Wednesday, April 25, 2012

ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය.

මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......

මොහොතක් ඉන්න....

මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.

ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ.

ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!!

මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....

එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ මධ්‍යම ආසියාවේ සිට සුළු ආසියාව කරා ව්‍යාප්ත වූ අරාබි ජාතීන් ඉන්දියාවට පැමිණියා. උන්නතිකාමී ජාතියක් වූ අරාබීන් සැම විටම අවිබලයම ඉහළින් සැලකුවා. මේ යුගය වන විට ඉන්දියාවේද ඉතා විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබුනේ. එනම් දැනුම සොයා ගිය පුරාණ සෘෂි යුගයන් අවසන් වී ඉන්ද්‍රජාලික යාගහෝම බහුලව සිදුවන යුගයක් පැමිණිලා තිබුණා. මේ නිසා මුළු ඉන්දියාවම ඉතාමත්ම අනාරක්ෂිතව තිබුණේ. කතාවක් තිබෙනවා, එක්තරා රාජධානියකට පහර දෙන්න පැමිණියේ දහයකට අඩු අරාබීන් කණ්ඩායමක්ලු, නමුත් එක රැයෙන් මුළු රාජමාලිගයත් රජුත් සියල්ලම අල්ලා ගන්න ඔවුන්ට වැඩි වෙලාවක්වත්, බලයක්වත් යොදන්න වුණේ නැහැලු. හේතුව ආක්‍රමණය සිදුවද්දීත් ඔවුන් විශාල යාගයක් කරමින් තමයි සිට ඇත්තේ.

මේ අනුව ඉන්දියාවේ තිබූ රාජධානී විශාල ගණනක් ඉතා සුළු කලකදී අරාබීන් විසින් නතුකරගනු ලැබුවා.

මේ මෙසේ වත්දී හින්දූන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගෙන තම නිසල දිවිය සාමයෙන් යුතුව ගෙවාදැමීමට උපක්‍රම සොයා බොහෝ දුර ගමන් කළා. හින්දූන් මෙම ඛේදවාචකයට මුහුණ දෙමින් තම නිජබිමින් සරණ සොයා පලා යනවිට ඔවුන්ට නොවරදින කෙම්බිමක් වූයේ අපේ සිංහලේ යි.

අපේ සැඟවුණු ඛේදවාචකය ඇරබෙන්නේ එහෙමයි.

මේ කතාවට ඔබ කැමති වුවොත් මේ ඔස්සේ තවත් ඉතිහාසයේ සැඟවී ගිය තොරතුරු ගැන අපි කතා කරමු පසුව. කෙසේ හෝ දැන් අපි පැමිණෙනවා ඉතාමත් වැදගත් තැනකට.

මේ සිද්ධීන්වල කූටප්‍රාප්තිය වෙන්නේ දහසය වන ශත වර්ෂයේ ඉන්දියාවට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග. ඉතා දරුණු යුදකාමී ජාතීන් දෙකකට මැදිවන අහිංසා ධර්මයේ කෙළ පැමිණි හින්දූන් සිංහලේ බලා පලා එනවා පොකුරු පිටින්.

මේ කාලයේ සිංහලේ පැවතෙන්නෙත් ඉතාමත් අවිනිශ්චිත යුගයක්. කොට්ටේ යුගයේ ආරම්භයේ පටන්ම තිබුනු අනාරක්ෂිත බව උපරිමයෙන් සිංහලේ වැසියන් අත්විඳින්නේ මෙකලයි.

ඉන්දියාව උතුරෙන් අරාබීන් වෙතින් සමූලඝාතනය වෙන වෙලාවෙම දකුණෙන් පෘතුගීසීන් පැමිණෙනවා. එකොළොස්වන ශත වර්ෂයේ උතුරෙන් ඇරඹෙන මේ ඉන්දියානු හින්දුන්ගේ ව්‍යසනය, එවිට දකුණෙන්ද ඇරබෙනවා දහසයවන ශත වර්ෂයේ.

කෝට්ටේ සයවන පරාක්‍රමබාහුගේ පාලනය නිසා ඉතාමත් සමෘධිමත් යුගයක් මේවන විට සිංහලේ පැවතෙන්නේ.

සිංහලේ ට මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් වැඩිපුරම තම වාසය පිණිස තෝරා ගන්නේ කෝට්ටේ අගනුවරට නුදුරු ගොදුරු ගම්. මේවායේ නෂ්ටාවශේෂ තමයි, සෝම ග්‍රාමය හෙවත් හෝමාගම නම් ඉන්දියානු බමුණන්ගේ යාග හෝම පැවැත්තූ ග්‍රාමය. පිළියන්දල, හෝකන්දර, වැනි ග්‍රාමයන්. (මේ ගැන පසුව වෙනම ලියන්නම්.) කෙසේ හෝ මොවුන් මේ ගම්වල අගනුවර අවට තම ස්ථිර වාසය අරබනවා.

කල්යාමේදී මොවුන් සිංහලේ සමග මිශ්‍ර වීමෙන් දේශීය වෙනවා. නමුත් ඒ හින්දු දහමත් යාගහෝමත් මෙරටට ජනසමාජයට එක්කරමින්. මොවුන්ගේ බෞද්ධ බව තුළ හින්දු ආගමික වත් පිළිවෙත්ද අඩංගු වෙනවා. විශේෂයෙන්ම නැකැත් ශාස්ත්‍රය, ආයූර්වේදය වැනි එකලත් මෙරට දියුණුව පැවති සමහර විද්‍යාවන් සමග ක්‍රමයෙන් මිශ්‍රවන මේ හින්දු ආගමික සිරිත් විරිත් සිංහලේ සමාජය තුළ හඳුනාගත නොහැකි අයුරින්ම සමාජගත වෙනවා.

ක්‍රමයෙන් පෘතුගීසීන්ගේ බලය ලංකාව වෙතද ව්‍යාප්තවන විට, කෝට්ටේ රාජධානියේද පරිහානී යුගය ඇරඹෙනවා.

සිංහලේ ඉතිහාසය තුළ ඉතාම අද්විතීය සේවයක් කළ නමුත් නිසි පිළිගැනීමක් අදටත් ලැබී නැති සිංහලේ අවසාන රාජකීයයා වන (මෙහෙම ලිව්වේ හෙතු ඇතුව. ඒ කතාව පසුව.) සීතාවක පළමුවැනි රාජසිංහයන්ගේ සීතාවක ඉතා ශක්තිමත් රාජධානිය ඇති වෙන්නෙත් මේ යුගයේදීයි.

රාජසිංහයන් ඉතා අසීරු යුද්ධයක සිටි බැවින් ඔහුගේ රාජධානිය ඉතාමත් ආගමික නිදහස් මතධාරී තත්ත්වයක තමයි මේ වන විට තිබෙන්නේ. ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා මේ සංක්‍රමණිකයන් රජුගේ හා රාජධානියේ බලවත් තත්ත්වයකට මේ අවස්ථාවේදී පත් වෙනවා. දැන් ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි වලට යම් තරමක නිලභාවයක්ද මේ තුළින් ලබා ගැනීමට තරම් මොවුන් උපක්‍රමශීලී වෙනවා.

සීතාවක රාජධානිය පුරාම තම වත්පිළිවෙත් වපුරමින් බෞද්ධාගමික හින්දු චාරිත්‍ර දේව ඇදහිලි සමාජයට ඔබ්බන්නට මොවුන් මේ සමය තුළ ගන්නා උත්සාහය ඉතාමත් සාර්ථක වෙනවා. අදටත් දැකිය හැකි බැරැන්ඩි කෝවිල මේවායේ නටබුන්. ඉතා කෙටි කලකින් අවසන්වන සීතාවක රාජධානියේ වැටීමටත් මේ හෙතුවම විශාල ලෙස බලපානවා. උදාහරණ විදියට ඉදිරි දිනක අප කතා කරන අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් හදුන්වා දිය හැකියි.

සිංහලේ පුරා පැතුරුණු මොවුන් ආඬින් ලෙස අපේ පැරැණි සමාජයේ හදුන්වා ඇත. මෙම ආඬීන්ගේ දායකත්වය යුද්ධයේදී රාජසිංහයන් වෙත ලැබුණද ඒ තුළින් ඔවුන් ලබාගත් වැදගත්ම දේ වන්නේ සිංහලේ සමාජයේ ස්ථාවරත්වයට පත් වීමයි.

සිංහලේ වැසියන්ගේ ලේවලම තුබූ එකිනෙකා පාවාදීම වැනි වැරදි හැසිරීම් නිසාද සංක්‍රමණික ඉන්දියානුවාට පහසුවෙන්ම රජුගේ සිත් දිනා ගැනීමට මඟ පෑදෙනවා. උදාහරණ ලෙස වික්‍රමසිංහ මුදලි සහ සෙනවිරත්න මුදලි අතර හටගත් ආරාවුල පෙන්වා දිය හැක.

මේ අනුව කලක් ගතවන විට ස්වදේශිකයන්ට වඩා විශාල බලයක් සංක්‍රමණික ඉන්දියානුවාට ක්‍රමයෙන් ලැබුණි.

සීතාවක රාජධානියේ පරිහානියත් සමගම මේ සංක්‍රමණිකයන් සීතාවක අතහැර වෙනතක් බැලීය. එහිදී ඔවුන් තෝරාගත් විකල්පය වූයේ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය නම් වංශවත් සිටුවරයායි. මොහු සම්ප්‍රදායික සිංහලේ රාජකීයයෙක් නොවුන අතර සිංහලේ වැසියන්ගේ තේරීමද නොවුණි. නමුත් අතිදක්ෂයෙක් වූ හෙතෙම යම් පමණකට සිංහලේ රාජධානිය ආරක්ෂා කිරීමට සමත් වුවත් එය කන්ද උඩරටට සීමාසහිත විය.

කොනප්පු බන්ඩාරයණ්ගේ වාරය පැමිණිබව දත් උපක්‍රමශීලී සංක්‍රමණිකයා කෙමෙන් කන්දේ රාජධානිය වෙත යොමුවිය. නියම රාජකීයයෙක් නොවුණු ජනතාව විසින් එතරම් සුහදව පිළිනොගත් කොනප්පු බණ්ඩාරයන්ට කිට්ටු වූ සංක්‍රමණිකයා, කන්දේ රාජධානියේ පැලපදියම් විය. එහි වංශවතුන්ගේ තත්ත්වයට පත්වූ මොවුන් රාජකීයයන්ගේ ළඟම මිතුරන් සහ උසස්ම නිලධාරි පැලැන්තිය බවට පත් විය.

එසේ ලබාගත් තම අවස්ථාව කන්දේ රාජධානිය අවසන් වන විට තවදුරටත් රැක ගැනීමට ක්‍රමයෙන් ඉංග්‍රීසීන් වෙතද කිට්ටු වීමට තරම් මොවුන් කපටි වෙනවා.

උතුරු ඉන්දියානු වත්පිළිවෙත් කන්දේ රාජධානියේ මාලිගය තුළ බොහෝ සෙයින් අගය කෙරුණි. ඒ අතරම හින්දු දේව විශ්වාසය ද එම ශාස්ත්‍රයන්ද පිරිසිදු බුදු දහම සහ ආයූර්වේදය තුළ කෙදිනකවත් වෙනස් කළ නොහැකි ලෙස කිදා බැසීමද සිදු විය.

කන්දේ රාජධානියේ අවසාන සමය තුළ මේ මහා ඛෙදවාචකය සම්පූර්ණ කරමින් දකුණු ඉන්දියානුවන් රාජධානියේ බලය අල්ලා ගැනීම ද, අවසන ඉංග්‍රීසීන්ට එය පාවාදීම ද සිදු විය.

ඒ වන විට අපේ ගැතිකම් කොතෙක්ද යත් ගලගමයන් හා තව කෙනෙක් දෙදෙනෙක් හැර ඉංග්‍රීසි සිංහල උඩරට ගිවිසුමට අත්සන් කළ වැඩිදෙනා තම අත්සන යෙදුවේ දෙමළ බසිනි.

ඉංග්‍රීසි යටත් විජිතයක් වූ පසුද මේ සංක්‍රමණිකයාගේ විජාතික ගති ලක්ෂණ මතු වෙමින් යට යමින් ඉංග්‍රීසීන් හමුවේද තම ආඬි ප්‍රතිපත්ති මත ගෞරවය දිනාගත් සංක්‍රමණිකයා ඉංග්‍රීසින්ගෙන් පසුව කෙළින්ම තම අතට රාජධානියේ පාලනය ඩැහැ ගැනීමට සමත් විය. අද අප පෙළන බොහෝ ප්‍රශ්න වල ආරම්භය මෙය වුවත් මේ ගැන කතා කරන්නේ කවුද?

අනාදිමත් කාලයක සිට තම ප්‍රමුඛභාවය අහිමි වූ සිංහලේ වැසියා, අද තමාගේ මුල් කොතනදැයි නොදනී.

දැන් මේ ලියවිල්ල අවසාන කිරීමට පෙර මම ඔබෙන් යමක් අසන්නම්,


මේ ලියවිල්ලේදී මම හැම විටම සිංහලේ යනුවෙන් ඔබට යමක් කීමට උත්සාහ කළා ඒ කුමක්දැයි ඔබ සිතන්නේද?

Thursday, April 19, 2012

සමාවෙන්න!!!

දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ බාධාව ඉවත් වෙනවා. නැවතත් ඔන්න සීන් එකට ඇන්ටර් වෙන්නයි යන්නේ.

මුලින්ම කියන්නම් දැන් මගේ බ්ලොග්කරණයට වසරක් වෙනවා. ගිය වසරේ අප්‍රේල් තමයි මම වෙදගෙදර ආරම්භ කලේ. මාවෙත සහය දුන් ඔබ සැමට ස්තුතියි!!

මම මේ ලිපිය ඔබට ගෙනෙන්න සිතා සිටියේ සිංහළ අලුත් අවුරුද්ද යෙදෙන දිනයේදීමයි. නමුත් මට ඒ සදහා අවකාශයක් ලබා ගන්න බැරි වුනා. එයට හේතු වූයේ මගේ දෙවනි මව වැනි මගේ ආදරණීය නැන්දනිය හෙවත් වෙදහාමිනේගේ මව්තුමිය අවුරුද්ද ලබන්න කලින් එදිනම බලවත් ලෙස අසනීප වූ නිසයි. දැන් ඇයගේ වයස අවුරුදු 76 පමන. ඒ නිසා ඇයත් රැගෙන මා ඇතුළු පවුලේ සියල්ලන්ම නැවතත් කොළඹ පැමිණියා. ගිය වසරේදී අපේ වෙද පවුලත්, මගේ මිත්‍ර වෙදහාමිනේගේ සොයුරාත් අවුරුද්දට සහභාගී න් ඔවුන නිසා, මේ වසරේ අවුරුද්ද ඉහලින්ම සමරන්න මව බලාපොරොත්තු වුනා. ඒ නිසාම ඇයගේ සුළු අසනීප තත්ත්වය ඇය සඟවාගෙන සිටියා. අවුරුදු දිනයේ හදිසියේම ඒ උත්සන්න වීමෙන් තමයි මේ කලබලය ඇති වූයේ. කෙසේ හෝ ඇය දැන් නැවතත් නිරෝගී බවට පත්වෙමින් සිටිනවා.

ඉදිරියේදී ආයූර්වේදයත් දේශීය දැණුමත් සම්බන්ධ මගේ ලිපි නොකඩවා ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැම මට මෙතෙක් දුන් සහය ඉදිරියටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබට ජය!!!!!!

ඉක්මනින් හමුවෙමු,,,,,,,,,,,

සුපුරුදු පරිදි...............