Tuesday, November 29, 2011

ඔබ නැතිනම් මිහිපිට නැත මම්!!!!!

මට 1988 මාර්තු 18 වැනි දින අද ඊයේ මෙන් දැනේ. මේ මගේ දිවිය වෙනස් කල දිනයයි. රටේ ඉතා බැරෑරුම් වතාවරණයක් පවතිද්දීත් අප වෙනුවෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාලය ආරම්භ වූයෙ එදිනයි. ඒ මාගේ දෙවන විශ්වවිද්‍යාල ආගමනයයි. රැග් උපරිමයෙන් තිබූවත් මට එහි වගක් නැත. සුන්දර තරුණ මුහුණු අතර මල් වැනි යුවතියන්.

තාරුණ්‍ය අප සැම ගෙන්විත් අපේ අනාගත ඉරණම මෙසේ විසදීමට තීරනය කර ඇත. ඉඳහිට උත්තමයින්ගේ හඬ ගිගුම් දුන්නද, අප සිටින්නේ හුදකලාවකය. එදා පාලකයන් අප ඇමකට හසුකරබව දන්නේ මෙතැන සිටිනා අහිංසකයිගෙන් කීයෙන් කීදෙනෙක්ද?

මාස කීපයක විශ්වවිද්‍යාල අත්දැකිම්මක් ඇති මට ඒ මනාව වැටහේ. සුවිශාල ගොඩනැගිලි අතර අප පමණක්ම තනි වී ඇත. අපේ ජ්‍යේෂ්ට සිසුන් හොරෙන් අප හමුවේ. රැග උපරිමයෙන් ඇතත් ඔවුන් කුමන හෝ බියකින් සැකයකින් සිටිනා බව අපට පෙනේ.

දින ගෙවී යනාතර මාර්තු 22 උදය වරුවේ අපට දේශන නැති අවස්ථාවක මාත් සමඟ තව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් කීපදෙනෙකු රැගට අසුවූහ. අප ජෝඩු වශයෙන් වෙන් කෙරුනු අතර මට ලැබුනේ මේදින කීපයේදී මගේ අවධානයට ලක් වෙමින් සිටි යුවතියකි.

මට මහා සතුටක් දැනේ………

මේ ලියනා මොහොතේදීද මසිතින් ඒ අතිතයට ගෝස් ඇති බව මට හැගේ. එදා මගේ යම් අතපසු වීමකින් වුනු වරදක් නිසා අප දෙදෙනාටම හති වැටෙන් තුරු යහමින් සැලකූහ. මුල සිටම මා පාලනය කිරීම ඔවුනට ප්‍රශ්නයක් වී ඇති බව මට දැනේ. ඒ මගේ කට කැඩුනු වදන් නිසායි. කොළඹ පාසැල් ගිය මා ඔවුන් සැලකූයේ ගමේ එකෙක් ලෙස නොවේ. බෞද්ධ නොවන පාසැලකට ගොස් තිබීමත් මගේ පරහටම සිටියේය. නමුත් භද්‍ර යෞවනයේ සිටි මට රැග ප්‍රශ්නයක් නොවීය. වැරදීමකින්වත් මට කියා නොසරුප් වදනක් නොකියවීමට තරම් ඔවුන් ප්‍රවේසම් විය. ඒ මගේ කට ඇරුණු කල මා නවත්වා ගැනීම ඔවුන්ට අසීරු වීමයි. මෝඩයෙකු සේ ලොවෙත් නැති කුනුහරප තොගයක් "මේ අයියා කියනා නිසා කියමි", යනුවෙන් මහ හඩින් කියා, දෙසා බෑම මට මහත්ම විනෝදයක් විය.

මුල සිටම මාගේ මේ සෙල්ලක්කාර ගතියට මටම සරිලන මිතුරන් කැලක්ද එක් වී සිටියහ. ඔවුන් අතර නිමල් ඔබ දැනටත් දන්නා මගේ මිත්‍රයා ප්‍රමුඛ විය. දැන් මා යනාත තීන්දු වී ඇත. අප ජ්‍යේෂ්ටයන්ටද එපා වූ අපත සෙට් එකක් බවට පත් වී ඇත.

නමුත් මේ සියල්ල තිබියදී එදා මා නිසා අමාරුවේ වැටුනු යුවතිය, කෙමෙන් මට සමීප වෙමින් සිටිනා වග මටද නොදැනීම සිදු වෙමින් තිබිනි. ඇය දිවා ආහරය ගැනීමටද, පුස්තකාලය කරා යාමටද, සවස ඇයගේ නවාතැන වෙත හැරලීමටද මාවම තෝරා ගත්තීය.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියත් අවසන අප්‍රේල් මස 6 හෝ 7 දිනක අප නොසිතූ ලෙස රටේ තත්ත්වය ඉතාම නරක අතට හැරිනි. ඒ නිසා මුළු විශ්වවිද්‍යාලයටම සිටි එකම ශිෂ්‍ය කණ්ඩායම වූ අපටද දින නියමයක් නොමැතිව නිවාඩු ලැබිනි. ඒ මහා නරක කාලයක් විය. අපගෙ මිතුරන්ට සිදුවන දේ අපට සිතා ගැනීමටවත් නොහැක. හවස අපත් සමග එකට සිටි එකා උදේට නැත. මාද මාරක කීපයකින්ම බේරිනි. කෙසේ හෝ වසර 2 අධික කාලයකට පසුව නැවත අප ගියේ අපේ කන්ඩායමේ අයට කුමක් සිදු වී ඇත්දැයි දැන ගැනීමේ දරුණු ආසාවකිනි. නමුත් ඇය මට ඒ නිවාඩු කාලයේද විටින් විට හමු වී තිබිනි.

කෙදිනකවත් අප ආදරය ප්‍රකාශ කර නොගත්තත් කාලය අපව පෙම්වතුන් කර තිබිනි. දැන් අප ගෙවන්නේ අපගේ දෙවන වසරයි. පලමු වසර ප්‍රතිඵල අනුව මට අනාගතයේදී යම් තැනකට අද්‍යාපනයෙන් පැමිණිය හැකි බවක් මා නම් තේරුම ගත්තේ නැත. මන්ද මම ඒ වන විටත් දැඩිව ශිෂ්‍ය දේශපාලන කටයුතු වෙනුවෙන් කැපව සිටීමයි. ඒ හරහා මම දේශන ශාලාවට වඩා පිටත ගත කරන කාලය වැඩි විය. සති ගනන් මාස ගනන් ගෙදර යාමත් මට කෙමෙන් අතපසු වෙමින් පැවතිනි. මේ සියල්ලේ අවසන මමද අනෙක් ශිෂ්‍යයන් මෙනම තවත් එක් දුර්වල ඉගෙනීමක් ඇති අයෙක් බවට පත් වෙමින් තිබිනි.

නැවතත් ඇය ක්‍රියාත්මක විය. මගේ සටහන් කිසිවකුටත් වඩා නිවැරදි සහ ක්‍රමාණූකූල විය. පාඩම් කිරීමේ පිරියක් එන ලෙස මාගේ සටහන් සැකසී ඇත. නමුත් මම මාස ගනනකින් සටහනක් ලියා නැත. ඇය සියල්ල සම්පූර්ණ කරයි.

ඇයට මාගේ දෙමාපියන් හමු වීමට ඇවැසි විය. මා ඇගේ දෙමව්පියන්ට හදුන්වා දීමට ඇවැසි විය. නමුත් පවත්නා දේශපාලන තත්ත්වය මා ඉතාමත් කාර්ය්‍යය බහුල කර ඇත. අවසන මා ඇයට අවනත වීමි. මගේ මවට ඇය හදුන්වාදීම මාගේ ජීවිතය තවත් වෙනස් කරන්නක් විය. කා සමඟත් ඉතා තදින් බැදීමේ හැකියාවක් ඇති ඇය මාගේ මව සමඟ බැඳි බැම්ම අදද එදා මෙන්ම බලවත්ය. මාගේ නැගනියන්, මලණුවන් ඇය අප පවුලේ වැඩිමල් අක්කා ලෙස පිළිගත්තාය. හැමට අදටත් ඇයට වඩා කෙනෙක් නැතිය. මගේ පියාගේ මරණ අවස්ථාවේදීත් පවුලේ සියළු කටයුතුවල නායකත්වය ඉබේම ඇයට පැවරුණු අන්දම මම බලා සිටියේ ඉතා උපෙක්ෂාවෙනි.

මම ඇයගේ මව්පියන් හමුවට කලින් ගොස් ඇතත් මෙවැනි ගමනක් යන ප්‍රථම වතාව මේය. ඇයගේ කීර්තිමත් පියා මාවැනි අයෙක් කෙසේ පිළිගනියිද? මා මෙලෙස ඔහුට හඳුන්වා දීම මගේ ජීවිත මිත්‍රයා ඇයගේ වැඩිමල් සොයුරා විසින් සිදුකරන ලදි. මා සිතූවක් සිදු නොවීය. පියාණන්ට මම තවත් අයෙක්ම පමනක් විය. ඔහු මගේ මිත්‍රයෙක් තරම් මට සමීප විය.

වසරින් වසර ගෙවී 1993 වසර පැමිනුන අතර අපගේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරයන්ද උපරිම තලයකට පත් වී තිබිනි. ඒ වන විටත් අප වැඩි කාලයක් විශ්වවිද්‍යාලයේ ගතකර තිබිනි. මේ වන විට, අප දෙදෙනා නොදන්නා කෙනෙක් නැති තරමට, යුවලක් ලෙස ප්‍රසිද්ධ වී ඇත. සියළු දෙනා දන්නා පරිදි ගෙවල් දෙකෙන්ම ආශීර්වාදය ලද එකම යුවල අප විය. එදා බැදි බැම්ම තවත් ශක්තිමත් කරමින් 1997 අගෝස්තු 22 අප යුගදිවියට එලබුනහ.

මේ කාලයේ මම නිසරු දේශපාලනය පැත්තකට දම තිබිනි. ඇය මට වසර ගනනක් කිව්දේ මටද දැනෙමින් තිබිනි. මම මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙක් විය. ඒ කාලයේ ඇගේ එකම ඉල්ලීම වූයේ මට නැවත ඉගෙන ගන්නා ලෙසයි.

නමුත් මට මා වෙත පැටවී ඇති මහා වගකීම වලින් පිටව යාමට නොහැකි විය. කෙසේ හෝ අප දෙදෙනාගේ දුව ඉපදී යම් කාලයක් අපට විදින්නට සිදූ වූ ගැහැට මම ඔබට කියා ඇත. ඒවායින්ද ක්‍රමයෙන් මිදෙමින් මම වෛද්‍යවරයෙක් ලෙස රටේ නමක් හදාගනිමින් තිබූ සමයයි මේ. ඇය මට මුල සිටම කියූ දේ දැන් මම කල්පනා කරමි. ඔව් මම ඉගෙන ගන්නවා. මගේ පොත් කියවීමේ රුචියටත් සරිලන එකම දේ නම් නැවත ඉගෙනීමට යොමු වීමයි. ඇයගේ ඒ බලකිරීම නොවන්නට මම අද තවත් එක් ආයූර්වේද වෛද්‍යවරයෙක්, එසේත් නැත්නම් වෘත්තීය සමිති සටන් බහුල ජීවිතයක් ගෙනයන තවත් එක වෛද්‍යවරයෙක්ම වීමට තිබිනි.

මා පාඩම් කිරීමට , නැතහොත් පොතක් කියවීමට ගිය විට කාලය මට ප්‍රශ්නයක් නොවේ. දින දෙක තුනක් වුවද එකම ඉරියව්වේ හිඳිමින් පොත් කියවීම මට අදද මහ දෙයක් නොවේ. මෙලෙස පොත් කියවීමට හෝ මගේ ඉහල අධ්‍යාපනයේ වැඩක් ඇති විට මගේ හැසිරීමෙන්ම ඒ කුමක්දැයි ඇය දනී. එතැන් සිට අපේ ගෙදර කිසිවකුට ශබ්ද කිරීම තහනම්ය. මම අතෝරක් නැතිව කොම්පියුටරය හා කරනා ගනුදෙනු ඇයට කිසිදා ප්‍රශ්නයක් නොවීය. මා කතරම් වෙලා ගොස් නිදාගත්තත් ඇයට එය ප්‍රශ්නයක් නොවේ. ඒ කාලයම ඇය නිදන්නේ මගේ එකම ඉරියව්වක් හෝ වෙනස් වුවත් දැනනා ලෙසයි. මම ඒ පුදුමය අත්හදා බලා ඇත. දැනටත් මගේ බ්ලොග් මිතුරන් කීපදෙනෙකුම දන්නා පරිදි ඇයට මගේ මිතුරෙක් පැමිණි විට යම් හඳුන්වා දීමක් කල පසු ඊලඟට තේ කෝප්පයක් පැමිණෙන බව මම දනිමි.

අද මම ඉතාමත් නිදහස් මිනිසෙකි.

ඒ ඔබ නිසාය.

මට කෙදිනකවත් යමක් ගැන පසුතැවීමට වී නැත.

ඒ ඔබ නිසායි.

ඔබ මට ලබා දුන්නේ ආදරයම පමනක් නොවන බව මම දනිමි. එය කුමක්දැයි හඳුන්වා දීමට මම පොහොසත් නොවෙමි.

ඔබට සුභ උපන්දිනයක්!

අයාලේ යාමට වැඩි ඉඩක් තිබූ මාගේ ජීවිතය රටට සමාජයට වැඩක් ඇති ජීවිතයක් කලේ ඔබයි.

ඔබ නැතිනම් මිහි පිට නැත මම්!!!!!

Friday, November 25, 2011

නියම මිත්‍රයෙක් ගැන!(හිනා වෙන්න විතරයි.මඩක් නෙමේ.)

රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ හිටියා බැචෙක් මෑන් රියල්ම ඩයල් එකක්. කිසි දිනක බ්ලොග් නොකියවන නිසාත්, ඌ දැන ගත්තත් මට ෂේප් කර ගන්න පුළුවන් නිසාත් ලියමි. අවසර නොගත්තෙමි. නමුත් කොල්ලා මට ලෙඩක් නොදාන බව මම දනිමි.

මෙයාට අපි නිමල් කියමු. ඇත්ත නම නම් නෙමේ. දකුණේ පොරක්. මගේ ජාති මිත්‍රයා අදටත්. කෙල්ලන් පේන්න බැරි ලෙඩක් තිබ්බා. අපි කට්ටියක් ගියත් නිමල් බසයේ වාඩි වෙන්නේ වෙනම සීට් එකක. ටික වෙලාවකින් කොහේ හරි ඉන්න කෙල්ලෙක් මුගේ ලඟට එනවා. පැණි හැලියට ඇඹලයො එන්න වගේ. ඒක නම් පුදුම පිනක් ගිය ආත්මේ කරපු.

මේකට වෙන්නේත් ඒ වගේම වැඩ. අපි මෙයාව පත්කලා ශිෂ්‍ය සභාවට. ඒ වැඩේ හරියටම කළා. හැබැයි අපේ ආයතනයේ ලොක්කො එක්ක රැස්වීමක් තිබ්බම නිමල් එතැනට ගියොත් ලොකු ලෙඩක්. මෙයා ගිය දාට අපේ ශිෂ්‍ය සභාවේ සභාපතිට වෙන වැඩක් නැහැ. මෙයා දිහා ඇහැ ගහන් ඉන්නවා.

ඔන්න දවසක් අපේ ශිෂ්‍යසභාවයි පාලක පංතියයි අතරේ පොඩි මීටිමක් තිබුනා. කට්ටියට මතක ඇති කාලයක් තිබුනා අර ආයූර්වේද ශිෂ්‍යයෝ මහා සටනක් කලේ 90 - 94 කාලේ අන්න ඒ කාලේ මේ. අපේ සමහරුනම් ඉපදිලාත් නැතුව ඇති. ඉතින් දැන් මේ මීටිම යනවා හෙන වලි. මමත් ඔය සභාවේ පොරක්, අපි දැන් අපේ මහාචාර්ය්‍ය තුමා එක්ක ගහ ගන්නේ නැති ටික විතරයි. මට එකපාරටම මතක් වුනා අපේ මිත්‍රයා වැඩි සද්දයක් නැහැනේ කියලා. බැලුවම පොර ඉන්නවා මීක් නැහැ, ඉන්නවා ලොකු කල්පනාවක.

එලියට ආවම තමයි වැඩේ තෙරුනේ, අපේ මෑන් අර මහාචාර්ය්‍ය තුමාගේ බත් එකට වැඩේ දීල අපි මරා ගන්න අතරේ. ඒ විතරක් නම් මැදෑ එතුමාගේ බත් ගේන ලස්සන පෙට්ටියයි, ඒක ඔතන ලෙන්සුවයි, කන හැන්දයි ඔක්කොම ගෙනල්ල. ඔන්න මෑන්ගේ වැඩ.

තව දවසක් මෙයා අර මහාචාර්ය්‍ය තුමාගේ කාර්යාලයට යන දුරකථන ලයින් එකට කටු ගහල වෙනම ලයින් එකක් හදල කෙලින්ම අපේ රෙස්ට් රූම් එකට දාල. දැන් දුරකථනය වැදිල විනාඩියකින් විතර අපේ එකෙක් ඉන්නවා ඒක උස්සන්න බලාගෙන. අපි දන්නවා අපේ කාර්යාලෙ අපිට විරුද්දව කරන කථා ඔක්කොම. මීටිමකට යනකොට අපි ලොක්කො කියන හැමදේටම ලෑස්ති වෙලා යන්නේ. ඇයි අපි දන්නවනේ කාරණා හැම එකක්ම කලින්ම.

මෙයාගේ ආදර කථාවත් ඒ වගේම තමයි. අපිට පහල වසරක කෙල්ලෙක් එක්ක සෙට් වුනා. කොටින්ම නිල නොවන පවුලක් තමයි. කෙල්ල ඉන්නෙම මුගේ කාමරේ. දෙන්නගේ වලි ඉවරයක් නැහැ. වලියක් වුනාම මේ කෙල්ල දුක් විදගෙන මූටත් එක්ක හදාගෙන එන බත් එක අපේ මෑන් කන්නේ නැහැ. මම අද කන්නේ නැහැ. මලත් කන්නේ නැහැ. ඔහොම කියලා යනවා හොස්ටල් එකට. කෙල්ල දුකෙන් ඇයි පොර කාල නෙමේනෙ ගියේ. මේකිත් කන්නේ නැහැ. අපිට හෙන වාසි අනුන්ගේ වලිය නිසා පත සයිස් බත් දෙකක්ම අපිට. අපිත් හරිම දුකෙන් දෙනවා වැඩේ. අපේ වෙද විදුහල ඉදිරිපිටම තියනවා පොඩි බත් කඩයක්.මෙයා කෙලින්ම හොස්ටල් එකෙන් පනිනවා පාරට අර කඩේට ගිහින් අස්සකට වෙලා හොඳ බත් එකක් කනවා. කාල ඇවිත් නිදියනවා, හත් අවුරුද්දක් කාල නැහැ වගේ. කෙල්ල අපි එහෙට මෙහාට වෙනකම් ඉඳලා හොඳ බත් එකක් බැදගෙන ආයිත් ඇවිත් කවලා, නාවලා, සිත් සතුටු කරලා යනවා, අපි එන්න කලින්ම. ඔන්න පින.

මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා ගමේ අපේ මෑන්ටත් ඕනෙම දේ ඒක. දෙන්නම දන්නවා. හැබැයි දෙන්නම ඒ ගැන කථා නැහැ. දවසක් මම යනව වෙදහාමිනේව බස් එකට නග්ගවන්න පිට කොටුවට. මෙන්න මෑන් ඉන්නවා පොඩි තේ කඩේක. මම දකින්නත් කලින්ම මට හස්ත මුද්‍රාවෙන් යන්න කියනවා. මගේ මොකෝ මමත් ගියා. මම නැවත යනකොට මෑන් මට කලින් ඇවිත්. වෙලා තියන්නේ කෙල්ලව බස් එකට ඇරලන්න ගිහින් මෙයාත්.එතකොට කෙල්ලගේ ගමේ කොල්ල කොළඹ ඇවිත්, ඉන්නවා දැකලා මේ මඟ හැරලා තියන්නේ. ඔන්න වැඩ. මෙහෙව් කොල්ලෙක් දැකලා තියා අහලවත් තියනවද?

එදා අපි බැනපු බැනිල්ලට වෙන එකෙක් නම් අදටත් මූණ බලන්නේ නැහැ. ඒත් මේකා හවසට එනවා "මචාන්" කියාගෙන.

අපේ වෙදහාමිනේගේ ගෙවල් ලඟමයි පදිංචිය. මගේ මාමණ්ඩිගෙන් තමයි පොඩි කාලේ ඉඳලම බෙහෙත් අරන් තියන්නේ. දවසක් අපේ මාමණ්ඩි බලනවලු මෙයා එහෙ ඇවිත් ගෙට එන්නෙ නැතුව කාර් එක ගාවට වෙලා ලේන්සුවක් අරගෙන එකම හරියක් පිහනවාලු. මාමණ්ඩි දන්න දෙයක් නැහැනේ එයා අහලා ඇයි ළමයෝ කියලා? එතකොට කිව්වලු නැ අංකල් මමත් පොඩි කාලේ ඉඳලම බේත් ගන්නේ මෙහෙන්නේ ඉතිං මගෙ සල්ලිත් මේ කාර් එකේ තියනවනේ කියලා. අපේ මාමණ්ඩි නැති වෙනකන්ම ඔය කෑල්ල කියමින් විනෝද වුනා.

තව දවසක් මුන් රස්තියාදුවක් යනකොට තේ බොන්න හිතිලා ඇවිත් අපේ වෙදහාමිනේලයි අහ. අම්ම ලොකු විස්කෝතු ටින් එකක් එහෙම ගෙනත් දීල, තේ හදනකම්. ඇයි වෙන්න බෑනාගේ මිත්‍රයෝනෙ. තේ එහෙම බීලා යන්න ලෙහෙස්ති වෙලා අහනවලු ඇන්ටි මට පොඩි සිලි මල්ලක් දෙනවද කියලා. අම්මත් කොහෙන්ද එකක් ගෙනත් දීල. කිසි කථාවක් නැහැලු. දාගත්තාලු අර බිස්කට් ටින් එකම සිලි මල්ලට. නෑ ඇන්ටි ඇන්ටි දුන්නට මේක ගෙනියන්න අමාරුයි. ඒකයි සිලි මල්ලට දාගත්තේ. තරහා වෙන්න එපා ඇන්ටි ටින් එකනම් එපා කිව්වලු. අම්ම අදත් කියමින් හිනා වෙනවා.

මෙයා ගැන හොඳම කෑල්ල එන්නේ දැන්.

හැමදාම අනුන්ට ගිනිගෙඩි දෙන පොරටත් දවසක් නියම වැඩක් වුනා. මෙයාට හැකියාව තිබ්බා ඕනෙම වෙලාවක අධෝවාතයක් පිට කරන්න. දවසක් කොල්ලො ඔට්ටුවක් අල්ලලා අදනම් එකපාරටම අධෝ වාතයක් පිට කරන්න බැහැ කියලා. මෑන් වැඩේ බාර අරගෙන. මම හිටියේ උඩ කාමරේක මේ සිද්ධිය වෙන්නේ පහල වැරැන්ඩා එකේ. අපි දැන් උඩ ඉඳන් බලා ඉන්නවා. අපි හිනා වෙන නිසා මෑන්ට නිකම් පරාදයි වගේ හැඟීමක් ආව. දන්න සෙල්ලම් දාල තැටමුව. මෙන්න දන්නේම නැතුව මළ පහ වුනා. මේක දැනුනා මෑන්ට කොල්ලො "ඊයා" කියමින් දුවන්න ගත්තා. පොර බැලුවා වටපිට කට්ටියම නහය තද කරන් ඈතට දුවනවා. මම එදා වගේ අසරණ මුහුණක් එයාගෙන් දැක්කේ නැහැ කවදාවත්.

එක පාරටම මෙයා නැමුන බිමට "නැහැ මචන්" කියලා අත් දෙකින්ම ගත්තා ඔක්කොම දිව්ව වැසිකිලියට. ඊට පස්සේ අපි මහ වෙලාවක් හිනා වෙලා අපේ දේශන වලට ගියා. මෙයා නැහැ. දවල් වෙන්න ඇරලා හෙමින් හෙමින් එනවා නේද. එදා නිමල් දකින අපේ ගුරුවරුත් නහය අතින් තද කර ගන්නවා.

එහෙම වෙලත් මේකගේ වැඩ නැවතුනේ නැහැ. කොහොම හරි නියම නමක් පට බඳුනා. "ගූ නිමා" කියලා.

අදටත් අපි ඒ නම තමයි පාවිච්චි කරන්නේ. දැන් නම් ලමයි ඉන්න තාත්ත කෙනෙක්. හැබැයි තාම අර සෙල්ලක්කාර ගති එහෙමමයි.

Wednesday, November 23, 2011

"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්.

දැන් ටික දවසක සිට අපේ කකාත්, මාතලනුත් තවත් අය කීපදෙනෙක්ම සමරිසි කථා ලිව්වනේ. ඔන්න මටත් හැදුන මේ සමරිසි ගැන හොයන පිස්සුව. දැන් මහ වැඩ ගොඩක් අස්සේ මේ ගැන හොයනවා. ඒ අස්සේ ලෙඩ්ඩු බලනවා. බ්ලොග් එකත් ලියන්න කොහොම කොහොම හරි කාලේ හොයා ගන්නවා.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් පොතක් වගේ හැම වෙලේම ලඟ තිබිය යුතු පොතක්. ලියලා තියන්නේ 6 හෝ 7 සියවස් වල ජීවත් වූ ඉන්ධුකර පුත්‍ර ශ්‍රී මාධවකර නම් පඬිවරයෙක්. විශාල ග්‍රන්ථයක්. මේ ග්‍රන්තය පිටු 1500 විතර විශාලත්වයකින් යුතුයි.

මේ ග්‍රන්ථයේ 742 පිටුවේ සිට 743 කොටසේදී සමරිසි අය ගැනත් යම් කිසි කෙටි සටහන් කීපයක් අඩංගුකර තිබෙනවා. මම මේ ලිපියේදී ඔබට පොතේ තිබෙන සංස්කෘත ශ්ලෝකවල සිංහළ අර්ථය පමණක් ලබා දෙන්නම්. ඕනෙම කෙනෙක්ට මෙම පොත බලන්න හැකියාවක් තිබෙනවා. අනිත් කාරණය මේ පොතේ අපි කථාකරන පරිච්ඡේදයේදී නොයෙක් නොයෙක් ආකාරයේ පුරුෂ ස්ත්‍රී රෝග ගැනත් සඳහන් වී තිබෙනවා. මම ඉන් සමරිසි අයට ගැලපෙන කොටස පමණක් කථා කරන්නම්.

මෙහි සඳහන් විවිධ රෝගවලින් සමරිසි ඛාන්ඩයට වැටෙන රෝග වන්නේ,


1. ආසේක්‍ය පුරුෂ.
පියාගේ ශුක්‍රවල වීර්‍ය‍ය (Quality) අඩු වීම නිසා, ආසේක්‍ය නමින් හඳුන්වන පුරුෂයා උපදී. ඒ මිනිසා අන් මිනිසෙකුගේ සප්තම ධාතුව (ශුක්‍ර) පරිහරණය මඟින් තම ලිංගික උත්තේජනය ඇති කර ගනියි. ( මෙයා එතකොට "ගේ" නේද?)

2. සෞගන්ධික පුරුෂයා.
යම් පුරුෂයෙක් මවගෙන් ලිංගික උත්තේජනයක් කුඩා කල (මේකෙ කියන විදියට නම් මව දරුවා කුසතුල සිටිත්දී අධික ලෙස ලිංගික ක්‍රියාවලට යොමු වීම.) ලබයිද? එම පුරුෂයා ඉතාමත් විකෘති වූ ලිංගික ක්‍රියා සිදු කරන්නේය. ( මේක ගේ, ලෙස්බියනුත් ඉන්නවා. විරුද්ධ ලිංගික කුමන හෝ ප්‍රශ්නයක් නැහැ. සමහර විට තිරිසනුන් සමඟ පවා මොවුන් සංසර්ගයේ යෙදෙනවාලු. ගැහැණු පිරිමි දෙගොල්ලම මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්.)

3. කුම්භීක පුරුෂ.
මේකෙන් කියවෙන්නේ ගුද ලිංගික සංසර්ගය ප්‍රිය අය ගැනයි. (ආයිත් ගේ නේද? මොහු ඇත්තෙන්ම නපුංසක වුවත් ලිංගික හැකියාවකුත් ඇති ඝනයට වැටෙන්නෙක්. මේ පොතේ කියන ආකාරයට නම් මේක ජානමය බලපෑමක්.)

4. ඊෂර්‍යක පුරුෂ.
කුඩා කල අතවරයට පත්වන පිරිමි ලමුන් එම ක්‍රියාව තම සිතෙහි තබාගෙන සිටීමෙන්, නැවත නැවත මතක් කිරීමෙන් සිදුවන මානසික විපර්යාසය නිසා මෙම පුරුෂයා ඇති වේ. මොහු නපුංසකයෙක් බවට පත් වේ. සුව කිරීමේ හැකියාව පවතිනවා. නිසි ප්‍රතිකාර, උපදේශන ප්‍රතිකාර ආදිය යෙදීමෙන් සුව වුවත් මානසික බලපෑම අනුව මොහුගේ අනාගතය තීරනය වේ.

5. ෂණ්ඪ පුරුෂ.
මෙම තැනැත්තා විකෘති කාම ආසාවන් ඇති අයෙකි. මවගේ හා පියාගේ ඩිමභ සහ ශුක්‍රාණුවල දුර්වලත්වයෙන් උපන් මෙම දරුවා කුඩා කල සිටම විකෘති කාම ඇසුරට පත් වේ. බොහෝ විට තම වෘත්තිය ලෙස ලිංගික කටයුතු වලට යොමුවේ. පුරුෂ නම් නපුංසකයෙකි. කාන්තාවන්, පුරුෂ මෙන් හැසිරෙයි.
මෙහිදී කාන්තාවක් නම් ඇය තදින් ස්ත්‍රී ඇසුර ප්‍රිය කරයි. (ඔන්න ලෙස්බියන්)

6. ද්වී රේතස ක්ලීබ පුරුෂ.
මෙම තත්ත්වයට හේතු වන්නේත් ජානමය විකෘතිතා. මෙයින් මතුපිටින් පෙනෙන ස්ත්‍රියක් ඇති වුවත් ඇයගේ ලිංගික කටයුතු පිරිමියෙක් මෙනි. ස්ත්‍රී ඇසුරට ලොල් වේ. හැම විට ඇසුරකදී පුරුෂයෙක් මෙන් ක්‍රියා කිරීමට බොහෝ කැමතියි. විවාහ ජීවිතයක් ගත කිරීමට අකමැතියි. තදින් ස්ත්‍රී ඇසුරට යොමු වුවොත් ඉන්මිදීමට නොහැකියි. (ලෙස්බියන්)

සුශ්‍රැත සංහිතාව අදට වර්ෂ 7000- 8000 පමන අතීතයේ ලියැවුනු ඉතා වටිනා ග්‍රන්ථයක්. මෙහි මෙම කරුණු ඉතාමත් විස්තරාත්මකව දක්වා තිබෙනවා. සුශ්‍රැත පිටු අංක 344- සිට 345 දක්වා මේ ගැන ලියැවී තිබෙනවා.
ඉහත අප කථාකල මාධව නිධාන ග්‍රනථය මෙම සුශ්‍රැත වැනි ග්‍රන්ථවලින් තොරතුරු එක්කර ලියන ලද්දක්. මාධවයේ කරුණු සුශ්‍රැතයේ වඩාත් විස්තරාත්මකව ලියැවී තිබෙනවා.

සුශ්‍රැතයට අනුව මෙම රෝග,

1. ආසේක, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක, නර ෂණ්ඩක, නාරී ෂණ්ඩක ලෙස මෙහිදී විස්තර වේ.

2. මාධවයේ සඳහන් ෂණඩ පුරුෂයා මෙහිදී නර හා නාරී ලෙස ස්ත්‍රී පුරුෂ ලෙස කොටස් දෙකකට බෙදා වඩා විස්තරාත්මකව දක්වයි.

3. ආසේක්‍ය, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක යන මොවුන් ශුක්‍රය ඇත්තවුන්ය. එනම් මොවුන් වඳ නපුංසකයින් නොවේ. දරුවන් උත්පාද කිරීමේ හැකියාව ඇත්තන්ය.

තවත් තොරතුරු විශාල ගනනක් සහ රෝග අවස්ථා ගනනාවක් සඳහන් වුවත් මම මෙතැනින් නවතිනවා.

මේ අනුව පේනවා, මේ සිද්ධීන් ලෝකෙ හැම තැනම තිබිලා තියෙනවා. යුරෝපයේම ඇති වූවක් නෙමෙයි. මේ සඳහන් කල අවස්ථා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉතාමත් අපහසුයි. ඒ කියන්නේ මේවා සමහරකට කල හැකි පිලියම් නැහැ.

සිත දියුණු කිරීම මෙවැන්නකට හොඳ පිලියමක් වුවත් මොවුන්ගේ මානසිකත්වය ඒකට මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ. හරිම කලබලකාරී සංවේදී මනසක් මොවුන් සතු වෙන්නේ.

අපි අපේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ දරුවො පොඩි කාලයේ පමණක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්න කලිනුත් අපි ඔවුන් ගැන හිතන්න ඕනෙ.......

එහෙම නේද..........?

Sunday, November 20, 2011

සුන්දර මාතර.

මම මගේ පැටිවිය ගෙවුනු වත්තල ගැන ලිපියක් කලින් ලියූවා මතකයි. දැන් මම මගේ නිවස හැටියට තෝරාගෙන තිබෙන්නෙත් මාතර නම් අතිපෞරාණික නුවරයි. මගේ මව්පිය දෙපාර්ශ්වයෙන් මෙන්ම මගේ වෙද හාමිනේගේ පාර්ශ්වයෙන්ද මගේ අද වාසස්ථානය වෙලා තිබෙන්නේත්, මාතරයි. ඒ එසේ නමුත් අපි අපේ පහසුව තකා ජීවත් වෙන්නේ කොළඹ.

මම ගිය සතියේ මාතර පිළිබඳව කෙටි ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා. නමුත් මගේ ලිපි සීරීස් පටන් ගත්තට ඒවා ඉවර කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම සිතා ගත්තා ඉතාම කෙටියෙන් මාතර ගැන ඒ ලිපියේ දෙවනි කොටස විදියට මේ අලුත් ලිපිය ලියන්න. මේක තුන් වැනි කොටසකට යනවද කියලා නම් මම තාම දන්නේ නැහැ. ඒවා ඉතින් එන එන හැටියට තමයි.

කොළඹ සිට කිලෝ මීටර 160 දකුනට යනවිට ලංකාවේ දකුණු වෙරල තීරයේ තමයි මාතර නගරය පිහිටා තිබෙන්නෙ. මාතර නගරයේ තිබෙන සුන්දර බවට මූලිකම හේතුව තමයි සුන්දර නිල්වළා නදිය නගරය හරහා ගලා බැසීම.

මුලින්ම අපි බලමු මාතර කියන නම හැදුනු හැටි.

උතුරු පලාතේ මන්නාරම නගරයට තමයි අපි මහතොට කියන්නේ. ඒ ප්‍රසිද්ධ වුනු හැටි. නමුත් ඇත්තටම කලින්ම මහතොට කියා හඳුන්වා ඇත්තේ මාතරටයි. දෙවනි පැරකුම් රජ දවස ලියා ඇති සෙල් ලිපියකින් කියවෙනවා මහාතීර්ථය නම් ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් දෙවිනුවර ආසන්නයේ පැවති බව. මේ නගරයේ පාලනයට "මහපඬිතේ" නම් නිළධාරියෙක් රජයෙන් පත්කල බවත්, වරාය සංස්ථාවක් මඟින් නගරයේ පාලනද කල බවත් ඒ සෙල් ලිපිය අනුව අපට පැහැදිලි වෙනවා.

මතර නගරය මැදින් ගලා බසිනා නිල්වළා නදියෙන් එතෙරවීමට තිබුනා වූ මහ තොටක් නිසා මෙය මහතොට වූ බව තමයි වැඩියෙන්ම විශ්වාස කරන සාධකය වෙන්නේ. මාතර සිට කොළඹ දෙසට යත්දී තොටවල් කීපයක්ම හමුවෙනවා. ඒවා නම් ගිංතොට, වැලිතොට, බෙන්තොට, කළුතොට, සහ කොලොන්තොටයි.

දඹදෙනි රාජධාණී සමයෙහි මාතර පාලකයා ලෙස පැමිණි වීරබා මාපානන් විසින් මාපාපටුන ලෙස මේ නගරය නම් කෙරෙනවා. ඒ බව පරවි සන්දේශයේද සඳහන් වෙනවා. තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් මෙලෙස එය දක්වා තිබෙනව.

මාපා වීරබා කරවූ නමින් තමා
මාපා පටුන දැක යාගන් නොවී පමා

එම සංදේශයේම තවත් තැනක,

එම විට මඟට බැස යව මහතොට ගමට

ලෙසද, සඳහන් වේ. මින් එම නගරයේ එක් පසක් එනම් සමුද්‍රාසන්න පෙදේස මහතුට නමින්ද, අනෙක් පස එනම් දකුණු පස මහතොට ගම නමින්ද ව්‍යවහාර වූ බව පෙනී යනවා.

මයුර සංදේශයේද,

බල මදැතුන් මාතොට ඇත්හලේ නිලේ

යයි සඳහන් කරයි. ඈත කාලයේ ඉතා සටන්කාමී බටු ඇතුන් නම් විශෙෂ ඇත් වරගය මාතරට සුවිශෙෂී විය.
මේ අනුව මාපාපටුන, මාතොට, මාතොට ගම, යනුවෙන් මාතරට ව්‍යවහාර කර ඇතිබව පෙනේ.

පෘතුග්‍රීසි ජාතික කිව්රෝස් පූජකයානන් විසින් මාතර නාමය මෙසේ විවරණය කර ඇත.
මාතොර- විශාල වරායක් පිහිටි නිසා,
විශාල බලකොටුව යන අර්තයෙන් මාලා තොට යන නම් ස්වදේශියකන් විසින් ව්‍යවහාර කෙරේ යනුයි.

1672 ඕලන්ද ජාතික බෙල්දෙයස් පූජකවරයා මාතුරෛ යනුවෙන් මාතර හඳුන්වා ඇත. එනම් තුරෛ යනුවෙන් හැඳින් වෙන්නේ ද්‍රවිඩ ඌරුවට තොට යන්නයි. 1744 හයිඩ් මදරන් නැමැත්තා මදුරෙ යනුවෙන්ද තම සටහන් මගින් මාතර හන්දුන්වා ඇත.

අද මාතර නගරය දකුණු පලාත් සභාවට අයත් විශාල නගරකි. එකල ද මාතර විශාල නගරක් බව අපට සධක ඇතිව කිව හැක. අද මාතර එක් මහ දිසාපති කොට්ටාශයකි. එය කඩවත් සතර, වැල්ලබඩ පත්තුව, කන්ද බඩ පත්තුව, ගඟ බඩ පත්තුව, වැලිගම් කෝරළය, මොරවක් කෝරළය යනුවෙන් කොටස් හයකින් සමන්විතය.

පුරාණ බෙදීම අනුව රෝහණ ප්‍රදේශයට අයත් මේ ප්‍රදේශය, මාතර දොළොස් කෝරළය, වැලිගම් දහස් ගමයයි ප්‍රධාන කොටස් දෙකකට බෙදී පැවැති බව කඩඉම් පොත් වලින් අනාවරණය වේ.


මාතර වසර පන්දහසක අතීත තතු දැනට සොයාගෙන ඇති අතර මාතර ප්‍රධානවම නාගයන්ගේ නගරයක් බව පෙනේ. ඉදිරි තතු පසුව බලමු. කෙදිනක හෝ විවේක ඇති විටක

Thursday, November 17, 2011

දුවේ ඔබ මගේ ප්‍රාණයයි.

මේ ලිපිය ඔබට ලියන්නට මම වසර 11 වැඩි කාලයක් බලා සිටියෙමි. මගේ දියණිය, ඔබ නොදන්නා අමිහිරි අතීතයක තතු අද මා ඔබට පවසන්නම්. මේ ලිපිය මගේ මිතුරු මිතුරියන් හා බෙදාගත්තත්, දනිමි ඔබ මගේ "වෙදගෙදර" රසිකාවියක් බව.

ඔබ මෙලොවට බිහි වූයේ ඔබේ මවත් මමත් නිසිකලට ඔබ වැනි අයෙක් අපට සිටියොත් යෙහෙකැයි සිතාගත් නිසාය. ඒ 1999 කාලයයි. එසේ ඔබ මෙලොවට ගෙනෙන්නට සිතා ඉතා කෙටි කලකින්ම ඔබ මෙලොවට එනබව අපට වැටහිණි. මම මගේ දිවියේ ඉතාම වැඩියෙන් සතුටු වූ දින කීපයෙන් එකක් වන්නේ එදාය.

කෙසේ හෝ ඔබේ මව සමඟ මට කිසි දිනක ඇයගේ සායන කටයිතු වලට යාමට නොහැකි විය. ඒ මම ඔබ වෙනුවෙන් ඔබ කිසිදා දැක නැති, මාගේ ඉතා මහන්සියෙන් තැනූ ව්‍යාපාරයටම කැප වී සිටි නිසාය.

කාලය ගත වී ඔබ මෙලොවට එන දිනය කෙමෙන් ලඟා වෙමින් තිබූ නිසා, අප පවුලේ, දැන් ඔබද දන්නා චාරිත්‍රයක් වන පිරිත් පිංකම සහ සාංඝීක දානය ඒ වසරේ අපි යොදා ගත්තේ 2000/04/30 වනදාටයි. ඔබගේ පැමිණීම වෙනුවෙන් අප ලක ලැහැස්ති වූයේ, එවන් පිංකමක් කර ඔබගේ පැමිණීමට ආශීර්වාද පතමිනි.

මේ කාලයේ මම එතරම් මුදල් අත ගැවසෙන්නෙක් නොවීමි. මා හරි හම්බ කල යමක් වෙතොත් මගේ කුඩා ව්‍යාපාරටම යොදවා ඉතා අපහසුවෙන් දිවි ගෙවීමි.

කෙසේ හෝ එදින පිංකම ඉතා හොඳින් අහවරකල මම කලින්ම කොළඹ බලා පැමිණුනේ මැයි දෙක සිට තවත් විශාල කටයුතු ගොන්නක් ඉටු කිරීමට තිබූ නිසයි. මැයි 01 උදේම කොළඹ බලා පිටත් වූ මාහට එකල අප විසූ නිවස ඉදිරියෙන් බසයෙන් බසින විටම බස්පොලේ මගේ ව්‍යාපාරයේ කළමනාකරු මා එනතෙක් නොඉවසිලිමත්ව රැදී සිටින අයුරු දැකගත හැකි විය.

කිසිම හේතුවක් නැතිවම ඔහු මාහට පැවසුවේ මට ඉක්මනින් නැවත මාතර පැමිනෙන ලෙස පණිවිඩයක් ලැබුනු බවයි. ඔහුව දැනුවත් කර තිබුනේ නැහැ, ඒ ඇයි ? කියා.

දියණිය, කිලෝ මීටර 160 පමන දුරක්, පැය පහකට ආසන්න කාලයක් පුරා මා ගමන්ගත් ආකාරය ඔබට කියන්නට තබා මටද ප්‍රශ්නයකි. මා ඒකාලයේ සිටියේ මෙලොව නොව අපායකය. මේ කාලයේ ජංගම දුරකථන වෙලඳ පොලේ තිබුනත් එතරම් භාවිතාවක් තිබුනේ නැති අතර මාහට එවැන්නක් නඩත්තු කිරීමට හයියක් තිබුනේද නැත.

කෙසේ නමුත් මගේ දඩුවම් කාලය නිමා කරමින් මාතර නිවසට පැමිනෙන මොහොතේ මට සිදු වූයේ මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නටයි.

ඔබගේ මව, මාමා (මගේ ප්‍රාණ සම මිතුරා), එකල ජීවත්ව සිටි ඔබගේ මාතර සීයා, අදද ඔබට ඔබගේ දෙවනි මව් වැනි ඔබගේ නැන්දා,(මෙකල නැන්දා ඔබගේ දඟකාර මල්ලී බලාපොරොත්තුවෙන් සිටි කාලයයි.) ඇතුලු කිසිවෙක් නිවසේ නොසිටියා. පමණක් නොව කිසිම දෙයකට නොසැලෙන මනසක් ඇති ඔබේ මාතර ආච්චි හෙවත් "අපේ ආච්චි" හඬමින් සිටියාය.

මට මේ කිසිවක් නොතේරේ. මගේ සිතටද කුමක්දෝ මහා පාලු මූසල සිතුවිල්ලක් ඇතුල් වී ඇත. මට වුවමනා හඬන්නටය. ඒත් මේ එයටද කාලය නොව. කිසිවක් දැනගන්නට නැත. ගෙදර කිසිම වාහනයක් නැත. කිසිවෙක් නැත. මා කුමක් කරන්නද??

මා රෝහලත් ගෙදරත් අතර දුර කීප ගමනක්ම දෙපයින් ගමන් ගත්තා පමනක් මට මතකයි. ඒ කොතෙක් වෙලාද කියා මට අදද අමතකයි. රාත්‍රියේ මට ඔබ සැන්දෑවේ, මෙලොවට පැමිණි බව දැණ ගන්නට ලැබිණි. නමුත් ඒ අතරම යමක් සිදු වී ඇත. සියල්ලන් මගේ ඒ සඟවයි.

ඔබගේ මාමා පැමිනෙන තෙක්ම මා කිසිවක් නොදැණ වුන්නාය. සිදු වී ඇත්තේ කිමෙක්ද?

ඔබේ මාමා මට කියූ පරිදි සිදු වී ඇත්තේ, ඔබ දින 20 පමණ කාලයක් තිබියදීත් ඉක්මනින් මෙලොවට පැමිණීමට තීරණය කර තිබීමයි. ඒ නිසා ඔබගේ මෑණියන් මා උදේ පිට වූ පසු රෝහල් ගතකර ඇත. මා නැවතත් මාතර එන අතරමඟදී ඔබ මෙලොවට පැමිණී ඇත. නමුත් සුන්දරව සැමරිය හැකිව තිබූ ඔබේ පැමිණීම එක්තරා නූගත් කාන්තාවකුත්, තම වගකීම නොදත් වෛද්‍යවරියකුත් නිසා අසුන්දර වීමට පාර කැපී තිබීමයි.

ඔබව මොලොවට පැමිණි මොහොතේම "මෙනින්ජයිටීස්" නම් රෝගය වැලදුනු බිලිදියක් හා එකට තබා තිබීමයි. ඔබ ඉතා කුඩාවට සිටි නිසාත් දින ගනනක් කලින් පැමිණි නිසාත් නොමේරූ දරුවන් තබන අංශයේදී වැරදීමකින් ඔබව එසේ තබා තිබී ඇත. ඔබේ නැන්දාද වෛද්‍යවරියක් බැවින් ඇය ඒ නොදකින්නට, අද ඔබ මෙලොව නැත. නමුත් ඒ වන විටත් ඔබට "ජිටරි" නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සියුම් වෙව්ලීම් තත්ත්වයත් රුධිරයේ සීනි ප්‍රමානය සීඝයෙන් අඩු වීමටත් පටන්ගෙන තිබිණි.

එතැන් සිට ඇරඹුනේ මහා සංග්‍රාමයකි. මා, ඔබේ මාමා නැන්දා ඇතුළු සැම දෙනා එකාවන්ව එම යුද්ධය පුරා මාස කීපයක් එක දිගටම කරගෙන් ගියාය. මා අත මුදල් නැත. දිනපතා මට උදේම ඔබේ "අපේ ආච්චි" යම් මුදලක් දෙයි. එම මුදල සවස් වන විට අවසාන වෙයි. කියා නිමකල නොහැකි මහා වේගයකින් අප වැඩ කලාය. ඔබව වෙනත් රෝහලකට මාරුකර ගැනීමට අපට අවශ්‍ය විය. නමුත් ඔබේ සිද්ධියෙන් තැතිගත් ඒ වෛද්‍යවරිය සතියකට නිවාඩුගෙන පිට වී සිටියාය.

අප කෙසේ හෝ ඔබව වෙනත් ලඟම රෝහලකට ගෙනගොස් එහි සිටි දැනට කොළබ ළමා රෝහලේ සිටිනා උතුම් වෛද්‍යවරියක් වෙත ඔබව බාරදුන්නාය. එහිදී අපගේ හිතවත් මිතුරු වෛද්‍යතුමෙක් තමාගේ නිළ නිවස අපට ලබා දීමට තරම් කාරුණික විය. එහි මාස කීපයක් ප්‍රතිකාර ලැබීමෙන් ඔබ කෙමෙන් සුවපත් වන අතට හැරිනි. ඒ මුළුකාලය පුරා මම මගේ ව්‍යාපාරය ගැන් කිසිවක් නොබැලූ අතර ඒ සියල්ල කලමනාකරු විසින් කරගෙන යන ලදි.

මාස තුනකට අධික කාලයක් උපන් දින පටන් රෝහලේම සිටි ඔබ අවසානයේ මාතර ගෙදරට පැමිණියාය. එතැන් පටන් ඔබට අවුරුදු තුනක් යනතෙක්ම අපේ සිත්වල ඔබ ගැන තිබූ බිය ඔබට කිසිදිනක කියාදීමට නොහැකියි මා දියණිය. කෙමෙන් ඔබද අනෙක් ලමුන් මෙන් වැඩෙනා බව අපට ඔබගේ ක්‍රියාකාරකම් තුලින් දැනුනත් ඔබ වෙනුවෙන් අවසාන් ස්කෑන් පරීක්ෂාව කල දිනතෙක් අපගේ හිත්වල ඇවිලුන ගින්න ඔබට කෙසේ තේරුම් කරන්නද. ඒ වන විට ඔබට වයස වසර පහකි.

දැන් ඔබ මාගෙන් නිතර අස ප්‍රශ්නයට පිලිතුරු ලැබුනු බව මම සිතමි. ඒ නිසා නැවත කෙදිනකවත් මට මල්ලියෙක් හෝ නංගියෙක් නැත්තේ ඇයිද කියා අසන්නට එපා. ඒ ඔබ වෙනුවෙන් අපේ කාලය වැය කිරීමට සිදු නිසා බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.

මගේ ඒ අමාරු කාලයේ අර කළමණාකරු අපේ ව්‍යාපාරය මා දස අතට ණය කාරයෙකු කරමින් නිමාවට පත් කර තිබිනි. මා වැටුනේ කබලෙන් ලිපට නොව අපායටය. එදින පටන් ගත් මගේ සංග්‍රාමය දැන් මම අවසන් කර සිටිමි. හෙට මා මලත් ඔබට ජීවත් වීමට දේ මා සොයාතබා ඇත.

අද ඔබ වැඩිහිටියෙකි. යෞවණියකි. මා දැන් ලොකු මහත් වූ ගෑණු දරුවෙක් සිටිනා පියෙකි.

ඔබෙන් මා ඉල්ලන්නේ එකම දෙයක් පමනයි. ලෝකයට වෛරකරන්න එපා. හැම දේ වෙන්නේ හොදටයි.

මිනිසුන් හිතා මතා වැරදි කරන්නේ නැහැ.
ඒ නිසා මිනිසුන්ට ආදරේ කරන්න.

"මිනිසුන් අතර මිනිසෙක් වෙන්න."