Friday, July 22, 2011

පූති මුත්ත භෛසජ්ජ

මම අද කියන්න යන්නේ ඉතාම ආන්දෝලනාත්මක කථාවක්. මම හිතනවා බ්ලොග් අවකාශේ ඉන්න ජ්‍යේෂ්ටම අය මේ ගැන අහලා ඇති. ඒත් කාගෙත් පහසුව තකා මම මේ ලිපියේ ඒ අවශ්‍ය තැන්වල මූලාශ්‍රයන් සඳහන් කරන්නම්.

දෙවනි කාරණේ මම මේ කියන දේ වැදගත් වෙන්නේ අපේ දැණුමට විතරයි. එහෙම නැතුව හෙට ඉදලා මේක කරන්න කියලා නෙමේ මම මේ කියන්නේ. මෙහෙම ක්‍රමත් තිබුනා. මේ මේ අය ඒවා අනුමත කරලා තියනවා කියන එක සමාජයට ඒත්තු ගන්වන්න විතරයි. මොකද මේ මාතෘකාවෙන් තම ආචාර්‍ය උපාධිය කල ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. එතුමන්ගේ අවසරයක් ලබා නොගත් නිසා මම නම දමන්නේ නැහැ. නමුත් එහෙම අය ඉන්නවා.

අනිත් කාරනේ ත්‍රිපිටකය, බයිබලය ඉදලා නූතන වෛද්‍ය විද්‍යා වෙනතෙක් මේ මාතෘකාව ගැන පොත් පලවෙලා තියනවා. මම මේ පොත් වලින් වැඩි ප්‍රමාණයක් (අර ස්වාමීන් වහන්සේගේ උපාධි නිබන්ධනයත් ඇතුළුව.) කියවලා තියනවා. ඒ නිසා මම මේ ගැන ලියන්න නිසැකවම සුදුසුයි කියා මම හිතනවා.
හොඳයි දැන් අපි බලමු මේ මාතෘකාව ගැන,

1. පූති කියන්නේ සැරව, කුණු, අපුල කියන එක.
2. මුත්ත කියන්නේ මුත්‍රා කියන එක.
3. භෛසජ්ජ කියන්නේ බෙහෙත්, ඖෂධ කියන එක.
එතකොට පූති මුත්ත භෛසජ්ජ කියන්නේ අපිරිසිදු මුත්‍රා සහිත බෙහෙත නැත්නම් ඖෂධය.

දැන් බලමු මුත්‍රා ඖෂධයක් නම් මොන මුත්‍රාද කියලා,
1. අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන්ගේ මතය නම් මිනිස් මුත්‍රා කියන එක. එනම් ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා කියන එක.
2. හැබැයි ආයුර්වේදෙ මතය නම් ගෝ මුත්‍රා හෙවත් රතු වැස්සියකගෙන් ලබාගත් මුත්‍රා මෙලෙස ඖෂධ සඳහා සුදුසු බවයි.
3. අපේ මහා යතිවර රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ තම විනය කර්ම පොතේ 50 වන පිටුවේ ගෝ මුත්‍ර බව සඳහන් කරලා තියනවා.
4. බුද්ධ බේත නම් කෘතිය 2006 වර්ෂයේදී සම්පාදනය කල උ. ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්ව මුත්‍රා හෙවත් තමන්ගේම මුත්‍රා බව.

මේ මාතෘකාව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ පොත්,
(1) Wonders of Uropathy. Urine Therapy as a Universal Cure - By G.K. Thakkar - 1996
(2) The Golden Fountain. The Complete Guide to Urine Therapy. By Van Der Kroon - 1994
(3) The Water of Life. By J. W. Armstrong 1944
(4) The Healing Power of Urine Therapy. By Ingeborg Aiinmann 1993

බුදුරජානන් වහන්සේ ත්‍රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති )
පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238)

මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ,
පැවිද්ද, අරළු ගෝමුත්‍රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්‍ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය.

බුරුම රටේ මේ පූතිමුත්ත භෛසජ්ජය "ඵෙයා සේ" යනුවෙන් හදුන්වයි. එනම් අර්ථයෙන් බුද්ධ බේත යන්නයි.

ශුද්ධ වූ බයිබලයද මේ ගැන කථා කරයි. "Drink water from thy own cistern. Flowing water from your own well. proverb 5-15) එනම් නුඹ නුඹේම ශරීරයේ ජලය පානය කරන්න. යනුවෙන් මේ ගැන සදහනක් දැකගත හැකිය.

පූතිමුත්ත භෛසජ්ජය සාදාගන්නා පිළිවෙල,
ලොකු මැටි මුට්ටියකට අර්ළු ගෙඩි තලා ගෙඩිය පිටින්ම දමා, ඊට රතු එළදෙනකගේ හෝ ස්ව මුත්‍ර පෙරා, මුටිටියට එකතු කරයි.එම භාජනය පිරුනු පසු, තවත් මැටි භාජනයකින් වසා මැටි වලින් භාජන දෙක සවි කර, මැටි බැද, පසේ වලළලා, සති දෙකකින් ගෙන දියවූ අරළු වෙන්කර ගනී. ඇට ඉවත් කර පහලම මන්ඩි වැනි කොටස වෙනමද, දියර කොටස වෙනමද වෙන්කර ගන්නවා. උදේ හවස නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ ගුලි සාදා වළදා, පීරිසි කෝප්පයකින් භාගයක් පමන දියර පානය කරනවා. නොයෙක් රටවල මේ සාදාගන්නා පිලිවෙල යම් වෙනස්කම් පැවතුනත් ක්‍රමය සරලව ඕකයි.

මුත්‍රා ඖෂධයක් ලෙස යොදාගත හැකි අවස්ථා.
1. ඇස් රෝග
මුත්‍රා එවලේම ලබාගත් බිංදු කීපයක් ඇසේ දැවිල්ල, වේදනාව, නගන, ඇති විට ඇස සේදීම සඳහා යොදාගත හැක. සමහර පොත්වල ජලය බිංදු කීපයක් මිශු කිරීමටද උපදෙස් දී ඇත.

2. කණේ රෝග.
පැරණි මුත්‍රා කනේ දැවිල්ල, කැසිල්ල, වේදනාව, සියුම්ව කණෙන් ආගන්තුක ශබ්ද ඇසීම වැනි අවස්ථාවල යොදා ගනී.

3. නාස රෝග.
මෙහිදී නාසයේ මස් දළු ඇති වීම, පීනස, කෝඨර ප්‍රදාහය. නාසය සිරවීම වැනි අවස්ථාවලදී යොදා ගනී. මුත්‍රා ස්වල්පයක් උනු ජලය බිංදු කීපයක් මිශු කර නාසයෙන් උරමින් කටින් පිට කරන්න. සාමාන්‍යය සෙම් ප්‍රතිශ්‍යාව සදහටම දුරු වේ යැයි පවසයි.

4. දිව ආශ්‍රිත රෝග.
රස නොදැනීම, දත් කැක්කුම, පණු ගෙඩි, උගුරේ ආබාධ ඇති විට විනාඩි විස්සක් පමන පෙර පරිදි උනු ජලය මිශුකල මුත්‍රා කටේ තබාගෙන සිටීමෙන් සහනයක් දැනේයැයි පවසයි.

5. ශාරීරික රෝග.
ශාරීරික ශක්තිය, තාර්ණ්‍යය, රැක ගැනීම. සුළු සුළු ඇගේ අමාරු සඳහාත්, උදයේම පිටවන ඉතාම සාර මුත්‍රයේ මැද කොටස, එනම් මුලින් පිටවන කොටසත් අවසානයේ පිටවන කොටසත් අතර මැද කොටස යොදා ගනී. මේ මුත්‍රා පානය ආහාර වේලකට පැයකටවත් කලින් කල යුතුය.

6. හිසේ රෝග.
තට්ටය පැදීම, ඉස්-හොරි, හිස රදය, වැනි අවස්ථාවන් වලදී හිස පිරිමැදීමට භාවිතා කරයි. විනාඩි තිහක් පමණ එසේම තිබෙන්නට හරින්න. හොඳ නින්දක් ලබාගත හැක. හිසට සබන්, ෂැම්පු වර්ග මේ වෙලාවේදී භාවිතා නොකල යුතුයි.

7. කණ්හ රෝග - කම්මුල්ගාය.
ඉතා දරුණු ප්‍රථිඵල පිරිමින්ට අත්කරදෙන (මඳසරු වීම.) මෙම රෝගයේදී මුත්‍රා සහ ජලය 1:2 අනුපාතයට මිශ්‍ර කර කණ්මූලය දිනපතා සෝදන්න.

8. ඇඳුම රෝගය.
මුත්‍ර පානය සුදුසු බව කියයි.

පූතිමුත්‍ර භෛසජ්ජය ප්‍රයෝජනයට ගන්නා නොයෙක් ක්‍රම.
1. පානය.
ඉහත කියන ලදි.
2. ආලේපය
හිසට, ඇගපත රුදාවට, කැසීමට, ඉදිමුමට, වේදනාවට.
3. පත්තු ලෙස.
කැඩුම් බිදුම් අවස්තාවලදී නොයෙක් කැලෑ කොල සමඟ කොටා පත්තු ලෙස බැදීම.
4. වස්ති.
නොයෙක් උදර රෝග වලදී, මල බද්ධයට, වස විස කැවීම වලදී, උණුසුම ජලය සමඟ මිශ්‍රකර.
5. මුත්‍ර ද්‍රාවනයේ බැසීම.
ගුදගත රෝග, යෝනි රෝග අවස්ථාවලදී ඉතා ගුණදායක බව කියයි.
6. මුඛ රෝග වලදී ගණ්ඩූෂ කිරීම නැතහොත් කටේ පුරවාගෙන සිටීම.

මුත්‍රා පාන අවස්ථාවේදී ආහාර ගතයුතු පිලිවෙල.
1. වෙනත් කිසිම බේතක් ගැනීමෙන් වැලකිය යුතුය.
2. වඩාත් හොඳ වන්නේ එළවළු ආහාරයට ගැනීමයි.
3. මේ අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ඉතාමත් අකැපය.
4. පළතුරු, ධාන්‍ය, මීපැණි, ඉතා හොඳයි.
5. මත්පැන්, කෝපි, දුම්බීම, අධික ලුණු රස, මස්, කිරි ආහාර, ආම්ලික දේ අගුණයි.

මේ සියළු විස්තර තවත් හොදින් ඔබට දැන ගැනීමට නම් ඉහත පොත් සමඟ රාජකීය පණ්ඩිත මඩබාවිට විජයසෝම හිමියන් 1977දී ලියන ලදි, භාරත රෝග නිවාරණ විධි නම් පොතත් කියවන්න. අවාසනාවට මටද තවමත් මේ පොත සොයා ගැනීමට නොහැකි වුනා. පින්වත් ඔබ ලඟ ඇත්නම් මට දන්වන්න. කීයක් ගියත් ෆොටෝ කොපි කරගමි.(පොතට හානියක් නොවන ලෙස.)

පූතිමුත්‍ර භෛසජ්ජය ගැන මගේ මතය.
1. දැනට මේ ක්‍රමය ලෝකයට ගැලපේදැයි මට නම් සැකයි. හේතුව අපි කාලයත් සමඟ අපේ රුචි අරුචිකම් වෙනස් කර ගන්නා බැවින් වර්ථමාන සමාජය මෙය පිලිකුල් දෙයක් ලෙස සැලකීම. උදාහරන අද අපි ඉතාමත් නරක වචන ලෙස සලකනු ලබන ඇතැම් වචන අනුරාධපුර යුගයේදී ඉතාමත් බහුලව භාවිතා වූ වචන වීම.
2. මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතාමත් සංසුන් මනසකින් වැඩකල හැකි කය වෙහෙසා වැඩ කරන අයට වීම. දැන් එවැනි අය ඉතාමත් දුලභ වීම.
3. මත්පැන් දුම් වැටි භාවිතය බහුල වීම.
4. පරිසරය දූෂණයට ලක් වී තිබීම.
5. අපි නොයෙක් රසායනික ද්‍රව්‍ය නිතර ආහාරයට ගැනීම. මේ නිසා ඇතැම් රසායනිකයන් මුත්‍රා මඟින් බැහැර වන බැවින් මේ ක්‍රමයේදී ඒවා නැවත ශරීරගත වීමට හැකි වීම.


මෙවැනි හේතු නිසා පූතිමුත්‍ර භෛසජ්ජය අදට නොගැලපේ යැයි මම සිතමි.

24 comments:

  1. මෙහෙම දෙයක් තිබ්බයි කියලත් අදමයි දැනගත්තේ..........

    ReplyDelete
  2. මම අහලා තියෙනවා සමහර ඉන්දියානුවන් , එක් ප්‍රසිද්ධ අගමැති වරයෙක්ද ඇතුළුව දින පතා මිනිස් මුත්‍රා පානය කරනවා / කළා කියලා.

    ඒ වගේම නරි මුත්‍රා විෂ හරණයට භාවිතා කරපු අවස්ථාවක් ගැන පුවත් පාඨක කියවලා තියෙනවා.

    ඒත් ඒ ගැන , විශේෂයෙන් දෙවැන්න ගැන මම අවිශ්වාසයෙන් හිටියේ.

    ReplyDelete
  3. නිවැරැදි කිරීම : පුවත් පාඨක යන්න "පුවත් පතක" ලෙස නිවැරදි විය යුතුයි

    ReplyDelete
  4. ඉතා වැදගත් සාරගර්භ ලිපියකි. නව දැනුමක් ලැබීමි. ස්තූතියි.

    ReplyDelete
  5. හොද වේලාවට ඔබතුමා සදහන් කලේ හෙට ඉදන් මේක කරන්න එපා කියලා. හොද ලිපියක් අප බලාපොරොත්තුවන ආකාරයේ.
    මීට පෙර අසා තිබුනා පත්තුවලට, වස විස පානයකලාම මිනිස් මුත්‍රා හා ගව මුත්‍රා ගන්නා බව. ඉතින් ඇයි මේ රතු වැස්සියකගේ මුත්‍රා? කුමක්ද එහි ඇති විශේෂත්වය?
    අතීතයේ මිනිසුන්ගේ ආහාර රටාව සම්පූර්ණයෙන් වෙනස්. ඔවුන් දිනපතා කොලකැඳ හා ඔසුපැන් පානය කලා. වස විස ආහාරයට එකතු උනේ නෑ.සැර අහාරයක් ගන්නේත් තනුක කරලා. ඒ නිසා ඔවුන්ගේ මුත්‍රා බෙහෙත් සදහා යොදා ගන්නැති...
    නමුත් අද තත්වය බොහෝ වෙනස් වෙලා. අපි ගන්නේ ආහාර කියලා
    දැන දැනම වසවිස. ඇත්තටම මේ ආසනික් ප්‍රශ්නය උනත් හරිම විසදුමක් නැහැනේ. ගැටලුවක් තියනවානේ.
    මගේ දැනුමේ හැටියටනම් මට හිතෙන්නේ ආලේපනයක් වශයෙන්නම් තරමක් සුදුසු උනත්...
    පානයක් වශයෙන් නුසුදුසුයි කියලා. මේක මගේ අදසක් විතරයි.

    ReplyDelete
  6. මගේ මාමා කෙනෙක් හිටිය වෙද මහත්තයෙක්. එයා බෙහෙත් වගයක් ඇඹරුව මූත්‍රා දාල. ඒකට මූත්‍රා සැපයුවෙ මමයි. බුදු හාමුදුරුවොත් නර මූත්‍ර පානය කළ බව මම කියවල තියෙනව. එහි රත්ත්‍රන් ස්වල්පයක් අඩංගු වෙනවා කියන්නෙ ඇත්තක්ද.?
    ඔබ මේ කරන්නේ වටිනා මෙහෙවරක් කියල කියන්න කැමතියි.

    ReplyDelete
  7. @ ඉඳුනිල්
    තමන්ගේම මුත්‍රා පානය කලා යැයි ප්‍රකට වූයේ 1977-1979 කාලයේ ඉන්දියාවේ අගමැති වූ මොරාජී දේසායි මහතායි...
    වැඩි විස්තර මෙතනින්

    ReplyDelete
  8. That is true... Thanks for the news...

    ReplyDelete
  9. @තීර්ථ යාත්‍රිකයා : ස්තූතියි , මට අගමැති දේසායිගේ නම අමතක වෙලා තිබුනේ...

    දැන් හිතෙනවා, මම කියපු පුවත් පත ලිපියේ මුද්‍රණ දෝෂයකින් නර මුත්‍ර කියන එක නරි මුත්‍ර කියලා පල වුනාද කියලා.. මොකෝ අමාරුවෙන් හරි නරියෙක් අල්ලගත්තත් අපිට උවමනා හැටියට මුත්‍රා කරවගන්න එක හරි අමාරු දෙයක් නේ. :-)

    ReplyDelete
  10. මේ කතා ඇහුවමයි. හරිම රසවත්, දැනුම දෙන ලිපියක්. අන්තිමට ලියලා තියන ටික හන්දා කට්ටිය පාවිච්චි කිරීමෙන් වැලකී ඉඳීයි. පොඩ්ඩක් හිතන්ට තමන්ගේ නැතුව නිකංම මුත්‍රා කියලා තිබුනා නම් අද කාලේ ඒකටත් මොන ඉල්ලුමක් තියෙයිද?

    මටත් ආව ප්‍රශ්නයක් තමා 'රතු වැස්සිගේ' කතාව. අනෙක තමා ඔතන රතු විදියට හැඳින්වෙන පාට මොකක්ද?

    ReplyDelete
  11. පසුව මට හිතුනා මෙතන රතුවැස්සි කිව්වේ තරුන වැස්සි කියන එකටද කියලත්. මම වැරදිද දන්නේ නෑ

    ReplyDelete
  12. රතු වැස්සියක් කියන්නෙ? සුදුපාට වැස්සියකටද?

    මම් ටීවී ප්‍රෝගෑම් එකක දැක්කා අවුරුදු 13ට අඩු ගෑණු ලමයින්ගේ මූත්‍රා පානය කරනව කියල මොකක් හරි ලෙඩකට.ඒක ඇහුවේ ගොඩක් ඉස්සර,මේ පෝස්ට් එක ඒ මතකේ අලුත් කරා.

    ReplyDelete
  13. ඉතාම වැදගත් ලිපියක්.මම දන්න තරමින් තවමත් ආරණ්‍ය්ය වාසී හිමිවරුන් මේ බෙහෙත ප්‍රයෝජනයට ගන්නවා.මොකද මගේ ලගම යාඑවෙක් ඒ තැනකදී මේක පාවිච්චි කරල අරඵ ස්වල්පයක් ගෙදරත් ගෙනල්ල තිබුන...ඒ වගේම මේ යාඑවා තව පොඩි පොතකුත් ගෙනල්ල තිබුන මට මතක විදියට ඒ කෙන් කියවුනේ මේ මෑත කාලයේ කවුරු හරි කෙනෙක් පිලිකාවලට මේ බෙහෙත පාව්ච්චි කල බවක්....

    ReplyDelete
  14. ඒ යාඵවානම් කියන්නෙ තමන්ගෙම මුත්‍රා තමයි ගන්න ඕන කියල..

    ReplyDelete
  15. ඔය ඉතින් කොරල තියෙන්නේ.. චූ කොරලත් ඉවරයි.. අනෙ වෙද මහත්තයෝ කියන්න වචන නෑ. ඔබ තුමා ගේ මෙහෙවර සාරථක වේවා...!!!!

    ReplyDelete
  16. විෂ සරීරගත වුනාමත් මිනිස් මුත්‍ර බේතට ගන්නවාද? අර ගුරුසිංහ මහත්තයට උන වැඩේ වගේ මටත් වෙලා තියනවයි කියල ආච්චි කියනවා මතකයි.

    ReplyDelete
  17. මුත්‍රා මෙන්ම , අනෙකුත් ඖෂධ වල ඒ ඒ ගුණයන්ට හේතු වන රසායන සංයෝග හඳුනාගෙන ,මුල් ප්‍රභව වලින්ම හෝ වෙනත් ආකාර වලින් එවැනි රසයන් සංයෝග නිස්සාරණයෙන් ඖෂධ නිපදවා ගැනීමේ හැකියාවක්‌ තියෙනවා නේද?

    ආයුර්වේද ප්‍රතිකාර වලට කැමති අය වුනත් , ඒවා නොගැනීමේ ප්‍රධාන හේතු වලින් දෙකක් හැටියට මම හිතන්නේ ඖෂධ සොයා ගැනීමේ හා සකස් කරගැනීමේ අපහසුතා. මට හිතෙන්නේ එවැනි ගැටළු වලට විකල්ප විසඳුම් ලබා දෙනවානම් එය ආයුර්වේදය වඩාත් ප්‍රචලිත වෙයි කියලා.

    සමා වෙන්න මාතෘකාවෙන් පිට ගියාට....

    ReplyDelete
  18. මුත්‍රා ඖෂධයක් ලෙස භාවිතා කරනවා කියල මමත් කලින් අහල තිබුනා.ඇදුම රෝගයට මුත්‍රා පානය ඖෂධයක් කියල පැරණි සුබසෙත පත්තරයකත් තිබුණා මතකයි.මේ ලිපියේ සම්පූර්ණ විස්තරයක් තියෙන්නේ.

    ReplyDelete
  19. පූසා,
    ස්තුතියි!
    අළුත් දැණුමක් ලබා දීමට හැකිවීම ප්‍රීතියට කරුණක්.

    ඉඳුනිල්,
    ඔබගේ සියළුම කමෙන්ට් වලට මින් පිලිතුරු දෙන්නම්.
    1. ඔව් මොරාජී දේසායී තුමා. ඔබ දැනටමත් ඒක දන්නවා.
    2.නරි නෙමෙයි නර. ඒත් ඔබම ඒක නිවැරදි කර ගත්තා.

    3. ඔබ මාතෘකාවෙන් පිට ගියේ නැහැ. ඔබ කියන්නක් සැබවි. නමුත් ඒ ඖෂධය ඊට පසු ආයුර්වේද වෙන්නේ නැහැ නේද? ආයුර්වේද කියන්නේ මොනයම් ක්‍රමයකින් හෝ ස්වභාවිකව ඇති වූ ප්‍රභවයකින් ලබා ගන්නා මූල ද්‍රව්‍ය යොදා සකස් කල ඖෂධ වලට නේද?
    කෙසේ හෝ ඔබගේ මේ උනන්දුව ඉතා වැදගත්.
    ඔබ ඊලඟ ප්‍රශ්නයෙන් නඟන්නේ ඉතා වැදගත් කරුනක්. ඔබට කියන්න අද මම කලින් කියූ ආකාරයට ඖෂධ ලබාගෙන ස්වභාවිකත්වයට හානී නොවන ආකාරයට අද නවීන උපකරන යොදාගෙන ඖෂධ නිපදවීමේ හැකියාව අප සතුයි. ඒ නිසා තව දුරටත් අයූර්වේද බේත් ගන්න යනකොට බේත් දානන මල්ලක් ඔන වෙන්නේ නැහැ. සාක්කුවේ දාගෙන ඒමට හැකියි.
    ඔබට සුභ පතනවා. ඔබ වැනි ආයුර්වේද මිතුරන් ලැබීම මගේ වාසනාවක්.

    නිලූක,
    ස්තුතියි!
    ඔබ වෙනුවෙනුයි අප ලියන්නේ. ඔබට ඇති ගැටළු විසදා දීමට මට ලැබීම මගේ භාග්‍යයක්.

    ගිම්හාණී,
    ඔබ කියනදේ මට තේරෙනවා. එහෙම ලිව්වේ නැත්නම් හිතයි මම මුත්‍රා බොන්න ප්‍රමොට් කරනවා කියලා.
    1. රතු වැස්සියක් ගන්න හේතුවනම මම දන්නේ නැහැ.
    2. ඔබහා එකඟයි.
    ඔබ මුල සිටම මා දිරිමත් කලා. ඔබට ස්තිතියි.

    නිහාල්,
    මගේ මිත්‍රයා, මම ඔබට ස්තුතිවන්ත වෙනවා. සජීවී අත්දැකීමක් විස්තර කලාට. ඔබ මගේ පෝස්ටය ආලෝකමත් කලා.

    තීර්ථ යාත්‍රිකයා,
    ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි මිත්‍රයා.

    Manori,
    Thanks a lot. Manori I know you are very good friend of mine. Nangi ill wish you.

    පොඩි කුමාරිහාමි,
    ස්තුතියි. ඔබ දන්නවද මේක දැනටත් සිදු වෙනවා. ඔය ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා අතර, තව ඉන්දියාවේ සිටින යෝගීන් මේ ක්‍රමය ප්‍රයෝජනයට ගන්නවා. මට මුන ගැසී තිබෙනවා අයෙක් ඉන්දියානුවෙක් තමන්ගේ මුත්‍රා දිනපතා හිස්බඩ බොනවා. මම දන්නේ නැහැ ලංකාවේ මේ ක්‍රමය ප්‍රචලිත නැති වුනාට කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. හැබැයි මම අහලා තියන විදියට මේ අය බොහෝ කල් ජීවත් වෙනවලු.

    නදී,
    ඔව් මාත් අහලා තියනවා. ඔය අරාබීන් තමන්ගේ රහස් ලෙඩ සුව කර ගන්න යෞවනෝදයට පත් නොවූ ලපටි දැරියන්ගේ මුත්‍රා පානය කල බව. ස්තුතියි.

    ඇනෝ 01,
    ඔබගේ දැණුවත් කිරීමට ස්තුතියි.

    මාතලන්,
    ඔව් ඔව් පොඩි බිස්නස් එකක් කොර ගන්න බැලුවේ ඒකට උදැල්ල දැම්මා මේ මාතලං ගොයියා.
    ස්තුතියි මිත්‍රයා.
    ඇනෝ 02,
    ස්තුතියි. ඔබ මගේ ලිපියට සජීවී නිදර්ශකයක් වුනා. ඔව් මුත්‍රා ප්‍රතිකාරය විෂහරණයට ඉතා වැදගත් බව පොත පතේ සඳහන් වෙනවා.

    ජ්‍යෝතිෂලංකා,
    ඔබ මේ ගැන දැන සිටිය යුතුමයි. ඔබ අපි මේ රටේ නැති වී යන අපේ පාරම්පාරික දැණුම වෙනුවෙන් යමක් කල යුතුයි, ඔබ ඒ වෙනුවෙන් කරන මෙහෙය ඉතාමත් වටිනවා.

    ReplyDelete
  20. මේ ගැන බටහිර රටවල වෛද්‍යවරු පරීක්ෂන පවත්වලා තියනවද?

    මේ වගේම එක්, එක්, ලෙඩවලට ගත හැකි ප්‍රතිකාර ගැන ලියැවුනු රසවත් ලිපි ඉක්මනින් දැකගන්ට ලැබේ යැයි බලාපොරොත්තුවෙනවා..:)

    ReplyDelete
  21. සැහ් . . . අපරාදෙ . . . උදේ හවා මොන තරං නං වටින ඖෂදයක්ද අහක දාල තියෙන්නෙ . . . . .

    ReplyDelete
  22. අනේ මේවා හැමෝම දැන නොසිට්ය එක හොදයි කියලත් හිතෙනවා..
    නැත්නම් අපේ කට්ටිය මේවා ලස්සන ලස්සන බෝතල්වල දාල ලස්සන ලස්සා නම් දාලා මාර්කට් එකටත් දාවි.
    ඔබතුමාගේ ලිපිය දැක්කටපස්සේ ඒ කර්මාන්තෙත් පටන් ගනීද මන්දා....

    ReplyDelete
  23. අගය කිරීමට සිතුණු නිසා ලීෙවමි
    මම බ්ෙලාග් බැලීමට අලුත්මි
    ඒ නිසා වැඩිය කමෙන්ටු ෙනාදමමි
    නැවතත් ඔබ වෑයම අගයමි

    ReplyDelete
  24. අගය කිරීමට සිතුණු නිසා ලීවෙමි
    මම බ්ලොග් බැලීමට අලුත්මි
    ඒ නිසා වැඩිය නොලියමි
    නැවතත්
    අගය කරමි

    ReplyDelete