Tuesday, October 4, 2011

නව තාක්ෂණය අනුව ආයූර්වේද ඖෂධ නිපදවීමට හැකිද?

















අද වන විට ලෝකය විශාල වෙනස්කම් වලට භාජනය වෙමින් තියෙන්නේ. ඒ වෙනස්කම් හැම විටම යහපත්ම කියලා කියන්න අමාරුයි. සමහර වෙනස්කම් තිබෙනවා යහපත්. තවත් සමහර වෙනස්කම් තිබෙනවා අයහපත්. ඒක එහෙම වෙන්න ඕනෙ, මොකද මේ සමාජේ ජීවත් වෙන අය විවිධ නිසා.

හැම විටම අපේ තෝරා ගැනීම හරිම වෙන්නේ නැහැ.

මේ වෙනස ආයුර්වේදට කොයිතරමින් බලපානවද?

ඒ ඇතිවන වෙනස්වීම් වලට අපි සංවේදීද?

ඒ වෙනස්කම් හැම විටම හොඳ අතට හරවා ගැනීමේ හැකියාව අපට තියනවද ?

මෙන්න මේ කාරණා තමයි මට මෙහිදී වැදගත් වෙන්නේ.

අද නව සමාජය ආයූර්වේද ඖෂධ භාවිතා කිරීමට කැමතියි. ඒකට මා වැනි ආයූර්වේද වෛද්‍යවරුන් සතුව සාක්ෂි තිබෙනවා. මම එහෙම කියන්නේ අප වෙත පැමිනෙන අයගෙන් 70% - 75% විතරම ඉතාම තරුණ අය වීමයි. මෙතනදි මම තරුණ කියන යෙදුම යෙදලා තියන්නේ අවුරුදු 30 අඩු අයට. අනික් අයගේ වැඩි පිරිස අවුරුදු 45ට අඩුයි. දැනට මා සතුව, මගේ වසර 15 පමන වෛද්‍ය ජීවිතයේ වෙදකම් කල සියළුම රෝගීන්ගේ විස්තර තිබෙනවා.

මා වෙදකම් කල රෝගීන් ඉතා සුවිෂේශී අය. මේ හැම දෙනෙක්ටම මුලින්ම අවශ්‍ය වන්නේ,
1. අපේ සුදුසුකම්.
2. අපි සුව කල අසීරු රෝගීන් සම්බන්ධ වාර්ථා. (එනම් අපි යම් පර්යේෂන කර තිබෙනවාද වැනි කරුණු.)
3. අපේ ස්ථාවරත්වය නොහොත් අපිට සමාජයේ ආයූර්වේද වෛද්‍යවරයෙක් ලෙස රැදී සිටීමේ හැකියාව නොහොත් අපේ ආර්ථික ස්ථාවරත්වය.
4. ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව.( සමහර මෙහෙම රෝගීන් හරියට කඩු ෆයිට් දන්නේ නැහැ. ඒ වුනාට අපි දැන ගන්න ඕනෙ.)
5. අපි භාවිතා කරන වාහනයේ වර්ගය, මිල, මොඩලය, ජාතිය, අම්ම අප්පා වගේ කරුණු.

මෙන්න මෙවැනි අය තමයි ආයූර්වේද භාවිතයට නගරබඳව යොමුවෙලා ඉන්නේ.

ඔය ඇවිල්ල වෛද්‍යවරයා ගැනනේ.

6. ඊලඟට කට්ටියට ඕනෙ වෙන්නේ,
ලේසියට පහසුවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද කියන කාරණය.

ඒ කියන්නේ ක්ෂාය තම්බන්න ඕනෙද?

එහෙම කරන්න අපිට අමාරුනේ,

අපි දන්නේ නැහැනේ ක්ෂාය තම්බන්න.

ඔන්න එක ඈඩියාවයි.

මේකෙන් වෛද්‍යවරයා හඳුනා ගන්න හැටි මම කලින්ම කියලා තියනවා.

අද මම කියන්න සිතා සිටින්නේ, නව තාක්ෂණය අනුව ආයූර්වේද ඖෂධ නිපවීමට හැකිද කියන අර ඉහත කට්ටියගේ ප්‍රශ්නෙට පිලිතුර.

මේකෙදි භාවිතා කරන රසායන විද්‍යා මූල ධර්ම නැතිව ඔබට වැදගත් වන ඖෂධීය කරුණු ගැන පමණක් කථා කරන්නම්.

ලෝකෙ ආයූර්වේදය, වගේම බටහිර වෛද්‍ය විද්‍යාව මේ සියල්ලම මුලින්ම ඖෂධ ලෙස භාවිතා කලේ ශාඛ. නොයෙක් හේතු විශේෂයෙන්ම කාළගුනික හේතු නිසා සහ නූතන රසායන විද්‍යාවේ දියුණුවත් සමඟම බටහිර වෙදකම වේගයෙන් තමන්ගේ ඖෂධ නිශ්පාදන වලට රසායනික උපාදානයන් භාවිතයට හුරු වුනා. දැන් නවීන ලෝකයේ බටහිර ඖෂධ කියන්නේ කෙලින්ම රසායනිකව සකස් කරන ලද ඖෂධයක්.

නමුත් ආයූර්වේද වෛද්‍ය විද්‍යාව එහි අර්ථයෙන්ම මෑතක් වන තෙක්ම තනිකරම ශාඛ හෝ රස විද්‍යාවේ එන පාර්ථිව ද්‍රව්‍යයන්ගෙන් පමණ සෑදුනක්ම විය. එහිදී ඖෂධ නිපැයූවේ ක්ෂාය සංස්කරණ ක්‍රම අනුවයි.

ක්ෂාය සංස්කරණ විදි පසෙකි.
1. ස්වරස - අමු ද්‍රව්‍ය එකෙනෙහිම ගෙන තම්බා (පුට දී ) මිරිකා ගත් යුෂ භාවිතයට ගැනීම. ( මෙහිදී භාවිතා කරන නොයෙක් ක්‍රම ඇත.)
2. කල්ක ක්ෂාය - අමු හෝ වියලි ද්‍රව්‍ය සියුම් ලෙස කුඩු කර ජලයෙන් හෝ වෙනත් ක්ෂායක් මිශුකර අඹරා ගැනීමෙන් සාදා ගත හැක.
3. ක්වාථ ක්ෂාය - ද්‍රව්‍ය කුඩාවට කපාගෙන පිරිසිදු කර ජලය දමා සින්දවා ගැනීමෙන් මෙම ක්ෂාය සාදා ගනී. අරිෂ්ටයද මෙයටම අයත් ඖෂධ වුවත් මේවාට දැන් මෙන් ඇල්කොහොල් එක් කරන්නේ නැත.ස්වභාවිකව මධ්‍යසාර සංධානය වීමට මලිත මල් උපයෝගී කර ගනී. මෙහිදී ශරීරයට හානියක් නොවූවත් වර්ථමාන ක්‍රමයේදී ඇල්කොහොල් වලට ඇබ්බැහි වීමක් ඇති විය හැකි නිසා දැන් උගත් ආයූර්වේද වෛද්‍යවරු ඉතා සීමිතව භාවිතා කරයි.
4. හිම ක්ෂාය - හොදින් කුඩු කර ගත් ද්‍රව්‍ය නියමිත ප්‍රමානයට ජලය දමා මැටි මුට්ටියක හෝ වීදුරු බඳුනක රැයක් එලිවෙනතුරු තබා, උදයේම මිරිකා භාවිතා කිරීම.
5. ඵාණ්ට ක්ෂාය - නියමිත ද්‍රව්‍ය හොඳින් කුඩු කර භාවිතයට ගැනීම හෝ නියමිත ජල පරිමාවක් සමඟ රත් කර සිදුවා ගැනීම.
( තවත් අනු ක්‍රම රාශියක් ඇතත් ප්‍රධාන වන්නේ මේවායි.)

දැන් මම ඔබගේ අවධානය ඉහලින් වූ ඡායාරූපය වෙත යොමුකරනවා. ඔබට සිතෙන්නේ කුමක්ද?

මේ තිබෙන්නේ ලංකාවේ ආයූර්වේද වෛද්‍යවරුන් අතර සුපතල ක්ෂාය කීපයක් නවීන තාක්ෂනයට අනුව සකසා ඇති අයුරුයි. මෙහිදී මෙම ඖෂධ සෑදීමේදී භාවිතා කර ඇත්තේ බටහිර ඖෂධ සකසන තාක්ෂණයමයි. මෙහි ඇති වෙනස වන්නේ මේ ඖෂධ සඳහා යොදාගෙන ඇත්තේ ශාඛ ද්‍රව්‍යම වීමයි. මෙවැනි ආයතන විශාල ගනනක් ඉන්දියාවේ තිබෙන අතර ලෝකයේ රටවල් 120 පමණ තම නිශ්පාදන අපනයනය කරන ඉතා සුවිශාල ආයතනයකුත් මේ අතර ඇත.

ලංකාවේ ප්‍රශ්නය වන්නේ, මෙම ඖෂධ භාවිතයට වෛද්‍යවරුන් තවම නිසි පුහුණුවක් නැතිකමයි. පුහුණුව දීමට එම ආයතන සූදානම් නමුත් රජයේ පාර්ශ්වයෙන් තවමත් ඒ පිළිබඳ සිතා නැත.

එක්තරා කාලයක් මෙම ඖෂ්ධ ගෙන්වීමට විශාල බදු පැනවීය. ඉන් බලාපොරොත්තු වූයේ දේශීය ඖෂධ නිශ්පාදන ආයතන වලට තම කර්මාන්ත බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දීමලු.

එසේ වුවත් ලංකාවේ නිශ්පාදන ආයතන අදද අරිෂ්ටයන් සහ කිසිම ගුණයක් නැති, ප්‍රමිතිය පිළිබඳව කිසිම සහතිකයක් නැති, සායනික පර්යේෂන වචනයවත් නොදැන නිශ්පාදනය කරන ඖෂධ ජනතාවට බෙදමින් සිටියි.

මම කිසිදා ඉන්දියාවටවත් වෙනත් රටකටවත් වඩා මගේ රටට ආදරය කරමි. නමුත් අපි කරන්නේ ජනතාව සුවපත් කිරීම බැවින් වඩා හොද දේ ජනතාවට ලබා දීම අපගේ යුතුකම යැයි මා කීවොත් ඔබ ඊට එකඟ වේ යැයි සිතමි. මෙහිදී කල යුත්තේ මේ වඩා දියුනු නිශ්පාදනයන් අපගේ රටේදී නිපදවීමට උත්සාහ කරමින් ක්‍රමයෙන් එය වැඩි දියුනු කිරීමයි. එසේ නැතිව වඩා හොඳ නිශ්පාදනයන් ජනතාවට ලැබීම වැලකීම නොවේ. මේ ලෙස ආයුර්වේදය දියුනු කරන්නේ කෙසේ දැයි මට නම් ගැටළුවකි.

කෙසේ හෝ දැන් පුද්ගලිකව මෙම පුහුණුව ලැබූ වෛද්‍යවරුන් ගනනාවක්ම අපට සිටී. මා යටතේද වෛද්‍යවරුන් පුහුණුව ලබයි. මේ සියල්ල කිරීමෙන් අප කිසිවෙක් සතයකුදු හබ්බ කරන්නේ නැත. එම නිශ්පාදන ආයතන වලින්වත් අප මේ වන තෙක් කිසිවක් ලබාගෙන නැත.

මෙයින් අප බලාපොරොත්තු වන්නේ ජනතාව වැඩියෙන් ආයූර්වේදය වෙත ඇද ගැනීමයි. මේතාක් එය සාර්ථක වී ඇත.


අප ලබනා විශාලම සතුට එයයි.

14 comments:

  1. කියල වැඩක් නැත. මම මේ ගැන ඇහැව්වමයි. වෙන්න ඕනම දෙයක්. ඇමැට්ටෝ උන්නට වැඩක් නෑ. දැන් ඕන හොඳ මාකටින් පොරක්. ඇයි ඕවා රූපවාහිනියෙවත් නොදාන්නේ. අඩුම ගානේ පත්තරවලවත්. බ්ලොග් බලන්නේ සුළු පිරිසක්නේ..

    ReplyDelete
  2. බොහොම අගෙයි. පුළුවන් හැටියට කරගෙන යමු වෙද මහත්තයෝ.ඔවැනි උත්සාහයන් ආයුර්වේදයේ ව්‍යාප්තියට හා ප්‍රගමනයට බොහෝ වටිනවා. දුක කියන්නේ ඕවා පුද්ගලික මට්ටමෙන් වෙන්න ඕන නොවන නිසා.

    ජය වේවා!!!

    ReplyDelete
  3. ආයුර්වේදය ගැන මගේ දැනුම නම් බොහොම දුර්වලයි. අපේ රටේ ආයුර්වේද වෛද්‍යවරු ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලවත් මම දන්නෙ නැහැ. ඒ ගැන දැනුවත් කිරීම බොහොම වටින දෙයක්. ඔබ තුමා කරන නිහඬ සේවය බොහොම වටිනවා. ඔබතුමාගෙන් මෙවැනි ලිපි තව තවත් බලාපොරොත්තු වෙනවා..

    ප.ලි.
    මේ අර තරුණ අය මනින මිම්ම 35 ට වගේ දා ගන්න බැරු වෙයිද දන්නෙ නැහැ...

    ReplyDelete
  4. @මාතලන් : සහතික ඇත්ත.. පොඩි පහේ මාකටින් පාරක් හරියට දුන්නොත් තල්ලු ස්ටාර්ට් කියලා නෑ, ඉන් පස්සේ ඔටෝ-රන් මාකට් එකක් ඇති වෙයි.

    ReplyDelete
  5. මෙහෙම සකස් කරනලද කසාය තියෙන බව ඇහුවමයි... දැන් අපි උණ හෙම්බිරිස්සාවට බොන කසාය ( කසාය පැකට් කියන්නෙ ) මේ විදිහට තියෙනවාද... කොහෙන්ද ගන්න පුලුවන්... මම කුඩු හැටියට සකස් කරපු නිශ්පාදනයක් දැකල පැකට් කීපයක් අරන් ආව ඒත් ලෙඩවුනහම තනියම ඉන්නකොට ඒකවත් හදාගන්න කම්මැලියි... ඔය වගේ පෙති හරි කරල් හරි තිබුනනම් වැඩේ ලේසියි...

    ...........

    අතුරු ප්‍රශ්ණයක්.. මම වැඩිහිටියො කියනව අහල තියෙනව යම් කසායක් ඒ ඒ ද්‍රව්‍ය යම් යම් ප්‍රමාණ වලින් අරන් වතුර කෝප්ප අටක් දාල එකක් වෙනකම් තැම්බුනාම අරන් දෙවේලට දෙන්න කිව්වොත්...ඒ විදිහටම කරනව මිසක්.. අර ප්‍රමාන වලින් බාගෙ ගානෙ අරන් වතුර කෝප්ප හතරක් දාල බාගයක් වෙන්න තම්බල අරන් ( වේල් දෙකට දෙපාරකට ) කලොත් නියම ගුනය ලැබෙන්නෙ නෑ කියල... ඒ කතාව ඇත්තනම් මෙහෙම පෙති කරල් වශයෙන් හැදුවහම නියම ගුණය ආරක්ශා කරගන්න පුලුවන්ද?

    ReplyDelete
  6. මම අදමයි මෙහෙමෙ කසාය පෙති ඇහුවේ,,,ඇයි මේවා මිනිස්සු අතරට යන්න මේ තරම් පරක්කු,, අපිව හරි මෙහෙම දැනුවත් කරන එක ගොඩක් වටිනවා

    ReplyDelete
  7. බොහොම වටිනා ලිපියක් .........

    ReplyDelete
  8. ඔබගේ ලිපියෙන් තමා මේ පිළිබඳව පලමු වරට දැන ගත්තෙ. ඉහත පිංතුරේ තියෙන්නේ කුමන රෝගවලට ගන්න ඖෂධ වර්ගද? දැනට මේ ඖෂධ ලබා ගත හැකි ස්ථාන තියනවද?

    //පුහුණුව දීමට එම ආයතන සූදානම් නමුත් රජය තවම ඒ පිලිබඳව සිතා නැත//අහෝ දුකකි.

    ReplyDelete
  9. //නව තාක්ෂණය අනුව ආයූර්වේද ඖෂධ නිපදවීමට හැකිද? //හැකිබව මේ ලිපියෙන් පෙනේ...:)

    ජායාරූපයෙන් පෙන්වන බෙහෙත් හදා ඇත්තේ මොන රෝග සඳහාද?

    ReplyDelete
  10. මාතලන්,
    ඕවා තියා රූපවාහිනියෙන් ආයුර්වේද වෛද්‍ය සාකච්ඡා විකාශනය කිරීම පවා ගැටලුවකි. දැන් සිටිනා සභාපතිවරයා මගේ හොඳම පුද්ගලික මිතුරෙක් නිසා එතුමා සමඟ සාකච්ඡාකර මේවා ගැන ජනතාව දැනුවත් කිරීමට යම් කාලයක් ඉල්ලා ගත්තා. දැන් රූපවාහිනිය එම වෛද්‍ය සාකච්ඡා ජාතික මෙහෙවරක් ලෙස සලකා විකාශනය කරනවා. නමුත් මම දන්නවා එතැන ඇත්තේ බලපෑමෙන් කල දෙයක්. අපේ හයිය අඩු වුන ගමන් වැඩෙත් ඉවරයි. ( මේ සාකච්ඡා සඳහා මා සහභාගී වන්නේ කලාතුරකින් තමයි. නැතුව මට ලබා ගත්ත දෙයක් නෙමෙයි.)

    ඉඳුනිල්,
    ඔබ හරි මේවා රාජ්‍ය අනුග්‍රහයෙන් විය යුතු දෙවල්. නමුත් දැනට එහෙම ප්ලෑන්ස් අපේ කට්ටියට නැහැ. වෙන වෙන අපිට නොතේරෙන මොනවදෝ එයාල කරන්නේ. අපි අපිට හැකි දේ කරනවා.

    ලකී,
    බොහෝම ස්තුතියි. ඔන්න ඔබ නිසා තරුන වයස 40 වෙනකම් ගෙනාව.

    සපතේරු උන්නැහේ,
    ඔව් ඔබ කිව් ආකාරයට භාවිතා කිරීමට හැකි ලෙස ඕනෑම රෝගයකට ප්‍රතිකාර තිබෙනවා. නමුත් මේවා ලබා ගැනීමේ අපහසුවක් තිබෙනවා. මොකද මේ ක්‍රමවලට හුරු වෛද්‍යවරු අඩුයි.
    ඔබගේ දෙවනි ප්‍රශ්නෙට මට කියන්න තියන්නේ, මේවා ඉතාමත් දියුණු ක්‍රම වලට සාදා ඇති බවයි. මුලින්ම ක්ෂාය වතුර සහා එය කුඩු බවට පත් කරන සංකීර්ණ ක්‍රමයක් එය. ඒ නිසා ගුණ ගැන බයක් නැහැ. අනික සෑහෙන පමණ සායනික පර්යේෂණයන්ට භාජනය කර ඇති නිසා ගුණ සහතික කර නිපදවා තිබෙනවා.

    ඩිලාන්,
    බොහොම ස්තුතියි.

    ලයන්,
    බොහොම ස්තුතියි.

    ගිම්හාණී,
    ඔබට බොහෝම ස්තුතියි. මේවා අපේ ජනතාවගේ කරුමේ. නැත්නම් මෙවැනි තවත් කොතරම් දේ තිබෙනවද.

    පොඩි කුමාරිහාමි,
    ඔව් පොඩ්ඩි පුළුවන්. මේ බෙහෙත් අතර තිබෙනවා, තදබල වේදනාවන්ට යොදා ගන්නා වේදනා නාශකයක්. තව ඉතාම හොඳ ප්‍රතීජීවක ඖෂධයක්. තව අනික් ටික කිව් සැනින් ඔබ දන්නවා මා කවුද කියා ඒනිසා මම නිහඬ වෙන්නම්.

    ReplyDelete
  11. දේශීය වෙදකම පිළිබද අමාත්‍යංශෙ වගකීම ගංජා වවන එක විතරක් නෙවේ කියල තේරුම්ගන්නෙ කවද්ද මන්ද?

    ReplyDelete
  12. බොලේ . . . කවුද දන්නෙ කසාය පෙති කරල් විදියට ගන්න තියනව කියල . . . .

    ප.ලි.
    තරුන වයස කියන සීමාව අඩුම තරමේ අවුරුදු 35 දක්වා වත් වෙනස් විය යුතුයි . . . මොකද තිස් හතර, තිස් පහ කියන්නෙ . . . . මිනිසාගේ විසේකාර . . . දඟකාර . . . වයස නොවැ . . . . බොරු නං අහන්නකො අබේපාලයගෙං

    ReplyDelete
  13. ඇත්තටම මාත් ඔය ආයුර්වේද වෙද කමට ඉංගිරිසි වෙද කමට වඩා කැමතියි. ඒත් අනේ ඉතිං කසාය තම්බන්ට, අඩුවැඩිය හොයන්ට දුක් විඳින්ට ඕන මගේ අම්මයි අප්පච්චියි නොවැ. ඉතිං ඕක මාර ප්‍රශ්ණයක්. (ඒත් මං මේ දවස් වලත් කසාය බොනවා වකුගඩු වල ගල් සම්බන්ධ ප්‍රශ්ණයකට)
    ඔබ තුමාගේ මේ අදහසට අනුව කසාය පෙති, කරල් විදිහට ගන්න පුළුවන්නං සමහර විට වෛද්‍ය තුමා ගෙන් ඇහුවා නං ගන්න පුළුවං වෙයි නේද?

    මේවා බොහොම පිං සිද්ධ වෙන වැඩ හොඳේ...!

    බොහොම ස්තුතියි (සීමාව 40ට ගෙනිහුං) අපිව ආපහු තරුණ කළාට . දැං ඉතිං තව අවුරුදු 4-5ක් නිවී හැනැහිල්ලේ ඉන්ට ඇහැකි...

    ReplyDelete
  14. වෙද මහත්තයෝ,
    අර තරුණ වයස 60 විතර කලොත් නං මට තව අවරුදු එකහමාරකට චුට්ටක් විතර වැඩියෙන් තියෙනවා....හික්ස්...

    දැනට අවරුදු 30 කට විතර ඉස්සර ගොටුකොළ කැප්සියුල් "ජීකොලා" නමින් සහ, කරවිල කැප්සියුල් මට දැන් අමතක නමකින් ලංකාවේ නිෂ්පාදනය කළා. පුවත් පත් වලිනුත් ඒවා පිළිබඳව (දැන්වීම් වලට අමතරව) සෑහෙන්න ප්‍රචාරයක් දුන්න. ඖශධ නිෂ්පාදන තාක්ෂනය පිළිබඳව, විදේශ පුහුණුවක් ලැබූ, එවකට තරුණ වයසෙ හිටිය, කාන්තාවන් දෙදෙනෙක් ඒ ව්‍යාපාරය ආරම්භ කලේ.

    එම නිෂ්පාදන හෝ නිෂ්පාදනාගාරය තාම පවත්වගෙන යනවද?

    ReplyDelete