Saturday, September 24, 2011

විශ්වාරම්භය තුන ප්‍රකෘති සහ පුරුෂ……….

බොහෝ දිනක් අපි අපේ සුපුරුදු මාතෘකා වලින් බැහැරව සිටියා. ඒ මගේ පුද්ගලික දිවියේ ඇති වූ වෙනස් කමක් නිසා බව ඔබ සැම දන්නවා.

විශ්වාරම්භය පිළිබඳ බටහිර මත ගැන දැන සිටි ඔබට මම පෙරදිග මතයන් ගැන යම් අගැයීමක්, දැණුමක ලබා දෙන්නයි උතසාහ ගත්තේ. නමුත් මේ අනපේක්ෂිත තත්ත්වය නිසා එහි යම් බිඳ වැටීමක් සිදු වුනා. ඒ ගැන මගේ කනගාටුව.

මේ පෙරදිග දර්ශනය පිළිබඳව මා සිතූවාට වඩා මට ප්‍රතිචාරයන් ලැබුනා. සමහර මගේ මිත්‍රයන් මේ බ්ලොගය කියවන අය මට මේ ගැන දිගටම ලියන්න මාව දිරිමත් කලා. ඒකට හේතුව වුනේ අපේ විද්යාවන් පිළිබඳ අපි සිටින්නේ බොහෝ දුරස්ථව. කොටින්ම අපි ඒවා මිත්‍යා වලට දමා තිබෙනවා. නමුත් මම ඔබට මේ ලිපිපෙල අවසානයේ වටහා දෙන්නම් මේ බටහිර, පෙරදිග, සියළුම දෙනා පවසා ඇත්තේ එකම දෙයක් පිළිබඳව. මේවායේ ඇති ප්‍රශ්නය තමයි බටහිර සියල්ලම නිර්මාණාත්මකව වෙලදපොලට එනවා. නමුත් අපේ දෙවල් එහෙම නැහැ. අපේ අරුණි ශපීරෝ කියන මගේ ජ්‍යේෂ්ඨ සොයුරිය කියන විදියට එහි ඇති වරදක් මමත් දකින්නේ නැහැ. ඒත් දැන්වත් අපිත් මේ දේවල් පිළිබඳ ලෝකය දැණුවත් කල යුතුයි. මේ මාගේ පුද්ගලික මතයයි. අනික් කාරනේ මේ දෙවල් යම් මූල්‍ය අගැයීමකට ලක් කරන එක, මේවායේ චිර පැවැත්මට හේතු වෙයි කියලාත් මම හිතනවා.

ඒ නිසා අද පටන් මම එනවා විශ්වාරම්භයට......

අපි දැන් බලමු විශ්වාරම්භය ගැන තුන්වන සාකච්ඡාව. මම මේ මාතෘකාව ඉතාමත් දිගට යන නිසා කොටස් ගනනාවකින් තමයි කථා කරන්නේ.

දැන් එහෙනම් විශ්වාරම්භය තුන ප්‍රකෘති සහ පුරුෂ……….

ප්‍රකෘති.
අපි මුලින්ම කථා කලා ප්‍රකෘති කියලා කියන්නේ සත්ව රජස් තමස් කියන මානසික දෝෂ වල සාම්‍යාවස්ථාව කියලා. පෙර විසූ ඉතාම බුද්ධිමතුන් කොටසක් වූ වේදාන්තිකයෝ මායා යන නමින් ගත්තේද මේ මානසික ගුණවලම යම් යම් අවස්ථාවන් තමයි. මේ අවස්ථාවම න්‍යායිකයන් විසින් සහ වෛශේෂිකයෝ පරමාණු ලෙසත් ව්‍යවහාර කලහ. මෙය කාර්ය්‍ය නිපැදෙන ක්‍රියාකාරීත්වයෙන් තොරයි. ඒ නිසා ප්‍රභේද දෙකකි.

1. ව්‍යක්ත -
පුරුෂ හාසංයෝගයෙන් ක්ෂෝභයට පැමිණි බුද්ධියාදී වශයෙන් පරිණාමයට පත්වන ගුණත්‍රය ව්‍යක්ත වේ. එනම් ඒවා ඉන්ද්‍රියකින් විෂය කරගත හැකි නිසාය. ව්‍යක්තය භේද විසි තුනකි.

මහත් - 01
අහංකාර - 01
ඉන්ද්‍රිය - 11
පංචතන්මාත්‍ර - 05
පංචමහාභූත - 05

2. අව්‍යක්ත -සත්ව, රජස්, තමස්, යන ගුණත්‍රයේ සාම්‍යයාවස්ථාවයි. මෙම ගුණත්‍රය චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ට විෂය වීමක නැත.
මේ තත්වය මූල ප්‍රකෘතියයි.

සාංඛ්‍ය දර්ශනයේ එන ප්‍රකෘතිය තරම් විස්තර කිරීමට අපහසු දර්ශනයක් තවත් නැත. මෙය නිත්‍ය වූ, අවිඤ්ඤාණික, අචේතන, ජඩ පදාර්ථයකි. ජඩ යනු මුළු මහත් විශ්වයේම පැතිරුනු යනුයි. එනම් විශ්ව ආරම්භයේ මූල පදාර්ථයි. එම නිසා විශ්වයේ ඇති හැම වස්තුවක් කෙරෙහිම මේ ප්‍රකෘති බලපායි.

මෙය හොදින් තේරුම් ගන්න. විශ්වයේ මූල ධාතුව ප්‍රකෘතිය වන අතර විශ්වයේ ඇති හැම වස්තුවක්ම එහි විකෘතියකි. එනිසා මේ සියල්ල ව්‍යක්තයි. ප්‍රකෘතිය අව්‍යක්තයි.

විශ්වයේ ඇති සියළු වස්තු කොටස් තුනකි.
1. සීමිත
2. පරිමිත
3. අස්වතන්ත්‍ර

එම නිසා සියළුම ඒ වස්තූන්ගේ මූල කාරණය හෙවත් ඇති වීමට හේතු වූ කාරණය,
1. අසීමිතයි
2. අපරිමිතයි
3. ස්වතන්ත්‍රයි

එම නිසා ඒ අසීමිත, අපරිමිත, මූල කාරණය ප්‍රකෘතිය නම් වේ. සියළුම වස්තු සැප, දුක් හා මෝහය ඇති කරන සුළු වේ. මේ කරුණ නිසා ඉහත දැක්වූ ද්විවිධ (ව්‍යක්ත සහ අව්‍යක්ත ) භේදයන්ගේ ඝටනාව ඇති එක් මූල කාරනයක් අවශ්‍යයෙන්ම ඇති විය යුතුය. ඒ ඒකත්වය හෙවත් ගුණයන්ගේ අප්‍රකට අවස්ථාව, අව්‍යක්ත හෙවත් ප්‍රකෘතිය නමින් හැදින්වේ.

කාරණයක් ඇති කල්හිම කාර්යයක පැවැත්ම සිදුවේ. කාර්යය සිදුවන ශක්තිය එහි අව්‍යක්ත අවස්ථාව වේ. එහෙයින් සියළුම කාර්යයන්ගේ උත්පාදක වූ කිසියම් අව්‍යක්ත තත්ත්වයක් ඇතැයි සිතීමට හැකිය. එම කාර්යයන්ගේ අව්‍යක්ත අවස්ථාව ප්‍රකෘතිය වේ.

දැන් ඔබ දන්නවා අපි මේ කථා කලේ අභෞතික වූ, සංකල්පීය තත්වයන් කීපයක් ගැන බව. මෙහිදී කෙටියෙන් කිව්වොත් මේ සිද්ධ වෙන්නේ අභෞතික වූ අනුභූතියක් භෞතික ද්‍රව්‍යක් බවට පත් වීමයි. ඒ මේ අවස්ථාවෙත් තවම අපි ඉන්නේ අභෞතික තත්වයක. කොටින්ම තාම විශ්වය ඇරබිලා නැහැ. දැන් මේ සූදානම ඒකට.

ඊලඟට අපි බලමු මේ අභෞතික වූ අනුභූතීන් කොහොමද බෞතික බවට පත් වෙන්නේ කියලා. එන සතියේ ඒ කොටස එනකන් අපි හෙට අනිද්දට වෙන මාතෘකාවකින් මුන ගැසෙමු.

5 comments:

  1. මම රවුමක් ගහපු නිසා මිස් උන් ඔක්කොම බැලුවා. ඔහොම යමුකෝ. සෑහෙන අරිෂ්ඨ බොන්න වෙන මාතෘකාවක්..

    ReplyDelete
  2. කතාව රසවත් වෙන්න පටන් ගන්නේ දැන් ඉඳන් වගේ... ඉක්මනට ඉතිරි ටිකත් දන්න...

    ReplyDelete
  3. ඔබ කියන කරුණු කාරනා ගැන අපි මීට පෙර පුවත් පතක්වත් දැකලා නැහැ.. අපිට මේ කරුණු අලුත්ම දේවල් අපේ දැනුමට එකතුකරගත යුතු. බොහොම ස්තුතියි දැනුම බෙදාගත්තාට.
    ඉතිරියත් බලමුකෝ....

    ReplyDelete
  4. ඉතුරු කොටසත් බලමු තුන්පාරක් කියෝලා බැලුවා,,,වැටහීම පරක්කු උනු නිසා,,අලුත්ම දෙයක් ගැන නේ මේ දැනගන්නේ මීට ඉස්සල්ලා අහලවත් නෑ

    ReplyDelete
  5. මේක තේරුම් ගන්න නම් . . .
    - එක්කෝ ග්ලොසරියක් ඕනෑ
    එහෙමත් නැත්නං
    - තරලසාරය වගේ එකක් ඕනෑ
    එහෙමත් නැත්නං
    -මෘත සංජීවනී වගේ එකක් ඕනෑ

    ReplyDelete