Thursday, September 29, 2011

ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින් රෝග සුව කල හැකිද?

අපි බලමු මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ලෙස හඳුන්වන්නේ කුමක්ද කියා.
මුලින්ම බලමු ආයූර්වේද යන වචනය.

"ආයූර්" ආයුෂ එහෙමත් නැත්නම් ජීවණය/ ජීවිතය වගේ තේරුමක් තමයි මින් ලබාදෙන්නේ.

වේද යනුවෙන් හඳුන්වන්නේ විද්‍යාව ලෙස අර්ථ දක්වන්න පුළුවන්.

එතකොට "ආයුෂ සම්බන්ධ විද්‍යාව". මෙන්න මේක තමයි ආයූර්වේදය නම් වචනයේ නියම අර්ථය.

දැන් පැහැදිලියි ආයූර්වේදයේ මුඛ්‍ය අරමුණ වෙන්නේ රෝගීන් ඇති නොවීමට කටයුතු කිරීම. හෙවත් Prevention is better than cure. එහෙමත් නැත්නම් රෝග ඇති වීම වලක්වා ගැනීම.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් රෝග වැලැක්වීම මුක්‍ය පරමාර්ථය කරගෙන සේවය සලසන බව මින් පෙනෙනවා නේද? එතකොට රෝගයක් හැදුනම රෝගියෙක්ට ප්‍රතිකාර කිරීම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ සිදු කරනේ කොහොමද?

මෙහිදී රෝගියා මුලින්ම පරීක්ෂා කිරීම තමයි කෙරෙන්නෙ. නමුත් ආයූර්වේද ක්‍රමයේදී මෙතන පොඩි වෙනසක් තිබෙනවා. මේවා අද කාලේ නම් වැඩිය භාවිතා කරන් නැහැ. නමුත් අපේ පාරම්පාරික වෛද්‍යවරු අතර තාමත් මේ ක්‍රම නොනැසී තිබෙනවා. මමත් මේ ගැන යම් හැදෑරීමක් කරනවා.

එනම් දූත ලක්ෂණ මෙය ඉතා වැදගත්.
මේක අපිට පිලිවෙලට මෙහෙම ලියන්න පුළුවන්.

1රෝගී පරීක්ෂාව. මේ යටතේ

A. දූත ලක්ෂණ. - රෝගියා සමග පැමිණෙන හෝ රෝගියාගේ විස්තර වෛද්‍යවරයාට ලබාදෙන පුද්ගලයා සමග යම් සාකච්චාවක් කිරීම මගින් රෝගියාගේ ස්වභාවය, රෝගියාගේ පුද්ගලික වෛද්‍යවරයා දැනගත යුතු තොරතුරු ආදිය ලබා ගැනීම. එම තැනැත්තාගේ ස්වභාවය, ඇති නෑදෑකම ආදිය මගින් මේ රෝගියාගේ පසුබිම ගැන යම් අවබෝධයක් ලබා ගැනීම. මෙය අනාගතයේදී රෝගියාට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වේ.

B. රෝගියා පරීක්ෂා කිරීම. - මෙම අවස්ථාව ආකාර තුනකට කල හැක.
1. දර්ශන.
2. ස්පර්ශන.
3. ප්‍රශ්න.
මේ ආකාර තුනෙන් රෝගියා පරීක්ෂා කල යුතු යැයි, ආචාර්ය්‍යය චරක, ආචාර්ය්‍යය සුශ්‍රැත, සහ ආචාර්ය්‍යය වාග්බට යන ආයුර්වේදයේ ප්‍රමුඛම ආචාර්ය්‍යය වරුන් තිදෙනා සඬහන් කොට නැතත් යම් යම් අවස්ථාවලදී ඔවුන්ද ඒ බව දක්වා ඇත. ඔවුන් ත්‍රිවිධ පරීක්ෂණය වෙනුවට වෙනත් පංච පරික්ෂා ක්‍රමයක් දක්වා ඇත. ඉදිරියේදී එය දක්වමි.

2. අදාල රෝගය පරීක්ෂා කිරීම. -
යම් රෝගයක් යමෙක්ට වැලදී ඇති විට පහල වන රෝග ලක්ෂනද, එම රෝගය පහල වී ගෙන එත්දී ඇති වන ලක්ෂණද අනුසාරයෙන් රෝගයක් හඳුනා ගැනීම ආයුර්වේදය අනුදැන වදාල ක්‍රමයයි. එය පංචවිධ පරීක්ෂනයයි. මෙයට,
1. නිධාන
2. පූර්වරූප
3. රූප
4. උපශය
5. සම්ප්‍රාප්ති

මේ සියලුම පරීක්ෂන ක්‍රම තවත් ප්‍රධාන ක්‍රම තුනක් යටතේ රෝගියා වෙනුවෙන් ක්‍රියාවේ යොදවයි.
1. ආප්තෝපදේශ
2. අනුමාන
3. ප්‍රත්‍යක්ෂ
එනම්, පෙර ගුරුවරුන් මෙවැනි රෝග හදුනා ගැනීමට යෙදූ උපක්‍රම පිළිබඳ දැණීම ඇතිව පලමුවෙන් රෝගියා පරීක්ෂා කල යුතුයි. එවැනි උපදේශ රෝගියෙක්ගේ රෝගයක් පරීක්ෂා කිරීමට ඉතාමත් වැදගත් වේ.
ඊට පසු අප යම් රෝගයක් පිළිබඳ සැක කරන්නේ නම් ඊට අදාල පරීක්ෂණ කල යුතුයි. එනම් මෙහිදී අනුමානයෙන් රෝගය මේ යැයි සැක කිරීම හෙවත් "අනුමාන"ය දෙවැනි පියවරයි.
තුන්වැනිව එන්නේ විස්තරාත්මක අයුරින් වෙන්කරගත යුතු නියම රෝගය හඳුනා ගැනීමයි. මේ සඳහා විශාල වශයෙන් නවීන සහ පෙර කල පරීක්ෂණ දැන් අප සතුව ඇත. මේ යටතේ නවීනයේ, රසායනාගාර පරීක්ෂන විශාල වශයෙන් ඇතත් එකල පැවති ක්‍රමය වන්නේ,

1. චක්ෂුරීන්ද්‍රිය පරීක්ෂා - වෛද්‍යවරයාගේ දර්ශනයෙන් (දැකීමෙන්)රෝගියා පරීක්ෂා කිරීම.
මෙහිදී සමේ පැහැය වෙනස් වීම. රෝගියාගේ ස්වභාවයේ ඇතිව ඇති වෙනස්කම්, ඉදිමුම්, කෘෂවීම්,ආදී යම් රෝගයක් ගැන දැකීමෙන් ලබාගත හැකි හෝඩුවාවන් උගත් වෛද්‍යවරයා රෝග නිශ්චය සඳහා යොදා ගනී. මෙහිදී මල, මූත්‍ර, නේත්‍ර, ජිහ්ව පරීක්ෂා ප්‍රධාන වේ. මෙහිදී පෙරදීද අණ්වීක්ෂ වැනි උපකරන සහායෙන් කරන පරීක්ෂා පියවි ඇසින් කරන පරීක්ෂා ලෙස මෙය කොටස් දෙකකි.

2. ශ්‍රෝතේන්ද්‍රිය. - නවීනයේ පවා වෙදකමේදී මිනිස් ශරීරයෙන් නිකුත්වන විවිධ ශබ්ධවල වැදගත්කම මෙතෙකැයි කිව නොහැකිය. වෙද නලාවට ඇති තැන ගැන සිතීමෙන් මෙය ඔබට වටහා ගත හැකිය. මෙම මිනිස් ශරීරයේ ඇතිවන විවිධ වූ ශබ්ද පිළිබඳව අවධානය යොමු වූයේ අදක ඊයෙක නොවේ. වෙද නලාව යම් පුද්ගලයෙක් විසින් හදුන්වා දුන්නා යැයි යන කීම මේ නිසා මම එක හෙලාම ප්‍රතික්ෂේප කරමි. නමුත් එහි නවීන සංස්කරණයක් ඇන්ටන් හැන් ලිවෙන් හුක් විසින් කලා යැයි කීම නම් අනුමත කල හැක. බඩෙන්, පපුවෙන්, හිසෙන් නාසයෙන් ආදී ලෙස නොයෙක් ඉන්ද්‍රියයන් වලින් පිට වන්නාවූ ශබ්ද ගැන දැන ගැනීමට විවිධ වූ ක්‍රම රාශියක් ද නොයෙක් උපකරනයන් රාශියක්ද එකල භාවිතා විය. පුස්කොල පොත්වල ඇති මේ රූපයන් මා සතුව ඇත. ඇත්තෙන්ම මේවා ඉතාමත් පුදුමාකර උපකරන බව පෙනේ. එනම් නවීනයේ ඇති උපකරන හා එකට තිබූ විට මේවා කිසිම වෙනසක් නැතිව සමාන බව පෙනේ. ඉදිරියේදී ඔබට බලා ගැනීමට මෙම රූපයන් ම'විසින් බ්ලොග් අවකාශයට එක්කිරීමට සිතා සිටිමි.

3. ස්පර්ශේන්ද්‍රිය පරීක්ෂා,
මෙහිදී ශරීරයේ උෂ්ණතාවයන්, ශීතතාවයන්, රළුබව, අතිශයින් මෘදුවීම, ස්ථබ්ධ වීම්, වේදනා සහිත තැන්, අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විශාල වීම්, තවත් ඉතාමත් විද්‍යාත්මක පරීක්ෂණ විධියක් මේ ස්පර්ශ පරීක්ෂාවය යටතේ සිදු කරයි. අවාසනාවකට මේ කොටසද අද අභාවයට ගොස් ඇත. කනගාටුවෙන් වුවත් කිව යුත්තේ මාහටද මේ ක්‍රමයේ වැඩි පරිචයක් නැති බවයි. එනම් නාඩි පරීක්ෂාවයි. පෙර වෙදැදුරන් නාඩි පරීක්ෂාවෙන් රෝගීන් පිළිබඳ විශාල තොරතුරු ප්‍රමාණයක් හෙලිකොටගෙන ඇත. මෙය වෙනම පෝස්ටයකට කාරණාවක් නිසා ඒ ගැන මින් නවතමි.

4. රසෙන්ද්‍රිය පරීක්ෂා - රසෙන්ද්‍රිය පරීක්ෂාව ප්‍රත්‍යක්ෂයෙන් නොව අනුමානයෙන් පරීක්ෂා කල යුතුයැයි සෘෂිවර චරක කියා ඇත. මෙහිදී රස පරීක්ෂාව ඉතා වැදගත් වේ. එනම් ආයූර්වේද විද්‍යාවට අනුව විවිධ වූ රසයන් හයක් දක්නට ඇත. මෙම රසයන්, කටේ, කෙලවල, මලවල, මුත්‍රාවල, දහඩියේ, ආදී ශාරීරික ස්‍රාවයන් වල ඇති ආකාරය මෙහිදී පරීක්ෂාවට භාජනය කර ඇත. ඒ සඳහා නොයෙක් උපක්‍රම යොදාගෙන ඇත.

5. ඝාණේන්ද්‍රිය පරීක්ෂා - මෙය නවීන වෛද්‍යා විද්‍යාවේදීද බහුලව කරණු ලබන පරීක්ෂණයකි. ලේ, මල මූත්‍රා, සැරව, ශුක්‍ර, ආදිය පරීක්ෂා කිරීමේදී ද, සෙම සොටු ආදියේ පරීක්ජ්ෂා වලදීද ගන්ධය වැදගත් සාධකයකි. තවද රෝගීන්ගේ ශරීරික ගන්ධයන්ද මෙහිදී ඉතා වැදගත් වේ.

ප්‍රශ්ණ පරික්ෂා.
මෙය ආයූර්වේද වෛද්‍ය ක්‍රමය පමණක් නොව නවීන වෛද්‍ය ක්‍රමය ආදී සෑම වෛද්‍ය ක්‍රමයකම ඇති ප්‍රධානම පරීක්ෂණ ක්‍රමයයි. මෙහිදී ආයූර්වේද වෛද්‍යවරයා ප්‍රශ්ණ පරීක්ෂාව ක්‍රියාවේ යෙදිය යුතු පිළිවෙලක් ඇත. එනම්,
1. දේශ - රෝගියා වාසය කරන ප්‍රදේශය දැන ගැනීම. එනම් එහි ඇති දූවිලි, උෂ්ණ, ශීතබව ආදී විපර්යාසයන් රෝගයට බලපාන ආකාරය දැන ගැනීම උදෙසාය.
2. කාල - යම් යම් රෝග සමහර කාලවල අධික වන නිසාය. උදය කාලයේ සවස රාත්‍රී ලෙස මෙන්ම සෘතුව, ආදියද වැදගත්ය.
3. ජාති - යනු රැකියාවයි. රැකියාව අනුවද මිනිසාට විවිධ වූ රෝග වැලදිය හැකි වේ.
4. සාත්ම්‍ය - එනම් එම රෝගයට සුව එලවන ආහාර විහරන ඖෂධ ගැන සොයා බැලීමයි. මේ සඳහාද නොයෙක් උපක්‍රම ඇත. විස්තර වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට සිතා සිටිමි.
5. ආතංක සමුත්පත්ති - රෝගය හටගත් පිළිවෙල. එනම් යම් ආහාරයක් නිසාද, විෂබීජ, වසංගත, ආඝාත, විෂ මේ ආදී වූ හෙතුව පිළිබඳ සොයා බැලීමයි. මෙයටද උපකාරී වන උපක්‍රම විශාල ගනනාවක් ඇත.
6. වේදනා සමුච්ඡාය පරීක්ෂාව. - එනම් රෝගියාට ඇතිවන වේදනාවේ ස්වභාවය පිළිබඳ දැන ගැනීමයි. මෙය දාහ (පිළිස්සෙනවා වැනි ), වෝෂ (ඉරවීම වැනි ), භේද- කඩනවා වැනි, ශීත දැනෙන, කම්ප - දැඩි කම්පනයක් දැනෙන, අංග මර්ධ - ඇග රිදීම, වැනි නොයෙක් ආකාරයේ වේදනාවන් පිළිබඳ දැන ගැනීම.
7. බල - බලය කාය බලය, මනෝ බලය විසින් දෙවැදෑරුම්ය.
8. අන්තරාග්නි පරීක්ෂාව - බඩ ගින්නේ ස්වභාවය පිළිබඳ දැන ගැනීම.
9. අධෝගත වාතයාගේ පැවැත්ම හෝ නොපැවැත්ම.
10. මල මුත්‍ර පහ වීම හෝ නොවීම.
11. කාල ප්‍රකර්ශය.
මේ වැනි රෝග පරීක්ෂා ක්‍රම විශාල ගනනක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල පවතී. නවීනයේ ඇති ක්‍රමද ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව බොහෝ ආයූර්වේද වෛද්‍යවරුන්ට අද ඇත. ඒ නිසා බොහෝ විට නිසැකවම නිශ්චිත රෝගය හදුනා ගැනීම නිසි විධිමත් අද්‍යාපනයක් ලද ආයූර්වේද වෛද්‍ය වරයාට ඉතා පහසු කටයුත්තකි.

ඖෂධ අතින් බැලූ විට ආයූර්වේදයේ තරම් විවිධ වූ ඖෂධ ඇති වෛද්‍ය විද්‍යාවක් තවත් ඇද්දැයි මට නම් සිතා ගත නොහැකියි. මේ අනුව ඔබගේ ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට ආයූර්වේද වෛද්‍ය වරයා සමත් බව මම නිභයව කියමි.

මෙතැනදී ඇතිවන තවත් ප්‍රශ්න දෙකක් ඇත.
1. ආයූර්වේද ඖෂ්ධ භාවිතය නිසා රෝග සුවවුවත් එය ප්‍රමාදයි.
2. ආයූර්වේද ඖෂ්ධ භාවිතය ඉතා අපහසුයි. රැකියාකරන අයට නම් මේක හරිම අපහසු වැඩක්.
මේ ප්‍රශ්න දෙක ගැනත් යම් සාකච්ඡාවක් ඉදිරියේදී කරමු....

19 comments:

  1. ඔබගේ මේ ලිපිය බැලුවම මට අර වෙදකම් කල වෛද්‍යවරියව සිහිපත් උනා.මම කුඩා දැරියක් නිසා මගේ රෝග නිධානය සොයාගන්න ඇය මාත් සමග බොහෝ මිතුරු උනා.කල්ගත උනා තමයි රෝගය නිට්ටවට සුව වෙන්න. අනිත් කරුණ තමයි රෝගියා උපදෙස් හරියාකාරව පිලිනොපදින එක. මමනම් කියපු ආකාරයටම උපදෙස් පිලිපැදලා කෙසේ හෝ මගේ ලෙඩේ සුව කරගත්ත...

    මාත් ඔබට යෝජනා කරන්න හිටියෙ පින්තූරත් ඉදිරිපත් කරන්න කියලා . ඒක වටින දෙයක්. රූපසටහන් ඉදීරිපත් කලොත් තවත් පැහැදිලි කරනවනෙ ඔබ කියන කරුණු කාරනා.

    ReplyDelete
  2. සෑම විටම ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වුනත් අවස්ථා කිහිපයකදීම මම පුද්ගලිකවම එයින් විශ්මයජනක ප්‍රතිඵල ලබා ගෙන තියෙනවා.

    අනිත් හැම දේකදීම වගේ අප වගේම බොහෝ දෙනෙකුට පහසු ප්‍රතිකාරය ක්‍රමය කර යොමු වෙන්න සිදුවෙනවා වගේම ආයුර්වේදය මතක් වෙන්නේ පහසු ක්‍රමයෙන් ගොඩ යන්න බැරි වුනාම.

    ඔබතුමා මීට කලින් දවසක් කිව්වා ආයුර්වේද ඖෂධ දැන් භාවිතයට පහසු ලෙස සකස් කෙරෙන බව.පැහැදිලිවම ඒ වගේ දේවල් අත්‍යාවශ්‍යයි. මේ දේවල් වල වටිනාකම් ඉදිරි පරම්පරා වලට ලබා දීමේ සඵල ක්‍රියාමාර්ග ගන්නට ඕනි, මොකද මේ වන විටත් ඔවුන්ගේ වැඩිහිටියන් ආයුර්වේදයෙන් තව තවත් දුරස් වන නිසා.

    අනිත් කාරණය, ආයුර්වේදය වැඩි දියුණු කිරීමට, එනම් පර්යේෂණ සඳහා විධිමත් ක්‍රම වේද සකස් කිරීම ඉතා වැදගත්.විසිරී පවත්නා පාරම්පරික දැනුම එක්රැස් කිරීමත් ඒ වගේම වැදගත්.

    පැරණි වෛද්‍ය උපකරණ වල පින්තුර ලබා දීම ඉතාම වටිනවා.

    ReplyDelete
  3. මෙච්චර පැහැදිලි ලෙස විස්තර කරල දෙන එක නම් මාර වටිනවා..... ඔය අන්තිම ප්‍රශ්න 2ක ගැන අපේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන හැඟීම වෙනස් කරන්න පුළුවන් උනොත් ආයුර්වේදයේ නියම ප්‍රයෝජන අපිටත් ලැබෙයි... බොහොම පින්..

    ReplyDelete
  4. ඉතාම වටිනවා....................................සුසුම්නාවක් බිදි ගිය පසු එය කලක් ගොස් හෝ සුව වු අවස්තා ඔබ තුමාට අහන්නට දකින්නට ලැබි නැත්ද,

    ReplyDelete
  5. ඔබේ ප්‍රශ්නයට කෙටි පිලිතුරක් වශයෙන් "ඔව්, පුලුවනි" වශයෙන් පිලිතුරු දිය හැකිය. නමුත් දීර්ඝව ප්‍රතිචාරයක් දුනහොත් එය ඔබේ සටහනටත් වඩා දීර්ඝ විය හැක,. ඒ නිසා හැකි පමණ සංක්ෂිප්ත ප්‍රතිචාරයක් දෙන්නම්. විද්‍යාත්මක වශයෙන් ආයුර්වේදය ඉතා වටිනා පෞරාණික විද්‍යාවකි. 19 වැනි සියවසේ සිට බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ශීග්‍රයෙන් දියුනු විය. දියුනුව වශයෙන් මම පවසන්නේ බටහිර රටවල දේශපාලනික වශයෙන් බලය ගෙන ඒ ශාස්ත්‍රය ඉතා බලවත් වූ බවයි. බටහිර බලවේගයන් බල පැවැත්වූ අපේ රටේද, එහි ප්‍රතිඵල ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට ඇති බලතල දෙස බැලීමෙන් ඔබට දැකිය හැක. ලංකා වෛද්‍ය මණ්ඩලයට කෙනෙක් උන්මත්තකුයයි නීතිය අනුව ප්‍රකාශ කල හැක. ඔවුන්ගේ සාක්ෂිද උසාවි වල පරම සත්‍යය වශයෙන් පිලිගන්නේය. බලතල පැවතුනද, ඒ ශාස්ත්‍රය එපමණ කාර්යක්ෂමද යන්න වෙනම ප්‍රශ්නයකි. ඒ නිසා බලය ඇති වුවද බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ආයුර්වේදය තරම් පැරණි නැත. යම්කිසි ශාස්ත්‍රයක් පැරණි නම් ඒ ශාස්ත්‍රයේ කාර්යක්ෂම භාවය සහ එය ප්‍රගුණ කල භවතුන්ගේ අත්දැකීම් බලවත්ය. බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ආරම්භයේ කායික රෝග පමණක් අධ්‍යයනය කරන ලදී. මාණසික අංශය ආරම්භ වූයේ ඩෙකාර්ටීස් (Des Cartes ) වැනි සුලු කොටසකගේ මග පෙන්වීම අනුව ඉතා සීමිත අන්දමකටය. මා දන්නා අන්දමට ආයුර්වේදය ආරම්භයේ පටන්ම කායික පමණක් නොව, මාණසික බවත් සලකා සාකල්ය ප්‍රවේශයකින් (holistic approach) යුතුව කටයුතු කොට ඇත. මේ නයින් බලන කල ආයුර්වේදය උතුම් ශාස්ත්‍රයකි. මගේ අදහසේ හැටියට බටහිර වෛද්‍ය වරුන්ට රෝග නිධානය සොයා ගැනීම ආයුර්වේදය මෙන් ක්‍රමානුකූල නැත. Scan වැනි උපකරණ තිබුනද, රෝගියාගේ සිත, රෝගියාගේ අදහස් ආදී මාණසික උපාංග හරි අන්දමට පරීක්ෂා නොකෙරෙයි. මේ සම්බන්ධයෙන් ආයුර්වේදය වඩා ශක්තිමත්ය. බොහෝ බටහිර වෛද්‍යවරු මේ ගැන උනන්දුවක් පවා නොදක්වති. පිරිතකින් කෙරෙන්නේ යම් කිසි ධර්මයක සත්‍යතාවය මත කෙරෙන සජ්ජායනාවකි. ඒ සජ්ජායනාවේ සත්‍යතාවය මත විශ්වාසය මත රෝගය සුව වේවා යයි අපි පතමු. බුදු රජාණන් වහන්සේ පවා උන්වහන්සේගේම ධර්මය චුන්ද තෙරුන් ලවා සජ්ජායනා කරවීමෙන් සුවය ලැබූ බව බොජ්ජංග පිරිතෙන් ප්‍රකාශ වේ. රෝගියා ගේත් වෛද්‍ය වරයා ගෙත් මාණසික බැඳියාව රෝග නිවාරණයට අතිශයින් ඉවහල් වෙයි. එනම් ඖෂධ පමණක් නොව, මාණසික උපාංගයක්ද එහි ගැබ් වී ඇත. ආයුර්වේදයේ මේ මාණසික උපාංගය යම්කිසි පමණකට සිදුව්න බව ඔබේ සටහනෙන් මම තේරුම් ගත්තෙමි.

    මා කුඩා කල අපේ ගමේ දිසානායක නමින් වෙද මහතකු සිටියේය. මගේ පියා අසනීපයක් සෑදුන විට අපව කැන්දා ගෙන යන්නේ ඒ වෙද මහත්මයා ලඟටය. එතුමාද වෙද නලාවක් භාවිතා කලේය. පාසැල් ශිෂ්‍යයෙක් වූ මට එතුම නොයෙක් දේ ප්‍රකාශ කොට ඇත. එකල මම වෛද්‍ය ශාස්ත්‍රය ගැන කිසිම බලාපොරොත්තුවක්වත් තබා නැත. ඒ වෙද මහත්මයා මට පෙන්වූ එක් පොතක තිබූ සටහන් මට මතකය. එය අඟල් තුනක් පමන මහත් වූ පොතකි. ලියා තිබුනේ සංස්කෘත භාෂාවෙනි. මට සංස්කෘත නොතේරුනත් එහි තිබූ පින්තූර මට හොඳින් මතකය. ඒ හා සමාන ශල්‍ය උපකරණ පසු කලෙක ශල්‍යා ගාරයේදී මම දුටිමි. ඒ උපකරණ නිපදවීමේදී ඒ පොත් වලින් කිසියම් දැනීමක් ලබාගත්තේද යන්න පවා සැක සහිතය. වෛද්‍ය විද්‍යාවේ (Cecil Loeb Text Book of Medicine) නම් වූ පොතක් ඇත. එහි දිය වැඩියාව නම් වූ රෝගය පිලිබඳ ඉතිහාසය සටහන් වී ඇත. ශුසෘත හා චරක නම් වූ ඉන්දියානු වෛද්‍ය වරුන් දෙදෙනෙක් විසින් ප්‍රථම වරට (Honey Urine ) යන නමින් මේ රෝගය විස්තර කරන ලද බවත්, ඒ රෝගීන්ගේ මුත්‍රා පැනි රස බවත්, ඒ රෝගයෙන් පෙලෙන්නවුන්ගේ ශරීර කෘශ වන බවත් සටහන් කොට තිබූ බවත් මට මතකය. පසු කලෙක ශුසෘත සහ චරක නමින් සංහිතාය දෙකක් ඇති බව සොයා ගත් නමුත් වෙන වැඩ නිසා මට එය කියවීමට නොහැකි විය. ප්‍රතිචාරය දීර්ඝ වීම ගැන සමා වන්න.

    ReplyDelete
  6. @ වෙද මහත්තයා.
    ගුරු මුට්ටිය කියල දෙය්ක් ඇත්තෙම නෑ වගේ. ඔය දූත ලක්ෂන සර්පයෙක් දෂ්ඨ කළාම යොදාගත්ත කියල මම අහල තියෙනවා. මේ විදියට ලිව්වොත් නම් මේ ලබාදෙන දැනුමෙන් ගොඩ වෙද්දු ඔක්කෝම ගොඩම තමයි. ඉස්සර වෙද මහත්තයට වගේම අපිටත් ඉතින් ඔබ තුමාට දෙන්න වෙන්නේ පින් තමයි..

    ReplyDelete
  7. @මාතලන් අය්යා
    වෙද මහත්තයා ගෝලයෝ ටිකක් හදන්න වගේ හදන්නේ . එහෙනම් හොදම ගෝලය මම.

    ReplyDelete
  8. ගිම්හාණී,
    ඔබට ස්තුතියි. ඔබ කියන වැනි වෛද්‍යවරුන් විශාල ගනනක් මට මුණ ගැසී තිබෙනවා. නමුත් මේ අය රැක ගන්න යමක් තාමත් කර නැහැ.

    ඉඳුනිල්,
    ඔබ කියන දේ සහතික ඇත්ත. නමුත් මක් කොරන්නද අපෙ බහුතරකට ඔය බනේ තේරෙන් නැති කොට. ආයූර්වේද ඖෂධ භාවිතය ඉතාමත් පහසුයි. බටහිර වගේම ඉතා පහසුවෙන් පාවිච්චි කල හැකි ලෙස සකස් කර තිබෙනවා. ඒ නිසා දැන් වැඩිය මහන්සි නොවී ආයුර්වේද ඖෂධ භාවිතා කල හැකියි.

    පැතුම්,
    ඔබට බොහෝම ස්තිතියි.

    සරත් ගුණතුංග,
    ඔබගේ දීර්ග විස්තරය මගේ ලිපියට ආලෝකයක් වූවා. ඔබ කවදත් මවිසින් අගය කරන මගේ ජ්‍යේෂ්ටයෙක්.

    නලින්ද,
    අනේ මල්ලී මම නම් අහලා නැහැ. දන්නවනම් විස්තර ලියන්න. බොහෝම ස්තුතියි.

    මාතලන්,
    මගේ මිත්‍රයා, මගේ ලඟ කිසිම මුට්ටියක් නැහැ. මම මැරෙන දවස වෙනකොට මම දන්න සියල්ල ජනතාවට ලබා දීල ඉවරයි. අනික මට මේ ලෝකෙ අයිති මගේ හාමිනේයි දවයි මගේ පොත්පත් ටිකයි විතරයි. මම කවදාවත් කිසිම බැදීමක් ඇති කෙනෙක් නෙමෙයි.

    ගිම්හාණී,
    හ.. හා.. ගුරු පඬුරු .. ගුරු පඬුරු.....

    ReplyDelete
  9. @වෙද මහත්මයා, පින් ගැන ඉහත සඳහන් ප්‍රතිචාරයක සඳහන් වී තිබුණු බව මම දුටුවෙමි. භවයකින් භවයකට ස්කන්ධ මාරු වී යන විට රැගෙන යා හැකි එකම දේ ඒ ලැබෙන පිනයි. උපයා ගනු ලබන අන් සියලු ධනය මේ භවය කෙලවර වන විට අන්සතු වෙයි. සමහර අන්ධයින්ට මෙය පෙනුනත් 'නොපෙනෙති'.

    ReplyDelete
  10. ආයුර්වේදය ගැන මිනිසුන්ගේ ඇති මතවාදයන්ටද සාධාරණ හේතුන් නැතුවාම නොවේ ,

    01) පලමු වැන්න සම්පූර්ණ ශාස්ත්‍රය දත් වෙද වරුන් නොසීටීමයි , ගුරු මුෂ්ටි නිසා පරම්පරාවෙන් පරම්පරාවට කොටස් අඩුවෙමින් යාමත් , ඇතැම් විට සමහර වෙද මහත්තැන්ලා නිසි පරිදි ගෝල පරම්පරාවක් බිහි නොකිරීමත් නිසා වර්ථමානයෙ දකින්නට ලැබෙනා බොහෝ වෙද මහත්වරුන්ගේ දැනුම ප්‍රමාණවත්ද යන්න පිලිබඳ ගැටලුවක් ඇත

    02) කලින් හේතුව නිසා ගොඩ වෙදුන් රාශියක් බිහිවී ඇති අතර වෙද මහත්වරුන් ලඟ ආවතේවයට හිටි පොරවල් පවා වෙද පාට් ඇට් කරන නිසා මිනිසුන්ගෙ විශ්වාසය බිඳී ඇත

    03) ක්‍රමානුකූලව අධ්‍යාපනයක් ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද රෝහල් රාශියක් තිබුනත් නිකන් වෙද මහත්වරුන් ගාවට යැමට තරම් උනන්දුවකින් ඔවුන් වෙත යන්නේ නැත , ඒ මන්ද කියා ඇසූ විට බොහෝ දෙනෙකු කියන්නේ "ආයුර්වේදයෙන් බේත් ගත්තාට සනීප නොවෙනා බවයිඔ" ඉක්මන් සුවය උදෙසාම දොස්තර බෙහෙත් ගන්නා නිසා මා කලින් අයගේ ප්‍රකාශය නිවැරදිද කියා නොදන්නා මුත් , අපගේ ගම් පලාතේ ආයුර්වේද රෝහල , මහ රෝහලට වඩා සුව පහසුකම් හා පිරිසුදුකම් අතින් සැහෙන ඉදිරියෙන් සිටියත් ඇඳන් හිස්ව තිබෙනා බව නම් දැක ඇත

    ReplyDelete
  11. බුවා,
    ඔබගේ අදහස් දැක්වීම, සාධාරන ලෙස දකිමි. හේතුව උගත් ආයූර්වේද වෛද්‍යවරුන් සිටියත් ආයූර්වේදයෙන් එහෙමත් නැතනම් ආයූර්වේද රෝහල් වලින් ප්‍රතිකාර ලබා ලෙඩ සුව නොවෙතියි කීම මමද පිලිගනිමි.
    1. වර්ථමානයේ උගත් වෛද්‍යවරුන් හිඟයක් ඇතැයි පිලිගනිමි. නමුත් එවැන්නන් සාදා ගැනීමටද උනන්දුවක් නොපෙනේ. මා වැනි අයද නිකම්ම සිටිනවා විනා අපට නිසි අවස්තාවක් ලබා නොදෙයි. ඒවා දේශපාලන කරුණුය. කෙසේ වෙතත් දැනටත් පිටරට විශ්වවිද්‍යාල මාගේ සේවය ලබා ගනිතත් අපේ රටේ මට ලබා දී ඇත්තේ නිකම්ම සිට හම්බ කර ගැනීමේ අවස්තාව පමණි. මා වැනි බොහෝ දෙනෙක් දේශපාලන සුදුසුකම් නැති වීමේ පාපයෙන් මෙසේ කොන් වී සිටී. හැබැයි එය අපට පුද්ගලිකවම නම් ඉතා හොද අවස්ථාවකි මක් නිසාද යත් අපි දැනටත් හොදින්ම පොල් කඩනා බැවිනි. ( කියන්නත් ලැජ්ජයි.)

    2. සහතික ඇත්ත.

    3. කිසිම සුදුසුකමක් නැති වුන් අපේ ආයතන පාලනය කරනා තාක් මේ ක්‍රමය ගොඩගත නොහැක. පර්යෙෂණ නිකමවත් නොකරයි. ගිය වසරේ මට ලබා දිය යුති පර්යේෂණ අරමුද්ල වෙනෙකෙකුට ලබා දුන්නා. නමුත් ඇය කට් අන්ඩ් පෙස්ට් පර්යේෂන නිබන්ධනයක් ලියන්නට ගොස් හසු වී ඇගේ වටිනා අනාගතයද නැති කර ගත්තා. මේක ඇය වැනි අයගේ වරද නොව එවැන්නන් මේ තැන්වලට දමන්නාවූ අමන දේශපාලන ගැත්තන්ගේ වරදයි.

    අපි කුමක් කරන්නද? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

    ReplyDelete
  12. වෙදගෙදර මහවෙදනාගෙ කොමෙන්ට් සහ ඇනනිමස් ආතල් එකේ ඇඩ් වලින් ඔබේ බ්ලොග් පිටුව ගැන සිටියත්, මං කියවන්න පටන් ගත්තෙ ඉතාම මෑතකදී.
    මං හිතන්නෙ ඉස්සෙල්ලම ගොඩවුනේ පියාණන්ගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන්න.
    ඉතාම කුඩා කාලේ ගම්පහ ජයකොඩි වෙද මහත්තයගෙන් සහ "යක්කල විද්‍යාලෙ" කියල ඉස්සර කිව්ව, දැන් ආයුර්වේද විශ්ව විද්‍යාලයක් වෙලා තියෙන, ඒ කාලේ පණ්ඩිත රාලහාමි නමින් හැඳින්වුන වෙද මහත්තය ප්‍රතිකාර කල ආයතනෙන්, කීප වතාවක් හැර, ආයුර්වේද ප්‍රතිකාර ලබලම නැහැ කියන්න පුළුවන්.
    ඒ නිසා වෙන්නැති ඔබේ බ්ලොග් පිටුව ගැන මගේ උනන්දුවක් ඇති නොවුනෙ. ඒ වුනාට අන්තිම ලිපි දෙකෙන් සෑහෙන උනන්දුවක් ඇති වුනා, පැරණි ලිපිත් කියවන්න ඕනෙ.
    සුභ ගමන්...!!!

    ReplyDelete
  13. ඔබ්සවර්,
    ඇනෝනිමස් තමයි මට නිසි ප්‍රසිද්ධියක් ලබා දුන්නේ. ඒකට මම ඒ අයට තුති පුදනවා අවංකවම. කෙසේ හෝ මම දකිනවා හැම විටම ඔබ යන්නේ හොඳම බ්ලොග් අඩවි වෙත වෙද ගෙදරටත් පැමිණීම ගෞරවයක් කොට සලකනවා.

    ReplyDelete
  14. ඔබතුමාට බොහොම පින් . වර්තමානේ අමාරු ලෙඩ ගනයට වෑටෙන බටහිර ක්‍රමයට බෑරි පීලිකා,අන්ශබාග,දීයවෑඩියාව වගේ රෝග ආයුර්වේදයෙන් නිට්ටාවට සනීප කරපු අවස්තා ගනනාවක්ම මම අහලා තියේනවා.උගත් දක්ශ වෙදමහත්තුරු තාමත් ඉන්නවා පාරම්පරික වෙදකමේ සදහන් වීදීයට පීලිකාවට ඉස්සර කිව්වේ ' අබ්බුද ' කියලලු. ඔය අබ්බුදේ ශරීරයෙන් ඉවත්කරලා තියෙන්නේ සියුම්ව හිල් විදපු පොල්කටු හෑන්දකින්. 'හෑදි ගාලා දානවා' කියන්නේ එකට තමයි.බෙහෙත්කෑදක් හෑන්දට අරගෙනලු ඒදේ කලේ. එහෙම කරපු හෑන්දක් කෑගල්ලේ මගේ මීතුරෙක් ලග තියේනවා.හෑන්දට තෙල් ටිකක් දෑම්මත් වෑස්සෙන්නෙ නෑ. ස්පර්ශයෙන් තමා ගෑවෙන්නේ.හාස්කමක් වගේ .ඔන්න ඔකයි පාරම්පරික වෙදකමේ අරුම !!!!

    ReplyDelete
  15. චිත්‍රක,
    ඔබ හරි. පුරානයේ පිළිකා වලට කිව්වේ අර්බුද කියලා තමයි. එහි ගැමි වහර තමයි අබ්බුද කියන්නේ. කෙසේ හෝ ඔබගේ මිත්‍රයාගේ ඒ මහඟි හැන්දත් තවත් ඒ ආශ්‍රයෙන් ලබාගත හැකි යම් තොරතුරක් වෙතොත් දන්වන්න යක් කල හැකි නම් ඔබලාගේ උදව් ඇතිව ඒ කල හැකියි. ඉන් රටට යහපත් වේ යැයි සිතමි.

    ReplyDelete
  16. මම දැනං හිටියෙ නෑ නෙව ආයුර්වේද බෙහෙත් භාවිතයට පහසු විදියට දැං ලබාගන්න පුලුවං කියල

    ReplyDelete
  17. @Nalinda Priyadarshana
    මහ වෙදනා තුමා සමා වෙන්ට ඕන.අනවශ්‍ය දේකට කතා කරනවට.නලින්ද මහත්මයා නොදැනුවත්කමට ප්‍රශ්න අහනවද? නැත්නම් ආයුර්වේද වෙදකමේ දැනුම පරීක්ෂා කරනවද ?මහත්තයෝ ආයුර්වේද කියලා වෙනසක් නැ.සුෂුම්නාව කැඩිලා ලෙඩෙක් ආවොත් ඉතින් ආයෙ පෙට්ටියේ දාලා ගෙදර යවනවා මිස වෙන කොරන්ට දෙයක් නැහැ. :)

    මහවෙදනාතුමන්ට..
    ඔබතුමා මේ කරන්නේ සද්කාරයක්.අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ නොදැනුවත්කම හෝ ආයුර්වේදය ගැන නොසැලකිල්ල නෙවී.ඉගෙන ගත්ත ක්‍රමවේදෙත් එක්ක අපිට ආයුර්වේදය ඇතුලු අපේ දේවල් බොහොමයක් මඟ හරවලා.දැනුවත් වෙන ඉඩ අහුරලා.මේ කරන කෙරුවාවෙ පොඩි පොඩි දොස් පොල් කෙන්දක් , කන්දක් වෙලා සමහරුන්ට පේන්නේ ඒකයි.අනික ක්ෂේත්‍රයේ තියෙන අඩු සම්පත් ප්‍රමාණය සහ ඉඩ කඩ නිසාම පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න යාමත් මේ රටේ ආයුර්වේදය පිරිහෙන්න හේතුවක්.

    ආයුර්වේදය කියන්නේ වෙදකමක් විතරක් ම නෙවෙයි.ආධ්‍යාත්මික අවබෝධය කෙලවර කරගත් ජීවන දර්ශනයක්..ඒහෙම බැලුවාම මේ බ්ලොග් කෙරුවාව පුණ්‍ය කර්මයක්.

    *හැබැයි ඔය මහ වෙදනා නමට මගේ ඒ හැටි ම මනාපයක් නැහැ.ඒත් ඒක ඉතින් ඔබතුමාගේ කැමැත්ත. මේ මගේ අදහස පමණයි. :)

    ReplyDelete