Tuesday, February 5, 2013

නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.

මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.

තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ආසන්නය. ඒ ලිපි ලිවීමෙනි. නමුත් මා බ්ලොග් කියවීම ට ඇබ්බැහි වී දැනට වසර හතරක් හෝ පහක් පමණ වෙතැයි මට සිතේ. ඒ දිනවල තිබුණේ ඉතා ස්වල්ප බ්ලොග් ප්‍රමාණයකි. මට අහම්බෙන් කියවීමට ලැබුණු කොත්තු සිණ්ඩිය හරහා බ්ලොග් කියවීමි. සහෘදයින්ගේ බ්ලොග් සොයා ගත්තේ කකාගේ බ්ලොග් රෝලෙනි. පිස්සාගේ බ්ලොගයේ තිබූ ලිංකුවක් හරහා මාරයාගේ හෝරාව කියවීමි. එතැනින් ටැබූ ද, අන්තිම පේළිය ද කියැවීමි. දිනකට පැය 12 වැඩියෙන් ඔන් ලයින් සිටින මට මේ බ්ලොග් බොහෝමයක් පිළිබඳ දැණීමක් ඇත. ඕනෑම බ්ලොග් කරුවකුගේ භාෂා රටාව මට හොදින් හුරුය. එම නිසා ගහ දන්න මට කොළ අරුමයක් ම නොවේ යැයි ද මින් කියමි.

ඔබ දන්නා පරිදි මගේ වි. වි. අධ්‍යාපනය ලංකාවේ තරුණයන්ට මහත් ව්‍යසන යුගයක් වූ 88/89 න් ඇරඹී 1996 පමණ තෙක් ඉතා දීර්ඝ කාලයක විහිදුණකි. ඒ අපේ පාඨමාලාව වසර පහක අධ්‍යාපනය හා වසරක රෝහල් පුහුණුව ද සමගින් වසර හයක කාලයක් ගතවන දීර්ඝ අධ්‍යාපන පාඨමාලාවක් බැවිනි. එයට භීෂණ යුගය නිසා අතහැරුණු කාලයද එක්කල විට මේ නිවැරදිය.

90 මුල සිට ඉතා හිස් බවකින් යුතු වූ ලාංකීය දේශපාලන පීඨිකාවට අප පැමිණෙන්නේ නිරායාසයෙනි. එකල අපට පිරවීමට තිබුණේ ඉතා විශාල හිස්තැනකි. මේ යුගයට සාපේක්ෂ එය ඉතා දුෂ්කර කාලයකි. කෙසේ හෝ එවිට ලාංකීය දේශපාලනයේ එක්තරා ව්‍යාපාරයක මම ද සාමාජිකයෙක් වීමි. 80 දශකයෙන් ඇරඹි මගේ දේශපාලන ගමන 94 දී මම නවතාලීමි. ඒ හේතු ඇතිවය. එකල මම විවාහ වී නොතිබුණත් එම ව්‍යාපාරය පිළිබඳ නොයෙක් ගැටලු මට පැන නැඟී තිබිණි. ඒවාට පිළිතුරු පතා මම කළ සාකච්ඡා ඉතා නීරස විය. මගේ ප්‍රශ්න වලට කිසිම පිළිතුරක් නොලද තැන මම හුදෙකලා වීමි.

නිදහසේ සිතන්නට වීමි………………..

මේ මා ඒ සිතීමෙන් ලද මගේ ප්‍රශ්න වලට පිළිතුරුය. මේ පිළිතුරු මා නොයෙක් අවස්ථාවල යෙදුණු විදේශ සංචාර වලදී එම රටවල තත්ත්වයන් හා සැසඳීමි. ඒවාට අනුව මගේ අදහස් නැවත නැවත අලුත් කළෙමි. මේ ලියන්නේ එම සිතිවිලි සහ මගේ අධ්‍යාපනයෙන් මා ලද දැනුම ද, මා ලබාගත් සජීවී අත්දැකීම් ද, ඇසුරින් සකසා ගත්තකි. මෙය නිවැරදි යැයි මම කිසිසේත් නොකියමි.

දහසක් වැරදි ඇතැයි සිතමි.

නමුත් කොතනකින් හෝ ඇරබිය යුතුය.

මේ ඒ සදහාය.

ඉතිරිය ඔබ සතුය.

නිවැරදි කරන්න………………………..

මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

කුමක්ද අපිට වුණේ??

සොයාගත යුත්තේ මෙයට පිළිතුරයි.

පොළොන්නරුවෙන් ඇරබි අපේ පල්ලම් බැසීම අද ද නැවතී ඇති බවක් පෙනේද? මට නම් නැත. අතීතයේ අදුරෙන් තවත් අදුරටම යන්නට කැස කවනා ලකුණු සැමතැන මට නම් පෙනේ.

බුද්ධිමත් මිනිසා සැමවිට,

"අතීතය පාඩමකට ගෙන වර්තමානයේ දී, අනාගතය උදෙසා අඩිතාලම දමයි".

වර්තමාන අපි එසේ කරමුද?

මෙහිදී මම ප්‍රශ්න අසන්නා පමණක් බවට පත් වෙමි.

ඔබගේ තීරණය වඩා වැදගත් බවයි මගේ හැඟීම.

1. අතීතයේ සිටම අපි උගත්කමට ඉතා ලොල් ජාතියක් වීමු. අභයගිරිය, ජේතවනය නටබුන් පෙන්වන්නේ ඒ අතීතයයි. එය අදට ද එසේමය. එසේ නම් උගතුන් බිහිකළ හැකි අධ්‍යාපනයක් අපිට තිබේ ද? මේ මාගේ පළමු ප්‍රශ්නයයි????????

2. අපි උගන්වන්නේ රටට අවශ්‍ය දෑ ද? පහත ඇති ලිංකුවෙන් වි. වි. ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගොස් ඔබට ම ඒ බලා ගත හැක. අපි විද්‍යාව දායාද කරගෙන උපන්නෝ වෙමු. මා එසේ කියන්නේ අතීත සංස්කෘතිය තනිකර වෛද්‍ය විද්‍යාව, රෝහල් පරිපාලනය, ශල්‍ය කර්ම, ගොඩනැගීම් ශිල්පය, සැලසුම් සම්පාදනය, වරාය, රේගු කටයුතු, මුදල් පාලනය, උද්‍යාන ශිල්පය, ජාතික සහ අන්තර්ජාතික වෙළදාම, නැව් නිපදවීමේ කර්මාන්තය, නොයෙක් ඉන්ජිනේරුමය නිපදවීම්, වැනි දහසක් දේ ක්‍රමානුකූලව පැවති බවට මේ නටබුන් දෙස් දෙන නිසාය. එම නිසා එම කර්මාන්ත මේ රටේ උගන්වන්නට ඇති බව අපට සිතිය හැක. අද අපි අපේ රටට සහ බාහිර ලෝකයට අවශ්‍ය දැනුම නිපදවනවාද?

යම් කිසි රටක ශ්‍රම බලකාය සකස් විය යුත්තේ පුහුණු කම්කරුවන්ගෙනි. ඒ වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරු, සැලසුම්කරු, ගුරුවර, රියදුරු, කාර්මික නිලධාරී, හෙද හෙදි, කර්මාන්තකරු ආදී යම් වෘත්තීය පුහුණුවක් ලද්දන්ගෙනි. අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි මේ ගුණය රැදී ඇත්ද? අපි විදේශ සේවයට යවන්නෝ පුහුණු කම්කරුවන් ද? අපේ ගෘහ සේවිකාවන්ට හිස් ගැසුම් කන්නට වන්නේ කුමක් නිසාද? සිතන්න අපි ගෘහ සේවිකාවක යවා 40 දහක 50 දහක වැටුපක් ලබා ගන්නවාට වඩා අපේ පුහුණු කාර්මිකයෙක් විදේශයකට යවා ලක්ෂයක එකහමාරක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස් නොකරන්නේ ඇයි? අපේ උසස් පෙළ සමත්ව වි. වි. යන්නට නොහැකි වන 60 දහකට නැවත ඉගෙන ගන්නට ආයතන දියුණු කර ඇත්ද? අපේ කාර්මික විද්‍යාල වලට සිසුන් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු අප සතු ද?

3. අපේ රට පිළිබඳ සත්‍ය අපි අවබෝධ කරගෙන සිටිමුද? අතීතයේ සුළඟින් නැව් ගමනා ගමනය කරන කළ ඊසාන දිගින් සහ නිරිත දිගින් සුළං හමනා අපේ රට ඉතාමත් වැදගත් මන්සංධියක පිහිටියකි. නමුත් අද අපි සිටින්නේ නවීන නාවුක යුගයක බව අපි සිහි කරමු ද? න්‍යෂ්ටික ශක්තිය සහ පොසිල ඉන්ධන උපයෝගී කරගෙන නාවික ගමනා ගමනය ද අද බොහෝ දියුණු වී ඇත. එම නිසා සුළං බලයෙන් නැව් ගමනා ගමනය කිරීමේදී අපේ රටට තිබූ වටිනාකම තවමත් තිබේ ද? අනෙක් කරුණ අපේ වරායවල නවීන ලෝකයේ අවශ්‍යතා සපුරනවා ද? ලෝකයේ අහුමුල්ලක තිබෙන සිංගප්පූරු වරාය වෙත නැව් යාමට හේතුව අපි අධ්‍යනය කර ඇත් ද? සිංගප්පූරුව හොංකොං වැනි රටවල් තම නාවික ගනුදෙනු කරුවන්ට දක්වන අනුග්‍රහය අවම වශයෙන්ව ත් ඇති කිරීමට අපේ සැලසුම් ඇත් ද? හැබැයි අපිට නැව් නො එන ගොඩබිම් වරායක් ඇති බව නම් අපි දනිමු.

අපේ කොළඹ වරාය ඉන්දියාවට ඉතා ප්‍රයෝජනවත්ය. ඒ පිළිබඳ අප සිතා ඇත්ද? අපේ වරායන් ඉන්දියාවේ පරිහරණයට ලබා දෙන අතර අප ඉන් යම් වාසියක් අත්කර ගන්නවා ද? අපි හැම විටම වරාය බද්ද සහ සැපයුම් පිළිබඳ පමණක් සිතන්නෙමු. මේ ඇත් ද? රටක් වශයෙන් නැඟී සිටීමට මේ වරායන් නිදහස් කර නිර්බදු හදුන්වා දී නාවිකයන්ට ප්‍රිය තැනක් බවට කොළඹ නගරය හරවන්නට තාමත් පමා නැති බවයි මගේ නම් හැඟීම. ඉන් අපට කුමන වාසි ලැබිය හැකිද? නැතිවන බදු ආදායම උපයා ගැනීමට වඩා වාසිදායක් සැලසුම් අපට නැත්තේ ඇයි?

4. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් ද? අපේ රටේ ඇති භෞමික පිහිටීම අනුව අපි තෝරාගත යුත්තේ කුමනාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ද? අපිට සිටින මිතුරන් කවුද? අපේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මිලදී ගන්නා රටවල් මොනවාද? ඒ රටවල් සමග අපේ සම්බන්ධතා කෙසේද? අපිට අපේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නේ කුමන රටවලින් ද? එම නිෂ්පාදන අතිරික්තයන් බෙදා හදා ගැනීමට අපිට සිටින අසල් වැසියන් කවුද? මේ ගැටලු වලට පිළිතුරු අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔබට සොයාගත හැකි ද?

උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවට ඇවැසි ජලය එන්නේ මැලේසියාවෙනි. මැලේසියා ජාතිකයන් රැකියාව කරන්නේ සිංගප්පූරුවේය. මේ දෙරට ඉතා සහයෝගීව දෙරටට ම ප්‍රයෝජනවත් ලෙස තම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත. අපි අපිට සිටින එකම අසල් වැසියා සමගවත් එසේ වාසිදායක දෙපසටම වැදගත් වන භාණ්ඩ හා සේවා හුවමාරුවක් සැලසුම් කර ඇත් ද?

5. අපේ රටේ බදු ප්‍රතිපත්තිය කුමක් ද? අපි ආකාර කීයක බදු අය කරමු ද? අපි බදු අය කරන්නේ ඇයි? මේ බදු අය කිරීමෙන් ලබන ආදායම අපි වියදම් කරන්නේ කෙසේද? ඔබ දන්නවනේ අපේ රටේ මුලු රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3 බව. පහත ඒ පිළිබඳ දත්ත ඇතුළත් ලිංකුවක් ඇත. ඒ බලන්න. අපි අපේ රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ රටේ රාජ්‍ය සේවකයා පෝෂණය කිරීමට බව ඔබ දන්නවාද? එනම් මිලියන 1.3 සේවකයන් අතරින් එක් අයෙක්ගෙන් ඔහුත් සමග 4 දෙනෙක් යැපෙනවා නම් මුලු යැපෙන්නන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5 ඉක්මවනවා නේද? එවිට රටේ මුලු ජනගහනය වන මිලියන 20 න් කාලකට රජය මාස්පතා කෙතරම් මුදලක් වියදම් කරන්න වෙනව ද?
මෙවැනි රටක රජයකට රජයේ සේවකයාට පඩි නඩි ගෙව්වට පසු ඉතිරි වන මුදලින් රට සංවර්ධන කළ හැකිද? එවිට සංවර්ධනය සදහා මුදල් සොයා ගන්නේ කෙසේද? එවිට ණය ගත යුතුයි නේද? ණය ගැනීමේදී විදේශ කොන්දේසි වලට යටත් වන්නට වනවා නේද? කාලයක් ගත වීමේදී ණය ගෙවීමටත් ණය ගැනීමට වනවා නේද? එතනින් එහාට එම රටට ඉදිරියක් ඇත් ද?

දේශීය සහ විදේශීය ආයෝජකයනට ප්‍රිය තැනක් බවට අප රට හරවන්නට අපි කුමක් කළ යුතු ද? දැන් දැන් ලෝකය විශාල වශයෙන් මානව හිමිකම්, සේවක සුභසාදනය, ජනතාවගේ නිදහස් පැවැත්ම වැනි මානුෂීය ධර්ම වෙත ගමන් කරමින් සිටී. අපි ඒ ගැන සැලසුම් සකස්කර ඇත්ද? ආයෝජකයනට ප්‍රිය තැනක් කිරීමට අපේ සැලසුම්, යෝජනා, අපට ඒ සදහා ඇති බාධක හදුනාගෙන ඇතිද? එසේ නම් අපි ඒ වෙනුවෙන් එම බාධක ජය ගන්නට සකස් කර ඇති විසදුම් මොනවාද? ඒ සදහා කාලරාමුවක් සකස් කර ඇති ද?

6. අපේ රටේ දේශපාලකයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ දැනුවත්ද? කොටින්ම ඔහුට ඒ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් තිබේද? එසේ නොමැති අය නම් ඔවුන්ව ඒ නියෝජිතභාවයට පත් කළේ කවුද? එසේ නම් වරද කාගෙද? ඔය ලැයිස්තුවල සුදුසු පුද්ගලයන් සිටියේම නැත්ද? ඔවුන්ව ඔබ තෝරා නොගත්තේ ඇයි?

7. රටක් වශයෙන් එහි මහජනතාව එම රටේ නීතිය, සමානාත්මතාව, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය, තම මානව හිමිකම්, පිළිබඳ තෘප්තිමත් ද? එසේ නැත්නම් ඒ ඇයි? එය එසේ වන්නට බලපාන කරුණු පිළිබඳ සිතීමේදී මහජනයාට එය වළක්වා ගැනීමට හැකියාව තිබූවා නම් ඔහු එය පැහැර හැරියේ ඇයි?

8. ලංකාවට වඩා හත් ගුණයක් විශාල නවසීලන්තයට මිලියන 4 ජනගහනයක් ඇති බව අපි දන්නවනේ. නමුත් වර්ග කිලෝමීටර 65 දහස් ගණනක් වන අපේ රටට තම ජනගහනය මිලියන විස්සකට ඉඩකඩ ලබා දීමට සිදුවී ඇති බව සත්‍යක් නේද? එහෙම නම් අපි ඒ සදහා කළ සැලසුම් මොනවා ද? තාප්ප බැඳ, තම ගෙමිදුල, වත්ත වෙන්කර ගන්නා ලාංකිකයා බොහොම ඉඩ නාස්ති කරනවා නම් ඉදිරි පරම්පරාව ජීවත්වන්නේ කොහේද?

9. රටක ජීවන තත්ත්වය මනින මිම්මක් ලෙස සෞඛ්‍යය ඉතා වැදගත්. අපේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය කුමක් ද? අපි සියල්ල නිදහස් රටක් විදියට සෞඛ්‍යයත් නිදහස්. ඒ කෙසේ වෙතත් මේ වැය දරන්න නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කර ගත යුතුයි නේද? අපි කෙළින්ම මේ සේවාවට අය කර නොගන්නවා නම් අපි ඒ සදහා අය කර ගන්නේ කෙසේ ද ? ඒ වැය දරන්න අපේ ආර්ථිකය ශක්තිමත් ද? එහෙම නම් එය සොයා ගන්න නැවත අපි බදු ආදායම් දෙස බැලිය යුතුයි නේද? ප්‍රශ්නෙ ආයෙත් මුලටම අපි ඇවිත් වගේ නේද?

10. ඉතා දියුණු ආර්ථිකයක් ඇති ජපානයේ ආර්ථික ශක්තියට එක් හේතුවක් වී ඇත්තේ එම රටේ ජනතාවගේ ඉතුරුම් බව ඔබ දන්නවාද? එම ඉතුරුම් සුලු වශයෙන්වත් කිරීමට අපේ ජනතාවට හැකියාවක් නැත්තේ ඇයි? අපි ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල මසකට රුපියල් (සියලුම සෘජු සහ වක්‍ර බදු.) 4000 වේ යැයි සිතමු. බදු අය නොකරන ඒ ඒ සේවාවන් සදහා මිලක් නියම කර එය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර අපි ඒ වෙනුවෙන් මසකට වැය කරන මුදල අවම වශයෙන් රුපියල් 3000 වන්නේ නම් මසකට එක අයෙක්ට රුපියල් 500 වත් ඉතිරි කළ හැකියි නේද? මෙම ක්‍රම ඉතා දියුණු රටවලවල අත්හදා බලා ඇති බව වගකීමෙන් කියන්න හැකියි. මම මේ සටහන අවසනට ඒ පිළිබඳ ලියැවී ඇති පොත් කීපයක නම් යොදන්නම්. නිදහසින් පසු යම් නව ආර්ථික ක්‍රමයක් නැවත අපිට ලැබෙන්නේ ජේ. ආර් ජනාධිපතිතුමාගේ විප්ලවීය වෙනස්කම් නිසා. දශක කීපයක් සංශෝධනය නොවී එලෙසම පවත්වාගෙන යන එම ක්‍රමයට දැන් සංශෝධන අවශ්‍ය බව අපිට හැගෙනවා. නමුත් අපි ඊට සූදානම් ද? අපේ රටේ ආර්ථිකයේ නයුවන් ඒ සදහා දැනුවත්ද?

{මෙහිදී මවිසින් ලබාගෙන ඇති උදාහරණය සත්‍ය නොවේ යැයි ඔබට සිතේ නම් ඔබ නිවැරදිය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී ඔබට නොපෙනෙන බද්දක් එතුළ තිබේ. බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනුයේ භාණ්ඩයේ බදු මුදල හිටි හැටියේ ඉහළ දැමීමෙනි. නිෂ්පාදන බදු කියා ද බද්දක් ඇති බව අපි දනිමු. නිෂ්පාදකයනට බදු නොව දිය යුත්තේ බදු සහනයි. එම නිසා හැම භාණ්ඩයකම බදු මුදල අඩු වීමෙන් මසකට උපයන දෙයින් විශාල මුදලක් ඉතිරි කර ගන්නට පාරිභෝගිකයාට හැකිය. එවිට එම මුදල අදාළ රාජ්‍ය ආයතනයේ සේවාවන් සදහා වන වියදම හෙවත් සේවාව සදහා ගෙවිය යුතු නියම මිල ගෙවීමෙන් අපිට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. අනික එම මිල එවිට ගෙවන්නේ අදාළ සේවාව ලබා ගන්නා පුදගලයා පමණි. නැත හොත් විදුලිය සදහා අදිභාරය එය වැඩියෙන් භාවිතා කරන්නන් සේම ඉතාම අඩුවෙන් භාවිතා කරන්නන්ට ද ගෙවීමට සිදු වීමේ අත්දැකීම විද ඇති ඔබට මා පවසන දේ නිසැකවම වැටහෙනු ඇතැයි සිතමි.}

11. ඔබ මේ ටික සිතා ඇත්ද, අපි සිතමු මධ්‍යම පළාතේ දියුණුවට මාර්ග සෑදීමට අවශ්‍යයි කියා. ඒ සදහා වැය කළ යුත්තේ කවුද? තේ ආර්ථිකය දියුණු එම පළාත් වලට එම මුදලින් ඒ පළාතේ සංවර්ධනය කිරීමට හැකියි නේද? බස්නාහිර පළාත දියුණු කිරීමට මොනරාගල ඌව වෙල්ලස්සේ ගොවියා බදු ගෙවිය යුතුද? නමුත් බටහිර ජනයා ඔහු ලබන ප්‍රතිලාභයට ගෙවීම ඔහුගේ යුතුකම නේද? එසේම අනුරාධපුරයේ ජනයාට වැව් හදන්න ගෙවිය යුත්තේ බටහිර පළාතේ ජනයා ද? ඒ සහල් නිෂ්පාදනයෙන් ආදායම් ලබන්නේ අනුරාධපුරයේ එහෙම නැත්නම් රජරට වැසියා නම් ඒ ගෙවිය යුත්තේ ඔහු නේද?

12. රටක ජනතාවට හිතකර නොවන කිසිවක් දිගින් දිගටම තිබිය යුතු නොවේ. එසේ ඉවත් කළ යුතු දේ අපේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට අප සිතා ඇති ද? එසේ කිරීමට අපට ඇති සැලසුම් මොනවා ද. උදාහරණයක් ලෙස සමාජවාදී රුසියන් සමූහාණ්ඩුව තම විප්ලවයෙන් පසු රුසියන් භාෂාව ඉතාම පහසු ආකාරයට ඉගෙන ගැනීම සදහා ව්‍යාකරණ ඇතුළු සියලු දෑ නවීකරණය කළ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ජපන් රජය ද එය එසේම කළ අතර, තම ජනතාවගේ ආහාර රටාව ජනයාගේ කාර්‍ය්‍යක්ෂමතාවට ගැලපෙන ලෙස වෙනස් කර ගන්නට උපදෙස් දිනි. මේ සියල්ලෙන් එම රටවල් ලබා ගත් දියුණුව විශාල විය. රුසියාව අධ්‍යාපන ලෝකයේ නොමැකෙන නමක් තබන ලදි. රුසියාවේ උපාධියක් නොගත්තෙක් ලොව කිසිම රටක නැත. ඒ එදා ඇති කළ වෙනස නිසාවෙනි.

13. අවසාන වශයෙන් කියන්නට යන්නේ අප උදම් අනන අපේ වසර 2500 වඩා පැරණි සංස්කෘතිය ලොව ඉහළම සංස්කෘතියක් බව මම එක හෙළාම පිළිගනිමි. නමුත් අප ඉන් පළ නෙලා ඇත් ද? අපට ඉන් ලැබෙන වාසිය කුමක් ද? මෙය මුදල් බවට හැර වීමේ ක්‍රම අප සිතා නැහැ නේද? අනෙක මම ද සම්බන්ධ ශ්‍රී ලංකා වි. විද්‍යාලයේ එක් අංශයක වසරක ආදායම කෝටි ගණනකි. අප අපේ විදේශීය සිසුන්ගෙන් උපයන දේය. අප සියල්ල වියදම් කර මහා භාණ්ඩාගාරයට ද මුදල් අතිරිකතයක් සෑම වසරක දීම ලබා දෙන්නෙමු. ඒ නිසා අපේ ආයූර්වේදය, බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යනු මුදල් ආකර බව අප තවම් තේරුම ගෙන නැති බව නම් මට ඒකාන්තයෙන්ම කිව හැක. මේ සියල්ල මේ රටේ මිනිසුන් උදෙසාය. තනි තනි වශයෙන් ගත් කළ අප ඉන් ලබන පළ ප්‍රයෝජන බොහෝය. නමුත් රටක් ලෙස??????

එහෙම නම් මේ විසදුම් අපිට සොයා ගන්න බැරි ඇයි?

මේ පිළිබඳ මගේ මිතුරු කවදත් මගේ ප්‍රණාමයට පත් වූ බ්ලොග්කාරිනියක් වන අරුණි ශපීරෝ කියා ඇති දේ ඇයගේ බ්ලොග් අඩවියෙන් බලන්න. ලිංකුවක් දමමි.

මෙය තව දිගට ලිවීමට මට සිත් නොදේ. එම නිසා මෙතැනින් නවතමි. අපි ඔබට ඇති වූ ප්‍රශ්න පිළිබඳ යම් සාකච්ඡාවක් කරමු.

සැබෑ නිදහස කුමක් දැයි සිතමු.

නිදහසේ අරුත අපේ රටේ වැසියා නිසි ලෙස තේරුම් ගන්නේ කවදා ද???????


(1) Lanka News Paper - http://www.lankanewspapers.com/news/2011/5/66920.html

(2) Statistic Department Annual Report

(1) 2012 http://www.statistics.gov.lk/samplesurvey/Annual%20Report2010Sinhala.pdf

(2) 2011 http://www.statistics.gov.lk/samplesurvey/LFS%20Annual%20Report_2011.pdf

(3) 2010 http://www.statistics.gov.lk/samplesurvey/report%20-%202012Q2.pdf

(3) Pensions Department

(1) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=53&lang=si

(2) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=53&lang=si

(3) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=53&lang=si

(4) UGC http://www.ugc.ac.lk/

(5) ශ්‍රි ලංකාව ආසියාවේ අහිමි ආශ්චර්ය, මිල්ටන් රාජරත්න, රාවය ප්‍රකාශන, 2012.

(6) අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද, රොහාන් සමරජීව, සී. ජේ. අමරතුංග, රාවය ප්‍රකාශන, 2012.

(ප/ළි.
ලියා අවසන් කළේ දින දෙකකට පෙර වුවත් නිදහස් දිනයේ පළ කිරීමට සිතා සිටියත් මාතර සිට පැමිණ, දියණියගේ කටයුතු වලට දවස ගෙවිණි. නිවාඩු දිනයක සවස හතරට පමණ ලිපියක් පළ කරනවා ට වඩා එය අගහරුවාදා පාන්දරම පළ කිරීම යහපත් බව මම දනිමි. එනිසා කමන්න.)



46 comments:

  1. අපේ රට පීලි පැනලා ගොඩක් දුර ගිහින්. ඉන්න තැනක ඉඳල අලුතින් පීලි හදා ගෙන යන ඒක තමයි කරන්න පුළුවන්. ඒත් කවදාද ? කවුද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. රමා,

      කවුද කරන්න ඉන්නෙ?

      කාට ද ඕනෙකම තියන්නේ?

      කවදද කරන්නේ?

      අපි, අපිට, අද.

      Delete
  2. වෙද මහත්තයාට කියන්න, මේ කාරණා දැක්කම ආයේ කියන්න දෙයක් නෑ.. අනිවාර්යයයෙන්ම...

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයට බොහෝ කාර්‍ය්‍යයභාරයක් පැටවී ඇත. කෙදිනක හෝ අපි අපේ රට තැනකට ගත යුතුයි. ඒ දවස එනතෙක් .........

      බලාසිටිමු ද?

      හමුවන්න ඉදිරියට යමු ද?

      Delete
    2. මෙහෙමයි වෙද මහත්තයා, අප මතයක් ඉදිරිපත් කර පමණින් මේ රටට වෙන සෙතක් නෑ.. ඇත්තටම අප මතු කරන මතය සම්පුර්ණයෙන් සත්‍ය බව කිව්වත් ත්‍රිවිල් එකක යන අයගෙන් උනත් දෙතුන් දෙනෙක් පිළිගන්නේ නෑ.. ඒ මානසිකත්වය මේ කාලාන්තරය තිස්සේම වෙනස් කරමින් ඇවිල්ල අන්තිම ජරා මානසිකත්වයක් සමග ජීවත් වෙන මිනිස්සු සමග තමා අපට කාලය ගත කරන්න වෙලා තියෙන්නේ.. උඩු ගං බලා පීනිමක් කියා කිව්වොත් හරි.. ඒත් උඩු ගං බලා උනත් අපට ඉවුර කිට්ටුවෙන් හෙමින් පීනන්න පුළුවන්. හැබැයි යන එන තැන ගැන අවබෝධයක් නෑ.. ඒ වගේ මම නං කියන්නේ අපි හැමෝම බලා ඉදීම පමණක් කරල මේක ගොඩදාන්න බෑ.. වල් වැදිච්චි සමාජයක්. ඒ කියන්නේ සමාජය වල් වැදල ඉවරයි. ඒකට හැමෝම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕන.

      දැං මං මෙතන කියනවා.. අරුණි සහෝදරිය කියන හුගක් දේවල් එක්ක මම එකග උනත්, සමහර දේවල් නං කොහෙත්ම එකග වන්නේ නෑ.. ඒත් මම එකග වන දේ ගැන මා ඇයගෙන් තව ප්‍රශ්න අහනවා.. එතකොට ඇය හොද උත්තර දෙනවා. ඒත් ඇය කරන දේ කවදා හෝ සමාජය ඉදිරියේ තියෙන කොට, මිනිස්සු කවද හරි කියාවි අපි ඒ දවස් වල ඇහුවේ නෑ කියලා. ඒත් දැං තත්වේ බලන්න ඇයට අනුමත නොකර ප්‍රතිචාරයක්වත් දාන්න බෑ.. ඒ වගේ තමා.. අපි කරන්න ගියත් අපට ලැබෙන ප්‍රතිචාරය.. අනිවාර්යයනේ ගිල්වා මරනවා.. මට මං ගැන දුකක් නෑ.. ඒත් මං පෘතග්ජනයෙක්. මට මගේ දරුවන් යහපත් දරුවන් කරන්න උවමනායි. ඒ කිව්වේ දෝස්තරලා. ඉංජිනේරුවෝ නෙමෙයි සංවේදි, ගුණ යහපත්, දරුවන්.. ඉතිං මම ඒකට මහන්සි වෙනවා. ඒ අතරේ මමත් පොඩි පොඩි වැඩ කරනවා. හැබැයි බොහොම පණ්ඩිත විදියට නෙමෙයි මෝඩ විදියට පේන්න.. ඔබ බලන්න මගේ බ්ලොගයේ මම සමහර දේවල් නොකියා කියනවා.. හුගක් අයට පේන්නේ නෑ.. ඒ වගේ මම ගොඩ නගන තර්කය නං අපි උඩුගං බලා පීනිය යුතුමයි.. ඒත් අපි පීනන්නේ උඩුගං බලා බව දැනගෙන රළු පරලු බව දුටු විට, ප්‍රශ්නකාරි වන විට, මෝඩයන් හමුවන විට, නම්‍යශීලි වී අර රෝමේ හැටියට ඉන්න ඕන කියන්නේ ඒ විදියට හෙමින් මේක කරන්න ඕන.. අපි විප්ලවවාදී අදහස් එක පාරට කිව්වට ඒක නිකං අහස් ගුණ්ඩුවක් විතරයි.. ඔබට ජය (ආයේ කියෙව්වේ නෑ ඔන්න දැම්මා)

      හෙහ්. මොනා උනත් පොඩි ආතල් එකක් ජීවිතේට තියෙන්නත් ඕන. කුප්ප වැඩ කොරන්නත් ඕන.. ඔය මාවෝ කරේ.. හික්...

      Delete
  3. වෙද මහත්තයා මැද පෙරදිග ගෘහ සේවිකාවකට එතරම් මුදල ලැබෙන්නේ නෑ. බොහෝ විට රුපියල් 25000 ට අඩුයි. ඉංග්‍රිසී භාෂාව පිළිබඳ දැණුමක් ඇති අයට ඊශ්‍රායලයේ හා සයිප්‍රසයේ නම් යම් කිසි සැලකිය යුතු මුදලක් ලැබෙනවා. අපේ රටට හෙන ගහන්න හේතුව කිසිම ප්‍රතිපත්තියක් නොමැති කම. බලන්න නවීන සංවර්ධනයෙනුත් කිසි පලක් නෑ. බම්බලපිටියේ ඉඳලා කොල්ලුපිටියට දිවිය ළෝකේ වගේ පාර හදලා තියෙනවා. ඒත් ඒ ටික දුර එන්න ට්‍රැෆික් ලයිට් කීයක් ළඟ නවත්වන්න ඕනද..? ඇයි එක වරම පාර හරහා මාරූ වීමට උමන් මාර්ගයක් හෝ මගී පාලම් ඉඳි නොකලේ. ඒවා නැවත් ඉඳිකරන දවසට පාර පුරා ඇල්ලු ටයිල් අපරාදයක් නේද...? කිසිම සැලස්මක් නැති කමයි මූලිකම දේ. අනෙක් කරුන මෙතරම් ජන බලයක් තියෙන නායකයකු වෙලත්, 94 පටන් කිසිම දෙයක් නොකල කාළකන්නි දේශපාලුවන් පිරිසක් ඇමති වරුන් කරගෙන කරන්න යන සංවර්ධනය කුමක්ද...? ඇයි සරත් ෆොන්සේකා කලාක් මෙන් ඝෝඨාභය කලාක් මෙන් නාකී ලොන්ත බ්‍රෙගේඩියර්ලා වෙනුවට තරුණයන් ඉදිරියට ගෙනවිත් ඔවුනට වගකීම් බාර නොදෙන්නේ. අතීතය ගැන කතා කර පලක් නෑ. අප කතා කල යුත්තේ ඉදිරිය ගැනයි. ජාත්‍යන්තරය ගැන යම් කිසි හෝ දැනීමක් ඇති තරුණ පිරිසට වගකීම් ලබා දිය යුතු කාලයයි මේ. අප දැනටමත් බොහෝ ප්‍රමාදයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් මම සිතා සිටියේ ගෘහ සේවිකාවකට යම් මුදලක් ලැබේ යැයි කියා. බැලුවම මහ හිඟන මුදලක්නෙ ලැබෙන්නේ. එතකොට මේ උඩදාගෙන යවන්නේ මොකටද? මගේ නම් තීරණය නුපුහුණු ශ්‍රමිකයින් ගැහැණු පිරිමි රට යැවීම තහනම් කළ යුතුයි. මොකද එයිට වඩා මේ රටේ හම්බ කරන්න පුළුවන්.

      අනික අපේ ජාතික ගතියනෙ සැලැස්මක් නැතිකම. මතකනේ දුටුගැමුණු කුමාරයා බත් කෑ හැටි. ඔක්කොම එක වගේ තමා. කොහොම හරි දත ගහන් ඉන්න විතරයි බලන්නේ. අද කෑවොත් ඇති හෙට මොනවා වුනත් කමක් නැහැ. ජාතික දිනය කියන්නේ මේවා ගැන නැවැත හිතන දිනය වෙන්න ඕනෙ කියන එකයි මට මතක්කර දෙන්න ඕනෙ කළේ.

      Delete
    2. ගැමුනු කුමාරය නම් බත් කන හැටි ඉගෙන ගත්තනේ

      Delete
    3. ඒකනේ අදත් සම්භාවනාවට පාත්‍ර වෙන්නෙ. අපි........

      Delete
    4. ඔබ කියන දේ අසත්‍යක් නැහැ. නමුත්, බොහෝ කාන්තාවන් විදේස් ගෘහ සේවයට යනුයේ දරිද්‍රතාවය දරා ගැනීමට අපහසුම අවස්ථාවල. එය සෝචනීය තත්ත්වයක් වුවද, ඊට නිසි පිළිතුරක් රටේ ආර්ථ්ක සහ දේශපාලනික වශයෙන් ලැබී නැහැ. ඒ අනුව බලන විට අපි තැබිය යුතු පියවර ගණනාවක් ම තිබෙනවා. නමුත්, මා දන්නා පරිදි සහ සිතන පරිදි ජනතාවගේ ද ඇත්තේ ඇල්මැරුණ තත්ත්වයක්.
      අපේ ලොක්කන් අපිට කියන්නේ දුප්පත්කම 8% අඩු කළා කියලා. නමුත්, ඔහුන්ගේ දුප්පත්කම මනින නිර්ණායකය වනුයේ එක් ශ්‍රමිකයෙකුගේ මාසික ආදායම රු 3611/- කට වඩා ආදායමක් ලැබීමයි. තවත් අයෙක් කියනවා එක් අයෙකුට මසක වියදමට රු 2500/- ක් සැහෙන බව....

      Delete
  4. හිතවත් වේදමහත්මයණනි, මම බ්ලොග් අදහස් ප්‍රකසකරන්නේ කලාතුරකිනි, ඔබේ ලිපියට යම් අදහසක් ප්‍රකාශ කිරීමට කැමති.
    ඔබට මතකාති 1994 පෙර පැවති රජයේ දුෂණ ප්‍රමාණ නැත කියා කිව්වේ චන්ද්‍රිකා මැතිනියයි නමුත් ඔබට මතකද අඩුපමනින් එකම පුද්ගලයෙක් වරදකරුවෙනවා එඉන්පසු 2001 රනිල් මහතා බලය ලබාගත්ත ඔබ දැක්කද කවුරුන්හෝ වරදකරුවෙනවා පසුව සෝමවංස මහතා සිටි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු සන්දානය බලයට පත් උනා කවුරුන්හෝ වරදකටු උනාද ඊටත් පසු ගිහියන් වංක බව කියමෙන් දර්මරජ්යට යෑමට පාර්ලිමේන්තු වැඩිය, කිසිවෙක් දුෂණ වලට වැරදිකරු උනාද ?

    මට නම් තේරෙන්නේ සොර කණ්ඩායම් කීපයක් විසින් කරන මංකොල්ල යක් කියලය්, මෙහි වරද ජනතාවගේ මිසක් වෙනකගේද ?
    යම් දවසක මෙය නිවැරදි වන්නේ ජනදවට මෙය දරාගත නොහැකි පීඩනකට පරිවර්තනය වූ අවස්ථාවක , එතෙක් ජනතාව මෙගා ටෙලි නරබමින් කාලය ගෙවනු ඇති.

    මම ලංකාවේ නිෂ්පාදිත බාන්ඩයක් අපනයනය කිරීමට උත්සහයක් ගත්ත ඔබ පුදුමවෙවී මම අවස්ෂ අවසරය ගැනීමට රේගුවට දුරකථන ඇමතුමක් ගත්විට මව රජයේ අම්මත්යන්ස කීපයක අවසරය අවස්යබව පැවසුවා . එම දෙපාර්තමේන්තු වලට අමතුවිට ඔවුන් සිදුකරේ මා ව වටෙයවීමයි. මගේ අදහස නම් අපරටේ පාලකයන්ට මුදල් සෙවීමත අවස්ශය වන්නේ තියන දෙයක් විකුණා හෝ නය ගෙනෙ මෙහිසිටින මෝඩ මිනිසුන්ව මුලකීරිම බවයි.

    තිලිණ

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලියි. ඔය ඔබ කියන මාෆියාවට අසු වූ අයෙක් මමත්. නමුත් මම මගේ හැකියාව අනුව මගේ ජයග්‍රහන ලබා ගත්තා. ඒකෙන් මේ රටට කිසිම සේවයක් වන්නේ නැහැ. මම දන්නවා ඒක. නමුත් මාව අනවශ්‍ය නම් මම පැන පැන දෙන එකේ තේරුම මොකක්ද. මේ ගැන මම ලිපියක්ද ලියා ඇති. ඒ කෙසේ හෝ ඔබ වැනි අය වෙන රටවල කෝටිපතියන්. නමුත් අපි උපන්නේ වැරදි තැනක. රටේ වරද නෙමෙයි. මේ අමන මිනිසුන්ගේ වරද. මේවා දැක දැක ඒ වරදම කරන මිනිසුන්ට අමතන්න හොද පදය මොකක්ද කියා මම නම් දන්නේ නැහැ. ඔබේ එක් වාක්‍යයකින් මගේ මුලු ලිපියම කියැවෙනවා. හොරු රැලක් විටින් විට බෙදාගෙන කනවා තමයි.

      Delete
  5. මේ පෝස්ට් එක සම්බන්දව ඉතා දිගු වශයෙන් කතා යුත්තක් වේද මහත්මය .නමුත් අප සිටින්නේ ගලේ පහරා හත් පොලේ ගාගනිමින් සිටිනා යුගයකයි .එනිසා කල යුත්තේ කුමක් දැයි වැටහුනත් , කර කියා ගන්නට දෙයක් නැතිව බලා හිඳිමි...( පසුව පැමිණ අදහසක් ප්‍රකාශ කරන්නම්, මගේ සිංහල එකට ප්‍රශ්නයක් ඇවිත්...ප්‍රශ්නාර්ථ ලකුණ වත් ටයිප් karaganna බැහැ ..)

    (prashnartha lakuna nathuwa me mathrukawa kathaa karanna baha)

    ReplyDelete
    Replies
    1. ගලේ පැහැරූවන් ලෙස තමයි අද අපිට ඉන්න බලකරලා තියන්නේ. ඒක තමයි ඇත්ත.

      Delete
  6. මට මතක විදිහට රටේ වාර්ෂික ආදායමෙන් 23% ක් වැයවෙන්නෙ රජයේ සේවකයින්ගෙ පඩි නඩි ගෙවන්න. ඒත් ඒ වියදමේ හැටියට රාජ්‍ය සේවකයගෙන් රටට සේවයක් 'ගන්නවද' කියන ප්‍රශ්ණෙ අපි අවංකවම අහල බලන්න ඕනි.

    රට දියුණු කරන්නනං අනිවාර්යයයෙන්ම රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න ඕනි. ඒත් දැන් යන විදිහට ඒක කරන්න ටිකක් අමාරුයි. ඒකට මුලින්ම දේශපාලන පත්වීම් කියන දේ නවත්තන්න ඕනි. රජයේ සේවයට ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නැති අය එන්නෙ දේශපාලන පත්වීම් හරහා.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය දියුණු කරන්න දියුණු ක්‍රමවේද භාවිතයට ඉඩක් ඇද්ද? ඒක බඹර වදේට ගල් ගැහුවා වගේ වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩු කට පියාගෙන ඉන්නෙ. ඇයි මිලියන 5 ඡන්ද????? අඩු ගානේ මිලියන් 2වත් ඇතිනේ.
      ඒ නිසා තමයි මේ දේවල් වෙනස් විය යුතු.

      Delete
  7. උදාහරණයකට අවුරුදු ගාණකට කලින් අපි ස්වයංපෝෂිත රටක්. කතාවට කිව්වෙ පෙරදිග ධාන්‍යාගාරය වගේ නම්. හැබැයි අද තියෙන දියුණු යැයි කියන ජාන තාක්ෂණය, නවීන තාක්ෂණික ක‍්‍රම වගේ දේවල් එදා නොතිබුණා නේද? ඒව නැතුව වුනත් අපේ පැරැුන්නන්ට හොඳ කළමණාකරණයක්, අත්දැකීම් වලින් එකතු වෙච්ච දැනුමක් තිබුණ. ඒ කාලාන්තරයක් තිස්සේ අපි අත්වින්ද පැරණි සිංහල සංස්කෘතික උරුමයත් එක්ක. පරංගි මේ රටට ආපු දා ඉදල තමයි මෙ වින්නැහිය වෙන්න පටන් ගන්නෙ. අපි අපේ දේ අතහැරල වෙන අයගේ සැලසුම් ගැන උනන්දු වෙන්න පටන් ගත්ත. ඒ සැලසුම් එක්ක ආපු ඒ සැලසුම් වලම උච්ච පරමාර්ථය වෙච්ච මහා උගුලක අපි හිරවෙලා කොනක් හොයා ගන්න බැරුවයි අද ඉන්නෙ. මේක දීර්ඝ මාතෘකාවක්.

    වෙද මහත්තයා මේ එක ලිපියකට සීමා නොකර එකින් එක ගැන දීර්ඝව සාකච්ඡුා කරාවි කියල ඇනකොන්ඩා බලාපොරොත්තු වෙනව.

    මේ අපේ ජාතියට විචාරශීලීව හිතන්න දැනුම අවශ්‍ය වෙලාවක් කියලයි ඇනකොන්ඩා හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනකොන්ඩා බලමු ඉදිරියේදී විවේක ඇති හැටියට. ඔබ කියන දේ මට වැටහෙනවා. අපි කතා කළ යුත්තේ මේවාතමයි. බ්ලොග් වල ඇති වටිනාකම අපි තාම තේරුම් ගෙන නැහැ.

      Delete
    2. ‘‘බ්ලොග් වල ඇති වටිනාකම අපි තාම තේරුම් ගෙන නැහැ’’

      මේ කතාව හරියටම හරි.
      ඔබේ බ්ලොග් එකේ උඩ තියනව වගේ අඩුවෙන් කතා කරන, අඩුවෙන් අපිට ඇහෙන අපේ උරුමයන් ගැන කතා කරන්න. ආයුර්වේදය වගේම අපේ සිංහල වෙදකම වගේ දේවලූත්

      Delete
    3. ‘‘බ්ලොග් වල ඇති වටිනාකම අපි තාම තේරුම් ගෙන නැහැ’’

      අනිවාර්යයෙන්ම! අවසානයේ නිදහස් මාධ්‍යයක් ලෙස අපට ඉතිරි වන්නේ බ්ලොග් අවකාශය පමණයි.

      Delete
  8. //
    මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

    කුමක්ද අපිට වුණේ??

    …//


    …කුමක්ද අපිට උනේ ? මේ කාරණයනම් මාත් නිතරම හිතන එකක් . කොතනද අපිට වැරදුනේ කියල .
    …සැබෑවටම රටට ආදරේ කරන පිරිසක් බිහි වන තාක් කල් , මේවට විසඳුම් නැති වෙයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ගිම්හාණී ඒ අපි කල්පනා කැල යුතුමයි. එතැනයි අපේ ගැලවීම ඇත්තේ.

      Delete
  9. අතීතයේ කරපු වැරදි මොනවා දැයි දකින්න බැරි නම් ඒවා හදාගන්න බැහැ. ඒ වැරදි දිගින් දිගටම කරමින් වැරැද්දක් වූවා යැයි පිළිගන්නා අයත් එයම නැවතත් කරන්නට සිද්ධ වෙන හේතු මේවා මේවා කියා වැරැද්ද සාධාරණීය කරන්න හදනවා.

    1796 දී බලයේ ඉන්න කියා හැමෝම ඉල්ලා සිටිය දී ජනාධිපතිකමෙන් අස්වෙච්ච ජෝර්ජ් වොෂිංටන් සමුගැන්මේ ඇමතුමේ දී කියපු වටිනා අවවාදයක් තියෙනවා: "ව්‍යාජ ජාත්‍යාලය මවා පාන රැවටීම්කරුවන්ගෙන් ආරක්ෂා වන්න."

    ReplyDelete
    Replies
    1. අක්කා ඔබ මට ලබා දුන් දැනුම දෙවනි වන්නේ නැහැ, මා දැනුම ලබා ගත් කිසිම ප්‍රභවයකට. ඒ තරම් විශිෂ්ඨ දැනුමක් ඔබ මට ලබා දුන්නා. අපි අතීතය පිළිබඳ උදම් අනනවාට වඩා දයක් කර නැහැනෙ. ඒකනෙ අපිට අඩියක් ඉදිරියට යන්න බැරි. ස්තුතියි අක්කා.

      Delete
    2. අකමැත්තෙන් වුව අරුණි නමින් ඉන්නා කෙනා කියන දේ පිළිගන්න වෙලා තියනවා වෙද මහත්තයා.

      Delete
  10. බුදු අයියේ . . ඔයාගේ ලිපියේ එක එක කෑල්ල වෙන වෙනමම දැම්මා නම් ඇත්තෙන්ම විශාල පරාසයක කරුනු ගෑන් කාලයක් අපිට සංවාද පවත්වනන් ඉඩ තිබුනා

    (අපේ සංවාද වලින් කිසි වෙනසක් නැති වෙන එක වෙනම ම කතාවක් ඒත් අඩු තරමින් අපිට අපි ඉන්නේ කොතැනද කියල වත් තේරුම් ගන්න ඒක ප්‍රයෝජනවත්නේ).

    ඒ නිසා ආපහු පොඩ්ඩක් ඒ ගැන හිතන්න.

    මේ ලිපිය මෙහෙම්ම තියෙද්දේ එක එක කරුන මේ ලිපියට ලින්ක් කරලා කෙලියෙන් දාන්න.

    ReplyDelete
    Replies
    1. දුකා ඒකට ඉඩ හරි අඩුයි. මම ආයී...... එක්කො ඕනෙ නැහැ බලමුකෝ......

      Delete
    2. හරි හරි මටනම් තෙරුනා ....

      Delete
  11. යෝජනානම් ඕන තරම් තියෙනවා, ඒත් ඒවා ක්‍රියාත්මක කරන්නෙ කවුද..?

    අඩුම ගනනෙ ජනගහණය පාලනය කරන එකවත් හරියට කළොත්....!! ඒකෙන්වත් සැලකිය යුතු සහනයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ සුමිත් මම මේ දුන්නේ යෝජනා නෙමේ. අපි කියන්නෙ මේ ක්‍රමය එහෙම පිටින්ම වෙනස් කරන්න ඕනෙ. අර ජේ. ආර්. 1977 දී කළා වගේ ආයිත් අලුත්ම වෙනසකට කාලය ඇවිත්. මේ ප්ලාස්ටර දලා හරියන්නේ නැහැ. කරන්නේ කවුද..... අපි..... ඇයි අපිට බැරි. අපි වෙනසකට හිතලවත් තියනවද? වෙනසකට මුල පුරන්න දැනුමක් තියනවද? අන්න ඒ නිසා අපි පටන් ගන්න ඕනෙ තැනයි මම පෙන්නුවේ.

      Delete
  12. නිදහස් දවසේ නිදහස් චින්තනයක්. අප මව් බිම දිනේවා!

    අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීමට කැමත්තෙමි. සෞඛ්‍ය විද්‍යාවට A සාමාර්තයක් ගත්තත් වැසිකිලි ගොස් සබන් දා අත හෝදන්නේ නැත්නම් මේ සෞඛ්‍ය පාඩමවල A සාමර්තයේ පල කිම. කොයි විශ්ව විද්යාලයේද සබන් තිබෙන්නේ?
    ------------
    පසුගියදා පිටකොටුව පැත්තේ යද්දී මා දුටුවා ටෙක්නිකල් හන්දියෙන් පිටකොටුව දෙසට යන විට වම් පසින් තිබෙන, බේරෙ ඇල ඉවුරේ ඉදිකර තිබෙන කුනු තාප්පය කඩා දමා තිබෙනවා. මෙය කුඩා කල මට ඇති වූ අදහසක්. ලස්සන තැන් වසා දමමින් කුණු තාප්ප කුනු බිල්ඩින් කුනු කඩ කාමර ඉදි වෙන්නේ ඇයි කියල.

    නව චින්තනයක් නගිමින් ඇත.

    ඒත් කරුමෙක මහත එය එන්නේ ජනතාවට කරුමයක් වන බලාධිකාරයක් ඇති කරමිනි. ආගමික අන්තවාදයට උඩ ගෙඩි දෙමිනි. ස්වාධීන ආයතන දීන බවට පත්කරමිනි. අවුරුදු තිහක් දෙමළ තරුණයන් යුද්ද කල හේතූන් අමතක කර දමමිනි.

    ඉන්දියාවට ගියාම කියනව 13+, ලංකාවට ආවාම 13 විරෝධී..
    සියලුම ප්‍රශ්නවල මුල තිබෙන්නේ එතැනය. අපි උගුරට හොරා බේත් කන්න හදනවා. සිංගප්පූරුව වගේ වෙන්නත් ඔනේ. හැබයි සිංගප්පූරුව අනුගමනය කරන ජාතික සමානත්මතා නීති අමතක කරලා.

    ReplyDelete
  13. ඔව් දයා අපි හිතන්න ඕනෙ. එහෙම නැතුව බැහැ. අර ලස්සන වගෙන තිබුනු ජරාව මොනතරම්ද? ඕකට අතවත් තියන්න කාටවත් බැරි වුනා. නමුත් ඒ කළ දේට මගේ ශීර්ෂ ප්‍රණාමය මම දක්වනවා. දැන් අපි හිතන්න ඕනෙ.

    මට ඕනෙ කරන්නෙ කමටහන් දෙන්න.

    ReplyDelete
  14. මම ඊයෙත් දෙතුන් පාරක් ඇවිත් පෝස්ට් එක කීප පාරකුයි, දාලා තිබ්බ කමෙන්ට් ටිකයි කියවලා ගියා.. කියන්න ඕනේ දෙයක් තිබ්බත් ඒක කියලා වැඩක් නෑ කියලා හිතුන නිසා.. අනිත් එක මට මහා ලොකු දේශපාලන අදහස් නෑ.. තේරුමකුත් නෑ.. ඒත මට තේරෙන ටික කියන්න ඕනේ කියලා හිතුනා...

    වෙනසක් ඇති විය යුතුයි.. ඒක ඇත්ත...

    කො‌ෙහද ඒ වෙනස ඇති විය යුත්තේ කියලා හිතුවොත් පලවෙනියටම මතක් වෙන්නේ දේශපාලනය කියන එක.. එතනදි තියෙන ‌ලොකුම ප්‍රශ්නේ දැනට ප්‍රසිද්ධ දේශපාලනයේ ඉන්න ඔක්කොම වගේ කෙටියෙන්ම කියනවා නම් හොරු වීම.. තමන්ගේ බඩ වඩා ගැනීම සඳහාම දේශපාලනයට ආපු අය...

    මේක කොච්චර ජරා මඩ ගොහොරුවක් වෙලාද කියනවා නම් වෙනසක් ඇති කරන්න ඕනේ කියලා මුළු හදවතින්ම කියන, ඒක කරන්න පුළුවන් තත්වයක ඉන්න කෙනෙක් උනත් මේකට බැහැලා ඇඟේ මඩ තවර ගන්න කැමති නෑ.... ඉතිං වෙන්නේ තව දුරටත් හොරු, මංකොල්ලකාරයෝ, පාතල චණ්ඩි, පාතල චණ්ඩි මෙහෙයවන සුදු නැෂනල් අඳින කට්ටිය බය නැතුව දේශපාලනයට එන එක...

    ඉතිං ඇත්තටම සාමාන්‍ය ඡන්දේ දෙන මිනිස්සු මේකට මොනවාද කරන්නේ... නොදා ඉන්න බෑ, වෙන එකෙක් ගිහින් ඒ ඡන්දේ හොරෙන් දානවා නම්... ගිහින් කපලා දාලා ආවොත් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම කියන උත්තරීතර අයිතිය තමන් විසින්ම නැති කරගත්තා වෙනවා.. මොකද්ද තියෙන විකල්පය.... ඉන්න හොරුන්ගෙන් තමන්ට වැඩක් කරගන්න පුළුවන් හොරාට ඡන්දේ දෙනවා... ( මේ ඉතිං මට හිතෙන විදිය.. මේවා මීට වඩා දැනුවත් අය මීට වඩා වෙනස් විදියට දකිනවද කියලා කියලා දුන්නට තරහා වෙන්නේ නෑ..)

    ReplyDelete
  15. මේක බොහොම භයානක තත්වයක් තමයි " මහ වෙදනෝ ", හැබැයි විනාසේ පටං ගත්තේ බොහෝ කාලේකට පෙර. හැත්තෑහතෙන් පස්සේ වේගවත් උනා . දැන්නං විනාස වෙන්න දේකුත් නෑ හේතුව වැරදි 'පාලන ක්‍රම ' . රට හඳන්න තිබුන "හැරවුම් ලක්ෂ දෙකකින් වැඩක් ගත්තේ නෑ එකක් 'සුනාමිය' අනික 'උතුර ජයගත් දා ' මහ ජනතාව 'එකතු උනු අවස්ථා . ලංකාවේ පාලකවරු නෑ, ඉන්නෙ ' පාලකහොරු ' . දේශපාලනයක් නෙමේ තියෙන්නේ 'ද්වෙශ පාලනයක් '. වැඩිය කතාකරන්න ගියොත් 'මර්ධනය ' . ඒ සඳහාම පත්කල අයත් ඉන්නවනේ . අපි ඔක්කොම එකතුවෙලා ඉහළම නිලයට 'ඔබතුමාව පත්කලයි හිතමු . සිකුරුයි 'ඔබතුමාත් කණපිට ගහනවා, අනිත් අය වගේ . එකයි තත්තේ .වෙන කරන්න දෙයක් නෑ බලාගෙන ඉමු බේරිලා . මේක මීට වඩා යන්න බෑ දැනටමත් මේ ක්‍රමයේ විනාසේ පටං. මහජනතාව හොඳින් ඉද්දී සියලුම ඝාතන, දුෂණ, මැරකම් හොරකං , කරන්නේ පාළකවරු . ඔයතියෙන්නෙ පත්තර පුරා .

    ReplyDelete
  16. මේක බොහොම භයානක තත්වයක් තමයි " මහ වෙදනෝ ", හැබැයි විනාසේ පටං ගත්තේ බොහෝ කාලේකට පෙර. හැත්තෑහතෙන් පස්සේ වේගවත් උනා . දැන්නං විනාස වෙන්න දේකුත් නෑ හේතුව වැරදි 'පාලන ක්‍රම ' . රට හඳන්න තිබුන "හැරවුම් ලක්ෂ දෙකකින් වැඩක් ගත්තේ නෑ එකක් 'සුනාමිය' අනික 'උතුර ජයගත් දා ' මහ ජනතාව 'එකතු උනු අවස්ථා . ලංකාවේ පාලකවරු නෑ, ඉන්නෙ ' පාලකහොරු ' . දේශපාලනයක් නෙමේ තියෙන්නේ 'ද්වෙශ පාලනයක් '. වැඩිය කතාකරන්න ගියොත් 'මර්ධනය ' . ඒ සඳහාම පත්කල අයත් ඉන්නවනේ . අපි ඔක්කොම එකතුවෙලා ඉහළම නිලයට 'ඔබතුමාව පත්කලයි හිතමු . සිකුරුයි 'ඔබතුමාත් කණපිට ගහනවා, අනිත් අය වගේ . එකයි තත්තේ .වෙන කරන්න දෙයක් නෑ බලාගෙන ඉමු බේරිලා . මේක මීට වඩා යන්න බෑ දැනටමත් මේ ක්‍රමයේ විනාසේ පටං. මහජනතාව හොඳින් ඉද්දී සියලුම ඝාතන, දුෂණ, මැරකම් හොරකං , කරන්නේ පාළකවරු . ඔයතියෙන්නෙ පත්තර පුරා .

    ReplyDelete
  17. ඉතා වැදගත් රටට අවශ්‍ය විදියේ ලිපියක්.

    මේ කිසි දෙයක් අපේ පාලකයෝන්ට නොතේරෙන එක ගැන අපි හැමදාම කනගාටුවෙන්. ඒ පාලකයෝ ළඟ ඉන්න උපදේශලා ඇත්තටම උප දේශකයෝ නෙවෙයි.තමන්ගේ හිතවත් කම් මතා ලබාගත්තු පට්ටම්. පිල්ලෙයාන් කරුණා අම්මාන් වගේ අයත් අද උපදේශලා වෙලා ඉද්දි ඔබ කියන විදියේ යෝජනා වලින් එකක් හෝ කරන්න හැකියාවක් ඇතැයි කියල සිතනවද?

    ReplyDelete
  18. හොඳ ලිපියක් ..ඒ ටික විතරක් කියන්නම්

    ReplyDelete
  19. පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
    ගල් කණු අතර හපකරමින් බුලත් විට
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
    මගේ රට තමය් ලෝකෙන් උතුම් රට

    යන්නකෝ මෙයා සම්මන්ත්‍රණයකට සම්මේලනයකට හැම ඇටේම අතගාවගෙන, අරලිය ගහ මාළිගාවට.
    PMD එකෙන් යන උන්ගේ මොළය හෝදනවා වතුරේ දාලා වගේ. මලින්ද මාමගේ රටේ ඉස්කෝල වලට අඩු පිහිනුම් තටාක විතරද කියලා හිතෙනවා. අනෙක් ඔක්කොම තියෙනවා ඇති.
    අනේ අපට මොට පායද සූරියා කියලා හිතුනා එළියට බහින කොට.

    ReplyDelete
  20. මේවාට අලගු තියන්න සිරා කොලුවා දැනමුත්තෙකු නොවන හෙයින්...ආ වග පමණක් සටහන් කරමි.

    ReplyDelete
  21. මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි..වැටත් නියරත් ගොයම් කා නම්....කා හට කියම් ද..?? අඳෝමැයි!!!

    ReplyDelete
  22. සුපිරියි වෙදතුමණි!! ඔබ අන් සියල්ල පසෙක තබා දේශපාලන බ්ලොග් සටහන් පමණක් ලීවේ නම් කොපමණ වටින්නේ දැයි සිතුණි. මන්ද යත් අද අපේ සමාජයේ නොකරනම දේ ප්‍රශ්න ඇසීම බැවිනි. ප්‍රශ්න නාහන තැනක පිළිතුරු ලැබෙන්නේ නැත. අපේ සමාජය එදා මෙන්ම අදත් එකතැන පල් වෙන්නේ අන් කවර හෙතුවකටත් වඩා රටක් වශයෙන් සහ සමස්ත ජනතාවක් වශයෙන් අපේ දේශපාලන නපුංසක භාවය නිසා ය.

    හැකිනම් මේ මාතෘකා සියල්ල ගැන එකින් එක වෙන වෙනම ලියන්න. රජයේ සේවය ගැන නම් කතා කර වැඩක් නැත. එහෙත් රාජ්‍ය සේවකයන් යයි කියන පිරිසෙන් බහුතරයක් කරන්නා වූ පරපෝෂී සූරාකෑමට එරෙහිව පත්තු කරන පළමු වෙඩි මුරය ලෙස ළඟදීම තහනම් වචනයක් ලියවෙනු ඇත.

    මට ඊළඟ මාසයට ම ලියන්නට මාතෘකා ලබා දුන්නාට තුති!

    ReplyDelete
  23. වෙදනා , මේ ලිපිය ඔබ ලියු දාම මම කියෙව්වෙමි. දැනට එය හතර වරක් කියවා ඇත්තෙමි. මේ සංවාදයට එක් වීමට මට මහත් උවමනාවක් විය . ඒ මා දත් දේ බොහෝ නිසා නොව , මෙය හදවතට ඇමතු නිසාවෙනි. මම කිහිප විටක් උත්සහ කලද , සටහනක් තැබීමට නොහැකි වුයේ මේ කිසිම දෙයක් පිලිබදව මා දත් දේ විශ්ලේෂණයක් කිරීමට ප්‍රමාණවත් නැතැයි මටම දැනුනි බැවිනි.

    නමුත් අද කෙසේ හෝ සටහනක් තැබිමට ඊට ගතිමි . නමුත් මා කලින් කීවාක් මෙන් මාගේ අඩු දැනුම නිසා ම වැඩි තේරුමක් නැති දෙයක් වීමටද ඉඩ ඇත . කිරා බලා බාර ගන්න .

    මට නම් හිතෙන්නේ අපි පලමුව විසඳා ගත යුතු ගැටලුව ශ්‍රී ලාංකිකත්වය යනු කුමක්ද යන්නයි.නැවත අපි ඒ ප්‍රශ්නයටට පැනඩෝල් විසදුම් දෙමින් රෝගය අමතක කරන්නෙමු. එය නොවිසදන තාක් කල් අපිට එක්සත් විය නොහැක . මෙය දිගට කතා කල යුතුය . ඒ සංවාදයට "නෑ බෑ " කියන්නට හැකි අය පමණක් නොව "ඔව් " කීමට බලය ඇති අයත් එක විය යුතුය බදු ගැන කතා කිරීමට මාගේ දැනුම මදිය. නමුත් මෙය පමනක් දනිමි. ආර්ථික විද්‍යා කෝණයකින් පමණක් මෙය බැලිය නොහැක. මෙය ආර්ථික විද්‍යාව , සමාජ විද්‍යාව, දේශාපාලන විද්‍යාව පැටලුනු පඹ ගාලකි. විසදුම හැම අතින්ම දිය යුතුය

    අධ්‍යාපනය ගැන නම් , මට ගැටළුවක් වී ඇති එක දෙයක් පමණක් සටහන් කරමි . මහා තරඟකාරී උසස/ පෙලෙන් ඉහලින්ම සමත් වන ළමයි ගොඩනැගිලි සදන්නට යවා , මැද ලකුණු ගත්තවුන් න්‍යායාත්මක පරීක්ෂණවලට යොමු කරන්නෙත්. රාජ්‍ය පාලනය අට පාස් අයට බාර දෙන්නෙත් ඇයි ?



    ක්‍රමයට බැන බැන සිටීම ද විසදුම .

    ReplyDelete
  24. බෙහෙත් ටිකක් ගන්න කියලා අදමයි වෙදගෙදරට ගොඩ උනේ. මොලිට වටිනා බෙහෙත් ලබනා.
    අපහු එන්නම්කෝ වේද මහත්තයෝ.

    ReplyDelete
  25. "මහා වෙදනෝ " ( මචං ) මෙතන අහන්න ඕනි ඔක්කොම ප්‍රශ්න ටික තිබෙනවා නේද ? මතක ද දේශීය වයිද්‍ය ශිෂ්‍ය සටන ?

    ReplyDelete
  26. "මහා වෙදනෝ " ( මචං ) මෙතන අහන්න ඕනි ඔක්කොම ප්‍රශ්න ටික තිබෙනවා නේද ? මතක ද දේශීය වයිද්‍ය ශිෂ්‍ය සටන ?

    ReplyDelete