Thursday, August 4, 2011

මනෝ චිකිත්සාවට ධ්‍යාන අංග උපයෝගී කර ගැනීම.

මම මේ ටිකේ නැවතත් ටිකක් වැඩ. ඒත් ලිපි ලියනවා. දැන් සති දෙකක් බෞද්ධ ලිපියක් දැම්මේ නැහැ. ඒ නිසා අද මම ලියන්නේ බෞද්ධ ලිපියක් හැබැයි මේක ලිව්වේ අද නෙමෙයි. දැන් ටික කාලෙකට කලින් ඒත් මේක ඉතාමත් වැදගත් අපේ දැණුමට. ඒනිසා මම දැන් ඔබට ලබා දෙනවා.
ධ්‍යාන අංග පිලිබඳ මට හැකි ලෙස පොඩි දැණුමක්. මේවා කාට හෝ එක අයෙක්ටවත් යම් ප්‍රයෝජනයක් ලැබුනොත් මට ඒ හොඳටම ඇති. මට ඕනෙ මගේ බ්ලොග් එකේ අපේ විද්‍යාවන් ගැන කථා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි මගේ එකම අරමුණ.

මෙතනදී ධ්‍යාන අංග කියලා හදුන්වන්නේ ,
1) විතක්ක
2) විචාර
3) පීති
4) සුඛ
5) ඒකාග්ගතා
යන ධ්‍යානාංග මනෝ චිකිත්සාවේදී උපයෝගී කර ගැනීමද කල හැක්කකි. කෙනෙකුගේ මනස බොහෝ විට අවුල් වන්නේ එක් අරමුණක සිත නොමැති විටයි. එසේ එක් අරමුණක් නොමැති විට කල යුත්තේ සිතට අරමුණක් නංවා ගැනීමයි.
 
විතක්ක
විතක්ක යනු සිතට යම් එක් අරමුණක් නංවා ගැනීමයි. මෙහිදී ධ්‍යාන සිත් පිළිබඳව සඳහන් කිරීමේදී සමසතලිස් කර්මස්ථාන වලින් එකක් සිතට නංවා ගැනීම කල හැකිය. අයහපත් අරමුණු ඔස්සේ සිත ගමන් කරන විට ඊට හාත්පසින්ම වෙනස් වූ යහපත් අරමුණු ඔස්සේ සිත නංවා ගැනීම කල හැකිය.
ලෝභ ද්වේශ මෝහ වෙනුවට අලෝභ අදෝෂ අමෝහ පදනම් වූ සිතක් ඇති කර ගැනීම මෙහිදී කල යුතුයි. ඒවා චරිත අණුව රාග ද්වේෂාදියට ගැලපෙන අරමුණකද තිබිය යුතුයි. එසේම වයසට ගැලපෙන අරමුණක්ද විය යුතුයි. කසිනාදී භාවනා වලදීද කරන්නේ මෙම පිළිවෙලමය. එනම් බාහිර අරමුණක් ලෙස එය සිතට නංවා ගැනීමයි. එසේ භාවනා කිරීමේදී සඳහන් ප්‍රධාන අවස්ථා 3ක් එයි.
1. පරිකම්ම නිමිත්ත - එයට සූදානම්ව ඒ භාවනාව ගන්නා නිමිත්ත පරිකම්ම නිමිත්ත නම් වේ.
2. උද්ග්‍රහ නිමිත්ත - ඇස් පියාගත් කල්හිද මුලින් දුටු ඉගෙන ගත් අරමුණ හෙවත් හිතේ ඇදගත් සටහනයි.
3. පටිභාග නිමිත්ත - උද්ග්‍රහ නිමිත්ත සිහිකරමින් සිටින විටදී නීවරණ තව දුරටත් දුරු වීමෙන් සිත පිරිසිදු වී භාවනා නිමිත්ත සියළු දොස් නොමැතිව ඉතා පිරිසිදුව පැහැදිලිව සිතට පෙනෙයි. එම පිරිසිදු වූ භාවනා නිමිත්ත ප්‍රතිභාව නිමිත්ත නම් වෙයි. එහි පාටක් හැඩයක් නැත. සිත තුල ඇතිවන දීප්තිමත් භාවයකි.
 
විචාරය / පීති / සුඛ / ඒකාග්ගතා
ධ්‍යාන අංග වල මුල් අංගය ලෙස විතක්කය ගැනේ. එනම් අරමුණු ගැනීමයි.
 
යෝගාවචරයාගේ අරමුණ කලක් ගතවන විට ඉබේම සිතේ නිර්මාණය වුවද යම් විටක එයද අඩුවක් දැකීමට ඉඩ ඇති වේ. එසේ අඩුවක් දුටුවහොත් පිරිහීමක් දුටුවහොත් එය පිලිසකර කොට නැවත නැවත එම අරමුණ සිතට නංවාලීම විචාරයයි.
 
ඕනෑම පුද්ගලයකුට මෙම නිමිති පහල වෙයි. එහෙත් ඒවා යහපත් වූ ඒවාම නොවෙති. එහි වටිනාකම තිබෙන්නේ යහපත් දේ සඳහා යොදවාලීමයි. ඒ අනුව නැවත නැවත මෙනෙහි කිරීමේදී එය යහපත් එකක් බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතියක් හට ගනී. ණයකින් නිදහස් වූවකුට මෙනි. එනම් පංචනීවරනයන්ගෙන් සිත නිදහස් වීමයි.
 
එයින් පසු එම ප්‍රීතිය නිසාම සැපය ඇතිවේ.
 
සතුට ප්‍රීතිය හා සැපය නිසාම ඉන් අනතුරුව සමාධිය ඇතිවේ. මේවා පළමු දෙවන හා තෙවන සහ සතරවන යන ධ්‍යාන තත්වයන්ය.
 
එම සතර වන ධ්‍යාන අවස්තාවේදී සුඛ ඒකාග්ගතා තත්වයද ඉවත්ව උපේක්ඛා ඒකාග්ගතා තත්වයට පත් වේ. එනම් සිත මැදහත් භාවයට පත්වීමයි. මෙහිදී ප්‍රීති යන්න ඉතා වැදගත් ධ්‍යාන අංගයකි. මෙය සාමාන්‍ය ජීවිතය තුළදී වුවද උපමා කොට බැලූ විට මෙහි වටිනාකම පැහැදිලි වේ.නිදසුනක් ලෙස කාන්තාරයක අතරමං වූ අයෙකුට ඈත එක් ස්ථානයක ජලය පිළිබඳ සලකුණු පෙනෙයි. එවිට ඒ පුද්ගලයා ජලය දැකීමත් සමග නොයෙකුත් සංකල්ප චේතනා රැසක් ගොඩනංවා ගනී එනම් අරමුණු සහ බලාපොරොත්තුය. එය කෙසේද යත් ඒ ජලය මගින් තම පිපාසය සංසිදවා ගැනීමත් නෑම හා අනෙකුත් අවශ්‍යතා වලට එය යොදාගන්නා ආකාරය පිළිබඳව සංකල්ප රැසක් පහළ කර ගනී. මෙය ඉදිරි පැවැත්ම පිළිබඳව හේතුවන චේතනාවන්ය. සාමාන්‍ය ලෝකයේ පැවැත්මටද හේතු වන්නේ මේ චේතනාවන්ය ඉන් පසු ඒ චේතනා ඔස්සේ පුද්ගලයා බොහෝ ක්‍රියාවන්ට පෙලබේ. ඒ අනුව ප්‍රීති යනු සංඛාර ස්කන්ධයට අයත් ලක්ෂණයකි. මෙම ධ්‍යාන අංග වලදී පහළ වන පීතියද මෙම ප්‍රීතිය වැනිය. එසේ ජලය දැකීමෙන් සතුටුව එය භුක්ති විදින අවස්තාව සුඛය ලෙසද දැක්විය හැකිය.
 
බෞද්ධ උපදේශනය තුලින්ද කෙරෙන්නේ මෙබදුම කාර්‍යයකි. එනම් පිරිත් කීම, ජ්‍යොතිෂ, බොධි පූජා, ආදී කටයුතු සිදු කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් සංස්කාර හෙවත් චේතනා ගොඩනැංවීම සිදු කරනු ලබයි. එම චේතනාවල ඉදිරි පැවැත්ම පිළිබඳ යම් අඩිතාලමක් පවතී යැයි කිව හැකිය. හොඳ සංස්කාර හෙවත් හොඳ චේතනා ගොඩනැංවීම තුලින් පුද්ගලයා ඒ අනුව ක්‍රියා කොට යහපත් භාවයට ප්‍රතිඵලයට පත්වනවා ඇත.

17 comments:

  1. පෝස්ට් එක බැලුවහමත් නිකන් මොකක්ද උනා ඔලුව එහෙම ගසල තමයි කොමෙන්ට් එක ලියන්නේ.. එතකොට වෙද මහත්තයෝ.. ඔය ජළ කසින ගිනි කසින කියන්නෙ මක්කයි....???

    ReplyDelete
  2. චිත්ත0 පුණායාති පුඤ්ඤ0 ... සිත පිනා යාමම පිනක්.(යහපත් අරමුණක )

    ReplyDelete
  3. ඔබතුමාගේ ලිපිය කීපවරක් කියෙව්වා. බොහොමත්ම ස්තූතියි. මේ ලිපිය කියවන්න කලින් මා සිටි අරමුනු සියල්ල වෙනස් උනා ලිපිය කියෙව්වාම. විවිධ අරමුනු ඔස්සේ සිත දුවමින් සිටි අවස්තාවක භාවනාවක් වගෙ උනා මේ ලිපිය.

    හැමදාමත් ඉතින් මට ගැටලුවක් තියනවනේ ඔබතුමාගෙන් අහන්න.
    මෙන්න මෙහෙම දෙයක් මම ඇසුවොත්...

    //හොඳ සංස්කාර හෙවත් හොඳ චේතනා ගොඩනැංවීම තුලින් පුද්ගලයා ඒ අනුව ක්‍රියා කොට යහපත් භාවයට ප්‍රතිඵලයට පත්වනවා ඇත.//

    1. අපි හිතමු අපි තවත් කෙනෙක් වෙනුවෙන් බොහෝ යහපත් සිතුවිලි, චේතනා සිතතුල ඇතිකරගන ඉන්නවානම් .. තවත් ආකාරයට කිව්වොත් නිතරම සිතින්...ආශිර්වාද කරනවානම් ...ඒකෙ ප්‍රතිපල අනිත් කෙනාට ලැබෙනවාද???

    ReplyDelete
  4. මුලින්ම කියන්න ඕන ඔබේ දැනුමට අලගු තියන්නවත් මගේ දැනුම ප්‍රමාණවත් නැහැ. ඒත් මමත් පුංචි අදහසක් එකතු කරන්නම්,,,

    ඔබ මෙතන කතා කරන ධ්‍යාන වර්තමාන ජීවිතයේ සැනසිල්ල සතුට උදාකර ගැනීම පරමාර්ත කර ගත්ත ඒවා නේද ? ඒ වගේම මේවා ඒ වෙනුවෙන් කරන කිසියම් කැප කිරීමකින් ලඟා කරගන්න යම් යම් මනෝමය තත්වයන් කියලයි මට හිතෙන්නෙ. එතැනදි එවැනි කැප කිරීමක් කිරිමට හැකියාවක් නැති කෙනෙක් මේවා තමන්ගෙ ජීවිතයට අදාල කර ගන්න විදිය ගැන පැහැදිලි කරන්න.ඒ වගෙම ඔබ එක තැනක යෝගාවචරයා යන යෙදුම භාවිතා කරලා තිබුනා. එතැනත් මට පොඩි ගැටළුවක් මතුවුනා.

    අනිත් කාරණය තමයි බුදු දහමේ එන නිර්වාණය අවබෝධ කර ගැනීම පරමාර්ත කරගත් ධ්‍යාන වැඩීම සමග මෙතන තියන සම්භන්ධය ගැනත් මට පොඩි පටලැවිල්ලක් ආවා..
    සමා වෙන්න ..මට මේ ගැන ගැඹුරු අවබෝධයක් නැහැ..දන්න ටික හරහා කිසියම් දැනුමක් ලබා ගන්නයි උත්සාහ කරන්නෙ...

    ReplyDelete
  5. ඔබගේ සටහනේ ඇති ආධ්‍යාත්මික, ආගමික හා මානසික වටිනාකම මිල කල නොහැකිය. එය එපමණම කාලෝචිතය. බටහිර මානසික විද්‍යාවට අනුව මරණයෙන් සියල්ල කෙලවර වෙයි. බෞද්ධයින් වශයෙනුත්, ආයුර්වේද ශාස්ත්‍රයට අනුවත්, භවය කෙලවර මරණය නොවන බව අපි දනිමු. ඒ අනුව මානසික රෝග වලට ප්‍රතිකාර මොලයේ සෛල වල ක්‍රියා කාරිත්වය වෙනස් කරන ඖෂධ වලින් ලබා ගැනීමට යොමු කොට ඇත. මේ අතර නව පද්ධතියක්ද බිහි වී ඇත. ඒ පුන්‍ර්භවය පිලිගන්නා වෛද්‍ය කොටසක් ව්සශයෙන් හැඳින් විය හැක. ඒ අනුව භවයෙන් භවයට යන මානසික රෝග පිලිබඳව ඇමෙරිකාවේ එක් කොට්ඨාශයක අවධානය යොමු වී ඇත.
    මේ අඩවිය බලන්න.
    http://sgunatunga.blogspot.com/2008/10/blog-post_28.html

    වෛද්‍ය බ්‍රයන් වෛයිස් මහාචාර්ය තුමාද ආනාපානසති භාවනාව හා මතුපිටින් සමාන භාවනා විශේෂයක් උගන්වයි. එහෙත් විතක්ක විචාර පීති සුඛ ඒකාග්ගතා තරම් දුර ඔවුන්ද ගොස් නැත. වෙරලේ වැලි සෙල්ලම් කරන දරුවන් මෙන් මේ භාවනාව දහස් ගනන් ඩොලර් වලට ඔවුන් විකුනා දමති. ගැඹුරු මුහුද ඒ ලෙසම නිසල ඇත. ආනාපාන සති භාවනාව බුදු දහමට පමණක් අයිති භාවනාවක් නොවේ. එය පුහුණු කරන භවතුන් බුදු රජාණන් වහන්සේට පෙර සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. සති පට්ඨාන භාවනාව පිලිකුල් භාවනාව බුදු රජණන් වහන්සේගේම ඉගැන්වීම්ය. බ්ලොග් ලියන රෝහණ වසන්ත මහතාගේ අනුදැන්මෙන් මම විඩියෝ පටයක් නැරඹීමි. එහි සඳහන් වන්නේ භාවනාවේ බලශක්තිය ලැබෙන්නේ විශ්වයෙන් බවයි. නොයෙක් නොයෙක් ඖෂධ වර්ග වලින් ජීවත් වූ සමහර රෝගීන් හා සාකච්ඡා කොට ( අනුකම්පා සහගත චිත්තයකින් යුතුව සාකච්ඡා කිරීමෙන් පමණක් රෝග සුව වන බව මම දැන ගත්තේ එලෙසිනි )ඔවුන් ආනාපාන සති භාවනාව වැනි දේවලට යොමු කිරීමෙන් ඔවුන්ගේ මාණසිකත්වය සුව අතට හැරෙන්නේ පුදුම එලවන ලෙසිනි. මා ලියන බ්ලොග් සිංහල සංසදයේ පල නොවේ. ඒ පරිපාලක මහතෙක් හා බැඳුනු පුද්ගලික කෝන්තරයක් මතය. (අපේ ලංකාවේ හැටි !!!)මා ලියන්නේ බෞද්ධ සටහන්ය. ඉඩ ඇති වෙලාවක මගේ සටහන් කියවන්න.

    ReplyDelete
  6. ඇත්තෙන්ම හොඳ චේතනා සමාජය යහපත් තැනක් කරනව..

    ReplyDelete
  7. ප්‍රතිභාග නිමිත්ත (හෝ නිමිත්ත) ගැන ඔබතුමා ලියල තියන කතාවයි මට මතක තිබුණ කතාවයි වෙනස් නිසා මම ආයිත් පොත් පෙරලළ බැලුවා. එතනදි නිමිත්ත කියන්නෙ තනිකරම මානසික ධර්මයක් වුණාට එක එක යෝගියාට පෙනෙන්නෙ/දැනෙන්නෙ වෙනස් විදි වලට. ඒ කියන්නෙ නිකන් උපමාවකින් යමක් දැනෙනවා වගේ යම්කිසි රූපයක් විදියට වැටහෙනවා කියන එකයි කියන්නෙ. සමහරුන්ට ආලෝකයක්, සමහරුන්ට තරුවක් මැණිකක් වගේ පැහැදිලි සරල යමක් වෙන්නත් පුලුවං. වැදගත් වෙන්නෙ මේක කර්මස්ථාන අරමුණ නෙවෙයි.

    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කියල තිබුණෙ මේ වෙනසට හේතුව පුද්ගල හැඟීමවල වෙනස්කම් කියලයි. බ්‍රහ්මවංසෝ හාමුදුරුවංගෙ මතය මීට සමානයි උන්වහන්සේට අනුව ඒකට හේතුව පුද්ගල සංජානනීය වෙනස්කම්.

    තව උන්වහන්සෙ විස්තර කරල තිබුණෙ ජීවිතේ පළමුවතාවට කාම ලෝකයෙන් මිදුණු මනස (මනෝ විඤ්ඤාණයට?) වැටහෙන්න ගන්නවා. එතනදි සංජානනය කියන මානසික ක්‍රියාවලියෙන් තමංගෙ මතකය පීරල බලනවා මේකට හරියන රූපයක් දෙන්න පුළුවංද කියල. බැරි නිසා කිට්ටුවෙන් යන දෙයක් දෙනවා. ඒ ඒ යෝගියාට වෙනසක් වෙන්නෙ ඒ විදියටයි.

    ReplyDelete
  8. ඉතා හොඳ ලිපියකි. එහෙත් අවසන් පරිඡ්ඡේදය ගැන යමක් කියන්නට තිබේ.

    //බෞද්ධ උපදේශනය තුලින්ද කෙරෙන්නේ මෙබදුම කාර්‍යයකි. එනම් පිරිත් කීම, ජ්‍යොතිෂ, බොධි පූජා, ආදී කටයුතු සිදු කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් සංස්කාර හෙවත් චේතනා ගොඩනැංවීම සිදු කරනු ලබයි. එම චේතනාවල ඉදිරි පැවැත්ම පිළිබඳ යම් අඩිතාලමක් පවතී යැයි කිව හැකිය. හොඳ සංස්කාර හෙවත් හොඳ චේතනා ගොඩනැංවීම තුලින් පුද්ගලයා ඒ අනුව ක්‍රියා කොට යහපත් භාවයට ප්‍රතිඵලයට පත්වනවා ඇත.//

    ජ්‍යෝතිෂය බෞද්ධ උපදේශනයට කෙසේ සම්බන්ධ වූවා දැයි නොදනිමි.
    පිරිත් කීම, බෝධි පූජා ආදී කටයුතු කිරීමෙන් පුද්ගලයා තුල යහපත් සංස්කාර ගොඩ නැගීම මෙන්ම අයහපත් සංස්කාර ගොඩ නැගීම ද සිදු වේ.

    අද මිනිසුන් පිරිත් කියන්නේත්, බෝධි පූජා තියන්නේත් වැඩි වැඩියෙන් ලෞකික සැප අපේක්ෂාවෙන් නොවේදැයි සිතන්න.

    ලෞකික වස්තූන් සමඟ ඇලීම අයහපත් සංස්කාර එක් රැස් කිරීමක් නේද?
    මා ලියූ මිථ්‍යාවන්ගෙන් මිදීම ලිපියේ ද මම මේ ගැන සාකජ්ජා කළෙමි.

    ReplyDelete
  9. මාතලන්,
    ජළ කසින, ගිනි කසින, සියල්ල ඇතුලත් කර ඊලග සතියේ ලියමි. භාවනා ගැන ලියන්න හිටියේ. නමුත් එයිට කලින් බොධි ජූජා ගැන ලියා ඊලඟ පොස්ටයේ මේ ගැන ලියමි, සත්තයි!
    පොරොන්දු කඩ නොකරමි.

    ඇනෝ,
    ස්තුතියි!

    ගිම්හාණී,
    බොහෝම පිං. ඔබ මගේ අදහස හොඳින් තේරුම් ගෙන ඇති බව පෙනවා. ඔබගේ අදහස හරි ඒක තමයි මට කියන්න ඔනෙ කලේ.

    ලකී,
    මම මේ ලියනේ නිර්වාණ අවබෝධය ගැන තේරුම් කරන්න නෙමේ. මේ සියළු දේ වර්ථමාන ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය පෙන්වා දීමටයි. මට මේ ගැන වැඩි දැනීමක් නැහැ. මගේ විෂය වෙනස්, ඒත් මම මෙයට ආසයි. ඒ නිසා මම ලබන දැනුම අනක් අයට බෙදා දෙනවා.
    ඔබට බොහෝම ස්තුතියි.

    සරත් ගුනතුංග,
    මම ඔබ දනිමි. ඔබගේ යටගිය දවස ඉතා කලක සිට කියවමි. අගනා ලිපි එකතුවක්. ඔබ මෙසේ මගේ ලිපියකට කමෙන්ට් ලිවීම මම ගෞරවයක් ලෙස සලකමි. ඔබ මම දෙදෙනාම එකම වෘත්තියක ආකාර දෙකකට නියැලෙන වුන වුවත් ඇත්තේ එකම අරමුණකි. ඒ නෙසා මම ඔබට ජය පතනවා.

    පොඩි ගමයා,
    මගේ ලිපිය වඩාත් සාරවත් කලා ඔබේ පැහැදිලි කිරීම. ස්තුතියි.

    චතුර,
    ඔබ ධර්මය ගැන මනා අවබෝධයක් ඇත්තෙක් බව මට වැටහෙනවා. මම කලින් කියූ පරිදි මගේ අරමුණ නිවනම නෙමේ. මේ මිනිසුන් වැටී සිටිනා වලෙන් ගොඩ ඊමට යම් උපකාරයක් මට හැකි විදියට කිරීමයි. ඒ නිසා බොහෝ විට මම ලියන්නේ මිනිසාට තම රෝ දුක් නිවා ගන්න්නට සිත් තැවුල් නිවා ගන්නට මේ ධර්මය යොදා ග්න්නා ආකාරයයි. ඒ ගැන මම ඊලඟ ලිපියෙන් පැහැදිලි කරමි. එම ලිපියට මට අදහස දුන්නේ ඔබයි.
    තව දෙයක් කියන්නට තිබේ මොනතරම් වැඩ තිබුනත් ඔබ වැනි දැණුම තේරුම තිබෙන අය සතියට වරක්වත් ලියන්න.
    ස්තුතියි.

    ReplyDelete
  10. මගේ ප්‍රශ්ණය නිසා යම් සිත් රිදවීමක් සිදුවුනා දෝ කියලා මට සැකයක් ඇති වුනා. එහෙම දෙයක් වුනා නම් සමාවෙන්න.
    ඒත් ඔබගෙ මග පෙන්වීම නිසා මම මේ ගැන ලියවුන ලිපි සැහෙන ප්‍රමාණයක් කියවුවා.තරමක අවබෝධයකුත් ලැබුවා.
    ( රාමසාන් උපවාස සමයේ අපි වැඩ කරන්නෙ වරුවක් පමණක් නිසා මට දැන් නම් කියවීම සඳහා තරමක වැඩි කාලයක් වැය කරන්න පුලුවන්. ඔබට ටිකක් වැඩිපුර කරදර කළාට අමනාප නොවෙයි කියලා හිතනවා.)

    ReplyDelete
  11. ලකී,
    පිස්සුද ලකියො, මම නම් තරහා වෙයි. මට වෙන්නම බැරි වැඩේ තමයි තරහා වෙන එකයි. කේන්ති ගන්න එකයි. අනේ කියලා දියන්කො මට තරහා වෙන හැටි.

    ReplyDelete
  12. එහෙනම් එළ කිරි...හැබැයි පොස්ට් අතර තියන කාල පරාසය ටිකක් වැඩි කලොත් හොඳයි..නැත්නම් ඔබේ පොස්ට් එක හරහා අපට සංවාදයක් ගොඩ නැගීමේ අවස්තාව අහිමි වෙනවා..සරත් ගුණතුංග මහතා වගෙ ඇසි පිරූ තැන් ඇත්තොත් එකතු වෙලා තියන වෙලාවෙ අපිට ඔබේ බ්ලොග් එක හරහා ගොඩක් දුර යන්න පුලුවන් වෙයි..
    අර චතුර මතු කරපු කාරණයටත් යන්න මට උවමනාව තිබුනා..

    ReplyDelete
  13. ඔබ තුමා ලකීට දීපු උත්තරේ දැක්කම මටත් යමක් කියන්න හිතුනා..
    සමහරුනට පුදුම විදියට කේන්ති යනවා මා දැක තියනවා. ඒත් බොහෝ අය මාගෙන් අසා තියනවා ඇයි මට කේන්ති යන්නේ නැත්තේ කියලා.. ඒවගේම ඉවසීම. මේ ගතිගුන අපි පෙර ජාතියේ සිට ගෙන එන ඒවාද?
    තවත් මට ගැටලු ගොඩාක් තියනවා අසා දැනගන්න ..මේ සිත පිලිබදව. නමුත් ඔබ්ගේ මාතෘකාවලට පටහෑනිව අසන්න අමාරුයි. ඉදිරියේදී අසන්නට ඉඩ ප්‍රස්තාවක් ලැබෙයි කියා සිතනවා....

    ReplyDelete
  14. වෙද ගෙදරට මේ ප්‍රශ්නය යොමු කරල තිබුණත්, මම දන්න පරිදි පිලිතුරක් සැපයීමෙන් මම පණ්ඩිත කමක් කරනව කියල හිතන්න එපා. දැනට ජීවතුන් අතර සිටින භාවනා පිලිබඳව විශාල පලපුරුද්දක් ඇති අති පූජ්‍ය පා ඕක් සයදොව් හිමි විසින් රචිත, නොමිලයේ බාගත් හැකි (Mindfullness Breathing and Four Elements Meditation - http://www.buddhanet.nat ) පිටු 92කින් යුතු පොතක් ඇත. ඒ පොතේ භාවනාව පිලිබඳව විශේෂයෙන්ම නිමිති පිලිබඳව විස්තර ඇත. නිමිත්ත ඒ ඒ තැනැත්තාගේ සිතේ ස්වභාවය විසින් මණසට යොමු කෙරෙන්නා වූ දෙයක් වශයෙන් හැඳුන්වා දී ඇත. නිමිත්ත පුලුන් රොදක් වශයෙන්ද, සඳ මඬල වශයෙන්ද, වලල්ලක් වශයෙන්ද දිස්වෙන බව දක්වා ඇත. බුදු රජණන් වහන්සේගේ නිමිත්ත සඳ මඬලක් වශෙන් උන්වහන්සේට පෙනුන බවද දක්වා ඇත. බොහෝ දෙනෙක් පවසන්නේ පොතකින් හෝ යම් කෙනෙකුඑන් අසා දැනගත් කරුණුය. තමන්ම අවබෝධයෙන් අත්දැකීමෙන් දැන ගන්නා කරුණු කිසි දිනක අමතක නොවේ. බෞද්ධ ඉතිහාසයට අනුව, කෙනෙක් තමන් අවබෝධ කරගන්නා දේවල් පැවසීමට මැලි වෙති.
    -----------
    අපි කථා කරන්නේ සමථ භාවනාව ගැන බව මගේ හැඟීමයි. සමථ භාවනාව පුහුණු කිරීමෙන් පමණක් නිවන් අවබෝධ කිරීමට කිසිදාක නොපිලිවන. විපස්සනා භාවනාවෙන් ඇති සැටි දැකීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ අවබෝධ කිරීමෙන් නිවන් අවබෝධ කර ගත හැක. සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද්දේ මේ පිලිබඳවය. අපවත් වී වදාල රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත සතිපට්ඨාන භාවනාව පිලිබඳ වූ ඉතා වටිනා පොතක් ඇත. එය කියවන්න. මහාසි සයදෝව් හිමියන් විසින් උන්වහ්න්සේගේ වෙබ් අඩවියේද අනර්ඝ රචනා ඇත. http://www.aimwell.org/
    සමථ භාවනාව තුලින් ධ්‍යාන පුහුනු කොට සිත් සන්සුන් කර ගත හැක. එයින් ලැබෙන අතුරු ඵල ලෙස සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්විය හැක. බෝධිසත්ත්වයන්ගේ ප්‍රථම ගුරුවරු දෙදෙනම මියගිය පසු උපන්නේ සිත මිස කය නැති බඹ ලොව දෙකකය.

    ඔබ සැමට තෙරුවන් සරණයි

    ReplyDelete
  15. සරත් ගුණතුංග,
    ඔබට මුලින්ම කිව යුත්තේ ඔබ වැනි අයෙක් මගේ බ්ලොග් එකේ ඕනෙම වෙලාවක ඕනෙම දෙයක් ලියන්න එය මට ගෞරවයකි.
    ඔබගේ දැණුවත් කිරීමට ස්තුතියි.

    ReplyDelete
  16. @ සරත් රණතුංග මහතා
    අතිරේක දැනුමක් එකතු කිරීම ගැන බොහොම ස්තූතියි..
    මග පාදා දීම ගැන අපේ වෙද මහතාටත් ස්තූතියි.

    ReplyDelete
  17. @වෙද ගෙදර මහ වෙදනා
    ඔබ තුමාට බොහොම ස්තුතියි මගේ බ්ලොග් එක පැත්තෙත් ගිහිං අදහස් එක් කළාට. ඇත්තටම අපට ඕන හොඳ කතිකාවතක්. ගිම්හානි, ලකී, සරත් මහතා, ඔබතුමා ඇතුළු අප හැම දෙනා දැනුමින්, බුද්ධියෙන් එක සමාන නෑ. ඒත් මට හිතෙන්නේ අපි හැම දෙනාම එක දේකට ඉව අල්ලනවා. ඒ දේට මේ ලිපිය උත්තේජකයක් වුණා වගේ....

    මම ධර්මය ගැන ඒ තරම් ලොකු දැනුමක්වත් අවබෝධයක්වත් තියෙන කෙනෙක් කියලා මං හිතන්නේ නෑ. ඇත්තටම බුදුන් දෙසූ දහමින් අපි ඇසුරු කරලා තියෙන්නේ කොයි තරම් පොඩ්ඩද? අනෙක ප්‍රායෝගිකව බුදු දහමේ එන අභ්‍යාස කොයි තරම් නම් අපට පුහුණු කරන්නට තියෙනවද?

    අපි එකතු වුණොත් ඔය වල් පල් කතා අස්සේ මේ වගේ වැදගත් දේවල් ගැන කතිකාවතක් ගොඩ නගන්න පුළුවන් වෙයි... එය ම සුබ ලකුණක් නොවැ...

    ReplyDelete