Wednesday, December 19, 2012

ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම.

කලින් ලිපි කීපයකම අපි කතා කළා මඳසරුභාවය කියන මාතෘකාව. මම බ්ලොග් ලෝකයට පැමිණි විගස මේ පිළිබඳ සඳවට රන් තරු නමින් ලිපි කීපයක්ම ලියුවා මතකයි. ඊට පසුත් ලිපි කීපයක්ම මේ පිළිබඳ ලියූ බව මතකයි.
ඒ සියල්ලේ ලින්ක්ස් මෙහි පිළිවෙළින් දමන්නම්.
1.ලිපිය
2. ලිපිය
3.ලිපිය
4.ලිපිය
5.ලිපිය

පුරුෂ මඳ සරුභාවය/ එයට ප‍්‍රතිකාර/ආයූර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඉන් මිදීමට ඇති මාර්ගය පිළිබඳ ඉතා වැදගත් කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය කළා.

ඊට පසු කාන්තාවන්ගේ මඳ සරුභාවයට හේතුවන කාරණාත්, ඒවාට ප‍්‍රතිකාරත්, ඉන් මිදීමට ආයූර්වේද උපදෙසුත් පිළිබඳ සාකච්ඡා කළා.
1.ලිපිය
2.ලිපිය
3.ලිපිය

අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් ඒ වගේම ස්ත‍්‍රි පුරුෂ දෙකොට්ටාසයේම සරුභාවයට හානි කරන සාධකයක් පිළිබඳවයි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි මේ සංකල්පය අපි හඳුන්වන්නේ ”ඌෂ්ණය” "Ushnam" යනුවෙන්. ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

මේ පිළිබඳවත් අවස්ථාවකදී කතා කළ බව මට මතකයි.
1.ලිපිය

ආයූර්වේදයේ එන ඌෂ්ණ සංකල්පය යනු කුමක්ද?
එනම් ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, Potential Energy එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ. මෙම ජෛව රසායනික ක්‍රියාකාරකම් සිදු වීමේදී ශක්තිය වැය කර එම අදාළ ක්‍රියාව සිදු වන අතර ඉන් යම් නියත ප්‍රමාණයකින් ශක්තිය හානී Energy Wastage වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් මිනිස් ශරීරයේ සිදුවන නොයෙකුත් ජෛව රසායනික ක‍්‍රියාකාරකම් නිසා සිදුවන ශක්ති සංසරණයේ Energy Flow එක් අවස්ථාවක් වන ශරීරයෙන් ශක්ති හානිය Energy Wastage වන අවස්ථාව නියමාකාරයෙන් සිදු නොවී කායික ශක්ති සමීකරණය අසමබර වීමයි. වැඩිපුරම ආයූර්වේදයේ රෝගී අවස්ථා වලට හේතු වන මේ තත්ත්වය ශක්ති හානියේ ඉතා වැඩි වීම් නිසා මෙන්ම ඉතා අඩු වීම් නිසාද සිදු විය හැකිය.

නවීන විද්‍යාවේ අර්ථ දැක්වීම් වලට මේ සංකල්පය යම් තරමක ආගන්තුක බවක් අපට පෙනෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ එන නොයෙකුත් රෝග කාණ්ඩ යටතට මේ ආශ‍්‍රිත රෝග ඇතුළු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ආසාත්මික රෝග Allergic Conditions ගත හැකියි. මෙපමණක් නොවෙයි ඉතා පුළුල් පරාසයක විහිදුණු රෝග රාශියක් මෙයට ඇතුළු වෙනවා.

දැන් අපි කතා කළ කායික විභව ශක්තිය ආයූර්වේදයේ දී භාවිතා වන්නේ කඵ කියන නමින්. ක‍්‍රියාකාරී කායික ශක්තිය අයූර්වේදයේදී වාතය නමින් හැඳින්වෙනවා. වැඩිපුර ශක්තිය හානිවන අවස්ථාව ඌෂ්ණ යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම නියමාකාරයෙන් වන ශක්ති හානිය හැඳින්වෙන්නේ පිත කියන නමින්.

වාත, පිත සහ කඵ යන කායික ශක්තීන් තුන පිළිබඳ සුශ්‍රැත මහාසෘෂිවරයා මෙසේ පවසයි.

විසර්ගාදාන වික්ෂේපෛඃ සොමසූර්‍ය්‍යයා නිලා යථා,
ධාරයන්ති ජගත් දේහං කඵ පිත්තා නිලාස්ථතා.
සුශ්‍රැත සූත්‍ර 21 අධ්‍යායය.

මෙහි අර්ථය වන්නේ,
යම් සේ චන්ද්‍ර, සූර්‍ය්‍ය, වාත යන වස්තුත්‍රය විසර්ග, ආදාන, වික්ෂේප යන කාර්‍ය්‍යයන්ගෙන් ලෝකය ධාරණය කරයි ද, ඒ ආකාරයෙන්ම කඵ, පිත්ත, වාත යන ත්‍රය ශරීරය ධාරණය කරන බවයි.

අපිට බහුලව අහන්න ලැබෙන ප‍්‍රශ්නයක් තමයි ඇඟ ඌෂ්ණ නිසා පිළිසිඳ ගැනීම් සිදු නොවන බව. මෙහි ඇති විද්‍යාත්මක භාවය කුමක්ද?
අප ඉහත අර්ථ දැක් වූ අකාරයට ශරීරයේ සිදුවන ජීව ක‍්‍රියාවක් වන ඩිම්භ සෛලයක මේරීම නම් ක‍්‍රියාවලියේදී මේ ඌෂ්ණය යන සාධකය මගින් අහිතකර අයුරින් යම් බලපෑමක් සිදුවීමේ ඉඩක් තිබෙනවා. එය අද ලෝකය පුරා පැතිරී පවතින මඳසරුභාවය නම් රෝග තත්ත්වයට බොහෝ සෙයින් හේතු වනවා.

ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක‍්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක‍්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි. එවිට එම ජීව ක‍්‍රියාවලීන් නිවැරදිව සිදු නොවෙයි.
මෙහි අනිවාර්‍ය්‍යය ප‍්‍රතිඵලය වන්නේ,
1. ඩිම්භ සෛලයක් නියමිත ප‍්‍රමාණයට නොවැඞීම, Immature Follicles
2. කුඩා කුඩා ඩිම්භ සෛල විශාල ප‍්‍රමාණයක් ඇති වීම, Poly Cystic Ovarian Syndrome
3. ස්කෑන් පරීක්ෂාවක දී ඩිම්භ සෛල එකිනෙකට ඇලී මුදුවක ආකාරයෙන් පිහිටීම, Ring Type Structure වැනි තත්ත්වයන්ය.

මෙයට අමතරව මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන තවත් කායික රෝග ලක්ෂණ කීපයක් ම ඇත.
1. රුධිරයේ කාන්තා හෝමෝන සාන්ද්‍රණයන් වෙනස් වීම.
2. පුරුෂ හෝමෝන සාන්ද්‍රනය ඉහළ යාම.
3. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුණේ රෝම වර්ධනය වීම.
4. ශරීරය අධිකව මහත් වීම.
මේ රෝගීන් අතර යම් යම් මානසික තත්ත්වයන් ද නිරීක්ෂණය කළ හැක. බොහෝ විට නොඉවසිලිමත් ගතිය, අවිශ්වාසය, කේන්ති යාම ඉතා බහුලයි.

මෙම තත්ත්වය පුරුෂයන්ටත් පොදුයි. බොහෝ විට ඌෂ්ණ ශරීර ඇති පුරුෂයන්ගේ පුරුෂ බීජ දුර්වල ක‍්‍රියාකාරී බව Motility පැහැදිලි වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය ස්ත‍්‍රී පුරුෂ දෙපිරිසටම තමන්ගේ සරුභාවය පවත්වා ගැනීමේදී හානි කරන බව කිව යුතුයි. පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනයේදී ඌෂ්ණයේ බලපෑම නිසා එහි ව්‍යුහයේ ඇති වන බලපෑම මගින් ශුක්‍රාණුවක රූප විද්‍යාත්මක විවිධත්වයට Morphology හානි සිදු විය හැකියි. එනම් තදින් ඌෂ්ණය ඇති ශරීරයක් හිමි පුරුෂයෙක්ගේ ශුක්‍රාණු නිපදවීමේදී එම ශුක්‍රාණු නිසි අයුරින් මේරීමට ලක් වන්නේ නැතුව තිබීම නිසා එම ශුක්‍රාණු මෙසේ විකෘති බවට පත් වීමයි. මෙම ඌෂ්ණයේ බලපෑමට දිගු කාලයක් භාජනය වීමෙන් සරුබව ඉතා ශීග්‍රලෙස අඩු වනවා දක්නට ලැබේ. එම තත්ත්වයට ලක්වන පුරුෂයන්ගේ ශුක්‍රාණු නිෂ්පාදන වේගය, Spermatogenesis ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය, සහ ශුක්‍රාණුවල රූප විද්‍යාත්මක විවිධත්වය ද බොහෝ දුරට අඩු වී ඇති බව පැහැදිලිව පෙන්වා දීමට හැකිය.

මේ අවස්ථාවන්ට ආයූර්වේදයේ ප‍්‍රතිකාර තිබෙනවා ද?
පැහැදිලිවම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම අවස්ථාවන්ට ඉතා වටිනා ප‍්‍රතිකාර තිබෙනවා. මේ ප‍්‍රතිකාර අපි මෙහිදී ප‍්‍රයෝජනය ගන්නේ මඳ සරුභාවයට වුවත් සියලූම රෝග සම්බන්ධයෙන් ආයූර්වේදයේ අර්ථ දැක්වීම් මේ ආශ‍්‍රිතව තමයි සිදු වන්නේ. එම නිසා මඳ සරුභාවයට ප‍්‍රතිකාර කිරීමේදී පියවර දෙකක් යටතේ ප‍්‍රතිකාර කළ යුතුයි.

පළමු පියවර
1. ඌෂ්ණය ඉවත් කිරීම.
2. ඩිම්භ සෛල සහ පුරුෂ බීජ සෛල වර්ධනය, මෙම තත්ත්වයන් ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ යුතුයි.

දෙවන පියවර.
මෙහිදී ප්‍රධාන වශයෙන්
1. ආහාර,
2. කායික නීරෝගීතාවය පවත්වා ගැනීම සදහා ව්‍යායාම,
3. මානසික නිරෝගීතාවය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

මේ අයුරින් ප‍්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථකව මඳසරුභාවය සුව කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියි.

55 comments:

  1. දැන නොසිටන බෝහෝ කරුණු ඉදිරිපත් කරන ඔබ අදත් ඉදිරිපත් කර ඇත්තේ වැදගත් ලිපියකි.ඔබට ජය!
    මනසින් දිවියට

    ReplyDelete
  2. අම්මෝ මේ කියන විදියට සරීරය උනුසුම් නම් හිම උඩ ඉදලා ලිංගික ක්‍රියා කරන්න වෙයිද දන් නැහැ

    ReplyDelete
    Replies
    1. අමිල මම කියන කාරණය හොදින් තේරුම් අරන් නැති බවයි පෙනෙන්නේ. ඌෂ්ණය කියන්නේ උනුසුම නෙමෙයි. උනුසුම කියන්නේ Temperature නෙ. නමුත් මෙතැන කියන්නේ ඌෂ්ණය කියන වචනේ. මේ වචනයට හරියන ඉංග්‍රිසි වචනයක් නම් මට හරියට හොයා ගන්න බැරි වුනා. ඒ නිසා තමයි එය මම ඉංග්‍රීසියෙනුත් ඌෂ්ණ Ushna කියලම ලියන්නේ.

      අනික මම මෙහි ලිංගික කටයුතු පිළිබඳ කතා කලේ නැහැ. මෙහි ඇත්තේ තනිකරම මඳසරුභාවය. පැහැදිලිවම දෙකක්. මගේ මේ ලිපියට කලින් ලිපිය නම් ලිංගික කටයුතු පිළිබඳවයි කතා කළේ.

      ඔබ කියන්නේ බාහිර උනුසුම පිළිබඳ මේ වෙනස් සංකල්පයක්. හැබැයි ලිංගික කටයුතු වලට නම් ශීත පරිසරය ඉතාම වැදගත්. ඔබ දන්නව ද ලංකාව වගේ සමකාසන්න රටවල පිරිමින්ගේ ශුක්‍ර තරල ප්‍රමාණයෙන් අඩුයි. හැබැයි ශීත රටවල වෙසෙන පිරිමින්ගේ තරල ප්‍රමාණය වැඩියි. සංඛ්‍යාත්මකව බැලුවොත්. අපේ වගේ රටවල මිලි ලීටර් 2 පමණ තමයි පිට වන්නේ. නමුත් බටහිර රටවල එය මිලි ලීටර් 5 පමණ වෙනවා.

      මේ නිසා තමයි අපි පිරිමින්ගේ වෘෂණ කෝෂ අයිස් වලින් තවන්න කියන්නේ. උනුසුම අඩු කරන්න. හැබැයි ඌෂ්ණ රොගියෙක්ට එය ගැලපෙන්නේ නැහැ.

      Delete
    2. ඒක තමයි අර චිත්තරපටිවල ගෑණු ළමයි අයිස් පාවිච්චි කරන්නෙ... හරි හරි... දැන් තේරුණා...
      බලන්නකො... හැම දේටම විද්‍යාත්මක හේතුවක් තියෙන හැටි...
      විහිළු නෙවෙයි...
      ඉස්සර මිනිස්සු ඇඟ නිවන්න කියලා කසාය බිවුවෙ, කැඳ බිව්වෙ මේ හේතු නිසා... නමුත් දැන් මිනිස්සුන්ට කසායක් බොන්න වෙලාවක් නෑ.. කැඳ බිව්වත් බොන්නෙ දුවනගිරි හෝටලයකින්.. ඒවයෙ මොනවා දානවද කියලා කවුරුත් දන්නෙ නෑ....
      මිනිස්සුන්ට වේගය අඩු කරගන්න බෑ.. මොකද අඩු කර ගත්තොත් පරාදයි... මේකයි ලංකාවෙ දුක්ඛ සත්‍යය...
      නියම ලිපියක්..

      Delete
    3. ඔව් ඇල් ඔබ හරි කැඳ බොන්න අද අපිට .... මේ කැඳත් නැතුව ඉන්නවා. ඇත්තෙන්ම අපිට පුළුවන් මේ දේවල් ලෝ පුරා ප්‍රචාරය කරන්න. දැනටත් මම නම් ඒක කරනවා. ඉතාම සුළු ගණනක් ඒ දේට අපිත් එක්ක එකතු වෙලා සිටිනවා. මට පේන ඇත්තක් කියන්නම්. ඉතාම නුදුරේදී අපේ රටවලට ඇමරිකාව ඇතුළු බටහිර සභ්‍යත්වය විද්‍යාව ඇති රටවලින් ආයූර්වේදය ඉගෙන ගන්න වෙනවා. ඒ මට නම් සිකුරුයි. ඔබ දන්නවනේ ජර්මනියේ තත්ත්වය. ඇමරිකාව පිළිබඳත් ඔබ දන්නවනේ...අනික් රටවලුත් එහෙම ම තමයි. අපි.....

      Delete
  3. කොහොම ලියන්නද මේ මහප්‍රානවලට කියවලා නිකන් හිටියා

    ReplyDelete
  4. ඉතා වැදගත් ලිපි පෙළක, ප්‍රස්න දෙකක් හිතට ආවා

    අපේ ශරීරය ඌෂ්ණ ද නැද්ද යන්න කල් ඇතිව හදුනා ගැනීමේ හැකියාවක් තියනවද ?

    ඌෂ්ණ කෑම, සීතල කෑම කියා බෙදීමේ පදනම කුමක්ද

    ReplyDelete
    Replies
    1. මුදියන්සේ,
      පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. මම ඒකට පොඩි උපක්‍රමයක් කියන්නම්. මෙයිට වඩා විද්‍යාත්මක ක්‍රමවේදත් තිබෙනවා. ඒ ගැන පෝස්ට් එකක්ම දිනක ලියන්නම්.

      ඔබ ඔබගේ මිතුරෙක්ගේ අත අල්ලපුවහම ඔබට ඔහුගේ අත උනුසුමව දැනේ නම් හැබැයි උෂ්ණත්වමානයකින් පරීක්ෂා කළ විට නිවැරදි සමාන්‍ය දේහ උෂ්ණත්ව පවතී නම් එම මිතුරාගේ දේහය ඌෂ්ණයි.

      ගැහැනු ළමයින්ගේ අත අල්ලා ඌෂ්ණය බැලීමට යාමෙන් වන හානි පිළිබඳ මම වගකියනු නොලැබේ.

      Delete
    2. බලාගෙන ගියාම මම හරිම කූල් පොරක් නෙ...
      මගේ අත අල්ලන අල්ලන ගෑණු ළමයා කියනවා මගේ අත් සීතලයි කියලා.... හැබැයි අල්ලගෙන අල්ලගෙන යනකොට රත් වෙනවා....
      ඊට පස්සෙ ඉතිං ආයෙ කූල් කරනවා බොරු...

      Delete
  5. ඔබේ ලිපිය කියවීමේදී මට හිතුන දෙයක් තමා විවාහක යුවලවක් විවාහ වීමට පෙර සිටම කෑම බීම ගැන සැලකිලිමත් විය යුතු බව .අධික ඌෂ්ණ ශරීර ඇති අය මේ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි .
    …ප්‍රමාද වී මේ ගැන සිතනවාට වඩා මුල සිටම මේ කැරුණු ගැන සැලකිළිමත් උනොත් ප්‍රමාද නොවී දරු සැප ලබාගන්න හැකිවෙයි.

    …වෙනදා වගේම හොඳ ලිපියක්.
    …ජය !

    ReplyDelete
    Replies
    1. තරුණ අවධියේත්, විවාහ වූ පසුත්, වයසට යාමේදීත් ආහාරය පිළිබඳ මනා සැලකිල්ල ඉතාමත් වැදගත්.

      Delete
  6. වෙද මහත්තය මෙතන ලියල තියෙන්නේ ඌෂ්ණය ගැන නේ. පිටතින් ලැබෙන උෂ්ණත්වය නිසා මෙහෙම වෙන කතාවක් තියෙනවා නේද? ලැප්ටොප් එහෙම ඔඩොක්කුවේ තියාගෙන වැඩි වෙලා හිටියම ඒ උෂ්නත්වයෙන් වෘෂණ කෝෂ වලට බලපෑමක් තියෙනවා කියන්නේ ඒකනේ.

    මේක හොද ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඒ කතාව හරි බාහිර උෂ්ණත්වය ශුක්‍රාණු නිපදවීමේදී බධා ඇති කරනවා. පුරුෂ මඳ සරුභාවයට ඉතාමත් ප්‍රභල හේතුවක් එය.

      Delete
    2. වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනිද?
      http://kathandara.blogspot.com.au/2012/01/wi-fi-laptops-nuke-sperms.html

      Delete
  7. ඊළඟ කොටසක් ලියන්න වෙනවෝ......... හි හි...

    ඔය ඌෂ්න ගතිය සාමාන්‍ය ජීවිතයෙදි පාලනය කරගන්න හැටි ලියන්නකෝ... මං පොඩි කාලේ සෙමට බේත් ගන්න ගිය වෙලාවක වෙද මහත්තයා කිව්වා මට තියෙන්නෙ ඌෂ්ණ ඇඟක් කියලා... ඉස්සර හැමතිස්සේම වෙනස් කෑම ජාති එහෙම ගත්තත් දැං මංම උයාගෙන කන නිසා එහෙම විවිධත්වයක් නෑ... ඒක නිසා කෑම වලින්, වතුර වලින් සාමාන්‍ය ජීවිතයෙදි මේ තත්වය පාලනය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ ගැන ලියන්න කියලා ඉල්ලීමක් තියෙනවා... හි හි..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ සිටින හොදම කමෙන්ට් කරුවන් තමයි,
      1. අප අතරින් සදහටම වියෝ වූ අපේ සනත් අයියා.
      2. බ්ලොග් නොලියන ඒත් ලියන අයට වඩා බ්ලොග් ලෝකයට සේවයක් කරන ගිම්හාණී.
      3. හිරු ඔබ.
      ඒ නිසා දෙවනි කොටසක් දෙන්නම්. හැබැයි තව එක වෙනත් ලිපියකට පසු.

      Delete
  8. හොදට කියවන්න ටිකක් වෙලාව ගන්නවා කාරි නෑනේ වෙද මහත්තයෝ..

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. ඔබ ගේ කමෙන්ටුව ඉතා වටිනවා. ඒ නිසා නිවී සැනසිල්ලේ ලියන්න.

      Delete
  9. මම මෑතක ළිපියක දැක්කා මුළු ළෝකෙම පුරුෂයන්ගේ ශුක්‍රානු ප්‍රමාණයේ අඩුවීමක් තියෙනවා කියලා. ඒකට හේතුව ළෝකේ ගිනියම් වන එකද කියන්න දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. මාතලන්,
      ඒක ඇත්ත. මේ පිළිබඳ පරීක්ෂණ කළ අයගෙන් දෙදෙනෙක් අපේ ලාංකිකයෝ.
      1. නාරිවේද වෛද්‍ය මිල්හාන් පාෂා.
      2. ආචාර්‍ය්‍ය ශෙරීන් ප්‍රනාන්දු මහත්මිය. මගේ ගුරුවරියක්.
      ඔබගේ අනුමානයත් එක හේතුවක් තමා. තව බොහොමයක් තිබෙනවා. හිමීට ඒවා ගැනත් ලියන්නම් ඉඩ ලද විගස.

      Delete
  10. ඔබ තුමා හමු වන්නේ කොහොමද නුගේගොඩ කොතනටද එන්නේ

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවීම පිළිබඳ ස්තුතියි. ආහාරය, ව්‍යායාමය, මනස, පාලනය කර බලන්න.

      Delete
  11. බොහොම වැදගත් ලිපියක් වෙද මහත්තයෝ..

    ජයෙන් ජය..!

    ReplyDelete
  12. හම්මෝ හරි වැදගත් ලිපියක් ..නිදහසේ කියවන්න ඕනේ....
    ගොඩක් පින්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබට ප්‍රයෝජනවත් නම් මට ඒ ඇති. කාට හරි යමක් කියා දුන්න කියා සිතීමත් මට සතුටක්.

      Delete
  13. සුපුරුදු ආකාරයටම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි මේ දැනුවත් කිරීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මට සතුටුයි ඔබට යම් දැනුමක් ලැබුනාට. ආයූර්වේදය මගේ ජීවිතය තමයි. ඉන් තොරව දැන් මට ජීවත් වන්න බැහැ. මම ඒ ගැන බොහෝ ආඩම්බර වෙනවා.

      Delete
  14. ඇඟ නිවෙන්න කියලා පොඩි කාලෙ ඉඳන්ම ගෙදරදිම හදලා දෙන කැඳ ජාති , රණවරා, බෙලි මල්, සේපාලිකා මල් , වගේ ගස් මුල් කොල මල් පානයන් වල වැදගත්කම තමයි ඔළුවට ආවෙ. කොළඹට ආවහම herbal tea සංකල්පය හොඳින්ම කරන තැනක තමයි ගල්කිස්ස මහ හෝටලය Mount Lavinia hotel ..උදේ කෑමට කොළ කැඳ ජාතියක් එක්ක herbal tea දෙවර්ගයක්ම අනිවා තියෙනවා..ගාන අඩු කාලෙ ගිහින් පදිංචි වෙලා හිටි තැනක් ..දැන් නම් එතනට කිට්ටු කරන්නත් බෑ !

    ReplyDelete
    Replies
    1. අද තිබෙන බොහෝ රෝග වලට හේතුව මේකයි වෙනි. කවද්ද අපි මේවා තේරුම ගන්නේ. බලන්න ඉක්මනින්ම සුද්දා මේ හැමදේම කරන්න ගන්නවා. එදාට අපිට සුද්දගෙන් තමයි ආයූර්වේදය ඉගෙන ගැනීමට වන්නේ. දැනටමත් ඒකට පාර කැපීගෙන එන්නෙ.
      වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කිව්වලු.

      Delete
  15. ලිපිය හොඳයි වෙදමාමේ,
    මට ප්‍රශ්න කීපයක් තියනවා,
    1.ආයුර්වේදයේ හෝමෝන ගැන විස්තර වෙනවද?
    2.අහාර වල උෂ්ණ/සීත බෙදීම මොකක්ද?
    (මේක ගැන නම ලියල අපිට කියල දෙන්න කියල ගොඩක් කල්)
    ස්තුතියි.
    තව ඉතින් මෙතන කට්ටියත් මං වගේම බොන්ට හොඳ දේවල් ගැන අහල තියනවනේ, පුළුවන් නම් ඒවා ගැනත් ලියන්න.
    මීට ඇම්.විජේරත්න.

    ReplyDelete
    Replies
    1. මලින්ද වෛද්‍ය ශිෂ්‍යයෙක් වන ඔබ මේ ගැන උනන්දු වීම ඉතා හොද පෙර නිමිත්තක්. මා ඔබ වෙනුවෙන්ම ඉදිරි ලිපි දෙකකින් මේ කාරණය ගැන ලියන්නම්. පමාට කමාව!

      Delete
    2. ස්තුතියි.
      ස්තුතියි,උෂ්ණ කෑම ගැන අපේ ජීව රසායන විද්‍යාව මහාචාර්යතුමන් නම කීවේ ඒවා ප්‍රෝටීන් අධික ආහාර විය හැකි බවයි,
      මේ ගැන හරියට කියන්න නොහැකි මුත්,
      මෙවන් ආහාර ගැනීමෙන් diet induced thermogenesis නම් ක්‍රියාවලිය වැඩියෙන් සිදුවෙනවා,
      එනම් සරලව යම ආහාරයක්‌ එන්සයිම මගින් ජීර්ණය කර අගට අවශෝෂණය කර ඒ පෝෂක නිසි අවයව වලට යවා ගබඩා කිරීමට යන ශක්තිය වැඩි වෙන විට තාපය උපදිනවා.
      මටත් මේ ගැන නිසි ලෙස කියවන්න බැරි වුනා.
      මහාචාර්යතුමා අහාර ගැන තව දේ වැදගත් දේ කීවා, පසුව කියන්නම්.
      ස්තුතියි ලිපිය අනාගතේ ලැබෙන ලිපි දෙකට.

      Delete
  16. ගොඩක් වටින ලිපියක්.. ඊළඟ කොටසත් බලාපොරොත්තුවෙනවා.. :)

    ReplyDelete
  17. පෝස්ට් එක ඉතාම පැහැදිළියි. මමත් ටිකක් දුරට මේ විෂය අධ්‍යනය කරලා තියෙන නිසා තේරුම් ගැනීම පහසුයි.

    මම අහලා තියෙන විදියට ඉස්සො,දැල්ලො,කකුළුවෝ,ටින් මාළු,හරක්මස්,ගෝන මස්,බල මාළු,කුම්බලා මාළු,ජාඩි වගේ මාංශමය ආහාරත්, මුරුංගා(කරල්) බිම්මල්,කිරිඅල,පිසූ තක්කාලි,අලගොබ...වැනි ශාකමය ආහාරත් උශ්ණයි.
    දූරියන්,රඹුටං,මැංගුස්,කෝලිකුට්ටු(පුවාළු)...වැනි පළතුරුත් උශ්ණයි.
    එළ කිරි,මුදවාපු මී කිරි,....වම්බටු,එළ බටු,බණ්ඩක්කා,පිපිඤ්ඤා,නිවිති,මුං ඇට,....ශීත ගුණය සහිත ආහාර; ඒ වගේම..කොමඩු,අනෝදා(ආත්තා),ආනමාළු ‍සහ ඇම්බුම් කෙසෙල්....ශීත ගුණය සහිත පළතුරු.
    කිතුල් පිටි කැඳ,හාතවාරිය කැඳ,ඉරමුසු කැඳ....ශීත ගුණය සහිතයි.
    නේත්‍රපලම් හා ඉදුණු අළුකෙසෙල්...(පුරුෂ ශක්තිය වඩවනවාලු)

    (ඉරමුසු ශක්තිජනක උත්තේජක ගතියක් තිබෙන නිසා, ක්‍රීඩකයින්ටන්ම සුදුසු නැතිලු).

    මෙහි කිසියම් වරදක් ඇත්නම් හැකි ඉක්මනින් නිවැරදි කරන්න....

    ReplyDelete
    Replies
    1. ඉතාම නිවැරදියි. ජය වේවා!!

      Delete
  18. සටහන කියෙව්වා මේ දවස්වල එහෙ මෙහෙ කරක් ගහන ගමන්... කොමෙන්ටුවක් කරන්න ගෙදර එනකම් හිටියෙ. මේ උෂ්ණ සහ සීතල සංකල්පය ගැන ලංකාවේ එයත් එක්ක හැදිලා වැඩිලා ජීවත්වෙන මිනිස්සුන්ට වඩා ඉක්මණින් මෙහෙ අය වටහාගෙන ඇතැයි කියා තමයි මටත් දකින්නට ලැබෙන්නේ. මේ ගැන මම 2004 දී ලියපු බ්‍යාමප්‍රභාව නවකතාවේ මුල් හරියෙ යාන්තමින් පාඨකයාව කුතුහලයට පත්කරන්න දෙබසක් ඇතුල් කළා. ඒත් irony කියන්නේ කුමක් දැයි නොදන්නාකමෙන් එහි වැදගත්කම බොහෝ දෙනෙක් නොදකිවී!!!

    තමා ළඟ තියෙන සත්‍යය කරුණු පවා මිථ්‍යාවන් වලින් පොරවාගෙන ඉන්නෙ නැතිව මහවෙදනා මල්ලි වගේ සාමාන්‍ය පාඨකයාට පැහැදිලි වෙන ආකාරයෙන් ලිවීම නොකළොත් අපි මේ දැනුමත් අරගෙන වලපල්ලට යාවි අනාගතේ දරුවන්ට කිසිවක් ඉතිරි නොකරම. සදා ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කා. ඔබගේ වචන මට විශාල උත්තේජනයක්!

      දැනුම කියන ප්‍රපංචය තනියම කන්න නෙමේ බෙදාගෙන කෑ යුතුවක් බව අපි තේරුම් ගන්නව නම් අපිට කවදාවත් වරදින්න විදිහක් නැහැ.

      Delete
  19. ඉතාම වැදගත් ලිපියක්...
    මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා,,
    කෙනෙක්ගේ ශරීරය උෂ්නද, සීතද කියා දැනගන්නේ කොහොමද?? කල හැකි සරල පරීක්ෂණ තිබෙනවාද?
    උෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් උෂ්ණ ආහාර ගැනීම සම්පුර්නයෙන් නතර කල යුතුද?
    "උෂ්ණය නැති කිරීම" කරන්නේ කෙසේද?

    ReplyDelete
  20. ඉතාම වැදගත් ලිපියක්...
    මටත් ප්‍රශ්න කීපයක් තිබෙනවා,,
    කෙනෙක්ගේ ශරීරය උෂ්නද, සීතද කියා දැනගන්නේ කොහොමද?? කල හැකි සරල පරීක්ෂණ තිබෙනවාද?
    උෂ්ණ ශරීරයක් ඇති කෙනෙක් උෂ්ණ ආහාර ගැනීම සම්පුර්නයෙන් නතර කල යුතුද?
    "උෂ්ණය නැති කිරීම" කරන්නේ කෙසේද?

    ReplyDelete
  21. ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ පලමු වතාවට . තවතවත් දැනගැනිමට ආසයි . ඔබතුමාට ස්තුතියි.

    ReplyDelete
  22. ඉතා වැදගත් . මේ සම්බන්ධව විස්තරයක් කියෙව්වේ පලමු වතාවට . තවතවත් දැනගැනිමට ආසයි . ඔබතුමාට ස්තුතියි.

    ReplyDelete
  23. ඌෂ්නයෙ ප්‍රභේද මොනතරමක් කියලද?

    ඔබ කියන ඔය ඌෂ්නය ඇරුනම, තව රාජ උෂ්නය, සල්ලි උෂ්නය, රූප උෂ්නය වගේ කොච්චරක්ද. එව්වට නං මං හිතන්නෙ අර භරතමුණිල ආයෙ ඉපදුනත් බෙහෙත් හොයන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
  24. මේ ලියවිල්ලේ ඇති වටිනාකම මා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ... මෙයින් කියැවෙන ආකාරයේ ගැටළුවකට මුහුණ දුන් අය විදින වේදනාව තුනී කරන්න මෙයින් යම් කිසා මෙහෙයක් වේ යැයි සිතෙන හෙයින්... මේ ලිපි පෙළ තව දුරටත් ලියන්නට ඔබට ශක්තිය ලැබෙන්නට පතමි...

    ReplyDelete
  25. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  26. අදයි ආවෙ.. දැනුම් සාගරයක් :)
    ජයම වේවා!!

    ReplyDelete
  27. බයෝ වලට නම් ඕව ගැන ටිකක් ඉගෙන ගත්තා.. අර විභව ශක්ති-චාලක ශක්ති කතාව නම් නොතේරේ :(

    ReplyDelete
  28. උෂ්ණය නිසා ලිංගික අවයව වල සමාජරෝග වල වගෙ මුහුණුවරක් මතු වෙනවද.. උදා: ශිෂ්නයෙන් ශ්‍රාව එන වැනි

    ReplyDelete
  29. මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද

    ReplyDelete
  30. මුරුංගා උශ්නාදිකයි කියන්නෙ ඇත්තද

    ReplyDelete