Tuesday, February 5, 2013

නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.

මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.

තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ආසන්නය. ඒ ලිපි ලිවීමෙනි. නමුත් මා බ්ලොග් කියවීම ට ඇබ්බැහි වී දැනට වසර හතරක් හෝ පහක් පමණ වෙතැයි මට සිතේ. ඒ දිනවල තිබුණේ ඉතා ස්වල්ප බ්ලොග් ප්‍රමාණයකි. මට අහම්බෙන් කියවීමට ලැබුණු කොත්තු සිණ්ඩිය හරහා බ්ලොග් කියවීමි. සහෘදයින්ගේ බ්ලොග් සොයා ගත්තේ කකාගේ බ්ලොග් රෝලෙනි. පිස්සාගේ බ්ලොගයේ තිබූ ලිංකුවක් හරහා මාරයාගේ හෝරාව කියවීමි. එතැනින් ටැබූ ද, අන්තිම පේළිය ද කියැවීමි. දිනකට පැය 12 වැඩියෙන් ඔන් ලයින් සිටින මට මේ බ්ලොග් බොහෝමයක් පිළිබඳ දැණීමක් ඇත. ඕනෑම බ්ලොග් කරුවකුගේ භාෂා රටාව මට හොදින් හුරුය. එම නිසා ගහ දන්න මට කොළ අරුමයක් ම නොවේ යැයි ද මින් කියමි.

ඔබ දන්නා පරිදි මගේ වි. වි. අධ්‍යාපනය ලංකාවේ තරුණයන්ට මහත් ව්‍යසන යුගයක් වූ 88/89 න් ඇරඹී 1996 පමණ තෙක් ඉතා දීර්ඝ කාලයක විහිදුණකි. ඒ අපේ පාඨමාලාව වසර පහක අධ්‍යාපනය හා වසරක රෝහල් පුහුණුව ද සමගින් වසර හයක කාලයක් ගතවන දීර්ඝ අධ්‍යාපන පාඨමාලාවක් බැවිනි. එයට භීෂණ යුගය නිසා අතහැරුණු කාලයද එක්කල විට මේ නිවැරදිය.

90 මුල සිට ඉතා හිස් බවකින් යුතු වූ ලාංකීය දේශපාලන පීඨිකාවට අප පැමිණෙන්නේ නිරායාසයෙනි. එකල අපට පිරවීමට තිබුණේ ඉතා විශාල හිස්තැනකි. මේ යුගයට සාපේක්ෂ එය ඉතා දුෂ්කර කාලයකි. කෙසේ හෝ එවිට ලාංකීය දේශපාලනයේ එක්තරා ව්‍යාපාරයක මම ද සාමාජිකයෙක් වීමි. 80 දශකයෙන් ඇරඹි මගේ දේශපාලන ගමන 94 දී මම නවතාලීමි. ඒ හේතු ඇතිවය. එකල මම විවාහ වී නොතිබුණත් එම ව්‍යාපාරය පිළිබඳ නොයෙක් ගැටලු මට පැන නැඟී තිබිණි. ඒවාට පිළිතුරු පතා මම කළ සාකච්ඡා ඉතා නීරස විය. මගේ ප්‍රශ්න වලට කිසිම පිළිතුරක් නොලද තැන මම හුදෙකලා වීමි.

නිදහසේ සිතන්නට වීමි………………..

මේ මා ඒ සිතීමෙන් ලද මගේ ප්‍රශ්න වලට පිළිතුරුය. මේ පිළිතුරු මා නොයෙක් අවස්ථාවල යෙදුණු විදේශ සංචාර වලදී එම රටවල තත්ත්වයන් හා සැසඳීමි. ඒවාට අනුව මගේ අදහස් නැවත නැවත අලුත් කළෙමි. මේ ලියන්නේ එම සිතිවිලි සහ මගේ අධ්‍යාපනයෙන් මා ලද දැනුම ද, මා ලබාගත් සජීවී අත්දැකීම් ද, ඇසුරින් සකසා ගත්තකි. මෙය නිවැරදි යැයි මම කිසිසේත් නොකියමි.

දහසක් වැරදි ඇතැයි සිතමි.

නමුත් කොතනකින් හෝ ඇරබිය යුතුය.

මේ ඒ සදහාය.

ඉතිරිය ඔබ සතුය.

නිවැරදි කරන්න………………………..

මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

කුමක්ද අපිට වුණේ??

සොයාගත යුත්තේ මෙයට පිළිතුරයි.

පොළොන්නරුවෙන් ඇරබි අපේ පල්ලම් බැසීම අද ද නැවතී ඇති බවක් පෙනේද? මට නම් නැත. අතීතයේ අදුරෙන් තවත් අදුරටම යන්නට කැස කවනා ලකුණු සැමතැන මට නම් පෙනේ.

බුද්ධිමත් මිනිසා සැමවිට,

"අතීතය පාඩමකට ගෙන වර්තමානයේ දී, අනාගතය උදෙසා අඩිතාලම දමයි".

වර්තමාන අපි එසේ කරමුද?

මෙහිදී මම ප්‍රශ්න අසන්නා පමණක් බවට පත් වෙමි.

ඔබගේ තීරණය වඩා වැදගත් බවයි මගේ හැඟීම.

1. අතීතයේ සිටම අපි උගත්කමට ඉතා ලොල් ජාතියක් වීමු. අභයගිරිය, ජේතවනය නටබුන් පෙන්වන්නේ ඒ අතීතයයි. එය අදට ද එසේමය. එසේ නම් උගතුන් බිහිකළ හැකි අධ්‍යාපනයක් අපිට තිබේ ද? මේ මාගේ පළමු ප්‍රශ්නයයි????????

2. අපි උගන්වන්නේ රටට අවශ්‍ය දෑ ද? පහත ඇති ලිංකුවෙන් වි. වි. ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගොස් ඔබට ම ඒ බලා ගත හැක. අපි විද්‍යාව දායාද කරගෙන උපන්නෝ වෙමු. මා එසේ කියන්නේ අතීත සංස්කෘතිය තනිකර වෛද්‍ය විද්‍යාව, රෝහල් පරිපාලනය, ශල්‍ය කර්ම, ගොඩනැගීම් ශිල්පය, සැලසුම් සම්පාදනය, වරාය, රේගු කටයුතු, මුදල් පාලනය, උද්‍යාන ශිල්පය, ජාතික සහ අන්තර්ජාතික වෙළදාම, නැව් නිපදවීමේ කර්මාන්තය, නොයෙක් ඉන්ජිනේරුමය නිපදවීම්, වැනි දහසක් දේ ක්‍රමානුකූලව පැවති බවට මේ නටබුන් දෙස් දෙන නිසාය. එම නිසා එම කර්මාන්ත මේ රටේ උගන්වන්නට ඇති බව අපට සිතිය හැක. අද අපි අපේ රටට සහ බාහිර ලෝකයට අවශ්‍ය දැනුම නිපදවනවාද?

යම් කිසි රටක ශ්‍රම බලකාය සකස් විය යුත්තේ පුහුණු කම්කරුවන්ගෙනි. ඒ වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරු, සැලසුම්කරු, ගුරුවර, රියදුරු, කාර්මික නිලධාරී, හෙද හෙදි, කර්මාන්තකරු ආදී යම් වෘත්තීය පුහුණුවක් ලද්දන්ගෙනි. අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි මේ ගුණය රැදී ඇත්ද? අපි විදේශ සේවයට යවන්නෝ පුහුණු කම්කරුවන් ද? අපේ ගෘහ සේවිකාවන්ට හිස් ගැසුම් කන්නට වන්නේ කුමක් නිසාද? සිතන්න අපි ගෘහ සේවිකාවක යවා 40 දහක 50 දහක වැටුපක් ලබා ගන්නවාට වඩා අපේ පුහුණු කාර්මිකයෙක් විදේශයකට යවා ලක්ෂයක එකහමාරක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස් නොකරන්නේ ඇයි? අපේ උසස් පෙළ සමත්ව වි. වි. යන්නට නොහැකි වන 60 දහකට නැවත ඉගෙන ගන්නට ආයතන දියුණු කර ඇත්ද? අපේ කාර්මික විද්‍යාල වලට සිසුන් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු අප සතු ද?

3. අපේ රට පිළිබඳ සත්‍ය අපි අවබෝධ කරගෙන සිටිමුද? අතීතයේ සුළඟින් නැව් ගමනා ගමනය කරන කළ ඊසාන දිගින් සහ නිරිත දිගින් සුළං හමනා අපේ රට ඉතාමත් වැදගත් මන්සංධියක පිහිටියකි. නමුත් අද අපි සිටින්නේ නවීන නාවුක යුගයක බව අපි සිහි කරමු ද? න්‍යෂ්ටික ශක්තිය සහ පොසිල ඉන්ධන උපයෝගී කරගෙන නාවික ගමනා ගමනය ද අද බොහෝ දියුණු වී ඇත. එම නිසා සුළං බලයෙන් නැව් ගමනා ගමනය කිරීමේදී අපේ රටට තිබූ වටිනාකම තවමත් තිබේ ද? අනෙක් කරුණ අපේ වරායවල නවීන ලෝකයේ අවශ්‍යතා සපුරනවා ද? ලෝකයේ අහුමුල්ලක තිබෙන සිංගප්පූරු වරාය වෙත නැව් යාමට හේතුව අපි අධ්‍යනය කර ඇත් ද? සිංගප්පූරුව හොංකොං වැනි රටවල් තම නාවික ගනුදෙනු කරුවන්ට දක්වන අනුග්‍රහය අවම වශයෙන්ව ත් ඇති කිරීමට අපේ සැලසුම් ඇත් ද? හැබැයි අපිට නැව් නො එන ගොඩබිම් වරායක් ඇති බව නම් අපි දනිමු.

අපේ කොළඹ වරාය ඉන්දියාවට ඉතා ප්‍රයෝජනවත්ය. ඒ පිළිබඳ අප සිතා ඇත්ද? අපේ වරායන් ඉන්දියාවේ පරිහරණයට ලබා දෙන අතර අප ඉන් යම් වාසියක් අත්කර ගන්නවා ද? අපි හැම විටම වරාය බද්ද සහ සැපයුම් පිළිබඳ පමණක් සිතන්නෙමු. මේ ඇත් ද? රටක් වශයෙන් නැඟී සිටීමට මේ වරායන් නිදහස් කර නිර්බදු හදුන්වා දී නාවිකයන්ට ප්‍රිය තැනක් බවට කොළඹ නගරය හරවන්නට තාමත් පමා නැති බවයි මගේ නම් හැඟීම. ඉන් අපට කුමන වාසි ලැබිය හැකිද? නැතිවන බදු ආදායම උපයා ගැනීමට වඩා වාසිදායක් සැලසුම් අපට නැත්තේ ඇයි?

4. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් ද? අපේ රටේ ඇති භෞමික පිහිටීම අනුව අපි තෝරාගත යුත්තේ කුමනාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ද? අපිට සිටින මිතුරන් කවුද? අපේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මිලදී ගන්නා රටවල් මොනවාද? ඒ රටවල් සමග අපේ සම්බන්ධතා කෙසේද? අපිට අපේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නේ කුමන රටවලින් ද? එම නිෂ්පාදන අතිරික්තයන් බෙදා හදා ගැනීමට අපිට සිටින අසල් වැසියන් කවුද? මේ ගැටලු වලට පිළිතුරු අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔබට සොයාගත හැකි ද?

උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවට ඇවැසි ජලය එන්නේ මැලේසියාවෙනි. මැලේසියා ජාතිකයන් රැකියාව කරන්නේ සිංගප්පූරුවේය. මේ දෙරට ඉතා සහයෝගීව දෙරටට ම ප්‍රයෝජනවත් ලෙස තම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත. අපි අපිට සිටින එකම අසල් වැසියා සමගවත් එසේ වාසිදායක දෙපසටම වැදගත් වන භාණ්ඩ හා සේවා හුවමාරුවක් සැලසුම් කර ඇත් ද?

5. අපේ රටේ බදු ප්‍රතිපත්තිය කුමක් ද? අපි ආකාර කීයක බදු අය කරමු ද? අපි බදු අය කරන්නේ ඇයි? මේ බදු අය කිරීමෙන් ලබන ආදායම අපි වියදම් කරන්නේ කෙසේද? ඔබ දන්නවනේ අපේ රටේ මුලු රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3 බව. පහත ඒ පිළිබඳ දත්ත ඇතුළත් ලිංකුවක් ඇත. ඒ බලන්න. අපි අපේ රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ රටේ රාජ්‍ය සේවකයා පෝෂණය කිරීමට බව ඔබ දන්නවාද? එනම් මිලියන 1.3 සේවකයන් අතරින් එක් අයෙක්ගෙන් ඔහුත් සමග 4 දෙනෙක් යැපෙනවා නම් මුලු යැපෙන්නන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5 ඉක්මවනවා නේද? එවිට රටේ මුලු ජනගහනය වන මිලියන 20 න් කාලකට රජය මාස්පතා කෙතරම් මුදලක් වියදම් කරන්න වෙනව ද?
මෙවැනි රටක රජයකට රජයේ සේවකයාට පඩි නඩි ගෙව්වට පසු ඉතිරි වන මුදලින් රට සංවර්ධන කළ හැකිද? එවිට සංවර්ධනය සදහා මුදල් සොයා ගන්නේ කෙසේද? එවිට ණය ගත යුතුයි නේද? ණය ගැනීමේදී විදේශ කොන්දේසි වලට යටත් වන්නට වනවා නේද? කාලයක් ගත වීමේදී ණය ගෙවීමටත් ණය ගැනීමට වනවා නේද? එතනින් එහාට එම රටට ඉදිරියක් ඇත් ද?

දේශීය සහ විදේශීය ආයෝජකයනට ප්‍රිය තැනක් බවට අප රට හරවන්නට අපි කුමක් කළ යුතු ද? දැන් දැන් ලෝකය විශාල වශයෙන් මානව හිමිකම්, සේවක සුභසාදනය, ජනතාවගේ නිදහස් පැවැත්ම වැනි මානුෂීය ධර්ම වෙත ගමන් කරමින් සිටී. අපි ඒ ගැන සැලසුම් සකස්කර ඇත්ද? ආයෝජකයනට ප්‍රිය තැනක් කිරීමට අපේ සැලසුම්, යෝජනා, අපට ඒ සදහා ඇති බාධක හදුනාගෙන ඇතිද? එසේ නම් අපි ඒ වෙනුවෙන් එම බාධක ජය ගන්නට සකස් කර ඇති විසදුම් මොනවාද? ඒ සදහා කාලරාමුවක් සකස් කර ඇති ද?

6. අපේ රටේ දේශපාලකයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ දැනුවත්ද? කොටින්ම ඔහුට ඒ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් තිබේද? එසේ නොමැති අය නම් ඔවුන්ව ඒ නියෝජිතභාවයට පත් කළේ කවුද? එසේ නම් වරද කාගෙද? ඔය ලැයිස්තුවල සුදුසු පුද්ගලයන් සිටියේම නැත්ද? ඔවුන්ව ඔබ තෝරා නොගත්තේ ඇයි?

7. රටක් වශයෙන් එහි මහජනතාව එම රටේ නීතිය, සමානාත්මතාව, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය, තම මානව හිමිකම්, පිළිබඳ තෘප්තිමත් ද? එසේ නැත්නම් ඒ ඇයි? එය එසේ වන්නට බලපාන කරුණු පිළිබඳ සිතීමේදී මහජනයාට එය වළක්වා ගැනීමට හැකියාව තිබූවා නම් ඔහු එය පැහැර හැරියේ ඇයි?

8. ලංකාවට වඩා හත් ගුණයක් විශාල නවසීලන්තයට මිලියන 4 ජනගහනයක් ඇති බව අපි දන්නවනේ. නමුත් වර්ග කිලෝමීටර 65 දහස් ගණනක් වන අපේ රටට තම ජනගහනය මිලියන විස්සකට ඉඩකඩ ලබා දීමට සිදුවී ඇති බව සත්‍යක් නේද? එහෙම නම් අපි ඒ සදහා කළ සැලසුම් මොනවා ද? තාප්ප බැඳ, තම ගෙමිදුල, වත්ත වෙන්කර ගන්නා ලාංකිකයා බොහොම ඉඩ නාස්ති කරනවා නම් ඉදිරි පරම්පරාව ජීවත්වන්නේ කොහේද?

9. රටක ජීවන තත්ත්වය මනින මිම්මක් ලෙස සෞඛ්‍යය ඉතා වැදගත්. අපේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය කුමක් ද? අපි සියල්ල නිදහස් රටක් විදියට සෞඛ්‍යයත් නිදහස්. ඒ කෙසේ වෙතත් මේ වැය දරන්න නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කර ගත යුතුයි නේද? අපි කෙළින්ම මේ සේවාවට අය කර නොගන්නවා නම් අපි ඒ සදහා අය කර ගන්නේ කෙසේ ද ? ඒ වැය දරන්න අපේ ආර්ථිකය ශක්තිමත් ද? එහෙම නම් එය සොයා ගන්න නැවත අපි බදු ආදායම් දෙස බැලිය යුතුයි නේද? ප්‍රශ්නෙ ආයෙත් මුලටම අපි ඇවිත් වගේ නේද?

10. ඉතා දියුණු ආර්ථිකයක් ඇති ජපානයේ ආර්ථික ශක්තියට එක් හේතුවක් වී ඇත්තේ එම රටේ ජනතාවගේ ඉතුරුම් බව ඔබ දන්නවාද? එම ඉතුරුම් සුලු වශයෙන්වත් කිරීමට අපේ ජනතාවට හැකියාවක් නැත්තේ ඇයි? අපි ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල මසකට රුපියල් (සියලුම සෘජු සහ වක්‍ර බදු.) 4000 වේ යැයි සිතමු. බදු අය නොකරන ඒ ඒ සේවාවන් සදහා මිලක් නියම කර එය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර අපි ඒ වෙනුවෙන් මසකට වැය කරන මුදල අවම වශයෙන් රුපියල් 3000 වන්නේ නම් මසකට එක අයෙක්ට රුපියල් 500 වත් ඉතිරි කළ හැකියි නේද? මෙම ක්‍රම ඉතා දියුණු රටවලවල අත්හදා බලා ඇති බව වගකීමෙන් කියන්න හැකියි. මම මේ සටහන අවසනට ඒ පිළිබඳ ලියැවී ඇති පොත් කීපයක නම් යොදන්නම්. නිදහසින් පසු යම් නව ආර්ථික ක්‍රමයක් නැවත අපිට ලැබෙන්නේ ජේ. ආර් ජනාධිපතිතුමාගේ විප්ලවීය වෙනස්කම් නිසා. දශක කීපයක් සංශෝධනය නොවී එලෙසම පවත්වාගෙන යන එම ක්‍රමයට දැන් සංශෝධන අවශ්‍ය බව අපිට හැගෙනවා. නමුත් අපි ඊට සූදානම් ද? අපේ රටේ ආර්ථිකයේ නයුවන් ඒ සදහා දැනුවත්ද?

{මෙහිදී මවිසින් ලබාගෙන ඇති උදාහරණය සත්‍ය නොවේ යැයි ඔබට සිතේ නම් ඔබ නිවැරදිය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී ඔබට නොපෙනෙන බද්දක් එතුළ තිබේ. බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනුයේ භාණ්ඩයේ බදු මුදල හිටි හැටියේ ඉහළ දැමීමෙනි. නිෂ්පාදන බදු කියා ද බද්දක් ඇති බව අපි දනිමු. නිෂ්පාදකයනට බදු නොව දිය යුත්තේ බදු සහනයි. එම නිසා හැම භාණ්ඩයකම බදු මුදල අඩු වීමෙන් මසකට උපයන දෙයින් විශාල මුදලක් ඉතිරි කර ගන්නට පාරිභෝගිකයාට හැකිය. එවිට එම මුදල අදාළ රාජ්‍ය ආයතනයේ සේවාවන් සදහා වන වියදම හෙවත් සේවාව සදහා ගෙවිය යුතු නියම මිල ගෙවීමෙන් අපිට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. අනික එම මිල එවිට ගෙවන්නේ අදාළ සේවාව ලබා ගන්නා පුදගලයා පමණි. නැත හොත් විදුලිය සදහා අදිභාරය එය වැඩියෙන් භාවිතා කරන්නන් සේම ඉතාම අඩුවෙන් භාවිතා කරන්නන්ට ද ගෙවීමට සිදු වීමේ අත්දැකීම විද ඇති ඔබට මා පවසන දේ නිසැකවම වැටහෙනු ඇතැයි සිතමි.}

11. ඔබ මේ ටික සිතා ඇත්ද, අපි සිතමු මධ්‍යම පළාතේ දියුණුවට මාර්ග සෑදීමට අවශ්‍යයි කියා. ඒ සදහා වැය කළ යුත්තේ කවුද? තේ ආර්ථිකය දියුණු එම පළාත් වලට එම මුදලින් ඒ පළාතේ සංවර්ධනය කිරීමට හැකියි නේද? බස්නාහිර පළාත දියුණු කිරීමට මොනරාගල ඌව වෙල්ලස්සේ ගොවියා බදු ගෙවිය යුතුද? නමුත් බටහිර ජනයා ඔහු ලබන ප්‍රතිලාභයට ගෙවීම ඔහුගේ යුතුකම නේද? එසේම අනුරාධපුරයේ ජනයාට වැව් හදන්න ගෙවිය යුත්තේ බටහිර පළාතේ ජනයා ද? ඒ සහල් නිෂ්පාදනයෙන් ආදායම් ලබන්නේ අනුරාධපුරයේ එහෙම නැත්නම් රජරට වැසියා නම් ඒ ගෙවිය යුත්තේ ඔහු නේද?

12. රටක ජනතාවට හිතකර නොවන කිසිවක් දිගින් දිගටම තිබිය යුතු නොවේ. එසේ ඉවත් කළ යුතු දේ අපේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට අප සිතා ඇති ද? එසේ කිරීමට අපට ඇති සැලසුම් මොනවා ද. උදාහරණයක් ලෙස සමාජවාදී රුසියන් සමූහාණ්ඩුව තම විප්ලවයෙන් පසු රුසියන් භාෂාව ඉතාම පහසු ආකාරයට ඉගෙන ගැනීම සදහා ව්‍යාකරණ ඇතුළු සියලු දෑ නවීකරණය කළ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ජපන් රජය ද එය එසේම කළ අතර, තම ජනතාවගේ ආහාර රටාව ජනයාගේ කාර්‍ය්‍යක්ෂමතාවට ගැලපෙන ලෙස වෙනස් කර ගන්නට උපදෙස් දිනි. මේ සියල්ලෙන් එම රටවල් ලබා ගත් දියුණුව විශාල විය. රුසියාව අධ්‍යාපන ලෝකයේ නොමැකෙන නමක් තබන ලදි. රුසියාවේ උපාධියක් නොගත්තෙක් ලොව කිසිම රටක නැත. ඒ එදා ඇති කළ වෙනස නිසාවෙනි.

13. අවසාන වශයෙන් කියන්නට යන්නේ අප උදම් අනන අපේ වසර 2500 වඩා පැරණි සංස්කෘතිය ලොව ඉහළම සංස්කෘතියක් බව මම එක හෙළාම පිළිගනිමි. නමුත් අප ඉන් පළ නෙලා ඇත් ද? අපට ඉන් ලැබෙන වාසිය කුමක් ද? මෙය මුදල් බවට හැර වීමේ ක්‍රම අප සිතා නැහැ නේද? අනෙක මම ද සම්බන්ධ ශ්‍රී ලංකා වි. විද්‍යාලයේ එක් අංශයක වසරක ආදායම කෝටි ගණනකි. අප අපේ විදේශීය සිසුන්ගෙන් උපයන දේය. අප සියල්ල වියදම් කර මහා භාණ්ඩාගාරයට ද මුදල් අතිරිකතයක් සෑම වසරක දීම ලබා දෙන්නෙමු. ඒ නිසා අපේ ආයූර්වේදය, බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යනු මුදල් ආකර බව අප තවම් තේරුම ගෙන නැති බව නම් මට ඒකාන්තයෙන්ම කිව හැක. මේ සියල්ල මේ රටේ මිනිසුන් උදෙසාය. තනි තනි වශයෙන් ගත් කළ අප ඉන් ලබන පළ ප්‍රයෝජන බොහෝය. නමුත් රටක් ලෙස??????

එහෙම නම් මේ විසදුම් අපිට සොයා ගන්න බැරි ඇයි?

මේ පිළිබඳ මගේ මිතුරු කවදත් මගේ ප්‍රණාමයට පත් වූ බ්ලොග්කාරිනියක් වන අරුණි ශපීරෝ කියා ඇති දේ ඇයගේ බ්ලොග් අඩවියෙන් බලන්න. ලිංකුවක් දමමි.

මෙය තව දිගට ලිවීමට මට සිත් නොදේ. එම නිසා මෙතැනින් නවතමි. අපි ඔබට ඇති වූ ප්‍රශ්න පිළිබඳ යම් සාකච්ඡාවක් කරමු.

සැබෑ නිදහස කුමක් දැයි සිතමු.

නිදහසේ අරුත අපේ රටේ වැසියා නිසි ලෙස තේරුම් ගන්නේ කවදා ද???????


(1) Lanka News Paper - http://www.lankanewspapers.com/news/2011/5/66920.html

(2) Statistic Department Annual Report

(1) 2012 http://www.statistics.gov.lk/samplesurvey/Annual%20Report2010Sinhala.pdf

(2) 2011 http://www.statistics.gov.lk/samplesurvey/LFS%20Annual%20Report_2011.pdf

(3) 2010 http://www.statistics.gov.lk/samplesurvey/report%20-%202012Q2.pdf

(3) Pensions Department

(1) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=53&lang=si

(2) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=53&lang=si

(3) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=53&lang=si

(4) UGC http://www.ugc.ac.lk/

(5) ශ්‍රි ලංකාව ආසියාවේ අහිමි ආශ්චර්ය, මිල්ටන් රාජරත්න, රාවය ප්‍රකාශන, 2012.

(6) අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද, රොහාන් සමරජීව, සී. ජේ. අමරතුංග, රාවය ප්‍රකාශන, 2012.

(ප/ළි.
ලියා අවසන් කළේ දින දෙකකට පෙර වුවත් නිදහස් දිනයේ පළ කිරීමට සිතා සිටියත් මාතර සිට පැමිණ, දියණියගේ කටයුතු වලට දවස ගෙවිණි. නිවාඩු දිනයක සවස හතරට පමණ ලිපියක් පළ කරනවා ට වඩා එය අගහරුවාදා පාන්දරම පළ කිරීම යහපත් බව මම දනිමි. එනිසා කමන්න.)