Tuesday, February 5, 2013

නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.

මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.

තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ආසන්නය. ඒ ලිපි ලිවීමෙනි. නමුත් මා බ්ලොග් කියවීම ට ඇබ්බැහි වී දැනට වසර හතරක් හෝ පහක් පමණ වෙතැයි මට සිතේ. ඒ දිනවල තිබුණේ ඉතා ස්වල්ප බ්ලොග් ප්‍රමාණයකි. මට අහම්බෙන් කියවීමට ලැබුණු කොත්තු සිණ්ඩිය හරහා බ්ලොග් කියවීමි. සහෘදයින්ගේ බ්ලොග් සොයා ගත්තේ කකාගේ බ්ලොග් රෝලෙනි. පිස්සාගේ බ්ලොගයේ තිබූ ලිංකුවක් හරහා මාරයාගේ හෝරාව කියවීමි. එතැනින් ටැබූ ද, අන්තිම පේළිය ද කියැවීමි. දිනකට පැය 12 වැඩියෙන් ඔන් ලයින් සිටින මට මේ බ්ලොග් බොහෝමයක් පිළිබඳ දැණීමක් ඇත. ඕනෑම බ්ලොග් කරුවකුගේ භාෂා රටාව මට හොදින් හුරුය. එම නිසා ගහ දන්න මට කොළ අරුමයක් ම නොවේ යැයි ද මින් කියමි.

ඔබ දන්නා පරිදි මගේ වි. වි. අධ්‍යාපනය ලංකාවේ තරුණයන්ට මහත් ව්‍යසන යුගයක් වූ 88/89 න් ඇරඹී 1996 පමණ තෙක් ඉතා දීර්ඝ කාලයක විහිදුණකි. ඒ අපේ පාඨමාලාව වසර පහක අධ්‍යාපනය හා වසරක රෝහල් පුහුණුව ද සමගින් වසර හයක කාලයක් ගතවන දීර්ඝ අධ්‍යාපන පාඨමාලාවක් බැවිනි. එයට භීෂණ යුගය නිසා අතහැරුණු කාලයද එක්කල විට මේ නිවැරදිය.

90 මුල සිට ඉතා හිස් බවකින් යුතු වූ ලාංකීය දේශපාලන පීඨිකාවට අප පැමිණෙන්නේ නිරායාසයෙනි. එකල අපට පිරවීමට තිබුණේ ඉතා විශාල හිස්තැනකි. මේ යුගයට සාපේක්ෂ එය ඉතා දුෂ්කර කාලයකි. කෙසේ හෝ එවිට ලාංකීය දේශපාලනයේ එක්තරා ව්‍යාපාරයක මම ද සාමාජිකයෙක් වීමි. 80 දශකයෙන් ඇරඹි මගේ දේශපාලන ගමන 94 දී මම නවතාලීමි. ඒ හේතු ඇතිවය. එකල මම විවාහ වී නොතිබුණත් එම ව්‍යාපාරය පිළිබඳ නොයෙක් ගැටලු මට පැන නැඟී තිබිණි. ඒවාට පිළිතුරු පතා මම කළ සාකච්ඡා ඉතා නීරස විය. මගේ ප්‍රශ්න වලට කිසිම පිළිතුරක් නොලද තැන මම හුදෙකලා වීමි.

නිදහසේ සිතන්නට වීමි………………..

මේ මා ඒ සිතීමෙන් ලද මගේ ප්‍රශ්න වලට පිළිතුරුය. මේ පිළිතුරු මා නොයෙක් අවස්ථාවල යෙදුණු විදේශ සංචාර වලදී එම රටවල තත්ත්වයන් හා සැසඳීමි. ඒවාට අනුව මගේ අදහස් නැවත නැවත අලුත් කළෙමි. මේ ලියන්නේ එම සිතිවිලි සහ මගේ අධ්‍යාපනයෙන් මා ලද දැනුම ද, මා ලබාගත් සජීවී අත්දැකීම් ද, ඇසුරින් සකසා ගත්තකි. මෙය නිවැරදි යැයි මම කිසිසේත් නොකියමි.

දහසක් වැරදි ඇතැයි සිතමි.

නමුත් කොතනකින් හෝ ඇරබිය යුතුය.

මේ ඒ සදහාය.

ඉතිරිය ඔබ සතුය.

නිවැරදි කරන්න………………………..

මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

කුමක්ද අපිට වුණේ??

සොයාගත යුත්තේ මෙයට පිළිතුරයි.

පොළොන්නරුවෙන් ඇරබි අපේ පල්ලම් බැසීම අද ද නැවතී ඇති බවක් පෙනේද? මට නම් නැත. අතීතයේ අදුරෙන් තවත් අදුරටම යන්නට කැස කවනා ලකුණු සැමතැන මට නම් පෙනේ.

බුද්ධිමත් මිනිසා සැමවිට,

"අතීතය පාඩමකට ගෙන වර්තමානයේ දී, අනාගතය උදෙසා අඩිතාලම දමයි".

වර්තමාන අපි එසේ කරමුද?

මෙහිදී මම ප්‍රශ්න අසන්නා පමණක් බවට පත් වෙමි.

ඔබගේ තීරණය වඩා වැදගත් බවයි මගේ හැඟීම.

1. අතීතයේ සිටම අපි උගත්කමට ඉතා ලොල් ජාතියක් වීමු. අභයගිරිය, ජේතවනය නටබුන් පෙන්වන්නේ ඒ අතීතයයි. එය අදට ද එසේමය. එසේ නම් උගතුන් බිහිකළ හැකි අධ්‍යාපනයක් අපිට තිබේ ද? මේ මාගේ පළමු ප්‍රශ්නයයි????????

2. අපි උගන්වන්නේ රටට අවශ්‍ය දෑ ද? පහත ඇති ලිංකුවෙන් වි. වි. ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගොස් ඔබට ම ඒ බලා ගත හැක. අපි විද්‍යාව දායාද කරගෙන උපන්නෝ වෙමු. මා එසේ කියන්නේ අතීත සංස්කෘතිය තනිකර වෛද්‍ය විද්‍යාව, රෝහල් පරිපාලනය, ශල්‍ය කර්ම, ගොඩනැගීම් ශිල්පය, සැලසුම් සම්පාදනය, වරාය, රේගු කටයුතු, මුදල් පාලනය, උද්‍යාන ශිල්පය, ජාතික සහ අන්තර්ජාතික වෙළදාම, නැව් නිපදවීමේ කර්මාන්තය, නොයෙක් ඉන්ජිනේරුමය නිපදවීම්, වැනි දහසක් දේ ක්‍රමානුකූලව පැවති බවට මේ නටබුන් දෙස් දෙන නිසාය. එම නිසා එම කර්මාන්ත මේ රටේ උගන්වන්නට ඇති බව අපට සිතිය හැක. අද අපි අපේ රටට සහ බාහිර ලෝකයට අවශ්‍ය දැනුම නිපදවනවාද?

යම් කිසි රටක ශ්‍රම බලකාය සකස් විය යුත්තේ පුහුණු කම්කරුවන්ගෙනි. ඒ වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරු, සැලසුම්කරු, ගුරුවර, රියදුරු, කාර්මික නිලධාරී, හෙද හෙදි, කර්මාන්තකරු ආදී යම් වෘත්තීය පුහුණුවක් ලද්දන්ගෙනි. අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි මේ ගුණය රැදී ඇත්ද? අපි විදේශ සේවයට යවන්නෝ පුහුණු කම්කරුවන් ද? අපේ ගෘහ සේවිකාවන්ට හිස් ගැසුම් කන්නට වන්නේ කුමක් නිසාද? සිතන්න අපි ගෘහ සේවිකාවක යවා 40 දහක 50 දහක වැටුපක් ලබා ගන්නවාට වඩා අපේ පුහුණු කාර්මිකයෙක් විදේශයකට යවා ලක්ෂයක එකහමාරක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස් නොකරන්නේ ඇයි? අපේ උසස් පෙළ සමත්ව වි. වි. යන්නට නොහැකි වන 60 දහකට නැවත ඉගෙන ගන්නට ආයතන දියුණු කර ඇත්ද? අපේ කාර්මික විද්‍යාල වලට සිසුන් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු අප සතු ද?

3. අපේ රට පිළිබඳ සත්‍ය අපි අවබෝධ කරගෙන සිටිමුද? අතීතයේ සුළඟින් නැව් ගමනා ගමනය කරන කළ ඊසාන දිගින් සහ නිරිත දිගින් සුළං හමනා අපේ රට ඉතාමත් වැදගත් මන්සංධියක පිහිටියකි. නමුත් අද අපි සිටින්නේ නවීන නාවුක යුගයක බව අපි සිහි කරමු ද? න්‍යෂ්ටික ශක්තිය සහ පොසිල ඉන්ධන උපයෝගී කරගෙන නාවික ගමනා ගමනය ද අද බොහෝ දියුණු වී ඇත. එම නිසා සුළං බලයෙන් නැව් ගමනා ගමනය කිරීමේදී අපේ රටට තිබූ වටිනාකම තවමත් තිබේ ද? අනෙක් කරුණ අපේ වරායවල නවීන ලෝකයේ අවශ්‍යතා සපුරනවා ද? ලෝකයේ අහුමුල්ලක තිබෙන සිංගප්පූරු වරාය වෙත නැව් යාමට හේතුව අපි අධ්‍යනය කර ඇත් ද? සිංගප්පූරුව හොංකොං වැනි රටවල් තම නාවික ගනුදෙනු කරුවන්ට දක්වන අනුග්‍රහය අවම වශයෙන්ව ත් ඇති කිරීමට අපේ සැලසුම් ඇත් ද? හැබැයි අපිට නැව් නො එන ගොඩබිම් වරායක් ඇති බව නම් අපි දනිමු.

අපේ කොළඹ වරාය ඉන්දියාවට ඉතා ප්‍රයෝජනවත්ය. ඒ පිළිබඳ අප සිතා ඇත්ද? අපේ වරායන් ඉන්දියාවේ පරිහරණයට ලබා දෙන අතර අප ඉන් යම් වාසියක් අත්කර ගන්නවා ද? අපි හැම විටම වරාය බද්ද සහ සැපයුම් පිළිබඳ පමණක් සිතන්නෙමු. මේ ඇත් ද? රටක් වශයෙන් නැඟී සිටීමට මේ වරායන් නිදහස් කර නිර්බදු හදුන්වා දී නාවිකයන්ට ප්‍රිය තැනක් බවට කොළඹ නගරය හරවන්නට තාමත් පමා නැති බවයි මගේ නම් හැඟීම. ඉන් අපට කුමන වාසි ලැබිය හැකිද? නැතිවන බදු ආදායම උපයා ගැනීමට වඩා වාසිදායක් සැලසුම් අපට නැත්තේ ඇයි?

4. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් ද? අපේ රටේ ඇති භෞමික පිහිටීම අනුව අපි තෝරාගත යුත්තේ කුමනාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ද? අපිට සිටින මිතුරන් කවුද? අපේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මිලදී ගන්නා රටවල් මොනවාද? ඒ රටවල් සමග අපේ සම්බන්ධතා කෙසේද? අපිට අපේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නේ කුමන රටවලින් ද? එම නිෂ්පාදන අතිරික්තයන් බෙදා හදා ගැනීමට අපිට සිටින අසල් වැසියන් කවුද? මේ ගැටලු වලට පිළිතුරු අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔබට සොයාගත හැකි ද?

උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවට ඇවැසි ජලය එන්නේ මැලේසියාවෙනි. මැලේසියා ජාතිකයන් රැකියාව කරන්නේ සිංගප්පූරුවේය. මේ දෙරට ඉතා සහයෝගීව දෙරටට ම ප්‍රයෝජනවත් ලෙස තම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත. අපි අපිට සිටින එකම අසල් වැසියා සමගවත් එසේ වාසිදායක දෙපසටම වැදගත් වන භාණ්ඩ හා සේවා හුවමාරුවක් සැලසුම් කර ඇත් ද?

5. අපේ රටේ බදු ප්‍රතිපත්තිය කුමක් ද? අපි ආකාර කීයක බදු අය කරමු ද? අපි බදු අය කරන්නේ ඇයි? මේ බදු අය කිරීමෙන් ලබන ආදායම අපි වියදම් කරන්නේ කෙසේද? ඔබ දන්නවනේ අපේ රටේ මුලු රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3 බව. පහත ඒ පිළිබඳ දත්ත ඇතුළත් ලිංකුවක් ඇත. ඒ බලන්න. අපි අපේ රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ රටේ රාජ්‍ය සේවකයා පෝෂණය කිරීමට බව ඔබ දන්නවාද? එනම් මිලියන 1.3 සේවකයන් අතරින් එක් අයෙක්ගෙන් ඔහුත් සමග 4 දෙනෙක් යැපෙනවා නම් මුලු යැපෙන්නන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5 ඉක්මවනවා නේද? එවිට රටේ මුලු ජනගහනය වන මිලියන 20 න් කාලකට රජය මාස්පතා කෙතරම් මුදලක් වියදම් කරන්න වෙනව ද?
මෙවැනි රටක රජයකට රජයේ සේවකයාට පඩි නඩි ගෙව්වට පසු ඉතිරි වන මුදලින් රට සංවර්ධන කළ හැකිද? එවිට සංවර්ධනය සදහා මුදල් සොයා ගන්නේ කෙසේද? එවිට ණය ගත යුතුයි නේද? ණය ගැනීමේදී විදේශ කොන්දේසි වලට යටත් වන්නට වනවා නේද? කාලයක් ගත වීමේදී ණය ගෙවීමටත් ණය ගැනීමට වනවා නේද? එතනින් එහාට එම රටට ඉදිරියක් ඇත් ද?

දේශීය සහ විදේශීය ආයෝජකයනට ප්‍රිය තැනක් බවට අප රට හරවන්නට අපි කුමක් කළ යුතු ද? දැන් දැන් ලෝකය විශාල වශයෙන් මානව හිමිකම්, සේවක සුභසාදනය, ජනතාවගේ නිදහස් පැවැත්ම වැනි මානුෂීය ධර්ම වෙත ගමන් කරමින් සිටී. අපි ඒ ගැන සැලසුම් සකස්කර ඇත්ද? ආයෝජකයනට ප්‍රිය තැනක් කිරීමට අපේ සැලසුම්, යෝජනා, අපට ඒ සදහා ඇති බාධක හදුනාගෙන ඇතිද? එසේ නම් අපි ඒ වෙනුවෙන් එම බාධක ජය ගන්නට සකස් කර ඇති විසදුම් මොනවාද? ඒ සදහා කාලරාමුවක් සකස් කර ඇති ද?

6. අපේ රටේ දේශපාලකයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ දැනුවත්ද? කොටින්ම ඔහුට ඒ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් තිබේද? එසේ නොමැති අය නම් ඔවුන්ව ඒ නියෝජිතභාවයට පත් කළේ කවුද? එසේ නම් වරද කාගෙද? ඔය ලැයිස්තුවල සුදුසු පුද්ගලයන් සිටියේම නැත්ද? ඔවුන්ව ඔබ තෝරා නොගත්තේ ඇයි?

7. රටක් වශයෙන් එහි මහජනතාව එම රටේ නීතිය, සමානාත්මතාව, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය, තම මානව හිමිකම්, පිළිබඳ තෘප්තිමත් ද? එසේ නැත්නම් ඒ ඇයි? එය එසේ වන්නට බලපාන කරුණු පිළිබඳ සිතීමේදී මහජනයාට එය වළක්වා ගැනීමට හැකියාව තිබූවා නම් ඔහු එය පැහැර හැරියේ ඇයි?

8. ලංකාවට වඩා හත් ගුණයක් විශාල නවසීලන්තයට මිලියන 4 ජනගහනයක් ඇති බව අපි දන්නවනේ. නමුත් වර්ග කිලෝමීටර 65 දහස් ගණනක් වන අපේ රටට තම ජනගහනය මිලියන විස්සකට ඉඩකඩ ලබා දීමට සිදුවී ඇති බව සත්‍යක් නේද? එහෙම නම් අපි ඒ සදහා කළ සැලසුම් මොනවා ද? තාප්ප බැඳ, තම ගෙමිදුල, වත්ත වෙන්කර ගන්නා ලාංකිකයා බොහොම ඉඩ නාස්ති කරනවා නම් ඉදිරි පරම්පරාව ජීවත්වන්නේ කොහේද?

9. රටක ජීවන තත්ත්වය මනින මිම්මක් ලෙස සෞඛ්‍යය ඉතා වැදගත්. අපේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය කුමක් ද? අපි සියල්ල නිදහස් රටක් විදියට සෞඛ්‍යයත් නිදහස්. ඒ කෙසේ වෙතත් මේ වැය දරන්න නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කර ගත යුතුයි නේද? අපි කෙළින්ම මේ සේවාවට අය කර නොගන්නවා නම් අපි ඒ සදහා අය කර ගන්නේ කෙසේ ද ? ඒ වැය දරන්න අපේ ආර්ථිකය ශක්තිමත් ද? එහෙම නම් එය සොයා ගන්න නැවත අපි බදු ආදායම් දෙස බැලිය යුතුයි නේද? ප්‍රශ්නෙ ආයෙත් මුලටම අපි ඇවිත් වගේ නේද?

10. ඉතා දියුණු ආර්ථිකයක් ඇති ජපානයේ ආර්ථික ශක්තියට එක් හේතුවක් වී ඇත්තේ එම රටේ ජනතාවගේ ඉතුරුම් බව ඔබ දන්නවාද? එම ඉතුරුම් සුලු වශයෙන්වත් කිරීමට අපේ ජනතාවට හැකියාවක් නැත්තේ ඇයි? අපි ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල මසකට රුපියල් (සියලුම සෘජු සහ වක්‍ර බදු.) 4000 වේ යැයි සිතමු. බදු අය නොකරන ඒ ඒ සේවාවන් සදහා මිලක් නියම කර එය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර අපි ඒ වෙනුවෙන් මසකට වැය කරන මුදල අවම වශයෙන් රුපියල් 3000 වන්නේ නම් මසකට එක අයෙක්ට රුපියල් 500 වත් ඉතිරි කළ හැකියි නේද? මෙම ක්‍රම ඉතා දියුණු රටවලවල අත්හදා බලා ඇති බව වගකීමෙන් කියන්න හැකියි. මම මේ සටහන අවසනට ඒ පිළිබඳ ලියැවී ඇති පොත් කීපයක නම් යොදන්නම්. නිදහසින් පසු යම් නව ආර්ථික ක්‍රමයක් නැවත අපිට ලැබෙන්නේ ජේ. ආර් ජනාධිපතිතුමාගේ විප්ලවීය වෙනස්කම් නිසා. දශක කීපයක් සංශෝධනය නොවී එලෙසම පවත්වාගෙන යන එම ක්‍රමයට දැන් සංශෝධන අවශ්‍ය බව අපිට හැගෙනවා. නමුත් අපි ඊට සූදානම් ද? අපේ රටේ ආර්ථිකයේ නයුවන් ඒ සදහා දැනුවත්ද?

{මෙහිදී මවිසින් ලබාගෙන ඇති උදාහරණය සත්‍ය නොවේ යැයි ඔබට සිතේ නම් ඔබ නිවැරදිය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී ඔබට නොපෙනෙන බද්දක් එතුළ තිබේ. බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනුයේ භාණ්ඩයේ බදු මුදල හිටි හැටියේ ඉහළ දැමීමෙනි. නිෂ්පාදන බදු කියා ද බද්දක් ඇති බව අපි දනිමු. නිෂ්පාදකයනට බදු නොව දිය යුත්තේ බදු සහනයි. එම නිසා හැම භාණ්ඩයකම බදු මුදල අඩු වීමෙන් මසකට උපයන දෙයින් විශාල මුදලක් ඉතිරි කර ගන්නට පාරිභෝගිකයාට හැකිය. එවිට එම මුදල අදාළ රාජ්‍ය ආයතනයේ සේවාවන් සදහා වන වියදම හෙවත් සේවාව සදහා ගෙවිය යුතු නියම මිල ගෙවීමෙන් අපිට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. අනික එම මිල එවිට ගෙවන්නේ අදාළ සේවාව ලබා ගන්නා පුදගලයා පමණි. නැත හොත් විදුලිය සදහා අදිභාරය එය වැඩියෙන් භාවිතා කරන්නන් සේම ඉතාම අඩුවෙන් භාවිතා කරන්නන්ට ද ගෙවීමට සිදු වීමේ අත්දැකීම විද ඇති ඔබට මා පවසන දේ නිසැකවම වැටහෙනු ඇතැයි සිතමි.}

11. ඔබ මේ ටික සිතා ඇත්ද, අපි සිතමු මධ්‍යම පළාතේ දියුණුවට මාර්ග සෑදීමට අවශ්‍යයි කියා. ඒ සදහා වැය කළ යුත්තේ කවුද? තේ ආර්ථිකය දියුණු එම පළාත් වලට එම මුදලින් ඒ පළාතේ සංවර්ධනය කිරීමට හැකියි නේද? බස්නාහිර පළාත දියුණු කිරීමට මොනරාගල ඌව වෙල්ලස්සේ ගොවියා බදු ගෙවිය යුතුද? නමුත් බටහිර ජනයා ඔහු ලබන ප්‍රතිලාභයට ගෙවීම ඔහුගේ යුතුකම නේද? එසේම අනුරාධපුරයේ ජනයාට වැව් හදන්න ගෙවිය යුත්තේ බටහිර පළාතේ ජනයා ද? ඒ සහල් නිෂ්පාදනයෙන් ආදායම් ලබන්නේ අනුරාධපුරයේ එහෙම නැත්නම් රජරට වැසියා නම් ඒ ගෙවිය යුත්තේ ඔහු නේද?

12. රටක ජනතාවට හිතකර නොවන කිසිවක් දිගින් දිගටම තිබිය යුතු නොවේ. එසේ ඉවත් කළ යුතු දේ අපේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට අප සිතා ඇති ද? එසේ කිරීමට අපට ඇති සැලසුම් මොනවා ද. උදාහරණයක් ලෙස සමාජවාදී රුසියන් සමූහාණ්ඩුව තම විප්ලවයෙන් පසු රුසියන් භාෂාව ඉතාම පහසු ආකාරයට ඉගෙන ගැනීම සදහා ව්‍යාකරණ ඇතුළු සියලු දෑ නවීකරණය කළ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ජපන් රජය ද එය එසේම කළ අතර, තම ජනතාවගේ ආහාර රටාව ජනයාගේ කාර්‍ය්‍යක්ෂමතාවට ගැලපෙන ලෙස වෙනස් කර ගන්නට උපදෙස් දිනි. මේ සියල්ලෙන් එම රටවල් ලබා ගත් දියුණුව විශාල විය. රුසියාව අධ්‍යාපන ලෝකයේ නොමැකෙන නමක් තබන ලදි. රුසියාවේ උපාධියක් නොගත්තෙක් ලොව කිසිම රටක නැත. ඒ එදා ඇති කළ වෙනස නිසාවෙනි.

13. අවසාන වශයෙන් කියන්නට යන්නේ අප උදම් අනන අපේ වසර 2500 වඩා පැරණි සංස්කෘතිය ලොව ඉහළම සංස්කෘතියක් බව මම එක හෙළාම පිළිගනිමි. නමුත් අප ඉන් පළ නෙලා ඇත් ද? අපට ඉන් ලැබෙන වාසිය කුමක් ද? මෙය මුදල් බවට හැර වීමේ ක්‍රම අප සිතා නැහැ නේද? අනෙක මම ද සම්බන්ධ ශ්‍රී ලංකා වි. විද්‍යාලයේ එක් අංශයක වසරක ආදායම කෝටි ගණනකි. අප අපේ විදේශීය සිසුන්ගෙන් උපයන දේය. අප සියල්ල වියදම් කර මහා භාණ්ඩාගාරයට ද මුදල් අතිරිකතයක් සෑම වසරක දීම ලබා දෙන්නෙමු. ඒ නිසා අපේ ආයූර්වේදය, බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යනු මුදල් ආකර බව අප තවම් තේරුම ගෙන නැති බව නම් මට ඒකාන්තයෙන්ම කිව හැක. මේ සියල්ල මේ රටේ මිනිසුන් උදෙසාය. තනි තනි වශයෙන් ගත් කළ අප ඉන් ලබන පළ ප්‍රයෝජන බොහෝය. නමුත් රටක් ලෙස??????

එහෙම නම් මේ විසදුම් අපිට සොයා ගන්න බැරි ඇයි?

මේ පිළිබඳ මගේ මිතුරු කවදත් මගේ ප්‍රණාමයට පත් වූ බ්ලොග්කාරිනියක් වන අරුණි ශපීරෝ කියා ඇති දේ ඇයගේ බ්ලොග් අඩවියෙන් බලන්න. ලිංකුවක් දමමි.

මෙය තව දිගට ලිවීමට මට සිත් නොදේ. එම නිසා මෙතැනින් නවතමි. අපි ඔබට ඇති වූ ප්‍රශ්න පිළිබඳ යම් සාකච්ඡාවක් කරමු.

සැබෑ නිදහස කුමක් දැයි සිතමු.

නිදහසේ අරුත අපේ රටේ වැසියා නිසි ලෙස තේරුම් ගන්නේ කවදා ද???????


(1) Lanka News Paper - http://www.lankanewspapers.com/news/2011/5/66920.html

(2) Statistic Department Annual Report

(1) 2012 http://www.statistics.gov.lk/samplesurvey/Annual%20Report2010Sinhala.pdf

(2) 2011 http://www.statistics.gov.lk/samplesurvey/LFS%20Annual%20Report_2011.pdf

(3) 2010 http://www.statistics.gov.lk/samplesurvey/report%20-%202012Q2.pdf

(3) Pensions Department

(1) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=53&lang=si

(2) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=53&lang=si

(3) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=53&lang=si

(4) UGC http://www.ugc.ac.lk/

(5) ශ්‍රි ලංකාව ආසියාවේ අහිමි ආශ්චර්ය, මිල්ටන් රාජරත්න, රාවය ප්‍රකාශන, 2012.

(6) අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද, රොහාන් සමරජීව, සී. ජේ. අමරතුංග, රාවය ප්‍රකාශන, 2012.

(ප/ළි.
ලියා අවසන් කළේ දින දෙකකට පෙර වුවත් නිදහස් දිනයේ පළ කිරීමට සිතා සිටියත් මාතර සිට පැමිණ, දියණියගේ කටයුතු වලට දවස ගෙවිණි. නිවාඩු දිනයක සවස හතරට පමණ ලිපියක් පළ කරනවා ට වඩා එය අගහරුවාදා පාන්දරම පළ කිරීම යහපත් බව මම දනිමි. එනිසා කමන්න.)



Wednesday, January 16, 2013

අනාගතයෙන් පැතිකඩක්.

සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා.

මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ලෙස තුවාල වෙලා තිබ්බ බව දන්නේ බොහෙම කාලෙකට පස්සෙ. හැබැයි ඒක අපේ පවුලට සතුටට කාරණයක් වුනා. ඒ කුඩා අපට තාත්තව බලන්න එන අය ගේන ඔරෙන්ජ් බාර්ලි බොන්න ලැබීම. මොන කූල් බීම ද ඒ කාලේ. නිකන් සෝඩා, සහ ඔරෙන්ජ් බාර්ලි තමයි ප්‍රසිද්ධම. ලෙඩ්ඩු බලන්න ගෙනිච්චේ ඔරෙන්ජ් බාර්ලි.

අපේ අම්ම සතුටට පත් වන දෙයකුත් ඒ අතර තිබ්බ. ඒ 71 කැරැල්ල නිසා රාජ්‍ය සේවකයන් වුණු අපේ තත්තාගේ මිතුරන් විශාල සංඛ්‍යාවක් අනිවාර්‍ය්‍ය සේවයට කැඳවා තිබීම. මේ අසනීපෙ නොවෙන්න පියාටත් ඒ ඉරණම.

මට මතකයි අපේ ආච්චි (උන්දෑ අවුරුදු 100 ආයු ගෙව්ව.) චීත්ත රෙද්දට තියලා කොට්ට උරයක හාල් දාල, ඒ කාලෙත් නාගරික ජීවිතයක් ගෙවපු අපිට ගේනවා. මේ කියන කාලේ මට මතක විදියට 1971 විතර 72 වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 05 අද වෙනකොට කාලේ බොහෝම ගෙවිලා සිද්ධීන් වල මුල මැද පිළිවෙළ හරියටම මතක නැහැ.

මම පොඩි වුණත් තුන් දෙනෙක්ට අයියා වුණු නිසා මට කුඩා කළ සිටම වගකීම් බහුලයි. ඒක නම් මගේ අද ජීවිතයටත් සෑහෙන්න වටිනවා.

කොහොම හරි අබ්බගාත වුණත් තාත්තා ගෙදර සිටීම අම්මට බොහොම සතුටක් වුණා. පසු කාලෙක ඇයගේ වදනින්ම මට කියා තිබ්බෙ "ඔයාගේ තාත්ත නම් ඒ පාප කර්මෙට හවුල් වුණේ නැහැ" කියලා.

මේ සියල්ල දැක්ක මට 88, 89 කාලේ ඒ හැම දේටම මුහුණ දෙන්න වුණා. ඒ කාලේ තමයි ආපේ අම්ම තාත්තා ගැන මට ඉහත කියමන කියා තිබ්බේ.

විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබලා සිටි තරුණ ලේ හොදටම කැකෑරුණු ඒ සමය මට හොදින් මුල, මැද, අග අදටත් හොදින් මතකයි.

ඊට පස්සේ දීර්ඝ කාලීන සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ. 90 සිට 94 දක්වා ගිය කාලේ මට තාමත් අත ළඟ වගේ.

මම බුද්ධියෙන් සිතන්න පතන්න ආරම්භ වුණේ මේ 94 න් පස්සේ. කාගෙවත් අතකොළු නොවී තනියම සිටීමේ වටිනාකම මම 94 සිට හොදින් උගත්තා.

කල්පනා කරන විට මට සිහිවනවා අප කළ කී දෙයින් නිවැරදි මෙන්ම ඉතාමත් වැරදි තීරණත් අපේ ජීවිතේ තිබෙනවා. මමත් එහෙම තීරණ අරගෙන තිබෙනවා. මගේ ජීවිතේ පිළිබඳ ඉතාම සුබවාදී තීරණ මම ගෙන තිබෙනවා. මගේ සදාදර බිරිය මට ලැබුණේ එහෙම තීරණයක් නිසා. නමුත් අපි ගත්ත හැම තීරණයක්ම නිවැරදිද?

අද මම පිළිගන්නවා 1977 සිට වර්තමානය දක්වා මම ගත් තීරණ බොහෝ වැරදි. මා පිළි නොගත් දේ සහ මා පිළිගත් දේ අතර විශාල වෙනසක් තිබෙනවා. මා කළ ඒ වරද අද හදන්න බැරි තරම් විනාශයක් බවට හැරවිලා කියා මට තේරෙනවා. අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් දායක වුණා.

මා කුමක් කළ යුතුද?

තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා.


මට තියෙන ප්‍රශ්නේ ඒ කවදා ද කියන එක විතරයි.

Wednesday, December 19, 2012

ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම.

කලින් ලිපි කීපයකම අපි කතා කළා මඳසරුභාවය කියන මාතෘකාව. මම බ්ලොග් ලෝකයට පැමිණි විගස මේ පිළිබඳ සඳවට රන් තරු නමින් ලිපි කීපයක්ම ලියුවා මතකයි. ඊට පසුත් ලිපි කීපයක්ම මේ පිළිබඳ ලියූ බව මතකයි.
ඒ සියල්ලේ ලින්ක්ස් මෙහි පිළිවෙළින් දමන්නම්.
1.ලිපිය
2. ලිපිය
3.ලිපිය
4.ලිපිය
5.ලිපිය

පුරුෂ මඳ සරුභාවය/ එයට ප‍්‍රතිකාර/ආයූර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඉන් මිදීමට ඇති මාර්ගය පිළිබඳ ඉතා වැදගත් කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය කළා.

ඊට පසු කාන්තාවන්ගේ මඳ සරුභාවයට හේතුවන කාරණාත්, ඒවාට ප‍්‍රතිකාරත්, ඉන් මිදීමට ආයූර්වේද උපදෙසුත් පිළිබඳ සාකච්ඡා කළා.
1.ලිපිය
2.ලිපිය
3.ලිපිය

අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් ඒ වගේම ස්ත‍්‍රි පුරුෂ දෙකොට්ටාසයේම සරුභාවයට හානි කරන සාධකයක් පිළිබඳවයි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි මේ සංකල්පය අපි හඳුන්වන්නේ ”ඌෂ්ණය” "Ushnam" යනුවෙන්. ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

මේ පිළිබඳවත් අවස්ථාවකදී කතා කළ බව මට මතකයි.
1.ලිපිය

ආයූර්වේදයේ එන ඌෂ්ණ සංකල්පය යනු කුමක්ද?
එනම් ශරීරයේ ඉන්ද්‍රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, Potential Energy එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්‍රියයන් වලට ලැබේ. මෙම ජෛව රසායනික ක්‍රියාකාරකම් සිදු වීමේදී ශක්තිය වැය කර එම අදාළ ක්‍රියාව සිදු වන අතර ඉන් යම් නියත ප්‍රමාණයකින් ශක්තිය හානී Energy Wastage වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් මිනිස් ශරීරයේ සිදුවන නොයෙකුත් ජෛව රසායනික ක‍්‍රියාකාරකම් නිසා සිදුවන ශක්ති සංසරණයේ Energy Flow එක් අවස්ථාවක් වන ශරීරයෙන් ශක්ති හානිය Energy Wastage වන අවස්ථාව නියමාකාරයෙන් සිදු නොවී කායික ශක්ති සමීකරණය අසමබර වීමයි. වැඩිපුරම ආයූර්වේදයේ රෝගී අවස්ථා වලට හේතු වන මේ තත්ත්වය ශක්ති හානියේ ඉතා වැඩි වීම් නිසා මෙන්ම ඉතා අඩු වීම් නිසාද සිදු විය හැකිය.

නවීන විද්‍යාවේ අර්ථ දැක්වීම් වලට මේ සංකල්පය යම් තරමක ආගන්තුක බවක් අපට පෙනෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ එන නොයෙකුත් රෝග කාණ්ඩ යටතට මේ ආශ‍්‍රිත රෝග ඇතුළු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ආසාත්මික රෝග Allergic Conditions ගත හැකියි. මෙපමණක් නොවෙයි ඉතා පුළුල් පරාසයක විහිදුණු රෝග රාශියක් මෙයට ඇතුළු වෙනවා.

දැන් අපි කතා කළ කායික විභව ශක්තිය ආයූර්වේදයේ දී භාවිතා වන්නේ කඵ කියන නමින්. ක‍්‍රියාකාරී කායික ශක්තිය අයූර්වේදයේදී වාතය නමින් හැඳින්වෙනවා. වැඩිපුර ශක්තිය හානිවන අවස්ථාව ඌෂ්ණ යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම නියමාකාරයෙන් වන ශක්ති හානිය හැඳින්වෙන්නේ පිත කියන නමින්.

වාත, පිත සහ කඵ යන කායික ශක්තීන් තුන පිළිබඳ සුශ්‍රැත මහාසෘෂිවරයා මෙසේ පවසයි.

විසර්ගාදාන වික්ෂේපෛඃ සොමසූර්‍ය්‍යයා නිලා යථා,
ධාරයන්ති ජගත් දේහං කඵ පිත්තා නිලාස්ථතා.
සුශ්‍රැත සූත්‍ර 21 අධ්‍යායය.

මෙහි අර්ථය වන්නේ,
යම් සේ චන්ද්‍ර, සූර්‍ය්‍ය, වාත යන වස්තුත්‍රය විසර්ග, ආදාන, වික්ෂේප යන කාර්‍ය්‍යයන්ගෙන් ලෝකය ධාරණය කරයි ද, ඒ ආකාරයෙන්ම කඵ, පිත්ත, වාත යන ත්‍රය ශරීරය ධාරණය කරන බවයි.

අපිට බහුලව අහන්න ලැබෙන ප‍්‍රශ්නයක් තමයි ඇඟ ඌෂ්ණ නිසා පිළිසිඳ ගැනීම් සිදු නොවන බව. මෙහි ඇති විද්‍යාත්මක භාවය කුමක්ද?
අප ඉහත අර්ථ දැක් වූ අකාරයට ශරීරයේ සිදුවන ජීව ක‍්‍රියාවක් වන ඩිම්භ සෛලයක මේරීම නම් ක‍්‍රියාවලියේදී මේ ඌෂ්ණය යන සාධකය මගින් අහිතකර අයුරින් යම් බලපෑමක් සිදුවීමේ ඉඩක් තිබෙනවා. එය අද ලෝකය පුරා පැතිරී පවතින මඳසරුභාවය නම් රෝග තත්ත්වයට බොහෝ සෙයින් හේතු වනවා.

ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක‍්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක‍්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක‍්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි. එවිට එම ජීව ක‍්‍රියාවලීන් නිවැරදිව සිදු නොවෙයි.
මෙහි අනිවාර්‍ය්‍යය ප‍්‍රතිඵලය වන්නේ,
1. ඩිම්භ සෛලයක් නියමිත ප‍්‍රමාණයට නොවැඞීම, Immature Follicles
2. කුඩා කුඩා ඩිම්භ සෛල විශාල ප‍්‍රමාණයක් ඇති වීම, Poly Cystic Ovarian Syndrome
3. ස්කෑන් පරීක්ෂාවක දී ඩිම්භ සෛල එකිනෙකට ඇලී මුදුවක ආකාරයෙන් පිහිටීම, Ring Type Structure වැනි තත්ත්වයන්ය.

මෙයට අමතරව මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන තවත් කායික රෝග ලක්ෂණ කීපයක් ම ඇත.
1. රුධිරයේ කාන්තා හෝමෝන සාන්ද්‍රණයන් වෙනස් වීම.
2. පුරුෂ හෝමෝන සාන්ද්‍රනය ඉහළ යාම.
3. එහි ප‍්‍රතිඵලයක් ලෙස මුහුණේ රෝම වර්ධනය වීම.
4. ශරීරය අධිකව මහත් වීම.
මේ රෝගීන් අතර යම් යම් මානසික තත්ත්වයන් ද නිරීක්ෂණය කළ හැක. බොහෝ විට නොඉවසිලිමත් ගතිය, අවිශ්වාසය, කේන්ති යාම ඉතා බහුලයි.

මෙම තත්ත්වය පුරුෂයන්ටත් පොදුයි. බොහෝ විට ඌෂ්ණ ශරීර ඇති පුරුෂයන්ගේ පුරුෂ බීජ දුර්වල ක‍්‍රියාකාරී බව Motility පැහැදිලි වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය ස්ත‍්‍රී පුරුෂ දෙපිරිසටම තමන්ගේ සරුභාවය පවත්වා ගැනීමේදී හානි කරන බව කිව යුතුයි. පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනයේදී ඌෂ්ණයේ බලපෑම නිසා එහි ව්‍යුහයේ ඇති වන බලපෑම මගින් ශුක්‍රාණුවක රූප විද්‍යාත්මක විවිධත්වයට Morphology හානි සිදු විය හැකියි. එනම් තදින් ඌෂ්ණය ඇති ශරීරයක් හිමි පුරුෂයෙක්ගේ ශුක්‍රාණු නිපදවීමේදී එම ශුක්‍රාණු නිසි අයුරින් මේරීමට ලක් වන්නේ නැතුව තිබීම නිසා එම ශුක්‍රාණු මෙසේ විකෘති බවට පත් වීමයි. මෙම ඌෂ්ණයේ බලපෑමට දිගු කාලයක් භාජනය වීමෙන් සරුබව ඉතා ශීග්‍රලෙස අඩු වනවා දක්නට ලැබේ. එම තත්ත්වයට ලක්වන පුරුෂයන්ගේ ශුක්‍රාණු නිෂ්පාදන වේගය, Spermatogenesis ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය, සහ ශුක්‍රාණුවල රූප විද්‍යාත්මක විවිධත්වය ද බොහෝ දුරට අඩු වී ඇති බව පැහැදිලිව පෙන්වා දීමට හැකිය.

මේ අවස්ථාවන්ට ආයූර්වේදයේ ප‍්‍රතිකාර තිබෙනවා ද?
පැහැදිලිවම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම අවස්ථාවන්ට ඉතා වටිනා ප‍්‍රතිකාර තිබෙනවා. මේ ප‍්‍රතිකාර අපි මෙහිදී ප‍්‍රයෝජනය ගන්නේ මඳ සරුභාවයට වුවත් සියලූම රෝග සම්බන්ධයෙන් ආයූර්වේදයේ අර්ථ දැක්වීම් මේ ආශ‍්‍රිතව තමයි සිදු වන්නේ. එම නිසා මඳ සරුභාවයට ප‍්‍රතිකාර කිරීමේදී පියවර දෙකක් යටතේ ප‍්‍රතිකාර කළ යුතුයි.

පළමු පියවර
1. ඌෂ්ණය ඉවත් කිරීම.
2. ඩිම්භ සෛල සහ පුරුෂ බීජ සෛල වර්ධනය, මෙම තත්ත්වයන් ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ යුතුයි.

දෙවන පියවර.
මෙහිදී ප්‍රධාන වශයෙන්
1. ආහාර,
2. කායික නීරෝගීතාවය පවත්වා ගැනීම සදහා ව්‍යායාම,
3. මානසික නිරෝගීතාවය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

මේ අයුරින් ප‍්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථකව මඳසරුභාවය සුව කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියි.

Monday, November 26, 2012

සුඛාන්ත රතිය සහ සුරතාන්තය!!

මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………

නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………...

අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.

මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්‍රන්ථයන් දෙක සලකමි.

මවිසින් මෙහිදී සඳහන් කළ මේ ග්‍රන්ථය තරම් සජීවීව සුරතාන්තය විස්තර කළ අන් තැනක් මෙතෙක් මට සමු වී නැත. එයට ද යම් හේතුවක් තිබෙනවා. මිනිස් සංතානයේ පහළ වන ඉතාම ගැබුරු හැගීමක්, දැනීමක් වචන වලට පෙරලීමේ අපහසුවයි. එවැන්නක් කිරීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විය යුතුයි. එවන් උගතුන් දෙපළක් වන මේ අනුවර්තක සහ නියම කතුතුමාගේ අදහස අනුව සුරතාන්තය යනු මේ යැයි යම් දල අදහසක් ලබා ගැනීමට Lady Chatterley's Lover ග්‍රන්ථය පිටුවහල් වනවා.

දැන් අපි බලමු බුදු දහමට අනුව ලියැවී ඇති දේ පිළිබඳව, ඔබට මතක ඇති මෙයට සමාන ලිපියක් මම ටික කලකට පෙරත් පළ කළා.

ස්ත්‍රී රූපය තරම් පුරුෂයන්ගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් නැත. එසේම කාන්තාවගේ සිත ද ඇද බැඳ ගන්නා ප්‍රධානම රූපය නම් පිරිමි රූපයයි. තවද මෙය ශබ්ද, ගන්ධ, රස, සපර්ශ ආදී සියල්ලට ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද එසේමයි. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1960, පිටුව 2 - 5) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මේ විශේෂ ලබැඳියාව හුදෙක්ම ලිංගිකත්වය නිසාම පැන නැඟුණකි. ලිංගිකත්වයට පුද්ගලයා තුළ සහජයෙන්ම ඇතිවන මේ ලබැඳියාව හෙවත් තෘෂ්ණාව හේතුවෙන් භවයට ඇති ආශාව ද, ඇලීම ද, ඇති වේ. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ම එන නකුල මාතා නකුල පීතා කථාවෙහි දී එම යුවළ ඊළඟ භවයේ දී ද එක් වීම ප්‍රර්ථනා කරයි. මේ ඇත්තෙන්ම ලිංගික බැඳීමයි.

අංගුත්තර නිකාය 05, ඉත්ථිබන්ධන සහ පුරුෂ බන්ධන නමින් සූත්‍රයන් දෙකක් සඳහන් වේ. මෙම සූත්‍ර දෙකෙහි අදහස වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් බැඳෙන ආකාරයයි. බුදුන් වහන්සේට අනුව අට ආකරයකින් ස්ත්‍රිය සහ පුරුෂයා එකිනෙකාට බැඳේ. එම ආකාර අට නම්,
1. රූපයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා බැඳේ.
2. හසිතයෙන් හෙවත් සිනායෙන් මේ දෙදෙනා බැඳේ.
3. වචනයෙන් හෙවත් කථාවෙන් මේ දෙදෙනා බැඳේ.
4. ගීතයෙන් ද, මේ දෙදෙනා බැඳේ.
5. රොදනයෙන් හෙවත් ඇඬුමෙන් ද, මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
6. ආකල්පයෙන් හෙවත් අඳින පොරවන සළු පිළියෙන් ද මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
7. වනභඬගයෙන් හෙවත් වන මල් පළ ආදී තුටු පහටු වන දෙයින් ද මේ දෙදෙනා බැඳේ.
මේ සියල්ලටම වඩා තරව ස්ත්‍රි පුරුෂ බන්ධනය ඇති වන්නේ නම් පහසින්මය. එය අටවන අවස්ථාවයි.

කාමාස්වාදය යනු කවරේද?
මෙම මාතෘකාව බුද්ධ වචනය තුල බොහෝ වාරයක් භාවිතය. ඉන් කීපයක් මෙහි ඔබ වෙනුවෙන් දක්වමි.

(1) මනාප්‍රිය රූපදී ත්‍රෛභූමක වස්තුකාමය කැමතිවන ඒ සත්වහට ඉදින් ඒ වස්තුකාමය සමෘද්ධ වේ නම් හෙවත් (ලැබේ නම් ) ඒ ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇති වූයේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාදයයි. එනම් මෙහි අර්ථය වන්නේ "යම් මිනිසෙක් හැල් ආදි කෙත්වතු හෝ ගෘහභාවස්තු ආදී වතු අමුණු හෝ ගවයන් අසුන් දස්කම්කරු පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයින් හෝ වෙනත් මනාප්පීය රූපාදී බොහෝ කාම වස්තූන් ක්ලේශකාම වශයෙන් පුන පුනා ප්‍රාර්ථනා කෙරේද මේ ආස්වාදයයි". ( ඛුද්දක නිකාය නෙත්තිපකරණ, දේසනාහාර විභංගය, බු. ජ. ත්‍රි. 1960.)

(2) මජ්ඣිම නිකාය 03, පුණ්ණම සූත්‍රය, බු. ජ. ත්‍රි. 1960, පිටුව 116. සඳහන් වන රූපය නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදය උපදී එවැනිම වේදනා, සඥ්ඥා, සංස්කාර, විඤ්ඤාණයන් නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදයක් උපදී

ඉහත උදාහරණ දෙකෙන් අපට පැහැදිලි වන්නේ භෞතික වූ බඩු භාණ්ඩයන් මෙන්ම, ස්ත්‍රි ඇසුර, ස්පර්ශය, වැනි අත්දැකීම් වලින් ද අපට යම් සුවයක්, වින්දනයක්, ආස්වාදයක් ලැබිය හැකි බවයි.

(3) බුදුන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේම එන සුභ සූත්‍රය මෙසේ පස්කම් සැපයෙහි ඇතිවන ප්‍රීතිය යම් පරිදි තෘණ කාෂ්ටෝපාදාන නිසා ගිනි දල්වා ද, ඒ ප්‍රීතිය එවැනියයි වදාරති. එනම් තෘණ කාෂ්ටෝපාදාන යනු සියුම් ඉන්ධනයන්ය. එවැනි දේ නිසා ඇතිවන ගින්න වඩා සෞම්‍යය. එම නිසා පස්කම් සැපය නිසා ඇතිවන ප්‍රීතියද සෞම්‍ය වේ.

බුදු දහමේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ උදාහරණ ඇතත් මේ ලිපිය වඩා කෙටි කර ගැනීමේ උත්සාහය නිසා මේ කරුණු පමණක් ඇතුළත් කරමි. මේ සියල්ලම එක්ව ගෙන සිතා බැලූ කළ අපට බුදු දහම අපගේ ඉහත මාතෘකාව පිළිබඳ දක්වන්නා වූ විග්‍රහය සබන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම උගහට වන්නේ නැත.

පුද්ගලයාට කාමය උපදන වස්තු ප්‍රධාන කොටස් කීපයකි. භෞතික වූ බෝග, වගා, ධන, ධාන්‍ය, ඉඩකඩම් වැනි දෑ ද, අභෞතික වූ ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, නාසය ප්‍රිය ගන්ධ, කයට ප්‍රිය ස්පර්ශය ද, මනසට ප්‍රිය සිතුවිලි ද වශයෙන් ය. මේවා ඇති විට පුද්ගලයා සොම්නසට පත් වේ, ආස්වාදයට පත් වේ. සතුටට පත් වේ.

මේ අනුව සිතූ කළ පුද්ගලයාගේ ලිංගික තෘප්තිය හුදෙක්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යන මේ ඉන්ද්‍රිය ප්‍රීණනය මුල් කර ගත්තක් බව පැහැදිලි ය. මේවා කාර්‍ය්‍යක්ෂම ලෙස පිනවීමට ලිංගික කාර්‍ය්‍යයේ දී සමත් වන පුද්ගලයා හොදින් ලිංගික තෘප්තිය ලබන අතර නොයෙක් හේතු මත ඒ අසමත් වන පුද්ගලයාට ලිංගික තෘප්තිය සම්පූර්ණ නොවේ. ලිංගික ක්‍රියාව නම් කාර්‍ය්‍යයේ දී පසිඳුරන් අවදිව තබා ගැනීම ඉතා අවශ්‍ය කාරණයක් බව අප දැනගත යුතුය. එනම් ඇස, කන, නාසය, මෙන්ම, දිව, සහ ශරීරය ද එක සේ මේ කාර්‍ය්යයේ දී එකාත්මික විය යුතුය. එමෙන්ම මනසින් සූදානම් වීම ද අතිශයින්ම වැදගත්ය. මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්‍ය්‍යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි.

ලිංගිකත්වයේ ඉතාම වටිනා නීතිය නම් තමන්ගේ සැපය මෙන්ම අනෙකගේ සැපය පිළිබඳව ද, සැලකීමක් කිරීමයි. අප වැණි රටවල ඉතාම අඩු අවධානයකට ලක් වන අංශයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. හුදෙක් දෙදෙනෙක් සහභාගී වන මෙවැනි කාර්‍ය්‍යයක් කෙලෙසකවත් ආත්මාර්ථකාමී එක් පුද්ගලයෙකුගේ හුදු සැපය සදහාම වෙන් විය යුතු නොවේ. මෙහිදී තම සහකරු හෝ සහකාරියගේ සැපය පිළිබඳව ද යම් අවධානයක් යොමු කළ යුතුමය. තම ඉන්ද්‍රි‍යයන්ගේ අවදි බව මෙන්ම අනෙක් පාර්ශ්වයේ ඉන්ද්‍රියයන්ගේ අවදිබව පිළිබඳ සැලකීම ඉතා වැදගත්ය. එවිටයි නිසි ලිංගික ක්ෂාන්තිය දෙදෙනාටම ලබාගත හැක්කේ. මනා සිහියෙන් හුදු අදාළ කාර්‍ය්‍යයම පිළිබඳ සිහියෙන් පසිඳුරන් පහම පිනවීමට යොමු වීම දෙදෙනාටම අවසාන සුඛාන්තය ලැබීමේ එකම මඟයි.

අප බොහෝ විට මේ කාර්‍ය්‍යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්‍රියයන්ය.

සහකරුගේ හෝ සහකාරියගේ පියවි රූපය හොදින් දැකීම ම උත්තේජනයේ ආරම්භය ලබා දෙයි. එය සවිශක්තිමත් උත්තේජනයක් වන්නේ එකකුගේ සිරුර අනෙකාට රසඳුනක් වුවොත් පමණය. කන ද ඉතාම වටිනා ලිංගික අවයවයකි. කනට ඇසෙන ශබ්ද (සුසුම්, මුණුමුනුවන්, කෙදිරීම්) එකිනෙකා නඟන ශබ්ද ඔවුනොවුන්ගේ රතියේ ඇති ගැබුර වැඩි කරයි. නාසය ද එසේමය, එකිනෙකාගේ ගන්ධය යනු ඉතා වටිනා ලිංගික උත්තේජනයකි. එය රති ක්‍රීඩාවේ දී ඉතාම වැදගත් අංගයක් බව දන්නෝ කීයෙන් කීයක් ද? නවීන විද්‍යාවේ දී සොයාගෙන ඇති ෆෙරොමෝන යනු මේ ගන්ධය ඇති කරන ලිංගික උත්තේජනයට වැදගත් වන සාධකයකි. ලිංගික ක්‍රීඩාවේ දී හැම විටම එහෙන් මෙහෙන් කෙරෙන සිප වැළද ගැනීම් ක්‍රමවත්ව එකිනෙකාගේ රසය උරා බීම දක්වා දියුණු කර ගැනීමට හැකි නම්, ස්පර්ශය එකිනෙකාගේ ශරීරවල සුඛස්පර්ශය නියමාකාරයෙන් ලැබිය හැකි ආකාරයට දියුණු කර ගැනීමට ඔබ දක්ෂ වුවොත් සුරතාන්තය එතරම් අපහසු ඉලක්කයක් කියා මට නම් නොසිතේ.

මෙම ලිපිය මා සිතුවාට වඩා දිග්ගැසුණත් මෙය එකම ලිපියක් ලෙස ලිවීම මැනවැයි මට සිතේ. එම නිසා තවත් කුඩා කොටස් කීපයක් මෙයට එක් කරනවාට ඔබ විරුද්ධ නැතැයි සිතමි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සම්බන්ධව ලියැවී ඇත්තේ කුමක් දැයි අපි සොයා බලමු. පළමුවෙන් මම නිතර කියවන මගේ හස්තසාර ග්‍රන්ථ කීපයෙන් එකක්වන චරක සංහිතා වේ එන තොරතුරු මෙසේ දක්වමි.

චරක සංහිතාව, ආර්. බුද්ධාස, (සිංහල අනුවාදය ), චිකිත්සිතාස්ථානය, සංයෝගශරමූලීය වාජීකරණපාද අධ්‍යායය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1960, පිටුව 455.

ආත්මවත් පුද්ගලයා නිතර වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු බවත්, චරක මුණිවරයාම පවසා තිබෙන අතර මෙහි දී වාජීකරනයන් ලෙස ධර්ම, අර්ථ, ප්‍රීති, යශස යන මේවා සඳහන් කර තිබේ.

ස්ත්‍රියගේ රූපා දි එක එක ඉන්ද්‍රියාර්ථය පවා අතිශයින්ම ප්‍රීත්‍යෝත්පාදක බව ද, එසේ වූ කළ රූප, රස, ගන්ධ, ස්පර්ශ, ශබ්ද, යන සියල්ලේම එකතුවෙන් සෑදී ඇති ස්ත්‍රී ඇසුර කෙතරම් වේ දැයි එතුමා මෙහිදී විමසනවා. මෙහිදී ද සඳහන් කරන්නේ කාන්තා ඇසුර හුදෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමකට වඩා මුළු පංචේන්ද්‍රියන්ගෙන්ම විඳිය යුතු කාර්‍ය්‍යයක් බවයි. එවැනි ලිංගිකත්වයකට සුරතාන්තය යනු එතරම් අභියෝගයක් නොවන බවත් මින් හැඟවෙනවා.

චරක සංහිතාව ඉහත අධ්‍යායයේ දී ම වෘෂ්‍යස්ත්‍රිය හෙවත් කාන්තාව වාජීකරණයක් ලෙස දක්වන වැදගත්කම පිළිබඳ බොහෝ විස්තර සඳහන් කර තිබේ.
(1) ප්‍රීතිය ස්ත්‍රීන් කෙරෙහිම පවත්නේය. ධර්මය, අර්ථය, ලක්ෂ්මිය, හා ලෝකය(සසර ) ස්ත්‍රිය කෙරෙහිම පවත්නේය.
(2) ස්ත්‍රියගේ වාජීකරණ ලක්ෂණ. මනා රූ සපුව, යෞවනෝදය, යහපත් ලලනා ලක්ෂණ වලින් යුතු බව, අවනත බව, (ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?)
(3) රති ශාස්ත්‍රයෙහි නිපුණ බව.
යන මේ ලක්ෂණ ඇති කාන්තාව අති ශ්‍රේෂ්ඨ වාජීකරණ ය යැයි දත යුතය.

දැන් චරක සංහිතාවේ ම සදහන් වන ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ගෙන එමි. මින් කාන්තාවකගේ වාජීකරණ ගුණ වැඩි කරගෙන පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනාට ම ප්‍රබල සුරතාන්ත රතියක් ඇති කර ගැනීමේ මඟ හෙළි කර ගත හැකිය.

(1) රූපදී ගුණයෙන් දෙදෙනා සමාන වීම.
(2) යම් ස්ත්‍රියක් ගේ වචනය, ක්‍රියාව, වයස, ආදියෙන් පුරුෂයෙක් ගේ හද පැහැර ගනී ද එවැනි ස්ත්‍රිය නිසා පුරුෂයා ද, එම ස්ත්‍රියද රතිය සුඛාන්තයක්ම කර ගනී.
(3) යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට උත්සවයක් බඳු ද, එම ස්ත්‍රිය ද රති සුඛාන්තය ලබයි.
(4) යම් ස්ත්‍රියක් පුරුෂයාගේ මනස හා සමාන මනසක ආශ්‍රය ස්ථාන ඇති ද එවැනි කාන්තාව ද,
(5) යම් පුරුෂයෙක් හා ස්ත්‍රියක් සමාන සිත් ඇත්තී ද,
(6) ස්ත්‍රිය පුරුෂයාට වසඟ ද,
(7) ස්ත්‍රිය පුරුෂයාට ප්‍රිය දේම කරන්නේ ද,
(8) යම් ස්ත්‍රියක් සකළෙන්ද්‍රියයන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පුරුෂේන්ද්‍රියයන් බඳින මදුවක් වැනි ද,
(9) යම් ස්ත්‍රියකගේ වෙන්වීමෙන් පුරුෂයා ට රති රහිත වීමෙන් ලෝකය කාන්තාවන්ගෙන් සිස් යැයි හැඟේ ද,
(10) යම් ස්ත්‍රියක් නැති වීමෙන් පුරුෂයාට තම ඉන්ද්‍රියයන් හිස් ලෙස හැඟේ ද,
(11) යම් ස්ත්‍රියක් නිසා පුරුෂයාට, භය, නොඇල්ම, ශෝකය, උද්වේගය හෙවත් නොසන්සුන් කම යන මේ හැඟීම් පහළ නොවේ ද,
(12) යම් ස්ත්‍රියක් ලැබීමෙන් පුරුෂයා ප්‍රේම කතා කියයි ද,
(13) යම් ස්ත්‍රියක් දැක පුරුෂයා අතිශය හර්ෂයට පැමිණේ ද,
(14) නිත්‍ය අතිවේගයාගේ ආනන්දයෙන් අපූර්ව යැයි සිතා යම් කාන්තාවක් වෙත පුරුෂයා නිතර එළබෙන්නේ ද,
(15) යම් කාන්තාවක් හා විසීමෙන් පුරුෂයා ට ඇති වීමක් නොවේ ද,

මේ කාන්තාව පුරුෂයාට වාජීකරණයක් ම වේ.

දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි.

(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.
(2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.
(3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.
(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.
(5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.
(6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.


සුදනෙනි කිම වීරිය නොකරන්නේ?

Tuesday, November 13, 2012

අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව.

ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් තමයි අකුරු කරන්නට සිතුවේ.

එනම් මේ වසරෙදි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සදහන් වී ඇති කරුණුයි. මම එකින් එක ඒ පෙළ ගස්වන්නම්……

සමස්ත අයවැය ගැන කියන්නට මම අපේ මහාචාර්‍ය්‍ය මාතලන් මෙන් ආර්ථික කටයුතු පිළිබඳ වියතෙක් නොවෙමි. එනමුත් 34.2 යෝජනාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

යෝජනා අංක - 01

ගරු කතානායකතුමනි, වැඩි වෙමින් පවත්නා බෝනොවෙන රෝග නිවාරණය හා වැඩිහිටි සත්කාර සේවාවන් පවත්වා ගැණීමට දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා.

මේ යෝජනාව 34.2 සමස්ත යෝජනාවේ හරය ලෙස සැලකිය හැකියි. එනම් බෝ නොවෙන රෝග රටේ වැඩි වැඩියෙන් පැතිරෙමින් පවතින බව රජය පිළිගැනීම සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඒ අඩු කිරීමට යම් ශාක්‍යතාවක් දරන බවත් මේ යෝජනාවෙන් රජය පිළිගෙන තිබෙනවා. එසේම ඒ හැකියාව වැඩිකළ යුතු බවද ඒ සදහා රජය සූදානම් බවද මින් ගම්‍ය වනවා. ඒ නිසා මෙවර 2013 වසරේදී එම කටයුත්ත ඉටු කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ නිලතල දරන්නන් සූදානම් වියයුතු බවත් මින් හැඟවෙනවා.

එයිට අමතර කොටසකුත් 34.2,අංක - 01 යෝජනාවේම තිබෙනවා. එනම් වැඩිහිටි සත්කාර සේවයයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව මේ සඳහා විශාල හැකියාවක් දරනවා. නමුත් අවාසනාවට ඒ පිළිබඳ යම් හඳුනා ගැනීමක් මෙතෙක් සිදු වී නැහැ. එම නිසා මාගේ බලවත් ප්‍රසාදය එම කරුණ කෙරෙහි දක්වනවා. අමතරව මම මෙසේද යෝජනාව සංශෝධනයකට ලක් කිරීමට කැමතියි. එනම් රටේ පැවතුණු මහා 30 අවුරුදු යුද සමයේ අංග විකලතාවට පත් වූ සහ වෙනත් ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් යම් ආයූර්වේදීය වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මේ වැඩිහිටි සත්කාර සේවය යටතේම ආරම්භ කිරීම සුදුසු බව මට පෙනෙනවා.

යෝජනා අංක - 02

එමෙන්ම පාරම්පාරික දේශීය ඖෂධ මෙන්ම වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පාරම්පාරික වෛද්‍යවරුන් අයූර්වේද දෙපාර්තමේන්තුව හා ආයූර්වේද රෝහල් පද්ධතියට සම්බන්ධ කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට ඉදිරි වසර 3 තුල ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

යෝජනා අංක - 02 යටතේ එන යෝජනාව ඉතාම කල්පනාවෙන් විග්‍රහ කළයුතු යෝජනාවකි. එනම් මෙහි පැතිකඩයන් කීපයක් පවතිනවා. අපි ඒ වෙන වෙනම ගෙන සලකා බලමු.

(1) පාරම්පරික දේශීය ඖෂධ සංරක්ෂණය කිරීම.
ඉතාම හොද යෝජනාවක්. මට මතකයි 1992 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආයූර්වේද දෙපාර්තමේන්තුව මඟින්, පැරණි ආයූර්වේද වට්ටොරු ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතියක් පැවතුණා. එහි දී එකතු වූ දැනුම "තල්පතේ පිළියම්" නමින් ග්‍රන්ථ රාශියක් ලෙස එළි දැක්වුණා. මේ ව්‍යාපෘතිය වි. ජ. මු. ලොකු බණ්ඩාරයන්ගේ සමයේ වූවක් බව ද සටහන් කරමි.

එවැන්නක් නැවත ඇරබිය නොහැකිද? එසේ කරනවා නම් නවීන තාක්ෂණය යටතේ විශාල දැනුමක් ක්ෂේත්‍රයට එක්කර ගත හැකි බව මට නම් බොහෝ විශ්වාසයි.

(2) පාරම්පාරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම.
කළ යුත්තේ එම දැනුම විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අවශෝෂණය කර ගැනීමේ ක්‍රමයක් ඇති කර ගැනීමයි. පාරම්පාරික වෛද්‍ය ක්‍රමය බොහෝ වටිනා වුවත් එන්න එන්නම එය පිරිහෙමින් පවතිනවා. එම වෛද්‍ය පීතෘවරුන්ගේ දරුවන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටිනවා. අනෙක නවීන තාක්ෂණය උපයෝගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් පවතිනවා. එම නිසා එම වෛද්‍ය දැනුම විශ්වවිද්‍යාල වෙත අවශෝෂණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් මේ යටතේ ඇරබීම සුදුසු යැයි මට නම් සිතෙනවා. ඒ සදහා එම වෛද්‍ය පීතෘවරුන් වෙත මුදල් හෝ වෙනත් යම් පහසුකම් ඔවුන්ට ඇවැසි ලෙස ප්‍රධානය කළ හැකි ක්‍රමයක් ඇති කිරීම වඩාත් සුදුසු යැයි මට සිතෙනවා.

(3) පාරම්පරික වෛද්‍යවරුන් දැනටත් සීමිත සංඛ්‍යාවක් ආයූර්වේද රෝහල් වල රාජකාරීවල යෙදෙනවා. එම ක්‍රමය හොද දෙයක් වුවත් මෙලෙස යම් නියාමනයක් නැතිව ඇති කරන ක්‍රමයක් ආයූර්වේදයේ හිත සුව පිණිස හේතු නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මම ඉහත දී යෝජනා කළ පරිදි පාරම්පරික දැනුම එම වෛද්‍ය පීතෘවරුන් වෙත සාධාරණ වූ ප්‍රතිදානයන් සපයමින් ලබා ගැනීමයි.

(4) මේ යටතේ ගම්‍යවන තවත් කරුණක් තමයි ඉදිරි වසර තුනක් කාලයක් තුළ රජය ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේ යම් විශාල දියුණුවක් බලාපොරොත්තු වන වග. එසේ නම් ඔවුන් ඒ සදහා මේ යෝජනාව යටතේ තීන්දු කර ඇත්තේ පාරම්පාරික දැනුම ආයූර්වේද පද්ධතියට එක් කර ගැනීම තුළින් එය වේගවත් කිරීමේ උපක්‍රමයයි. මට හැඟෙන අයුරු මෙය ඉතා හොද අදහසක්, වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනඟන්නට යන බවයි.

ඇයි මම එසේ කියන්නේ?

දැනටමත් පාරම්පාරික වෛද්‍යවරුන් යම් යම් සුවිශේෂී හැකියාවන් ඇති අය තම දැනුම විශ්වවිද්‍යාල වල සහ රජයේ රෝහල් වල සේවය කිරීම තුළින් ශිෂ්‍යයන් වෙත ලබා දෙමින් සිටිනවා. ඒ ක්‍රමයේ නොයෙක් ගැටලු තිබෙනවා. එම වෛද්‍ය වරුන්ට තම සේවයට නිසි අයුරු සැලකීම් සිදු වන්නේ නැති වග මම හොදින්ම දන්නවා. මේ යෝජනාව අනුව කළ යුත්තේ ඒ සේවාව ඔවුන්ගෙන ඔවුන්ට නිසි ගෞරවයෙන් ලබාගෙන, ලබාදෙන දැනුමට සරිලන ප්‍රතිලාභයක් ඔවුන් වෙත නැවත ලැබෙන අයුරින්, එසේ වුවොත් මෙය ඉතාම වැදගත් යෝජනාවක්.

යෝජනා අංක - 03

එබැවින් වෛද්‍ය සංරක්ෂණ යෝජනා ක්‍රමයක් මඟින් සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් එක් රැස් කර ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෙදකම දියුණු කිරීමට යෝජනා කරනවා.

ඉහත අංක 2 යෝජනාවම නැවත වෙනත් අයුරකින් පැවැසීමක් මෙහිදී ද සිදු වනවා. එහිම සාරාංශගත අදහස නැවත මෙසේ පළකර තීබන බව පෙනෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති සැබෑ අර්ථය කුමක්දැයි මට දැනට නම් සිතා ගැනීමට අපහසුයි. විශ්වවිද්‍යාල තුනක සිසුන් දහසකට වැඩි ගණනක් වසරකට තම සේවය රටට ලබා දීමට සුදුසුකම් ලබනවා. ඒ අය අතරින් බොහෝමයකට රැකියා නැති තත්ත්වයක්ද තබාගෙන අයවැය ලේඛනයේ ඒ කිසිත් පිළිබඳ සඳහනක් නොමැතිව තිබියදී නැවත නැවත පාරම්පාරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ගැනම පුනරුච්චාරණය කිරීම අයවැයකට සුදුසු දැයි මට නම් පැහැදිලි නැහැ.

අය වැය රජයේ ආදායම් වියදම් විස්තර සහ එන වසරේ තම රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ ප්‍රතිපත්ති ඇතුළත් කරන ලේඛනය විනා රැකියා සුලභ කරන ලේඛනයක් නොවේ යන්න මම පිළිගනිමි. නමුත් පාරම්පාරික වෛද්‍යවරුනට රැකියා ලබා දීමට විරුද්ධ නොවන අතර එය ලබා ගැනීමේ වාසිද ඇති බවත්, නමුත් එය කළ යුත්තේ නිසි නියාමනයකින් බවත් පැහැදිලිවම මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

මෙහිදී සුප්‍රසිද්ධ යන වදනින් හැඟවෙන වෛද්‍යවරු එතරම් දක්ෂයින් නොවීමටත් හැකියි. නමුත් අප යෝජනා කරන්නේ විනාශ වී යාමට ප්‍රථම සමහර දේශීය වෛද්‍යක්‍රම ආරක්ෂා කර ගත යුතු බවයි. ඒ සදහා වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් රටට වැඩදායක ලෙස විසඳගැනීමට හැකි බව නම් මට විශ්වාසයි.

යෝජනා අංක - 04

එමෙන්ම බෝ නොවෙන රෝග සම්බන්ධව බටහිර වෛද්‍ය වරුන්ගේද සහභාගීත්වයෙන් දේශීය වෙදකම් පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමට 2013 දී රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඉතාම හොද යෝජනාවක් සහ මම කැමතිම යෝජනාව මෙයයි. ආයූර්වේදයේ උන්නතිය රැදී ඇත්තේත් මෙතුළයි. නමුත් මට මතක හැටියට 2010 හෝ 2009 පමණ මේ යෝජනාව අයවැය ලේඛනයක් තුළ අන්තර්ගත වූවා. එවර මිලියන 100 ප්‍රමාණයක් මේ සදහා වෙන්වූවා. අලුත් මිලියන 300 ගැනීමට ප්‍රථම පරණ මිලියන 100 වූ දේ ගැනත් සොයා බැලිය යුතුයි. ඒ නිසි අයුරු ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවල යෙදවූවාද? නැතිනම් නැති නාස්ති වී ගියාද? ඉන් ඵල නෙළුවෝ කවුද? මේවා ගැනත් යම් අවබෝධයක් ඇතුවයි මෙවර ලැබෙන මුදල සදහා ව්‍යාපෘති සකස් කළ යුත්තේ.

මේ යෝජනාවෙන් කියා ඇති පරිදි දැනටත් අප පර්යේෂණ වල යෙදෙනවා. නමුත් අපේ අමාත්‍යාංශයවත්, දෙපාර්තමේන්තුවවත් ඒ නොදන්නා බව මම දනිමි. (නොදන්නා සේ සිටින බව.) යම් ආකාරයකින් මිලියන 300 න් මිලියන 5 පර්යේෂණ සදහා වියදම කරන්නට කැමැත්තක් ඇත්නම් ඒ අභියෝගය භාර ගැනීමට මම කැමැත්තෙමි. රසායන විද්‍යාව, උදිභිද විද්‍යාව, බටහිර වෙදකම යන අංශ වලින් පී. එච්. ඩී. උපාධි ලබාගත් පුද්ගලයන් හා සමග ලෝකයේ වෙනත් රටක විශ්වවිද්‍යාලයක් ද, අපේ ආයූර්වේද පර්යේෂණ ආයතනය ද, සම්බන්ධ කරගෙන ආයූර්වේද පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳ ප්‍රතිඵල රටට දීමට මම කැමැත්තෙමි. සියලු පුද්ගලයන් සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීමේ හැකියාවද මට ඇත. වියදම දැරීමට කැමති නම් ඒ අභියෝගය මම භාර ගනිමි. ( අපේ ආයූර්වේද පර්යේෂණායතනයේ පහසුකම් සැපයීමත් ඒ අධීක්ෂණයත් රජය භාර ගන්නවානම් පමණක් මෙය සිදු කරන්නට හැකිබවට මම කොන්දේසියක් ද ඉදිරිපත් කරමි.)

යෝජනා අංක - 05

තත්ත්වයෙන් බාල බටහිර මෙන්ම ආයූර්වේද ඖෂධ වරග රට තුලට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ත්‍රෛභාෂා සටහන් සහිතව තත්ත්ව පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

ඉතාම හොද අදහසක්. ප්‍රමිතිකරණය අපේ වැනි තුන්වන ලෝකයේ රටවලට ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් අපි ඒ ගැන යම්කිසි සැලකීමක් නැති වීම අපි අපහසුවෙන් ලබා ගන්නා ජාතික ධනය විනාශ වී යාමට හේතු වනවා. එම නිසා මේ පිළිබඳ ආයූර්වේද පර්යේෂණද ආයූර්වේදය තුළ වහාම සිදු විය යුතුයි. දින තුන්සිය හැටපහම වසාගෙන සිටින ඇතුළත ඇත්තේ කිමෙක්දැයිවත් නොදන්නා ප්‍රමිතිකරණ අංශයකින් නම් මෙය බලාපොරොත්තු වීමට වඩා ලෙහෙසියෙන්ම ඉබ්බන්ගෙන් පිහාටු ගත හැකි බවද අවසාන වශයෙන් මතක් කරමි.

ඒ වගත් මෙසේමයි!!!