Thursday, April 4, 2013

මිතුරාගේ පියාගේ නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම.

පළමු කොටස.
අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි.

කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු.

කායික රෝග ලක්ෂණ.
1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්.

අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

මේ තමයි පාකින්සන් රෝගය පිළිබඳ විස්තර.
විකිපීඩියාවෙන් ලබාගත හැකි විස්තර.

පාකින්සන් ඇති වීමට හේතු.

පාකින්සන් රෝගයේ ප්‍රභේද

මෙම රෝගය පිළිබඳ මෙයට වඩා විස්තර ඔබට ජාලයෙන් ලබාගත හැකියි. දිනක අපි ඒ ගැනත් කතා කරමු.
පාකින්සන් රෝගයේ ප්‍රභේද වලින් 4 වන ප්‍රභේදය වන මෙහිදී අපේ කතානායක පියා හා සමවන බවයි මගේ අදහස. එම නිසා අපි ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බලමු.

මෙය ශරීරයේ අනෙකුත් පද්ධතීන්ගේ ක්‍රියාවන් ද අඩාල කරන්නාවූ රෝගයකි. විශේෂයෙන් ම මොළයේ වෙනත් පද්ධතීන් හි ක්‍රියාකාරීත්වයේ විශාල වෙනස්කම් ද මින් ඇති විය හැකිය. එනම් ක්‍රියාකාරීත්වය අඩු විය හැකිය. ශරීරයේ සමබරතාවය අඩු වේ. ස්වයංසාධක පද්ධතියේ ක්‍රියාකාරීත්වය බොහෝ අක්‍රමවත් විය හැක. පේශීවල දැඩි බව ඇති විය හැකිය. ස්නායුක සම්බන්ධීකරණය දුර්වල වේ. මෙම ක්‍රියාවන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම මෙහිදී ඇති විය හැක.

බොහෝ විට වයස අවුරුදු පනස් ගණන්වල මැද සිටින අයට මෙය බහුල වේ.
මෙම රෝගීන් සහ පාකින්සන් රෝගීන් වෙන් වෙන්ව හදුනා ගැනීම ඉතා අපහසුයි. මෙම රෝගීන්ගේ රෝග තත්ත්වයේ වර්ධනය වේගවත් වීම සහ පාකින්සන් රෝගයට ලබා දෙන ඖෂධ වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන් ද මෙම රෝගය හදුනා ගැනීමට යම් උපකාරයක් ලබාගත හැකිය.

ඉහත අප සඳහන් කළ රෝග ලක්ෂණයන් වන ප්‍රචණ්ඩ වීම, අසභ්‍ය වීම, නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම, සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම, යන ලක්ෂණ ඇති වූ අන්දම දැන් ඔබට සිතා ගැනීමට හැකි යි සිතමි. මොළයේ අවක්‍රියාකාරීත්වය නිසා මෙම සියලුම ලක්ෂණ ඇති වේ.

නමුත් දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් අපේ මිතුරා පියා හා කළ සංවාදයයි. තව ද මිතුරා මළගිය ප්‍රාණකාරයෙක් හා පියා මාර්ගයෙන් කතා කිරීමයි. ඇත්තෙන්ම මෙය විය හැකි ද?
මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

නමුත් අමරාවික්කේපවාදීව නොව විද්‍යාත්මක පිළිතුරක් මෙයට ලබා දිය හැකිය. මම ඔබව දැන් බුදු දහම දෙසට ගෙනයමි.

ඔබට මතක ද? මා පසුගිය ලිපියේ කතා කළා චිත්ත, මන, විඤ්ඤාණ නම් මාතෘකාවක්. දැන් අපි බලමු ඉතා කෙටියෙන් සහ පාලියෙන් තොරව ඒ පිළිබඳ යමක් උගෙනීමට.

මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ.[1] මෙම චිත්ත, මන, විඤ්ඤාණ යන පදතුන වෙන වෙනම ගෙන ඉතාම කෙටියෙන් සලකා බැලීමට මම මෙහිදී අදහස් කරමි. නමුත් විඤ්ඤාණය පිළිබඳ වෙනම ඉදිරියේදී සලකා බලමු. (මගේ විෂය වන මඳසරුභාවය හා විඤ්ඤාණය අතර පවතින දැඩි සම්බන්ධය නිසා එය ඉතාම වැදගත් බැවින් එසේ එය වෙනම දිනක කතා කරමු.)

චිත්ත
චිත්ත සංකල්පය මිනිස් ඉතිහාසයේ මුල් යුගයේ සිටම මිනිසා විසින් ගවේෂණයට ලක් කෙරුණකි. බුදුන් වහන්සේගේ යුගයටත් කලින් එවැනි ගවේෂකයන් ඉන්දියාවේම විසූ බව ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, වැනි ශාස්ත‍්‍රෑන් පිළිබඳ සඳහන් වන සච්චක සූත‍්‍රයෙන් හෙලි වේ.[2] චිත්ත යන්නෙහි දී මනෝ, සහ විඤ්ඤාණ යන වචන දෙකෙන් ආවරණය නොවන මානසික ක්‍‍්‍රියාකාරීත්වය විස්තර කෙරේ. මානසික ක්‍‍්‍රියාවලියෙන් වැඩි ප‍්‍රමාණයක් මෙමගින් ආවරණය වේ. සිත කිලිටි වීම නිසා නොයෙකුත් රෝගාබාධ, සහ විවිධ ගැටලූ වලට ලක් වේ. එසේම සිත කිලිටි වන්නේ රාග, දෝෂ, සහ මෝහ වැනි අකුසල සහගත චිත්ත වේගයන් නිසාය.[3] කය හෝ මනස රෝගී වීම, අයහපත් චිත්ත වේගයන් ඇතිව යමක් කීම හෝ කිරීම නිසා සිදු වේ.[4] චිත්ත යනු සිතීම යන ක්‍‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයන්ගෙන්ගෙන් යුත් තත්ත්වය හෙවත් ඒවා රැස්කරගත් මානසික තත්ත්වය ලෙස විග‍්‍රහ කළ හැකිය.
මේ අනුව පුද්ගලයෙක් ගොඩනඟාගත් මානසික පදනම ”චිත්ත” යන පදයෙන් නියෝජනය වේ. පෘථග්ජන මානසිකත්වයේ ඇති සැලෙන සුළු බව ,

”ඵන්දනං චපලං චිත්තං”

යනුවෙන් දැක්වේ. ලෝකය මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස මානසික ක්‍රියාව දැක්වීමට යොදා ගෙන ඇත්තේද චිත්තයි.[5] චිත්තය යටි සිත , එසේත් නොමැති නම් උපවිඤ්ඤාණය ලෙසද හඳුන්වා දියහැක.

චෛතසික
සිත හා නොබිඳී පවතින සිත හා ඒකාබද්ධව පවතින ධර්මතාවක්, හෙවත් චිත්ත ගතිය චෛතසික නමින් හැඳින්වේ.
බෞද්ධ සූත‍්‍ර සාහිත්‍යගත සූත‍්‍රයන් අනුව බැලූ විට පහත සඳහන් සූත‍්‍ර මගින්ද චිත්ත සහ චෛතසික පිළිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කළ හැකිය. 1. මජ්ඣිම නිකාය චත්ථූපම සූත‍්‍රය,[6] 2. එම චූළහත්ථිපදෝපම සූත‍්‍රය,[7] 3. එම සතිපට්ඨාන සූත‍්‍රය,[8] 4. එම සබ්බාසව සූත‍්‍රය,[9] 5. එම දන්තභූමි සූත‍්‍රය,[10] 6. සංයුක්ත නිකාය අන්තරක්ඛිත සූත‍්‍රය,[11] 7. එම ගද්දුල බද්ධ සූත‍්‍රය,[12] 8. අංගුත්තර නිකායේ නිබ්බේධිත සූත‍්‍රය,[13] යනාදී සූත‍්‍ර ද මේ සදහා නිදසුන්ය.

මනෝ
ඇස, කන, නාසය, කය සහ දිව යන ඉන්ද්‍රිය්‍යන් පහට ”මන” ඉන්ද්‍රිය එක් වූ විට ශරීරයේ ඉන්ද්‍රිය්‍යන් සංඛ්‍යාව හයක් බවට පත් වේ. මෙහි අදහස ”මන” යනු ද ඉන්ද්‍රියක් බවයි.[14] පසිඳුරන් දියුණු කළ හැකිය. හික්මවිය හැකිය. මනසද හික්මවීම මෙන්ම දියුණු කිරීමද කළ හැකි බව මේ අනුව තේරුම් ගත හැකිය. අනෙක් ඉන්ද්‍රිය්‍යන් පහද මනසද රැකගැනීමෙන්ද, හික්මවීමෙන්ද, දියුණුවට පත් කිරීමෙන්ද, සිදු වන්නේ යහපතකි. ඇස, කන, නාසය, දිව, කය යන පසිඳුරන් මගින් විවිධවූ සංවේදනයන් ලබා ගනී.[15]

මනෝ යන්න ධම්ම නම් වූ ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ ක්‍‍්‍රියාත්මක වේ.

චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපචරති..... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපචරති..

මනස ඉන්ද්‍රියක් වුවත් අනෙකුත් ඉන්ද්‍රියන් මෙන් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියක් ලෙස ක්‍‍්‍රියාකරන බව පෙනේ.[16]

මනස සහ චිත්තය
නූතනයේ දී චිත්ත සංකල්පය පිළිබඳ සාකච්ඡ කරන විට මනස යන්න පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරයි. ඒ නුව මනසේ ප‍්‍රධාන කොටස් දෙකක් දකවාලිය හැකිය. 1. සඤ්ඤි මනස - මනස ලෙසින් මස්තිෂ්කය හෙවත් මොළය අදහස් කරයි. 2. උපවිඤ්ඤාණය යනුවෙනි - එනම් චිත්තය යි. ගුණපාල ධර්මසිරි මහතාගේ දාර්ශනික ප‍්‍රශ්න නම් ග‍්‍රන්ථයේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් අඩංගු වේ.[17]

දැන් ඔබ ඉතා පැහැදිලිව ඉතා දළ අදහසක් ලබා ගත්තා චිත්ත, මන, විඤ්ඤාණ සම්බන්ධව. මේ කතාව කොහොම ද අපේ මිතුරාගේ සිද්ධිය හා සම වන්නෙ. අන්න එතැන තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු තිබෙන තැන වන්නෙ. දැන් නැවත මම ඔබට පොඩි කාරණයක් කියන්නම්. අපේ රටේ සිටි මහත් දැනුමක් තිබූ යතිවරයාණන් කෙනෙක් තමයි වල්පොල රාහුල කියන්නෙ. එතුමා ගේ What the Buddha taught ග්‍රන්ථයේ තිබෙනවා මේ සටහන. අපි එතැනින් මේ ගැටලුව ලෙහන්න පටන් ගමු.

Right mindfulness (or attentiveness) is to be diligently aware, (1) KAYA, (2) Sensation or Feeling (VEDANA), (3) the activities of the mind (CITTA) and (4) Ideas, Thoughts, conceptions and things (DHAMMA). [page 48]

මෙහි සිංහල අර්ථය වන්නේ,
සම්මා සතිය නම් (1) කාය හෙවත් ශරීරයේ පැවැතුම්, (2) වේදනා, (3) චිත්ත හෙවත් සිතෙහි පැවැතුම්, (4) ධම්ම හෙවත් අදහස් සිතුවිලි හැඟීම් ආදිය යන මේවා පිළිබඳ මනා සිහියයි.

එනම් මනස යනු ඉන්ද්‍රියකි. මන යන ඉන්ද්‍රියට ගෝචර වන සිතුවිලි හැඟීම් අදහස් යන ධම්ම යනු මනසේ ක්‍රියාව නිසා ඇතිවන ඵලය යි. මේ කාය යනු පුද්ගල භාවයේ භෞතික තත්ත්වය යි. මේ අනුව මනේන්ද්‍රිය, ධම්ම, වේදනා සහ කාය යන මේවායේ සමායෝජනය නිරෝගී පුරුෂයා ය.

අපේ මිතුරාගේ පියා මනෙන්ද්‍රිය දුර්වල අයෙකි. එයට හේතු දෙකක් ඇත.
1. ඔහුගේ සිතුවිලි මේ කථාවේ අන්දමට පෙර ඔහුගේ දිවියේ ගැටලු ද පසුකාලීන දිවියේ ගැටලු ද නිසා දුර්වල වී ඇත. නිහඬ චරිතයක් බැවින් එම පසුගාමී චිත්තය ඔහුට මහත් පීඩාවක් ඇති කරයි. එය මනසේ ඒකාග්‍රතාවයට බාධාවකි. ප්‍රතිඵලය මානසික ආතතියයි.
2. ඔහු පෙළන කායික රෝගීතාවයන් ද හුදු මනේන්ද්‍රිය දුර්වල වීම නිසාම ඇතිවන ඒවාය. එය ද ඔහුගේ චිත්ත, වෛතසික, කායික ඒකාග්‍රතාවය සහ සමායෝජනය සමබරව පවත්වා ගැනීමට බාධාවකි. මේ නිසා යම් ආතතික තත්වයක් ඇති වේ.

දැන් අපට පහසුවෙන් පියාගේ රෝගී තත්ත්වයන් දෙකක් හඳුනා ගැනීමට හැකිය. ඒ ඉතා සුළු මානසික ආතතියක් සහ පාකින්සන් රෝගයේ හතරවන ප්‍රභේදය වන Multiple System Atrophy (MSD) යි.
මෙම රෝග දෙකෙන් පියා පෙළෙන බව මේ අනුව පැහැදිලිය. ඒ එසේ නම් ඔහුට යම් සුවයක් ආවේ කෙසේ ද? ඒ පිළිබඳ සදුදාට පමණ සලකා බලමු.

තවත් ගැටලුවක් ඇත. මිතුරා සමග කතා කළ මළගිය ප්‍රාණකාරයා කවුද? ඒ පිළිබඳත් සදුදාටම කතා කරන්නම්.

References
1. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
2. මජ්ඣිම නිකාය 01, මහා සච්චක සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 566.
3. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය තෘතීය භාගය, බු. ජ. මු. 2006, පිටුව 260.
4. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, යමක වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 26.
5. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, චිත්ත වග්ගය වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 34.
6. මජ්ඣිම නිකාය 01, වත්ථූපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 264.
7. එම, චූළහත්ථිපදෝපම සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 426.
8. එම, සතිපට්ඨාන සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 134.
9. එම, සබ්බාසව සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 18.
10. මජ්ඣිම නිකාය 03, දන්තභූමි සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 304.
11. සංයුක්ත නිකාය 01, අන්තරක්ඛිත සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 136.
12. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 256.
13. අඬ්ගුත්තර නිකාය 04, නිබ්බෙධික සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 200.
14. බුදුන් වදාළ ධර්මය, වල්පොළ රාහුල හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 2010, පිටුව 31.
15. මජ්ජිම නිකාය 03, බු.ජ.මු. 2006, පිටුව 180.
16. මජ්ජිම නිකාය 03, බුද්ධ ජයන්ති මුද්‍රණය, 2006, පිටුව 180.
17. දාර්ශනික ප‍්‍රශ්න, ගුණපාල ධර්මසිරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොළඹ 1970, පිටුව 71.

19 comments:

  1. "මෙය ශරීරයේ අනෙකුත් පද්ධතීන්ගේ ක්‍රියාවන් ද අඩාල කරන්නාවූ රෝගයකි. විශේෂයෙන් ම මොළයේ වෙනත් පද්ධතීන් හි ක්‍රියාකාරීත්වයේ විශාල වෙනස්කම් ද මින් ඇති විය හැකිය. එනම් ක්‍රියාකාරීත්වය අඩු විය හැකිය. ශරීරයේ සමබරතාවය අඩු වේ. ස්වයංසාධක පද්ධතියේ ක්‍රියාකාරීත්වය බොහෝ අක්‍රමවත් විය හැක. පේශීවල දැඩි බව ඇති විය හැකිය. ස්නායුක සම්බන්ධීකරණය දුර්වල වේ. මෙම ක්‍රියාවන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම මෙහිදී ඇති විය හැක. "

    මේ නිසා තමයි පියාට තනිවම නිවසින් බැහැර නොවී සිටීමට සිදු වී තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එය තමයි මට පෙන්වන්න ඕනෙ කළේ. පියාට කායික දුර්වලතා ඇති වූයේ පාකින්සන් නිසා. නමුත් මානසික දුරවලතා ඇති වූයේ,
      1. ඔහුගේ අතීතය,
      2. වර්ථමානය,
      3. කායික දුබලතාවය,
      4. දුර්වල මානසික තත්ත්වය ආදී සියල්ලෙ එකතුවෙන් ඇති වූ බලපෑම නිසා මනේන්ද්‍රිය තවත් දුර්වල වීමෙන්.

      Delete
  2. පළමු ලිපිය කියවීමේදී දැනුණා ඔබ යම් යම් මනෝමය ජීවින් ගැන
    විස්වාසයක් නොකරන බව පෙන්වීමට දරණ උත්සහයක් ..කෙසේ හෝ
    ඔබ ලිපි මාලාව අවසන් කරන්නේ ,

    01. භූත වේවා , ප්‍රේත වේවා , යක්කු වේවා , දේවාත්ම වේවා මොන යම්
    හෝ මනෝමය ජීවී කොට්ඨාශ මේ ලොව තුල නැති බව පෙන්වීමට නම්
    මේ කිසිත් සමග එකඟ නොවෙමි..


    02. සියලුම රෝගී තත්වයන් ඇති වන්නේ භෞතික සාධක මත පමණයක්ව
    බව පෙන්වීමට නම් මේ කිසිත් සමග එකඟ නොවෙමි..

    03. එක / කීපයක් උදාහරණ ගෙන හැර පාමින් මේ සියල්ල brain chemistry
    මත සිදු වන දේවල් යැයි පැවසීමට නම් මේ කිසිත් සමග එකඟ නොවෙමි..

    ReplyDelete
    Replies
    1. සහන් මම බෞද්ධ වුවත් එය දර්ශනයක් ලෙස පමණයි මගේ හැදෑරීම. ආයූර්වේදය, බුදු දහම ඇතුලු සියලු දර්ශන මට බලපාන්නෙ වෙනස් ආකාරයකට. මම බොහෝ විට සියල්ලටම හෙතුව පැහැදිලි කර ගන්න කැමති අයෙක්. ඒ නිසා සාක්ෂි නැති කිසිවක් මම පිළිගන්නෙ නැහැ.
      1. මනෝමය ජීවීන් සිටිනවා කියා මා පිළිගන්නෙ නැහැ. හැබැයි විඤ්ඤාණය (ගන්ධබ්බයා ) මම පිළිගන්නවා.
      2. සියලු රෝග ඇති වන්නෙ කායික භෞතික සාධක මතම පමණක් නෙමේ. රසායනික කියන්නෙත් භෞතිකමනෙ. ඒ නිසා මා ඔබ එක්ක එකඟයි.
      3. නැහැ, රසායනික හෝ කායික භෞතික නෙමේ මෙහි මානසික බලපෑමක් තිබෙනවා. එය සත්‍යයක්.

      Delete
  3. මේ ටික හොඳට පැහැදිලියි. ඉතිරියත් එනකම් බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා එය පැමිණි පසුවයි මේ විස්තරය සම්පූර්ණ වන්නෙ.

      Delete
  4. වෙදමහතා ඉතාම අගෙයි මේ පෝස්ටුව. බොහොම ස්තුතියි දැනුම බෙදාගැන්ම ගැන..

    ReplyDelete
  5. Replies
    1. රාමා මම ඔය පෝස්ට් එකට දමපු කමෙන්ට් එක මෙතැන නැවත ලියන්නම්. මේ පියාගේ කතාවත් මේ වගේ. මුල්කාලීන දිවියේදීම නිසි උපදේශනයක් ලැබුන නම්. එහෙමත් නැත්නම් ඔහු හිර කරන් හිටි දේ කියාගන්න හැකිකමක් තිබුන නම් අද ඔහු නිරෝගී අයෙක්.

      මෙන්න මම එදා ඔබට දුන් පිළිතුර,"මම හැමදාම කියන සටන් කරන දෙයක් මේ. අපි හැම දේම දකින්නේ රෝග විදිහට. මිනිස්සුන්ට රෝග විතරක් නෙමේ ප්‍රශ්නත් තියනවා. මට තේරෙන් නැහැ ඇයි මේක තේරුම ගන්න බැරි. ඔබා අයියා කියයි ඔස්ට්‍රේලියාවේ මේ වගේඅයෙක්ට තිබෙන පහසුකම්. අපිට වෘත්තීය උපදේශකයෝ නැහැ. ඒක නිසා මේ වගේ අසරනයන් කනත්තවත් මුර කරන්න දෙන්නේ නැති තත්ත්වයක තවත් අසරණ වෙනවා. මමත් උත්සාහ ගන්නවා උපදේශනය කවදා හරි වෘත්තීය මට්ටමට ගේන්න. මගේ ජීවිත අධිශ්ටාන වලින් එකක්. බලමු"

      Delete
    2. දුරවල වූ චිත්ත වෛතසික ඇති අයෙක්ට මනෙන්ද්‍රිය දුර්වල කරන්නා වූ යම් සාධකයකට මුහුණ දීමට අපහසුයි. මෙතැන වී ඇත්තේත් එයයි රාමා.

      Delete
  6. දෙකම කියෙව්වෙමි තුන නැතිව නං වැඩක් නැතිය. ඒක ඉක්මන්ට දාන්ටෝ...

    ReplyDelete
  7. ලිපි දෙකම කියෙව්ව.අවසන් ලිපියෙදි තේරුම් ගත්ත විදියට ගුණ දොස් තේරෙන විදියට කියමි.

    ReplyDelete
  8. මිනිස් බව ඉක්මවූ හෝ මිනිස් ඇසට නොපෙනෙනාවූ ජීවීන් සකල විශ්වයෙහිම සිටින බව නොර්හසකි. මගේ වෘත්තීය සමයෙහ මම ඒවා අත් දුටුවේ සැක සහිතවය. බුදු දහමෙහි සඳහන් පරිදි ඒ එලෙසම පවතී. මෙය මේ භවයේදීම අත්දැකිය හැක. (සන්දිට්ඨිකෝ) එසේම පෙර භවයන් ගැන දැනඇනීමට භාවනා මගින් මේ භවයෙහිම සිදුකල ගත හැක. නමුත් දැනුමෙන් හෝ තර්කයෙන් මේ කිසිවක් සොයගත් නොහැකි බව මම තරයේම කියා සිටිමි. යම්කිසි රෝගයකට හේතුකාරක වන කරුණු අතර පෙර කරන ලද කර්ම අනිවාර්යයෙන්ම ඉවහල් වේ. මුහුදේ පාවෙන අයිස් කන්දක් මෙන් අපට පෙනෙන්නේ පෙනෙන 1/10 ක් පමනි. මොලය පිලිඅඳව දැනට ඇති බටහිර වෛද්\ය මත අසත්ය බව සීමා සහිත බටහිර වෛද්\ය වරු කොටසක් පිලිගනිති. ඒ ගැන ඉමහත් ප්‍රමාණයක් සටහන් ඇත. අවසානයේ මට කිව හැක්කේ මෙහි ක්‍රියාන්විත වන්නේ හේතු ඵල දහම බව සක්සුදක් සේ පෙනී යයි. තෙරුවන් සරනයි.

    ReplyDelete
  9. මගේ මතය තහවුරු වීමකුත් ළිපිය තුල තිබෙනවා. ඉතිරියත් කියවා බලමු.

    ReplyDelete
  10. ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  11. ඊළඟ කොටසත් කිවයා බැලිය යුතුමය.

    ReplyDelete
  12. ටිකක් විතර ගැඹුරුයි වෙලාවක් ලද විටක නැවත කියවමු

    ReplyDelete
  13. අගනා ලිපියක් ++++++++++++++++++

    ReplyDelete