එක් වරම අනුගත වීම. විශේෂම සිද්ධිය කාන්තාවගේ නායකත්වය එක් විටම අහෝසිවී යාම. සිතා බලන්න....

කුවේණි කතාවේත් මෙවැන්නක් තිබෙනවා.... බලන්න... කුවේණිය මහා තේජවන්ත ශූර වීර සකල කළා ශිල්පයෙහි හසළ කාන්තාවක්. කොටින්ම මායා ශාස්ත්‍ර පවා දන්නවා. නමුත් ඇයගේ නායකත්වය එනම් මාතෘ මූලික යක්ඛ ක්‍රමය ඇයතම පෙම්වතා හමුවේ පූජා කරනවා. ඉනික්බිති චපල පෙම්වතාගෙන් පළිගන්න ඇය පෙළබෙන්නේ නැහැ. නමුත් ඒ ශක්තිය ඇයට තිබිය යුතුයි. ඒ ඇයි?????

මේක තමයි මානසික පරාජය. අද වුවත් මට හමුවෙනවා. ඉතාම කෙසඟ පිරිමි, බිරිඳට පුළුවන් ඔහුව උස්සලා විසි කරන්න. නමුත් ඒ කිසිවක් ඔවුන් කරන්නෙ නැහැ. ඒ ඇයි...? මානසිකව ඔවුන් සිටිනවා, පිරිමි මූලික සමාජ ක්‍රමය තුළට අනුගත වෙලා. (මේක හරිද වැරදිද නෙමෙයි මම මේ කියන්නේ. මගේ කතාවට සාධක ලෙස පමණයි.)

කොහොම වුවත් යම් නිශ්චිත සාධක මත පිහිටා මේක මෙහෙමයි කියන්න තරම් පර්යේෂණ තවම මේවා ගැන කෙරී නැහැ. මේ නව සොයා ගැනීම් සමඟ මට නම් සිතෙන්නෙම අපි මේ කතාන්දරයක් විදියට දකින සිද්ධිය යම් සිද්ධි මාලාවක් නියෝජනය කරන්න ගොතා ගත්තක් ලෙසයි.

ඔබට මතකද මම කලින් ලියූ විශ්වොත්පත්ති කතා මාලාව?

මේ තියන්නේ

එක,
දෙක,
තුන ලිපි ටික ආයිත් මේක ලියන්නම් දිනක.

3. විඤ්ඤාණමය සාධක.
ඉහත ලිපි වලින් එදා මම කියන්න උත්සාහ කලේ මූලිකවම භෞතික ද්‍රව්‍ය නිර්මාණයේදී එක්තරා දුරකට අභෞතික ද්‍රව්‍ය වන ප්‍රමාණ, වගේ දේ වැදගත්වන බව පැහැදිලි කරන්නයි. අපි ඒ ගැන හැදෑරීම පසෙක තබලා ඉන් යම් අදහසක් පමණක් ගෙන අපේ දැන් කතාවට එමු.

මේ කාන්තාව මරණයට පත් වන්නේ ඉතාම දැඩි ශෝකී වෛරී චේතනාවකින් නිසා ඇයගේ ඒ වෛරී සිතුවිලි යම් යම් භෞතික තත්ත්වයන් සමඟ ආරෝපණය වීමෙන් මෙවැන්නක් සිදු විය නොහැකිද?

උදාහරණයක් ලෙස අපි හිතමු මෙහෙම. මේ කුමාරි වෛරී චිත්තයෙන් මැරෙනවා. ඇයගේ ඒ වෛරී සිතුවිලි මේ ගුහාව තුලට එන අයට යම් මානසික බලපෑමක කරනවා වෙන්න බැරිද? මම පුද්ගලිකව අත්දැක තිබෙනවා, සමහර ගේ දොරවලට ඇතුල් වූ විට අපේ සිතට මහ කාලකණ්නි සිතුලි එන උදාසීන ගතියක් දැනෙනවා. මේ වගේ දෙයක් මෙතැන අභෞතික ලෙස නිර්මාණය වෙන්න බැරිද?? එම සිතුවිලි මේ අවට මිනිසුන්ට සහ ගුහාවේ සිටිනා අයට දැණුනා වෙන්න බැරිද??? වගේ දේ මගේ සිතට එනවා.

මේ ගුහාව බලන්න මුල් කාලයේ පැමිණි කාන්තාවන්, විශේෂයෙන්ම ඉතාම සුන්දර අඩු වයස් ගැහැණු ළමුන් මේ තුලදී ආවේශ වීම වගේ දේවලට ලක් වුනැයි වැලිකල මහතාම කියනව. පිරිත් කීමෙන් ඔවුන් සුව වුනැයිද කියැවෙනවා.

මට තේරුම් ගන්න ඕනෙම තැන මෙතැන. මේ ගුහාවේ යම් මානසික බලවේගයක් තිබුනැයි අප සිතුවොත් මේ සියලු දේ පැහැදිලි කළ හැකියි. නමුත් එවැන්නක් නොමැති යැයි උපකල්පනයක් කළොත් මේ සියල්ලම සිදු විය නොහැකියි. එසේ නම් මේවා සිදු වන්නේ කෙසේද?

මේක මට හිතෙන විදියට අර ජුලම්පිටියේ අමරේගේ කේස් එක වගේ. අපි ගුහාව බලන්න යන්නේ මේ හැම දෙයක්ම ඔලුවේ තබාගෙන දුර්වල හිත් ඇත්තන් මෝහනය වෙනවා වගේ.

දැන් බලමු මේ ගුහාව අවට ජනයා ඇයි බුදු පිළිමවල ඇස් ඉවත් කලේ. මේකට පිළිතුර කළින්ම ලැබිලා තිබුනා ඔබ අතරින්ම. එනම් මුලින් වෙන්න ඇත්තේ මේ පිළිමේ ඇස් වටිනා ඛණිජයකින් නිර්මාණය වී තිබෙන්න ඇති. ඒ ගන්නට කුරුමානම් අල්ලපු මිනිස්සු ඒ සදහා සොයාගත් උපක්‍රමය තමයි ගම් විනාශ වෙන කතාව. ඕවා විශ්වාස කරන ගම්වැසියා ඒ වැඩේට විරුද්ධ නොවෙන්න ඇති.

මෙවැනි කතා අපේ ජන සමාජයේ ඉතාම බහුලයි. මේවා ඇත්ත කියලා කියන්න අමාරු මේ වැනි කතා හැම තැනම තිබෙනවා. ඇත්තක් නම් තිබිය යුත්තේ එකයි. නමුත් යම් බරපතල ලෙස ජනවිඤ්ඤාණයට බලපෑම් කරන යමක් සිදුවූ විට ඒ ගැන ඇතිවන කතා බොහෝ පලාත්වල එක වගේම විය යුතුයි. මොකද ඒ බලපෑම හැම තැනම දැනෙන්නේ එකම විදියට නිසා.

මගේ අවසාන නිගමනය නම්, මේ කතාවල යම් සත්‍යයක් ඇති හැබැයි සිද්ධියක් ලෙස නෙමෙයි. මේ යම් සමාජමය බලපෑමක් නිසා සමාජයේ පැවැත්මට ඇති වූ දැඩි වෙනසක් ගැමි විඤ්ඤාණයෙන් විග්‍රහ කළ අයුරු. අපිට දැනෙන අයුරින් මේ දේවල් සිදු වෙන්න ඇත්තේ කූට මිනිස්සු මේ තැන්වල නිධන් ආදී වටිනා දේ ඇතැයි සලකා ඒවා ඉවත් කර ගැනීමට ගැමියාගෙන් වන බාධාවන් ඉවත් කර ගැනීමට ගැමියන්ගේ මනසට බිය ඇතුල් කළ හැටි.

පිරිත් කියන්නේ මිනිසාට ඉතාම වටිනා දෙයක්. වචනවල ඉතාම විශාල ශක්තියක් ගැබ් වී තිබෙනවා. නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙළි වී තිබෙනවා. මෙවැනි තැනක තිබෙන අර මූසල ගතිය ඉවත් කිරීමට පිරිත්වලට ඇති හැකියාව උපරිමයෙන් මම විශ්වාස කරනව. රෝගී මිනිස් මනස සුවපත් කිරීමට පිරිත් තරම් බලපෑමක් කරන වෙනත් දෙයක් මට නම් හිතන්න අමාරුයි.

ඔබට දැනෙන දේ ලියන්න. ටිකක් කලබලෙන් ලිව්වේ අකුරුවල අඩුපාඩු ඇති. ඒ ගැන සමාව බජනය කොරනවා.


දැන් අපි හැරෙමු ආයූර්වේදෙට ඉදිරියට ටික කලක් ආයිත් ආයූර්වේද ලිපි. එතෙක් ආයූබෝවන්!!!!

Wednesday, June 20, 2012

100. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 01 කොටස.

මේක මම මෙතෙක් ලියපු ජාතියේ එකක් නෙමෙයි. අපේ අඩවි මහරජා, චාමි4U, ක්සැන්ඩර් ලිව්ව වගේ එකක්. කොටින්ම හොල්මන් කතාවක්.

හෑ……………..

බය වෙන්න එපා.

කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ.

මේ කතාව මට දැනගන්න ලැබුණේ පොඩි පොත් පිංචක තිබිලා. ඒක ලියලා තියන්නේ ඩබ්. කේ වැලිකල කියලා මහත්තයෙක්. එතුමා ඇසට දැක ඇති නිසාත්, එතුමා ගැන එවලේ මගේ හිතේ ඇදුන රූපේ අනුව ඉතාම ගරු කටයුතු පුද්ගලයෙක් බව පෙනුණ නිසාත් මම මේ පොත යම් දුරකට විශ්වාස කරනවා.

මේ කතාව මම ලියන්න හේතුව මගේ සිත මේ කථාවෙන් බොහෝ කැළබීමට පත් වූ නිසයි.
මට මතක් වුණේ අපේ බුදු රජාණන් වහන්සේගේ දේශනයක් වන "නහීවේරේන වේරානී" කියන ගාථා ධර්මයත් මොන තරම් ඇත්තද කියලාත්, කාමයට ඇති ආශාව නිසා මොන තරම් අපරාධ ලෝකෙ සිදු විය හැකිද? යන කාරණාවත්, කියන දේවල් තමා.

දැනට වසර හත්සිය ගනණකට පෙර මෙරට පාලනය කළේ, තමන් මේ රටේ මුල් බැස ගත් සිංහලයෙක් බව ලෝකෙට පෙන්නීමට බොහෝ කැමති කෙනෙක් වූ ශ්‍රී නිශ්ශංක මල්ල කියන විදේශික රජතුමා. මේ තමයි අපේ රට අද තියන තත්ත්වයට පත් වන්න ආරම්භ වූ යුගය. ඒ කියන්නේ මහා රණ කාමියෙක් වූ අධිරාජ්‍යයක් සෑදීමට ගොස් රටේ ධනය විශාල වශයෙන් විනාශ කල ඒ වගේම මහා ගොවි ජනපද මෙරට ඇතිකළ පරාක්‍රමබාහු මහ රජගෙන් පසු යුගය. (මෙතුමා මොනවා වුවත් කෘෂිකර්මය ඉතා විශාල ලෙස දියුණු කළ අයෙක්.)

දැන් ඉතිහාසය අපෙ හසිතට බාරදීල මම එන්නම් කතාවට.

ඉතිහාසෙ මගේ ප්‍රියතම විෂයක් නිසා මේවගේ කතා වලදී ඒකටම ඇදිලා යන්නේ. කොහොම වුණත් අපි දන්නවනේ නිශ්ශංක මල්ල රජතුමාට පොඩි පහේ කෑදර කමක් තිබුණනේ ඔය එක එක සෙල් ලිපි පිහිටුවීමේ. අන්න ඒ නිසා අපි දන්න දෙයක් තමයි සිරිපාදේ කන්ද පළමුවෙන්ම තරණය කළේ එතුමා කියලා. (මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. ඔය සිරිපාද ලකුණ ඒ කාලෙ ඉඳලම තිබෙන්න ඇති. මිනිස්සු වදින්නත් යන්න ඇති. හැබැයි මෙතුමා මොනව හරි ඔතන අළුත් වැඩියාවක් එහෙම කරලා සෙල් ලිපිය නියමට ගහන්න ඇති මේ මට හිතෙන හැටි.)

ආයිත් කතාවට…………………………………………

මේ නිශ්ශංක මල්ල මහරජතුමා සිරිපතුල වැදපුදාගෙන දිවා ගුහාවේත් නතර වෙලා තමා නැවත අගනුවර වුණු පොළොන්නරුවට ගොහින් තිබෙන්නේ. දිවා ගුහාව කියන ගල්ගේ තමයි බුදුන් වහන්සේ ලංකාවට තුන් වැනි වර වැඩම කළ වෙලේ එතුමන් දිවා කාලයේ ආහාරයෙන් පසු විවේක ගත්තැයි කියන තැන. මේ ගුහාවට නිශ්ශංක මල්ලයනුත් ඇවිත් තිබෙනවා. එතැන පංසලක් සෑදීමට කදිම තැනකැයි සිතූ මහරජු තමාගේ සමීපම ඥාතියෙකුට ඒ බාරදීල තිබෙනවා.

මේ රාජකීයයා ඉතාම පිළිවෙළට මේ ගුහාව විහාරස්ථානයක් බවට බවට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. බෝධියක්, විශාල බුදුපිළිමයක් ආදී අංග ප්‍රත්‍යංග එක් කෙරෙමින් මේ කටයුත්ත යන අතර, මේ නැරබීමටත්, සිරිපතුල වැඳීමටත් විශාල වශයෙන් පොළොන්නරුවෙන් ජනයා පැමිණෙනවා. (අද වගේම නැතෑ.) දිනක් මේ පිරිස අතර ඉතාමත් සුරූපී කුමාරිකාවක් ( කථාවේ හැටියට මැය ඉන්දියානු රාජකීය සම්බන්ධයක් ඇත්තියක්ලු.) ද පැමිණෙනවා. …………………….

මෙතැන ඇඳ ඇති සිතුවම් අතර තිබෙනවා එක් සිතුවමක්. එයින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ සිරිපතුල පිහිටුවලා දිවා විහරණය සඳහා දිවා ගුහාවට වැඩම කරණ අයුරු. ඔබ දන්නවද මේ සිතුවමම වැනි (70% පමණම සමාන ) සිතුවමක් කැලණි විහාරයේ අපේ සිත්තරා වන සෝලියස් මැන්දිස් මහත්මයා ඇඳ තිබෙනවා. කැලණි සිතුවමෙන් පෙනෙන වටපිටාව මේ ගුහා චිත්‍රයට බොහෝ සමානයි.

ප්‍රවීණ පුවත් පත් කලාවේදී, පුවත් පත් කතු තිලක් සේණාසිංහයන් ගැනත් යමක් කිව යුතුයි. මේ සිතුවම් දෙකේ සමානත්වයත්, මේ ගුහාවත් මුලින්ම සොයා ගියේ එතුමා. 1990 ගණන්වල මැද හරියේ එතුමාට මේ ගැන පවසා තිබුණේ දැන් මගේත් හිතවතෙක්. (එම පුද්ගලයා අදටත් ජීවත් වන්නේ පලාබත්ගල ආසන්නයේ. නිතර මා සමග සම්බන්ධ වන මිතුරෙක්.)

මේ ආකාරයෙන් සොයාගත් මේ ගුහාව මුලින් එතුමන්ලා දකින විට තිබී ඇත්තේ ඉතාමත් ශෝචනීය ආකාරයකටයි. එනම් බුදු පිළිමයේ නෙත් උගුළුවා දා තමයි තිබී ඇත්තේ සේණාසිංහයන්ගේ වචන වලින්ම කියනව නම් මේ ගුහාව තනිකරම "වවුල් විමානයක්" ලෙසයි තිබී ඇත්තේ.

මම කියන්න සිතා සිටින වැදගත් දෙයක් මෙතැන තිබෙනවා. එනම් අපේ මිතුරන් මේ පිළිම වලට මෙවැනි අපරාධයක් කළේ කවුද කියන කාරණය සොයන විට හරිම පුදුම දෙයක් සොයා ගැනිමට ලැබී තිබෙනවා. ඒ තමයි ගම්මුන්ගේ තිබෙනවාලු විශ්වාසයක්, බුදු පිළිමයක ඇස් වලට කෙළින්ම ලක්වන ලෙස ගම්මානයක් පිහිටා තිබෙනවා නම් ඒ ගම පාළු වී විනාශ වනවා කියන මිථ්‍යා දෘෂ්ටික බහුබූත මිථ්‍යා මතයක්. අන්න ඒ නිසයි මේ අපරාධය සිදු කර ඇත්තේ. කොහොමද අපේ රටේ බෞද්ධයෝ?????

ඒ අපේ අපවත් වී වදාළ සෝම හිමියන් රූපවාහිනියෙන් බණ දේශනා කරමින් උන් කාලය. අපේ මිත්‍ර සේණාසිංහයන් සෝම හිමි සමග මෙම අපරාධය ගැන ගම්මුන් දැනුවත් කිරීමට කළ ධර්ම දේශනා හරහා තමයි මේ ගුහාව බාහිර ලෝකයට විවෘත වෙන්නේ. ඒ සදහා විශාල දායකත්වයක් සපයලා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් මේ ගුහාවට වැඩමවලා නවීන ලෝකයට මේක එළි පෙහෙළි කරන්නේ මේ වැලිකල මහත්මයා.

දැන් ඔබ මේ කථාවේ ටිකක් දන්නවා.

වැලිකල මහතා ඉතා මහන්සියෙන් පරිශ්‍රමයක් යොදලා මේ ස්ථානයේ නොයෙක් දියුණු පමුණු වැඩ කරගෙන යන කාලයේ එතුමාට බොහෝ කරදර පැමිණ තිබෙනවා. මේ සමහර අවස්ථාවල ජීවිතය පවා නැති වීමට ගොස් ඉතාමත් අපහසුවෙන් ජීවිතය ගල්වා ගත් සිද්ධීන්ද එතුමා සදහන් කරනවා. ඒ අතරම එතුමාගේ නොයෙක් අද්භූත සිදුවීම වලටත් මුහුණ පානවා.

මෙහෙම වෙන්නේ ඇයි?????

දැන් අපිට මේ කතාව හරහා ප්‍රශ්න දෙකක් ඇතිවෙලා තිබෙනවා.
1. බුදු පිළිමයක නෙත් වලට හසුවන මානයේ තිබෙන ගම් විනාශ වෙනවද?
2. ගුහාව අලුත් වැඩියා කළ අයට මුහුණ දෙන්න වූ බිහිසුණු අත්දැකීම් ඇත්තටම එහෙම වුණාද??

මේ කථාවේ මගේ සිත්ගත් කොටස වෙන්නේ අන්තිම කොටසයි. එනම්.....

මේ සිද්ධීන් වලින් වෙහෙසට පත්වන වැලිකල මහතා ඇතුළු පිරිස සරණයක් සොයා බොහෝ දෙනා පසුපස යනවා. නමුත් එක්තරා දිනකදී කතරගම දී අත්භූත ලෙස ඔහුට මුණ ගැසෙන තරුණියක් මේ ගැන පැහැදිලි කර දෙනවා.

ඒ අනුව ඇය ඔහුට කියා දෙනවා මේ ගුහාවේ අතීත කතාව.....

…………………...අර අපි මුලින් කියූ තරුණ කුමරිය වන්දනාවේ පැමිණෙනවනේ. ඇය දකින ගුහාව ප්‍රතිසංස්කරණ කටයුතු භාර රාජකීයයා ඇය නිසා කාමාසක්ත වෙනවා. එහි සෘජු ප්‍රතිඵලය වන්නේ ඇය ඔහු අතින් දූෂණය වීම පමණක් නෙමෙයි මරණයට පත් වීම. මේ නිසාලු මේ ගුහාව දරුණු තැනක් වී ඇත්තේ.

මරණයට පත් වූ කුමරිය මරණ මොහොතේ ඇයගේ සිතේ ඇතිවන දරුණු වෛරී චේතනාව නිසා ඉතා භ්‍යානක යකින්නක වී මේ ගුහාව වාස භූමිය කර ගනිමින් ඒ වන විටත් වසර හත්සිය ගණනක් නොනවතින වෛරයෙන් ගත කරලා. ඇය මේ අවට මිනිස් වාසයක් වීමට ඉඩ නොදේලු. විශේෂයෙන් තරුණ පිරිමින් ඝාතනය කරමින් ඇය මේ ගුහාවට එන භික්ෂූන් වහන්සේලා පිස්සු වට්ටමින් ඝාතනය කරනවාලු.

මේ ගැන සොයා බැලූ විටත් අපට දැන ගැනීමට ලැබුණේ මේ හා සමාන කතා මේ අවට ගම්වල පැතිරී ඇති බවයි.
මේ යකින්න නමින් කණ්ඨමාරී වීලු. අවස්ථා ගණනාවකදී මේ ගුහාව අලුත් වැඩියා කෙරුමට පැමිණි අය මරා දමමින් බොහෝ දරුණුව හැසිරුණාලු.

…….ගුහාව ගත් විට යුග හතරක පමණ නටබුන් වූ ඉදිකිරීම් මෙහි ඇති බව පෙනේ. ඒ අතරම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයක් වන්නේ මේ එකම ගොඩනැගීමක්වත් නිසි අයුරු වැඩ නිම නොකිරීමයි. ඒ මේ යකින්නගේ බලපෑමක්ද?

තවත් දෙයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස දැනට තරුණයන් 100 අධික ගණනක් මේ අවට තිබෙන බෝපත් ඇල්ල අසලදී නොයෙක් ආකාරයෙන් මරණයට පත් වනවා අපට දක්නට ලැබී ඇත. මේ සම්බන්ධව ඇති ප්‍රවාද බොහෝමයි. කණ්ඨචාරී යකින්න මේ සිදුවීම් වලටද සම්බන්ධ යැයි අවට ගම්වාසීන් සැක කරනවා.

කෙසේ වෙතත් මේ අනුවේදනීය කතාව අපි නවීන ආකාරයට කෙසේ විග්‍රහ කරමුද?

මා වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

දැන් තුන් වැනි ප්‍රශ්නය,
3. මේ ජන කතාව ඇත්තද? මේ ගැන යම් විද්‍යාත්මක විග්‍රහයක් දිය හැකිද?

දැන් නම් වැඩේ ටිකක් දිගයි මෙහෙමයි....

මම මේක කොටස් දෙකකට දමන්නම්.

එහෙනම් ඊළඟ කොටසට යමු...……….

ඔන්න අද මේ පෝස්ට් එකත් එක්ක ඔක්කොම පෝස්ට් 100.

Wednesday, June 13, 2012

සත්ව පරිණාමීය ක්‍රියාවලිය.

මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......

මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා.

දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. මේ කතාව මම කියන්න හිටියේ දැනට කාලෙකට කලින්. මම ලියපු විශ්වොත්පත්තිය ලිපි මාලාවෙදි. නමුත් ඒක එක පිළිවෙළකට ලියා ගන්න ලැබුණේ නැහැනේ. ඒ ගැන නැවත හිතන්න ඕනෙ ලඟදීම.

හින්දු පුරාණය කියන ග්‍රන්ථය ඔබ කියවා තිබෙනවද? ඒ අතර මහා භාරතයේ එන භගවත් ගීතාව, සහ Fourteen Upanishad (Maxmullar) නම් උපනිෂද් ග්‍රන්ථයේ මේ ගැන යම් යම් තොරතුරු ඔබට බලාගත හැකියි. මේ ග්‍රන්ථ වලින් උපනිෂද් 14, සහ භගවත් ගීතාව මා සතුව තිබෙනවා. හින්දු පුරාණයේ සම්පූර්ණ ග්‍රන්ථයම මට මෙතෙක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔබ අසා තිබෙනවානේ විෂ්ණු දෙවියා ගැන. ඔබ ඒ ගැන කුමක් සිතනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මම නම් සිතන්නේ මෙහෙමයි.

හින්දු දේව පුරාණයේ එන ප්‍රභලම දෙවිවරුන් ත්‍රිමූර්තියක් තිබෙනවා. ඒ..
1. බ්‍රහ්ම
2. විෂ්ණු
3. ශිව

මේ තිදෙනාගේ ක්‍රියාවන්ද එකිනෙකට වෙනස්. එනම්..
1. බ්‍රහ්ම නමින් උපතද,
2. විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද,
3. ශිව නමින් විපත හෙවත් අවසානයද දක්වනවා. බුදු දහමේ එන උත්පාද, ඨිති, භංග යන්නෙන්ද මෙයම විස්තර වන බවයි මගේ හැඟීම.

ඒ නිසා මගේ හැඟීම වන්නේ මෙලෙස දේවත්වය ආරෝපණය කර තිබෙන්නේ ස්වභාව ධර්මයේම සංසිද්ධීන් වලට බවයි.

මෙතැනදී මම කතා කරන්නේ මේ බ්‍රහ්ම හෙවත් උපත ගැනවත්, ශිව හෙවත් විපත ගැනවත් නෙමෙයි. විෂ්ණු හෙවත් පැවැත්ම ගැනයි. එනම් දිගුකාලයක් තිස්සේ මේ මනුෂ්‍ය සහ සත්ව සංහතියේ පැවැත්ම ගැන තමයි අපේ කතාව.

ඔබ අසා තිබෙනවද?????

විෂ්ණුගේ දශ අවතාරයක් තිබෙනවාය කියන කියමන. මම ඒ ගැන හිතන විදිහ තමයි මේ බ්ලොග් සටහනෙන් ඔබට කියන්නේ. හැබැයි මේ මම හිතන හැටි. වෙන කෙනෙක්ට තමන් කැමති විදියකටත් හිතන්න ඉඩ තියෙනවා. ඒක තම තමන්ගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රීය අයිතියක්.

මේ විශ්වයේ තිබෙන යම් වස්තුවක් වේද එයට උපතක්, පැවැත්මක්, විපතක් පැවතීම අනිවාර්ය්‍යයි. එතකොට මේ දේව ත්‍රිමූර්තියෙන් දක්වලා තිබෙන්නේ මේ පූජනීය සංකල්පය කියන එකයි මගේ හැඟීම.

සත්ව පරිණාමය කියන්නේ සත්වයා මෙලොව රසායනික හෝ යම් වෙනත් අයුරකින් බිහි වුණාට පස්සේ එනම් උපතට පසු සත්ව සංහතියේ පැවැත්ම කියන කාරණයයි. මේ පැවැත්ම නොයෙක් කාල වලදී නොයෙක් ආකාරයට වෙනස් වෙන්න ඇති. ඒ වෙනස් වීමට අපි පරිණාමය ලෙස නම් කළා. එතකොට මේ පරිණාමික ක්‍රියාවලියට භාජනය වෙන්නේ සත්වයාගේ පැවැත්ම. එනම් විෂ්ණු. විෂ්ණුගේ අවතාර ලෙස හඳුන්වන්නේ මේ පැවැත්මේ ඇතිවන වෙනස කියන එකයි මගේ කල්පනාව.


දැන් අපි බලමු විෂ්ණුගේ දශ අවතාරයන් කියන්නේ මොනවද කියලා?

1. මත්ස්‍ය අවතාරය.
2. කුර්ම අවතාරය.
3. වරාහ අවතාරය.
4. වානර අවතාරය.
5. නර-සිංහ අවතාරය.
6. පරශුරාම අවතාරය.
7. රාම අවතාරය.
8. කෘෂ්ණ අවතාරය.
9. බුද්ධ අවතාරය.
10. කල්කී අවතාරය.

දැන් මේ දහය එකිනෙකින් වෙන වෙනම යම් තරමකට පැහැදිලි කරගමු.

1. මත්ස‍ය අවතාරය. - මෙකෙදි මත්ස්‍ය කියන්නේ මාළුවටනෙ. මනුස්මෘතියේ කියවෙන්නේ (මේ මනුස්මෘතියත් ඉතාම වටිනා පුරාණ ග්‍රන්ථයක්.) බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහ්මාණ්ඩය එහි හෙළු බවයි. (මෙහිදී "මවා" යන්නෙන් "මැවීම වාදයක්" ගැන කතා කරනවා නම් අප ඒ ගැන කතා කළ යුතු නැහැ නොවැ. නමුත් ඉතා හොඳින් බැලීමේදී මෙහි එයිට වඩා දෙයක් තිබෙනවා. ඒ නිසා අපි මේ මඟේ දිගටම යමු.)
පළමු අවතාරය වන මත්ස්‍ය අවතාරයෙන් පෙන්වන්නේ ලෝකයේ ජීවය පහළ වූයේ ජලයේ බවයි. එනම් බ්‍රහ්ම හෙවත් උපත ඇති කරන්නා වූ බලවේගය ප්‍රථම ජීව පුංජය ජලයේ පහළ කර ඇත.

2. කුර්ම අවතාරය. - කුර්ම කියන්නේ ඉදිබුවායි. ඉබ්බා කියන්නේ දිය ගොඩ දෙකේම ජීවත් වෙන සතෙක්.
ඉදිබුවා යන ජලය සහ ගොඩබිම වාසය කරන සත්වයාගෙන් නිරූපණය වන්නේ, සත්වයා දැන් යම් ඉහළ අවධියකට පැමිණ ඇති බවයි. එනම් සත්වයා දියේ ජීවත් වන අතරම ගොඩබිම තම ජීවිතයද අරබා ඇත.

3. වරාහ අවතාරය. - වරාහ කියන්නේ සූකරයා නැත්නම් ඌරා. මේ සත්වයා ජීවත් වෙන්නේ මඩ ආශ්‍රිතව.සූකරයාගේ වාසය ගොඩබිම වුවත් යම් තරමකට මඩටද ප්‍රිය සත්වයෙකි. එනම් මේ සත්වයාගෙන් නිරූපණය වන්නේ තවත් ඉහළ සත්ව අවධියක් බව දැන් අපට පැහැදිලි වේ.

4. වානර අවතාරය. - වානරයා කියන්නේ යම් පමණකට දියුණු සතෙක්. දෙපා ඉරියව්වට යම් හුරුකමක් ඇතත්, අංගුලි වර්ධනය එහෙම බොහෝ දුරට දියුණු සතෙක්ට සමානකම් තිබෙන සතෙක්. සත්වයා තිරිසන් යුගයේත් දියුණු අවධියකට පැමිණ තිබේ. ක්ෂීරපායින් ලොව රජ කරයි. මේ තවත් ඉහළට සත්වයා දියුණු වූ අවධියකි.

5. නර- සිංහ කියන්නේ අර්ධ මිනිස් අර්ධ වානර සත්වයන්ට. වානර වෙසින් මිනිස් වෙසට පෙරැළීම ඇරබී තිබේ. අර්ධ මිනිස් වානරයන් පහළ වී ඇත.

6. පරශුරාම අවතාරය. - මෙකෙදි පරශු කියන්නේ පොරවට. රාම කියන්නේ බුද්ධියේ යම් පිබිදීමක් හඟවන පදයක්. කියන්නේ දඩයමක් කර ගැනීමට ප්‍රාතමික ආයුධ භාවිතයට මේ සත්වයා දැන් හුරුයි. දඩයම් යුගය ඇරබීම මින් නිරූපණය වේ.

7. රාම අවතාරය. - මිලේච්ඡත්වයට එරෙහිව සටන් වදින්නෙක් වන්නේ රාමායි. බුද්ධිය හොදින් වර්ධනය වී සමාජ සම්බන්ධතා ගොඩනඟාගෙන සංවිධානත්මක සමාජයක් වෙත ක්‍රමයෙන් පිය නඟන සත්වයා මින් නිරූපණය වේ.

8. කෘෂ්ණ අවතාරය. - බුද්ධියේ උපත කෘෂ්ණාය. මොහු ඉතාමත් බුද්ධිමත් වන අතර, පර්යේෂකයෙක් වේ. තවද ඉතාමත් දක්ෂ සංවිධායකයෙකි. නවීන සමාජයට පෙර තිබූ සදාචාරවත් බුද්ධිමත් සමාජය මින් නිරූපණය වේ.

9. බුද්ධ අවතාරය. - බුද්ධියේ විකසිත අවධියයි. වර්තමානය යි.

10. කල්කී අවතාරය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? බුද්ධ අවතාරය මගින් වර්ථමානය නිරූපනය වනවා නම් කල්කී මගින් නිරූපණය විය යුත්තේ මිනිස් පරිණාමයේ ඊටත් වඩා උසස් අවධියක් නේද? එනම් කාලය සහ අවකාශය ඉක්මවා යන, අර්ථයක් ගම්‍යමාන වන බව ඔබට නොපෙනේද? මිනිස් පිටපත් සෑදීම, වෙනත් ග්‍රහලෝක වෙත ජීවය බෝ කිරීම, පරිඝනක තාක්ෂණයේත්, ඉංජිනේරු තාක්ෂණයේත්, වෛද්‍ය තාක්ෂණයේත් ඉහළම දියුණුව ලබන අනාගත මිනිසා මේ කල්කී අවතාරය නමින් හඳුන්වා ඇත යනු මගේ අදහසයි.

නූතනයේ දියුණුවත් සමඟ පරිණාමීය ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත්තේත් ඉහත පිළිවෙළටම බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.

මම ඔබට විශේෂ දෙයක් කියන්නම්.

මේ දේවල් මිථ්‍යාවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද අපි මිථ්‍යාවල් කියා ඉවත් කරන බොහෝ දේවල් බටහිර ජාතීන් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත්තා. නමුත් අපි ඔවුන්ටත් බැණ, බැණ, අපේ දේවලුත් විනාශ කරගෙන කොයි යනවාදැයි නොදැන යන මේ ගමනේ අවසානය කුමක්ද?


සදෙව් ලොව නම් සංකල්පයද මෙලෙසම අර්ථ දක්වමු ඉදිරියේදී......