Saturday, June 4, 2011

ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයා හදුනාගන්න.........

මම මේ කරන්න හදන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මේකත් අපේ වෙද හාමිනේට නොපෙන්වා තමයි දාන්න වෙන්නේ.
ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ ආයුර්වේද කියලා වෛද්‍යවරුන් ගොඩක් ඉන්නවා.
මම අද ඔබට කියලා දෙන්නම් හරියටම ආයුර්වේද වෛද්‍යවරයෙක් හදුනා ගන්න ක්‍රමය.
1. පාරම්පරික වෛද්‍යවරු
2. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු
3. විශේෂ වෛද්‍යවරු
4. විශේෂඥ වෛද්‍යවරු
5. කිසිම සහතිකයක් නොලබා සේවය කරන වෛද්‍යවරු
දැන් අපි මේ කට්ටිය වෙන වෙනම හදුනා ගනිමු.

පාරම්පරික වෛද්‍යවරු
මේ අය තම සේවය සලසන්නේ ඉතා ඈත අතීතයේ සිට එන තම තමන්ගේ මුතුන් මිත්තන් ආරක්ෂා කල වෙදකම් ක්‍රම මඟින්. ඇත්තටම මේ වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ලොකු සේවයක් කර තිබෙනවා. එනම් යටත් විජිත යුගයේ සිට ඉතා මහන්සියෙන් මේ වැදගත් ශාස්ත්‍රය ආරක්ෂා කිරීමයි. අද අපි ප්‍රයෝජනයට ගන්නේ මේ අය ආරක්ෂා කල දැනුම.

පාරම්පාරික වෛද්‍යවරුන් රජයේ ලියාපදිංචි කරන ක්‍රමයක් තිබෙනවා.
1. කිසියම් විභාගයකට මුහුනදී ඉන් සමත් වීම සුදුසුකම ලෙස සලකා. මෙහිදී පාරම්පාරික වෛද්‍යවරයෙක් තම පරම්පරාව හෝ තම ගුරුවරයාගේ පරම්පරාව නිවැරදිව සහතික කල යුතුයි.
මෙහිදී ඩී. ඒ. හෙවත් ඩිප්ලෝමාවක් ලබා දෙනවා. ඒ සදහා විධිමත් වසර කීපයක් වෛද්‍යරුන් යටතේ පුහුණුව සහතික කලයුතුයි.

2.ඊලග ක්‍රමය එම වෙද පරපුරේ සේවය සලකා ලබා දෙන ලියාපදිංචිය. මේක නම් දැන් නොකෙරෙන තරම් හේතුව දැනට සියල්ලන්ම ලියාපදිංචිකර අවසන්.

උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු
මේ සඳහා අද වන විට ආයතන තුනක් රටේ තියනවා.
1. කොළඹ විශ්ව විද්‍යාලය යටතේ රාජගිරිය ආයුර්වේද විද්‍යායතනය.
2. කැලණිය විශ්ව විද්‍යාලය යටතේ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය.
3. යාපනය විශ්ව විද්‍යාලය යටතේ කයිතඩි ආයුර්වේද විද්‍යායතනය.

මේ ආයතන තුනෙන් උපාධි කීපයක් ලබා දෙනවා.
1. කොළඹ/ කැලණිය/ කයිතඩි තුනම - B.A.M.S.
2. කොළඹ/ කයිතඩි යුනානි වෛද්‍ය ක්‍රමය සදහා ලබා දෙන උපාධිය. B.U.M.S.

මේ ආයතන විශ්ව විද්‍යාලය තුලට ඇතුල් වීමට පෙර ලබාදුන් උපාධි
කොළඹ D.I.M.S.
යක්කල D.S.A.C.

යක්කල වික්‍රමාරච්චි ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් වී ඊලග අවුරුදු කීපය ලබාදුන් උපාධිය ( කැලණිය විශ්ව විද්‍යාලය යටතේ) D.S.A.M.S.

මේ සියල්ලන් අදාල විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් ලෙස පිළිගෙන තියනවා. ඔවුන්ට විශ්ව විද්‍යාල ඕනෑම සිසුවෙකුට හෝ උපාධිධරයෙකුට තියන අයිතිවාසිකම් තියනවා.

විශේෂ වෛද්‍යවරු
මොවුන් ඉතාමත් සීමිතව ලියාපදිංචි කරනවා. නමුත් මේ අය පූර්න අයිතිවාසිකම් ඇති වෛද්‍යවරු නෙමෙයි. මොවුන් යම් යම් එක් විෂයක් පමණක් පිළිබඳ වෛද්‍ය ලියාපදිංචිය ඇති අය. උදාහරනයක් ගත්තොත්, කැඩුම් බිදුම/ පිස්සු බලු රෝගය / ගෙඩිවන / සර්ප විෂ මෙන්න මෙවැනි තනි විෂයක් පමනයි මොවුන්ට අයත් වන්නේ.

විශේෂඥ වෛද්‍යවරු
ඉතාමත් සීමිත ගනනින් 15 පමන පිරිසක් පමනයි දැනට අපට සිටින්නේ. ඉතාමත් ඉහලට මේ විෂය හදාරා ඇති මෙවැනි වෛද්‍යවරුන් තව බොහෝ ගනනක් මේ රටට අවශ්‍යයි. මොවුන් අතර දැනට මහාචාර්ය්‍යවරුන් දෙතුන් දෙනෙක්, අචාර්ය්‍ය උපාධිධාරීන් කීප දෙනෙක් හා අදාල විෂයෙන් තම විශෙෂඥතාවය ලබාගත් කීප දෙනෙක් අපට සිටිනවා. තවත් 30, 40 පමණ කන්ඩායමක් මේ අය අතරට එකතු වෙනවා ඉදිරි වසර කීපය තුල.

කිසිම සහතිකයක් නොලබා සේවය කරන වෛද්‍යවරු
මේ අය අද ආයුර්වේදයට මහා පිළිලයක් වෙලා තිබෙනවා. මින් සමහරුන් බටහිර බෙහෙත් කුඩුකර කලවම් කරදෙන වෛද්‍ය ප්‍රතිරූපකයන්, තව සමරුන් බටහිර ආයතනවල සේවය කල සේවකයන් නොයෙක් හෙතුමටහ් රැකියා අහිමි වූවන්. එතකොට අදාල පරීක්ෂණවලින් අසමත් වූවන් ලෙස පුළුල් ලෙස පැතිරී සිටිනවා. මේ අය ඉතා පහසුවට පෙනී සිටින්නේ ආයුර්වේද වෛද්‍ය නමින්. පසුගිය කල ඔබට මතක ඇති නොයෙක් දෙනා මේවැනි අය පත්තරවල් තමන් ගැන ලිපි දම්මා ගත්තා මහා ජීවකයන් ලෙස පෙනී සිටිමින්. මොවුන් සමාජයේ දේශපාලකයන් හදුනන ඉතා බලවත් පිරිස් ඇසුරු කරන යම් බලයක් ගොඩනගාගෙන සිටිනවා. මොවුන් ආයුර්වේදයේ සක්විතිලා.

මෙන්න මෙහෙම හමයි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සුදුසුකම් බලාගන්න වෙන්නේ.
ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන.


තව දෙයක් කියන්න ඕනෙ මම මගේ වෛද්‍ය ජීවිතයේ කරන ලොකුම සටන තමයි ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර බෙහෙත් භාවිතා කිරීමෙන් වලක්වන්න කරන සටන. මම කියනවා කිසිම ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයිතියක් නැහැ, මොනම හෙතුවකටවත් බටහිර බෙහෙත් භාවිතා කරන්න.

20 comments:

  1. වෙද මහත්තයෝ මම ඔන්න ගිනි ඇවිලෙන පුරස්නයක් අහන්නයි යන්නෙ. සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි දෙකටම ඔය විස්තරේ අදාලද?

    ReplyDelete
  2. " ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන. "

    වෙද මහත්තයගෙන් සුදුසුක0 ඇහුවොත් ගුටිකන්න තමයි වෙන්නෙ................................

    ReplyDelete
  3. පොඩිගමයා
    ඔය ප්‍රශ්නෙ ඉතාම හොද ප්‍රශ්නයක්. මොන ගිනි ඇවිලුනත් මම උත්තර දෙන්නම්.
    ඒත් ටිකකට මේ දේත් බලන්න. ඔන්න ආයුර්වේද අමාත්‍යාංශයේ නම තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. හැබැයි ඒ යටතේ තියන්නේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවක් නෙමේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවක් කාට කියන්නද????

    දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ පෙර රජකල සිට පැවත එන අපේ දේශීය වෙදකම. මෙහිදී භාවිතයට ගන්නා මූල ධර්ම සියල්ලම ආයුර්වේද හා සමානයි. නමුත් ඖෂධ සමහර වෙනස්. ඒත් මේ දෙක අතර ලොකුම වෙනස්කම් නැහැ. ඒත් මම දකිනවා සමහර රෝග වලට ආයුර්වේද ඉන්දියා ක්‍රමයට වඩා අපේ දේශීය ඖෂධ ගොඩක් ප්‍රතිඵලදායකයි.

    සමීර,
    ඔව් මම පඬි කථා කිව්ව නම් දැන් උත්තර දීපල්ලකෝ. බය වෙන්න කාරියක් නැහැ. අර කිව්ව 30 - 40 අතර මාත් ඉන්නවා.

    ReplyDelete
  4. හොද ලිපියක් හැමෝම කියවිය යුතුමයි.අත්ගුණය හොද වූ පමනින් කෙනෙකුට වෙද මහත්තයෙක් වෙන්න බැහැ.ඒකට හැකියාව සුදුසුකම් හා බුද්ධියත් තියෙන්න ඕන.මම හරි නේද වෙද මහත්මයා.

    ReplyDelete
  5. "ඔව් මම පඬි කථා කිව්ව නම් දැන් උත්තර දීපල්ලකෝ. බය වෙන්න කාරියක් නැහැ. අර කිව්ව 30 - 40 අතර මාත් ඉන්නවා."...

    අහන්නත් සන්තෝසයි ...

    1. ඔබතුමා වැනි බ්ලොග්කරණයේ නියැලෙන , විශේෂඥ වෛද්‍යවරයෙක් අපට ඉදිරියේ හිමි වීම

    2.ඔබතුමාට අමතරව තවත් 29ක, 39ක විශේෂඥ වෛද්‍යවරු පිරිසක් රටට ලැබීම ...

    ReplyDelete
  6. //ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන//


    මේවා අහන්න ගිහින් ලුනු ඇඹුල් ඇතුව අහගන්න වෙයිද?


    සෑමදෙනා විසින්ම දැනගතයුතු කරුණු මේවානම්.
    දැනුවත් කලාට ස්තුතියි.

    වෙද්දුන්ට දැන් තියන ලොකුම සුදුසුකම හැටියට සඳහන් වන්නේ ජනාධිපතිතුමත් ප්‍රථිකාර ගන්නේත් ඔහුගෙන් යයි කියන එක නොවැ .

    ReplyDelete
  7. එතකොට ලුනු ඇබුල් ඇතුව ඔයාගේ අයිතිය ගැන කියලා දෙන්න.

    මේ හැම වෛද්‍යවරයෙක්ම රෝගීන්ට පෙනෙන ලෙසත්ම සුදුසුකම් ප්‍රදර්ශනය කල යුතුයි.

    මම නම් හිතන් නැහැ අපේ ජනාධිපතිතුමා එච්චර ලෙඩෙක් කියලා. එතුමා ඔය ඉන්නේ කොල්ලා වගේ දෙවියන්ගේ පිහිටෙන්.

    ReplyDelete
  8. නිතර කොමෙන්ට් නොකලට මාත් හැම එකක්ම බලනවා..කොමෙන් නොකලට හොද ලිපි ටික අරගෙන බස් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න අමතක කරන්නේ නැහැ..මේ ලිපියත් වැදගත් ලිපියක්..ඔන්න ඒකත් දැම්මා

    ReplyDelete
  9. මමත් දේශීය වෙද මහත්තයෙක්ගෙන් තියා ඉංගිරිස් වෙද මහත්තයෙක්ගෙන්වත් බෙහෙත් අරන් නෑ කාලෙකින්. නමුත් අපි හැමෝගෙම දැණුමට ඔබතුමා කරන මේ වැ‍ඩේනම් කියල වැඩක් නැති වැඩක්!

    ReplyDelete
  10. අපිට වෙද මහත්තයගේන් අපිට වෙදකමක් කර ගන්න බැරිවෙයිද දන්නේ නෑ.... එහෙමත් නැතිනම් තොරතුරක් ලබා ගන්න...

    ReplyDelete
  11. මාරය මල්ලී
    කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ මට ගොඩක් උදව් කලා මේ ටිකට. මට ඕනෙ මේ දෙවල් නැවැත සමාජගත කරන්න. සාකච්ඡාවට ලක් කරන්න. ඒක අපේ යුතුකම. ජය!

    හරී,
    එවන් විපතක් කවදාවත් නොම වේවා. මුළු දිවියම නීරෝගීව ගත කිරීමට ලැබේවා!

    හිරු ප්‍රභා,
    ඔබට ගොඩක් ස්තුතියි. මගෙන් ප්‍රතිකාර ගන්න තරම් ඔබ අවාසනාවන්ත නැහැ.

    ReplyDelete
  12. හාමිනේට හොරා දානවා කිව්වෙ මොකෝ

    ReplyDelete
  13. ඒක ලොකු කථාවක් බුද්ධි ඒත් මම නිකම් ඔයාට හෝඩුවාවක් දෙන්නම්, මොකද අපේ බ්ලොග් පවුලේ මම අළුත් සාමාජිකයෙක් නිසා. ලංකාවේ ආයුර්වේදෙ ඉන්නේ ගොඩක් ආත්මාර්ථකාමී කට්ටිය. සල්ලි මුල් කරන් තමයි මේ හැමෝම වැඩ කරන්නේ. කවුරුත් හිතන් නැහැ අපි මොනදේ කරන්නෙත් ජනතාවට කියලා. ඉතිං මම ටිකක් වෙනස් කෙනෙක් ඒ නිසා මම දැනට හදාගෙන ඉන්න සතුරො ගාන ගොඩක් වැඩියි. තවත් සතුරො හදාගන්නවට මගේ වෙද හාමිනේ හරිම බයයි. මම ඔයාට මෙහෙම කියන්නම් ආයුර්වේදෙට ඉන්න හතුරො ඉන්නේ ආයුර්වේදෙ ඇතුලෙමයි. ඕක තමයි හේතුව. මම ලියන දේවල් මුලින්ම කියවන්නේ එයා.මේවගේ ඒව නොපෙන්න දාල කනේ ඇබ ගහන් ඉන්නවා.

    ReplyDelete
  14. ඔය ප්‍රශ්නය ආයුර්වේදයේ පමණක් තියෙන එකක් නෙමෙයි... ලංකාවේ අති බහුතරයක් රැකියාවක් තෝරාගන්නේ ඒම රැකියාවට අදාළ විෂය පථය ගැන විශාල ආශාවකින් (passion) නොවේ... ඒම නිසා අවසානයේ සමාජ තත්ත්වය ලබා ගැනීම හා මුදල් සෙවීම හැර වෙන අරමුණක් ඇතිවන්නේ නෑ. ඒම නිසා ඒම ක්ෂේත්‍රයට සේවය කිරීමේ හෝ අලුත් පර්යේෂණ කිරීමේ උවමනාවක් බහුතරයට නෑ....ඔබගේ මේ උත්සාහය දිගටම පවතීවි කියා සිතනවා..

    ReplyDelete
  15. මේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් තිබෙනවාද කියා දැනගැනීමට කැමතියි.. එවිට මෙවැනි වංචනික අය හඳුනාගැනීම පහසු වෙනවා..

    ReplyDelete
  16. දැනට හැමතැනම නැහැ. දකුණු පලාත් සභාව ඉතාම හොදට ඒ වැඩේ කලා. නමුත් අනිත් අය නිදි. අපි දැනට දේශපාලන පාර්ශව සමඟ සාකච්ඡා පවත්වනවා. ඉදිරියේදී හරි යාවි. අපේ මේ තනතුරුවල ඉන්නේ ගොඩක් වයසක ඩයල්. මුන් ඇමතිලා දැක්කම කරන්න ගිය වැඩේ අමතක කරලා වෙන බයිලා කියලා කේක් කාල එනවා. ඒ නිසා ටිකක් ප්‍රමාදයි

    ReplyDelete
  17. ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා දුනහොත් ගොඩක් පින් ..

    ReplyDelete
  18. ඔබ තුමාව හමුවීයහැකි ක්‍රමයක් හෝ දුරකථන අංකයක් ලබා දුනහොත් ගොඩක් පින් ..රෝගයකට ආයුර්වේද ප්‍රතිකර්ම තිබෙදේ කියා දන ගැනීම සදහා..

    ReplyDelete
  19. සහෝදරය හෝ සහෝදරිය,
    සමාවෙන්න. මේ බ්ලොග් එක මගේ වෛද්‍ය ව්‍යාපාරයේ ඇඩ් එකක් නෙමේ. තරහා වෙන්න එපා. මම ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් මාව ඔබට ලෙහෙසියෙන් සොයාගත හැකියි. නමුත් මේ බ්ලොග් එකෙන් නෙමෙයි. ඔබේ ඕනෑම ගැටළුවක් නිර්නාමිකව හෝ දමන්න.
    නැවතත් සමාවෙන්න.

    ReplyDelete
  20. ඔබ තුමාගේ e මෛල් ලිපිනය
    වත් දෙන්න පුලුවන්ද ?????

    ReplyDelete