Thursday, June 30, 2011

සත්වයාගේ උපත හා විඤ්ඤාණයේ ක්‍රියාව.

බොහෝ දෙනෙක් මේ විඤ්ඤාණය ගැන කථා කරනවා. මට මගේ පසුගිය ලිපිවලදී මේ ප්‍රශ්නෙට මුහුන දෙන්න වුනා. ඒ නිසා මම කල්පනා කලා. මම බොහොම නිස්කලංකව මේ ගැන දීර්ග කාලයක් අරගෙන ලියූ ලියවිල්ලක් තිබෙනවා. ඒත් ඒක මම බොහොම හොඳට හිතලා පොත් පත් බලලා ලියූවක් නිසා මගේ බ්ලොග් ශෛලිය නැතිව ඇති. කාට හෝ ඒක ගන්න වුවත් අවසර තියනවා. ඔනෙ කෙනෙක් ගන්න. ඔය දීල තියන පොත් පත් රෙෆරන්ස් හරියටම හරි නැවත නැවත බලලා තියන්නේ.
මතනදී ගන්ධබ්බයා කියන්නේත් මේ විඤ්ඤාණයටම තමයි. ඒ ගැනත් ලියලා ඇති. අනික ඔබ දන්නවද අභය ගිරි මාහා විහාර භේදය ඇරබෙන්නේ මේ ගන්ධබ්බයා හෙවත් විඤ්ඤාණය ගැන දෙගොල්ලන්ගෙ ඇති මතවල පරස් පරතා නිසා තමයි.

විඤ්ඤාණය හා සත්වයාගේ පැවැත්ම
1. අස්සුතවන්ත සූත්‍රය - සංයුක්ත නිකාය 2,
2. මහා තන්හාසංඛ සූත්‍රය - මජ්ජිම නිකාය 1,
3. චේතනා සූත්‍රය 1 - සංයුක්ත නිකාය,
4. චේතනා සූත්‍රය 2 - සංයුක්ත නිකාය,
5. චේතනා සූත්‍රය 3 - සංයුක්ත නිකාය,
6. මහා නිධාන සූත්‍රය - දීඝ නිකාය,
7. අභිසමය සංයුක්තය - සංයුක්ත නිකාය,
8. විභංග සූත්‍රය - සංයුක්ත නිකාය,
9. විඤ්ඤාණක්ථිති සූත්‍රය - අංගුත්තර නිකාය 3 කොටස,
10. දශ ප්‍රශ්න - සාමනේර ප්‍රශ්න,
11. ලක්දිව මහායාන අදහස්

සත්වයාගේ උපත පිලිබඳ අපූර්ව සිද්ධිය මෙන්ම එය සිදුවීමෙහිලා මුල්වන විඤ්ඤාණය යන්නද නිරවුල්ව අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කර වූවකි. වේදාන්ත දර්ශනයෙන් වර්ණනා කරන ලද ආත්ම වාදය පිලිබඳ හැගීම් වලින් පිරී ගත් පෙරදිග, බුදුන් වහන්සේ දවස ජන සමාජයටද මෙය විස්තර කර දැක්වීම, ඉමහත් පරිශ්‍රමයෙන් කලයුතු ඉතා ආයාසකර වූවක් විය. සම කාලීන ආද්‍යාත්ම දර්ශනයන්ගෙන් හා බුදු සමය තුලම පැන නැගුනු නිකායවාදී අදහස් වලින්ද ආචාර්ය මත හා භෞතික විද්‍යාවේ ප්‍රභවයෙන්ද මුල් බුදු සමයේ යතා ස්වරූපය යටපත් වී තිබේ. එබැවින් මුල් බුදු සමයේ සූත්‍ර දේශනා හා අභිධර්ම පිටකාගත ධර්ම විස්තර ආශ්‍රයෙන් විඤ්ඤාණය හා සත්වයාගේ පැවැත්ම පිලිබඳ ගැබුරු ඉගැන්වීම් හදුනාගත යුතු වේ.
මුල් බුදු සමයේ සූත්‍ර දේශනා අනුව සංසාරගත සත්වයා කෙරෙහි සදාථනිකව උරුමව එන පොදු දායාදය වන්නේ දුකය. සංසාරගතව සත්වයාගේ දුඃඛය නොසිද පවතින්නේ උපත හෙවත් ජාතිය පදනම් කරගෙනය. සත්වයාගේ උපත හෙවත් ජාතිය සිදු වන්නේ විඤ්ඤාණය අභිවෘද්ධියට පත් වීමෙනි. මේ බව
සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ විභංග සූත්‍රය සනාත කරයි.
ජාතිය යනු කවරේද ?
1. ඒ ඒ සත්ව නිකායෙහි හට ගැනීමෙත්,
2. පිරිපුන් හට ගැනීමෙත්,
3. කුසට බැස ගැනීමෙත්,
4. ඉපදීමෙත්,
5. ස්කන්ධයන්ගේ පහල වීමෙත්,
6. ආයතනයන්ගේ ප්‍රතිලාභයත්
වේද මෙය ජාතිය යැයි කියනු ලැබේ.
(සංයුක්ත නිකාය විභංග සූත්‍රය 4 පිටුව )
මෙහි ජාතිය ලෙස සත්වයන්ගේ පහල වීම විස්තර වේ. එය අවිද්‍යා හේතු ප්‍රත්‍යයගෙන් ආරම්භව ජරා මරන ශෝඛ පරිදේව දුඃඛ දෝමනස්ස සහිත දුක් රැසේ පහල වීම දක්වා හේතු ප්‍රත්‍යවත් ක්‍රියාවලියක් ලෙස දැක්වේ. එය විඤ්ඤාණයේ අභිවර්ධනයයි.
මෙම විඤ්ඤාණය මුල් බුදු සමයෙහි විස්තර වන්නේ චිත්ත, මනෝ, හා විඤ්ඤාණ ලෙසිනි. මෙහි විඤ්ඤාණය හැදින් වීමට චිත්ත හා මන වශයෙන් අපර නාම දෙකක් දක්වා ඇති බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ අස්සුතවන්තු සූත්‍රයේ විස්තර කරයි.
Ø “මහනෙණි මේ යමක් සිත යැයිද, මනස යැයිද, විඤ්ඤාණය යැයිද, කියනු ලැබේ. එහිලා නූගත් පුහුදුන් පුද්ගල තෙමේ කලකිරෙන්නට නොසමත්ය.”
(සංයුක්ත නිකාය 2 කොටස අස්සුතවන්ත සූත්‍රය පිට 148)
ඉහත සදහන් සංයුක්ත නිකායේ පාඨයට අනුව චිත්ත, මනෝ, විඤ්ඤාණ යන වචන 3න්ම එකම අදහසක් පලකෙරෙන බව දැක්වේ. මේ නිසා මෙහිලා පලමුව චිත්ත මනෝ විඤ්ඤාණ යන්න විමසා බැලිය යුතුය.
චිත්ත මනෝ විඤ්ඤාණ හදුනා ගැනීම
චිත්ත යනු පෙල දහම තුල විවිධ ආකාරයෙන් විස්තර කොට තිබේ. චිත්ත යනු සිතයි. අභිධර්මයට අනුව චිත්ත යනු පරමාර්ථ ධර්මයකි. එය භවත්‍රයෙහි හා ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක සිත් ප්‍රබේද 89 සේ ඉගැන් වේ. එහි ස්වරූපය ධම්ම පදයේ චිත්ත වග්ගය තුලින් මැනවින් හදුනාගත හැකිය.
Ø ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී - උසුකාරොව තෙජන

Ø නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නාවූ,
එක් තැනක නොනවතින්නා වූ,
වැළැක් වීමට අපහසු වූ සිත ඇද හැර කෙළින් කරයි, (කුමක් මෙන්ද?)
ඊතල සාදන්නා ඊයේ ඇද හැර සෘජු කරන්නාක් මෙනි.
Ø වාරීජෝව තලේ චිත්තං
යන්නට අනුව සිත දියෙන් ගොඩලූ මත්සයෙකු මෙන් ඔබ මොබ දගලයි, සෙලවෙයි. මෙබඳු වූ සිත මාර බන්ධනයෙන් මුදවා ගැනීම සඳහා භාවනාවේ යෙදිය යුතු බව දක්වා තිබේ.
එසේම,
(1) දුංනිග්ගස්ස ලගුනු - නිග්‍රහයට පත් කිරීමට අපහසු වූ, කැමති කැමති අරමුණෙහි වැටෙන.
(2) දූරං ගමං - බොහෝ දුර ගමන් කරන.
(3) ඒක චරං - තනිව හැසිරෙන.
(4) අසරීරං - ඇසට පෙනෙන රූපයක් නැති.
(5) ගුහාසයං - හදවත නමැති ගුහාවෙහි වසන
මෙබඳු ස්වභාව ඇති සිත මාර බන්ධනය සිඳ මෝක්ෂයට පත් වේ. එය ආගන්තුකව පැමිනෙණ කෙලෙසුන්ගෙන් කිලිටි වන බවද දක්වා තිබේ.
මන (මනස )
මනස යන්නෙන් අදහස් කරන්නේ ෂඩ් ඉන්ද්‍රියයන්ගෙන් සය වැන්නයි.එය ආයතන විභාගයේදී, මනායතනයක්, කුසලායතනයක් වූ සංස්කාර ධර්මයෝ මේ මනස පෙරටු කරගෙන පවතී.
Ø මනෝ පුබ්බං ගමා ධම්මා
Ø මනස හා ධර්ම නම් වූ සංස්කාර අරමුණු ප්‍රත්‍ය කොට ගෙන ක්‍රියාත්මක වේ.
ධාතු විභාගයේදී එය මනෝ විඤ්ඤාණ යැයි කියනු ලැබේ. එය සය ආකාර වූ චක්ඛු විඤ්ඤාණාදී ප්‍රභේධයන්හි සය වැන්නයි. මෙ අනුව මන යනුද විඤ්ඤාණයේ එක් අවස්තාවක් හෙවත් ප්‍රභේදයක් බව පැහැදිලි වේ. චක්කු සෝතාදී අනෙකුත් ඉන්ද්‍රියන් මුල් කොටගෙනද චක්කු විඤ්ඤාණාදී වශයෙන් විඤ්ඤාණය පහල වේ.
විඤ්ඤාණය සිත විශේෂ ඥාණය යනුවෙන් මීට අර්ථ දක්වා තිබේ. මෙහි විඤ්ඤාණය යනු දැන ගැනීමෙ ලක්ෂණය ඇත්තේ විඤ්ඤාණයයි. ඒ බව
Ø පජානන ලක්ෂණං විඤ්ඤාණං ප්‍රජානන (දැන ගැනීමේ හැකියාව )
සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ විභංග සූත්‍රයේදී විඤ්ඤාණය ප්‍රභේද 6කින් දැක්වේ. ඊට අනුව, විඤ්ඤාණ කාය 6කි.
1. චක්ඛු විඤ්ඤාණ
2. සෝත විඤ්ඤාණ
3. ඝාණ විඤ්ඤාණ
4. ජිහ්ව විඤ්ඤාණ
5. කාය විඤ්ඤාණ
6. මනෝ විඤ්ඤාණ
මෙහි සඳහන් චිත්ත මනෝ විඤ්ඤාණය යනු විඤ්ඤාණයේම අපර නාමයක් ලෙස අස්සතුවන්ත සූත්‍රයෙහි සඳහන් වේ.
විඤ්ඤාණයේ පැවැත්ම හෙවත් ක්‍රියාකාරීත්වය
විඤ්ඤාණයේ පැවැත්ම චේතනාව මත ක්‍රියාත්මක වේ. මේ බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ චේතනා සූත්‍රයේ තහවුරු කරයි.
Ø “මහනෙනි යමෙක් සිතයිද, කල්පනා කෙරේද, යමෙකුන් පවත්වාද, මෙය විඤ්ඤාණයේ පැවැත්මට අරමුණු වේ. අරමුණ ඇති කල්හි විඤ්ඤාණයාගේ පිහිටීම වේ.”
(සංයුක්ත නිකායේ 2 කොටසේ අභිසමය සංයුක්තයේ චේතනා සූත්‍රය 102 පිටුව )
සිතෙහි පැන නගින කුසලාකුසල ආදී සිතුවිලි රාගාදී අදහස් හා විවිධ සංකල්පනා අරමුණු කොට විඤ්ඤාණය පිහිටන බව මේ සූත්‍රයේදී පැහැදිලි කොට තිබේ. මෙසේ අරමුණු ඇති කල්හි පිහිටන විඤ්ඤාණය කිසි විටෙකත් එක් අරමුණක නොපවතින බවත් නොනවතින බවත්, අත්තක එල්බ ගනිමින් වනයේ සැරිසරන වානරයකු මෙන් අරමුණෙන් අරමුණට මාරුවෙමින් එල්බ ගන්නා මෙන් අස්සුතිවන්ත සූත්‍රයේදී දක්වා තිබේ.
සංයුක්ත නිකාය ප්‍රථමා චේතනා සූත්‍රය.
සත්වයාගේ පුනර්භවය සඳහා පාදක වන්නේ විඤ්ඤාණයේම පිහිටීම බව චේතනා සූත්‍රය විස්තර කරයි. එහි සඳහන් ආරම්මන සිතීම, කල්පනා කිරීම, විඤ්ඤාණයේ පැවැත්මට අරමුණු වේ.
Ø විඤ්ඤාණස්ස ටිතියා - විඤ්ඤාණ්යේ පැවැත්ම
Ø පටිත්තිතේ විඤ්ඤාණෝ විඳල් හෝ - විඤ්ඤාණය පිහිටි කල්හි, වැසුණු කල්හි
Ø පුනබ්භවාභි නිබ්භන්ති - මතු පුනර්භවය , හට ගැනීම වේ.
යැයි සඳහන් වීම විශේෂයෙන් මෙහිලා අධ්‍යනය කල යුත්තකි. එසේ පිහිටන විඤ්ඤාණය වැඩුනු විඤ්ඤාණය නාම රූපයෝ බැස ගන්නා බව ද්වීතීය චේතනා සූත්‍රය විස්තර කරයි.
Ø “මහනෙනි, යමෙකුන් සිතාද, යමෙකුන් කල්පනා කෙරේද, යමෙකුන් නැවත නැවත පවත්වාගෙන යාද, මෙය විඤ්ඤාණයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඤ්ඤාණයේ පිහිටීම වේ. ඒ විඤ්ඤාණය පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයෝ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන ඇති වේ.”
Ø “තස්මිං පටිත්තිතේ විඤ්ඤාණනෙ විරූල් හෝ නාමරූපස්ස අවක්ඛන්ති හොති, නාමරූප පච්චයා සලායථනං”
(සංයුක්ත නිකාය ද්විතීය චේතනා සූත්‍රය 102 පිටුව)
මෙහි සඳහන් පිහිටි විඤ්ඤාණය, වැඩුනු විඤ්ඤාණය, නාමරූපයේ බැස ගන්නා බව ඉතා වැදගත් වූවකි. එසේ පිහිටි වැඩුනු විඤ්ඤාණය ඇති කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි ආගතිය ඇති වේ. (කර්ම හෝ කර්ම නිමිති හෝ ගති නිමිති ) මෙසේ ආගතිය ඇති කල්හි චුති උප්පත්තිය ඇති වේ. චුති උප්පත්තිය ඇති කල්හි මතු ජාති ජරා මරන ආදීන්ගේ හටගැනීම සිදුවන බවත් තෘතීය චේතනා සූත්‍රය සඳහන් කරයි.
Ø “තස්මිං පටිත්තේ විඤ්ඤාණේ විරූල් හෝ නතී හෝති
නතියා සති ආගතීං ගතී හෝති
ආගතී ගතියා සතී චුතූපපාතෝ හෝතී
චුතූපපාතෝ සතී ආගතීං ජාති ජරා මරණ සම්භවංති”
(සංයුක්ත නිකාය 2 කොටස තෘතීය චේතනා සූත්‍රය )
ඉහත සඳහන් සංයුක්ත නිකාය පාඨයට අනුව පටිච්ච සමුත්පන්න සත්වයාගේ නැවත මතුවීම පිනිස විඤ්ඤාණය අරමුණෙන් අරමුණ තෘෂ්ණා උපාජාන ඔස්සේ අභිවෘද්ධියට පත් විය යුතුමය. එසේ විඤ්ඤාණය අභිවෘද්ධියට පත් වන්නේ එය අරමුණක් ඇසුරෙහි පැවතුනොත් පමණි. එසේ වර්ධනය වූ විඤ්ඤාණය තෘෂ්ණාවයි. තෘෂ්ණාව ඇති කල්හි ආගතී හෙවත් කර්මාදී නිමිති පහලවීමට හේතු වේ. කර්මාදී නිමිති පදනම් කොට චුතිය හා උප්පත්තිය සිඳු වේ. මෙසේ විඤ්ඤාණය ප්‍රත්‍ය කොට නාම රූප පහල වීම සිඳුවන බවත්, නාමරූප ප්‍රත්‍ය කොට ගෙන විඤ්ඤාණය පවතින බවත් වේ. සූත්‍ර දේශනා අනුව හදුනාගත හැකිය.
Ø නතී - තන්හාව
Ø ආගතී ගතී - කර්මාදී නිමිති පහල වීමද
Ø චුතූපපාතේ - චුතිය හා උප්පත්තිය ඇති වීමද
Ø ජාති ජරා මරන ඇති වීමද ,
යන දේශනා පාඨ ඉතා වැදගත් වේ. ඒවා ගැබුරින් විචාරයට ලක්කොට අවබෝධයට යොමුකර ගැනීම අවශ්‍යය වේ.
විඤ්ඤාණය නාම රූපයෙහි පිහිට ලැබීමෙන් මතු ජාතී ජරා මරන ආදිය හට ගැනීම විය යුතු යැයි, දීඝ නිකාය, මහා නිධාන සූත්‍රය සඳහන් වේ. එම කරුණ සංයුක්ත නිකායෙහි නගර සූත්‍රයෙහිද වැඩි දුරටත් මෙසේ දැක්වේ.
Ø “මහනෙනි මේ විඤ්ඤාණය වූ කලී එහි නවතී, නාම රූප ඩෙකෙන් ඔබ්බට නොයයි. මේ ක්‍රමයෙන් උපන්නේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මරනයට පත් වන්නේ හෝ වෙයි. චුත වන්නේ හෝ වේ. එනම් නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නැවත නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ”.
(සංයුක්ත නිකාය 2 කොටස නගර සූත්‍රය 162 පිට )
Ø “ඉධං විඤ්ඤාණං නාමරූපං හා නපරන් ගච්චති
එත්තා වතා ජායේත වා ජීයේත වා ජ්වේතු වා උප්පජ්ඡේද වා සද්ධ්ං
නාමරූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතනං”.
නාම රූප නමින් හැදින්වෙන පංචස්කන්ධ සංඛ්‍යාත සත්ව කාය ඇසුරෙහි විඤ්ඤාණය පවතින බවත් එම හේතුව නිසාම සත්වයාගේ උපදීම මැරීම දිරීම හා නැවත ඉපදීම සිදුවන බවත් ඉහත සූත්‍ර පාඨයෙන් විස්තර වේ.

දීඝ නිකායේ මහා නිධාන සූත්‍රයෙහි බුදුරඳුන් ආනන්ද හිමියන් අමතා සත්වයෙකු මව් කුස පිලිසිඳ ගැනීම හා සම්බන්ධව කරනු ලබන දේශනයද මෙහිලා වැදගත් වේ. මෙහිදී අවධානයට යොමු විය යුතු මජ්ජිම නිකායේ මහා තන්හා සංඛ සූත්‍රයේ එන, සත්වයාගේ පිලිසිඳ ගැනීම සිදුවීම කරුනු 3ක් එකාබද්ද වීම සම්බන්ධ දේශනයද මෙහිලා වැදගත් වේ. එහි සඳහන් වන්නේ,
Ø මව සෘතුභාවයට පත් වීමත්,
Ø මව්පියන්ගේ සංවාසයත්,
Ø ගන්ධබ්බයෙකුගේ අභිමුඛ වීමත් තුල ප්‍රතිසංධිය ලබන බවයි.

මෙම දේශන හා මහා නිධාන දේශනය සසදා බැලීම වැදගත් වේ.
Ø “ආනන්දය විඤ්ඤාණය මව් කුසට නොබසින්නේ නම් (මව් කුස ප්‍රතිසංධි වශයෙන් නොපහලවන්නේ නම් ) හුදු නාමරූපය (කලල ආදී වශයෙන් මිශ්‍රව ) මව් කුස පහල වන්නේද” ?
Ø “වහන්ස මෙය නොවන්නේමය”
Ø “ආනන්දය විඤ්ඤාණය මව්කුසට බැස (ප්‍රතිසංධි වශයෙන් පහලව ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම් ) නාම රූපය මෙබඳු (පරිපූර්න ස්කන්ධ බවට ) පත් වන්නේද” ?
Ø “වහන්ස නොවන්නේමය”
Ø “ආනන්දය ලදරුම කුමරුකුගේ හෝ කුමරියකගේ හෝ විඤ්ඤාණය සිදෙන්නේ නාමරූපය වැඩීමට නැගීමට විපුල බවට පත් වන්නේද”
Ø “වහන්ස මෙය නොවන්නේමය”
Ø “ආනන්දය එහෙයින් විඤ්ඤානය යන මෙයම නාමරූපයට හේතු වේ. මෙයම නිධාන වේ. මෙයම සමුදය වේ. මෙයම ප්‍රත්‍ය වේ”.
Ø “තස්මාදී ආනන්ද ඒසේව හේතු ඒත්ං නිධානං ඒස සමුදයෝ ඒස පච්චයා නාම රූපස්ස යද්දිං විඤ්ඤාණං”
(දීඝ නිකාය 2 කොටස මහා නිධාන සූත්‍රය 92පිට )

විඤ්ඤාණය මව් කුසට පැමින නැවත පිටව ගිය පසු නාමරූප වශයෙන් ස්කන්ධ ඇති වී පහල වීමක් සිඳු නොවේ. විඤ්ඤාණය හෙතු කොට ගෙන නාමරූප එසේ පහලවුවත් යම් හෙයකින් කුඩා අවධියේ විඤ්ඤාණය සිදී ගිය හොත් නාමරූප වල වැඩීමක් නොවන්නේය, යන කරුණ මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වේ.
මුල් බුදු සමයේ සූත්‍ර දේශනා තුල සඳහන් වන මෙම අදහස් ගැන සාවධානව සලකා බැලීමෙන් පුද්ගලයාගේ උපත හා මෙලොව ජීවිතයේ පැවැත්මත් එම පැවැත්ම මුල් කොට ගෙන මතු උපත හට ගැනීමත් සිඳු වන බව තහවුරු කරන ක්‍රියාපද්ධතිය ලෙස,
Ø “විඤ්ඤාණ පච්චයා නාමරූපං- නාමරූප පච්චයා විඤ්ඤාණං”
යන පටිච්ච සමුත්පාදයේ මෙම අංගද්වය හේතුපාධක වන බව මැනවින් තහවුරු වේ. මෙම අංගද්වයෙන් පටිච්ච සමුත්පාදයේම සාරය ඇතුලත්ව ඇති බව විශේෂයෙන්ම සැලකිය යුතුය.

මේ නිසා මුල් බුදු සමයෙහි සූත්‍ර දේශනා වලට අනුව රූප ධර්ම ඇසුරු කොට උපතක් සිදුවීම හෝ නාමරූප ඇසුරු කොට අමුතුවෙන් විඤ්ඤාණයක් හා දෙවනුව නාමරූපයන්හි පහල වීම හෝ පලමුව නාමරූප හා විඤ්ඤාණයෙ පහල වීම හෝ සිඳු නොවේ.
පුද්ගලයාගේ උපත හා මෙලොව ජීවිතයේ පැවැත්ම ඉහත අංගද්වයේම සාපේක්ෂකත්වයෙන් සිඳුවන බව විශේෂයෙන් සැලකිය යුතුය.

6 comments:

  1. ලිපිය අර්ථවත් , පෙර ලිපියට දාපු කොමෙන්ට් 1 කට නිවර්දි පිලිතුර විස්තරත්මකව දක්වල තියනවා , මේ ලිපිය පරිස්සමින් කියවන්න ඕනි හොදට වෙලාව අරගෙන .....

    බොහොම පින් සිදුවෙන වැඩක් අපේ මාරය තුමගෙනුත් අටුවා ටීකා ලියවුනොත් හොදයි මොකද මහන වෙලා හිටපු කෙන්ක් නිසා .

    ReplyDelete
  2. අවංකවම කිව්වොත් බුද්ධ ධර්මය ගැන මට ගැඹුරින් කියවන්න ලැබිලා තියෙන්නෙ බොහොම අඩුවෙන්.. මේ හැමදේම ගැන මට තිබුනෙ සාමාන්‍ය අදහසක් විතරයි. ලිපිය කීප සැරයක්ම කියවලා යම් අදහසක් ගත්තා .

    ඔබතුමාට වෙලාවක් ලැබුනොත් අන්තිම ඡේදය තව ටිකක් විස්තර සහිතව පැහැදිලි කරනවද ?

    ReplyDelete
  3. බොහොම ස්තූතියි. බොහෝ දෙනෙකුට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි නිවැරදි වටහා ගැනීමක් ලබා ගන්න.

    ReplyDelete
  4. මරු ලිපිය.... සම්පූර්ණයෙන් කියවන්න ලැබුණෙ නෑ...
    දිගටම ලියන්න....

    ඇල්.

    ReplyDelete
  5. සාදු සාදු..හුඟක් පිං.

    ReplyDelete
  6. හෙට සෙනසුරාදා නිසා නිවාඩු පාඩුවෙ කියවන්න වටිනා ලිපියක්,

    ReplyDelete