Monday, September 5, 2011

වත්තල පුරාණය.

අවබෝධ කර ගැනීම ඉතාම අපහසු මාතෘකාවක් ගැන එක දිගටම ලිපි දෙකක් ලියූ නිසා මම කල්පනා කලා තවත් සරල ලිපියක් ලියන්න.

ඊලඟට අපේ සුපුරුදු මාතෘකාව නැවත එනවා ……………………………………...

මම මේ ලිපිය ගැන සිතා සිටියේ බ්ලොග් කරණයට පැමිණීමටත් ඈතක සිටයි. එනම් මා වයස අවුරුදු 05 පමන සිට තුරුණු විය දක්වාම ජීවත් වූ ප්‍රදේශය වත්තල වීම නිසාත්, මගේ ජීවිතයේ සුන්දර මතකයන් බොහෝමයක් බැඳී ඇත්තේ වත්තලත් සමඟ. ඒ නිසා මේ මගේ ගම නොවූවත් මා පෝෂණය කල පෙදෙස වූ බැවින් මවිසින් ප්‍රදේශය වෙනුවෙනුත් යමක් කල යුතුයි.

මගේ මේ ලිපිය එම හැගීම නිසා ලියවෙන්නක්.........

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ 5 වැනි සහ හය වැනි සැතපුම් කණු ආශ්‍රිතව වත්තල ග්‍රාමය පිහිටා ඇත. වනවාසල, තෙලඟපාත, හුණුපිටිය, මාබෝලේ, වැනි අනුග්‍රාමයන් වලින් වටවී ඇති වත්තල අද වන විට ඉතා ජනාකීර්ණ නගරයකි. බහුතරය ක්‍රිස්තු භක්තිකයන් ජීවත්වන ප්‍රදේශයකි. මගේ පැටි විය සහ තුරුණු විය ගෙවුනේ මේ නගරයේ ඇති ප්‍රධානම දෙවස්ථානය වන ශාන්ත ආනා දෙව් මැදුර ආශ්‍රිතවය. මෙය මේ නගරයේ ඇති ප්‍රධානම පූජණීය ස්ථානයකි.

වත්තල නගරයට බටහිරින් මුහුදට සමාන්තරව අතිඅලංකාර කල්‍යාණී නදිය ගලාගොස් සේදවත්ත මෝය හරහා සාගරය හා එක් වෙයි. මෙතැන් සිට රටේ ඉහලට හෙවත් උතුර බලා ආදි කාලීන හැමිල්ටන් ඇල ගලා බසී. මේවා වත්තල බටහිර සීමාව ලකුනු කරයි. අති සුන්දර මුහුදු වෙරල මගේ ජීවිතය සා සමීපව බැදී ඇත.මේ වෙරළට මා ගිය අවසාන දිනය අද මෙන් මට මතකය. ඒ ඉතාම ශෝචනීය ලෙස අපේ කන්ඩායමේ සිටි දක්ෂ සගයෙක් වූ වසන්ත නම් මිතුරා මුහුදට බිලි වීමයි. එතැන් සිට අද වන තෙක් මම මේ වෙරල සීමාවට ගොස් නැත. ඔහු රජ්ජුරුවන්ගේ පාසලේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධියට තේරී සිටියෙකි.

වත්තල ග්‍රාම නාමය සම්භවය පිළිබඳ විවිධ මත ඇතත් මෙහිදී ඒවායි වඩා බහුලව භාවිතාවන මතයන් ගැන කථා කරමු.

1. වත්තල නාමය වත්හල යන වචනයෙන් බිදී ආවාක් සේ බහුලව පිලිගැනෙයි. මෙහි
වත් = වස්ත්‍ර යන අරුතින්ද,
හල = ශාලාව යන අරුතින්ද ගැනිනැයි කියති.
අදද වත්තල යනු පේශ කර්මාන්තයට බොහෝ ප්‍රසිද්ධ නගරයකි. අතීතයේ මෙහි විශාල ඇදුම් කම්හලක් පිහිටා තිබී ඒ අරුතින් වත්හල යන්නද, පසුව "හ" ලොප් වී, "ත" ආදේශ වීමෙන් වත්තල නිපැයිනියිද එක් මතයකි.

2. කේ. ජයතිලක ශූරීන්ගේ අර්ථ දැක්වීම අනුව වස්තු ශාලාව යන්නෙන් බිඳී ආවක් ලෙස සලකයි. මේ අයුරින් තිසර සංදේශය නමැති ග්‍රන්ථයේ සඳහන් වී ඇති බව එතුමාගේ අදහසයි. එම මතයට අනුව,
වස්තු ශාලාව - වත් + හල = වත්හල = වත්තල වී ඇත.

වත්තල ඉතිහාසය සහ සංදේශකාව්‍යය.
වත්තල ඉතිහාසය ගැන මුල්ම සටහන එන්නේ කැලණි තිස් රජ සමයේයි. එම යුගයේ සිදු වූ මහ රහතන් වහන්සේ නමක තෙල් කටාරමේ දමා මැරවීමේ සිද්ධිය ඔබ හැම දන්නවා යැයි මම සිතමි. එම තෙල් කටාරම පිහිටියේ වත්තල තෙලඟපාත නම් ප්‍රදේශයේය. මෙ ප්‍රදේශයේ ඇති සුප්‍රසිද්ධ විහාරස්තානය පිහිටි බිමේලු මෙම ක්‍රියාව සිදු වූයේ. ඒ කෙසේ වෙතත් එම යුගයේ සිදු වූ යම් ගංගාව සම්බන්ධ සිදු වීමක් නම් සිදු වී ඇති බව අප කුඩා වුන් සමයේ මේ ප්‍රදේශයේ තිබූ භූ විෂමතා ලක්ෂන අනුව පැහැදිලිව පෙනුනි. නමුත් අද මේ කිසිවක් හඳුනාගත නොහැකි ලෙස වෙනස් වී ඇත.

නවලෝක ග්‍රාමය ඇති ඔලියාමුල්ල නම් ස්ථානය ඔබ දන්නවා යැයි සිතමි. මෙය ඇත්තේ කොළඹ සිට ජඇල පැත්තට යාමේදී වත්තල හංදියට පෙර හමුවන බස් රථ නැවතුමේදීය. ( ගැමුණු පැලැස් නැවතුමට කලින් නැවතුම.) මේ ස්තානයේ නම අලි ආ මුල්ලයි. ඉතා පෙර යුගයේ පැරන්ණන් ඒ නමින්ලු හැදින් වූයේ. අප ඉහත කථා කල කැලණි තිස් යුගයේදී කල්‍යාණී නදිය ගලා ගියේමේ ඔලියාමුල්ල හරහාලු. අලි ආ මුල්ල වූයේ මේ ගංගා ගැලීම වන විට ගසා ගෙන ආ අලින් මේම ප්‍රදේශයේදී මිනිසුන් විසින් අල්ලා ගැනීමලු. ඒ සමයේ සිදු වූ මහා ජල ගැලීමක් නිසා එම මාර්ගය නැවත වෙනස් වී ගංගාව වෙනත් මගක යන්නට පටන් ගත්තාලු. මම දැක ඇති පිලිවෙලටත් එය යම් තරමකට විශ්වාස කල හැකි සාධක තිබුනා මට මතකය. නමුත් අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය. කිසිවක් හදුනාගත නොහැකි අයුරින් වෙනස් වී ඇත.

1. හංස සංදේශයේ 183 වන පද්‍ය ලෙස ගැනෙන දසපද සැහැල්ල, එකල වත්තල විහාරයක් තිබූ බවත් එය වනවාස විහාරයක් වූ බවත් දැක්වේ.
"වත්තල වෙහෙර වැඩැ වැඩැ උන් වනවාසයෙහි" ලෙස එම දසපද සැහැල්ල ඇරබේ.

2. තිසර සංදේශයට අනුව එකලද වත්තල ඉතා ජනාකීර්න වෙනත් ප්‍රදේශ වලින් පැමිණි ජනයා වසන ප්‍රදේශයක් බවත්, සුන්දර කාන්තාවන් වෙසෙන පෙදෙසක් බවත් විස්තර කරයි.

නෙතු නිල් උපුල් ගහනත කුසුම වත්තල
වරඟන වොරැඳි සරහන නළල වත්තල
නන්දෙසි නො සළ සත හට සෙතට වත්තල
බල සහතොසින් සව් පිරිනු'දුල වත්තල (100 කව තිසර සංදේශය )

3. මයුර සංදේශයට අනුව,
වත්තල විශාල බල කොටුවක් බැඳ එය ප්‍රදේශයේ ආරක්ෂාවටත් මුතුරාජ වෙල අස්වැද්දීම භාරවත් කටයුතු කල බව දඹදෙනිය රාජධානිය ගැන ඇති වංශ කථාවල දැක් වේ. ගම්පොළ යුගයේ රචිත මයුර සංදේශය මේ ගැන සඳහන් කරයි.
අත්තල උදුල අවි රුපු කැල සසල
ගන්නිල අනල කර විකුමන් පෑ අතුල
වත්තල මෙබල වෙත සලසා ජය මඟුල
සෙත්බල සියල සිරිදුන මැනවි සුවිපුල

ඔබ වත්තල ප්‍රදේශය ගැන යම් තරමක හෝ දැනීමක් ඇත්තෙක් නම් අසා ඇති බලගල නම් ප්‍රදේශයක්. මෙය ඇත්තේ ඇලකන්ද පාරේ ගොස් හැරී යන තරමක කඳු ගැටයකයි. අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. මෙලෙස බලගල යනුවෙන් හදුන්වන්නේ ඒ කාලයේ මේ ප්‍රදේශයේ බලධාරියා විසූ පෙදෙස වීම නිසායි. ඉහත කවේ සඳහන් බලකොටුව පිහිටා ඇත්තේ මෙහිය.

මෙම බලකොටුව තනවා ඇත්තේ සිව් වැනි විජයබාහු රජතුමා සිය පියාණන්ගේ ආරක්ෂාව සඳහායි. (පණ්ඩිත පරාක්‍රමබාහු ) මෙම බලකොටුවේ වැදගත්කම පෙනෙන්නේ මෙහි නවතා ඇත්තේ තිලෝක මල්ල නම් විජයබාහු රජුගේ සහෝදරයා වීම නිසායි.

4. කෝට්ටේ රාජධානි යුගය වන විට වත්තල වෙළදාම අතින් දියුණු තත්වයක විය. හංස සංදේශයේ එන මේ කවෙන් ඒ බව පැහැදිලි වේ.

සුරඹ කෙළෙන සුර ගඟ තුල් තරඟයෙනි
කළඹ නැඟී යන සිදුවිදුදරන් මෙනි
කොළඹ විසල් වත්තල් පුත්තූරුවෙනි
නරඹ යනෙන වෙළඳුන් ඔරු පාරුවෙනි (79 කව හංස සංදේශය )

වත්තල ප්‍රදේශයේදී ඔරු පාරු වලින් යන එන වෙළඳ ජනයා නරඹන ලෙස හංසයාට කියා ඇත.

5. සවැනි පැරකුම්භාවන් සමයෙහි රචිත කෝකිල සංදේශයේහිද වත්තල පිළිබඳ සඳහන් වෙයි.
වත්තල කුසුම තුඟු නැහැ වොරැඳි හැම සඳ
වත්තල පලනිමල පියයුරු බරිනි නද
වත්තල නළල සුදිලිය ලිය රැඳි නොමඳ
වත්තල සොඳුරු සිරි දැක යන් මඳක් ඉඳ
කොවුලාට වත්තල ප්‍රදේශයේදී එහි වූ ඉතා රූමත් කාන්තාවන් බලා යන ලෙස කියයි.

බෞද්ධ සංස්කෘතික තොරතුරු. වත්තල වනවාසී විහාරය.
මෙම විහාරය මා දහම් පාසැල් අධ්‍යාපනය ලද තැනයි. ඒ ගැන මගේ සිතේ සියුම් සතුටක් ඇත.
අප ඉහත කිව් හංස සංදේශයේදීම වත්තල වනවාසී වෙහෙරක් ඇති බව පවසයි. එවකට එහි විහාරාධිපති වූයේ පූජ්‍ය නාගසේන හිමියන්ය. එතුමාගේ ශිෂ්‍ය වනරතන හිමියන් ඉන්පසු නායකත්වයට පත් වී ඇත. මෙම වනරතන හිමියන් කෑරගල පද්මාවතී පිරිවෙනෙහි අධිපතීත්වයද දරා ඇත. හංස සංදේශයේ එන මේ පදය නාගසේන හිමියන් ගැන රචිතය.

වත්තල වෙහෙර වැඩැ වැඩැ උන් වනවාසයෙහි
නාගසේන මහතෙර්ඳුන්ට මුනුබුරු
බෝගණිසරු ඇළසෙන්ගමු හුනන්නරු

පූජාවලියට අනුව තෙවැනි විජයබාහු රජු තම නමින් විහාරයක් කරවූ බව සඳහන් වේ. දඹදෙණියේ රජ වූ තෙවැනි විජයබාහු රජුගේ කාලය ක්‍රි. ව. 1232 1236
වන අතර එම කාලයේදී වත්තල විජයබාහු විහාරය ඉදිවන්නට ඇත. මෙයත් වනවාසී විහාරයත් එකක්ම බව විශ්වාස කරයි.

වත්තල යටත් විජිත යුගය.
පෘතුගීසි - සිංහල සටන්.
සිව් වැනි විජයබාහු සමයේ ඉදිකල බලකොටුවේ සහ වත්තල තොටුපලේ වැදගත්කම ඉහල ගියේ මේ යටත් විජිත සමයේය. විශේෂයෙන් පෘතුගීසි සමයේය. මිනුත් මායාදුන්නේ සහ සීතාවක රාජසිංහයන් කල අති විශෙෂ සටන් වලදී වත්තල ප්‍රදේශය එක සටන් බිමක් විය.
සිංහලයාගේ වත්තල අයිති කරගත් පෘතුගීසීන් මැඬීමට මායාදුන්නේ රජු 6000 හේවා බල ඇණියක් ගෙන සටන් වැදුනත්, විශාල පෘතුගීසි හමුදාවක් රැගෙන ආ දියෝගෝද මේලෝ සෙන්පතියා සිංහල සේනාව සී සී කඩ කරමින් යුදයෙන් ජය ගත්තේය.
මෙම සටනින් වත්තල ජනයාට දැඩි ආහාර අහේනිය ඇති විය. එමෙන්ම ඔවුන්ගේ දේපල විශාල වශයෙන් විනාශ විය.

මෙවර පලා ගිය සිංහලයන් නැවතත් මායාදුන්නේ රජු යතේම පෘතුගීසීන් හා සටන් වැද ජයගෙන බලකොටුව සහ තොටුපල සියතට ගත්හ. නමුත් දියෝගෝද මේලෝ නැවතත් සටන් වැද සිංහලයන් පන්නා දමා තම බලය ස්ථාපිත කර ගත්හ. පසු නොබසින මායාදුන්නේ රජු තෙවනි වරටත් තම බලය ස්ථාපිත කර කොටු බැම්ම සහ දිය අඟල වඩා ප්‍රකෘතිමත් කරවීය. නැවතත් වත්තල බලය පතා සටන් වැඳුනු පෘතුගීසීන් සිංහලයන් 200 පමණ මරා දමා බලය අත්පත් කර ගත්හ. ඔවුන්ගේ මිය ගියේ 11 පමණි. සටන පැය 6 පමණ තිබිණි.

වත්තලදී සිඳු වූ දරුණුම සටන ලෙස වාර්ථා වන්නේ දියෝගුද මේලෝ සහ සිංහල සේනාපතියෙකු වූ කුරුප්පු මුදලි අතර සටනයි. මෙය 1576 ජුලි මස 25 දින තොටුපල සහ බලකොටුව අල්වා ගැනීමට සිදු වූවකි. සිංහලයන් සතුව 2500 බල ඇණියක්ද ඇතුන් සිව් දෙනෙක්ද විය. පෘතුගීසීන් සතුව හේවායන් 450 සහ ලස්කිරිඤ්ඤ භටයන් 700 පමණක් විය. මුලින් සිංහලයන් අති බිහිසුණුව සටන් කර ජය ගැනීමට ආසන්න වුවත් අවසානයේ සිංහල හමුදාවට එලව එලවා පහර දුන් බව සඳහන් වේ.

කෙසේ හෝ මින් පසු දැඩි සටන් වත්තල ආශ්‍රිතව සටහන් නොවේ.
ඔබ දන්නා පරිදි වත්තල ටොයෝටා ලංකා ගොඩනැගිල්ල සහ වත්තල විල්ෆ්‍රඩ් කොම්පැණිය ඇති තැන අතර එකල සුප්‍රසිද්ධ ගොනා කෝවිල නම් ඝන දෙවි කෝවිලක්ද, මීගමු පාරේ හරියටම එතැනට ඉදිරිපසින් අද විශාල සාප්පු සංකීර්ණයක් තනා ඇති බිම බලගල කොටුව සහ පෘතුගීසි සමය වනතෙක්ම සුසාම භූමියක්ව පැවත ඇත.

මේ සටහන මින් නිම කරමි.


නැවතත් සුපුරුදු විශ්වාරම්භයට හෙට අනිද්දාම.........................

20 comments:

  1. වත්තල මෙතරම් ඓතිහාසික තැනක් විත්තිය දැනගෙන හිටියේනෑනේ. මීට පස්සේ නම් වත්තල පහු කරන හැම මොහොතකම මේ ලිපිය මතක්වෙයි.

    හැම ගමකම මේ වගේ මතක රාශියක් ඇතිනේද හොයලා බලන්ට වටින....

    ReplyDelete
  2. ඇත්තටම වත්තල සංදේශ කාව්‍යවලත් තියෙනව කියල මමත් දැනං හිටියෙ නැහැ. බොහොම ස්තූතියි මහ වෙදනා ගෙ විස්තරාත්මක ලිපියට

    ReplyDelete
  3. හොඳ විස්තරාත්මක ලිපියක්. මම ඔබේ ලිපි ආශාවෙන් හැමදාමත් කියවනවා.

    ReplyDelete
  4. වත්තල කළුවාගේ අඹුව ...
    තිත්ත කථාවෙන් බැන බැන....
    වත්ත පහල තිබුන ....
    කිතුල් පිත්ත වන වනා....

    වත්තල ගැන අපි දන්න කරුණුවලට වඩා නොදත් කරුණු වැඩි කියලා ලිපිය කියෙව්වාම අවබෝධ උනා..
    ස්තූතියි......

    ReplyDelete
  5. ඉඳහිට ඉතිහාසය මතක් කොරන එකත් හොඳයි. රට තොට විස්තර අපිත් දැන කියා ගන්ට එපැයි. මාත් දෙතුන් දොහක් වත්තල පැත්තේ ගිහිං නං තියෙනවා... ඒත් මේ විස්තර දැනගත්තේ අදයි. බොහොම ස්තුතියි වෙද මහත්තයෝ.....

    ReplyDelete
  6. වත්තල පිංගෙඩිය දන්නවද?
    පොඩි කාලේ අපේ ආච්චීලා ගේ ගෙදර තිබුණා එකක්!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හොඳ සටහනක්. බොහෝ සෙයින් දැනුවත් උනා.

    ReplyDelete
  9. පින්සිදු වේවා....!! අපි මොනාද දන්නේ.. වනවාසල පැත්තේ ඉඳල කැළනිය පූජා බිමට ඇතුල් වෙන තොරණ හන්දියේ මම. දැන් නම් ගැමුණු තොරනක් ගහල. ෆුට් බයික් වල වනවාසල හරහ ගිහිල්ල ගැමුණු හෝල් එක ගාවින් මීගමු පාරට දාලා ඇළකන්දෙන් රා අරන් උස්වැටකෙයියාවේ යනවා නාන්න. අපෙත් මිතුරෙක් නැති උනා. මමත් දවසක 99 බේරුනා. ඉස්සර කැළණියේ තැබෑරුම් නෑ. වත්තල තමයි එන්නේ ගල් ගන්න. එත් ෆුට් ස්යිකලෙන්. පුටුන් බුම් එකෙත් ආවා. දැන් නම් වත්තල අයත් එන්නේ කැළණියට.

    ReplyDelete
  10. වත්තල ගැන හොඳම විස්තර ලියූ මාතලන් අය්යාට අපේ ප්‍රණාමය!!!

    ReplyDelete
  11. ස්තුතියි තොරතුරු කියා දුන්නාට!

    ReplyDelete
  12. මීට අවුරුදු දෙසීයකට පෙර අවිස්සාවේල්ලට සිංහරාජ වන්තරය තිබී අලි හිටියනම්, 1880 දී ලබුගමදී ඇත ගාලක් කලානම් එටත් වත්තල අලි හිටීම පුදුමයක්ද?

    ReplyDelete
  13. වෙද මහත්තයෝ...පහු ගිය දවස් ටිකේනම් ඇවිල්ලා හොරෙන්ම ගියා..තරහ අවසර හොඳේ...
    මම හිතුවෙ නැහැ වත්තල කියන්නෙ මේ වගෙ ඓතිහාසික වටිනා කමක් තියන පළාතක් කියලා... තමන් ඉන්න පළාතෙ ඉතිහාසය ගැන දැනගන ඉන්න එක මොන තරම් හොඳද.....

    ReplyDelete
  14. නොදැන හිටි කරුණු සැහෙන ප්‍රමාණයක් දැන ගත්ත... වටිනා ලිපියක්...

    ReplyDelete
  15. බොහොම ස්තුතියි බස් රේඩියෝ එක අහන ගමන් අද බ්ලොග් කියෙව්වේ...මා ආසම කරන ගායකයෙක්ගෙ සිංදුවක් අහනගමන්.........

    ReplyDelete
  16. වැදගත් ලිපියක්. අපේ ගමේ පුරාණය දන්නා කෙනෙක් නැහැනේ. ඕන් ඔය කළුවා නම් ඇවිත් ගියාලු.

    ReplyDelete
  17. ඔය මූලාශ්‍රවල කියන වත්තලයි දැන් තියෙන වත්තලයි එකක්ම කියලා මට නම් කිසිම විශ්වාසයක් නෑ.

    මොකද වත්තල කියන්නේ කෝට්ටේ යුගය වෙනකම්ම නිකම්ම නිකන් කබරගොයි සෙල්ලම් කරපු වගුරු බිමක්.

    ReplyDelete
  18. මටත් වත්තල කියපු ගමන් මතක් වෙන්නේ අර කතන්දර කියපු වත්තල පිංගෙඩිය තමයි...ඉස්සර ජාතික රූපවාහිනියේ හරි අයි.ටී.එන් එකේ හරි ගිය ළමා වැඩ සටහනක (නම නම් මතක නෑ) වත්තල පිංගෙඩිය ගදානේ විත්තා කියල පුංචි ගැටයක් දෙනව ලිහන්න... ඒක තේරුම් ගන්න එදා මහන්සි වෙච්ච හැටි මතක් උණා ආයෙත්....වත්තල පැත්තේ යනකොට ගොඩක් වෙලාවට මම ඔය වත්තල පිංගෙඩියේ කතාව කියනවා.. හික්...

    ReplyDelete
  19. වත්තල ප්‍රදේශයේ පැවැත්වෙන පල්ලියේ මංගල්‍ය උත්සවයත් හැඳල විහාරයේ වාර්ෂික පෙරහරත් නිසා මට වත්තල ජීවිතට සමීප තැනක්.
    හැමිල්ටන් ඇල ඉදිකිරීම ආදිය නිසා විදේශකයින්ටද මේ ප්‍රදේශය වැදගත්ව තිබුන බව පෙනේ. එකලද ජනාකීර්නව තිබුන බවට සාක්ශියකි. ඉතාමත් ස්තූතියි වත්තල ප්‍රදේශයට සාධාරණත්වය ඉටුකිරීම පිලිබඳව.

    ReplyDelete
  20. මම වත්තල වීම පිළිබදව ආඩම්බර වෙනවා .....අදටත් ලංකාවේ ලස්සනම කාන්තාවෝ ඉන්නේ වත්තල .....

    ReplyDelete