Sunday, August 14, 2011

ඔබට ස්තුතියි,!!!!!!!!!! දහ අට සන්නිය සමඟ සන්නි කවි. 02

දැන් ලියන්න යන්නේ පොඩි පම්පෝරියක්. මොකද මම මේ බ්ලොග් එක පටන් අරන් අගෝතු 14 වෙනිදාට මාස 04 යි දින 12 වෙනවා. මේ හරියටම 50 වැනි පෝස්ට් එක. මට මෙතැනදි ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ බ්ලොගර් සටහන් අනුව පේනවා දැන් හරියටම ලිපි 49 ලියලා කියලා. ඒ අනුව මේ 50.

මම ලියපු පලමු ඉතාම කෙටි සටහනකට පලමුවෙන් කමෙන්ට් කලේ දුකා. ඔබට ස්තුතියි සහෝදරයා. ඊට පසු මම නැවතත් ලියන්න ගත්තේ මැයි 01 විතර එතැන ඉඳලා දිගටම මම ලිපි ලිව්වා. හැබැයි මට නිතරම කමෙන්ට් කරන අය විදියට ගිම්හාණී, මාතලන්, ඉඳුනිල්, ලකී, රාජ්, දයාල්, වැනි අයත් ජ්‍යෝතිෂලංකා, පලාමල්ලේ පිස්සා මල්ලී, නදී, චතුරංග, හරේ, සමීර, ඕනයා, නලිනි, පොඩි කුමාරිහාමි, අනිත්කොන, සොදුරු සිත, ආදීන් මට දැක්වූ සහායට ඔබට මගේ ආචාරය. පොඩි ගමයාත් මට අමතක නැහැ.

ඊලඟට මාරයා මල්ලී මට දුන් සහය අමතක කරන්න බැහැ. බස් එකට දාගෙන, එතකොට බ්ලොග් රෝලට දාගෙන පලමු සහාය දුන්නේ, මාරයා මල්ලී, ඊලගට මට කියන්න තියන්නේ මගේ කුඩා බ්ලොග් එක තමන්ගේ බ්ලොග් රෝල්වල දාගෙන ඉන්නා ඔබ සැමට මම හිස නමා ආචාර කරනවා. කකා සහ නිහාල් ගුරුසිංහ, අරුණිෂපීරෝ, ඇල්කෙමියා ඔබත් මගේ ගෞරවණීය ආචාරයට සුදුස්සන්.

අභීත සහ තිස්ස දොඩන්ගොඩත් බුවාත් මට අමතක වෙන්නේ නැහැ. තව මෙකී නොකී සෑහෙන ගනනක් මට මේ වෙනකොට විශාල සහායක් දීල තියනවා. මා ගැන සමහර වෙනත් බ්ලොග් අඩවිවලත් යම් යම් විවේචන පල වුනා. ඒ ගැන මම ඔවුන්ටත් මගේ ආචාරය පුදනවා. මම බොහෝ දේ බලන්නේ වෙන අය බලන විදියට නෙමේ. ඒ නිසා එම කතුවරුන් නිසා මට ලැබුනු ප්‍රචාරය සහ මට මම ලියනදේ ගැන සිතන්න පෙලබවීම වැනි කාරණා විශාල උපකාරයක් වුනා. ඔබටත් ස්තුතියි. තව ඉන්නවා මට විශාල සහයක් දුන්නු පිරිසක් ඒ තමයි, සිංහල බ්ලොග් කියවනය හෙවත් සිංහල බ්ලොගර්හි කාලිංග ඔබට ස්තුතියි. තව මාව පළමුවෙන්ම සින්ඩියකට ඇතුලත් කල කොත්තුහි ඉන්දි ඔබට ස්තුතියි. ඊලඟට ලාංකීය සිතුවිලි හා හත්මාලුව ඇඩ්මින්වරුන්ට මගේ ස්තුතිය.

මා ඔබ වැනි හිරිමල් තරුනයක් නෙමේ. අද මගේ උපන් දිනය. දැන් මගේ වයස අවු 44. ඒ නිසා මම යම් දෙයක් ලියන්නේ දෙපාරක් තුන් පාරක් හොඳට හිතලා. ඒ වුවත් මගේත් වැරදි තිබෙනවා. ඒ වැරදි පෙන්වා දීම ඔබට ඇති අයිතියක් මම එයට ගරු කරනවා. එහෙනම් මට කා ගැන හරි ලියන්න අමතක වුනා නම් ඒ මගේ මතකයේ දුර්වල කමක් මිස ඔබ මට නොවටිනා නිසා නෙමේ. ඒ නිසා මට සමාවෙන්න ඔබගේ නම අතහැරිලා නම්. ඔබට ජය!!!

දැන් මගේ ලිපියේ ඊලඟ කොටස.
-------------------------------------------------------------------------------------------------------------------------------------

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ආකාරයට ගත් විට සන්නි ලෙඩ කියා අදහස් කරන්නේ සිහිය විසඥ වීමටයි. එනම් වාතය පිත සහ සෙම යන තුන් දොසම එක විට කිපී, මොළයත්, ස්නායූ පද්ධතියත්, විකෘත වීමෙන් මෙම රෝගය ඇති වේ. තවද මෙහිදී අපට පෙනෙනවා පසිඳුරන් අකර්මන්‍ය වීමක්ද මේ සමඟම වන බව. ඒ අනුව අපට පැහැදිලිව තේරුම ගත හැකියි, මේ දහ අට සන්නියෙන් ආවරණය වන රෝග සියල්ල මනෝකායික තාවකාලික රෝග බව.
අපි තව දුරටත් බලමු සන්නි ගැන, රුහුණු විශ්ව විද්‍යාලෙ සිංහල මහාචර්‍ය්ය විනී විතාරණ මහතා කියනවා, "සන්නි" කියන වචනේ ප්‍රාග් භාෂා ගනයට වැටෙනවා කියලා.

එතකොට මේ සන්නි 18 කියන්නේ ඇයි?

මෙහිදී මේ සන්නි 18 ලෙස ගැනෙන්නේ දේශීය ආයූර්වේද වෛද්‍ය විද්‍යා මත අනුව පැහැදිලි කල හැකි රෝග 18 සම්බන්ධ කරගෙනයි. දේශීය ආයුර්වේද ශාස්ත්‍රයේ සඳහන් වන මේ රෝග 18 සහ සන්නි යකුමේ සඳහන් රෝග 18 අතර හොඳ සහසම්බන්ධයක් පෙනේ.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව කොටස් අටකින් යුක්තය එහි එන එක් කොටසක් වන්නේ භූත විද්‍යාවයි. මේ භූත විද්‍යාව යටතේ අප මෙහි කථා කරන සන්නි රෝග ගැනද කථා කරයි. මේව හැම විටම මනෝකායික රෝග වශයෙන් අපට හඳුනා ගත හැකිය. එනම් කිසියම් මානසික හේතුවක් නිසා ඇති වූ කායික රෝගයක් ලෙස ඇත්තෙන්ම මේ විද්යාව අද බටහිර විද්‍යාවටද ආලෝකයක් වෙමින් පවතී.

ඇතැම් මනුෂ්‍යයන් තමන්ගේ රෝගයේ තිබෙන කායික රෝග කොටස අතහැර මානසික කොටස මුල් කරගෙන ප්‍රතිකාර කිරීමට යාමෙන් මෙවැනි රෝග 100% සුව කරගැනීම උගහටය. එවැනිම කායික පැත්ත පමනක් සලකා කරන ප්‍රතිකාරයද එතරම් ප්‍රයෝජනවත් නැත. ඒ හෙයින් කායික මානසික දෙයංශයෙන්ම කරන ප්‍රතිකාර්ය සාර්ථක වෙයි. රෝගියා නිට්ටාවටම සුව කල හැක්කේ එවිට පමණි.

අද සමහර දේශීය විශ්ව විද්‍යාල මේ ගැන පර්යේෂණ පටන් ගෙන ඇත. (වැඩි විස්තර වුවත් දිය හැක.)
දැන් අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා.

මේ ගැන මම ටිකක් විස්තර ඇතුව වෙන් වෙන් වශයෙන් කියන්නම්.

1. භූත සන්නිය.
මින් නිරූපණය වන්නේ තාවකාලික සිහි මූර්ඡාවයි. බස ගොළු වීම, ඇස් දෙක අදුරු වීම. මුඛයේ කෙල කැටි ගැසීම. සිහිනෙන් ගැහැනු පෙනීම හා පිත ඔක්කාරය වීම.
වාත පිත්ත ඔක්කාර කැරෙන්නේ - භූතව තුන්යම හීන පෙනෙන්නේ
වාත ඇඟේ වැඩියෙනි දිය බොන්නේ - භූත සන්නි පුද ඉල්ලා එන්නේ

2. අභූත සන්නිය
මින් තාවකාලික සිහිමඳ ගතිය නිරූපණය වේ. කම්මුල් ඉදිමීම, ඇඟ කසා පලු මතු වීම, සන්ධි රිදුම, නිතර නිතර සීත් දිය ඉල්ලීම.
වාත ගුවන් තල බැස ඇවිදිල්ලා - භූත කරති දුටු තනදි අල්ලා
සීත සියළු ලෙඩ අත්හැරපල්ලා - අභූත සන්නි එයි අද ඉල්ලා

3. අමුක්කු සන්නිය
ඉවසුම් නොදෙන බඩ රුජාව, ගින්දර ආකාරයෙන් පපුව දැවීම, නෙත්දෙක රතු වීම, තද හිසරදය,හා කෑම අරුචි වී බඩ පෙරළුම ඇති වීම මෙහි රෝගී ලක්ෂණයි.
පපුවේ ගිනිජල් නිබඳ කරන්නේ - නෙත් දෙක රතු වී ඉසරඳ වන්නේ
රුති ඇති කෑමට බඩ පෙරලෙන්නේ - අමුක්කු සන්නිය මින් දැන ගන්නේ

4. වෙඩි සන්නිය
කණයට ගෙඩි හට ගැනීම, මුහුනින් තද උනුසුමක් රෝගියාට දැනීම, දෑත් දෙපාවලට දහදිය දැමීම.
තඩි අරගෙන වල ඇවිදින්නේ - උඩ මුගුරක් සුරත දරන්නේ
ගඩු හැමතැන සියොලඟ කකියන්නේ - වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ

5. වාත සන්නිය
තාවකාලික අංශභාගී රෝගී තත්වයකි. ඉවසුම් නොදෙන හිසරදය, ඇඟ සීතල කරවා අත් පය රිදුම් දීම, මුළු ඇඟම ගිනිගත් ආකාරයකින් දැවීම, කොරබවක් ඇති වීම, පමණට වඩා දිය බීම රෝගී ලක්ෂණයි.

6. කණ සන්නිය
තාවකාලිකව ඇස් නොපෙනී යාම. රළු පරොළු බස් තෙපලීම.
හඬ මොර ගා කණ සන්නිය එන්නේ - තැන් තැන් වල ගොස් වැඩි සිටින්නේ
ගුණ නැති රුදු බස් තෙපලන්නේ - කණ සන්නිය පුද ඉල්ලා එන්නේ

7. පිත් සන්නිය
පිත ආශ්‍රිතව හට ගන්නා රෝග මින් නිරූපනය වෙයි. ඇස් රතු වීම, විකාර දෙඩ වීම, කෑම අප්‍රිය වීම, නිතර නිතර කටට කෙල ඒම මෙහි රෝගී ලක්ෂණයි.

නෙත් දෙක රතු වී විකාර වීමද - බත් අමියා ඔක්කාර කිරීමද
තිස්සෙම කෙල ගසමින් ඔල්මාදද - පිත් සන්නිය පුද ඉල්ලා එයි අද

8. බිහිරි සන්නිය
මින් නිරූපණය කරන්නේ තාවකාලික බිහිරි බවයි. විදුලිය බඳු වේගයෙන් තමන් ඇවිදින්නාක් මෙන් දැනීමද, මකුළු දැලක වැටෙන බවක් සිහිනෙන් දැකීම රෝග ලක්ෂණයි.
නෑර අතින් යම මුගුරක් අල්ලා - හත බැසපි විදුලිය සොමි පුල්ලා
නෑර ඇවිත් ඇඟ නහර උපුල්ලා - බිහිරි සන්නො යකු එයි පුද ඉල්ලා

9. ගොළු සන්නිය
තාවකාලික ගොළු බව නිරූපණය වේ. දුනු, කොන්තායුධ, පොලු අතින් ගත් පිරිස් ඇනීමට එන බව සිහිනෙන් පෙනීම, එළිවන විට නිදිමත වැඩි වීම. නොනවතින බඩ රිදුම, කළු ඇදගත් සෙනඟ මැවී පෙනීම.
කළුවර තිස් පැය සීන පෙනෙන්නේ - එළිවුන තැන නිදිමත වැඩි වන්නේ
තොළු ගසමින් හඬ මොර ගසමින්නේ - ගොළු සන්නිය පුද ඉල්ලා එන්නේ

10. මූර්තු සන්නිය
නිතර නිතර බය වීම, බඩ පෙරලීමට පටන් ගැනීම, තුන් යමේ ඇවිදීමට සිත් වීම, ඇඟ ගිනිගත් ආකාරයකින් දැවීම රෝගී ලක්ෂණයි.
ගුවන් තලේ සක්මනට ගොසිල්ලා - රජුත් වෙසමුණි දොර සොල්ලා
අගුල්ලාපු යතුර උගුල්ලා - මූර්ති සන්නි යකු එයි පුද ඉල්ලා

11. නාග සන්නිය
විසකුරු සර්පයින් හාසමාන විෂක් ශරීර ගත වූ විට ඇතිවන ලෙඩ රෝගත්, බිබිලි නැගීම හා ඉදිමීමත්, නාග සන්නියෙන් අදහස් කරයි. බඩවැලේ ගෙඩි හට ගැනීම, ඇඟේ සම ගැලවී බිබිලි මතු වීම, නාගයන් නිතරම සිහිනෙන් දැකීම රෝගී ලක්ෂණයි.
වේඅග වෙලා ඇස් දෙක රතු පාටින - රාග මුලා දන දී මොර ගහගෙන
කෙණ්ඩ මේද ඇගයට සම් ඉගිලෙන - නාග සන්නි එයි පුද ඉල්ලාගෙන

12. දෙමල සන්නිය
වා, පිත්, සෙම්, යන තුන්දොස කිපීමෙන් රෝග වූ විට කට මැත දොඩවයි. නන් භාෂා කථා කරයි. එම රොගී තත්වය නිරූපණය කරන්නේ දෙමල සන්නියනි. නිතර නිතර හිස කැසීම බඩ රුදාව සමඟ වමනය යෑම රෝග ලක්ෂණයි.
ගල නම් අසමොල ගලේ වැසෙන්නේ - මුල නම් එවිසල් පුරේ උපන්නේ
බල නම් රට හැමතැන ඇවිදින්නේ - දෙමල සන්නි පුද ඉල්ලා එන්නේ

13. කොර සන්නිය
මින් නිරූපණය කරන්නේ තාවකාලික කොරබවයි. ගිනිගත් ආකාරයෙන් සංධි තද වී නිතර වේදනා දීම. අත් පා කොරබවක් ගැනීම රෝග ලක්ෂණයි.
දුර සිට බැල්මෙන් දිෂ්ටි හෙලන්නේ - කොර කොට අත් පා ඔත්පල කරන්නේ
වෙර කොට ආතුර මතුරමි සිතන්නේ - කොර සන්නිය එයි පුද ඉල්ලන්නේ

14. ගින්ජල් සන්නිය
අධික උණ ගතියක් ඇති වීම. උණ විකාර වීම, ගින්ජල් සන්නියෙන් පෙන්නුම් කරයි. ඉකිලියෙහි ගෙඩි හට ගැනීම, සිහි මඳවීම ඇඟයට පොඩි කිරීම හා විකාර දෙඩ වීම රෝගී ලක්ෂණයි.
ඇඟ යට පොඩි කරමින් ලේ සොල්ලා - කන බොන දෙ නැත රුජාව අල්ලා
ගත පණ නොදැනී නන් දෙඩවිල්ලා - ගිණිජල් සන්නිය එයි පුද ඉල්ලා

15. ගුල්ම සන්නිය
අධික රුජාව බඩ රුදාව හා වමනය යෑම අදහස් කරන අතර ඉවසුම් නොදෙන බඩ රිදුමක් හා බඩ පෙරලුමක් ඇති වීම, කැවිලි අප්‍රිය වීම, පැණි රස කෑම ප්‍රිය වීම, ආදිය රෝගී ලක්ෂණයි.
බඩ ඕ ගාමින් වැට පෙරලන්නේ - රුජාව ගනිමින් කැවිලි නොකන්නේ
පිළිහුඩු පැණි රස මස් ඉල්ලන්නේ - ගුල්ම සන්නි ලෙඩ මින් දැන ගන්නේ

16. පිස්සු සන්නිය
තාවකාලික උන්මාද ගතිය, පිස්සු සන්නියෙන් නිරූපිතයි. නිතර නිතර ඇඟ පලු දැමීම, බඩ රිදුම සහිත වමනය යාම, පිස්සු උන්මාද ගතිය, ඇගෙහි කස් කීලාස පෙන්වීම, සිහිනෙන් රෑ තුන්මංසල ඇවිදින බවක් දැනීම රෝග ලක්ෂණයි.
මස් අමියා බඩ ලෙඩ හටගන්නේ - කස් කීලාස ඇඟ කොර නොකරන්නේ
තිස් පැය තුන්මංසල ඇවිදින්නේ - පිස්සු සන්නි පුද ඉල්ලා එන්නේ

17. දෙව සන්නිය
දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාසයේ පවතින සරම්ප, පැපොල, කම්මුල්ගාය, කොළරාව ආදී රෝගයන් නිරූපණය වන්නේ මේ සන්නියෙනි. නිතර මිනී මරන බව පැවසීම, ඇඟ කැක්කුම ගෙන ඇඟෙන් ලේ පිටවන බව කියමින් සිටීම හෝ ගේ දොර හා ගම් පාළුව කියවීම. මේවා රෝගී ලක්ෂණ වේ.
වානු නැතිව ඇඟ රුඳාව ගන්නේ - ලේහු නැතුව ඇඟ ලේ බින්දන්නේ
බෝව එසත් දවසින් පණ යන්නේ - දෙව සන්නි පුද ඉල්ලා එන්නේ

18. කෝල සන්නිය
වැදුම් ගෙය ආශ්‍රිතව රෝගාබාධයන් කෝල සන්නියෙන් නිරූපිත වේ. ආයුධයක් ගෙන එන්නෙකු සිහිනෙන් දැකීම, උගුර බඩ හා යටි බඩ කැක්කුම ගැනීම, තමා අවට සෙනඟ ඇවිදින බව දැනීම රෝගී ලක්ෂණයි.
කාලය නපුරට එන ගෙඩි උගුරෙන - ලීල නොවී බඩයට කැක්කුම් එන
බාල සෙනඟ ඉඩ කඩ ඇර ඇවිදින - කෝල සන්නිය එයි පුද ඉල්ලාගෙන

දහ අට සන්නි යකුමේදී, වර්ථමානයේදී මෙම සන්නි 18ම පැමිණෙන්නේ කලාතුරකිනි. හිරු උදාවට පෙර මහ කෝල සන්නි යකා පැමිණිය යුතු බැවින් ඊට පෙර අවශේෂ යකුන් පැමිණ අවසන් විය යුතුයි. ඉහත දක්වන ලද ව්‍යාධීන්ගේ නායකයා හෙවත් සමස්ත ව්‍යාධීන් 18ම සංකෙතවත් කරන්නේ මහ කෝල සන්නි යකාය.

මේ සන්නි 18 පිළිවෙලින්ම එන්නේ නැහැ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේවායේ පිලිවෙල, එතකොට නම් ආදිය ටික ටික වෙනස් වෙනවා. කොහොම හරි දැන් අපි ඉවර කලේ සන්නි නාඩගම් වල දෙවැනි භාගය තව තියනවා. මම හිතන් ඉන්නවා, තව දින දෙකකින් තුනකින් මේ ලිපි මාලාව අවසාන කරන්න. අද මම කියපු මේ සන්නි 18 ට ගැලපෙන ආයුර්වේද දැණුම සහ බටහිර දැණුම අපි ඊලඟ ලිපියෙන් කථා කරමු.

21 comments:

  1. ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා ! සහ 50 වැනි පෝස්ට් එකටත් .. මේ ලිපි 50න් බොහෝමයක් මම කියෙව්ව. සමහර කාරනා කියවල තේරුම් ගන්නෙ පලමු වෙනි වතාවට නිසා සමහර විට කමෙන්ට් නොදාම ගිය අවස්ථා වැඩී. ඔබට ජය ! ඔබ ලියන තාක් කල් අපි ඉන්නව කියවන්න සහ ඒ තුලින් යමක් අපෙ ජීවිතයට එක් කර ගන්න .

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා.
    අපි නොදන්නා කරුණු ගැන දිගටම ලියන්නට හැකියාව ලැබේවා.

    ReplyDelete
  3. වෙද තුමනි ඔබට සුභ උපන්දිනක් වේවා!!! මින් පෙර ඔබගේ ලිපි හැම එකක්ම පාහේ කියවා ගියත් අද ඔබට සුභ නොපතා සිටීම මගේ නපුරු කමක් යයි සිතනවා. බ්ලොග් දිවියටත් සුභ ගමන් වේවා !!!!

    ReplyDelete
  4. සුභ පැතුම් ! උපන් දිනේටත් , බ්ලොග් ලියවිල්ලටත්

    ReplyDelete
  5. ඔබට සුභ උපන් දිනයක් වේවා!බ්ලොග් එකටත් සුභ පැතුම්.

    ReplyDelete
  6. පලමුව ඔබගේ උපන් දිනයට සුබ පතනවා.ඔබවැනි පුතකු
    මෙලොවට බිහිකල දයාබර දෙමාපියන්ද ආදරෙන් සිහිපත් කරනවා....

    ඔබගේ පලවන පොස්ට් එකේ සිට අද දක්වා ,, ඔබගේ මේ මහා දැනුම අන් අය වෙත මුදා හැරීමට .. අප සැමගේ මනස පෝෂනය කිරීමට යම් දායකත්වයක් දුන් කෙනෙක් හැටියට මාද ඉමහත් සතුටට පත් වෙනවා..

    ඉදිරියටත් මගේ සහයෝගය මා මේ බ්ලොග් අවකාශයේ සිටිනතාක් ලැබෙනු ඇති.

    //1. භූත සන්නිය.
    මින් නිරූපණය වන්නේ තාවකාලික සිහි මූර්ඡාවයි. බස ගොළු වීම, ඇස් දෙක අදුරු වීම. මුඛයේ කෙල කැටි ගැසීම. සිහිනෙන් ගැහැනු පෙනීම හා පිත ඔක්කාරය වීම. //

    ගැනු අරහන් අයට වෙන්නැති නේද මෙහෙම සන්නි හැදෙන්නේ?

    ස්තූතියි

    ReplyDelete
  7. සුබ උපන්දිනයක් වේවා....!!! ෆිෆ්ටියට කොන්ග්‍රැට්ස්....!!! ළිපි 50 ම මම කියෙව්ව.. අද ඊයේ වාගේ..

    දශමූලාරිෂ්ඨයක් ගහමුද.. බයිට් එකට මෝදකේ...

    ReplyDelete
  8. ඔබ තුමාට සුබ උපන්දිනක් වේවා...මේ සන්නිවල හීන පෙනීම ගැනත් කියවිලා තියෙනවා.මට නිතරම පේන මහ අප්‍රිය හීනයක් තියෙනවා..එක එක විදියේ වැසිකිළි.මම ජීවිතේට ගිහින් නැති ඒවා..මම දන්න තැන්වල ඒවා..කොහොමත් මාසයකට එක වතාවක්වත් මේ හීනෙ පේනවාමයි.මොනවගේ දෝසයක් කෝප වෙලාද කියල එහෙම කියන්න පුඑවන්ද?..

    ReplyDelete
  9. මුලින්ම සුබ උපන් දිනයක් වේවා...උපන් දිනයටත්, බ්ලොගයටත් වලව්වේ හැමෝගෙම අවංක සුබ පැතුම්...:)

    අපි වගේ දුර රටවල්වල මෙන්ම ලංකාවේ වෙසෙන අයත් ඔබගේ සේවාවෙන් නිසි ප්‍රයෝජන ගන්නවා ඇතැයි සිතනවා. ඔබ අපට බෙදා දෙන දැනුම ඇත්තෙන්ම මිල කල නොහැකි දැනුමක්. (හැම දේකටම මිලක් නියම කල හැකි රටක ඉන්න අපට මෙය වැඩියෙන් දැනෙනවා. ) ඔබගේ කාලයත්, ශ්‍රමයත් වැයකරමින් නොමිලේ රසවත්ව බෙදා දෙන ඒ දැනුමට ගොඩාක් ස්තූතියි.

    'දෙමල සන්නිය' හැදුනු අය විවිධ භාෂාවලින් කතා කරනවා කියලා තිබුනු හන්දා ඒ වගේ කෙනෙක් දකින්ට ආසයි.

    ReplyDelete
  10. 50ට සහ 44ට සුබපෑතුම්....

    /මා ඔබ වැනි හිරිමල් තරුනයක් නෙමේ/

    ඒ කියන්නෙ අපිට තහනම්ද බ්ලොගය?

    ReplyDelete
  11. සුබ උපන් දිනයක් !

    හාෆ් සෙන්චරියටත් සුබ පැතුම්. !

    ReplyDelete
  12. සුබ උපන්දිනයක් වේවා!! චිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකිව්වේවා!!

    ReplyDelete
  13. 44 ටත් 50 ටත් උනුසුම් සුභ පැතුම් .... සෙන්චරියක් ගහන්න වාසනාව ලැබෙන්න පාර්ථනා කරනවා.....එකසිය විස්සට ට දෙසිය විස්සක් ආයු බෝ වේවා .

    ReplyDelete
  14. @@@@ඇනෝ,,

    බය වෙන්න එපා ඇනෝ ඔයාට පේන්නේ අසුබ හීන නෙමේ. හරිම සුබ හීන. අරුණු ශපීරෝගේ ලිපිය බලන්න...

    ReplyDelete
  15. චිරං ජයතු .... බ්ලොග් ලියන්නට හෝ කියවන්නට වයස ප්‍රශ්නයක් නොවේ. තමන්ගේ නිදහස් වෙලාවේ තමන්ගේ වැඩ පවා අතපසු කරගෙන, වල් පල් නොලියා සෑම විටකම හරවත් දෙයක් ලිවීම, ඒ වගේම නොකඩවා ලිවීම ඉතා විශිෂ්ටයි. ඔහොම යන්.

    ReplyDelete
  16. සියළුම දෙනාට,
    මගේ බ්ලොගය කියවන සහ කමෙන්ට් කරන ඔබ සියළු දෙනාටත, මෙහි මට විවිධ අයුරින් සුභ පැතූ සියළු දෙනාටත්, ඉදිරියේදී මෙය කියවන සියල්ලන්ටත් මගේ ආචාරය පුදමි, මිතුර මිතුරිය මේ ඔබ සැමටයි. ඔබ කිනම් වයසක සිටියත්, කුමන තරාතිරමක අයෙක් වුවත් මේ වෙදගෙදර ඔබ සැමට සැමදා විවෘතයි. පැමිනෙණ්න මගේ වෙද ගෙදරට, මගේ හද පිරි ආරාධනය එයයි. ඔබ යම් දැණුමක් ඉගෙනීමක් මේ වෙද ගෙදරින් ලැබුවා නම් ඒ මගේ පැතුම් ඉටු වුනා යැයි මට සතුටු විය හැකියි. ජය!!!!

    ReplyDelete
  17. මහ වෙදනෝ,

    "කෑමට පෙර", "කෑමට පසු" යන්න තේරුම් කරල දෙනවද?

    උදේ 9 ට උදේ කෑම කාලා, 10ට බෙහෙත් බිව්වම, ඒක උදේ කෑමට පසු වගේම දවල් කෑමට පෙර නෙ.

    තව එතකොට, උදේට කිරි තේ බීලා, ඊට පැය බාගෙකට විතර පස්සෙ බොන බෙහෙත් "කෑමට පෙර" ද? කිරි තේ එක ආහාරයක් වෙන්නෙ නැද්ද?

    රුධිරගත මේදයට (cholesterol) ආයුර්වේද බෙහෙත් තියනවද?

    ක්වාත, ශීතකරණයක තියන්න ඕනද?

    ReplyDelete
  18. ලලිත් ඔබ මට හොඳ මාතෘකාවක් දුන්නේ. මම මේ ගැන පෝස්ට් එකක්ම ලියන්නම් මේ සතියේම. ස්තුතියි!

    ReplyDelete
  19. 50 වෙනි ලිපියට සුභ පැතුම්.. මට මේ ලඟදි ඉඳන් සිංහල වෙදකම ඉගෙන ගන්න හිතිල තියෙනවා... හැබැයි මට මාවම එච්චර ෂුවර් නෑ.. තව ටිකක් හොඳට හිතල බලලම ඔබ තුමාගෙන් විස්තර දැන ගන්නම්.. ආවට ගියාට කොම්පියුටරේ වැඩ කරනව වගේ දෙයක් නොවන නිසා ටිකක් හිතන්න ඕනේ.. මේ බ්ලොගයෙන් ඉගෙන ගත් දේ බොහෝමයි.. දිගටම ලියන්න.

    ReplyDelete
  20. දිගටම ලියන්න අපි සුබ පතනවා! අර සුදු ලූණු ගැන ලියාපුවා වාගෙ ලිපිත් දිගටම ලියන්න.

    ReplyDelete
  21. මහ වෙදනෝ,

    මං අහපුව ගැන පෝස්ට් එකක් කරනව නං, මෙන්න මේවත් පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?

    රුධිරගත සීනි (දියවැඩියාව), රුධිරගත මේදය (කොලොස්ටොරෝල්), අධික/මන්ද රුධිර පීඩනය වගේ රෝග තත්ත්ව, ආයුර්වේදයට අහුවෙන රෝග තත්ත්ව ද? ආයුර්වේද ආකෘතියට අනුවත් මේවා රෝග තත්ත්වද? මේ තත්ත්ව යම් කෙනෙක් ගෙ තියනව ද කියල ආයුර්වේද වෛද්‍යවරු දැන ගන්නෙ කොහොමද?

    ආයුර්වෙදයේ පරමාර්ථය ලෙඩ නිට්ටාවට සුව කරන එක වුනත්, ඔය කියන ලෙඩ එහෙම සුව කරන්න බැරි ලෙඩ නේද?

    ආයුර්වේද සංස්ථාවෙන් හදන මේදහරණී ක්වාතය සහ පෙති ගැන ඔබ තුමාගෙ අදහස මොකක්ද? ඒවා බීලා කොලොස්ටොරෝල් අඩු වෙච්ච අය ඉන්නව ද?

    ReplyDelete