අපි උපන්දින සමරලා, 50 ජුබිලියත් අරගෙන කවි කියලා එක විදිහක් වෙලා ඉන්නේ. එහෙම නේද?
ඔන්න එහෙනම් තොවිලෙ පටන් ගමු "මහා දහ අට සන්නි යකුම"...........
නෞව්‍ය බටහිර සහ පුරාණ දේශීය වෛද්‍ය ක්‍රම අනුව අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා.
ආයූර්වේද නැතහොත් අපේ පුරාණ දේශීය වෙදකමේ එන හැටියට සන්නි 18 කියවෙන්නේ මෙහෙමයි.
1. ක්‍රිට්ටි සන්නිය 2. කණ්ඩ සන්නිය 3. සිසිර සන්නිය
4. අන්දක සන්නිය 5. ප්‍රලය සන්නිය 6. අත්‍රිකා සන්නිය
7. අතීසාර සන්නිය 8. අසූවක සන්නිය 9. අරුක්කුච්චි සන්නිය
10. කෝල සන්නිය 11. මූර්තු සන්නිය 12. මුඩුක්කු සන්නිය
13. පිස්සු සන්නිය 14. වෙඩි සන්නිය 15. දෙව සන්නිය
16. කණ්ඩමාල සන්නිය 17. කපාල සන්නිය 18. වැදූගෙයි සන්නිය
ආයුර්වේද ශාස්ත්‍රයෙහි හඳුන්වන ලබන මෙම නම් ක්‍රමයට වඩා සුළු වශයෙන් වෙනස් වූ නම් ක්‍රමයක් 18 සන්නියෙහි භාවිත වෙතත් මේ සන්නි වලින් කියැවෙන රෝග තත්වයන් හා ආයූර්වේද ශාස්ත්‍රයෙහි කියැවෙන රෝගී තත්වයන් එක හා සමාන බව ඇතැම් යකැදුරන්ගේ විශ්වාසයයි.
සමහර රෝග ආයූර්වේද ශාස්ත්‍රයෙහි සඳහන් වන ආකාරයෙන්ම සන්නියෙහිද භාවිත වේ. එනම් කෝල සන්නිය, මූර්තු සන්නිය, පිස්සු සන්නිය, වෙඩි සන්නිය, දෙව සන්නිය, හා වැදූ ගෙයි සන්නියයි. නමුත් මෙහි නොගැලපෙන තැනක්ද මට නම් පෙනේ. එනම් වැදූ ගෙයි සන්නිය හා කෝල සන්නිය තනි සන්නියක් ලෙසත්, ආයූර්වේදයේදී රෝග දෙකක් ලෙසත් නම් කර තිබීමයි. මම මෙයට හේතුව සෙවූමුත් සොයා ගැනීමට හැකි නොවීය. යම් දිනක සොයා ගත හොත් ඔබට දන්වමි.
ආයුර්වේදයේදී රෝග හට ගන්නේ තුන් දොස් කිපීමෙනි. මෙම කායික රෝග තත්වයට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා අත්‍යාවශ්‍යයි. නමුත් මෙහිදී වන මානසික තත්වයට ප්‍රතිකාර කිරීමට මේ සන්නි යොදාගෙන ඇත. එනම් අෂ්ඨාංග ආයුර්වේදයේ සඳහන් වන භූත විද්‍යාව මෙහිදී මනෝ තත්වයට ප්‍රතිකාර කිරීමට උපයෝගී කරගෙන ඇත.
දැන් නවීන වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝග ගැන සඳහන් වනවාදැයි අප සොයා බලමු.
1. මූර්තු සන්නිය - Tetanus
2. පිස්සු සන්නිය - Rabies
3. වෙඩි සන්නිය - Ortifis Media/ Nervous complication of mumps
4. කපාල සන්නිය - Japanese Encephalitis
5. ක්‍රිට්ට සන්නිය - Cerebral malaria
6. කණ්ඩ සන්නිය - P.E.T. (Per Eclampsic Toxemia)
7. සිසිර සන්නිය - Malaria
8. අන්දක සන්නිය - Encephalitis Lethargies
9. ප්‍රලය සන්නිය - Tubercular Meningitis
10. අතීසාර සන්නිය - cholera
11. අත්පාස සන්නිය - Polio Mellitus
12. අසූවක සන්නිය - Marfans Syndrome
13. කෝල සන්නිය - Acute Toxic Encephalopathy
14. ගිනිජල සන්නිය - The Neurological Manife / Acute Prophyria
15. මුඩුක්කු සන්නිය - Hepatitis
16. සුර සන්නිය - Typhoid
17. කණ්ඩමාල සන්නිය - Tonsillitis
18. වැදූගෙයි සන්නිය - Puerperal Pyrexia
මෙහිදී වෙනත් පරම්පරාවක පොත පත ආශ්‍රයෙන් මම ලබාගත් දත්තයන් කීපයක්ද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. මෙම පරම්පරාවේ ඇත්තන් විසින් සන්නි සලකා ඇත්තේ මෙසේය.
1. අමුක්කු සන්නිය - වමනය ඇති කරවන ආමාශයික රෝග.
2. අභූත සන්නිය - භූත බැල්මක් සහිත මානසික රෝග.
3. භූත සන්නිය - භූත බැල්මක් සහිත උන්මාදය.
4. බිහිරි සන්නිය - බිහිරි බව
5. දේව සන්නිය - වසංගත රෝග
6. ගින්ජල් සන්නිය - මැලේරියාව වැනි අධිකව උණ ඇති කරන
7. ගොලු සන්නිය - කථා කිරීමට නොහැකි බව
8. ගුල්ම සන්නිය - පණු රෝග සහ ආමාශයික රෝග.
9. ජල සන්නිය - කොලරාව/ බුරුල් ලෙස මළපහ වීම.
10. කන සන්නිය - අන්ධ භාවය.
11. කොර සන්නිය - අංශභාගය.
12. මරු සන්නිය - මානසික විපරීතභාවය හා මරණය.
13. නාග සන්නිය - සර්පයන් සිහිනෙන් දකින නපුරු සිහින පෙනීම.
14. පිස්සු සන්නිය - තාවකාලික උන්මාදය.
15. පිත් සන්නිය - පිත්තාශය ආශ්‍රිත රෝග.
16. ශ්ලේෂ්ම සන්නිය - සෙම හා අපස්මාරය.
17. වාත සන්නිය - සන්ධි ප්‍රදාහය.
18. ගෙඩි සැරව, බිබිලි, ගෙඩි, චර්ම රෝග.
මෙම සටහන් පෙලෙහිම මම අවස්ථා හතරකදී 18 සන්නිය නම් කරලා තියනවා. පැහැදිලිව බැලුවොත් ඔබට පෙනෙයි මේ අවස්ථා හටහ්‍රෙදි එකිනෙකට ගැලපෙන සන්නි නම් වගේම නොගැලපෙන සන්නි නම්ද මම භාවිතා කරලා තියනවා. ඒකට හෙතුව වෙන්නේ මේ සටහන් මමත් අරගෙන තියන්නේ ඉතාම පැරණි පරම්පරා කීපයක සටහන් අනුව වීමයි. හැබැයි ඔබ තවත් පැහැදිලිව බැලූ විට පෙනෙයි, මේ සඳහන් වෙන අවස්ථා 18 එකම රෝග 18 හඳුන්වා දීමට භාවිතා කර ඇති බව. මෙහෙම වෙන්නේ නොයෙක් පරම්පරාවල සහ නොයෙක් පලාත්වල සිංහල භාෂාවේ ඉතා සියුම් වෙනස්කම් ඇති නිසායි. හැබැයි මතක තබා ගන්න මේ එකම මනෝකායික රෝග කාන්ඩයක් සඳහා භාවිතා කල විවිධ නම් බව.
හොඳයි දැන් අපි මේ සන්නි යකුමේ අවසානයට ලඟා වෙලා ඉන්නේ. දැන් අවසාන වශයෙන් අපි සොයා බලමු මේ 18 සන්නි සන්නි යකුමේදී භාවිතා කරන වෙස් මුහුනු අනුව රෝග හඳුනා ගැනීමට.
සන්නි යකුමේදී භාවිතා කරණ වෙස් මුහුනු අනුවද අදාල රෝගය හඳුනා ගත හැක. එම රෝග ලක්ෂණ වෙන් වෙන් වශයෙන් කැපී පෙනෙන අයුරින් වෙස් මුහුන සෑදීමට පෙර කලා කරුවන් දක්ෂ වී ඇත.
පිත් රෝග, වමනය ඇති වීම, ආමාශයික රෝග, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග, පණු රෝග වැනි රෝග අවස්ථා නියෝජනය කරන සන්නි යකුමේදී භාවිතා කරන වෙස් මුහුන හැම විටම පිතේ පැහැය වන කොල පැහැයෙන් වර්ණ ගන්වනු ලබයි. ඉදිරියට නෙරා ආ දිවකින්ද යුක්තය.
පණු රෝග නිරූපණය වන්නේ අවපැහැ ගැන්වූ වර්ණ රටාව, මඟින් නිරක්තිය නිරූපණය කරයි.
මානසික රෝගියෙක් නිරූපණය කිරීමේදී මානසික රෝගියෙක් සතු චෛතසික විපරීතභාවය හොඳින් නිරූපණය පරිදි මානසික රෝගියාගේ වෙස් මුහුන නිර්මාණය කරයි.
බිහිරි බව නිරූපණය කරන විට වෙස් මුහුනේ අඩක්ම නාගයෙකු ආවරනය කරගෙන සිටින අන්දමින් නිරූපනය කරයි. එනම් සාම්ප්‍රධායික විශ්වාසය නාගයා යනු බිහිරි සතෙක් බවයි.
ගොළුබව නිරූපණය කිරීමේදී, මුව පළල්ව ඇරගෙන සිටින බවක් පෙන්වනු ලබන අතර දිව හෝ දත් නොපිහිටයි.
අන්ධභාවය නිරූපිත වෙස් මුහුනෙහි ඇස් නොපිහිටයි.
හිස් පළදනාවක් පැලද සිටින බවක් පෙන්වන වෙස් මුහුනෙන් දෙව කෝපය හෙවත් වසංගත රෝග නිරූපනය කරයි. එනම් හිස ඔසවන වසංගත රෝගයි.
මුහුන මත ඇති සැරව ගෙඩියක් පැහැදිලිව හඳුනාගත හැකි ලෙස නිරූපනය කරන්නේ චර්ම රෝග, ගෙඩි, වණ, පිළිකාය.
තද රතු පසුබිමකින් වර්ණ ගන්වා ඇති වෙස් මුහුනේ නළල ප්‍රදේශයෙන් ගිනිදැල්ලක් පිටවන බව පෙන්වීමෙන් නිරූපණය කරන්නේ මැලේරියාව ආදී අධික උණ ඇතිවන තත්වයන්ය.
අංශභාග තත්වය නිරූපණයෙහිලා යොඳන වෙස් මුහුනෙහි පැත්තක් ඇද වී ඇත.
කහ පැහැය බහුලව භාවිතා කරමින් නිර්මාණය කර ඇති වෙස් මුහුන මගින් සෙංගමාල තත්වය හෙවත් බිලිරුබීන් වැඩි වීම නිරූපනය කෙරෙයි.
මේ වන විට දහ අට සන්නි යකුම ගැන අපිට යම් අවබෝධයක් තිබෙනවා. අපි දන්නවා අද වගේ ඉතාම කාර්‍යය බහුල සමාජයක කොතරම් ලෙඩ, එනම් කායික රෝග ඒවා නිසා ඇති වූ මානසික රෝග තියෙනවද කියලා. එතකොට මේ හැම නිසා ඇතිවන කයටත් මනසටත් බලපාන මනෝකායික රෝඉග මේ සමාජයේ අති බහුලයි මට දැනෙන විදියට නම්. ඒ වෙනුවෙන් මම යොජනා කරන්නේ නැහැ තොවිල් පවිල් කරන්න කියලා. හැබැයි අපි මේ දෙවල් ගැන යම් හැදෑරීමක් කලයුතුයි කියන එක නම් මගේ එක යෝජනාවක්. මොකද මේ රෝග වෙනුවෙන් දැනට අපි අති විශාල මුදලක් වැය කරනවා. අපිට ඒ වැය නවතා දමන්න තරම් නොවුනත් යම් අඩු කිරීමක් කර ගැනීමට මේවැනි දෙවල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් බවයි මගේ හැඟීම.
ඊලඟ කාරනය තමයි අද කාලයේ මෙවැනි සන්නි යකුමක් හරි ඉදියට කරන්න හැකිය්ටාවක් ඇති අය ඉන්නවද කියන කාරණය. මම දන්න විදියට නම් බොහෝම ටික දෙනෙක් ඉන්නවා. ඒ අය ලෝකයේ නොයෙක් රටවල මෙවැනි දේ ගැන පර්යේෂණ කරන අයත් සමඟ එක් වී මෙවැනි දැණුම රැක ගැනීමට යම් මෙහෙයක් කරනවා. අද ලෝකයේ තිබෙන විද්‍යාත්මක දියුණුව සමඟ මේ දෙවල් වල ඇති සත්‍ය කොටස එකතු කර ගැනීමට අපිට හැකියාවක් ලැබුනොත් ලෝකයට යමක් අළුතින් දීමේ මහා පුන්‍ය කර්මය අපට කර ගන්න පුළුවන් වෙයි.
එහෙනම් ඔබ දැන් මේ ලිපි පෙල ගැන ඔබේ අදහස කියන්න. මම තවත් තොවිල් දෙකක් කරන්න හිතන් ඉන්නේ මේ බ්ලොග් අවකාශය තුඅල.
1. කඩවර සන්නිය
2. රට යකුම
ඒවා පස්සේ බැරියැ...........
මහ වෙදනා හුඟක් වෙහෙස වෙලා කරුණු කාරණා රැස් කර ඇති බව පෙනෙන්නෙ.
ReplyDeleteකලා අංගයක් හැටියට දහ අට සන්නිය බලන්නනම් කැමැත්තක් තියෙනවා.
I like this. Also agreed to this ideas becouse I have done a reaserch about this.We can find more ideas through Folk dramas and dancing in Sri lanka. for the more deatails read Folk drama in Sri Lanka by prof. Sarachchandra.
ReplyDeleteමානම් මේ සන්නි නැටුම් දැකල තියෙනවා.
ReplyDeleteමේ සන්නි යකුයි ඇදුරයි අතර සංවාද හරිම රසවත්..ඉවරයක් නැති පද පෙරලි..වැරදි වචන නිවැරදි කරමින් යකදුරාත් සන්නි යකාත් හාස්ය රසයක් ගෙන දෙනවා..
මේ ලිපියේ මට වැදගත්ම කොටස නවීන වෛද්‍ය විද්‍යාවේදී මේ රෝග ගැන සදහන් වෙන ආකාරය. මේ කරුනු දැන සිටියේ නෑ.පොඩි ගැටලුවක් මතු උනා පිස්සු සන්නිය(Rabies) මෙය සුව කල නොහැකි රෝගයක් යනුවෙන් අසා තියෙන්නේ..
ස්තූතියි..දැනුවත් කලාට.
මහ වෙදනා මහත්මයානනි, ඔබගේ සටහන මහත් ආශාවකින් යුතුව කියවීමි. ඔබ උගත් ශාස්ත්‍රය සර්ව සම්පූර්ණය. ඒ කියන්නේ සිතටත් කයටත් එකසේ පිලියම යොමු කිරීම නිසාය. බටහිර මාණසික වෙදකමේ හරයක් නොමැත. රෝගයක ඇතිවන ශාරීරික ක්‍රියාකාරිත්වය අනුව රෝග නම් කොට ඇති ශාස්ත්‍රයකින් කුමක් බලපොරොත්තු වෙන්නද? නිකම් Attentive Deficit Hyperactive Syndrome නම් වූ රෝගය දෙස බලන්න. එහි ඇත්තේ කුඩාකල දෙමව්පියන්ගේ ආදරය අහිමි වූ කුඩා දරුවන්ගේ හැසිරීමේ අක්‍රමුක තාවයයි. දෙමාපියෙඔ දරුවන් දෙස නොබලති. ඔවුන්ගේ ඕනෑ එපාකම් දෙස පමණක් බලති. දරුවන් හදන්නේ වෙන අයය. දරුවන්ද ඒ සඳහා දෙමාපියන්ට විරුද්ධව කැරලි ගසති. අවසානයේ ඔවුන් මාණසික සායන වල මාණසික වාට්ටු වල කෙලවර වෙති. ඔවුන්ගේ ඖෂධ වන්නේ මොලය අක්‍රිය කරන නිදි පෙතිය. රෝගයේ මුල දෙමාපියන්ගේ නොසැලකිල්ලය. රෝගයේ විඳවන්නා අසරණ දරුවන්ය. ඹ් එසේමය. රෝගයෙඔ නිධානය ඇත්තේ මාණසික වය. යම්කිසි මාණසික ඛණ්ඩයක ඌණතාවයක් නිසා ලාබාල සිතක් අශනයට පත් වේ. එය සොයා ගැනීම් ඉතාමත්ම අපහසුය. එය සොයාගන්නා තෙක් කිසිම ප්‍රතිකාරයක් කල නොහැක. මෙයට ඉවසීම අත්‍යාවශ්‍යය. මේ පිලිබඳව විශේෂ සමීක්ෂනයක් කරන වෛද්‍ය පැච් ඇඩැම්ස් මහතා දින ගනන් සති ගනන් රෝගීන් සමග කල් ගත කොට ඇත. අවසානයේ හේතුව ඔහු සොයා ගත්තේය. ඒ එක් එක් කෙනාට විශේෂ වූ දෙයකි. ඔබ සඳහන් කරන තොවිල් වලින් වුවද, සිදු වන්නේ මාණසිකව, සංස්කෘතික ත්‍රිකෝනයේ බලපවත්වන එක්තරා විශ්වාසයකට පිලිතුරකි. සංස්කෘතික වශයෙන් අපේ සමාජය බලි තොවිල් පිලිබඳව යම්කිසි විශ්වාසයක් තබා ඇත්තේ ශතවර්ශ ගනනාවකට පෙර සිටය. ඒ නිසා ඒ ශාස්ත්‍රය අමතක කල නොහැක. එසිම එයින් කිසිවක් සිදු නොවේයයි එය නිෂ්ප්‍රභා කිරීමද කල නොහැක. අපේ සංස්ක්කෘත්යේ අංගයක් වශයෙන් අපි එය ඉදිරියට ගෙන යා යුතුය.
ReplyDelete18 සන්නියෙන් සන්නි බොහෝමයකටම විද්යාත්මක ප්‍රතිකාරවලින් කෝටි සංඛ්යාත ජනතාවක් සුවකර ඇති බැවින් සන්නි නැටුම් නැටීම අද දවසේ, සංස්කෘතික සහ කලාංගයක් පමනක් බවට පත්වීම වැලැක්විය නොහැකිය, ආයුර්වේදය අවදානය, බර, දැමිය යුත්තේ බටහිර විද්යාව අසමත් වන අංශවලටය,
ReplyDeleteයන්න මගේ පන්ඩිත වාක්යයයි
මගේ අර්ධ දැනුම නිසා දොඩවන දෙයක් යැයි සිතන්නට එපා...
ReplyDeleteඒත් පලමු ලැයිස්තුවේ ඇති රෝග සියල්ලම පාහේ බාහිර හේතු නිසා ඇතිවන කායික රෝග විනා මානසික රෝග නොවේ නේද... ඒ වගේම නිසි ඖෂධ ප්‍රතිකාර ( ආයුර්වේද හෝ බටහිර ) නොකෙරුනොත් fatal ( මරණීය ?) විය හැකියි නේද... එවන් තැනකදි විධිමත් හෝ අවිධිමත් මානසික චිකිත්සාවකින් පලක් ඇත්ද...
එක උදාහරණයක් පමනක් ගන්නම්... Otitis media ( ඔබේ ලිපියේ අකුරු විනිසෙහි පොඩි වෙනසක් ඇත )නොහොත් මැද කනේ ආසාදනයක් සුදුසු ප්‍රතිජීවකයක් භාවිතයෙන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි තත්වයක් නොවේද... සුදුසු කලට ප්‍රතිකාර නොලදහොත් කන්බෙරය ආසාදනය වීම හෝ මොලය දක්වා ආසාදනය පැතිරීම සිදුවිය හැකි නොවේද...විධිමත් හෝ අවිධිමත් මානසික චිකිත්සාවකින් කෙසේවත් එය සුවකර ගත හැකිද...?
රෝගියාට මානසික සුවයක් ලැබෙනවානම් මෙවැනි සන්නි නැටුම් නැටුවට කමක් නෑ කියලා හිතෙනවා. ඒ වගේම අපේ සංස්කෘතියේ කොටසක් විදියට මේවගේ දේවල් ඉදිරියට ගෙනයායුතුයි කියලත් හිතෙනවා. හැබැයි අවශ්‍ය කායික වෙද, හෙදකමුත් කරනා අතරම.
ReplyDeleteවෙස්මුහුනු ගැන කරලා තියන විස්තරය නම් හරියට වටිනවා. බ්ලොග් අවකාශය තුල කරන්නකෝ හොඳ තොවිලයක්.
ආතුරයෝ හැමදෙනාටම කලින් දන්වලා ඉන්ට හොඳේ.....:)