ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.
මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය.
මේ කතාව මෙතෙක් මම කිසිවකුට නොකීවෙමි. ඒ මගේ සිත එයට මට ඉඩ නොඳුන් නිසා වෙනියි මට සිතේ. අද එය ඔබ හමුවේ තබන්නම්. මෙහි සියලු පාත්‍ර වර්ගයා ගෙන් බොහෝ අය ඔවුන්ගේ නියම නමින්ම හඳුන්වමි. කිසිවක් සැඟවිය යුතු නොවේ. ඉතිහාසයේ අපට වූ වැරදීම් (ඇත්තෙන්ම අපේ දෙමාපියන්ට ) අපගේ දරුවන් දැන සිටිය යුතුය. ප්‍රශ්න විසදීම යනු තුන් කල් බලා කළ යුතු කටයුත්තකි.
අප සිතන්නේ අද අප සියලු ජයග්‍රහණයන් ලබා සිටින වගය. නමුත් අද ද නිවැරදි කළයුතු දහසක් දේ තිබේ. අඩු ගණනේ අපේ දරු මුණුබුරන්වත් මේවා නිවැරදි කරනු ඇත. එසේම කල යුතුය. අප අපගේ පරම්පරාව කැපකර මේ කුරිරු යුද්ධය ජය ගත්තෙමු. ඒ ආරම්භ වූයේ අපේ දෙමාපියන්ගේ යුගයේය. නමුත් මෙහි තවත් විසඳිය යුතු තැන් තිබේ. අසීරුම කොටස වන එය අපගේ දරුවනට බාරයි.
මේ මාගේ සජීවී අත්දැකීම්ය.
ප්‍රභාත් අපත් සමග වත්තල විසූවත් ඔහුගේ ගම වූයේ බොරැල්ලයි. මම තැන නොදනිමි, නමුත් ඔහු පාසැල් පැමිණියේ බොරැල්ලේ මහගෙදර සිටයි. ඒ අකාලයේ ඔහුගේ පියා මියගිය දින සිටය. උදේම පැමිණි මා හා ඔහු අතර ඇති වූ දෙබස මෙපරිදි විය.
ප්‍ර. - මචං රෝ... ඊයේ මාර වැඩක්නෙ වුණේ!
මම. - ඇයි ?
ප්‍ර. - අපේ ගෙවල් දිගටම හමුදාව දාල. මහ රෑ කනත්තේ මොකක්ද කේස් එකක් ගියා. හමුදාවට යාපනේදි කවුද ගහලලු. ගොඩක් මැරිලා. (එකල කොටි ගැන අප අසා නැත. සුළුවෙන් ප්‍රශ්නයක් තිබ්බත්, අපගේ මතකට ඇතුළු වන ලෙස ප්‍රශ්නය පැනනැංඟේ 1983 පසුය.)
ඔන්න ඔහොම කතාවක් අද ද මට සිහි වේ.
මේ කියන කාලයේ එය මහ ලොකු නිව්ස් එකක් වූවත් විභාග උනන්දුව නිසාම කතාව යටපත් විය. කොහොමත් ප්‍රභාත් යනු ඕනෑම දෙයක් ඉතා අලංකාරව කීමෙහි බිණීමෙහි සමතෙකි. මගේ තරඟ කරුවෙකි.
අපේ පාසැල දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සහ සිංහල මාධ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම පංති පැවැත්වූවකි.
පී. එල්. සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. හොදම මිතුරෙක් තරම් ළමුන්ට සමීප මෙතුමා ඉතා තදින් දඩුවම් දීම ගැනද චිරප්‍රසිද්ධය. නමුත් කිසිවක් සිතේ තබා නොගන්නා අපූර්ව ගුරුවරයෙකි. මෙතුමා අපේ විභාගය පැවැත්වෙන අවස්ථාවල කොල්ලන්ගේ හොර ඇල්ලීමට හදිසියේ කඩා පනියි. එදින කෙදිනකවත් නැති කලබලයකින් පැමිණි මෙතුමා අපට දුන්නේ අරුම පුදුම උපදෙසකි.
අද දින මෙතැන් සිට පාසැල වසන බවත්,
අප දැනට ලියා ඇති ප්‍රශ්න පත්‍රයන් තමන්ගේ මේසය මතම තිබියදී පිටව යායුතු බවත්,
කිසිම හේතුවකට දෙමළ අංශය පැත්ත පළාතක නොයා යුතු බවත්,
වහාම නිවෙස් වෙත යායුතු බවත්ය.
මොන තරම් සතුටක්ද? පී. එල්. සර් දෙවියෙක්නෙ.
අපිඳු වහාම එළියට පැන්නේ පස්වනක් ප්‍රීතියෙනි. මා, මගේ මිත්‍රයෝ හැමොටම අවුරුදු මෙනි. අපි සිතුවේ ෆිල්ම් හෝල් එකකට පැන ගන්නයි. ඒ දිනවල බිග්බොස් පෙන්වමින් (මතක හැටියට හැදල හංදියේ සමුද්‍රා එකේ.) තිබිණි. එහි ඇති එක් දර්ශනයක් :D, බැලීමට විසි තිස් වාරයක් ගියවුන් ද අප සමග විය.
නමුත් පාරට බට අපට හමුවූයේ අරුම පුදුම වත්තලකි. මේ උදේ පාසැල පැමිණි ඇවරිවත්ත පාරද?
සතර අතින් නැඟෙනා දුම් රොටුය. මහා ගිනිජාලාවන්ය, කුමන නම් අරුමයක්ද??
හද්සියේම ප්‍රභාත්,,,,,,
මචෝ මම අර උදේම කිව්වේ මේ ඒ ගැන මොකක් හරිද දන්නේ නැහැ.
ඒත් සමඟම මහා සේනාවක් පැමිණේ..
"ඒයි පොඩි උන්…….. උඹලා එක්ක ඉන්න දෙමළු අපිට දීලා උඹලා පලයල්ලා ගෙවල් වලට.
උන් අත කඩු පොලු පෙට්‍රල් ආදී දහසක් ආයුධ විය. මහාමාර සේනාව පැමිණියා වැනිය.
ඒත් සමගම මසිතේ විදුලියක් කෙටිනි....ලින්ටා… වටපිට බැලීමි. ලින්ටා අප අතරය. උගේ මුහුණ දැක්කම මට සියල්ල පැහැදිලි විය.
මුලින්ම උන්නේ ජ...කර අයියාය. මගේ පියාගේ මිතුරෙකි. මම ඉදිරියට ගියෙමි.
ආ……. මල්ලි….. යන්න…. යන්න…. ගෙදර,
මම - ජ...කර අයියේ අපි එහෙනම් යනවා.
10 - 15 පමණ නඩයම මුවින් නොබිණූවත් යමක් ඒකමතිකව තීරණය කර තිබිණි.
ලින්ටා යමන් උඹව ගෙදර ඇරලන්න……....
උගේ මුහුණේ අසරණකම මසිතේ ඇති කලේ ලැජ්ජාවකි. ඒ ඇයිදැයි එකල පැටි වියේ වූ මට නොතේරිණි.
ලින්ටන්………………….
………….හොඩියේ සිටම සිංහල උගත් අප සමග දිවි ගෙවූ අපේ මිතුරෙකි. ඌ දන්න දෙමළක් නැත. අද ද සිංහල, ඉංග්‍රීසි හැර වෙනත් බසකින්, ලීමේ බිණීමේ හැකියාවක් ඔහුට නැත. වත්තල ගැමුණු පැලැස් පිටුපස අද කන්ටේනර් යාඩ් එකක් ඇති තැන ඔහුගේ නිවස විය. දැන් අප යනවා නොව දුවනවාය. හැමතින් පෙනෙන්නේ විපතක සේයාවන්ය. ලින්ටාගේ ගෙදර ගිය අප දුටුවේ යුද්ධයකි. ගෙදර සියල්ලන් ගෙනයාමට කවුදෝ පැමිණ තිබිණි. ඒ කවුදැයි දැන් මට මතක නැත.
තෙළඟපාත වෙලෙන් පැන්න කල මගේ නිවසට මිනිත්තු 5ටත් අඩු දුරකි. දැන් මගේ ඔළුවේ ඇත්තේ……….
"සිංණප්පා යි."
මගේ ඉංග්‍රිසි ගුරුවරයා. අපේ යාබඳ නිවසේ වෙසෙන යාපනේ චුන්නාකම් වල පදිංචි පුද්ගලයෙකි. ඔහුගේ පුතා රාසයියා අංකල්, ඇන්ටි, මහේන් මල්ලි, ලොකු නංගි, පොඩී මගේ ඉදිරිපිට පෙනී නොපෙනී යයි. අඩි දෙකට මම ගෙදර පැමිණියෙමි. ගෙට ගොඩවුණේ නැත කෙළින්ම අල්ලපු ගෙදර තාප්පය පැන්නෙමි. පෙර මේ ගෙවල් එක දිගට පේළි ගෙවල් මෙන් තිබූ ඒවාය. අපේ ගේ වෙන්කර සාදා ඇතත්, ඒ වනවිටත් කුස්සියෙන් දෙපසට මාරු විය හැකිය.
ඔවුන් ඒ වනවිටත් කළ යුත්ත කුමක්දැයි කතා කරමින් සිටියි. දරුවන්ද සමග අපේ ගෙදර පැමිණ කතා කරමුයි මා කීවිට, ඇන්ටි මට වැන්ද හැටි අදද මට මැවී පෙනෙයි. ඔවුන් උදේම සිද්ධිය දැන හෝ සැකකර සියල්ල එක්තැන්කර තිබිණි. ඒ පොට්ටනියත් සමග ඇඳිවත පිටින් ගේදොර ඇර තිබියදීම ඔවුන් පිටුපසින් අපේ ගෙට රිංගා ගත්තාය. මම ඒ පැත්තේ හිඩැස තදින් වැසූවේ නිරායාසයෙන් මිසක සිහි බුද්ධියෙන් නොවේ. දැන් මගේ මෙහෙයුමෙන් භාගයක් සපුරා ඇත. තාමත් මා පාසැල් ඇඳුමෙනි.
ක්‍රිෂ්ණා…………
දැන් මම කෙසේ හෝ නිවසින් පිටවිය යුතුය. ඒ එකල මගේ හොදම මිතුරා ගැන බැලීමටය. ක්‍රිෂ්ණමූර්ති සහ ශාන්තමූර්ති මගේ වයසේම මිතුරන් දෙදෙනෙකි. දෙදෙනා සොයුරෝ වෙති. අක්කා, ලොකු අක්කා, මූර්ති අංකල් මට ගෙදර උන් මෙන්ය. ඒ ගෙදරින් කී වෙලක් නම් කා ඇත්ද?
වහාම නිවෙස් තුනකට එහායින් ඒ ගෙදරට යන විට සියල්ල අවසන් වී තිබිණි. ගේ ගිනි ගනියි. මූර්තිලාට වූවක් මම නොදනිමි. මගේ පපුව කඩා හැළෙයි. වත්තට පැන බැලූවත් කිසිවෙක් නැත. විපතට පත් වූවන්ද, විපත කළවුන්ද නැත. මගේ අතේ ජීවිත ගණනාවක් ඇති බැවින් මම වහාම නිවසට නැවත පැමිණියෙමි.
මේ සටහන කෙතරම් දිගු වුවත් මට කෙදිනකවත් නැවත මෙය ලිවිය නොහැක. ඒ නිසා අදම ලියමි. පළ කිරීම ගැනද මම තවම තීරණයක් ගෙන නැත. කෙදිනක පළ කරමිදැයි මමද නොදනිමි. බ්ලොග් ලෝකයට පැමිණි මුලම මෙවැන්නක් ලිවීම සුදුසුදැයි මම නොදනිමි. මේ බ්ලොග් ලියන්නන් අතර මා දන්නා කිසිවෙක්ම නැත. මේ වැන්නක් බ්ලොග් පාඨකයන් කෙසේ පිළිගනියිද? (මේ ලිපිය 2011 ජූලිවල ලියූවකි.)
මගේ වැඩ නිසා මගේ මවට සෑහෙන ප්‍රශ්න ගණනාවක්... පස් දෙනෙකුගෙන් යුතු අපේ පවුලත්, රාසයියා අංකල්ගේ ගෙදර කට්ටියත් පෝෂණය කළයුතු නොවැ....
ඔන්න දැන් මාර සේනාව අපේ මිදුලේ. අපිට කියලා වෙනම මිදුලක් නැහැ. මේ ගෙවල් හතකින් පහකටම ඇත්තේ එක මිදුලයි. ගේ ළඟම තාප්පේ ගෙවල් අතර පරතරය අඩියක්වත් නැහැ. මා සහ මව මුන්ට දැන් මුහුණ දෙන්න ඕනෙ.
අර බැගෑපත් මුහුණු...
ඔවුන්ගේ ප්‍රමුඛයා බි…..දු එකල සිටි මැරයෙක් අකාලේ මියගියා.
ආ මල්ලී එන්න එපෑ අපිත් එක්ක.
මම - ඇයි අයියා..
මැරයා - මේක මල්ලි ජාති ආලෙන් කරන වැඩක්... අපේ කොල්ලො මරල මුන්ට බේරෙන්න දෙන්න බැහැනේ.
මම - එහෙමද? (මම එවිටයි දැන ගත්තේ, මට අසනීප වූ විට බෙහෙත් ගෙන්න එක්ක යන, ක්ලාස් එක්ක යන, අපි සමඟ සෙල්ලම් කරන රාසයියා අංකල් අපේ හමුදාවට බෝම්බ තියන්න ගිය බව. )
දැන් මේ මැරයා මගෙන් අහනවා කෝ මල්ලි එහා ගෙදර ... දෙමළු ටික?
මම - අනේ මන්ද?
මැරයා - මල්ලී මුන් පැනලනෙ.
මම - නැහැ... නැහැ…. අයියා දැන් හිටියනේ.
රාසයියා අංකල් ගේ ගෙට පිටුපස මහ වෙල අවුරුදු සිය ගණනකින් වපුරා නැහැ. මහ පංකැලේ.
මැරයා - පංකැලේ මුන් ඇති ගිනිතියපියව් ඕකට.
මම - අයියා දැන් මේකට ගිනි තිබ්බොත් අපේ ගේ, අර ගෙවල් ඔක්කොම ගිනි ගන්නවනේ.
කෙසේ හෝ නිවසත් අවට වෙල් යායත් ගිනි තැබීමේ මෝඩ ක්‍රියාව නොකර සිටීමට උන් පෙළබීමට මට හැකි වුනා. උන් ගියේ අපේ කොල්ලො මරපු රාසයියා අංකල්ගේ ගේ බිමට සමතලා කරලම දාලා.
විනාඩි දහයක් විතර අපිත් එක්ක කතා කළ මැරයෝ යන්න ගියා. අපේ ගේ වහලා වෙන්ද වගේම මිදුලේ නංගිලයි මල්ලියි තියලා මම ගියා අම්මත් එක්ක වත්තල, ගෙදරට බඩු ගේන්න.
මොන වත්තලක්ද??
එකම විශාලා මහ නුවරක්.
හැම පැත්තෙන්ම ගිනි ගන්නවා.
හැබැයි දෙමළ මිනිස්සු නැහැ. ඒ අවුරුදු ගණනක් සිංහලයොත් එක්ක එකට කාල බීල හිටපු මිනිස්සුන්ව කවුරුත් මැරයන්ට පාවලා දුන්නේ නැහැ.
වත්තල එකම කඩයයි ඇරලා තිබ්බේ. ග…..ගේ මුදලාලිගේ කඩේ. ඒත් මුදලාලි නැහැ. මිනිහ ගිහිල්ලා එහාපැත්තේ තෙල් කඩේ හිටිය, හමුදාවට බෝම්බ තිබ්බ, මුදලාලිගේ කඩේ කඩන්න. බැලුවම අපිට ගන්න තිබුණේ පිටියි හාල් සීනි වගේ දේවල්. මිනිස්සු කඩෙන් බඩු ගන්නවා සල්ලි ගන්න කෙනෙක් නැහැ. අපි දෙන්නත් අපිට අවශ්‍ය දේවල් අරගෙන සල්ලි නොදීම ආවා.
මෙහෙම දින තුනක් විතර ගත වුණා. වත්තල පොලීසියේ සිටි සාජන් කෙනෙක් වූ මගේ පියාගේ සොයුරෙක් මාර්ගයෙන් මගේ මව රාසයියා පවුල රජයට බාරදුන්නා.
මූර්ති පවුලත් අහල පහළ අය විසින් බේරාගෙන තිබුණා. උපතින් පමණක් දෙමළ වූ මූර්තිලා දෙදෙනාම සිංහල කාන්තාවන් පාවාගෙන අදද ඉතා හොදින් සිංහලයන් මෙන් ජීවත් වෙනවා.
ජීවිත කාලයක් අපත් සමග දිවිගෙවූ පහක් හයක් පමණ ප්‍රමාණයක් කුරිරු ලෙස ඝාතනය වූවා.
ඒත් ඒ සියලුම මැරයන් සහ ඒවාට අනුබල දුන් අය අද මේවන විට මෙලොව නැහැ. මට මතකයි එක අවස්ථාවක, එයිට බොහෝ කාලයකට පසු එම සිද්ධීන් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අයෙක්, වත්තල හංදියේදී තම මෝටර් සයිකලය මත වාඩි වී සිටියදී ලඟින් ගිය කන්ටේනර් රථයකට යට වී මිය ගියා. හිස පොඩි වී තිබුනේ බයිසිකලයට කිසිම හානියක් නොවී. මම කියන්නේ නැහැ එය හාස්කමක් ලෙස නමුත් වසර කීපයක් යත්දි ඉතාම තරුණ වියේ සිටි ඒ සියල්ලන්ම මෙලොවින් චුත වී ගියා.
____________________________________
මේ ටික ලිව්වේ 2012 ජූලි මස හෙවත් ඊයේ පෙරේද.
යම් ලෙසක ඒ අමිහිරි සිද්ධිය 1983 ජූලි මස සිදු නොවුනානම් අද මේ රට මෙයිට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා කියන එක මට නිතරම සිතෙනවා.
අපි ළඟින් ඇසුරු කළ අපත් එක්ක එකට සිටි දෙමළ මිනිසුන් මේ දිනයෙන් පසු සිටියේ වියරු වැටිලා. මම ඒක දැක්ක, ඒ සිරිමාවෝ බණඩාරනායක විද්‍යාලයේ තිබුණු අනාථ කඳවුරට දින කීපයක්ම කෑම බීම අරගෙන මගේ මිතුරන් බලන්න මම ආව නිසා. එදින කුඩා මටත් සිතුණා මේ රටේ අනාගතය වෙනස් වන සිද්ධියක් බවට මේක හැරෙයි කියලා.
අන්තිමට ඒක එහෙමම වුණා. දහස් ගණනක් අහිංසකයෝ මළා මගේ ළඟම අය කීපදෙනෙක් අකාලයේ මිය ගියා. කුරිරු යුද්ධය නිසා අනාථ වූ ජාති දෙකේම පිරිස කොපමණද?
එදා උදේම කළයුත්ත කළේ සවස 4ත් පසු වී මට මතක හැටියට. එදා උදේම රටපුරා ඇදිරි නීතිය දමා හමුදාව කැඳවූවා නම්, මේ රටේ ඊට පසු ඇති වූ අඳුරු යුගයට අපේ දරුවන් මුහුණ නොදීමට තිබුණා. එදා අපි මුහුණ දුන්නේ නීතියක් නැති දිනයකට. එදා ඒ පැය කීපය අපේ ප්‍රදේශය පාලනය කළේ මැරයෝ.
මෙහෙන් ගිය, ඒ අවධියේ අපේ වයසේ සිටි සියල්ලන්ම ත්‍රස්තවාදයට එක් වෙන්න ඇති. ඒකෙන් උන් ප්‍රබල වුණා. ප්‍රතිඵලය අවුරුදු 30 දිග්ගැසුණු යුද්ධය.
ඒ විතරක්ද?
මොනතරම් ජාති දෙකටම අයත් උගතුන්, වියතුන්, අහිංසකයෝ, දරුවෝ, වෙනත් ජාතීන්, විනාශ වුණාද?
අද මේ රට මේ තිබෙන ජරා තත්වයට පත්වෙන්න ඒ පැය කීපය හේතු වුණා නේද?.
ඒ නිසා අපි අද ගන්න තීරණ අපේ අනාගතයට මොනතරම් බලපානවද?
මේ කියන කිසි දෙයක් ගැන අවබෝධයක් නැති මැරයන් යම් තැනක, යම් කාලයක එක් මොහොතකට ප්‍රබල වීම රටක අනාගතයට කරන බලපෑම කොතෙක්ද?
මේ සියල්ලම මම ජීවත් වූ දශක කීපය තුළ මට අත්දකින්න වුණා. ඒ නිසා අපේ දරුවන්ට මේ සියල්ලෙන් තොර රටක් සාදා දෙන්න අපි හැමෝම කැපවිය යුතුයි නේද?
මේ ලිපිය කිසිදා පළ නොකරන්න සිතා සිටියත් එය පළ කළ යුතුම යැයි මට සිතුණේ එදා ඒ අදුරු දිනය වගේම භ්‍යානක පෙරනිමිත්තක් මම අද දකින නිසයි. ඒ....
දරුවන් කාමුකයන්ට බිලි වීම......
රටේ සියල්ලන්ටම සමානව තිබිය යුතු නීතියේ ආධිපත්‍ය ගිලිහී යාම...
විශේෂයෙන්ම මහජනයා නීතිය විශ්වාස නොකරන තැනට රට පත්වීම......
මට හිතෙන්නේ මේ රට කුරිරු යුද්ධයෙන් ගලවාගෙන අපි යන්නේ හසරක් නැතුව ප්‍රපාතයට.
රටේ නීතියෙ ප්‍රමුඛත්වයට නංවන්න මේ අවුරුදු තුන හොදටම ඇති. දැන්වත් ඒ ගැන යමක් කිරීම ඉතාමත් සුදුසුයි.
හෙට පරක්කු වැඩියි කිව්වොත් .....