Tuesday, November 29, 2011

ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!!

මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්.

තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ඉඳහිට උත්තමයින්ගේ හඬ ගිගුම් දුන්නද, අප සිටින්නේ හුදකලාවකය. එදා පාලකයන් අප ඇමකට හසුකරබව දන්නේ මෙතැන සිටිනා අහිංසකයිගෙන් කීයෙන් කීදෙනෙක්ද?

මාස කීපයක විශ්වවිද්‍යාල අත්දැකිම්මක් ඇති මට ඒ මනාව වැටහේ. සුවිශාල ගොඩනැගිලි අතර අප පමණක්ම තනි වී ඇත. අපේ ජ්‍යේෂ්ට සිසුන් හොරෙන් අප හමුවේ. රැග උපරිමයෙන් ඇතත් ඔවුන් කුමන හෝ බියකින් සැකයකින් සිටිනා බව අපට පෙනේ.

දින ගෙවී යනාතර මාර්තු 22 උදය වරුවේ අපට දේශන නැති අවස්ථාවක මාත් සමඟ තව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් කීපදෙනෙකු රැගට අසුවූහ. අප ජෝඩු වශයෙන් වෙන් කෙරුනු අතර මට ලැබුනේ මේදින කීපයේදී මගේ අවධානයට ලක් වෙමින් සිටි යුවතියකි.

මට මහා සතුටක් දැනේ………

මේ ලියනා මොහොතේදීද මසිතින් ඒ අතිතයට ගෝස් ඇති බව මට හැගේ. එදා මගේ යම් අතපසු වීමකින් වුනු වරදක් නිසා අප දෙදෙනාටම හති වැටෙන් තුරු යහමින් සැලකූහ. මුල සිටම මා පාලනය කිරීම ඔවුනට ප්‍රශ්නයක් වී ඇති බව මට දැනේ. ඒ මගේ කට කැඩුනු වදන් නිසායි. කොළඹ පාසැල් ගිය මා ඔවුන් සැලකූයේ ගමේ එකෙක් ලෙස නොවේ. බෞද්ධ නොවන පාසැලකට ගොස් තිබීමත් මගේ පරහටම සිටියේය. නමුත් භද්‍ර යෞවනයේ සිටි මට රැග ප්‍රශ්නයක් නොවීය. වැරදීමකින්වත් මට කියා නොසරුප් වදනක් නොකියවීමට තරම් ඔවුන් ප්‍රවේසම් විය. ඒ මගේ කට ඇරුණු කල මා නවත්වා ගැනීම ඔවුන්ට අසීරු වීමයි. මෝඩයෙකු සේ ලොවෙත් නැති කුනුහරප තොගයක් "මේ අයියා කියනා නිසා කියමි", යනුවෙන් මහ හඩින් කියා, දෙසා බෑම මට මහත්ම විනෝදයක් විය.

මුල සිටම මාගේ මේ සෙල්ලක්කාර ගතියට මටම සරිලන මිතුරන් කැලක්ද එක් වී සිටියහ. ඔවුන් අතර නිමල් ඔබ දැනටත් දන්නා මගේ මිත්‍රයා ප්‍රමුඛ විය. දැන් මා යනාත තීන්දු වී ඇත. අප ජ්‍යේෂ්ටයන්ටද එපා වූ අපත සෙට් එකක් බවට පත් වී ඇත.

නමුත් මේ සියල්ල තිබියදී එදා මා නිසා අමාරුවේ වැටුනු යුවතිය, කෙමෙන් මට සමීප වෙමින් සිටිනා වග මටද නොදැනීම සිදු වෙමින් තිබිනි. ඇය දිවා ආහරය ගැනීමටද, පුස්තකාලය කරා යාමටද, සවස ඇයගේ නවාතැන වෙත හැරලීමටද මාවම තෝරා ගත්තීය.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියත් අවසන අප්‍රේල් මස 6 හෝ 7 දිනක අප නොසිතූ ලෙස රටේ තත්ත්වය ඉතාම නරක අතට හැරිනි. ඒ නිසා මුළු විශ්වවිද්‍යාලයටම සිටි එකම ශිෂ්‍ය කණ්ඩායම වූ අපටද දින නියමයක් නොමැතිව නිවාඩු ලැබිනි. ඒ මහා නරක කාලයක් විය. අපගෙ මිතුරන්ට සිදුවන දේ අපට සිතා ගැනීමටවත් නොහැක. හවස අපත් සමග එකට සිටි එකා උදේට නැත. මාද මාරක කීපයකින්ම බේරිනි. කෙසේ හෝ වසර 2 අධික කාලයකට පසුව නැවත අප ගියේ අපේ කන්ඩායමේ අයට කුමක් සිදු වී ඇත්දැයි දැන ගැනීමේ දරුණු ආසාවකිනි. නමුත් ඇය මට ඒ නිවාඩු කාලයේද විටින් විට හමු වී තිබිනි.

කෙදිනකවත් අප ආදරය ප්‍රකාශ කර නොගත්තත් කාලය අපව පෙම්වතුන් කර තිබිනි. දැන් අප ගෙවන්නේ අපගේ දෙවන වසරයි. පලමු වසර ප්‍රතිඵල අනුව මට අනාගතයේදී යම් තැනකට අද්‍යාපනයෙන් පැමිණිය හැකි බවක් මා නම් තේරුම ගත්තේ නැත. මන්ද මම ඒ වන විටත් දැඩිව ශිෂ්‍ය දේශපාලන කටයුතු වෙනුවෙන් කැපව සිටීමයි. ඒ හරහා මම දේශන ශාලාවට වඩා පිටත ගත කරන කාලය වැඩි විය. සති ගනන් මාස ගනන් ගෙදර යාමත් මට කෙමෙන් අතපසු වෙමින් පැවතිනි. මේ සියල්ලේ අවසන මමද අනෙක් ශිෂ්‍යයන් මෙනම තවත් එක් දුර්වල ඉගෙනීමක් ඇති අයෙක් බවට පත් වෙමින් තිබිනි.

නැවතත් ඇය ක්‍රියාත්මක විය. මගේ සටහන් කිසිවකුටත් වඩා නිවැරදි සහ ක්‍රමාණූකූල විය. පාඩම් කිරීමේ පිරියක් එන ලෙස මාගේ සටහන් සැකසී ඇත. නමුත් මම මාස ගනනකින් සටහනක් ලියා නැත. ඇය සියල්ල සම්පූර්ණ කරයි.

ඇයට මාගේ දෙමාපියන් හමු වීමට ඇවැසි විය. මා ඇගේ දෙමව්පියන්ට හදුන්වා දීමට ඇවැසි විය. නමුත් පවත්නා දේශපාලන තත්ත්වය මා ඉතාමත් කාර්ය්‍යය බහුල කර ඇත. අවසන මා ඇයට අවනත වීමි. මගේ මවට ඇය හදුන්වාදීම මාගේ ජීවිතය තවත් වෙනස් කරන්නක් විය. කා සමඟත් ඉතා තදින් බැදීමේ හැකියාවක් ඇති ඇය මාගේ මව සමඟ බැඳි බැම්ම අදද එදා මෙන්ම බලවත්ය. මාගේ නැගනියන්, මලණුවන් ඇය අප පවුලේ වැඩිමල් අක්කා ලෙස පිළිගත්තාය. හැමට අදටත් ඇයට වඩා කෙනෙක් නැතිය. මගේ පියාගේ මරණ අවස්ථාවේදීත් පවුලේ සියළු කටයුතුවල නායකත්වය ඉබේම ඇයට පැවරුණු අන්දම මම බලා සිටියේ ඉතා උපෙක්ෂාවෙනි.

මම ඇයගේ මව්පියන් හමුවට කලින් ගොස් ඇතත් මෙවැනි ගමනක් යන ප්‍රථම වතාව මේය. ඇයගේ කීර්තිමත් පියා මාවැනි අයෙක් කෙසේ පිළිගනියිද? මා මෙලෙස ඔහුට හඳුන්වා දීම මගේ ජීවිත මිත්‍රයා ඇයගේ වැඩිමල් සොයුරා විසින් සිදුකරන ලදි. මා සිතූවක් සිදු නොවීය. පියාණන්ට මම තවත් අයෙක්ම පමනක් විය. ඔහු මගේ මිත්‍රයෙක් තරම් මට සමීප විය.

වසරින් වසර ගෙවී 1993 වසර පැමිනුන අතර අපගේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයන්ද උපරිම තලයකට පත් වී තිබිනි. ඒ වන විටත් අප වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ ගතකර තිබිනි. මේ වන විට, අප දෙදෙනා නොදන්නා කෙනෙක් නැති තරමට, යුවලක් ලෙස ප්‍රසිද්ධ වී ඇත. සියළු දෙනා දන්නා පරිදි ගෙවල් දෙකෙන්ම ආශීර්වාදය ලද එකම යුවල අප විය. එදා බැදි බැම්ම තවත් ශක්තිමත් කරමින් 1997 අගෝස්තු 22 අප යුගදිවියට එලබුනහ.

මේ කාලයේ මම නිසරු දේශපාලනය පැත්තකට දම තිබිනි. ඇය මට වසර ගනනක් කිව්දේ මටද දැනෙමින් තිබිනි. මම මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් විය. ඒ කාලයේ ඇගේ එකම ඉල්ලීම වූයේ මට නැවත ඉගෙන ගන්නා ලෙසයි.

නමුත් මට මා වෙත පැටවී ඇති මහා වගකීම වලින් පිටව යාමට නොහැකි විය. කෙසේ හෝ අප දෙදෙනාගේ දුව ඉපදී යම් කාලයක් අපට විදින්නට සිදූ වූ ගැහැට මම ඔබට කියා ඇත. ඒවායින්ද ක්‍රමයෙන් මිදෙමින් මම වෛද්‍යවරයෙක් ලෙස රටේ නමක් හදාගනිමින් තිබූ සමයයි මේ. ඇය මට මුල සිටම කියූ දේ දැන් මම කල්පනා කරමි. ඔව් මම ඉගෙන ගන්නවා. මගේ පොත් කියවීමේ රුචියටත් සරිලන එකම දේ නම් නැවත ඉගෙනීමට යොමු වීමයි. ඇයගේ ඒ බලකිරීම නොවන්නට මම අද තවත් එක් ආයූර්වේද වෛද්‍යවරයෙක්, එසේත් නැත්නම් වෘත්තීය සමිති සටන් බහුල ජීවිතයක් ගෙනයන තවත් එක වෛද්‍යවරයෙක්ම වීමට තිබිනි.

මා පාඩම් කිරීමට , නැතහොත් පොතක් කියවීමට ගිය විට කාලය මට ප්‍රශ්නයක් නොවේ. දින දෙක තුනක් වුවද එකම ඉරියව්වේ හිඳිමින් පොත් කියවීම මට අදද මහ දෙයක් නොවේ. මෙලෙස පොත් කියවීමට හෝ මගේ ඉහල අධ්‍යාපනයේ වැඩක් ඇති විට මගේ හැසිරීමෙන්ම ඒ කුමක්දැයි ඇය දනී. එතැන් සිට අපේ ගෙදර කිසිවකුට ශබ්ද කිරීම තහනම්ය. මම අතෝරක් නැතිව කොම්පියුටරය හා කරනා ගනුදෙනු ඇයට කිසිදා ප්‍රශ්නයක් නොවීය. මා කතරම් වෙලා ගොස් නිදාගත්තත් ඇයට එය ප්‍රශ්නයක් නොවේ. ඒ කාලයම ඇය නිදන්නේ මගේ එකම ඉරියව්වක් හෝ වෙනස් වුවත් දැනනා ලෙසයි. මම ඒ පුදුමය අත්හදා බලා ඇත. දැනටත් මගේ බ්ලොග් මිතුරන් කීපදෙනෙකුම දන්නා පරිදි ඇයට මගේ මිතුරෙක් පැමිණි විට යම් හඳුන්වා දීමක් කල පසු ඊලඟට තේ කෝප්පයක් පැමිණෙන බව මම දනිමි.

අද මම ඉතාමත් නිදහස් මිනිසෙකි.

ඒ ඔබ නිසාය.

මට කෙදිනකවත් යමක් ගැන පසුතැවීමට වී නැත.

ඒ ඔබ නිසායි.

ඔබ මට ලබා දුන්නේ ආදරයම පමනක් නොවන බව මම දනිමි. එය කුමක්දැයි හඳුන්වා දීමට මම පොහොසත් නොවෙමි.

ඔබට සුභ උපන්දිනයක්!

අයාලේ යාමට වැඩි ඉඩක් තිබූ මාගේ ජීවිතය රටට සමාජයට වැඩක් ඇති ජීවිතයක් කලේ ඔබයි.

ඔබ නැතිනම් මිහි පිට නැත මම්!!!!!

46 comments:

  1. අද නම් මහ වෙදනා ඇස් වලින් කඳුළු එන්න ලියලා තියනවා...ඔබ හරිම වාසනාවන්තයි.

    එදා ඔබ දෙදෙනාගෙම ආගන්තුක සත්කාරයත් නිරහන්කාර බවත් මට හොඳින්ම දැනුනා..ආයෙත් ස්තුතියි.

    වෙද තුමියට සුභම සුභ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. වෙදනි ට සුභ නව වසරක්... ! දිනේ විතරක් සුභ වෙලා ඇතෑ...

    ReplyDelete
  4. අනේ වෙදමහත්තයො ...වැරදි එක මකල මේ ඉල්ලිමත් මකල දාමු...

    ReplyDelete
  5. මල කෙලියයි නෑනො අමතක උනා. Happy Birthday!!!

    ReplyDelete
  6. ලස්සන පෙම් කතාවක්...
    මෙවැනි අයෙකු අප අතරට එවු ඔබට සුබ උපන් දිනයක්....!!!

    ReplyDelete
  7. දයාව ලැබුන කල අම්මාගෙන් එකල
    …ගුරුහරුකම් ලැබුනයි ගුරුන්ගෙන් විපුල
    …ජීවිතමගෙ ඉදිරිය කටුකින් බහුල
    …මා ගෙනගියෙ ඔබයි ජයවෙත මෙකල

    ReplyDelete
  8. අහා වෙද හමිනේට සුභ උපන් දිනයක් . . .

    නිවාඩු ආ වෙලාවක ඔය පැත්තේ ඇවිත් යන්ට එන්නම්කෝ . . .

    අපේ අම්මා කියන්නෙත් ඔය කතාවමයි . .

    ඔබ නැති නම් මිහිපිට නැත මම් . . .

    එතකොට අම්මට මම දෙන උත්තර බලන්න නම් මගේ ලිපිය කියවන්නම වෙනවා . . හි හි හි

    ReplyDelete
  9. ඉතුරුටික දාන්න කලින් පොස්ට් උනා ..
    …ඇයට සුබ උපන් දිනයක් පතනවා !

    ReplyDelete
  10. ඔබගේ සාර්ථකත්වයට හේතුව ඔබගේ බිරිඳයි . සෑම සාර්ථක මිනිසෙකුගේම පිටුපස
    …ගැහැණියක් ඉන්නවලුනේ ..
    …ඇයට සුභ උපන් දිනයක් පතන අතර බෙහිවින් ස්තූති වන්ත වෙනව
    …ඔබට අගනා ලිපි ලිවීමට ,ඔබට රිසි අයුරින් නිදහස හා උපකාර කිරීම ගැන .
    …වාසනාවන්ත ඉසුරුමත් දිවියකට සුභ පතනව .

    ReplyDelete
  11. අදරණීය වෙදමහත්තයො..ඔබගේ බිරිඳට මාගේ සුබ පැතුමත් එක්කරන්න...ඇත්තේන්ම ඔබගේ ලිපිය කියවු පසු මා නේතට කදුලක් ඉනුවේ ඉබේටමය...ඔබ වැනි පවුලක්..සමාජයේ බොහොමයක් පිරිසට හොඳ ආදර්ශයකී....ඔබ සැමගේ අනාගත දිවියට ආසිරි පතමි....

    ReplyDelete
  12. මට හිතෙන්නෙ මම දැන් ගෙවන්නෙ ඔබතුමා කියන ඔය මුල් කාලෙ..තනියෙන්ම හැමදේම කරගන්න පුරුදුවෙච්ච උන් කාලයක් යනකම් කවුරු මොනවා කීවත් ඒවා ඇත්ත හැටියට දකින්න කැමති නෑ..ඒ අතින් ඔබතුමා හරිම වාසනාවන්තයි..මහ වෙදතුමියට සුබම සුබ උපන්දිනක් වේවා.

    කුරුම්නියා.

    ReplyDelete
  13. දෙදෙනාම වාසනාවන්තයෝ !!!

    ReplyDelete
  14. ඇත්තටම අදනම් කඳුළු එන්නම ලියල තියනවා. ඔබගේ බිරිඳට සුභම සුභ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
  15. හැපී බර්ත් ඩේ එකක් වේවා මිස් වෙද හාමිනේ,

    වෙදානා මාර වාසනා වන්තයිනේ, ඒ සතුට සද කල්ම ලැබේවා... !

    ReplyDelete
  16. සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  17. ඇයට සුභ උපන්දිනයක් වගේම ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් පතනවා.

    මේ ලිපිය කියවද්දී ඔබා මාමගේ මාමණ්ඩිය ගැන මාරයියා කියලා තිබුන කතාවක් මතක වුනා. ඒක වෙද මහත්තයටත් අදාලද මන්දා? :D

    ReplyDelete
  18. මුලින්ම වෙද නෝන ට ඉතා සුභ උපන් දිනයක් වේවා.........
    මාතෘකාව ලියලා තියන විදිහට නං මං හිතුවෙ මේ තමුන් ගෙ මව ගැන ලිපියක් කියලා. ඇත්තටම වෙද නෝනා නැත්තන් අද " වෙද ගෙදරක් " නැත කොටින්ම කීවොත් මහ වෙදනකුත් නැත ..............
    කාලෙ හැටියට ඔවැනි මග පෙන්වීමක් නොලැබුනානං.............. !!!!

    ReplyDelete
  19. //මාතෘකාව ලියලා තියන විදිහට නං මං හිතුවෙ මේ තමුන් ගෙ මව ගැන ලිපියක් කියලා//

    ඔව් සමීර, දෙවනියට අම්ම වෙන්නේ බිරිඳ.
    හැබැයි ඒකටත් වාසනාව චුට්ටක් තියෙන්න ඕනෙ

    වෙද හාමිනේට මෙවැනි වාසනාවන්ත උපන් දින හුඟාක් භුක්ති විඳීමට ලැබේවායි පතනවා.

    ReplyDelete
  20. ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය වීම කෙතරම් අගනේද? අපිත් සුභ පැතුවා කියන්න කෝ!! :)

    ReplyDelete
  21. වෙද හාමිනේ ට සුබ උපන් දිනක්.. ඒ වගේ ම ඔය සතුට හැමදා රැඳේවා..

    ReplyDelete
  22. අක්කණ්ඩිට සුභ උපන් දිනයක් වේවා..!

    තව අහන්ට පුරස්න වගයක් තියෙනවා ඒත් පස්සේ දවසක අහන්නං...හෙට අනිද්දා ඔය පැත්තේ යන්ට හිතං ඉන්නේ ඒ ගියොත් ඇවිල්ලම අහන්ට බැරියෑ...

    ReplyDelete
  23. අයියා . . . ඔයාට අයිය කියන නිසාම ඔයාගෙ බිරින්දෑට අක්ක කියන්න මට අයිතියක් තියනව . . .
    ඉතිං . . . අක්කට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කලැයි කියන්න මේ ඕනමැන්ටලයා . . .

    ප.ලි.
    සිරාවටම තේක නං මල් මසුරං ඈ . . .

    ReplyDelete
  24. සුභම සුභ උපන් දිනයක් වේවා කියලා පතන්නම් හදවතින්ම !

    ReplyDelete
  25. සුභම සුභ උපන්දිනයක් වේවා යැයි ඉත සිතින් සුභ පතමි.!

    ReplyDelete
  26. වෙද නෝනාට සුභම සුභ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
  27. අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පණ ගැනුනේ ........
    වෙද හාමිනේට සුභ උපන් දිනයක් !!!!
    (සින්දුවේ මුල කෑල්ල ඉල්ලා අස් කර ගතිමි)

    ReplyDelete
  28. වෙදහාමිනේට සුභ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා.
    @ඔබා
    //හැබැයි ඒකටත් වාසනාව චුට්ටක් තියෙන්න ඕනෙ// දුකෙන්ද ඒක කිව්වෙ?:D

    ReplyDelete
  29. හැමදෙනාටම ගොඩක් ස්තුතියි!
    මම අද හිතුවා පොඩි වෙනසක් කරන්න. මෙතැන සිට මේ ප්‍රතිචාරවලට යමක් පැවසීම මම මගේ දයාබර වෙද හාමිනේට බාර කරනවා.
    ------------------------------------------------------------
    මට ඊයේ සුභ පැතූ ඔබ සැමට මගේ ආදරබර ස්තුතිය මින් පුදනවා.

    හිටි හැටියේ එකවර දිවා කාලයේ කඩා වැදුණු මගේ සහෝදර සහෝදරියන් සහ හිත මිත්‍රාදීන්ද, විටින් විට සුභ පැතූ ඔබ සැමද මා, මවිතයටත් සතුටටත් දුකටත් පත්කලා. ඔවුන් මා වෙනුවෙන් ම පුදුමයට පත් කරමින් සකසා තිබූ භෝජන සංග්‍රහයත්, ඔබගේ හිතවත්කමත් නිසා මට ඇති වූ පහන් සංවේගය සහ, මට දුකක් ඇති වූයේ එම සංග්‍රහය ඔබ හැම දෙනාත් සමගද බෙදාහදා ගැනීමට නොහැකි වීමයි. කෙසේ හෝ ඔබ සැමට ස්තුතියි.

    මමත් මහවෙදනාත්, එවැනි සහෝදර සහෝදරියනුත් ඔබ වැනි මිතුරනුත් ලැබීමට තරම් වාසනාවන්තයින් වීම මට නම් මහත් සතුටක්. ඇත්තෙන්ම අපි ඒ අතින් හරිම වාසනාවන්තයි.

    ඊයේ දින්ය මට යහපත් මිනිසුන් ඇසුර කෙතරම් නම් වටිනවාදැයි විටින් විට මෙනෙහි කල දිනයක්. ඔවුන් අපත් සමඟ දුක සැප බෙදා ගැනීමට තරම් කාරුණිකයන් වීමම අපගේ සිත්තුල ගැබුරටම ඔබව තැම්පත් කලා. ඔබ තුලද අපව එතරම්ම ගැබුරින් ඇති බව අපි හොඳින්ම තේරුම් ගත්තා.

    මහ වෙදනාගේ යහපත් සිතුවිලි, ඔහුගේ ආදර ගෞරවය, නිසා මට නිදහස් චින්තනයෙන් යුතුව දිවි ගෙවීමට පහසු කර තිබෙනවා. එය මා ලද වාසනාවක්.

    ඔබ සැමට බුදු සරණයි!!

    ReplyDelete
  30. මගේ සුබ පැතුම් වෙද හාමිනේට....

    අහ් හිතට පහන් හැඟුමක් දැනුන සුන්දර කතාවක් කියෙව්වෙ.....

    ReplyDelete
  31. @ රාජ්,
    නැහැ රාජ්, මං වාසනාවන්ත වුනාට, සමහරු අවාසනාවන්ත බව ඇස් පනාපිට දකින නිසා

    ReplyDelete
  32. පොඩ්ඩක් පරක්කු උනත් ඔන්න වෙද හාමිනේ අක්කට සුභ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  33. @දයාබර වෙද හාමිනේට ..
    …ඔබ තුමියගෙ කාරුනික ස්තූතිය අපි සතුටින් බාරගන්නව . නරකද බ්ලොග් එකක් පටන් ගත්තොත් . ඔබත් හරි අපූරුවට ලියල තියනවනෙ .. එහෙම අමාරුනම් ඔබේ ලිපිත් දාන්න වෙදගෙදරටම .
    …ඉතාමත් ස්තූතියි ඔබ දෙපලටම අපිට දෙන සහයෝගය හා වටිනා ලිපි වලට .
    ඔබ තුමිය මේ සඳහා ඔහුට දෙන සහයෝගය ඉතාම අගය කරනවා.
    නිරෝගී වාසනාවන්ත දිවියක් පතනව ඔබ සියළු දෙනාටම .

    ReplyDelete
  34. Behind every successful man, there is a woman!

    ReplyDelete
  35. මමත් ටිකක් පරක්කු වෙලයි දැක්කෙ. ඒකට මක් වෙනවද.. මෙන්න මගෙනුත්.. සුබ පැතුම්.

    ReplyDelete
  36. වෙද හාමිනේට සුභම සුභ උපන්දියනයක් වේවා !!!!

    සෑම සාර්ථක මිනිසෙකු පිටිපසම ධෛර්ය්‍යය වන්ත කාන්තාවක් සිටිනවා. වටිනා මිනිසෙකු සමාජයට තෑගි කිරීමට මං සලසා දුන් ඒ ඇත්තිට දීර්ඝායුෂ ලැබේවා....!

    ReplyDelete
  37. මගේ මෙම ඊපතට traj1981@gmail.com ඔබගේ ඊමග එවනමෙන් ඉල්ලාසිටිමි.

    ReplyDelete
  38. ආදරයත් 'ක්‍රියාවලියක්' බව අපේ වෙද මහත්තයාගේ ජීවිත තරණ වියමනෙන් මට හැඟී ගිය කාරණයක් එය පලමු දැකීමෙන් ඇතිවන දෙයක්ම නොවේන්නට බොහෝ ඉඩ ඇති බවද තේරුම් ගනිමි. ශුභ අනාගතයක් ඔබ දෙදෙනටම, ශුභ උපන් දිනක් නෝනාට.

    ReplyDelete
  39. @ ගිම්හානි,
    වෙද මහත්තය, වැටිල ඉන්න අමාරුව මදිවාටද වෙද හාමිනෙත් අමාරුවෙ දාන්න හදන්නෙ?

    ReplyDelete
  40. මුලින්ම වෙද හාමිනේට සුභ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා....!!
    (වෙද මහත්තයෝ මම මේ දිහාට එන්න ගොඩක් පරක්කු වෙලා, මට මේ පෝස්ට් එක මිස් වෙලා)

    කැම්පස් ගිහින් දේශපාලය කරන බහුතරයක් එළියට ආවට පස්සෙ පුදුම විදිහට දේශපාලනයෙන් බැහැරවෙන බවක් මම දැකල තියෙනවා
    බොහෝ දෙනෙක් කැම්පස් දේශපාලනය හරහා අවසානයේ සිත් කලකිරීමක් ඇතිකර ගන්න නිසාද කියල මට හිතෙනවා

    ReplyDelete
  41. වෙද හාමිනේට දීර්ඝායුෂ පතනවා....

    ReplyDelete
  42. පරක්කු වෙලා ආවත් වෙද හාමිනේට සුභ උපන් දිනයක් පතනවා....!

    ReplyDelete
  43. වෙද හමිනෙට සුබ උපන් දිනයක්!!
    ඉසුරු සහ ඉමන්ති වෙතින්

    ReplyDelete
  44. ගොඩාක් වෙලාවට තමන්ගේ බිරිදගේ..පෙමිවතියගේ වැරදි කියන ස්වාමිපුරුෂයින්, පෙමිවතුන් මා ඉහේ කෙස් ගානට දැකලා තියෙනවා. ගොඩාක් අය මගේ යහළුවන්. එත්, මම මෙිචිචර කල් ඒවට උත්තර නොදි හිටියේ මට බිරිදක් හෝ පෙමිවතියක් නොසිටින නිසයි. ඒත් පෙමිවතියන්ට, බිරින්දෑචරුන්ට දොස් නොකියා මෙි වගේ ජිවිතය සාර්ථක කර ගන්න හැමෝම උත්සහ කරනාවානමි තමයි වටින්නේ...!!!!

    ReplyDelete