Wednesday, September 21, 2011

ඔබ සැමට, මාගේ දිවියේ ඉතාමත් අපහසු අවස්ථාවක මට ඔබ ලබා දුන් දිරිය ඉතාමත් ස්තුති පූර්වකව භාරගනිමි.

මගේ පියා මට මව තරම් සමීප පුද්ගලයකු නොවූ නිසා මට මෙතරම් ඔහුගේ වියෝව දැනේ යැයි මම මොහොතකටවත් නොසිතුවෙමි. නමුත් අද මට එය එසේ නොවේ. "පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" යන බුදු වදන මට දැන් හොදින් වැටහේ. මගේ පියා ඉතාමත් උන්නතිකාමී පුද්ගලයෙක් වූවත් මව ඉතාමත් අවංක ගුණ ගරුක කාන්තාවක් වූවාය. උපතින්ම ඤාතීන් වූ ඔවුන් වසර 1966 දී විවාහ වී ඇත්තේ තම තනි කැමැත්තටයි. නමුත් තම පවුලට මගේ දෙමව්පියන් විශාල සේවයක් කර ඇත. තම නැඟනියන්, මලණුවන්, ආදීන්ගේ රැකියා, විවාහ ආදිය තනිවම කර දී ඇත්තේ මගේ පියායි. නමුත් මෑතක් වන තුරුම ඔහුගත් හදිසි විවාහ තීරනය ගැන නෑසියන් අතර තිබුනේ පහන් හැගීමක් නොවේ. ක්‍රමයෙන් අප වැඩෙත්දී මවට අපගෙන් ලැබෙන රැකවරනය හමුවේ පසු බා ගියත් එම නෑසියන් මගේ පියා සතුව තිබූ මගේ මව විවාහ කර ගැනීමේ දැඩි උවමනාව නිසා හැර දමා ගිය ව්‍යාපාර ගැන නන් දෙඩූහ. නමුත් පියා ඒ ගැන සිතූයේ තමන්ට එම වස්තුව මව තරම් නොවටිනා බවයි. එම තීරනයේ ඇති නිරවද්‍යතාවය වයස අවුරුදු 74 වී ජීවිතයෙන් සමු ගන්නා විටත් පසක් වන්නට ඇති බව මට හැඟේ. මගේ මව හා විවාහ වන්නට පෙර මපියා අති සාර්ථක ව්‍යාපාරිකයෙකි. තුරුණු වියේදී කාර් රේස් ආදියට සහභාගී වූ දැඩි විනෝදකාමියෙක් විය. නමුත් උගත් කාන්තාවක් වූ මගේ මවගේ ඇසුර නිසා වේගයෙන් මපියා වෙනස් වී ඇත. පසු කාලීනව ඔහුගේ දිවියේ තිබුනේ තම කුටුම්භය රැකීමේ අරමුණ පමණක් බව මම දනිමි. යොවුන් වියේදී දැඩි සේ මිතුරන් ඇසුරට යොමු වී තිබුනත් පසු කාලීනව මම දැනුවත්ව ඔහුට අතිෂයින් සමීපයන් කීප දෙනෙකු හැරුනු විට මිතුරන් සිටියේ නැත. හැම විටම තවකෙකුට උපකාරයක් කල හැකි නම් ඉන් තමාට වන පාඩුව ඔහු තැකුවේ නැත. 1977 පෙරලියත් සමඟ මෙරට තමන් කල සියල්ල හැර දමා විදේශ ගත වූ ඔහු නැවත මෙරට නවතින්නේ මගේ සහ මගේ සහෝදර සහෝදරියන්ගේ දැඩි බලපෑම නිසා 1999 පමණයි. වසරකට මාස කීපයක් මෙරට ගත කරන ඔහු අපේ අධ්‍යාපනය ගැන කිසිත් නොදැන සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ අප සැම දෙනා පංතියේ පලමු වැනියා වීම පමණි. මට දැඩි සේ ආදරය කල මපියා තමන් මෙරටට පැමිණෙන විට අපට ගෙනෙන තෑගි බෝග වලට අමතරව අනෙක් අයට සඟවා මට විශේෂ යමක් නිතරම රැගෙන ආවාය. මුලින් මගේ විවාහයට එතරම් කැමැත්තක් නොපෙන්වුවත් ඒ ගැන යමක් කෙලින් මට කිසිදා පවසා නැත. නමුත් පසුව මගේ බිරිද ඔහුට නියම යෙහෙලියක්ම විය. මට කථා නොකලත් ඇය සමඟ කථා කිරීමට අමතක කලේ නැත. කෙසේ වුවත් විශාල කළු පැල්ලම් කීපයක්ද ඔහු තම දිවියට එක් කර ගත්තේ අප සැම විශාල දුකට පත් කරවමිනි. මගේ සහ පියාගේ හැල හැප්පීම් වලට එය හේතුවක් විය. පසු කාලීනව එම සියළු ප්‍රශ්න වලින් ඔහු නිදොස් විය. මගේ මව මේ හැම විටම ගත්තේ පිය පාර්ශ්වයයි. කිසිවකුගේ බහකට ඇය කන් දුන්නේ නැත. පියාට දැඩි සේ ආදරය කල ඇය හැම විටම ඔහු පසු පසින් විය. දැඩි හිතැත්තෙකු වූ ඔහුව පාලනය කිරීම ඉතා අපහසු වුවත් මට සහ මවට ඔහු මෙල්ල කිරීමේ හැකියාව තිබිණි. මගේ වචනයකට පසු බා යන ඔහු මවට නිතැතින්ම මෙල්ල විය. සැමට හිත හොඳ මිනිසෙකු වූ ඔහුට තේරෙන ලෙස ලෝකය හැදින සිටියාය. ඔහුට අවශ්‍ය වූයේ අප මහා මිනිසුන් කිරීමටයි. නමුත් මාගේ ගමන් මඟට කිසිවක් නොකීවා පමණක් නොව ඒ දෙස උපෙක්ෂාවෙන් බැලීමටත් පුරුදු විය. කැපුවත් කොල ඔහු යුධ ජයග්‍රහනයත් සමඟ නිල් පාටින් බැලීමට යොමු විය. අප ඒ ගැන ඔහු හා කථා නොකල අතර දිවියේ අවසන ඔහු හැම දෙයකින්ම නිදහස් මිනිසෙකු ලෙස තම ක්ෂාන්තිය සොයා ගිය බව මට දැන් සිතේ. තනිව මගේ මව හා ඇරඹූ ඔහුගේ දිවිය දරුවන් සතර දෙනෙක්, බෑනන් යෙහෙලියන්, මුනුබුරු මිනිබිරියන්, ආදීන් අතර සතුටින් ගැවසුනත් අද ඔබ අප අතර නැත. ඔබද මෙදියත උපන් තවත් එක් මිනිසෙකි ඒ නිසා හොඳ නරක සම සමව ඇති අප හැම මෙන් ඔබද අතිශයින් සාමාන්‍ය තවත් එක් මිනිසෙකි. තවත් මිනිසෙක් ලෙසම ඉපිද අමා මහ නිවන කරා යන්නට ඔබ අප වෙනුවෙන් කල උත්තම කාරියම වුවත් සෑහේ පියාණෙනි.

20 comments:

  1. කතාව තදින්ම සිත් ගත්තා. ඔබේ පියානන්ට නිවන් සුව පතමි.
    මැණික්

    ReplyDelete
  2. ඔබේ පියාගේ ජීවිත කතාව මෙසේ අප හා බෙදා ගැනීම ගැන ඔබට ස්තූතියි. කාලයත් සමග ඔබේ වේදනාව තුනී වේවි. ඒත් ඔහු පිලිබඳ මතකය හැමදාමත් ඔබ තුල රැඳී පවතීවි.

    ReplyDelete
  3. නිවන් සුව පතමි.
    කැඵුවත් කොල නං 77 දී ඇයි ගියේ?

    ReplyDelete
  4. තාත්තගෙ ආදරෙ අම්මගෙ කිරිත් එක්කයි අපට ලැබෙන්නෙ කියල කතාවක් තියෙනවනෙ......

    ReplyDelete
  5. මේ කථාව බෙදාගැනීම පිලිබඳ සතුටුයි , ගොඩ දෙනෙකුට මෙහෙම කථා කිරීමේ හැකියාවක් නැ . ඔබේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  6. ඔබේ දයාබර පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.කෙතරම් මත ගැටළු තිබුනත් පියෙක් දරුවෙකුට මහමෙරක් වගේ. ඔහුගේ සොඳුරු තැන් ඔබගෙන් පිළිඹිඹු වෙන බව මෙම ලිපියෙන් දැනනවා.

    ReplyDelete
  7. දහසක් වැඩ රාජකාරි මැද්දෙ පියා පිළිබඳ මතකය අව්‍යාජව දිගහරිමින් අපි වෙනුවෙන් සටහනක් තැබීමට කාළය වැය කලාට ස්තූතියි....ගේ දොර කටයුතු සාමාන්‍යය තත්වයට පැමිණි පසු නැවත එන්න..

    ReplyDelete
  8. ඔබේ පියානන් පිලිඹඳ මතකයන් අපිත් සමග බෙදාගත්තාට ස්තුතියි . . . ඒ මගින් ඔහු පිලිඹඳ මතකයන් ඔබ සමග පමනක් නොව . . . .අප සමගද ඉතිරිවනු ඇත.

    ReplyDelete
  9. ඔබේ පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  10. ආදරණීයයකුගේ වියෝව තරම් දරා ගැනීමට අපහසු තවත් දෙයක් ඇත්නම්, ඒ එවැන්නකු දුක් විඳිනු බලන්නට සිදුවීම පමණක්ම විය යුතුයි.
    කාලයත් සමග බොහෝ වේදනා යටපත් වේ.
    ඔබේ පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  11. ඔබේ පියාණන්ට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  12. පෘතග්ජන වූ සෑම දෙනෙක්ම කරන දේවල් වෙන්ත දෘෂ්ටි කෝණයකින් බැලුවොත් වරදක් ලෙස කෙනෙකුට පෙනෙනු ඇත. නමුත් ඒ අවස්ථාවේ ගත් තීරණය වරදක් ලෙස එය කරන තැනැත්තාට නොපෙනෙයි. ඒ ලෝ ස්වභාවයේ හැටිය. ඔබේ දයාබර පියා දැන් අප අතර නැත. ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන් මෙලොවට දායක කල, මෙලොවට ජනිත කල උතුම් මිනිසාද ඔහුය. ඣෘත්ග්ජන වූ අපගේ වැරදි දෙස නොබලා, යම් කෙනෙක් මෙලොව හැර ගිය විට ඔහුගේ ගුණ පමණක් සිහි කල යුතුය. ඔබේ පියාණන් ගේ භව ගමන ඉක්මනින් කෙලවර වේවා! චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ! ඔබ සැමට තෙරුවන් සරණයි.

    ReplyDelete
  13. ඔබ තුමන්ගේ පියාණන්ට නිවන් සුව පතනවා.

    ReplyDelete
  14. මැණික්,
    ඔබට ස්තුතියි.

    පොඩිකුමාරිහාමි,
    කාලය අගනා ඔසුවක් බව දනිමි. ඔබට ස්තුතියි!

    කතන්දර,
    ඔය ප්‍රශ්නය මම ඔහුගෙන්ද අසා තිබෙනවා. 77 දී ඔහු කල සේවය වෙනුවෙන් එම රජයෙන් ඔහුට අවස්ථා කීපයක්ම දී තිබෙනවා. නමුත් තිබසම හොඳින් හැසිරවිය හැකි ඔහු තම නුවණින ස්ලකා බලා ඇත්තේ අපේ පවුලේ දේශපාලනය ඔහුගෙන් පසුව අවසන් විය යුතු බවයි. එම නිසා තම කීර්තිමත් (77 ආණ්ඩුවේ ප්‍රභලයෙකු වූ ඔහුගේ බාප්පාගෙන්ද වෙන්ව රට යාම යන විකල්පය තෝරාගෙන ඇත. අප දේශපාලනය කථා කිරීමද ඔහු රිස්සුවේ නැත. ඔහුගේ අවශ්‍යතාවය වූයේ අප උගතුන් වීමයි.

    පිසාචයා,
    සහතික ඇත්ත මල්ලී.

    බුවා,
    ඔව් මගේ ජීවිතයේ කිසිවක් සැගවිය යුතු නැහැ. මගේ නිගමනය ඒකයි. හොඳ නරක සාපෙක්ෂයි. ඔබ දන්නවනේ "නානාත්ත කායා නානාත්ත සංඤා" බුදු වදන එහෙමයි. ස්තුතියි!

    රූ,
    ඔව් ඔහු මිනිසුන් අතර සිටි විරල මිනිසෙක්. කාටත් දුර්වලකම් තිබෙනවා. ස්තුතියි!

    ලකී,
    මම දැන් සිට බ්ලොග් අවකාශයට එනවා. සියළු වැඩ අවසන්. ස්තුතියි!

    ඕනයා,
    කාරුණිකභාවයට ස්තුතියි.

    නදී,
    ස්තුතියි!

    නලිනි,
    ඔබට ස්තුතියි!

    දයියා,
    ස්තුතියි!

    සරත් ගුණතුංග,
    ඔබ තුමාට බොහෝම ස්තුතියි!
    මගේ පියා වැඩිපුරම හොඳත් අඩුවෙන් නරකත් තිබූ අයෙක්. මට නම් කියන්න ඇත්තේ ඔහුගේ හොඳම පමණයි.

    ඉඳුණිල්,
    ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  15. සංසාරේ පමණ කළ නොහැකි තරම් පියවරුන්ගෙන්, දැනට ,
    අවසාන පියාණන්,
    එතුමාට සුගතියට යාමට ලැබේවා.

    ඔබතුමගේ බ්ලොගය ආකර්ෂණීයයි,
    මටත් වෙද උපදෙසක් ගන්න පුලුවන්ද?
    gloriosa90@gmail.com

    ReplyDelete
  16. මම ඔබගේ පියා අහවලා යයි නොහඳුනමි. එනමුත් ඔහු අති සාමාන්‍ය ඒ වගේම විශේෂ පුද්ගලයෙක්, මෘත ශරීරය වෛද්‍ය විද්‍යාලයට පරිත්යාග කලා. ඒ වගේම අමතක කල නොයුතුයි, ඔහු පිරිමියෙක්. He is a man!

    ReplyDelete
  17. සමාවෙන්න මෙහෙම කිව්වට..
    ඔබේ තාත්තා නියම කොල්ලෙක්..
    කළු පැල්ලම් මොනවද කියල මට හිතා ගන්න පුළුවන්..
    ජීවීතය විඳපු පුද්ගලයෙක්..
    ඔබ පියා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනා සියළු පැතුම් ඉටුවේවා....!!!

    ReplyDelete
  18. ගෝඩෝනියා සෙලණිකා,
    ඔබට බොහොම ස්තුතියි. වෙනම ඊයක් එවා ඇත.

    දයාල්,
    ඇත්තෙන්ම ඔහු නියම පිරිමියෙක් තමයි.

    මාතලං,
    ඔව් ඔබ සිතුවා හරි ඒ කිසිවකින් මගේ මවගේ සෙනෙහස අඩු නොවුන එකයි පුදුමේ. හැබැයි ඔහු අපි කාටත් තදින් ආදර කල හොඳම පියෙක්.

    ReplyDelete
  19. මා මේ ලිපිය කියවා දැඩි සේ කම්පාවට පත් උනා ඇත්තම කියනවනම් කොමෙන්ට් එකක් ලියාගන්න බැරි උනා. ඒකට හේතු කීපයක් තියනවා.
    මේ අවස්තාවේ ඔබේ සිතේ ස්වාබවයත් හොදින් තේරුම් ගන්න පුළුවන්. මීට පෙර මම පොස්ට් කීපයකම දල ඇති අපි දෙමාපියන් ජීවත්ව සිටිද්දී ඔවුන් වෙනුවෙන්නොපමාව අපේ යුතුකම් කල යුතුයි. විශේෂයෙන් ඔවුන් ලෙඩ වූ අවස්තාවේදී. නැත්නම් ඔවුන් මියගියාට පසු අපිට වෙන්න දුක් වෙන්න. කාගෙන් ගැලවුනත් හර්ධ ශාක්ෂියෙන් ගැලවෙන්න බැහැ...හැමෝගෙම වැරදි තියනවා . පියත් ඔබත් අතර යම් ගැටුම් ඇති වූ අවස්තා ඇති . ඔබ දැන් ඒවාට දුක්වෙනවා ඇති. දැන් ඔබට ඔබේ මව ඉන්නවා. පිය නැති අඩුව ඔබලාට වැඩ ඇයට දැනෙනවා ඇති. ඇයව හොදින් බලාගන්න..

    පියාණනි මා නැවත උපන්නොත් අපර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා!!

    වෙනද වෙගේම අපි ඔබ සමග..
    ජය පතනවා....!

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete