Wednesday, January 16, 2013

අනාගතයෙන් පැතිකඩක්.

සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා.

මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ලෙස තුවාල වෙලා තිබ්බ බව දන්නේ බොහෙම කාලෙකට පස්සෙ. හැබැයි ඒක අපේ පවුලට සතුටට කාරණයක් වුනා. ඒ කුඩා අපට තාත්තව බලන්න එන අය ගේන ඔරෙන්ජ් බාර්ලි බොන්න ලැබීම. මොන කූල් බීම ද ඒ කාලේ. නිකන් සෝඩා, සහ ඔරෙන්ජ් බාර්ලි තමයි ප්‍රසිද්ධම. ලෙඩ්ඩු බලන්න ගෙනිච්චේ ඔරෙන්ජ් බාර්ලි.

අපේ අම්ම සතුටට පත් වන දෙයකුත් ඒ අතර තිබ්බ. ඒ 71 කැරැල්ල නිසා රාජ්‍ය සේවකයන් වුණු අපේ තත්තාගේ මිතුරන් විශාල සංඛ්‍යාවක් අනිවාර්‍ය්‍ය සේවයට කැඳවා තිබීම. මේ අසනීපෙ නොවෙන්න පියාටත් ඒ ඉරණම.

මට මතකයි අපේ ආච්චි (උන්දෑ අවුරුදු 100 ආයු ගෙව්ව.) චීත්ත රෙද්දට තියලා කොට්ට උරයක හාල් දාල, ඒ කාලෙත් නාගරික ජීවිතයක් ගෙවපු අපිට ගේනවා. මේ කියන කාලේ මට මතක විදියට 1971 විතර 72 වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 05 අද වෙනකොට කාලේ බොහෝම ගෙවිලා සිද්ධීන් වල මුල මැද පිළිවෙළ හරියටම මතක නැහැ.

මම පොඩි වුණත් තුන් දෙනෙක්ට අයියා වුණු නිසා මට කුඩා කළ සිටම වගකීම් බහුලයි. ඒක නම් මගේ අද ජීවිතයටත් සෑහෙන්න වටිනවා.

කොහොම හරි අබ්බගාත වුණත් තාත්තා ගෙදර සිටීම අම්මට බොහොම සතුටක් වුණා. පසු කාලෙක ඇයගේ වදනින්ම මට කියා තිබ්බෙ "ඔයාගේ තාත්ත නම් ඒ පාප කර්මෙට හවුල් වුණේ නැහැ" කියලා.

මේ සියල්ල දැක්ක මට 88, 89 කාලේ ඒ හැම දේටම මුහුණ දෙන්න වුණා. ඒ කාලේ තමයි ආපේ අම්ම තාත්තා ගැන මට ඉහත කියමන කියා තිබ්බේ.

විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබලා සිටි තරුණ ලේ හොදටම කැකෑරුණු ඒ සමය මට හොදින් මුල, මැද, අග අදටත් හොදින් මතකයි.

ඊට පස්සේ දීර්ඝ කාලීන සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ. 90 සිට 94 දක්වා ගිය කාලේ මට තාමත් අත ළඟ වගේ.

මම බුද්ධියෙන් සිතන්න පතන්න ආරම්භ වුණේ මේ 94 න් පස්සේ. කාගෙවත් අතකොළු නොවී තනියම සිටීමේ වටිනාකම මම 94 සිට හොදින් උගත්තා.

කල්පනා කරන විට මට සිහිවනවා අප කළ කී දෙයින් නිවැරදි මෙන්ම ඉතාමත් වැරදි තීරණත් අපේ ජීවිතේ තිබෙනවා. මමත් එහෙම තීරණ අරගෙන තිබෙනවා. මගේ ජීවිතේ පිළිබඳ ඉතාම සුබවාදී තීරණ මම ගෙන තිබෙනවා. මගේ සදාදර බිරිය මට ලැබුණේ එහෙම තීරණයක් නිසා. නමුත් අපි ගත්ත හැම තීරණයක්ම නිවැරදිද?

අද මම පිළිගන්නවා 1977 සිට වර්තමානය දක්වා මම ගත් තීරණ බොහෝ වැරදි. මා පිළි නොගත් දේ සහ මා පිළිගත් දේ අතර විශාල වෙනසක් තිබෙනවා. මා කළ ඒ වරද අද හදන්න බැරි තරම් විනාශයක් බවට හැරවිලා කියා මට තේරෙනවා. අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් දායක වුණා.

මා කුමක් කළ යුතුද?

තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා.


මට තියෙන ප්‍රශ්නේ ඒ කවදා ද කියන එක විතරයි.