Friday, March 22, 2013

චිත්ත, මන සහ විඤ්ඤාණ. ඔබේම මනස තේරුම් ගැනීමට....

ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය සතිවල අතපසු නොකළ යුතු රාජකාරී බොහොමයක් ම තිබූ නිසා යි. ඒ වැඩක් නැහැ.

අද මම සිතා සිටින්නෙ නැවතත් එක දිගට යන ලිපි පෙළක ආරම්භ කරන්නයි. ඔබ මෙයට අකමැති වේවි. නමුත් මේවා ලියා තැබිය යුතුයි. ඒ නිසා දිගටම අවසන් වන තෙක් ලියනවා. මොකද දැන් දැන් එනපොට හොද නැහැ. හැම දේම විකෘති වන කාලයක්.

මගේ විෂය වන ආයූර්වේදය සහ බුදු දහම තමයි මෙහි ඉලක්කය. ඔන්න එහනම් මාතෘකාව, "මනස" ඒ යටතේ අද මම සලකා බලන්නෙ, ඇත්තෙන්ම මනස කියා කියන්නෙ කුමක් ද කියන එක. වඩාත් නිවැරදිව කිව්වොත් අද දිනයේ මාතෘකාව වන්නේ, චිත්ත, මන විඤ්ඤාණ" කියන එක. මේ තුනෙන් කියන්නෙ එකක් ද එහෙමත් නැත්නම් තුනක් ද අපි මේ පිළිබඳ දන්නෙ මොනව ද, මෙවැනි දේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් ශාස්ත්‍රීය පැත්ත ගැනත් හිතනවා. එම නිසා තව කෙනෙක්ට අධ්‍යනය කළ හැකි ලෙස පරිශීලනය කළ යුතු ග්‍රන්ථ ආදියත් දක්වන්නම්.

මනස පිළිබඳව බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ විග‍්‍රහය තරම් පරිපූර්ණ විග‍්‍රහය ක් වෙනත් කිසිවකු විසින් මෙතෙක් ඉදිරිපත් කොට නැත. මෙම විග‍්‍රහය මුල් බුදුසමය ග‍්‍රන්තයන් තුළ හා පසුකාලීන ව ලියවුණු ග‍්‍රන්තයන් හි ද අඩංගු වේ. මෙම විග‍්‍රහයේ වැදගත් අවස්ථා කීපයක් ඇත.

1. සූත‍්‍ර පිටකයේ, නාම රූප විග‍්‍රහය, පටිච්ච සමුත්පාද විග‍්‍රහය. [1]
2. අභිධර්ම පිටකයේ චිත්ත චෛතසික විග‍්‍රහය. [2]

මෙම මනෝ විග‍්‍රහය සෑම මිනිසෙකු සම්බන්ධයෙන් ම වැදගත් වන්නකි. බෞද්ධ මනෝ විග‍්‍රහය ට අනුව මිනිස් ජීවිතය යනු නාම හා රූප කොටස් වලින් සංයුක්ත දෙයකි. එනම් පංචස්කන්ධය යි.
මිනිස් ශරීරය හෙවත් රූපය නිර්මාණය වන්නේ චතුර් මහා භූතයන් හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතරේ සමවායෙනි. නාම හෙවත් සිත රූපයටත්, රූපය හෙවත් ශරීරය සිතටත් අන්‍යෝන්‍ය ලෙස සමබරව ක්‍‍්‍රියා කරයි. බෞද්ධ මානසික විග‍්‍රහයට අනුව මෙය ජීවිතයේ ස්වභාවය යි. මෙම පදනමට අනුව මිනිසා යනු නාම රූප දෙකේ සංකලනය කි. එනම් ජීවිතය යනු පංචස්කන්ධය යි. සත්ත්වයා ඉඳුරන් මගින්
ලෝකය හඳුනා ගනී. [3]

මනසේ විවිධ පැතිකඩ.
මනස සහ මානසික ක්‍‍්‍රියාකාරීත්වය පිළිබඳව සඳහන් කිරීමට බෞද්ධ මූලාශ‍්‍රයන් නෙයෙක් පර්යාය පද යොදා ගනී. ඒ අතර ප‍්‍රධාන වන්නේ,

1. චිත්ත
2. මනෝ
3. විඤ්ඤාණ යන පද තුන යි. මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ. [4]

මානසික ක්‍‍්‍රියාකාරීත්වය මනසේ නිරෝගීතාවය මනිනු ලබන ප‍්‍රධාන සාධකයක් වන අතර අප ඉහත විස්තර කළ පරිදි මනස සහ කයේ ඇති සමබන්ධතාවය මගින් මේ සාධකය කයට ද බලාපානු ලැබේ. එම නිසා මානසික ක්‍‍්‍රියාකාරීත්වය මානසික සහ කායික නිරෝගීතාවය පිළිබඳ ප‍්‍රධාන සාධකයක් බව ප‍්‍රකාශ කළ හැකිය. එලෙසම මානසික ක්‍‍්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුර පැහැදිලි කර ගැනීමටත් චිත්ත මනෝ විඤ්ඤාණ යන පද යෙදී ඇති ආකාරය අනුව ඒවායේ අර්ථ සහ ඒ ඒ අවස්ථාවන්ට එම පදවල අර්ථය වෙනස් වන අයුරු සාකච්ඡා කිරීමටත් මෙහිදී බලාපොරොත්තු වෙමු.

පුද්ගල සිතේ මෙහෙය වීමෙන් මානසික ක්‍‍්‍රියාකාරීත්වය සිදු වෙයි. මෙය සචේතනික වූ ද (චිත්ත), මානසික වූ ද (මනෝ), විඤ්ඤාණික වූ ද (විඤ්ඤාණ), ක්‍‍්‍රියාවලියක් බැවින් මිනිසා තුළ ද නිබඳවම සිදු වෙමින් පවතී. [5] මේවා මනසේම ස්ථරායන තුනක් ලෙසද දැක් වේ.

ඇසත් රූපයත් එක් වූ තැන විඤ්ඤාණය හෙවත් ඒ පිළිබඳ දැනීම ඇති වේ. [6] එනම් බුදුන් වහන්සේ විසින් විඤ්ඤාණය ප‍්‍රත්‍යෝත්පන්න යැයි ද, ප‍්‍රත්‍ය මිස විඤ්ඤාණයට වෙනත් සම්භවයක් නැතැයි ද, මහා තණ්හාසංක සූත‍්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරනු ලැබ ඇත.

පටිච්චසමුත්පන්නං විඤ්ඤාණං චුත්තං අඤ්ඤත‍්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්බවොති.

චිත්ත තුළ එක් රැස් වී ඇති නාමයන් හෙවත් මානසික ධර්මයන් විඤ්ඤාණය පුබුදුවමින් එහි ක්‍‍්‍රියාව වැඩි දියුණු කරයි. එම විඤ්ඤාණය මනෝ ලෙස නැවත ක්‍‍්‍රියාත්මක වීම නිසා නාම ධර්මයන් නැවත සකස් වේ. මෙම මානසික ධර්මතාවයන් මෙලෙස චක්‍‍්‍රීයව සකස් වීමට තණ්හාව නම් වූ මානසික නැබුරුවද බොහෝ උපකාරී වෙයි. මෙය රෙද්දක් සකස් කරන උපමාවකින් අංගුත්තර නිකායේ පැහැදිලි කර ඇත. ”වියමනේ එක් කොනක සළායතනය. විෂය අරමුණු අනෙක් කොනේය. විඤ්ඤාණය මැදය. වියන්නා තෘෂ්ණාවයි”. [7] කෙලෙසුන්ගෙන් පිරි සිත විඤ්ඤාණය නමින් ද, තරමක් කෙලෙසුන් ප‍්‍රහීන කළ සිත මනස වශයෙන් ද, ඉතාම පිරිසිදු සිත චිත්තය යනුවෙන් ද හැඳින්වේ. [8]

ගැබුරු ධර්මයක් නිසාත් ආරම්භය නිසාත් කෙටියෙන් කොටස් වශයෙන් ලිවීමට අදහස් කළෙමි. ඊළඟට චිත්ත, මන , විඤ්ඤාණ යන අවස්ථා ද, පුද්ගල පෞරුෂය යන අවස්ථාව ද, ඉක්මනින් කියන්නට හැකිය. එනම් දැනට එම කොටස් ලියා අවසන් කරැත්තෙමි. එයට පසු මාතෘකාව ගැටුම් සමථය ට පත් කිරීමේ බෞද්ධායූර්වේද ක්‍රමවේදය පිළිබඳවයි. එය ලියමින් ඇත්තෙමි.
ජය!!!!!!

1. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංඛ සූත‍්‍රය, බු.ජ.මු. 2006, පිටුව 608.
2. අමරදාස රත්නපාල, අභිධර්මාර්ථ ප‍්‍රදීපිකාව 01 කාණ්ඩය, 1964, පිටුව 17.
3. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
4. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
5. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
6. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංක සූත‍්‍රය, බු. ජ. මු. 2006, පිටුව 606.
7. අංගුත්තර නිකාය 04, බුද්ධ ජයන්ති මුද්‍රණය 2006, පිටුව 188.
8. වල්පොළ රාහුල හිමි, බුදුන් වදාළ ධර්මය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මුද්‍රණය 2010, පිටුව 31.