Tuesday, November 13, 2012

අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව.

ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් තමයි අකුරු කරන්නට සිතුවේ.

එනම් මේ වසරෙදි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සදහන් වී ඇති කරුණුයි. මම එකින් එක ඒ පෙළ ගස්වන්නම්……

සමස්ත අයවැය ගැන කියන්නට මම අපේ මහාචාර්‍ය්‍ය මාතලන් මෙන් ආර්ථික කටයුතු පිළිබඳ වියතෙක් නොවෙමි. එනමුත් 34.2 යෝජනාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

යෝජනා අංක - 01

ගරු කතානායකතුමනි, වැඩි වෙමින් පවත්නා බෝනොවෙන රෝග නිවාරණය හා වැඩිහිටි සත්කාර සේවාවන් පවත්වා ගැණීමට දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා.

මේ යෝජනාව 34.2 සමස්ත යෝජනාවේ හරය ලෙස සැලකිය හැකියි. එනම් බෝ නොවෙන රෝග රටේ වැඩි වැඩියෙන් පැතිරෙමින් පවතින බව රජය පිළිගැනීම සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඒ අඩු කිරීමට යම් ශාක්‍යතාවක් දරන බවත් මේ යෝජනාවෙන් රජය පිළිගෙන තිබෙනවා. එසේම ඒ හැකියාව වැඩිකළ යුතු බවද ඒ සදහා රජය සූදානම් බවද මින් ගම්‍ය වනවා. ඒ නිසා මෙවර 2013 වසරේදී එම කටයුත්ත ඉටු කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ නිලතල දරන්නන් සූදානම් වියයුතු බවත් මින් හැඟවෙනවා.

එයිට අමතර කොටසකුත් 34.2,අංක - 01 යෝජනාවේම තිබෙනවා. එනම් වැඩිහිටි සත්කාර සේවයයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව මේ සඳහා විශාල හැකියාවක් දරනවා. නමුත් අවාසනාවට ඒ පිළිබඳ යම් හඳුනා ගැනීමක් මෙතෙක් සිදු වී නැහැ. එම නිසා මාගේ බලවත් ප්‍රසාදය එම කරුණ කෙරෙහි දක්වනවා. අමතරව මම මෙසේද යෝජනාව සංශෝධනයකට ලක් කිරීමට කැමතියි. එනම් රටේ පැවතුණු මහා 30 අවුරුදු යුද සමයේ අංග විකලතාවට පත් වූ සහ වෙනත් ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් යම් ආයූර්වේදීය වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මේ වැඩිහිටි සත්කාර සේවය යටතේම ආරම්භ කිරීම සුදුසු බව මට පෙනෙනවා.

යෝජනා අංක - 02

එමෙන්ම පාරම්පාරික දේශීය ඖෂධ මෙන්ම වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පාරම්පාරික වෛද්‍යවරුන් අයූර්වේද දෙපාර්තමේන්තුව හා ආයූර්වේද රෝහල් පද්ධතියට සම්බන්ධ කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට ඉදිරි වසර 3 තුල ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

යෝජනා අංක - 02 යටතේ එන යෝජනාව ඉතාම කල්පනාවෙන් විග්‍රහ කළයුතු යෝජනාවකි. එනම් මෙහි පැතිකඩයන් කීපයක් පවතිනවා. අපි ඒ වෙන වෙනම ගෙන සලකා බලමු.

(1) පාරම්පරික දේශීය ඖෂධ සංරක්ෂණය කිරීම.
ඉතාම හොද යෝජනාවක්. මට මතකයි 1992 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආයූර්වේද දෙපාර්තමේන්තුව මඟින්, පැරණි ආයූර්වේද වට්ටොරු ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතියක් පැවතුණා. එහි දී එකතු වූ දැනුම "තල්පතේ පිළියම්" නමින් ග්‍රන්ථ රාශියක් ලෙස එළි දැක්වුණා. මේ ව්‍යාපෘතිය වි. ජ. මු. ලොකු බණ්ඩාරයන්ගේ සමයේ වූවක් බව ද සටහන් කරමි.

එවැන්නක් නැවත ඇරබිය නොහැකිද? එසේ කරනවා නම් නවීන තාක්ෂණය යටතේ විශාල දැනුමක් ක්ෂේත්‍රයට එක්කර ගත හැකි බව මට නම් බොහෝ විශ්වාසයි.

(2) පාරම්පාරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම.
කළ යුත්තේ එම දැනුම විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අවශෝෂණය කර ගැනීමේ ක්‍රමයක් ඇති කර ගැනීමයි. පාරම්පාරික වෛද්‍ය ක්‍රමය බොහෝ වටිනා වුවත් එන්න එන්නම එය පිරිහෙමින් පවතිනවා. එම වෛද්‍ය පීතෘවරුන්ගේ දරුවන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා. අනෙක නවීන තාක්ෂණය උපයෝගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් පවතිනවා. එම නිසා එම වෛද්‍ය දැනුම විශ්වවිද්‍යාල වෙත අවශෝෂණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් මේ යටතේ ඇරබීම සුදුසු යැයි මට නම් සිතෙනවා. ඒ සදහා එම වෛද්‍ය පීතෘවරුන් වෙත මුදල් හෝ වෙනත් යම් පහසුකම් ඔවුන්ට ඇවැසි ලෙස ප්‍රධානය කළ හැකි ක්‍රමයක් ඇති කිරීම වඩාත් සුදුසු යැයි මට සිතෙනවා.

(3) පාරම්පරික වෛද්‍යවරුන් දැනටත් සීමිත සංඛ්‍යාවක් ආයූර්වේද රෝහල් වල රාජකාරීවල යෙදෙනවා. එම ක්‍රමය හොද දෙයක් වුවත් මෙලෙස යම් නියාමනයක් නැතිව ඇති කරන ක්‍රමයක් ආයූර්වේදයේ හිත සුව පිණිස හේතු නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මම ඉහත දී යෝජනා කළ පරිදි පාරම්පරික දැනුම එම වෛද්‍ය පීතෘවරුන් වෙත සාධාරණ වූ ප්‍රතිදානයන් සපයමින් ලබා ගැනීමයි.

(4) මේ යටතේ ගම්‍යවන තවත් කරුණක් තමයි ඉදිරි වසර තුනක් කාලයක් තුළ රජය ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේ යම් විශාල දියුණුවක් බලාපොරොත්තු වන වග. එසේ නම් ඔවුන් ඒ සදහා මේ යෝජනාව යටතේ තීන්දු කර ඇත්තේ පාරම්පාරික දැනුම ආයූර්වේද පද්ධතියට එක් කර ගැනීම තුළින් එය වේගවත් කිරීමේ උපක්‍රමයයි. මට හැඟෙන අයුරු මෙය ඉතා හොද අදහසක්, වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනඟන්නට යන බවයි.

ඇයි මම එසේ කියන්නේ?

දැනටමත් පාරම්පාරික වෛද්‍යවරුන් යම් යම් සුවිශේෂී හැකියාවන් ඇති අය තම දැනුම විශ්වවිද්‍යාල වල සහ රජයේ රෝහල් වල සේවය කිරීම තුළින් ශිෂ්‍යයන් වෙත ලබා දෙමින් සිටිනවා. ඒ ක්‍රමයේ නොයෙක් ගැටලු තිබෙනවා. එම වෛද්‍ය වරුන්ට තම සේවයට නිසි අයුරු සැලකීම් සිදු වන්නේ නැති වග මම හොදින්ම දන්නවා. මේ යෝජනාව අනුව කළ යුත්තේ ඒ සේවාව ඔවුන්ගෙන ඔවුන්ට නිසි ගෞරවයෙන් ලබාගෙන, ලබාදෙන දැනුමට සරිලන ප්‍රතිලාභයක් ඔවුන් වෙත නැවත ලැබෙන අයුරින්, එසේ වුවොත් මෙය ඉතාම වැදගත් යෝජනාවක්.

යෝජනා අංක - 03

එබැවින් වෛද්‍ය සංරක්ෂණ යෝජනා ක්‍රමයක් මඟින් සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් එක් රැස් කර ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෙදකම දියුණු කිරීමට යෝජනා කරනවා.

ඉහත අංක 2 යෝජනාවම නැවත වෙනත් අයුරකින් පැවැසීමක් මෙහිදී ද සිදු වනවා. එහිම සාරාංශගත අදහස නැවත මෙසේ පළකර තීබන බව පෙනෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති සැබෑ අර්ථය කුමක්දැයි මට දැනට නම් සිතා ගැනීමට අපහසුයි. විශ්වවිද්‍යාල තුනක සිසුන් දහසකට වැඩි ගණනක් වසරකට තම සේවය රටට ලබා දීමට සුදුසුකම් ලබනවා. ඒ අය අතරින් බොහෝමයකට රැකියා නැති තත්ත්වයක්ද තබාගෙන අයවැය ලේඛනයේ ඒ කිසිත් පිළිබඳ සඳහනක් නොමැතිව තිබියදී නැවත නැවත පාරම්පාරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ගැනම පුනරුච්චාරණය කිරීම අයවැයකට සුදුසු දැයි මට නම් පැහැදිලි නැහැ.

අය වැය රජයේ ආදායම් වියදම් විස්තර සහ එන වසරේ තම රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ ප්‍රතිපත්ති ඇතුළත් කරන ලේඛනය විනා රැකියා සුලභ කරන ලේඛනයක් නොවේ යන්න මම පිළිගනිමි. නමුත් පාරම්පාරික වෛද්‍යවරුනට රැකියා ලබා දීමට විරුද්ධ නොවන අතර එය ලබා ගැනීමේ වාසිද ඇති බවත්, නමුත් එය කළ යුත්තේ නිසි නියාමනයකින් බවත් පැහැදිලිවම මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

මෙහිදී සුප්‍රසිද්ධ යන වදනින් හැඟවෙන වෛද්‍යවරු එතරම් දක්ෂයින් නොවීමටත් හැකියි. නමුත් අප යෝජනා කරන්නේ විනාශ වී යාමට ප්‍රථම සමහර දේශීය වෛද්‍යක්‍රම ආරක්ෂා කර ගත යුතු බවයි. ඒ සදහා වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් රටට වැඩදායක ලෙස විසඳගැනීමට හැකි බව නම් මට විශ්වාසයි.

යෝජනා අංක - 04

එමෙන්ම බෝ නොවෙන රෝග සම්බන්ධව බටහිර වෛද්‍ය වරුන්ගේද සහභාගීත්වයෙන් දේශීය වෙදකම් පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමට 2013 දී රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඉතාම හොද යෝජනාවක් සහ මම කැමතිම යෝජනාව මෙයයි. ආයූර්වේදයේ උන්නතිය රැදී ඇත්තේත් මෙතුළයි. නමුත් මට මතක හැටියට 2010 හෝ 2009 පමණ මේ යෝජනාව අයවැය ලේඛනයක් තුළ අන්තර්ගත වූවා. එවර මිලියන 100 ප්‍රමාණයක් මේ සදහා වෙන්වූවා. අලුත් මිලියන 300 ගැනීමට ප්‍රථම පරණ මිලියන 100 වූ දේ ගැනත් සොයා බැලිය යුතුයි. ඒ නිසි අයුරු ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවල යෙදවූවාද? නැතිනම් නැති නාස්ති වී ගියාද? ඉන් ඵල නෙළුවෝ කවුද? මේවා ගැනත් යම් අවබෝධයක් ඇතුවයි මෙවර ලැබෙන මුදල සදහා ව්‍යාපෘති සකස් කළ යුත්තේ.

මේ යෝජනාවෙන් කියා ඇති පරිදි දැනටත් අප පර්යේෂණ වල යෙදෙනවා. නමුත් අපේ අමාත්‍යාංශයවත්, දෙපාර්තමේන්තුවවත් ඒ නොදන්නා බව මම දනිමි. (නොදන්නා සේ සිටින බව.) යම් ආකාරයකින් මිලියන 300 න් මිලියන 5 පර්යේෂණ සදහා වියදම කරන්නට කැමැත්තක් ඇත්නම් ඒ අභියෝගය භාර ගැනීමට මම කැමැත්තෙමි. රසායන විද්‍යාව, උදිභිද විද්‍යාව, බටහිර වෙදකම යන අංශ වලින් පී. එච්. ඩී. උපාධි ලබාගත් පුද්ගලයන් හා සමග ලෝකයේ වෙනත් රටක විශ්වවිද්‍යාලයක් ද, අපේ ආයූර්වේද පර්යේෂණ ආයතනය ද, සම්බන්ධ කරගෙන ආයූර්වේද පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳ ප්‍රතිඵල රටට දීමට මම කැමැත්තෙමි. සියලු පුද්ගලයන් සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීමේ හැකියාවද මට ඇත. වියදම දැරීමට කැමති නම් ඒ අභියෝගය මම භාර ගනිමි. ( අපේ ආයූර්වේද පර්යේෂණායතනයේ පහසුකම් සැපයීමත් ඒ අධීක්ෂණයත් රජය භාර ගන්නවානම් පමණක් මෙය සිදු කරන්නට හැකිබවට මම කොන්දේසියක් ද ඉදිරිපත් කරමි.)

යෝජනා අංක - 05

තත්ත්වයෙන් බාල බටහිර මෙන්ම ආයූර්වේද ඖෂධ වරග රට තුලට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ත්‍රෛභාෂා සටහන් සහිතව තත්ත්ව පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

ඉතාම හොද අදහසක්. ප්‍රමිතිකරණය අපේ වැනි තුන්වන ලෝකයේ රටවලට ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් අපි ඒ ගැන යම්කිසි සැලකීමක් නැති වීම අපි අපහසුවෙන් ලබා ගන්නා ජාතික ධනය විනාශ වී යාමට හේතු වනවා. එම නිසා මේ පිළිබඳ ආයූර්වේද පර්යේෂණද ආයූර්වේදය තුළ වහාම සිදු විය යුතුයි. දින තුන්සිය හැටපහම වසාගෙන සිටින ඇතුළත ඇත්තේ කිමෙක්දැයිවත් නොදන්නා ප්‍රමිතිකරණ අංශයකින් නම් මෙය බලාපොරොත්තු වීමට වඩා ලෙහෙසියෙන්ම ඉබ්බන්ගෙන් පිහාටු ගත හැකි බවද අවසාන වශයෙන් මතක් කරමි.

ඒ වගත් මෙසේමයි!!!

37 comments:

  1. මේවා ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර සෝක්ද... කරුමෙට මේවා ආයෙමත් යෝජනා විදිහටම ඊළග අයවැයෙන් එළියට එනවා... ඩෙංගු මඩින්න ගස්ලබු පත්‍ර‍ යුෂ මගින් හැකියාව තියෙනවා කිව්වට එය භාවිතයට ගන්නා ආකාරයක් පෙනෙන්න නෑ.... ඩෙංගු හැදිලා රෝහල් ගත වුනු මගේ මිතුරෙකුට වෛද්‍ය තුමා කිව්වෙ ගස්ලබු යුෂ ඉස්ම එහෙම බීලා අහු වෙන්න එපා කියලා. ඒ මක්කෙයි වෙද මහත්තයා...

    ReplyDelete
    Replies
    1. සිරා මල්ලි මේ ගැන මම වැඩිය කතා නොකරන්නේ මොනව වුවත් කමක් නැහැ කෙනෙක්ට යහපතක් වෙනවනම් කියන ප්‍රතිපත්තිය යටතේ. මම දන්න තරමින් ලංකාවේ ඩෙංගු සදහා ගස්ලඹු ප්‍රතිකාරය අත්හදා බලා නැහැ පර්යේෂණාත්මකව. ඒ නිසා මට ඒ ගැන වැඩිය දෙයක් කියන්න අපහසුයි. අනික මේ රටට ඕක පැතිරුනේ මම දන්න තරමින් අපේ යුද හමුදා සෙබලුන් හයිටි ගියාට පසුව. අප්‍රිකා රටවල නම් ගස්ලඹු ප්‍රතිකාරය පර්යේෂණාත්මකව අත්හදා බලල තිබෙනවා.

      Delete
    2. පිලිපීනෙ ගස්ලබු කොළ ප්‍රතිකාරය කරන බව දනිමි.

      Delete
  2. වෙද මහත්තයෝ ඔබේ පරමාර්තය නම් අති උතුම්. නිසි අයුරින් ක්‍රියාවේ යොදවන්නේ නම් විදේශ විනිමය ලබාගැනීමේ ප්‍රධානම අංගයක් ලෙස දියුණු කළ හැකි බව මා ඇත්දැකීමෙන්ම දන්නවා. නමුත් කරුමය භාෂා ප්‍රස්නයයි. දේශීය වෛද්‍යවරුන්ටත් (කැමැත්තෙන් ඉදිරිපත් වන පිරිසකට හෝ) ඉංග්‍රීසී සහ කැමතිනම් වෙනත් විදේෂිය භාෂාවක් විශේෂයෙන් අරාබී භාෂාව ඉගැන්විය යුතුමයි. ඔවුන් අපේ දේශීය වෛද්‍යවරුනට පූජකයන්ට මෙන් ගරු කරනවා. අපේ කාළකන්නින් මෙන් නොවේ. නමුත් ඔබේ මෙම යෝජනා ඇමතිවරයාට ඉදිරිපත් කිරීමෙන් නම් කිසිම පලක් නෑ. අර මිලියන් 100 ටත් වෙච්ච දෙයක් නැතුව ඇති. මේ යෝජනා කෙසේ හෝ ජනාධිපතිතුමා වෙත කෙලින්ම බාර දිය හැකි නම්. රටට විශාල සේවයක් වන බව මගේ හැඟීමයි. අබාධිත සොල්දාදුවන්ට දේශීය වෛද්‍ය ප්‍රථිකාර කරන අයුරු කඹුරුපිටියේ විවෘත වූ රණවිරු සෙවනේදී රූපවාහිනියෙන් දුටිමි.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබට ස්තුතියි!
      2010 දී පියසේන ගමගේ ඇමති කාලේ සහ එයිටත් කලින් විශේෂ සභාවකදී ජනාධිපතිතුමාටම මේ යෝජනා මම ලබා දුන්නා. ඒක එතුමාගේ සම්බන්ධීකරණ ලේඛම් කෙනෙක් බොහෝම බැතිබරව භාරගත්තා.
      එතනින් එහාට අදවන තුරු ඒ ගැන මොනවා වූවාදැයි දන්නේ නැහැ.
      ඉංග්‍රීසි නම් කිසිම ප්‍රශනය ඇති වන්නේ නැහැ. අපිට පුළුවන්නේ මිලියන් 300 ම තියන එකේ විවිධ භාෂා උගතුන් බඳවාගෙන් අපේ අය සිංහලෙන් ලියන දේ නැවත ඒ ඒ භාෂාවලට හරවන්න. ඒ සදහා ඔබ වැනි අයත් ඉන්නෙ.

      Delete
  3. කලින් මිලියන 100ට වෙච්ච දේ ගැන සාමාන්‍ය පුද්ගලයකුට තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය උනොත් ඒක කරන්න ක්‍රමයක් රටේ නැද්ද.. මේක විතරක් නෙවෙයි අනිකුත් සෑම මුදල් වෙන් කිරීමක් ගැනම තොරතුරක් දැන ගන්න ඕන උනොත් අපි කටයුතු කරන්න ඕන කොහොමද..? වෙදයියට මේ ගැන අදහසක් නැද්ද... මං කාලෙක ඉදන් හිතං ඉන්න වැඩක් ඕක..ඒත් අත ගහන්න උනේ නැහැ...

    මේ ලගදී දිවයින ලිපියක ගිය ප්‍රේමදාස මහත්තයගේ නිවාස දශ ලක්සේ වැඩේ ගැන විමල් ලොක්කා රවීට කියපු කතාවක් ගැන කියෙව්වමත් මට හිතුනේ එයාලා කියනවා අපි අහනවා විතරයි.. ඒත් හරිනං අපිට ඒවා විමර්ශනය කරන්න ක්‍රමයක් මේ තුල නැද්ද..?

    හරිනං මේක ප්‍රසිද්ධ ජනමාධ්‍ය වෙතින් විය යුතු කරුණක්.. ඒත් උන්ට එයිට වඩා ලියන්න කැමති පොලීසියෙන් පුවත්නේ...

    ReplyDelete
    Replies
    1. මේ කියන වගේ පනතක් ද අර කරු ලොක්කා ගේන්න හැදුවේ ??

      වෙන රටවල් වලනම් එහෙම ක්‍රම තියෙනවාලු. මෙහේ කොහොමද දන්නේ නැහැ.. :)

      Delete
    2. මල්ලී මම විමල් ගැන නම් කතා කරන්න කැමති නැහැ. මිනිහගේ කතා ගැන මට තියන්නේ ජුගුප්සාවක්. ඒ නිසා කරු ගැන කියන්නම්. කරුලත් හිටියනේ ඔය පක්ෂ දෙකේම ආන්ඩුවල ඒ කාලේ ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න තිබ්බනේ? දැන් ඇයි මේ තදියම. ඔක්කොම හොරු , මාධ්‍යවේදීන් බොහෝමයක් මගේ මිත්‍රයෝ, හැබැයි නියම ජනමාධ්‍යවේදීන් ඉන්නෙ කීයද? අනික් ඔක්කොම ජඩමාධ්‍යවේදීන්නේ. ඕක කොයි කාලෙටත් එකයි. මට නම් මේ එකෙක්වත් විශ්වාස නැහැ.

      ඔබගේ යෝජනාව හොදයි. හැබැයි මල්ලි වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව????

      Delete
  4. අයවැයෙන් කරන යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන එකනෙ තියෙන ප්‍රශ්නෙ. අඩුම තරමෙ 300න් එක මිලියනයක්වත් ආයුර්වේදයේ අභිවෘදිය වෙනුවෙන් කළමනාකරණය කරන්න මේ ආණ්ඩුවට පුළුවන්නම්..

    ReplyDelete
    Replies
    1. කීයටවත් වෙන්නේ නැහැ. මේවා මේ ඉලක්කම් විජ්ජා විතරයි. ඒ නිසයි මම ඒ අභියෝගය පිළිගන්න කැමති මගේ ගාන වැඩිම වියදම මිලියන් 5 අපි කරලා දෙන්නම්. හැබැයි කකුලෙන් ඇදිලි නැතුව වැඩේ ඕනෙ.

      Delete
  5. අය වැය යෝජනා සම්බන්ධයෙන් ඔය කියන යෝජනාත් ඇතුලුව අඩු වැඩි නැතිව එක් එක් යෝජනා තියෙනවාත නමුත් මෙම ප්‍රතිපාදන වෙන් කිරීම් නියමාකාරයෙන් කෙරෙන ඒවාද යන්න ගැටළු සහගතයි. ඔය කියන මිලියන ගණන වෙන් කෙරු පමනින් එම මුදල අදාල කාර්යය සදහා යොදවා ගන්නේ නෑ. ඔය යෝජනා කිහිපය මාත් දුටුවා ඔබ කිව්ව වගේම ඖෂධ ප්‍රමිතකරණය අප වැනි රටක් සදහා සිදු කිරීම ඉතා දුෂ්කරයි. ලොකු බූවල්ලන් අප රට වට කර සිටිනවා. ඊට එරෙහිව උඩුගම් බලා පීනන්න උත්සාහ කරපු මහාචාර්ය සේනක බිබිලේ හට මොකක්ද උනේ. සැබෑ උන්නතිය උදෙසා ඉදිරිපත් කර සත්‍ය යෝජනා ලෙස මේවා පිළිගැනීම විහිළුවක්. ඔය වෙන් කල මුදල් 2013 පටන් අරගෙන ටික දවසක් යන විට වෙනත් වෝට් වලට මාරු කරනවා. ඒක සදාකාලික සත්‍යයක්. දැං කියන්න බලන්න අර ගැබිනි මවුවරුන්ට දෙනවයි කිව්ව කෙං ගෙඩියට වෙන් කරපු සල්ලි වලට මොකද උනේ. තාම ප්‍රතිපාදන තියෙනවද.. නෑ.. අංක ගනිතමය විජ්ජාවක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ප්‍රමිතිකරණය නැති ආයූර්වේදය පරිප්පු නැති හෝටලේ වගේ. මේවා කළ හැකි වැඩ. ඒත් අරමුණු දුවන්නේ වෙනතක බවයි මට හැඟෙන්නේ.

      අය වැයක් කියන්නේ ඊලඟ වසරේ තම ආන්ඩුව ඒ රටේ ආදායම් වියදම් කරන හැටි පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විනා කඩේක බඩු මිල දර්ශනයක් නෙමේ කියන එක තේරෙන්නේ මේ රටේ කීයෙන් කීයටද? ඒ මූලික සත්‍ය තේරුම් යනතෙක් මේ වගේ කැරට් දීල මිනිස්සු නිහඬ කිරීම හරිම ලේසියි.

      Delete
  6. ඉතාම වටිනා ලිපියක්... වගකිව යුත්තන්ගේ ඇස ගැටේවා.. මට නම් අයවැය කියන්නෙත් දේශපාලනයේ තවත් ඇස්බැන්දුමක් විතරයි කියල හිතෙන්නේ... කොන්ක්රීැට් ගොඩවල්වලට තරම් අවධානයක් දේශීය වෛද්ය විද්යා්වට හරි දේශීය පරිසරයට හරි ලැබෙන පාටක් පෙන්න නැහැ..

    ReplyDelete
    Replies
    1. තරුරසී,
      ඔබගේ උනන්දුව පිළිබඳ මගේ ප්‍රණාමය නමුත් කියන්න දුකයි. මේකට වෙන්නෙත් අනික්වට වූ දේමයි. ළමයෝ යකඩ දාච්ච ගෙයි පුළුන් හොයන එක අපේ පුරුද්දනේ.

      Delete
  7. රජ පවුලේ වෙද මහතෙක් සිටියා නම්... මෙවන් අදහස්වලට හොද තැනක් ලැබෙනවා නිසැකය.

    :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරියටම හරි සෑමා. මොනවා කරන්නද උපන්නාට වැනෙනවා විනා.... මෙහෙව් රටේ.

      Delete
  8. ක්‍රියාවට නැංවෙනවානං ඉතා හොඳ යෝජනා මාලාවක්..

    ReplyDelete
    Replies
    1. නලියෝ,

      කිසිදා ඉටු නොවෙන අපේ තවත් එක බලාපොරොත්තුවක්.

      Delete
  9. මේ ලිපිය වගකිව යුත්තන්ට පෙනේවා කියා කියනවා හැරෙන්න අපි මොනව කියන්නද කියල සිතෙනවා .මේ සඳහා බලවත් උදවියගේ සහයෝගය ලැබෙනවානම් ,ඔබ ඒ සඳහා කැප වෙන්න සූදානම්නම් මොනතරම් දේ කල හැකිද මේ ආයුර්වේදයේ දියුණුව සඳහා .
    …කනගාටුවකුත් ඇති වුනා ලිපිය කියෙව්වාම .අපිට මෙතරම් සංවේගයක් දැනෙනවානම් මේ සඳහා කැපවෙන , මහන්සි වෙන ඔබලාට මේ දේවල් කෙසේ දැනෙනවා ඇද්ද කියා සිතෙනවා .

    ReplyDelete
    Replies
    1. බොහෝම බලවත් උදවිය මේ සියල්ල දැක තිබෙනවා. අපිතාමත් එතැනමයි.

      Delete
  10. යේජනා හරියට ක්‍රියාත්මක වෙනවානම් වටිනවා....

    ReplyDelete
  11. ඔබතුමාගේ යෝජනා වලිය රවුම් ආකාරයට ඉදිරිපත් කිරිම වටිනවා.ඒ තුලින් සෑම පැත්තක්ම අවරණය වන පරිදි ඉදිරිපත් වි ඇත.බ්ලොග් එකෙන් ඔබ්බට යනවා නම් ඉතාමත් අගෙයි.ආබාධිත රණවිරුන් අමතක නොකීරිම පිළිබඳව අගය කරමි.

    ReplyDelete
    Replies
    1. මගේ යොජනා මාලාව මම මේ ඉදිරිපත් කලේ ටිකයි. මගේ අරමුණ ඉතා පොහොසත් අමාත්‍යාංශයක් බවට ආයූර්වේද අමාත්‍යාංශය පත් කරන්න. ඒකට හරියන විදියට කෙටිකාලීන, මද්‍යකාලීන සහ දිගුකාලීන යොජනා සහ ඒවා ක්‍රියාත්මක කරන විදිහ පිළිබඳ උපක්‍රම මම එහිදී පෙන්වා දී තිබෙනවා.

      හෙක්.. හෙක්.. අපිට පිස්සු බන්...

      Delete
    2. අනේ මල්ලි අපිට පිස්සු නැත්නම් මේවා වගකිව යුතු ඇහැකට කවදාවත් ලක් නොවෙන බව දැන දැනම මෙහෙම හීන දකියිද?

      Delete
  12. අයවැයෙන් ආයුර්වේදයට මෙහෙම අවධානයක් දක්වපු එක අගය කරන්න ඕනි. යමක් වෙයි කියල බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වුනත් , අනිත් හැම දේම වගේ දීර්ඝ කාලීන සැලසුම් මත යමක් වෙයිද කියල හිතන්න අමාරුයි.

    බොහෝ දේ වෙනුවෙන් වෙන් වන ප්‍රතිපාදන යටි මඩි ගහ ගන්න පිරිසක් ඉන්න බව අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඊට අමතරව නාස්ති කෙරෙන ප්‍රමාණය කොතරම් ද ? අපේ රටේ තියෙන්නේ සෝඩා බෝතල් ව්‍යාපෘති. ලොකුවට පටන් අර ගන්නවා විතරයි. ඕව ගැන කතා කරල වැඩකුත් නැහැ. වැඩක් කරන්න පුළුවන් කැමති අයට ප්‍රතිපාදන ලැබෙනවානම් වැඩ පෙන්නයි.

    ප්‍රතිපාදන වලට අමතරව ක්ෂේත්‍රයට, පර්යේෂණ වලට තියෙන පිළිගැනීම හා ප්‍රමිතිකරණය ගැනත් රජය හා අදාල ආයතන සිතන්න ඕනි. ඇත්ත තත්වය මොකක්ද කියන්න හරියට දන්නේ නැහැ, ඒත් අර ඩෙංගු වලට බෙහෙතක් හොයා ගත්තා කියන වෛද්‍යවරිය පේටන්ට් අංකයක් ගැන කියන කොට බුද්ධිමය දේපල කාර්යාලයේ පේටන්ට් පරීක්ෂක කෙනෙක් කියන්නේ පේටන්ට් එකක් තවම ලබා දී නොමැති බවක්, කොතන හරි අවුලක්... ඖෂධ පර්යේෂණ වුනාම එහෙම බැහැනේ, අදාල පුද්ගලයින්, ආයතයන පැහැදිලි, නිවැරදි විදියට කරවන්න ඕනි.

    මම හිතන්නේ පාසැල් අධ්‍යාපනයටත් ආයුර්වේදය ගැන යම් මට්ටමකට , ඇතුලත් වෙනවනම් වඩාත් හොඳයි.විෂයක් විදියට නෙවෙයි, ආයුර්වේදයේ වටිනාකම ළමයින්ට තේරුම් ගන්නත්, ආකල්පමය වෙනසක් කරන්නත්. පර්යේෂණ , ප්‍රතිපාදන මොනවා තිබුනත් රටට වැඩක් නැහැ මිනිස්සු ඒකෙන් ප්‍රතිපල ගන්නේ නැතිනම්..

    කොහොම වුනත් ඔබතුමාගේ ඉලක්කය සාර්ථක වෙන්න කියල සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. පාසැල අධ්‍යාපනයට ආයූර්වේදය එක කිරීම වටිනවා. හරියට විභාගයක් තියා ගන්න බැරි අපි, තවත් විෂයක් වැඩි කරලා ළමයින්ට අමතර බරක් දෙන්නෙ මොකටද කියලත් හිතෙනවා.

      Delete
  13. මගේ යෝජනාව මහවෙදනා මල්ලී මෙහෙමයි. ආණ්ඩුවට සියළු සහනාධාර, සියළු රෙගුලාසි සහ සියළු සංවර්ධන වැඩ පිළිවෙත් වලින් අයින් වෙලා ආයුර්වේදයට ඇති සියළු රෙගුලාසි ආයුර්වේදයේ ඉන්නා අයට කළමනාකරණයට ඉඩ දී, සංවර්ධන ආයෝජනයට කැමති කෙනෙකුට ඉඩ දී, එහි කෙරෙන ආනයනය හා අපනයනය සියළු භාණ්ඩ හා සේවා වලට ගහන සියළු බදුත් අස් කරගන්නැයි කියලා. එතකොට ඉතාමත් ඉතා කෙටි කලක දී ලෝකයේ ම හොඳම හොඳ ආයුර්වේද බල ශක්තියට ලංකාව ප්‍රමුඛයා වෙයි. අත් දුටුවකි. සත්තකි. ඔප්පු කර ඇත්තකි. ඒත් මේක පිළිගන්න කෙනෙක් හොයාගන්න නම් ලැබෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අක්කා මම ඔබගේ අදහස් පිළිබඳ හොදින්ම දැනුවත්. ඒක පිළිගන්න සුලුතරය අතර මමත් කෙනෙක්. ඔබ කියන දේ හොන්කොන්වලට, සිංගපූරුවට විශේෂයෙන්ම හොන්කොන් වලට හරි ගියා නම් අපිට වරදින්න බැහැ. ඒත් කරුමේ ලොකුයිනේ හැමදේටම වඩා. ( මම දන්නව ඔබ කරුමේ පිළිනොගන්න බව.)

      Delete
    2. මල්ලි, මම කර්මය කියන එක බුදු හාමුදුරුවෝ කියාදුන් විදියට පිළිගන්නෙ.

      චේතනාහං භික්කවේ කම්මං වදාමි යැයි කියන්නේ ඕනෑම ක්‍රියාවක් නිසා කර්මය ඵලදෙන බව නෙමෙයි. තෝරා ගැනීමකින් කරන (චේතනාව මුල් වූ) ක්‍රියාවක් නිසා තමයි කර්මය සිද්ධ වෙන්නේ. කුසල කර්ම කුසල විපාක ගෙනෙන අතර අකුසල කර්ම අකුසල විපාක ගෙනෙනවා.

      මෙතැන මුල් වෙන්නෙත් කර්මය තමා. එය තමන්ගේ චේතනාව නොහොත් තමන් විසින් තෝරාගන්නා ලද්දක් යැයි බහුතරයකට දකින්න නොහැකියාව තමයි විපාකේ වෙලා තියෙන්නේ!!!!!

      Delete
    3. බහුතරය දැක්කට වැඩක් නැති එක නෙවෙයි ද?

      Delete
    4. අරුණි අක්කගේ විසඳුම තමයි හරිම එක.

      Delete
  14. අය වැය තුල යහපත අයහපත දෙකම ඇතුලත් බව මේ යෝජනා තුලින්ම පැහැදිළි වෙනවා.හැබැවයි!

    ඒත් මහ වෙදනාතුමෝ මේ කතාන්දර යටින් ජනාධිපතිතුමා සහ රටේ බහුතරයක් මහජනතාව නොදන්න ආයුර්වේදය වනසන්න ආයුර්වේදයේ මහ පුටු වලින්ම කරන්න උත්සහ කරන විනාසයට පාර නොකැපෙන්නත් අපි වග බලාගන්න ඕන.

    රජයේ ආයුර්වේද රෝහල් සඳහා පවතින පුරප්පඩු පිරවීමට 50%ක් උපාධිධාරීන්ගේ ප්‍රවීණතාවය (ඒ කිව්වෙ මෙරිට් ලිස්ට් එක ) සහ

    ***ඉතිරි සියයට පනහ සයවසරක BAMS ආයුර්වේද උපාධියක් හිමි උපාධිධාරීන් සහ වසර දෙකක් වැනි සුළු කාලයකින් ලබාගන්න ඉතාම අවම මට්ටමේ ප්‍රායෝගික සහ න්‍යායික දැනුමක් සහිත DA ඩිප්ලෝමාධාරීන් අතර පවත්වන්නට නියමිත ඉතාමත් පහත්පෙලේ විහිළු ස්වරූපයක් දරන විභාගයක් මඟින් තෝරාගැනීම් කරන්න ඔවුන් පිඹුරු පත් සකස් කරමින් සිටිනවා.

    අනිත් කාරණාව පර්යේෂණ සහ ඔසු පැල සංරක්ෂණය.නම් ගම් වශයෙන් දක්වන්න පුළුවන් තරමට නාවින්න පර්යේෂණායතනයේ දූෂණයන් සහ දූෂකයන් වැහි වැහලා.ඔවුන්ගේ අමනකම් දකීවිය කියන බයට සහ ඔවුන්ගේ පැවත්මේ ස්ථාවරබව වෙනුවෙන් නිර්දය ලෙස ආයුර්වේද වෛද්‍ය උපාධිය හෙලා දැමීමේත්, ඩිප්ලෝමාධාරීන් අනවශ්‍ය ලෙස ඔසවා තැබීමේත් ව්‍යායාමය ඔවුන් එළිපිටම කරගෙන යනවා.

    අසරණ පාරම්පරික වෛද්‍යවරුන්ගේ වට්ටෝරු ඔවුන් මුලාකර හිමිකරගෙන ආයුර්වේදය සුරැකීමේ මුවාවෙන් ඔවුන් ලක්ෂ ගණනින් මුදල් පිල්ලි ගහනවා.ආයුර්වේදය විහිළුවක් බව සමාජයට අඟවනවා.

    මැත යුගයේ හොඳම නිදසුන ඩෙංගු සඳහා සොයාගත් බව කියන ප්‍රථිකාරය.මෙවැනි අවස්ථාවකදී මැදිහත්කරුවන් ලෙස ක්‍රියකළ යුත්තේ ආයුර්වේද පර්යේෂණායතනය.ඒත් ඔවුන් තවමත් ඉන්නෙ නිදි පැදුරේ.


    අය වැයෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ ලැබෙන සහන මගින් ආයුර්වේදය ගොඩ නගන්නට මේ මහතැන් ඉඩ දෙන්නේ නැහැ.ඔවුන්ගේ අපේක්ෂාව සදාකාලිකව ආයුර්වේදයේ සරුඵල උරාබොමින් ඔවුන්ට එහෙයි කියන ඩිප්ලෝමාධාරී ආයුර්වේද ගැත්තන් පිරිසක් ගෝලබාලයින් කොට තබා ගැනීම පමණයි.

    ReplyDelete
    Replies
    1. DA ganna yanne laksha 2i. Mokuth denaganna onena. Exam wadiwenna witharai one. Boru kiyala hithanawanam hoyala balanna. Sakshi Malaga thiyanawa

      Delete
  15. සමස්තයක් විදියට රට කරවන ඇත්තන්ගේ එක් එක් විෂයන් පිලිබඳ දැනුම අඩු නිසා තමයි මේවා මෙහෙම වෙලා තියෙන්නේ කියන එකයි මගේ විශ්වාසය. නියම දැනුමක් තියෙන පුද්ගලයන්ට නිසි තැන නොලැබීමත් තව කාරණයක්. දැන් තියෙන්නේ රවටන්නෝ-ජයගන්නෝ වගේ කාලයක්.

    ReplyDelete
  16. ආයුර්වේදය ට අද ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය වන්නේ ඒ සම්බන්ද ව ක්‍රියා කළ යුතු රටේ නිසි බලධරයින් ආයුර්වේදය පිළිබද නිසි දැනුමක් නොමැතිකමයි.තවද විශේෂයෙන් ආයුර්වේද ලේඛකාධිකාරී වගේ අය දේශපාලන අතකොලුවන් වීමත් ලොකු ගැටලුවක්,බලධාරීන්ට නිසි සැලැස්මකක් තිබේ නම් ආයුර්වේදය දියුණු කිරීම ලොකු ගැටලුවක් නෙමෙයි.

    ReplyDelete
  17. ඇත්ත. නමුත් මේ වගේ අදහස් ගොන්නක් බලාත්මක කරන්න තරම් නුවණ ඇත්තෙක් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ නෑ.එක්කෝ හිටියත් ඒක වැහිලා ගිහින් මේ ලැම්බෝගිනි අනම් මනම් දේවල් හින්දා.කවුරැතු බඩ කරවන සාස්තරේ ගැන මිසක් රට කරවන් සාස්තරේ ගැන උනන්දුවක් නැති හැටි

    ReplyDelete