Monday, May 30, 2011

වාජීකරණයක් කරගමුද????????

අපේ කකා හෙවත් කතන්දර ශූරීන් මට එවපු කමෙන්ට් එකක් නිසා තමයි මේ ලිපියට පාර කැපුනේ.
ඔබ දන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාමත් ඈත අතීතයක් තියන විද්‍යාවක්. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවට වගේම මේකටත් ප්‍රධාන වෛද්‍ය ධාරා දෙකක් තියනවා.
1. කාය චිකිත්සාව
2. ශල්‍ය චිකිත්සාව
මෙහෙම උනාට මේ දෙක තවත් කොටස් කීපයකට බෙදෙනවා. ඒ බෙදීම හැම වෙලේම සිද්ධ වෙලා තියන්නේ ඒ ඒ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය අනුව.

මෙහෙමයි,…………...

1. ධන්වන්තරී සම්ප්‍රධාය - මේක ඉතා දියුණුව තිබුණු වෛද්‍ය ක්‍රමයක්. ධන්වන්තරී කියන්නේ ඉතා ඈත අතීතයක සිටි හොදම ශල්‍ය වෛද්‍යවරයෙක්. මෙතුමා ප්ලාස්ටික් සැත්කමක් කරන පිළිවෙල පවා ඉතා නිවැරදිව තම ග්‍රන්ථවල සටහන් කරලා තියෙනවා. මේ ග්‍රන්ථ අපේ වගේ රටවල භාවිතා නොකලට බටහිර රටවල හස්තසාර ග්‍රන්ථ. (විදේශීය බටහිර ශල්‍ය වෛද්‍යවරුන්ට මේ ග්‍රන්ථ ගැන මනා දැනීමක් ඇති බව මම දන්නවා.) මෙතුමාගේ ග්‍රන්ථය තමයි සුශ්‍රැත සංහිතාව. මෙය නවීන වෛද්‍ය ග්‍රන්ථයක් තරම්ම අංගසම්පූර්ණයි.

2. කාය චිකිත්සා සම්ප්‍රධාය - මේක ආත්‍රෙය මුණි ප්‍රධාන කාය චිකිත්සා සම්ප්‍රධාය. මෙහි ප්‍රධානම ග්‍රන්ථය තමයි. අග්නිවේෂ සෘෂිතුමා රචිත අග්නිවේෂ තන්ත්‍රය හෙවත් දැනට ව්‍යාවාර වන චරක තන්ත්‍රය. මෙය කාය චිකිත්සා සම්ප්‍රදායයි.

මෙම සම්ප්‍රධායන් ආයුර්වේදය ප්‍රධාන කොටස් අටකට බෙදා තියෙනවා.
චරක සහ සුශ්‍රැත සංහිතාවලදී අෂ්ටාංග ආයුර්වේදය හදුන්වන්නේ මෙසේයි.

1.කාය චිකිත්සා - Medical
2. ශල්‍ය චිකිත්සා - surgical
3. ශාලාක්‍ය චිකිත්සා - E.N.T.
4. භූත විද්‍යා - (මෙහිදී ජ්‍යෝතිෂය වැනි විද්‍යාවන්ද, යන්ත්‍ර මන්ත්‍ර ආදී විද්‍යාවන්ද ප්‍රගුණ කර තිබේ.)(Psycho - Somatic)
5. කෞමාර භෘත්‍ය - Pediatric, Obstetrics, Gynecology.
6. අගධ - Toxicology
7. රසායන - Rejuvenating, Vitaminology
8. වාජීකරණ - Fertility enhancing

මේ ආදී ලෙස තමයි මේ බෙදීම කර තිබෙන්නේ. මෙයට වෙනස් බෙදීම් කීපයක් ඇතත් මූලික සිද්ධාන්තමය ලෙස සමානයි.

අයූර්වේදයේ මේ බෙදීම් කීපයක් නවීන වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. මෙකෙදි
කාය චිකිත්සාව/ ශාලාක්‍ය චිකිත්සාව/ ශල්‍ය චිකිත්සාව කියන බෙදීම් නවීන හා ඉතාම සමානයි.

නමුත් කෞමාර භෘත්‍ය කියන්නේ නවීනයට වඩා පලල්ව පැතිරුණු විෂයක් ඒකට, ළමා රෝග, ප්‍රසව තන්ත්‍රය, කාන්තා රෝග කියන කාරනා තුනම අයිති වෙනවා. මේ තුන අද නවීන බටහිර විද්‍යාවට අනුව විෂය තුනක්. නමුත් මෙහිදී මේවායේ ඇති සමානත්වය බලා එකට යොදා තිබෙනවා.

අගධ තන්ත්‍රය කියන්නේ විෂවේදය නමින් හදුන්වන විෂය, දේශීය වෙදකමේ එන සර්ප විෂ කියන කොටසත් අයිති මේ විෂයට තමයි. හැබැයි මේ සර්ප විෂ කියන්නේ මේකෙන් ඉතාම සීමිත කොටසක් විතරයි. අහාර විෂ, රසායන විෂ, ඇතුළු පුලුල් විෂයක් මේ. ඊලගට එන්නේ භූත විද්‍යාව මේක ගොඩක් වෙලාවට මානසික තත්වයන් ගැන. අපේ වටිනා ජ්‍යෝතිෂය ( මාරය මල්ලි සහ ජ්‍යෝතිෂ ලංකා මේ ගැන කථා කරයි.) තොවිල් ඇතුලු මානසික රෝග සුව කරන විෂයක් තමයි මේ.

අනිත් දෙකෙන් ඊලගට මම කියන්නේ රසායන ක්‍රමය ගැන. ඒක ගොඩක් අය වැඩිය වටිනා විද්‍යාවක් විදියට නොහිතුවත් මේක ජාතියක නිරෝගීතාවට ඉතා වැදගත් වෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව අද මේ විෂයේ වටිනාකම තේරුම අරන් තියනවා. මේකටම තමයි අද පෝෂණවේදය කියන්නේ.

දැන් ඉතිරි එක ඒ කියන්නේ වාජීකරනය. මේ විෂය ගැන ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා. මොකද අනිත් විෂයන් යන්තමින් හරි තියනවා. නමුත් මේක, මේකෙ පරමාර්ථ වලින් බැහැර කරලා නිකම්ම නිකන් කුනුහරපයක් කරලා.

මේ විෂය යටතට වැටෙනවා. ස්ත්‍රි පුරුෂ සරුභාවය. මේ සදහා තමයි මේ විෂය දියුණු කලේ. නමුත් ඔබ දන්නවා අද මෙයින් ගන්න ප්‍රයෝජන. කොහොම හරි අද ලෝකයට ලොකුම ගැටළුවක් වෙලා තියන සරුභාවය කියන ප්‍රශ්නෙට පිළිතුරු මෙහි තියනවා.

මේ විෂය ඉතාමත් දියුණු විදියට ප්‍රයෝජනයට ගන්න අය අද ලංකාවේ ඉන්නවා. මම දන්නවා ඔවුන් සහ බටහිර අදාල විෂයන් ගැන ප්‍රවීනයන් එකට එක්වීත් වැඩ කරනවා.

ඉතිං කොහොම හරි මේ වෛද්‍ය ක්‍රමය අද ලෝකයට ගොඩක් අදාල බව නම් මම හොදටම දන්නවා. මින් ඒ කාලෙ කරලා තියන්නේ හොද නීරෝගී දරුවන් හදන්න උදව් ගන්න එක. එතකොට තව තියන විශෙෂයක් තමයි ස්ත්‍රින්ට අමතරව පුරුෂයන්ටත් මේ සදහා ප්‍රතිකාර යෙදීම. මෙවැනි ක්‍රම කොතරම් වැදගත්ද කියලා හිතෙන්නේ අද ලෝකෙ සරුභාවය ගැන තියන දත්ත බලද්දී.

{ඔබ දන්නවද?
මුළු ලෝක ජනගහනයෙන් 15% අද මඳ සරුභාවයෙන් පෙලෙනවා.
එම 15% න් 50% පුරුෂ පක්ෂයත්, 40% කාන්තා පක්ෂයත්, ඉතිරි 10% නොදන්නා හේතු මතත් දරුවන් නැතිව දුක් විදිනවා. බලන්න ආයුර්වේදයේ පුරුෂ මඳ සරුභාවයට හොදටම ප්‍රතිකාර තියනවා. කාන්තා තත්වයන්ගෙනුත් ඉතාම අපහසු කියන ගොඩක් රෝග වලට මින් සුවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඉතිරි 10%ටත් හොද ප්‍රතිකාර අයුර්වේදයේ තියනවා.}

නැවතත් දිනයක මේ ගැන කථා කරමු.

Thursday, May 26, 2011

මසාජ් සහ ආයුර්වේදය.. කොහොමද මේ දෙක එකට යන්නේ??????

මම අද කියන්න යන්නේ සමාජයේ ලොකු කතිකාවක් ඇති වෙන්න ඕනෙ දෙයක්.

මේක මට මතක් වුනේ ගිය සතියේ මගේ මිත්‍රයෙක් මගෙන් ඇහුව කාරණයකින්. එවලෙම මම හිතා ගත්තා ලිපියකට ගන්න හොද මාතෘකාවක් කියලා. ඒත් අපේ වෙද හාමිනේට හොරෙන් ඕනෙ මේක ලියන්න. එයා කැමති නැහැ මම මේ මාතෘකාවට පැටලෙනවට. දන්නවනේ මේක පිටිපස්සේ ඉන්න කට්ටිය ඉතාම බලවත් මිනිස්සු. උන්ට අපි නිකම් හාල් මැස්සො.

හොදයි මෙන්න කථාව…………..

දැන් අවුරුදු කීපෙකට කලින් සති අන්ත පත්තරයක ආයුර්වේද වෙළද දැන්වීම තිබ්බේ ඉතාම සුළු ගනනක්. නමුත් දැන් බලන්න සති අන්ත පත්තරයක වෙළද දැන්වීම අතිරේකයක් ගත්තම සෑහෙන විශාල ප්‍රමාණයක් තියනවා ආයුර්වේද වෙළද දැන්වීම. මේවා වර්ග කීපයක් තියනවා.

1. ඖෂධ දැන්වීම - ඒක අපි ලොකු සටනක් කරලා පිලිවෙලකට හදා ගත්තා. ඒත් තාමත් නීතියට පිටින් මේ දැන්වීම් යනවා. අපි ඒවා වාර්ථා කරනවා. අවශ්‍ය වුනහම යම් යම් පියවරවල් ගන්නවා. ඒ පැත්ත යම් ප්‍රගතියක් ලබලා තියනවා.
2.වෛද්‍යවරු පිළිබඳ දැන්වීම් - මේවා සපුරා තහනම්. කවුරු හරි එහෙම කලොත් ඒක නීති විරෝධී වැඩක්.
3. ආයතන පිළිබඳ දැන්වීම - මේවා තහනම් නැහැ. කාටත් දාන්න පුළුවන්. පොඩි අවසරයක් විතරයි ඕනෙ වෙන්නේ.
4. ආයුර්වේද ඇබෑර්තු - මෙන්න ප්‍රශ්නේ. මේවා මොනවද. මෙහෙම රැකියා දෙන්න ලංකාවේ ආයුර්වේදෙ ඒ තරමට රැකියාත් නැහැ. ඒ තරම් ආයතනත් නැහැ.

ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරු දැනට ලියාපදිංචි කරලා තියන අය ඉන්නේ 20,000 විතර ගනනක් ඕකෙන් වැඩිම ප්‍රමාණයක් රජයේ වැඩ කරනවා. එයාලට පුද්ගලික සේවය තහනම්. (ගෙදර කලාට ප්‍රශ්නයක් නැහැ.) තව කොටසක් පාරම්පාරික වෛද්‍යවරු. ඉතාමත් සීමිත ගනනක් තමයි යම් ප්‍රමානයකට විශාල රෝහලක් හෝ එවැනි ආයතනයක් පවත්වා ගෙන යන්නේ. මේක ඉතාමත් සුළු ගනනක්.

එතකොට මොනවද මේ රැකියා. බලන්න වැඩි හරියක් ඉල්ලන්නේ තෙරපිස්ට්ලා.
කව්ද මේ?
ආයුර්වේදෙ මෙහෙම කට්ටියක් ඉන්නවද?
නැහැ. කොහෙත්ම නැහැ.
එහෙනම් මේ මොකක්ද?

මෙයාල තමයි මසාජ් ක්ලිනික් වල මසාජ් කරන්න සේවිකාවන් ගන්න අලුත්ම ක්‍රමය.
මට මසාජ් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කරන්න කට්ටිය ඉන්නව නම් කස්ටො (රංගගේ වචනයක්) ඉන්නව නම් මට මොකද? ඕන කෙනෙක් කර ගත්තදෙන්. හැබැයි කොහෙවත් තියන ආයුර්වේදේ ඇයි මේකට ගාවන්නේ?

ඔබ දන්නවද ආයුර්වේදෙ සහ මසාජ් අතර කිසිම සම්බන්ධයක් නැති වග.....
ඔව්......
ඇත්ත ඒකයි....

ආයුර්වේදෙ තියනවා රෝගියෙක්ට ප්‍රතිකාර කරන යම් ක්‍රමවේදයක්. ඒක අපිට ඕනෙ විදියට හිතු මතේ කරන්න බැහැ. ඉතා පුරානයේ සිටි මහා බුද්ධිමත් මිනිසුන් තමයි මේ ක්‍රම සොයාගෙන තියන්නේ. අවුරුදු දහස් ගනනක් මේවා අත්හදා බලල පරීක්ෂණ කරලා තියනවා. ඒ බව ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සුශ්‍රැත අශ්ටාංග හෘද්‍ය වගේ පොත් පරිශීලනය කරද්දී අපට පෙනෙනවා. මෙවා ඉතාමත් විද්‍යානුකූල මෙඩිකල් ජර්නල් කියන්න පුළුවන්.

මේ ග්‍රන්ථ වලට අනුව යම් රෝගියෙක්ට යම් රෝගයකට ප්‍රතිකාර කරත්දී අපට උදව් වෙනවා එම රෝගයට අදාල චිකිත්සා සූත්‍ර කියන දෙ. මේ චිකිත්සා සූත්‍ර හැම විටම මූලික කරගෙන තමයි රෝගියාට ඖෂධ, ආහාර, ව්‍යායාමය, විවේකය ලබා දෙන්නේ. මේවායින් වෙනස් වෙන තැන් පවා මෙම ග්‍රන්ථ සාකච්ඡා කරල තියනවා.

ඒ කියන්නේ ක්‍රමාණුකූල වෛද්‍ය අද්‍යාපනයක් ලැබූවෙකුට රෝගියෙක්ට ප්‍රතිකාර කරනකොට මේ සූත්‍ර ඉතා වැදගත්.

යම් රෝගයක් වැලදුනාම ශරීරයේ ඇති වෙනවා යම් යම් විෂ තත්වයන් (Toxic Factors). එතකොට ශරීරයේ කොහොමත් පරිවෘත්තියේදී සෛලවල මේවැනි විෂ ස්වභාවයෙන්ම ඇති වෙනවා.
මේ විෂ නිසා තමයි නැවත නැවත රෝගය වැලදෙන්නේ. එතකොට ආයුර්වේද ක්‍රමයට අනුව මේ විෂ ඉවත් කරන්නත් ක්‍රමයක් තියනවා. ඒක තමයි අපි පංච කර්ම කියන නමින් හදුන්වන්නේ.

ඔන්න වැරදුන තැන.....

මොනවද මේ පංච කර්ම...
1. නස්‍ය (නස්න කිරීම )
2. වමන
3. විරේචන
4. වස්ති
5. රක්ත මෝක්ෂණ

මේ කියන කර්ම (ක්‍රම ) 05 ට අපි කියනවා පංච කර්ම කියලා

එතකොට කොහොමද මේක මසාජ් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වුනේ.....

ඒක වුනේ මෙහෙමයි......
මිනිස් ශරීරයට යමක් කරත්දි ඒක දරා ගන්න විදියට ශරීරය සකස් කරන්න ඕනෙ ( worm up)
මේ සදහා තියනවා පූර්ව කර්ම කියලා කොටසක්. ඒ කියන්නේ ශරීරය පංච කර්ම වලට ඔරොත්තු දෙන විදියට සකස් කරන ක්‍රම.
එක් එක් රෝග වලට අයිති අදාල ප්‍රධාන කර්මයේ හැටියට අදාල පූර්ව කර්මය කරන්න ඕනෙ. අපි උදාහරනයක් ගමු. නස්යකදී හිස කොටස අදාල වෙන නිසා හිස සහ ඒ කොටස් ඒ තත්වයට ගේන්න ඕනේ. එහෙනම් කොහොමද් ඒක කරන්නේ...
හිස ශරීර උශ්ණත්වයට සමානව රත්කරගත් සුදුසු තෙලකින් නාවනවා. සම්භාහනය කරන්නේ නැහැ. රෝගියාගේ ඇගට අත තියන්න ඕනෙ නැහැ.
තව දෙයක් කියන්න ඕනෙ නස්‍යකදී තෙල් බැරල් ගනන් නාසයට දමන් නැහැ. ඉතාම අංශුමාත්‍රයයි දමන්නේ. ඒකයි විදිමත් ක්‍රමය. ඒකටම විශෙෂ වූ තෛල වර්ගත් තියනවා.

අනිත් රෝග වලදීත් එසේමයි. සර්වාංග රෝග තත්වයක්දී ශර්ර්‍රයම තෙලින් නාවනවා. මේකට කියන්නෙ ධාරා ප්‍රතිකාරය කියලා. ශරීරයට තෙල් ධාරාවක් වගේ වැටෙන්න සලස්වනවා කියන එක.

හිසට ශිරෝධාරා,

ඇගට සර්වාංග ධාරා.

මෙන්න මේකට තමයි මසාජ් කෑල්ල අමුණලා තියන්නේ. දැන් ප්‍රධාන කර්ම යට ගිහින් මසාජ් සමඟ පූරව කර්ම විතරයි.
අනේ කාලේ....
අබුද්ධස්ස කාලේන........................
කජ්ජේන පුහුලං..................

දැන් ඔබට තේරෙනවද කොහේවත් තියන ආයුර්වේදයක් අල්ලගෙන මේ නටන නාඩගම.
කොටින්ම අපි ලගට දවසකට කෙනෙක් දෙන්නෙක් එනවා සහතික ඉල්ලන් අපේ ආයතනවල වැඩ කරලා පුරුද්ධ තියනවා කියලා ලියවගන්න. පව් තමයි කාටත් රස්සාවක් ඕනෙ ඒත් තව විෂයක් විනාශ කරන දේකට උද්ව් වෙන්න පුලුවන්ද?
ගොඩක් අපි එක්ක තරහා වෙනවා මේ ප්‍රශ්නෙ නිසා. මිනිස්සු දැන් හිතන් ඉන්නේ ආයුර්වේද කියන්නේ මසාජ් කරන එකට කියලා. (හැමෝම නෙමේ.) මෙකට දැන් වචනයකුත් එකතු කරගෙන ආයුර්වේද මසාජ් කියලා. {මම අවු 20 වැඩිය (1988 සිට ) ආයුර්වේද විදයාවත් එක්ක ඉන්නව. ශිෂ්‍යයෙක් විදියට අවු 8 පමණත් (අවු 2 , පමණ ගෙදරට වී සිටියා 1988 /1989 කාලයේ), අනිත් ටික වෛද්‍යවරයෙක් විදියටත් ඉදලා} තාම මෙහෙම වචනයක් මට කියවන්න ලැබිලා නැහැ.

ඉතින් මට ඕනෙ කරන්නේ ආයුර්වේද විද්‍යාව ගැන කථා කරන්න. ඒක මගේ යුතුකම. ඒ යුතුකම මම මැරෙනකම්ම කරනවා.
ජය!!!!!

Wednesday, May 25, 2011

ආයුර්වේදයේ ප්‍රතිජීවක!!!!!!!!!

අද උදේම වැස්ස නිසා මම ගොඩක් නිදහස්. ඒ නිසා හිතුන ආයුර්වේදයේ ප්‍රතිජීවක ගැන කථා කරන්න.

ආයුර්වේදය කියන්නේ මූලික දාර්ශනික මත වලින් ඇතිවුන වෛද්‍ය විද්‍යාවක් කියලා අපි මුලුන්ම කථා කලානේ. ඉතිං මේ විද්‍යාව ගොඩක්ම දියුණු කරලා තියන්නේ ඉතාම ඈත අතීතයේ හිටපු දාර්ශණිකයෝ. මෙයාලගෙන් මුල්ම කන්ඩායම විදියට සටහන් වෙලා තියන්නේ අග්නිවේෂ මහා සෘෂි, ධන්වන්තරී මහා සෘෂි, පුලස්ති, ඩල්හන, සුශ්‍රැත වගේ මහා බුද්ධිමතුන් රාශියක්. මේ අය ගොඩනගපු ආයුර්වේදය හැම විටම සලකලා තියන්නේ , පුද්ගලයා කියන ප්‍රපංචය ලෝකයෙන් ව්‍යුක්ත කරලා නෙමෙයි. ලෝකයත් එක්කම. කෙටියෙන් කිව්වොත් පුද්ගලයා හා ලෝකය කියන්නේ එකම ව්‍යුහයක් විදියට තමයි මෙතනදි සලකන්නේ. හැබැයි බටහිර විද්‍යාවලදී මේක වෙන්නේ පුද්ගලයා වෙනමත් ලෝකය වෙනමත් අරගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ආයුර්වේදයේදී පරිසරය ජීවයේම කොටසක් ලෙස ගන්නවා. ඒ නිසා පුද්ගලයා වෙනුවෙන් පරිසරය වෙනස් කරන්න පෙලබෙන්නේ නැහැ. හැම වෙලාවෙම පරිසරයට අනුකූල ලෙස ජීවත් වීමට පුද්ගලයා සකස් කරනවා. ඒත් බටහිරදී පුද්ගල යහපත සඳහා පරිසරය සකස් කරනවා.

(මම මේ ටිකත් කියන්න ඕනේ. බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි මේ මොන නමකින් කිව්වත් මේවා තියන්නේ මිනිස්සුන්ගේ යහපතට. මේවා එක එකක් අනික්වාට කොයිම හෝ මොහොතක උපකාරී වෙනවා. මේ හැම විද්‍යාවක්ම එක සේ වැදගත් වෙනවා සමාජයේ ප්‍රගමනය සඳහා)

මම හැම වෙලාවකම ආයුර්වේදය බුදු දහම කියන දෙක එකම මගක යන දෙයක් විදියටයි දකින්නේ. බුදු දහමේ එන චේතනා සූත්‍ර තුන, මහා නිධාන සූත්‍රය, ලෝක සූත්‍රය, රෝහිතස්ස සූත්‍රය වගේ තවත් සූත්‍ර ගනනාවකම සඳහන් වෙනවා පුද්ගලයා කියන්නේ ලෝකයේම හෙවත් පරිසරයේම කොටසක් කියලා.

මේ නිසා හැම වෙලාවකම ආයුර්වේදයේදී පුද්ගලයාට බෙහෙත් කිරීමේදී පරිසරයට හානි වෙන්න දෙන්නේ නැහැ.
කොටින්ම ඖෂධ සඳහා ගසක කොටසක් කපා ගැනීමේදී පවා ගසට වැද ඉන් අවසර ගැනීමේ ක්‍රමයක් පැරන්නන් අතර තිබුනා.
කෙසේ හෝ ආයුර්වේදයේදි බොහෝ විට ප්‍රතිජීවක කියා කියන්න හැකි විශෙෂ ඖෂධ භාවිතා වූයේ නැහැ. නමුත් පුද්ගල ශරීර එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් කෙරුනා. උදාහරනයක් ගතහොත් යම් යම් ඖෂධත් සමඟ අනුපාන නමින් හදුන්වන යමක් ගැනීමේ ක්‍රමයක් දේශීය වෙදකමේ එනවා. ගුලි සමග නෙල්ලි රසකිඳ තම්බාගත් වතුරින් ගැනීමේ ක්‍රමයක්ද පැවතියා. අදටත් එසේ කරනවා. ඔබ බලන්න නොයෙක් උද්භිද විද්‍යා පොත පත අප රටේ පලවෙලා තිබෙනවා. මේ ඖෂධ දෙකම හොද ප්‍රති ජීවක ගුන දරනවා. තවත් වෙනිවැල් ගැට, කටුවැල් බටු, බිං කොහොඹ වැනි දෑද ඉතා හොද ප්‍රති ජීවක බව මේ නවීන පොත් පත් වලින් පෙනෙනවා. මෙවායි සිද්ධ වෙන්නේ එන ඕනෙම අභියෝගයකට මිනිස් ශරීරය සූදානම් කිරීමයි. අපි තේ බොන්න පෙර මේ දේවල් තමයි නිතරම පානයට ගත්තේ. ඒ නිසා ඒ කාලෙ අපිට මොන ලෙඩ ආවත් ඒක ඉක්මනට සුව කර ගැනීමේ හැකියාව පැවතුනා. මොකද ශරීරය හැම විටම සූදානමින් සිටින නිසා.

මම දන්නවා මම දැන් කියන කථාව බෝම්බයක් ගැහුවා වගේ කියලා……….

ඔබ දන්නවද කංසා කියන්නේ ඉතාම හොද ප්‍රතිජීවක ගුන දෙන ඖෂධයක්. සුද්දො එන්න කලින් මේක මත්ද්‍රව්‍යයක් ලෙස ගත්තේ නැහැ. සුද්දා තමයි මේක මත්ද්‍රව්‍යයක් කලේ ඒක කලේ එක්දහස් අටසිය දහ අටේ කැරැල්ලෙන් පස්සේ කැරැල්ල ගැන හොයන්න දාපු කොමිටියෙන්. ඔබට ඒක බලාගන්න පුළුවන් එවකට ලංකාවේ ආන්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්‍රිග් සහ යටත් විජිතභාර මහලේකම් අතර ගනුදෙනු වුනු ලිපි බැලුවහම. මේ විස්තර දැන් පොතක් වශයෙන් ඇවිත් තියනවා. ආයුර්වේද ඖෂධ වලින් කංසා අයින් කලා කියන්නේ මිනිහෙක්ගේ අතක් කපලා දැම්මා වගේ වැඩක්.

ඉතින් දැන් අපිට පේනවා මේ ප්‍රතිජීවක ඕන වෙනවා හැබැයි එන එන ලෙඩේට වෙන වෙන ප්‍රතීජීවක නෙමෙයි.
තව එතකොට පරිසරයේ වෙනස් කිරීම් වලින් රෝග නැති කරන්න බැහැ. එකක් ඉවර වෙනකොට තවත් එකක් එනවා. ඒ නිසා කල යුත්තේ මිනිසා ශක්තිමත් කිරීමයි. මිනිස් ප්‍රතිශක්තීකරන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමයි.

ඒකට ආයුර්වේදය හොදටම ප්‍රමානවත් බලවත් නැත්තේ ආයුර්වේද වෛද්‍යවරයාගේ කැපවීමයි, සමාජයේ බලපෑමයි, අනික පාලකයන්ගේ නොදැනුවත් කමයි.

අපි උත්සාහ කරමු මේ දෙවල් නැවත සමාජ ගත කරන්න.
ජය!!!!

(අර පොත තමයි මහාචාර්ය්‍යය විමලානන්ද තෙන්නකෝන් ශූරීන් ලියපු උඩරට මහ කැරැල්ල සහ එතුමාම ලියපු තවත් පොතක් තියනවා ඒකෙ නම ඔන නම් මට කියන්න දැනට පොත තහනම්.)

Tuesday, May 24, 2011

හපන්කම් පුරසාරම් මෝඩකම් අතරට යාන් හෑලි (නායකත්ව පුහුණුව )

පසුගිය මාස දෙක කියන්නේ මට උපරිම වැඩ තිබුනු කාලයක්. අප්‍රේල් මාසෙ 09 මම විදේශගත උනා. ආපසු ආවේ අප්‍රේල් 20 විතර. එනකොට වැඩ ගොඩ ගැහිලා. ඇත්තෙන්ම මම ගමන යන්න පහුගිය දෙසැම්බර් ඉදලා බලං හිටියා කාලය හොයා ගන්න. කොහොම හරි ඒ වැඩ ඉවර කරගත්තා. ආපසු ආව දවසේ ඉදලා දිගටම ආයිත් වැඩ. ඊට පස්සේ මැයි වෙනකොට පවුලෙ මංගල උත්සවයක් ආවා. මේ දෙක නිසා සෑහෙන්න වෙහෙසුනා. ආයිත් මගේ පරණ බාරයක් නිසා කතරගම ගියා පෝය දවස් දෙකම. ඒකත් හෙන කට්ටක් වුනා. මට හොදටම මහන්සියි. මම දැනගෙන හිටියා මේක ඉවර වෙන්නේ මම අසනීප වෙලා කියලා. ඔන්න ඒකත් හරි. දැන් ටික ටික සනීපයි. මේ ටිකේ ගොඩක් අමාරුවෙන් බ්ලොග් ලියවිල්ල කලා වුනත් අළුත්ම ලිපියක් දාන්න බැරි වුනා. මමත් අර කතන්දර ශූරීන් වගේ කලින් ලියලා පස්සේ පෝස්ට් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒත් දැනට ලිපි 10 විතර බාගෙට ලියලා ඉවරයි. ටික ටික බලමු. තාම මේ ආව විතරනේ. තාම මම ලියලා තියන්නේ ප්‍රධාන ලිපි කීපයක් විතරයි ඒවාට ලැබෙන ප්‍රතිචාර මට ගොඩක් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඔබ සැමට ගොඩක් ස්තුතියි මගේ මේ යාන් හෑලි කියවනවට.
ඔන්න දැන් ප්‍රධාන කතාවට. පාරට දාගත්තා අමාරුවෙන් නැත්තන් හපන්කම් පුරසාරම් විතරයි. බලද්දි ඔකොම මෝඩකම් නේද?

මට හිතෙනවා මට වගකීමක් තියනවා කියලා මේ නායකත්ව පුහුණුව කියන අද දවසේ ප්‍රධාන මාතෘකාව ගැන කෙටියෙන් හෝ කථා කරන්න. මේකට තාම කල් වැඩියි. අපි මේ ගැන කථා කරන්න ඕනෙ මේ වැඩේ පසු විපරමක් හැටියට. ඒත් මෙකට අපි කලබල වුනාත් වැඩියි. මේක හොදට හිතලා කරන්න තිබුණු වැඩක්. අන්න ඒ ගැන තමයි මගේ අද දවසේ කථාව වෙන්නේ.

නායකත්ව පුහුණුව කියන්නෙ නායකයො හදන එකටනේ. මට තියන ප්‍රශ්න

1) සති තුනෙන් නායකයො හදන්න පුළුවන්ද?
2) එතකොට කැම්පස් තේරුන් නැත්නම් නායකයෙක් නෙමෙයිද?
3) රැග් එකෙයි නායකත්ව පුහුණුවෙයි තියන සම්බන්ධෙ මොකක්ද?
4) නායකත්ව පුහුණුව අවසානෙදි ඔක්කොම ශිෂ්‍ය ප්‍රශ්න විසදෙනවද?
5) මෙතෙක් කල් හිටපු (එස්. බීත් ඇතුළුව ) ශිෂ්‍ය ප්‍රජාව නායකයො විදියට අසාර්ථක ද?

මගේ මෝඩකමට මට හිතෙන්නෙම මෙහෙම දෙවල් තමයි. ඒත් කලින්ම කියන්න ඕනෙ මම මේ වැඩේට බොහොම කැමති කෙනෙක්.

එහෙනම් මොන ඉලව්වටද මේ ප්‍රශ්න?

ඔව් ඒක මෙහෙමයි, මට ඕනෙ මේ වැඩේ මෙයිට වඩා බර සාරෙට ලස්සනට රටට වැඩක් ඇති විදියට වෙනවා දකින්න. මම ගොඩක් දෙවල් කියන් නැතුව නිකම් දාන්නම් මගේ යෝජනාවල්.

අවු 18 පිරිලා සතියක් ඇතුලත හැම කෙනෙක්ම මේ පුහුණුව ලබන්න ඕනේ. (වයස අපි පස්සේ කථා කරමු මේක උදාහරනයක් විතරයි ) වයස අවු. 18 කියලා හරි නිශ්චිත දිනයක් දුන්නම අපෙ කදවුරුවල තියන ඉඩ ප්‍රශ්නේ විසදෙනවා. මොකද එක පාරටම ගොඩක් කට්ටිය එන්නැති නිසා.

මේ පුහුණුව දෙන්න ඕනෙ වසරක් හෝ දෙකක්. මේක හැමෝටම අනිවාර්ය්‍ය වෙන්න ඕනෙ.

මේ පුහුණුව නැති අයට රියදුරු බලපත්‍රය දෙන්න හොද නැහැ. මොකද අපේ රටේ පාරවල විනයක් තියනවද කියලා, මම හිතනවා ඔයාල හොදට දන්නවා. තුන් රෝද රිය පවා විනයක් ඇතිව පදව්න්න මේ අය එතකොට දැන ගනියි.

රජයේ රැකියාවක් කරන්න, කැම්පස් යන්න මේක අනිවාය්‍ය වෙන්න ඕනේ.

නායකයො හදන්න මේවායින් බැහැ. එහෙනම් අපේ රටේ නායකයො වෙන්න ඕනෙ හමුදා නිළධාරීන් . එහෙම වෙන්නෙ නැහැ. කරන්න ඕනෙ විනයවත්ව ක්‍රමානුකූල ජීවිතයක් ගොඩනගා ගන්න පුහුණුව දෙන එක.

අනික දැන් මෙහෙම බලන්න උසස් අද්‍යාපනය කරන්න තේරෙන නොතේරෙන කාටත් පරිඝනක පුහුණුවක් දෙන්න පුළුවන්. වැඩිය නෙමේ මේක නිකම් ටිකක් වැඩක් කරගන්න තරමට. අනිත් කොටස එතකොට මේ පුහුණුවෙන් පස්සේ කරගනියි එයාලම.

බලන්න අපේ ඉතා ඉහලට ගිය ව්‍යාපාරිකයො වගේ අය ගෙනල්ල මේ ලමයින්ට පොඩි දේශන කීපයක් කරන්න ඕනෙ. මේ අය ඉහලට ගිය හැටි, ජීවිතේ ජය ගත්ත හැටි, වගේ දෙවල් එතකොට මේ ලමයින්ට එනවා හැගීමක් මම හිතනවා හැම වසරකම ඉහලටම යන්න පුළුවන් ව්‍යාපාරිකයෝ එක්කෙනෙක්වත් බිහි වෙයි.

නොයෙක් කර්මාන්ත පුහුණුව දෙන්න පුළුවන්. හැම රාජ්‍ය ආයථනයකම වැඩ වෙන පිළිවෙල අදුන ගන්න පුළුවන්. ( මේ ටික මම ගත්තේ මකරාගේ බ්ලොග් එකෙන් ස්තුතියි ඔබට )

මේ අය එලියට එනකොට හමුදාවල ඉන්න කැමති අයට එහෙම ඉන්න හැරලා තම තමන්ගේ කැමැත්තේ හැටියට වෘතීය පුහුණු වැඩ සටහන් වලට යොමු කරවන්න පුලුවන්.

මම හිතනවා මේ වගේ වැඩ පිළිවෙලකට අපි අපේ ඊලඟ පරම්පරාව යොමු කලොත් අපිට ගොඩක් සතුටෙන් මැරෙන්න පුලුවන් වෙයි.

හිතන්න.........................

අපි ඉදිරියට යමු...................

මේක අවස්තාවක් කර ගමු..............................

මේපුහුණුව විදිමත ඉදිරියට දියුණු වේවා කියන එක මගේ පැතුමක්!!!!!!!!!!!!!!!!!!!!

(අපේ බ්ලොග් කරුවොත් කීප දෙනෙක්ම මේකට ගිය නිසා අපි නැවත මේක කථා කරමු ඔවුන් ආවාම.)


ජය!!!!!!!!!!!!!

Friday, May 20, 2011

බුදු තෙමඟුල ගැන මගේ මතය....

මම හිතාගෙන හිටියේ මේ ලිපිය වෙසක් දවසට දාන්න. නමුත් මගේ වැඩත් එක්ක ටිකක් පහු වුනා සමාවෙන්න.
බුදුන් වහන්සේගේ තෙමඟුල කියන්නේ මොකක්ද කියන එක අපි කවුරුත් දන්නවා.
ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන කාරනා වලින් බුදු වීම කියන කරුන හැරුනු විට අනිත් කරුනුවල තියන වෙනස මොකක්ද?
සිදුහත් කුමාරෝත්පත්තියේදී ඇත්තටම මේ සිදුහත් ලදරුවා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දද?
නැවත බුදු කෙනෙක් පිරිනිවීමෙන් පසු ඉපදෙන්නේ නැත්ද?
එහෙම නම් එහෙම වෙන්නේ කොහොමද?
මෙන්න මේ කියන කාරනා ඉතා කුඩා අවධියේ පටන් මගේ හිතට ලොකු ප්‍රශ්න වුනු කාරනා.
මම ඔබට කිවොත් මම මේ කියන කාරනය එනම් සිදුහත් කමාර උප්පත්තිය සිද්ධ වුනු වෙලාවේ මේ කියන විපරයාසය එනම් නෙළුම් මල් හතක් උඩ ඇවිද්ද කියන කාරනය මම නම් පිළිගන්නවා කියලා........
ඔබ හිතනවද මම හරි කියලා..................
ඔව් මට තේරෙන හැටියට මම ඒ කාරනය ඔබට කියලා දෙන්නම්,,,,,,,,,,

මුලින්ම අපි බලමු බුදු කෙනෙක් කියන්නේ කාටද?
එනම් සියළු කෙලෙස් නැති කල, කාලය ජය ගත්, (ඕනෙම අවස්ථාවක ආයු සංස්කාරය ඉවත් කරගත හැකි. මරණය ජයගත් ) සියළු දේ දත් උතුමන් අපි බුදු කෙනෙකුන් ලෙස පිලිගන්නවා. නමුත් රහතන් වහන්සේද මේ කියන සියළු ගුන දරනවා. එතකොට ඇයි මේ බුදු සහ රහත් දෙදෙනෙක් ලෙස සලකන්නේ. මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුතු වන්නේ,

මනුෂ්‍ය ශරීරය ස්නායු පද්ධතීන් දෙකකින් සකස් වෙලා තියනවා. කෙටියෙන් කිව්වොත්,
1. සුෂුම්නා ස්නායු පද්ධතිය.(සුෂුම්නාවෙන් ස්නායු ආරම්භ කරන.)
2. කපාල ස්නායු පද්ධතිය.(මොලයෙන් හෙවත් කපාලයෙන් ස්නායු ආරම්භ කරන ) ලෙස මෙය බෙදී තියෙනවා.

මේ බුද්ධත්වය සමග සම්බන්ද වැදගත් දෙයක් තමයි ෂඩ් චක්‍ර කියන පැරණි දැනුම. දැන් අපි බලමු මොකක්ද මේ ෂඩ් චක්‍රය කියන්නේ කියලා.

මනුශ්‍යය ශරීරයේ යට (ගුද මාර්ගයේ) සිට ඉහලට ගමන් කරන සේ මෙම චක්‍ර පිහිටා ඇත. මේවා පිලිවෙලින්,

1. මුලාධාර චක්‍රය - ගුද මාරගය ආසන්නයේ පිහිටා ඇත. ශරීරයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ආධාර වෙයි. මුලින් බටහිර විද්‍යාඥ්ඥයන් විසින් ශරීරයේ සමතුලිතතාවය කන ආශිතව පතින බව පැවසුවත් දැන් මෙම චක්‍රය ආශ්‍රිතව ඇති බව පිලිගනී. ස්කන්ධය පිළිබඳ සංවේදනය ලබා දීම මෙහි ප්‍රධාන කාර්යයකි. කනේ කර්ණ ශංඛය මේ සමතුලිතභාවය පිලිබඳ සංවේදනය කරනු ලබයි. කෙසේ හෝ මෙය කෙලින්ම ගුරුත්වාකර්ශනයට ප්‍රතිචාර දක්වන ශරීරයේ පවතින ඉන්ද්‍රියයයි. අපට මෙම චක්‍රයේ ක්‍රියාවන් අපගේ පාලනයට ගැනීමට හැකි නම් ගුරුත්වාකර්ශණය හා ඇති බැදීම සිද්දැමිය හැක. එහි ප්‍රතිඵලය උඩින් ගමන් කිරීමේ හැකියාවයි.

2. ස්වාධිෂඨාන චක්‍රය
කටී කශේරුකා 1 - 3 අතර පවතී. වෘක්ක සහ මුත්‍රාශය ආශිතව පාලනය මෙයින් සිදු වේ. මේ චක්‍රයේ පාලනය තමා යටතට ගැනීමෙන් ගුද මාර්ගයෙන් ජලය ශරීරය තුලට ගැනීම වැනි ක්‍රියාවන් කල හැක. තවද මේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙයි.

3. මණිපූර චක්‍රය
පෘෂ්ටික කශේරුකා 5 - 12 අතර පිහිටයි. විශේෂයෙන් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. මෙම චක්‍රය තම පාලනයට ගැනීමෙන් දිගු කාලයක් ආහාර නොගෙන සිටීම. ලබාගත් ආහාරය ජීරනය වූ පසු ඉතා සෙමින් ශරීරයේ දහනය කිරීම වැනි ක්‍රියාකල හැක. කොටින්ම ඉතා ස්වල්ප ආහාරයෙන් දිගු කාලයක් ජීවත් වීම කල හැක.

4. අනාහත චක්‍රය
සුෂුම්නාකාංඩයේ අනුපෘෂ්ඨික ආද්‍යඛංඩිකා සතර ඇතුලත පිහිටයි. හෘද්‍යය පාලනය ඌර්ධ්ව ශාරීර කොටස් පාලනය වැනි දේ මෙහි සිදු වේ. මෙහි පාලනය තම අතට ගැනීමෙන් හෘද්‍යය නවතා සිටීම වැනි ක්‍රියා කල හැක. නාසයෙන් කටින් දුම් පිට කිරීම වැනි ක්‍රියා මෙමගින් දැනටද සමහර යෝගීන් විසින් සිදු කරනු ලබයි.

5. විශුද්ධි චක්‍රය
මස්තිෂ්කය හා සුෂුම්ණා ශීර්ෂකය ආශ්‍රිතව ඇත. මෙමගින් ශරීරයේ පවත්නා විශාල ඉන්ද්‍රියන් සංඛ්‍යාවක් පාලනය කරයි. එම නිසා මෙහි පාලනය තම අතට ගැනීමෙන් මුළු ශරීරයේම පාලනය ලබා ගත්තාක් වැනිය.

6. ආඥා චක්‍රය
යුගලක් වශයෙන් ඇත. ඉහලින් කියූ සියළුම චක්‍ර පාලනය මෙයින් සිදු වේ.

දැන් මම ඔබට ඉතාමත් කෙටියෙන් මෙම චක්‍ර පිළිබඳ හැදින් වීමක් කලා. නමුත් මතක තබා ගන්න මේ අපි කථා කලේ මේ විෂයෙන් ඉතාම අල්ප මාත්‍රාවක් පමණයි නැත්නම් මේ ලිපිය ඔබට එපා වෙනවා සිකුරුයි. මෙය ටිකක් නීරස කථාවක් ඒත් අපි දැනගත යුතුයි කියලා මම හිතනවා. මේවා සගවාගෙන සිටීමෙන් අපිට වෙන යහපතක් නැහැ. වෙන්නේ මේ වටිනා දැනුම විනාශ වෙලා යන එකයි.
දැන් ඔබට තේරෙනවා නේද මේ චක්‍ර 6 පාලනය කිරීම අපි අතට ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වැඩ කරන්න පුලුවන්. එහෙම නේද?
හැබැයි මතක තියා ගන්න මේ කාර්ය්‍යය ඉතා අපහසු දෙයක්. පුරාණ සෘෂිවරු මේකට ගොඩක් වෙහෙසුනා. නමුත් යම් යම් ප්‍රතිඵල ලැබුනත් කාටවත් හරියටම මේ තත්වයන් ගොඩනගා ගන්න බැරි වුනා. නිඝන්ඨනාථ පුත්ත වගේ අය ටිකක් කිට්ටුවට ආවා. ඒ නිසා එයාලගේ දහම ගොඩක් සත්‍යයට කිට්ටු වුනා. ඒත් නිසි මාර්ගය සොයා ගත්තේ නැහැ.
ඉතින් අපිට තව එක චක්‍රයක් ගැන කථා කරන්න තියනවා මේකත් කථා කරලම අපි බලමු සම්බුද්ධත්වය සහ මේ අතර සම්බන්ධය.
7. සහස්සාර චක්‍රය
මේ චක්‍රය ඇත්තෙන්ම තවම නවීන විද්‍යාව අනුව පැහැදිලි කල නොහැකි බව තමයි පෙන්නේ. මේක තියන බව අපි සැක කරන්නේ මොලයේ, සමහර අය කියනවා මේක තමයි තෙවන ඇස කියලා හදුන්වෙන්නේ කියලාත්. නමුත් මම ඒක පිළිගන්නේ නැහැ. මට හිතෙන්නේ මේක මුළු මොලය හා සම්බන්ධ වෙලා තියනවා කියලා. ඔබ දන්නව ඇති මහාචාර්ය්‍ය A. D. P. ජයතිලක ශූරීන් වැදගත් සොයා ගැනීමක් කලා. අපේ මොලයේ තියන ඇලි සහ සානු අතර ඉතා කුඩා වැලි වැනි ද්‍රව්‍යයක් ඇලී තිබෙනවා මේවා මිනිසාගේ බුද්ධිය සහ සම්බන්ධයි කියලා. මේ දෙවල් බලද්දී මට හිතෙනවා මුළු මොලයේම මේ සහස්සාර චක්‍රය පැතිරී ඇති කියලා.

දැන් අපි මේ කථා කරපු දෙවල් අනුව බලමු මේකෙ අග මුල සසදන්න.
මුලින්ම පෙනවා නේද මුල් චක්‍ර හය අතරින් මුල් 5ම සුෂුම්ණාව සහ සම්බන්ධයි කියලා. එතකොට 6, 7 දෙක තියන්නේ මොලයේ එහෙම නේද?
පැරණි යෝගීන් මුළු ජීවිත කාලයම වැය කරලා හෙව්වේ මේ රහස තමයි ඒත් එයාල ගිය මාර්ගය වැරදුනා. එයාල බැලුවේ පහසුවෙන් දමනය කල හැකි සුෂුම්ණා චක්‍ර දමනය කරන්න. එතනින් එහාට එයාලට හිතන්න බැරි වුනා. ඔබ බෞද්ධයෙකු ලෙස දන්නවා අපිට අනාගාමී තත්වයට ආවත් මග්ගා මග්ග චිත්ත කියන චිත්තයේදී කෙනෙක් රහත් කියලා රැවටෙනවා. ඒත් එතරම් දුර ආවේ නැති මේ ලෞකික ධ්‍යාන සුෂුම්ණා චක්‍ර තුල ගමන් කල මේතුමන්ලා රැවටීම පුදුමයක්ද? අනිත් කාරනේ මේ චක්‍රවල අනු චක්‍ර තියනවා. මේවාතුල යාමෙන් නොයෙක් විජ්ජා (විද්‍යා) කරන්න පුළුවන් වෙනවා. මොවුන් මේ තුල අතරමන් වෙන්න ඇති. කොහොම වුනත් බුදුන් වහන්සේ මේ තුල යම් දුරකට ගමන් කලා. ඒක වැරදි බව වැටහිලා කෙලින්ම සහස්සාර පද්මය හික්මවීම තම අරමුණ කරගෙන ජය ගත්තා. මේක කරන්න පුලුවන් බුදු කෙනෙකුට පමණයි. ඒකට සෑහෙන දිගු කාලයක් ගත වෙනවා. ගෞතම බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප සහ තව අවුරුදු ලක්ෂයක් පෙරුම්පුරලා තමයි මේ තත්වය ලබා ගත්තේ. ඒත් මේ සුෂුම්ණා චක්‍රවලින් යම් ඵල ලබන්න එච්චරම අමාරු නැහැ. ඒක තමයි අදත් යෝගීන් කරන්නේ. අපිට වුනත් හොද කැපවීමක් තියේ නම් අඩු ගනනේ අනු චක්‍රයක්වත් දමණය කර ගැනීමේ හැකියාව තියනවා. මේ චක්‍ර තුලින් යන්න පුළුවන් උපරිම දුර සීමිතයි. මේවා ගොඩක් ලෞකිකයි. ඒත් කමක් නැහැ ඒකත් කලොත් යම් දෙයක් නේද???

රහත් භාවය අඥා චක්‍රය හා සම්බන්ධ දෙයක් විදියට තමයි මම හිතන්නේ. මෙන්න මෙතන තමයි බුදු කෙනෙකුගෙයි, රහතුන් වහන්සේ කෙනෙකුගෙයි වෙනස තියන්නේ. අනෙක් තත්වයන් වන සෝවාන් සකෘදාගාමී අනාගාමී වගේ තත්ව අඥා චක්‍රයම දමනය කිරීමේ නොයෙක් අවධි විදියටයි මට පෙනෙන්නේ. තවදුරටත් බැලීමේදී සුෂුම්ණා චක්‍ර තුලින් මේ තත්වයන් ලබන්න බැහැ. හැබැයි නොයෙක් මාරග ඵල තත්වයන් ලැබීමට හැකියි. ඒවා ගොඩක් ලෞකික දෙ විතරයි.

අපි දැන් මේ කථාව ඉවරයක් කරමු. එතකොට නෙළුම් මල් හතක් උඩ සිදුහත් ළදරුවා ඇවිද්ද කියන්නේ, මේකෙන් තේරෙන්නේ මේ උපන් පුද්ගලයා, තම චක්‍ර හතම ජය ගන්න කෙනෙක් කියන එක නේද?

මේක මට හිතෙන්නේ පොඩි උපායක් මොකද මේ සංසිද්ධිය මිනිස්සුන්ට තේරුම කරන්න ගොතාපු. මේ වගේ උපාය උපක්‍රම ගොඩක් අපේ පැරන්නෝ පාවිච්චි කරලා තියනවා යමක් වටහලා දෙන්න. බුදු දහමේ, ආයුර්වේදේ මේවා හරි බහුලයි. අනික ඔබ අහලා තියනවා නේද බුදුන් වහන්සේ එක්ක නිතරම පාවිච්චි කරන වචනයක් තියනවා "පද්ම" කියලා. මුණි පද්මේ, වගේ යෙදුම් මේවා යෙදුවෙත් ඔය අර්ථයෙන්ම තමයි. අද අපි මේ හැමදෙම අමතක කරලා. ඒකයි මම මේ ගැන කථා කරන්න හිතුවේ. නමුත් මට මේ වගේ ගැඹුරු විෂයක් ඔබට තේරුම කරලා දෙන්න තරම් දැනුමක් නැහැ. මට ඕනෙ කලේ යම් උත්තේජනයක් දෙන්න විතරයි. එම නිසා මේකෙ මොනව හරි අඩු පාඩු තිබුනොත් ඒ මගේ දැනුමේ අඩුවක් මිසක මේ විෂයේ දුර්වලකමක් නෙමේ.

Thursday, May 19, 2011

අහෝ සම්බුද්ධත්ව ජයන්තිය(එතකොට අනිත් දෙක, ඉපදීම, පිරිනිවීම.) !!!!!!!!!

මම මේක ලියන්නේ අහම්බෙන් දැක්ක දෙයක් ගැන කියන්න.
අනේ මන්ද මගේ මොඩකම වෙන්න ඇති මේවා මෙහෙම පේන්නේ………...
දැන් අපි වයස නිසාද දන්නේත් නැහැ. කොහොම හරි,,,,,,,,,,
මේකයි කථාව ඉතාම කෙටියෙන් කියන්නම්. ………...
මම පහු ගිය දව්ස් දෙකේ හිටියේ කොළඹින් පිට ඒ මගේ දුව ඉපදුන වෙලවේ ඇයට ඇතිවුන යම් ආබාධයක් සනීප කරගන්න මම නොකරපු දෙයක් නැහැ. දෙවි කෙනෙක් වගේ වෛද්‍යවරියක් මගේ දරුවා සනීප කලා කවදාවත් ආයිත් එහෙම දෙයක් ඇයට වුනාද කියලා හිතන්න බැරි තරම් පරිපූර්ණව. දැන මගේ දියණිය ඉතා සාර්ථකව ඉගෙනීම කරනවා. මේ නිසා මම බාරයක් වුනා මම මැරෙනකම්ම හැම වසරෙම කතරගම එනවා කියලා ඇයගේ උපන් මාසයේදීම. මම ලෝකෙ කොහේ හිටියත් ඒක මේ දක්වා කරල තියනවා. ඉතිං 17, 18 මම දාගත්තා කතරගම යන්න. මමයි, බිරිදයි, දුවයි, බිරිදගේ මවයි. අපි කතරගමින් මාතරට ආව 17 රෑම. දැන් 18 දවල් 2.30 මම පිටත් වුනා නැවත කොළඹ එන්න. මම කොළඹට එනකොට වෙලාව දන්නවද??????????
හරියටම මම ගෙදර ගාව වාහනේ නවත්තද්දී වෙලාව 2011/05/19 පාන්දර එකයි.
නැවැත්තුවේ හික්කඩුවේදී දුවගේ ශාරීරික අවශ්‍යතාවයකට පමණයි. මාතර සිට ගාල්ලට විනාඩි 45 ගියා. පැය හතරකට ආසන්න කාලයක් එකම තැනක නැවතිලා හිටියා හික්කඩුවේදී. හෙතුව පෙරහැරක් යෑම.
පොලීසිය හිටියා මහ ගොඩක් තැන් තැන් වලට වෙලා උඩ බලාගෙන. අනේ අපි මහන්සිවෙලා හම්බ කරලා ගෙවන බදු වලින් නේද මුන් පඩි ගන්නේ. මම හිතන්නේ පාර එක පැත්තක් වහලා අනිත් අතින් වාහන යන්න දුන්න නම් මේක යම් ප්‍රමානයකට විසදගන්න තිබ්බා. එහෙමත් නැත්නම් අතුරු පාරකින් වාහන හැරැව්වනම් හොදටම මේ ප්‍රශ්නේ විසදගන්න තිබ්බා. මේ මිනිස්සු ඒ එකක්වත් කලේ නැහැ පාරෙම තමන්ගේ මෝඩකම පෙන්නුවා.

මෙතන ඉන්න ගමන් මම හොද පෝස්ට් කීපයකට කරුණු එකතු කරගත්තා. හැම තැනම අපේ තරුණ ළමයි දන්සැල දෙනවා ඉතාම හොද වැඩක් මම හිතන්නේ ලංකාවේ ඉන්න හැම මිනිහම බඩගින්න නිවා ගන්න එකම දව්ස වෙන්න ඇති උතුම් වෙසක් දවස.
හැබැයි ඒ එක්කම දාලා තිබ්බේ ඉස්සර වාගේ "බුද්ධං සරණං ගච්ඡාමී" වගේ සින්දු නෙමෙයි. අනේ මන්ද මොන භාෂාවද කියලා මට නම් තේරුනේ යටි ගිරියෙන් මොරදෙනවා විතරයි.

කොලුකමනේ එකට නම් මගේ එච්චර විරුද්ධත්වයක් නැහැ කියමු, ……….
ඒත් පාරෙ නටන්න ඕනෙද මේකට අපේ බුදු හාමුදුරුවෝ බුදු වෙලා වසර 2600 ගතවුනු සතුටට වෙන්න ඇති…….
අනේ අපිට කොහොමද ඕවා තේරෙන්නේ නේද මේ වයසක අපිට????????????????????
ඒත් මම හිතුවේ මේ සැරේ අපි බුදු තෙමඟුල සැමරුවේ නැහැ නේද????????????
අනිත් දෙක සමරන්නේ කවදද?????????????????
මට නම් තේරෙන් නැහැ ......
අපි මේවා තේරුම් ගන්න වයස වැඩිද කොහෙද!!!!!!!!!!

Wednesday, May 18, 2011

ආයුර්වේද සරණ ගියෙමි.!!!!!!!!!!!!!

වෙසක් ලිපිය හෙට විතර දානවා. මේක අදම දාන්න ඕනෙ මම වඩාත් කැමති ආයුර්වේදය ගැන හොද සංවාදයක් කරන්න.

කීපදෙනෙක්ම මට ආයූර්වේද ලිපි ලියන්න කියලා ඉල්ලීම කරලා තිබුනා. මම මේ බ්ලොග් එක පටන් ගන්න ආසන්නම හේතුව වුනෙත් ඒක තමයි. මොකද අද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් මට සැකයක් තියෙනවා ඒ ඉල්ලුමට සරිලන ලෙස සේවය සැලසීමට අපි සූදානම්ද කියලා..........

මම මුලින්ම කියන්නම් මම මේ විද්‍යාව හැදෑරීමට යොමුවුනු හැටි. මම කලිනුත් කියලා තියනවා ගොඩක් වත් පොහොසත් කම් තිබුනු පවුලක කෙනෙක් නෙමෙයි. හැබැයි මම ගොඩක් ඉගෙනීමට බැදුනු කෙනෙක්. ඉතින් මගේ පළවෙනි උසස් පෙල ප්‍රතිඵල අනුව මට කැම්පස් යන්න අමාරු වුනා. දෙවනි පාර මාව තේරුනා විද්‍යාව උපාධියට. ඉතින් මේ කියන්නේ 1987 පමන කාලේ. ඒත් මට ඕනෙ වුනේ වෛද්‍ය විද්‍යාව කරන්න මේ කාලෙ මම දැක්කා පත්තරේ තියනවා ආයුර්වේදයට සිසුන් ගන්න දැන්වීමක්. ඒ කාලෙ සිසුන් ගත්තේ ප්‍රතිපාදන කොමිසම වෙනම සම්මුඛ පරීක්ෂණ තියලා. මම දැම්මා අයදුම් පත්‍රයක් ඒකට මට එනවා පිලිතුරු ලිපියක් සම්මුඛ පරීක්ෂණයට කැදවලා. ඒ සැරේ මම ගියා ඒකට. එතනින් මාව තේරුනා. මම මගේ විද්‍යා උපාධිය අත්හැරලා දාලා ආයුර්වේදයට යන්න තීරනය කලා. හැබැයි කවුරුත් ඒක අනුමත කලේ නැහැ. ඒත් මගේ තනි කැමැත්තට මම තීරනය කලා ආයුර්වේදය ඉගෙන ගන්න. ඒ වෙනකොට අපේ පරම්පරාවෙ කෙනෙක්වත් ආයුර්වේදය කරලා නැහැ. මේ වෙනකොටත් මම විද්‍යාව උපාධියට ඉගෙන ගන්නවා. නමුත් මට ලොකු විශ්වාසයක් තිබුනා ආයුර්වේදෙට ගියොත් මම දිනන වගට. ඉතිං දැන් හෙන කට්ටක් කාගෙන මම මේ දෙකම ඇද්දා ටික කාලයක්. කොහොම හරි ඒ විස්තර මම කියන්නම් මගේ විශ්ව විද්‍යාල ජීවිතේ ගැන කියන වෙලාවක………….

දැන් මට ඕනෙ කරන්නේ මොකක්ද මේ ආයුර්වේදෙ කියන්නේ කියලා කෙටි හැදින්වීමක් කරන්න
.
මුලින්ම කියන්නම් ආයුර්වේදෙ කියන්නේ පැරණි බ්‍රාහ්මන සමාජයේ තිබුනු වේදය කියන විෂය ක්ෂ්‍රේත්‍ර වලින් එකක්, පැරණි වේදය කොටස් හතරකට බෙදල තියනවා.
1. සෘග් වේදය
2. යජුර් වේදය
3. සාම වේදය
4. අථර්වන් වේදය
ඉදිරියේදී විස්තර ඇතුව මේ වේදය ගැන කථා කරමු. මේ චතුර් වේදයෙන් අථර්ව වේදය තමයි ආයුර්වේදයට මූල බීජ ඇති කරන්නේ.
ආයුර්වේදයේ මූල ධර්ම වලට මේ වේදයේ දෙවල් එකතු වෙලා තියනවා. ඒ කාලේ තිබුනු ආගම් විදියට දියුනු වුනු දාර්ශනික විෂයන්ද මේකට සම්බන්ධ වෙලා තියනවා. පදාර්ථ විඤ්ඤානය වගේ විෂයන් මේහි මූලික සිද්ධාන්ත නිර්මාණය කරලා තියනවා. කොහොමත් ආයුර්වේදය අදටත් ගත්තම දාර්ශනික ප්‍රවේශයක් තියෙන බව පෙනෙනවා.
ආයුර්වේදයට අනුව ගත්තම මේ ලෝකෙ නිර්මාණ්ය වේලා තියන්නේ පංචභූත වලින්,
1. පඨවි (පෘත්වි, ඝන බව )
2. තේජෝ ( උනුසුම )
3.ආපෝ (සිසිල් බව, එක් වීමේ ගුණය )
4. වායු ( වාතය, චලනය වීමේ ගුණය හෙවත් ජංඝම ශීලී බව )
5. අවකාශ (ආකාස භූතය හෙවත් හිස් බව ) (මේක ටිකක් විශේෂ ගුණයක් මොකද බුදුන් වහන්සේ තම ධර්මයේදී අනෙක් භූත හතර භූත රූප ලෙස විස්තර කලත් මේ භූතය විස්තර කරන් නැහැ.)
මම නම් මේ භූත ගුන ගැන දරන්නේ වෙනම මතයක්. මට හිතෙන්නේ මේව අපි හිතන විදිහේ දේවල් නෙමෙයි. මේ එකක්වත් අපිට ස්පර්ශ කරන්න, ගනනය කරන්න බැහැ. හැබැයි මේවා අපිට විදින්න පුළුවන් ඒ කියන්නේ මේවා ද්‍රව්‍ය කියන තත්වයට වඩා ද්‍රව්‍යම ශක්තීන් කියලා කිව්වොත් වඩා නිවැරදියි. කියන එකයි මගේ මතය. අපේ විද්‍යාවන්ට අනුව කාලය පවා ද්‍රව්‍යයක් විදියට තමා සලකන්නේ. මතක තියා ගන්න බටහිර ලෝකේ අද වෙනකොට කාලය ගැන අපේ පැරන්නෝ හිතපු දේවල් නිවැරදි බව පිළිගන්නවා. අද මම කියන්න යන ඊලඟ දේ තමයි ත්‍රිදෝෂය හෙවත් තිදොස, මේකට අයිති වෙනවා ගුණයන් තුනක්
1. වාතය
2. පිත
3. සෙම
යන කාරණා තුන. මේවාත් නිර්මානය වෙලා තියන්නේ පංච භූත වලින්. මේ තමයි ශරීරය නැත්නම් ජීවය නිර්මානයට දායක වෙන ප්‍රධානම අංග වෙන්නේ. මේකෙම තියනවා තව විශ්වය නිර්මානය වෙන්න දායක් වුනු තිදොසක් ඒක මේ වාගේ නෙමෙයි. එතනදී අපි බලන්නේ ගොඩක් ද්‍රව්‍ය පැත්තට බර වෙලා. ඒක ගොඩක් භෞතිකයි. ශක්තියක්ම කියන්න බැහැ. එතනදි පංචභූත වාගේ නෙමෙයි.මේකෙන් පැහැදිලි වෙනවා ආයුර්වේදයේදී පිළිගන්නේ ශක්ති ද්‍රව්‍යන් එකතු වීමෙන් භෞතික ද්‍රව්‍යයන් සෑදෙන බව කියලා.
ත්‍රිදෝශය ප්‍රධාන කොටස් දෙකයි.
1. ලෝකයේ ජීවය ඇති කරන්න දායක වුනු (මේක තමයි ද්‍රව්‍ය පැත්තට වඩා ශක්ති පැත්තට බර ) සහ
2. විශ්ව නිර්මානයට දායක් වුනු (ද්‍රව්‍ය පැත්තට බර )
(මේ පංචභූත සහ ත්‍රිදෝෂය ගැන නවීන විද්‍යාව ඇසුරින් සහ පුරාණ දර්ශනයන් ඇසුරින් ලිපියක් ඉදිරියේදී ලියන්න හිතන් ඉන්නේ.)

මෙතන තමයි මට කියන්න ඕනෙ කරන දේ තියන්නේ. ආයුර්වේදයට පහුගිය කාලෙ ආව චෝදනා බොහෝමයකට හේතු වුනේ මේ කාරනාව හරියට ආයුර්වේද වෛද්‍යවරුවත් තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ප්‍රති විරුද්ධව ආපු බොහෝ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව ගියා මේකෙන් වුනේ ආයුර්වේදය බොරු කියලා උපකල්පනයක් හැදිලා ඒක තහවුරු වුන එකයි.
හැබැයි එකක් මතක තියා ගන්න ඕනෙ මේ සියළු ප්‍රශන් නිර්මාණය කලේ කීප දෙනෙක්,

1. භාෂා පරිවර්ථකයෝ - මේ අය 1950 ගනන් වලදි විද්‍යාව සිංහලෙන් උගන්නන්න කියලා විද්‍යාව වචන සිංහලෙන් කියනකොට පාවිච්චි කලේ ආයුර්වේද වචන හැබැයි මේවා යෙදුවේ නියම අර්ථයෙන්වත් නියම තැනකවත් නෙමේ.කාලයක් යනකොට මේවා සමාජගත වුනා. ආයුර්වේද නියම අර්ථ යට ගියා. වැරද්දල දුන්න තේරුම් නියම එකට වඩා ලිඛිතව මුද්‍රිතව ස්ථාපිත වුනා. මේවාට අභියෝග කරන්න ආයුර්වේද වෛද්‍යවරයා ලෑස්ති වුනේ නැහැ. ඒත් මම නම් ඕනෙම අභියෝගෙකට ලෑස්තියි. මේ ලියන දේවල වගකීම මම දරනවා.

2. රට නිදහස් වුන අවධියේ සහ මේ වෙනකම් හිටපු සියළුම රජයන් - අපේ රට නිදහස් වුනේ නාමික දේශපාලනයෙන් විතරයි. අපේ අද්‍යාපනය තාම යටත් විජිත යුගයේ නේද ? ලෝකයේ තියෙන ඉහලම තාක්ෂනය අපේ ලමයින්ට උගන්නනවද? අපි උගන්නන මාධ්‍යය වෙනස් කලා විතරයි. ඒකෙන් වුනේ අපිට ලෝකෙට යන්න තිබුනු අවස්ථාව නැති වුනා. අපේ රටේ දෙවල් අපේ විද්යාව වගේ දේවල් මේ අධ්‍යාපනයට එකතු වුනේ නැහැ. ඒ නිසා අදටත් අපි ඉගෙන ගන්නේ යටත් විජිත යුගයේ දේවල් විතරයි.

3. බෙහෙත් කොම්පැණි - තම වෙලද ව්‍යාපාර සදහා ඕනෙම ජරා වැඩක් කරන මේ ආයථන තම ගොදුරු බිමක් බවට ලංකාව හරවගන්න ලොකු උත්සාහයක් යෙදුනා. ඔවුන්ට තිබ්බ ලොකුම බාධාව වුනු මේ රටේ වසර දහස් ගනනක් පැලපදියම් වූ ආයුර්වේද ක්‍රමය නැති කරලා දාන්න මේ අය ඕනෙම මිලක් ගෙවන්න අදටත් ලැහැස්තියි. මේ ආයථනවල මුදල් බලය ඉදිරියේ අපේ රටේ හිටපු දුප්පත් ආයුර්වේද වෛද්‍යවරු මොනවා කරන්නද?

4. අපව යටත් විජිතයක් විදියට පාලනය කල ඉංග්‍රීසීන් - මොවුන් බටහිර ජාතීන්ගෙන් වෙනස් වෙන්නේ, ලෝකයේ ඉන්න එකම සභ්‍යත්ව ජාතිය තමන් කියන ලොකු මානසික මුලාවකට යටත් වෙලා හිටපු නිසා. මෙයාලට ඕනෙ කලා ලෝකය එංගලන්තය වගේ කරන්න. ඔබ දන්නවා ඇති ඔවුන් අපේ ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ දෙශීය වෙදකම, බුද්ධාගම, අපේ කර්මාන්ත, අපේ සංස්කෘතිය වගේ දෙවලට කල හානිය.

5. ආයුර්වේද වෛද්‍යවරුන්- තමන් ඉගෙනගත් කර්මාන්තය ක්‍රියාවට නගන්නැතුව අනුන්ගේ බේත් තමන්ගේ වගේ පාවිච්චි කල තවත් එසේම කරන වෛද්‍ය ප්‍රතිරූපකයන් ඉතා බහුලව අදටත් සිටිනවා. ඔවුන් තමන්ගේ බඩ රස්සාව වෙනුවෙන් තමන්ගේ ආත්මයත් අනිත් වෛද්‍යවරුන්ගේ ආත්ම ගෞරවයත් විනාශ කරමින් සිටිනවා. මේ අය අද දුලභ වුවත්, අපි මේ වෘත්තියට එන යුගයේ එසේ කිරීම සාධාරනීය කරනය කිරීම තම අයිතියක් ලෙසත් සැලකුවා. වාසනාවට අපි කල සටන අද යම් තරමකට ඵලදරා තියෙනවා. මේ පිරිස ඉතාම අඩු වී තියෙනවා. එපමනක් නොව අද එසේ කිරීම නිගාවට කාරනයක් බවටත් හැරිලා.

6. ආයුර්වේද ආයතනවල ඉහල නිලධාරීන් - මම මේ අයගෙන් බැටකන පුද්ගලයෙක්. කොහොම වුනත් මේ බ්ලොග් සටහන් අනුව මාව සොයා ගැනීම ඉතාමත් පහසු දෙයක්. ඒත් මම මේ හිස් මිනිස්සුන්ට බය නැහැ. මගේ හැකියාවන් මට විශ්වාසයි. ඒවා නැති කරන්න මොවුන්ට බැහැ. මේ අය අර කලින් කියපු අය එසේ වෙනත් ධාරාවක බෙහෙත් පාවිච්චි කිරීම අවනම්බුවක් බවට පත් වෙත්දී මොවුන් තමන් උපයාගත් ධනයත් තමන්ගේ දේශපාලන ගැතිකමත් මගින් ආයුර්වේද ආයතනවල ඉහල තනතුරු වලට රිංගා ගත්තා. එසේ හිදිමින් දැන් වෙනත් ක්‍රමවලින් පහර දෙමින් මේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තම පරවේණී බූදලයක් කර ගනිමින් සිටිනවා.

7. වෙලෙන්දෝ - ඕනෙම දෙයක් විකුනන්න බලන් ඉන්න වෙලද සමාජයට ආයුර්වේදෙ දියුණුව හොද කේජු කෑල්ලක් වුනා. නොයෙක් රසායනික බෙහෙත් වලින් තැම්බිලා හිටපු බටහිර ජනතාවට බොරු දෙයක් පෙන්නලා හර්බල් කියන සුලභ වචනේ යොදලා මෙයාල දුන්නේ නියම ආයුර්වේදයද කියන ගැටළුව මට තියනවා. ආයුර්වේදෙ වර්ථමානයේදී දියුණුයි කියන ලෙබලේ ගහ ගත්තේ ඒකට නිසි විදියටවත්, නිසි දවසෙවත් නෙමේ කියන එකයි මගේ අදහස. මම මේ කියන දේ ගැන සම්පූර්න වගකීම මම දරනවා.
මෙන්න මේ කියූ සියළු ව්‍යසනයන් වලින් ආයුර්වේදය විනාශ වුනා. තව දුරටත් විනාශ වෙනවා. ඒත් එහි තිබෙන හැකියාවන් විනාශ වී නැහැ. මේ සටහන මෙතනින් නවතින් නැහැ. තව දුරට මේ ගැන කථා කල යුතුයි. මගේ යුතුකම වගකීම ඒකයි.
මම ඉදිරියේදී කථා කරන්න බලාපොරොත්තු වෙනවා,
1. අවංකවම ආයුර්වේදයේ හැකියාවන් වගේම නොහැකියාවන් ගැන.
2. ආයුර්වේදයේ දාරශනික පදනම ගැන.
3. අපිට ආයුර්වේදය තුලින් ලෝකයට දිය හැකි දේ ගැන.
4. අපි රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය බවට ආයුර්වේදය පත් කරන්නේ කොහොමද කියන මගේ සැලැස්ම.
5. ආයුර්වේදය සහ බටහිර විද්‍ය ක්‍රමයේ ඇති සමානකම් හා වෙනස්කම් ගැන.
6. ඒ ඒ අවස්ථාවලදී පැන නඟින ගැටළු අනුව ඒවාට ආයුර්වේදයෙන් දිය් හැකි පිලිතුරු ගැන.
මේ මූලික කරුනුත් ඔබට අවශ්‍ය ඕනෑම මාතෘකාවනුත් ගැන මම කථා කරන්නම්.

හැබැයි අදට මෙපමනයි……………

Saturday, May 14, 2011

ඊයෙ වෙච්ච අලකලංචිය..........

පෙරේද ඉදල (12) මට ගොඩක් වැඩ අධික වුනා හේතුව උනේ මගේ නෑනාගේ මංගල උත්සවය තිබුනේ 12 රාත්‍රියේ වීමයි ඉතින් ඔය අතරේ මගේ වැඩ ඔක්කොම නැවතිලා තිබුනේ. ඊයේ උදේ හොදටම මහන්සි නිසා වැඩි වැඩක් කරන්නැතුව හොදට නිදා ගත්තා. පස්සේ හවස තමයි බ්ලොග් බලන්න ආවේ. මෙන්න වැඩේ වෙලා. මගේ බ්ලොග් එකේ ලොග් වෙන්න බැහැ. දැන් මම ටිකක් අප්සෙට් මොකද මම මේ කොම්පුටර් කෙරුවාව කවදාවත් කාගෙන්වත් අහලා ඉගෙනගෙන නැහැ. ඉති මට හිතා ගන්න බැහැ මම නැති අව් අස්සේ වුනේ මොකද කියලා. පොඩ්ඩක් හොයනකොට තේරුනා මේක මේ බ්ලොගර් මංඩලේ කචල් එකක් කියලා. ඒත් මතු ආරක්ෂාවට කියලා කෝකටත් එක්ක බැකප් එකක් විදියට මේ ඔක්කොම පෝස්ට් ටික එකතු කලා වර්ඩ් ප්‍රෙස් එකෙත් .

මෙන්න මෙහෙම තමයි ඊයෙ මම වර්ඩ් ප්‍රෙස් ගියේ,
මම ඉතාමත් කැමැත්තෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නකොටම මොකක්ද වෙලා. මම වැඩිය මේ කොම්පියුටරවල ටෙක්නිකල් වැඩ දන්නේ නැහැ. ඒත් කොහොම හරි මේ දේවල් කරගන්නවා. ජීවිතේටම මම කවදාවත් ගුරුවරයෙක්ගෙන් කොම්පියුර් වැද ඉගෙනගෙන නැහැ. අපේ කාලෙ විශ්ව විද්‍යාලෙවත් හරියට කොපියුටර් 10 වත් තිබ්බේ නැහැ. ටිබුනු ඒවත් ත්බ්බේ හරියට දේවාලෙ ඇතුලෙ දෙවියො ඉන්නවා වගේ පරිස්සමින්. දැන් වාගේ ලැප් තිබුන් නැහැ. ඒත් කොහොම හරි දැන් යමක් කොටා ගන්න වැඩක් කරගන්න හැකියාවක් තිබෙනවා.
ඉතින් ම්ගේ බ්ලොග් එකේ මම කලින් ලිව්වා මගේ පාසල් සමය අ.පො.ස.සා/පෙ වෙනකම්ම ඉදිරියේදී ලියන්න ඉන්නේ ඒකෙ දෙවනි කොටස වන මගේ උ/පෙ කාලෙ. ඕක යනවා තවත් කොටස් කීපයක්ම. ඊලගට මම ලිවුවා ඉන්දරා ලිපිය, අන්තිමට ලිව්වා උතුම් මිනිසෙක් ලිපිය මේ ලිපි පරන බ්ලොග් එක හරි නොගියොත් නැවත මේකට එකතු කරනවා. ඊට පස්සේ පටන් ගන්නවා අළුත් ලිපි ටික. ඊලග සති කීපය මට වැඩ වැඩි වෙනවා ඒත් කොහොම හරි සතියට ලිපි දෙක තුනක්වත් දානවා.


ඔන්න ඔහොම පොඩි ලිපියක් දාල බැලුවා වර්ඩ් ප්‍රෙස් එකේ. ඒක දැම්මට හිතට එචර හරි නැහැ. මොකද පටන් ගත්ත තැන ගොඩක් වැදගත් නිසා. ඔන්න අද උදේ බ්ලොගර් වැඩ දැන් රෝග නිවාරණයි ඒ නිසා මගේ වර්ඩ් ප්‍රෙස් එක දිගටම තියා ගන්නවා බැකප් විදියට. බ්ලොගර් දිගට යනවා හැබැයි මේ ලිපි එකෙත් දානවා. ඒත් ඒක සින්ඩි යවන්නැහැ.

එහෙනම් ආයෙත් පෝස්ට් එකක් ලියනවා ඉක්මනටම. ඔන්න ඊයෙයි අදයි වැඩ කර ගත්තේ එහෙමයි. හෙට එන්න වෙන්නැහැ. ආයිත් සදුදා සිට වෙදගෙදර ලිපි තියෙයි සතියට දෙක තුනක්වත්.

Wednesday, May 11, 2011

උතුම් මිනිසෙකුට ගෞරවයෙනි,!!!!!!!!!!!!

ඊයේ මම තියපු සටහන ඉතාම සාර්තකයි. මම වාගේ ආධුනික බ්ලොග්කරුවෙක්ගේ එක ලිපියක් එක් දිනක් තුල 70 පමණ කියවූවා කියන්නේ ඒක මට ඉතාම සතුටට කාරනයක්. ඒත් එක්කම කතන්දර් ශූරීන් සහ තිස්ස දොඩංගොඩ කියන ප්‍රවීනයෝ මට කමෙන්ට් දාල තිබ්බා. ඒක මට ගොඩක් සතුටක්. ඇත්තටම මේ බලපු හැම කෙනෙක්ම මට දුන්නේ ඉතාමත් වටිනා අගය කිරීමක්. කමෙන්ට් දාපු අයත් මට ගොඩක් ලොකු ශක්තියක් දුන්නා. ඔබ සැමට මම මගේ හදපිරි සතුට ස්තුතිය පිරිනමනවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

අද මම ලියන්න අදහස් කරන් හිටියේ අපේ රටට ඉතා වටිනා කියන දෙයක් ගැන කථා කරන්න. නමුත් මම දැන් ඒක වෙනස් කලා. දැනට මාලඟ මම මේ බ්ලොග් එකට දාන්න හිතන් ලියපු සහ එහෙම හිතන් නැතිව අරමුණක් නැතිව ලියපු ලිපි ගනනාවක් තියනවා. ඒවා මම ඉස්සර නම් කාලෙන් කාලෙට පත්තරවලට දානවා. මම තීරනය කලා මින් පසු ඒ හැම ලිපියක්ම මේ බ්ලොග් එකට එකතු කරන්න.
____________________________________________________________________________________

අද මම ලියන්න යන්නේ ගොඩක් අය නොදන්න දෙයක් ගැන. ඔයාල දන්නවද රේඩියෝ තරංග කෙටියෙන් කිව්වොත් රේඩියෝ එක සොයා ගත්තේ කවුද කියලා.....................????????????????????????????
මම දන්නවා ඔබ කියයි ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි කියලා. හැබැයි මම කිවොත් ඒක වැරදි කියලා.

ඔබ පිලිගන්නවද????????????

අන්න ඒ කථාව තමයි මේ.
මේ ලියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි.

1. Dr. Jagdeesh Chandra Bose. Hindu Student Council Publication. www.hindunet.org
2. Bose Invented Marconnies Wireless by Mita Mukarjee, The Telegraph Culcutta 1,11. 1977

මේවායින් ඔබටත් හොයා ගන්න පුළුවන් මම මේ කියන දෙය ගැන.
කොහොම හරි මුලින්ම මම කියන්නම් කවුද මේ රේඩියෝ තරංගවල නියම හිමිකරු කියලා.
ඔහු තමයි ඉන්දියානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ජගදීස් චන්ද්‍ර බෝස්. (ක්‍රි.ව. 1858 - 1937)
මෙතුමා ගේ පියා විනිශ්චයකරුවෙකු විය. මෙතුමා පාසල් ගියේ උසස් පාසලකට නොව පලාතේ විසූ දුප්පතුන් ගිය පාසලටයි.
මෙතුමාගේ ජීවිතයට බෙහෙවින්ම බලපා ඇත්තේ මෙතුමාගේ පියා දුන් තීන්දුවකින් සිරගත වූවෙක්. පසුව නිදහස් වූ මොහු මෙතුමාගේ නිවසේ වැඩ කිරීමට පැමිනෙනවා. ඔහු කථා සාගරයක්. එම කථා වලින් පෝෂණය වන කුඩා බෝෂ් තම නැණ නුවන ක්‍රමයෙන් දියුණු කර ගනිමින් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් තම උපාදි ලබා ජීව විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. මෙතුමා බොහෝ පර්යේෂණ කර ඇත්තේ ශාඛ ගැනයි. ඒ අතර ශාඛ යනු තවත් එක ජීවීන් කොට්ටාසයක් බව පෙන්වීමට තම මුළු දිවියම කැප කර තිබෙනවා.
මේ පර්යේෂණවලදී ඔහුට වැටහුනු දෙයක් තමයි සෑම ශාඛයකටම යම් සංනිවේදන ක්‍රමයක් තිබූ බව. එනිසා එතුමා වෙහෙසෙනවා එම ක්‍රමය සොයා ගැනීමට. කොටින්ම ශාඛ සහ අදහස් හුවමාරු කර ගැනීමට. මෙහිදී කරන පර්යේෂණ වලදී තමයි එතුමා හදුනා ගන්නේ රේඩියෝ තරංග පිළිබඳව. ඒ වන විට චන්ද්‍ර බෝෂ් කල්කටාවේ ප්‍රසිඩන්ට් විද්‍යාලයේ ජීව විද්‍යාව මහාචාර්ය්‍ය වරයා විය. මෙම විද්‍යාලයේ කුඩා විද්‍යාගාරයක් තුල කෙටි තරංග ඇසුරින් වයර්ලසයක් ක්‍රියාකර පෙන්වීය. මේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය වූ බැවින් මෙවැනි සොයා ගැනීම ලොවට හෙලිදරව් වීම ඉතා සීමිත විය. අනෙක් අතින් ඉතාමත් අල්පේච්ඡ් ජීවිතයක් ගෙවූ මෙතුමා මේ සොයා ගැනීම ලොවට පෙන්වීමට ද එතරම් වෙහෙසක් නොගත්තේය. මේ අවධියේ ඉන්දියාවට පැමිණි ඉතාලි ජාතික නාවිකයෙකු වූ ලුයිජි සොල්විටට ආචාර්ය්‍ය බෝෂ්ගේ සොයා ගැනීම ගැන දැන ගන්නට ලැබීණි. ඉතා අවංක බ්‍රාහ්මණයෙකු වූ බෝෂ් තුමා මේ නාවිකයාට තම සියළු තාක්ෂණික දැනුම ලබා දෙනු ලැබිණි.

තම මිතුරෙකුද,ඉතාලි ජාතික විද්‍යාඥයෙකුද, වූ මාර්කෝණිට මේ සියළු විස්තර මෙම නාවිකයා විසින් දෙනු ලැබීය. කෙසේ හෝ පසුව බෝෂ් තුමාගේ සොයා ගැනීම ගුරු කොට ගනිමින් රේඩියෝව සොයා ගෙන නෝබෙල් ත්‍යාගය පවා දිනා ගනිමින් ලොව විසූ අංක එකේ විද්‍යාඥයෙකු වන්නට මාර්කෝනිට හැකි විය.

Tuesday, May 10, 2011

ඉන්දරා ලිදේ වැටුනට මක්කරමී. !!!!!!!!

ටික දවසකින් මට මුකුත් ලියන්න බැරි වුනා. ටිකක් වැඩ වැඩියි. මට උදේම මේක ලියන්න හිතුනේ රංග සහෝදරයගේ ක්‍රෙඩිට් කාඩ් ලිපිය දැකලා. මම කියන්නේ මෙච්චරයි.

ගහක් කොළක් නම් කප්පා ගොඩ අදිමී
ලෙඩක් දුකක් නම් හත් දා බලි අරිමී
කෙනෙක් කලා නම් පන්සිය පලි ගනිමී
ඉන්දරා ලිදේ වැටුනට මක්කරමී


තේරුනානේ, ඔන්න තේරුන අයට වැඩියෙන් තේරෙන්යි, නොතේරුන අයට තේරුම් ගන්නයි මම ටිකක් වැඩේ අල්ලල දෙන්නම්.
දැන්
පලවෙනි පදෙන් කියන්නේ මොනවා හරි දෙයක් කරනකොට ඇතිවන බාධාවක් නම්, ඒ කියන්නේ ගහක් කොලක් නිසාවන බාධාවක් හෝ වැනි දෙයක් නම් කපලා දානවා කියන එකනේ. ඕනෙම ස්වභාවික බාධාවක් අපිට ජය ගන්න හැකියාවක් තියනවා.

දෙවනි පදයට අනුව ගත්තාම ඕනෙම රෝගයක් නම් බෙහෙත් කරලා සනීප කරන්න පුළුවන් කියන එක. හත්දා බලි අරිමි කියන්නේ ඒකයි.
තෙවනි පදේට අනුව කෙනෙක් කල හතුරු කමක් නම් පන්සිය පලි ගනිමි. එනම් පන්සිය වාරයක් වුනත් පලි ගන්න පුළුවන්.
හැබැයි මොකද මේ වෙලා තියන්නේ,
ස්වභාවික විපතක්ද, නැහැ
එහෙනම්, ලෙඩක් දුකක්ද, නැහැ,
කවුරුත් කල දෙයක්ද, ඒත් නැහැ.

කවුද එතකොට මේ ඉන්දරා
ඉන්දරා කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන්.
ඒ කියන්නේ
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස
අපි ණය වෙන්නේ මේවා පිනවන්න නේද???????
ඇස පිනවන්න ණය වෙන්නේ නැත්ද ?
කන පිනවන්න,
නාසය පිනවන්න
මේ කොයිවටත් වැඩිය අපි දිව පිනවන්නයි, ශරීරය පිනවන්නයි ණය වෙනවා නේද ?

අසෙන් මොනවද ලබන්නේ රූප ඇති වීමක් තියේද ?
නැහැ
ඇති වීමක් ඇති කරගන්න ඕනේ එතකොට ණය වෙන්න ඕන වෙන්නේ නැහැ.
කනෙන් මොනවද පිනවන්නේ ?
ශබ්ද ඇති වීමක් නැහැ.
එතකොට නාසය ඒකත් එහෙමයි. මම දන්නවා බොෂ් සුවද විලවුන් ගන්නවා සමහරු 8000/= පුළුවන් නිසානේ මට මොකද ?
ඒත් මොකක්ද ඇති වැඩේ පැය කීයද සුවද තියන්නේ මේ රස්නෙ දවස් වල.
දිව පිනවලා අන්තිමට මොකද වෙන්නේ අනේ ජීවිතේම හම්බ කරපු දේවල් මදි දොස්තරලටයි, බේත් හේත් වලටයි. ඒත් කමක් නැහැ. (කමක් නැහැ එයාලත් වාහන ගන්න. ගෙවල් හදන්නත් ඕනේ ) ඒත් ඒ සල්ලි කාටද වටින්නේ? දැන් ළමයෙක්ගේ ඉගෙනීමට කොච්චර මුදල් ඕනේද ? ඒක නේද මෙහෙම නාස්ති කරන්නේ?
එහෙනම් දිව පිනවීමෙන් වැලකිලා යම් පමණකට ජීවිතේ ගෙනියන්න ඕනෙ ගානට කනවා නම් කොච්චර වටිනවද ?
ශරීරය පිනවීමෙන් මොනවද ලැබෙන්නේ මේ කියන්නේ ස්ඵර්ෂය එහෙනම් හිතන්න මොන ඇදුම ඇන්දත් වැඩක් තියේද? එක දෙයයි ඕනේ වෙන්නේ. පිරිසිදු බවයි. ප්‍රිය මනාප බවයි නේද? තමන්ගේ භාර්යාව හැර කවුද තමන්ට ඉන්නේ මේ හැමදේම අපිට ලැබෙනවා. අපි මේ ඉන්ද්‍රය හරියට පාලනය කලොත්. මේකට මොනවද තියන්න ඕනේ ?
මනසේ පාලනය මේක තියනව නම් වෙන මුකුත් තිබිලා වැඩක් නැහැ.
සතුට තියන්නේ, රූපයේවත්, ශබ්දයේවත්, සුවදෙවත්, රසේවත්, ස්ඵර්ශයේවත් නෙමෙයි.
හිතේ නේද?
එහෙනම් හිතේ සතුට ඇති කර ගන්න හැමදේටම වඩා වටිනවා.

ජය!!!!!

Thursday, May 5, 2011

හපන්කම් මෝඩකම් සහ පුරසාරම් සමග පාසැල් මතක.

අද පෝස්ට් එකක් ලියන්න හිතුවා. මම ඉතාමත් වැඩ අධික අයෙක් වුනත් මේ වැඩේට ආසයි. ලියන්න කියවන්න මම පොඩි කාලෙ ඉදලම ආසයි. මා ගැන ගොඩක් තොරතුරු මම තාම කියලා නැහැ. ආත්ම කථනයේ මම දක්ෂයෙක් නෙමේ. අපෙ මාරය මල්ලී වගේ දක්ෂ ලියන්නෙකුත් නෙමේ.
මම දන්න ඉතාම අතීත මගේ ජීවන මතකය තමයි 1971 කැරැල්ල. මට යාන්තමට වගේ මතකයි. අපෙ පැත්තේ කාට හරි වෙඩි තියලා කියලා අපේ ගෙදර අම්මා තාත්තා ගොඩක් බය වුන බව. ඒකට හෙතුවක් මට නම් මතක නැහැ ඒ වෙනකොට මට වයස අවුරුදු 4 -5 විතර. කොහොම හරි මට මතකයි මාව 1 වසර පංතියට ඇතුල් කල දවස. අපෙ සිහි කැදවීම් ලියන චානුකත් ඒ කාලෙදිම තමයි පාසල් ගිහින් තියන්නේ. ඉතින් ඒ පාසලේ මම හිටියේ මාස 6 විතර කාලයක් තමයි. මගේ පාසල කියලා අදත් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් වත්තල සාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයට මාව ඇතුල් කලා. අපේ තාත්තට තිබුනු හීනයක් තමයි මාව උසස් පාසලකට ඇතුලු කරන එක. තාත්තගේ උගත් කමේ හැටියට ඒක මහා විශාල ජග්‍රහනයක් වුනා එයාට. මට හොදට මතකයි එදා ගෙදර ඇවිත් තාත්තා මට දීපු උපදෙස්. ඔන්න දැන් 1974 අගෝස්තු මාසේ ඉදල මම යන්නේ වත්තල ඇන්තනීස් එකට. කලින් ගිය පාසලේ එකම යාළුවෙක්වත් මට මතක නැහැ. අළුත් පාසලට ගිය දවසේම මම හිටිය මේසෙ හිටපු යාළුවො නම් තාමත් මගේ මිත්‍රයො අපි අදත් ඉද හිටලා සෙට් වෙනවා. අපි විතරක් නෙමේ, අපේ දරුවො පවා අද හොද මිත්‍රත්වයක් ගොඩ නඟාගෙන තියෙනවා.
කවදා හරි අපි නෑයො වෙයිද දන්නේ නැහැ. කැළුම්, කමල්, සුරේෂ්, ගැමුණු, මම මේ තමයි මගේ පලවෙනි මිත්‍රයො සෙට් එක. දැන් අපි 2, 3, 4 වශයෙන් ටික ටික ඉහලට එනවා. වැඩිය මතක නැහැ හොද හොද වැඩ වුන බව මතකයි. හැබැයි මට මතකය අඩුයි. 4 වසර තමයි මගේ ජීවිතේ වෙනස් කලේ, අපේ පංතියට ආවා අළුත් ගුරුතුමියක් මට මතක නම තමයි පුෂ්පා මගේ ජීවිතේදි මට ලැබුනු ගුරුවරු නම් ඉතාම උසස් අය, ඒ අතර පුෂ්පා ගුරු මෑණියන් නිසා තමයි මම ඉගෙනීමට යොමු වුනේ. ඇය මාව ගොඩක් අගය කලා, මගේ හැකියාවන් ඉතාම ඉහලට ගත්තා.
මම තමයි දැන් පංතියේ පළවෙනියා ඒක නම් මම ආයිත් කවදාවත් කාටවත් දුන් නැහැ. සා/පෙ වෙනකම්ම දිගටම මම ඒ තැන රැක ගත්තා. ඊලගට 5 ශිෂ්‍යත්වේ පළවෙනි කොටස සමත් දෙවනි එකත් සමත් ඒත් මාව පාසලකට දැම්මේ නැහැ. ඇයි කියන්න අද මට මතක නැහැ. කොහොමත් ඒ වෙනකොට මගේ නංගිලා දෙන්නත් අපේ කාන්තා විද්‍යාලයට යනවා. මල්ලීත් අපේ පාසලේමයි හිටියේ. ඉතින් මම වෙන පාසලකට යවන්න අම්මලට අවශ්‍ය නොවෙන්න ඇති. ඒ වෙනකොට මම කවමදාවත් ටියුෂන් ගිහින් නැහැ. ශිෂ්‍යත්වේ ලිව්වෙත් නිකම්ම ගිහින්.
මට මතකයි එදා තමයි මම එහෙම විභාගෙකට ලිව්වේ. මගේ උත්තර පත්‍රය නැති වෙයි කියලා බයට හැම පිටුවෙම යටින් නම ලිව්වා මතකයි. අපේ ගුරුතුමිය නම ලියන්න එපා කියලා අංකයක් දුන්න බව දන්නවා වුනත් මම හිතුවේ කොහොමද හරියට හොයා ගන්නේ කියලා වෙන්න ඇති. ඒකට දැන් අපේ ලමයි.
6 පංතියේ සිට අපි අපේ පාසලේම ප්‍රාථමික අංශයෙන් සමු ගත්තා. ඔන්න දැන හිතට එනවා අපිත් දැන් ලොක්කො කියලා. සා/පෙ වෙනකම්ම ලොකු වෙනසක් වුනේ නැහැ. දිග කලිසම් අදින්න ගත්තා 8 ඉදලා.
ඔය අතරෙදි මම හොදට ඉගෙන ගන්න දක්ෂ ලමයෙක් බව මුලු පාසලම දන්නවා. ඒ නිසා ඕන තැනක මට ගුරුවරු හොදට සලකනවා. මගේ ජීවිතේ අමාරුම හරිය එන්නේ සා/පෙදි. 9, 10 මට ලැබෙන්නේ දෙවිවරු වගේ උසස් ගුරුවරු, ගුරුවරියො ඔවුන්ට පිං සිද්ධ වෙන්න අද මම මෙහෙම ඉන්නවා.
අපෙ නවය ගිරුතුමිය නන්දා කියලා ගුරුතුමියක් අපිට ඉතාම ආදරේ කල අම්මා කෙනෙක්. ඇය අද ජීවතුන් අතර නැහැ. මේ වෙනකොට අපේ විදුහල්පති ගරු ඇලෙක්සැන්ඩර් සහෝදර තුමා. උසස් මනසක් තිබුනු කාටවත් බය නැති ඉතාම සුවිශේෂී චරිතයක්. මාව හොදින් අදුරනවා, මගේ නමට කලින් හැමදාම කියන දෙයක් එතුමාගේ කටේ තියනවා. "කවදාවත් පමා නොවෙන රෝහණ" ඒකට හේතුව පාසල ලගම නිවස තියෙන නිසා උදේම පාසල් එන නිසාත් 6 වසරේ සිට සා/පෙ දක්වා දිනපතාම පාසැල් ගොස් තිබීමත් නිසා. මම හිතනවා ඒක අදටත් වාර්තාවක්.
10 දී මගේ ගුරු තුමිය ඇයත් අද අප අතර නැහැ. ඇය අපි කුසුම් ටීචර් නමින් හදුන්වන කුසුම් රාජකරුණානායක මැතිණිය. මෙතුමිය මගේ දෙවනි අම්මා වගේ මාව බලාගත්තා පෞද්ගලික ජීවිතේ ආපු නොයෙක් කම් කටොළු නිසා මෙතුමිය නොසිටියා නම් මම අද 10 වසරෙන් පාරට වැටුනු අයෙක්.

ඒ හැමෝගෙම හිතේ සතුට ඇති කරමින් 1983 මම සා/පෙ ඉතාමත් ඉහලින් සමත් වුනා. මෙතැන් සිට ඉද හිට විවේක ඇති විට කාටත් ප්‍රයෝජනවත් විය හැකි ඉදිරි කථාව දාන්නම්. මගේ අවිවේකී බව නිසා මේ ටික ලියන්න මට පැය ගනනාවක්ම ගියා. ආයිත් අදට මේ වැඩේට එන්න වෙන්නෙ නැහැ. නැවත එනවා ඒ පරන කථාව කියන්න. ඒක නම් අපෙ කාලෙ ගැන ලියවිය යුතුම කාලයක්.

Tuesday, May 3, 2011

හපන්කම් මෝඩකම් පුරසාරම් සමඟ කිරි පිටි මිල

ඔන්න 2008 බොහොම පොඩි කාලයක් මම නසීලන්තේ හිටියා. (පුරසාරම් = පු.) එහේදි මම දින කීපයක්ම අපේ රටවලට මහා ප්‍රශ්නයක් වෙලා තියෙන කිරි පිටි ගැන පොඩි පහේ සොයා බැලීමක් කලා. කියන්න සතුටුයි නසීලන්තේ, මම ඇවිදපු කිසිම තැනක මට කිරි පිටි හොයා ගන්න ලැබුන් නැහැ. ඉතාමත් කලාතුරකින් තැනක දෙකක දැක්කා. නමුත් ලංකාවේ වගේ හාඩ්වෙයාර් වලත් විකුනන්න තියෙන කිරි පිටි එහි නැහැ. ලංකාව කොච්චර දියුණුද නේද, අනේ අපි දියුණු වෙලා දැන් නසීලන්ත කිරි ගොවියෝ දියුණු කරන එක තමයි අපේ අළුත්ම ප්‍රොජෙක්ට් එක.
කොහොම හරි මට කියන්න ඕන ඒක නෙමෙයි. කිරි පිටි ගැන මම දන්න දේවල් මට අහන්න ලැබුන දේවල්.
මුලින්ම කියන්නම් නසීලන්ත වෛද්‍ය සඟරාවක තිබුනු දෙයක් ( මේකෙ ලින්ක් එකක් දාන්න විදියක් නැහැ. මේ සඟරා සල්ලි ගෙවලා බලන්න ඕනෙ.) දන්නවනේ නසීලන්තේ කියන්නේ දූපත් දෙකක්. ලංකාවට වඩා ගොඩක් විශාලයි. හැබැයි ජනගහනය මිලියන 4. එහේ හරක් ඉන්නවා මිනිස්සුන්ට වැඩිය. ඉතින් මේ රට කාලයක්ම මුහුදින් යටවෙලා තිබ්බ ගිනි කඳු බහුල ගෙන්දගම් මිශ්‍ර පසක් තියෙන රටක්.
මේ රට වල කාලයක් තිස්සේ ජීවත් වන සතුන්ටත් මිනිස්සුන්ටත් මේ සතුන්ගේ කිරිත් එක්ක මොනවා ශරීරගත වුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අය ආවේණිකවම ඒ තත්වයට හැඩ ගැහිලයි තියන්නේ. මෙතනදි ප්‍රශ්නේ වෙන්නේ මේ කිරි වෙන රට වල අය බොන කොට. ඒත් දැන් දැන් මේවා ඒ තත්ව වලට ගැලපෙන විදියට සකස් කරනවා. ඒත් තාමත් 100% ම හරි විදියට ලෝකයේ ඕනම කෙනෙක්ට බොන්න තරම් මේක දියුණු කරලා නැහැ.
අපි ලංකාවේදි බලන් නැහැ මේ කිරිවල ව්‍යුහය මොකක්ද ඒක වෙනස් වෙලා තියනවාද වාගේ කාරනා. ඒකට අපිට තියන පසුකම් මදි වාගේම ඒතරම් වියදම් කෙරන්න අපිට සල්ලිත් නැහැ.
මේ රසායන ද්‍රව්‍ය අපි වාගේ ඝර්ම කලාපීය මිනිසුන්ට ජීරණය කර ගන්න අමාරුයි. අපි ඒකට හැඩගැසී නැහැ. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට අපි ඉන්සියුලින් ස්‍රාවය කරන සෛල විනාශ කරන එක. ඉතින් දියවැඩියාව වගේ රෝග බහුල වීමට තවත් එක හේතුවක් තමයි මේ.
මේ සියල්ලට අමතරව තවත් එක කථාවක් මේකෙ තියනවා. මේ කිරි වලින් පිටි නිපදවන ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවක්. මේකෙදි මුලින්ම කිරි එකතු කරලා මේවා වෙන් කරගන්නවා දියර කිරි සහ පිටි නිෂ්පාදනයට යොදා ගන්නා කිරි ලෙස. ඊලඟට පිටි බවට හරවන කිරිවල අඩු පාඩු වුන රසායන ද්‍රව්‍ය සොයා බලල ඒවා ඒකට එකතු කරනවා. මෙක ඊලඟට ඉතාමත් තදින් රත් කරන ලද රෝලරයක වැදීමට විදිනවා. මේ ක්‍රියාව අවසාන වෙන්නේ අපි කවුරුත් දන්න කිරි පිටි ලබා දෙමින් මේ කිරි පිටි ඊලඟට කි.ග්‍රෑ. 50 බෑග්වල අසුරලා අපට එවනවා. අපි තමයි ග්‍රෑම් 400, 1කි.ග්‍රෑ ලෙස අසුරනය කරන්නේ. කොහොම කලත් මේ ක්‍රියාවලියෙදිත් ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඇති වෙනවා.
1. ඉතාමත් තදින් රත් වීම. මේකෙදි සත්ව ප්‍රෝටීන වලට වෙන්නේ මොනවාද කියන එක අපිට හිතා ගන්න පුළුවන්නේ. එතකොට අපි බොන කිරි වල තිබිය යුතු දේවල් තව දුරටත් මේකෙ තියෙනවාද? මේවා අපි සොයා බලන්නේ රසායනිකව නෙමෙයි. අපේ වගේ රටවලට තාම ඒ තත්වයට එන්න තරම් විද්‍යාත්මකවත් ආර්ථිකවත් දියුණුව මදි. කොහොම වුනත් අපි බලන්නේ මේ පිටි වල තෙතමනය, වෙනත් අහිතකර ජීවීන් සිටිනවාද වාගේ කරුනු විතරයි.
2. හැබැයි මේකෙ තව පැත්තක් තියනවා අපිට අර කිව්ව රසායනික තත්වයන් බලන්න ගියොත් පිටි මේ මිලටවත් දෙන්න අමාරැයි.
3. ඊලඟ කාරනය තමයි මේ පිටි වලට එකතු කරන කෘත්‍රිම රසායන වන ප්‍රෝටීන වගේ දේවල්, මතකනේ මෙලනීන් ප්‍රශ්නේ,
ඉතින් මේකට විසදුම් නැත්ද ?
ඇයි නැත්තේ අපිට බැරිද කොළ කැද, දේශීය රණවරා, නෙල්ලි රසකිඳ වගේ දේවල් අපි පාවිච්චියට ගන්න. අඩු ගානේ අපිට බැරිද උදේට බැරි නම් වෙන සුදුසු වෙලාවක කොත්තමල්ලි ටිකක් බොන්න. ඇයි අපිට බැරි අපි අවුරුදු දහස් ගනක් බිව්වේ ඒවා තමයි. මේ විදියට කිරි පිටි වලට අපි පුරුදු වෙලා තාම මම හිතන්නේ අවු 30 වඩා ගෙවිල නැහැ. ඉතින් අපිත් ආයිත් අපේ දේවලට පුරුදු වෙමු.
ජය !!!

Sunday, May 1, 2011

හපන්කම් මොඩකම් පුරසාරම් බ්ලොග් අවකාශයට

ඔන්න දැන් මම මගේ බ්ලොග් එක එක විදිහකට හදා ගත්තා. තවත් කරන්න දෙයක් මට දැනට හිතෙන්නේ නැහැ. දැන් කරන්න ඕනම දේ තමයි ලියන එක.
මට හිතා ගන්න බැහැ කොහොම පටන් ගන්නද කියලා. මම කලින්ම කියන්න ඕන මම කොහොමද බ්ලොග් වලට ආවේ කියලා. මුලින්ම මම අවුරුදු ගනනාවක්ම තිස්සේ පත්තර බලන්න පාවිච්චි කලේ ඉන්ෆෝලංකා සයිට් එක. ඊට පස්සේ මම ඒකෙදි දැක්කා කොත්තු එක. එතනින් බැලුවා මුලින්ම තෙලැස්ට්‍රො, පිස්සා පලාමල්ල, කතන්දර. එතනින් සිංහළ බ්ලොගර්ස් ඒකෙන් මාරයාගේ හෝරාව, මගේ ලෝකය, සිහි සටහන්, තව ගොඩක් සයිට්, ඔහොම යනකොට මට හිතුනා මටත් කියන්න ගොඩක් දෙවල් තියනවා නේද කියලා, මේ සමහර දේවල් වෙන අය දැනගත යුතුම දේවල්. ඉතින් මම දැන් මගේ බ්ලොග් එකක් හදන්න ගත්තා.
මම බ්ලොග් එකක් ලියන එකේ මූලිකම දේ තමයි, මට ඕනකරලා තියනවා මම දන්න දේවල්, මට හිතෙන දේවල්, අනිත් අයට කියන්න. මට ඒකට හොද අවස්තාවක් ලැබුනා. නමුත් මට ඒ අවස්තාව දිගට ගෙනියන්න ලැබුනේ නැහැ. මගේ මට හිතවත්ම මිත්‍රයෝ මගේ ඒ අවස්තාව මට නැති කලා. ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. එහෙම කියන්නේ මම අද ඉන්න තත්වේට කවදාවත් එන්න ලැබෙන් නැහැ ඒ මාර්ගයේ ගියා නම්.
ඉතින් අනිත් කාරනය තමයි මගේ විෂය වන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන ඉතාමත් වටින දැනුම් පද්ධතිය පෝෂණය කිරීම සහ අනිත් අයට අවබෝධයක් ඇති කිරීම. මම මේ විෂය ගැන බලන්නේ ඉතාමත් ධනාත්මක විදිහට මම ආයුර්වේදය විද්‍යාත්මක කරන්න හදන කෙනෙක් නෙමේ. මට ඕනෙ ආයුර්වේදය වෙනම දැනුම් පද්ධතියක් විදිහට සමාජයට දකින්න සලස්වන්න.
තව මගේ එක ආසාවක් තමයි බුද්ධ ධර්මය ආයුර්වේදය කියන දෙක එකතු කිරීම. දැනටත් මේක බෞද්ධායුර්වේද කියන නමින් කරලියට ඇවිත් තියනවා.
ඒ කොහොම උනත් මට තව් ආසාවක් තියනවා මම ජීවත් වුන කාලය ගැන වර්තමාන සමාජයට යම් දැනුමක් ලබා දීම. අපිට වැරදුන තැන් අපි ගත්ත වැරදි තීරන මේ වගේ දේවල් අද බලනකොට මොනවාද අපිට හිතෙන්නේ. මෙන්න මේ වගේ දේවල් මගෙන් ඉදිරියේදී ලියවෙයි.
මුලින්ම කියන්න ඕනම දේ මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ අයෙක් නෙමේ. ඒත් ලියන දෙවල් සමහර විට ඉතාමත් කලාතුරකින් දේශපාලන ලක්ෂණ පෙන්වයි. ඒ ලිපියට අවශ්‍යමනම් විතරයි. මම කිසි දවසක ජන්දෙ කාටවත් දෙන්නැති කෙනෙක් . ඒ නිසා මගේ කතාවල දේශපාලනයක් පක්ෂයක් පාටක් නැහැ. ඒක නිකම් ඉතිහාසයක් පමනයි.
ඉතින් කොහොම හරි මේ කාර්ය බහුලත්වය අතරේම සතියට දෙතුන් දවසක්වත් මොනවා හරි වැදගත් දෙයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ( මොනවා ලිව්වත් ඒක වැදගත්, මොකද බ්ලොග් ලියවිල්ල නිසා බ්ලොග් සාහිත්‍යය ඉදිරියේදී ගොඩක් දියුණු වෙයි. බ්ලොග් ලියන සහෝදර සහෝදරියෝ මේ කරන්නේ ඉතාමත් වටිනා සේවයක්. ඒ සදහා දැනට බ්ලොග් ලියන ගොඩක් අය දායක් වෙලා තියෙනවා)
ජය!