Wednesday, August 31, 2011

විශ්වයේ නිර්මාණය සහ පෙරදිග විද්‍යාව - 01

මේ ලිපිය මම දිගට ලියන්න සිතා සිටින ලිපි මාලාවක පලමු වැන්න. මම දන්නවා මේ ලිපි වලට එතරම් කට්ටිය කැමති නැහැ, ඒත් මේ විෂය ගැන ලියවුනු දේ අපිට කියවන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසාත්, මේ විෂය ඉතාමත් වටිනා දෙයක් නිසාත් මේක ලියන එක වැදගත් කියලා මා සිතුවා.
මුලින් අපි බලමු මේ විෂය යම් පමණකට හදුනා ගන්න, මේ ප්‍රශ්නේ තමයි මේ ලෝකය ඇති වූදා පටන්ම මිනිස් සිත පෙලපු ප්‍රශ්න වලින් එකක් වෙන්නේ.

1. අපි (මිනිසා ඇතුලු සත්වයින්) ඇති වුනේ කොහොමද?

2. ලෝකය ඇති වුනේ කොහොමද?

3. මේ අහස පොලොව තරු ඉර වාගේ ස්වභාවික සංසිද්ධීන් ඇතිවුනේ කොහොමද?

මේ ප්‍රශ්න ඔස්සේ කල්පනා කිරීම නිසා තමයි නොයෙක් ආගම් ඇති වුනේ. එතකොට දර්ශන වාද වගේ දේවල් බිහි වන්නේ මේ ඔස්සේ, තවදුරටත් කියනව නම් මේ ලෝකෙ අද තියන තත්වයට දියුණු වූයේ මේ වැනි ප්‍රශ්න වලට පිලිතුරු සොයා යාමෙන් බව තමයි බොහෝ දාර්ශනිකයන් අද පවසන්නේ.

අපි මුලින්ම බලමු දැනට විශ්වය ඇති වූ ආකාරය එහෙමත් නැත් නම් විශ්වෝත්පත්තිය ගැන තිබෙන බටහිර දාර්ශණික මත මොනවද කියලා.

1. මහා පිපිරීම් වාදය. - මෙම මතයේ මූලිකයා වන ජෝර්ජ් ගැමෝව්, ඉතා කුඩා පරමාණුවකින් විශ්වය ආරම්භ වුනා කියලා තමයි පැහැදිලි කරන්නේ. මේ මතය මෙයට වෙනස් ක්‍රමයකින් ඇබේලමේත්‍ර නම් විද්‍යාඥයෙකු විසින්ද විස්තර කර ඇත. මෙහි ඉතා දියුණු මතවාදයන් දැන් ලොව පුරා දිනපතා සාකච්ඡාවට භාජනය වෙමින් ඇත.

2. ස්ථාවර තත්ත්ව වාදය. - මේ මතය ඇරබුනේ හොයිලි බොන්ඩ් සහ ගෝල්ඩ් නම් විද්‍යාඥයන් දෙපලගෙන් කියලා තමයි සඳහන් වෙලා තියන්නේ. මෙයට අනුව විශ්වයේ ආරම්හයක් නැත.

3. ස්ඵන්ධමාන විශ්ව වාදය. -ඉතාමත් මෑතකදී සාකච්ඡාවට භාජනය වීමට පටන් ගැනුනු මේ මතය බෝනර් නම් විද්‍යාඥයා විසින් විස්තර කිරීමට උතසාහ දරා ඇත. මින් කියවෙන්නේ ආරම්භයේදී ඝනීභූතව තිබුනු විශ්වය පසුව ක්‍රමයෙන් විසිරී ගිය බවයි.

මම මේ බටහිර දාරශණික විෂයන් ගැන නම් වැඩිය දෙයක් දන්නේ නැහැ. නමුත් මට ඕනෙ කරන්නේ ආයූර්වේදය සහ බුදු දහමත් අපේ පෙරදිග ලෝකයත් මේ විශ්වොත්පත්තිය ගැන සිතූ හැටි ගැන යම් සාකච්ඡාවක් කරන්න.

පැරණි භාරතීය සමාජයේ මේ විශ්වයේ උපත ගැන ප්‍රධාන මත දෙකක් විය.
1. විශ්වයේ ආරම්භය ගැන කථා කිරීම අරථ සම්පන්න නොවෙතියි කොටසක් කීහ.
2. අනෙක් කොටස එය අර්ථ සම්පන්න බව කීහ.
දෙවනි කොටස හෙවත් මේ විශ්වොත්පත්තිය විස්තර කල හැකි යැයි කී කන්ඩායම නැවතත් කොටස් දෙකකට බෙදා දැක්විනි.

1. මේ කණ්ඩායම විශ්වොත්පත්තිය පිළිබඳ සංශය වාදයක් ඉදිරිපත් කලහ.
2. කණ්ඩායම විශ්වයට මුලක් නැතැයි යන අඥාත වාදය ඉදිරිපත් කලහ. මේ කණ්ඩායමට බටහිර විද්‍යාඥයෙක් වන එම්මෑනුවෙල් කාන්ට්ද අයත් වේ. මොහුගේ මතයට අනුව කිසිම මිනිසෙකුට වස්තුවක යථා ස්වභාවය නියමාකාරයෙන් දැකගත නොහැක.

තවත් විශ්වයේ ප්‍රභවය විස්තර කල නොහැකි යැයි කී අයගෙන් කෙනෙක් විශ්වයට ආරම්භයක් නැතැයි කීහ. ඒ මතයට අනුව විශ්වය අනාධිමත් කාලයක සිට පැවතෙන්නකි. මහායාන බුදු දහමේදීද විශ්වයට ආදියක් හෝ අගක් නොමැති බව උගන්වයි. උපනිෂද් දාර්ශණිකයෝ ද මේ මතය දැරූහ. වෛශේෂික දරශනේ ආදි කතෘ වුනු මහා සෘෂි කණාදයන් තමයි මේ යම් මූල ධතුවකින් විශ්වය ඇරඹුනාය කියන මතය දැරූ අයගෙන් ප්‍රධානම වෙන්නේ. මේ කණාද සෘෂිතුමා තමයි මුලින්ම පරමාණුව ගැන කියලා තියන්නේත්. මෙතුමා නවීන පරමාණුව ගැන පරමාණුවේ ව්‍යුහය ගැන යම් නිවැරදි දෘෂ්ටියක් ඇතිව තම මත ඉදිරිපත් කර ඇති බව නම් කියන්න පුළුවන්. කෙසේ හෝ මේ විශ්ව උප්පතිය කිසියම් උදර්ජන පරමාණුවකින් වැනි භෞතික ද්‍රව්‍යයකින් විශ්වය ඇරබී ඇති බව ප්‍රකාශ කලහ.

තවත් දාර්ශණිකයන් කොටසක් භෞතික අභෞතික යන මේ දෙයාකාරයේම වස්තූන්ගෙන් විශ්වය ඇරබී ඇති බව ප්‍රකාශ කලහ. මින් ප්‍රධාන වන්නේ සාංඛ්‍ය දාර්ශණිකයෝය. ඔවුන් මේ මතයේ ප්‍රමුඛයන් වූ අතර, ප්‍රකෘති සහ පුරුෂ යන ආකාර දෙක මේ සඳහා හේතු වෙතැයි සැලකූහ. මේ අභෞතික ද්‍රව්‍යයකින් විශ්වයේ උපත සිදු විනැයි සැලකූවන් අතර මැවුම් වාදය පිලිගත්තවුන්ද විය. ඔවුන් විධාකාරයෙන්, ඊෂ්වරයා විසින්, නැතහොත් දෙවියන් වහන්සේ විසින් වැනි බලවේග වලින් මෙන්ම බ්‍රහ්ම වැනි තත්ත්වයන් මඟින් විශ්වය උපැදවූහයිද සඳහන් කර ඇත.

මේ විශ්වොත්පත්තිය ගැන පෙර සිටි ආයූර්වේද ආචාර්‍ය්‍ය වරුන්ද තම අවධානය යොමු කර ඇත. එහිදී ජගදෝත්පත්තිය, සත්වදේහෝත්පත්තිය වැනි කාරණාද විස්තර කර ඇත. මෙය විස්තර කිරීමට ප්‍රධාන වාද පහක් යොදාගෙන ඇත. මේ වාද පහ නම්.
1. ප්‍රකෘති, පුරුෂ වාදය.
2. පංච මහා භූත වාදය.
3. ත්‍රිදෝෂ වාදය.
4. සප්ත ධාතු වාදය.
5. රස, ගුණ වීර්‍ය්‍ය, විපාක, ප්‍රභා වාදය, යනුවෙනි. මින් අපිට මෙතැනදී වැදගත් වෙන්නේ ප්‍රකෘති පුරුෂ වාදය නම් වැදගත් දර්ශනයයි.

ප්‍රකෘති පුරුෂ වාදය.
මේ සිද්ධාන්තය ඇසුරින් විශ්ව නිර්මාණය වන ආකාරය සෛද්ධාන්තිකව පෙන්වා දීම සඳහා ආයුර්වේද විද්ඥයන් විසින් සාංඛ්‍ය දර්ශනයේ සහාය උපයෝගී කර ගත්හ. සාංඛ්‍යය දරශනය යනු පුරාණ භාරතීය ෂඩ් දරශනයන්ගෙන් එකකි. මෙය භාරතයේ පහල වූ දර්ශනයන්ගෙන් ඉතාම වැදගත් වූ දර්ශනයක් ලෙස භාරතීය දර්ශන පිළිබඳ විශාරදයෙක් වූ රිචර්ඩ් ගාර්බේ ශූරීන් ස්වකීය "සාංඛ්‍යය ප්‍රවචන භාෂ්‍ය සංස්කරණය" හි ලියා දැක්වූහ. ශ්‍රීමත් සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් විසින් ශුද්ධ භාරතීය දර්ශන කෘතියෙහි, සාංඛ්‍යය දර්ශනය භාරතීය දර්ශන ඉතිහාසයේ ඇති එක් විශිෂ්ට ප්‍රතිඵලයකියි කීහ. මෙම සාංඛ්‍යය දර්ශනයේ ආදි කතු තුමා වන්නේ බ්‍රහ්ම පුත්‍රයෙකු ලෙස සැලකෙන කපිල සෘෂි තුමායි. මෙතුමා බුද්ධ කාලයේම සිටි අයෙක් ලෙසත්, බුදුන් වහන්සේටම කියන තවත් නමක් ලෙසත් සමහරුන් සලකනු ලබයි. නමුත් මෙතුමා වෙනත් කෙනෙකු වන අතර මහා සෘෂි වරයෙක් ලෙස සැලකේ. සාංඛ්‍ය යන ශබ්දයෙන් ප්‍රකට වන්නේ, බුද්ධිය, යන මූලික අර්ථයයි.

අද මෙතනින් නවතනවා. හැබැයි මේක දිගට යන ලිපි මාලාවක් නිසා මේ අතර වෙනත් ලිපි දමමින් තමයි දිගට ලියන්නේ. මේ ලිපි පෙල අවසාන කරන්න යම් කාලයක් යාවි. ඒ නිසා ඒ අතරට බලමු අපි හොද මාතෘකා ගොඩක් තියනවනේ....


19 comments:

  1. තවත් හොඳ ලිපි පෙලක ආරම්භයක් වගෙයි..මෙම ආයුර්වේද විවරණය නම් මම කියවන්නෙ ප්‍රථම වරටයි. ස්තූතියි මේ වගේ අදහසක් පටන් ගත්ත එක..

    ReplyDelete
  2. ලෝකෙ මැව්වෙ දෙවියන් වහන්සේ; අපිව ගස් කොලන් සත්තු සුළඟ ජලය මේ හැම දෙයක් ම මැව්වේ ජේසස්. ඒවගේම ඒවා විනාශ කරන්නත් පුලුවන් අයිතිය තියෙන්නෙ එතුමාට...

    අනිත් සියලල අසත්‍යයි

    ReplyDelete
  3. Weni කිව්වා වගේ හොඳ ලිපි මාලාවක ආරම්භය. වේද මහත්තය නියම පැහැදිලි කිරීමට යන බව විශ්වාසයි.

    @ඇනෝ : දෙවියන් වහන්සේ මැව්වේ කවුද? ඒ මවපු කෙනාව මැවුවේ කවුද ? (ඔබට ඔබේ ආගමට පහර ගහනවා නෙවෙයි, ඔබේ විශ්වාසය දකීමෙන් මට ඇති වුනු ප්‍රශ්න තමයි මේවා?)

    ReplyDelete
  4. හරවත් සංවාදයකට මාතෘකාවක් ,ඊලඟ කොටසත් ඉක්මනටම දාමු නේද ?

    ReplyDelete
  5. මමත් ඉතින් buwa කියන එකට එකඟයි. :D

    දෙවි කෙනෙක් ලෝකේ මැව්වා නම් සමහරුන්ට මෙහම හිතෙන්ටත් පුලුවන්.

    “Why were we born into this world to suffer like this? Is it because the one who created us did this by design or is it powerless to change the world for better? Why is it that some people who are born into the world suffer more than the others? Why the glaring inequalities and what is the basis and justification for the inequalities? Would it not be better if we were not born at all?’

    කවුරුත් තරහා වෙන්ට එහෙම එපා. මෙහෙම කියලා තියෙන්නේ ආචාර්ය සිරිධම්මානන්ද කියලා හාමුදුරු නමක්....මටත් පේන්නේ ඒක ඇත්තක් විදියට.

    ReplyDelete
  6. ඇතැම් අවස්ථාවල මාත් මේ ගැන දිගින් දිගට කල්පනා කරන්න ගිහින් අතරමං වෙලා තියනවා. හරිම අමාරුයි නිවැරදි පිළිතුරක් සොයාගන්න..හිතන්න ගියාම අනන්තයටම ගියත් තාමත් පිළිතුරක් නැති
    ගැටළුවක්.

    බලමු අපි ආයුර්වේදය,බුදුදහම හා පෙරදිග ලෝකයේ අදහස් තුලින් අපේ දැනුමට යමක් එකතු කරගන්නට...

    හොද මාතෘකාවක්....

    ReplyDelete
  7. මුලින්ම ඒක ශෛලිකයන්ද , දෙවනුව ද්විශෛලිකයන්ද පසුව බහු ශෛලිකයන්ද ඇතිවී දිගු කලක් පරිණාමයට ලක් වීමෙන් සත්වයා ඇති වී ඇත.
    නවීන විද්‍යාව මේ "දේව" කතාව සහමුලින්ම බැහැර කරයි. ජේසුස් යනු දෙවි කෙනෙක් නොව මෑත කාලයේ ජීවත්වූ මිනිසෙකි.
    හැම දේම කවදාවත් කිසි කෙනෙක් උදුටු දෙවි කෙනෙක් පිට පටවල ඔළුව නිදහස් කර ගන එක තමා වඩා හොඳ.

    ReplyDelete
  8. වෙනි,
    මම මේ ගැන ලියන්න හිතාගෙන සිටියේ බොහෝ කල් ඉඳලා. නමුත් මට බ්ලොග් පුරුදු නැති නිසා පොඩි බයක් තිබුනා ප්‍රතික්ෂේප වෙයි කියලා. නමුත් හැමෝටම පින් සිද්ධ වෙන්න මම දැන යම් තරමක අත්දැකීම් ඇති බ්ලොග්කරුවෙක් නිසා මට දැන් වටින්නේ කවුරු හරි මගේ ලිපි කියවලා ඉන් යමක් ගන්න එකයි. ඒ නිසා මම තීරනය කලා මේ ලිපි පෙල ලියන්න. මෙහි අන්තර්ගතය ටිකක් දිගට ලිවිය යුතුයි, එතකොටයි කාට හරි ප්‍රයොජනයක් වෙන්නේ. ඒ නිසා මට මේ ගැන ලැබූ ප්‍රථම කමෙන්ටුව ඔබෙන්. එය මා දිරි ගන්වන සුළුයි. ස්තුතියි!

    ඇනො 01,
    සහෝදරයා හෝ සහෝදරිය,
    මම වසර 13 ඉගෙන ගත්තේ කිතු දහම, මම බෞද්ධ වුවත් පාසැල් අද්‍යාපනය ලැබුවේ කිතු දහම. ඒ නිසා මම දන්නා තරමින් කිසිම තැනක විශේෂයෙන් බයිබලයේ පරණ ගිවිසුමේ හෝ අලුත් ගිවිසුමේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝකය මැව්වාය කියලා සඳහනක් නැහැ. එසේ තිබුනා නම් ඉතා වටිනවා. නමුත් මම එහෙම දෙයක් දැක්කේ නැහැ. ඔබට පින් මට ඒ තැන කියනවාද?

    ඉඳුනිල්,
    ස්තුතියි සහෝදරයා, තව බලමු ඉදිරියට.

    බුවා,
    ස්තුතියි, ඔබගේ කමෙන්ටුවත් මට ඉතා වටිනවා.

    පොඩි කුමාරිහාමි,
    ඔව් එතුමාගේ අදහසට මමත් එකඟයි.

    ගිම්හාණී,
    ගොඩක් ස්තුතියි. ඔබගේ කමෙන්ටුවක් නැති බ්ලොගයක් දැන් හොයා ගන්නත් අපහසුයි. ඔබා අයියට පසුව ඔබ තමයි අපට සිටිනා හොඳම විවේචිකාව.

    නිහාල්,
    ඔව් ඔබ හරි අපි එතැනට එනවා, නුදුරේදිම.

    ReplyDelete
  9. ඔන්න දැන් නැවතත් සිතන්න හිතුනා විශ්වය මැව්වෙ කව්ද කියල ..
    අර ඇනෝ කිව්ව වගේ ජේසුතුමාද කියල සිතන්න ගියා..
    එතකොට ජේසුතුමාගේ දෙමාපියන්,ජේසුතුමා ඉපදෙන්නට පෙරසිටි අය,ගස්කොලන් බැටළුවො.ජලය..ඔන්න ඉතින් ආයිමත් අතරමං.
    ඇත්තටම කාටහරි හොද පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් සහයෝගයෙන්...පිලිගතඇකි කරුණු.....

    ReplyDelete
  10. ගිම්හාණී,
    ඉන්නකෝ ටිකක් ඉතිරි හරියේ ඔය දෙවලට පිලිතුරු තියනවා. බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේ ලෝකය මැව්වාය කියලා. ජේසු තුමා නෙමෙයි. ඒ අති පූජනීය ග්‍රන්ථයේ හැටියට ජේසු තුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා.

    මෙතනදි මම ඉන්නේත් පොඩි කුමාරිහාමිගේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන.

    ReplyDelete
  11. mata puluwan vei Gimhani oyata honda pahadili kirimak karanna. arafath65@gmail.com. reply karaana. thavath danaganna aya innavanam mekata reply karanna.

    ReplyDelete
  12. හ්ම්ම් වෙද මහත්තයා ඉතා හොද ලිපි පෙලක් අරඹලා තියෙන්නෙ ........
    පුරාණ භාරතීය දර්ශණ සහ වාද පිලිබද ඉතා හොද පැහැදිලි කිරීමක් කරල තියනව .
    මේ ලිපි පෙල යටතේම බුද්ධ දර්ශණය අනුව විශ්වය ගැන තොරතුරු ඉදිරිපත් කරයි කියලා බලා පොරොත්තු වෙනවා ..... මොකද අනිකුත් වාද සහ දර්ශණ පිලිබද අන්තර් ජාලය තුල තොරතුරු සොයා ගත හැකැත් මේ පිලිබද බුද්ධ දේශානා සොයා ගැනීම අපහසුයි .

    ReplyDelete
  13. හිතවත් මහ වෙදනා තුමා, ඔබ පටන් ගත් මේ සටහන් පෙල උචිතද නැද්ද යන්න මට වටහා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් ආගම ගැන සාකච්ඡා කිරීමත්, දේශපාලනය ගැන සාකච්ඡා කිරීමත් යන මේ දෙකම මත්භේද වලට තුඩු දෙන දේවල් හැටියටයි මම දකින්නෙ. ඒ දෙකම හරිද වැරදිද කියල තීරණය කරන්න මනුශ්‍යයෙකුට වඩා උතුමෙක් මේ පෘදග්ජන වූ අපට හොයා ගන්න බැහැ. විශේෂයෙන් ආගමක් යමෙක් පිලිගන්නෙ යම්කිසි විශ්වාසයක් උඩ. ඒ විශ්වාසය හරිම තදයි. ඒ නිසා කාටවත් වැරදියි කියන්නවත් හරියි කියන්නවත් බැහැ. ඒක කෙනෙකුට පුද්ගලික වූ මතයක් පමණයි. ඒ නිසා අවසානයේ මනවා ඔප්පු වූවත් කෙනෙක් තමන්ගේ ආගම කෙරෙහි ඇති විශ්වාසය වෙනස් කරයි කියා හිතන්න අමාරුයි.

    ඔබතුමා බෞද්ධයෙක් කියා සටහනේම පවසල තියෙනව. ඉතින් බුදු රජාණන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නය අහපුවම උන්වහන්සේ දුන්න පිලිතුර මතකද? උන්වහන්සේ ප්‍රකාශ කලේ මිනිස් සිතට මේ ගැන කල්පනා කරන්න ගියොත් මාණසික වශයෙන් රෝගී වීමට පුලුවන් බවයි. උන්වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඥාණය යොදවල පුලුවන් තරම් ඈතට මනස යොමු කලත් ඒ තරම් ඇත් වුවත් මනුශ්‍යයා සිටි බව පවසල තියෙනව. ඒ වගේ ශාස්තෲන් වහන්සේ නමකගෙ වචනය අපි විශ්වාස කරන්න ඕන. ඒක අන්ධ භක්තිය නොවෙයි, ඒකට තමා මම නම් ශ්‍රද්ධාව කියල කියන්නෙ.බුදු රජාණන් වහන්සේ ලෝක විනාශය ගැනත් සඳහන් කරල තියෙනව. එක්තරා කාලයකදී මිනිස් ආයුෂ අවුරුදු දහයක් පමණ වෙන බවත් දේශනා කරල තියෙනව. බුදු රජණන් වහන්සෙ දේශනා කල කිසිම දෙයක් වැරදුනේ නැහැ. බුදු රජාණන් වහන්සෙගෙ ප්‍රඥාව අනන්තය, අප්‍රමාණයි. උන්වහන්සෙගෙ ගුණ කියවන්න පටන් ගත්තොත් මේ කල්පය ඉවර වෙනව මිසක් උන්වහ්න්සෙගෙ ගුණ ඉවර වෙන්නෙ නැහැ. උන්වහන්සෙ අපට ඉගැන්නුවෙත් මේ සසරෙන් එතර වෙන්න අවශ්‍ය ටික පමනයි, ( ඇට්ටේරියා සූත්‍රය- Simsapaa suththa )අනිත් එක මේ වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන කොට සමහරු ඉන්නව තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්නත්, නමුත් ඒ සඳහා බියකුත් ඇති අය. මගේ අදහසේ හැටියට ඒ අය තමයි නිර්නාමිකව ඉන්නෙ. තමන්ගෙ අනන්‍යතාවය සඟවන්නෙ යම්කිසි බියක් නිසා..කාන්තාවක් නම් ආරූඪ නමකින පෙනී සිටීම තේරුම් ගන්න පුලුවන් ලංකාවෙ සමාජය දිහා බැලුවම. නිර්නාමික පුද්ගලයො නිකම් සැඟවී ගල්ගසන්නො. අන්තර්ජාලය තුල ඕනෑම කෙනෙකුට සැඟවී ගල්ගැසීමට ඉඩකඩ තියෙනව. දැනටමත් ඔබේ සටහනේ එහෙම වෙලා තියෙනව. කරුණාකරල වරදවා තේරුම් ගන්න එපා. මේ මගේ හෘදය සාක්ෂියට එකඟව ඔබට දිය හැකි ප්‍රතිචාරයයි

    ReplyDelete
  14. දිගටම ලියන්න. කියවන්න වටින ලිපි පෙළක් කියල හිතෙනවා.

    ReplyDelete
  15. මම මේ පෝස්ට් එකේ ගුනදොස් කියන්නෙ නෑ . . . මොකද මට සම්පූර්න ලිපි පෙලම කියවල ඉන්න ඕනෙ නිසා (එහෙම කියෙවුවයි කියල ඉතින් බරසාර කොමෙන්ට් දාන්නෙත් නෑ).
    මට කියන්න ඕනෙඋනේ මේකයි . . . .
    මේ පෝස්ට් එක ආශ්‍රිතව අනවශ්්‍ය සංවාදයක් ගොඩනැගෙනව. එක්කො ඔබතුමා කොමෙන්ට් මොඩරේට් කරන්න ඕනෙ . . . නැත්නම් අනිත් කොමෙන්ට් දාන අය ඔය ඇදලගන්න හදන සංවාදෙට හවුල් නොවී ඉන්න ඕනෙ.

    ReplyDelete
  16. අඩි කෝදුවකින් පොලවේ සිට හඳට දුර මැනිය නොහැක. එයට පිලිගත් සිද්ධාන්ත හා දියුනු උපකරණ දියුනු මිනිසා විසින් නිපදවා ඇත. විශ්වය ගැන පරීක්ෂනද ඒ දියුනු ක්‍රම අනුව සිදුවෙමින් ඇත.
    බුදුහාමුදුරුවන් වැනි දාර්ශනිකයනට නිපදවන්න පුලුවන් වන්නේ සංකල්පය. එවා ගුනාත්මක දේවල්ය, ප්‍රමානයන් බවට පත් කරන්නේ භෞතික ක්‍රියාවලියකින් බව මගේ පන්ඩිත අදහසයි.

    ReplyDelete
  17. මමත් ඕනයා කියපු කතාවට එකඟ වෙනවා... අපිට ගොඩක් වෙලාවට මේ බ්ලොග් වල දකින ආගම් වල ගැටුම මේකට පටලව ගන්නේ නැතුව වෙද මහත්තය දන්න දේ කියන්න ඉඩ අරින්න... අපි හිතන/විශ්වාස කරන/දන්න දේ කියන්න ඉස්සර වෙදතුමා කියන්න පටන් ගත්ත කතාව කියන්න ඉඩ දෙන්න කියලයි කියන්න තියෙන්නෙ... කොමෙන්ට්ස් වලට පිළිතුරු විදියට ලියන්න හිතාගෙන ඉන්න පෝස්ට් එක වෙනස් නොවෙයි කියල බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
  18. ගොඩාක් වටිනවා මේ සටහන.

    ReplyDelete
  19. තාමත් මේ ලිපි පෙළ පළ කරනවාද ඔබතුමා?

    ReplyDelete