Tuesday, July 10, 2012

105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග.

ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.

මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය.

මේ කතාව මෙතෙක් මම කිසිවකුට නොකීවෙමි. ඒ මගේ සිත එයට මට ඉඩ නොඳුන් නිසා වෙනියි මට සිතේ. අද එය ඔබ හමුවේ තබන්නම්. මෙහි සියලු පාත්‍ර වර්ගයා ගෙන් බොහෝ අය ඔවුන්ගේ නියම නමින්ම හඳුන්වමි. කිසිවක් සැඟවිය යුතු නොවේ. ඉතිහාසයේ අපට වූ වැරදීම් (ඇත්තෙන්ම අපේ දෙමාපියන්ට ) අපගේ දරුවන් දැන සිටිය යුතුය. ප්‍රශ්න විසදීම යනු තුන් කල් බලා කළ යුතු කටයුත්තකි.

අප සිතන්නේ අද අප සියලු ජයග්‍රහණයන් ලබා සිටින වගය. නමුත් අද ද නිවැරදි කළයුතු දහසක් දේ තිබේ. අඩු ගණනේ අපේ දරු මුණුබුරන්වත් මේවා නිවැරදි කරනු ඇත. එසේම කල යුතුය. අප අපගේ පරම්පරාව කැපකර මේ කුරිරු යුද්ධය ජය ගත්තෙමු. ඒ ආරම්භ වූයේ අපේ දෙමාපියන්ගේ යුගයේය. නමුත් මෙහි තවත් විසඳිය යුතු තැන් තිබේ. අසීරුම කොටස වන එය අපගේ දරුවනට බාරයි.

මේ මාගේ සජීවී අත්දැකීම්ය.

ප්‍රභාත් අපත් සමග වත්තල විසූවත් ඔහුගේ ගම වූයේ බොරැල්ලයි. මම තැන නොදනිමි, නමුත් ඔහු පාසැල් පැමිණියේ බොරැල්ලේ මහගෙදර සිටයි. ඒ අකාලයේ ඔහුගේ පියා මියගිය දින සිටය. උදේම පැමිණි මා හා ඔහු අතර ඇති වූ දෙබස මෙපරිදි විය.

ප්‍ර. - මචං රෝ... ඊයේ මාර වැඩක්නෙ වුණේ!

මම. - ඇයි ?

ප්‍ර. - අපේ ගෙවල් දිගටම හමුදාව දාල. මහ රෑ කනත්තේ මොකක්ද කේස් එකක් ගියා. හමුදාවට යාපනේදි කවුද ගහලලු. ගොඩක් මැරිලා. (එකල කොටි ගැන අප අසා නැත. සුළුවෙන් ප්‍රශ්නයක් තිබ්බත්, අපගේ මතකට ඇතුළු වන ලෙස ප්‍රශ්නය පැනනැංඟේ 1983 පසුය.)

ඔන්න ඔහොම කතාවක් අද ද මට සිහි වේ.

මේ කියන කාලයේ එය මහ ලොකු නිව්ස් එකක් වූවත් විභාග උනන්දුව නිසාම කතාව යටපත් විය. කොහොමත් ප්‍රභාත් යනු ඕනෑම දෙයක් ඉතා අලංකාරව කීමෙහි බිණීමෙහි සමතෙකි. මගේ තරඟ කරුවෙකි.

අපේ පාසැල දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සහ සිංහල මාධ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම පංති පැවැත්වූවකි.

පී. එල්. සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. හොදම මිතුරෙක් තරම් ළමුන්ට සමීප මෙතුමා ඉතා තදින් දඩුවම් දීම ගැනද චිරප්‍රසිද්ධය. නමුත් කිසිවක් සිතේ තබා නොගන්නා අපූර්ව ගුරුවරයෙකි. මෙතුමා අපේ විභාගය පැවැත්වෙන අවස්ථාවල කොල්ලන්ගේ හොර ඇල්ලීමට හදිසියේ කඩා පනියි. එදින කෙදිනකවත් නැති කලබලයකින් පැමිණි මෙතුමා අපට දුන්නේ අරුම පුදුම උපදෙසකි.

අද දින මෙතැන් සිට පාසැල වසන බවත්,
අප දැනට ලියා ඇති ප්‍රශ්න පත්‍රයන් තමන්ගේ මේසය මතම තිබියදී පිටව යායුතු බවත්,
කිසිම හේතුවකට දෙමළ අංශය පැත්ත පළාතක නොයා යුතු බවත්,
වහාම නිවෙස් වෙත යායුතු බවත්ය.

මොන තරම් සතුටක්ද? පී. එල්. සර් දෙවියෙක්නෙ.

අපිඳු වහාම එළියට පැන්නේ පස්වනක් ප්‍රීතියෙනි. මා, මගේ මිත්‍රයෝ හැමොටම අවුරුදු මෙනි. අපි සිතුවේ ෆිල්ම් හෝල් එකකට පැන ගන්නයි. ඒ දිනවල බිග්බොස් පෙන්වමින් (මතක හැටියට හැදල හංදියේ සමුද්‍රා එකේ.) තිබිණි. එහි ඇති එක් දර්ශනයක් :D, බැලීමට විසි තිස් වාරයක් ගියවුන් ද අප සමග විය.

නමුත් පාරට බට අපට හමුවූයේ අරුම පුදුම වත්තලකි. මේ උදේ පාසැල පැමිණි ඇවරිවත්ත පාරද?

සතර අතින් නැඟෙනා දුම් රොටුය. මහා ගිනිජාලාවන්ය, කුමන නම් අරුමයක්ද??
හද්සියේම ප්‍රභාත්,,,,,,
මචෝ මම අර උදේම කිව්වේ මේ ඒ ගැන මොකක් හරිද දන්නේ නැහැ.

ඒත් සමඟම මහා සේනාවක් පැමිණේ..

"ඒයි පොඩි උන්…….. උඹලා එක්ක ඉන්න දෙමළු අපිට දීලා උඹලා පලයල්ලා ගෙවල් වලට.
උන් අත කඩු පොලු පෙට්‍රල් ආදී දහසක් ආයුධ විය. මහාමාර සේනාව පැමිණියා වැනිය.

ඒත් සමගම මසිතේ විදුලියක් කෙටිනි....ලින්ටා… වටපිට බැලීමි. ලින්ටා අප අතරය. උගේ මුහුණ දැක්කම මට සියල්ල පැහැදිලි විය.

මුලින්ම උන්නේ ජ...කර අයියාය. මගේ පියාගේ මිතුරෙකි. මම ඉදිරියට ගියෙමි.
ආ……. මල්ලි….. යන්න…. යන්න…. ගෙදර,
මම - ජ...කර අයියේ අපි එහෙනම් යනවා.

10 - 15 පමණ නඩයම මුවින් නොබිණූවත් යමක් ඒකමතිකව තීරණය කර තිබිණි.
ලින්ටා යමන් උඹව ගෙදර ඇරලන්න……....
උගේ මුහුණේ අසරණකම මසිතේ ඇති කලේ ලැජ්ජාවකි. ඒ ඇයිදැයි එකල පැටි වියේ වූ මට නොතේරිණි.

ලින්ටන්………………….

………….හොඩියේ සිටම සිංහල උගත් අප සමග දිවි ගෙවූ අපේ මිතුරෙකි. ඌ දන්න දෙමළක් නැත. අද ද සිංහල, ඉංග්‍රීසි හැර වෙනත් බසකින්, ලීමේ බිණීමේ හැකියාවක් ඔහුට නැත. වත්තල ගැමුණු පැලැස් පිටුපස අද කන්ටේනර් යාඩ් එකක් ඇති තැන ඔහුගේ නිවස විය. දැන් අප යනවා නොව දුවනවාය. හැමතින් පෙනෙන්නේ විපතක සේයාවන්ය. ලින්ටාගේ ගෙදර ගිය අප දුටුවේ යුද්ධයකි. ගෙදර සියල්ලන් ගෙනයාමට කවුදෝ පැමිණ තිබිණි. ඒ කවුදැයි දැන් මට මතක නැත.

තෙළඟපාත වෙලෙන් පැන්න කල මගේ නිවසට මිනිත්තු 5ටත් අඩු දුරකි. දැන් මගේ ඔළුවේ ඇත්තේ……….

"සිංණප්පා යි."

මගේ ඉංග්‍රිසි ගුරුවරයා. අපේ යාබඳ නිවසේ වෙසෙන යාපනේ චුන්නාකම් වල පදිංචි පුද්ගලයෙකි. ඔහුගේ පුතා රාසයියා අංකල්, ඇන්ටි, මහේන් මල්ලි, ලොකු නංගි, පොඩී මගේ ඉදිරිපිට පෙනී නොපෙනී යයි. අඩි දෙකට මම ගෙදර පැමිණියෙමි. ගෙට ගොඩවුණේ නැත කෙළින්ම අල්ලපු ගෙදර තාප්පය පැන්නෙමි. පෙර මේ ගෙවල් එක දිගට පේළි ගෙවල් මෙන් තිබූ ඒවාය. අපේ ගේ වෙන්කර සාදා ඇතත්, ඒ වනවිටත් කුස්සියෙන් දෙපසට මාරු විය හැකිය.

ඔවුන් ඒ වනවිටත් කළ යුත්ත කුමක්දැයි කතා කරමින් සිටියි. දරුවන්ද සමග අපේ ගෙදර පැමිණ කතා කරමුයි මා කීවිට, ඇන්ටි මට වැන්ද හැටි අදද මට මැවී පෙනෙයි. ඔවුන් උදේම සිද්ධිය දැන හෝ සැකකර සියල්ල එක්තැන්කර තිබිණි. ඒ පොට්ටනියත් සමග ඇඳිවත පිටින් ගේදොර ඇර තිබියදීම ඔවුන් පිටුපසින් අපේ ගෙට රිංගා ගත්තාය. මම ඒ පැත්තේ හිඩැස තදින් වැසූවේ නිරායාසයෙන් මිසක සිහි බුද්ධියෙන් නොවේ. දැන් මගේ මෙහෙයුමෙන් භාගයක් සපුරා ඇත. තාමත් මා පාසැල් ඇඳුමෙනි.

ක්‍රිෂ්ණා…………

දැන් මම කෙසේ හෝ නිවසින් පිටවිය යුතුය. ඒ එකල මගේ හොදම මිතුරා ගැන බැලීමටය. ක්‍රිෂ්ණමූර්ති සහ ශාන්තමූර්ති මගේ වයසේම මිතුරන් දෙදෙනෙකි. දෙදෙනා සොයුරෝ වෙති. අක්කා, ලොකු අක්කා, මූර්ති අංකල් මට ගෙදර උන් මෙන්ය. ඒ ගෙදරින් කී වෙලක් නම් කා ඇත්ද?

වහාම නිවෙස් තුනකට එහායින් ඒ ගෙදරට යන විට සියල්ල අවසන් වී තිබිණි. ගේ ගිනි ගනියි. මූර්තිලාට වූවක් මම නොදනිමි. මගේ පපුව කඩා හැළෙයි. වත්තට පැන බැලූවත් කිසිවෙක් නැත. විපතට පත් වූවන්ද, විපත කළවුන්ද නැත. මගේ අතේ ජීවිත ගණනාවක් ඇති බැවින් මම වහාම නිවසට නැවත පැමිණියෙමි.

මේ සටහන කෙතරම් දිගු වුවත් මට කෙදිනකවත් නැවත මෙය ලිවිය නොහැක. ඒ නිසා අදම ලියමි. පළ කිරීම ගැනද මම තවම තීරණයක් ගෙන නැත. කෙදිනක පළ කරමිදැයි මමද නොදනිමි. බ්ලොග් ලෝකයට පැමිණි මුලම මෙවැන්නක් ලිවීම සුදුසුදැයි මම නොදනිමි. මේ බ්ලොග් ලියන්නන් අතර මා දන්නා කිසිවෙක්ම නැත. මේ වැන්නක් බ්ලොග් පාඨකයන් කෙසේ පිළිගනියිද? (මේ ලිපිය 2011 ජූලිවල ලියූවකි.)

මගේ වැඩ නිසා මගේ මවට සෑහෙන ප්‍රශ්න ගණනාවක්... පස් දෙනෙකුගෙන් යුතු අපේ පවුලත්, රාසයියා අංකල්ගේ ගෙදර කට්ටියත් පෝෂණය කළයුතු නොවැ....

ඔන්න දැන් මාර සේනාව අපේ මිදුලේ. අපිට කියලා වෙනම මිදුලක් නැහැ. මේ ගෙවල් හතකින් පහකටම ඇත්තේ එක මිදුලයි. ගේ ළඟම තාප්පේ ගෙවල් අතර පරතරය අඩියක්වත් නැහැ. මා සහ මව මුන්ට දැන් මුහුණ දෙන්න ඕනෙ.

අර බැගෑපත් මුහුණු...

ඔවුන්ගේ ප්‍රමුඛයා බි…..දු එකල සිටි මැරයෙක් අකාලේ මියගියා.

ආ මල්ලී එන්න එපෑ අපිත් එක්ක.

මම - ඇයි අයියා..

මැරයා - මේක මල්ලි ජාති ආලෙන් කරන වැඩක්... අපේ කොල්ලො මරල මුන්ට බේරෙන්න දෙන්න බැහැනේ.

මම - එහෙමද? (මම එවිටයි දැන ගත්තේ, මට අසනීප වූ විට බෙහෙත් ගෙන්න එක්ක යන, ක්ලාස් එක්ක යන, අපි සමඟ සෙල්ලම් කරන රාසයියා අංකල් අපේ හමුදාවට බෝම්බ තියන්න ගිය බව. )

දැන් මේ මැරයා මගෙන් අහනවා කෝ මල්ලි එහා ගෙදර ... දෙමළු ටික?

මම - අනේ මන්ද?

මැරයා - මල්ලී මුන් පැනලනෙ.

මම - නැහැ... නැහැ…. අයියා දැන් හිටියනේ.

රාසයියා අංකල් ගේ ගෙට පිටුපස මහ වෙල අවුරුදු සිය ගණනකින් වපුරා නැහැ. මහ පංකැලේ.

මැරයා - පංකැලේ මුන් ඇති ගිනිතියපියව් ඕකට.

මම - අයියා දැන් මේකට ගිනි තිබ්බොත් අපේ ගේ, අර ගෙවල් ඔක්කොම ගිනි ගන්නවනේ.

කෙසේ හෝ නිවසත් අවට වෙල් යායත් ගිනි තැබීමේ මෝඩ ක්‍රියාව නොකර සිටීමට උන් පෙළබීමට මට හැකි වුනා. උන් ගියේ අපේ කොල්ලො මරපු රාසයියා අංකල්ගේ ගේ බිමට සමතලා කරලම දාලා.

විනාඩි දහයක් විතර අපිත් එක්ක කතා කළ මැරයෝ යන්න ගියා. අපේ ගේ වහලා වෙන්ද වගේම මිදුලේ නංගිලයි මල්ලියි තියලා මම ගියා අම්මත් එක්ක වත්තල, ගෙදරට බඩු ගේන්න.

මොන වත්තලක්ද??

එකම විශාලා මහ නුවරක්.

හැම පැත්තෙන්ම ගිනි ගන්නවා.
හැබැයි දෙමළ මිනිස්සු නැහැ. ඒ අවුරුදු ගණනක් සිංහලයොත් එක්ක එකට කාල බීල හිටපු මිනිස්සුන්ව කවුරුත් මැරයන්ට පාවලා දුන්නේ නැහැ.

වත්තල එකම කඩයයි ඇරලා තිබ්බේ. ග…..ගේ මුදලාලිගේ කඩේ. ඒත් මුදලාලි නැහැ. මිනිහ ගිහිල්ලා එහාපැත්තේ තෙල් කඩේ හිටිය, හමුදාවට බෝම්බ තිබ්බ, මුදලාලිගේ කඩේ කඩන්න. බැලුවම අපිට ගන්න තිබුණේ පිටියි හාල් සීනි වගේ දේවල්. මිනිස්සු කඩෙන් බඩු ගන්නවා සල්ලි ගන්න කෙනෙක් නැහැ. අපි දෙන්නත් අපිට අවශ්‍ය දේවල් අරගෙන සල්ලි නොදීම ආවා.

මෙහෙම දින තුනක් විතර ගත වුණා. වත්තල පොලීසියේ සිටි සාජන් කෙනෙක් වූ මගේ පියාගේ සොයුරෙක් මාර්ගයෙන් මගේ මව රාසයියා පවුල රජයට බාරදුන්නා.

මූර්ති පවුලත් අහල පහළ අය විසින් බේරාගෙන තිබුණා. උපතින් පමණක් දෙමළ වූ මූර්තිලා දෙදෙනාම සිංහල කාන්තාවන් පාවාගෙන අදද ඉතා හොදින් සිංහලයන් මෙන් ජීවත් වෙනවා.

ජීවිත කාලයක් අපත් සමග දිවිගෙවූ පහක් හයක් පමණ ප්‍රමාණයක් කුරිරු ලෙස ඝාතනය වූවා.

ඒත් ඒ සියලුම මැරයන් සහ ඒවාට අනුබල දුන් අය අද මේවන විට මෙලොව නැහැ. මට මතකයි එක අවස්ථාවක, එයිට බොහෝ කාලයකට පසු එම සිද්ධීන් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අයෙක්, වත්තල හංදියේදී තම මෝටර් සයිකලය මත වාඩි වී සිටියදී ලඟින් ගිය කන්ටේනර් රථයකට යට වී මිය ගියා. හිස පොඩි වී තිබුනේ බයිසිකලයට කිසිම හානියක් නොවී. මම කියන්නේ නැහැ එය හාස්කමක් ලෙස නමුත් වසර කීපයක් යත්දි ඉතාම තරුණ වියේ සිටි ඒ සියල්ලන්ම මෙලොවින් චුත වී ගියා.
____________________________________
මේ ටික ලිව්වේ 2012 ජූලි මස හෙවත් ඊයේ පෙරේද.

යම් ලෙසක ඒ අමිහිරි සිද්ධිය 1983 ජූලි මස සිදු නොවුනානම් අද මේ රට මෙයිට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා කියන එක මට නිතරම සිතෙනවා.

අපි ළඟින් ඇසුරු කළ අපත් එක්ක එකට සිටි දෙමළ මිනිසුන් මේ දිනයෙන් පසු සිටියේ වියරු වැටිලා. මම ඒක දැක්ක, ඒ සිරිමාවෝ බණඩාරනායක විද්‍යාලයේ තිබුණු අනාථ කඳවුරට දින කීපයක්ම කෑම බීම අරගෙන මගේ මිතුරන් බලන්න මම ආව නිසා. එදින කුඩා මටත් සිතුණා මේ රටේ අනාගතය වෙනස් වන සිද්ධියක් බවට මේක හැරෙයි කියලා.

අන්තිමට ඒක එහෙමම වුණා. දහස් ගණනක් අහිංසකයෝ මළා මගේ ළඟම අය කීපදෙනෙක් අකාලයේ මිය ගියා. කුරිරු යුද්ධය නිසා අනාථ වූ ජාති දෙකේම පිරිස කොපමණද?

එදා උදේම කළයුත්ත කළේ සවස 4ත් පසු වී මට මතක හැටියට. එදා උදේම රටපුරා ඇදිරි නීතිය දමා හමුදාව කැඳවූවා නම්, මේ රටේ ඊට පසු ඇති වූ අඳුරු යුගයට අපේ දරුවන් මුහුණ නොදීමට තිබුණා. එදා අපි මුහුණ දුන්නේ නීතියක් නැති දිනයකට. එදා ඒ පැය කීපය අපේ ප්‍රදේශය පාලනය කළේ මැරයෝ.

මෙහෙන් ගිය, ඒ අවධියේ අපේ වයසේ සිටි සියල්ලන්ම ත්‍රස්තවාදයට එක් වෙන්න ඇති. ඒකෙන් උන් ප්‍රබල වුණා. ප්‍රතිඵලය අවුරුදු 30 දිග්ගැසුණු යුද්ධය.

ඒ විතරක්ද?

මොනතරම් ජාති දෙකටම අයත් උගතුන්, වියතුන්, අහිංසකයෝ, දරුවෝ, වෙනත් ජාතීන්, විනාශ වුණාද?

අද මේ රට මේ තිබෙන ජරා තත්වයට පත්වෙන්න ඒ පැය කීපය හේතු වුණා නේද?.

ඒ නිසා අපි අද ගන්න තීරණ අපේ අනාගතයට මොනතරම් බලපානවද?

මේ කියන කිසි දෙයක් ගැන අවබෝධයක් නැති මැරයන් යම් තැනක, යම් කාලයක එක් මොහොතකට ප්‍රබල වීම රටක අනාගතයට කරන බලපෑම කොතෙක්ද?

මේ සියල්ලම මම ජීවත් වූ දශක කීපය තුළ මට අත්දකින්න වුණා. ඒ නිසා අපේ දරුවන්ට මේ සියල්ලෙන් තොර රටක් සාදා දෙන්න අපි හැමෝම කැපවිය යුතුයි නේද?

මේ ලිපිය කිසිදා පළ නොකරන්න සිතා සිටියත් එය පළ කළ යුතුම යැයි මට සිතුණේ එදා ඒ අදුරු දිනය වගේම භ්‍යානක පෙරනිමිත්තක් මම අද දකින නිසයි. ඒ....

දරුවන් කාමුකයන්ට බිලි වීම......

රටේ සියල්ලන්ටම සමානව තිබිය යුතු නීතියේ ආධිපත්‍ය ගිලිහී යාම...

විශේෂයෙන්ම මහජනයා නීතිය විශ්වාස නොකරන තැනට රට පත්වීම......

මට හිතෙන්නේ මේ රට කුරිරු යුද්ධයෙන් ගලවාගෙන අපි යන්නේ හසරක් නැතුව ප්‍රපාතයට.

රටේ නීතියෙ ප්‍රමුඛත්වයට නංවන්න මේ අවුරුදු තුන හොදටම ඇති. දැන්වත් ඒ ගැන යමක් කිරීම ඉතාමත් සුදුසුයි.

හෙට පරක්කු වැඩියි කිව්වොත් .....

89 comments:

  1. කතාව ඇත්ත...ඒත් කවුද ඉතින් අතීතයේ වෙච්ච වැරැද්ද හොයලා බලලා හරි ගස්සා ගන්නෙ ? ඒදාටත් වඩා අන්ත ගොන් තීරණ ගන්නවා මිසක් ! :-(

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

      Delete
  2. සතියක් පොලිසිවලට නිවාඩු දීලා මැතිවරණ ජයග්‍රහණ සැමරුව රටක් මේක... යකඩ මල්ලට එහෙමනං..පුළුං ගැන කුමන කතාද..?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ඉදිරියේදී ලියවෙනවා. ඒ සියළු තොරතුරු රැස් කරමින් ඉන්නේ.

      Delete
    2. /සතියක් පොලිසිවලට නිවාඩු දීලා මැතිවරණ ජයග්‍රහණ සැමරුව රටක් මේක... යකඩ මල්ලට එහෙමනං..පුළුං ගැන කුමන කතාද..?/

      දැන් ඒ කියන්නෙ මැතිවරණ දූෂණ තිබුණු නිසා ඔය පර දෙමළු දාහක්, දෙදාහක්, තුන් දාහක්, දහ දාහක් මළාට මක් වෙනවද කියන එකද? මේක තමයි සමස්ත සිංහල බෞද්ධයාගේ කියැවීම. අපට අල්පෙනිත්තෙන් ඇන්නත් රිදෙනවා. අනෙකාට කැත්තෙන් පොල්ලෙන් ගැහුවත් හැඟීමක් නෑ.

      Delete
    3. දෙමළ අය අතරත් නොයෙක් ජාතියේ අයියලා ඉන්නවා. ඒත් මම මේ කතා කලේ ඒ කාලේ අපිත් එක්ක හැදුනු වැඩුනු අපේම පවුල්වල අය වගේ සිටි අය ගැනයි. ඒ හැමෝම අපිට විරුද්ධ අය බවට පත්කර ගත්තේ අපේ පුහු වීරයේ වෙන්න බලාන හිටි නායකයොයි කියා ගත්ත ජඩ මිනිස්සු ටිකක්. නමුත් මේ රටේ සිංහල දෙමළ කොයි කාටත් පාලකයෝ අද එනකන් බෙදලා තියන්නේ එකම කන් හැන්දෙන්. ඒක තේරුම ගන්නව මිසක් අපි ජාති අනුව බෙදිලා සටන් කරන එක හරිද? කියන ප්‍රශ්නෙ මට එනවා....( මම කියන්නේ ත්‍රස්තවාදය ගැන නෙමේ.)

      Delete
    4. @ඇනෝ... වැරදි තැනින් අල්ලගන්න එපා...

      Delete
    5. @වෙද ගෙදර මහ වෙදනා,

      මගේ ප්‍රතිචාරය ඔබට නොවේ. මාරයාගේ කමෙන්ට් එකටයි. ඔබ සමඟ එකඟයි.

      Delete
    6. ස්තුතියි ඇනෝ!
      ඉදිරියේදී මම දේශපාලන ලිපි කීපයක්ම ලියන්න හිතාගෙන ඉන්නේ එකක් ඔය 77 පොලීසි වැසීම ගැන අපි එදාට තවත් ඒ ගැන කතා කරමු.

      Delete
    7. /වැරදි තැනින් අල්ලගන්න එපා.../

      අපොයි, නෑ. ඔය කතාව දැන් දශක ගණනාවක් තිස්සෙ අහන අපට හොඳ පුරුදු එකක්.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. @ ano මෙතන සිංහල බෞධ ප්‍රශ්නයක් නැහැ පැහැදිලිව ලිපියේ කියල තියෙනවා මේක කලේ ඒ දවස් වල හිටපු මැරයෝ ටිකක් කියල ඒ හින්ද තවත් වැරදි තැනකට පාර කපන්න එපා

      Delete
  3. මහ වෙදනාගේ ලිපියත් එක්ක මට මතක් වුනා නන්දා මාලනි කියපු සින්දු 2ක්.
    01.පෙර පොරණේ කළ පුරසාරම්- නවතා බැඳ මුක වාඩම්
    නව සිතිවිලි මල් පුබුදා- ඔබ හිනහෙන දින කවදා
    ඔබ අපෙයි ශ්‍රී ලංකා ..............
    02. මැගේ නම ලංකාය .....
    වසරකට පෙර සොඳින් සිටියාය මෑ
    02 වන සින්දුව ගියේ පවනේ 88-89 භීෂණ සමයේ
    නමුත් මහත්තයො දුක මේකයි. එදා පවනේ ගිය සින්දු අදත් කිසිම පදයක් වෙනස් නොකර ඒ විදිහටම ඒ කාලානූරූපවම ගයන්න පුළුවන් . නමුත් දුක ඒ මහ පදරචකයාත් අනුන්ගේ සින්දු තමන්ගේ වගේ කියන නිහින වැඩට මුල පීරු මහා ගායීකාවත් නිහඩ විමයි.
    මේක සමාජයේනිශ්‍ක්‍රීය භාවයයි පෙන්වන්නේ. ඉවුර බිඳුනාම ගඟක් අයාලේ යනවා වගේ අපේරටත් යන්නේ කොහේද?
    නඩු නැති රටක මොට පායන් සූර්යයා! කියලා තියෙනවා
    සිරි ගුණ සිංහ මහත්තයාගේ අබිනික්මන කියන පොතේ තියෙනවා
    ඊයේ හිරු නොකළ කිසිවක් අද හිරු නොකරයි,
    අද හිරු නොකළ කිසිවක් හෙට හිරු නොකරයි - ඇයිද පායන්නේ කාලකණ්නියා කියලා

    ReplyDelete
    Replies
    1. මා සිතනවා ඔබ මේ සිද්ධීන් හා යම් කිසි මතකයක් ඇත්තෙක් කියා. මතකද ඒ අතීතය දැන් එහි වර්ධනීය පෙළගැස්මනේද තිබෙන්නේ. මේකට හේතු තිබෙනවා. අපි ඉදිරියේදී ඒ ගැනත් කතා කරමු. මාලිණිය ගැන නම් දැන් කුමන කතාද, ලිව්ව මිනිහ මගේ ප්‍රියතමයෙක් දැන් නම් එහෙම කියන්නත් මොකක්ද මොකක්ද වගේ. අනේ කාලේ වනේ වාසේ.

      Delete
    2. /මතකද ඒ අතීතය දැන් එහි වර්ධනීය පෙළගැස්මනේද තිබෙන්නේ./

      මහින්ද රාජපක්ෂ යනු සිරිල් මැතිව්ගේ අනුප්‍රාප්තිකයාය කියන තේරුමින් මේක හරි. නමුත් මහින්ද රාජපක්ෂ යනු ජේ. ආර්. ජයවර්ධනගේ අනුප්‍රාප්තිකයාය කියන තේරුමින් ඒක වැරදියි.

      Delete
    3. මට නම් මේ විධායක ක්‍රමය යටතේ එන කවුරුත් එකයි. මෙතන තිබෙන්නේ සුළු වැරදි මහා වැරදි නෙමේ. සමස්ත ක්‍රමය වැරදි. ඒකයි නිවැරදි විය යුතු හැබැයි කවුද ඒක කරන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඒකට පත්වෙන කිසිම කෙනෙක් කැමති වෙයිද? පුද්ගලයෝ විදියට ගත්තම කාගෙත් හොද නරක කියන දේ අඩු වැඩි වශයෙන් තිබෙනවා. හැබැයි මේ ක්‍රමය හොද අඩු කරනවා. වැරදි කරන්න පොළබවනවා.

      Delete
    4. 1983 සිද්ධීන් වෙන්නෙ විධායක ක්‍රමයෙ වරදක් නිසා නෙවෙයි. (විධායක ක්‍රමය වැරදියි තමයි,. ඒත් ඒක වෙන කතාවක්.) විධායක ක්‍රමය නොතිබුණු 1958දිත් මේ විදියටම දෙමළු මැරුවා ඉතාම තුච්ඡ විදියට. මේ සුළුතරයට එරෙහි සිංහල බෞද්ධ ජාතිවාදය නැඟීමේ ප්‍රතිඵල. විධායක ක්‍රමය වෙනස් කළාය කියල මේව වෙනස් වෙන්නෙ නෑ. අනෙක මේවා නායකයින්ගේ වැරදි පමණක් නොව සමාජයක් හැටියට අප සියළු දෙනාගේම වැරදි. සිංහල බෞද්ධ සමාජය ඒ වැරදි පිළි ගන්න ලැහැසිති වෙනකල් ඒවා තියේවි. විධායක ක්‍රමය වෙනස් වුණාය කියලවත්, නායකයින් වෙනස් වුණාය කියලවත් ඒව වෙනස් වෙන්නෙ නෑ. ඒක ඉතාම මෝඩ විදියට ප්‍රශ්නයෙන් පැණ යාමක්.

      Delete
    5. ඔව් ඔබ හරි. ප්‍රශ්ණය ආගම් ජාතීවාදී උමතුව අපේ වගේ තුන් වැනි ලෝකයේ සියලුම රටවල තිබෙනවා. නමුත් මගෙ කල්පනාව ලංකාවේ මේ විධායක ක්‍රමය නිසා ඔවැනි ප්‍රශ්න වැඩි වුනා කියන එක. හැමවෙලේම ඒ ඒ නායකයො අනිත් ජාතීන් දිහා සැකයෙන් බැලුවේ. පරණ ක්‍රමයේදී හැමටම වටිනාකමක් තිබ්බා. ඒ නිසායි මම එහෙම සිතුවේ. ඔබ කියන දේවල් නම් දැන් ටික ටික අඩු වෙමින් යනවා නේද?

      මේ හැමදේටම කළ යුත්තේ සමාජයේ දැණුවත්භාවය ඇති කිරීමයි නේද?

      Delete
    6. විධායක ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. නමුත් අද සමාජයේ ඔඩු දුවා තියෙන ජාතිවාදය නතර කරන එකට එයම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකට සමස්ත සමාජයම සුද්ධ කළ යුතුයි. අමාරු වැඩක්. තාම අපි ඒක පටන් ගෙන වත් නෑ.

      Delete
    7. ඔව් ඔබ හරි!! ජාතිවාදය මදිවට දැන් ආගම් වාදයකුත් පටන් අරන් මෙහෙමත් ප්‍රාථමික සමාජයක්. අපි යායුතු අතට විරුද්ධ අතටනෙ යන්නේ. මේවා නවත්තන්න ආකල්පමය වෙන්සක් අපිවත් පටන් ගන්න ඕනෙ. බ්ලොග් කලාවත් ඒ සදහා යොදා ගනිමු.

      Delete
  4. තේරුමක් නැතිව ජනතාව උමතු වීමක් වෙලා තියෙන්නෙ මට හිතන හැටියට නම්..

    මම අඳුරන සීයා කෙනෙකුත් ඔය විදිහට දෙමළ කඩ සාප්පු ගිනිතියන්න දායකවෙලා තියෙනවා.. හොඳම වැඩේ කියන්නෙ මිනිහත් දෙමළ..

    ReplyDelete
    Replies
    1. ඔව් ජනතාව උසි ගැන්නුව. ඔය ලිපියේ නොලියවුනු දෙකුත් තිබ්බා. ඔය මැරයෝ හැමෝම ආවේ එක් දේශපාලකයෙක්ගේ නමක් කියමින් ඒ කාලේ සිටි ප්‍රභලයෙක්. මට මතක හැටියට සියල්ලම කෙසේ වෙතත් බොහෝ දේ වුනේ ජනතාවට කැමති ආකාරයට නෙමේ. මොකද ජනතාව පුළුවන් තරම දෙමළ මිනිස්සුන්ව බේරා ගන්න බැලුවා. මැරයෝ ලයිෂන් චන්ඩි වෙලා සිටියේ. බොහෝම භ්‍යානක කාලයක්.

      Delete
    2. /ඔව් ජනතාව උසි ගැන්නුව. ඔය ලිපියේ නොලියවුනු දෙකුත් තිබ්බා. ඔය මැරයෝ හැමෝම ආවේ එක් දේශපාලකයෙක්ගේ නමක් කියමින්./

      මෙය අර්ධ සත්‍යයක්. සිරිල් මැතිව් කියන දේශපාලකයා අද චම්පික රණවක සේම එදා යූ. එන්. පී. ආණ්ඩුව තුළ සිංහල බෞද්ධ අන්තවාදී බලවේගයට නායකත්වය දුන් බව සත්‍යයක්. ඒ එක්කම එදා ඔහු වටේ සිටි මැර පිරිස හා ඒ පිරිස සතුවු සංවිධාන ශක්තිය ගැන සලකා බැලීමේදී ඔවුන් මීට සම්බන්ධ නූනාය කියා හිතන්න බැහැ. නමුත් මේ ටිකත් කිව යුතුයි.

      1. 1983 කලු ජූලි සිද්ධීන් භෞතිකව ආරම්භ කළේ සිරිල් මැතිව් නෙවෙයි. මොකද කොළඹ සිද්ධීන් වලට සති දෙකකට කලින් සිද්ධීන් මුල් වරට ඇති වුණේ පානදුරේ. ඊට සිරිල් මැතිව්ගේ සම්බන්ධයක් තිබුණාය සාක්ෂි කිසිවක් නෑ.

      2. කොළඹ සිද්ධීන් ආරම්භ වුණේ 24දා රාත්‍රියේ බොරැල්ලේදි. එය එදා කනත්තේ පොදු අවමඟුලට සහභාගි වූ පිරිස විසින් ඇති කළ එකක්. සිරිල් මැතිව්ගේ මැරයන්ගේ සම්බන්ධයක් තියෙන්න ඇති. නමුත් සම්පූර්ණ වරද ඔවුන් පිට පටවන්න බෑ.

      3. ජනතාව උසිගැන්වීමට මැතිව්ට අමතරව මාධ්‍ය (විෂේෂයෙන් "දිවයින" පුවත්පත) හා බෞද්ධ ආගමික නායකයිනුත් ක්‍රියා කළා.

      4. සිද්ධීන් ඇතිවීමෙන් පසු ඒවා වළක්වා ගැනීමට හොඳින්ම පුළුවන්කම තිබියදී ජේ. ආර්. ජයවරධන ආණ්ඩුව සමස්තයක් ලෙස ක්‍රියාකල ආකාරය ගැනත් ගැටළු තියෙනවා.

      මේ නිසා මේහි වරද 100%ක් සිරිල් මැතිව්ගේ ගිණුමට බැර කිරීම අසාධාරණයි. මීට වඩා විශාල පිරිසක් ඊට වගකිව යුතුයි.

      Delete
    3. මුලින්ම ඔබත් සමඟ 100% එකඟයි. මේ හැම දේකටම ලොකු හේතු තිබුනා. ඔබ කියන ආකාරයට මාධ්‍ය භාවිතය, දේශපාලකයන් ඒ වගේම විධායකය, අවස්ථාවදියෝ. අවසාන ප්‍රතිඵලය වසර 30 යුද්ධයක්.

      මම මෙතනදි කිව්වේ අපේ ප්‍රදේශය ගැන විතරයි.

      Delete
  5. ඔය කාළ වකවානුව වෙනකොට මෙලොවට බිහි වී නොසිටි මටත් මේ සිදුවීමේ කම්පනය යම්තාක් දුරට හරි දැනෙනවා. 1983න් පස්සේ බිහි වුන හැමෝටම ජාතිවාදය සහ යුද්ධය කියන්නේ උදේට මූණ හෝදනවා දත් මදිනවා වගේ එදිනෙදා සිදුවීමක් පමණයි. අපි ඉපදුන දවසේ ඉදල දැක්කේ ඒව විතරයි.

    මිනිහෙක්ගේ ගති පැවතුම් වලට හැදියාවට ප්‍රවේණිය සහ භාහිර පරිසරය කියන දෙකම වැදගත් බව අපි හැමෝම දන්නවා. මෙයින් අපි හැදුන වැඩුන භාහිර පරිසරය අපිට ඉගැන්නුවේ ප්‍රචන්ඩත්වය සහ ක්‍රෝධය. ඉතින් ක්‍රමයෙන් මැදි වියට එන අපේ සම කාලීනයන් හික්මවන්න නීතිය සහ එහි ප්‍රායෝගික ක්‍රියාත්මකභාවය මෙයිට වඩා ප්‍රාණවත් වෙන්න ඕන. ඒත් අපි දකින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක්. නීති සම්පාදකයන් සහ ක්‍රියාත්මක කරන්නන් දෙගොල්ලම ඉතාම නින්දිත ලෙස නීති පොත උඩ පහරනවා. සදාචාරය කියන වචනය දැන් ශබ්දකෝශයේ බොද වෙලා ගිහින්.

    මහ වෙදනා එදා කලා වගේ පරාර්ථකාමී වෙලා අනාගත පරපුරේ සුභ සිද්ධිය වෙනුවෙන් දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි කියල නාම මාත්‍රික බලාපොරොත්තුවක් හරි අපිට දැන් තියා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් පොඩි එකීයි, හාමිනේයි අරගෙන 'මගේ පවුලේ ලෝකයක්' වෙනුවෙන් දන්න කාත් කවුරුවත් නැති රටකට 'පැනල' යනවද කියල හිතන්න කාළය නොවේද?

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමියා අපි ඒ කුඩා කාලේ කළ දේ දැන් නොකරන්නේ ඇයි? මටත් මේක ප්‍රශ්නයක්. මගේ නම් උත්තරේ අපි හරි ආත්මාර්ථකාමියි. ඒකයි මම ඔය වෙන රටක විකල්පය අත්හදා බැලුවා. ඒකත් කරන්න අමාරුයි. අපේ මුල් මෙහෙට ඇදිලා කිදා බැහැලා වැඩියි. ඒ නිසා ඉක්මනින් යමක් විය යුතුයි.

      Delete
  6. ඔබේ ලිපිය තුළ ගැබ්වුණු ශෝකය හොදින්ම වැටහුණා.. ඒ කාලයේ මා නොසිටියත් සිටියා වගේ දැනුණා.. දැන් හැමදේම වෙලා ඉවරයි, ඒත් ළමයින් වශයෙන් හිටි ඔබත් ඔබ වැනි දහස් පිරිසකගේ සිත් තුළ හිරවී ඇති ඒ අමිහිරි මතක සදහටම අමතක කළ නොහැකියි නේද ?

    මට මතකයි 89 වගේ කාලෙ හවස් වෙනකොට මගෙ මාමල ගෙදරින් කොහෙහරි යනවා.. මගෙ තාත්ත පොඩි කාලෙම නැති වුණු නිසා අපි මාමල එක්ක හරිම එකතුයි.. අක්කියි මායි රෑ වෙනකොට පිස්සුවෙන් වගේ එහාට මෙහාට ඇවිදිනවා.. මාමා මැරෙයි කියලමයි හිතෙන්නෙ, හීනෙන් බයවෙනවා,, උදේ ආයෙත් මාමල එනවා .. එහෙම දවස් නම් පොඩි දරුවොන්ට උදාවෙන්න එපා කියලයි මම පතන්නෙ, දැන් වුණත් හිත හරිම බයයි ඒ කාලෙ මතක් වෙනකොට..

    ReplyDelete
    Replies
    1. ඔව් සම්මාණී මේ ඔබෙත් මගේත් ප්‍රශ්නයක් නෙමේ මේ අපේ දරුවන්ගේ ප්‍රශ්ණයක්. මේකට උත්තරේ නම් නොපමාව දිය යුතුයි. නැත්නම් අපිට බොහෝම පසුතැවීමට පත්වෙන්න වෙයි මැරෙන්න කලින්.

      Delete
  7. 3 කලබල ගැන නම් මතකයක් නෑ.. නමුත් 88-89 කාලේ ගැන නම් මතකයක් තියෙනවා. ආයේ එහෙම කාලයක් උදා නොවෙන්න තනි තනි වශයෙන් අප තුළ ඇති කර ගත යුතු ආකල්පමය වෙනස් කම් ගැන ටිකක් සාකච්ඡා කලොත් අනාගත පරපුර ට සෙතක් වෙන දෙයක් අපට කළ හැකියි නේද?

    රටේ වර්තමාන පද්ධතිය තුළ බොහෝ අඩුපාඩු කම්,අවනීති රජයන බව ඇත්ත. එහෙම වෙන්න හේතුව පාලනයේ තාමත් ඉන්නෙ අර පරණ ආකල්ප වල ඉන්න පුද්ගලයො වීමයි කියලයි මට හිතෙන්නෙ. දැන් තියෙන පාලනය වෙනස් කලාට පස්සේ එන්නෙත් තවත් එවැනිම පිරිසක් මිසක් අලුතින් හිතන්න පුරුදු වෙච්ච කට්ටියක් නෙවෙයි නේ..

    අපේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් හදන්න අපි තනි තනි වශයෙන් මිනිස්සු තුළ හොඳ ආකල්ප ඇති කරන්න උත්සාහ කළ යුතුයි නේද? උදාහරණෙකට ඔබේ මේ ලිපියට සම්බන්ධව එක එක් කෙනාගේ අත්දැකීම් සහ ඒවට වරද කරුවන් ගැන අපි බොහෝ දේ කතා කරයි.. පලු යනකම් බනියි.. අවසානයේදී එක් සිද්ධියක් සහ ඒ සිද්ධිය ගැන එක එක් කෙනාගේ අදහස් ගොඩක් ඉතිරි වෙයි.

    නමුත් කවුරුවත් මගෙ අතින් මෙවැනි දෙයක් කවදාවත් සිදු නොවිය යුතුයි, මම ඒ වෙනුවෙන් මේ දේ කරනවා යන්න හිතා බලා ඒ පිළිබඳව කටයුතු කරන මානසිකත්වයක් මෙවැනි සාකච්චාවක් තුළින් මතු කරන්න උත්සාහ කලොත් ඔබේ අරමුණට යන පළවෙනි අඩිය මේ ලිපියෙන් ම තියන්න පුළුවන් වෙයි නේද?

    ගොඩක් වෙලාවට අපි කරන්නේ බනින එක විතරයි. කළ යුත්තේ මොකක් ද කියල සාකච්චා වෙනව හරි අඩු නිසයි මම මෙහෙම ලියුවේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මම හැම දාම දෙමළ ජාතිවාදයට වගේම සිංහල ජාතිවාදයටත් විරුද්ධ කෙනෙක්. අපි මෙහෙම ජනතාව විදියට ආගම්, ජාති බෙදිලා ගහ ගනිද්දී අපි දන්නෙම නැතුව අපිට බොහෝ දේ අහිමි වෙලා. ඒත් අපි ඒකටත් කරන්නේ අපි අපිම ගහ ගන්න එක.

      Delete
  8. අපි දැකල නැති භීශන සමය ගැන හොද ලිපියක්....අපි සමාජයට එන්න කලින් යුද්දය වාසනාවට නිමා වුනා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත. ඔබලාගේ වාසනාව පෑදෙන්න මේ ජරා මජර සමාජ ක්‍රමයත් වෙනස් වෙන්න ඕනෙ.

      Delete
  9. දැනගෙන සියේ නැටි දෙයක් මමත් . හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම කළු ජූලිය ගැන ලියවිලා තිබෙන තොරතුරු අඩුයි තමා. මම ඒ නිසයි මා දන්නා මට සහතික විය හැකි දේ මෙහි ලිව්වේ.

      Delete
  10. ඓතිහාසික වැරැද්දක් ඒදා උනේ! මිනිස්සු කීප දෙනෙක්ගේ තීරණ ගැනීමේ දුර්වලතා නිසා සමස්ත රටක ඉරණම වෙනස්වීම ඇත්තෙන්ම ශෝචනීයයි! කාමඅපචාර ගැන කතා කරනවා නම් ලිංගිකව අපහරණය උනු ළමයි සංඛ්‍යාව පමනක් පසුගිය වසරේ 600 කට ආසන්නයි කියලා වාර්තාවෙලා තිබුනා!

    ReplyDelete
    Replies
    1. හිතන්න එක වසරකදි ලිංගිකව අපහරණය වූ දරුවන් 600 සමාජගත වෙනවා. ඒ කියන්නේ විකෘති මනසකින් යුත් වෛරී වැඩිහිටියෝ 600 හදන්න අපි වසරකදී අත්තිවාරම් දානවා. කෙසේ වෙයිද මේ රටේ අනාගතය?

      Delete
  11. වෙද අයියා.. බොහොම හැඟීම්බර ලිපියක්.. සත්තකයි .. කඳුළු පුරෝගෙනයි ලියන්නේ.. ඔය කාලෙ මට අවුරුදු 6යි.. මටත් යන්තම් මතකයි.. අපේ පළාතේ සිදු වුණු ඔය වගේ සිදු වීම්.. දෙමළ මිනිස්සු බේර ගන්න උත්සාහ කරපු සිංහලයින්වත් මේ කාලකන්නි මරලා තිබුණා.. මහේන්ද්‍රන් කියලා අංකල් කෙනෙක් අපේ ගෙදර අල්මාරියක් පිටිපස්සේ හැංගිලා හිටියා මතකයි..ඒ අංකල් අපේ අම්මට අයියගේ කතාවේ වගේ වැන්දා මතකයි.. ඒ අංකල්ගෙ මල්ලිගෙ පුතාව(22) චන්ඩි විසින් අමු අමුවෙ මරලා දාලා තිබුණා කියලත් මතකයි.. දැරණියගල ටවුන් එකේ බාලා මුදලාලිගෙ කඩේ ඇතුලු දෙමළ කඩ කීපයකට අයියා කියපු ඉරණම අත්වෙලා තිබුණත් මතකයි.. මේ අධමයින්ට එකතු වුණු මෝඩයින්ට විචාර බුද්ධියක් කියලා දෙයක් තිබුණේම නැද්ද කියලා හිතෙනවා.. දුකාත් දවසක් මෙවැනි සටහනක් ලියලා තිබුණා මතකයි...

    ReplyDelete
    Replies
    1. මේක මලේ නීතියක් හසරක් නැති රටක්. එදා මේ රටේ පාලකයො කළ ඒ වැරැද්ද තාම අපි ඉදිරියට ගෙනියනවා. නිවැරදි කිරීමක් නැහැ. එතනින් එහාට කොහොම සහජීවණය ඇති වෙයිද? බන නෙමේ මේ රටට අවශ්‍ය ප්‍රායෝගික සැලැස්මක්. අපිට තියනවද එහෙම එකක්???
      මුලින් හැදිය යුතු මිනිසුන් එතකොට රට ඉබේ හැදෙයි.

      Delete
  12. ගොඩාක් මිනිස්සුන් කතා කරන දෙයක් තමයි 1971 කැරැල්ල, නිදහස් ආර්ථිකය තමයි ශ්‍රි ලංකා ගමන් මාර්ගයේ ප්‍රධාන හැරවුමි ලක්ෂ්‍යන් වෙචිච කාරණා දෙක කියලා. නමුත් ඔය ඔක්කෝටම වඩා වෙද මහත්තයා ලියලා තියෙන කාරණාව වගේ එදා මෙි රටෙි උනු සිද්ධින් දහස් ගාණකගේ එකතුව තමයි කොටි ත්‍රස්තවාදින් කියන අන්තවාදින් කණ්ඩායමක් පුරා අවුරුදු 30ක කාලයක් තිස්සේ ලංකාවට වින කැටුවෙි. වැඩිය ඔන නැහැ ඔය වගේ සිද්ධින් නිසා තමයි සමහර දමිල හිතවතුන් එලිපිට කොටින්ට උදවි කරන්න ඔින කියන මතයට ආවෙි. ඔය දේ අනාගතයේදි සිංහල අපිට උනොත් අපිත් කරන්නේ එදා දමිල ජනතාව කරපු දේයී.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අපි ඇස් ඇරගෙන හිටියට අපිට පේන්නේ නැහැ. කන ඇහුනට අපිට ඇහෙන්නේ නැහැ. කටේ මොනවද හිරවෙලා මෙහෙම ගියොත් අතර මගම තමා.

      Delete
  13. 1983 ජූලි සිද්ධිය ඊට කලින් 1977-78 විතර ඇතිඋන ඒ හා සමාන සිද්ධියට (සුළු පරිමාණයෙන්) හරි ප්‍රතිකර්මයක් නොයෙදීම නිසා ඇතිවූවක් කියලයි මං හිතන්නේ. ඔය සිද්ධි දෙකම දකින්න ලොකු පවක් කරලා තියෙන්න ඇති. 83 සිද්ධියට සම්බන්ධ හමුදාවේ මියගිය හමුදා නිළධාරියා මම දන්නා හඳුනන කෙනෙක්. එයාගේ අවාසනාවන්ත ගමන යන්න දින කීපයකට කළින් අපි කීපදෙනෙක් 'සෙට්' උනා මතකයි.

    83 සිද්ධියෙන් වැඩි වාසි ගත්තේ සිංහල සහ දෙමල අවස්ථාවදී දේශපාලකයෝ. 83න් පස්සේ දෙමල අය විතරක් නෙවේ සිංහල අයත් රට හැර යන්න ගත්තා පෝලිමේ. කළු ජූලියේ පල විපාක අවුරුදු 30ක් නෙවේ ඉදිරියටත් තව කාලයක් අපිට විඳින්න වේවි රටේ දේශපාලනමය සහ සාමාජීය වගේ චින්තනාත්මක වෙනස්වීමක් සිද්ධ නොවුනොත්.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි මම කියන්නේ පාරවල්, බෝක්කු, පාලම්, නැව්තොටවල් අපිට හැදියැකි. ඒත් මිනිසා හදා ගැනීමයි අසීරු. අන්න ඒක කළ දාට ඔය හැමදේම හැදේවි බොහෝම ලස්සනට. ඕවා හැදුවට වැඩක් තියෙනවද ඒ ගැන ආදරයක් නැති මිනිස්සුන්ට. ඒකනේ දූෂණය වැඩි. හැබැයි ඒ ගැන ආදරයක් ඇත්නම් එතැන දූෂණය නැහැ. එදාට හැම දේම ඉක්මනින් වෙයි. හැබැයි මිනිසා හැදිය යුතුයි. ආකල්ප වෙනසක් කළ යුතුයි. කෝ කෙනෙක් ඒකට......

      Delete
  14. අපි ඉපදිලාවත් හිටියෙ නැහැ.
    ඇත්තටම ජාතිවාදී දෙමල්ලු අතර කොච්චර හොද දෙමල මිනිස්සු මැරෙන්න ඇද්ද..

    ReplyDelete
    Replies
    1. සහතිකවම ඔය සිදිධිය වුනු දිනම කිරිබත්ගොඩදී. ප්‍රසව හා නාරි වෛද්‍ය වරයෙක් මරණ කොට එතුමා කිව්වලු මම ගැහැණියකට ළමයා ලැබෙන්න උදව් කරන කොට එ සිංහලද දෙමළද බැලුවේ නැහැ කියලා.

      Delete
    2. ජාතිවාදී දෙමල්ලු . . . මම නම් හිතන්නේ වැඩිපුරම මැරුනේ අහිංසක මිනිස්සු. තාමත් අපේ හිත් වලින් ජාතිය කියන කෙහෙල්මල අරං දාන්න බැරි හැටි....

      Delete
  15. මාහටද බොහො දමිල මුස්ලිම් සිංහල මිතුරු මිතුරියන් සිටි. තමන්ගේ පටු කුහක මතිමතාන්තර සහ අබිමතයන් ඉටුකර ගැනිමට තවෙකෙක් දඩමිමා කර ගන්නා තාක් රටට සමාජයට සුබ වේයැයි නොසිතමි.
    කෙසේ වෙත් මෙම ලිපිය ඔබේ අනෙකුත් ලිපිවලට වඩා අති සජීවී බවකින් යුක්තය... කෙලින් කිව්වොත් බොක්කටම වැදුනා වෙදමහත්තයො.

    ReplyDelete
    Replies
    1. දැනටත් මටත් බොහෝ දෙමළ සිංහල මුස්ලිම් මිතුරන් සිටිනවා. මට නම් උන් ඔක්කොම මිතුරෝ විතරයි. උන්ගේ ජාතිය නම් මට පේන්නේ නැහැ. මේවා මහ බොරු මනස්ගාත රාජ්.

      Delete
  16. බි..දු ලා, ජ...ර ලා මාර මානුෂික මෙහෙයුමක නේ යෙදිලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. දැංවත් මනුෂ්යත්වය වෙනුවෙන් මිනිස්සු කතා කරනවානම් හොඳයි.

      ආයෙමත් මිනිස්සු තුළ තිරිසන් ගති මතුවෙමින් එන බවක් පෙනේ.ලඟදීම ආගම් වාදී යුද්ධයකුත් සමහරවිට දකින්නට ලැබේවි.'ආගමේ නාමයෙන් මිනිසුන් මරමු ...' පිස්සෝ....

      Delete
  17. පුන්චි දෙයක් ඇති ලොකු පෙරලියකට . මටත් ඔය දවස්වල අත්දැකීම් කීපයක් තියනවා. මගෙ මිතුරෙකුගෙ සම්බන්දයක් තියනව මියගිය සෙබලු 13 දෙනා ගෙන් කෙනෙකු ගැන. පොස්ටුවක් draft කරලා තියෙන්නෙ. ලඟදිම දාන්නම්

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. අන්න හොදයි. මොකද මේ ගැන හැම දෙයක්ම අපි මෙහෙමවත් ලියලා තබමු. කවදා හරි කෙනෙක්ට වැදගත් වෙයි මේ සියල්ල.

      Delete
  18. මගේ හොදම යෙහෙලියත් දමිල කෙනෙක් . අනේ මටනම් කොයි ජාතියේ උනත් කමක්නෑ මානුෂිකනම් .
    …බොහොම සංවේදී ලිපියක් . මේ ගැනනම් බොහෝ විස්තර මාත් අසා තිබෙනවා . මම හිතන්නේ දුකා අය්යත් මේ ගැන ලිපියක් ලියා තිබුන මතකයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හාණී, මිනිස් වග මිසක මොන ජාති කුල වාදද? හැබැයි කාට කියන්නද? අපි තාමත් වනන්තරේ?

      Delete
  19. ඔය වගේ තවත් කලබලයක් ඇති කරවන්න උවමනා පිරිසක් අදත් ඉන්නවනේ. මගෙත් හොඳම මිතුරන් අතර දෙමළ, මුස්ලිම් අය ඉන්නවා. ඒ වගේම දෙමළ මුස්ලිම් අය අතර සිංහලයන්ට කෙලවන්න උවමනා පිරිසකුත් ඉන්නවා. උන්ව උසි ගන්න ගන්න ට්‍රයි කරන සිංහලයෝ ටිකකුත් ඉන්නවා. හැබැයි ඉතින් මේ තත්වෙන් හරි තියෙන්නේ "අනේ අපේ මොකෝ" කියල නිකන් ඉන්න පිරිස නිසා. දිගටම එහෙම හිටියොත් ඉතින් ඒත් සොරි. අපේ අනාගතය බොහෝ විට සාමකාමී එකක් වෙන එකක් නැහැ..

    83 ගැන කිව්වොත් මට අවුරුදු 2යි. ඒ නිසා මොකුත් දකින්න වුනේ නැහැ. ඒත් අපේ ගෙවල් ළඟ ඉන්නවා කිසිම ජීවනෝපායක් නැති ධනවතෙක්. අහල තියෙන විදියට මිනිහා 83 දී මැණික් මුදලාලි කෙනෙක්ගේ ගේ කඩලා.. සල්ලි උවමනා වුනාම එකක් දෙකක් විකුනනවා. ඒ වගේ චාන්ස් හැමෝටම නැති වුනත් ඔය දේශප්‍රේමීන්ගේ හැටි එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මට නම් තේරෙන්නේ නැති කාරණය තමයි අපේ ආගම ජාතිය අනිත් ආගම ජාතියට වඩා හොදයි කියන්නයි. අනිත් ඒවා අපිට වඩා පහත් කියන්නයි. එහෙම නැත්නම් අපේ ආගම ජාතිය අනෙක් ඒවට වඩා පහත් කියනනයි මොන නිර්ණායකද තියන්නේ කියලා. මේ හැමදේම අපිම හදාගත්ත පිස්සු විකාර. මේකට හේතුව විදියට මම දකින්නේ නූගත්කම. මිනිස්සු දැණුවත් වෙනව නම් මේ සමාජය මීට වඩා වෙනස් වෙනවා.
      ඒකයි මම කියන්නේ මට නම් මොනතරම් පාලම් බෝක්කු හැදුවත් වැඩක් නැහැ. මේ රටේ අවුරුද්දකට උසස්පෙළ පාස් කරන 80 දාහෙන් අඩු ගනනේ 50දාහකටවත් උසස් අධ්‍යාපනය ලබා ගන්න හැකියාවක් ලැබෙනව නම්. ඒකෙනුත් වැඩක් නැහැ සාධනීය දේ දරුවන්ට උගන්වන්නට බැරි නම්...

      Delete
  20. ඒ සිද්දි ඇසුරෙන් නොහැදෙන රටක් මේක..

    ස්තුති අපි නොදන්න කතාවක් ලිව්වාට.

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මුලින්ම අද මට නැවත පරණ ලෙඩේ හැදිල ඔබේ බ්ලොගයට යන්න බැහැ. ඒක හදනවා. හෙට දෙන්නම් කමෙන්ටුවත්. ඒ අතර ඩයිනමික් එකත් නැවැත්තුව හුදීජන පහන් සංවේගය සදහා.

      ඔබ ඒ තරම් අඩු වයස්ද? අදහස් නම් හරි මෝරලා. හොදා හොදා ඔබ කියන්නේ ඇත්ත. අපිට තරම් හැදෙන්න අවශ්‍ය අත්දැකීම් නැතුව ඇති කිසිම රටකට කෝ ඒත්...

      Delete
  21. යාපනය පුස්ථකාලයට ගිනිතැබූ බව ආරංචිය ලැබුණු ගමන් අප ඒ අසලට පයින්ම දිවගියා. ඒ වනවිට එහි වූයේ ගිනි ජාලාවක්. අප පරේ එක් කෙරවලකට වී ගිනිගෙන දැවෙන පුස්ථකාලය දෙස බලමින් ඉකිගසමින් හඬන විටදී, ශ්‍රී ලංකා හමුදාව සහ සිංහල මැර හමුදාව අනෙක් පස සිට අහසට වෙඩි තබමින් ප්‍රීති ඝෝෂා නගමින් බයිලා සිංදු කියමින් සිටියා. එදා තමයි අපි යාපනයේ තරුණයෝ විදිහට ආයුධය ගැන විශ්වාසය තැබූ බලමු දිනය. ඔවුන්ගේ බලය වී තිබුණේ ගිනි අවියය. - උපුටා ගැනීම නිලාර් එන්. කාසීම් විසින් රචිත ජෙයපාලන් චරිතාපදානය

    ReplyDelete
    Replies
    1. පරාදීසයකට කළ හානියක්...............

      කැඩුනු ගොඩනැගිල්ල නම් හැදියැකි. පොත් පතුත් ගත්තැහැකි ඒත් බිඳුණු සිත්...... ඇයි මේවා තේරෙන් නැත්තේ...... මුලින්ම අපි ඒ මිනිස්සුන්ට සුහදත්වයේ දෑත දිගු කරමු.

      Delete
  22. මේ සිද්දිය වෙද්දී මම ඉපදිලා නැහැ. මේ කථාව සජීවී බවක් තිබුනා මොකද ඔබ තුමා ඇසට දැකපු දෙයක් නිසා. උඩ තියෙන කමෙන්ට් වල තියෙන වගේ මේ ප්‍රශ්නය ඇති කරන්න දේශපාලකයෝ වැඩි බල පෑමක් කළා. ඊට පස්සේ ලංකාවේ සිදු වුන මිලේච්ච සිද්දි වලදී සිංහල මිනිස්සු උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බැලුව. මත තියෙන්නේ 83 කළු ජුලිය ගැන එහෙම මතයක්.

    දැන් ටෙම්ප් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ මේ රටට වුනු විපත්තිය මට දැනුනු හැටි ගැන ඉදිරියේදී හැකි විදියට ලියන්න හිතන් ඉන්නේ... සුදු වෑන්...

      Delete
  23. ලොකු දෙයක්. මටත් අර ඩයිනැමික් එක එපා වෙල තිබ්බෙ. පෝස්ට් එක කියවලා හිත අතීතයට ගියා. කමෙන්ට් වලින් ඊටත් එහා ගියා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. වර්ථමානයේ සියලු දුක්ඛ දෝමනස්සයන්ට හේතුව අතීතය නම්, අතීතයේ වැරදි නිවැරදි කිරීම මිනිසාගේ යුතුකමයි. එසේ නැතුව ඒ වරදම සම්ප්‍රධාය කර ගන්නව නම්..... එහෙව් රට .......

      Delete
    2. වෙදනා, මම මෙන්න මේකත් කියෙව්වා මේ දැන්. ඒකත් හොඳට සමබරව ඔය වගෙම අත්දැකීම් ගැන ලියලා තියෙන එකක් හැටියට මම දකිනවා. මෙන්න මෙතන.
      Pinchpoints

      henryblogwalker the Dude

      Delete
  24. කලු ජූලිය සමයේ දෙමළ මනුස්සයෙක් නිරුවත් කරලා වටේ ඉන්න අය කරන හිරිහැර තියෙන ෆොටෝ එකක් වික්ටර් අයිවන්ගේ කඳුළු සළන පාරාදීසය පොතෙන් දැක්කා.... ඒ ගැන සජීවී අත්දැකීමක් මම හොඳ හැටි කියෙව්වාමයි

    ReplyDelete
    Replies
    1. මගේ නිවස අසල සිදු වූ ඉහත මා විසින් කියන ලද සිද්ධීන් නිසා මම නොදැක්කත්, ඒ වගේම සිදුවීම් මම ඉතා විශ්වාසවන්තව අසා තිබෙනවා, විතරක් නෙමෙයි පසුව ඒ ස්ථානයට ගොසින් එය තහවුරු කරගෙනත් තිබෙනවා. වික්ටර් අයිවන් මගේත් මිත්‍රයෙක් එතුමා කිසිදා බොරු කියන්නේ නැහැ. ඒ සියල්ල ඇත්ත.

      Delete
  25. වෙද මහත්තයෝ මගේ පිට රට ඉන්න යාලුවෙක් ලංකාවට පදිංචියට එන්න බලන් ඉන්නවා උන්ද මට කියනවා " මේ කාලෙ ලංකාවට එන්න ටිකක් අමාරුයි බඩු මිල ටිකක් අඩුවෙලා රටේ ආර්ථිකය ටිකක් යහපත් වෙලා මිනීමැරුම් මංකොල්ල පොඩ්ඩක් පාලනය උනාම එනවලු" මම උන්දට කිව්වා එහෙනම් තව හත්මුතු පරම්පරාවකට උඹට ලංකාවට එන්න වෙන එකක් නැහැ කියල.මේක හැදෙන රටක් නෙමෙයි.එන්න එන්න වල පල්ලට යන රටක්.ජාතිවාදී යුද්දේ ඉවර වෙලා මේ තියෙන්නේ පොඩි ඉනටවල් එකක් ඊළඟට ආගමික යුද්දයක් පටන් ගන්න නියමිතයි මේ යන විදිහට. එතකන් බඩු මිලත් එක්ක ඔට්ටු වෙවී සුදු වැන් එක්ක හැංගි මුත්තන් කර කර කුමාරවරුන්ගේ රගර්, කාර් සෙල්ලම් බල බල අපි එන්ජෝයි කරමු.

    ReplyDelete
    Replies
    1. උතුරන තෙක් දිය සැලියේ නේද? අනේ මන්ද අර කතාවක් තියනවනේ කෙලමෝලෙන් අනින්න ඕනෙ කියලා. අන්න ඒ ජාතියේ ජහමනයා නිසා අපිට මේවා බල බලා චූන් එකේ සිටියැකි.

      Delete
  26. මුලින්ම කියන්ට ඕනි ගේ ලස්සන වෙලා.:)

    ලිපිය හරිම සංවේදීයි. මිනිස්සුන්ට, කැලෑ සත්තු තරම්ම වෙනස් වෙන්ට පුලුවන් කියලා හිතන කොට දැනෙන්නේ හරිම දුකක්. මේ කාලේ උනු අනික් කතා ටිකත් පුලුවන් නම් ලියන්ට.

    ReplyDelete
    Replies
    1. බලමු. ඉදිරියට මගේ සියලුම අත්දැකීම එලියට දමනවා.

      Delete
  27. කළු ජූලිය ගැන මතකයක් නැති උණත්, 88-89 කාලයේ භීෂණය ගැන යම් අත්දැකීම් මට ලැබිල තියෙනවා... කළු ජූලිය එක් සන්ධිස්ථානයක් උණත් '' හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ'' පොත කියවද්දි දැන ගන්න ලැබුණු දෙයක් තමයි 56 දි අනුරාධපුරයෙන් එහාත් මේ වගේ දරුණු සිදුවීම් වෙලා තියෙනවා..

    අදත් රටේ සැලකිය යුතු බලයක් මැරයන්, දාමරිකයන් අතට ගිහින් තියෙන්නේ... පහුගිය කාලයේ සිදු වුණු දේවල් ඒකට හොඳටම සාක්ෂි.. ළමුන්ට එරෙහි හිංසන පිටු දැකීම සම්බන්ධව ළමුන් සමග පා ගමනක් සහ මේ දුෂ්ට උගුල්වල නොවැටී ඉන්න ළමුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපි සකසමින් ඉන්නවා... මහා පරිමාණ වැඩක් නෙවෙයි උණත් සුළු පිරිසක් හරි දැනුවත් කරන්න හැකි වේවි... ඉදිරියේදී ඒ ගැන දැනුවත් කරන්නම් මගේ බ්ලොග් එක හරහා...

    ReplyDelete
    Replies
    1. නියමඉ මම එනවා. අන්න වැඩ! එහෙම තමඉ කරන්න ඔන. මට කියන්න මම එනව.

      Delete
  28. ගොඩක්ම සංවේදී ලිපියක්. මරණ බිය කියන්නේ මොකක්ද කියලා මේ ලඟදී අත්දැක්කා.... හැම කෙනාටම තම තම්න්ගේ ජීවිතේ වටිනවා ඒක හුඟ දෙනෙකුට දැනෙන්නේ නෑ අවාසනාවකට ... හොඳ දේකට මුල පුරන්න ලෝකයම ඔබ සමඟ හිදීවී...

    ReplyDelete
  29. කළු ජුලිය ගැනනම් මට මතකයක් නෑ. මොකද ඒ වෙද්දී මම ඉපදිලා නෑ. ඒත් 1988 1989 භීෂණය ගැන නම් උපරිම මතක ගොඩක් තියනවා. අද ලංකාවට ඕනේ මිනිස්සු නලවන පාලකයෙක් නෙවෙයි. මිනිස්සු හික්මවන තද පාලකයෙක්. ඒ දේ වෙනකං ලංකාව පිස්සු කෙලීවී.

    ReplyDelete
  30. 83 කලු ජූලිය වෙලාවෙ සිරා අතදරැවෙක්, සෙම අමාරැව වැඩි වෙලා ගිණි ජාලාව මැද්දෙන් දෙමාපියෝ රිජ්වේ රෝහලට දුවපු හැටි මගේ බ්ලොගියෙ පළමු පෝස්ටුව විදියට දාලා තියෙනවා... මේ කලු ජූලිය අස්සෙ දිවි බේරාගන්න පිට රට ගිය දෙමළ අය බහුතරයක් තවමත් ලංකාවට ඇවිත් නෑ.. ඔවුන් තවමත් හිතන්නෙ 83 දෙමළ අයට සළකපු විදියට තවමත් සිංහල මිනිස්සු ඔවුන්ට සළකන්නෙ කියලා... මෙන්න මේ අදහස වෙනස් වූ දවසකට දෙමළ ඩයස්පෝරාවටත් දෙවියන්ගේම පිහිටයි....

    ReplyDelete
  31. 83 කලු ජූලිය වෙනකොට සිරා අත දරැවෙක්, ජූලිය අස්සෙ සෙම අමාරැව උත්සන්න වෙච්ච මේ ළදරැවට බෙහෙත් ගන්න ළමා රෝහලට දෙමාපියන් දුවපු හැටි මගේ බ්ලොගියෙ පළමු පෝස්ටුව විදියට ලියලා තියෙනවා... දෙමාපියන්ගෙන් අසා දැනගත් විදියට අපේ පැත්තෙ හිටපු දෙමළ දොස්තර කෙනෙකුත් මේ බොරැ ජාත්‍යාල මී හරක් ටික ගහලා මරලා දාලා... අන්තිම මොහොතෙත් ඒ දොස්තර තුමා කිව්වලු මේ අත්දෙකින් මම සිංහල මිනිස්සු ගොඩාක් බේරාගෙන තියෙනවා කියලා... හැගීම් නිසා මොළය වැහිලා තිබ්බ මේ කාලකණ්නි ඒ උතුම් මිනිසා අවසානයේ පරලොව යවලා....

    ReplyDelete
  32. මහ වෙදනා අයියාගේ මේ ලිපිය කියවනකොට මාවත් ඒ දවසේ මතකයන් අතරට ඇදිලා ගියේ ඉබේටම. මම එතකොට හිටියේ තුනේ පන්තියේ. ඔබ තුමා වගේම වාර විභාගෙට ලිය ලියා. නුගේගොඩ ඈත අහසෙන් දුම් රොටු උඩට නැගෙන හැටියි ටිකක් ඈතට වෙන්නෙ තියෙන පාරෙ මිනිස්සු එහේ මෙහෙ දුවන හැටියි අදත් මට මතක් වෙනවා.

    අතර මගදි විභාගේ නවත්තලා කොල්ලෝ ටික ඔක්කොම පිට්ටනියට ආව මතකයි. ඊට පස්සෙ දැක්කෙ ගේට්ටුව ගාව තමන්ගේ ළමයව අරගෙන යන්න පොර කන අම්මලවයි. අපේ අම්මා මාව අරගෙන යන්න ඇවිත් හිටියේ ගෙදරට ඇඳගෙන හිටපු ගවුම පිටින්මයි. ඒ එනකොට නුගේගොඩ නවරස එක ගාව ඉඳල හැමදාම අපේ කැඩිච්ච සපත්තු හදලා දුන්නු මනූසා වැඳ වැඳ ජීවිතය ඉල්ලද්දිත් මැරයෝ පොළුවලින් ගගහා මරනවලු. නවරස එක ලඟ තිබිච්ච දෙමළ කඩ පේලියත් බෝ ගහ ලඟ නවල්ටි එලෙක්ට්‍රිකල් කඩේ ලඟ තිබිච්ච තෝසේ කඩෙත් ගිණි ජාලා වලට මැදි වෙලා තියෙනවා දැක්කේ අම්මත් එක්ක හරි හරියට ගෙදර දුවනකොට.

    කොහොම හරි නුගේගොඩ ඉඳලා යන වෑන් එකක එල්ලෙන්න අපිට පුළුවන් උනා. කොහුවල කනත්ත ඉස්සරහ තිබිච්ච දෙමළ මුඩුක්කුවේ පොඩි කුකුළු කූඩු වගේ ගෙවල් ඔක්කොම බිමට සමතලා කරලා. අපේ ගේ පිටිපස්ස පාරට වෙන්න තිබිච්ච ලොකු බිස්නස් කාරයෙක්ගේ තට්ටු තුනේ ගෙදර උඩ තට්ටුවේ ඉඳන් ටී.වී කැසට් රෙකෝර්ඩර් මහ පාරට විසි කරලා ගේ ගිණි තියලා තියෙනවා බලන්න මමත් ගියා මල්ලිලත් එක්ක.

    ටික දවසකට පස්සෙ කොටුවේ ස්ටේෂන් එකට ආවෙ විතාරන්දෙනියේ අපේ මාමලාගේ ගෙදර යන්න කියලා හිතාගෙන. ස්ටේෂන් එකේ හිටපු දෙමළ මනුස්සයෙක්ව අල්ලගෙන ගහලා රේල් පාරට දාල ගිනි තියලා තියෙනවා මගේ ඇස් දෙකටම දැක්කා. කාලකන්නිම දේ තමයි සමහර මිනිස්සු බල බල හිටපු පත්තර අරගෙන ඇවිත් අර පිච්චෙන මිනිහගේ ගින්න තවත් ඇවිලෙන්නඒක උඩට දාපු එක.

    ඇත්තටම හැත්තෑව දශකයේ ඉපදිච්ච අපේ පරපුරට තමයි මේ පාපයේ වන්දිය ගෙවන්න උනේ....

    ReplyDelete
  33. මේ පෝස්ට් එක මගෙන් මගහැරුනා. බොහොම සංවේදී කතාවක්...

    අපේ පැත්තෙ එක ලැයින් කාමරයක් ගිණි තිබ්බෙ නෑ. එක දෙමළෙක් මැරුවෙ නෑ. 58 දිත් 83 දිත් අපේ තාත්තලා ඒ මිනිස්සුන්ට ආරක්ෂාව දුන්නා.
    දැන් මේ වතුවල ඉන්න දෙමල කොල්ලො කෙල්ලො සිංහල කොල්ලො කෙල්ලො එක්ක එකට සමාජ වැඩ කරනවා. උන්ගෙ හැම උත්සවයකදීම ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි එසවීම අනිවාර්යයෙන්ම කරනවා. පොසොන් එකට දන්සැලකුත් දෙනවා. එදා උන්ට කිසියම් හිරිහැරයක් වුනානම් අද එහෙම වෙයිද..?

    ReplyDelete
  34. 83 සහ 89 ...ආයෙත් නං එපා...
    වෙන මොනව කියන්නද ..
    (කොමෙන්ට් නොකර යන එක ගැනත්, කෙටි කොමෙන්ට් දාන එකටත් සමාවෙන්න)

    ReplyDelete
  35. හැම දේම සිදු උනේ අවස්තාවාදී දේශපාලකයන්ට ඕන විදියට. මටත් තියෙනව කියන්න හොඳ අත්දැකීම්. ඒත් තුවාල වේලෙන්න අරිනවා මිසක් පාරන්නෙ මොනවටද ? මේ කිසි දේකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සු ඒවට වන්දි ගෙව්ව. දැන්වත් කරන්න තියෙන්න අපි එකිනෙකාගෙ භාෂාවන් ඉගෙන ගන්න ඕන. ලංකාවෙ තියෙන්නෙ ප්‍රධාන භාෂා දෙකයි. එමගින් දෙපිරිස අතර අසමානතාවය අඩු වෙනව.
    මේව ඉතින් මෙහෙමවත් ලියල සැනසීමක් ලබමු. වෙදනාට ස්තූතියි අමිහිරි උනත්.

    ReplyDelete
  36. ළමා හිංසනය පිටුදැකීමේ ළමා පා ගමන

    ඉතින් විවිධාකාරයෙන් දරුවන්ගේ ජීවිතවලට බලපාන අපරාධයන්ට ‍එරෙහිව සමාජය අවදි කරන ළමා පා ගමනක් ශ්රීධ ලංකා ජාතික ක්රිවස්තියානි මණ්ඩලය සහ ශ්රීර ලංකා ළමා ක්රිායාකාරී වීරයෝ ( ළ.ක්රි .වී. ) ව්යාලපාරය එක්ව සංවිධානය කරනවා....

    දිනය :- 2012 ජූලි මස 21 වනදා
    වේලාව :- පෙ.ව. 8.00
    ස්ථානය :- කොළඹ ගුණසිංහපුර බස් නැවතුම ඉදිරිපිට ක්රී ඩා පිටියේ සිට ටෙක්නිකල් හන්දිය, මරදාන, පුංචි බෙරැල්ල හරහා ශාන්ත ලූක් දේවස්ථානයට ( බොරැල්ල, කොළඹ 08 - ඇක්වයිනාස් ඉදිරිපිට )

    ඉතින් මේ පණිවිඩය දන්නා හඳුනන අය අතරේ බෙදා හරින්න කියල ආදරයෙන් ඉල්ලනවා.. හැකි අය දරුවන් එක්ක පා ගමනට එක්වෙන්න. ( tharurasi.blogspot.com)

    ReplyDelete
  37. හරිම සංවේදියි :(
    අපි මේ කාලේ හිටියේ නෑ.මට දැනෙන විදිහට අපේ රට මේ යන පාර එච්චර හරි නෑ.මේ විදිහට දිගටම ගියොත් ආයේ මේ වගේ කාලයක් එන එක නවත්වන්න බැරි වේවි.
    ඒ වගේ මූසල දේවල් නොවෙන්න මේවා හැමෝම දැනගන්න ඕනි.
    බොහොම ස්තුතියි මේ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  38. පරණ අත්දැකීම කියවන විටනම් ලොකු දුකක් දැනුනා .. ජාතිය මොකක් උනත් ඔක්කොම මිනිස්සුනේ ..

    //මට හිතෙන්නේ මේ රට කුරිරු යුද්ධයෙන් ගලවාගෙන අපි යන්නේ හසරක් නැතුව ප්‍රපාතයට.//

    මේ කතාවෙනම් ලොකු ඇත්තක් තියෙනවා...

    ReplyDelete
  39. මේ වගේ දේවල් බෙදාහදා ගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. 83 ගැන එක එක කතා කිව්වට ඇත්තටම වුණේ මොනවද කියලා අපි දැනගන්නෙ මේ වගේ ලිපි වලින් තමයි.

    ReplyDelete
  40. ඔබට ස්තූතියි මෙය ලිව්වාට. ඔබේ මේ අත්දැකීම් තවත් ලිවිය හැකිනම් ඉතා අගෙයි; ඒවා නොදත් පරපුරක දැනුවත්භාවය පිණිස. එය ඔබට කළහැකි ලොකු මෙහෙවරක්.මේ පාඩම් ඉගෙන නොගත් පුහු වීරයන් අදත් ඉන්නවා; හෙටත් ඉඳීවි. නමුත් බහුතරයක් දැනුවත්නම්, අනාගතයේදී මෙවන් දේ සිදුවීම වළකන්නට හැකිවේවි.

    ReplyDelete
  41. 1983 ජූලි කලබල කාලයේ මම හිටියේ පුහුණු පාඨමාලාවකයි. ඒ ප්‍රදේශයේ සිදුවූ දේවල් ඇසුවා මිසක් දැක්කේ නැහැ. නමුත් ඉතා සුක්ෂම ලෙස සිංහල ජනතාවගේ හැඟීම් අවුස්සා, එමගින් දේශපාලන වාසි ගන්නට දෙපක්ෂයකට හැකිවුනා. ඒ යතාර්ථය තේරුම්ගත් නිසයි, ඊට පසු එල් ටී ටී ඊය විසින් කළ මහා මිනිස් ඝාතන වලදීත් සිංහල මිනිස්සු බුද්ධිමත්ව ක්‍රියා කලේ. හමුදා සෙබළුන් ඝාතනයක් ඊට පෙර සිදුවී නොතිබීම තමයි සිංහල ජනතාවගේ හැඟීම් ඇවිස්සුවේ. මෙහි සැඟවුණු කතා රාශියක් තියනවා. ඒවා තුවාල පෑරීමක්‌ නිසා නිහඬවනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  42. මේ වගේ හැම පෝස්ට් එකකටම දාන කමෙන්ට් එක මම මෙතනටත් දානවා. ඒ තමයි "මම නම් කොයි මනුස්සයත් එක්කත් සහයෝගයෙන් වැඩ" කියන එක. පෝස්ට් එක දැම්ම එක නම් හොඳයි.

    ReplyDelete
  43. අහම්බෙන් වගේ ආවත් හරිම වැදගත් තැනකට ඇවිත් තියෙන්නේ.ආයි හැමදාම එනවා

    ReplyDelete