Thursday, June 2, 2011

සඟයිනි මම දන්නා නොදන්නා ඔබ සැමට නිවන් සුව!!!!!

අද මට වැඩ ගොඩක් තියන දවසක්. ඒනිසා බ්ලොග් පෝස්ට් එකක් නොලියන්නයි හිටියේ නමුත්, මට අදාල විෂය තුල නොවුනත් මගේ හදවත පාරන දෙයක් ගැන මට උදේම ලියන්න හිතුනා. මම සාමාන්‍යයෙන් දේශපාලන ලිපි ලියන්න අකමැතියි. ඒත් මේක එහෙම දෙශපාලන කෝනයකින් ලියන ලිපියක් නෙමේ.

අද උදේම මගේ මිත්‍රයෙක් මට කිව්වා කටුනායක සිද්ධිය නිසා තුවාල වුනු තරුණයා මිය ගිහින් කියලා. එවලේ තමයි මම හිතුවේ මේක ලියන්න.

මම කලිනුත් කියලා ඇති මට යාන්තමට මතකයි 71 කැරැල්ල. එවලේ ඒ ගැන මට තේරුමක් තිබුනේ නැහැ. ඊට පස්සේ මට මතකයි 1983 කළු ජූලිය. ඒ ගැන කථාව මම දන්න දෙවල් ලියන්නම් ජූලි 13 වැනිදා. ආයිත් මට හොදටම මතකයි. 1988, 89, 90 කාලේ ගැන. මේකත් මම වෙනම ලියන්න ඉන්නේ කවදාහරි දවසක විවේකයක් ලැබුනම. අද මම ලියන්නේ මගේ මිත්‍රයෝ මාත් එක්ක එකට හිටි අය අපිව දාල ගිය අය ගැන.

මට මෙහෙම සිද්ධියකට මුලින්ම මුහුණ දෙන්න උනේ 1987 වසරේ .
1987 අප්‍රේල් 21, මේ දිනේ මට හොදට මතකයි. මම උ/පෙ ටියුෂන් පංතියකට ගිහින් හිටියේ. මේ වෙනකොට අපි කන්ඩායමක් එකතුවෙලා පාඩම් කරනවා. එදා උදේ අපි තීරණය කලා මගේ ගෙදර පාඩම් කරන්න. ඒ කියන්නේ මම කොළඹට ඉතාම කිට්ටුව හිටිය නිසාත් අපේ අම්ම අපිට පාඩම් කරන්න ගොඩක් උදව් කරන නිසාත් කට්ටිය කැමතියි අපේ ගෙදරට. ඉතිං මම කලින්ම දවල් 12 විතර ගෙදර ආවා කට්ටියට කන්න ලෑස්ති කරන්න පාඩම් කරන්න අපිට උදව් වෙන අපේ මිත්‍ර ගුරුවරයෙක් වන පර්සි පෙරේරා ගුරුතුමාව මේකට ලෑස්ති කර ගන්නත් එක්ක.
මම ඔය වැඩ ඉවර කරනකොට ටිකක් හවස් වෙලා. දැන් මම පොඩි නින්දක් දානවා රෑට නිදිමරන්න හිතන්. ඔන්න එක පාරටම මාව උඩ විසි වෙලා ගියා. මට හිතාගන්න බැහැ. අපේ ගෙදර ජනේල හෙලවිලා. දූවිලි ඇග පුරාම. මට එක පාරටම හිතුනා බෝම්බයක් වෙන්න ඇති කියලා. ඉක්මනට ලෑස්ති වෙලා ගියා යාළුවො බලන්න. එතකොටම මට මගේ තව මිත්‍රයෙක් මුණ ගැසුනා. ඔහු අද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. අපි දෙන්නම කොළඹට යන්න හිතුවත් යන්න බැහැ. දැන් අපේ තීරනය පයින් යන්න. ඔන්න අපි පොලිස් වාහනේක ආවා කොළඹට මොන කොහේවත් යන්න බැහැ. ඇවිදලා ඇවිදලා අපි අවා ගෙදර. කාලය ටික ටික යනකොට රෑ දහය දොලහ වෙනකොට අපිට ආරංචි එනවා අපේ මිත්‍රයෝ මේ සිද්ධියට මැදි වෙලා කියලා. පහුවෙනිදා උදේම අපිට මුණ ගැහුනා අපේ කට්ටියේ හිටිය කීපදෙනෙක් රෝහල්වල ඉදලා. මේ අයට කියන්න ලොකු ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ. කම්පනය විතරයි හැබැයි , අපේ කට්ටියේ සිටි එකම පෙව්වතුන් යුවල තාම අතුරුදහන්. කොහොම හරි මට මතක විදියට තවත් දිනකින් මේ දෙන්නගේ සිරුරු අපිට ලැබුනා කොළඹ මෝචරියේ සහ පොලිස් මෝචරියේ තිබිලා. මේක මගේ හද සසල කල සිදු වීමක් ඒ වෙනකොට. අදත් මම කටුනායක පාරේ යනකොට රිලවුල්ල කියන හරියෙන් යනවනම් "ඔබට මතක ඇති ඒ තියන මහ විශාල ගස් ටික" අන්න ඒ හරියේදි මේ දෙන්නව මතක් වෙනවා. මෙතන තමයි මේ දෙන්න පෙම් කල තැන හැමදාම.

ආයිත් මගේ මිත්‍රයෙක් වුනු කෙනෙක් පේරාදෙනිය විශ්ව විද්‍යාලේ වෛද්‍ය ශිෂ්‍යයෙක් ගැන. මෙතුමා මේ කියන දවසේ උදේ මාත් සමග කළුබෝවිල රෝහලේ යම් පුහුණුවීමකට සහභාගි වුනා. එතනදි මගේ අතින් උනු වරදකට මට හොදටම බැනලා. ඒ ගැන මාව වෙනම අරගෙන උපදෙස් දුන්නා. ඒ වෙනකොට ඔහු මට වඩා වැඩිමල් ශිෂ්‍යයෙක්. ඊට පස්සේ අපි දිවා අහාරය අරගෙන වෙන්වෙලා ගියා. පහුවෙනිදා උදෙ මට ලැබුනේ අදහා ගන්න බැරි තොරතුරක්. ඔහු අතුරුදන්වෙලා. මම අද වෙනකන් ඔහු දැක්කේ නැහැ. මගේ හිත මට ඔහු මියගිය බව හිතන්න ඉඩදෙන් නැහැ.

ඊලගට එන්නේ මහා භ්‍යානක කාලයක් මේක වෙනම කියන්නම් දවසක. ඒත් මේ සිද්ධි නිසා මගේ හිතවත්ම මිත්‍රයෝ ගනනාවක් මට නැති වුනා. සමහරු අදටත් ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

ඊට පස්සේ 1990 ඔබට මතකද ?

අලිමංකඩ කදවුරට කොටි ගැහුවා. එතනදි මගේ ප්‍රාණ සම මිත්‍රයා මට නැති උනා. ඔහුගේ නම මම සඳහන් කරන්නම් ඔහුට ගෞරවයක් විදියට. ඔහු තමයි මේජර් දීපාල් හෙට්ටිආරච්චි. ඉතාම ගුණ යහපත් මිනිසෙක්. හොදම මිත්‍රයෙක්. අපි දෙන්න හැමදාම පාසල් ගියේ එකට ඔහු ශරීර ව්‍යායාමවලට යනවා. මම ඔහුගේ පොත් ගෙනියනවා. ඔබ දන්නවද ඔහු ඉතාම ප්‍රිය කල හරිම අසාවෙන් මිලදී ගත් ඔහුගේ මෝටර් සයිකලය ඔහුට පදින්න බැරි උනා.

ආයිත් නොයෙක් සිද්ධ් වලට අප මුහුන දුන්නා. නමුත් ජීවිත හානියක් කාටවත් උනේ නැහැ. එක අවස්ථාවක අපේ විශ්ව විද්‍යාල සටනකදී මගේ ලඟම හිටපු හාමුදුරු කෙනෙක් වෙඩි වැදිලා කකුල ගොඩක් තුවාල උනා. එතුමා අන්තිමට මහා අසරණ තත්වයට පත් උනා. උද්ව්වට ඔය කවුරුත් ආවේ නැහැ. මට නම් කලකිරුනා මේ දෙවල් වලට.

තවත් කාලයක් යත්දී මම නොදැන අපෙ එක් මිත්‍රයෙක් මිය ගිහින් තිබුනා. ඔහු ඉතාමත් දක්ෂ සිසුවෙක් හැබැයි අන්තිම කැත අකුරු. මම දැක්ක කැතම අකුරු ඔහුගේ ඒ නිසාම ඔහුට විශ්ව විද්‍යාලයට යන්න බැරි උනා. නමුත් ගිය අපිට වඩා නොගිය ඔහු දක්ෂයෙක්. මොලයේ ඇතිවූ පිළිකාවකින් ඔහු මියගිහින් තිබුනා. තවත් මගේ සගයෙක් උනු කෙනෙක් ඒත් මොලයේ පිළිකාවකින් මිය ගියා.

සඟයිනි මම දන්නා නොදන්නා ඔබ හැමට නිවන් සුව!!!!!

මට මේ දේවල් නැවත ඔළුවට ආවේ මම නොදන්න මේ තරුණය නිසා ඔබට නිවන් සුව!!!!!!!!

3 comments:

  1. හුඟක් හද සසල කළ ලිපියක්. මගේ ජීවිතයට සම්බන්ධ නොයෙක් අතුරුදහන් වූවන් හා මිය ගියවුන් සිහි වුණා මෙය කියවනවිට. ඔවුන් පිළිබඳ මතකය පමණයි ඉතිරි. ජීවිතය කෙතරම් අවිනිශ්චිතද?
    අකලට ඇද හැළුණු මේ සියළු කුසුමන් යහපත් ජීවිතම ලබත්වා; යම් දිනෙක සියළු දුක් නිමා කර නිවන් සුව ලබත්වා.

    ReplyDelete
  2. මේවගේ දේවල් සිදුවුනාට පසු කවුරු කවුරුත් එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරමින් මගහැර යනවා.ඒත් කාටද පාඞුව අන්තිමට අනේ අහිංසක දෙමාපියන්ට.පිලිවෙතින් පෙලගැසෙන්නේ මෙහෙමද මන්දා ??
    ඔහුට නිවන් සුව!!
    Gimhani

    ReplyDelete