Friday, August 26, 2011

පැරණි රසාංග.

පසුගිය සතිය ඉතාමත් අධිකව වෙහෙසෙන්න සිදු වූ නිසා වෙදගෙදරට එන්න බැරි වුනා. ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.

කොහොමත් ඉදිරි කාලයේ ටිකක් වැඩ අධිකයි.

ඒ කියන්න අපි හොයාගෙනනෙ අපි කන්නෙ, ඉතිං ඒකනේ මේ ප්‍රශ්නෙ.

හොඳයි, කාලෙකින් ආපු නිසා ආපු ගමන් ලොකු මාතෘකා වලට නොගිහින් පොඩි කථාවක් කියන්නයි යන්නේ. මේක මේ ඇත්තටම වුනු දෙයක් ඒත් මේක ලියන්නේ මේ චරිත වලට නිගරු කරන්න නෙමෙයි. මේ මිනිස්සු මොනතරම් අපේ රටට වැඩ කරලා තියනවද කියලා කියන්නයි. තව මේ වගේ රස කථා කාලයේ වැලි තලාවෙන් යට යමින් තිබෙන නිසා නැවත මෙහෙම හරි මතක් කර ගන්නයි.

ඔබ දන්නවා කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් පාරේ වෙහත් දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ අසල තිබෙන ශ්‍රාවස්තිය හෙවත් අපේ බස්නාහිර පලාත් සභා ප්‍රධාන කාර්‍යාලය. මේක තමයි අපේ කථාවේ ප්‍රස්තුතය වෙන්නේ.

මේ විශාල අලංකාර ගොඩනැගිල්ල ගැන මගේ මුල්ම මතකය වෙන්නේ, සුප්‍රසිද්ධ 88 - 89 කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු කාලේ "එවකට" (එවකට )(හොඳට මතක තියා ගන්න "එවකට" ඈ..... ) ඉතා ප්‍රගතිශීලී තරුණ මංත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ලැගුම් ගෙන සිටිය ස්ථානය විදියට. අපි යනවා නිතරම ඔවුන් මුන ගැසෙන්න ඔතනට.

ඉතිං කථාව ඔන්න........

මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියන්නේ, ඒ කාලයේ ලංකාවේ විසූ ඉතාමත්ම ප්‍රකට ධනවතෙක් වන මුලින් සිංඤ්ප්පු බාස් උන්නැහේ නමින් හැදින්වූ, පසුව ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමා. මෙතුමා මේ ගොඩනැගිල්ල ඉතාම අලංකාරෙයෙන් සාදවා තමාගේ දියණියගේ වල්ලභයා වන වෛද්‍ය ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා වෙත දායාදය වශයෙන් ලබා දීල තියනවා.

මේ චන්ද්‍රසේකර මුදලි තුමා ගැනත් රසවත් කථා විශාල ප්‍රමාණයක් තියනවා. බලමු පුළු පුළුවන් හැටියට එක එක දමන්නම්. දිනක් මෙතුමා ගියාලු, ඒ කාලේ ව්‍යාපාරිකයන් අතර ගමන් බිමන් සඳහා භාවිතය ගැනුනු ඉතාම වටිනාකමින් ඉහල ජපන් ජින් රික්ෂෝවක් මිලදී ගන්න. මෙතුමාගේ තිබුනු පුරුද්දක් තමයි තම ධනයේ හැටියට අදින්න පලදින්න උවමනාවක් නොතිබුනු එක. ඉතිං මේ අපිලිවෙලට ඇදගත්ත සිංහලයෙක් ඇවිත් මිල අධිකම රික්ෂෝවක් ගන්න හදනකොට මේ ආයතනයේ සිටි සේවකයන්ට මේක විහිලුවක් වගේ වුනාලු. කෙනෙක් කිව්වලු "උන්දෑ ගන්න රික්ෂො" කියලා. මේක ඇහුන ගමන් මේ මුදලිතුමා මේ ආයතනයේ එවලෙ තිබුනු හැම රික්ෂෝවක්ම එකවිට මිලදී ගත්තලු.

දැන් මේ කථාවේ කථා නායකයා තමයි මෙතුමාගේ බෑන පොඩ්ඩ. මෙතුමා ඒ කාලයේ ලංකාවේ සිටි එකම සිංහළ පශු වෛද්‍යවරයා. මේ නිසාමයි මුදලි තුමා තම දියණිය මෙතුමාට කරකාර බන්දලා දෙන්නේ.

දැන් මෙතුමා පදිංචිය අර අපි කිව්ව ශ්‍රාවස්තියේ. ඒ නිසාම මේ වෛද්‍යවරයා හැදින්වුනේ ශ්‍රාවස්තියේ සිටුවරයා නමින්. මෙතුමා අපේ සිංහළ අධ්‍යාපනය නඟා සිටුවන්න විශාල මෙහෙයක් කලා. මෙතුමාට ඒ සඳහා මාමණ්ඩියගේ මුදල් තිබුනා ඇති තරම්. ඔය පරමවිඥානාථි සමාගමට අයත් බෞද්ධ සිංහල පාසැල් බොහොමයක් මෙතුමාගේ ධන වියදමින් තමයි නඩත්තු වුනේ. මෙතුමට තම ආදායමෙන් සෑහෙන වියදමක් ඒ සඳහා ගෙවන්න වුනා. කොටින්ම අද අපි දන්න පාසැල් බොහොමයක් මෙතුමාගේ උත්සාහයේ ප්‍රථිඵල.

මෙතුමා තමාගේ මහාධනස්කන්ධයම වැය කලේ රටේ පාසැල් නඟාසිටුවන්න. අවසානයේදී මේ ධන කුවේරයාගේ ධනයත් අවසන් වෙනවා, ජාතික සේවයටම වියදම් කරලා. ඊට පසු මේ මහා මන්දිරය තවත් ධන කුවේරයෙක් වන හෙන්ඩ්‍රි වුඩ්වඩ් අමරසූරිය විසින් මිලදී ගන්නවා. නමුත් තම දිවියේ අවසන දක්වා මෙතුමාට අමරසූරිය මැතිතුමාගේ අනුග්‍රහයෙන් මෙහිම වාසය කරන්න ලැබෙනවා.

මේ කථාවේ හොඳම කෑල්ල තමයි මේ. මෙතුමා ඒ කාලයේ තිබුනු ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් වුනු මෝනින් ප්‍රයිඩ් ආයතනය මිලදී ගන්නවා. ඒ ආයතනයේ තමයි "සිංහළ සමය" පත්‍රය මුද්‍රණය වෙන්නේ. මේ පත්‍රයේ කතෘකමට පත් කරන්නේ ආතර් සිල්වා මැතිතුමාගේ ඤාති පුතෙක් වන උගත්, නවකථා කරුවෙක්, පුවත්පත් කලාවේදියෙක්, කවියෙක් වන ඇම්. සී. ෆ් පෙරේරායි. මාමයි බෑනයි වුනාට පෙරේරා මහතා මෙතුමාට ගරු කලේ නැහැ. ඒකට හේතුව වුනේ විවාහය නිසා මහ ධනයක් හිමිකර ගත් මෙතුමා තම පස ඤාතීනට නොසලකන්නේය යන සිතුවිල්ල.

දිනක් ශ්‍රාවස්තියේ මහා උත්සවයක් පැවැත්වීලු. මේ සඳහා පැමිණි ආතර් සිල්වාගේ ඤාතීනට ශ්‍රාවස්තියේ පහත මාලයේත්, බිරියගේ ඤාතීන්ට ශ්‍රාවස්තියේ ඉහල මාලයේත් වශයෙන් වෙන් වෙන්ව සැලකීමට සකස් කර තිබිනි. මෙහිදී අධික කෝපයට පත් අප පුවත්පත් කතුතුමා පහත කවිය ශ්‍රාවස්තියේ බිත්තියක අඟුරු කැටයකින් ලීවේලු.

අඹුවගේ නෑයින්ට සැලකුවේ උඩ මාලේ
සැමියගේ නෑයින්ට සැලකුවේ පාතාලේ
මෙහෙමට පවතිතොත් අඹු සැමි සැම කාලේ
කොහොමට සුතන් ඇති වෙද ගොන් වෙද රාලේ

මෙහෙම ලියන්නත් හේතුවක් වුනේ මෙතුමාට හැම සැප සම්පතක්ම ලැබුනත් දරු සම්පත් නොලැබීමයි.

කෙසේ හෝ මෙවැනි උතුම් ලංකා පුත්‍රයන් අප අතර සිටි නිසයි අපි වැඩි දෙනා අද මෙතැන ඉන්නේ.

ඔවුනට අපේ ප්‍රණාමය පුදමු.

11 comments:

  1. ඔබතුමා අද නොහිතපු මානයකට ගිහින්. ඔය වගේ චරිත නැතිනම් අද දක්නට ලැබෙන පන්සල්,පාසැල් බොහොමයක් ඇති වන්නේ නැහැ.ඒ වගේම සමහරු ධනය මුළුමනින්ම ඇත හැරලා, සමහර විට ජීවිතය පවා දුන්නේ තමන්ට උරුම සැපවත් ජීවිතය අත් හරිමින්.

    ReplyDelete
  2. ඔය සිරිත් විරිත් තවමත් අප අතර තිබීම ගැන අපි ලැජ්ජා වෙන්න ඕන..

    ReplyDelete
  3. ඉතිහාසය ගැන අපි නොදන්න, මතකයෙන් ගිලිහුණු කාරණා කොයි තරම් ද? බොහොම ස්තුතියි මේවා මතක් කරලා දුන්නට.

    ReplyDelete
  4. ඉස්සර වුණේ අතේ තිබුණු සල්ලිත් වියදම් කරගෙන කරපු දේශපාලනයක්, සමාජ සේවයක්. ඒත් අද වෙන්නේ තමන්ටයි පවුලටයි හත් මුතු පරම්පරාවකටම හම්බ කරගෙන ඊට පස්සේ මහජනයාටත් කීයක් හරි ඉතුරු වුණොත් යමක් කරන උන්දලා.

    ඇත්තම කතාව ඔච්චර හම්බ කරද්දී මහජනයාට කරන්න ගාණක් ඉතුරු නොවෙන එක :))

    ReplyDelete
  5. මට මතක හැටියට අවසානයේදී ඔය ශ්‍රාවස්තිය ඒ අයිති කාරයා යටතේදීම උකසකට අහුවෙලා විකුනන්න සිද්ධවුනා. 1970 මැතිවරණයෙන් පස්සෙ ඒ කාලෙ හිටපු ආන්ඩුව ඔය ගොඩනැගිල්ල මන්ත්‍රී වරුන්ගේ ලැගුම් හලක් බවට පත්කලා.

    ReplyDelete
  6. කොහොම උනත්, අහන්ට ආසා හිතෙන කතා...:)

    ReplyDelete
  7. නොදන්නා ඉතිහාස කතාවක් ගෑන දෑනුවත් කිරීම ගෑන වෙදමහත්තයට ස්තුතී...

    ReplyDelete
  8. අපොයි...සේරමත් හරි ..අර කවිය තමා කවිය..

    ReplyDelete
  9. තමන්ගේ ධනය ජාතික සේවය වෙනුවෙන් කැප කල මෙවනි අය මටනම් දැන් සිතාගන්නවත් බැරි තරම්. දැන් ඉතින් අපිට අසන්න, දකින්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දේවල්නෙ.

    රික්ශෝ කතාවත් හරි අපූරුයි. ඇඳුමින් පැලඳුමින් මිනිස්සු මනින්න එපා කියන්නේ ඒක වෙන්නැති.

    රසවත් ලිපියක්...

    ReplyDelete
  10. ඉඳුනිල්,
    ඔව් මම හිතන් ඉන්නවා ඉදිරියේදී ටික ටික හරි මේ වගේ කථා ටිකක ලියන්න. මොකද අද ඉන්න පුස්සො ගැන අපි කථා කල යුතු නිසා. බලන්න අද මෙහෙම තමන්ගේ ධනය වියදම් කරයිද? අනික තන්ගේම නිවසේ තමන්ට අර වගේ උපහාසයක් කල කෙනෙක්ට අද මොනවා වෙයිද?
    මම දන්න තරමට මේ කතු තුමා මේ සිද්ධියෙන් පසුවත් මෙතුමාගේ කතුතුමෙක් විදියට කාලයක් සිටියා.

    මාතලන්,
    අද මේවා අඩුයි නේද?

    චතුරංග,
    බොහොම ස්තුතියි.

    හසිත,
    අපොයි ඔව් අද කොහෙද දේශප්‍රිමීන්, ඉන්න තරමක් ඉන්නේ බොරු ෂෝක් කාරයොනෙ.

    සරත් ගුණතුංග,
    බොහෝම පින් අපි අතර මෙහෙම රැදෙනවට.

    පොඩි කුමාරිහාමි,
    ඇත්තෙන්ම ආස හිතෙනවා තමයි.

    අසංක,
    බොහොම ස්තුතියි!

    ලකී,
    ඇත්තම ඇත්තයි, ඒක නම් මරුනේද?

    ගිම්හාණී,
    100% එකඟයි ඔබ සමඟ.

    ReplyDelete
  11. මාත් එකම එක සැරයක් ඔය මන්දිරේට ගිහින් තියෙනවා.. බොහෝම ස්තූතියි කතාව ලිව්වට..

    ReplyDelete