දහඅට සන්නිය නමින් සුපතල මේ පුරාණ සම්ප්‍රධායික නැටුම සම්ප්‍රධායේ අඩංගුවන දෑ ගැන යම් සොයා බැලීමක් මම මීට වසර කිහිපයකට කලින් කලා. එම සොයා බැලීමේදී මගේ අරමුණ වූයේ මෙහි සත්‍යාසත්‍යතාවය බැලීම නෙමේ. මෙයින් අදට යමක් ගන්න පුළුවන්ද කියන එකයි. ඇත්තටම එහිදී මට තේරුම් ගිය කාරණා මම වෙදගෙදරට ගෙන්න හිතුවා. කාට හරි හිතෙනවනම් මේ තරම් දියුණු ලෝකෙක මොනවටද මෙවැනි දේ කියලා. මම ඒකට වරදක් කියන්නේ නැහැ. අපි කට කාටත් තම තමන්ගේ මත තියනවා. අපේ හැකියාවන් අනුව ඒ මත අපි ක්‍රියාත්මක කරනවා. මම නම් දකින්නේ සමාජයට හිරිහැරයක් නැත්නම් අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙනවනම් මේ කිසි දෙයක වරදක් නැහැ.
මේ ගැන මම වැඩිය කථා කරන්නේ නැහැ. මේ බ්ලොග් අඩවිය දිනකට අයෙක් පමණක් කියවනවනම් මම ඒ එක් පුද්ගලයා වෙනුවෙන් ලියනවා.
දැන් දහ අට සන්නිය.....................
දහ අට සන්නියේ ඉතිහාසය.
රාජාවලීන් කිහිපයක් හරහා විහිදී ඇති මෙම ශාන්ති කර්ම සම්ප්‍රධායේ නැටුම් ක්‍රමය ඇරඹුනු තැන විදියට දැක්වෙන්නේ සංඛපාල නුවර හෙවත් එනම් පසු කාලීනව, (වරින් වර,) වපරක නුවර, මන්දාර නුවර, යන ලෙසින් පැමිණි විශාලා මහ නුවරයි. මෙහි ඉතිහාසය බුද්ධාන්තර කීපයක් හරහාත් විහිදිලා තියන බව පැහැදිලිව පෙනෙනවා. මේ කථා පුවතට මුලින්ම සම්බන්ධ වෙන්නේ පියුමතුරා බුදුන් වහන්සේ. ඒ යුගයේ තමයි මේ කථාපුවත මුලින්ම ඇරබිලා තියන්නේ.
මෙය මෙසේ ඇරඹී මහා ශාන්තිකර්මයක ලෙස අද දක්වා පැතිරී ඇවිත් තියනවා. මම දන්නවා කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය්‍යවරුන් කන්ඩායමක් මේ ගැන යම් පරීක්ෂණයක් කලා.
සංඛපාල නුවර රජකල සංඛපාල රජුගේත් පදුමුත්තරා බිසවගේත් පුතුවූයේ වධකමාන කුමරායි. කෝල යක් වූයේ මෙතුමායි. තවත් අදහසකට අනුව (වඩාත් ප්‍රචලිත කථාව.) පෙර සිටි බ්‍රහ්මදත්ත පරපුරේ රජකෙනෙකුගේ බිසවට ගැබක් සිටි අවස්ථාවේ නිසිකල ගොස් ඇය වැදූයේ මස් වැදල්ලක් පමණක් බැවින් මෙය රජෙකුට අවනම්බුවක් නිසා මේ මස් වැදැල්ල විනාශ කිරීමට භාරගත් ඇමතියා එය රන් බඳුනක බහා නම් ලියවා ගංගානම් ගගේ පා කරවීය. රන් බඳුන වනාන්තරයේ භාවනායෝගීව සිටි තවුසන් පිරිසකට ලැබිනි. ඔවුන් එය විවර කර බැලීමේදී සම විනිවිද පෙනෙන වර්ණයෙන් යුතු කුමරකු හා කුමරික එහි සිටින බව දැක ඔවුන් දෙදෙනාව දරුකමට සාදා ගති. නිසිකල් පැමිණි පසු ඔවුන් දෙදෙනාවම ආවාහ විවාහ කර දීමෙන් ඇරඹුණු පරපුර ලිච්ඡවී පරපුර වීලු.(මහාචාර්ය්‍යය ජයසේන කෝට්ටේගොඩ මැතිතුම 1995)මේ පරපුරේ කුමරියක (අසුපාල කුමරිය ) හා සංඛපාල රජු අතර විවාහයෙන් සන්නි යකු හෙවත් කෝල යකු බිහි වී ඇත. එයද ඉතා රසවත් කථාවක් බැවින් මෙහි සඳහන් කරමි.
සන්නි යකා හෙවත් කෝල කුමරු පිලිසිඳ ගැනීමේදී අසුපාල කුමරිය සිහින තුනක් දැක ඇත.
1. මහා කෙළ නාරද සමඟ ගඳ කිලියේ සැතපීම.
2. උදාගිරි පර්වතය පලාගෙන පැමිණි සූර්ය්‍යයා නුවර ගිනි දවා අළු කිරීම.
3. තරු පිරිවැරූ චන්ද්‍රයා එම ගිනිකඳ නිවා සැනසවීම.
තම බිසව ගැබ් දැරූ බව නොදැන යුදයක් සඳහා රජු පිටත් විය. රැජිනට අඹ කන දොළක් ඇති වූයෙන් ඇමතියන් එය අඹ අවාරයක් හෙයින් මහත් වෙහෙසවී එක් අඹයක් සොයා දුන්හ. දොළදුක දැඩි බැවින් තනිවම අඹය කෑ බිසව කෙරෙහි සේවිකාවක් රොස් වූවාය. මැය රජු පැමිණි පසු බිසවගේ අනාචාරයක් ගොතා කීමෙන් බිසව කෙරෙහි රජුගේ සිත් බින්දාය. එවිට තදින් උදහස් වූ රජු බිසව මැරීමට ඇමතියකුට භාර කරවීය.
විලි රුදා හටගෙන සිටි බිසව එම "පසඟ" නම් ඇමැතියා විසින් පුබ්බෝරුව ගසක එල්ලා කඩුවෙන් දෙපළු කරවීය. පුබ්බෝරුව ගස කඩුව වැදීමෙන් කැබලි වූ නිසා පසුව කැබැල්ල ගස ලෙස හැදින්වූවාලු. වෛරී සිතින් මැරුනු බිසව එවලේම කුමරුවකු බිහි කලාලු. බිළිදා බිහිවන විට මව වදයේ සිටි බැවින් කුමරා "වධකමාන" නම් විය.
මවගේ සිතැඟි අනුව කුමරා වැඩෙත්ම තද දරුණු ගති ඇතියෙක් විය. මේ කුමරු වැඩෙත්ම දැඩි හිතැතියෙක් වූයෙන් ඒහා සමානම පිරිවරක් ඇති විය. ( මළ කුණට නොවැ මැස්සොත් වහන්නේ.) පිරිවර කැටිව කුමරා කැලෑ කොල වලින් සාදා ගත් ගුලු 18 අහරට ගන්නට ලක ලෑස්තිවන විට ඊශ්වරයා එම අහරට අමුත්ත(අමෘතය,) එක් කලෙන් වියරු වූ කුමරුන් ඇතුළු පිරිස විශාලා මහ නුවරට වැදී නුවර වනසන්නට විය.
මෙයින්ලු විශාලා මහ නුවරට රෝබිය, අමුනුෂ්‍ය බිය, යක්ෂ බිය යන තුන් බිය ඇති වූයේ. බුදුන් වහන්සේගේ රතන සූත්‍ර දේශනයෙන් මොවුන් සක්වල ගලින් එහාට පන්නා දැමිණි. එහෙත් කෝල සන්නි යකා අබැටක් තරම් වෙසක් මවාගෙන ගොම රිටක සැඟවී සිටියේලු. මොහු දුටු බුදුන් වහන්සේ එසේ කිරීමට හේතු විමසූ විට මනුෂ්‍ය ලෝකයට පැමිණ දොළ බිලි ලබා ගනිමින් ලෙඩ සුව කිරීමට පැතුවාලු. ඒ අනුව තමයිලු මේ දහ අට සන්නිය බිහි වූයේ.
මහාචාර්‍යය තිලක් කාරියවසම් මැතිතුමා 1976 දී මේගැන ඉතා වටිනා විවරනයක් කර තිබෙනවා. ජන සාහිත්‍යය මෙවැනි කථා වලින් ඉතාම පොහොසත් අපි බලන්න ඕනෙ මේවා ඇත්තද බොරුද කියලා නෙමෙයි. අපි දන්නවා මේ යම් යම් සංකෙත කථා මාරගයෙන් නොයෙක් ගැබුරු කරුණු විස්තර කරන ක්‍රමයක් අපේ තිබුනා. අන්න ඒක තමයි අපේ හරය වෙන්න ඕනෙ.
සන්නි යනු කුමක්ද?
ආයුර්වේදයේ සන්නි යනුවෙන් හැදින් වෙන්නේ තුන් දොසම කිපි අවස්ථා හෙවත් අසාධ්‍යය අවස්ථා.
සන්නි ලෙඩ ප්‍රධාන වශයෙන් වාතය පිත සෙම තුන් දෝස් නිසා ඇතිවන නමුත් මෙහිදී වැඩි වශයෙන් වාතවාහී නාඩී සහ මානසික එනම් සියුම් ස්නායු සම්බන්ධයක් පෙන්වනවා.
ඔබ හොඳින් බලන්න මේ සන්නි ශාන්ති කර්ම කවදාවත් යොදාගන්නේ නැහැ උපතින් වන රෝග සම්බන්ධව, හැමවෙලේම මේවා යොදා ගන්නේ හදිසියේ ඇති වූ රෝග සම්බන්ධවයි. බොහෝ වෙලාවට අපි දැකලා තියනවා මේ රෝග මනෝකායික රෝග (Psychosomatic) ලෙස හඳුන්වන රෝග කාණ්ඩයට අයත් වන රෝග ලෙස.
මේ මනෝකායික රෝග සුව කිරීමට පෙරදිග ශාන්ති කර්ම යොදා ගැනීම ගැන දැන් බටහිර රටවල පවා පිබිදීමක් තිබෙනවා.
උදාහරනයක් ලෙස ගත් විට හොඳින් සිටි අය සමහර විට හිටිහැටියේ ගොළුබවට පත් වෙනවා. මේවැනි රෝග බොහෝ විට මනෝකායික මූලයන්ගෙන් ඇති වූ රෝග ලෙස හඳුනා ගන්න පුළුවන්.(තවත් සංකීර්ණ මොළයේ ආබාධ තත්වයන් වන මොලයේ ගෙඩියක් ඇති වීම, වැනි තත්වයන් නිසා වන ගොළු බව මේ ලෙස ගත නොහැකියි. එය කායික පමණක් රෝගයක් නිසා.)
අද ලියාගෙන යනකොට මට මතක් වුනා මගේ මිත්‍රයො දුන්න උපදෙස වැඩිය දිගට ලියන්න එපා. එහෙනම් මෙතනින් කඩනවා.
අදට අවසාන වශයෙන් ඔබට පෙනෙනවාද අසුපාල කුමරිය සිහිනයෙන් දුටුවේ මේ වධකමාන කුමරුගේ පසු හැසිරීම කියලා. අපි හෙට සන්නි කවි එහෙම කියමු නේද?
දහ අට සන්නියේ ඊලඟ කොටස හෙට........
ඔන්න පොස්ට්.. එළ.. හෙටම් ඕන නෑ.. වැඩ පාඩු කර ගන්නෙ නැතුව ලියන්න.. වෙද මහත්තයෝ..
ReplyDeleteඔබ තුමාගෙ ලිවීම ගැන කිසිදු ගැටලුවක් නැත , ලිපිය සාරවත් නං ඔන්න කියෙව්වා ....
ReplyDeleteමේ කාරණාව ගැනනං කොමෙන්ට් දාන්න මට දැනුමක් නෑ , කොහොම උනත් ලිපියට අදාලව ඉතිහාසය දැක්වීමේදී පොඩි පැටලුම් සහිත ස්වභාවයක් තියනව වගේ .
හැමදාම වගේ වටිනා කරුණු දැක්වීමක්. අපේ සමහරු ඕව අවඥාවෙන් බැහැර කරනවනේ. ඒවායේ සැඟවුණු අර්ථයන් හා ප්‍රායෝගික ප්‍රතිඵල තියෙන බව කියවන අයට මේ ලිපියෙන් වැටහීමක් ලැබේවි. ස්තූතියි.
ReplyDeleteඅර හීන ගැන අහනකොට නම් බයත් හිතෙනවා. හරිම රසවත් ලිපිය...මේ වගේ විස්තරවලින් අපිව දැනුවත් කරනවාට බොහොමත්ම ස්තූතියි.
ReplyDeleteවිවේකීව දහ අට සන්නිය නටන්නේ කොහොමද කියන එකත් විස්තර කරන්ට...:)
මේ දිනවල වැඩිපුර මේ සන්නි නැටුම් නටනවා ඇසී තිබෙනවා.
ReplyDeleteශරීරයේ ඇතිවන රෝග 18 සදහා වෙන වෙනම නැටුම් 18 තියනවා කියා අසා තියනවා..ගොලු සන්නිය, වෙව්ලුම් සන්නිය,පිස්සු හෝ
කපාල සන්නිය යනාදී වශයෙන්......
මේ ශාන්තිකර්මය සදහා යක්ශයා රෝගියා වෙත පැමිනෙන විට
මුලින්ම බියවූ අයුරිනුත් පසුව විකට ස්වරූපයෙනුත් පැමිනෙන එකේ යම් අර්තයක් තියනවද???
එතනින් කැඩුව එක හොඳා කඩ කඩ ලියන්න..
ReplyDeleteලියන දේ ගැන හොඳ නාභිගත කිරීමක් කරනව ලස්සනට ඒක වැදගත්...
ඔහොම යං.. අපිටත් බැරියෑ සන්නි කෙසේ වෙතත් අඩව්වක් කස්තිරමක් අල්ලන්ටවත්..
ReplyDelete//පුබ්බෝරුව ගස කඩුව වැදීමෙන් කැබලි වූ නිසා පසුව කැබැල්ල ගස ලෙස හැදින්වූවාලු.//
ReplyDeleteඅපි ආහාරයට ගන්න කැබැල්ල ගස ගැනද මේ සදහන් කරන්න්??
ඔබ කිව්ව මනෝ කායික රෝග සුව කිරීමට ශාන්තිකර්ම වලට ඇති හැකියාව ගැන මාත් එකඟයි. ඒ ගැන යමක් එකතු කරන්න කැමතියි. මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්.
ReplyDeleteඑයා පොඩිම කාලේ එකපාරට කතා කරන එක නවත්තලා. ඇයි කියල දැන් එයාට මතක නැහැ. පස්සේ එයාට අවු 5/6 විතර අම්මල ලොකු තොවිලයක් නටල. තොවිලේට කලින් දවසේ එයාගේ පොඩි වළඳක් බිඳුනලු. තොවිලේට පස්සේ දවසේ උදේම අර කතා නොකර හිටපු යාලුවා අම්ම ලඟට ගිහින් "අම්මේ වළඳ බිඳුනා" කිව්වලු....
බොහොම රසවත් ලිපි කිහිපයක ආරම්භය වගෙයි !
ReplyDeleteමම ලංකාවෙදි දහ අට සන්නිය කියල කියන සංස්කෘතිකාංගය දෙතුන් විටක් දැකල තියෙනව.. ඒත් ඒව එකකට එකක් වෙනස්කම් සහිතයි... ආකෘතියෙ විතරක් නෙමෙයි.. ඇඳුම්, කවි පවා වෙනස්...ඇයි ඒ...
ReplyDeleteසමහර ඒවට සලු පාලිය... ගිරි දේවි... පන්දම් පාලිය වගේ ඒවත් තියෙනව... සමහර ඒවයෙ නෑ...
නොදන්නා බොහෝ විස්තර දැනගත්තා. ස්තූතියි. මම නම් නොදන්නා පැත්තක් මේ ඉතිහාස කතා සියල්ල.
ReplyDeleteසම්ප්‍රදායික දැනුම්, කලා, ගති සිරිත්, විවෘත මනසින් බැලීමේ කාලය උදාවෙලා;
ReplyDeleteවෙස් මුහුණට, මල් බුලත් වට්ටියට, කහ නූල් කෑලිවලට පොඩි කාලේ අපිව භය කළ ගුඪ කට්ටඩි විජ්ජාව අවසන් හුස්ම හෙලමින් සිටීද?.
ඒ දැනුම්, කලා සම්ප්‍රදාය යටින් දිවෙන යතාර්තය, යතාර්තවාදීව බැලීමට අපේ වෙදනා අපිට කවුලුවක් තනනවාට ස්තූතියි.