Thursday, June 16, 2011

ලංකාවේ බුදුදහම සහ මිහිදු හිමියන්ගේ ආගමණය.

හැම පෝයටම මම ලංකාවේ ඉන්නව නම් කරන ප්‍රධානම වැඩේ අම්ම බලන්න යන එක. අද යන්න හිතන් ඉන්නේ ඒත් හෙට ඉදලා මගේ දෝණියට යුනිට් ටෙස්ට් පටන් ගන්න නිසා අද යන්නේ මම තනියම. මගේ අම්මට මම නොගියත් දෝණියයි, වෙද හාමිනෙයි ගියොත් ඇති.

හොදයි ඕවා ඔහොම තමයි.

මම අද හිතන් ඉන්නේ බුදු දහම ගැන ලිපියක් ලියන්න. කාරනා කීපයක් තියනවා මතු කර ගන්න. ඒත් කට්ටිය මට හොදට සලකයිද දන්නේ නැහැ. මේවා ලියන්න ගිහිල්ල.ඒකට කමක් නැහැ. අපි අපිනේ ඔන්න ඔහේ ලියලම දානවා.

මේක මම කුඩා කාලේ ඉදලම මට තියන ප්‍රශ්නයක් මට හිතෙන්නේ මිහිදු හාමුදුරුවෝද ලංකාවට බුද්ධාගම ගෙනාවේ?

අනේ මන්ද මට හැමදේම පේන්නේ වැරදි පැත්තෙන්නේ. ඒත් අපි හැම අවස්ථාවකම ඇත්ත හොයන්න ඕනේ නේද?

@ අපි දන්නවා ලංකාව කියන්නේ ඉන්දියාවට ඉතාම් කිට්ටුවෙන් තියන රටක්. ඒ රටේ යම් කොටසක ඇති වූ ඒ කාලයේ හැටියට ජම්බුද්වීපයේ මහා පෙරලියක් කරපු බුදු දහම ලංකාවට එන්නේ ඊට අවුරුදු සිය ගනනකට පස්සේ කියන කාරණය මට නම් සැකයි වගේ.

@ ඊලඟ කාරනය තමයි ඒක එහෙමනම් ලංකාවේ ඒ වෙනකොට තිබුනේ මොනවගේ ආගම්ද?

@ එහෙම නම් ඒ ආගම් ආවේ කොහෙන්ද?
අපි දන්නවා ලංකාවේ කවදාවත් ආගම් කතෘ කෙනෙක් ඉපදිලා නැහැ කියලා.

@ එතකොට බුදුදහම ස්ථපිත වූ පමණින් මේ ආගම් නැති වෙලා ගියේ ඇයි?

මෙන්න මේ ප්‍රශ්න ඇත්තටම මට ප්‍රශ්න. ඒ නිසා මගේ ප්‍රශ්නවලට මම දුන්න පිළිතුරු තමයි මේ.

අපි දන්නවා ඉන්දියාව කියන රට ඉන්දියාව වෙන්නේ සුද්දගෙන් පස්සේ. ලංකාව, ලංකාව වෙන්නේ 1972 විතර මේ ගැනත් අපි වෙනම කථා කරමු.
අපි බෞද්ධාගම ලංකාවට ආවයි කියන කාලයේ ලෝකයේ තිබුන වාතාවරනය සලකා බලමු. ඒ වෙනකොට මුළු ලෝකයටම සිටි මහා අධිරාජයා තමයි ධර්මාශෝක හෙවත් චන්ඩාශෝක. මේ රජු ලෝකයේ වැඩි කොටසක් මේ වෙනකොට පාලනය කලා. එතකොට ලංකාවේ රාජ්‍ය කලේ දේවානම් පියතිස්ස. මෙතුමා දැන සිටියා නම් ධර්මාශෝක රජුගේ ජයග්‍රහන ගැන නිසැකවම එකඟ වෙන්න ඇති සටන් නොකර යම් ස්වෛරීභාවයකුත් තබාගෙන යටත් නොවී යටත් වෙන්න.

කාලිංග යුද්ධය නිසා මිනිස් ජීවිත 150000, පමණ විනාශ වුනා කියන එක සාමාන්‍ය විශ්වාසයි. එහෙමනම් මොන තරම් ධනයක් විනාශ වෙන්න ඇතිද?
චන්ඩාශෝක මොන ක්‍රමයකින් හරි බුදු දහම ගැන ඇති වූ පැහැදීමෙන් පස්සේ රාජ්ය තාන්ත්‍රික භාවය උපයෝගී කරගෙන මේ නව දහම තම දිග් විජය ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟන්න තෝරා ගන්න ඇති. මේ වෙනකොට සිටි බමුණන් සියල්ල ආයුධ සන්නද්ධව රටවල් යටත් කිරීම කියන ප්‍රතිපත්තියේ සිටි නිසා (කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව.) අශෝකට නව වෙනසක් ඔනෙ වෙලා තිබ්බ වෙලාවක මේ නව සොයා ගැනීම කන වැටෙන්න ඇති. එහෙමත් නැත්නම් බෞද්ධ කාලිංගයන්ගේ උපක්‍රමයක් වෙන්නත් ඉඩ තිබෙනවා.

මොන ක්‍රමයකින් වුවත් අශෝක තම දිග් විජය ප්‍රතිපත්තිය අත් නොහැරපු බව නම් විශ්වාසයි. මේ බෞද්ධ අශෝක තම දහම රටවල් නවයකට හදුන්වා දෙනවා.

අපි බලමු මම කියන මේ තත්වය එනම් ලංකාවට මිහිදු හිමියන් ධර්මය ඇත්තටම ගෙනාවද? කියන කාරනය. මම මේක විශ්වාස කරනවා. ඒත් මම හිතන් නැහැ ඒ වෙනකොට ලංකාවට බුදු දහම අළුත් කියලා. මේ අවධියේ ලංකාවේ නොයෙක් ආගම් පවතිනවා. ගස් ගල් ඇදහීම, දෙවියන් ගැන විශ්වාසය, හින්දු දහම, ආදී ඒ වෙනකොට ජම්බුද්වීපයේ තිබූ හැම දහමක්ම වගේ ලංකාවෙත් තිබෙනවා.

සියවස් කීපෙකට කලින් ඇතිවූ, ඒ අවධියේ ලෝකයේ සිටි ඉහලම අධිරාජයාට පිළිගත හැකි තත්වයට තිබූ බුදු දහම ලංකාවට ආගන්තුක වෙන්න තියෙන ඉඩ ඉතාමත් සීමිතයි.

එහෙම නම් අපි කොහොමද පිළිගන්නේ ලංකාවේ ඒ වෙනකොටත් බුදු දහම තිබුනා කියලා? කෝ අපිට සාධක?
ඒ සඳහා තිබෙන සාධක මොනවද කියන එක.

1. භූමියේ පිහිටීම ඇසුරින් තිබෙන සාධක. මෙහිදී අපිට තිබෙන ප්‍රධාන සාධකය තමයි ලංකාවත් භාරතයත් ඉතා කිට්ටුවෙන් පැවතීම.

2. අත් අකුරු බැලුවම නාගර අකුරු සිංහල අකුරු ඉතාම කිට්ටු සම්බන්ධයක් පෙන්වනවා.
භාෂාවන් ගත්තම ඉන්දියාව පුරා විහිදුනු හැම භාෂාවකම සිංහල භාෂාවට සමාන වචන ආදී දේ අප්‍රමාණව තිබෙනවා.

3. හැම වෙලේම ඉන්දියාවත් ලංකාවත් ලෙස යම් සුහද මෙන්ම විරුද්ධ වූත් සමාජමය හා සංස්කෘතික බැදීමක අප අතර පවතිනවා. (ඒ හරහා අතීතයේ සිටම අප අතර ඉතා තද බැදීමක් පැවතියා. මේ බැදීම අද අපට මහා ගැටළුවක් බවටත් පත් වී තිබෙනවා. නමුත් සත්‍ය නම් ඉන්දියාව, ලංකාවට තමා කැමති වුවත් අකමැති වුවත් ලඟම සිටිනා අසල් වැසියාය.)

4. ඓතිහාසික සාධක මේ සාධක අනුව මුලින්ම අපි දන්නවා පිලිගැනීමක් තිබෙනවා බුදුන් වහන්සේ ලංකාවට තුන් සැරයක් වැඩි බවට. එසේ වූවනම් ඒ අවස්ථාවල රාජකීයයන් පවා බුදුන් සරන ගියා නම් නමට හෝ බෞද්ධයන් කීපදෙනෙක්වත් සිටිය යුතුයි නේද?

5. මේකත් වැටෙන්නේ ඓතිසාසික සාධක වලට. පලමුවෙන් බුදුන් සරණ ගිය පුද්ගලයෝ වශයෙන් සඳහන් වෙන්නේ තපස්සු භල්ලුක දෙදෙනා. මොවුන් දෙබෑයන් වූ අතර ලෝකයේ පලමු නැව් සමාගම් හිමියන් විදියටත් සඳහන් වෙනවා. බුදුන් වහන්සේගෙන් ලබාගත් කේෂ ධාතු ලංකාවේ ගිරිහඬු සෑයේ තැන්පත් කලා නම් අඩු ගනනේ ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන් කීපදෙනෙක්වත් බෞද්ධයන් වෙන්න බැරිද?මහියංගනය චෛත්‍ය සෑදීමත් මිහිදු හිමියන්ට කලින් බුදුන් වහන්සේගේ ආගමනය නිසා සිදූවූ දෙයක් නේද?

6. මේ තවත් ඓතිහාසික සාධකයක්, ලංකාව සේද මාරගයේ ප්‍රධාන සංධිස්ථානයක් බව අපි දන්නවා. මේ සේද මාර්ගය බුදු දහම ප්‍රචලිත වෙන්න ඉතා උපකාරී වූවා කියන එකයි මගේ අදහස. බාමියන් බුදු පිළිම පවා ඇත්තේ සේද මාර්ගයේ තමයි. මේ සේද මාර්ගය අවට සියළුම රටවල් එකල බෞද්ධ බව ඉතිහාසය අනුව පෙනෙනවා. එම නිසා සේද මාරගයේ පැමිණි බෞද්ධ වෙළදුන් මේ දහම ලංකාවට ගෙනාවේ නැද්ද කියන කාරනයත් මට තිබෙන ප්‍රශ්නයක්?

7. මහා භාරත කාව්‍යයේ සඳහන් වෙන කුරු පංචාල යුද්ධයේදී මහා වීර දුර්යෝධනයන්ට ( මගේ වීරයා මොහු තමයි.) උපකාරයට පැමිණි අවට රටවල සේනා අතර රාවණ දේශයෙන් ගිය අපේ හමුදාවත් සිටියා. එහෙමන එපමන කලකට පෙරත් අපි සම්බන්ධ මිත්‍ර සංධාන තිබුනනම් බුදුදහම ඇති වූ පසුකල වෙනකොට යම් හෝ මිත්‍ර බෞද්ධ රටක් අපිට නොයින්න ඇත්ද?

8. මම විශ්වාස කරන විදියට රාවණා යුද්ධ කලේ තම ඤාති දියණිය වෙනුවෙන්. එහෙමනම් අපි බුද්ධ කාලයටත් ඈත අතීතයේ රාජකීය විවාහ ගිවිස ගැනීම් පවා කරල තිබේ නම්. ඊට බොහෝ පසු ඇති වූ බුදු දහම පිළිබඳ පනිවිඩය අපිට එන්න මෙතරම්ම පමා වුනාද?

මෙවැනි සාධක තවත් රාශියක් අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ ගැන.

එතකොට මේ මිහිදු හිමියන්ගේ කථාව බොරුවක්ද කියන කාරණය දැන් අපිට එනවා.

නැහැ. මම කලින්ම කිව්ව වගේ මම මේ කථාව විශ්වාස කරනවා තදින්ම. එහෙමනම් මේ කියන කාරණා කොහොමද වෙන්නේ?

මට හිතෙන්නේ මේක සොදුරු තර්ජනයක් මගින් කරපු සොඳුරු ආක්‍රමණයක්.
ඒ වගේ කථාවක් අපිට විශ්වාස කරන්න තියන සාධක මොනවද?

මට හිතෙනවා අපේ තිස්ස රජතුමා රජවෙලා ඔටුනු පැලදලා රාජ්‍යත්වය තහවුරු කර ගත්තට පස්සේ නැවත ආයිමත් ඔටුනු පලදින්නේ ඇයි?
අපි එහෙම දෙයක් කවදාවත් නැවත කරලා නැහැ.
කොහොම වුනත් රාජ්‍යත්වට වුවමනා සංකෙතමය භාන්ඩ අශෝක ඇයි ලංකාවේ මිත්‍රයට එවන්නේ?
මේක ආක්‍රමණයක් නොවන ආක්‍රමණයක් නෙමෙයි නම් එහෙම වෙන්නෙ නැනැ නේද?

ලංකාවට මිහිදු හිමියන් නොපැමිණියේ නම් අපට ඇති වන්නට තිබූ තත්වය කුමක්ද?
මම නම් හිතනවා එහෙම වුනා නම්
1. අද බෞද්ධයො ලංකාවේ නැහැ.
2. ලංකාව තවදුරටත් ස්වෛරී රටක් නෙමේ. අනිවාර්ය්‍යයෙන්ම අපි එහෙනම් ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක්.
3. අපේ ප්‍රෞඩ සංස්කෘතිය ඇති වෙන්නැහැ.
4. ලෝකයේ ප්‍රමුකම ලිඛිත ඉතිහාසයක් අපිට නොලැබී යන්නට තිබුනා.
5. ඉතාම පොහොසත් භාෂාවක් වන සිංහල අපට අහිමි වන්නට තිබුනා.
6. කොටින්ම අද අපි දකින මේ ලංකාව අද එහෙම නම් බොහෝ වෙනස් වන්නට තිබුනා.

අපි හිතුවොත් අපිට බුදු දහම පැමිණීමෙන් සිදූ පාඩු විදියට ගන්න දෙයක් තියනවද ?
1. අපේ ඉතාම පැරණි ආගම් බුදු දහම තුල සැඟව ගියා. එහෙත් ඒවායේ නෂටාවශේෂ දැනුත් බුදු දහම තුල තිබෙනවා.
2. අපේ අනුරාධපුර රාජධාණියට පෙර අතීතය අපට නැති වී ගියා.
3. මිහිදු හිමියන් නිසා ඇති වූ බුදු දහමේ ප්‍රභෝදය තුල පෙර අපේ රටේ බෞද්ධයන් සිටියාය කියන එක අපිට අමතක වුනා.

මෙවැනි කාරණා බලන විට දැනට අපිට පෙනෙන්නේ බුදු දහම නිසා අප ලැබු දෙවල් ඉතා වැඩි බවයි.

මිහිදු හිමියන් පැමිණීමෙන් අපේ රාජ්‍යත්වය ගැන වූ ස්ථාවර භාවය ඉතා වැඩිවූවා විතරක් නෙමේ අපේ රජවරුන්ට යම් රාජ්‍යතවය ගැන ස්ථාවර හැගීමක් ඇති වුනා. රට වැසියන් පවා ඒ වෙනසට කැමති වුනා. ඒ නිසා තමයි අපි අනුරාධපුරය රාජධානිය ලෙස තබාගෙන සිටි කාලය තුල ශ්‍රී මහා බොධියත්, රජය වෙනත් තැන් වලට ගමන් කිරීමදී දන්ත ධාතුවත් අපේ රාජ්‍යත්වය පිළිබඳ ඉහලම සංඛේතය වූයේ.

මේ කරුණු අනුව මට හිතෙනවා අපි බෞද්ධයන් වී සිටි කාලය දැනට වඩා තවත් සියවස් කීපයක් අතීතයට ගමන් කරනවා. නමුත් රටක් ලෙස අපි නියම බෞද්ධ රටක් බවට පත් වූයේ මිහිදු හිමි ආගමනයෙන් පසුවයි.

මේ ලිපිය ඊයේ දමාගන්න බැරි වුනා. මම ඒ නිසා අද මේක දැන් පබ්ලිෂ් කරනවා.
ජය!!

14 comments:

  1. ඇයි ඔබ කියන්නෙ මිහිඳු හිමි නොපැමිනියානම් සිංහල භාෂාව නැති වෙන්නෙ තිබුනා කියලා.

    හපොයි...ඔන්න වෙන මිහිඳුල ගැන එහෙම කතා කරනවා නෙවෙයි...

    ReplyDelete
  2. හුටා... හොඳට තිබ්බ ඔළුව අවුල් උනා... මටත් ඔයින් එක ප්‍රශ්නයක්නම් තිබුනා... ඒක තමයි අර බුදු හාමුදුරුවෝ තුන් පාරක් ලංකාවට වැඩම කරලත් ප්‍රචලිත නොවුන බුදු දහම මිහිඳු හාමුදුරුවෝ එක පාරක් වැඩ ආපු ගමන් නැගලා ගියේ කොහොමද කියන එක....

    ඊට පස්සෙ ඕව ගැන හිතන්නෙ නැතුව හිටියා..

    ReplyDelete
  3. ලකී,
    ඔව් ඔබ කියන දේ නුව ඔන්න මම මිහිදු හාමුදුරුවෝ ගැන වුතරක් කථා කරන්නම්. ලකී ලංකාව පැත්තකින් තියන්න,
    1. ඔබ දන්නව අද පකිස්ථානයට අයත් වන පේෂවෝර් නගරය තුල තිබෙන අපේ ඓතිහාසික බෞද්ධ උරුමය වන ඉසිපතන විශ්ව විද්‍යාලයට වෙලා තියන දේ. එතකොට ඒ ආයතනයේ ගොදුරු ගම් වුනු අවට ගම්වල සිටි බෞද්ධයන්ට වෙලා තියනදේ. ඒ මොනවත ඕනෙ නැහැ. ඒ අයට අද එයාලගේ ආගම ජාතිය විතරක් නෙමේ භාෂාවත් නැති වෙලා නැද්ධ.

    2. ඊලගට සුනාපරත්න දේශය වුනු සෞදි අරාබියට අද මොකද වෙලා තියන්නේ?
    3. මහා ගැන්ධාරය එහෙමත් නැත්නම් දුර්යෝධනයන්ගේ මව කුන්තීගේ රටට අද මොකද වෙලා තියන්නේ? මම මේ කථා කරන්නේ අද කඳුළු දේශයක් වෙලා තියන ඇෆ්ගනිස්ථානය ගැන්.
    4. ඔය මම කථා කලේ ආසියාවනේ, එතකොට මෙක්සිකෝවට මොකද වෙලා තියන්නේ? මහා ඇස්ටෙක් ශිෂ්ටාචාරය අද තියනවද?
    5. මිසරය කෝඅද පාරාවෝ පරපුර?
    මට මෙහෙම කියන්න පුළුවන් මහා ලයිස්තුවක්.
    දැන් ඔබට වැටහුනා නේද අපි මේ බුදු දහම නිසා ඇතිවුනු බැදීම නිසා අපේ ජාතිය භාෂාව විතරක් නෙමේ අපේ මේ සංස්කෘතිය පවා ආරක්ෂ කරගෙන ඉන්නවා කියන එක?

    අභීත
    මගේ මිත්‍රයා මටත් ඔය ප්‍රශ්නෙන් තමයි පටන් ගත්තේ. මම ඒ නිසා බොහෝ පොත් පත් කියවූවා. ඉන් තමයි මේ විදියට මට තේරුම් ගියේ. මම වැරදි ඇති. ඒත් අපි මේවා කථා කල යුතුයි නේද?

    ReplyDelete
  4. හ්ම්ම්ම්...ඇත්ත.....................නැහැ මම එහෙම කියන්නෙ නැහැ.

    මට තව ටිකක් මේ ගැන හදාරන්න ආසයි. ඒත් අවාසනාවකට මට ඉන්නෙ විකි අංකලුයි ගූගල් දෙය්යොයි විතරයි..ඒත් බලමු.
    ඔබ හරිම ආකර්ෂණීය මාතෘකා වලට මාව තල්ලු කරනවා..

    ReplyDelete
  5. //පිලිගැනීමක් තිබෙනවා බුදුන් වහන්සේ ලංකාවට තුන් සැරයක් වැඩි බවට. එසේ වූවනම් ඒ අවස්ථාවල රාජකීයයන් පවා බුදුන් සරන ගියා නම් නමට හෝ බෞද්ධයන් කීපදෙනෙක්වත් සිටිය යුතුයි නේද??//

    හැබෑම තමා.අනේ මන්ද කාගෙන්ද මේවට උත්තර සොයන්නෙ දැන්??

    ReplyDelete
  6. ඉතිහාසය කියන්නෙ නොදැන අතගැසිය යුතු නැති විෂයක් කියල කාලයක් ඉතිහාසය ගැන රසවත්ව කරුණු ඉදිරිපත් කරපු පිටස්තරයෙක් කියල තියෙනව මෙතන...

    http://pitastharayablog.blogspot.com/

    මොකද ඉතිහාසය ගැන අපි දරන මතයක් ඔප්පු කරන්න උවමනා නම් සාධක ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි අනුමාන වශයෙන් විතරක් කියන්න පුළුවන් දේවල්නෙ ගොඩක් අපට තියෙන්නේ... නමුත් ඒ දේවල් සීරියස් ගැනීම නිසා වර්තමානයේ ඉන්න අය ලොකු ප්‍රශ්ණ ඇති කරගෙන තියෙනවා.

    මොනව වුණත් එක එක මතවාද එක්ක ඉතිහාසය හැදෑරීම ගොඩක් ආශ්වාදය ‍දනවන වැඩක්! මොකද ඒ මතවාද අස්සෙ තමයි අපේ අනාතතේ තියෙන්නේ... :D

    ReplyDelete
  7. බුදු හාමුදුරුවොත්න් වැඩම කළානම්, තපස්සු භල්ලුකත් ආවනම්, සේද මාර්ගයෙත් තිබුණනම් ලංකාවෙ බුදු දහම පිළිගත් අය ඉන්න ඇති. නමුත් රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව, රාජ්‍ය ආගම ලෙස බුදු දහම පිළි ගැනෙන්න ඇත්තෙ අශෝක රජු මිහිඳු හිමියන් අත තිස්ස රජුට ධර්මදානය කළාම.
    විශාල වශයෙන් සසුන්ගත වීම ඇරඹෙන්න ඇත්තෙ, උපසම්පදාව එන්න ඇත්තෙ මිහිඳු හිමියන්ගෙ පැමිණීමත් එක්ක.
    මිහිඳු හිමි ඇවිත් තිස්ස රජ්ජුරුවොත් එක්ක කතා කරේ කොහොමද? තිස්ස රජ්ජුරුවන්ටත් මිහිඳු හිමියන්ටත් පොදු වුණු භාෂාවක් තියෙන්නට ඇති.

    රසවත් ලිපියක්. හරවත් මාතෘකාවක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. ලකී,
    ස්තුතියි, ඔබ හැම විටම මාව දිරිමත් කරනවා. ඔබලා සිටින නිසා මට නොලියා ඉන්න බැරි වෙලා දැන්.
    ජය!!

    ගිම්හානි,
    ඔබත් එසේමයි, ඔබටත් තුති!!!!

    හරී,
    ඔබ කියන්න ඉතා පැහැදිලිව ඇත්ත. ඉතිහාසය නිසා මහා පොරවල් වූ හිස් මිනිසුන් අද ඉතිහාසටත් නිඟා දෙමින් හැසිරෙන රටක ඔබ වැනි අය අදහන්න ඕනෙ!!

    නලිනී,
    ඔබටත් මගේ ප්‍රණාමය. දහසක් වැඩ අතර මගේ ලිපිය කියවීම මා බොහෝ දිරිමත් කරනවා. ඔබට
    ජය!!
    තවත් සංවේදී කථාවක් අපිට ඉක්මනින් දෙන්න.

    ReplyDelete
  9. ඔබ තුමා කියනවා වගේ බුද්ධාගම ලංකාවේ කලින් තිබුණු බවත්, වඩාත් හොඳින් තහවුරු වුනේ මහින්දාගමනයෙන් පස්සේ කියන්න පුලවන්.

    අනිත් අයත් කිව්වා වගේ, බුදු හාමුදුරුවන්ගෙන බණ අසා බෞද්ධ වූ හෙළයින් වඳ වී ගියා වෙන්න බැහැ.අඩුම තරමේ හුදකලා බෞද්ධ ජනපද කිහිපයක් වත් තිබුණා වෙන්න පුළුවන්.

    කොහොමත් අපේ ලිඛිත ඉතිහාසය කියන්නේ 100%ක් පිලි ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    කොහොමද අපේ "පනා පුත්‍ර"(නොදන්නා අය සිටීනම් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න) වගේ කෙනෙක් අපේ ඉතිහාසය ලිව්වොත්...

    ReplyDelete
  10. තවත් කතාවක් මතක වුනා. මේක මම දැන ගත්තේ ප්‍රවීන් චිත්‍ර ශිල්ප ගුරු චාර්ල්ස් දයානන්ද මහතා රූපවාහිනී වැඩ සටහනක් කියපු දෙයකින්.

    කුඩා ළමයින් පිරිසකට මහින්දාගමනය චිත්‍රයට නගන්න කිව්වම එකේ ළමයෙක මිහින්තලේ ගල උඩ හෙලිකොප්ටරයක් නවත්තලා තියෙනවා ඇඳලා තිබ්බලු. හේතුව අහව්වහම කියලා තියෙන්නේ "ඇයි, මිහිඳු හාමුදුරුවෝ ආවේ උඩින් නේ ..." කියලා.

    ReplyDelete
  11. වෙද මහත්තයාගේ ලිපිය මම කියෙව්වා. ලියාපු එක නම් හොඳා. මට ඒකට ප්‍රතිචාරයක් නොදාත් බෑ. මගේ ලියුමත් මේකටම සම්බන්ධවීම අහම්බයක් වෙන්නත් ඇති.

    අනිත් පැත්තෙන් අර කොලුවට උත්තර දෙන්නත් තියේ. ඒ අතරෙ මම ලියන්ට ඕනාමය කියල හිතාන හිටපු වැදගත් කාරණේකුත් තියෙනවා. ඔය අවු අස්සෙ මගෙ අනිත් වැඩ පාඩු කරගන්නත් බෑ. බ්ලොග් කෙරුවාවත් ලේසි නෑ ගමයෝ! හයියෝ !!

    ReplyDelete
  12. ඉඳුනිල්,
    ස්තුතියි ඔබට!
    ඔය එක එක පුත්‍රල අපිට වැඩක් නැහැ. අපි අපේ ගමන යමු.

    පොඩිගමයා,
    ඔබේ ලිපිය මම බැලුවා. ඒ නිසා මගේ ලිපියේ සමහර කොටස් ඉවත් කලා. මොකද ඔබ ඒ කරුණු මට වඩා හොදට ලියා ඇති බැවිනි. ස්තුතියි. මේ බ්ලොග් ලිවිල්ලත් ලේසි වැඩක් නෙමේ තමයි !!!

    ReplyDelete
  13. මිහිදු හිමියන් මිහින්තලාවට වඩින්න පෙර මෙහි බෞද්ධයින් හිටියනෙ

    1 සුමන සමන් දෙවි රජ - සොවාන් ඵලයට පත් වු කෙනෙක්
    2 චුලෝදර මහෝදර නා රජවරු

    බොහොම ප්‍රරසිද්ධ අය.........

    නමුත් බුදු දහම ස්තාපිත වීමට අවශයය එකීය රාජ්යයක් තුල එක්සේසත් වූ රටක් ලැබුනෙ පන්ඩුකාභය රජුගෙන් පසුව
    අනිත් අතට බුදුන් වහන්සේ ලන්කාවෙන් කිසිවකු මහන කල බව ස්දහන් වනෙනේ නැත
    මිහිදු හිමියන් අර්ට්ඨ කුමරු පැවිදි කිරීමෙන් පසු බුදු ධහම නිල රාජ්යය දහම බවට පත් විය .

    ( ඔබ තුමා අපගේ ඉල්ලීම පරිදි සමබල අහාර රටාවක් හදුන්වා දීම හා දැනුවත් කිරීම පිලිබද ස්තුතියි , දුන් උපදෙස් අනුව ආහාර රටාව සකස් කර ගැනීමට උත්සාහ ගන්නවා. )

    ReplyDelete
  14. සායි බාබා(ජීවත්ව සිටි කාලයේ) ලංකාවට ඇවිල්ලා ගියා කියමු. ලන්කාව සායි ආගම වැලඳ ගන්නවද?

    දලයි ලාමා තුමා ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල, උන්නාන්සේ නිතරම යන එන තැනක්,
    මුලු ඔස්ට්‍රේලියාවම 'ටිබෙට් බුද්ධාගම' වැලඳ ගන්නවද?

    බුදුහාමුදුරුවොත් වෙන අයෙක් වගේ ඇවිල්ල යන්න ඇති?

    රජකෙනෙක්, තව රජ කෙනෙක් හට යමක් එවනව වගේ එය ප්‍රබල නැහැ,
    අනෙක බුදුහාමුදුරුවො බොහෝම නිහතමානි කෙනෙක්, තමුන්වහන්සේ ආ බව පෙන්වන්න,

    බලය පෙන්වන්න මැජික් පෙන්වන්න ගියේ නැහැ මං හිතන්නේ,
    ඒ කියන්නේ රාජ අනුග්‍රහය අවශ්යයි ආගමකට පැලපදියම් වෙන්න.

    අනෙක කරුන බුදුන්වහන්සේ පැමින මුලින් පදනම සැදුවා වෙන්නත් පුලුවන්.
    එය පල දැරීමට උත්ප්‍රේරකයක් අවශයව තිබුනා, එය අසෝක සහ මහින්ද විසින් ඉටුකරනු ලැබුවා වෙන්නත් පුලුවන.

    මාත් මේ ගැන බ්ලොගයක් ලිව්ව කලින්http://dayal-bathee.blogspot.com/2011/05/blog-post_09.html
    දන්නවනේ මගේ බ්ලොග් ස්ටයිල් එක ගැන?

    ReplyDelete