Monday, September 26, 2011

ශ්‍රී ලංකාවතුල ආයූර්වේදයේ අනාගතය සරුවෙයිද?

මම අද ලියන්නේ වෙනත් දෙයක් ගැන.

නමුත් සතියකට සැරයක් ගානේ විශ්වාරම්භය ගැන ලිපිය දමනවා………….

මම ආයුර්වේදයෙන් ඉගෙන ගත්ත ඉතාම වටිනා පාඩම ගැන තමයි ඔබට කියන්න සිතුවේ. 1988 මහා භීෂණයක් රටේ තිබෙන වෙලාවෙ තමයි මම මුලින්ම ආයුර්වේදෙට අවේ. එතනත් අවුල් බොහෝමයි ඒ කාලේ.....

අයූර්වේද විද්‍යාව තියා ඔය ගැන කිසිම දෙයක් මම දැනන් උන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට ආයුර්වේද විද්‍යාව, බුදු දහම වගේ විෂයන් සම්බන්ධව මගේ යම් කිසි මානසික පිබිදීමක් ඇති වෙමිනුයි තිබුනේ. මේ තීරනයට කිසිවෙක් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් දෛවය මාව එතැනට ගෙන ගියා. අවංකවම මා සහ මගේ සියළුම ලබැඳියන් අද සතුටු වෙනවා මා ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම ගැන.

ආයුර්වේදය කියන්නේ දාර්ශනික පදනමක් මත ගොඩනැගුණු විද්‍යාවක්. මෙහිදී ඉගැන්වෙනවා ප්‍රධාන කරුණු කීපයක්.

1. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව.
2. බටහිර වෛද්‍ය විද්‍යාවේ මූල ධර්ම.
3. පෙරදිග දර්ශනය.
4. සිංහල, සංස්කෘත, හින්දි වගේම ඉංග්‍රීසි භාෂාවන්.

මේ වගේ විෂයන් තමයි අපි මුලින් ඉගෙන ගන්නේ. ඔතන තිබෙන අමාරුම දේ තමයි භාෂා අධ්‍යනය. වසර තුනක් පමන කාලයක් භාෂාවන් ඉගෙන ගත යුතුයි. හැබැයි තුන්වන වසරෙදී පවත්වන පරීක්ෂණයෙන් භාෂා වලින් අනිවාර්ය්‍යයෙන්ම සමත් විය යුතුයි. එහෙම නැති කෙනෙකුට පංති සාමාර්ථයක් ලබා ගත නොහැකියි. අසමත් වුවොත් යම් හෙයකින්, අවසාන පරීක්ෂණය සමත් වීමට ප්‍රථම ඒවා සම්පූර්ණ කල යුතුයි. එහෙම නැත්නම් වෛද්‍ය සීමාවාසික පුහුණුව ලැබීමට නොහැකියි. ඒ භාෂා අධ්‍යනය.

ඊලඟට එන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙකෙදි. ආකාර කීපයකින් අධ්‍යනය කල යුතුයි.

1. ආයුර්වේද මූල ධර්ම.

2. ආයුර්වේද චිකිත්සාව. මෙහිදීත් මේ යටතේ අංශ දෙකක් අධ්‍යනය කරනවා.ඒ තමයි, ආයුර්වේද චිකිත්සාව හෙවත් ඉන්දියාවත් ලංකාවත් දෙරටම භාවිතා කරන ඉන්දියානු ක්‍රමය. ඊලඟට අපි අධ්‍යනය කරනවා. ලංකාවේ දේශීය ක්‍රමය. සාමාන්‍යයෙන් සලකන්නේ මේ ක්‍රමය ඉතා පැරණි ක්‍රමයක් විදියට. (මේ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා.) මේ දේශීය ක්‍රමය චිකිතාවන් ආයුර්වේද චිකිත්සාවන් වලට වඩා යම් තරමක් වෙනස්.
මේ සියල්ලම ප්‍රායෝගික පුහුණුවටත් සායණික පුහුණුවටත් යටත්. මේ යටතේ එන සියළුම විෂයන් ප්‍රායෝගිකව සායණික පුහුණුව ලබමින් ඉගෙනගත යුතුයි.
මේ කොටසටම අයත් තවත් එක් විෂයක් තමයි අෂ්ටාංග ආයුර්වේදය හෙවත්,
1.කාය චිකිත්සාව Medicine/
2. ශල්‍ය චිකිත්සාව Surgery
3. ශාලාක්‍ය E.N.T. (Ear, Nose, Throat)
4. අගධ තන්ත්‍රය Toxicology
5. රසායන තන්ත්‍රය Vitamin logy
6. වාජීකරණ තන්ත්‍රය Treatments for Infertility and sex
7. කෞමාරභෘත්‍යය හෙවත් ලමා සහ වනිතා රෝග. යන මේ විෂයන් අධ්‍යනය කල යුතුයි. Pediatrics , Gynecology and Obstetrics
8.භූත විද්‍යාව Para Psychology
මේ යටතේ, පෙර නම් ඉගැන්වීම් කර තිබුනත් අද යම් හැදින් වීමක් පමණයි කරන්නේ. මෙයට අයත් වන්නේ. ජ්‍යෝතිෂය. අපේ දේශීය යම් යම් යකදුරුකම් වැනි දේයි. නමුත් අද මේ ගැන අධ්‍යනය කිරීමක් නැහැ. මම නම් ඒ ගැන දුක් වෙනවා.

3. උද්භිද විද්‍යාව (Botany) සහ ආයූර්වේදීය උද්භිද විද්‍යාව. මෙකෙදි සියළුම ඖෂධීය ශාඛ සම්බන්ධව නිවැරදි දැණුමක් ලබා දෙනවා. ප්‍රායෝගික පුහුණුව සහිතව.

තුන්වෙනි කොටස විදියට එන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් විෂයන් අධ්‍යනය.
බටහිර වෛද්‍යවරයෙක් ඉගෙනගත යුතු
ඖෂධවේදය, Pharmacology
ව්‍යාධිවේදය, Physiology
ජෛව රසායන විද්‍යාව, Bio Chemistry
භෞතවේදය Pathology
කියන විෂයන් ඉගෙනීමට වෙනවා. මේවා පිළිබඳ ගැබුරු න්‍යායික පුහුණුවක් ලබා දෙනවා.

අනිත් කොටස වන පෙරදිග දර්ශනය කියන විෂයත් ආයූර්වේදය හැදෑරීමේදී ඉතාම වැදගත් වෙනවා. මෙහිදී පෙර ඉන්දියානු සමාජයේ තුබූ නොයෙක් දාර්ශනික මතවාදයන් පිළිබඳ ඉගෙනීමට ලැබෙනවා. මෙහිදී ෂඩ් දර්ශනය, වෛෂේශික දර්ශනය, සාංඛ්‍ය දර්ශනය, පදාර්ථ විඤ්ඤාණය, පංච වාදයන් වැනි විෂයන් ඉගෙනීමට වෙනවා.

මේ විෂයන් වසර පහක් ඉගෙනීම ලබා, ප්‍රායෝගික පුහුණුව, සායණික පුහුණුව සම්පූර්නකල පසු අවසාන විභාගය සමත් වී වසරක වෛද්‍ය පුහුණුවකින් පසු වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබෙනවා. මේවායේත් වෙනස් වෙනස් තත්ව තිබෙනවා. මා ඒ ගැන කලින් ලියා තිබෙනවා.

කෙසේ හෝ මෙවැනි අධ්‍යාපනයක් වසර පහක් ලැබීමෙන්ද ලියාපදිංචි සහතිකය ලැබීමෙන්ද සුදුසුකම් ලබන ආයුර්වේද වෛද්‍යවරයාට ඊට පසු තවත් ඉහලට හැකි නම් ඉගෙනීමට හැකියි. ඒ සඳහා ක්‍රම කීපයක් තිබෙනවා. මුලින්ම
1. Post Graduate Diploma
2. M. Phill
3. Phd
නැතහොත්
1. Post Graduate Diploma
2. M.D.
ලෙසත් ඉගෙනීමට හැකියි.මෙහිදී බටහිරට වඩා වෙනස්කම්ද තිබෙනවා. යමෙක්ට දාර්ශනික විෂයන් මඟින්ද තම සුදුසුකම් අවශ්‍ය නම් ලබාගත් හැකියි. තවත් යමෙක්ට අවශ්‍ය නම් සායනික පර්යේෂණ මඟින් ඉදිරියට යා හැකියි.

දැනට ඇති ආයූර්වේද විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන තුනේම සුදුසුකම් ලංකාවේ මෙන්ම ඉන්දියාවෙත් ඉහලින්ම පිලිගන්නවා. ඒ වගේම දැන් බටහිර රටවල වෛද්‍ය විද්‍යාල තමන්ගේම ආයූර්වේද දෙපාර්තමේන්තු ඇති කිරීමට උනන්දුවක් තිබෙනවා. ඒ නිසා බුද්ධි ගලනයට අනාගතයේදී ආයුර්වේදෙත් එක් වෙයි.

මට මෙතනදි කිව යුතු දේ මේකයි. ඔබ බලයි මෙතරම් දේ ඉගැන්වෙනව නම් ඇයි ලංකාවේ ආයුර්වේදෙ මෙතරම් පහලින් තිබෙන්නේ කියලා. ඇත්තෙන්ම එහෙම දෙයක් නැහැ. නමුත් අපේ රටේ තාමත් තියන්නේ සුද්ද හදපු නීති. අනික ආයූර්වේදෙට අමාත්‍යාංශයක් තිබුනට ඒක තියන්නේ අමාත්‍යාංශ ලිස්ට් එකේ අන්තිමට. බෙදලා බෙදලා ඉතිරිවෙන යමක් වෙතොත් මේකට ඉන් ටිකක් දෙනවා. අනික මේ ඉන්න නිලධාරීන්ට කිසිම දැනුමක් නැහැ ආයූර්වේදෙ කියන්නේ මොකක්ද කියලා.

අනාගතය බොහෝ පැහැදිලි විෂයක් තමයි ආයූර්වේදෙ කියන්නේ. නමුත් අපි මෙකෙන් ගන්න ප්‍රතිලාභයක් නැහැ. අපි කීප දෙනෙක් අපේ සුළු දැණුමෙන් කීයක් හරි හොයා ගන්නවා ඇරෙන්න අපෙන් රටට ලබා ගන්න දෙයක් නැහැ. අපි යමක් කරන්න හදද්දි වෙන්නේ ඒකට පොල්ල වැටෙන දෙයක් මුලට එනවා. ආයූර්වේදෙ කිසිම දුර්වලකමක් නැහැ. එහිත් වෙනත් විද්‍යාවන් වගේම යම් යම් සීමා තියනවා. හැකි නොහැකියාවන් තිබෙනවා. නමුත් හැකි ටිකෙන්වත් රටට මින් ප්‍රයෝජනයක් ගත යුතුයි. එහෙම නොවුනොත් තව ටික කලකින් බටහිර රටවලින් මෙහෙට ආයූර්වේද වෛද්‍යවර ඒවි. එහෙමත් නැත්නම් අපිට ආයූර්වේද බෙහෙත් ගන්න බටහිරට යන්න වෙයි. ඒක නම් ස්තිරයි.

හැබැයි රාජ්‍ය අංශයෙනුත් ආයූර්වේදෙට යම් නොසැලකීමක් තිබෙන බව මම නම් කෙලින්ම කියනවා. කලයුතු වන්නේ අමාත්‍යාංශයක් සැදීම නෙමෙයි. සෞක්‍යයට කොහෙද මොන රටේද අමාත්‍යාංශ දෙකක් තිබෙන්නේ? තිබිය යුත්තේ එක් සෞඛ්‍ය අමාත්‍යාංශයක් පමණයි. මේකෙන් වෙලා තියන්නේ රටේ සෞඛ්‍යට වෙන් කරන මුදලින් ඉතාම සොච්චමක් ආයුර්වේදෙට ලැබෙනවා. එතැන ඉන්න නිළධාරි උත්තමයන්ට පඩි ගෙවලා, තව තව වැඩ කරලා ඉතිරි වෙන දේ තමයි ආයූර්වේදෙට ලැබෙන්නේ. ඒකෙන් මොනවා කරන්නද ?

කිසිම පර්යේෂණයක් නැහැ. අපේ හැකියාව තිබුනට මදි ඒවා මාකට් කල යුතුයි. කෝ ඒකට සැලැස්මක්. මෙන්න මේවා වෙනස වෙනව නම් ආයූර්වේද වෛද්‍ය වරයාට පුළුවන් වෙනවා යම් සටනක් දීල තමන්ගේ විද්‍යාව උසස් බව පෙන්වන්න. දැන් මෙහෙම නම මේක වෙන්නෙ නැහැ. පුද්ගලික අංශෙ ඉන්න අය ඉහලට යන්නත් රාජ්‍ය අංශය පහලට යන්නත් හේතුව ඒකයි. ලංකාව ආශ්චර්ය්‍යය කරන්න ඕනෙනම් අපේ දෙවල් ඉදිරියට ගන්න. මෙහෙම හිතනකන් මම හිතන්නේ නැහැ අපිට ආශ්චර්ය්‍යය වෙන්න පුළුවන් කියලා.


මම අද මේ මාතෘකාවට පැමිණියේ දැන් උ/පෙ කරලා ඉන්න දරුවන්ගේ හිත සුව පිණිසයි. ඔබ ආයූර්වේදෙට තේරුනොත් බය නැතුව එන්න. අපි ඔබට උදව් කරන්නම්.

ආයුර්වේදය ගැන ලියූ කලින් ලිපි.

18 comments:

  1. නියම ආරාධනයක්. ඇත්තටම එහෙම දෙයක් නෑ. විදේශිකයිනටත් හොඳ වෙළද පොළක් තියෙනව. ඔබ තුමා දන්නවද දන්නේ නෑ. ස්පයිස් ගාඩ්න් කොන්සෙප්ට් එක මේක තමයි. නමුත් එතන නිය්ම ප්‍රමිතිය තියෙන්වද කියන්න මම දන්නේ නෑ. ඔය පානයක් තියෙන්නේ ඉහළ මධ්‍යම පන්තිය අතර ජනප්‍රිය. මිල ප්‍රශ්නයක් නෑ. බෙහෙතත් ජනප්‍රියයි. වෙද මහත්තයත් ජනප්‍රියයි. අනෙක මේ අලුත් සල්ලි කාරයෝ උන සමාජයේ මුල් තියෙන්නේ ගමේ. දේශිය දේ ගැන එයාලා කොහොමත් මනාපයි. මිළ වැඩිවෙන්න වැඩිවෙන්නා. අගය වැඩියි.

    ReplyDelete
  2. මහත්මයා, අතීතයේදී ආයුර්වේදයේ කොටසක්ව තිබුණු ශල්‍ය කර්ම නැවත ආරම්භ කිරීමේ හැකියාවක් නොමැතිද? ඉන්දියාවේ වත් මේ පිලිබදව උනන්දුවක් තිබේද?

    ReplyDelete
  3. යක්කල සහ කොළඹ හැර අනෙක් ආයුර්වේද විශ්ව විද්‍යාලය පිහිටවල තියෙන්නේ කොහෙද?
    අද තමය් දැනගත්තෙ ආයුර්වේද වයිද්‍යවරුන් ශල්‍ය කර්මත් කරන බව.

    ReplyDelete
  4. අපේ ආයුර්වේදය තුල අති දක්ෂ වෛද්‍යවරුන් ඉන්න බව මා නම් හොදින්ම දන්නවා. මොකද අද මා ජීවත් වෙන්නෙත් ආයුර්වේද ප්‍රතිකර්ම නිසා.
    කුඩා කල ඇතිවූ වකුගඩු අමාරුවක් නිසා ඉතාමත් අසාද්‍යව සිටි මාව බටහිර වෛද්‍යවරුන් යම් තාක් දුරට සුව කලත් නිට්ටාවට සුව කරන්න පුළුවන් උනේ නැ.
    මාව සුව කාලේ ආයුර්වේද වෛද්‍යවරියක්. මා ඇයට සදා ණය ගැතියි.
    බටහිට රටවල ආයුර්වේදයට ඉහල ඉල්ලුමක් තියන බව පේනවා. පසු ගිය කාලෙත් මා දුටුවා ජපානයේ මේ ගැන ප්‍රදර්ශන එහෙම තිබුන.
    අපේ රටේ තාමත් ආයුර්වේදයට නිසි තැන ලැබෙන්නේ නැ.ඇමතිවරයාගේ සිට සියළුම නිළධාරීන් මේ සදහා දැනුමක් වගේම අපේ දේ ගැන ආදරයක් තිබිය යුතුයි.ඇමතිවරු ඇවිත් ටික කලක් ඉන්නවා යනවා.අපි එක තැනමයි..
    .

    ReplyDelete
  5. වෙද අයියයට කියන්න මාත් ආසයි ඉගෙන ගන්න ආයුර්වේදය හෝ දේශීය වෙදකම,
    ඒක තමා හොඳම,
    මොකද නැත්තන් අපිඅට තියන්නෙ සුද්දො හදල එවන පෙති ටික ලෙඩ්ඩුන්ට දෙන්ටනෙ,
    පෙති නැත්තං අපිත් නෑ,
    ඒත් මුල් ක්‍රමයෙදි වෙදා බෙහෙත හදා ගන්ට ඕන,
    අනික මට ආසයි ජීවක වෛද්‍ය්යවරයාගෙ කතාව කියවනකොට,
    ඒ වෙදකම ඉගෙන ගන්න,
    ඒත් ඒක තියන්වද මංද.
    බලමුකො.
    ඒත් දැන් බොරු වෙද්දුත් ඉන්නවනෙ, ඒකත් ප්‍රශ්නයක්,
    කොහොම වුනත් දේශීය වෙදකමෙ ශල්‍යය වෛද්ය කොටස සුද්දොලු තහනං කොරෙ?
    ඒක් හරිද?
    ආහ් අර කටුවකින් කකුල විදින එක ඒකත් හරි පුදුම එකක්,
    කුමාරතුංග ශූරීන් ලීවෙ.
    ස්තූතියි.

    ReplyDelete
  6. ආයුර්වේදය වුවත් බටහිර වෛද්‍ය විද්‍යාවතුලින් වුවත් මා නොදකින්නාවූ එක දෙයක් ඇත. එනම් මාණව සන්නිවේදනයයි. මේ සන්නි වේදනය නොමැති නිසා බොහෝ රෝගීන්ට අපහසුතා පැනනගිනවා. අවාසනාවකට ඒවා යන්නේ තමාට වෙදකම් කරන වෛද්‍ය තුමා මතින්. බටහිර වෛද්‍ය ක්‍රමයට නම් මේක උගන්නල නැහැ. දැනට උගන්වනවද කියල මම දන්නෙත් නැහැ. මේකට පිලිතුරක් වශයෙන් මෑතකදී "රෝගියා කේන්ද්‍රය කොට ගත් වෛද්‍ය ශාස්ත්‍රයක් " සැම දියුණු බටහිර රටකම පාහේ පටන් ගත්තා. නමුත් ඒකට කාලය විශාල වශයෙන් වැය වෙනවා. ඒ නිසා ඒක උපන් ගෙයිම මියගියා. ඒක උගත් වෛද්‍ය වරුත් ආපහු අර පරණ ක්‍රමයටම බැස්සා. සාමාන්‍යයෙන් ලංකාවෙ ගැමියෙක් රෝග විස්තර කියන්නෙ බොහොම දීර්ඝ විදියට..."ඔන්න මහත්තයෝ ගිය මාසෙ පාලොස්වැනිද මම නාල තේබීල ඉඳගන්නකොට ආවෙ නැතෑ බඩේ අමාරුව. මම අරක බිව්වා, මේක බිව්වා, අඩුවුනේ නැහැ. තවමත් වෛද්‍ය වරයාට එයා උගත් ශාස්ත්‍රය අනුව මේකෙ අගක් මුලක් හොයාගන්න අමාරුයි. ඉතින් පෝලිමේ දිගත් වෛද්‍ය වරයාට පේනවා, එයාගෙ කෑමට යන්නත් ඕන, ඉතින් හදිසියෙන්ම වැඩේ ඉක්මන් කරන්න ඕන කියල සිතකුත් පහල වෙනව. මේකට පිලියම නම් පාලක මණ්ඩලය අතේ. වෛද්‍ය වරුන් මොනව කරන්නද? එයත් බඩගින්න දැනෙන, මහන්සිය දැනෙන මනුශ්‍යයෙක්. පාලකයො අත පිහිදගෙන පැත්තකට වෙනව. ඉතින් මේක කවදාවත් විසඳෙන් ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතන්නෙ ලංකාවෙ තියෙන සෑම වෛ‍ද්‍යය ක්‍රමයකම අඩුපාඩුවක් මේක. ප්‍රථමයෙන් වෛද්‍ය ශිෂ්‍යයන්ට රෝගීන් හා සානුකම්පිකව කථා කරන්න උගන්වන්න ඕන. ඒ අන්දමට රෝගියා හා එකමුතුව කටයුතු කරන කෙනෙක් තමයි වෛද්‍ය පැච් ඇඩම්ස්.http://sgunatunga.blogspot.com/2008/12/patch-hunter-adams.html

    ReplyDelete
  7. 8 අතෑරීම බලවත් වරදක්.

    ReplyDelete
  8. මේක බොහොම වැදගත් දැනුවත් කිරීමක්.

    මම හිතන්නෙ ආයුර්වේදය මිනිස්සු අතරට ගෙනියන්න නම් මම හිතන්නෙ මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි, සෞඛ්‍ය සේවයේ යෙදී ඉන්න අයගෙත් ආකල්ප වෙනස් කරන්න ඕන..බොහෝ විට බටහිර වෛද්‍ය විද්‍යාවට සම්භන්ධ සමහර අය ආයුර්වේදය ගැන බොහෝ විට දරන්නෙ අඩු තක්සේරුවක්. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් ගමේ හොර වෙදෙක්ගෙන් ගොඩ වෙදකම් කර ගැනීමත් උගත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගැනීමත් වෙනස් දෙයක් කියලා වටහා ගන්න ඕන..
    වෙලාවක මම ඔබ තුමාට කතා කරන්නම්කෝ.

    ReplyDelete
  9. මමත් ගොඩක් ආසයි ආයුර්වේදය ඉගෙන ගන්න..ඒත් ඒ ලෙවල් කරල අවුරුදු 10 කටත් වැඩියි නොවැ...හැබෑටම බැරිද අපිටත් මේ ආයුර්වේදය ඉගෙනගන්න.

    කුරුමිනියා.

    ReplyDelete
  10. මම එක් කරුණක් පැහැදිලි කරගැනීමට කැමතියි...

    ඔබ ඔය සඳහන් කර ඇති අංශවල කැඩුම් බීඳුම් වලට කරන වෙදකම් ගැන සඳහන් නොවන්නේ ඇයි... සහ.. කැඩුම් බිඳුම් වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ඒ වෙදකම පමනක් කරන්නේ ඇයි....?

    වැටීමකින් මගේ අතේ මැණික් කටුවේ ඇතිවුනු අස්ථි බිඳීමක් ඩුබායි වල සහ ලංකාවේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර සනීප කල හැකි නමුත් අත ස්වභාවික ආකාරයට හැසිරවීමට කිසිදාක නොහැකි වන බව කී පසු මා එයට සූදානම්ව ශල්‍යකර්මයකට මුහුණදීමට සිටිද්දී මගේ ඥාතීන්ගේ උනන්දුව මත පූගොඩ ප්‍රදේශයේ වෙදමහතෙකු වෙත ගිය පසු එතුමා විසින් සම්පූර්ණයෙන්ම සුව කල අතර සමහර විට ( කෙනෙකුට මේ කතාව කීමෙදී වැනි විටකදී )කැඩුනේ කොයි අතදැයි මටත් එකවර පැටලෙන තරමට අත සාමාන්‍යය....

    ...........

    පොඩි කරුණක්..

    // ව්‍යාධිවේදය, Physiology //

    ව්‍යාධිවේදය යනු කුමක්දැයි මා නොදනිමි... එහෙත් "ව්‍යාධි" යනු රෝග යන අදහසින් ව්‍යාධිවේදය යනු රෝග පිලිබඳව වූ හැදෑරීමක් විය යුතුයයි සිතමි... එහෙත් Physiology යන්න මගේ අවබෝධයේ තරමට රෝග ගැන හැදෑරීමක් නොව ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන හැදෑරීමේ විද්‍යාවයි...
    එතන යම් දෝෂයක් ඇති බව හැඟේ.... මා වැරදි විය හැක..

    ReplyDelete
  11. මුලින්ම සපතේරු උන්නැහැට,
    බොහෝම ස්තුතියි. මට පොඩි වැරදීමක් සිදු වුනා. එය නිවැරදි කිරීමට ඔබ්ගේ පෙන්වාදීම වැදගත් වූවා.
    - කායික විද්‍යාව ලෙස නිවැරදි විය යුතුයි. ඉන් හැගෙන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙනීමයි.
    ව්‍යාධි වේදය යනු ශාරීරික රෝග ගැන ඉගෙනීමයි තමා.

    අනික් ප්‍රශ්නේ, කැඩුම් බිඳුම කියන්නේ ශ්ල්‍ය විද්‍යාවට අයත් කොටසක් පමනයි. ඔය ඒ විෂය ගැන විතරක් වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යැ වරුන් ගැන මම කලින් ලියා ඇති. ඔවුන් එක් අංශයක් ගැන පමණක් ලියාපදිංචිය ලබාගත් පාරම්පාරික වෛද්‍යවරු. රටට බොහෝ සේඅවයක් මේ අය ඉතුකොට තිබෙනවා. හැබැයි නිසි අගැයීමක් සිදු වී නැහැ.

    ReplyDelete
  12. වෙදමහත්තයෝ...කොහොමත් අපේ ආයුර්වේද ක්‍රම චිරාත් කාලයක් පවතිනව....

    ReplyDelete
  13. සුපුරුදු ලෙස සියල්ලන්ටම එකට පිලිතුරු දෙන්නම්,
    මාතලන්,
    කියන්න, එක් කලෙක මම රජයේ රැකියාව කරන කාලෙ මගේ ආයතනයේ (මම ප්‍රධාන වෛද්‍ය නිළධාරී එතකොට ) රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ නිපදවීමත් කරනවා. හැබැයි අපි පිට අයටත් ඖෂධ අලෙවි කරනවා. මට එක් කන්ඩායමක් ගැන පොඩි සැකයක් ඇති වුනා. ඔවුන් අපේ සේවකයන් මාර්ගයෙන්, එක්තරා ඖෂධයක් අපේ ලේබල් නැතිව ලබා ගන්නවා කියලා. ඒ පාර මම බොහෝම සෝදිසියෙන් සිට මේ අයව අල්ලා ගත්තා. පස්සේ මට මෙයාල ඇත්තම කිව්වා. මේ අය ඔබ කිව් ස්පයිස් ගාර්ඩ්න් එකක් කරන අය. මේක රටට වටිනා දෙයක් බව මට හැඟුන නිසා මා මෙයට අධ්‍යක්ෂ මංඩල අවසරයක් ගෙන විධිමත් ලෙස කරගෙන යාමට සැලැසුවා. කොහොම හරි දිනක් ඔය පැත්තේ මා යන අතරේ මගේ රියදුරු මහතා මට දැන්නුවා අර ස්පයිස් ගාර්ඩ්න් එක ලඟින් අපි මේ යන්නෙ කියලා. ඒ පාර මම මේක බලන්න ගියා. ඔබ විශ්වාස කරනවද මුන් අපෙන් රුපියල් 110/= විතර ඒකාලෙ ගන්න බෙහෙත විකුනන්නේ කීයට කියලා? රුපියල් 12000/= හිතන්න පුළුවන්ද? සුද්දෝ වැද වැද ගෙනියනවා. මම විගහින් මේ ගැන නිසි පරීක්ෂණයක් කරලා අධ්‍යක්ෂ මංඩලය දැනුවත් කලා. ඒ පාර තමයි ඔය ස්පයිස් ගාර්ඩ්න් ලියාපදිංචි කරන නීතිය ආවේ. ඔන්න වැඩ. හැබැයි මෙය වටිනා සංකල්පයක්.

    ReplyDelete
  14. ඇනෝ -01,
    ඔව් ඉන්දියාව මේ ගැන පර්යේෂණ කරනවා. සත්තකින්ම පුළුවන්. ශල්‍ය කර්ම කල හැකියි. අපි එක් නිර්වින්දන වෛද්‍යවරියක් පුහුණු කලා. ඇයට බොහෝ බාධක ඇති කර අයිනකට දමා තිබෙනවා. මම දන්නේ නැහැ මෙහෙම වෙන්නේ ඇයි කියා. දැනට අපට ශල්‍ය පිළිබඳ එක් මහාචාර්ය්‍ය වරයෙකුත් සිටිනවා. ඒත් ඒ ගැන දැන් ඇති.

    ඔබා,
    මෙහෙමයි යක්කල, රාජගිරිය සහ යාපනයේ කයිතඩි කියන ආයතන තුන තමයි ලංකාවේ ආයූර්වේද විශ්වවිද්යාල තත්ත්වයේ තිබෙන්නේ.

    ගිම්හාණී,
    ඔබ හරි අපෙන් වැඩ ගන්නේ වෙන රටවල්. අපෙ මොකෝ මොකා වුනත් මනුෂ්‍යයෙක් කියන එකයි මට වැදගත්. ඒ නිසා මමත් දැන් වැඩ කරන්නේ එහෙමයි. පොඩි දුකක් තියනවා. මගේ රටට මගෙන් වැඩි වැඩක් වෙන්නෙ නැහැ. ඒත් අපිව වැඩ නැත්නම් අපි මොකද කරන්නේ.

    ගෝර්ඩෝනියා,
    ඔබ කැමති නම් ජීව විද්‍යාව ඉගෙනගෙන තිබේනම් විශ්වවිද්‍යාල සිදුසුකම් ලබා ඇත්නම් ඔබට ඉගෙනගත හැකියි. උත්සාහ කර බලන්න.

    සරත් ගුණතුංග,
    ඔබ කියන දේ පිලිගනිමි. ඒකයි මම කියන්නේ. නමුත් ආයූර්වේදෙ තිබෙනවා දූත ලක්ෂණ කියා ඉන් තමයි අපි දැන ගන්නේ රෝගියාගේ ස්වභාවය. තව තිබෙනවා රෝග රෝගී පරීක්ෂා විධි කියා ඉන් තමයි ඔබ කිව් සංනිවේදනය ලබා ගන්නේ. මෙය ඉතා දියුණු විද්‍යාවක්. හැබැයි දුර්වල කර තිබෙන්නේ විහින්.

    මාරයා,
    ඔව් සහතික ඇත්ත. තිබුනානම් අගෙයි.

    ලකී,
    ඔව් මිත්‍රයා මේකනේ වෙන්නේ මේ අය 1929 සුද්ධො හදපු පනතක වගන්තියක් තියාගෙන තමයි මේ හැම දේම කරන්නේ. නමුත් අපේ ආයූර්වේදෙට තාම බැරි වුනා ඒක ඉවත් කිරීමට බලපෑමක් කරන්න. එහෙම වෙනකම් මේවා එයාලට යටත් නීතියෙන්. අපි තීරන ගන්න තත්ත්වය හදාගන්න ඕනෙ. බලමු බලමු....

    කුරුමිනියා,
    කනගාටුයි. ඔබට දැන් අවස්ථාවක් නැහැ.

    ReplyDelete
  15. ආයුර්වේදය මීට වඩා මිනිස්සුන්ගෙ පිළිගැනීමට ලක් වෙනව තව හරි සංවිධානයක් තිබ්බනම්.
    අනික නිසි මෙඩිකල් ජර්නලිසිම් සහ නිවැරදි ගාමක/ පාලන යාන්ත්‍රනයක් නැති කමක් පිටින් ඉන්න අපිට දැනෙනව!

    ReplyDelete
  16. ඉන්දික උපශාන්ත,
    ඔබ හරි. මේ තීන්දු තීරන ගන්න අය මෙලෝ දානයක් නොදන්න උන්.

    ReplyDelete
  17. මට එච්චරටම වැදගත් නැති වුණත් ෆේස්බුක් එකේ මගේ යාළුවොත් එක්ක මේ ලිපිය බෙදාගත්ත.....
    ඒ අයගෙ ස්තූතිය මගේ ගානෙ ඔයාට....ස්තූතියි.....!!!!

    ReplyDelete
  18. 8 වෙනි කාරණය වර්ථමානයට එතරම් වැදගත් කමක් තියනවාද ???

    Bhool Bhulayya කියන හින්දි චිත්‍රපටිය හොයාගෙන බලන්න ඉන්දියානු ගුරු කෙනෙක් සහ බටහිර මනෝ වෛද්‍යවරයෙක් කියන දෙදෙනෙක් එකතුවෙලා රෝගියෙක් සුවපත් කිරීම තමයි මූලික කථාව . 8 වෙනි කාරණය හා බටහිර වෛද්‍ය ක්‍රමය කියන දෙකේම සුසංයෝගයක් එතන තියෙයි , වෙලවාක් තියෙයි නම් අනිවාර්යයෙන්ම හොයාගෙන බලන්න

    8 ගැන මගේ උත්තරය තියෙන්නෙත් එතන

    ReplyDelete