Wednesday, June 22, 2011

සඳවට රන් තරු...... අංක 3 (මඳසරුභාවයේ කථාව.)

දැන් අපි මේ මාතෘකාවේ ටිකක් දුරට ගිහින් ඉන්නේ. අපිට දැන් හිතාගන්න පුළුවන් යම් පුරුෂයෙක්ගේ සරුභාවය ගැන.

ඇවිල්ලා තියන කමෙන්ට් අතරේ මම දැක්කා ඉතා වැදගත් ප්‍රශ්න කීපයක්ම තියනවා. මම ඒ හැම එකකටම පිළිතුරු දෙන්නම්. හැබැයි මම කෙලින්ම කමෙන්ට් විදියට නැතුව ලිපියේ අන්තර්ගතය තුලින් මේ පිළිතුරුදීම කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ හැමදේම, මම දන්නවා ඉතා වැදගත් කියලා. ඒ නිසා ඔබට අවශ්‍ය ලෙසයි මේ සියල්ල ලියන්නේ.

අනෙක් වැදගත්ම දේ මේ වනතෙක් සිංහලෙන් මේ විෂය ගැන (පුරුෂ මඳසරුභාවය ) කිසිම පොත පතක් පලවෙලා නැහැ.

ඒ නිසා මේ බ්ලොග් සටහන් යම් දුරකට හෝ ඒ අවශ්‍යතාවය පිරිමහන්න යොදාගන්න හැකි නම් මගේ අරමුණ සාර්ථකයි.

අපි දැන් දන්නවා, පුරුෂයෙක් සරුභාවය නිරෝගී නම් ඔහුගේ තිබිය යුතු ලක්ෂණ. ඒත් අපි අද කථා කරමු මේ නිසා ඇති විය හැකි රෝග මොනවද කියන එක. වෙලාව තිබුනොත් හේතු බලමුකෝ.

මුලින්ම එන රෝගය තමයි සමහර පිරිමින් (මේ අය ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි සිටින්නේ) ලිංගික සංසර්ගයේදී ධාතු පිට වීමක් නැහැ.

(1) Aspermia - මෙවැනි අයට දරුවන් හැදීමේ හැකියාව ඉතා අඩුයි. මේකට ප්‍රතිකාර තියනවා. නමුත් මම හිතනවා මේ අයට බොහෝ විට මෙහෙම වෙන්නේ මානසික හේතු නිසා. හොද උපදේශන ප්‍රතිකාර අවශ්‍යයි. මේකත් අපේ රටේ වැරද්දක්. ම්නිස්සුන්ට නොයෙක් ප්‍රශ්න තියනවා ඒවා විසදගැනීම ඔවුන්ට අපහසු වෙලාවට ඒ සඳහා උදව් කිරීමට යම් ආයථන අවශ්‍යයි. උපදේශනය මූලික උපධියක් විදියට අපේ රටේ කැම්පස් කීපයකම තියනවා. නමුත් පශ්චාත් උපාධි නැහැ. ඒ නිසා වෘත්තීය උපදේශකයින් අප අතර ඉතාම අඩුයි.
ඒ කොහොම වුවත් මෙවැනි රෝගීන්ට වැඩිපුරම අවශ්‍ය වන්නේ උපදේශනයයි. වෙනත් ඖෂධ ප්‍රතිකාර ගැන වෙනම පෝස්ට් එකක් ලියනවා.

ඊලඟ රෝගය විදියට ගන්න පුළුවන්,
(2) Oligozoospermia පුරුෂ බීජ අඩු සංඛ්‍යාවක් තිබීම. මේ අය අද ඉතාම සීග්‍රයෙන් වැඩි වනවා. ඒ හේතූන් පසුව කථා කරනවා.
මේ අවස්ථාව තමයි තුන් වැනියට ගන්න තියන්නේ.

(3) Asthenozoospermia මෙහිදී වෙන්නේ ධාතුවල ක්‍රියාකාරීත්වය ඉතාම අඩු වීම. අපි මේ ධාතු වාර්ථා ගන්න කොට බලනවා ශුක්‍රාණුවල ක්‍රියකාරීතවයේ අවස්ථා තුනක්
1. ඉතාම හොදින් ක්‍රියාකාරී Active Motility
2. යම් පමණකට හොද ක්‍රියාකාරීත්වයක් පෙන්වන Slow Motility
3. සම්පූර්ණයෙන් මැරුණු Immortality

මෙම ක්‍රියාකාරී ශුක්‍රාණුත් කොටස් දෙකකට බෙදනවා.
1. progressive sperms මෙම ශුක්‍රාණු ඉතා පැහැදිලිව ඉදිරියට වේගයෙන් ගමන් කරන ශුක්‍රාණු. මේවායේ ගමන හැම විටම කෙලින් ඉදිරියට ලෙස වනවා.
2. non progressive sperms මෙම ශුක්‍රාණු හැම විටම ගමන් කරන්නේ සර්පිලාකාරවයි. මෙයි දරුවකු පිළිසිද ගැනීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි.

මේ සාධක හැම විටම ඉදිරිපත් කරන්නේ මුළු ශුක්‍රාණු සංක්‍යාවේ ප්‍රතිශතයක් ලෙසයි. එම නිසා අංක 1 අවස්ථාව 50% වැඩියෙන් තිබිය යුතුයි,

අවසාන සාධකය වන්නේ
(4)Teratozoospermia ශුක්‍රාණුවල රූප විද්‍යා නිවැරදි භාවයයි. මෙය වඩා වැදගත් සාධකයක්. මෙහිදී ඇතිවන විකෘති ශුක්‍රාණු මඟින් නොමේරූ දරු උපත් සහ මන්ධ බුද්ධික දරු උපත් ඇති විය හැකියි. මෙහි අගය 30% වඩා වැඩියෙන් තිබිය යුතුයි.

පුරුෂ මඳ සරු භාවයට බලපාන හේතු ලෙස අපට ප්‍රධාන කරුණු කීපයක් ගත හැකියි.
1. මානසික හේතු.
මගේ වර්ගීකරණයේ එන ප්‍රධානම සාධකය මේක තමයි. ඔබ මගෙන් ඇසුවා කොළඹ පිරිමින්ට වැඩියෙන් මේ ගැටළුවට මුහුණ දෙන්න වෙලා තියන්නේ ඇයි කියලා, මේක තමයි ඒ පලවෙනි හේතුව. බලන්න අද කොළඹ පිරිමින් මොන තරම් මානසික පීඩනයක් යටතේ වැඩ කරනවද? මානසික තත්වය මේ රෝගට ඉතා තදින් බලපානවා.

2. පරිසර සාධක
ඔබට මතක ඇති කාලයක් කොළඹ අධි අවධානම් කලාපයක් ලෙස සඳහන් වුනා. ඒ ඇයි? අපේ පරිසරයේ ඊයම් ප්‍රතිශතය ඉතා ඉහලයි. මෙහෙම වෙන්නේ අපි පාවිච්චි කරන ඊයම් මිශු ඉන්ධන නිසා. ඔබ දන්නවද (අපේ පිටරට ඉන්න මිත්‍රයෝ නම් දන්නවා ඇති.)අපි පාවිච්චි කරන 90 ඔක්ටේන් පෙට්‍රල් දැන් ලෝකයේ පාවිච්චිය ඉතාම අඩුයි. 95 සහ 97 තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. මේ නිසා අපේ කොළඹ නගරයේ වාතයේ ඇති දූවිලි, දුම්, අංශු ප්‍රමාණය අවධානම් මට්ටමට ඉහළයි. (මේ වෙනකොට මේ දැඩි අනතුරු මට්ටමෙන් පහලට පැමිණ තිබෙනවා. ඒක නම් සතුටට හේතුවක්. ඒත් මේක තවත් දියුණු වෙමින් පවත්වා ගත යුතුයි.)

අනිත් කාරනේ අපි ලංකාවට ගෙන්වන්නේ අවුරුදු තුනක් පිටරට භාවිතා කල වාහන. මේවා ඇයි ඒ රටවල භාවිතා නොකරන්නේ? ඒ රටවල් තම රටේ වාතය ගැන සැලකිලිමත් වෙනවා ඒකයි කාරනය. නසීලන්තයේ වසරකට දෙවරක් වාහනයක් අපේ භාෂාවෙන් කියනවනම් දුම් පරීක්ෂාවට ලක් කරනවා. මම හිතන්නේ බොහෝ රටවල් එහෙමයි. නමුත් අපි????? ( ඒත් දැන් නම් තත්වය වෙනස් වෙමින් පවතින බව පෙනෙනවා. ඒ ගැන නම් සතුටුයි.)

3. අහාර සාධක.
මේක ඉතාම වැදගත් තත්වයක්. අපි මේ ගැන කථා කලා අපේ ආහාර ගැන ලිපි වලදිත්. අධික වැඩ නිසාත්, අපි අද අපේ ආහාරයේ ඇති කොළ පැහැ එළවළු භාවිතය අඩු කරලා තියනවා. අපි වැඩියෙන්ම ගන්නේ තෙල් බහුල ආහාර. නමුත් අපි ඒ තරමට ක්‍රියාකරී බවක් දක්වන්නේ නැහැ. මේවා අපිට තිබෙන ප්‍රශ්න. පලතුරු භාවිතය ඉතා අවශ්යයි. ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වයට පලතුරු ඉතා වැදගත්.

මෙහිදී මතක තබා ගන්න මත් පැන්, සිගරට්, දුංකොළ, බුලත් කෑමෙන් වැලකීම ඉතා වැදගත්.
මෙහිදී මගේ කිරිපිටි ගැන ලිපිය.
ආහාර ගැන ලිපි දෙක (1) (2) කියවන්න කියා ඉල්ලා සිටිනවා.

4. උෂ්ණත්වය (ඌෂ්ණය ගැන ලිපිය.)
වෘෂණ කෝෂවලට ඉහල උෂ්ණත්වයක් ලැබීමත් හොද නැහැ. ඔබ දන්නවා වෘෂණ කෝෂවල පිටත සම රැලි බහුලව ඇත්තේ එහි පෘෂ්ටික ක්ෂේත්‍රඵලය වැඩි වී ඇතුලත උෂ්ණත්වය පිටතට යවන්න. ඔය රේඩියේටරවල වගේ.
අපේ ශරීර උෂ්ණත්වයට වඩා වෘෂණවල උෂ්ණත්වය අංශක 2 අඩුවෙන් තිබිය යුතුයි. එසේ නොවුනොත් වෘෂනවල ක්‍රියාකාරීත්වයට හානි වෙනවා.
ඔය ඉතා උනුසුම් තැන්වල වැඩ කිරීම, තව ඉහල විකිරණශීලීතාවයන්ට ගොදුරු වීම. වගේ දෙවල් නිසාත් ශුක්‍රාණු මැරෙන වේගය වැඩි වෙනවා.

5. ඇදුම් පැලදුම්,
ඔබ තරුණයෙක් විදියට ලස්සනට අදින්න කැමති බව මම දන්නවා. ඒත් හැමවෙලේම අපි ඇදුමක් තෝරා ගනනේ වැඩිපුරම ලස්සන ගැන හිතලා. නමුත් අපි යම් ලෙසකට හිතන්න ඕනෙ මේ වගේ ඌෂ්ණාධික රටක, ජීවත්වන අපිට ගැලපෙන ඇදුම ගැන. එසේ නොවුන විට තමයි අපිට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.
ඔබ මතක තියා ගන්න විශේෂයෙන් අපේ පිරිමි ලමයි තමන්ගේ ඇදුම නිසා ඇගේ උෂ්ණත්වය වැඩි නොවෙන ලෙස ඇදුම අදින්න.

6. මඳසරුභාවයට බලපාන රෝග.
ඔබ දන්නවා අපිට ජීවිතයේදී නොයෙක් රෝග ඇති වෙනවා. මේ සමහර රෝග පිරිමින්ගේ සරුභාවයට හානි කරනවා.
i. කම්මුල්ගාය
කුඩා කල මේරෝගයට පිරිමි ලමුන් භාජ්නය වූ විට දෙමාපියන් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.මේ රෝගය පිරිමි ලමුන්ගේ සරුභාවය අඩු කිරීමට හේතුවෙනවා. අද සිටින මඳ සරු පුරුෂයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කම්මුල්ගායට භාජනය වූවන්.
ii. දියවැඩියාව ඉතා විශාල ලෙස පිරිමි ශුක්‍රාණු වලට හානි කරන රෝග තත්වයක්.
iii. අධි රුධිර පීඩනය.මෙමගින්ද යම් තරමක හානියක් පුරුෂ ලිංගික කාර්‍යාවලියට සිදු වෙනවා.
iv. වෘෂණ කෝෂ තුල නහර ගැට ගැසීම. මේ තත්වය ආකාර දෙකකට සිදු වෙනවා.
(1) වෘෂන වලට රුධිරය සපයන රුධිර නාලවල ඇතිවන අවහිරවීම නිසා ඇති වන ශුක්‍රාණු නිෂ්පාදන ක්‍රියාවලියේ ඇනහිටීම.
(2) වෘෂණ තුල නිශ්පාදිත ශුක්‍රාණු ප්‍රවාහනය කරන නාලිකා හෙවත් ශුක්‍ර ප්‍රණාලිකා තුල ඇතිවන නහර ගැට ගැසීමේ තත්වය. මේ කියන කාරණා නිසාත් ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට බාධා ඇති වීමෙන් පුරුෂයෙක්ගේ මඳසරුභාවයක් ඇති විය හැකියි.
v. අධික උණ ඇති වීම.
vi. වෛරස අසාධන ( ඩෙංගු/මී උණ/පැපොල/සරම්ප.)

7. රසායනික ද්‍රව්‍ය භාවිතය.
මට මතකයි පසුගිය ලිපියේදී පැමිණි කමෙන්ට් අතර තිබූ නුවර එළියේ පිරිමි අතර මඳසරු භාවය ගැන සඳහන. මේ වැනි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා පිරිමින් අතර මඳසරුභාවය ඇති විය හැකි බව බොහෝ පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. නුවර එලිය කියන්නේ අධිකව රසායනික පොහොර, කෘමිනාශක භාවිතා කරන ප්‍රදේශයක්. මේ නිසා මේ මිනිසුන් නිතරම මේවැනි රසායනික ද්‍රව්ය සමඟ ගැවසීම වැඩියි. එම නිරාවරනයන් තුලින් ඔවුන්ට ඇති වන ප්‍රශ්න අතර මේ රෝගයත් එකක් වෙනවා. හැබැයි මේක නම් අර සහල් වල ආසනික් තියන කථාව වගේ එකක් නෙමේ. හොදින් ඔප්පු කල විද්‍යාත්මක පර්යේෂණයන්ට ලක්කල කාරනයක්.

මෙයට අමතරව නිතර නිතර රසායනික ද්‍රව්ය බහුල ආහාර ගැනීම. (රසකාරක/ කල්තබා ගැනීමේ කාරක/ වර්ණක/ වැනි දේ.

නිතර නිතර රසායනික නිරාවරණයට ගොදුරුවන රැකියා කරන අය.

විකිරණශීලී ද්‍රව්‍ය සමග රැකියා කරන අය.
මෙවැන්නන්ද පුරුෂ මඳ සරුභාවයට භාජනය වීමේ හැකියාවක් තිබෙනවා.

මෙවැනි රෝග වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තිබෙන අතර වෛද්‍යවරයා තෝරා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. ඒ සදහා මගේ ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා හදුනා ගන්න ලිපිය කියවන්න.
ඉක්මනින් නැවතත් එන්නම්. තාත්තට සනීප නැහැ. ඒ නිසා වැඩ ටිකක් අවුල්. ඒත් මේක ලියනවා.

(මේවට ලින්ක් දාන්න නම් ගියේ නැහැ. මේ ලිපි ලඟදී ලියපුවා නිසා තාම් ලේසියෙන් බලන්න පුළුවන්. තරහා වෙන්නෙ එපා.)

10 comments:

  1. ඉතාම වැදගත් කරුණු එකතුවක්.ස්තුතියි!

    ReplyDelete
  2. හරිම පැහැදිලි. සෑහෙන දැනීමක් තියෙනෙවා දැන්නම් මේ පිලිබඳව..

    //අපේ ශරීර උෂ්ණත්වයට වඩා වෘෂණවල උෂ්ණත්වය අංශක 2 අඩුවෙන් තිබිය යුතුයි//

    ඉහත කරුණ අද තමා මුල් වරට දැනගත්තෙ.ස්තූති.

    මා වීසින් අසන ලද අනිත් ප්‍රශ්න 2 ගැනත් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා.

    ඔබේ පියාණන්ට නිරෝගී සුවය පතනවා!

    ReplyDelete
  3. ශරීර උශ්නත්වය අන් අයට වඩා ඉහල මට්ටමක පවතිනවා නම්,දරු පල ලැබීම පමා වෙනවාද? එසේ නම් ඒ සඳහා කල හැකි ආයුර්වේදීය ප්‍රතිකර්ම තිබේද?

    ReplyDelete
  4. කලින් ඒවා වගේම ඉතා වැදගත් ලිපියක්. පැහැදිලිවම පොතක් කියවනවා වගේමයි. ඔබතුමාගේ පියාට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  5. බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කරලා ලිව්වට...

    ReplyDelete
  6. පියාණන්ට නිරෝගී සුවය පතනවා.... ඔබේ ලිපි ටික අපව දිරිමත් කිරීමක්...

    උදාහරණයක් ලෙස මාරයාගේ හෝරාවේ ලිපි ටික බලන්න... දැන් එන්නෙ අමුතු පොටකට....

    ReplyDelete
  7. අති වැදගත් කරුණු සම්භාරයක්!! ඔබ පියාණන්ට ඉක්මණින්ම යහපත් සුවය ලැබේවා පතමි!

    ReplyDelete
  8. ලිපිය ගැන කොමෙන්ට් එක පසුවට දාන්නම්

    දැනට පියානන්ට ඉක්මන් සුවය පතන්නම්.

    ReplyDelete
  9. වෙද අයියගේ පියාණන්ට නීරෝගි සුව ලැබෙන්න කියලා පතනවා. එතකොටනේ ඔයාට හිතේ සැනසිල්ලෙන් පිලිවෙලකට බ්ලොග් එක ලියන්න ඇහිකි...

    ReplyDelete
  10. Necrozoospermia කියන රෝගයට ප්‍රතිකර්ම නැත්ද ??? ඊ සදහා ගතහැකි ක්‍රියා මාර්ග ඇත්ද?

    ReplyDelete