මට විවිධ ආරේ මිතුරන් සිටී. ඒ අතර ඉතාම පහළ ම රැකියා කරන කම්කරුවන් මෙන්ම ඉහළ පෙළේ රැකියා කරන වුන් ද, මා වෙනුවෙන් පණ දීමට වචනයෙන් සැදී පැහැදී සිටින්නාක් මෙන් පෙන්වන්නන් ද, සැබෑවටම එසේ කිරීමට ඉදිරිපත් වන්නන් ද, මිතුරු වෙසින් සිටිති. මේ සියල්ලන්ට ම වෙනස් වූ මිතුරන් පිරිසක් ද දැන් මට සිටිති. එනම් මෙතෙක් මා දැක නැති මාගේ සයිබර මිතුරන් ය. මේ අය අතරින් අභීත, දුලිප්, ප්‍රදීප්, රාමා, මාරයා, නලිනි,…,…,….,.. වැනි කීප දෙනෙක් හැර මා දැක ඇත්තේ තවත් ඉතාම ස්වල්පයකි. නමුත් මේ දුටු නුදුටු සියල්ලන් මා දැක කතා බහ කරැති මගේ මිතුරන් මෙන්ම ආත්මීය මිතුරන් ලෙස මම සලකමි.
එවන් මිතුරන් කීපදෙනෙක් දැන් ටික දිනක සිට මට පොඩි පොඩි ඇඟැවීම් කරමින් සිටිති. මේ අය අතර රාමා, සහ දේශකයා, මෙන්ම සිරා ද සිටිති. දින දෙකකට පෙර දේශකයා ට දින කීපයකින් බ්ලොග් පෝස්ටුවක් දමමි යි මවිසින් දුන් පොරොන්දුව මට අමතක විය. ප්‍රතිඵල හැරෙන තැපෑලෙන් පැමිණ තිබේ. මේ ලියන්නේ ඒ නිසාය.
වරක් කීවාක් මෙන් "ඔබ වැනි මිතුරන් සදා වාසනාවන්."
මේ ලිපිය සයිබර අවකාශයේ සිටින මගේ සියලු මිතුරන්ගේ මිතුරුකම වෙනුවෙනි.
**************************************************************
අපේ අසහාය ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ පරිච්ඡේද ගණනාක් ම වෙන්කර ඇත්තේ දුටුගැමුණු මහරජ වෙනුවෙන් බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි. මහාවංශකරුට දුටුගැමුණුට වඩා වීරයෙක් තවත් නැත. මට නම් එසේ නොවේ. මට දුටුගැමුණු තවත් එක් රජෙක් පමණි. නමුත් මේ කතාව පැවසීමට දුටුගැමුණු මහරජු අපට ඉතා වැදගති.
දුටුගැමුණු මහ රජු යුද්ධය අවසානයේ තම දිග් විජය සැමරීමට මහා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා ලු. එහි එක් අංගයක් වූ ජල ක්‍රීඩාවට සම්බන්ධ වීමට ගැමුණු මහරජු ද සූදානම් විය. තිසා වැව අද්දර ජල ක්‍රීඩා බිමට පැමිණිම සදහා රජු තම සධාතුක ජය කුන්තය ආරක්ෂා සහිතව එක් තැනක සෘජුව සිටුවා තැබීය. ක්‍රීඩාවෙන් පසු කුන්තය ගැනීමට උත්සාහ කළත් එය එම බිමට යාවී ඇති බව දැක එය ජය බිමකැයි සලකා එහි දාගැබක් බැඳවී යැයි මහාවංස කතා කරු කියයි.
එම දාගැබ "මිරිසවැටිය" යැයි නම් වීය.
අපේ අද කතාවට පාදක වන්නේ මේ "මිරිසවැටි" යන නාමය ලැබීමට හේතු වූ සිද්ධියට සම්බන්ධ කරුණකි. එනම් මහ රජු තමන්ගේ රාජ භෝජනය හැමටම පළමු සංඝ රත්නයට වෙන්කර පූජා කරයි. ඉන්පසු තම පරිභෝජනය ලබා ගනියි. මෙය යි මහරජුගේ සිරිත. නමුත් දිනක් අහම්බෙන් මහරජු වැරදීමකින් යම් "මිරිස් වැටියක්" සංඝයාට වෙන් කිරීම ට ප්‍රථම තම පරිභෝජනය ට ගත් හෙතුවෙන් ඉන් ඇති වූ සිත් තැවුලට පිළියමක් ලෙස මේ මහා වෛත්‍ය රාජයා "මිරිසවැටිය" යැයි නම් කෙරුවේ ලු.
අද අපේ ප්‍රස්තුතය ලෙස මෙම "මිරිසවැටිය" යන නාමය යොදා ගැනීමට මම අදහස් කළෙමි.
කුමක් ද මේ අති දීර්ඝ කාලයක් පැවතීම ට සමත් දාගැබක් බැඳවීම ට තරම් හේතු වූ මිරිස්වැටිය? මෙය ඇත්තෙන්ම ප්‍රශ්නයක්? බොහෝ අය මෙය දකින්නෙ මිරිස් හොද්දක් ලෙසයි. නමුත් මා එය වෙනස් විදියකට දකින අතර ඔබටත් මිරිස්වැටියක් සාදා ගන්නා අන්දම පැහැදිලි කිරීමට මේ අවස්ථාවක් කරගමි.
මේ පිළිබඳව මහාවංස කතාකරු මෙසේ පවසයි "පෙර බත් කාලයෙහි සංඝයාට නො තබා අනුභව කරන ලද එකම මිරිස් වැටියක් දුටුවේය"
එලෙසම සද්ධර්මාලංකාරය මෙසේ ද පවසයි ".... සිහි මඳ ව දන් නො දී මළමිරිස් පැස්සක් සඳහන් කොට...."
සිංහල ථූපවංසය, බද්දේගම විමලවංශ සංස්කරණය, 1958, පිටුව 100 හි මෙසේ සඳහන් වේ. "ස්වාමීනී, සඳහන් නැතිව සංඝයා වහන්සේට නො දී මළමිරිස් පැස්සක් කෑමි"
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ පවසයි, ".....සංඝයාට කොටසක් නො දී මිරිස් ආහාරයක් ගත් වරදට දඩුවම් වශයෙන්...."
මිරිස් වැටිය පිළිබඳ මෙහි දී ප්‍රධාන අදහස් දෙකක් විද්‍යාමාන මේ.
1. මිරිස් ආහාරයක්.
2. මිරිස් පැස්සක් නැතිනම් මිරිස් වැටියක්.
මේ අනුව මූලික නිගමනයක ට බැසීම අසීරු නොවේ.
1. මෙය මිරිස් යෙදූ ආහාරයකි.
2. මෙය පැසක් ලෙස වැළදිය හැකි, නැතිනම් වැටියක් ආකාර ආහාරයකි.
මේ ආකාරයට තවත් නිරවුල් කරගත යුතු කරුණු දෙකක් ඇත.
1. කුමක් ද පැසක් යනු?
2. වැටියක් යනු කුමක් ද?
මේ කරුණු දෙකට පිළිතුරු සෙවීම පසෙකින් තබා තව කෙටි දුරක් සොයා බැලීමෙන් පසු නැවත මෙතැනට එමු.
මාරයා ඇතුළු සයිබරයේ උයන පිහන නඩේට මෙන්න ඔතුවක්. මම අද ඔබට රාජ භෝජනයකට මඟ කියමි. සකසාගෙන රස බලන්න. නුගේගොඩින් යනවා නම් අපිත් ආසයි මිරිස්වැටියකට……...
මේ කවි පංතිය කියවා බලන්න. (මූලාශ්‍ර, පුංචි බණ්ඩාර සන්නස්ගල, මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය, පිටුව 50.)
වම්බටු ලෙසට මස් අඹා පිසින කල
අමු මුං පොතු හැර සිනිඳු ව වැටූ කල
මෙ ලෙසම ඇඹූ මස් සරිව ඇඹරූ කල
අසමොදගම් දී අමු වයිතී ගත් කල
ලුණුත් කසාලා වරදිය කකියමින
බටුගෙඩි එහි සිටුවාලා එබුණු තැන
තිබු මස උඳු කැරලි කොට ඉරා තබමින
උම්බල මස් දැමූ පත් කඩ අඹව මින
කොතබුරු මිරිසිඟුරු අබ අසමොදග ම
කසා සැලුණු ලුනැඹුල් වටා ඇම
මස් මෙහිලා අනා ගෙන සැලී කැවුණ ම
වට පැසි මිරිස්වට මේ ඈ යෙදූ නම
මෙම පැඳි තුන අඩංගු වන්නෙ ආචාර්ය පුංචි බණ්ඩා සන්නස්ගල සූරීන් ඉතා වෙහෙස මහන්සියෙන් විමර්ශනය කොට රචනා කර ඇති මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය නම් ග්‍රන්ථයෙනි. මෙම ග්‍රන්ථයට අනුව පැදි තුනෙ අර්ථය අපට විමසා බැලිය හැක. එනම් මින් අපට ලබාගත හැකි නිගමනය නම් මෙය ඉතා ඈත කාලයක සිට රජගෙදර භාවිතයට ගත් වට්ටෝරුවක් බවයි.
මෙහිදී මෙම ආහාරය සකසා ගැනීම පිළිබඳ උපදෙස් ම වෙත ලබා දුන්නේ මගේ මිතුරෙක් මෙන්ම ගුරුවරයෙක් ද වන මා හිතවත් වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමා යි.
මෙහි දී පළමුවෙන් ම මස් හොදින් මෘදු වීමට අමු මුරුංගා පොතු දමා, වම්බටු ගෙඩි පමණ සකසා ගත යුතුයි. එනම් අමු මස් මුරුංගා පොතු සමග ඇබරීමෙන් පසු කුඩා ගුලි සකසා ගත යුතුයි. එහිදී අසමොදගම් සහ වයිතී හෙවත් වර්ණකාරක ද, ලුණු, කහ, ඇතුළු මිරිස්, කොත්තමල්ලි, අබ, ඉගුරු ආදිය ද, ලුණු ඇබුල් ද තුන පහ දමා සකසාගත යුතුයි. සියල්ල සම්පූර්ණ වූ පසු එය ගැබුරු තෙලින් රන් වන් වන සේ බැඳ සකසා ගත යුතුයි. මෙහි උම්බල මස්, නැති නම් මළමිරිස් යනුවෙන් හඳුන්වන්නේ අමු මස් තෙලින් බැඳ ගැනීමෙන් පසු අවස්ථාවයි.
දැන් අපි මෙහි සදහන් වට පැසි මිරිස්වට යන කොටස විමසා බලමු. මිරිස්වට යන්න පාලියට නැගීමේදී "මරිචවට්ටි" ලෙස ලිවිය හැක. නැවත එය සිංහලට පෙරලීමේ දී මිරිසවැටිය යන නම භාවිතයට එන්නට ඇතැයි සැලකීමට අපට මෙහි සාධක ඇත. දැන් මිරිස් ආහාරයක් හෝ මිරිස් වැටියක් යන්න නිසා මිරිසවැටිය යන නාමය ආ ආකාරය ඉතා පැහැදිලි ඇතැයි සිතමි.
ඊළඟ ප්‍රශ්නෙ වට පැසි යන්නයි. වට පැසි යන්න භාවිතාවේ දී ම සිතට පැමිණෙන අදහස වන්නේ යම්, පැසක් / කූඩයක් / මල්ලක් / පැස්සක් / පසුම්බියක් / සම්පයියක් / පැහියක්, වැනි යමක් භාවිතයෙන් සාදන දෙයක් යන්න යි. මෙහිදී එසේ නම් මෙම මිරිස් වැටිය යනු පසුම්බියක් වැනි යමක් තුළ සාදනු ලබන්නක් බව අපට මේ අනුව අවබෝධ වනවා. සිලින්ඩරාකාර කොපුවැනි ආකාරයේ යමකට පසුම්බිය යන්න භාවිතය ට ගත හැකියි නේද? එවිට සම්පයිය යනු කොපු ආකාර වට පැස්සක් නොවේ ද? දැන් මේ කවි පංතියේ අවසාන කවියේ අවසාන පදයට අනුව වට පැසි මිරිස්වට යනු සම්පයියක් තුළ බහාලූ මිරිස් ආහාරයක් හෙවත් සම්පයියක් ආකාරයෙන් තැනූ මිරිස් ආහාරය යි. මෙසේ වන්නේ තෙලින් බැද ගැනීමෙන් පසු පිටත මස් හොදින් බැදී කොපුවක ආකාරයෙන් සකස්වන නිසාය.
සිංහල ථූපවංසය ත්, සද්ධර්මාලංකාරය ත්, මෙම කරුණ පිළිබඳ යම් විමසීමක් කර ඇත. එහිදී ග්‍රන්ථ දෙකම මළමිරිස් පැස්සක් යන වචන භාවිතා කරයි. මෙසේ වන්නෙ ඇයි? අපි ඉහත වට පැසි මිරිස්වට යන්න විමර්ශනයට ලක් කළෙමු. එහිදී සම්පයියක ලූ මිරිස් ආහාරය ලෙස මේ වට පැසි මිරිස්වට යන්න විග්‍රහ කළෙමු. දැන් මෙය කුමනාකාරයේ ආහාරය ද යන්න පිළිබඳ යම් වැටහීමක් ඔබට ඇතැයි සිතමි.
නවීනයේ අපේ නිවෙස්වල මාළු මිරිස් පුරවා සාදන ආහාරය ඔබ සියල්ල භුක්ති විඳ ඇතැයි මම සිතමි. මෙයත් ඒ ආකාරයේ ආහාරයක් ලෙස නොපෙනේ ද? අනෙක රජතුමා සාංගීක කිරීමට පෙර භුක්ති වින්දා නම් එය එසේ හුදෙකලාව භුක්ති විඳිය හැකි යමක් විය යුතුයි නේ ද?
මෙහි දී මට නම් සිහිය ට නැගෙන්නෙ නවීන සොසේජස් (Sausages) / Meat Balls වැනි ආහාරයක් ලෙස මෙය භාවිතය ට ගන්න ට ඇතැයි යන්න යි.
දැන් සියලු සැක දුරු කර සම්පයියක ආකාරයෙන් සකස් කර ගත් මිරිස් වැටියක් සාදා භුක්ති විඳීමට කිම ද බාධා?
************************************************************************************
ප/ළි.
හිතවතුනි මට මීට කලින් ලියූ මනෝවිද්‍යාත්මක ලිපි පෙළේ අවසාන ලිපිය සම්පූර්ණ කිරීමට තිබේ. නමුත් මම එය දැනට අතහැර දමමි. ඒ මතුවට උපදේශනය පිළිබඳ දීර්ඝ ලිපි පෙළක් ලිවීම ට බලාපොරොත්තු වන බැවිනි. මේ අධික රාජකාරී බහුල බව තව මාස කීපයක් යන තෙක් තිබේවි. ඊට පසු පුරුදු පරිදි ලියමි. ඔබට ජය!!!!
සොසේජස් වලට වඩා මට නම් පේන්නේ ඒ කාළේ බර්ගර් කාලා තියෙනවා වගේ අමු මිරිස් කරලුත් කලවම් කරලා. හැබයි ඉතින් බන් එක නෑ. ඒවා ත්‍රස්තවාදි කෑම නේ. සුවඳැල් බත් එක්ක ඇදලා අරින්න ඇති.
ReplyDeleteවෙද මහත්තයා හත් මාලුව ගැන ලිව්වද?
මම අහලා තියෙනවා රජතුම වැළඳුවේ, බත් ටිකයි එක ව්‍යාංජනයකුයි පමණයි කියලා. ඊට පස්සෙ වෙන ප්ලේට් එකකට ආයේ බත් හිච්චයි ත්ව වෑන්ජනේකුයි.
බලාගෙන ගියාම ෆ්‍රෙන්ච් ඉට්ටයිල් එකට නේ කාළා තියෙන්නේ අපේ රජවරු. මාරයි නේ...
රජෙක්ගේ ආහාර වේලට ආහාර වර්ග 64 අයිතියි. රජු ආහාර ගන්නෙ දියවඩන නිලමේ විසින් අතට වතුර දමා සෝදා ගැනීමෙන් පසුයි. ඒ ආහාරත් දුක් ගන්නා රාළ විසින් කලින් ඉඳුල් කර බලා තිබිය යුතුයි. එක් වරකට බත් මිටයි ව්‍යෑංජන ස්වල්පයයි, රජු ප්‍රය නම් අමතර කටක් ලබා ගන්න ඇති. නමුත් ඊට පසු නැවත වෙනත් ව්‍යෑංජනයක් සමග බත් මේ ආකාරයට මාළුපිනි කීපයක් ගන්න ඇති. 64 එක විට ගතා යැයි මට නම් සිතන්න බැහැ.
Deleteජපානය ඉන්දියාව ලංකාව cඊනය කොරියාව වැනි රටවල් ආහාර සංස්කෘතියෙන් පොහොසත්. ඒ පිළිබඳ ලිවීමට සිතක් පහළ වුණා. බලමුකො මේ වැඩත් එක්ක ටිකක් අමාරුයි.
රජ කෑමනෙ මාතලන්. කන එක කන්න ඇති ඇට්ටි පිටින් හැලෙන්නම.
මගේ කොමෙන්ටුවේ බර්ගර් යන්න කෙබාබ් යනුවෙන් වෙනස් විය යුතුයි. වෙද මහත්තයෝ..
Deleteමටත් මතක් උනේ මාළුමිරිස් පිරවුම. මාරය නං හදයි විගහට.
ReplyDeleteමටත් මේ කවි ටික දුටු ගමන් මතක් වුනේ මාළුමිරිස් පිරවුම සහ අපේ මාරයා.
Deleteඉතා හොඳ ලිපියක් මල්ලී..! සුබ පතනවා ඉත සිතින්ම ඔබේ බුද්ධිමත් ප්‍රයත්නයට. මගෙන් එහෙන් මෙහෙන් අහනකොට මම හිතුවෙත් නැ මෙච්චර දෙයක් ගැන.
ReplyDeleteස්තුතියි ඔබට!! ඔබ සැමදා මට බොහොම ශක්තියක් දුන්නා.
Deleteකාලේට පසු බ්ලොග් එක මතක් වීම ලොකු සතුටක්, ඒ වගේම ඔබෙන් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ ලිපියක්.
ReplyDeleteගිම්හාණිත් කාලෙකින්, මම බ්ලොග් ලියන්න පැමිණි දින සිටම මට බොහෝ උපකාර කළ අයෙක් ඔබ.
Deleteබලාන ගියාම Sausages හදන්න පටන් අරන් තියෙන්නෙත් අපේ උන් වගේ. :D
ReplyDeleteහා.. හා..අයිලාෂ් ...කට ...කට.. තව එකෙක් මරා ගන්න ද කල්පනාව, අපේ රජගොල්ල මස් කෑව කියලා. බලද්දි කාල විතරක් නෙමේ අමුතු අමුතු ඉට්ටැයිල් වලටනේ කාල තියන්නෙ.
Deleteකෝ අපේ මීවනපලානේ ජයරත්න?
Deleteමී ජයා කාලෙකින් දැක්කෙ නැහැ. සමහර විට අඟහරුගේ ගවේෂණ වලට ගියාද දන්නෙ නැහැ කියුරියෝසිටි එකේ. හැබැයි ජයා හිටිය නම් ඒ කාලෙ තිබ්බ සොසේජස් බ්‍රෑන්ඩ් වල නම් එහෙම හගන්න තිබ්බා.
Deleteලිපියේ බාගයක් කියවනකොට මටත් මීවනපලානේ මතක් උනා මේක පොර ලියන්ඩ තිබ්බ එකක්
Deleteමීයගේ පැමිණීම නම් සටහන් වෙනවා මගේ රේඩාර් තිරයට ...
Deleteමීජයා කළේ වෙනම කාරියක්. ඇත්තෙන්ම රටේ මේ වන විට ඇතිවෙලා තියන විකෘති තත්ත්වය ඉතාම කලින් දුරදක්නා නුවණින් පැහැදිලි කර අපූර්ව රචනා විලාසයක් ඔහුගේ තිබ්බෙ. නමුත් ඒ කිව්ව කාරණාවල යටිපෙළ අරුත අපි ඒ කාළේ තේරුම් ගත්තේ නැහැ. අපි හිනාවටම විතරක් එය සීමා කළා. නමුත් සහන් දැන් මේ එක එක බලකායවල් කරන්නේ ඒ මීජයා ඇගෙව්ව කාරණා නේද කියලා මට නම් හිතෙනවා.
Deleteඅටම්,
Deleteමේක මීජයා ලිව්ව එක වගේ ලිපියක් නෙමේ. මම කියන්න හැදුවේ අපේ පැරණි ආහාර තාක්ෂණය පිළිබඳව පමණයි. ඔය සොසේජස් වලට වඩා මේක හොදයි නරකයි කියන එක නෙමේ. අපි අපේ පැරණි තාක්ෂණය තේරුම් ගත යුත්තී ඉන් අපිට වැඩක් වෙනව නම් විතරයි. නැතිනම් පොර කතා වලට ඒක වැඩක් නැහැ. මීජයා ඒ අඩුව ලස්සනට පැහැදිලි කළා.
සොරි මම ඔබව මීජයාට සමාන කලා නෙමෙයි
Deleteරජ කෑමක්නේ.බලන්ගියම අපි වාගේ යටත්වැසියන්ටත් රජකෑම කන්න පුළුවන් වගේ.
ReplyDeleteඅපේ ඉස්සර රජලා එතකොට දැන් රජලා වගේ ඔය කුරහන් කෑම කෑවේ නැතෙයි වෙද මාමේ..?
ඒකනෙ... බලත් දි දැන් රජාල කොතරම් හොද ද? කුරහන් වලින් පිට කිසි දෙයක් ම්..හ. ඒකට පරණ රජ ගොයියෝ මස් කාල නෙමේ නාලනෙ.
Delete"නුගේගොඩින් යනවා නම් අපිත් ආසයි මිරිස්වැටියකට……... "
ReplyDeleteඑහෙම නෙවෙයි කස්ටියට නුගේගොඩ එන්න කියලා මිරිස්වැටි කවමු. දුර කතර ගෙවාගෙන අපිත් එන්නම්.
කමක් නැහැ රාමා එහෙනම් කට්ටියටම ඇති වෙන්න ගේන්නකො. හදනකොට යම් අවශ්‍යතාවයක් ආවොත් කියන්න. මම උදව් කරන්නම්. අනික ඉන්වයිට් කරන වැඩේත් මම කරන්නම්.
Deleteඑහෙනං කරමුකෝ බලන්න... මිරිසවැටි දන්සැලක්...
Delete//එහෙනං කරමුකෝ බලන්න... මිරිසවැටි දන්සැලක්...//
Deleteමම එකෙන්ම ඇවිත් ඇති එදාට ඈ
ඒත් ඔය මිරිසවැටිය හැදුනා කියන කතාව බොරුවක් කියලා එතනට ගියාම කියනවා... මට මතක විදියට ජය කොන්තය ආරක්ෂා කර ගන්න කවර් ස්ටෝරි එකක් විදියට ඕක දැම්මා කියලා ... ඒ කාලෙත් ඉන්න ඇතිනේ අප්පා නිදන් හොරු එහෙම.. ඒ නැතත් ජය කොන්තය කියන්නේ රාජ්‍යත්වය සංකේතවත් කරන දෙයක් නේ... කන්ස්පිරසි තියරි දැන් විතරක් නෙවෙයි තියෙන්නේ දැන් බලද්දි... ෆොන් ටැප් කරන කතා වගේ... හි හි
ReplyDeleteඒ කොහොම වෙතත් එහෙම කතාවක් අපි අහලා තියනවානෙ. අනික මේ වැනි ආහාර වර්ග තිබිලත් තියනවනෙ. අද නම් මොනව ද ටැප් කරලා නැවතුනොත් ඇති.............
Deleteමට නම් කිසිම දෙයක් තේරුණේ නැහැ හිරු කියාපු... :(
Deleteමිරිස් වැටියක් හදාගෙන කන්න ඕනේ ලගදීම .
ReplyDeleteඅන්න හොදයි. කාල කියන්න වැඩේ නැඟල යනවනම්.
Deleteටජ් මහලකුත් හදහන් ඒ එක්කම ..අන්න කෑම...:D
Deleteමොකක් ද සහන් ටජ් මහල් කිව්වෙ? කෑමක් ද? අදමයි ඇහැව්වේ.
Deleteඑතකොට සුද්දන්ට කලින් සොසේජස් කාලෙ තියෙන්නෙ සිංහල රජවරුනෙ. :D
ReplyDeleteඅර මුරුංග පොතුත් එක්කමද ඕක බදින්නෙ.
ඒකනෙ ප්‍රසන්න. බලන්න නේ ඒකෙත් හැටි අම්මප. අපේ ස්වාමීන් වහන්සේලා හරි අප්පා බලාන යනකොට. ඔන්න මීජය හිටියනන් කියයි ඒ කාලෙ තිබ්බ බ්‍රෑන්ඩ් හිටන්.
Deleteමුරුංගා පොතු දමන්නෙ මස් මෙලෙක් වෙන්නනෙ. එතකොට මස් අඹරන්න ලෙසිනෙ. බටුගෙඩි තරමට ගුලි හදා ග්න්න නම් මස් අඹරන්න එපෑ.
බටු කීවේ එල බටු වෙන්ටෑ.
Deleteමට හිතෙන්නෙත් එහෙමයි. හැබැයි කරලක් වගේ බටු විදියට වුනත් හදන්න හැකිනෙ. ඒත් වඩා සුදුසු නම් එලබටු විදියට ගුලි හදන එක මටත් හිතෙන්නෙ.
Deleteකියවා දැනුවට් උනෙමි
ReplyDeleteබොහොම ස්තුතියි සංජීව මට ඒක බොහොම සතුටක්.
Deleteපුරවපු මාළු මිරිස් බැදුමක් කන ආසාව ඇති වුණා වෙද මහතා. ඒ වගේම ඔබ පෙන්වා දෙන තර්කය අනුව මෙය වෙන්න හැකි යැයි අනුමාන කරන්නත් හැකියි.
Deleteතාමත් රාජ භෝජනය හැදෙනවා දළදා මාළිගයේ තේවාව උදෙසා. ඒත දන්නා තරමින් දැන් හැදෙන්නේ ව්‍යජන 32යි.
ඔව් නලින් මේක වෙන්න පුළුවන්. දැන් වෑංජන අඩු බව මමත් දන්නවා. නමුත් රජ දැක්මට එහෙම බැහැ.
Deleteපුංචි පහේ මං ඉන්න කාලෙ ඉදල මිරිසවැටිය කියල දාන්න ඇත්තෙ අපි කන ලුනුමිරිසක හුට පටයක් හින්ද වෙන්න ඇති කියල හිතුන.
ReplyDeleteමගෙ ආසම කෑමක් තමයි නැන්දම්ම (87)තාමත් හදල දෙන මාළු මිරිස් පුරවපු වෑන්ජනේ.
ඇත්තම කියන්න කෙන්ජි මාත් එහෙම තමා මේක කියවන තෙක්ම හිතන් හිටියේ.
Deleteමගේත් ආසම කෑමක් තමයි මාළු මිරිස් පිරවුම.
මම දමපු කොමන්ට් එකට ලුණු මිරිස් ගැහිලද?
ReplyDeleteඔය උඩ තියන්නෙ කෙන්ජි බැබැලි. එහෙමත් අහක දානව ද අපේ ත්‍රිවිද රත්නෙ කමෙන්ට්.
Deleteමාත් පිට කහන්න හරි ආවා කියලා ලියන්නම්. නැත්නම් ත්‍රිවද රත්නේ කියන් නමට හොඳ නෑ..
Deleteඅම්මේ.! ඔව්.අරුන්ගෙන් බැනුම් අහන්න බැහැ.
Deleteහේතු දෙකක් නිසා සතුටුයි... එක මහ වෙදනා ආපහු ලියන්න ගත්තු එක, දැන් දැන් ආපහු පරණ කට්ටිය ලියන්න පටන් ගන්නව, නලිනිත් ලියන්නෙ නැතුව නැතුව ඉඳල ආපහු ලියන්න අරගෙන තියෙනව...
ReplyDeleteදෙක මේ මිරිසවැටියෙ කතාව පැහැදිලි කරගත්තු එක... මම හිතාගෙන හිටියෙම මාලු මිරිස් වගේ උයල කන යම් කිසි මිරිස් වර්ගයක් කාපු නිසා වෙච්ච සිද්දියක් කියලයි...
බොහොම ස්තුතියි. ඊලඟට මේවගේම එකක් ලියන්න හිතා ඉන්නෙ. දැන්නම් ටික ටික කාලවේලාව ලැබෙයි.
Deleteමම නම් සාමාන්‍යයෙන් පද නිරුක්ති කරන්න යන්නේ නැහැ...කීප දෙනෙක්ට පින් සිද්ධ වෙන්න පද නිරුක්තිය එපාම උනා වෙද මහත්තයෝ...
ReplyDeleteඔබට හැකි වෙලාවට කටට රහට තෙලෙන් මිරිසෙන් හදන කෑම වට්ටෝරු ටිකක් දාන්නකෝ..ඉන්න ටිකේ රහට කාල නිදහසේ ඉන්න එපැයි...නැවත ලිවීම ගැන සතුටුයි...
ස්තුතියි සහන් මම නැවත ලියනවා. දිගටම ලියනවා, නමුත් ඔබ දන්නවනෙ මගේ කාර්ය්‍ය බහුලබව. ඒ නිසා දැනට මෙහෙම ටික ටික ගොහින් පසුව දිගට අඛන්ඩව ලියනවා.
Deleteපද නිරුක්තිය එතරම් ඔබට ගැන නම් මමත් එතරම් සැලකීමක් නැහැ. හැබැයි සමහර විට හොදටම වටිනවා.
වටිනාකම කියා නිමකළ නොහැකි කරුණු පැහැදිලි කිරීමක්. අපි රාජ භෝජන කියලා නිකම්ම හිතාගෙන ඉන්නවාට වඩා ඒ කාලේ අහාර තාක්ෂනය බොහොම දියුණුවී තිබුණු බවට ප්‍රබල සාක්ෂි මේ. මේ කරුණු ඔස්සේ පර්යේෂණ බොහොමයක් කරන්න පුළුවන් බවත් පෙනෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඇත්තෙන්ම අප කළ යුත්තේ එයයි. අපේ පැරණි තාක්ෂණය විද්‍යාව නවීන විද්‍යාව සමග මුසු කොට අපේ විද්‍යාවක් සාදාගත යුතුයි. අපි මේ එකකටවත් කොටු වෙන්න නරකයි. දැන් ලංකාවේ වෙන්නෙ මාකට් කරන්න හැකි දේ හොදයි අනෙක්වා නරකයි තියරිය. ඒ නිසා ඇතිවන ප්‍රතිඵල තමයි මේ ගෙවන්නෙ.
Deleteවෙද මහත්තයො , කතාවට අදාළ නැති ප්‍රශ්නයක් ඇහුවට සමා වෙන්ඩ ඕනෙ "ෆර්ටිලිටි ක්ලිනික් " එකට සිංහල වචනේ මොකද්ද?
ReplyDeleteසාඵල්‍යතා සායනය
Deleteබොහෝම ස්තුතියි ...ඉක්මනින් උත්තර දුන්නාට
Deleteපමාවට සමාව.. රාජ බෝජනයක් හදන්න එක එක විදික්‍රම තියෙනවා අර පැදි පේලි වලින් ඒක මනාව පැහැදිලි වෙනවා. ඔබ කිව්ව වගේ රජෙක් ව්‍යංජන 64 ක් අනුභව කරා කියනව නෙව. ඒකට පිගන් හැට හතරකුත් තියෙන්න ඕන මොකද එක ව්‍යංජනයක් සමග බත් පිඩුවයි කන්නේ..
ReplyDeleteමාළු මිරිස් පිරිවුම නම්.... හ්ම් රස වෑහෙනවා.. ඊටත් වඩා රස කෑමක් මට තියෙනවා.. වෙද මහත්තයත් මාතර ගියපු වෙලාවක් දැල්ලෝ පිරිවුමක් හදාගෙන කන්ටකෝ.. බත් ටිකක් හෙම දාලා, ඒකට අඩුවැඩි පරිප්පු ටිකක් ලුණු ටිකක් දාලා, දැල්ලගේ ඔළුවත් ඒකටම ඔබලා කාලා බලන්ටකෝ.. පට්ට රහයි..
මේ ලිපියට හුගක් ස්තුතියි.. මිරිස වැටිය ගැනත්, මහා වංශයට දුටුගැමුණු මහරජෙකු වීම ගැනත් හොද විස්තර තියෙනවා ලොකු වාදයකට උනත් යන්න පුළුවන් තරමේ..
ඔව් ඔබ කියනව වගේම දැල්ලන් පිරවුමට ගහන්න දෙයක් තවත් නැහැ. මම පුදුම ආසයි ඒක කන්න. තව අපි පොඩි කාලේ මතක ද බත් වලින් පපඩම් පුරවනවා. දැන් පපඩම් කෑලිනෙ තියන්නෙ ඉතින් කොහෙද පුරවන්නෙ.
Deleteදුටු ගැමුණු ගැන වාදයක් යනව නම් අපේ හසිත ළමය ඕනෙමයි. අන්න කොල්ලො, වයසට හොද දැනීමක් තියනවා. දිනක හසිතවත් අල්ලගෙන බුකියේ දාමු වාදයක්.
හා දැන් ඉතිං හොයපංකෝ මුරුංගා පොතු.. මටත් සෙට් වෙන්නේ මෙහෙම මගුල්ම තමා.. දැන් ඉතිං කොළඹ පාරවල් අයිනේ මුරුංගා ගස් තියේද කියලා බල බල එපෑ ඇවිදින්න.. :D
ReplyDeleteඊයේ සපතේරු ගොයියා තමයි මට කිව්වේ මෙහෙම පෝස්ට් එකක් වැටිලා තියේ කියලා.. (මේ ටිකේ බ්ලොග් බැලිල්ලත් නිකං එහෙං මෙහෙං නෙව කෙරෙන්නේ)
මේක හඳන එකේ පොඩි ප්‍රශ්නයක් තියේ... මස් අඹරලා ගත්තට..ඒකට එකතු කරන මේ කලමනා අතර මස් ටික එකට අල්ලගෙන හිටින්න දෙයක් නැහැ නෙව... ඒ කිව්වේ පිටි වගේ දෙයක්.. මොකද ඔය විදිහට ඕක කොයි තරං සෙට් කරලා තෙලට දැම්මත් ලෙහෙනවා... මං හිතන්නේ තව මොනවාම හරි දෙයක් ඕකට එකතු වෙන්න ඕන... මුං පිටි වගේ දෙයක්වත්..? (පාන් පිටි තියෙන්න නැතිව ඇති නෙව ඒ කාලේ.. :D)
එක්කෝ පිටත ආවරණයක් තියෙන්න ඕන අපි ඔය රෝල්ස් කට්ලටි බදින කොට ගන්න බැටර් එක වගේ.. නැත්තං මිශ්‍රණයටම එකතු කරන ලද මස් කොටස් බන්ධනය කරගන්න සමත් පිටි වර්ගයක් හෝ එවැනි යමක් තියෙන්න ඕන...
මොකද හිතන්නේ..?
මල්ලී මම මේකෙ දි බලාපොරොත්තු වුණා ඔය ප්‍රශ්නෙ ඒත් මම හිතුවා ඔබ ඕක අහයි කියලා. මම කෙටි පණිවිඩයක් එවන්නත් හිටියේ මේක කියවන්න කියලා.
Deleteමුරුංගා නම් දෙන්න බැරියැ ගමකට. ප්‍රශ්නෙ ඔබ කිව්ව තැනයි තියන්නෙ. සම්පයිය කියන්නෙ පසුම්බියක් නම් මමත් හිතනවා යම් බැටර් එකක් තිබෙන්න ඇති. ඒ පාන්පිටි වෙන්න බැහැ. ඔය කවියේම තියනවා වයිතී කියලා මම හිතනවා එතන තමයි ප්‍රශ්නෙට පිළිතුර තියන්නෙ. මම ඒ ගැන හොයනවා. ඔබත් ටිකක් බලන්න. හැබැයි පොතේ තියන්නෙ වර්ණ කාරක කියලා. මේ පොතේම තව තැන් බොහොමයක වයිතී කියන නම තියනවා. ඒ නිසා මම හිතනවා ඒ මස්වල වර්ණය හංගන යම් දෙයක් කියලා. ඒ කියන්නෙ බැටර් එකක් විය යුතුයි.
මගේ කමෙන්ටුවක් වාරණය වී ඇති බවක් හැඟෙ මට ...
ReplyDeleteනැහැ සහන් ඔබේ කමෙන්ටු කීපයක්ම තියනවා බලන්න. මම ඒවට පිළිතුරුත් දී තිබෙනවා. මම ප්‍රතිපත්තියක් ලෙස කිසිම කමෙන්ටුවක් වාරණය කරන්නෙ නැහැ. මෙකෙත් එක කමෙන්ටුවක් වාර්නය කළා. ඒ ඇඩ් එකක් මම ඒවට කැමති නැහැ. ඕනෙම විහිළුවක්, පනිවිඩයක් වැනි යමක් කමක් නැහැ. අපහාසත් මම දමන්නෙ නැහැ. නමුත් කෙදිනකවත් ඔබ එවැනි කමෙන්ටු දමන්නෙක් නෙමේ. ඔබ ගැන මම හොදටම දන්නවා. ඔබේ කමෙන්ටුව මෙතන ඇති බලලා කියන්න නැතිනම් මට නැවත එවන්න. ඔබ මට මුල සිටම හොදම මිතුරෙක්. අනික බ්ලොග් වලින් එහා සබැඳියාවක් අප අතර තිබෙනවා නොවැ.
Deleteනැහැ නැහැ අමනාපෙකට කීවා නෙවේ..මම පද නිරුක්තිය ගැන කෙටි කමෙන්ට් එකක් දැම්මා..බලන්න එක ස්පෑම් වෙලාද කියලා වෙද මහත්තයෝ..
Delete( මම විහිළුවට මේ කමෙන්ට් එක දැම්මේ..මම දන්නවා ඔබ කමෙන්ටු වාරණය නොකරන බව... අනිවාර්යෙන්ම අපේ හිතවත්කම් බොහෝම වටිනවා වෙද මහත්තයෝ ... )
මළ කෙළි හතයි ස්පෑම් වී තිබී ඔබේ කමෙන්ටු දෙකක්ම තිබ්බා. ඔන්න දැම්මා. සමාවෙන්න. මාව දැනුවත් කල එකට ස්තුතියි.
Deleteමේ පිරවුම වම්බටු වලටත් හොඳා අපි කාලයක් ජීවත් වෙච්ච අප්‍රිකාවෙ අඟුරු වල පුච්චලා වම්බටු හදනවා මස් පුරවලා. අර කිව්වත් වගේ මගෙත් ආසම කෑමක් මාලු මිරිස් පුරවා හදන ව්‍යාංජනය.
ReplyDeleteචන්දි අක්කා මටත් හිතෙනවා, මේක මාළු මිරිස් හරි වම්බටු ඔබ කිව් ආකාරයට හරි හදන්න හැකියි කියා හදලම කියන්නකො.
Deleteකාලෙකට පස්සේ පෝස්‍ටුවක් දැක්කේ. මේ ඉතිහාස කතාවලට මම හරිම ආසයි විශේෂයෙන් සිංහල රජ කතා වලට. ඔබට ජය...
ReplyDeleteJanaka Manjula
ජානක වැඩ වැඩි නිසා ටිකක් විතර අමාරුයි. ඉක්මනින් ලියන්න ආසයි බලමුකෝ.......
Deleteඉඳලා ඉඳලා හරි ලිව්වා එක වැදගත් . හැබැයි වෙදනා , අතීතයේ අපි ගව මස් , කුකුල් මස් කෑවේ නෑ නේද , එසේ නම් මෙය දඩ මස් වර්ගයක් විය යුතුයි නේද .
ReplyDeleteනැහැ ජාලිය මම නම් හිතන්නෙ සින්හලයා හැම මසක්ම කෑව. ඔය පොලොන්නරු යුගයේ හින්දු බලපෑමෙන් පසු ඒක ටිකක් විතර වෙනස් වුණා. ඒත් මහනුවර යුගයේ දී විශාල ලෙස වෙනස්කම් අපේ පැරණි රටාවට සිදු වුනා. ඒ අතර ආහාර රටාවත් වෙනස් වුණා කියන එකයි මගේ හැඟීම. විශේෂයෙන්ම මස් භාවිතය. හරක් මස් අපි කන්න ඇති මහනුවර හින්දු රජවරු ඒකට විරුද්ධ වෙන්න ඇති ඉන් තමයි හරක් මස් කෑම අඩු වෙන්න ඇත්තේ.
Deleteදැන් නම් හරක් ගිනිතියා ගන්නවනේ. :D
"අමු මුං පොතු හැර සිනිඳු ව වැටූ කල" කිව්වහම නිකං, මුංඇට, පොතු ඇරල, පිටි කරල අරං වගෙනෙ. ඇයි ඒ මුරුංගා කියල හිතුවෙ? :(
ReplyDeleteමිරිස වැටිය කිව්වහම මමත් පොඩි කාලෙ ඉඳලම හිතං හිටියෙ මාළු මිරිස් පුරවල බැදල කියල තමා.
නලිනිත් හරි. එහෙම ගන්නත් පුළුවන් තමයි. ඇත්තනෙ. කරලම බලන්න වෙනවා.
Deleteහරිනේ ඔය තියෙන්නේ... මුරුංගා පොතු හොයන්න ඕනත් නැහැ... මගේ ප්‍රශ්නෙට උත්තරත් හරි... දැන් කියමු බලන්න වෙදයියේ මේකට හොඳ මස් ජාතිය... මගේනං අදහස දඩ මසකට ටිකක් හරි ළගින් යවන්න ඇහැකි ජාතියේ ගිනි තියාගන්නන්ගේ මවගේ මස කියලම තමා...
Deleteතව දෙයක්...
Deleteමේකේ මේ තරං වම්බටු ගැන ලියවෙන්නේ සමහර විට මැද හිස් කරන ලද වම්බටු කරලට මේක පුරවන්න කතා කිරිල්ලක්ද මංදා... ආයේ වතාවක් මේ කාරණා දෙකම හිතේ තියං කියවලා අරුත ගැන පැහැදිලි කරන්න බලමු...
අසමෝදගං කොල හොයාගන්න විදියත් එහෙමම කියනවා හොඳයි.. :D
මල්ලි නලිනි කියන එක හරි ඒක තමයි පාර. අපි එහෙම බලමු. අනික් එක කිරි අම්මගෙ මනුස්සයා තමයි. (රහසෙන් ඈ ) වම්බටු කේස් එකත් එහෙම තමයි මටත් හිතෙන්නෙ. හදල බලන්කො මලේ. පොස්ට් කට්ටකුත් දාහන් ෆොටෝ කෑලිත් එක්කම. අපි කෙලවත් ගිලිඤ්ඤ.
Deleteඋපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )
ReplyDeleteකතන්දර කියන්නේ නම් ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා. ඔහුව ඔබට හමු වී තිබෙනවා. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද එය ප්‍රසිද්ධ නොකරන්න )
මට මුණ ගැසී ඇත්නම්??????????????????? ඔව් එක අයෙක් මගේ සිතට ක්ෂණයකින් පැමිණියා. ඔව් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔබට ස්තුතියි.
Deleteඒ කව්රුදැයි ඉඟියක් හෝ දෙන්න පුලුවන්ද ? ඔහු මෙතන ඉන්නවද ?
Deleteඔය මගේ නම ගාවා ගන්නේ වෙළද ප්‍රචාරණ උපක්‍රමයක් හැටියටයි. ඔය කියන ලිපිය බැලුවාම තේරෙනවා.
Deleteනැත්තං ටැබූ සබ්ජෙක්ට්ස් ලිව්වේ මං ය කියා මේ අවුරුදු තුනකට පස්සේත් කියන්නේ ඇයි?
ඔහු මෙතැන ඇත්තේ ද නැත, නැත්තේ ද නැත.
Deleteමිරිස වැටිය ගැන මගේ අදගස නම් මෙය මිරිස් වට්ටියක් ගැන කියවෙන්නක් බවයි.
ReplyDeleteදන්නවානේ බුලත් වට්ටිය, අර ඉස්සර කාලේ ගෙදරකට අමුත්තක් ආපුවාම දෙන්නේ, යටින් බුලත් කොට, උඩින් ලියපු පුවක්, දුම්කොළ, හුුණ යනාදිය. සමහර ගෙවල්වල කරදමුංඝු, කරාබුනැටි, වසාවාසිත් තියෙනවා.
ඒ වගේ රජවරු කෑම සමග කන්න ගත්තු එක එක වර්ගයේ මිරිස් සහිත වට්ටියක් තමයි ඔය දුටුගැමුණු අමතක වෙලා සාංගීක නොකර ඉඳුල් කරලා තියෙන්නේ.
ඕකේ දිග මිරිස්, නයි මිරිස්, කොච්චි මිරිස්, බටු මිරිස්, යනාදී මිරිස් ජාති හැට හතරක් තියෙන්ණ ඇති!
හයියෝ කකා.... ආයිත් කවි ටික නිවාඩු පාඩුවේ කියවන්න.....
Deleteමේ වට්ටෝරුවල තියෙන දෙවල්වලින් කීයෙන් කීයද අද අපි උයන්න ගන්නෙ ? කඩෙන් තුනපහ ගන්නවා මිරිස් ගන්නවා ඔක්කොම එකට දානවා තෙල් බෝතල් බාගයකුයි පොල්කිරි කලේකුයි නමනවා.උයල ඔන්න සිංහල ක්‍රමේට ඉවුවයි කියලා කයියත් ගහනවා.
ReplyDeleteඒකනෙ සරත් මම මේ ලිපිය දැමීමෙන් බලාපොරොත්තු වුන දේ ඔබ ග්‍රහණය කළා. ඒ ගැන සතුටුයි. ඉදිරියෙදිත් මෙවැනි දේ ලියන්න සිතා සිටිනවා.
Deleteවේද මහත්තයා කාලෙකින් දිව උරුක් වෙන්නේ නැති පොස්ට් එකක් දාලා ....! ඔය සොසේජස් එක ( මිට් බෝල්ස් එකක් වෙනඩ තියන ඉඩ වැඩි ) මොකෝ දාගැබ හැදුවේ ඔය මිරිස වැටිය හැඩේට කියනවනේ ...
ReplyDeleteඒ කලේ රජවරු විතරක් නෙවේ දැන් ඉන්න රජ්ජුරුවොත් ... 64 ක ජාති එක්ක තමා වළදන්නේ ...
ඒ කාලෙත් තිබිලා තියන හැඩයි එක එක විච්චුර්නේට හදන කෑම, මිරිසවටියට නම හැදුන විදිය දැනන් උන්නට මෙච්චර දේවල් දැනන් උන්නේ නෑනේ ..
ReplyDeleteබොහොම වටිනා ලිපියක් බව පේනවා. ඇත්තම කියන්නම්. ලිපිය කියෙව්වෙ නෑ හිමීට කියවන්න ඕන නිසා. පසුව හිමීට බලන්නම්.
ReplyDeleteදැනුම් සම්භාරයක් පිරි අපූරු ලිපියක්...
ReplyDeleteකන්න උයද්දී..මිරිස් ටික හලලා හොද්ද හදනවා හැරෙන්න මෙහෙම දෙයක් කරන්න උත්සහ කරලත් නැහැ..වෙදතුමනි...බලන්න ඕන ....
ඒ කාලේම නෙ අපේ රජවරු දැන් මේ සුද්දෝ උඩ දාගෙන කන කෑම කලා තියෙන්නේ....
ReplyDeleteවැදගත් ලිපියක්