Tuesday, June 14, 2011

අඩහ කෑම දහස් වටී... සමබරව කෑම කෝටියක් වටී.

නදී, මාතලන්, ඉඳුනිල්, හරි, සමීර මේ කට්ටිය කමෙන්ට් වලින් ඉල්ලා සිටි ආහාර රටා ගැන ලිපිය අද දෙන්න මම හිතුවා. මේ ලිපිය මම පස්සේ ලියන්න හිතන් හිටි මාතෘකාවක්.

මුලින්ම ඉල්ලීමක් කරනවා මේ ලිපිය මම ලියන්නේ තනිකරම ආයුර්වේද විදියට. මේකෙදි නවීන විද්‍යා දැණුම භාවිතා කරන්න මම හිතුවේ නැහැ.
මම මේ බ්ලොග් එක ආරම්භ කරන්න හේතු වූ ප්‍රධානම කාරනයක් තමයි ආයුර්වේදය ගැන කථා කිරීම.

දැන් අපි දන්නවා ආයුර්වේදෙ කියන්නේ වෙනම ධාරාවක ඇතිවූ විද්‍යාවක් කියලා. මේකෙ භාවිතාවන මූල ධර්ම බොහෝ දුරට බටහිරට වඩා වෙනස්.

ආයුර්වේද මූල ධර්ම වල ආකාරයට කිව්වොත් ආහාර නිසා ශරීරයට ලැබෙන්නේ මොනවද?
ආහාරය නිසා ශරීරයට ලැබෙන්නේ ධාතූන්. මේ ලැබෙන දේවල් අපි වර්ග කලොත් ඒක ලියන්න වෙන්නේ මෙහෙමයි.

1. රස
2. රක්ත
3. මාංශ
4. මේද
5. අස්ථි
6. මජ්ජා
7. ශුක්‍ර

මේක අපිට මෙහෙම හදුන්වා දෙන්න පුළුවන්. අපි ආහාරයක් ගත් විට මේ දෙවල් එම ආහාරය ජීරණයෙන් අපිට ලැබෙනවා.

එතකොට මොනවද මේ?

ඔබ පටලවා ගන්න එපා. මේක බටහිර ආකාරයට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන ආදිය නෙමේ.
ශරීරයේ වර්ධනයට ධාතුන් වැදගත් වෙනවා. ඊලඟට මේ ධාතූන් ශරීරයට ආකාර තුනකට වැදගත් වෙනවා.

1 ඊලග ධාතුව නිර්මාණයට හෙවත් රසය මගින් රක්තය සෑදීමට අදී ලෙස .
2 ශරීරික ක්‍රියාවන්ට උදව් වීමට හෙවත් ධාතූන්ට අදාල ශාරීරික කොටස් වර්ධනයට.
3 අනුයාතව නොවී වෙනත් ධාතූන් වර්ධනයට. (උදා. රසයෙන් මාංශ ධාතුව කෙලින්මද වර්ධනය කරයි.)

මේ ලෙසම අනෙක් ධාතූන්ද ප්‍රයෝජනවත් වෙනවා.මේවායේ ක්‍රියාවන්ද මේ ආකාරමයි.

දැන් එතකොට අපි ආහාර ගැනීමෙන් ආයුර්වේද විදියට අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අපේ ශරීරයේ වැයවන ධාතූන් නිසි විදියට නැවත ලබා ගැනීම.
මෙන්න මෙපමනයි අප ආහාරයෙන් බලාපොරොත්තු වන්නේ.

දැන් අපි බලමු අපේ ආහාරයේ තිබිය යුතු දේවල් මොනවද?
ආයුර්වේදයට අනුව අපේ ආහාරය හැම වෙලාවෙම ප්‍රධාන ධාතූන් සප්තකය සපුරා ගන්න පුළුවන් ආකාරයට සකස් වෙලා තියන්න ඕනෙ.

අපි ගන්න ආහාරයේ අපි හිතමු වැඩියෙන් මේද ධාතුව අඩංගු වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ අපි වැඩිපුරම ශරීරයට ගන්නේ මේද. මෙතන්දි මේ ධාතු සප්තකය සමබරව වැඩ කරන්නේ නැහැ.
ඇයි ?
එක තැනක වැඩිවීමක් තියන නිසා ධාතු චක්‍රය එක තැනක නවතිනවා.

එතකොට මොකද වෙන්නේ?

(ඉහත උදාහරනයට අනුව ) ධාතු චක්‍රයේ මේද වලට පහල තියන අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන ධාතු ශරීරයට අඩුවෙන් ලැබෙනවා. මතකද අපි කලින් කිව්වා ආහාරයෙන් ධාතු වෙන් කර ගන්න ප්‍රධාන ක්‍රියා තුනක් තියනවා කියලා. ඒ තුනෙන් පලමු ක්‍රියාවත් තුන් වැනික්‍රියාවත් මෙහිදී මේද ලඟ නවතිනවා. එතකොට දෙවනි ක්‍රියාව විතරයි යම් තරමකින් ක්‍රියාත්මක වන්නේ.

මෙහි ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද?

අධික මහතින් යුත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. එතකොට ඔහුට හෝ ඇයට අස්ථි දුර්වල වීම (අස්ථි ධාතුව දුර්වල වීම නිසා), මඳසරුභාවය (ශුක්‍ර ධාතුව දුර්වල වීම නිසා), රුධිරගත දුර්වලතා (මජ්ජා ධාතුව දුර්වල වීම නිසා) කියන රෝග ඇති වීමේ ඉඩක් තියනවා.

ඔහුට හෝ ඇයට බොහෝ රෝග වැලදීමට තියන ඉඩ ඉතාම වැඩියි.

මේක ඕනෙම ධාතුවකට එකම ලෙසයි සිදු වන්නේ.

දැන් අපිට යම් තරමක දැනීමක් තියනවා.

එතකොට අපි බලමු අපේ ආහාරය කෙසේ විය යුතුද කියලා.
මේක ඉතාම පහසුවෙන් අපිට සකස් කර ගන්න පුළුවන්. ඔබව මම දැන් ගෙනියනවා බටහිර රටවලට බොහෝ බටහිර රටවල ආහාර ගන්නේ වේල් දෙකයි. (ඒ රටවලත් මේක අළුත් ප්‍රවනතාවයක්)
1. උදේ ආහාරය + දවල් ආහාරය = brunch
2. රාත්‍රී ආහාරය = dinner

පුද්ගලික අත්දැකීමක් මම කියන්නම්. මම දැනට වසර 15 පමණ සිට ආහාර ගන්නේ මේ ලෙසටයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව දෙයක් මෙතනදි අතරට පොඩි බඩගින්නට එහෙම මුකුත් ගැනීමත් සුදුසු නැහැ. සීනි නොදා තේ ඉතාම ස්වල්පයක් ගන්න. කිරි කලවම් කලාට කමක් නැහැ. හැබැයි බර ආහාර ගන්න හොද නැහැ.

කොහොම හරි අපි වගේ ශරීර හොරු, මේ කොම්පියුටර් එකට කොට කොටා ඉන්න අය, තව ඔය වගේ එක තැන ඉන්න අය, වේල් දෙකක් ආහාර ගත්තම ඇති කියන එක මගේ කල්පනාව.

ඕකෙ තව වැදගත් දෙයක් තියනවා. මේකනම් හොදටම මතක තියා ගන්න රාත්‍රී ආහාරය ඉවරවෙලා අඩුම ගනනේ පැය 1කට වඩා කාලයක් අවධ්යෙන් සිටීම ඉතාම වැදගත්. අපි රාත්‍රී ආහාරය රාත්‍රී 7 වගේ ගන්නව නම් ඉතා වැදගත්.
උදේ ආහාරයට අපි පොඩි දෙයක් ගන්නේ නැතුව හොද ආහාර වේලක් ගන්නව නම් අපි ඉතාම ක්‍රියාකාරී වෙලාව නිසා හොදින් ජීරණය වීමට මේ වෙලාව ඉතාමත් පහසුවක්.

මේකෙදි අපි වරද්ද ගන්න තැනක් තියනවා. අපි උදේට ගන්න ආහාරය කෙටියෙන් ගැනීම. මම හිතනවා හොද ආහාරයක් ගෙන දවල්ට පලතුරු වගේ දෙයක් ආහාරයට ගෙන රාත්‍රී 7 නැවත ආහාර ගෙන 10 පමන නින්දට යනව නම් ඉතා වැදගත් තමන්ගේ සෞක්‍යය තත්වය රැක ගැනීමට.

ඊලඟට අපි බලමු ආහාරයේ අඩංගු විය යුතු මොනවද කියන එක,සහ ආහාරයේ ප්‍රමාණය කියන කරුනු දෙක ගැන.
ආහාරයක අඩංගු විය යුතු දේ විදියට අපිට ගන්න පුළුවන් මොනවද?

1. ආහාරයේ නිසැකවම යම් රස කොටසක් තිබිය යුතුයි. මේ රස කොටස අපි ගන්නා බත්, අල, වැනි දේ මඟින් ලබා ගත හැකියි.

2. රක්ත කොටස ආහාරයේ අඩංගු වන්නේ මාංශමය දේ සමඟ. මස්, මාළු

3. මාංශ මෙහිදී වැදගත් වන්නේ ශරීරයේ නැවත සැකැස්මට වැදගත් දේවල්. එනම් මස්, මාළු, එළවළු, ධාන්‍යය, කිරි

4. මේද ප්‍රධානම මේද ප්‍රභවය වෙන්නේ ආහාරයේ අඩංගු තෛලමය කොටස්ය.

5. අස්ථි මෙහිදී ඔබ වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. මම නම් මගේ වෛද්‍ය ජීවිතයටම අර අස්ථි බිදිලා කඩා වැටෙන වගේ රෝගීන් දැකලා තියන්නේ එක් අයෙක් පමණයි. ඒ රෝගියාත් පිරිමියෙක්. ඔහුට ඉතා දරුණු අස්ථි පිළිකාවක් තිබුනා. නමුත් අපි ජනසංනිවේදන මාර්ගයෙන් ජනතාවට දෙන්නේ මොනතරම් වැරදි දෙයක්ද? අපේ නිෂ්පාදන විකුන ගන්න මිනිස්සුන්ගේ නොදැනුවත්කම, බය යොදා ගැනීම මොනතරම් පහත්ද?
මේ අස්ථි ධාතුව වර්ධනයට ඉතාම හිතකරයි, මස්, පොඩි මාළු, විශේෂයෙන්ම ධාන්‍ය වගේ දේවල්.

6. මජ්ජා කිරි බිත්තර, මස්, මාළු, විශේෂයෙන් එලවළු, පලතුරු

7. ශුක්‍ර මෙහිදීත් විශේෂයෙන්ම පලතුරු, පොඩි මාළු, කොල පාට එලවළු.

අංග සම්පූර්ණවම නොවුනත් දැන් ඔබට හිතා ගන්න පුළුවන් ආහාරයේ අඩංගු වෙන්න ඕනෙ මොනවද කියන එක. මේ දේවල් අපි ආහාරයට ගැනීමේදී ප්‍රධාන කරුණු කීපයක් මතක තබා ගත යුතුයි.

1. ආහාරය ගන්නා අයගේ වයස. - නොයෙක් වයස් වල නොයෙක් අවශ්‍යතා තියනවා. උදා. කුඩා දරුවන්ට ලෙස නෙමේ වැඩිහිටි අයට. මේ දෙගොල්ලටම වගේ නෙමේ ගර්භනියකට ආදී ලෙස. මම හිතනවා ඔබට හැකි වෙයි මේ දැනුම භාවිතා කරලා මේ කාන්ඩ අනුව එක එක අයගේ අවශ්‍යතා අනුව ආහාරය සකස් කර ගැනීම කර ගන්න. ඕනෙම වෙලාවක අහන්න මම හැකි විදියට සහාය වෙන්නම්.

2. රැකියව මෙහිදී අපි හැම වෙලේම බලන්න ඕනෙ අපි කරන රැකියාව නිසා අපිට ශරීර වෙහෙසන්න වෙනවද? එහෙම නැත්තන් අපි එක තැනක ඉන්න අර කිව්ව ව්ගේ පුටු රත් කරන අයද කියන එක. ඒ අනුව අපි තීරනය කරන්න ඕනෙ අපිට වැඩියෙන් අවශ්‍යය වෙන්නේ මොනවගේ ආහාරද කියන එක. අපි ශරීරය වෙහෙසවන වැඩ කරනව නම් අපිට වැඩියෙන් ප්‍රෝටීන මේදමය අහාර ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි වැඩ කරන්නේ අඩුවෙන් නම් අපි වැඩියෙන් කරන්න ඕනෙ සමබර ආහාරය්ක් ගන්න එක.

3. අපිට තියන රෝග මොනවද කියන කාරනය අපි යම් කිසි රෝගයකින් පෙලෙනව නම් අපිට ඒ රෝගය අනුව පත්‍ය වෙන ආහාර අපි ගන්න ඕනෙ. එහෙම නැතුව ඊට අපත්‍යය ආහාර ගත්තොත් ඒ ලෙඩ වැඩි වෙනවා. මේ ගැන අපි හිතන්න ඕනෙ.

4. අපේ මානසික තත්වය අපිට යම් මානසික ප්‍රශ්න තියනවනම් අපි නිතරම ආහාරයෙන් පරිස්සම් වෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට අපි සැහැල්ලු ආහාර ගැනීම ඉතා වැදගත්.

ඊලඟට අපි බලමු අපි ගන්න ආහාර ප්‍රමාණය ගැන.
මෙතනදි මගේ අදහස ටිකක් වෙනස් මම හිතන්නේ අපි ගත්ත ආහාර බර එහෙමම ගැනීම වැදගත්. හැබැයි එම ආහාරයේ අන්තර්ගතය වෙනස් වෙන්න ඕනෙ. ඒ කියන්නේ අපි හිතමු උදාහරනයක් ලෙස අපි ගන්නවා පුරුද්දක් ලෙස 500ග්‍රරෑම් වේලකට. මගේ මතය ඒක වෙනස් නොකල යුතුයි. කරන්න ඕනෙ ඉහත කිව් සාධක අනුව අපි අපිට ගැලපෙන රටාවකට මේ ආහාරයේ අන්තරගතය වෙනස් කරනවා. ප්‍රෝටීන ලිපිඩ වෙනුවට පලතුරු එකතු කර ගන්නවා වගේ. එතකොට මුළු බර සමානව තියා ගන්නවා.
දැන් අපි අපේ ආහාරය ගැන යම් හැගීමක් ඇති කරගන්න තරමට දැණුමක් ඇති කර ගත්තා. ඒත් අපිට තව තියනවා දැනගත යුතු කරුණු කීපයක්.

1. අපි ශරීරයට ආහාර ගන්නවා කියන්නේ අපේ කායික තත්වය හොදින් පවත්වා ගැනීමයි. ඒ සදහා ඉහත කිව් ලෙස නිසි ධාතු පෝෂක සමබර ආහාරයක් ගන්න අවශ්‍ය බව අපි දන්නවා.

2. අපිට ආහාර වගේම වැදගත් වෙනවා ව්‍යායාම. හැම කෙනෙක්ම හරි විදියට දිනකට කිලෝ මීටර 03 වත් දුරක් ඇවිදින්න අවශ්‍යයි. නමුත් අපිට මේවැඩේ දැන් හරියට වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද කල යුත්තේ. ගෙදරදිම යම් ව්‍යායාමක් කරන්න හුරු වෙන එක නේද?
හොදම වැඩේ තමයි රූපවාහිණිය බලන වෙලාවට ව්‍යායාමයක් කරන්න පුරුදු වෙන එක. එතකොට වැඩ දෙකම වෙනව. ( ඕනෑම ව්‍යායාමයක් විනාඩි 20 වැඩියෙන් කලයුතුයි.)

3. ඊලඟ කාරණ්ය තමයි මානසික තත්වය. මොන ආහාරයක් ගත්තත් වැඩක් නැහැ මානසිකව ප්‍රශ්න තිබේ නම්. මනස සමබරව තබා ගැනීම සෞක්‍යය ආරක්ෂා කරන ප්‍රධානම සාධකයක්.


ඔබ හොදට මතක තියා ගන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවා. ඒකෙන් 18 මේ කියන විදියට ගන්න. අනික් තුන පැලෙන්න කන්න. වැඩේ ඉවරයි!!!

10 comments:

  1. //අධික මහතින් යුත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. එතකොට ඔහුට හෝ ඇයට අස්ථි දුර්වල වීම (අස්ථි ධාතුව දුර්වල වීම නිසා), මඳසරුභාවය (ශුක්‍ර ධාතුව දුර්වල වීම නිසා), රුධිරගත දුර්වලතා (මජ්ජා ධාතුව දුර්වල වීම නිසා) කියන රෝග ඇති වීමේ ඉඩක් තියනවා.//

    ඔබතුමාගේ ලිපිය කියවීමෙදී මට ඇතිවු ගැටලුවක්.
    අස්ථි දුර්වල වීම යනු ඔස්ටියෝපොරෝසිස් රෝගයද?
    ස්තූතියි

    ReplyDelete
  2. බොහොම ස්තූතියි , ඔබ තුමාගේ පැහැදිලි කිරීමට .

    අන්තිමට කියපු දෙය හොඳින් සිත් ගත්තා.

    ඔබ හොදට මතක තියා ගන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවා. ඒකෙන් 18 මේ කියන විදියට ගන්න. අනික් තුන පැලෙන්න කන්න. වැඩේ ඉවරයි!!!"

    ReplyDelete
  3. මේක උඩ ඉඳන් කියවගෙන එද්දි මූණ මැලවුණ කෑම පෙරේතයන්ට හොඳ හිනාවක් ගියාලු අන්තිම ඡේදයෙන්... :D

    ඔබ මේ කියන විධියයි ඉස්කෝලෙ සෞඛ්‍යය පාඩමේදි ඉගෙනගත්තු ඒවයි අතර ලොකු වෙනසක් නෑ. කන්න පුළුවන් හැමදේම ඒ ඒ අවස්ථාව සලකලා කෑමට එකතු කරගන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් අපි ඉගෙනගෙන තියෙන ප්‍රධාන පෝෂණ සංඝටක අඩංගු කෑම වර්ග කීපයක් වේලකට එකතු කරගන්න පුළුවන් නම් ගොඩ.

    මෙතනදි මෙහෙම එකකුත් තියෙනවා. මේ ගැන කතා කලාට අපි ‍‍අද ගෙවන ජීවන ක්‍රමයෙදි මේව ඒ විධියටම කරන්න හැකියාවක් නෑ... නමුත් උපරිම ට්‍රයි එකේ හරි ඉන්න එක වටිනවා තමන්ටම.

    ReplyDelete
  4. hare :-) අන්තිම ඡේදය කියවන කොට මටත් හොඳ හිනාවක්‌ ගියා.

    ReplyDelete
  5. බොහොම වටින ලිපියක්. එතකොට ඔය ආයුර්වේදේ හෝ හෙළ වෙද කමේ මස් මාංශ කෑම ගැන කොහොමද කියලා තියෙන්නේ? ඒ එකක්. ඒ වගේම මා කැමැතියි පොඩි යෝජනාවකුත් කරන්න. වෙද මහත්තයෝ හැකිනම් දින හතට හරි යන පොඩි ආහාර වට්ටෝරුවක් පල කරන්න කෝ. පින් සිද්ධ වෙනවා. මා බෙහෙවින්ම අමාරුවේ වැටෙන වැඩක් මේ සතියට හරි යන එළවළු තේරීම.

    ReplyDelete
  6. ගන්න ආහාර ප්‍රමාණයේ බර එක විදියට තබාගැනීමත්, හිත නරක් වී ඇත්නම් කොපමණ හොඳ කෑම කෑවත් ප්‍රයෝජනයක් නැත යන්න අලුත් දේවල් වගේ හැඟෙනව.
    සිරී පාද කන්ද වගේ බත් ගොඩක් කාල, ඔක්කොම ටෙලිනාටය ටික බලල නින්දට එක හොඳද?

    ReplyDelete
  7. @Indunil ayya,
    දැන් ඉතින් දවල් ආහාරය නොගෙන ඉන්න ලෑස්තිද?
    ඔන්න ඕක තමා මට කරන්න අමරු වැඩේ.බඩ පැලෙන්නෙ කන්නෙ නැතුව ඉන්න පුලුවන් එත් වේල් දෙකක් විතරක්??

    ReplyDelete
  8. @ගිම්හානි: ඕකනේ අමාරු වැඩේ.ගාණට වෙලාවට අලි බඩගින්නක් එනවා.ඒත් මගේ අත් දැකීමෙන්ම කියන්න පුළුවන්, ඕක කරනවානම් දවසෙන් දෙකෙන් පුරුදු වෙනවා. දවල් කෑමට පස්සේ නිදි මත එන එකත් අඩු වෙයි මම හිතන්නේ.. :D

    ReplyDelete
  9. හ්ම්... ඒක තමා ඒත් මටත් ආසයි උත්සහ කරන්න ඕන බලන්න මේ වැඩේ කරන්න ඒත් උදේ ආහාරය පැලෙන්න ගන්න වෙනව නේද.
    ලොකු වෙනස්කම් ටිකක් කරන්න වෙනෙවා.මේ රටාවට හුරුවෙන්න.බලමු උත්සාහ කරල.

    ReplyDelete
  10. ඔන්න මට ප්‍රශ්නයක්, පිලිතුරක් ලබාදෙන්න ...
    මා ඊයේ ගෙදරකට ගියා මගේ ඥාතියෙකු බැලීමට .එහිදී මා දුටුව කාබරන්කා ගෙඩියක් හප හපා ඉන්නවා මගේ ඥාතීයා .
    මා ඒ ඇයිදැයි ඇසුවාම ඔහු කීවෙ සීනි වලට හොදයි කියා.
    එය ඇත්තක්ද..
    ඔබතුමාගෙන් කෙටි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
    ඡය!!

    ReplyDelete