Wednesday, July 20, 2011

ආසනික් මාරයා වෙදගෙදරටත්.......

අද වෙනකොට රසායන විද්‍යාඥ්ඥයන්ට පමණක් නෙමෙයි මහජනතාවත් ආසනික් කියන ද්‍රව්‍ය ගැන සෑහෙන කුතුහලයකින් ඉන්න බව පේනවා. මොනවද මේ ආසනික් කියන කාරනය ආයුර්වේද විදියට කියන්න තමයි සූදානම.

අපි වගේ ගොඩ වෙද්දුත් මේවා දන්නවා,

ඒකනේ මේ ලියන්නේ.

අපේ රටට වුන විනාසෙට සුද්දට බැනලා වැඩක් නැහැ. අපිම ඇන ගන්න ඕනෙ හොද ටොක්කක් කවුරුත් බලන්නේ තමන්ගේ දේ වැඩියෙන් ප්‍රචාරය කරන්න. සුද්දත් එහෙමයි. අපිත් එහෙමයි. ඒකනේ අපි වෙනරටවල බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්නේ.
ඒක වැරදි නැහැ.

හැබැයි එන හැමදේම අපි ගන්න ඕනෙ කල්පනාවෙන්. අපිට හොද දේ ගන්නත් අපිට වැඩක් නැති දේ නොගෙන ඉන්නත් ගන්න දේ අපේ දේ එක්ක එකතු කරලා වැඩි දියුණු කර ගන්නත් අපිම තමයි දැන ගන්න ඕනේ.
මෙතනදි අපි පෙනේරයක් නොවී, කුල්ලක් වෙන්න ඕනෙ. එහෙම නැතුව අපිම හැමදේම ගෙන්නගෙන පස්සේ කන්වො කනවො කියල වැඩක් නැහැ. කාටවත් ඕනෙ නැහැ අපිව දියුණු කරන්න. ඒක අපිම කරගන්න ඕනේ.

දැන් කථාවට......

ආයුර්වේදෙ පාවිච්චි කරණ ද්‍රව්‍ය, කොටස් කීපෙකට බෙදන්න පුළුවන්.
1. ශාඛමය ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප්‍රතිකාර කරන.
2. පාර්ථිව ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප්‍රතිකාර කරන.
3. සත්ව ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ප්‍රතිකාර කරන.
මේ අවස්තා දැන් නම් එකටම තමයි යොදන්නෙ.

උදාහරණයක් ගත්තොත් මම නම් මේ ද්‍රව්‍ය හැමදේම අනුව සකස් කල ඖෂධ මගේ රෝගීන්ට පාවිච්චි කරනවා.

අපේ අද මාතෘකාවට අනුව අපි කථා කරන්නේ පාර්ථිව ද්‍රව්‍ය ගැන.
බටහිර වෛද්‍ය ක්‍රමයට ආසන්න නෑකමක් මේ පාර්ථිව ද්‍රව්‍ය යොදා සකස් කල ඖෂධ අනුව කරන වෙදකමට තියනවා. මේ වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේම තවත් එක දිගුවක් විතරයි මේක වෙනම වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි.
මේක බොහෝ දියුණු වූයේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඒ නිසා සිද්ධ වෛද්‍ය ක්‍රමය කියලා තමයි නම් තැබෙන්නේ. මෙහිදී වැඩියෙන්ම ප්‍රයෝජනයට ගැනුනේ පොලවෙන් ලබා ගන්නා ද්‍රව්‍ය හෙවත් පාර්ථිව ද්‍රව්‍යය. මේ වෙදකම රස වෙදකම කියලත් නම් කරනවා.
මේ රස වෙදකම තමයි අද රසායන විද්‍යාව කියන විෂයේ මූලාරම්භය. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියානු මහාද්වීපයට තම ආක්‍රමන ගෙනා විට එතුමා ඉන්දියානු ශිල්ප ශාස්ත්‍ර බොහෝමයක් තම දේශයට ගෙන ගියා කියන කාරණය අපි කවුරුත් දන්නවා. එතුමා සමඟ මහා දැනුමැත්තන් සංචාරය කල බවත් කියවෙනවා. මේ උගතුන් අතට පත් වූ රස වෙදකමේ රහස් ඒ හරහා යුරෝපයට ගොස් එතනින් ඇති වූ දියුණුව රසායන විද්‍යාවේ ආරම්භය සටහන් කරලා තියනවා. (මගේ ඉතාම ප්‍රිය විෂය වන්නේ මේ රසායන විද්‍යාවයි. මම ආයුර්වේද වෛද්‍යවරයෙක් වන්නේ රසායන විද්‍යාව නිසයි. පස්සේ කියන්නම් ඒ කථාව.)

ඉන්දියාවේ හතරවන හත්වන ශත වර්ෂයන්හි රජකල ගුප්ත රාජ සමයේ නාලන්දා විශ්ව විද්‍යාලයේ අධිපතිව සිටි (උප කුලපතී) භික්ෂුවක් වන නාගාර්ජුනපාදයන් වහන්සේ රස වෙදකමේ ප්‍රභලයෙක් වනවා.

පෙර කාලයේ වනෞෂධ වෙදකම ප්‍රභලව තිබුනත් පසුව වෙදකම දියුණුවන විට රත්‍රං, රිදී, රසදිය, තඹ, පාසානම් ආදිය ඖෂ්ධ වලට යොදාගන්නා ආකාරය මේ වෙදකමෙන් ඉගැන්වෙනවා. අදටත් මේ වෙදකම වැඩිය භාවිතයට ගන්නේ නැහැ. නමුත් ඉතාම සුවිශේෂී වෙදකමක් ලෙස මම නම් සලකනවා. මගේ වට්ටෝරු බොහෝ විට මේ ඖෂද සමඟ සැකසෙනවා. අද මේ ඖෂධ ඉතාම නිවැරදි ලෙස සකසන ආයතන පවා තිබෙනවා.

මේ වෙදකමේ තිබෙන ඉතාම සුවිශේෂී ලක්ෂණ තමයි,
1. ඉතා සුළු මාත්‍රාවක් යෙදිය හැකි වීම.
2. අරුචියක් නැති බව.
3. වහාම ගුණ දෙන බව.
4. රෝගයේ කවර අවස්ථාවක හෝ යෙදිය හැකි වීම.

ආයුර්වේදයේ දියුණුව පසුබා යන විට මේ අසීරු ක්‍රම කාලයේ කුරිරු හස්තයෙන් වැසී ගියත් අද නවීන දියුණුවත් සමග ඉතාම ඉහලින් වෙනත් වෛද්‍ය ක්‍රම හා එකතුව රෝග පලවා හැරීමේ සටනට එලබෙමින් පවතී.

දැන් අපි රස වෙදකම, පාර්ථිව ද්‍රව්‍ය සමඟ කරන වෙදකම, සිධ්ද වෙදකම එහෙමත් නැත්නම් සිංදූරම් වෙදකම කියන ආයුර්වේද වෙදකමේ මූලික අංගය ගැන යම් අවබොධයක් ලබා ගත්තා. එහෙම නම් අපි බලමු ප්‍රස්තුතියට අදාල ආසනික් ගැන.....

ආයුර්වේද රස වෙදකමේ මේ ආසනික් අඩංගු ද්‍රව්‍ය දෙකක් ඖෂධ නිෂ්පාදනයට එකතු කර ගන්නවා.
1. හිරියල් - As2 S3 Arsenic Trisulphate
2. මනෝශීල - As2S2 Arsenic Bisulphate

හිරියල්/ හරිතාල/ රත් හිරියල්
චීනය, පර්සියාව, ඉරාණය, ආදී රටවල පතල් ආශ්‍රයෙන් ලබා ගනී. පුරාණයෙහි වර්ණක ද්‍රව්‍යයක් ලෙසද යොදාගෙන ඇත. පරවි සංදේශයට අනුව ඒ කාලයේ නලලත තිලක තැබීමට යොදාගෙන ඇත. කාව්‍යශේඛරයට අනුව බිතුසිතුවම් ඇදීමට යොදාගත් බව පෙනේ. නාඩී හෙවත් ස්නායු බලකාරක වේ. ශරීර බලය ඇති කරයි. ආදියේ මැලේරියා උණට යොදාගත් ප්‍රධානම ඖෂධයකි. ක්ෂය රෝග සමනයට යොදා ගනී. ශරීරයේ රෝම ඉවත් කිරීමට ඉතා හොඳ ඖෂධයකි. ප්‍රමාණය නිසි පරිධි වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාලය පමණක් ගත යුතුය. අධික ලෙස ගැනීමෙන් වෘක්ක රෝග සෑදීමට ඉඩ ඇත.

හිරියල් තිබූ ලෙසම ඖෂධ පිණිස ගත හැකි නොවේ. ඒ ශුද්ධ කරගත යුතුය. ඒ සඳහා පුහුල් ගෙඩියක් ගෙන එහි කුඩා සිදුරක් විද හිරියල් පොට්ටනියක් බැඳ එම සිදුරෙහි බහා සිදුර වසා පුහුල් ගෙඩිය අඟල් 04 පමන ඉතිරිවනතෙක් ගින්නෙන් දවා ගැනීමෙන් ඉතිරිවන හිරියල් නැවත නැවතත් මෙසේම තුන් වරක් කිරීමෙන් පසු නිසි ලෙස ශුද්ධ වී ඇතැයි සැලකේ. තවත් ක්‍රම ඇත. මෙය වඩාත් ප්‍රචලිත ක්‍රමයයි.

මනෝශීල
නේපාලය, උත්තර භාරතය, කාශ්මීරය ආශ්‍රිතව පතල් වලින් ලැබේ.
මැලේරියා උණ, ආසාත්මික කැසීම්, ඇදුම රෝගයෙහි, රක්ත ශෝධනයට ආදී ලෙස මනෝශීලවල ඖෂධ ගුණ රාශියකි. ශරීරයේ වර්ණය ඇති කිරීම විශේෂ ගුණයකි. අවිධිමත් ලෙස ගැනීමෙන් වෘක්ක රෝග ඇති කරයි.
ශුද්ධ කර ප්‍රයෝජනයට ගැනීම සුදුසුයි.
එහිදී, වෙන වෙනම කීකිරිදිය යුෂ, කහ යුෂ, අමු ඉගුරු යුෂ, මිදි යුෂ යන මේවා සමඟ මිශු කොට පිලිවෙලින් රත් කිරීමෙන් ශෝධනය වේ. එවිට ඖෂධ පිනිස යෝග්‍යය වේ.

මෙවැනි ඖෂ්ධ රාසියක් මෙම රස වෙදකමේදී ප්‍රයෝජනයට ගන්නා අතර මේ වෙදකම ඉතා ආරක්ෂාකාරී ප්‍රයෝජනවත් වෙදකමක් වේ. ඉතා හොද ප්‍රතිඵල පෙන්වයි. වේගවත් රෝග සමණයක් පෙන්වයි.

මගේ කල්පනාව නම් නවීන වෙදකමත් රස වෙදකමත් අතර එතරම් වෙනසක් නැති බවයි.
කෙසේ හෝ දැන් ඔබ දන්නවා මේ ආසනික් ඔය කියන තරම් ප්‍රශ්ණයක් නොවන බව. ඒත් මෙතන තිබෙන ප්‍රශ්නෙ තමයි මේවා ශරීරයට ඇතුල් විය යුතු මාත්‍රාවක් වගේම යම් කාල සීමා නියමයකුත් තියනවා. ඒ වගේම යෙදීම ඒ ගැන ඉතා පලපුරුදු වෛද්‍යවරයෙක් විසින් කල යුතුයි .

එහෙම නැතුව කොම්පැණි පෝසත් කරන්න අපේ මිනිස්සුන්ගේ ඇඟට මේ දෙවල් ඇතුල් කිරීම නම් ඉතාමත් භ්‍යානකයි. ඒ වගේම මේ වැනි පරයේෂණ ඉතා විධිමත්ව කාලයක් ගෙන කිරීමත් ඒ ගැන ජනමාධ්‍යට කලින් විද්වත් සමාජයේ කථා බහට යොමු කිරීමත් වැදගත්.
නැත්නම් ඉතින්........

කිම බැඳිවල යන්නේ මං මුලා වුවන් සේ කියලා තමයි කියන්න වෙන්නේ!!!!

11 comments:

  1. ඔව දැනගෙන වෙන්ටෑ අන්දරෙත් පස් කෑවේ.. දැන් බලාන ගියාම ආන්ඩුව පොලොවෙ පස් කන්න කියයිද දන්නෙ නෑ.. විහිලුවට කිව්වෙ.. වෙනදා වගේම ඉතා වටිනා ලිපියක්...

    ReplyDelete
  2. "ස්වර්ණ භෂ්ම" කියන රස ඖෂධය ලංකාවෙදි ගන්න පුලුවන් තැනක් තියෙනවද ?... මට උවමනාවක් වෙලා ඉන්දියාවෙන් ගෙන්නගන්න සිද්ධ වුණා...

    ReplyDelete
  3. 1. ඉතාම කාලීන පැහැදිලි කිරීමක්.ඔබ තුමා කියන ආකාරයට මේ ආසනික් කතාවේ (වකුගඩු රෝග වලට මූලික හේතුව කියන මතය) යම් පදනමක් තිබිය හැකි බව පේනවා. එත් ඔවුන් තහවුරු කරන්න ඕනි ඒ ආසනික් නිසාම බව. මොකද ඒකට කැඩ්මියම් වගේ බැර ලෝහත් හේතු වන බව සමහරු කියනවනේ..

    2. මම අපේ ප්‍රදේශයේ තියෙන පැරණි බෙහෙත් ශාලාවක දැකලා තියෙනවා පාසානම් වර්ග කිහිපයක් බෝතල්. මට එයින් මතක වර්ග දෙක තමා "නයි පාසානම්", හා "ගරුඬ පාසානම්" . මේවාගේ ඇති වෙනස කුමක්ද?

    ReplyDelete
  4. එකක් මතක නැති වුනා. ආසනික් කණ්ඩායම කියන්නේ කැල්සියම් ආසනේට් ගැන. ඉන් ශරීරයට ඇති වන බලපෑමක් ගැන වාර්තා වී තිබෙනවාද?

    ReplyDelete
  5. Gimhani
    මේ ආසනික් ඖෂධයක් වගේම තීන්තවල පාට මතුකර ගැනීමටත්,
    වීදුරු නිශ්පාදනයටත් යොදා ගන්නා බව අසා තියනවා. පාසානම් යනුවෙන් අප ජනවහරේ බාවිතා වන්නේත් ආසනික් වලට කියා අසා තියනවා ( මා වැරදිනම් නිවරදි කරන්න.)

    කෙසේනමුත් නියමිත මාත්‍රාවට අනුව යොදාගන්නවානම් ඉතාමත්
    වැදගත් මූල ද්‍රව්යක් බව ඔබතුමාගේ ලිපියෙන් දැනගත්තා.
    ස්තූතියි කාලීන මාතෘකාවක් ගැන පැහැදිලි කලාට.
    ජය!!

    ReplyDelete
  6. නාගර්ජුනපාදයන්වහන්සේ රසවෙදකම දැනන් හිටියයි කියල ඇහුවමයි. මේ ගැන තව ටිකක් විස්තර ලියන්න පුළුවන්නං වටිනවා.
    -පොඩිගමය

    ReplyDelete
  7. වෙද මහත්තයෝ
    නියම පෝස්ට් එකලගගග ඒත්, මේ දෙක වැරදියි.

    1.හිරියල් - As2 S3 Arsenic Trisulphate
    2. මනෝශීල - As2S2 Arsenic Bisulphate

    As2S3 - Arsenic Trisulfide
    AS2S2 - Arsenic Disilfide

    වෙන්න ඕන.

    මෙන්න ලින්ක් එක
    http://en.wikipedia.org/wiki/Arsenic_trisulfide

    නිවැරදි කරන්න....
    ඇල්කෙමියා

    ReplyDelete
  8. මුලින්ම මගේ මිත්‍ර ඇල්කෙමියාට.
    හදපිරි තුතිය ඔබට. වරද හදාගත්තා. මම මේ තොරතුරු ගත්තේ බෘහත් රසරාජ සුන්දරය කියන ඉන්දියාවේ පොතකින් එහි තිබුන හැටි. ඒත් ලිව්වේ මම නිසා අනේක වාරයක් ස්තුතියි. ඔබ හරි.

    මාතලන්,
    මිත්‍රයා අන්දරේට නෙමේ අපිටත් පස් කන්න වෙයි වගේ. එනපොට හොද නැත. කොහොම හරි ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

    මට මතක හැටියට,
    ඔව් ස්වර්ණ භෂම ලංකාවේ ගන්න පුළුවන්. තැන මම කියන්නම් ඊමේල් එකට එවන්නම්.

    ඉඳුනිල්,
    ඔබගේ ප්‍රශ්ණ වලට හොයා බලා පිලිතුරු දෙන්නම්. ඉතාමත් ස්තුතියි.

    ගිම්හාණී,
    ඔව් ඔබ හරි, ඉතාමත් ස්තුතියි.

    පොඩි ගමයා,
    බෘහත් රසරාජ සුන්දරය කියන පොතේ මේ ගැන සඳහන් වෙනවා. මේ පොත ලංකාවේ මුද්‍රනයක් තිබුනා1974. දැන් නම් ගන්න නැහැ. ඉන්දියාවේ ඕනෙ පදම් ගන්න පුළුවන් ඉතා වටිනා පොතක්. ඒත් අද මට තේරුනා මේකෙත් දැන් අළුත් සංස්කරණයක් අවශ්‍යයි කියලා. ඇල්කෙමියා කමෙන්ට් එක අනුව.

    ReplyDelete
  9. හොඳ පැහැදිලි කිරීමක්, කමෙන්ට් වල ප්‍රශ්ණ ටිකට වෙනම පෝස්ට් එකක් කලොත් හොඳ නැද්ද ?

    ReplyDelete
  10. මනෝශීල කිව්වම කෝහේ හරි කලින් අහල තියෙනව කියල හිතෙනෙව, මං හිතන්නෙ මාර්ටින් වික්‍රමසිංහගෙ විරාගයේ අරවින්ද ගෙදර කාමරේට වෙලා පරීක්ෂණ කරමින් හිටිය වගේ මතකයි, මනෝශීලත් ඒ අතරෙ භාවිතා උනා.
    The acute minimal lethal dose of arsenic in adults is estimated to be 70 to 200 mg or 1 mg/kg/day.[11] Most reported arsenic poisonings are caused by one of arsenic's compounds, also found in drinking water, arsenic trioxide which is 500 times more toxic than pure arsenic.
    Drinking water
    Main article: Arsenic contamination of groundwater
    Chronic arsenic poisoning results from drinking contaminated well water over a long period of time. This is due to arsenic contamination of aquifer water.[13] The World Health Organization recommends a limit of 0.01 mg/L (10ppb) of arsenic in drinking water. This recommendation was established based on the limit of detection of available testing equipment at the time of publication of the WHO water quality guidelines. More recent findings show that consumption of water with levels as low as 0.00017 mg/L (0.17ppb) over long periods of time can lead to arsenicosis.[14]
    From a 1988 study in China, the US protection agency quantified the lifetime exposure of arsenic in drinking water at concentrations of 0.0017 mg/L, 0.00017 mg/L, and 0.000017 mg/L are associated with a lifetime skin cancer risk of 1 in 10,000, 1 in 100,000, and 1 in 1,000,000 respectively. The World Health Organization contends that a level of 0.01 mg/L poses a risk of 6 in 10000 chance of lifetime skin cancer risk and contends that this level of risk is acceptable.[15]
    [edit]

    ReplyDelete
  11. ඔබගේ දැනුමේ හැටියට මේ වකුගඩු රෝගයට හේතුව කුමක්ද?කල හැකි ප්‍රතිකාර හෝ පිළිපැදිය යුතු පිළිවෙත් තිබේද?

    ReplyDelete