Thursday, October 25, 2012

ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක‍්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම.

මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.

මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට පැමිණ නැතත් ඉක්මනින් එතැනට පැමිණෙන බව දන්නා නිසා ඔබට වැදගත් වෙයි මෙය.

මම කීපවිටකම කතා කළ මාතෘකාවක් තමයි මඳසරුභාවය.

මා ඒ පිළිබඳව ලිපි පෙළක්ම ලියා ඇති.

අපි දන්නවා දැන් දැන් ලංකාවෙත් මඳසරුභාවය ඉතා විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා. මේ නිසා දුක්වෙන යුවළවල් බොහෝමයි. මේ අය වියදම් කරන මුදලට සරිලන සේවයක් මේ අයට ලැබෙනවද?

මට තිබෙන එක් ප්‍රශ්නයක් මේක. අපි වගේ රටවල් බොහොම අකමැතියි යම් රටාවකට හුරු වුනහම ඉන් මිදෙන්න. මෙහිදී අපි අලුත් දැනුම සොයා යන්නේ නැහැ.

කෙසේ හෝ මා ඉතා මෑතකදී ලබාගත් මේ දැනුම ඔබට ලබා දෙන්නේ මින් ඔබට, ඔබේ හිතවතුනට ලැබෙන සේවය අපමණ නිසයි.

1 හැඳින්වීම.
කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප‍්‍රධාන කාර්ය්‍ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලූ ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප‍්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප‍්‍රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප‍්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක‍්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක‍්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක‍්‍රියාකාරීත්වය නවතී.
මෙම ක‍්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප‍්‍රති මුලේරියන් Anti-Müllerian hormone හෝමෝනයේ අඩු වීමයි.

2 ප‍්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?
මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප‍්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප‍්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප‍්‍රති මුලේරියන් හෝමෝන ප‍්‍රමාණය ඇයගේ සක‍්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.

3 සජීවී ක‍්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?
මෙවැනි අය බොහෝ විට,
1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.
2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.
3. එන්ඩොමේට්ට‍්‍රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.
4. විකිරණ ප‍්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.
නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.
5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.
6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප‍්‍රතිකාර ක‍්‍රම වලට යොමු වූ කාන්තාවන්
7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.
8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප‍්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)

4. මෙවැනි රොගීන් බොහෝ විට ඇති වන්නේ හේතු කීපයක් නිසයි.
1. විවාහ වීමට කාලය ගත වීම.
2. විවාහ වී එක්වරම දරුඵල අපේක්ෂාවෙන් කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම භාවිතා කිරීම.
3. පුරුෂ මඳසරුභාවය ඇති විට ඒ සඳහා ප්‍රතිකාර නොකර කාන්තාවන්ට කරන උත්තේජන ප්‍රතිකාර මගින් දරු සම්පත් ඇති කර ගැනීමට තැත් කිරීම.
4. නොයෙක් හේතු මත නළදරු උපත් වැනි ක්‍රමවලට අඩු වයසින් භාජනය වී කාන්තා හෝමෝන සාන්ද්‍රනය කෘත්‍රිමව වෙනස් කිරීම.


5. ප‍්‍රති මුලේරියන් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ,
1. සාමාන්‍ය අගය නැනෝග‍්‍රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.
2. 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.
3. 0.3 - 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.
4. අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.
5. අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.

6. මේ තත්ත්වය සදහා ආයූර්වේද ප‍්‍රතිකාර තිබේද?
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප‍්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක‍්‍රමානුකූල ආයූර්වේද ප‍්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.


යම් කාන්තාවකගේ ඔසප් චක‍්‍රය ඉතාමත් අක‍්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක‍්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප‍්‍රතිකාර මගින් කරනු ලබන ප‍්‍රතිකාර වලට සුදුසු අයයි.

Tuesday, October 16, 2012

හොද මී පැණි හඳුනා ගැනීම.

පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව.

අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත හැකි ලෙස හොද මී පැණි සොයා ගන්නා ආකාරය පිළිබඳ ලියන්න.

මුලින්ම මට වුණු සිද්ධි දෙකක් කියන්නම්. ඔබ දන්නවද දන්නේ නැහැ. හසලක පැත්තෙ තිබෙන ඉතාම පිටිසර ප්‍රදේශයක් තමයි බලවර්ධන ඔය කියන්නේ.

1999 කාලෙදි මම මහනුවර තමයි රැකියාව කළේ. එවකට මගේ තනතුර වූයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයූර්වේද නිෂ්පාන. මට තිබූ විශාලම ප්‍රශ්නයක් තමයි මේ හොද මී පැණි සොයා ගැනීම. අපි බොහෝ කාලයක සිටම මී පැණි ලබා ගන්නේ මේ බලවර්ධන ඔය සිටින ඉස්කෝලෙ මහත්තයා නමින් හැදින් වූ අයෙක්ගෙන්. එතුමාගේ මී පැණි වලට ගහන්න මී පැණි මම අද වනතෙක්ම දැකලා නැහැ.

අපේ ආයතනයේ සභාපති තුමා මට මේ පුද්ගලයවම හදුන්වා දුන්නා මී පැණි ගැනීම සදහා. ඒ ගමන් හරිම විනෝදජනකයි. කෙසේ හෝ මම මාසයකට වරක් යා යුතුයි මේ මී පැණි ගනුදෙනුව සදහා. මී පැණි කිලෝ දහස් ගණනක් ආවාට ගියාට මිලදී ගෙන යම් නාස්තියක් වුවොත් මම ගස්. ඒ නිසා මේ වැඩේට මමම යනවා. දිනක් මම බලවර්ධන ඔය යනවිට ඉස්කෝලෙ මහත්තයාගේ කඩේ ඉදිරියේ වැදි පෙනුමැත්තෙක් කණුවකට තබා බැද තිබෙනවා. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කොළඹම සිටි මට මේක මහ ප්‍රශ්නයක්.

ඉස්කෝලෙ මහතයගෙන් මේ ගැන අහපු මට ලැබුණු උත්තරේ තමයි මේ.

" අපේ මහත්තයා මූ වැද්දෙක් නෙමේ මූ සිංහලයෙක්. මුලු වැදිරැහැම දන්න මාව රට්ටන්න මූට බැහැ. මේ මිනිහ මී පැණි ගෙනාවා වඳ පිටින්. මම බලාපුවහම ඔක්කොම වඳ පරණ වද කලින් මිරිකල පැණි අහක් කළ ඒවා. මූ කොහෙන් හරි පැණි නැති වඳ හොයන් සීනී වතුරේ වඳ පොඟවලා ගෙනත් මාව රට්ටන්න"

මෙහෙම කියලා දුන්න අර මිනිහට පයින් පාරක්. එතකොට මේක කෑගහනවා මරන්න හදනව වගේ. මට දැන් මාරම ජොළි වැඩේට.

ඔන්න මී පැණි එක කතාවක්. තව එකක් මම කලින් කියා ඇති අර සීනි දියකළ ජලය ටැංකි වලට පුරවා මැස්සන් ලවා ට්‍රාන්ස්පෝට් කළ කතාව. එය මතක ඇතැයි සිතනවා.

ඔන්න ඔහොමයි අපේ මී පැණිවල කොලිටිය.

නමුත් ඔබේ පැනයට මා පිළිතුරු සැපයිය යුතුයි. ඒ නිසා මා දන්නා සාම්ප්‍රදායික ක්‍රම ගැන අපි කතා කරමු.

මේ ලිපිය ලියන්න මම කතා කළා, වර්තමානයේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව දෙරටේම ආයූර්වේද උගතෙක්, බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමාට. මෙතුමා මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්.

එතුමාත් සමගත් කතා කළ පසුවයි මේ ලිපිය ම'විසින් ලියනු ලබන්නේ.

(1) ක්‍රමය
මී පැණි ගින්නට ඇල්ලූ විට පිළිස්සෙන ද්‍රව්‍යයක්. හොද මී පැණිවල ජලය නැහැ. එනිසා එය ගින්නට ඇල්ලූ විට දැල්විය යුතුයි. නමුත් මට ඇති ප්‍රශ්නය පලතුරු වලට කාබයිට් දැමීමට තරම් කුරිරු සමාජය ගින්න දැල්විය හැකි යමක් කලවන් මී පැණිත් සමග එකතු නොකරයිද???

(2) ක්‍රමය
ඊළඟ ක්‍රමය වන්නේ, මී පැණිත් ජලයට එක් කිරීම. මී පැණි බිංදු කීපයක් පිරිසිදු ජලය අඩංගු වීදුරුවකට දැමූ විට එම පැණි බිංදු කීපය වීදුරුවේ අඩියට කිඳා බැසිය යුතුයි. මෙහිදීත් මිනිසාට හැකියාවක් තිබෙනවා යම් වංචාකාරී ක්‍රමයකට මේ පරීක්ෂණයෙන් බේරීමට.

(3) ක්‍රමය
මෙයත් වංචාකාරීන්ට සකස් කළ හැකියි. එනම් සාමාන්‍යයෙන් මී පැණි අවුන්ස 24 බෝතලයක් එනම් මිලි ලීරර් 750 ප්‍රමාණයේ බෝතලයක අඩංගු මී පැණිවල බර 1කිලෝ ග්‍රෑම් විය යුතුයි.

(4) ක්‍රමය
තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කරන්න තරම් අපි පොහොසත්ද ? හැකි නම් කරලා බලන්න. මී පැණි බල්ලන් නොකයි. මී පැණි ස්වල්පයක් බල්ලන්ට දුන් විට නොකනවා නම් ඒ පිරිසිදු මී පැණි වේ. බල්ලන්ට මී පැණි කවන්න ?????

මීට අමතරව විද්‍යාත්මකව මී පැණිවල විශිෂ්ට ගුරුත්වය මැනීම, මී පැණිවල අඩංගු රසායන ද්‍රව්‍යවල සංයුතිය මැනීම වැනි ක්‍රමද මේ සදහා උපයෝගී කරගත හැකියි.

මේ කිසිදු ක්‍රමයක් නොමැතිව පළපුරුද්ද, දැකපුරුද්ධ, සහ අතහුරුව ඇති අයට මී පැණි හඳුනා ගැනීම බෙහෙවින් පහසු වැඩකි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශය මේ ගැන යම් අවධානයක් යොමු කිරීම වටී. යම් නිර්ණායකයක් ඇති වනවා නම් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුනටද පහසුවකි.

සෑම මිනිසෙකුටම තමන් වියදම් කරන මුදලට සරිලන සේවයක් හෝ භාණ්ඩයක් ලැබීම සදහා අයිතියක් ඇත. ඒ ඉටුකරදීම රජයක වගකීමකි, යුතුකමකි.

Friday, October 12, 2012

සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.

මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න.

ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ස්තුතියි දේශකයා. ඔබ කලණ මිතුරෙක්....

"හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් ‍මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර ‍පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට‍ හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ ‍නම් හොද බව හගිමි. මෙම ‍කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ."

ඔබ දැන් දන්නවනේ මගේ රැකියාවේ විස්තර එතකොට මගේ වෙන වෙන කටයුතු පිළිබඳව. ඒ නිසයි මේ පමාව. නැතිනම් හපන්කම්, පුරසාරම්, සහ මෝඩකම් වලින් මගේ කෝෂ්ඨාගාරය පිරිල තිබෙන්නේ. ඉන් කොටසක්වත් ඔබ හමුවට ගෙන ඒමම මට මහත් සතුටක්.

අපි බලමු දැන් මී පැණි ගැන.....
ඔබ කියවා ඇති විද්‍යාචක්‍රවර්තීහුගේ බුත්සරණ කාව්‍යය. එය ඇරබෙන්නේ මෙසේයි.
"සුවයෙහි මිහිරි දන්නා දුක් හි දැඩිකම් දන්නා"
එහිම තවත් තැනෙක,
"නව බග සඳක් මෙන් මිහිරි වන්නා කැමති.....සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි"
මේ ආදී ලෙසින් සරල වූත් ඉතාමත් සුගම පද මෙහි පබඳෑ ඇත.

බුදුන් සරණ යාමෙන් සත්පුරුෂයනට ආධ්‍යාත්මික මිහිරකුත්, බැහැරි සිතන, දකින, අයට තමන් මිහිරි වන නියායෙකුත් එම පද වලින් පැහැදිලි කෙරේ.
එනම් ඇස, කන, නහය, දිව, ශරීරය යන මේ පසිඳුරන් සතප්පන, පිනවන, සනසන, සියල් දෑ මිහිරිය.
මිහිරට නොකැමැත්තෙක් සොයා ගැනීම ම උගහටය.

මලින් බර වසන්තය මී පැණි වලින්ද ආඪ්‍යය. එනිසා වසන්තය මංගල්‍යය කාලයකි. මහා කවි කාලිදාසයෝ සෘතු සංහාරයෙහි වසන්ත සෘතුව මෙසේ වර්ණනා කෙරෙති.
"ප්‍රඵුල්ල චූතාඬ්කුර තීක්ෂණ සායකො ද්විරේඵමාලා විලසධනුර්ගුණඃ
මනාංසි භේත්තුං සුරතප්‍රසඬ්ගිනාම් වසන්තයෝධඃ සමූපාගතඃ ප්‍රියේ!

තවත් තැනෙක,

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්‍රියඃ සකාමඃ පචනඃ සුගන්ධිඃ
සුඛාඃ ප්‍රදේෂා දිවසාශ්ච ර්‍යාඃ සර්වං ප්‍රියේ! චාරුතරං වසන්තේ"

"සොඳුර! සුපිපි අඹමල් නැමැති ඊ ඇති මී මැසි පෙළ නැමැති බබළන දුනුදිය ඇති, වසන්තයෝ තෙමේ රති කෙළියෙහි ඇලුනවුන්ගේ සිත් බිඳින්නට සපැමිණි යේ ය.

සොඳුර! වසන්ත කාලයෙහි සැම දෙයම අතිශයින් මනහර ය. වෘක්ෂයෝ සුපුෂ්පිතයහ. ජලාශයන් පියුමින් යුක්ත ය. කාන්තාවෝ රති කෙළියෙහි ලොල් යහ. සුළඟ මල්සුවඳින් අමෝදිත ය. මෙසේ වසන්තයේ සියලුම දේ මනහර යහ.


මිනිසා පමණක් නොව සියලු සත්වයෝ මිහිරට බොහෝ කැමතිය. මිහිරි සෑම දැයටම මී පැණි උපමා යැ. ගී සිංදු කනට මී පැණි දමනා සේ සමහරුනට මිහිරිය. තවකෙක්ට බුදු බණ එපමණකටම මිහිරිය. පිළිස්සුණු කයට මී පැණි තැවරීම ම සැපකි. බිඳක් ඇස ලෑමෙන් ඇසේ පෙනීම තවත් පෑදේ. මිපැණි ඉඳුරන් සනසයි. මතුද නොව ජරා මරණ දෙකද ඈත් කරයි. එබැවින් මී පැණි සැබවින්ම අමෘතයකි.

මී පැණි වනාහී මී මැස්සා නැමැති කුඩා පතඬ්ගයෙක් විසින් මල්වලින් එකතු කර ගන්නා යුෂයෙන් නිපදවන අර්ධ ඝන ස්‍රාවයකි. මිනිසා මව් කුස පිළිසිඳ ගත් දින සිට අවසන් හුස්ම හෙළනා තෙක් දිවි ගමනේ නොයෙක් අවස්ථාවලදී මී පැණි ඔහුට උපකාරී වේ.

මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කර ගැනීමට ඉතාමත් විශ්වාසදායී ඖෂධයකි.

මී පැණිවල රසානික සංයුතිය මෙතනින් බලා ගන්න පුළුවන්.

මෙතනිනුත් පුළුවන්.

ඔන්න මේකත් බලලමු ඉමුකො.

තව විස්තර ඕනෙනම් මේකත් බලන්න පුළුවන්.

අපේ බ්ලොග් කාරිණියන් අතර සිටින පළපුරුදුම මනා හැකියාවක් ඇති අංක එකේ බ්ලොග් කාරිනියක් වන සොදුරු සිත මගෙන් කළ ඉලීමක් තමයි මේ ඉටු කරන්නේ.

හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න. එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න. එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න. භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි. ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.

දැන් මේ භාජනය හොදින් වසා දින කීපයක් තබන්න. මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න. මෙය දිනපතා කිරීමෙන්,

1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.
2. හදවතේ බලය වැඩි වේ.
3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.
4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීරකෘත්‍යයට විශාල පහසුවක් ඇති කරයි.
6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.
7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.
8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.
9. චිර ජීවනය ලබා දෙයි.

අත්දුටුවයි…... සත්තයි…….

___සතුට ඇති කරයි_____!!!!!

Thursday, September 27, 2012

පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය.

පරමාණුක වාදය යනුවෙන් හැදින්වෙන්නේ පරමාණුවක පැවැත්ම තහවුරු කරන වාදයයි. බටහිර දී ඩිමොක්‍රීටස් මුලින්ම පරමාණුවක පැවැත්ම පිළිබඳ අදහස ලෝකයට ලබා දුන්හ. තේල්ස් නම් දාර්ශනිකයාද යම් අදහසක් මේ ගැන ලබා දුන්නද ඩිමෝක්‍රිට්ස්ගෙන් ඇරබෙන පරමාණුක වාදය 1800 දී පමණ ජෝන් ඩොල්ටන්ගේ පැමිණීමත් සමග නවීන මත දක්වා දියුණු විය.

පරම + අණුව යනුවෙන් කියවෙන්නේ යම් ද්‍රව්‍යයක් බෙදිය හැකි කුඩාම කොටස යන්නයි. පරමාණුවක ඇති පරමාණුක අංශු, උප පරමාණුක අංශු යන බොහෝ දේ අද හඳුනාගෙන ඇත. නමුත් මේ කිසිවක් දැකිය හැකි නොවේ මේවා බොහෝ විට අද්‍රව්‍යමය ද්‍රව්‍ය ලෙසත් එසේත් නැත්නම් ශක්තීන් හා යම් විද්‍යුත් ආරෝපනයන් ලෙස අර්ථ දැක්විය හැකිය.

පරමාණුවක ව්‍යුහයේ පැහැදිලි සීමාවක් අද ද දැකිය හැකි නොවේ. යම් යම් උපකල්පන සහ සීමා කිරීම් මගින් මිනිස් බුද්ධියෙන් ගොණුකරගත් සම්මතයන්ට අනුව පරමාණුව පිළිබඳ උගෙනීම කරනු ලබයි. කොටින්ම පරමාණුව යන ප්‍රපංචය මිනිස් බුද්ධියට මිස ග්‍රහනයට ස්පර්ශයට බඳුන් නොවන දෙයකි. මිනිස් ඇසට කවර ලෙසකින් වත් ගෝචර නොවේ. මේ සියල්ල අනුව පරමාණුව යම් අද්‍රව්‍යමය වූ දෙයක් ලෙස හඳුන්වා දීම වඩා සුදුසු වේ.

බටහිර විද්‍යාවේදී මෙසේ පෝෂණය වන පරමාණුක වාදය නිසා අද මිනිසාට නොයෙක් පළ ප්‍රයෝජන මෙන්ම මහත් වූ විනාශයන්ද උරුම කරදීමට සමත් වී ඇත.

පෙරදිගදී ද පරමාණුව පිළිබඳ නොයෙක් මත ආදි සෘෂි යුගයේ දී ඉදිරිපත් වී ඇත.

මම විශ්වයේ උත්පත්තිය පිළිබඳව ලිපි පෙළක් ලියාගෙන ගිය බව ඔබට මතක ඇති. නමුත් මට ඒ ලිපි එක දිගටම ලිවීමේ හැකියාවක් ඇති වුණේ නැහැ. එම ලිපි වලදී මම කතා කළා අභෞතික දේ භෞතික ද්‍රව්‍ය බවට පත් වන පිළිවෙළ.

එහිදී අභෞතික සහ භෞතික ලෙස අදහස් කරන්නේ ද්‍රව්‍යමය නොවන යමක් ද්‍රව්‍යමය බවට පත් වන්නේ කෙසේද යන්න බවත්, එසේත් නොමැති නම් කිසිවක් නොමැතිව තිබූ විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට වූ විට එහි ද්‍රව්‍ය ඇති වුණේ කෙසේද යන්න බවත් මා ඔබට පවසා සිටියා මතකයි. ..………. දැන් පැහැදිලිනෙ.

මේ සදහා අපි උපයෝගී කරගන්නේ භාරතීය දර්ශන වාදයන් අතර තිබෙන ප්‍රධානතම දර්ශනයන් වන,

වෛශෙෂික දර්ශනය
මෙහි මූල කතෘ වන්නේ කණාද සෘෂිවරයා. මෙම දර්ශනයේ පරමාර්ථය වන්නේ ධර්ම සහ මෝක්ෂ ලාහයයි.

වෛශෙෂිකයන්ගේ මෙම වාදයන් තහවුරු කර ගැනීම සදහා ඔවුන්,
(1) පරමාණුවාද
(2) අනෙකාත්මවාද
(3) සත්කා‍ය්‍යර්‍වාද
(4) පරමාණුනිත්‍යවාද
(5) ෂට්පදාර්ථවාද
(6) සෘෂ්ටිවාද
(7) මෝක්ෂවාද කියන මේ දැනුම උපයෝගී කර ගන්නවා. ඇත්තෙන්ම පරමාණුව කියන වචනය භාවිතයට පැමිණෙන්නේ මේ සමගයි.

ෂඩ් දර්ශන වලටම අයත් තවත් දර්ශනයක් වන,

සාංඛ්‍ය දර්ශනය
මේ සදහා උපයෝගී කරගත හැකියි. මෙහි නිර්මාතෘ වන්නේ මහර්ෂි කපිල මුනිවරයායි. කපිල මුනිවරයාට අනුව,
(1) අව්‍යක්ත
(2) ප්‍රකෘති, විකෘති
(3) මහත්
(4) පුරුෂ
(5) අහංකාර, යන මේවා පංචවින්ශති ලෙස හදුන්වයි.
මෙම පංච විංශති නැවත කොටස් දෙකකට බෙදෙයි. ප්‍රකෘති සහ විකෘති ලෙසයි.

ප්‍රකෘති යනුවෙන් සියල්ලකටම හේතුව වන, හෙවත් සියල්ලන් උපදවන. තමා කිසිවකු විසින් නූපදවන පදාර්ථ අර්ථ දැක්වේ. ප්‍රකෘතීන් යටතට පුරුෂ, මහත්, අහංකාර, සහ පංචතන්මාත්‍ර ගැනෙයි.

විකෘති වශයෙන් යම් කාර්යයක් කරන කිසිවක් නූපදවන, අන් හේතුවක් නිසා උපදින පදාර්ථ ලෙස දැක් වෙයි. විකෘතීන් වන්නේ, ඒකාදශ ඉන්ද්‍රිය සහ පංචමහාභූත වේ. ඒකා දශ ඉන්ද්‍රිය ලෙස පංචබුද්ධීන්ද්‍රිය (වන ඇස, කන, නාසය, දිව, සහ කය ද අයත් වේ.) පංචකර්මේන්ද්‍රිය (වන රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ද අයත් වේ.) යන දහයද මනසද අයත් වේ. පංච මහා භූත ලෙස,
පෘථිවි, - යම් ද්‍රව්‍යයක ඇති ඝන බව, ස්කන්ධයක් ඇති බව, තද බව ඇති කරන බලය.
ආපෝ, - යම් ද්‍රව්‍යයක ඇති ඇලෙන සුළු බව හෙවත් ඒකරාශී වීමේ බලය.
තේජෝ,- යම් ද්‍රව්‍යයක හැඩය සහ ශක්තිය ඇති කරන බලය.
වායු, - යම් ද්‍රව්‍යයක ක්‍රියාකාරී බව ඇති කරන බලය.
ආකාශ, - යම් ද්‍රව්‍යයක අන්තර් අවකාශය ඇති කරන බලය.

නැවතත් පරමාණුව සලකා බැලුව හොත් අපට එහි ඇති ඉලෙක්ට්‍රෝන වලින් චල ගතිය හෙවත් වායු පදාර්ථයත්, න්‍යෂ්ටිය ගොනු වී ඇති අන්දම සලකා බැලීමේදී එහි ආපෝ පදාර්ථයත්, පරමාණුවක වැඩියෙන්ම ඇති අවකාශ පදාර්ථයත්, න්‍යෂ්ටියේ ස්කන්ධය මගින් පෘථිවි පදාර්ථයත්, අන්තර් න්‍යෂ්ටික බල මගින් තේජෝ පදාර්ථයත් යන භූත පංචකයේ පැවැත්ම තහවුරු කරගත හැකිය.

දැන් ඉතා පහසුවෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි. කිසිම හෙතුවක් නැතිව උපදින පංචතන්මාත්‍ර සහ පුරුෂ, මහත්, අහංකාර, යන ප්‍රකෘතීන් විශ්වාරම්භයේදී ඇති වේ. මේවායේ ප්‍රතිඵල ලෙස විකෘතීන් වන පංචමහාභූත ඇති වේ. මෙහිදී පංචමහාභූත යනු ද්‍රව්‍ය - අද්‍රව්‍ය අතර සීමාවේ ඇති පදාර්ථයට අයත් දෙයක් බව පැහැදිලිය.

විශ්වයක් ඇති වී පැවතී නැති වී එයින් නැවත නව විශ්වයක් ඇරබේ යනු පුරාණ සෘෂි මතයයි. එවිට මේ පංචතන්මාත්‍ර ඇති වේ. ඒවා ඇති වීමට නියම හේතුවක් නැත. යම් කිසිවක උදව්වක්ද නැත. එම පංචතන්මාත්‍ර මගින් ඇතිවන බලයෙන් පංචමහාභූත ඇති වේ.

එහිදී නැවතත් පංචතන්මාත්‍ර මගින් පංච බුද්ධි ඉන්දිය පහ සහ පංච කර්මේන්ද්‍රය පහ ඇති වේ. ඒ සමගම මනසද ඇති වේ. මනසේ ඇති වීමත් සමග මානසික දෝෂ වන රජස් තමස් සහ සත්ව ඇති වේ. මේවා ඉතාම ක්‍රමානුකූලව සිදු වන ප්‍රතික්‍රියාවන්ය.

ඊට පසු ක්‍රමානුකූල පිළිවෙළකට පංචමහාභූත එකට එක එක් වීමෙන් කායික දෝෂ වන තිදොස් ඇති වීමට ගනී. මේවා භෞතිකය. එනම්,
1. වාත - වායු සහ ආකාශ භූත එක් වීමෙන් ඇති වේ. කායික, මානසික සහ පාරිසරික ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ මේ වායු දෝෂය මගිනි.
2. පිත - තේජ භූතය ප්‍රධානව ඇති වේ. කායික, මානසික, පාරිසරික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ක්‍රියාකාරී බලය සපයන්නේ තේජ භූතය ප්‍රධානව සෑදී ඇති පිතෙනි.
3. සෙම - ප්‍රථිවි, සහ ආප් මහා භූත එක වීමෙන් ඇති වේ. කායික සහ මානසික මෙන්ම පාරිසරික පැවැත්ම තීරණය වන්නේ මේ සෙම හෙවත් කඵ නම් බලය නිසාවෙනි.

දැන් මම ඔබට කායික සහ මානසික දෝෂ වල නිර්මාණය ගැන යම් වැටහීමක් ඇති කළෙමි.

පරමාණුව වන්නේ ජීවී අජීවී සියල්ලේ මුල් තැනුම් ඒකකය නම්, සෛලය වන්නේ ජීවී වස්තූන්ගේ මුල් තැනුම් ඒකකයයි.

ඉහත පරමාණුවක පැවැත්ම පෙරදිග මට අනුව පැහැදිලි කළ ආකාරයටම සෛලයක පැවැත්මද මෙසේ පැහැදිලි කළ හැක.

සෛලයක න්‍යෂ්ටිය යනු එහි ක්‍රියාකාරී කොටසයි. එහි බලපැවැත් වෙන්නේ බොහෝ වාත දෝෂයයි. සෛලය බෙදීම මේ අනුව සිදු වේ. එහි සිදුවන සියලුම ජෛව රසායන ක්‍රයාවලට බලය දෙන්නේ මේ වාත දෝෂයයි.

සෛලයක පවතින සියල්ල බැඳ ගැනීමේ සහ එහි හැඩය පවත්වා ගැනීමේ හැකියාව ඇති කරන්නේ එහි බලපවත්වන සෙම් ශක්තියයි.

සෛලයක සිදුවන සියලුම ජෛව රසායන ක්‍රියාවන් පාලනය කරන්නේ එහි වූ පිත මගිනි.


මෙහි අඩංගු වන්නේ මවිසින් ලියන ලද මුල් ලිපියෙන් ගත් ඉතාම සංක්ෂිප්තයකි. මෙ ලිපිය මාස කීපයක් තිස්සේ සෑදුවකි. විටින් විට ලියාගෙන ගියෙමි. පසුගිය සතියේ ඒ ගැන යම් ඉඟියක් කළේ ඔබ ඊට අකමැති නම් පළ නොකරන්නටය. නමුත් ඒ ගැන යම් ධනාත්මක ප්‍රතිචාර ලද බැවින් පළ කිරීමට තීරණය කළෙමි. නමුත් මෙවන් කරුණු සරල සින්හලෙන් ලිවීම ඉතාමත් අපහසුය. කෙසේ හෝ ඒ ගැන මූලික අවධානය යොමු කළෙමි. යම් අපහසුතාවයක් ඇතොත් අපි ඒ ගැන කතා කරමු. මේ ලිපිය ලියන්නට පහත පොත් උපයෝගී කර ගතිමි.

1. F. Max Muller, THE UPANISHADS
2. බණ්ඩාරනායක අනුස්මරණ ආයූර්වේද පර්යේෂණායතන රජත ජයන්ති අනුස්මරණ කලාපය, 1987.
3. ඩී. එම්. ආර්. බී. දිසානායක, පදාර්ථ විඤ්ඤාණය, 1981.
4. ඩී. එම්. ආර්. බී. දිසානායක, දෝෂ ධාතු මල විඥානය, 1981.
5. ඩී. එම්. ජයසිංහ, පඤ්ච නිධාන ග්‍රන්ථය, 1984.

ඊළඟ ලිපිය සුදුලූනු සහ මීපැණි ගැන....

Monday, September 24, 2012

ඇමරිකාවෙන් ලංකාවට සුපුරුදු පරිදි පුරුදු පරණ ජීවිතයට!!

එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න දේවල් වැඩි හරියක් මස්. ඕනෙ කෙමනක් කියලා රෝස්ට් කුකුළෙකුයි පානුයි ගෙනත් හොදට කාල හෝටලේට ඇවිත් නිදාගත්තා.

පසුදා උදේම අපි ලෑස්ති වුණේ සම්මන්ත්‍රණයේ පළමු දිනට. ඉක්මනින් ලංකාවට කතා කළා. ඒ අපේ උදේ ලංකාවට හවස 6 විතර නිසා.

සම්මන්ත්‍රණයේ මාතෘකාව වුණේ ඖෂධ පැළෑටි සහ ආයූර්වේද නිෂ්පාදන වුවත් මගේ ප්‍රියතම විෂය වන ආයූර්වේද දර්ශනය සහ මූලධර්ම පිළිබඳවත් සාකච්ඡා වුවා. මම ඒවට නම් බොහෝම කැමැත්තෙන්ම මගේ දායකත්වය ලබා දුන්නා. මලයාසියාවේ සිට පැමිණි ආචාර්‍ය්‍ය රංජිත් මෙහෙන්ඩෙකාර් ශිවජිරො මහත්මිය සහ ඉන්දියානු ජාතික මහාචාර්‍ය්‍ය බූශන් පත්වර්දන් යන දෙදෙනා ඉදිරිපත් කළ මතයන් සමග මම ඉතාම කැමැත්තෙන් එකඟ වුණා. මම ලංකාවේදි දියුණු කළ සමහර මත ඔවුන් සජීවී පරීක්ෂණ මාර්ගයෙන් ඉදිරිපත් කිරීම මට ඇත්තෙන්ම ආස්වාදනීය වුණා. ඒ සමඟම අපේ රට ගැන යම් කනගාටුවකුත් ඇති වුණා.

ඒ වගේම මේරිලන්ඩ් බයෝ ටෙක්නොලොජි සෙන්ටර් නම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය්‍ය ජුඩිත් ඒ. බ්‍රිට්z මහත්මිය මගේ පර්යේෂණ පිළිබඳ අසා මට ආරාධනා කළා ඒ ආයතනයේ පර්යේෂණ වලට සම්බන්ධ වන ලෙස. එය මා බාරගත්තා. මට ජීවිතයේ වෙන අරමුණක් නැහැ. කුඩා කල සිටම මම ප්‍රිය කළේ එයයි. නමුත් ලංකාවට පැමිණි විගස මගේ තවත් මිතුරියක් වන ආචාර්‍ය්‍ය සුනිති ගුණසේකර මහත්මිය යුරෝපා රටක ප්‍රධාන විශ්වවිද්‍යාලයක් හා ලංකාවේ සිට කරන පර්යේෂණයක් සදහා මාවද තෝරාගෙන තිබුණා. එම නිසා ජුඩිත්ගේ ආරාධනය කෙටි කලකට යටපත් කර ගැනීමට මා දැන් සිතා සිටිනවා.

ජෝන් හොප්කින් ආයතනයේ පැවැත්වූ මේ සම්මන්ත්‍රණය දින තුනක් පැවැති අතර දින තුනේදීම විටින් විට අපේ රටේ දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. දැනට ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය ස්වර්ණා සහ වෛද්‍ය සන්ධ්‍යා යන අපේ සොයුරියන් දෙදෙනාත් අප සමග එකතු වුණා, සම්මන්ත්‍රණය අතර මඟදී. ඔවුන් මේ වන විට ඇමරිකාවේ දී ඔවුන්ගේ ආචාර්‍ය්‍ය උපාධිය හදාරමින් සිටිනවා.

සම්මන්ත්‍රණය සදහා රටවල් විශාල ගණනක නියෝජිතයන් සහභාගි වුවත් සංවිධායකයින් මෙහි ප්‍රධාන රටවල් ලෙස ඇමරිකාවත්, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් පිළිගත්තා. එම නිසා ඇමරිකානු රජයේ නියෝජිතයා ලෙස මෙරිලන්ඩ් රජ්‍යයේ ආණ්ඩුකාර මාර්ටින් ඔමෙලේ, ඇමරිකාවේ සිටින ඉන්දියානු තානාපතිනිය වන නිරූපමා රාවෝ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්ම මහත්මීන්ද සහභාගි වූවා.

සම්මන්ත්‍රණයේ දෙවනි සහ තුන්වන දිනයන් සාකච්ඡා සදහාම වෙන්වූවා. කෙසේ හෝ ඉතාම සාර්ථක සම්මන්ත්‍රණයක් තුන් දිනකින් අවසන් වූවා. කාලය ඉතා මඳ වුවත් සාර්ථක දින තුනක් බව නම් කිව යුතුයි.

දෙවනි දින ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමාගේ ආරාධනයෙන් තානාපති නිවසේ දිවා භෝජනයට සහභාගී වීමටත් අපට සිදුවුණා. එයත් මහත් අගය කළ යුතුයි. තානාපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී අප පෙන්වා දුන්නේ ලංකාව සහ ඇමරිකාව යන රටවල් ආයූර්වේදය ඔස්සේ කෙසේ සම්බන්ධ විය යුතු ද යන කරුණයි. අප විසින් පෙන්වා දුන් සියලු කරුණු ඉතාම සංයමයෙන් එතුමා පිළිගත්තා. නුදුරේදීම ඇමරිකානු ආයෝජකයන් හා අප කණ්ඩායම අතර සාකච්ඡාවක් සූදානම් කරන බව එතුමා අපට දැන්වූවා.

මෙතැන් සිට දින ගණනාවක්ම ඇවිදීමට රටතොට බැලීමට ගත කළා.

ඇරුණි අක්කා අප සමඟ සම්බන්ධ වුණේ ඒ අනුවයි. ඇයත් සමඟ ජෝජ් ටවුන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර බැලීමට ගියා.

ලංකාවෙන් ගිය මගේ මිතුරෙක් වන සිතාර ෆ්‍රනාන්දු හෙවත් වජිර නම් මිත්‍රයා ( ශ්‍රී ලංකා රගර් පිලේ හිටපු සාමාජිකයෙක්.) ඔහුගේ නිවසේ දින ගණනක් අප තබාගෙන සියලුම සත්කාර කළා. ඒ ගැන නම් ඔහුටත් ඔහුගේ ප්‍රිය බිරිඳටත් අප ණය ගැතියි. ඔහුගේ මිතුරන් වන කැළුම් සහ දිනේෂ් අපත් සමඟ වර්ජීනියා ගිය ගමන කෙදිනකවත් අමතක වෙන දෙයක් නෙමෙයි. අධික වේගයෙන් වේග පාලන කැමරා මඟ හරිමින් අපි හොඳ විනෝදයක් ලැබුවා.

වජිරගේ නිවසින් මගේ මිතුරන් දෙදෙනා නිව්යෝක් වෙතත් ඉන් නිව් ජර්සි වෙතත් ගමන් ගත්තා. මම තනිවම නැවත ලංකාවට පැමිණියා. මා එන ගමනේදී එයාර් ඉන්දියා ගුවන් යානය පැමිණිය යුතුව තිබ්බේ මුම්බායි වෙතයි. නමුත් ඔවුන් මා දැනුවත් නොකර එය දිල්ලි (Connecting Flight) වෙත ගෙනයනු ලැබුවා. මෙහිදී යන සහ එන ගමනේදී වූ සියලු සිද්දීන් නිසා මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබුණා. දිල්ලියේදී පළමුව කළේ එයාර් ඉන්දියා ආයතනයට ගොස් හොද සංග්‍රහයක් ඔවුන්ට කිරීමයි. ඇත්තෙන්ම එය මට නොසිතූ විරූ ප්‍රතිඵල ගෙන දෙන්නට සමත් වුණා. දිල්ලි සහ බොම්බෙ යන ගුවන් තොට දෙකේදීම ඔවුන් මා සාදරයෙන් පිළිගෙන අනෙක් ගුවන් යානය තෙක් කාලය මට වෙනම කාමරයක් සහ අවශ්‍ය සියලුම ආහාර නොමිලයේම ලබා දෙන්නට වග බලා ගත්තා.

මේ සටහන මින් නවතා මගේ සුපුරුදු ආයූර්වේද ලිපි මින් ඉදිරියට ලිවීමට අදහස් කරනවා. මුලින්ම මේ සතිය තුළදීම "පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය" යන දුලභ මාතෘකාව පිළිබඳ ලිපියක් පළ කරනවා. එය මේ වන විටත් 90% වැඩ අවසන් කර තිබෙන්නේ. ඊටත් පසු දිගින් දිගට ඔබ වෙත මගේ ලිපි ඉදිරිපත් කෙරෙනවා.

ඔබ මවෙත දැක්වූ අනුග්‍රහය මවිසින් ඉතාම බැතිබරව අගය කරනවා.


බොහොම ස්තුතියි මිතුරනි, මිතුරියනි!!!!