Wednesday, May 2, 2012

අපේ අතීත ඛේදවාචකයන් සහ කන්ද උඩරට ගිවිසුම - 01

අද මම ඔබට මේ මාසය සදහා ගෙන එන පළමු ලිපිය ගෙන එන්නයි මේ සැරසෙන්නේ. මම සිතනවා වසරක පමණ මගේ බ්ලොග් ඉතිහාසයේ මම ගෙන එන ඉතාම සංවේදී කාරණයයි මේ ලියන්නට සැරසෙන්නේ.

සිංහලේ තම දීර්ඝකාලීන අගනුවර වන අනුරපුරය වසර 1400 පමණත්, ඒ අත අතහැරීමෙන් පසු රජරටම වූ පොළොන්නරුවටත් එතැන සිට නිරිත දිගටත් පසුව ක්‍රමයෙන් බටහිරටත් සංක්‍රමණය වුණා. කෙසේ හෝ මගේ කල්පනාව නම් අපේ අවසාන සිංහලේ රාජධානිය වන්නේ සීතාවක බවයි. කන්දේ නුවර හෙවත් මහනුවර අගනගරයක් ලෙස පිළිගන්නට මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව නියම රාජවංශිකයන් විසින් කන්දේ නුවර රාජධානිය පාලනය නොකිරීමත්, මුළු රටම ඉන් ආවරණය නොවීමත් කියන කරුණු. ඒ ගැන පසුව වෙනම ලිපියක් අපි ලියමු.

මෙහෙම නොයෙක් විපර්යාසවලට ලක්වුණු අපේ අගනගරය කෙමෙන් කන්දේ නුවරට පැමිණි ආකාරය ඔබ ඉගෙන ඇති කෙසේ හෝ මම මේ කතා කරන්න හදන්නේ ඒ අගනගරයේත් අවසාන සතිකීපය නැත්නම් දින කීපය ගැන බොහෝ දෙනෙක් නොදන්න රහසක් ගැන. මේක පටන් ගන්නේ ක්‍රි.ව. 1705 පමණයි. ඒ සදහා දායක වෙන පුද්ගලයන් අතරින් ජේකම් ගොන්සාල්වේස් කියන රෝමානු කතෝලික පූජකවරයා. මෙතුමා කන්දේ නුවරට බැල්ම දාන්නේ එහි දෙවන විමලධර්මසූරිය කියන නායකයා විසින් පාලනය කළ අවධියේදීයි.

මේ කතාවට ගොන්සාල්වේස් සම්බන්ධ නැති වුවත් ඉතාම කෙටියෙන් ඒ ගැනත් මම කියන්නම්. මෙතුමා ඉතාම සට කපට පුද්ගලයෙක් ලෙස කන්දේ පාලකයාගේ සිත දිනා ගැනීමට සමත් වෙනවා. මේ කාලය වන විට බෞද්ධාගමට ඇති ළැදියාව තම රජකම ආරක්ෂා කර ගැනීමේ ආභරණයක් වන තරමට පහත වැටී තිබෙන්නේ. ඒ නිසා කන්දේ පාලකයන් ආගම සලකන්නේ ජනතාවගේ සිත් දිනා ගැනීමේ ආයුධයක් ලෙස පමණයි. දෙවන විමලධර්මසූරියටත් ඒක එසේමයි. ඔහුගේ ආගමික ළැදියාව ඉතා අඩුයි.

මේ පාලකයාත් වෙනත් පසුව ඇති වූ කන්දේ පාලකයන් මෙන්ම තෑගිබෝග පිරිනැමීමෙන්, විශේෂයෙන්ම විදේශික මත්පැන් වලින් තම බසට නම්මා ගැනීමට මොවුන්ට හැකි විය. ඒ ඇසුර කෙතරම්ද යත්, තම ප්‍රධාන බිසවගෙන් නැතුව වෙනත් බිසවකට ලැබූ දරුවා වූ කුණ්ඩසාලේ කුමරුට අධ්‍යාපනය ලබාදෙන්නත් තෝරාගත්තේ ගොන්සාල්වේස් පියතුමාවයි. වසර 19 ඇවෑමෙන් මියගිය විමලධර්මසූරිය තම අනුප්‍රාප්තිකයා කරන්නේ මේ කුමරුවයි. නමුත් ප්‍රභූන් කිසිවෙක් ඊට කැමති වන්නේ නැහැ. ඒ හෙතුවෙන්ම පාලකයා හා ඇමතියන් අතර සියුම් නුරුස්නා බවකුත් ඇතිවෙනවා. කෙසේ හෝ මෙකල ගොන්සාල්වේස් ඉතා ප්‍රබල පුද්ගලයෙක් වෙනවා. මේ රජතුමාට සියලු දුසිරිත් පුරුදු පුහුණු වන්නේ මේ විදේශික ඇසුර හරහායි. ඉතාම නරක පාලකයෙක් වූ මොහු මෙරට නාමික රාජ්‍ය පාලකත්වයත් විදේශික ද්‍රවිඩයන්ට ලබාදෙනවා. ඒ ප්‍රභූන් හා පැවැති වෛරය නිසා. මෙන්න මේ ගැටලුව විසදීමට අපේ දේශප්‍රේමීන් ගත් නොයෙක් පියවරවල අවසානයේ පරාජය වන්නේ මුළු සිංහලේම විදේශික ඉතා ප්‍රබල සුදු අධිරාජ්යවාධීනට යටත් වෙමින් හා අපේ දේශීය දැනුම, අපේ සංකල්ප, අපේ දේ යැයි කිව හැකි සියල්ල සදාකාලයටම අපෙන් ඈත් කරවමින්.

මෙතැනදී විශේෂයෙන්ම කිව යුතු දෙයක්ද තිබෙනවා. එනම් මේ පාලකයා තම ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසන් කරනවා. ඒ ඔහු පෙලූ රෝගී තත්ත්වයක් නිසා. ඒ සම්බන්ධ තොරතුරු කියැවූ විට කෙලින්ම සිතෙන්නේ මොහි අධික දියවැඩියාවෙන් මෙනම සිරෝසිස් රෝගයෙනුත් පෙලුන බවයි. ඒ වගේම මේ සියළු රෝගයන්ට ප්‍රතිකාර කර තිබෙන්නේත් ගොන්සාල්වේස් පියනමට සිතූසේයි. එහි අවසන් පියවර වෙලා තිබෙන්නේ මේ රෝගයන්ගෙන් පෙලුන කුන්ඩසාලේ කුමරු හෙවත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ පාලකයා අවසන දියවැඩියා ගඩු ඇති වී ශරීරය වනවී ඉතාම නරක ලෙස අසාධ්‍ය වීමයි. කොටින්ම ඔහු සිටින තැන පවා දැඩි දුඟදක් තිබුනා යැයි කියවෙනවා.

මේ අවසාන සිංහල පාලකයායි. මෙලෙස වීමටත් හේතු වන්නේ මොහුට සිටි එකම පිරිමි දරුවාද ප්‍රභූන් විසින් මොහුට විරුද්ධව උසිගන්වා වී යැයි බියෙන් ඔහු අතින්ම මරණයට පත් කිරීමයි.

මා මේ ලිපිය ලිවීමට ගත්තේ මේ කතාව කීමට නොවේ වෙනත් වැදගත් හෙළිදරව්වක් කිරීමටයි. නමුත් ලිපිය දිගුවන නිසා ඒ ගැන ඊළඟට.


මේ ඛේදවාචකයට පාරකැපෙන්නේ මෙහෙම වුවත් මේකෙ නියම කුමන්ත්‍රණය හා ඒ සම්බන්ධ සිද්ධි තාමත් රහසක්. අන්න ඒ රහසෙන් යමක් ඔබට මම ඊලඟම ලිපියෙන් ගෙන එන්නම්........

61 comments:

  1. මෙ ලිපිපෙල වෙනම එකතු කරගෙන මුද්‍රනය කරගෙන නිවි හැනහිල්ලෙ බලන්න වටිනවා. ස්තුතියි මහන්සියට.

    ReplyDelete
    Replies
    1. මේක මේ නියම ලිපිය නෙමේ. මෙහි දෙවනි කොටස බලන්න.

      Delete
    2. අනිවාර්‍යයෙන්ම බලනවා ඒකයි කියූවෙ "ලිපි පෙල" කියලා

      Delete
  2. ගිය සැරේ ලිපියේ තිබුණු සැක තැන් කීපයක් අත හැරුණා.. අගේ ඇති ලිපියක්..

    ReplyDelete
    Replies
    1. මේක මේ නියම ලිපිය නෙමේ. මෙහි දෙවනි කොටස බලන්න. ඒත් මට හිතෙනවා ඔබ මේ ගැන යමක් දන්නවා ඇති කියා. අපි දෙවනි ලිපියේදී කතා කරමු.

      Delete
  3. ආසාවෙන් බලාගෙන ඉන්නවා රහස දැනගන්ට. :D

    ReplyDelete
    Replies
    1. රහස තව දුරටත් රහසක් විය යුතු නැහැ. අගතියට පත් පාර්ශ්වයට දැන් ශත වර්ෂ දෙකකට කිට්ටු කාලයක් තිස්සේ වන අසාධාරනය නැති කළ යුතුයි.

      Delete
  4. "ඒකට හේතුව නියම රාජවංශිකයන් විසින් කන්දේ නුවර රාජධානිය පාලනය නොකිරීමත්, මුළු රටම ඉන් ආවරණය නොවීමත් කියන කරුණු."

    මේ කරුණු දෙක උඩරටට විතරක් නෙමෙයි කෝට්ටේ රාජධානියටත් අදාළයි. ඒක සීතාවකටත් අදාළයි

    කෝට්ටේ මුල් යුගයේ 6 වැනි පරාක්‍රමබාහු යටතේ මුළු ලංකාවම පාලනය වුණත් ඊට පස්සේ දීප චක්‍රවර්ති තත්වයක සිංහල රජුන්ට නාමීකව තිබුණු දෙයක්. ඒ වගේමයි කෝට්ටේ රාජ්‍යය වගේම ඊට පෙර දඹදෙණි රාජ්‍යයේ පවා රාජ උරුමය බොහොම සංකීර්ණව ඇති වූ ඒවා

    "ඒ නිසා කන්දේ පාලකයන් ආගම සලකන්නේ ජනතාවගේ සිත් දිනා ගැනීමේ ආයුධයක් ලෙස පමණයි. දෙවන විමලධර්මසූරියටත් ඒක එසේමයි. ඔහුගේ ආගමික ළැදියාව ඉතා අඩුයි"

    මේ රජතුමාගේ ආගමික ලැදියාව ඉතා අඩුයි කියන එක නම් පිළිගන්න අමාරුයි. අරකන් රටින් උපසම්පදාව නැවත පිහිටුවන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ වගේමයියි තෙමහල දළදා මැදුරකුත් මේ රජතුමා කරවනවා. 1664 කැරැල්ලෙන් පස්සේ මේ රජතුමා තාත්තා වුණු දෙවෙනි රාජසිංහ රජතුමා මේ කුමාරයාව ඈත පන්සලක රඳවා තිබූ නිසා බොහොම සාමකාමී වගේම ආගමට ලැඳි ගුනාංග මෙතුමා ගාව තිබුණා.

    ඒත් පහත රට වුණු කතෝලික මර්දන හරහා උඩරටට ආපු ජෝසප් වාස් පියතුමාත් 1705 ආපු ගොන්සාල්වෙස් පියතුමාත් රජතුමාගේ හිත දිනාගෙන කතෝලික දහම උඩරට ව්‍යාපත් කිරීම සිදු කරපු එකත් සිදුවුණා.

    "එහි අවසන් පියවර වෙලා තිබෙන්නේ මේ රෝගයන්ගෙන් පෙලුන කුන්ඩසාලේ කුමරු හෙවත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ පාලකයා අවසන දියවැඩියා ගඩු ඇති වී ශරීරය වනවී ඉතාම නරක ලෙස අසාධ්‍ය වීමයි. කොටින්ම ඔහු සිටින තැන පවා දැඩි දුඟදක් තිබුනා යැයි කියවෙනවා"

    සිපිලිස් හෙවත් උපදංශය රෝගය රජුට වැළඳී තිබූ බවත් කියවෙනවා

    ReplyDelete
    Replies
    1. කෝට්ටේ සහ දඹදෙණිය සිංහලේ නියම අගනුවරවල්. නමුත් සීතාවකට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. මුළු රටම පාලනය කළ අවසාන අග නගරය තමයි කෝට්ටේ. නමුත් සීතාවක එහෙම නෙමෙයි. කන්දේ නුවරත් එහෙම නෙමෙයි.

      සිංහලේ රජකම ලැබීම පියාගෙන් පුතාට ලැබුනේ නැහැ. ඒ සඳහා යම් ක්‍රමවේදයක් තිබුනා. ඒක ඇත්තටම අර්ධ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ තිබූ දියුණු ක්‍රමයක්. කෝට්ටේ යුගයෙන් එය අවසන් වෙනවා. නමුත් රජකම වෙනම පවුල් කීපයක් අත තමයි තිබුනේ. ප්‍රධානවම සූර්‍ය වංශිකයන් සහ ලම්බකර්ණ වංශිකයන් අතර. අවසාන සූර්‍ය වංශිකයා සීතාවක රාජසිංහ.

      දලදා මාලිගාව සෑදීම සහ අරකන් රටෙන් උපසම්පදාව ගෙන්වන්නේ ජනයා රවටන්න. නැත්නම් තවත් ඉතාම කෙටිකලකින්ම කීර්ති ශ්‍රී රජසිංහටත් ඔය ටිකම කරන්න වෙයිද? ඕවා දැනුත් වෙන සුලභ සිද්ධීන්නේ.

      මෙතුමාගේ යනුවෙන් මෙහිදී අප අදහස් කලේ නරෙන්ද්‍රසිංහයන්. නියම පිළිවෙල නම්. 2 රාජසිංහ, 2 විමලධර්මසූරිය, නරෙන්දුසිංහ. මේ අය ගැන වෙනම ලිපියක් ලියනවා.

      සිෆිලිස් ගැන මමත් අසා තිබෙනවා. සිෆිලිස් කියන්නේ අපේ රටට ආගන්තුක රෝගයක්. එහෙම වූවා නම් ඒ සෑදෙන්න ඇත්තේ කොහෙන්ද කියා සිතාගත හැකි නොවැ.

      නරේන්ද්‍රසිංහ ගැන තව කථාවක් කියන්නම්. මෙයා තමයි සිංහලේ නිධන් හෑරීමේ ප්‍රමුඛයා. පසුව එච්. සී. පී. බෙල්. තවත් අය කලින් කල ඕක කලා නොවැ.

      ඔබේ පැහැදිලි කිරීම මට බොහෝ වැදගත්. අනේක වාරයක් ස්තුතියි.

      Delete
    2. "නමුත් රජකම වෙනම පවුල් කීපයක් අත තමයි තිබුනේ. ප්‍රධානවම සූර්‍ය වංශිකයන් සහ ලම්බකර්ණ වංශිකයන් අතර. අවසාන සූර්‍ය වංශිකයා සීතාවක රාජසිංහ"

      අනුරාධපුර යුගයේ සූර්ය වංශික සංකල්පයකටත් වඩා පැවතුණේ මෞර්ය හා ලම්භකර්ණ වංශිකයන් අතර රජකම සඳහා වන අරගලයක්. පොළොන්නරු යුගයේ පැවතුණේ පාණ්ඩ්‍ය හා කාලිංග වංශ අතර රජකම සඳහා අරගලයක්.

      ඊට පස්සේ ඒ ආකාරයේ දෙයක් තිබුණු බවක පේන්න නැහැ. සූර්ය වංශික සංකල්පය ඒ නිසා පොදුවේ පැවතුණා කියන්න පුලුවන්.

      ඒත් මේ සූර්ය වංශික සංකල්පය හුදු සංකල්පයක් විතරයි. ඒක උඩරට රජුන් පවා තමන් සූර්ය වංශිකයන් බව විශ්වාස කිරීමෙන් ඒක පේනවා.

      "කෝට්ටේ සහ දඹදෙණිය සිංහලේ නියම අගනුවරවල්."

      කෝට්ටේ සහ දඹදෙණියට පදනම් වන සාධක මතම තමා කන්ද උඩරටත් රාජ්‍යත්වයක් ඇතිවෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් දඹදෙණි රාජ වංශය පටන් ගන්න 3 වෙනි විජයබාහු රජතුමා සෘජුවම රාජවංශයක අයෙක් නෙමෙයි. එතුමා සංඝබෝධි පෙළපතින් පැවැත එන්නෙක් කාලිංග වංශිකයෙක් වගේම චන්ද්‍ර වංශිකයෙක් විදිහටත් මූලාශ්‍රයන් දක්වනවා. ඒ නිසා සෘජුවම රජ පෙළපතක අයෙක්ද කියන ගැටළුව තිබෙනවා.

      ඒ වගේමයි කෝට්ටේ රාජ්‍යයේ ආරම්භකයා වෙන 6 වෙනි පරාක්‍රමබාහු පියා ළමැණි ජය මහලෑන සවුළු විජයබාහුගේ මුණුබුරෙක් බවයි කියන්නේ.

      ඒ වගේමයි කෝට්ටේ පසුකාලිනව රජ වෙන 6 වෙනි බුවනෙකබාහු වගේම අට වන වීර පරාක්‍රමබාහු කියන සොයුරන් දෙදෙනා [සපුමල් හා අම්බුළුගල කුමාරවරු] 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා පුත් තනතුරේ ලා හැදුවත් ඒ දෙදෙනාගේ පියා මලබාරයෙන් ආපු "පනික්කිල" කියලා අයෙක්.

      ඒ නිසා සූර්ය වංශික සංකල්පය හුදෙක් රාජ්‍යත්වයට පත්වූවන් භාවිත කරපු දෙයක් මිසක් සැබවින්ම අඛණ්ඩව එවැනි පරපුරක් ලංකාවේ නොවූ බව පැහැදිලියිනේ

      Delete
    3. පැහැදිලිවම මම ඔබ කියන දේට එකඟයි. හැබැයි මට තවත් මේ ලිපියේ කතාකල යුතු තැන් කීපයක් තිබෙනවා. මම ඔබට ආරාධනා කරනවා මගේ ඊලඟ ලිපියටත් මෙවැනි සාරගර්භ කමෙන්ටුවක් දමන ලෙස. මට නම් ඔබ වැනි අය ගැන විශාල ගෞර්වයක් ඇති වනවා. නැසැකවම ඔබගෙන් මගේ ඊලඟ ලිපිඅයට කමෙන්ටුවක් බලාපොරොත්තු වෙනවා. එතැනදී නැවත මේ ගැන කතා කරන්න ඕනෙ.

      Delete
    4. කරන්ට් එක ගියා නොවැ. ඉතුරු ටික ඒක නිසා දැන් තමා කියන්න වෙන්නේ :D

      ඒක නිසා මම විශ්වාස කරන්නේ අනුරාධපුරයෙන් පසුව [එහිත් සිදු නොවුණා නොවේ] අනෙක් සෑම රාජධානියකම පාහේ බිහිවුණේ ඒ කාලය තුළ ලංකාව පත්ව තිබුණු අරාජික තත්වයෙන් ලංකාව මුදවලා තමන්ගේ යටතට ගේන්න පුලුවන් වුණු නායකයා යටතේ. ඔහුව රජු විදිහට රටවැසියා පිළිගත්තා වගේම දළදාව හා පාත්‍රා ධාතුව තම සතු කරගෙන තම රාජ්‍යත්වය තහවුරු කරගත්තා.

      තත්කාලීන ලේඛකයන් හා පසුකාලීන ලේඛකයන් තමන්ගේ ලේඛන හරහා ඒ රජවරුන්ට අඛණ්ඩ රජ පරපුරකට නෑකමක් උරුම කළා. ඒක නිසයි මම කිව්වේ නියම සූර්ය වංශික රජුන් විදිහට රජුන් සැලකීමේ ගැටළුවක් ඇතිබව.

      කන්ද උඩරට රජකම 1 වෙනි විමලධර්මසූරිය තහවුරු කරන්න යද්දී සමකාලීන ලේඛනවලින් වගේම පසුකාලීන ලේඛනවලින් ඔහු පේරාදෙණි රජ පෙළපතේ හෝ ගම්පොළ රජ පෙළපතේ යනුවෙන් දක්වමින් පෙර පරිදිම අඛණ්ඩ රජ පෙලපතකට ඔහුවත් සම්බන්ධ කළා.

      ඔහුට ගැටළුවක් වුණේ උඩරට ඊට පෙර පැවති රජ පරපුරේ උරුමක්කාරිය කුසුමාසන දේවි පෘතුගීසින් යටතේ වීම. 1594 දන්තුරේ සටනින් පසුව ඇයව හිමිවීමත් සමඟ උඩරටට ඔහුට තිබුණු හිමිකම තහවුරු වුණා වගේම දළදාව හා පාත්‍රා ධාතුව තිබීම ඒකට උදව්වක් වුණා

      ඒක නිසා අනෙක් රාජධානිවලට ලබාදුන් තැනම කන්ද උඩරටටත් ලබාදීමේ ගැටළුවක් නැහැ.

      "දලදා මාලිගාව සෑදීම සහ අරකන් රටෙන් උපසම්පදාව ගෙන්වන්නේ ජනයා රවටන්න. නැත්නම් තවත් ඉතාම කෙටිකලකින්ම කීර්ති ශ්‍රී රජසිංහටත් ඔය ටිකම කරන්න වෙයිද?"

      කීර්ති ශ්‍රී රාජසිංහ දවසත් නැවත වරක් සියමෙන් උපසම්පදාව ගෙන එන්න හේතුවක් වුණේ අරකන් උපසම්පදාවේ වූ ගැටළු නිසා.

      අර්ධ මහායානික ස්වරූපයක් අරකන් උපසම්පදාවෙන් ලංකාවේ ඇතිවුනා. ඒ වගේම නිසියකාරව භික්ෂූන් පුහුණු කරවීමක් සහ නැවත භික්ෂු සංවිධානය සැකසීමක් අරකන් උපසම්පදාවෙන් වුණේ නැහැ.

      ඒක නිසා වුනේ අරකන් උපසම්පදාව ලත් භික්ෂූන් ක්‍රමයෙන් තම ගෝලයින් උපසම්පදා නොකිරීම වගේම විහාර දේපළ පාලනයට උපසම්පදා වූ භික්ෂූන් පවා සාමනේර තත්වයට පත්වීම.

      ඒක නිසයි නැවත උපසම්පදාව පිහිටුවීමක් වෙන්නේ

      Delete
    5. ස්තුතියි ඔබේ ඇරයුමට. අනිවාර්යයෙන්ම ලිපියේ අනික් කොටස්වලදිත් අදහස් දක්වන්න එකතු වෙන්නම් :)

      Delete
  5. කෙසේ වෙතත්. ක්‍රමන්ත්‍රන සහ පාවා දීම් හේතුකොට ලංකා ද්විපය විනාශ මුඛයට ඇද දැමූ බවනම් මොනවට පැහැදිලි වේ...

    ReplyDelete
  6. මේ වගේ මාතෘකාවන් මා මහා වෙදනාගෙන් බලාපොරොත්තු උනා.
    යම් සාකච්චාවක් ඇති කිරීමට පුලුවන් අපේ මෝඩකම් ගැන.

    ReplyDelete
  7. මේවා අපි බොහෝ දෙනෙක් නොදැන සිටි(න) කරුණුයි.දෙවෙනි කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම බොහොම ස්තුතියි මේ දේවල් ලිවීම ගැන.

    උඩරට ගිවිසුමේ සම්පුර්ණ පිටපතක් මට වතාවක් බලන්න ලැබුනා.දෙමළ අත්සන් කිහිපයක්ම තිබුනා මතකයි ඔබතුමා කලින් වතාවේ කී ආකාරයටම.

    ReplyDelete
    Replies
    1. @ ඉඳුනිල්

      උඩරට ගිවිසුමේ දෙමළ අත්සන් තිබීම ගැන ඉදිරිපත් වෙන මතයක් තමා ඒ කාලේ දෙමළ භාෂාවට ලොකු තැනක් තිබීමත් එක්ක අද කාලේ හුඟක් අය ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා හා සමානවම සිංහල අපේ නායකයිනුත් දෙමළෙන් අත්සන් කළා කියන එක

      Delete
    2. ඒක අපේ ජාතියේ නිදන්ගත ලක්ෂණයක් වගේ. සිංහලයා විජයගෙන් පැවත එනවා කියන බොරුවත් ඔය ආකාරයෙන් ඊනියා නම්බුව වෙනුවෙන් රෙජිස්ටර් කරපු එකක් වෙන්න ඇති.

      Delete
    3. @ ඉඳුනිල්

      වෙන්න පුලුවන්.

      ඒ වගේමයි අද කාලේ ජැක්සන් ඇන්තනි ජනාධිපතිතුමා බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කිව්වා වගේ පරණ රජවරුත් "ඔකාවස් රජ පරපුරෙන්" කියන විරුදය භාවිතා කරලා තියෙනවා.

      බුදුරදුන්ගේ ගිහි කාලයේ වංශය වුණු ශාක්‍ය වංශයේ මුල් වංශය වෙන්නේ "ඔක්කාක වංශය"

      Delete
  8. මොනවද වෙද මහත්තයෝ, කියවන්න කියලා හරි බරි ගැහුනා විතරයි. ලත් තැනම ලොප් උනානෙව!

    ReplyDelete
  9. Facebook එකට දාන්න පුළුවන් ලින්ක් එකෙක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. http://wedagedara.blogspot.com/2012/05/01.html?spref=fb

      Delete
    2. ලිපියේ පල්ලහයින් තියන f අකුර ක්ලික් කරන්න.

      Delete
  10. හදිසියේ ලිපිය බැලුවේ . පසුව නැවතත් බලන්න ඕන . ඉක්මනට එහෙනම් රහස හෙලි කරන්නකෝ .

    ReplyDelete
  11. කොනප්පු බණ්ඩාර කියන පොත කියෙව්වම මට පළමු විමලධර්මසූරිය රජු ගැන පුදුම ගෞරවයක් ඇතිවුනා.බොහෝම විචක්ෂණශීලි නායකයෙක් ලෙස තමා මට ඔහුව පෙනුනේ රජ ලේ නැතත් ඔහු මව්බිමට ආදරය කල නායකයෙක් විදියටයි.දෙවන විමලධර්මසූරිය ලෙස රජ වෙන්නේ කවුද කියලා හරි මතකයක් මට නෑ.විමලධර්මසූරිය රජුගේ සහෝදරයෙක් හෝ පුතෙක් විය නොහැකියි කියලා හිතෙනවා.පොඩ්ඩක් ඒ ගැනත් දැනගන්න කැමතියි.වටිනා ලිපියකට අර අදින බවක් පේනවා නියමයි

    ReplyDelete
    Replies
    1. @ ගැමියාගේ පත් ඉරුව

      කොනප්පු බණ්ඩාර හෙවත් පළවෙනි විමලධර්මසූරිය ගැන ඔබේ අදහසට මාත් එකඟයි. දෙවෙනි විමලධර්මසූරිය කියන්නේ දෙවෙනි රාජසිංහ රජතුමාගේ පුතා. තව විදිහකට කිව්වොත් පලවෙනි විමලධර්මසූරිය රජතුමාගේ ඥාති සහෝදරයාගේ පුතාගේ පුතා

      Delete
  12. මං හිතන්නේ ලස්සන කතාවක් වේද මහත්තයගෙන් අහගන්න පුළුවන් වෙයි, බලාගෙන ඉන්නම් දෙවැනි කොටසත් එනකම්ම.

    ReplyDelete
  13. කන්ද උඩරට ඒ විදියට හැදින්වීමේ එච්චරම වැරැද්දක් නෑ තමයි. ඒත් පොලොන්නරුවේ සිටම සිද්ධවුනේ ආක්‍රමණයක් නිසා අගනුවර මාරුවීම. කන්ද උඩරටදි අපිට ස්ථාවර වෙන්න ලැබුනෙ නෑනේ. ඒකයි වෙනස.

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      "කන්ද උඩරටදි අපිට ස්ථාවර වෙන්න ලැබුනෙ නෑනේ"

      වසර 223 ක් උඩරට රාජධානිය පැවතුණේ ස්ථාවර නොවුණු නිසාද ???

      Delete
    2. 223ම අවුල්නේ ඒකයි මම කිව්වෙ.

      Delete
    3. @ රාජ්

      223 ම අවුල් නැහැ.

      I විමලධර්මසූරිය සමය, II රාජසිංහ සමය, II විමලධර්මසූරිය සමය, ශ්‍රී විජය රාජසිංහ සමයන් සාමකාමී සමයන්.

      ඒ වගේමයි රාජධානියේ ස්ථාවර බවට අවශ්‍ය වෙන නීත්‍යානුකූල රාජ්‍ය උරුමය, දළදාව තමා සතුවීම, මහජන පක්ෂපාතීතවය දිනා ගැනීම, රදළයන්ගේ අවනතබව කියන කරුණු තමා වෙත තබාගන්න රාජධානියේ පළමු රජතුමා වෙන විමලධර්මසූරිය රජතුමා සමත් වෙනවා.

      අවසානයේදී නායක්කර පෙළපත යටතේ රාජ්‍ය අස්ථාවට වෙලා අවසානයේ බිඳ වැටෙන්නේ මූලිකවම මහජන පක්ෂපාතීතවය වගේම රදළයන්ගේ අවනතබව රජතුමාගෙන් තුරන් වීමෙන්

      Delete
  14. මේ කතාව කියන්න ප්‍රමාද වුනේ කරුණු හරිහැටි තහවුරු කරගන්න පරක්කු වුණු නිසා.

    "ඒ ඇසුර කෙතරම්ද යත්, තම ප්‍රධාන බිසවගෙන් නැතුව වෙනත් බිසවකට ලැබූ දරුවා වූ කුණ්ඩසාලේ කුමරුට අධ්‍යාපනය ලබාදෙන්නත් තෝරාගත්තේ ගොන්සාල්වේස් පියතුමාවයි. වසර 19 ඇවෑමෙන් මියගිය විමලධර්මසූරිය තම අනුප්‍රාප්තිකයා කරන්නේ මේ කුමරුවයි. නමුත් ප්‍රභූන් කිසිවෙක් ඊට කැමති වන්නේ නැහැ"

    මේ සම්බන්ධ තවත් කතාවක් තිබෙනවා.

    ඒ තමා දෙවෙනි විමලධර්මසූරිය රජුගේ අගබිසවට දරුවන් නොසිටීම සහ අනෙක් බිසෝවරුන්ටත් පුතුන් නොසිටීම. ඒත් යකඩ දෝළියක් වුණු මුතුකුඩේ දේවියට පුතෙක් සිටි නිසා ඒ පුතා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ විදිහට රජවුණු බව.

    මේ මුතුකුඩ දේවියට සහ පුතාට බිසෝවරුන් ඊර්ශ්‍යා කරලා කරපු කුමන්ත්‍රණයක් රජතුමාට හසුවෙන නිසා දෙවෙනි විමලධර්මසූරිය රජතුමා ඒකට සම්බන්ධ බිසෝවරු රාශියක් මරාදානවා.

    ඒ බිසෝවරුන්ගේ ඥාතීන් වුණු උඩරට රදළයන් පස්සේ කාලේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජවුණාම විරුද්ධ වෙන්නේ මේ රජතුමා නිසා තමන්ගේ සොයුරියන් මිය යාම නිසා කියලා

    ReplyDelete
  15. ඉතිරි ටික එනකම් බලන් ඉන්නවා....

    ReplyDelete
  16. පාසල් පොත් වල නැති රහස් හෙලි කිරීම ගැන ස්තූතියි...

    ReplyDelete
  17. වෙදනා මේ කරන්නේ ඉතිහාසය අළුතෙන් ලිවීම වගේ වැඩක්... අපිට (සිංහලයාට) වැරදුනේ කොතනද කියලා මුල් හොයාගන්න එකත් සෑහෙන්න වටිනවා... අඩුගානේ 1800 දී නතර වෙච්චි තැනින් දැන්වත් පටන්ගන්න පුළුවන් නම් අපිට මීට වඩා දියුණු වෙන්න පුළුවන් වෙයි... මේ කියන්නේ බටහිරින් ලැබුණු දියුණුවට පයින් ගහන්න කියලා නෙවේ...

    හසිත සහෝගෙන් මේ වගේ පෝස්ට් වලට ලැබෙන සහයෝගය සෑහෙන්න අගෙයි !!! වෙදනා ඉක්මනටම ඊලඟ කොටසත් පළකරන කල් බලා සිටිනවා... ජය !!!

    ReplyDelete
    Replies
    1. @ Chathuranga Perera

      ස්තුතියි අගය කිරීමට.

      පහුගිය සතියේ ඉදන් මම ලියන්න පටන් ගත්තා "ඉතිහාසයේ අප්‍රකට කතා" නමින් ලිපි මාලාවක්.

      ඒ කතා මාලාවේ මේ වෙද්දී " දෙවන රාජසිංහ රජුට රූපයෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ" කතාව පබ්ලිෂ් කරලා තියෙන්නේ.

      මේ කතා ගැන ඉදිරියේදී ලියවේවි

      1.රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
      2. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
      3. කන්ද උඩරට සිහසුන නායක්කර්වරු අල්ලා ගත් සැටි
      4. අග බිසවගේ සොයුරාට රජකම උරුම නොවන නායක්කර් සම්ප්‍රදාය
      5. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
      6. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
      7. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
      8. වළ දැමූ ශ්‍රී ලංකාවේ එකම ක්‍රිස්තියානි රජතුමා
      9. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා
      10. ගින්නෙන් නොදැවුණු හදවතක් වුණු I විමලධර්මසූරිය රජතුමා
      11. I විමලධර්මසූරිය රජුට කුණුහරුප කියූ ලන්දේසී අද්මිරාල්

      Delete
    2. මගේ ලිපිය දෙවනි කොටස තමයි මම බලාපොරොත්තුවන උච්චස්තානය. ඊට පසු මම මේ ගැන නොලියන්නයි ඉන්නේ. හැබැයි ඒ හසිත ලියනවානම් විතරයි. ඔබ ලියන්න. මේ ගැන අපි එන්නම් කමෙන්ට් කරන්න. අපේ දැනුම එතැනදී කමෙන්ට් වලින් එක් කරන්නම්. ඔබයි මේ ගැන ලියන්න සුදුස්සා.

      ඔබ ලියන්න ඉන්න මාතෘකා මමත් වෙන්කරන් සිටියා. නමුත් ඔබ ලියන්න. මම එනවා කමෙන්ට් කරන්න. මම ඉතාම ආසයි තරුණ අය මේ වැනි දේ සොයනවාට. ඒ අපෙන් පස්සෙත් මේ විෂය දිගට යා යුතු නිසා.

      විශේෂයෙන් අපේ පරණ අයට වූ අසාධාරනකම් අපි ඉවත් කර ඒ අය සුද්ධ කළ යුතුයි. එවිට ඒ අය වීරයෝ වගේ සමාදානයේ සැතපේවි.

      Delete
    3. මමනම් හිතන්නෙ වෙදනා ලියාගෙන ආපු ආකාරයට දිගටම ලියාගෙන යන්න ..
      …අනිත් අයගෙ ලිපි හා සංසන්දනය නොකර . නැත්තනම් මේ ලිපි මාලාවේ රසයට බාධා වෙන්නත් වැදගත් කරුණු මග හැරෙන්නත් පුලුවන් .

      Delete
    4. @ වෙදගෙදර මහ වෙදනා

      ගිම්හානිගේ කතාවට මමත් එකඟයි. ඔබතුමා ලියන්න. මග හැරුණු යමක් තිබුණොත් අපි ඒවා එකතු කරමු

      Delete
  18. මගේ පළමු කොමෙන්ට් එකේදී කිව වගේම ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්.ගොඩක් අසාවෙන් ඉන්නව නොදන්නා අපේ ඉතිහාසය දැනගන්න.
    ස්තුති ඔබ තුමාට...

    ReplyDelete
  19. ඊලඟ ලිපියත් කියවලම මගේ අදහස් කියන්නම් , කොහොම වුනත් සුද්දන්ට යටත් වීම 100% නරක දෙයක් විදිහට නම් මම දකින්නේ නෑ (අවම වශයෙන් කොන හරි බේරුණා කියල සතුටු වෙන්න පුලුවන් :) ) , සත් සමුදුරේ මේ ගැන ඉතා දිර්ඝව සාකච්ඡා වුනා මතකයි !

    ReplyDelete
  20. ලිපියයි ප්‍රතිචාරයි දෙකම කියවලා ඉගෙනගන්නවා මිස පඬිටෝක් දමන්න යෑම නුවනට හුරු නොවන හැඩයි!
    :D
    henryblogwalker the Dude

    ReplyDelete
  21. //(අවම වශයෙන් කොන හරි බේරුණා කියල සතුටු වෙන්න පුලුවන් :) //
    අම්මප ඇත්ත !!! බුවාගේ කටේ මොනවා හරි ඔබන්න ඕනේ !!!

    ReplyDelete
  22. දෙවනි කොටස බලන්න ආසාවෙන් බලාගන ඉන්නවා

    ReplyDelete
  23. මම අසා තියන දෙයක් කියන්නේ මේ ජාකෝමේ ගොන්සාල්වෙස් සහ ජුසේ වාස් කියන කතෝලික පියතුමන්ලා තමා ලංකාවේ මුල්ම කතෝලික පල්ලි ගොඩනගලා තියෙන්නේ,වහකෝට්ටේ පල්ලිය දෙවන විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ ගොඩනගපු දෙයක්,ගොන්සාල්වෙස් පියතුමා විසින්,,ඒ වගේම වෙන්නප්පුව බෝලවත්ත ග්‍රාමයේ තියන පල්ලිය අද නව පල්ලියක් තිබුනට මේක ලංකාවේ මුල්ම පල්ලියක්,,මේ පල්ලි සතුව ඉතිහාස ගවේශකයන්ගේ ඇසට නොගැටුනු ලියකියවිලි තියනවා කියල මම අහලා තියනවා,,ලන්දේසි බලපෑම මත මේ පියතුමන්ලා උඩරටට ගියත් රහසිගතව පහතරට ධරම ප්‍රචාරය කරගෙන ගිහින් තියනවා
    ඒ එක්කම මේ ප්‍රදේශ වල දෙමළ භාශාව පැතිරිලා තියනවා,අදටත් මේ ප්‍රදේශ වල මිනිස්සු දෙමළ බාශාව කතා කරනවා,ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ පියතුමන්ලා ආගම් ප්‍රචාරයට භාවිත කරලා තියෙන්නේ දෙමළ භාශාව,ඒත් ගොන්සාල්වෙස් පියතුමා සිංහල භාශාවෙන් කතෝලික පොත් කීපයක් රචනා කරලා තියන බව අහලා තියනවා.කොහොමත් මෙයාලා කපටිකමෙන් රජවරුන්ව පවා රවට්ටලා ආගම් ප්‍රචාරය තමාකරලා තියෙන්නේ .
    මම අහලා තියන විදිහට කන්ද උඩරටට මුලින්ම ගියේ ජුසේ වාස් පියතුමා සිරකරුවෙක් විදිහට හිටියේ 2 විමලධර්මසූරිය රජතුමා යටතේ,1696 ඇති උනු දරුණු නියගයක් ජුසේ වාස් පියතුමා දින ගනනක් නිරාහාරව යාච්ඤා කිරීමෙන් නියගය ඉවර කලා කියලා විමලධරමසූරිය රජතුමා ජුසේ වාස් පියතුමාට නිදහස දුන්නලු ,ඒ වගේම ආගම් ප්‍රචාරයටත්,,ඊට පස්සේ තමා ගොන්සාල්වෙස් පියතුමා රජතුමාට ලං වෙන්නේ,මේ මම අසා තිබෙන කරුණු කීපයක් මේ පියතුමන්ලා ගැන. ගොඩක් ලස්සනයි වෙද මහත්තයා මේ වගේ ඉතිහාස කතා එලියට දානවට

    ReplyDelete
    Replies
    1. @ Italydilan

      ලංකාවේ මුල්ම කතෝලික පල්ලිය පිහිටුවන්නේ කොළඹ කොටුව ඇතුළේමයි. ඒ වගේම ඒ පල්ලියේ පූජකතුමෙක් හිටියත් ඒ හිටියේ සොල්දාදුවන්ගේ ආගමික කටයුතුවලට විනා ආගම ව්‍යාප්ත කරන්න නෙමේ.

      මෙහෙම පූජකයෙක් ඉන්න මූලික හේතුවක් තමා පෙරදිගට යාත්‍රා කරන සෑම නැවකම පූජකයෙක් සිටිය යුතු බවටත් අල්ලා ගන්න සෑම තොටමුණක් සමීපයේම පල්ලියක් තැනිය යුතුයි කියලා පෘතුගාල රජතුමා නියෝග කරලා තිබුණු නිසා.

      කොහොම නමුත් ලංකාව තුළ නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහ ඇතුව කතෝලික දහම පැතිරවීම අරඹන්නේ1543 දී පෘතුගාලයට යැවුණු ධර්මපාල කුමාරයාගේ ප්‍රතිමාව අභිෂේක කළාට පස්සේ 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීමට ජෝන් විලා ද කොන්දේ පූජකතුමා පැමිණීමත් එක්ක.

      ඒක වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ 1557 කෝට්ටේ ධර්මපාල රජතුමා කිතුණුවෙක් වීමත් එක්ක.

      ඒ වගේමයි 1610 විතර වෙද්දී ලංකාව ඇතුලේ ෆ්‍රැන්සිස්කානු, ජෙසුයිට්, ඔගස්ටීන්, ඩොමිනිකන් කියන නිකාය හතරේම පූජකයන් ඉන්න නිසා කෝට්ටේ රාජධානිය කොටස් 4 කර බෙදලා ආගම ව්‍යාපත් කරන්න භාරදීමත් එක්ක හුඟක් ප්‍රදේශවල කිතුණු පල්ලි ඉදිවෙලා තියෙනවා.

      ගොන්සාල්වෙස් පියතුමා ගැන කිව්වොත් දක්ෂ කථිකයෙක් වුණත් හකු ආබාධයක් නිසා දේශන ක්‍රම අත හැරලා ලේඛන ක්‍රමයට යොමුවෙලා තියෙනවා. පොත් 42 ක් විතර මේ පූජකතුමා ලියලා තියෙනවා

      Delete
  24. ගොඩක් වෙලවට වෙද ගෙදරට ඇවිත් තියෙනව. ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ. ඔබ තුමාගෙ හැම ලිපියක්ම හරිම වටිනව. මේ ඉතිහාස කතා ගෙන කියවන්න නම් මම ගොඩක් කැමති. රහස මොකද්ද කියල දැන ගන්න ඊළඟ ලිපියත් කියවන්න එන්නම්.

    ReplyDelete
  25. ඒ කාලේ සිටි රදලයෝ කොටස් කිහිපයකට බෙදී සිටියා. ඔවුන් රාජ ද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසිය හැක. පරදේශක්කාරයින්ට කේලාම් කියූ අසමගියෙන් ජීවත් වූ නොහික්මුනු කොටසක් ලෙස ඔවුන් නම් කල හැක. කෙසේ හෝ ඔවුන් සිංහල රජ පරම්පරාව පාවා දුන්හ. ඒ මදිවට ඉංග්‍රිසි නීතිය යටතේ මරණයට නියම වූ මඩුගල්ලේ දිසාම නිලමෙ කෙනෙකුට හිමි නිල ඇඳුම හැඳගෙන මරනයට ගෙනයන අවස්ථා වේ දිව ගොස් සැඟවුනු බවත් ඉතිහාසය පවසයි. ඒ නිල ඇඳුම අද මහනුවර ප්‍රදේශයේ තරුණයෝ ඉතා උත්කර්ශවත් අන්දමින් හැඳ මංගල උත්සව වලට පවා සහභාගි වෙති. මෙවන් ඉතිහාසයක් ඇති මේ ඇඳුම මෙසේ ඇඳීම හාස්‍ය ජනක නොවන්නේද?

    ReplyDelete
  26. ගොඩක් ස්තූතියි අපි නොදන්නා දෙයක් කියල දුන්නට,"සිපිලිස් හෙවත් උපදංශය රෝගය රජුට වැළඳී තිබූ බවත් කියවෙනවා" ඔක ලංකාවට ආගන්තුක රෝගයක්..... ඔක ආවේ දකුනු ඉන්දියාවෙන් හො පෘතුගිසින් ගෙන්... ඒ කියන්නෙ..... අපගේ මහා රාජ උත්තමයා..... (කරන කලට පව් මිහිරිය මීසේ-විඳින කලට දුක් දැඩිවේයි ගින්සේ)

    ReplyDelete
  27. ඉතිහාසයට ඉගෙන ගත්තා මතකයි! දැන් ළමයින්ට ඔව්වා කියලා දෙනවද දන්නෙත් නෑ!

    ReplyDelete
  28. ඉස්කෝල යද්දි ඉතිහාසය අප්පිරිය විශයක්. වෙදතුමා ඉගැන්නුවනම් ඒකාලේ සිරා.

    ReplyDelete
  29. අද තමා පෝස්ට් එක කියවන්න ලැබුනේ. ප්‍රකට ඉතිහාසයේ අප්‍රකට තොරතුරු ගැන ඇත්තෙන්ම මට කිසිම උනන්දුවක් තිබුනේ නෑ. එහෙත් ඔබේ මේ ලිපි මාලාව හරහා මේ ගැන උනන්දුව වැඩි වෙලා ඉන්නේ දැන්. ඉදිරි ලිපි එනතෙක් බලා ඉන්නවා.

    ReplyDelete
  30. ඉතිහාස කතා ටික ඉතාම ආසාවෙන් කියෙව්වා. ඉතිහාසය වගේම ඔබතුමාගෙ අදහසුත් තියෙන නිසා වඩාත් හරවත්.

    නරෙන්ද්‍රසිංහ ලොක්කා ගෑණු සොඬෙක් බවත්, විදේශික ද්‍රවිඪ බිසවක් සරණ පාවා ගැනීම නිසා උඩරට වඩිග රාජ පරම්පරාව ඇතිවෙලා මස්සිනාට රජකම උරුම වීම ආරම්භවුනු බවත් මම අහලා තියෙනවා. ඔබතුමාගෙ ඉදිරි ලිපි ලියවෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. හසිතගෙ ලිපිත් බලමු. ඔබතුමා ලිවීම නවත්තන්න එපා.

    ReplyDelete
  31. ලිපියත් කොමෙන්ටුත් කියෙව්ව..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..මම හිතන්නෙ බ්ලොග් හරහා කරන්න පුලුවන් බොහොම හොද වැඩකට ඔබතුමා අතගහලා තියනවා..දිගටම ලියන්න

    ReplyDelete
  32. වෙදගෙදරට මුලින්ම පිවිසුනේ අදයි.ඔබේ ලිපි සියල්ලම පාහේ කියැවූවා.දිගටම ලියන්න මගේ සුබපැතුම්!

    ReplyDelete
  33. තව කරුණක්, මහනුවර යුගයේ තමයි සිංහල සංගීතයට ප්‍රශස්ති ගී එකතු වුණේ.මට හිතෙන විදියට නරේන්ද්‍රසිංහ රජු වන්දිභට්ටයන් ලවා තමන්ට ප්‍රශස්ති ගී ගයා ගැනීමට විශේෂ උනන්දුවක් දැක්වුවා.පහත ප්‍රශස්ති ගීය ඊට කදිම සාක්ශියක්,

    වරමාතී සුභ........ චරිතේ
    ලංකාපති නාරේන්ද්‍රසිංහ නුපතේ

    ReplyDelete
  34. නරේන්ද්‍රසිංහ රජු ගැන තවත් විස්තරයක් කියවන්න ලැබුනා මුතුහර බ්ලොගයේ.කියවල බලන්න

    http://muthuhara.wordpress.com/2012/01/08/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8-%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF/

    ReplyDelete
  35. ගොඩාක් රසවත් ලිපියක්. සමහර කමෙන්ට්ස් කියෙවුවහමත් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුනා.

    ReplyDelete
  36. සෑහෙන වැදගත් කමක් ඇති ලිපියක්, තව වරක් නිදහසේ කියවා බලා වැඩිදුර අදහස් ප්‍රකාශ කරමි

    ReplyDelete