Thursday, December 31, 2015

පුනරාගමනය, ............ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!

2013 සිට අතහැර දැමුණු මගේ බ්ලොගය නව වසරේ නැවත ක්‍රියාකාරී කරන්නට උත්සාහ කරනවා. මේ ඒකට ලෑස්ති වීම. මම බ්ලොග්වලට ආවේ 2012 විතර. ඒකට බලපෑවෙ මාරයා සහ කතන්දරකාරයාගේ බ්ලොග් තව ද ලාස්ට් රෝ තමයි මම මුලින් ම කියවූ බ්ලොගය. මේ බ්ලොග් කෙරුවාව නිසා මා හඳුනාගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉන් පළමු හිතවතා අභීත, සහ ඕනයා. ඉන් පස්සෙ මගේ අද මට ඉන්න හොඳම මිතුරෙක් වන මාතලන් විශේෂයි. ඒ අතර ම ගිම්හාණි, රාමා දෙන්න. මට බ්ලොග්වල අ යනු ආයනු කියලා දුන්න අයත්, මගේ බ්ලොග් අඩවියට මුල්ම කමෙන්ට් එක දුන්න දුකාත් මට අමත වෙන්නෙ නැහැ. ඒ කාලෙ අද වගේ බ්ලොග් රාශියක් තිබ්බෙ නැහැ. තව මට මතක් වෙනවා අපිව අතහැර ගිය අපෙ ඔබා අයිය අවසාන දින කීපයකට කලින් මාව මුණ ගැහිලා ගිය ඔබා අයිය ගැන ඕනය සහ සුජාතා දුන්න ඒ ආරංචිය මම විශ්වාස කළෙත් නැහැ. කොහොම හරි ඔහු අපිව දාල ගියා. බොහෝ දෙනෙක් ඉන්නවා. නැවත ඒ අයට මගේ ස්තුතිය පුද කරනවා. මට අනියමින් ප්‍රසිද්ධියක් ලබා දුන්න ඇනෝනිමස් ආතල් බ්ලොගයටත් මම ස්තුතිවන්ත වෙනවා.

පසුගිය කාලේ බොහෝ ඇබ්බැහි වුණු බුකියෙන් ක්‍රමයෙන් ඉවත් වෙන්න මම තීරණය කර තිබෙනවා. ඒක මගේ තැන නෙමෙයි. මම තෘප්තිමත් වෙන්නෙ බ්ලොග්වල. මගේ තැනට මම නැවත එනවා.

2013, 2014, 2015 මම බොහෝ වෙහෙසුන වසර තුනක්. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ දේවල් මේ වන විට අවසානයි. දැන් මගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න කාලේ. ඇත්තට ම මම ඒ තීරණය මේ වන විට අරන් ඉවරයි. මේ තමයි මම ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන පළමු දිනය. මින් පසු කිසිම රැකියාවක් නොකර ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. මා කළ පර්යේෂණ ඉදිරියටත් අඛණ්ඩව ගෙන යනවා. නව පර්යේෂණත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. තව ද, මින් පසු මෙතෙක් මා, ගුරුවරුන්ගෙන්, පොතපතින්, මිතුරන්ගෙන්, සහ මගේ රොගීන් වෙතින් ලැබූ දැනුම අනෙක් අයට බෙදා දෙන්න පොත පත ලිවීමට මගේ සම්පූර්ණ කාලය යොදවනවා. අවස්ථාවක් ලදොත් පමණක් යම් ඉගැන්වීමක් නොමිලයේ කර දෙනවා. හැබැයි කිසිවක් ස්ථිර ව බාර ගන්නෙ නැහැ. මේ ඇති, සිත් රිදීම් මින් මතු මට එපා.


වෛද්‍ය විද්‍යාව, බුදු දහම, දේශපාලනය, සාහිත්‍ය, දර්ශනය වැනි මගේ ප්‍රියතම විෂයන් සමඟ මම ඉදිරියට නැවත එනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!