මම කවදත් බොහෝ ආශාකල දෙයක් තමයි බුදුරජානන් වහන්සේගේ දේශනයේ යම් ඉගෙනීමක් ලබන එක. මගේ අධික කාර්ය බහුලත්වය නිසා නැතිවන මානසික සමබර බව නැවත ලබා ගන්නේ මේ විෂයට තිබෙන කැමැත්ත නිසා. ඒ අවස්ථාවල මගේ පහසුවට සාදා ගන්නා සටහන් මෙහෙම වෙලාවෙන් වෙලාව ඉඩ තිබෙන හැටියට ඔබට ලබා දෙන්න මම කැමතියි. කාට හෝ ප්‍රයෝජනයක් ලැබෙතැයි සිතනවා. මේ සටහන් වල යම් දෝෂයක් ඇතොත් මට දන්වන්න. අපි ඒවා නිවැරදි කරමු.
බුදු සමයෙහි පුද්ගල චරිත විභාගය
පුද්ගල පෞර්ෂත්ව විශ්ලේෂණයෙහි ප්‍රධාන තේමාව ලෙස චරිත විභාගය සැලකිය හැකිය. ආධ්‍යාත්ම ශික්ෂණය අරමුණු කොටගත් බුදු සමය චිත්ත සමාධි භාවනා විෂයෙහි පුද්ගල චරිත විභාගය අවධාරණය කොට තිබේ.
අංගුත්තර නිකායෙහි සරාග පුද්ගල සූත්‍රය
මුල් බුදු සමය තුලම එබඳු චරිත විශ්ලේෂණයක් පැවති බව අංගුත්තර නිකායෙහි සරාග පුද්ගල සූත්‍රයෙන් පැහදිලි වේ. බුදුන් වහන්සේ විසින් පුද්ගලයන් 04 දෙනෙකු ලෝකයෙහි විද්‍යාමාන බව පැවසූහ. එනම්
1. සරාගෝ - රාග සහිත පුද්ගලයා
2. සදෝෂෝ - දෝෂ සහිත පුද්ගලයා
3. සමෝහෝ - මෝහ සහිත පුද්ගලයා
4. සමානෝ - මානය සහිත පුද්ගලයා
(අංගුත්තර නිකාය 2 කොටසෙහි 134 පිටුව)
එසේම මෙම පුද්ගලයන් රාගයෙන් උපන් බවද, ද්වේශයෙන් උපන් බවද, මෝහයෙන් උපන් බවද, එබැවින් දුක් සහිත වූයේ මතු මෙහිද දුක වඩන කර්ම සිදු කරන බවද දැක්වූහ.
පාලි අට්ඨ කථා මාර්ගය
මුල් බුදු සමයෙහි විග්‍රහ වන පුද්ගල වර්ගීකරනයන් පදනම් කරගෙන චරිත විග්‍රහ කරනු ලබන්නේ පාලි අට්ඨ කථා මාර්ගයේය. එහෙත් අධ්‍යාත්ම ශික්ෂණයට භාවනා අරමුණක් ලබා ගැනීම සඳහා ආචාර්යවරයකු වෙත (කම්මට්ඨාචාර්ය වරයෙකු ) භාවනා යෝගී තැනැත්තෙකු පැමිණි කල්හි ඔහුට සුදුසු කමටහනක් ලබාදීම ආචාර්ය වරයාගේ වගකීම වේ. එහිදී යෝගාවචරයා සඳහා සුදුසු කමටහනක් ලබාදීම සැලකිය යුතු කරුණකි. ආචාර්ය වරයා පලමුව යෝගාවචරයා නිරීක්ෂණයට ලක් කරනු ලැබේ. එම නිරීකෂණය කිරීමේදී කරුනු කීපයක් පදනම් කර ගනී.
1. ඉරියව් පැවැත්වීම - ඉරියාපථෝ
2. ඔහු විසින් කරනු ලබන කටයුතු - කිච්ච
3. ඔහු විසින් ගනු ලබන ආහාරය.
4. පෙනෙන බාහිර ලක්ෂණ
5. ගති පැවතුම් - ධම්ම පවත්තිනෝ
යන කරුණු ඇසුරින් භාවනාලාභියාගේ චර්යාවන් නිරීක්ෂණය කරයි. ආචාර්යවරයාගේ සියුම් නිරීක්ෂණයට අනුව යෝගාවචරයා කිනම් චරිත ස්වභාවයකින් යුක්තදැයි හදුනා ගනී.
විශුද්දි මග්ගයෙහි කම්මට්ඨාණ ගහණ නිද්දේසය
බුදු සමයෙහි චරිත විශ්ලේෂණය විශුද්දි මග්ගයෙහි කම්මට්ඨාණ ගහණ නිද්දේසය තුල විශේෂයෙන්
විස්තර වේ. ඒ අනුව පුද්ගල චරිත ප්‍රභේද තුනක් හදුනාගත හැකිය.
1. ක්‍රමය
(1). රාග චරිත
(2). දෝෂ චරිත
(3). මෝහ චරිත
(4). සද්ධා චරිත
(5). බුද්ධි චරිත
(6). විතක්ක චරිත
2. ක්‍රමය
(1). රාග දෝෂ චරිත
(2). රාග මෝහ චරිත
(3). රාග දෝෂ මෝහ චරිත
(4). දෝෂ මෝහ චරිත
(5). සද්ධා බුද්ධි චරිත
(6). සද්ධා විතක්ක චරිත
(7). සද්ධා බුද්ධි විතක්ක චරිත
(8). බුද්ධි විතක්ක චරිත
3. ක්‍රමය
(1). තන්හා චරිත
(2). මාන චරිත
(3). දිට්ටි චරිත
වශයෙන් තවත් ප්‍රභේදයකි. මෙහි තන්හා යනු රාගයමයි. එබැවින් මානයද රාගය හා සමග යෙදේ.එබැවින් රාග චරිතයම මෙහි කියනු ලැබේ. දිට්ටි යනු මෝහය පදනම් කොටගෙන ඇත්තකි. එබැවින් දිට්ටි චරිත යනු මෝහ චරිතම සලකනු ලැබේ. මෙම ප්‍රභෙද කථනයේදී බුද්ධඝෝෂ ආචාර්ය වරයා ප්‍රකෘති මූල ස්වභාවයන් පදනම් කොට සංක්ෂේපයෙන් චරිත ප්‍රබේද 6ක් පමනක් විශ්ලේෂණය කොට තිබේ.
මූලික සූත්‍ර දේශනා සහ පුරාණ ආචාර්යවරුන්ගේ අදහස් අනුව චරිත විනිශ්චය.
මෙම විග්‍රහයට අනුව චරිත විනිශ්ච කුසල මූල හා අකුසල මූල සංකල්පය ලෙස හදුන්වයි. මූලික බුද්ධ
දේශනාව තුල සාමාන්‍ය පෘථක්ජන පුද්ගලයාට බලපාන ක්ලේෂ මූලයන් තුනකි.
1. ලෝභ
2. ද්වේශ
3. මෝහ
මෙම අකුසල තත්වයන්ට ප්‍රතිවිරුද්ධව කුසල මූලයන්ද 3කි.
1. අලෝභ
2. අදෝෂ
3. අමෝහ
මෙහි දැක්වෙන ලෝභ, ද්වේශ, මෝහ තත්වයන් වචනවල වෙනස්කම් හැර ඉහත දැක්වූ රාග චරිත, ද්වේශ චරිත, මෝහ චරිත වලට අතිශයින්ම සමානය. එහෙත් සුභ පක්ෂයෙහි දක්වන ලද
1. සද්ධා චරිත
2. බුද්ධි චරිත
3. විතක්ක චරිත
වෙනුවට,
1. අලෝභ
2. අදෝෂ
3. අමෝහ
යන කොටස් 3 දක්වා තිබේ.
ජීවත් වීම සඳහා අවශ්‍යවන මානසික තත්වයන් ලෙස සලකන විට කැමති දේ ලබා ගැනීමට පුද්ගලයා තුල පවතින මෙහෙය වීම ලෝභයද, අකමැති දේ ඉවත් කිරීමට ඔහු තුල ඇති ප්‍රවනතාව දෝෂ වශයෙනුත්, සැලකිය හැකිය. කෙතරම් උත්සාහ කලත් යමෙකුට කැමති සියල්ල ලබා ගැනීමට නොහැකි වීමත්, අකමැති සියල්ල ඉවත් කිරීමට නොහැකි වීමත් නිසා නිරන්තරව මනස තුල පවතින විපිලිසරභාවය නැතහොත් අවුල මෝහය වශයෙනුත් හදුන්වා තිබේ. වෙනත් ආකාරයකින් සඳහන් කරතොත් නිරන්තරව විපරීනාමයට බඳුන් වන ලෝකය තුල මිනිසා කැමති දේ කෙරෙහි ඇලීම ලෝභ වශයෙනුත්, අකමැතිදේට විරුද්ධ වීම දෝෂ වශයෙනුත්, හදුන්වනු ලැබේ. ලෝකයේ නිරන්තරව වෙනස් වන සුළු ස්වභවය නිසා ඔහුගේ ප්‍රතික්‍රියාවට අභිමත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ. අටලෝ දහමට අනුව කැමති දේ නොව අකමැති දේට මුහුන දීමට නිතර සිදු වේ. මේ නිසා ඔහුගේ මනස නිතරම අවුලෙන් යුක්ත වේ. එය මෝහයයි. ඒ නිසා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල පක්ෂයෙහි ලා සැලකේ. එහෙත් එහි ප්‍රති විරුද්ධ තත්වයන් නිසා (අලෝභ, අදෝෂ, අමෝහ ) මානසික අවුල සංසිදේ. එබැවින් අලෝභ, අදෝෂ, අමෝහ කුසල පක්ෂයෙහිලා සැලකේ. මෙහි ලෝභ, ද්වේෂ, මෝහ සම්පූර්නයෙන් ඉවත් කිරීම අර්හත් තත්වය සේ සැලකේ. එහෙත් සාමාන්‍යයෙන් ජනයා ලෝභ, ද්වේෂ, මෝහ හා අලෝභ, අද්වේෂ, අමෝහ තත්වයන් අඩු වැඩි වශයෙන් පවතී. මෙම තත්වය පදනම් කොටගෙන මෙම කරුණු 6 අධිකව පවතින තත්වයට අනුව චරිත වර්ගීකරන කරයි.........
මෙම චරිත වර්ග විනිශ්චයට අනුව ලෝභ චරිත ආදී වශයෙන් තීරනය වන්නේ පුද්ගලයාගේ උප්පත්ති අවස්තාවේදීමය. යමෙකුගේ උපත සිදුවීමට බලපානජනක කර්මය ලෝභාදී කරුණු 6 අතර පවතින උස් පහත් කම් අනුව තීරනය වේ.
උදාහරන වශයෙන්,
1. යම් කර්මයක් සිදු කරන අවස්තාවේ ලෝභය බලවත්ව අලෝභය දුර්වලව පවතී නම් දුර්වල අලෝභයට බලවත් ලෝභය ඉක්මවා ගමන් කල නොහැක. එබැවින් ඔහුගේ උපත ලොභ මූලිකව ඊට අයත් ලක්ෂණ වලින් යුක්තව සිදු වේ. මේ සමගම එම කර්මය සිදු කරන අවස්තාවේ අද්වේෂය බලවත් වූ විට ප්‍රඥාවත් පුද්ගලයකු බවට පත් වේ. එහෙත් ලෝභය බලවත් වූ නිසා සැපතට කැමති පුද්ගලයෙක් ලෙස ඔහු ක්‍රියා කරයි. අප සමාජයෙහි බොහෝ දැන උගත් කරුණා ගුනය ඇති ඇතැම් අය අධිකාම සුඛාස්වාදය කෙරෙහි යොමු වී සිටිනු දැකිය හැකිය.
2. ඇතැම් අවස්තා වලදී කර්ම සිදු කරත්දී ලෝභ ද්වේෂ බලවත් වී අලෝභ අද්වේෂ දුර්වල වී අමෝහය බලවත්ව යෙදේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අශා බහුල අමෝහ බහුල ප්‍රඥාවත් පුද්ගලයෙකු බිහිවීමයි. අප සමාජයේ ඇතැම් උගතුන් ධනය, බලය, වැනිදෑ කෙරෙහි ගිජු ලෙස හබා යනු පෙනේ. එසේම ඔවුන් ක්‍රෝධ පලිගැනීම් නැති තත්වයෙන් යුක්තය.
3. අධික ලෝභය සහිත අඤ්ඤාණ එහෙත් නොකිපෙන පුද්ගලයන් බිහි වීමට ලෝභ අද්වේෂ මෝහ බලවත් වූ කර්මයන් හේතු වේ.
4. ලෝභ ද්වේෂ මෝහ බලවත් වූ අලෝභාදිය බලවත් වූ අලෝභාදිය දුර්වල වූ කර්මයන් නිසා ලෝභ ද්වේෂ සහිත අඤ්ඤාණ පුද්ගලයන් බිහි වේ.
5. අලෝභ ද්වේෂ මෝහ බලවත් වීමෙන් කෙලෙස් අඩු ද්වේෂ සහිත, මුලාව සහිත එහෙත් දිව්‍යමය අරමුනකින් පවා නොසැලෙන පුද්ගලයකු බිහි වේ.
මේ අයුරින් ඉහත දක්වන ලද ලෝභාදී කරුනු 6 අන්‍යයෝන්‍ය වශයෙන් විශමව පැවතීම මුල් කොට ගෙන විවිධ චරිත බිහිවන බව මෙයින් පැහැදිලි වේ. මෙහි සදහන් වන පුද්ගල ජනක කර්මය අනිකක් නොව පුද්ගල චර්යාවයි. බුඩු සමය අපේක්ෂා කරන්නේ ලෝභ ද්වේෂ මෝහ දුර්වල වූ අලෝභ අද්වේෂ අමෝහ බලවත් වූ කර්ම සිදු කිරීමට පුද්ගලයා මෙහෙයවා, ඒ තුලින් දැඩි ආශා රහිත ද්වේෂ සහගත නොවන ප්‍රඥ්ඥාවත් චරිත බිහි කරලීමයි. ඉහත මුලින් දක් වන ලද චරිත විග්‍රහයෙහි,
1. බුද්ධි චරිත යනු ප්‍රඤ්ඤා චරිතයයි.
2. අලෝභ අද්වේෂ මූලික කර්මයෙන් ප්‍රභාවය වන්නේ ශ්‍රද්ධා චරිතයයි.
3. අමෝහය බුද්ධි චරිතයට පදනම වේ.
4. කාම විතර්ක ආදිය බහුල කර්මයන් නිසා විතක්ක චරිතය බිහිවේ.
මේ අනුව විවිධ චරිත බිහි වීමට ලෝභාදිය හේතුවන ආකාරය පැහැදිලි වේ.
( මජ්ජිම නිකාය - මූල පරියාය සූත්‍රය )
ආචාරුත් මත හා මානසික ලක්ෂණ
රාග චරිත
මායා බව, කපටි බව, මානය, පවිටුන්ට කැමැත්ත, විශාල ප්‍රමානයක් කැමති වීම, තෘප්තිමත් නොවීම, චපල බව, ආදී මානසික ලක්ෂණ දැකිය හැක.
ද්වේෂ චරිත
ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, ඊෂයාව, මසුරුකම, ආදී මනෝ මූලික ලක්ෂණ දැකිය හැක.
මෝහ චරිත
සිතෙහි හා කයෙහි මැලි බව, උද්ධච්ඡකම, කුකුස, සැකය, යමක් දැඩි ලෙස ගැනීම, එසේ ගන්නා යමකින් ඉවත් කිරීමට නොහැකි බව, ආදී ලක්ෂණ මෝහ චරිතයට දැකිය හැක.
සද්ධා චරිත
පරිත්‍යාගශීලීබව, උතුමන් දැකීමේ කැමැත්ත, ධර්ම ශ්‍රවනය, සතුට බහුල වීම, කපටි නොවීම, යහපත් දේ කෙරෙහි ප්‍රසාධය, යන ලක්ෂණ විද්‍යාමාන වේ.
බුද්ධි චරිත
කීකරු බව, යහපත් සිතුවිලි, ප්‍රමානයට ආහාර ගැනීම, මනා සිහිය හා නුවණ ඇති බව, නිදි වැරීම හෙවත් පුබුදු බව, සංවේග ඉපදිය යුතු තැන සංවේදී වීම, මානසික ඒකාග්‍රතාවය, යන ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.
විතක්ක චරිත
කථා බහුල වීම, සමූහයට ඇලීම, කුසලයට නො ඇලීම, සිත තැන්පත් නොවීම, අධිකව සිතීම, අධිකව වෙහෙසීම, පිලිවෙලකින් යුතුව කටයුතු කිරීම, යන ලක්ෂණයන්ගෙන් යුක්තව ක්‍රියා කරයි.
මේවා මෙම චරිතයන්ට හිමි ආචාරුත් මත හා මානසික ලක්ෂණයන්ය.
ඔබේ අනෙකුත් ලිපි වගේම වටිනා ලිපියක්.. මෙය නිවී හැනහිල්ලෙ නැවත වරක් කියවිය යුතුයි..
ReplyDeleteඕන් ලියලා තියෙන්නේ ඉතින්.. අපිට මොන අතකින්වත් බේරෙන්න
ReplyDeleteබැරි වෙන්නම.
විවේකීව නැවත කියවලා බලන්න ඕන....
ස්තුතියි.....
කියවන එකනං හරි කියමුකො . . . . ඒත් තේරුම් ගන්න එක . . . . .????
ReplyDeleteස්තූතියි. මේ පිටුව ඇස ගැසෙන්නේ තරමක් පමා වෙලා. හරිම වැදගත් නිතර නොකියවෙන දේ මෙලෙසින් මුණ ගැස්සුවාට ඔබට පිං
ReplyDeleteඑල කියන්නද පිං කියන්නද කියලා හිතා ගන්න බෑ....
ReplyDeleteමොනවා වුනත් හැමෝගෙම ඇස් අරවන ලිපියක්...
අපි- අපි ගැන දැනගන්නෙ නැතිව වෙන මොනවා ගැන දැනගත්තත් වැඩක් නෑ...
තමන් කවුද, තමන්ගේ හැකියාවන්- දුරවලකම් මොනවාද කියලා හරි අවබෝධයෙන් ගමන ගියොත් වරදින්නෙ නෑ කියලයි මම ඉගෙනගෙන තියෙන්නෙ....
දිගටම මේ වගේ සාරවත් ලිපි ලියන්න හැකිවේවා....
ඇල්කෙමියා
ඔබතුමාගේ ලිපිය නැවත නැවතත් කියවමින් තේරුම් ගැනීමට උත්සාහ ගත්තා. අපි හැමෝම තුල යම් කාල සීමාවක් තුල හෝ අඩු වැඩි වෙමින් මේ සියලු කරුනු තියන බව සත්යක්..සමහරුන් තුල ඉතාමත් වැඩියෙන් මේ මෝහය තියන බව අපිට සමාජයේ
ReplyDeleteදකින්නට ලැබෙනව. මානම් ගොඩාක් උත්සාහ ගන්නවා ජීවිතේ සමබර ලෙස ගෙනියන්න.
මේ වගේ ලිපි හරිම වැදගත්.දහම් දැනීමත් අපට අවශ්යයි. අපේ වැරදි හදාගන්න අපිට උපකාර වෙන අය අඩුයි.. අපේ ජීවිත වලට ලොකු අඩුවක් තියනවා හරි උපදේශනයක් නැති එක..හිත සමබරව පවත්වාගන යන්න උපකාර කරන ලිපි සතියකට වරක්වත් පලකරනවානම් ලොකුම පිනක්.
Weni,
ReplyDeleteඔබට ස්තුතියි!!
ගිම්හාණී,
ඔව් ඔව් අපි හැමෝම නොදන්නව වුනාට හොඳ සිහියෙන් ඉන්න කෙනෙකුට අපි ලඟ ඉන්න, අපිට කථා කරන, අපිට ලියන අය කවුද කියලා අදුනා ගන්න පුළුවන්. තව ඔබ මේ ලිපිය හොඳට මතක තබාගෙන සමාජයේ හැසිරෙන්න ඔය හැමෝම අපිට පේන්න ගන්නවා. ඔබගේ ඉල්ලීම පරිධිම සතියට එකක්වත් බෞද්ධ ලිපි ලියන්නම්.
ඕනයා,
බලමු මට විවේක තියන හැටියට මේ ලිපි තව විස්තර ඇතුව ලියන්න බලන්නම්. ඔබට ස්තුතියි!!
මටත් ඔබව මුන ගැසුනේ පසුවෙලා. දැන්නම් අතහැරෙන් නැහැ. ඔබගේ බ්ලොග් අඩවිය විශිෂ්ඨයි. ඔබට ස්තුතියි!!
ඇල්කෙමියා,
සතුටුයි ඔබ වැනි භෞතික දේ උගත් රසානඥයෙකු මෙසේ පැවසීම. ඔබට ස්තුතියි!!
Anithkona,
ReplyDeleteඔබගේ බ්ලොග් අඩවිය පසු වී තමයි මමත් දැක්කේ. නමුත් එය ඉතාමට් විශිෂ්ඨයි. ඔබගේ බස හැසිරවීම ආදිය ඉතා අගෙයි. මගේ ප්‍රධානම දුර්වල කමක් තමයි බස හැසිරවීම මගේ දුර්වලයි. ඔබ මා සිතන්නේ වෛද්‍යවරයෙක් බවයි, ඒ කෙසේ වුවත් ඔබට සමාජය වෙනුවෙන් යමක් කල හැකි අයෙක් බව නම් ස්තිරයි. ඔබට ජය පතනවා.
(සමාවෙන්න ඔබගේ නම කලින් කමෙන්ට් එකේ ලියවිලා නැහැ.
සමා වෙන්න ප්‍රමාද වී පැමිණියාට. ආයුර්වේද ලිපි වගේම මේ ලිපි මාලාවත් ඉතාම වැදගත්. අපිට මේ දේවල් ගැන කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. බොහොම පිං.
ReplyDeleteබොහෝම ස්තුතියි අවවාද අනුශාශනා වලට.
ReplyDeleteසමාජය ගැන හොද අවබෝධයකින් ඉන්නේ මේ වෙනකොට.
බ්ලොග් එකක් ලියන්නේ නැත්තෙත් ඒකයි. මේවා ඔක්කොම බැදීම් කියලා සිතෙන නිසායි.බ්ලොග් එකක් නැති උනාම ඕනම වෙලාවක යන්න පුලුවන් . .. සමාජයට යම් මෙහෙවරක් කරන ඔබ ඇතුලු අනිත් සහෝදර සහෝදරියන්ට පුලුවන් ආකාරයට දිරි දෙමින් ඉන්නවා.
ඔබතුමාට හැකියාවක් තියනවානම් අනිත් ලිපි අතරට ධනාත්මක ආකල්ප ගැනත් ලිපි ලියන්න.
ටිකක් වයසින් මුහුකුරා යනවිට මේ ධර්මතාවයන්වල නියම ප්‍රායෝගික තේරුම අවබෝධ වන්නට පටන් ගන්නව.ඔබ ලියූ සටහන්වලින් ඉරිද ඉස්කෝලේ ඉගෙනගත් දේ නැවත මතක් වෙනව එහි යතා තත්වය සහ ගැඹුරත් සමගින්.
ReplyDeleteමං හිතනවා අභිධර්මය හා පටිච්ච් සමුප්පාදය ආදී ධර්ම කාරනා නැවත ඉගෙනීමට, නුවනින් සලකා බැලීමට හොඳම කාලය, දැන් එළඹ ඇති බව.