Wednesday, June 13, 2012

සත්ව පරිණාමීය ක්‍රියාවලිය.

මගේ බ්ලොග් සදහා ගත කරන කාලය මේ ටිකේ ටිකක් අඩු වුනා. නමුත් මේ බ්ලොග් ලෙඩේ හැදිලා තියන කෙනෙකුට ආයිත් ඉතිං මේකෙන් ගැලවෙනවය කියන්නේ ......

මේකත් හරියට අබිං කෑව වගේ තමයි. මොනවා හරි කුරුටු ගාන්නමයි හිත. ඒත් මේ දිනවල ඇති වැඩත් එක්කම බොහෝම අඩුයි කාල වේලාව. මගේ සුපුරුදු බ්ලොග් කීපෙකටම කමෙන්ට් නම් දැම්මා.

දැන් කාලෙකට පස්සෙ ඇවිත් වැදගත් දෙයක් කියන්නයි මේ සැරසෙන්නේ. මේ කතාව මම කියන්න හිටියේ දැනට කාලෙකට කලින්. මම ලියපු විශ්වොත්පත්තිය ලිපි මාලාවෙදි. නමුත් ඒක එක පිළිවෙළකට ලියා ගන්න ලැබුණේ නැහැනේ. ඒ ගැන නැවත හිතන්න ඕනෙ ලඟදීම.

හින්දු පුරාණය කියන ග්‍රන්ථය ඔබ කියවා තිබෙනවද? ඒ අතර මහා භාරතයේ එන භගවත් ගීතාව, සහ Fourteen Upanishad (Maxmullar) නම් උපනිෂද් ග්‍රන්ථයේ මේ ගැන යම් යම් තොරතුරු ඔබට බලාගත හැකියි. මේ ග්‍රන්ථ වලින් උපනිෂද් 14, සහ භගවත් ගීතාව මා සතුව තිබෙනවා. හින්දු පුරාණයේ සම්පූර්ණ ග්‍රන්ථයම මට මෙතෙක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

ඔබ අසා තිබෙනවානේ විෂ්ණු දෙවියා ගැන. ඔබ ඒ ගැන කුමක් සිතනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මම නම් සිතන්නේ මෙහෙමයි.

හින්දු දේව පුරාණයේ එන ප්‍රභලම දෙවිවරුන් ත්‍රිමූර්තියක් තිබෙනවා. ඒ..
1. බ්‍රහ්ම
2. විෂ්ණු
3. ශිව

මේ තිදෙනාගේ ක්‍රියාවන්ද එකිනෙකට වෙනස්. එනම්..
1. බ්‍රහ්ම නමින් උපතද,
2. විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද,
3. ශිව නමින් විපත හෙවත් අවසානයද දක්වනවා. බුදු දහමේ එන උත්පාද, ඨිති, භංග යන්නෙන්ද මෙයම විස්තර වන බවයි මගේ හැඟීම.

ඒ නිසා මගේ හැඟීම වන්නේ මෙලෙස දේවත්වය ආරෝපණය කර තිබෙන්නේ ස්වභාව ධර්මයේම සංසිද්ධීන් වලට බවයි.

මෙතැනදී මම කතා කරන්නේ මේ බ්‍රහ්ම හෙවත් උපත ගැනවත්, ශිව හෙවත් විපත ගැනවත් නෙමෙයි. විෂ්ණු හෙවත් පැවැත්ම ගැනයි. එනම් දිගුකාලයක් තිස්සේ මේ මනුෂ්‍ය සහ සත්ව සංහතියේ පැවැත්ම ගැන තමයි අපේ කතාව.

ඔබ අසා තිබෙනවද?????

විෂ්ණුගේ දශ අවතාරයක් තිබෙනවාය කියන කියමන. මම ඒ ගැන හිතන විදිහ තමයි මේ බ්ලොග් සටහනෙන් ඔබට කියන්නේ. හැබැයි මේ මම හිතන හැටි. වෙන කෙනෙක්ට තමන් කැමති විදියකටත් හිතන්න ඉඩ තියෙනවා. ඒක තම තමන්ගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රීය අයිතියක්.

මේ විශ්වයේ තිබෙන යම් වස්තුවක් වේද එයට උපතක්, පැවැත්මක්, විපතක් පැවතීම අනිවාර්ය්‍යයි. එතකොට මේ දේව ත්‍රිමූර්තියෙන් දක්වලා තිබෙන්නේ මේ පූජනීය සංකල්පය කියන එකයි මගේ හැඟීම.

සත්ව පරිණාමය කියන්නේ සත්වයා මෙලොව රසායනික හෝ යම් වෙනත් අයුරකින් බිහි වුණාට පස්සේ එනම් උපතට පසු සත්ව සංහතියේ පැවැත්ම කියන කාරණයයි. මේ පැවැත්ම නොයෙක් කාල වලදී නොයෙක් ආකාරයට වෙනස් වෙන්න ඇති. ඒ වෙනස් වීමට අපි පරිණාමය ලෙස නම් කළා. එතකොට මේ පරිණාමික ක්‍රියාවලියට භාජනය වෙන්නේ සත්වයාගේ පැවැත්ම. එනම් විෂ්ණු. විෂ්ණුගේ අවතාර ලෙස හඳුන්වන්නේ මේ පැවැත්මේ ඇතිවන වෙනස කියන එකයි මගේ කල්පනාව.


දැන් අපි බලමු විෂ්ණුගේ දශ අවතාරයන් කියන්නේ මොනවද කියලා?

1. මත්ස්‍ය අවතාරය.
2. කුර්ම අවතාරය.
3. වරාහ අවතාරය.
4. වානර අවතාරය.
5. නර-සිංහ අවතාරය.
6. පරශුරාම අවතාරය.
7. රාම අවතාරය.
8. කෘෂ්ණ අවතාරය.
9. බුද්ධ අවතාරය.
10. කල්කී අවතාරය.

දැන් මේ දහය එකිනෙකින් වෙන වෙනම යම් තරමකට පැහැදිලි කරගමු.

1. මත්ස‍ය අවතාරය. - මෙකෙදි මත්ස්‍ය කියන්නේ මාළුවටනෙ. මනුස්මෘතියේ කියවෙන්නේ (මේ මනුස්මෘතියත් ඉතාම වටිනා පුරාණ ග්‍රන්ථයක්.) බ්‍රහ්ම පළමු කොට ජලය මවා බ්‍රහ්මාණ්ඩය එහි හෙළු බවයි. (මෙහිදී "මවා" යන්නෙන් "මැවීම වාදයක්" ගැන කතා කරනවා නම් අප ඒ ගැන කතා කළ යුතු නැහැ නොවැ. නමුත් ඉතා හොඳින් බැලීමේදී මෙහි එයිට වඩා දෙයක් තිබෙනවා. ඒ නිසා අපි මේ මඟේ දිගටම යමු.)
පළමු අවතාරය වන මත්ස්‍ය අවතාරයෙන් පෙන්වන්නේ ලෝකයේ ජීවය පහළ වූයේ ජලයේ බවයි. එනම් බ්‍රහ්ම හෙවත් උපත ඇති කරන්නා වූ බලවේගය ප්‍රථම ජීව පුංජය ජලයේ පහළ කර ඇත.

2. කුර්ම අවතාරය. - කුර්ම කියන්නේ ඉදිබුවායි. ඉබ්බා කියන්නේ දිය ගොඩ දෙකේම ජීවත් වෙන සතෙක්.
ඉදිබුවා යන ජලය සහ ගොඩබිම වාසය කරන සත්වයාගෙන් නිරූපණය වන්නේ, සත්වයා දැන් යම් ඉහළ අවධියකට පැමිණ ඇති බවයි. එනම් සත්වයා දියේ ජීවත් වන අතරම ගොඩබිම තම ජීවිතයද අරබා ඇත.

3. වරාහ අවතාරය. - වරාහ කියන්නේ සූකරයා නැත්නම් ඌරා. මේ සත්වයා ජීවත් වෙන්නේ මඩ ආශ්‍රිතව.සූකරයාගේ වාසය ගොඩබිම වුවත් යම් තරමකට මඩටද ප්‍රිය සත්වයෙකි. එනම් මේ සත්වයාගෙන් නිරූපණය වන්නේ තවත් ඉහළ සත්ව අවධියක් බව දැන් අපට පැහැදිලි වේ.

4. වානර අවතාරය. - වානරයා කියන්නේ යම් පමණකට දියුණු සතෙක්. දෙපා ඉරියව්වට යම් හුරුකමක් ඇතත්, අංගුලි වර්ධනය එහෙම බොහෝ දුරට දියුණු සතෙක්ට සමානකම් තිබෙන සතෙක්. සත්වයා තිරිසන් යුගයේත් දියුණු අවධියකට පැමිණ තිබේ. ක්ෂීරපායින් ලොව රජ කරයි. මේ තවත් ඉහළට සත්වයා දියුණු වූ අවධියකි.

5. නර- සිංහ කියන්නේ අර්ධ මිනිස් අර්ධ වානර සත්වයන්ට. වානර වෙසින් මිනිස් වෙසට පෙරැළීම ඇරබී තිබේ. අර්ධ මිනිස් වානරයන් පහළ වී ඇත.

6. පරශුරාම අවතාරය. - මෙකෙදි පරශු කියන්නේ පොරවට. රාම කියන්නේ බුද්ධියේ යම් පිබිදීමක් හඟවන පදයක්. කියන්නේ දඩයමක් කර ගැනීමට ප්‍රාතමික ආයුධ භාවිතයට මේ සත්වයා දැන් හුරුයි. දඩයම් යුගය ඇරබීම මින් නිරූපණය වේ.

7. රාම අවතාරය. - මිලේච්ඡත්වයට එරෙහිව සටන් වදින්නෙක් වන්නේ රාමායි. බුද්ධිය හොදින් වර්ධනය වී සමාජ සම්බන්ධතා ගොඩනඟාගෙන සංවිධානත්මක සමාජයක් වෙත ක්‍රමයෙන් පිය නඟන සත්වයා මින් නිරූපණය වේ.

8. කෘෂ්ණ අවතාරය. - බුද්ධියේ උපත කෘෂ්ණාය. මොහු ඉතාමත් බුද්ධිමත් වන අතර, පර්යේෂකයෙක් වේ. තවද ඉතාමත් දක්ෂ සංවිධායකයෙකි. නවීන සමාජයට පෙර තිබූ සදාචාරවත් බුද්ධිමත් සමාජය මින් නිරූපණය වේ.

9. බුද්ධ අවතාරය. - බුද්ධියේ විකසිත අවධියයි. වර්තමානය යි.

10. කල්කී අවතාරය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? බුද්ධ අවතාරය මගින් වර්ථමානය නිරූපනය වනවා නම් කල්කී මගින් නිරූපණය විය යුත්තේ මිනිස් පරිණාමයේ ඊටත් වඩා උසස් අවධියක් නේද? එනම් කාලය සහ අවකාශය ඉක්මවා යන, අර්ථයක් ගම්‍යමාන වන බව ඔබට නොපෙනේද? මිනිස් පිටපත් සෑදීම, වෙනත් ග්‍රහලෝක වෙත ජීවය බෝ කිරීම, පරිඝනක තාක්ෂණයේත්, ඉංජිනේරු තාක්ෂණයේත්, වෛද්‍ය තාක්ෂණයේත් ඉහළම දියුණුව ලබන අනාගත මිනිසා මේ කල්කී අවතාරය නමින් හඳුන්වා ඇත යනු මගේ අදහසයි.

නූතනයේ දියුණුවත් සමඟ පරිණාමීය ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත්තේත් ඉහත පිළිවෙළටම බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.

මම ඔබට විශේෂ දෙයක් කියන්නම්.

මේ දේවල් මිථ්‍යාවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද අපි මිථ්‍යාවල් කියා ඉවත් කරන බොහෝ දේවල් බටහිර ජාතීන් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත්තා. නමුත් අපි ඔවුන්ටත් බැණ, බැණ, අපේ දේවලුත් විනාශ කරගෙන කොයි යනවාදැයි නොදැන යන මේ ගමනේ අවසානය කුමක්ද?


සදෙව් ලොව නම් සංකල්පයද මෙලෙසම අර්ථ දක්වමු ඉදිරියේදී......

65 comments:

  1. ඇත්ත බටහිර උන්දලැ කලේම අපේ ශිෂ්ඨාචාර වල හොඳ දේ අරගෙන ගිහින් උන්දැල දියුනු වෙන එකනොවැ...අපි ඉතින් පුරාජෙරුව කියව කියව එකතැන පල්වෙවී ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඩාවින් පරිනාමය හොයාගන්න අවුරුදු දහස් ගානකට කලින් බුදුන් වහන්සේත් හින්දු ආගමෙත් පරිනාමය විස්තර වෙනවා.... හැබැයි බානකව ධර්මය පවත්වාගෙන ආව මිසක් එහි අහු මුළු හොයන්න ආසියාතිකය පෙලඹුනේ නෑ.. සමහර විට සිය ආගම, දර්ශනය පිලිබඳ තිබ්බ දැඩි විශ්වාසය නිසා වෙන්න ඇති..

      පරිනාමයට විතරක් නෙවෙයි.. පරමානුක වාදය, තාරකා විද්‍යාව ගැන උනත් බුදු දහමේ පැහැදිලි කිරීම් වලට එරෙහිව තර්ක කරන්න අදටත් කිසිම දාර්ශනිකයෙකුට හෝ විද්‍යාඥය්ක් සමත් වෙලා නෑ..

      Delete
    2. මී ගොඩයාගේ කතාව සමග එකග වෙන්න පුළුවන් තාර්කිකව හිතලා බැලුවාම.

      පොඩ්ඩක් හිතලා බලන්න පලවන අවතාරය වන මත්සය අවතාරයේ සහ ඉදිබු අවතාරයේ එන සංසිද්දීන් දෙකම පරිනාමවාදයේ එකිනෙකෙට ගැලපෙන අවස්ථා නේද?පෘතුවියේ මුලින්ම ජීවය ඇති උනේ ජලයේ පසුව තමා ජිවය ගොඩබිම කරා පැමිණියේ ,
      වසර 3000 කට කලින් කොහොමද මේ සිදුවිම් පැරණි පොත්වල සටහන් වෙන්නේ ? චාල්ස් ඩාවින් වසර 100කට කලින් හෙලිකල පරිනාම වාදයට අදාළ කරුණු ? ඇත්තටම හරිම පුදුමයි නේද ?

      Delete
    3. ඔව් රාජ් ඒ අපේ හැටිනේ. අනේ මන්ද හැදෙයිද කියලා. ආසියාවේ ආශ්චර්ය්‍ය නෙමේ ඕනෙකම තියෙනවනම් ලෝකෙම ආශ්චර්ය්‍යය වෙන්න දේවල් අපිට තිබෙනවා. නිදහස තෑගි ලැබිලා අවුරුදු 60 ගනනක්. තාම බටහිරට බොරුවට බැණ බැණ එයාලම දෙන දෙයක් කාල ආයිත් තෙල බහින්න උන්ටම බණිනවා.

      Delete
    4. මීගොඩයා දරුවෝ පැහැදිලිවම ඔබ හරි. බලන්න මේ ලෝකෙ තිබෙන ස්වභාව ධර්මයේ සංසිද්ධීන් එක එක යුගවල ඉන්නා මිනිසුන් එක එක රටවල, ශිෂ්ටාචාරවල නිර්වචනය වෙන්නේ වෙනස් වෙනස් විදියට. ඒවා එක සමාන වෙන්න ඕනෙ නැහැ. කොටින්ම අපි අදහන සුද්දවත් එහෙම හිතන්නේ නැහැ. හැබැයි අපි සුද්දගේ තියරියට පිටින් යන හැම එකම මිත්‍යා විදියට දකිනවා. මේකයි අපේ වගේ රටවලින් පිළිගත් උගතුන් බුද්ධිමතුන් දාර්ශනිකයන් බිහි නොවෙන්නේ. නැතුව හැකියාව නැතිකම නෙමේ. එලියට ආවොත් අපිම තලල දානවා. සුද්ද ඒක අරගෙන හිනාවෙලා නැවැත රිපීට් කරනවා. අපි අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කරනවා. වරද සුද්දගේ නෙමේ අපේ.

      Delete
    5. රොබින් ඔබ හරි මේ එකක් වෙන වෙනම යුග වශයෙන් ගත්තොත් අපිට පේනවා පරිණාමයේ නූතන කතාවේ යුග ටික එක පිළිවෙලටම. ඇත්තෙන්ම මේවා එලියට ගෙන කතිකාවතක් නිර්මානය කිරීමටයි මට උවමනා. මේ දේවල් වලින් අපේ දරුවෝ වැඩ ගනියි එතකොට. නැත්නම් මේවත් ... අනේ මන්ද??

      Delete
    6. අග්ගඤ්ඤ සූත්‍රයේ කතා කෙරෙන විදිහට ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ජීවින් රස පොළව අනුභවයෙන් සිරුර නිර්මාණය වීමෙන් ක්‍රමයෙන් සමාජගත වීමේ කතා පුවතක් හැරෙන්න ජලජ ජීවියාගේ ඉදන් වානරයා දක්වාත් වානරයා මානවයා දක්වාත් පරිණාමය වුණු වගක් බුදු දහම තුළ කතා කෙරෙනවද ?

      මට එහෙම දෙයක් නම් සිහියට එන්නේ නැහැ. මා වැරදි නම් නිවැරදි කරන්න

      Delete
    7. හසිත ඔබ කිව් කාරණය මගේ ඉදිරි නිර්මාණයකට හේතු වෙනවා. මම ඒ ගැන මගේ අදහස එතැනදී කියන්නම්.

      Delete
  2. මේ අදහසත් විශ්වය මැවීම වගේම අපූරු දෙයක් හැටියට මට පෙනෙන්නේ. මේ විදියට දස අවතාරය දිහා බැලූ තවත් අය ඉන්නවද? මහ වෙදනා විස්තර කරලා තියන අයුරින්ම තමා අර දෙවිවරුන් තුන්දෙනා හින්දු ආගමෙත් සඳහන් වෙන්නේ.

    මම මේ තාමත් දස අවතාරය ගැන කල්පනා කරනවා. කල්කී අවතාරයෙන් පස්සේ කල්ප විනාශයක් එනවාද? එතකොට ඔබ දකින හැටියට එය විග්‍රහ කරන්නේ කොහොමද?:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී, ඔව් දේව ත්‍රිමූර්තිය නම් එකඟතාවයක් ඇති දෙයක්. නමුත් මම මේ කිව් කාරනය වෙනස් දෙයක්. මම දන්න තරමින් මට කියවන්න ලැබිලා තියන විදියට මේ දශාවතාර ගැන මගේ දැක්ම නම් වෙන කෙනෙක් කියනව මම දැකලා අහලා නැහැ. හැබැයි ඉන්නත් සමහර විට ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නව නම් අපි දෙන්නට මේක තවත් දියුණු අදහසක් කරන්න පුලුවන් එක වෙලා. කවුරුත් කතා කලොත් බලමු.
      කල්ප විනාශය ගැන මම කෙදිනක හෝ ලියන්නම්. හැබැයි ඒ සම්මත දේ නෙමෙයි මගේ අදහස. තාම මම ඒ ගැන කියවනවා.

      Delete
  3. අදේව වාදී සංකල්පය හා හේතු ඵල දහම බැහැර කල විට බුදු දහමත් මේ පැහැදිලි කිරීමට සමගාමියි කියල හිතුනා..

    වෙද මාමා පරිනාමය ලස්සනට විග්‍රහ කරල තියෙනවා...

    ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා ඔබට බොහොම ස්තුතියි!

      Delete
  4. සාපෙක්ශතාවදයත් අයින්ස්ටයින්ට කලින් බුදුහාමුදුරුවො පෙන්නුවනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බුදු ඇසට නොගැටුනු තැනක් මේ විශ්වයේ තිබෙනව කියලා මම නම් මොහොතකටවත් හිතන්නේ නැහැ.

      Delete
  5. අර අන්තිමට කිව්ව කතාවනම් ඉස්තරම්. බටහිර රටවල දැනුමට ආවඩන අපේ මිනිස්සු අපේ දේවල් වලට ගරහනවා. ඒත් ඔවුන් නොදන්නා බටහිරින් යටපත් කරන්නාවූ එක සත්‍යක් නම් ඒ දැනුම ඔවුන් බොහෝකොටම අන්‍ය ජාතීන්ගෙන් සොරාගත් දැණුමක් බවයි. (බටහිරින් එන සුපිරි මාකටිං එක නිසා ඕවා නොපෙනෙන එක අහන්නත් දෙයක්ද?)

    ඔබ කියූව දැන් චාර්ල්ස් ඩාවින්ගේ ජීවයේ පදනමට මනාව ගැලපෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මම ඔබට කාරණයක් කියන්නම්. ඔබ දන්නවනේ මට වූ දේ. මේක පුදුම ලංකාවක්. අපේ මේ තිබෙන දැණුම පිලිවෙලකට සකසා ගත්තොත් මේ ලෝකෙ ඕනෙම රටක් එක්ක දැණුමෙන් සටන් කරන්න අපිට හැකියාව තිබෙනවා. ඒත් ඒක කවදාවත් වෙන්නෙ නැහැ. කරන්නත් බැහැ. අපිට මේ තිබෙන වඳුරු ගති තිබෙනකම්.

      Delete
  6. විෂ්ණු දෙවියන්ගේ දස අවතාර සංකල්පය ගැන යන්තම් අහල තිබුනත්, විස්තර ඇතිව දන ගත්තේ අද. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට ඔබ කවදත් මගේ ලිපි කියවන කෙනෙක්. මට ඔබ මගේ සහෝදරයෙක් වගේ.

      Delete
  7. කල්කී පිලිබදව විවිධ වූ මත පවතිනවා නේද ? "දියසේන කුමාරයා" යන සංකල්පය සිංහල සමාජයේ මුල් බැස ගැනීමට මෙම කල්කී යන සංකල්පය බලපා තිබෙනවා නේද ?

    නමුත් රාම සහ පර්ශුරාම යන චරිත දෙකම රාමායනයේදී එකට මුණ ගැසීම සිදුවනවා එහි පැටලිලි සහගත තත්වයක් දක්නට තියෙනවා නේද?
    මක්නිසාද යත් මෙම දසවාතර බිහිවන්නේ ඒක යුගයකට එකක් යයි පැවසෙන නිසා .....

    ReplyDelete
    Replies
    1. කාලයක් කල්කී කියන්නේ දියසේනටයි. දියසේන කියන්නේ පණ්ඩාරනායක උන්නැහැටයි කියලා මතයකුත් ගියේ.
      පරශුරාම කියන නම මට හින්දු සාහිත්‍යයේ තැන් කීපෙකම හමුවෙලා තිබෙනවා.
      1. රාමායනයේ
      2. මහාභාරතයේ
      3. දේවපුරාණයේ
      මින් වඩා පැරණි දේව පුරාණය නිසා මෙහි එන පරශුරාම නම අනෙක් අයටත් යන්න ඇති. කාලය බැලුවම මේ තුන යුග තුනක්. ඒ නිසා මේ තුන්දෙනා එක්කෙනෙක් වෙන්න කිසිම ඉඩක් නැහැ.

      Delete
    2. දියසේන කුමාරයා කියන්නේ ඩී.එස්. සේනානායක කියලත් හඳුන්වලා තියෙනවා. ඒ "ඩී" දිය "එස්" සේන... දියසේන විදිහට

      Delete
    3. අනේ ඇත්තටම ඉතිහාසය දන්න ඔබ දන්නවනේ හසිත. මේ කට්ටිය එකතු වෙලා ලංකාවට කල හරිය දියසේනල මෙහෙම නම් අනේ මන්ද? දිනක ලියමුද මෙයාලගේ අතීතය. මගේ ලඟ තිබෙනවා. පණ්ඩාරනායක, ජේ. ආර්. පප්පා, ඩී. ඇස්. වගේ හැමෝගෙම පැටිකිරිය.

      Delete
    4. අනිවාර්යයෙන්ම. මේ සතියේ ඉරිදා මම publish කරන්න හිතාගෙන ඉන්න post එකෙන් බණ්ඩාරනායක සහ ජයවර්ධන මුල් පුරුක් ගැනත් කතා කෙරෙනවා

      Delete
  8. දශ අවතාර එක කාලයකට එකක් පහළ වෙනවා කියන එක නම් මෙතන කියවිලා නෑ. ඒක එහෙම හිතන්නත් බෑ. මොකද මේ සියලුම චරිත වලින් පරිණාමය වෙච්ච නැති අය පිරිසක් අදටත් ඉතිරිවෙලා ඉන්නවා.

    බොහෝ ආගම් වල දේවවාදයක් ආරෝපණය කරල තියෙන්නේ ස්වාභාවික සoසිද්ධීන් වලටම බව, ගැඹුරින් හිතල බැලුවහම පැහැදිලියි. මම පෞද්ගලිකව ඒකෙ ලොකු වැරැද්දක් දකින්නේ නෑ. බොහෝ ආගමික ශාස්තෘවරු එහෙම දේවත්වයක් ආරෝපණය කරන්න ඇත්තේ මිනිස්සුන්ගේ පොදු මතයන් ගැන හිතල බලල. එහෙම කලාම මිනිස්සුන්ගේ හිතට දහම කා වද්දන්න ලේසියි. අනිත් හේතුව තමා ස්වාභාවික සoසිද්ධිවලට මිනිස්සු බය නැති වුනත්, ශාප කලත් දෙවියන්ට බයයි, ගරු කරනවා. එතකොට ස්වභාවික ක්‍රියාවන් දේවත්වයෙන් සලකලා ඒවට අනුගත වෙනවා.

    ඒක මනුෂ්‍යය වර්ගයාගේ පැවැත්මට හිතකරයි.

    මේ ලිපිය අපේ මහ වෙදනගේ හිතලුවක් කියල බැහැර කරන්න නම් කොහොමත් බෑ. මේ විග්‍රහය අතිශය තාර්කිකයි. බොහොම පින් මේ ලිපිය අපිත් එක්ක බෙදා ගත්තට. මට හිතෙනවා 'කල්කී අවතාරය' ගැන විග්‍රහ කරන්න අපි ඉක්මන් වැඩිද කියල. මේ ලෝකෙ වෙනස් වෙන විදිහට 'කල්කී අවතාරයේ' ස්වභාවයවත් හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හොඳ ලිවීමේ හැකියාවක් තියෙන ඒත් බ්ලොග් නොලියා ෆේස්බුක් ස්ටේටස් දාන කෙනෙක් මේ දේශප්‍රේමියා.

      Delete
    2. බොහොම ස්තුතියි. ලියන්න පටන් ගන්නවානම් ඉතා හොඳ බ්ලොගයක් වීම අනිවාර්යයි.

      Delete
    3. අප්පට සිරි..මේ 'රාම අවතාරය' (අවතාරයක් කිව්වට මම දන්න විදිහට මිනිහා හරි අහිoසකයා) මගේ දෙකේ පන්තියේ මල් පෙරහැරට 'කැලණි පෙරහැර සයිස් ගිනි බෝල' කරකවනවා. කන්දක් විලිලා මී පැටියෙක් ගැහුවා වෙයිද බයට මට දැන් ටයිප් කරන්නත් අමතකයි වගේ..හප්පේ...

      Delete
    4. පළමු කොට ඔබව සාදරයෙන් වෙදගෙදරට පිළිගන්නවා. ඔබ වැනි අය මේ බ්ලොග් කලාවට පැමිණිය යුතුයි.
      ඔබේ මතය අනුව බැලුවම මුලින්ම මේ අවතාර පහල වීම කියන කාරණයට මම එකඟ නැහැ. ඒ කියන්නේ මම මෙහිදී අදහස් කරන්නේ මේ එක් අවතාරයකින් එක් යුගයක් නිරූපණය වෙනවා කියන එක විතරයි. පහල වීමක් එතැන නැහැ.
      අනික් කාරණයට මමත් එකඟයි. ඒ ස්වභාව ධර්මයේ එන සංසිද්ධීන් දිව්‍ය හා වෙනත් චරිත ලෙස පැහැදිලි කිරීම. මේක මුල් යුගවල බොහෝ සෙයින් තිබූ දෙයක්. නමුත් අද ඉන්න අපිට මොලේ නැහැ ඒව තේරුම් ගන්න තරම්.

      Delete
    5. කමෙන්ටු එච්චර දාල ගියෙ නැතු උනාට මම කාලයක් තිස්සේ වෙද උන්නැහැව කියවනවා. ගොඩක් ලිපි මතකයෙන් කියන්න පුලුවන්.

      මම කොහෙත්ම අදහස් කලේ නෑ 'පහල වීම' ක් ගැන. මම ඒ කතාව කිව්වෙ මට කලින් කමෙන්ටුව දැම්ම 'රොබින්', රාම සහ පර්ශුරාම ගැන දක්වපු අදහස ගැන මගේ ප්‍රතිචාරය.

      අද ලකාවෙ අදහන ප්‍රධානම ආගම් 3ක් මම යම් තරමකට ඉගෙන ගත්තා. කාටවත් පහර හහන්න නම් නෙමේ. ඒ හැම එකේම සමානකම් ගොඩකුත් තියනවා. වචන වෙනස් කම් තමා බොහොමයක් තියෙන්න.

      Delete
    6. ඔව් ඔබ කියන්න හරි ලංකාවේ සියලුම ආගම් බොහෝ සමානයි. ඒ ගැන හොදම දේ කියලා තියන්නේ දැන් ජරා පොරක් වුනාට කාලෙකට කලින් මගේ වීරයෙක් වුනු ජැකා. මිනිහ කියනව "මම ආගමෙන් ක්‍රිස්තියානි. ඒත් සංස්කෘතියෙන් බෞද්ධ" කියලා. ඒ කතාව ඉතාම නිවැරදියි. මේ රටේ ජීවත් වෙන හැම මිනිහෙක්ටම තිබෙනවා බෞද්ධ මූලයක්. කොටින්ම මුස්ලිම් අයට පවා. ඉතින් ඇයි අපි මෙහෙම බෙදිලා පිස්සු නටන්නේ අපි එකට හිටියොත් මේ රට ඉතාම ඉහලට යයි.
      නැවත ඔබට කියනවා ඉක්මනින් ලියන්න. අසාවෙන් බලා ඉන්නවා. දැනටම ඔබේ රටාව මට හිතා ගන්න පුලුවන්.

      Delete
  9. ඔබේ විග්‍රහය හරිම වැදගත් සහ රසවත්.. වේද ග්‍රන්ථ සිංහලට පරිවර්තනය වෙලා තියෙනවද? එසේ නම් ඒවා ලබා ගත හැකි තැන් මොනවාද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මිත්‍රයා. කනගාටුයි වේද ග්‍රනථ සිංහලෙන් නම් මම දැක නැහැ. ඊයක් එවන්න සමහර පොත් ඉංග්‍රිසියෙන් තිබෙන ඒවා නම් කුමක් හෝ උදව්වක් කල හැකියි. මම නම් මේවා ඉන්දියාවෙන්ම ගෙන්නා ගත්තා.

      Delete
    2. මම දැනට දන්න පොත් 2ක් තියෙනවා වේද ගීත සම්භාවනා සහ කබීර් මුනි ගැයූ ගී (වගේ නමක්). ඒ.එස් බාලසූරිය මහතා තමයි සිංහලට නගල තියෙන්නේ.. ඊට අමතරව සිංහලෙන් ලියවුණු ඒව ගැන තමා දැන ගන්න ඕනෙ වුණේ..

      Delete
  10. මමනං මේ මොකුත් දන්නෙ නෑ... :-)
    ඒක හින්දා මම කියනවා මේක වටිනවා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සැරද මහරජ!!! එසේම වේවා!!!
      (සැරනම් නැතුව ඇති මයේ හිතේ.)

      Delete
  11. දස අවතාර ගැන අසා තිබුනට මෙතරම් සවිස්තරව දැන සිටියේ නෑ. කල්කි අවතාරය ගැනනම් මේ තාමත් සිතමින් ඉන්නවා .
    …බොහොම ස්තූතියි ඔබේ දැනුම අප සමග බෙදාගන්නවාට .

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් දන්නේ නැහැ කල්කී කුමන වෙසක් ගනීද කියා ඉදිරියේදී. ගෑනුන්ගේ කොන්ඩේ පාට පාට.. එතකොට නියපොතු රතුපාට ඉතා දිගු උල්වගේ අපෝ මතක් කරන්නත් බයයි. අනිච්ඡෙ දුක්ඛේ කියවෙයි පිරිමි අපිට.
      ඇයි???? එතකොට යටි පතුල් හීනි දිග විළුඹ උස හිනාත් යයි අපිට මේවා දකිනකොට.

      Delete
    2. @ Gimhani

      හීන්දුන් කියන විදිහට සුදු අස්වයෙක් පිට නැගිලා කඩුවක් අතින් අරන් එන කඩවසම් පුද්ගලයෙක් තමා කල්කි කියන්නේ

      Delete
  12. පළමුව ඔබගේ ලිපියේ සංකල්පයට එකඟ බව පවසමි. නමුත් ඔබ පැවසු අයුරින් මා මේ සංකල්පය අර්ථ දක්වන්නේ පහත අයුරිනි,
    1. බ්‍රහ්ම නමින් උපතද,
    2. විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද,
    3. ශිව නමින් විපත හෙවත් අවසානයද දක්වනවා
    (මෙය හා එලෙසම එකඟ වේ )

    නමුත් මගේ අදහස අනුව විෂ්ණුගේ දශ අවතාර මගින් පෙන්නුම් කරනුයේ පෙවත්මේම එකිනෙකට වෙනස් අවස්ථා 10 කි. "විෂ්ණු නමින් පවත හෙවත් පැවැත්මද" යන්න හා මෙය ඉතා හොඳින් ගැලපේ. මා හට මේ අවස්ථා 10 මා විධිමත්ව විස්තර කිරීමට අපහසු උවත් ඉතා පැහැදිලි අවස්ථා කිහිපයක් උදාහරණ ලෙස දක්වමි.
    1. මත්ස‍ය අවතාරය. - මව් කුස තුල ( බිත්තරයක් තුල ) සිටන අවස්ථාව. ( බොහෝ දියුණු ජිවින්ට මෙය අදාල වේ)
    2. කුර්ම අවතාරය. - ළදරු අවස්ථාව.

    4. වානර අවතාරය - ළමා අවස්ථාව.
    5. නර- සිංහ - තරුණ අවස්ථාව.
    7. රාම අවතාරය. - තරුණ මදය ඉතා ඉහල අවස්ථාව

    9. බුද්ධ අවතාරය. - බුද්ධියේ විකසිත අවධියයි.
    10. කල්කී අවතාරය - ඉහල ප්‍රඥා ලැබූ අවස්ථාව. ( ධාන්‍ය , මාර්ගපල )

    LA

    ReplyDelete
    Replies
    1. ඔබ ඇනෝ ආවත් මම දන්නවා ඔබ මගේ මිතුරෙක් බව. ඔබ කියන ආකාරය ගැන මමත් අසා තිබෙනවා. ඒ ගැන සිතා තමයි මේක පරිණාමයට පෙරළුයේ.

      Delete
  13. දස අවතාර කතාව අසා ඇත්තෙමි.

    වෙද මහතා ජෝතිෂ්‍යය කරල තිබේද?

    ReplyDelete
    Replies
    1. සෑමා මම නොදන්න බොහෝ දේ අතරින් එකක් තමයි ඔය ජ්‍යොතිශය. තව මොනතරම් ටිකද අපි දන්නේ.

      Delete
  14. වෙදනා මාසයකට එකක් පෝස්ට් දැම්මත් දාන පෝස්ට් එක මාසයකට ඇතිවෙන්නම දෙනවා... හිතන්න දේවල් ගොඩයි !!!

    ඔබ කියලා තියෙන දෙයට මමත් එකඟ වෙනවා... මේක සාර්ථක විග්‍රහයක් කියලා කියන්න පුළුවන්. ඔබතුමාට ගොඩක් ස්තුතියි කරුණු හොයලා බලලා මහන්සිවෙලා මේ ලිපිය සැකසුවාට ! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබ මට බොහෝ දේ කියාදී තිබෙනවා. බොහෝම ස්තුතියි මිතුර.

      Delete
  15. දස අවතාර ගැන් පැහැදිලි කිරීම නම් විශිෂ්ඨයි.

    එහෙත් මානවයා වන අප වෙනත් ලෝකෙක ජීවත් වුනු ඉතාමත් බුදිධිමත් ජීවීන් කොට්ඨාශයකගේ නිර්මාණයක් වෙන්නට බැරිද? ඔබ දස අවතාරයේ අවසානයේ කියූ දේම අපගේ ආරම්භය විය නොහැකිද ?

    එයම එක් දෙවි සංකල්පය නැතහොත් මැවීම් සංකල්පය ඇති වීම්ට හේතු වූවා විය නොහැකිද ?

    ReplyDelete
    Replies
    1. මේවා සංවාදයට භාජනය විය යුතු කරුණු. ඒත් මම ඔබ හා එකඟ නැහැ. මේ ලෝකෙ ජීවත් වෙන අපි මේ ලෝකෙටෙ අනුවර්ථනය වන විදහටයි හැදිලා ඇත්තේ. අපි මේ ගැන හසිතට කිව්ව වගේ ඉදිරියේදී කතා කරනවා. එදාට හරවත් විවාදයක් කරමු.

      Delete
  16. වැදගත් ලිපියක්...පර්යෙෂණ තුලින් පැරණි විශ්වාසයන් තහවුරු කිරීම විද්‍යාවෙ දියුණුවට හෙතු වෙන බව මටත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි පර්යේෂණ ලෙස නම් කල යුත්තේ මේවායි. නැතුව බටහිර ලෝකෙ අවශ්‍යතා සපුරන්න කුලියට කරන දේවල් නෙමේ. ඔබ 100% හරි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  17. දස අවතාර ගැන අහලා තිබුනත් මම මේ බුද්ධ අවතාරය ගැන අහලා තිබුනේ හෙනම ගොං කතාවක් විදියට ඉතින් මේ ගැන විස්වාසයක් තියන්න බැරි මට්ටමක මම හිටියේ මේක කියවනකන් ඒත් දැන්නම් හිතෙනවා මොකක් හරි පදනමක් උඩ තමා මේකත් කියලා තියෙන්නේ කියලා....

    මම අහලා තියෙන කතාව මතකේ හැටියට මෙහෙමයි....

    මොකක් හරි හේතුවක් නිසා දිව්‍ය ලෝක දේවත්වය ලැබු මිනිසුන්ගෙන් පිරෙන්න ගත්තලු.දෙවියන්ට උන් හිටි තැන් අහිමි වෙද්දි දිව්‍ය ලෝකෙට අධිපති කවුරු හරි කල්පනා කරාලු මේක හරියන්නැ දිව්‍ය ලෝකෙට එන කස්ටිය අඩු කරන්න ඕනේ කියලා.ඉතින් බුද්ධ අවතාරය යැව්වලු මිනිස්සුන්ව අපාගත කරවන්න කියලා.ඊට පස්සේ බුදුදහම අදහන එවුන් අපායේ ගිය නිසා දිව්‍ය ලෝකේ ඉඩකඩ විසඳුනාලු....

    මම බෞද්ධයෙක් විදියට කණගාටු වෙනවා මේ කතාව මෙතන දාන්න ලැබුනු එක ගැන.කවුරුත් මට දාගෙන නෙලන්න ලෑස්ති වෙන්න එපා.මේක අමු පචයක් කියලා බෞද්ධ හැමෝම දන්නවනේ.... නමුත් මට මගේ දමිළ මිතුරෙක් තමයි මේ කතාව කිව්වේ.මීට විරුද්ධව වාද කරාට පස්සේ මේ වෙනකන් ඔහු තාම මාත් එක්ක කතා බහක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව්නේ,
      මේවාගේ දේ ගැන වාද විවාද වලට යනකොට හරි පරිස්සම් වෙන්න ඕනෙ. මොක්ද යාලු මිත්තරකම් බොහෝ වටිනා නිසා.

      Delete
  18. දශ අවතාරයට “බුද්ධ අවතාරය“ එකතු වෙන්න මෙහෙම හේතුවකුත් තියෙන්න පුළුවන් නේද?

    ඉන්දියාවෙ මුල් බැහැගෙන තිබිච්ච හින්දු ධර්මයට ලොකුම අභියෝගය ආවෙ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන්. ඒ නිසා බ්‍රාහ්මණයො “බුද්ධ අවතාරය“ කියල එකක් හින්දු ආගමට එකතු කරල ආගම නවීකරණය කලා. ඒකෙන් ඒ අය බලාපොරොත්තු වෙන්න ඇත්තෙ බුද්ධත්වය දෙවෙනි තැනට දාල දේවත්වය ඊට වඩා ඉහල තලයක දෙයක් කියල පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි. නමුත් කරුමේ අපි මේවට අපේ අර්ථ දෙන්න උත්සාහ නොකරන එකනෙ. අපි මුකුත් නොකියන නිසා එයාල කියන දේ නිකම්ම සම්මත වෙනවා.

      Delete
  19. මේකෙ තියෙන කරුණු කියවලා අලුතින් දෙයක් ඉගෙනගන්නවා මිසක ඒ ගැන අදහස් ප්‍රකාශ කරන්න මගේ දැනුම මදි. ඒක මෝඩ කම ප්‍රදර්ශනය කිරීමක් වෙන්න පුලුවන් නිසා නිහඬ වෙනවා. ස්තුතියි වෙද මහත්තයා.


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවාට.

      Delete
  20. දස අවතාර ගැන අහල තිබුනා ඒත් තේරුම මොනවද කියල දැනගෙන හිටියේ නැහැ. ඉතුරු විස්තරයත් මේ මාසේ ඇතුලත බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඉක්මනට තව ලියන්නම්. ඒත් එක්කම ඔබ කිව් නිසාම ඉතිහාසය ගැන මගේ නිගමන තවත් කොටසක් ඉක්මනින් දෙන්නම්.

      Delete
  21. කල්කීගේ කාර්යය වෙන්නේ අධර්මිෂ්ටයන් මරා දමමින් ධර්මිෂ්ටයින් රැක ගනිමින් ධර්මය සුරක්ෂිත කරලීම කියලයි මම අහලා තියෙන්නේ.....

    ඒ නිසා කල්කී මඟින් කියවෙන දේ බුදු දහමේ එන මුරුගසන් වර්ෂාවෙන් පසු ඉතුරුවන [දිවි ගලවාගත්] ජනතාවගේ කතාවට සමානයි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත ඔබ කියන දේ හරි වෙන්නත් පුළුවන්. නමුත් මේ හින්දූන්ගේ විශ්වාසනේ...

      Delete
  22. මෙය ඉතා වැදගත් ලිපියක්, ලිපිය පමණක් නොව කොමෙන්ට්ද ඉතාමත් තර්කානුකූලයි.....

    පළමුවෙන් කිව යුතුයි මා දැනුම ලබාගෙන තිබෙන්නේ බටහිර විද්‍යාවන් හැදෑරීමෙන් බව,(ඒ මගේ වැරද්දක් නොවේ)

    එයට අනුව යම් සංකල්පයක් විද්‍යාත්මක බවට පත්වීමට පියවර කිහිපයක් පසු කල යුතුයි, සංකල්පයක් වාදයක් බවට පත්වී, වාදය නීතියක් බවට පත්වී අවසානයේ විද්යාත්මකවේ, එහි අදහස එය පරම සත්‍යය බව නොවේ, එය පිලිගනිමි. පරිනාමය පවතින්නේ තවමත් වාදයක් අවස්ථාවේ නේද? එහි අදහස බටහිර තවමත් එය විද්යාත්මකයි කියා පිළිනොගන්නා බව නොවේද?
    පරිනාමය යන සංකල්පයේ ගැටළු ඇතිබව ඔබ පිළිගන්නෙයැයි මම සිතමි, එසේ වූ හෙයින් පෙරදිග සංකල්ප විස්තර කිරීමේදී, බටහිර මෙසේයි, ඔවුන් කියන දෑ අප පළමුවෙන්ම ඔවුන්ට පෙර කීවා යයි යන ප්‍රකාශ අනවශ්‍ය බව මගේ හැගීම, අප පෙරදිග අපරදිග සංකල්ප සංසන්දනය නොකර, ඒවා වෙන වෙනම ප්‍රවාද වශයෙන් පවත්වා ගතයුතුයි යන්න මගේ හැගීමයි.
    (මා මේ දෙය වෙන තැනක කීවා නම් මා හංවඩු ගැසෙනු ඇත, ඔබතුමාගේ බ්ලොගයේ එය ලිවීමට මට කිසිදු චකිතයක් නැත, මන්ද වේද ගෙදර බ්ලොගය එතරම්ම බුද්දි ගෝචර වන නිසා)

    ReplyDelete
    Replies
    1. මම ඔබ කියන්න තරයේ අදහමි.
      මේ ගැන දැනට ලිපියක්ද ලියාගෙන යමි. අදහස් සංකල්ප නොයෙක් ආකාර වේ. ඒවා ඔබෙත් මගේත් නොවේ අපේය. මිතුර ඔබ උගත් විද්‍යාවම උගත්තෙකි මා. අද මා ආයූර්වේද වෛද්‍යවරයෙකු වුවත් මගේ මුල්ද නවීන විද්‍යාව හා බැඳී ඇත. නමුත් පසුව සියල්ල හැරදමා ගොස් මා ලබාගත් දායාදය ආයූර්වේදයයි. දැන් මට මගේ මුල් ගැන මතකයක් පමණි ඇත්තේ මම සිතින් මෙන්ම ගතින්ද ආයූර්වේද වී ඇත. එය මට ආඩම්බරයකි. සතුටකි.

      Delete
  23. //නමුත් අපි ඔවුන්ටත් බැණ, බැණ, අපේ දේවලුත් විනාශ කරගෙන කොයි යනවාදැයි නොදැන යන මේ ගමනේ අවසානය කුමක්ද? //

    හරිම හරි කියල හිතෙනව

    සංකේත වලින් ප්‍රකාශ කළ දේ පහැදිලි කර ගන්න නවීන විද්‍යාව ප්‍රයෝජනවත් වී තිබෙනවා.

    ReplyDelete
  24. කොහොමින් හරි මේක මට කියවන්න මග ඇරිලා වගේ . //මේ දේවල් මිථ්‍යාවන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද අපි මිථ්‍යාවල් කියා ඉවත් කරන බොහෝ දේවල් බටහිර ජාතීන් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම ඔවුන්ගේ දියුණුව සදහා යොදා ගත්තා.// මේ ගැන උදාහරණ කීපයක්ම අහල තියෙනවා. ආයේ ලියන්න පටන් ගත්තම ඒ වගේ දැනුම පෙරදිගින් බටහිරට ගිය අවස්ථා ගැන ලිව්වොත් ...

    මගේ නමිනුත් අවතාරයක් තියෙනවා නේ. :)

    ReplyDelete
  25. වෙදනා මුලින්ම ,නැවත කියවන්න ලැබුම සතුටක්.
    මේ ගැන මගේ අදහස නම් "එහෙමත් වෙන්න පුලුවන් " යනුවෙන් පමනක් ලියන්නම්

    ReplyDelete