Thursday, May 5, 2011

හපන්කම් මෝඩකම් සහ පුරසාරම් සමග පාසැල් මතක.

අද පෝස්ට් එකක් ලියන්න හිතුවා. මම ඉතාමත් වැඩ අධික අයෙක් වුනත් මේ වැඩේට ආසයි. ලියන්න කියවන්න මම පොඩි කාලෙ ඉදලම ආසයි. මා ගැන ගොඩක් තොරතුරු මම තාම කියලා නැහැ. ආත්ම කථනයේ මම දක්ෂයෙක් නෙමේ. අපෙ මාරය මල්ලී වගේ දක්ෂ ලියන්නෙකුත් නෙමේ.
මම දන්න ඉතාම අතීත මගේ ජීවන මතකය තමයි 1971 කැරැල්ල. මට යාන්තමට වගේ මතකයි. අපෙ පැත්තේ කාට හරි වෙඩි තියලා කියලා අපේ ගෙදර අම්මා තාත්තා ගොඩක් බය වුන බව. ඒකට හෙතුවක් මට නම් මතක නැහැ ඒ වෙනකොට මට වයස අවුරුදු 4 -5 විතර. කොහොම හරි මට මතකයි මාව 1 වසර පංතියට ඇතුල් කල දවස. අපෙ සිහි කැදවීම් ලියන චානුකත් ඒ කාලෙදිම තමයි පාසල් ගිහින් තියන්නේ. ඉතින් ඒ පාසලේ මම හිටියේ මාස 6 විතර කාලයක් තමයි. මගේ පාසල කියලා අදත් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් වත්තල සාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයට මාව ඇතුල් කලා. අපේ තාත්තට තිබුනු හීනයක් තමයි මාව උසස් පාසලකට ඇතුලු කරන එක. තාත්තගේ උගත් කමේ හැටියට ඒක මහා විශාල ජග්‍රහනයක් වුනා එයාට. මට හොදට මතකයි එදා ගෙදර ඇවිත් තාත්තා මට දීපු උපදෙස්. ඔන්න දැන් 1974 අගෝස්තු මාසේ ඉදල මම යන්නේ වත්තල ඇන්තනීස් එකට. කලින් ගිය පාසලේ එකම යාළුවෙක්වත් මට මතක නැහැ. අළුත් පාසලට ගිය දවසේම මම හිටිය මේසෙ හිටපු යාළුවො නම් තාමත් මගේ මිත්‍රයො අපි අදත් ඉද හිටලා සෙට් වෙනවා. අපි විතරක් නෙමේ, අපේ දරුවො පවා අද හොද මිත්‍රත්වයක් ගොඩ නඟාගෙන තියෙනවා.
කවදා හරි අපි නෑයො වෙයිද දන්නේ නැහැ. කැළුම්, කමල්, සුරේෂ්, ගැමුණු, මම මේ තමයි මගේ පලවෙනි මිත්‍රයො සෙට් එක. දැන් අපි 2, 3, 4 වශයෙන් ටික ටික ඉහලට එනවා. වැඩිය මතක නැහැ හොද හොද වැඩ වුන බව මතකයි. හැබැයි මට මතකය අඩුයි. 4 වසර තමයි මගේ ජීවිතේ වෙනස් කලේ, අපේ පංතියට ආවා අළුත් ගුරුතුමියක් මට මතක නම තමයි පුෂ්පා මගේ ජීවිතේදි මට ලැබුනු ගුරුවරු නම් ඉතාම උසස් අය, ඒ අතර පුෂ්පා ගුරු මෑණියන් නිසා තමයි මම ඉගෙනීමට යොමු වුනේ. ඇය මාව ගොඩක් අගය කලා, මගේ හැකියාවන් ඉතාම ඉහලට ගත්තා.
මම තමයි දැන් පංතියේ පළවෙනියා ඒක නම් මම ආයිත් කවදාවත් කාටවත් දුන් නැහැ. සා/පෙ වෙනකම්ම දිගටම මම ඒ තැන රැක ගත්තා. ඊලගට 5 ශිෂ්‍යත්වේ පළවෙනි කොටස සමත් දෙවනි එකත් සමත් ඒත් මාව පාසලකට දැම්මේ නැහැ. ඇයි කියන්න අද මට මතක නැහැ. කොහොමත් ඒ වෙනකොට මගේ නංගිලා දෙන්නත් අපේ කාන්තා විද්‍යාලයට යනවා. මල්ලීත් අපේ පාසලේමයි හිටියේ. ඉතින් මම වෙන පාසලකට යවන්න අම්මලට අවශ්‍ය නොවෙන්න ඇති. ඒ වෙනකොට මම කවමදාවත් ටියුෂන් ගිහින් නැහැ. ශිෂ්‍යත්වේ ලිව්වෙත් නිකම්ම ගිහින්.
මට මතකයි එදා තමයි මම එහෙම විභාගෙකට ලිව්වේ. මගේ උත්තර පත්‍රය නැති වෙයි කියලා බයට හැම පිටුවෙම යටින් නම ලිව්වා මතකයි. අපේ ගුරුතුමිය නම ලියන්න එපා කියලා අංකයක් දුන්න බව දන්නවා වුනත් මම හිතුවේ කොහොමද හරියට හොයා ගන්නේ කියලා වෙන්න ඇති. ඒකට දැන් අපේ ලමයි.
6 පංතියේ සිට අපි අපේ පාසලේම ප්‍රාථමික අංශයෙන් සමු ගත්තා. ඔන්න දැන හිතට එනවා අපිත් දැන් ලොක්කො කියලා. සා/පෙ වෙනකම්ම ලොකු වෙනසක් වුනේ නැහැ. දිග කලිසම් අදින්න ගත්තා 8 ඉදලා.
ඔය අතරෙදි මම හොදට ඉගෙන ගන්න දක්ෂ ලමයෙක් බව මුලු පාසලම දන්නවා. ඒ නිසා ඕන තැනක මට ගුරුවරු හොදට සලකනවා. මගේ ජීවිතේ අමාරුම හරිය එන්නේ සා/පෙදි. 9, 10 මට ලැබෙන්නේ දෙවිවරු වගේ උසස් ගුරුවරු, ගුරුවරියො ඔවුන්ට පිං සිද්ධ වෙන්න අද මම මෙහෙම ඉන්නවා.
අපෙ නවය ගිරුතුමිය නන්දා කියලා ගුරුතුමියක් අපිට ඉතාම ආදරේ කල අම්මා කෙනෙක්. ඇය අද ජීවතුන් අතර නැහැ. මේ වෙනකොට අපේ විදුහල්පති ගරු ඇලෙක්සැන්ඩර් සහෝදර තුමා. උසස් මනසක් තිබුනු කාටවත් බය නැති ඉතාම සුවිශේෂී චරිතයක්. මාව හොදින් අදුරනවා, මගේ නමට කලින් හැමදාම කියන දෙයක් එතුමාගේ කටේ තියනවා. "කවදාවත් පමා නොවෙන රෝහණ" ඒකට හේතුව පාසල ලගම නිවස තියෙන නිසා උදේම පාසල් එන නිසාත් 6 වසරේ සිට සා/පෙ දක්වා දිනපතාම පාසැල් ගොස් තිබීමත් නිසා. මම හිතනවා ඒක අදටත් වාර්තාවක්.
10 දී මගේ ගුරු තුමිය ඇයත් අද අප අතර නැහැ. ඇය අපි කුසුම් ටීචර් නමින් හදුන්වන කුසුම් රාජකරුණානායක මැතිණිය. මෙතුමිය මගේ දෙවනි අම්මා වගේ මාව බලාගත්තා පෞද්ගලික ජීවිතේ ආපු නොයෙක් කම් කටොළු නිසා මෙතුමිය නොසිටියා නම් මම අද 10 වසරෙන් පාරට වැටුනු අයෙක්.

ඒ හැමෝගෙම හිතේ සතුට ඇති කරමින් 1983 මම සා/පෙ ඉතාමත් ඉහලින් සමත් වුනා. මෙතැන් සිට ඉද හිට විවේක ඇති විට කාටත් ප්‍රයෝජනවත් විය හැකි ඉදිරි කථාව දාන්නම්. මගේ අවිවේකී බව නිසා මේ ටික ලියන්න මට පැය ගනනාවක්ම ගියා. ආයිත් අදට මේ වැඩේට එන්න වෙන්නෙ නැහැ. නැවත එනවා ඒ පරන කථාව කියන්න. ඒක නම් අපෙ කාලෙ ගැන ලියවිය යුතුම කාලයක්.

2 comments:

  1. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් හා මා උගත් පාසැලින් ඉහළම ප්‍රයෝජන ගත් කෙනෙක් මම. පුළු පුළුවන් විදිහට පාසැලටත් , මගේ යාළුවන්ටත් මම උදවු කරනවා. මගේ පාසැල් කාලයත් මම නිතරම මතක් කරන්නෙ හරිම ආසාවෙන් හා වේදනාවෙන්. ඒ වගේ ලස්සන කාලයක්.. මැරිල ගිහින් ආයෙ ලංකාවෙම ඉපදුනත් අපිට ඒ සුන්දරත්වය විඳින්න බැරි වෙයි. ලියන්න.. මමත් පරණ දේවලට ගරු කරන කෙනෙක්.

    ReplyDelete
  2. අහා සූන්දර පාසල් සමය……..
    ලියන්න අපි ….බලන්නමි….

    ….විඡී……

    ReplyDelete