Tuesday, July 26, 2011

"අපේ කෘෂිකර්මයේදී භාවිතා කල දේශීය දැණුම"

ජනගහනය වැඩි වීම ලෝකයට දරාගත හැකිද? "පූර්විකාව"

මේ අදහස මට කියවන්න ලැබුනේ මහාචාර්යය ගුනපාල ධර්මසිරි මැතිතුමා විසින් ලියන ලද "The Nature of Medicine" ග්‍රන්තයෙන්. මෙතුමා මම කලක් ලගින්ම ආශ්‍රය කල ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්. දැන් මෙතුමාව සම්බන්ධ කර ගන්න හරිම අමාරුයි. ඉතාම අප්‍රකටව ජීවත් වෙනවා. විශාල සේවයක් කල උතුම් මිනිසෙක් ලෙස මම සලකනවා. පුළුවන් නම හොයාගෙන කියවන්න වටින පොතක් එහිම සිංහල පරිවර්ථනයකුත් තියනවා. "වෛද්‍ය විද්‍යාවේ ස්වභාවය" කියලා. හැබැයි මේ දෙක එකම පොත නෙමේ. සමහර විශාල වෙනස්කම් තියනවා.

මෙතුමා කියනවා ජනගහනය වැඩිවීම පිලිබඳ අදහස එක්තරා ආකාරයක පිපුරුම් වාදයකට සමානයිලු. එනම් මිනිසා ජනගහනය වැඩි වීම ගැන කියන කථාව එකම මිත්‍යාවක්ලු. මේ පොතේ කියන මේ කාරනය ගැන අපි හිතුවම අපිටත් හිතන්න වෙන්නේ ඒක ඇත්ත තමයි කියලා නේද? අපි බැලුවොත් ලංකාවේ අනුරාධපුර කාලේ ගැන මම අහලා තියනවා රුහුණු රාජ්‍යයේ ගෙදරක වහලකින් කුකුලෙක් ගොඩ වුනොත්, එම සතාට වහලෙන් වහලෙට පනිමින් අනුරාධපුර අගනුවරින් බිමට බසින්න පුළුවන් තරම් ගෙවල් තිබුනලු. සාමාන්‍යයෙන් සලකනවා ජනගහනය කෝටි හතරක ප්‍රමානයක්වත් ඉන්න ඇති කියලා. ඒත් මේ මුළු අවුරු දහස් ගනනක ඉතිහාසය පුරාම විශාල නියඟ කාල කීපයක් හැර අපේ රටේ මහා විශාල සාගත ඇවිත් නැති තරම්. කවදත් මිනිස්සු බඩගින්නේ හිටියේ නැති බවට සාක්ෂි ඕන තරම් තිබෙනවා.

මේ පොතේ 178 (English Edition page 139) පිටුවේ තිබෙනවා මෙහෙම කොටසක්. අපේ ලෝකය ඉතා අඩු ජනගහනයකින් පිරී පවත්නේය. මේ මුළු ලෝකය සියළු සම්පතින් පිරී පවත්නේය. අප විසින් ප්‍රයෝජනයට ගෙන අවසන් කල නොහැකි තරමට සශ්‍රීකය. මේ කාරනය ඔබට නැවතත් පැහැදිලිව කියවන්න පුළුවන් මේ පොතෙන්. France Lappe and Collins with Cary Fowler, FOOD FIRST, BEYOND THE MYTH OF SCARCITY.
එසේනම් ඇයි ලෝකයේ මෙතරම් ජනගහනයක් කුසගින්නේ පෙලෙන්නේ?
මාචාර්යය ගුනපාල මැතිතුමා කියනවා,
(1) අපි මේ සම්පත්වලින් 3/4ම පාවිච්චි කරන්නේ යුද්ධ කරමින් ලෝකය විනාශ කරන්න.
(2) ඉතිරියෙන්ද වැඩි හරියක්ම නාස්තිකාර සහ අර්ථ ශූන්‍ය ලෙස කෙරෙන ආත්ම තෘප්ති කිරීම සඳගා වැය කෙරෙයි. ( සමහර ගෙදරක ඇති කරන බල්ලෙක් වෙනුවෙන් වැය කරන මුදල තවත් ගෙදරක දිනක වැයයි.)
(3)ලෝකයේ ඇති ධාන්‍ය ප්‍රමාණයෙන් 2/3 ම යෙදවෙන්නේ සත්වාහාර වෙනුවෙනුයි. එම සතුන් ඉන්පසු මස්, කිරි, බිත්තර නිපදවති. එමගින් මිනිසුන්ට ප්‍රෝටීන් සහ මේද බහුල ආහාර වේලක් සපයති. මේ නිසා ඇතිවන අධි පෝෂණ තත්වයන් නිසා වන සෞක්‍ය ගැටළු විසදීමට මොන තරම් වියදමක් අපිට දරන්නට සිදුවේද?
(4)තවදුරටත් ගත්තොත් අපි ආහාර දාමයේ අඩු ශක්ති ප්‍රභයන් නිපදවීමට ඉහල ශක්ති ප්‍රභවයන් නාස්ති කරමින් මේ කරන්නේ විකාරයක් නොවේද?
(5) මේ අකාර්ය්‍යක්ෂම පරිවර්ථන ක්‍රියාවලිය නිසා වන හානිය නිසා කී දෙනෙකුට තම ආහාර වේල අහිමි වන්නේද?

ක්‍රිස්ටෝපර් හැලෝවල් මෙසේ පවසයි, ලෝක ආහාර අහේනියට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආහාර නොමැතිකමට වඩා තිබෙන ආහාර ප්‍රමාණය නියම ආකාරයට බෙදී නොයාමයි. 1955 සිට 1995 දක්වා ලෝක ජනගහනය 105% වැඩි වී, බිලියන 5.7 ආසන්න වුවද, ලෝකයේ ධාන්‍ය අස්වැන්න 124% වර්ධනය විය. එනම් වර්ධනය වන ජනකායට සෑහෙන තරමටත් වඩා ආහාර නිෂ්පාදනය කිරීමට සමත් වුවද, අස්වැන්න නිසි පරිධි බෙදී නොයාම නිසා ඉන් නියම ප්‍රයෝජනයක් නොගැනුනි. Christopher Flavin "Culture of Permanence".
Time special issue on "Our Precious Planet". November 1997. p 82

අපි මේ කරුණු ගැන මෙහෙම කථා කලේ ඇයි? අපිට පේනවා, ආහාර දාමයේ ඉතා ඉහල ශක්ති ප්‍රභව වන ශාක ආහාර වැඩියෙන් නිපදීමෙන්, අරපිරිමැස්මෙන් ප්‍රයෝජනයට ගැනීමෙන් අපේ ආහාර අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරා ගන්න පුළුවන්. ඒ සඳහා දාමයේ අඩු ශක්ති ප්‍රභව වන මස් මාංශ වෙතම යන්න අවශ්‍යය වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ වගේ රටවල විශේෂයෙන්ම කෘෂිකර්මය ගැන ඉතාමත් විද්‍යාතමකව බලලා අපේ රටේ තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු කලොත් අපිට වරදින්නේ නැහැ. කවදත් ලංකා මාතාව තම දරුවන් කුසගින්නේ තිබ්බේ නැහැ.

නමුත් අපි ඉහත කථා කල කරුණු අඩු වැඩි වශයෙන් අපිටත් තියනවා. අපි අපේ රටේ කෘෂිකර්මය ගැන දක්වන අවධානය සෑහෙනවද? නැතත් අපි මොන වගේ උපක්‍රමද මේ සඳහා යොදන්න ඕනෙ. අපි එක පාරටම අපේ අතීතයට හැරුනොත් කෝටි ගනනක ජනතාවක් රැක්කේ මේ පොලව නේද? මෙන්න මේ කාරනේදි අපි බලන්න ඕනෙ එහෙමනම් මොනවද ඒ උපක්‍රම කියන එක. අන්න ඒ උපක්‍රම තමයි මම මේ ලිපි පෙලින් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
කොටින්ම "අපේ කෘෂිකර්මයේදී භාවිතා කල දේශීය දැණුම" ගැන.

අපි ඉදිරි දින කීපයක් මේ ගැන කථා කරමු.

13 comments:

  1. ඉතාම වැදගත් මාතෘකාවක්. සමහර විට ලංකාව වගේ කෘෂිකර්මයට හිතකර පරිසර සහ අනිකුත් සාධක ඇති රටවල් කිහිපයක් තව ඇති.ඒත් ඒ එක රටක්වත් ලංකාව වගේ ඒ සමපත් නිකරුණේ අපතේ යැවීමට හා විනාශ කිරීමට ලක් කරලා නැතිව ඇති. තමන්ගේ දේ අවතක්සේරු කරන්නෙත් නැතිව ඇති. කෘෂි භෝග ආනයනය ගොවීන් ගැන නොසිතා අයාලේ සිදුකරන්නට දෙන්නේත් නැතිව ඇති. මම ලඟදි කියෙව්වා කන් කුන් පවා ආනයනය කරනවා කියලා.

    අනිත් අතට අපේ කෘෂි නිෂ්පාදනය ගත්තහම් තාක්ෂණය , නිෂ්පාදන තත්වය වගේ දේවල් බැලුවහම අපි , අපිට වඩා සම්පත් ඉතා අඩු රටවල් බොහොමයක්ටත් වඩා පිටිපස්සෙන් ඉන්නේ.

    මේ තත්ත්ව වලින් මිදිලා හරි මාර්ගයට එන්න අවශ්‍ය කරන මතවාදී වෙනස් කම් ඇති කරවන්න මේ සම්බන්ධ ඉදිරි ලිපි පෙළ සුළුවෙන් හරි උපකාරී වේවි. (අවාසනාවකට මේ ලිපි කියවන පිරිස ජනගහනයෙන් ඇති සුළුතරයක් නිසා ).ඒත් ඔබ ලබා දෙන මේ දැනුම සුළුතරයකට සීමා වන්නේ නැහැ කියවන අප අපේ වගකීම් අපිට හැකි ආකාරයෙන් ඉටු කරනවානම්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ජනගහනය වර්ධනය වීම නෙවෙයි මිනිස්සුන්ගෙ අසාවන් වර්ධනය වීම නේද. නූතනත්වයුගේ එක මිනිහෙක් ජීවත් කරවන්න වැය කරන සම්පත් ප්‍රමාණය යොදාගෙන අනුරාධපුරයුගේදි මිනිස්සු කීප දෙනෙක් ජීවත්කරවන්න පුළුවංකම තිබුණ.

    ඒ අතින් බැලුවාම අපි ජීවත් වෙන්නෙ ඉතාමත්ම අකාර්යක්ෂම ජීවනක්‍රමයක් ඇතුලෙ. පහුගිය අවුරුදු පන්සීය ඇතුලෙ අපි ටිකෙන් ටික මේ බහුභාණ්ඩික නාස්තිකාර ක්‍රමය වැළදගෙන ඒකෙන් නිර්මාණය කරල විකුණන උවමනාවන් පස්සෙ දුවනවා. ජනගහණ වර්ධනය දරුණු ප්‍රශ්නයක් වෙන්නෙ මේවත් එක්ක කියන එකයි මගෙ කල්පනාව. අර ගාන්දිතුමා කියපු කතාවෙත් මේ වගේ දෙයක් තියනවා.

    ReplyDelete
  4. වැදගත්ම කාරණාවක් ගැනනේ කතා කරන්න යන්නෙ..ඉතිරි ටිකත් ලියනකම් බලාගෙන ඉන්නවා...කුරුම්නියා.

    ReplyDelete
  5. //ලෝකයේ ඇති ධාන්‍ය ප්‍රමාණයෙන් 2/3 ම යෙදවෙන්නේ සත්වාහාර වෙනුවෙනුයි// පොඩි සංශෝධනයක් එකතු කරන්නම්. සත්ව ආහාර සඳහා වගා කරන ධාන්‍ය මිනිස් ආහාර සඳහා ගන්නා වර්ගයෙන් වෙනස්. 2011 වසර ඇමෙරිකාවේ සත්ව ආහාර සඳහා ධාන්‍ය වගාවට වඩා ප්‍රථම වරට එතනෝල් සඳහා තිරිඟු වගාව වැඩියෙන් වැවුන වසරයි.

    ඉතිරිය එනකම් බලාගෙන ඉන්නම් ...දැනගන්න ඉතා කැමතියි.

    ReplyDelete
  6. ඉඳුනිල්,
    ඔව් ඔබ හරි, අපි ගොඩක් පිටු පසින් සිටින්නෙ. හැබැයි අපෙම වරදින්. ඒ නිසා මට කල හැකි දෙය මේ ගැන මාදන්නා දේ මා අසා ඇති දේ ගැන අනිත් අයත් දැනුවත් කිරීමයි. ඒකෙන් ප්‍රයෝජන ගන්නවද කියවන්නෙවත් නැතිද කියන කාරනය මට වැඩක් නැහැ. අඩු ගානේ ඔබ වැනි අයවත් කියවයිනේ, ඔබ ගොවියෙක් නොවුනට සමාජයේ පුරුකක්නේ. මට ඒ ඇති. ඔබට බොහොම ස්තුතියි. මගේ නිරස භාෂාව සහිත මේ ලියවිලි කියවනවට.

    ජය!!!

    ගිම්හාණී,
    මම ඔබ මකා ඇති කමෙන්ට් එක කලින්ම බැලුවා. ඒක ඉතාම වටිනවා. මම දන්නවනම් මකන්න දෙන්නේ නැහැ.
    ඔබටත් මට කියන්න ඇත්තේ මම ලියන්නේ මගේ යම් දෙයක් සමාජයට දීමටයි. ඒකෙන් ප්‍රයෝජන ගත්ත නැතා මට වැඩක් නැහැ. අනික මම මේවා ලියන්න තරම් සුදුසුද කියන ප්‍රශ්නෙ මට තියනවා. නමුත් මා ලඟ අති විශාල දේශීය දැණුම කියන විෂය පිලිබඳ තොරතුරු සංඛ්‍යාවක් තියනවා. ඉතාම දීර්ඝ කාලයක් එකතු කල. ඒවා තමයි මේ.
    කෙසේ හෝ ඔබට ඉතාමත් ස්තුතියි!!!!!!!

    පොඩි ගමයා,
    ඔබ කියන්න මට හොදින්ම තේරෙනවා. බලන්න අපේ ගියක් අස් කලහම අපි වැඩිය තියන් ඉන්නේ මොනවද වැඩකට නැති කුනු නේද? ඒක අපේ හැටි. අපි දිනකට කොතරම් ආහාර ප්‍රමාණයක් නාස්ති කරනවද?
    අනික මොන තරම් වැඩක් නැති, ලෙඩ රෝග වලට හේතුවන නමුත් මිල අධික ආහාර පාවිච්චි කරනවද?
    අපි හැදෙන්න ඕනෙ, අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව ආසියාවේ ආශ්චර්ය තබා ආසියාවේ කිසිම තැනකට අපිට එන්න පුළුවන්ද?
    ඔබ වැනි අය බොහෝ අවශ්‍ය යුගයක අපි ඉන්නේ.
    ජය!!!

    ඇනෝ 01 (කුරුමිනියා),
    ඔව් ඔබට මගේ ස්තුතිය!!!!
    ඔක්කොම කියවලා විවේචනයක් කරන්න. අපි හොඳ සංවාදයක් කරමු.
    ජය!!!!

    අරුණි,
    ඔබගේ සංශෝධන ඉතා බැතියෙන් පිලිගන්නවා. හැබැයි දැන් තවත් ප්‍රශ්නයක් එකතු වුනා නේද?
    මේ පොසිල ඉන්ධන නිසා ලෝකය මෙතරම් ප්‍රශ්න රැසකට මුහුන දුන්නානම් සිතන්න ඉන්ධන සඳහා වගා කිරීම මොනතරම් අනාගත ලෝකයේ පැවැත්මට බලපෑම කරයිද?
    ඔබට ස්තුතියි. ඔබගේ වටිනා කාලයෙන් මගේ ලිපි වෙනුවෙනුත් ඉඩක් වෙන් කිරීම ගැන.

    ReplyDelete
  7. අපේ රටේ කෘෂිකර්මාන්තය බොහො හොන්දු මාන්දු වෙලා තියෙන්නේ වගකිම් දරන්නන්ගේ යහ පාලනයක් නොමැතිකමින්, නිලදාරි වාදය..දේශපාලණිකරනය ආදි නොයෙක් හෙතුන් මත...
    ලාංකිය ගොවියට තමන්ගේ කර්මාන්තය හරියට කරගෙනයන්න අවශ්‍යකරන යටිතල පහසුකම් හරියාකාරව ලැබෙනවද කියන එක ප්‍රෂ්නයක්..
    නිසි තාක්ෂණය ඔවුන්ට අවශ්‍ය පරිදි ලැබෙනවද....පොහොර සහනාධාර වුවත් රජයෙන් ලබා දුන්නට අදාල ප්‍රදේෂවල නිලදාරින් නිසි ආකාරයට ඒවා බෙදාහරිනවද..?
    පටු වාසිතකා නිලධාරින් සහ දේශපාලුවන් ක්‍රියා කරනකොට කොහේද ඔව දියුනුවෙන්නේ....
    නමුත් මේ අතර සාධාරනව රාජකාරිය කරන මහතුන්ද සිටි ඔවුනට තම රාජකාරිය හරියට කරගෙන යාමටවත් ඉඩ සැලසෙනවාදැයි යන්න සැක සහිතය...

    ReplyDelete
  8. සමාවෙන්න , මම ඊයේ ඔබේ ලිපිය බැලුවේ ඉතාමත් කාර්ය බහුල වෙලාවක. යෝජනා කීපයක් කඩි මුඩියේ දැම්මා. නමුත් ගෙදර ගිහින් නැවත් කියෙව්වාම මට හිතුනා මෙතනදී වැදගත් වන්නේ මගේ යෝජනා නෙමේ ඔබගේ අදහස් කියලා ඒකයි මකා දම්මේ. මම නැවතත් ඔබ කියනවානම් එය සකස් කරන්නම්.
    ඒ වගෙම මම ඉල්ලීමක් කරනවා ඔබතුමගේ මේ වටිනා ලිපි අරක්ෂා කරගන්න ඔබට වඩා මේව වැදගත් වන්නේ අපටයි...ආරක්ෂිත පියවරක් අනුගමනය කරන්න. මෙහි hacker කෙනෙක් සිටින නිසා..

    ජය!!!

    ReplyDelete
  9. ගිම්හාණී,
    ඔව් මම දන්නවා ඕනෙම තැනක ඕනෙම කෙනෙක්ට ඉන්න පුළුවන්, මේ ලිපි මම වෙනම ලියා පසුව තමයි පොස්ට් කරන්නේ හැම ලිපියක්ම මාලඟ තිබෙනවා. ඒත් යමෙක්ට මා බ්ලොග් අවකාශ්යෙන් ඉවත් කරන්න බැහැ. හැක් කලත් මම නැවත එනවා. ඒත් මම හිතන් නැහැ. මාව හැක් කරයි කියලා මොකද මගෙන් කාටවත් කරදයක් නැහැ. මගේ දහම මේ හැම ආකාරයක්ම බ්ලොග් තිබිය යුතුයි. කුනුහරප ඉඳලා ධර්මයට යනකම්, මිත්‍යාව ඉඳලා විද්‍යාවට යනකම් මේ හැම දෙයක්ම සමාජයේ සමබරතාවයට අවශ්‍යයි. ඒ නිසා මට හිටෙනවා අපි කවුරුත් කරන්නේ හොඳක්. ඒ කෙසේ වෙතත් මට ආරක්ෂක පියවර ගන්න දන්නෙත් නැහැ. ජීවිතේටම මම කාගෙන්වත් මේ කොම්පියුටර විද්‍යාව ඉගෙනගෙන නැහැ. ඉතින් මම දන්න ආරක්ෂක පියවරක් නැහැ. මම කරන දේ අනුව මාව රැකෙයි.

    ReplyDelete
  10. " මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි" කියලා පැරණි කියමනක් තියනවා.
    නමුත් අද තත්වය මීට වෙනස්. ගොවි තැනට ලැබිය යුතු නිසි තැන ලැබෙන්නේ නැහැ.අද සමාජයේ මේ ගොවිකම පහත් කොට සලකන ආකල්පය වෙනස් කල යුතුයි. අනිත් රැකියා වගේම ගොවිතැනත් නම්බුකාර රැකියාවක් බව පෙන්විය යුතුයි.

    අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන ගොවියා මේ සදහා විශාල දායකත්වයක් සපයනවා. නමුත් බොහෝ අය දුප්පත්, නිසි අධ්‍යාපනයක් නොලත් අය. නිවැරදි තාක්ශණය හා කලමණාකරනය ලබාගන්නනම් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමද දියුණු කල යුතුයි.

    ඈත ප්‍රදෙශ වල අත්හැර දමා ඇති ඉඩම්වල ජනාවාස ඇතිකර ඔවුන් කෘෂිකර්මාන්තය සදහා යොමුකර ගත යුතුයි.

    දැන් දැන් ගොවියා රසායනික පොහොර බාවිතයට බියක් දක්වනවා.
    මෙයින් වන අතුරු ප්‍රථිපල , ලෙඩ රෝග වැඩ්යි. ඒ නිසා ස්වබාවික පොහොර නිෂ්පාදනය වැඩිකල යුතුයි.මීට සමගාමීව කුකුල් ගොවිපලවල්ද , ගව පාලනයද වැඩිදියුනු කල යුතුයි.

    නගරබද උනත් තියන ඉඩකඩ අනුව මෙවා දියුනු කල හැකියි. මේ සදහා දැඩි උනන්දුවත් කැපවීමත් අවශ්යයි. කතා කරල විතරක් වැඩක් නෑ ප්‍රයෝගික වෙන්න ඕන.
    ගෙදර තමන්ගේ වත්තේ මිරිස් පැලයක්, පලා ටිකක්, බන්ඩක්කා ගහක් තියෙන්නේ කීයෙන් කීදෙනාගෙද බලන්න. මගේ වත්තේනම් මම ටික ටික වාවගෙන තියෙන්නේ. ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා වගේම වසක් විසක් නැති එලවලුවක් කනකොට තමන්ගේම වත්තේ පුදුම සතුටක් දැනෙන්නේ....

    තවත් මේගැන කතා කරමු පසුවට.....

    ReplyDelete
  11. @වෙද මහතා : 100% ක් ඔබතුමාත් සමග එකතු වෙනවා. ඇත්තටම අපි මේ බ්ලොග් අඩවියේ පාඨකයින් වගේම ගෝලයින්. අපි අපිට හැකි දේ හැකි පමණින් කරමු.

    ඔබතුමා කියපු එක වැරදි දෙයක් නිවැරදි කිරීම අවශ්‍යයි.

    "ඔබේ ලිපි නීරස නැහැ. ඉතා ප්‍රනීතයි" .. සමහර ලිපි විශේෂයෙන් බෞද්ධ ලිපි සංකීර්ණ බව හැබෑවක්.ඒත් ඒ අන්තර්ගතයේ ස්වභාවය මිසක් ඔබතුමාගේ ලිවීමේ අඩුපාඩුවක් නොවේ.

    ReplyDelete
  12. @ ගිම්හානි : අති විශිෂ්ඨයි... ඔහොම යං ..

    ReplyDelete
  13. නියම මාතෘකාවත් වෙද මහත්තයෝ... මම හිතන්නේ අපේ වර්තමාන තරුණ පරම්පරාව ආයෙත් ගොවිතැනේ අගේ වටහාගෙන තියෙනවා. අපි ස්වයංපෝෂිත ජාතියක්. අවුරුද්දක් බෝග නොවැව්වත්, කුඹුරු පාළු වෙලා ගියත් අපි බඩගින්නේ මැරෙන්නැති තරමට කන්න දේවල් තියෙනවා. අපිට පිටරට පටවන්න වුනත් වවන්න පුළුවන්. හරියට කරනවා නම්. මටත් ගොඩක් ආසයි පුංචි ගොවිපලක් කරන්න. කොළඹ අපිට ඕවට ඉඩ නෑ නොවැ. කවදා හරි දවසක ඇඹිලිපිටිය, කුරුණෑගල වගේ පැත්තකින් පුංචි ඉඩම් කෑල්ලක් අරන් වවනවා... වවන්නෝ දිනන්නෝ... හම්බ කරන් කන එක නම්බුයි නම් වවාගෙන කන එක...!

    ReplyDelete